Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කබිර් ෆයිසර්ට බාල්දියක් පෙරළයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කටාර් සංචාරයට පෙර සුපුරුදු පරිදි කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ අඟහරුවාදා උදෑසනය. සයිටම් අර්බුදයට විසඳුම් යෝජනාවලියක් මෛත්‍රී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි ඇමැතිවරු අපේක්ෂාවෙන් සිටියත් සයිටම් ගැන කිසිවක් මේ සතියේ කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූයේ නැත. එහෙත් පළාත් පාලන මැතිවරණය කල් යෑම ගැන ඇමැතිවරුන්ගේ අවධානය යොමුවූහ.
“පළාත් පාලන මැතිවරණය පවත්වන එක දවසින් දවස කල් යනවා. ෆයිසර් ඇමැතිතුමා දවසින් දවස එක එක පනත් අරගෙන එනවා. ඒ නිසා තමයි පළාත් පාලන ඡන්දය තියන එක කල් ගියේ” කබිර් හෂීම් ඇමැතිවරයා චෝදනා කළේ ෆයිසර් මුස්තාපාටය.
“මේ විදියට මට චෝදනා කරන එක වැරදියි. අලුත් මැතිවරණ ක්‍රමයක් අරගෙන එන්න ඕන කියන එකට හැමෝම එකඟ වුණා. ඒකට අවශ්‍ය කටයුතු කරපු නිසා තමයි මේ විදියට ඡන්දය තියන එක කල් ගියේ. රජය ගන්න තීරණ ක්‍රියාත්මක කරන එක තමයි මම කරන්නේ. එහෙම නැතිව මම හිතා මතාම මැතිවරණ ප්‍රමාද කරන්නේ නෑ” ෆයිසර්ද උත්තර දුන්නේය.
“අපිට කවදාවත් ඡන්ද කල් දාන්න ඕනකමක් තිබුණේ නෑ. පරණ ක්‍රමයට හරි මේ ඡන්දය තියමු කියලා අපි කිව්වා. ඒ වෙලාවේ පරණ ක්‍රමයට මැතිවරණය තියන්න බෑ අලුත් ක්‍රමයටම මැතිවරණය තියන්න ඕන කියලා කිව්වා. මාස දෙක තුනක් ඇතුළත ඒ වැඩ කරලා ඉවර කරනවා කියලා කිව්වා. ඒත් මාස දෙක තුනක් ඇතුළත මේ ප්‍රශ්න විසඳලා ඉවර කරන්න බැහැ කියන එක අපි පැහැදිළිවම කිව්වා. ඒක මාස දෙක තුනෙන් ඉවර කරන්න බැරි බව අපි දැනගෙන හිටියා. ෆයිසර් ඇමැතිතුමාට තමයි ඡන්ද කල් දාන්න ඕන වෙලා තිබුණේ” කබිර් නැවත චෝදනා කරන්න විය.
“නෑ.. නෑ... මට ඡන්ද කල්දාන්න කිසිම වුවමනාවක් තිබුණේ නෑ. මේවාට අවශ්‍ය අණ පනත් සම්මත කරගන්න කාලයක් යනවා. ඒ නිසා තමයි ඡන්දය කල් ගියේ. එහෙම නැතිව මගේ වරදක් නිසා ඡන්ද කල් යනවා නමෛයි” ෆයිසර්ද කීවේ උස් හඩින්ය.
“දැන් හරියට එක්සත් ජාතික පක්ෂයට වුවමනා නිසා ඡන්දය කල් දාලා වගේ තමයි පේන්නේ. එක්සත් ජාතික පක්ෂයට තමයි ඉක්මනට මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වුණේ. මේ විදියට මැතිවරණ ප්‍රමාද වුණොත් ජනතාව කළකිරෙනවා” කබිර් නැවත කීවේය.
“සීමා නිර්ණය කටයුතු හරියට කරන්න තිබුණා. ඒවාට කල් ගියා” ෆයිසර් මැතිවරණ ප්‍රමාදයට හේතු දක්වන්න විය.
“ඔය දෙන්නා මේ ගැන වාද විවාද කරලා වැඩක් වෙන්නේ නෑ. දැන් ඕක නවත්වන්න. අපි ප්‍රමාදයකින් තොරව මැතිවරණ පැවැත්වීමට හැම උත්සාහයක්ම ගනිමු. තව ටිකකින් පක්ෂ නායකයින් රැස් වෙනවානේ. පක්ෂ නායක රැස්වීමේදී අපිට මේ ගැන කතා කරන්න පුළුවන්” මෛත්‍රී දෙදෙනාගේ උණුසුම් වාදයට මැදිහත්වූයේ පක්ෂ නායක රැස්වීමේදී මේ ගැන වැඩිදුරටත් කතා කිරීමටය.
 
