Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කිරිඇල්ල දයාසිරි හැප්පෙති

මේ සතියේ සුපුරුදු පරිදි කැබිනට් මණ්ඩල රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. අගමැති රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාරයක නිරතව සිටි නිසා ඔහු කැබිනට් මණ්ඩලයට පැමිණ සිටියේ නැත. සුපුරුදු පරිදි කැබිනට් පත්‍රිකා සාකච්ඡාවට ගන්නා අතරවාරයේදී ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මේ සතියේ කැබිනට් රැස්වීම උණුසුම් කළේය. නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා උපදේශකයෙක් පත් කිරීමට අදාළව කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්වී තිබුණි. 
“නුවර අධිවේගී මාර්ගය හදන්න මේ තරම් ප්‍රමුඛතාවයක් ලබාදෙන්නේ ඇයි? අපි මුදල් වෙන් කරන විට ප්‍රමුඛතාවයන් හඳුනාගන්න ඕන. මේ අධිවේගී මාර්ගය හදන්න යන එක ලංකාවේ ණය ගැනීමේ සීමාවට බලපාන්නේ කොහොමද කියලා සොයා බැලිය යුතුයි. මේ දැන් ගන්න හදන්නේ වානිජ ණයක්” චම්පික කිරිඇල්ලගේ කැබිනට් පත්‍රිකාවට විරෝධය දැක්වූවේය. 
දයාසිරි ජයසේකර ඇමැතිවරයාද කිරිඇල්ලගේ කැබිනට් පත්‍රිකාවට විරුද්ධව අදහස් දක්වන්න විය. 
“මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී අධිවේගී මාර්ග හැදුවා. ඒත් කිලෝමීටර එකසිය හැත්තෑවක් විතරයි ඒ කාලයේදී හැදුවේ. දැන් මේ ආණ්ඩුවෙන් කිලෝමීටර එකසිය අනූවකට වැඩි දුරක් හදන්න මුල් ගල් තියලා. මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය කිලෝමීටර අනූහයක් වෙනවා. මීරිගම සිට කුරුණෑගලට කිලෝමීටර තිස්පහයි. කඩවත මීරිගම කොටස කිලෝමීටර තිස් හයයි. පිටත වටරවුම් මාර්ගය කිලෝමීටර 9.6ක දුරක් තියෙනවා. මේවා හදන්න මුලින් ඩොලර් මිලියන එකසිය තුනක් වැය කරන්න තිබුණේ. ඒත් පස්සේ මේ ඇස්තමේන්තුව ඩොලර් මිලියන එකසිය හතළිහකට ඉහළ ගියා. දැන් ඒක අඩු කරලා තියෙන්නේ ඩොලර් මිලියන එකසිය විසි තුනකටයි” දයාසිරි කිරිඇල්ලට විරෝධය දැක්වූයේ සංඛ්‍යා‍ලේඛනද ඉදිරිපත් කරමිනි.
දයාසිරිගේ යෝජනාව වූයේ කුරුණෑගල සිට නුවර දක්වා සාමාන්‍ය මාර්ගය පුළුල් කර සංවර්ධනය කළ යුතු බවය.
“මේ දේවල් කරනවා නම් හරියට කරන්න ඕන” රාජිත සේනාරත්න ඇමැතිවරයාත් කතාවට මැදිහත් විය.
“දෙමටගොඩ ඉඳලා ලෝලෙවල් එක පුළුල් කරන්න යන්නේ ඩොලර් මිලියන දහයක් විතරයි. කොළඹ වාහන තදබදය අඩු කරන්න නම් ඒ පාර හදන්න ඕන. ඒවට සල්ලි දෙන්නේ නෑ. ඒත් නුවර හයිවේ එකක් හදනවා. මේක 2020 වන විට හදලා ඉවර කරන්න බෑ. මේවා එක්ක කිසිම දේශපාලන වැඩසටහනක් නෑ” දයාසිරි වේගවත්ව කියන විට කිරිඇල්ලත් නැගී සිටියේය.
“නුවර අධිවේගී මාර්ගය හදන එක අවශ්‍ය දෙයක්. ගියපාර ජනාධිපතිවරණයේදී අපි මහනුවර ජයගත්තා. දයාසිරිලා ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමාට විරුද්ධව වැඩ කළේ. අමරවීරලා ජනාධිපතිතුමාට විරුද්ධව තමයි වැඩ කළේ. ඒ අයට ආණ්ඩුව ගැන කැක්කුමක් නෑ. අපි තමයි දිනුවේ. ඡන්දයේදී දුන්න ‍පොරොන්දු මොනවාද කියලා අපි තමයි දන්නේ. ඒවා දන්නේ නැති අය ඇවිත් දැන් මෙතැන කෑ ගහනවා. මේ අය කවුරුවත් ජනවාරි අට වෙනිදා කැම්පේන් එකේ හිටියේ නෑ” කිරිඇල්ලත් කීවේ තරමක ආවේගයෙන් යුතුවය.
“දිනුවද පැරදුනාද කියන එක නමෛයි මෙතැන තියෙන වැඩේ  රට ගැන හිතලයි අපි මෙතැන මේ කතා කරන්නේ” දයාසිරිත් කතාව අතහැරියේ නැත.
“අපි කියන දේ අහගෙන ඉන්නේ නැති නම් අපි ආණ්ඩුවේ ඉන්න එකේ වැඩක් නැහැනේ. එහෙමනම් අපි ආණ්ඩුවෙන් යන්නම් ඔයාලා කරගෙන යන්න” මහින්ද අමරවීර ඇමැතිවරයාත් දයාසිරිගේ සහයට ඉදිරිපත් විය.
“ආණ්ඩුවේ වැරදි තියෙනවා නම් ඒව අපිට පෙන්නලා දෙන්න පුළුවන් වෙන්න ඕන” සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයාත් කතාවට එක්විය.
“මේවා දෙපැත්තට ඇදගෙන යන්න ඕන නැහැ. දෙයක් කරනවානම් අපි ඒක කරන්න ඕන” රවුෆ් හකීම් ඇමැතිවරයා පෙනී සිටියේ කිරිඇල්ලගේ පැත්තටය.
“අපි අගමැතිතුමා ආවම එතුමත් එක්කත් කතා කරලා මේ ගැන තීරණයක් ගනිමු”මෛත්‍රී දෙපිරිස අතර ගැටුම සමථයකට පත් කිරීමට කීවේය.
“මේ ව්‍යාපෘති අපි පටන් ගනිපු ව්‍යාපෘති. මේවා අතරමග නතර කරන්න බෑ. මේවා නතර කළාම අපි මොනවද කළේ කියලා මිනිස්සු අපෙන් අහනවා” සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාත් කතා කළේය.
“අපි ශක්‍යතා අධ්‍යයනය කටයුතු කරගෙන යමු. ඉදිරියේදී මොකද කරන්නේ කියලා අපි සාකච්ඡා කරමු” මෛත්‍රී අවසානයේදී කතාවට තිත තැබුවේය.
 
මෛත්‍රී - විමල් හමුවක් 
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ මෛත්‍රී සමග සාකච්ඡා කළේ පසුගිය සතියේදීය. සාකච්ඡාවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස ජනාධිපති නිල නිවසට පැමිණෙන විට මෛත්‍රී සිටියේ නුවර සිට කොළඹ බලා පැමිණෙමින්ය. සවස හතරයි තිහට සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණත් මෛත්‍රීට කොළඹ පැමිණීමට තරමක් ප්‍රමාද විය. ඒ නිසා සවස හතරයි තිහට පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව පහයි තිහ දක්වා පැයකින් කල් දැමුණි. ඒ නිසා විමල් ඇතුළු පිරිස සෙන්සාල් අවන්හලට ගොස් තේ පානය කර ජනාධිපති නිල නිවස බලා පිටත්ව ගියහ.
“ආයුබෝවන්” ඩිලාන් පෙරේරා සහ ලසන්ත අලගියවන්න සමග පැමිණි මෛත්‍රී විමල් පිළිගත්තේය. 
“අපි මාධ්‍යයටත් නිකුත් කරන්න එක්ක ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපේ ස්ථාවරය සකස් කරගෙන තිබෙනවා” විමල් පිටු තුනකින් යුත් ලිපියක් ඉදිරිපත් කළේය. ව්‍යවස්ථා අර්බුදය, රණවිරුවන් සම්බන්ධයෙන් තත්ත්වය, ආණ්ඩුකාරවරයාගේ බලය අඩු කිරීම, සමගාමී ලැයිස්තුව ඉවත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවීම ඇතුළු කරුණු එහි ඇතුළත් විය.
“අපිත් මේවා ඉවත් කරනවාට විරුද්ධයි” විමල් ඉදිරිපත් කළ අදහස් ඩිලාන් පෙරේරාද 
පිළිගත්තේය.
“සංහිඳියාවක් ඇති කරන්න කියලා අරගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සංහිඳියාවක් නැතිවෙන එකයි වෙන්නේ. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න කියලා කියන එක ගැටලුවක්. මේ විදියට බලනකොට ජයම්පති වික්‍රමරත්නට වඩා සුමන්දිරන් භයානකයි” විමල් කීවේය. එහෙත් ඔහුට කීමට අවශ්‍යවී තිබුණේ සුමන්තිරන්ට වඩා ජයම්පති භයානක බවය.
“සුමන්තිරන්ට වඩා ජයම්පති භයානකයි” විමල් සහ මෛත්‍රී එම කතාව නිවැරදි කළේ එකටමය. 
“අපි නම් මේකට කියන්නේ රනිල් වික්‍රමසිංහගේ ව්‍යවස්ථාව කියලයි. මේකට අනෙක් අයගේ සංශෝධන ඇතුළත් කරලා නැහැනේ”විමල් කීවේය.
“මම ඒ ගැන නම් අහලා තිබෙනවා” මෛත්‍රී කීවේද සිනාමුසු මුහුණකින් යුතුවය.
“ජේ.ආර්. වුණත් තිබුණ සක්ක ගල් හෙල්ලුවේ නැහැ” විමල් කීවේ ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව ගැන සිහිපත් කරමින්ය.
“ජේ.ආර්. නොකරපු දෙයක් මට කරන්න වුවමනාවක් නැහැ” මෛත්‍රී සිය ස්ථාවරය පැහැදිලි කළේය.
“මම ඉන්නේ එක පැත්තක වෙන්න පුළුවන්. ජනාධිපතිතුමා මැද ඉන්න නීති විශාරදයන්ගෙන් මේ ගැන උපදෙස් අරගෙන කටයුතු කරන්න” විමල් ඉල්ලා සිටියේය.
“මම නීති විශාරදයන් අනුව තමයි කටයුතු කරන්නේ” මෛත්‍රී කීවේ විමල් සමග පැවැති සුහද කතාබහ අවසන් කරමින්ය.
 
මෛත්‍රී හමුවූ ළමයා 
 
සිකුරාදා උදෑසන මෛත්‍රී සිටියේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේය. ජනාධිපති ‍ලේකම් කාර්යාලය බැලීමට පැමිණි බදුල්‍ලේ දැරියක් කියා තිබුණේ මෛත්‍රී හමුවීමට අවශ්‍ය බවය. ඇය මෛත්‍රීගේ චිත්‍රයක්ද ඇඳගෙන පැමිණ සිටි අතර මෛත්‍රී හමුවීමට දැරියක් බලා සිටින බව ඔහුගේ ‍ලේකම්වරයෙක් ගොස් කියා තිබුණේය.
“එයාට එන්න කියන්න” මෛත්‍රී තමන්ගේ රාජකාරි කටයුතු මදකට පසෙක තබා දැරිය තමන් සිටි තැනට ගෙන්වා ගත්තේය.
“මට හමුවෙන්න පුළුවන්වේවි කියලා හිතුවේ නෑ” දැරිය කීවේ කටකාරකමිනි.
“කොහේද දූ ඉස්කෝ‍ලේ යන්නේ. කොහේද ඔයා ඉන්නේ” ආදී ලෙසින් මෛත්‍රී ප්‍රශ්න අසන විට දැරිය ඒවාට උත්තර දුන්නාය. පසුව තමන්ගේ අතේ තිබූ චිත්‍රය මෛත්‍රීගේ අතට දුන්නාය.
“ඔයාට දුන්න පින්තූරය කැමැතිනම් බිත්තියේ ගහගන්න” දැරිය කීවේ සුරතල් ලෙසින්ය.
“මම වෙලාවක දූගේ ගෙදර එන්නම්” මෛත්‍රී කීවේය.
“එනවානම් කලින් කියන්න. මට කෝල් එකක් දීලා එන්න” දැරිය කීවේ අවට සිටි අයද සිනා ගන්වමිනි.
“මම එන්නම්. ඔයාව මට හමුවුණ එක ගැන හරිම සතුටුයි” යැයි කී මෛත්‍රී කලින් යොදාගෙන තිබූ සාකච්ඡාවක් පැවැත්වෙන කාමරයටද දැරිය රැගෙන ගියේය.
 
නාමල් කාන්තා සිර මැදිරියේ 
 
මත්තල ගුවන්තොටුපළ විකිණීමට විරෝධය දක්වමින් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ විරෝධතාවයට පෙර දිනයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් රත්නපුරය බලා පිටත්ව ගියේ පවිත්‍රාගේ නිවසේ පැවැති ධර්ම දේශනයකට සහභාගීවීමටය. ධර්ම දේශනාව අවසන්වීමෙන් පසුව මන්ත්‍රීවරු හම්බන්තොට බලා පැමිණීමට සූදානමින් සිටියහ.
“මටත් ඔයාලා එක්ක එන්න තිබුණා නම් හොදයි. ඒත් මේ පින්කම දාලා එන්න පුළුවන්කමක් නෑනේ” පවිත්‍රා කීවාය.
“ඒකට කමක් නැහැ අක්කේ. ඔයා පින්කමේ වැඩ ටික කරගන්න. අපි මේ පින්කම කරන්නම්”ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා කීවේ කාගේත් සිනා හඬ මැදය.
විරෝධතාවය පැවැත්වීමට විරුද්ධව අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබුණත් එම වාරණ නියෝග නොතකාහරිමින් විරෝධය පැවැත්විණි. මේ නිසා නාමල් රාජපක්ෂ, ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර ඇතුළු කණ්ඩායමක් ‍පොලීසියට කැඳවා තිබුණේ ප්‍රකාශයක් ලබාගැනීමටය. නාමල් උදෑසනම ‍පොලීසියට ගොස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් වුවත් ඒ වන විට උදෑසන වැඩි යැයි කියමින් ‍පොලීසිය ප්‍රකාශයක් ගත්තේ නැත. නාමල්ට එරෙහි නඩුවක් අධිකරණයේ කැඳවා තිබූ නිසා නාමල් කොළඹ පැමිණියේය.
නැවත වරක් මන්ත්‍රීවරුන්ට ‍පොලීසිය හමුවේ පෙනී සිටින්නට දැනුම්දී තිබුණි. ඔවුන්ට ‍පොලීසියට එන්නැයි දැනුම්දී තිබුණේ සවස පහටය. ප්‍රසන්න රණවීර සවස පහටත් පෙර හම්බන්තොටට ගොස් අතරමග නැවතී සිටි අතර සවස පහ වන විට පිරිස හම්බන්තොට ‍පොලිස් ස්ථානය වෙත ගියහ. ඔවුන් ‍පොලීසිය ඇතුළට යනවාත් සමග ‍පොලිස් බස් රථයක්ද ‍පොලිස් ස්ථානයට ගෙනවිත් නැවත්වූවේය.
“අද නම් මෙයාලට එන්න වෙන්නේ නෑ. දැක්කනේ ඇතුළට ගියපු ගමන් බස් එකක් ගෙනැත් ගැහුවා”ජොන්ස්ටන් කීවේ නාමල් ඇතුළු පිරිසට රක්ෂිත බන්ධනාගාරගතවීමට සිදුවන බව කියමිනි.
“අයියේ මොකක්ද ඔය අතේ තියාගෙන ඉන්නේ”සිලි සිලි උරයක් අතේ තබාගෙන සිටි ප්‍රසන්න රණවීරගෙන් නාමල් ඇසුවේය.
“මම කෝකටත් කියලා සරමකුයි බැනියමකුයි ගෙනාවා. යහපාලන ‍පොලීසිය අපිට අද නම් එන්න දෙන එකක් නෑ”ප්‍රසන්න රණවීර කීවේය.
“තාත්තා අද එවන එකක් නෑ. කෝකටත් ගිහින් තාත්තාගේ බොහෙත් ටික අරගෙන එන්න” උපාලි කොඩිකාරගේ බිරිඳ පුතාට කීවේ එදින ‍පොලීසියