Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හිරේ වැටුණු මන්ත්‍රීන්ට නාමල්ගෙන් කරදර

මේ සතියේත් සුපුරුදු පරිදි කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදීය. මේ සතියේ ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකා සාකච්ඡාවට ගැනීමෙන් පසුව කාගේත් අවධානය යොමුවූයේ ජීවන වියදම් කෙරෙහිය. සහල් මිල ඉහළ යාම සහ ඊට ලබාදුන් විසඳුම් පිළිබඳවත් අවධානය යොමුවිය. ජීවන වියදම ගැන කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළේ අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාය.
“ජීවන වියදම දවසින් දවස ඉහළ යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ ගිහින්. බඩු මිල ඉහළ ගිහින් තිබෙන නිසා ජනතාව පීඩාවට පත්වෙලා ඉන්නේ. මේ නිසා කඩිනමින් ජීවන වියදම පාලනය කිරීමට ක්‍රමයක් සකස් කරන්න ඕන” අනුර ප්‍රියදර්ශන යාපා ඉදිරිපත් කළ අදහසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගෙන් ලැබුණේ සුභවාදී ප්‍රතිචාරයකි.
“ජීවන වියදම පාලනය කරන්න කටයුතු කරනවා කියලා රිෂාඩ් බදියුදීන් ඇමැතිතුමා කැබිනට් මණ්ඩලයට කිව්වා. මේ කතාව හැමදාම කියනවා. ඒත් කිසිම දෙයක් සිද්ධවෙලා නෑ. මේක බරපතළ තත්ත්වයක්” අනුර නැවත කතා කරන්න වූයේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට චෝදනාවක්ද කරමිනි.
“ඒ කතාව ඇත්ත. බඩු මිල පාලනය කරන්න බදියුදීන් ඇමැතිතුමා කිසිම දෙයක් කරලා නෑ. මොන පියවර ගත්තත් ඒවා අසාර්ථකයි. බඩු මිල තවදුරටත් පාලනය කරන්න බැරිනම් ඒ සඳහා පවතින ආයතනවලින් වැඩක් නෑ. ඒවා විසුරවලා දාන එක තමයි කරන්න වෙන්නේ’ සුසිල් කීවේ වෙළෙඳ‍පොළේ ඇති භාණ්ඩවල මිල ගණන්ද ඉදිරිපත් කරමින්ය.
“ඔය චෝදනාව මම පිළිගන්නේ නෑ. අපි බඩු මිල අඩු කරන්න පියවර රාශියක් අරගෙන තිබෙනවා. ඒ සඳහා කමිටුවක්ද පත් කළා” රිෂාඩ් තමන්ට එල්ලවූ චෝදනාවන්ට උත්තර දුන්නේය.
“කමිටු තිබුණට බඩු මිල අඩුවෙලා නෑනේ. ඒ කමිටුත් විසුරුවා හරින එක තමයි වඩාත් සුදුසු දේ වෙන්නේ. පාරිභෝගික සේවා අධිකාරියත් මෙතැනදී අසාර්ථක වෙලා තිබෙනවානේ” අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයා කීවේය.
“මේ චෝදනා පදනමක් නැතිව ඉදිරිපත් කරන චෝදනා. අපි ආණ්ඩුවක් විදියට බඩු මිල පාලනය කරන්න කටයුතු කරලා තිබෙනවා” රිෂාඩ් යළිත් කතා කරන්න විය.
“මම මේ ගැටලුව ගැන පසුගිය දිනවල නිරීක්ෂණය කළා. බඩු මිල පාලනය කිරීමට අපි ගනිපු පියවර හිතපු තරම් සාර්ථක වෙලා නෑ. ඒ ගැන ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කරන්න” මෛත්‍රීත් ජීවන වියදම ගැන ඇතිවූ කතාබහට සම්බන්ධ විය.
 
