Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සුසිල් - ජෝන් මහින්ද සමග උදේ කෑම මේසයේ සාකච්ඡාවක්

මේ සතියේත් කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තුවේදීය. ඒ අය වැය විවාදය පැවැත්වෙන නිසා මේ දිනවල කැබිනට් රැස්වීම ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ නොපවත්වා පාර්ලිමේන්තුවේදී පවත්වන්නේ ඇමැතිවරුන්ගේ පහසුව තකාය. කැබිනට් රැස්වීම අවසන්වීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගියේ වෝටර්ස් ඒජ් හෝටලයටය. ඒ සූර්ය බලසංග්‍රාමය යටතේ කිලෝවොට් සියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැති උත්සවයකට සහභාගී වීමටය. 
අවුරුදු තුනකට කලින් මට මේ දවස හොඳටම මතකයි. මම අවුරුදු තුනකට කලින් අද වගේ දවසක තමයි පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් ‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවෙන් එළියට ආවේ මේ වගේ වෙලාවේදී තමයි. අදත් මම මෙතැනට ආවේ පාර්ලිමේන්තුවේ ඉඳලා මෛත්‍රී කීවේය.
ඉන් පසුව ඔහු ගියේ පදනම් ආයතනයටය. ඒ මාධ්‍යවේදී රුචිර දිලාන් ලියූ මැති සබයේ රස කතා කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වීමටය. මේ අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක්ද එක්ව සිටියහ. උත්සවයට පැමිණි මෛත්‍රී පිළිගනු ලැබුවේ බුලත් අතක් දෙමිනි.
සර් ඡන්ද ලාංඡනයම දීලා පිළිගත්තා නේද අසල සිටි පවිත්‍රා මෛත්‍රීගෙන් ඇසුවේ සිනාසෙමිනි.
මගේ ඡන්ද ලකුණ විතරක් නමෛයි. මේක ඔයගොල්ලන්ගේත් ඡන්ද ලකුණ නේ මෛත්‍රී සිනාවෙන්ම උත්තර දුන්නේය.
මේ අතර මෛත්‍රී පසුගිය සතියේදී මධ්‍යම කාරක සභාව කැඳවා තිබුණේය. ඒ පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේදීය. පක්ෂ මහ ‍ලේකම් දුමින්ද දිසානායක ආරම්භයේදී කතා කළේය. මේ අතර කාගේත් අවධානයට ලක්වූයේ හිටපු අගමැති දි.මු. ජයරත්න කළ ප්‍රකාශය වෙතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමහර කාලවලදී බෙදී වෙන්වී ගියා. ඒ කාලයේදී පක්ෂය විනාශ වෙලා ගියා. ඒත් පස්සේ ආපසු එකතු වුණා. ඒ එකතු වුණ හැම වෙලාවකම වඩාත් හොඳින් ජයග්‍රහණය කළා. අපි ඇත්ත තේරුම්ගත යුතුයි. පාක්ෂිකයාගේ මතය සහ අදහස අවබෝධ කරගත යුතුයි. එවිට ජයග්‍රහණය අපහසු වෙන්නේ නෑ. පක්ෂය බෙදුණ හැම වෙලාවකම මම නායකත්වය එක්ක සමගිව සිටියා. එසේ සිටිමින් දුරස්වූ පාර්ශ්වයන් එක් කරගන්නවා. අදත් වෙන්න ඕන ඒ දේම තමයි. ඒ නිසා අපි පක්ෂයක් විදියට ඉදලා පක්ෂය ජයග්‍රහණය කරන්න ඕන. ඒක තමයි මේ වෙලාවේදී ජනාධිපතිතුමාට දෙන්න පුළුවන් සහයෝගය දි.මු. කීවේය.