රිෂාඩ්ට චෝදනා 
 
බඩු මිල සම්බන්ධයෙන් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදීද රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු චෝදනා කරන්නට වූයේ බඩු මිල පාලනය කිරීමට විධිමත් පියවර ගෙන නොමැති බව පවසමිනි. මේ සතියේදීත් අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා බඩු මිල ගැන ඇමැතිවරුන්ගේ අවධානය යොමු කළේය.
“අත්‍යවශ්‍ය ආහාරවල මිල පාලනය කිරීමට නොහැකිවෙලා තිබෙනවා. බඩු මිල පාලනය කරන්න කියලා එක එක ආයතන තිබෙනවා. ඒත් මේ ආයතනවලින් හරියට දෙයක් වෙන්නේ නෑ. මේ ආයතනත් දැන් අසාර්ථක වෙලා තිබෙන්නේ” අනුර ප්‍රියදර්ශන යාපා පැවැසුවේය.
“මේ විදියට බඩු මිල ඉහළ ගියොත් ජනතාව අපිට දොස් කියනවා. ඉක්මනින් බඩු මිල අඩු කිරීමට නොහැකි වුණොත් අපිට හරියකට ඡන්දයකටවත් මුහුණදෙන්න බැරිවෙනවා”මෛත්‍රීත් අනුරගේ කතාව අනුමත කළේය.
 
ඡන්ද ගැන කතා 
 
කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව රනිල් අරලියග මන්දිරයට ගියේ පක්ෂනායක රැස්වීමකට සහභාගීවීමටය. රනිල් සියලුම පක්ෂ නායකයින් කැඳවා තිබුණේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. රනිල් සාකච්ඡාව ආරම්භ කළේ ඒ වන විට කැබිනට් මණ්ඩලය තුළත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන පළවී තිබූ අදහස්ද සිහිපත් කරමින්ය.
“පළාත් පාලන ඡන්දය තියන්න අවශ්‍ය සංශෝධන සම්මත කරගන්නේ නැතිව ඡන්දය තියන්න විදියක් නැහැනේ” නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා අදහස් දැක්වූවේය.
“දැන් ඔබතුමාලාට ඕන ඡන්දය තියන්නද? නැතිනම් මේක කල් දාන්නද” අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඇසුවේය.
“ඡන්දය දැන් තියන්න අවශ්‍යයි. අපි ඡන්ද කල් දාන්නේ නෑ” ආණ්ඩුවෙන් අදහස් මතුවිය.
“ඔය සංශෝධන ලොකුවට බලපාන්නේ නෑ. තවත් ඡන්දෙ කල් දාන්නේ නැතිව දැන්වත් ඡන්දය තියන්න” අනුර කුමාර ඉල්ලා සිටියේය.
ජනපති නිල මෙහෙවර වැඩසටහන පසුගිය සතියේදී පැවැත්වුණේ වව්නියාවේදීය. වජිර අබේවර්ධන ඇමැතිවරයා කල් ඇතිවම එහි ගොස් සිටි අතර මෛත්‍රී වව්නියාවට පැමිණියේ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා සමගය. වව්නියාව ගුවන් හමුදා කඳවුරට ඔවුන් දෙනො පැමිණි අතර වජිර පැමිණ මෛත්‍රී පිළිගත්තේය. ඔවුන්ට උදෑසන ආහාරය සූදානම් කර තිබුණේ වව්නියාව ගුවන් හමුදා කඳවුරේමය.
මෛත්‍රී උදෑසන ආහාර ගැනීමට ගොස් ටික වේලාවකින් රනිල් තවත් හෙලිකොප්ටරයකින් එහි පැමිණියේය. මෛත්‍රී හා රනිල් උදෑසන ආහාර ගනිමින් කතා බස් කරන්නට විය. උදෑසන ආහාරය ගත් පිරිස නිල මෙහෙවර පැවැත්වෙන භූමියට පැමිණියහ.
සාමාන්‍යයෙන් අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් පැමිණෙන උත්සවවලදී ජාතික ගීය එකම අවස්ථාවකදී සිංහලෙන් හා දෙමළෙන් ගායනා කරන්නේ නැත. එහෙත් මේ සම්ප්‍රදාය වෙනස් කරමින් පළමුවෙන් සිංහලෙන් ජාතික ගීය ගායනා කළේය. ඒ වව්නියාවේ සිටින දෙමළ භාෂාව කතා කරන සිසු සිසුවියන් පිරිසක් විසින්ය. යළිත් දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කළේ සිංහල දරුවන් පිරිසක් විසින්ය.
ගයන්ත එහි පැමිණ සිටියේ ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වූ නිසාය. ඉඩම් ඔප්පු නොලැබුණ පවුල් පන්දහසකට ආසන්න පිරිසකට එහිදී ඉඩම් ඔප්පු පිරිනැමුණි. උත්සව භූමියට මෛත්‍රී හමුවීමට ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ මව පැමිණ සිටියාය. 
“අපි ගෙදරට ඇවිත් යන්නම්” මෛත්‍රී කීවේය. ඒ අනුව උත්සවය අවසානයේදී ගයන්ත කරුණාතිලක ඇමැතිවරයාත් රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරවරයාත් සමග මෛත්‍රී විද්‍යා දැරියගේ නිවසට ගියහ.
“විද්‍යා දැරියගේ සහෝදරියගේ අධ්‍යාපන කටයුතුවලට අපි උදව් කරනවා. ඕනම දෙයක් තිබෙනවා නම් කියන්න” මෛත්‍රී විද්‍යා දැරියගේ මවට කීවාය.
“අපිට කරන උදව්වලට සර්ට පිං සිද්ධවෙන්න ඕන” විද්‍යා දැරියගේ මව කීවේ දෙනෙතට කඳුළක් නංවාගනිමිනි.
මෛත්‍රී විද්‍යා දැරියගේ නිවසට යන විට රනිල් වව්නියාව නගරයට ගියේ වජිරත් සමගය. ඒ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය.
 