අලුත් සංවිධායක ධුර 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ දිනවල ඉදිරි මැතිවරණයට සූදානම් වන්නේ විවිධ මාර්ග ඔස්සේය. ජනාධිපතිවරයා පළාතෙන් පළාතට ගොස් මන්ත්‍රීවරු හා ආසන සංවිධායකවරු හමුවී පෞද්ගලික මට්ටමින් සාකච්ඡා කරන්නේ පක්ෂයේ අඩුපාඩු නිවැරදි කරගැනීමටය. මේ අතර ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව සිටින මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුර ඉවත් කර ඒ වෙනුවට මෛත්‍රීට හිතවත් පුද්ගලයන්ට ආසන සංවිධායක ධුර ලබාදීමට කටයුතු කරමින් සිටී.
පසුගිය සතියේදී මේ ආකාරයට දිස්ත්‍රික් සංවිධායක ධුර නවයක් පිරිනැමුවේ පක්ෂයේ ඉදිරියට ශක්තියක් විය හැකි සංවිධායකයන්ගේ දායකත්වය ලබාගැනීමටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‍ලේකම් දුමින්ද දිසානායක, සන්ධාන මහ‍ලේකම් මහින්ද අමරවීර, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල හා මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක ඇතුළු පිරිසක් මෛත්‍රී සමග දිස්ත්‍රික් සංවිධායක ධුර ලබාදීමේ අවස්ථාවට එක්ව සිටියහ.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරවීම තමයි අපේ එකම අපේක්ෂාව. පක්ෂය ජයග්‍රහණය කරවීමට ඔබලාගේ ශක්තිය ලබාදෙන්න”මෛත්‍රී අලුතින් දිස්ත්‍රික් සංවිධායක ධුර ලබාගත් සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටියේය.
 
මෛත්‍රීට මොට්ටුවක් 
 
දීපවාලි උත්සවය නිමිත්තෙන් ජනාධිපති මන්දිරයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වුණේය. මේ සැමරුම් උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මෙන්ම විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ද එක්ව සිටියහ. උත්සවය ආරම්භයේදී හින්දු ආගමික වතාවත් සිදු කළ අතර හින්දු පූජකයෙක් පැමිණ මෛත්‍රීට, රනිල්ට මොට්ටු තැබුවේ ආගමික වතාවත් අනුවය. මෛත්‍රී, රනිල්, සම්බන්ධන් මෙන්ම කථානායක කරු ජයසූරියත් අසුන්ගෙන සිටියේ එකම මේසයකය. 
මෙහිදී මෛත්‍රීගේ වැඩි අවධානයක් යොමුවූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙරෙහිය.
“අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තවම කෙටුම්පත් කරලා නෑ. කෙටුම්පත් කරලා නැති ව්‍යවස්ථාවක් ගැන සමාජය නොමග යවන අය ගැන රටේ ජනතාව අවබෝධයෙන් ඉන්න ඕන. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට පදනම් කරගත් ලියවිල්ලක්. ඒ ගැන ජනතාවගේ අදහස් ලබාගන්නවා. සියලුදෙනාගේම අදහස් ලබාගෙන සුදුසු ක්‍රියාමාර්ග ගැන පමණක් අවධානය යොමු කරනවා” මෛත්‍රී ව්‍යවස්ථාව ගැන කීවේය.
 