ඔහුගේ කතාවෙන් පසුව නැගී සිටියේ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාය. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කටයුතු ඔහුගේ දැඩි විවේචනයට ලක්විය.
ජනාධිපතිතුමනි, අපි මේ ආණ්ඩුවේ ඉන්නේ ඔබතුමා නිසා. ඒත් යූ.එන්.පී. එකේ අය හිතාගෙන ඉන්නේ අපි ඒගොල්ලන්ගේ ආණ්ඩුවේ බලෙන් එල්ලිලා ඉන්නවාය කියලා. ඒ අය දන්නේ නෑ ඔබතුමා නැතිනම් මේ අයට ආණ්ඩුවක් හදන්න බෑ කියන එක. ඔබතුමා නැත්නම් මේ ආණ්ඩුවට තුනෙන් දෙකක් තියා එකසිය දහතුනක් හොයාගන්න පුලුවන්ද? කොහොම වුණත් අපි සතුටුවෙන්න ඕන. ඒ තමයි ඔබතුමා නිසා මේ රට බේරිලා තියෙන එක. මහ බැංකුවේ හොරකම් එළි කරන්න පුළුවන් වුණේ ජනාධිපතිතුමා නිසයි. එක්සත් ජාතික පක්ෂයේ අය දැන් ජනාධිපතිතුමා විවේචනය කරන්න අරගෙන තිබෙනවා. මෙහෙම වුණොත් අපිටත් යූ.එන්.පී. එකේ අයට ගහන්න වේවි නිමල් සිරිපාල කීවේය.
ඇයි ඉතිං ‍පොහොට්ටුවේ අයත් විවේචනය කරනවානේ චන්ද්‍රිකා නැගිට කතා කරන්න විය. 
ඒ අය ජනාධිපතිතුමාට දොස් කියන්නේ නෑ. ඔවුන් විවේචනය කරන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙල. අපිටත් ඒවාට විවේචන තියෙනවා නිමල් සිරිපාල කීවේය.
ඒකේ ඉන්නේ හොරකම් කරපු අයනේ චන්ද්‍රිකා කීවාය.
ඒකේ විතක් නමෛයි මේකෙත් හොරකම් කරපු අය ඉන්නවානේ නිමල් සිරිපාල යළිත් කියන විට චන්ද්‍රිකා නිහඬ වූවාය.
ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා මධ්‍යම කාරක සභාවට ගොස් තිබුණේ පුවත්පත් දෙකක් රැගෙනය. ඒ ඉංග්‍රීසි පුවත්පතක් සහ සිංහල පුවත්පතකි.
කලින් දවසේ ඉංග්‍රීසි පත්තරේ තීරු ලිපියක ගියපු කතාවක් පහුවෙනිදා සිංහල පත්තරේ දාලා තියෙනවා. මේක නිර්මාණය කරපු කතාවක්. ඔබතුමා නොකියපු කතාවක් මේකේ ගිහින් තියෙනවා. දැන් මේ කතාව රට පුරාම ගිහින් තියෙනවා. සරමක් ඇදගෙන ගිහින් මහින්ද මහත්තයා එක්ක කතා කරන්න බෑ කියලා තියෙන බව තමයි මේකේ තියෙන්නේ. මේ කතාව රට පුරාම ගිහින් තියෙනවා. ආණ්ඩු කරනවාට වඩා අමාරු වැඩේ වෙන්නේ මේ ගැහිලිවලට මුහුණදෙන එක. මේ කතාව මම මධ්‍යම කාරක සභාවට කියන්නේ අපේ පක්ෂයේ ජයග්‍රහණය වලක්වන්න ක්‍රියාත්මක වෙන වැඩසටහන් ගැන තේරුම්ගන්න ලක්ෂ්මන් යාපා කීවේය.
මේ වගේ නිව්ස් ප්ලාන්ට් කරන එක අපි ඉස්සරහටත් බලා‍පොරොත්තු වෙන්න ඕන. හැබැයි මම කියන්නේ යූ.එන්.පී. එක්ක යන මේ ගමනට වඩා අපි එකතුවෙලා හොඳ ගමනක් යන්න පුළුවන්සුසිල් කීවේය.
පක්ෂයේ සංවිධාන කටයුතු අපි කරලා ඉවරයි. අපිට ජයග්‍රහණය කරන්න පුලුවන් වුණත් ඒකාබද්ධ විපක්ෂය එකතු කරගත්තොත් විජයග්‍රහණය කරන්න පුලුවන් ඩිලාන් පෙරේරා කීවේය.
 
