Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මෛත්‍රී මහ රෑ මහින්දගේ ගෙදරට

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පසුගිය සතියේදී රැස්වූයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීය. මෙවර කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි කාලයක් ගතවී තිබුණේ දූෂණ වංචා සම්බන්ධයෙන් වන පරීක්ෂණ ප්‍රගතිය ගැන සාකච්ඡා කිරීමටය. මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් ක්‍රියාත්මක කරන පරීක්ෂණවල ප්‍රගතිය ගැන වාර්තාවක් සාගල රත්නායක ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළේය. ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන කටයුතු තුන්සිය හැත්තෑවක් ක්‍රියාත්මක කර ඇති බවත් එයින් හැත්තෑ තුනක් වෙනත් ආයතනවලට වැඩිදුර විමර්ශනයට යොමු කර ඇති බවත් සාගල කීවේය. 
“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයින් දහ හතර දෙනෙකු සම්බන්ධයෙන් හා දේපළ විසි හතරක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. ඇතැම් පරීක්ෂණ ප්‍රමාදවී තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ වරද නිසා ‍නෙවෙයි. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිඟයක් තිබෙනවා. පළපුරුදු නිලධාරීන් අඩුයි. ඒ වගේම අපිට විශ්වාස කරන්න පුළුවන් නිලධාරීන් කිහිපදෙනයි එතැන ඉන්නේ. ලසන්ත වික්‍රමතුංග සහ ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් අදියරට ඇවිත් තිබෙන නමුත් තීරණාත්මක සාක්ෂි රජයේ සමහර ආයතනවල හිරවෙලා තිබෙනවා” සාගල කීවේය.
“ඒක ඇත්ත. අපි හැමදේම ජනතාවට කියන්න ඕන. අපි මාධ්‍යයට ඇවිත් මේ ගැන කියමු” අජිත් පී. පෙරේරා යෝජනා කළේය.
“නීතිපති දෙපාර්තමේන්තුව ගැන මේ වෙලාවේ ප්‍රසිද්ධියේ කතා කළොත් ඒක ඒ අයට හොඳ නෑ” නීතිපති දෙපාර්තමේන්තුව භාරව සිටින තලතා අතුකෝරළ ඇමැතිවරිය කීවාය.
“මේක කිව්වොත් නරකට හිටින්නේ නීතිපති දෙපාර්තමේන්තුවට විතරයි. හැබැයි මේවා කිව්වේ නැතොත් හැමෝටම නරකයි”අජිත් පී. පෙරේරා කීවේය.
මේ අතර දූෂණ වංචා සම්බන්ධ ප්‍රගතිය ගැන සොයා බලා කෘත්‍යාධිකාරී මණ්ඩලයට මාසිකව වාර්තා ඉදිරිපත් කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් විය. ඒ අනුව සාගල රත්නායක, තලතා අතුකෝරළ, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ සහ නිශ්ශංක නානායක්කාර එම කමිටුවට පත් කිරීමට තීරණය විය.
 