රනිල්ට රබර් සෙරෙප්පු කුට්ටමක් 
 
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේදී කොළඹින් පිට වැඩ කටයුතු කිහිපයක් යොදාගෙන තිබුණේය. පසුගිය සතිය වැසිබර කාලගුණයකින් යුතු සතියක් වුවත් රනිල් යෙදාගෙන තිබූ සියලුම වැඩසටහන්වලට සහභාගීවීමට වගබලාගත්තේය. දකුණු පළාතේ දිස්ත්‍රික්ක තුන තුළම සංචාරය කළ රනිල් තේ කර්මාන්තයේ ගැටලු ඇතුළු ජනතාවගේ ගැටලු ගැන අවධානය යොමු කළේය. පසුව සාගල රත්නායක ඇමැතිවරයා සමග එක්ව දෙණියාය ආසනයේ ගෙයින් ගෙට ගොස් සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකටද එක්විය.
“සර් හැමතැනම වතුර නිසා සපත්තු ගලවල, රබර් සෙරෙප්පු දෙකක් දාගනිමුද” සාගල කළ යෝජනාවට රනිල් කැමැති විය. එහෙත් රනිල්ට දා ගැනීමට රබර් සෙරෙප්පු දෙකක් තිබුණේ නැත. පසුව දෙණියායේ පාවහන් කඩයකින් රබර් සෙරෙප්පු දෙකක් ලබාගත් රනිල් ගෙයින් ගෙට ගියේ රබර් සෙරෙප්පු දෙකක් පැලඳගෙනය.
රනිල් බදාදා දිනයේදී නාත්තන්ඩිය බලා පිටත්ව ගියේ අශෝකපුර නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමටය. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් එම උත්සවය සංවිධානය කර තිබුණි.
“දැන් කොච්චර ගෙවල් හදලා තියෙනවාද?” රනිල් ඇසුවේය.
“ගිය අවුරුදු දෙකහමාරක කාලයේදී අපි දෙලක්ෂ තිස්දහසකට විතර ගෙවල්වල ප්‍රශ්න විසඳාගන්න උදව් කරලා තියෙනවා” සජිත් උත්තර දුන්නේය.
“ඒක හොඳයි. අපේ අලුත් ඉලක්කය ගම්මාන දෙදහස් පන්සියයක් ආරම්භ කිරීම නේද”රනිල් විමසුවේය.
“ඔව් සර්. ඒක ටිකක් අමාරු ඉලක්කයක්. ඒත් අපි ජාතික වැඩසටහනේ ඉලක්කයක් විදියට ඒක කරගෙන යන්න තීරණය කරලා තියෙනවා” සජිත් පැහැදිලි කළේය.
“ලබන අවුරුද්දේ අපි නිවාස අමාත්‍යාංශයට සල්ලි ටිකක් වැඩියෙන් වෙන් කරලයි තියෙන්නේ”රනිල් කීවේ ඉදිරි අය වැය ගැන ඉඟියක්ද ලබාදෙමිනි.
 
රනිල් බ්‍රහස්පතින්දා උදෑසන අරලියගහ මන්දිරයට පැමිණියේ රාජකාරී කටයුතු කිහිපයක් ඉටු කිරීමටය. පසුව පැමිණ සිටි මැති ඇමැතිවරු ඇතුළු පිරිස සමග කතාබහකට එක්විය.
“අලුත් ව්‍යවස්ථාව ගැන අපේ සමහර හාමුදුරුවරුයි ජනමාධ්‍යයයි මුහුද හත් ගව්වක් තිබියදී කලබලවෙලා පුදුම දේවල් කියනවානේ” රනිල් ව්‍යවස්ථාව ගැන කතා කරන්න විය.
“හාමුදුරුවරුයි, මාධ්‍යයයි කලබල වෙලා නමෛයි සමහර දේශපාලනඥයන් ඔවුන් කලබල කරවන්නයි හදන්නේ. ඒක සාර්ථක වෙන්නේ නෑ” ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කීවේය.
“ව්‍යවස්ථාවට තවම යෝජනා බාරගන්නවා විතරයි. අද උදේ ජනමාධ්‍යයට සම්බන්ධ පිරිසක් ඔවුන්ගේ අදහස් ඇතුළත් වාර්තාවක් මට බාරදෙනවා” රනිල් පැවැසුවේය.
 