ඡන්ද කල් දැමීමේ මෙහෙයුම්
 
පළාත් පාලන මැතිරණය කල් දැමීමට අදාළව පුද්ගයින් පස් දෙනෙක් අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබුණි. පසුගිය දිනවල දේශපාලන ලෝකයේ ආන්දෝලනයක් ඇතිවී තිබුණේ මේ නිසාය. සීමා නිර්ණය කර ඇති ආකාරය අනුව තමන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වන බවට පෙත්සම්කරුවන් පවසා තිබුණි.
මෙවැනි පෙත්සමක් අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති බව පැය කිහිපයක් ඇතුළත මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට දැනගැනීමට ලැබුණි. වහාම ක්‍රියාත්මක වූ ඔවුන් ඡන්දය කල් දැමීමට මෙවැනි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවට පවසන්නට වූහ.
මෙම පෙත්සම් ඉදිරිපත් කිරීමේ මෙහෙයුම පිටුපස සිටියේ ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාය. පෙත්සම්කරුවන් ඉදිරිපත් කළ ඇතැම් තොරතුරු තිබුණේ ෆයිසර්ගේ අතේ පමණි. ඔහු එම තොරතුරු ලබාදී තිබුණත් පෙත්සම් ඉදිරිපත් කිරීම පිටුපස තමන් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු මාධ්‍ය වෙත පැමිණෙමින් ප්‍රකාශ කරන්නට වූහ.
ඒ අනුව අධිකරණය විසින් ලබන මස හතරවැනිදා දක්වා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් ලබාදුන්නේය. මැතිවරණ කොමිසම දැන් පවසන්නේ දෙසැම්බර් හතර වැනිදාට තීන්දුවක් ලැබුණොත් පෙබරවාරි මස මුල් සතියේදී මැතිවරණය පැවැත්විය හැකි බවය. නැතිනම් අලුත් සීමා නිර්ණය කොමිසමක් පත් කළහොත් මැතිවරණය පැවැත්වීම තවත් වසර කිහිපයකින් කල් යනු ඇති බව ඔවුන්ගේ අපේක්ෂාවයි. 
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේදී ගිංතොට ප්‍රදේශයේ ඇතිවූ යතුරුපැදි අනතුරකින් පසුව ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් වර්ධනය වී තිබුණේ ජාතිවාදී ගැටුමක් දක්වා එය ඇදී යාමේ අනතුරු පළ කරමින්ය. ගැටුම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ලවූයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක්ටය.
එක්සත් ජාතික පක්ෂයේ අයෙක් වුණාට කමක් නෑ. අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න වජිර අබේවර්ධන ඇමැතිවරයා ‍පොලීසියට උපදෙස් දුන්නේය. මේ අතර වජිර, ජනාධිපතිවරයාට කතා කර ඇතිවූ තත්ත්වය ගැන පැහැදිලි කර තිබුණි. ඒ අනුව ඔහු උපදෙස් දී තිබුණේ ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදවන ලෙසය.
සිකුරාදා සවස ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ඉවත් කරගත් අතර සංවිධානය වූ පිරිස් යළිත් ගැටුම් ඇතිකරගෙන තිබුණි. මේ වන විට ගාල්ලේ දේශපාලනඥයන්ට දිගින් දිගටම දුරකථන ඇමතුම් ලැබෙන්න විය. මේ අතරවාරයේදී ෆයිසර් මුස්තාපා සහ චන්දිම කොළඹ සිට ගිංතොට බලා පැමිණෙමින් සිටියහ. ඔවුන් දෙදෙනාට මුස්ලිම් නිවෙස්වලින් හොඳ ප්‍රතිචාරයක් ලැබුණත් සිංහල නිවෙස්වලින් හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නැත. එක් තැනකදී චන්දිමගේ වාහනයට ප්‍රහාරයක්ද එල්ල විය.
පසුදා උදෑසන වජිර සහ මනූෂ නානායක්කාර නියෝජ්‍ය ඇමැතිවරයා ගැටුමට සම්බන්ධ සියලුම පාර්ශ්වයන් කැඳවා සාකච්ඡා කළේය. යළිත් සවස දෙකට සාම කමිටුවක් පත් කර යළි ගැටුම් ඇති නොවන ආකාරයට ප්‍රශ්නය විසඳා ගැනීමට එකඟත්වය ඇතිව පිරිස පිටත්ව ගියේය.
මේ අතර ‍පොලිස්පතිවරයා වජිර සමග ගිංතොටට ගිය අතර ඔහු එතැන සිටි තරුණයෙක් සමග ගැටුමක් ඇතිකරගත්තේය.
‍පොලිස්පතිතුමා.. ‍පොලිස්පතිතුමා.. ‍පොඩ්ඩක් ඉන්න යැයි කියමින් වජිර ‍පොලිස්පතිවරයා පාලනය කිරීමට උත්සාහ ගත්තේය.
නෑ.. ඇමැතිතුමා මුන් මේ යැයි කියමින් ‍පොලිස්පතිවරයා තරුණයාට පහරදීමට උත්සාහ ගත්තේ ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙක්ටද බැණ වදිමින්ය.
මේ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිංතොට ථූපාරාම විහාරස්ථානයට වැඩම කර ඇති බව ආරංචි වූ වජිර එහි ගියේ උන්වහන්සේ සමග කතා කිරීමටය. එහෙත් එතැන සිටි අයගෙන් වජිරට ලැබි තිබුණේ එතරම් හොඳ ප්‍රතිචාරයක් නොවේ.
සුවපත් වේවා තමන්ට විරෝධය දැක්වූ අයට අත් දෙක එක් කර ආචාර කරමින් වජිර කීවේය.
මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ ගාල්ලට එන බව සාගල රත්නායක ඇමැතිවරයා වජිරට දුරකථනයෙන් දැනුම්දී තිබුණි. ඔහු අනෙක් වැඩකටයුතු පසෙක දමා ගාල්ලට පැමිණියේ රනිල් සමග ගිංතොට බලා යාමටය. හෙලිකොප්ටරයෙන් ගාල්ලට පැමිණි රනිල් වජිර සහ සාගල සමග එකම වාහනයෙන් ගිංතොට හානි වූ නිවාස බැලීමට ගියේය.
වැරදි කරපු අයට දඬුවම් දෙන්න. ඒකේදී පාට පක්ෂ බලන්න එපා රනිල් උපදෙස් දුන්නේය. හානියට පත් නිවාසද පරීක්ෂා කර බැලූ රනිල් නැවත කොළඹ බලා පැමිණියේය.
 
