Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඒකාබද්ධය ජනපතිට පිටුපායි

මේ සතියේත් සුපුරුදු පරිදි අඟහරුවාදා දිනයේදී ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්ය. පසුගිය වසරේදී ඉදිරිපත් කළ අයවැය ‍ලේඛනය අනුව තවමත් අමාත්‍යාංශවලට මුදල් වෙන් නොවීම ගැන පාඨලී චම්පික රණවක ඇමැතිවරයා අදහස් දක්වන්න විය.
“මගේ අමාත්‍යාංශයේ ව්‍යාපෘති කිහිපයකටම නිසි ආකාරයෙන් මුදල් වෙන් කරලා නැහැ. මේක බරපතළ ගැටලුවක්. මුදල් වෙන් කරන්නේ නැතිව මේ ව්‍යාපෘති ඉදිරියට අරගෙන යන්න බැහැ. අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද” පාඨලී ඇසුවේය.
“කොළඹ කුණු ප්‍රශ්නයෙන් ආණ්ඩුව බේරාගත්තේ චම්පික ඇමැතිතුමායි. ඒ නිසා අපි මේ ව්‍යාපෘතිවලට ලබාදිය යුතු මුදල් දෙන්න ඕන” මෛත්‍රී ප්‍රශ්නයට මැදිහත් විය. මේ අතර කුණු ප්‍රශ්නය ගැන කැබිනට් මණ්ඩලයේ දිගින් දිගටම සාකච්ඡා විය.
“කුණු ප්‍රශ්නය කියන්නේ අපිට තිබෙන ලොකු ප්‍රශ්නයක්. ඒ බව අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා කසළ කළමනාකරණ ව්‍යාපෘති නිසි පරිදි ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහය අපි ලබාගන්න ඕන”මෛත්‍රී කසළ ප්‍රශ්නය විසඳීමේ වැදගත්කම පැහැදිලි කළේය.
මෛත්‍රී කීවේ චම්පිකගේ කසළ කළමනාකරණ වැඩසටහන් සඳහා අවශ්‍ය මුදල් දෙන ලෙස මුදල් අමාත්‍යාංශයට දැනුම් දෙන බවය. 
 
ජනාධිපතිවරුන්ට මැදිවූ මහ ඇමැති 
 
පසුගියදා මෛත්‍රීගේ නිල නිවසේදී කසළ කළමනාකරණය ගැන සාකච්ඡාවක් පැවැත්විණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙන්ම බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රියද සාකච්ඡාවට පැමිණ සිටියහ. ඉසුරට සාකච්ඡාවට එන්නැයි දැනුම් දෙන විට ඔහු ශාරීරික ව්‍යායාම් කිරීම සඳහා පිටත්ව ගොස් සිටියේය. එහෙත් එක්වරම ජනාධිපතිවරයාගෙන් කැඳවීමක් ලැබුණ නිසා ව්‍යායාම් කිරීම් පසෙක තබා ඔහු ජනාධිපති නිල නිවසට පිටත්ව ගියේය.
ඉසුර ජනාධිපති නිල නිවසට එන විට හිටපු ජනාධිපතිනියද එහි පැමිණ සිටියාය. ඉසුර චන්ද්‍රිකා සමග වැඩි ඇයි හොඳයියක නැත්තේ කුණු ප්‍රශ්නයක් නිසාමය. ඇය වාඩි වී සිටි පුටු සෙටියේම ඉසුර වාඩි විය. ටික වෙලාවකින් මෛත්‍රී එහි පැමිණි අතර ඉසුර අසුනින් නැගිටීමට සූදානම් විය.
“නෑ.. නෑ.. උඹ ඔහොම ඉඳපං” කී මෛත්‍රී ඉසුර අසලින්ම වාඩිවිය. 
“උඹ ජොගිං ගියා කිව්වට ජොගිං ගියපු පාටක් නම් පේන්න නෑ. මේ දැන් ජනාධිපතිවරු දෙන්නෙක් මැදට වෙලා ඉන්න විදිය දැක්කම කවදාහරි ජනාධිපති කෙනෙක් වේවිද කියලා කියන්නත් බෑ” මෛත්‍රී කීවේ සිනාසෙමින්ය. 
“ඊළඟ ජනාධිපති වෙනවානම් හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්න ඕනනේ. ඒ නිසා මම ජොගිං ගියා සර්” ඉසුර විහිළුවෙන්ම උත්තර දුන්නේය.
මේ අතර ඉසුර තමන්ගේ ජංගම දුරකථනය අතට ගෙන ජනාධිතිවරු දෙදෙනා මැදිව සිටින සෙල්ෆියක් ගත්තේය.
“මහ ඇමැති වුණාට ‍පොඩි අය කරන වැඩත් කරනවානේ” සෙල්ෆි ගනු දුටු මෛත්‍රී කීවේය.
“මම මේ ජනාධිපතිවරු දෙන්නෙක් මැදනේ ඉන්නේ. ඒක නිසා තමයි මේ සෙල්ෆි ගන්නේ” ඉසුර කීවේය.
 