නාමල් ව්‍යායාම් කරන හැටි 
 
ජපානයේ පෞද්ගලික සංචාරයක නිරතවූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සෙනසුරාදා යළිත් ලංකාවට පැමිණියේය. කටුනායක ගුවන්තොටුපළේ සිට මහින්ද ගියේ තංගල්‍ලේ කාල්ටන් නිවසටය. ඉරිදා උදෑසනම ඒ වන විට තංගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසගේ සුව දුක් විමසීමට මහින්ද රාජපක්ෂ ගියේය. 
නාමල් ඇතුළු පිරිස සමග කතා කරමින් සිටි මහින්ද අසලට පැමිණියේ උපාලි කොඩිකාරය. ඔහු මහින්ද අසලට ආවේ තමන්ගේ අතේ ඇති මස් පිඩු පෙන්වමිනි.
“සර් දැන් අපේ ඇඟත් හැදිලා තියෙන්නේ. නාමල් මන්ත්‍රීතුමා අපිට බර උස්සන්න කියලා දුන්නානේ. අපෙත් දැන් සික්ස් පැක් ඇවිත් තියෙන්නේ” උපාලි කොඩිකාර කීවේය.
“ඔයාලාට හිරේ ඇතුළේ කොහෙන්ද බර උස්සන්න ඕන ඒවා” මහින්ද ඇසුවේය.
“අපි කොහු මිටක වතුර කෑන් ගැටගහලා බර උස්සන්න ඕන දේවල් හදාගත්තා” නාමල් උත්තර දුන්නේය.
“අනේ ඔව් සර්. නාමල් මන්ත්‍රීතුමා හැමදාම උදේ පහමාරේ ඉඳලා අටහමාර වෙනකම් අපි ලවා බර උස්සවනවා” එතැන සිටි පළාත් සභා මන්ත්‍රීවරයෙක් නාමල්ගේ ව්‍යායාම් ගැන පැහැදිලි කළේය.
“මෙයා ඉතිං ගෙදර ඉන්නකොට මොනවා නැතත් ඕක නම් හරියටම කරනවානේ” මහින්ද කීවේ නාමල් පෙන්වමිනි.
“හමුදාවෙන් අයින් වුණාට පස්සේ මේ වගේ කෝස් එකක් කළාමයි මේ” අජිත් ප්‍රසන්න කීවේද සිනාසෙමිනි.
“මම නඩුව ගැන නීතිඥයන් හමුවෙලා කතා කරනවා” මහින්ද නාමල්ට එරෙහිව ඇති නඩුව ගැන අවධානය යොමු කළේය.
“අපිව එළියට දාවි කියලා නම් විශ්වාස කරන්න බෑ. ආණ්ඩුවට ඕනේ පුළුවන් තරම් කේස් එක තද කරලා අපිව ඇතුළේම තියන්නයි” නාමල් පැවැසුවේය.
“සර් ආණ්ඩුවේ මකුනෝ සෙට් එකක් තමයි මෙහේ ඉන්නේ” ප්‍රසන්න රණවීර පැවැසුවේය.
“ඒ මොකද” මහින්ද ඇසුවේය.
“නෑ.. සර් උන් අපිව හොය හොය ඇවිත් විදිනවානේ” ප්‍රසන්න රණවීර පැවැසුවේය.
ඉරිදා සවස මහින්ද නීතිඥයන් කණ්ඩායමක් හමුවී නාමල් ඇතුළු පිරිසට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. මහාචාර්ය ජී.එල්. පීරිස්, සී.බි. රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.
“දැන් සර් හෙට උසාවියට එනවා නේද” පවිත්‍රා මහින්දගෙන් ඇසුවාය.