රනිල් බැඳුම්කර කොමිසමට ගිය හැටි
 
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් රනිල් ලබාදුන් ප්‍රකාශයක් සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න ඇසීමට කොමිසම හමුවට එන්නැයි දැනුම් දී තිබුණේය. ඒ අනුව කොමිසමට ඇසීමට ප්‍රශ්න විසි අටක් විය. නීතිපති දෙපාර්තමේන්තුවට ඇසීමට ප්‍රශ්න හතළිස් තුනක් විය.
බැඳුම්කර ගනුදෙනුවට අදාළව තිබෙන්නේ ප්‍රශ්න විස්සක් විතරයි. ඒ නිසා ප්‍රශ්න විස්ස විතරක් අහන්න බැඳුම්කර කොමිසම නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබුණේය. ඒ අනුව රනිල්ගෙන් ඇසීමට තිබුණේ ප්‍රශ්න විසි අටකි. ඒ ප්‍රශ්න විසි අට කල් ඇතිව රනිල්ගේ අතට පත්වී තිබුණි. 
කොමිසම පටන්ගන්න වෙලාවට විනාඩි දහයකට කලින් මම එතැනට යන්න ඕන රනිල් කීවේය. ඒ අනුව රනිල් කොල්ලුපිටියේ පස්වැනි පටුමගේ පිහිටි නිවසේ සිට රනිල් කොමිසමට පිටත්ව ගියේය. ඔහුගේ වාහනයේ වූයේ අගමැති අතිරේක ‍ලේකම් සමන් අතාවුදහෙට්ටිය. කොමිසම හමුවේ ලබාදිය යුතු සාක්ෂිවලට අදාළ ලිපි ගොනු කල් ඇතිවම අගමැති ‍ලේකම් සමන් ඒකනායක අත කොමිසමට යවා තිබුණි.
සමන් මේක තියාගන්න රනිල් සමන් අතාවුදහෙට්ටිට තමන්ගේ පෞද්ගලික ලිපි ගොනුවක් දුන්නේය.
එදිරිවීර සරත්චන්ද්‍ර ගැන අයි.ටී.එන්. එකේ හොඳ වැඩසටහනක් ගියා. තානාපති සේවයේ කරපු ලොකු සේවයක් ගැන ඒකේ කියවුණා රනිල් සමන්ට කීවේ සමන් ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයාද වන නිසාය. 
කොමිසමට යන විට මාධ්‍යවේදීන් රැස්වී රනිල්ගෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටියත් සිනාසෙමින් කොමිසම තුළට ගියා මිස කිසිදු ප්‍රකාශයක් කළේ නැත. කොමිසමේ සාමාන්‍ය සාක්ෂි මේසයට ගිය රනිල් විනාඩි දොළහක් තිස්සේ සාක්ෂි ලබාදී සැහැල්ලුවෙන් එළියට ආවේය.
 