මෛත්‍රී පසුගිය සතියේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට හා ගෝනාපීනුවල සාරාලංකාර විදුහලට පැමිණියේ ගොඩනැගිලි විවෘත කිරීමටය. මේ පාසල්වලට එන්නැයි ආරාධනා කර තිබුණේ දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වාය. අයහපත් කාලගුණ තත්ත්වය නිසා මෛත්‍රී මේ උත්සවයට සහභාගි නොවනු ඇතැයි කතාවක්ද පැතිර ගොස් තිබුණි.
උත්සවයට පෙර දින මෛත්‍රී ශාන්ට ඇමතුමක් දුන්නේය.
“සර් උත්සවයට එනවා නේද” ශාන් ඇසුවේය.
“ඔව්. මම උත්සව දෙකටම එනවා. හැබැයි ටිකක් වේලාසනින් එන්නේ. මට හවස පහට කොළඹ ඉන්න ඕන. ලෝක බෞද්ධ සමුළුවට පැමිණි නියෝජිත පිරිසක් මම හමුවෙන්න එනවා. ඒ නිසා ඔවුන් හමුවෙන්න තිබෙනවා” මෛත්‍රී කීවේය.
මෛත්‍රී අම්බලන්ගොඩ හල්වතුර ක්‍රීඩාංගණයට හෙලිකොප්ටරයකින් පැමිණ ධර්මාශෝක විද්‍යාලයට පැමිණියේ ශාන් සමග එක වාහනයෙනි. මෛත්‍රී ධර්මාශෝක විද්‍යාලයට එන විට ඔහු පිළිගැනීමට දේශපාලන අධිකාරිය සමග ධර්මාශෝකයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියද පැමිණ සිටියේය.
ජනාධිපතිවරයා සිය කතාවේදී අධ්‍යාපනය ගැන කතා කළා මිස දේශපාලනය ගැන කිසිවක් කතා කළේ නැත. උත්සවයෙන් පසුව තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබූ අතර මෛත්‍රී එතැනට ගියේ මහින්ද දේශප්‍රියද සමගය.
“මේ ඉන්නේ සර් මගේ ඉස්කෝ‍ලේ කමෛස්ටී්‍ර සර්” ශාන් මහින්ද දේශප්‍රිය හඳුන්වා දුන්නේය.
“ආ.. ඇත්තද” මෛත්‍රී ඇසුවේය.
“හැබැයි මහින්ද සර් උගන්නපු දෙයක් නම් නෑ. අපේ පන්තියේ ඉඳපු ගෑනු යාළුවෙක් ගැන විස්තර අහන එක තමයි කළේ. ඒ ළමයාගේ විස්තර අහගන්න අපි කඩේ යැව්වා විතරයි” ශාන් කීවේය
“ඒකත් එහෙමද” මෛත්‍රී කීවේ උස් හඩින් සිනාසෙමිනි.
“අපි ඉගැන්නුවේ නැතිනම් ශාන් මේ වගේ තැනකට එන්නේ කොහොමද” මහින්ද දේශප්‍රිය ඇසුවේ පැරණි කතා සිහිපත් කරමින්ය.