කැබිනට් මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ අඟහරුවාදා උදෑසනය. අයවැය ගැන කැබිනට් ඇමැතිවරුන්ගේ වැඩි අවධානයක් යොමුවී තිබුණේය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ වැඩි ප්‍රසාදයකට ලක් නොවූ යෝජනාද මේ අතර විය.
විදේශීය නැව් සමාගම්වලට වැඩි අවස්ථාවන් ලබාදීමට අයවැය මගින් කළ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ගේ විරෝධයට හේතුවී තිබුණි.
“විදේශීය නැව් සමාගම්වලට ලංකාවේ කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම හොඳයි. ඒත් ලංකාවේ නැව් සමාගම්වලට අසාධාරණයක් නොවන ආකාරයට තමයි මේවා කරන්න ඕන” මහින්ද සමරසිංහ ඇමැතිවරයාට කැබිනට් මණ්ඩලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ගේ විරෝධය පළ කළේය.
“අපි මේ යෝජනාව ගෙනාවේ නාවික වෙළෙඳාම ශක්තිමත් කරන්නයි. ඒ හරහා ලංකාවට ආයෝජන අරගෙන එන්න පුළුවන්” මංගල සමරවීර ඇමැතිවරයා එම යෝජනාව සාධාරණීකරණය කිරීමට උත්සාහ ගත්තේය.
“මේ යෝජනාව තිබෙන විදියටම ක්‍රියාත්මක කළොත් දේශීය නැව් සමාගම් අර්බුදයකට යනවා. ඒ ගැන රජයක් විදියට අපේ අවධානය යොමු කරන්න ඕන” මහින්ද සමරසිංහ කීවේය.
“දේශීය සමාගම් රැකගැනීමට යම් වැඩපිළිවෙලක් අවශ්‍යයි. දේශීය ව්‍යාපාරිකයින් අපිට ගෙදර යවන්න බැහැ. අපි මේ යෝජනාව ගෙනැත් තියෙන්නේ ඒ අය ගෙදර යවන්න නමෛයි” මංගල කීවේය.
“මේ ගැන මගෙනුත් අහලා කටයුතු කළානම් තමයි වඩාත් හොඳ. අපි ජනාධිපතිතුමා එක්ක මේ ගැන කතා කරනවා. නැව් ඒජන්තවරුන් කණ්ඩායමක් ඇවිත් අපි හමුවුණා. මුදල් ඇමැතිවරයා හමුවීමටත් ඒ අය බලා‍පොරොත්තුවෙන් ඉන්නවා” මහින්ද සමරසිංහ කියන විට අගමැති රනිල් වික්‍රමසිංහ දෙදෙනා අතර සිදුවූ වචන හුවමාරුවට මැදිහත් විය.
“මේ යෝජනාව හරහා ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කරගැනීමට අපි බලා‍පොරොත්තු වෙනවා” රනිල් කීවේ දෙදෙනා අතර ගැටුම සමතයකට පත් කරමිනි.
මේ අතර පෙට්‍රල් අර්බුදය ගැන කතාවක් ඇදී ආවේ අර්ජුන රණතුංග ඇමැතිවරයා ඒ ගැන අදහස් දැක්වීම නිසාය
“පෙට්‍රල් ප්‍රශ්නය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් කරන්න ඕන” අර්ජුන මෛත්‍රීගෙන් ඉල්ලුවේය. එහෙත් චන්දිම වීරක්කොඩි ඇමැතිවරයා එයට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත.
“කාටවත් බොරුවට වැරදි පටවන්න ඕන නැහැ. දැන් තිබෙන අසත්‍ය ප්‍රචාර නිවැරදි කරන්න ඕන. මම මේ කාටවත් වැරදි පටවන්න හදනවා නමෛයි”අර්ජන කීවේය.
“අයි.ඕ.සී. එකට ගෙනාපු බාල තෙල් නැව නිදහස් කරන්න කියලා ඇමැතිවරු කීප දෙනෙක් බලපෑම් කළා කියලා ඔබතුමා කියලා තියෙනවා. එහෙම බලපෑම් කළ අය හෙළි කරන්න ඕන” ඇමැතිවරු පැවැසූහ.
“එහෙම බලපෑම් කළේ කවුද කියලා ප්‍රසිද්ධියේ කියන්න” දයාසිරි අර්ජුනට කීවේ තරමක් දැඩි ස්වරයෙනි.
“අපිත් ඔය අමාත්‍යාංශයේ හිටියා. මෙහෙම බලපෑම් කරන්න කවුද කියලා හෙළි කරන්න” සුසිල් ද කීවේ තරමක ආවේගයෙන් යුතුවය.
“ඒක ඇත්ත. ඇමැතිවරු කිය කිය යන්නේ නැතිව ඔය නම් හෙළි කරන්න. නැතිනම් ජනතාව අපි ගැනත් සැක හිතාවි” චන්දිමත් උස් හඩින් කතා කිරීමත් සමග කැබිනට්ටුව ගාලගෝට්ටියක් බවට පත්විය.
“මම මාධ්‍යයට ඒ වගේ කතාවක් කිව්වේ නෑ. මාධ්‍ය ඒක හදලා දාලා. මම ඒ ආයතනවලට විරුද්ධව කටයුතු කරනවා” අර්ජුන කීවේ ඇමැතිවරු කණ්ඩායමකින් එල්ල වූ බලපෑමෙන් මිදීමට මෙනි.
 