විමල්ගේ පක්ෂයට වෙන දේ
 
විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය සතියේදී රැස්විය. ඒ පක්ෂය අභ්‍යන්තරයේ ඇතිවූ ගැටුම්වලින් පසුවය.
පක්ෂයේ ‍ලේකම්වරයාගේ ඉවත්වීමෙන් පසුව අලුත් ‍ලේකම්වරයෙක් පත් කිරීමට නියමිතව තිබුණි. සියලුදෙනාගේම එකඟත්වයෙන් එයට පත් කරගත්තේ නීතිඥ කපිල ගමගේය.
පියසිරි විජේනායක ජාතික සංවිධායක ධුරය යොදාගෙන මාධ්‍ය හරහා විවිධ ප්‍රකාශ කරනවා. මේකට විරුද්ධව පියවර ගන්න ඕන දේශපාලන මණ්ඩලය තීරණය කළේය.
ඒකට විනය පරීක්ෂණයක් පවත්වන්න ඕන දේශපාලන මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් විය. ඒ අනුව කපිල ගමගේට පැවැරුණේ ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමටය.
 
මහින්දගේ උපන්දින කේක්
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපන් දිනය යෙදී තිබුණේ පසුගිය සිකුරාදාය. එදින උදෑසනම අභයාරාමයට ගිය මහින්ද කිරිඅම්මාවරුන්ගේ දානයකට සහභාගි විය. දානයෙන් පසුව මහින්ද උපන්දින කේක් ගෙඩිය කැපුවේය. එම කේක් ගෙඩිය සකස් කර තිබුණේ නෙළුම් ‍පොහොට්ටුවක හැඩයටය. අභයාරාමයේදී රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා මහින්දට සුබපැතුවේ අමුතුම ආකාරයටය. ඒ සී.ඩී. තැටියක් පිළිගන්වමිනි. එම සී.ඩී. තැටියේ තිබුණේ මහින්දට සුභ පතමින් රූප රචනාවක් සහිතව ගැයූ ගීතයකි.
රෝහිත දැන් කථිකයෙක් විතරක් ‍නෙවෙයි. ගායකයෙකුත් වෙලානේ මහින්ද සුබ පැතුම් පිළිගත්තේය. මේ අතර මහින්ද අසලට ආ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා මහින්දට සුබ පතා පැවැසුවේ තමන් ඉන්දියාවට යන බවය.
අභයාරාමයේ සිටි මහින්ද මහනුවර බලා පිටත්ව ගියේ දළදා මාළිගාව වැඳ පුදාගැනීමටය. දානමය පිංකමකටද මහින්ද එක්වූ අතර එහිදී කැපීමට තිබුණේද නෙළුම් ‍පොහොට්ටුවක හැඩය ගත් කේක් ගෙඩියකි. අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියන් එහිදී අනුශාසනාවක් කළ අතර ඉන් පසුව දිවා ආහාරය ගැනීමට මහින්ද ලොහාන් රත්වත්තේ මන්ත්‍රීවරයාගේ නිවසට ගියේය. ලොහාන්ගේ නිවසට කෙහෙළිය රඹුක්වැල්ල පැමිණියේ මහින්දගේ උපන්දිනයට සුබ පැතීමටය. ඒ කේක් ගෙඩියක්ද රැගෙනය. එම කේක් ගෙඩියද නෙළුම් ‍පොහොට්ටුවක හැඩයට සකස් කර තිබෙනු දුටු මහින්දට මහ හ¾ඩින් සිනා ගියේය. 
මේ පාර උපන්දිනයට මම කේක් තුනක් කැපුවා. ඒ තුනම හදලා තිබුණේ නෙළුම් ‍පොහොට්ටුවක හැඩයට මහින්ද කීවේය.
දැන් ඉතිං සර් ‍පොහොට්ටු පිපෙන කාලෙනේ කෙහෙළිය උත්තර දුන්නේය.
මහින්ද පැමිණ ඇති බවට වූ ආරංචියත් සමග ලොහාන්ගේ නිවසට පැමිණ සිටි අය මහින්දගෙන් ඉල්ලා සිටියේ ඉදිරි මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව තරග නොකරන ලෙසය.
අපි බලමුකෝ. එන තත්ත්වයත් එක්ක අපි තීන්දු ගනිමු මහින්ද ඔවුන්ට දුන්නේ දෙපැත්තටම නැති උත්තරයකි.
 