එතැන් සිට මෛත්‍රී සාරාලංකාර විද්‍යාලයට පැමිණියේය. එතැන ටික වේලාවක් සිට කතාවක්ද නොකර පිටත්ව යාම මෛත්‍රීගේ අදහස විය. එහෙත් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා මෛත්‍රී අසලට ආවේය. මෛත්‍රීගේ කනට කර යමක් කීවේය.
ඒ අනුව මෛත්‍රී නැවත වේදිකාවට පැමිණ මයික්‍ර‍පෝනය අසලට ගියේය.
“මම මේ පින්වන්ත භූමියේ කතා නොකර ගියොත් හරි නෑ. මට එන දුරකථන ඇමතුම් ආරක්ෂක අංශය ලියාගෙන මට දෙනවා. ඊයේ හවස මට දුරකථන ඇමතුම් දෙකක් ලැබිලා තිබුණා. ඒ මේ විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාගෙන්. මම නිදාගන්න කලින් මේ ළමයට කතා කළා. ඔය කතා කරන්නේ ජනාධිපතිතුමා නේද කියලා ඒ ළමයා ඇහුවා. මමත් ඔව් කියලා කිව්වා. මම අඳුනාගත්ත එක හොඳයි, කිව්වම ජනාධිපතිතුමා හෙට එනවා නේද කියලා ඒ ළමයත් ඇහුවා. මම ඔව් කියලා කිව්වා. ඒ වෙලාවේදී ජනාධිපති ආරක්ෂක ඒකකය මම ඉස්කෝ‍ලේ පිටිපස්ස පැත්තෙන් අරගෙන එන්න හදනවා, ඒත් ඉස්සරහ පැත්තෙන් එන්න කියලා ළමයා කිව්වා. මේ ඉස්කෝ‍ලේ හරිම ලස්සනයි, ඒ නිසා ඉස්සරහ පැත්තෙන් එන්න කියලා තමයි ළමයා මට කිව්වේ” කියමින් මෛත්‍රී වේදිකාවෙන් බැස ගියේය.
වේදිකාවෙන් බැස යන මෛත්‍රී අසලට එම ළමයා නැවත පැමිණියේය.
“සර් අපේ ඉස්කෝ‍ලේ ලස්සනට කරපු වගාවක් තිබෙනවා. ඒකත් බලන්න යමු” ප්‍රධාන ශිෂ්‍ය නායකයා කීවේය.
ඒ අනුව මෛත්‍රී මීටර හාරසියයක් පමණ පයින්ම ගොසින් වගාව බැලුවේය.
“මේක හරිම ලස්සනයිනේ” මෛත්‍රී කීවේ වගාවේ තැනින් තැනට යමිනි.
මේ අතරේ හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන පෙරේදාට (03) වසරක් සපිරුණි. ඒ නිමිත්තෙන් එදින පෙරවරුවේ මහරගම පිහිටි අමරදේවයන්ගේ නිවසට ගිය ජනාධිපතිවරයා විමලා අමරදේව හමුවී සුහද කතාබහක නිරත විය.
අමරදේව මහතාගේ පුත් රන්ජන අමරදේවද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
 