“නෑ. මම එන්නේ නෑ. නාමල් කියන්නේ දේශපාලනඥයෙක්. එයා මේවට හුරු පුරුදු වෙන්න ඕන. දේශපාලනඥයෙක් වුණාම මේ වගේ පාඩම් ඉගෙන ගන්න ඕන. නාමල් මේ වගේ දේවල්වලට මුහුණදීලා අත්දැකීම් ගන්න එක හොඳයි” මහින්ද කීවේය.
නාමල් ඇතුළු කණ්ඩායම අධිකරණයට ඉදිරිපත් කළ පසු රුසියාවේ පැවැත්වෙන තරුණ සමුළුවට සහභාගීවීමට සිටි නාමල්, ඩී.වී. චානක හා සම්පත් අතුකෝරළ ඇතුළු තිදෙනකුට ඇප ලැබුණි. එහෙත් උපාලි කොඩිකාර ඇතුළු අනෙක් අයට ඇප ලැබුණේ නැත. ඔවුන්ට ඇප නොලැබිම නිසා ඇප ලැබුණු නාමල් උසාවියේ බංකුවක් මතට වී සිටි නමුත් උසාවියෙන් පිටත්ව ගියේ නැත. එහෙත් අනෙක් මන්ත්‍රීවරු කරුණු දැක්වීමෙන් පසුව නාමල් ඇප ලබාගෙන පිටත්ව යාමට කැමැත්ත දක්වා තිබුණේය.
පසුගිය පාර්ලිමේන්තු සතියේදී රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා කොළඹට ගෙනවිත් තිබුණේ ඔහුට පාර්ලිමේන්තු පැමිණීමට පහසුවනු පිණිසය. ඔහුගේ පවු‍ලේ සාමාජිකයන් පාර්ලිමේන්තුවට ගෙන්වා ගත් මහින්ද ඔවුන්ගේ සැප දුක් සොයා බැලුවේය. 
මේ අතර පාර්ලිමේන්තු භෝජනාගාරයේදී දිවා ආහාරය ගැනීමට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුවූයේ රිමාන්ඩ්ගතව සිටින මන්ත්‍රීවරුන්ගේ තත්ත්වය වෙතය. 
“අපි නාමල් මන්ත්‍රීතුමාගෙන් යෝගයි, ව්‍යායාමයි ඉගෙන ගත්තා. කොඩිකාර මන්ත්‍රීතුමාගේ විහිළුවලට හිනාවෙවී හිටියා. ඔන්න ඔහේ ‍පොතක් පතක් කියවාගෙන පාඩුවේ හිටියා” ප්‍රසන්න රණවීර බන්ධනාගාර ජීවිතය ගැන කතා කරන්න විය.
“මොනවා ඉතිං කියවපු ‍පොත්” මහින්ද ඇසුවේය.
“මම නම් කියෙව්වේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන” ප්‍රසන්න රණවීර තමන් කියවූ දේ ගැන පැවැසුවේය.
“මම ච්ෙ ගැන ‍පොතක් කියෙව්වා. 71, 88-89 කැරලි ගැන ලියවෙච්ච ‍පොත් වගයකුත් කියෙව්වා”නාමල් පැවැසුවේය.
“අපිට නම් නිදාගන්න ලැබුණේම නැහැ. එක පැත්තකින් මකුණෝ. අනෙක් පැත්තෙන් කොඩිකාර මන්ත්‍රීතුමාගේ ගෙරවිල්ල. නාමලුයි, ඩී.වී. චානකයි නම් වැටිච්ච ගමන් නිදාගන්නවා. අපි පෙරළි පෙරළි ඉඳලා නිදාගන්නකොට නම් එළිවෙලා. එළිවෙච්ච ගමන් මේ දෙන්නා ඇවිත් අපිව ඇහැරවලා ව්‍යායාම් කරවනවා”රණවීර කීවේය.
“කොහොමද කෑම එහෙම” ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා ඇසුවේය.
“මම දැන් කොළඹනේ. මගේ කෑම ටික නෝනා බලාගනීවි” ප්‍රසන්න රණවීර කීවේය.
 