සුසිල් - ජෝන් මහින්දගේ නිවසේ
 
අඟහරුවාදා මහින්ද පාර්ලිමේන්තුවට ගියේ අයවැය විවාදයට සහභාගීවීමටය. මහින්ද පාර්ලිමේන්තුවේදී දිවා ආහාරය ගනිමින් සිටියදී සුසිල් ප්‍රේමජයන්ත සහ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා හමුවූයේ මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේදීය. 
සර් අපි එකතුවෙලා ඡන්දයකට යමු සුසිල් යෝජනා කළේය.
ඔයාලා යෝජනා ටික ලිඛිතව එවන්න. මම අපේ මන්ත්‍රී කණ්ඩායමට දාලා තීන්දුවක් ගන්නම්මහින්ද කීවේය.
සර් කියන දේ තමයි ඒකාබද්ධ විපක්ෂය අහන්නේ නිමල් සිරිපාල කීවේය.
මම එයාලට කියන්නම්. හැබැයි තීන්දුව ගන්නේ ඒ අය තමයි. ඒක නමෛයි. මොකද නිමල් කොණ්ඩයට වෙලා තියෙන්නේ මහින්ද ඇසුවේ නිමල් සිරිපාලගේ බොරු කොණ්ඩය දෙස බලමිනි.
මම බාරයක් වුණා සර්. ඒකට කොන්ඩේ කැපුවා නිමල් සිරිපාල උත්තර දුන්නේය.
ඒ අනුව පසුදා උදෑසන සුසිල් සහ ජෝන් සෙනෙවිරත්න මහින්දගේ විජේරාම නිවසට පැමිණියහ. ඔවුන් දෙදෙනා මහින්ද හමුවූයේ උදෑසන කෑම මේසයේදීය. 
සර් අපි එකතුවෙලා ඡන්දයට යමු ජෝන් දැඩිව ඉල්ලා සිටියේය. 
මේ අතර පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදයේ නියෝජිතයින් පිරිසක්ද ඒ වන විට මහින්ද හමුවීමට පැමිණ සිටියහ. ඇමැතිවරු දෙදෙනා පිටව ගිය පසුව ඔවුන් යෝජනා මාලාවක් මහින්දගේ අතට පත් කළෝය. ඒ යෝජනා මාලාවේ ඉහළින්ම තිබූ වගන්තිය පසුව පෑනෙන් ලියා තිබුණ වගන්තියකි. එහි තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට යාමට විරුද්ධ බවය.
මෙතැන සුසිලුයි ජෝනුයි ඉන්නවා දැක්ක නිසා දාපු වගන්තියක් නේද මහින්ද ඇසුවේ සිනාසෙමිනි.
ඔව් සර්. අපි ඕක දැන් තමයි පෑනෙන් ලිව්වේ. එහෙම එකතුවුණොත් අපි ගම්වලට යන්නේ කොහොමද එම නියෝජිතයෝ විමසූහ.
මන්ත්‍රී කණ්ඩායම කියන විදියකට මේ ගැන තීන්දුවක් ගන්නවා. මේ ගැන එයාලගේ මතය කියන තුරු අපි බලාගෙන ඉඳිමු. හැබැයි අපේ පැත්තේ ඉඳලා ‍පොඩි ‍පොඩි වරප්‍රසාදවලට එහා පැත්තට ගියපු කීප දෙනෙක් ගන්නත් ඔයාලා මට ඉඩ දෙන්න ඕන. අපේ පැත්තේ ඉන්න සමහරු ‍පොඩි ‍පොඩි වරප්‍රසාදවලට එහා පැත්තට ගිහින් ඉන්නවානේ. ඒ අය කීප දෙනෙක් ආපහු ගන්න ඕන මහින්ද කී විට පළාත් පාලන නියෝජිත සංසදයේ සාමාජිකයින් එයට වැඩි විරෝධයක් දැක්වූයේද නැත.
මේ අතර දිගින් දිගටම මෙම නියෝජිත කණ්ඩායම මහින්දගෙන් ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් නොවන ලෙසය. 