මැකෝට ගෝලයකු හමුවෙයි 
 
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට දුමින්ද දිසානායක මහ ‍ලේකම්වරයාගේ අත්සනින් යුතුව පසුගිය සතියේදී ලිපියක් ලැබුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා දහවල් දොළහට පැවැත්වෙන රැස්වීමට සහභාගි වන ලෙස දැනුම් දෙමිනි. මේ ලිපිය යවා තිබුණේ ලියාපදිංචි තැපෑලෙනි. මෙම ලිපිය ලැබුණ වහාම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසට පැමිණියේ මේ ගැන කතා බස් කිරීමටය. 
“අපි රෑ වැටුණ වළේ දවල් වැටෙන්න ඕන නෑ” මේ ආරාධනය ගැන එතරම් සතුටින් නොසිටි ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කීවේය.
“අපි කලබල වෙන්න හොඳ නැහැ. අපි මේකට ප්‍රතිචාර දක්වන විට පරිස්සමින් ඒක කරන්න ඕන. එහෙම නොවුණොත් අපේ අයට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඉස්සෙල්ලාම මේකේ නීතිමය තත්ත්වය හොයලා බලන්න ඕන” සියලුදෙනාගේම කතාවලට ඇහුම්කන් දුන් මහින්ද කීවේය. මහින්ද කීවේ තමන්ගේ ඉන්දීය සංචාරයෙන් පසුව මේ ගැන අවසන් තීරණයක් ගන්නා බවය.
මහින්ද ඉන්දියාවේ සිටින අතරවාරයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් නීති උපදෙස් ගත්තේ සාකච්ඡාවට සහභාගි වනවාද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීමටය. නීතිඥවරුන්ගේ උපදෙස වී තිබුණේ සාකච්ඡාවට සහභාගි විය යුතු නැති බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි කිරීමට කාලයක් ගතවන නිසා මන්ත්‍රීවරු බිය නොවිය යුතු බවද නීතිඥවරුන්ගේ උපදෙස වී තිබුණි.
ඒ අනුව පසුගිය බදාදා යළිත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මහින්දගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූයේ මේ ගැන අවසන් තීරණයක් ගැනීමටය. 
සාකච්ඡාව අවසන් වූයේ පක්ෂයෙන් කැඳවා ඇති සාකච්ඡාවට සහභාගි නොවීමට තීරණයක් ගනිමිනි. ඒ අනුව තමන්ගේ තීරණය පක්ෂය වෙත ලිඛිතව දැනුම් දීමටය. කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන ඇතුළු මන්ත්‍රී කණ්ඩායමකට ලිපිය සකස් කිරීමේ වගකීම පැවැරිණි. ලිපියට අත්සන් ගැනීමේ වගකීම පැවැරුණේ ප්‍රසන්නටය. ඒ අනුව බදාදා රාත්‍රිය වනතුරුම පක්ෂයට යවන ලිපිය සකස් කෙරිණි. ඒ ලිපියට මුලින්ම අත්සන් තැබුවේ මහින්දය. අනතුරුව අනෙක් මන්ත්‍රීවරු එයට අත්සන් තැබූ අතර ප්‍රසන්න රාත්‍රිය පුරාම මන්ත්‍රීවරු හමුවෙමින් අත්සන් ගත්තේය. මේ වන විට විදෙස්ගතව සිටින ඩලස් අලහප්පෙරුම හා ගාමිණී ලොකුගේට ලිපියට අත්සන් තැබිමට හැකිවූයේ නැත. ඒ වන විට කොළඹින් බැහැරව සිටි ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාටද ලිපියට අත්සන් කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ අනුව බ්‍රහස්පතින්දා ලිපිය ලියාපදිංචි තැපෑලෙන් යැවීමටත්, අතින් දීමටත් කටයුතු කළේය.
 