ගුවන්තොටුපළේ නිදාගත් මන්ත්‍රීවරු
 
සනත් නිශාන්ත, තේනුක විදානගමගේ සහ කනක හේරත් යන මන්ත්‍රීවරු තිදෙනා රුසියාවේ පැවැත්වෙන ලෝක තරුණ සමුළුවට සහභාගීවීමට පිටත්ව ගියේ පසුගිය සතියේදීය. ඔවුන් ඒකාබද්ධ 
විපක්ෂයට හිතවත් තරුණ පිරිසක් සමග රුසියාව බලා පිටත්ව ගියහ. මොස්කව් නුවරට ගොඩ බැස්ස මන්ත්‍රීවරු සමුළුව පැවැත්වෙන සෝචි නුවර බලා පිටත්ව යාමට සූදානම් විය. සෝචි නුවර බලා ගුවනින් පිටත්ව යාමට නම් පැය හතක්ද දුම්රියෙන් යාමට පැය තිහක්ද ගතවන බව ඔවුන් දැනගත්තේ එතැනට ගිය පසුවය.
ඒ අනුව එදින රාත්‍රීයේ මොස්කව් නුවර ගත කර පසුදා සෝචි නුවර බලා පිටත්ව යාමට පිරිස කතිකා කරගත්හ. ඒ අනුව මොස්කව් ගුවන්තොටුපළේ කාමර කුලියට ලබාදෙන තැනකට කතා කළ විට දැනගන්නට ලැබුණේ එක කාමරයකට ලංකාවේ මුදලින් රුපියල් දස දහසක් පමණ වැය වන බවය. තරුණයන් පිරිස මන්ත්‍රීවරුන්ට කීවේ කාමර ගෙන එහි නවතින ලෙසය. එහෙත් මන්ත්‍රීවරු එයට කැමැතිවූයේ නැත. ඔවුහු තරුණයන් සමග ගුවන්තොටුපළේ ලොබියේ නිදාගත්හ.
සමුළුව පැවැත්වෙන නගරයට පැමිණි විට මේ පිරිසට තවත් අකරතැබ්බයකට මුහුණදීමට සිදුවූහ. ඒ සමුළුව අතරවාරයේදී ලබාදෙන නවාතැන් පහසුකම් ගැන අවධානය යොමු කිරීමේදීය. මන්ත්‍රීවරුන්ට පමණක් එහිදී හෝටල් පහසුකම් වෙන් කර තිබුණි. එහෙත් ඔවුන් සමග ගිය තරුණයන්ට හෝටල් පහසුකම් වෙන් කර තිබුණේ නැත. තරුණයන්ට වෙන් කර තිබුණේ සමුළුවට පැමිණි අනෙක් රටවල තරුණ තරුණියන් සමග කඳවුරකි. 
“අපිට අපේ තරුණයන් වෙනම තැනක දාලා හෝටල්වල නවතින්න බෑ. අපි හැමෝටම එකට ඉන්න පුළුවන් තැනක් සොයා ගනිමු” සනත් නිශාන්ත කීවේය.
ඒ අනුව පිරිස වෙනම නිවසක් කුලියට ගෙන තරුණයන් සමග එහි නවාතැන් ගත්හ. සමුළුවට සහභාගීවීමට පැමිණ සිටි ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක සහ නලින්ද ජයතිස්ස සිටියේ හෝටල් කාමරයකය.
“මල්ලි, ඔයාලගේ කොල්ලෝ ටික අරහේ කඳවුරක ඉන්නවා. ඔයාලා මෙහේ හෝටලයේ ඉන්නවා. කොහොමද ඔයාලා මේ හෝටල් කාමරයකට වෙලා ඉන්නේ” සනත් නිශාන්ත, නලින් ජයතිස්ස මන්ත්‍රීවරයාට විහිළු කරන්න විය.
 
පවිත්‍රා අඬයි 
 
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා සවස මහින්දගේ නිවසට පැමිණියේ පවතින දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමටය. මහින්ද එහිදී අවධානය යොමු කළේ හම්බන්තොට විරෝධතාවයට සහභාගීවී මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පිරිස ගැනය.
“හිරේ ඉන්න අය බේරාගන්න අපි ඉක්මන් කරන්න ඕන” මහින්ද කීවේය.
“අනේ ඔව් සර්. අපි මේ මිනිස්සුන්ව ඉක්මනට එළියට ගන්න ඕන. අපි මේ අය කවදාවත් අමතක කරන්න හොඳ නෑ. අපිට හැමදාම වෙන දේ තමයි බලය ලැබුණාම මේ වගේ අය අමතක වෙන එක. මට වුණත් එච්චරයි. හැබැයි සර් මේ වතාවේ නම් මේ වගේ අය අමතක කෙරුවොත් ඒක සහගහනවා.” පවිත්‍රා කීවේ කඳුළු පෙරමිනි.
“බලය තියෙන කා‍ලේ අපි එක්ක හිටපු අයයි, අද අපි එක්ක ඉන්න අයයි මම නම් හොඳට අඳුනගත්තා. මේ කා‍ලේ ඉන්න මිනිස්සු තමයි අපි එක්ක හදවතින්ම ඉන්නේ” මහින්ද කීවේය. 
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේදී මැතිවරණ කොමිසමේදී පැවැත්විණි. පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු පක්ෂ නායකයන්, හා පක්ෂවල නියෝජිතයන් සාකච්ඡාවට එක්ව සිටියහ. මනෝ ගනේෂන් ඇමැතිවරයා ඒ වන විටත් අඹගමුව ප්‍රාදේශීය සභාව කොටස් කිහිපයකට වෙන් කිරීම ගැන විරෝධය දක්වා තිබුණේය. ඔහු පවසා තිබුණේ මේ සම්බන්ධයෙන් තමන් අධිකරණය හමුවට යන බවය. 
“අඹගමුව ප්‍රාදේශීය සභාවේ ගැටලුව විසඳන්න ඕන. ඒ ගැන අපිට විරෝධයක් නැහැ. ඒත් ඒක පදනම් කරගෙන මැතිවරණය කල් දාන්න ඉඩ දෙන්න බැහැ. ඒ ගැටලුව විසඳන්න කල් යනවා නම් ඒ ප්‍රාදේශීය සභාව පසුවට තබා මැතිවරණය පවත්වන්න ඕන කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ” අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවැසුවේය.
මේ සාකච්ඡාවෙන් පසුව අනුර කුමාර ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයට පැමිණියේය. ඒ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග පැවැති සාකච්ඡාව ගැන පක්ෂයේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමටය. පක්ෂ ‍ලේකම් ටිල්වින් සිල්වා හා ප්‍රචාරක ‍ලේකම් විජිත හේරත් සමග ඔහු සාකච්ඡා කළේ මැතිවරණ කල්යාමක් ගැනය.
 
ජවිපෙන් නඩු 
 
ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පසුගියදා අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට චෝදනා කරමින් කීවේ කෝටි ගණනක මුදල් තොගයක් ‍පොහොර ගෝනිවල දමාගෙන ගිය බවය. මේ ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණට හිතවත් නීතිඥයන් පිරිසක් පක්ෂයට කතා කරමින් කීවේ අධිකරණමය ක්‍රියාමාර්ග ගත යුතු බවය. විජිත හේරත්, සුනිල් වටගල හා ලාල්කාන්ත මේ ගැන අවධානය යොමු කළේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ගැනත් සාකච්ඡා කරමිනි.
“නඩු දාන්න නිමිත්තක් තිබෙනවා. අපහාස නඩු කියන්නේ විශේෂ නඩු වර්ගයක්. අපි කීර්ති නාමයට හානි කළා කියලා වන්දියක් ඉල්ලමු. ඊට අමතරව අපිට මේකෙන් වාසියක් තිබෙනවා. චරිතය ගැනනේ නඩුව යන්නේ. හරස් ප්‍රශ්න අහනකොට ජොන්ස්ටන්ගේ හොරකම් ගැන අපිට අහන්න පුළුවන්” සුනිල් වටගල නීතිමය තත්ත්වය පැහැදිලි කළේය.
“ඔව්. ජොන්ස්ටන්ට විරුද්ධව එෆ්.සී.අයි.ඩී. එකේ පැමිණිලි ගණනාවක් තිබෙනවා. මේවා ආණ්ඩුව කල් දදා තිබෙන නිසා මේ වගේ නඩුවකදී ජනතාවට දැනගන්න එක්ක මේ ගැන කතා කරන්න පුළුවන්” විජිත හේරත් කීවේය.
“රාජපක්ෂ කල්ලියට අපිත් එක්ක ලොකු වෛරයක් තිබෙනවා. අපිට කරන්න වෙන චෝදනාවක් නැති නිසා ආණ්ඩුව එක්ක ඩීල් දානවා කියලා කතාවක් හදනවා. මේකට ලොකු ප්‍රහාරයක් දෙන්න ඕන” ලාල් කාන්ත කීවේය.
 
තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4642

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4252

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7379

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4647

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2976

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3784

Please publish modules in offcanvas position.

Web Analytics