මම දැන් පැහැදිලිව කිව්වානේ එකතු වෙන්නේ නෑ කියලා. කලබල නැතිව බලාගෙන ඉන්නකෝ මහින්ද අවසානයේදී කීවේ තරමක් තදින්ය.
මෙම සාකච්ඡාවෙන් පසුව මහින්ද ගියේ පාර්ලිමේන්තුවටය. පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කැඳවා තිබුණේ සුසිල් සහ ජෝන් පැමිණ ලබාදුන් යෝජනා ගැන සාකච්ඡා කිරීමටය.
මට දිගටම චෝදනා කරන්නේ ඒකාධිපතියා කියලයි. මම පහුගිය කාලයේ තීන්දු ගත්තේ මන්ත්‍රීවරුන්ගෙන් අහලයි. ඒ නිසා මම සුසිල්ලා ඉදිරිපත් කරපු ලියුම ඔබතුමන්ලාට ඉදිරිපත් කරනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දුවක් ගනිමු මහින්ද යෝජනා කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුවෙන්න ලොකු වුවමනාවක් තිබෙනවා. හැබැයි මේ වුවමනාව අවංකවද මේ අයගේ ච්ෙතනාව මොකක්ද කියන එක ගැන ප්‍රශ්නයක් තිබෙනවා වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කීවේය.
මේ හදන්නේ අපිව බිත්තියට හේත්තු කරලා ඉල්ලීම් දිනාගන්නයි. පහුගිය කා‍ලේ අපි ආණ්ඩුව විවේචනය කරපු විදියට අපිට ආණ්ඩුවේම කොටසක් එක්ක ඡන්දයකට යන්න බෑ පවිත්‍රා සිය විරෝධය දැක්වූවාය.
විවිධ අදහස් මැද අවසානයේදී තීරණය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ගැන සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කිරීමටය. මේ කමිටුව සඳහා කුමාර වෙල්ගම සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් පත් කළත් ඔවුහු එම කමිටුවට යාමට විරෝධය දැක්වූහ. කමිටුවට යාමට අකමැත්ත ප්‍රකාශ වන විට සනත් නිශාන්ත නැගී සිටියේය.
කාටවත් යන්න බැරි නම් මම යන්නම් සර් සනත් කැමැත්තෙන්ම වැඩේ භාරගත්තේය.
අ‍පෝ.. ඔයා නම් යන්න එපා. එතකොට කියයි ඔයා දැම්මේ වැඩේ නොකෙරෙන තැනට පත් කරන්න කියලා. ඒ හින්දා ඔයා පැත්තකට වෙලා ඉන්න මහින්ද සනත්ට කීවේ සියල්ලන්ම සිනා ගන්වමිනි. පසුව සී.බි. රත්නායකගේ නම යෝජනා විය. පසුව පවිත්‍රාගේ නමත් මහින්ද යාපාගේ නමත් එයට යෝජනා විය. 
 
තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1849

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3274

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9042

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4688

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4852

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6580

Please publish modules in offcanvas position.