රන්ජන්ට කැපිල්ලක් 
 
බ්‍රහස්පතින්දා උදෑසනම අගමැති රනිල් අරලියගහ මන්දිරයට පැමිණියේ හත්වන ලෝක බෞද්ධ සමුළුව අරලියගහ මන්දිරයේදී ආරම්භ කළ නිසාය. මෛත්‍රීද එයට එක්වූ අතර රටවල් හතළිස් හතක හිමිවරු හා බෞද්ධ නියෝජිතයෝ දෙදහසක් එයට එක්වූහ. එහි සංවිධාන කටයුතු බොහෝමයක් නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලගේ කර මතට පැටවී තිබුණි. රනිල් එහිදී බෞද්ධ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීය
ගිය සතියේ එජාපය ගිනිගත්තේ නව සංවිධායකවරු රැසක් පත්කිරීමත් සමගය. ඒ අතරේ රන්ජන් රාමනායක දැරූ දිවුලපිටිය සංවිධායක ධුරයත් ඔහුට අහිමි විය.
“අගමැතිතුමා ඒක නමෛයි මට ප්‍රශ්නයක් තිබෙනවා” රන්ජන් ඒ ගැන රනිල්ගෙන් ඇහුවේය.
“මොකක්ද”රනිල් ඇසුවේය.
“දැන් මගේ සංවිධායක ධුරය අයින් කළේ ඇයි කියලා මිනිස්සු අහනකොට මම දෙන උත්තරේ මොකක්ද” රන්ජන් ඇසුවේය.
“ඔයාට ආසනයක් නමෛයි ගම්පහ දිස්ත්‍රික්කයම භාරදුන්නා. අනික ඔයාට තියෙන වැඩ රාජකාරි එක්ක ආසනයක් බලන්නවත් වෙලාව නෑනේ. ඔයාට මිනිස්සු ආදරේ නිසා ඡන්ද ලබාගැනීමේ ප්‍රශ්නයක් නෑ. ඉතිං මොකද ප්‍රශ්නය” රනිල් ඇසුවේ උස් හඩින් සිනාසෙමිනි.
එහෙත් තමන්ගේ ආසන සංවිධායක ධුරය අහිමි කිරීම ගැන රන්ජන් සිටින්නේ එතරම් සිත් හොඳකින් නොවේ. රන්ජන්ට ආසන සංවිධායක ධුරය අහිමි වූයේ කිත්සිරි මංචනායකට රන්ජන් දැරූ දිවුලපිටියේ ආසන සංවිධායක ධුරය ලබාදීම නිසාය. රන්ජන්ට හිමිවූයේ ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායක ධුරයයි. ආසන සංවිධායක ධුරයක සිට දිස්ත්‍රික් සංවිධායක ධුරයකට පල්ලම් වැටීම දේශපාලන ලෝකයේ පහළ යාමක් ලෙස කවුරුත් සලකති. “මම ගෙදර යනවා. ඒත් වෙන පක්ෂයකට යන්නේ නෑ. මම පැනීම් දේශපාලනය කරන්නේ නෑ” රන්ජන් තමන්ට ආසන සංවිධායක ධුරය අහිමිවීමෙන් පසුව ඒ ගැන විමසන හිතවතුන්ට කීවේ එසේය. පසුගිය සතියේදී රනිල් මේ ආකාරයට අලුත් ආසන සංවිධායක ධුර තිස් හතරක් ලබාදුන්නේය. මේ අතර හබරාදූව ආසනය දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නායාකයක්කාරගේ පුතා වන තාරක නානායක්කාරට ලබාදීමට රනිල් තීරණය කළේ මතෛක් කල් එහි ආසන සංවිධායක ධුරය දැරූ ලයනල් ඉපලවත්ත ඉවත් කරමිනි.
 