ගයන්තට සහතිකයක් 
 
අපවත්වී වදාළ නාගොඩ අමරවංශ හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වුණේ පසුගිය සතියේදීය. ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ ආදාහන පූජෝත්සවයට එක්ව සිටියහ.
අතුරලියේ රතන හිමියන් සහ බෙල්ලන්විල විමලරතන හිමියන් කතා කරමින් සිටි තැනට ගයන්ත කරුණාතිලක ඇමැතිවරයාද ගියේය. ඒ වන විට උන්වහන්සේලා කතා කරමින් සිටියේ ව්‍යවස්ථාව ගැනය.
“ගයන්ත ඇමැතිතුමා නම් හොඳ සිංහල බෞද්ධ ඇමැතිතුමෙක්. හරි පරිස්සමට තමයි වචන පාවිච්චි කරන්නේ. සමහර අය වගේ අනවශ්‍ය දේවල් කියන්නේ නෑනේ” බෙල්ලන්විල විමලරත්න හිමියන් කීවේ ව්‍යවස්ථාව ගැන කතාව අතරවාරයේදීය.
 
කිරිඇල්ලගේ ගෙදරට ආරක්ෂාව? 
 
මහනුවර ප්‍රතිසංස්කරණය කරන ලද විහාරස්ථානයකට පසුගිය සතියේදී රනිල් ගියේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සමගය. මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන්ද හමුවූ පිරිස ව්‍යවස්ථාව ගැනත් කතා කළේය.
“මහත්තයෝ නුවර අධිවේගී මාර්ගය නම් හදන්න ඕන”උන්වහන්සේ දැඩිව කීහ.
“නුවර අධිවේගී මාර්ගය නවත්වන්න ඒකාබද්ධ විපක්ෂයේ හා සමහර මාධ්‍යවල කුමන්ත්‍රණයක් තියෙනවා. මොන බාධක ආවත් අපි පාර හදනවා”රනිල් මෙන්ම කිරිඇල්ල සහතිකයක් දුන්නේය.
මෛත්‍රීගෙන් ලක්ෂ්මන් යාපාට ඇමතුමක් ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇමැතිවරයා පසුගිය සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා බලමණ්ඩල රැස්වීම කැඳවා තිබුණේය. ඒ නූපේ සණස ශාලාවේදීය. මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිටින එකම මන්ත්‍රීවරයා වන්නේ ලක්ෂ්මන් යාපා නිසා ඔහු සමග සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ නියෝජ්‍ය ඇමැතිවරියද පැමිණ සිටියාය. ටික වේලාවකින් ලක්ෂ්මන්ගේ දුරකතනයට ඇමතුමක් ලැබුණේය. එම ඇමතුම ලැබි තිබුණේ ජනාධිපතිවරයාගෙනි. හදිසියේම ජනාධිපතිවරයාගෙන් දුරකතන ඇමතුමක් ලැබිම ගැන කලබලයට පත් ලකෂ්මන් වේදිකාව පිටුපසට ගොස් දුරකතනයට පිළිතුරු දුන්නේය.
“මම හිතුවට වඩා කාන්තා බලමණ්ඩලය සාර්ථකයි කියලා ආරංචියක් ආවා. කාන්තාවන් තමයි අපිට අවශ්‍යම කොටස. ගම ඇතු‍ලේ කාන්තාවන් පක්ෂය එක්ක ඉන්නවා නම් ඒක අපිට ලොකු ශක්තියක්” මෛත්‍රී කීවේය. 
 
තිලංගගේ යෝජනාව මංගල පිළිගනී 
 
නොවැම්බර් මස 09 වැනිදා යහපාලන ආණ්ඩුවේ තෙවැනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ නිසා මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ඔළුව කම්මලක් වාගේය. එදිනට ජනතාවට සහන දෙන අයවැයක් ඉදිරිපත් කොට රවි කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයා හරහා යහපාලන ආණ්ඩුවට එල්ල වූ කළු පැල්ලම් මකා දැමීම මංගලගේ මූලික අරමුණ වී ඇතැයි ඔහුගේ සමීපතමයෝ පවසති.
ඔය අතර පසුගියදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත්, පාර්ලිමේන්තුවටත් සම්බන්ධ වැදගත් යෝජනාවක් කරළියට ආවේය. යෝජනාව ගෙන ආවේ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලයි.
“ලෝකයේ බොහෝ දියුණු රටවල රට පිළිබඳ තීන්දු තීරණ ගන්නා උත්තරීතර පාර්ලිමේන්තුව තුළ “අය වැය කාර්යාලයක්” පිහිටුවා තිබෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය විශ්‍ලේෂණය කරන්න, ඒ ගැන අදහස් හුවමාරු කරගන්න, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය යෝජනා පිළිබඳ ස්වාධීන වාර්තාවක් සකසන්න .... මේ වගේ කාර්යාලයක් තියෙන්නම ඕනේ.”
තිලංග කියා සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර දෙස බලමිනි. මේ සාකච්ඡාව සඳහා එරාන් වික්‍රමරත්න, ලසන්ත අලගියවන්න, සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තු මහ ‍ලේකම්ද ඇතුළුව විගණකාධිපතිවරයාද එක්ව සිටියහ.
“තිලංග කියන දේ ඇත්ත .... අපි හැමෝම මේ යෝජනාවට සහය දීලා වසරක් ඇතුළත පාර්ලිමේන්තු සංකීර්ණය තුළ අයවැය කාර්යාලයක් නිර්මාණය කරමු” මංගල කියා සිටියේය. අනෙකුත් සියලු දෙනාද “බොහොම හොඳ වැඩක්” කියමින් තිලංගගේ යෝජනාව අගය කළහ.
 