අය වැයට එකඟවුණ හැටි 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු පසුගිය සතියේදී මහින්ද අමරවීර ඇමැතිවරයාගේ නිවසට එක්වූහ. පියසේන ගමගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුම්රුම් දීමෙන් පසුව මෙම හමුවට පැමිණ සිටි අතර බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබුණේ පියසේන ගමගේගේ මන්ත්‍රී ධුරය ගැනය. අමරවීරගේ නිවසේ ඇමැතිවරු රැස්වී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටද ආරංචි වී තිබුණි.
කාටත් නොදන්වා මෛත්‍රී මහ රෑ අමරවීරගේ නිවසට පැමිණියේය. ඒ මැති ඇමැතිවරු හමුවීමටය.
“සර් අයවැය දෙවැනි වර කියවීමේදී අපේ මන්ත්‍රීවරු ඡන්දය දෙන්නේ කොහොමද, අපිට එකඟ වෙන්න බැරි කරුණු ගැන හොයලා බලලා ඕන මේ ගැන තීරණයක් ගන්න”ඇමැතිවරු පැවැසූහ.
“එක්සත් ජාතික පක්ෂය සමග මේ ගැන කතා කරමු. කතා කරලා වෙනස් කරගත යුතු යෝජනා වෙනස් කරගෙන ඡන්දය ප්‍රකාශ කරන්න” මෛත්‍රී පැවසුවේය.
මේ අතර මාධ්‍ය ගැනත් මෛත්‍රීගේ අවධානය යොමුවිය. අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කරන වැඩසටහනක් ගැන කතා කරන්න විය.
“අර ඉතාලියේ ඉඳන් එක්කෙනෙක් ඉන්ටර්නෙට් එකේ ‍ප්‍රෝග්‍රෑම් එකක් කරනවානේ. ඒකේ සමහර දේවල් ඇත්ත. සමහර දේවල් නම් ඉතිං බොරු”මෛත්‍රී කීවේ අන්තර්ජාල වබේ අඩවි ගැනත් සිහිපත් කරමිනි.
ඒ අනුව මෛත්‍රී පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ සහ මලික් සමරවික්‍රම හමුවී අය වැය යෝජනාවලට එක්විය යුතු සංශෝධන ගැන කතා කරන්න විය. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද පාර්ලිමේන්තුවේදී රැස්විය. මෛත්‍රී එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමග සාකච්ඡා කරමින් සිටින අතරවාරයේදී එම සාකච්ඡාව මඳකට නතර කර කණ්ඩායම් රැස්වීමට එක්විය. එය අවසන් කර නැවත එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම සමග සාකච්ඡා කරමින් අවශ්‍ය සංශෝධන එක් කරගත්තේය.
 