රාජිත එද්දී මාරු වූ මන්ත්‍රී 
 
විශේෂඥ වෛද්‍යවරයකුගේ පුතෙකුගේ විවාහ මංගල උත්සවය පසුගිය සතියේදී පැවැත්විණි. මෙයට ආණ්ඩුව මෙන්ම විපක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරු එක්ව සිටියහ. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු එක මේසයක අසුන්ගෙන සිටි අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරු අසුන්ගෙන සිටියේ තවත් මේසයකය. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සිටියේද ආණ්ඩුවේ මැති ඇමැතිවරු අසුන්ගෙන සිටි මේසයේය. රාජිත සේනාරත්න ඇමැතිවරයා පැමිණෙන විට විජේදාස අසුනින් නැගිට ඒකාබද්ධ විපක්ෂයේ පිරිස සිටී මේසයට ගොස් අසුන් ගත්තේය.
මේ අතර සුසිල්ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සමග කතාබස් කිරීමට ඔවුන් සිටි මේසයට ගියේය. බැසිල් රාජපක්ෂද එම මේසයේ සිටි අතර මැතිවරණය ගැනත් අදහස් ඉදිරිපත් විය.
“පළාත් පාලන මැතිවරණය අපි කොහොමත් දිනනවා. අපිට ඒකට ඔයාලගේ සහය අවශ්‍යයි” බැසිල් කීවේ සුසිල් දෙස බලමිනි.
“අපි ඉතිං කොහොමත් ජනතාවගේ පැත්තෙනේ ඉන්නේ” සුසිල් කීවේ සිනාසෙමිනි.
මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගිය සතියේදී මහජන එක්සත් පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් මැතිවරණ කොමිසමට කැඳවා තිබුණේ මැතිවරණ ක්‍රමය ගැන දැනුවත් කිරීමටය. ඔවුන් සාකච්ඡාවට සහභාගි වෙමින් සිටින අතරවාරයේදී මැතිවරණ පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයට ෆයිසර් මුස්තාෆා ඇමැතිවරයා අත්සන් තබා ඇති බවට වන කෙටි පණිවුඩය ලැබුණි. 
“ඇමැතිතුමා ගැසට් එක ගැහුවා නම් අපි ඡන්දය තියනවා” මහින්ද දේශප්‍රිය කීවේය.
“ඔබතුමා හැමදාම කිව්වේ පිච් එක ලෑස්තියි. බෝලෙ දුන්නොත් මැච් එක ගහන්න පුළුවන් කියලානේ. දැන් ඔන්න බෝලෙත් ලැබිලා තිබෙනවා. දැන් මැච් එක ගහනවාද” සභාවේ සිටි අයෙක් මහින්ද දේශප්‍රියගෙන් ඇසුවේය.
“එහෙනම් ඔයාලා මැච් එක ගහන්න ලෑස්ති වෙන්න. මමත් ලෑස්තියි. මම අද ගෙදරින් එනකොට කිව්වේ ඡන්දය තියන්න ගැසට් එක ආවොත් මම රතිඤ්ඤා පත්තුකරනවා කියලයි. නෝනාම කිව්වා ‍පොඩි ළමයි කරන වැඩ කරන්න එපා කියලා. එකයි මම රතිඤ්ඤා ගෙනාවේ නැත්තේ” මහින්ද දේශප්‍රිය කීවේ අවට සිටි අයද සිනා ගන්වමිනි.
 
රූපවාහිනී නිවේදක ළහිරු මුදලිගේගේ විවාහ මංගල උත්සවය පසුගිය සතියේදී පැවැත්වුණේ කොළඹ හෝටලයකදීය.  ජනපති මෛත්‍රී සහ ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් මෙහි සාක්ෂිකරුවෝ වූහ. ඒ අවස්ථාවට රංජන් රාමනායකද පැමිණ සිටියේය.
“ජනාධිපතිතුමා, කවදාද රන්ජන් ඇමැතිතුමාගේ  විවාහයට අත්සන් කරන්නේ” එතැන සිටි මාධ්‍යවේදියෙක් ඇසුවේය.
“රන්ජන්ට කී දෙනෙක් නම් බඳින්නද? මෙයා කරන වැඩ ගැන මම දන්නවා” මෛත්‍රී සිනාසෙමින් කීවේය.
“අනේ එහෙම නෑ සර්” රන්ජන් කීවේ ලැජ්ජාවෙන් ඇඹරෙමිනි.
මෛත්‍රී පිටත්ව ගොස් පැයකින් පමණ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැමිණියේය. ඔහුට මුලින්ම හමුවුණේ රන්ජන්ය.
“ශේ්‍රෂ්ඨාධිකරණයට අපහාස කළා කියලා ඔයාට නඩුවක් තියෙනවා නේද. ඒක කොහොම හරි සමථයකට පත්කර ගන්න. මමත් ඒ වගේ නඩුවක් සමථයකට පත් කරගත්තා. මේක සුප්‍රීම් උසාවිය. මෙතැනින් එහාට ඇපිල් කරන්න තැනක් නෑ. ඒ නිසා මේවා සෙල්ලමට ගන්න එපා” නාමල් කීවේය.
මේ අතර එතැනට පැමිණ සිටි ආණ්ඩුවේ ඇමැතිවරු නාමල් සමග කතා කළේය.
“අපි එකට ඡන්දය ඉල්ලමු”ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් යෝජනා කළේය.
“වෙනම ඡන්දය ඉල්ලමු. පස්සේ අපි එකට එකතුවෙමු” නාමල් යෝජනා කළේය.
 
තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3134

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2975

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6032

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 3599

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2191

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3004

Please publish modules in offcanvas position.

Web Analytics