යෝෂිතට වීසා නෑ 
 
ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ ඉතාලි ශාඛාව පිහිටුවීමට සහභාගි වන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිදෙනෙකුට ආරාධනා ලැබුණි. ඒ අතරම මහින්දගේ දෙවැනි පුත් නාවික හමුදාවේ සේවය කළ යෝෂිත රාජපක්ෂටද මෙම රැස්වීමට එන්නැයි ආරාධනාවක් විය.
“යෝෂිතටත් ඉතාලි එන්න කියලා තියෙනවා. ඒ නිසා සනත් ඉතාලිත් ගිහින් එන්න” ඒ වන විට රුසියාවේ සිටි සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට දුරකතන ඇමැතුමක් දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කීවේය.
යෝෂිත ඉතාලි යාමට බලා‍පොරොත්තුව වීසා අයදුම් කළත් ඔහුට වීසා ලැබුණේ නැත. මේ ගැන ශිරන්ති රාජපක්ෂට කී විට ඇය දුරකතන ඇමතුමක් ගත්තේ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාටය.
“යෝෂිතට වීසා ලැබිලා නෑ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවාද කියලා බලන්න” ශිරත්නි යෝෂිතගේ වීසා ප්‍රශ්නය විසඳා දෙන ලෙස ඉල්ලා සිටියේ සනත් නිශාන්තගෙන්ය.
ඒ අනුව සනත් නිශාන්ත ඉතාලි තානාපති කාර්යාලයෙන් මේ ගැන විමසා තිබුණේය. විවිධ පාර්ශ්වයන්ගෙන් තොරතුරු සෙවීමේදී තානාපති කාර්යාලයේ අයෙක් සනත්ට කීවේ ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඇති විරෝධයක් නිසා යෝෂිතට වීසා නොලැබුණ බවය.
“යෝෂිතට වීසා දෙනවාට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විරුද්ධ වෙලා තිබෙනවා. මේ නිසා වීසා ගන්න බෑ” සනත් නිශාන්ත තොරතුරු සොයා බලා ශිරන්තිට දැනුම් දුන්නේය.
අවසානයේදී යෝෂිතට සිදුවූයේ ලංකාවේ සිට දුරකතනයෙන් ඉතාලියේ ‍පොදුජන පෙරමුණේ සාමාජිකයින් ඇමැතීමටය. 
“අද ඉතාලියට ඇවිත් කතා කරන්න හිටපු මට වීසා ලැබුණේ නෑ. ඒ නිසා තමයි දුරකතනයෙන් මේ විදියට කතා කරන්න සිදුවුණේ. කොහොම නමුත් ඉදිරියේ දවසක මම තමුන්නාස්සේලා හමුවෙන්න එනවා” යෝෂිත දුරකතනයෙන් සිය කතාව කළේය.
 
මහින්දට හමුවූ ඇමැති 
 
ඉරිදා රාත්‍රීයේදි මහින්ද කොළඹ පැවැති උත්සවයකට සහභාගි විය. ගාමිණී ලොකුගේ, පී. දයාරත්න, විජිත් විජිතමුණි ද සොයිසා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට පැමිණ සිටියහ. විජිත් විජිතමුණි ද සොයිසා මහින්ද පැමිණෙන උත්සවයකට පැමිණ තිබුණේ බොහෝ කලකට පසුවය. මහින්ද සිටි තැනට විජිත් විජිතමුණි ද සොයිසා පැමිණ කතාවකට මුලපිරුවේය.
“කොහොමද සර්” විජිත් විජිතමුණි ඇසුවේය.
“ඉන්නවා ඉතිං” මහින්දත් වැඩි ගණනකට නැතිව පිළිතුරු දුන්නේය.
“සර් අපි පළාත් පාලන ඡන්දයේදී අපේ පක්ෂය කොහොම හරි දිනවන්න ඕන” විජිතමුණි කීවේය.
එයට මහින්ද මහා හඩින් සිනාසුනා හැරෙන්න කිසිවක් කීවේ නැත. තවත් ටික වේලාවක් එතැන සිටි විජිතමුණි එතැනින් පිටත්ව ගියේ මහින්ද වැඩි කතා බහක් නොකළ නිසාය.
 