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුව පසුගිය සිකුරාදා පැවැත්වුණේ මහින්ද රාජපක්ෂගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. අනුරාධපුරයේ සංවිධානය කර තිබුණ රැස්වීම ගැන එහිදී වැඩි වශයෙන් කතාබහට ලක්වූ අතර පළාත් පාලන මැතිවරණය ගැනත් අවධානය යොමුවිය. ඒ ගැන කතාබහ කරමින් සිටින අතරවාරයේදී මහින්ද නිවසේ සිටි අකෙුට පණිවුඩයක් දුන්නේය.
“කෝ අර කේක් එක අරගෙන එන්න” මහින්ද කීවේය. කේක් ගෙඩියක් කාටදැයි නොදැන එතැනට පැමිණ සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මුහුණට මුහුණ බලාගත්හ. 
“අපේ මේ බර්ත්ඩේ ගර්ල්ට සුබපතලා අපි මේක කපමු” කේක් ගෙඩිය ගෙනවිත් තිබෙන්නේ තමන්ගේ උපන්දිනය නිමිත්තෙන් බව පවිත්‍රා දැනගත්තේ මහින්ද එසේ කියද්දීය. පවිත්‍රා කේක් ගෙඩිය කැපුවේ කාගේත් සුබපැතුම් මැදය.
“දැන් පවිත්‍රා වයස කීයද? විස්සද තිහද?” මහින්ද ඇසුවේ පවිත්‍රා කේක් කපන විටය.
“සර් ඕන නැති ප්‍රශ්නනේ අහන්නේ. දන්නේ නැද්ද ගෑනු  අයගෙන් වයස අහන්න හොද නැහැ කියලා”පවිත්‍රා කීවේ සිනාසෙමින්ය.
“මගේ දිස්ත්‍රික්කයේ ඉන්න ‍‍‍ජ්‍යෙෂ්ඨයාට තමයි මම මුලින්ම කේක් කවන්නේ”පවිත්‍රා පළමු කේක් කැබැල්ල කැව්වේ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයාටය. ඉන් පසුව ඇය කේක් කැව්වේ රංජිත් සොයිසා මන්ත්‍රීවරයාටය. 
“කෝ මහින්ද මහත්තයාට කේක්” පවිත්‍රා මහින්දට කේක් කවන බවක් නොදුටු මන්ත්‍රීවරු ඇසූහ.
“මගේ හිතේ තියෙන ගෞරවයේ හැටියට මට සර්ට කේක් කවන්න බැහැ”පවිත්‍රා කීවාය.
පවිත්‍රාගේ උපන්දින සාදය මැද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් මහින්දගෙන් ඇසුවේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කරන ආකාරය ගැනය. 
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපිට යෝජනා කීපයක්ම ඇවිත් තියෙනවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී තරග කරන ආකාරය ගැන මට විවිධ යෝජනා එනවා. ඒ වුණත් අපි තීන්දුවක් ගන්න ඕන ගියපාර වෙච්ච දේවල් ගැනත් හිතලයි. පසුගිය මැතිවරණයේදී අපි නිහතමානීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඡන්දය ඉල්ලුවා. ඒකෙන් වෙච්ච දේ තමුන්නාන්සේලා දන්නවා. අපි මේපාර තීන්දුවක් ගන්න ඕන අපේ මන්ත්‍රී කණ්ඩායම රැස්කරවලා කියලයි මම හිතන්නේ” මහින්ද කියන විට පක්ෂ නායකයන් කිසිවෙක් එයට විරුද්ධ වූයේ නැත.
 
පවිත්‍රාගේ වයස 
 
ඒකාබද්ධ විපක්ෂයේ අනුරාධපුර රැස්වීමට සහභාගීවීමට මහින්ද කල් ඇතිවම අනුරාධපුරයට පැමිණ සිටියේය. සෙනසුරාදා දිනයේදී අනුරාධපුරයට පැමිණි ඔහු දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරු පළාත් පාලන ආයතනවල හිටපු නියෝජිතයින් හමුවී සාකච්ඡා කළේය. ඉරිදා උදෑසනම ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදාගත් ඔහු රුවන්වැලි සෑය වැඳපුදා ගත්තේය. විහාරස්ථාන වැඳ පුදාගත් මහින්ද සවස සල්ගාදු පිටියේ පැවැති රැලියට එක්විය. රැස්වීමේදී කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන කතාව හිටපු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහට දෙන්නැයි ඉල්ලා තිබුණේ පවිත්‍රාය. එහෙත් රැස්වීම ආරම්භ වන විටත් ගීතා එහි පැමිණ සිටියේ නැත.
“ඔයා කොහේද ඉන්නේ” රැස්වීමේ සංවිධාන කටයුතු භාරව සිටි රෝහිත අබේගුණවර්ධන පවිත්‍රාගෙන් ඇසුවේය.
“මම මේ මග එන ගමන් ඉන්නේ” පවිත්‍රා උත්තර දුන්නාය.
“එහෙනම් ඉක්මනට එන්න. ගීතා ඇවිත් නැහැ. දැන් කතාවට වෙලාව හරි”රෝහිත කීවේය. වහාම එහි පැමිණි පවිත්‍රා සභාව ඇමතුවාය. ඒ අතරවාරයේ ගීතාද සභාවට පැමිණියාය. ගීතාට කතාවක් දෙන බවට කලින් ‍පොරොන්දු වී තිබූ නිසා ගීතාටත් කතාවක් නොදී සිටිය නොහැකි විය. ඒ අනුව ගීතාටද කතාවක් ලබාදීමට සංවිධායකයන්ට සිදුවිය.
 
 චමල්ගේ ප්‍රතිචාරය 
 
මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පැමිණිලි තුනක් පසුගිය සතියේදී සාකච්ඡා කළේ පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකය. මේ රැස්වීමට සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා සහභාගී වී සිටි අතර ඔහු එතැනින් එළියට එන විට දුමින්ද දිසානායක ඇමැතිවරයා තවත් පිරිසක් සමග කමිටු කාමරයක සාකච්ඡා කරමින් සිටියේය. අනෙක් පස කමිටු කාමරයේ සිටියේ මහින්ද රාජපක්ෂය. ඒ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම සමග සාකච්ඡාවකට සහභාගී වෙමින්ය. 
එතැනින් සුසිල් ගමන් කරනු දුටු මහින්ද කීවේ සුසිල් කණ්ඩායම් රැස්වීමට කැදවාගෙන එන ලෙසය. ඒ අනුව ප්‍රියංකර ජයරත්න නැගි ගියේය.
“සුසිල් ඇමැතිතුමාට මහින්ද මහත්තයා කතා කරනවා” ප්‍රියංකර කීවේය.
“ඒ මොකටද”සුසිල් එක්වරම ඇසුවේය.
“මම දන්නේ නෑ. මොකක් හරි පණිවුඩයක් දෙන්න තමයි කතා කරන්නේ”ප්‍රියංකර උත්තර දුන්නේය. ඒ අනුව සුසිල් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන කාමරයට ගියේය.
“සුසිල් අපිට විවිධ යෝජනා එනවා. ඒත් මේ මන්ත්‍රීවරු නම් ඒවට වැඩි කැමැත්තක් නෑ” මහින්ද කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට පැමිණ ඇති යෝජනා ගැනය.
“‍පොදුජන එක්සත් පෙරමුණ නැවත ක්‍රියාකාරී තත්ත්වයට ගෙනවිත් තරග කරන්න පුළුවන්. නැතිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඒකාබද්ධ විපක්ෂයටත් තමන්ට වාසිසහගත කොට්ඨාස බෙදාගෙන තරග කරන්න පුළුවන්. නැතිනම් සියලුදෙනාම එකට එකතුවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කරන්න පුළුවන්” සුසිල් විකල්ප කිහිපයක් යෝජනා කළේය.
“මම නම් ඔය යෝජනාවලට පෞද්ගලිකව විරුද්ධයි. අපි පක්ෂයට කොන්දේසි හතක් ඉදිරිපත් කළා. ඒ ගැන කතාවක්වත් නෑ. අපි කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන කියලයි. එහෙම නැතිව අපි එකතු වුණොත් ගම්වල අපිට ලැබෙන්න තියෙන ඡන්ද ටික නැතිවේවි” ප්‍රසන්න සුසිල්ගේ යෝජනාවට සිය අකමැත්ත පළ කළේය.
“අපි කියන දේ අහන්නේ නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට එකතුවුණා. දැන් තියෙන තත්ත්වය අනුව අපි එකතුවෙන්න ගියොත් ගම්වල මිනිස්සු අපිට ගල් ගහවි”සනත් නිශාන්ත ද පැවැසුවේය. 
“මොකක්ද මේ එකතුවෙන කතාව“ චමල් එතැනට ආවේ එසේ අසමිනි.
“මෙච්චර දෙයක් කළාට පස්සේ අපි එකතුවෙන්නේ කොහොමද. එහෙම නම් අපිට මුලින්ම එකතු වෙන්න තිබුණානේ” චමල් කියාගෙන ගියේය.
“සුසිල් ඔයාගේ යෝජනා අපිට ලිඛිතව එවන්න. ඊට පස්සේ අපි ඒ ගැන සාකච්ඡා කරන්නම්” මහින්ද කීවේය.
එතැනින් එළියට පැමිණි සුසිල් ගියේ නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා හමුවීමටය. නිමල් හමුවී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කී කතා සියල්ලම ඔහු කීවේය.
මේ අතර ශාන් විජයලාල් ද සිල්වා මහ ඇමැතිවරයා පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සූදානම් බව කියමින් අම්බලන්ගොඩ ආසනයේ සතියක් තිස්සේ රැස්වීම් සංවිධානය කර තිබේ. “ඔව් අපි ඡන්දෙට සූදානම්” තේමාව ඇතිව ඔහු මේ රැස්වීම් සංවිධානය කර ඇත.
 
 බැසිල් - විමල් ගැටුමක් 
 
මේ දිනවල ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා සකස් කරයි. පසුගිය සතියේදී පළාත් පාලන ආයතන දහඅටකට තරග කරන නියෝජිතයින් සම්මුඛ පරීක්ෂණවලට ලක් කර අපේක්ෂක ලැයිස්තු සකස් කිරීමේ වගකීම පැවැරී ඇත්තේ බැසිල් රාජපක්ෂටය. 
“ලංකාව පුරා පළාත් පාලන ආයතනවලට අපේ නියෝජිතයින් ඉදිරිපත් කරනවා. ජාතික නිදහස් පෙරමුණෙන් අපේක්ෂකයින් හාරසියයක් ඉදිරිපත් කරනවා. ඔවුන්ට අපේක්ෂකත්වය ලබාදෙන්න” විමල් බැසිල්ගෙන් ඉල්ලා සිටියේය.
“ජාතික නිදහස් පෙරමුණට ඒ වගේ විශාල නියෝජිත සංඛ්‍යාවක් ලබාදෙන්න බැහැ. ජාතික නිදහස් පෙරමුණෙන් දෙසීයක නියෝජිත කණ්ඩායමක් ඇතුළත් කරන්නම්” බැසිල් කීවේය.
එහෙත් බැසිල්ගේ යෝජනාවට විමල් කැමැත්තක් දැක්වූයේ නැත. ඔහු සටන් කරන්නට වූයේ සිය පක්ෂයෙන් ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයින් ඇතුළත් කරගැනීමටය.
“ජාතික නිදහස් පෙරමුණට ඒ වගේ ජන පදනමක් තිබෙනවා නම් තනිවම තරග කරන්න” බැසිල්ගේ අදහස වී තිබුණේ එවැන්නකි.
කෙසේ වෙතත් මේ දිනවල පැවැත්වෙන නාම යෝජනා සකස් කිරීමේ කමිටුවලට ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් පැමිණේ. ජාතික මට්ටමින් නාම යෝජනා සකස් කිරීම් සම්පූර්ණ කිරීමට නොහැකි නිසා දිස්ත්‍රික් මට්ටමින් නැවත වරක් සමාලෝචනය කිරීමට තීරණය කර තිබේ.
“දිස්ත්‍රික් මට්ටමින් අවසන් නාමයෝජනා ලැයිස්තු සකස් කරන විට මේ ගැටලු විසඳාගන්න පුළුවන්” ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ නායකයින් හා විමල් වීරවංශ ඇතුළු පිරිස අතර ජී.එල්.පීරිස් හිටපු ඇමැතිවරයාගේ නිවසේදී පැවැති සාකච්ඡාවලදී තීරණය වී තිබේ.
 
මහින්දට හමුවූ ඇමැති 
 
චීන - ශ්‍රී ලංකා සූපවේද සංගමයේ උත්සවයක් පසුගිය සතියේදී පැවැත්වුණේ කොළඹ හෝටලයකදීය. පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ට ආරාධනා ලැබ තිබූ මේ උත්සවයට මහින්ද, විජයදාස රාජපක්ෂ, සංචාරක ඇමැති ජෝන් අමරතුංග එක්ව සිටිය. ඔවුන්ට වෙන් කර තිබුණේද එකම මේසයකි. මහින්ද පැමිණ ටික වේලාවක් ජෝන් අමරතුංග සමග කතා කරමින් සිටියේය. පසුව ඔහු විජයදාස සමග කතාවට වැටුණේය. බොහෝ වේලාවක් විජයදාස සමග කතා කරමින් සිටින විට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාද එතැනට පැමිණියේය. ඔවුන් තිදෙනා කතා කරමින් සිටින විට ඒ මේසයේ සිටි ජෝන් වෙනත් අයෙක් සමග කතා කරමින් සිටියේය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1853

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3279

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9049

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4693

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4855

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6585

Please publish modules in offcanvas position.