බෝම්බ කතාවෙන් පසු විමල් රෝහ‍ලේ 
 
විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් රචනා කළ යදමින් බැදි අක්ෂර ග්‍රන්ථය ජනගතකිරීමේ උත්සවය පසුගිය සතියේදී පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙන්ය. පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් විමල් කළේ එහිදීය.
විමල්ගේ කතාවෙන් පසුව කථානායක කරු ජයසූරියට දුරකතන ඇමැතුම් රැසක් ලැබෙන්නට විය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ද දුරකතන ඇමතුම් ලබාදුන් අතර විමල්ගේ ප්‍රකාශය ගැන ඔවුන් සිටියේ කණස්සල්ලෙනි.
“මේ ප්‍රකාශය සුළුවෙන් තකන්න එපා. මේක අපි අනුමත කරන්නෙත් නෑ” ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම කරුට කීවේය
“මම මේ ගැන පාර්ලිමේන්තුව රැස්වෙන පළමු දිනයේදීම ප්‍රකාශයක් කරනවා” කරු උත්තර දුන්නේය.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් පසුගිය සතියේදී පැවැත්වුණේ විමල්ගේ ආන්දෝලනාත්මක කතාවෙන් පසුවය. එහිදී විශේෂ අවධානය යොමුවූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පැවැත්වීමට නියමිත විරෝධතාවය කෙරෙහිය. 
“මේ විරෝධතාවයට අපේ සියලුම මන්ත්‍රීවරු සහභාගි වෙන්න ඕන. මේ ව්‍යවස්ථාව පරාජය කිරීම වෙනුවෙන් අපි මේක සාර්ථක කරගන්න ඕන” මහින්ද කීවේය.
“එම සාකච්ඡාව අවසන් කර නිවස බලා යන අතරවාරයේදී විමල් හදිසියේම අසනීප විය. ඔහු කොළඹ පිහිටි පුද්ගලික රෝහලකට වහාම ඇතුළු කිරීමට පියවර ගත්තේය.
පසුදා උදෑසනම මහින්ද විමල්ගේ සුවදුක් විමසීමට පුද්ගලික රෝහලට ගියේය.
“කොහොමද විමල්” මහින්ද ඇසුවේය
“දැන් නම් ටිකක් සනීපයි සර්” විමල් කීවේය.
“ඔයා ඉක්මනට අසනීප සුව කරගෙන එන්න. අපිට ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා”මහින්ද කීවේ විමල්ගේ සුව දුක් විමසීමෙන් පසුවය.
 
කළු මුහුද ළඟ නාමල් කළ දේ 
 
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇප ලබා පිටත්ව ගියේ රුසියාවටය. ඒ රුසියාවේ පැවැති ලෝක තරුණ සමුළුවට සහභාගිවීමටය. රුසියාවට ගිය නාමල් කළු මුහුද අසලට ගොස් ව්‍යායාම් කර තිබුණේය. එය කාගේත් අවධානයට ලක්ව තිබුණි.
මේ අතර පසුගිය සතියේදී නාමල් නැවත ජපානයට ගියේය. ඒ ඩී.වී. චානක මන්ත්‍රීවරයා සමගය. ජපානයේ පැවැති තරුණ සමුළුවකට සහභාගිවීමට ගිය නාමල් තරුණ සමුළුවට පැමිණ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ තරුණියන්ද හමුවිය. උපාධිධාරී සංගමයේ තරුණ තරුණියන්ද එහි ගොස් සිටි අතර නාමල් පැමිණෙන දුටු ඔවුන් සෙල්ෆි ගසන්නට වූයේ තරගයට මෙනි.
මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුගේ පුතාගෙ විවාහ මංගල උත්සවය පසුගිය සතියේදී පැවැතියේ පානදුරේදීය. මහින්ද සහ ශිරන්ති මේ උත්සවයට එක්ව සිටියහ. ශිරන්ති මහින්ද සමග එවැනි උත්සවයකට සහභාගි වී සිටියේ කාලයකට පසුවය. මනාලයාගේ පාර්ශ්වය වෙනුවෙන් මහින්ද අත්සන් කළ අතර මනාලියගේ පාර්ශ්වයෙන් අත්සන් කළේ ජී.එල්. පීරිස්ය.
මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීමට ගියේ පළාත් පාලන මැතිවරණයට අදාළ දැනුවත් කිරීමේ සාකච්ඡාවකටය. පළාත් පාලන නියෝජිත අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම ගැන ඔවුනට ප්‍රශ්න ගණනාවක් විය.
“දැනටමත් ඔය නෙළුම් මාවතේ මාස්ටර් මයින්ඩ් කෙනෙක් ඉන්නවානේ. ඕවා ගැන මම අමුතුවෙන් පැහැදිළි කරන්න ඕන නෑනේ” මහින්ද දේශප්‍රිය කීවේ බැසිල් ගැනය.
 
තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1845

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2177

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4979

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2971

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1730

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2604

Please publish modules in offcanvas position.

Web Analytics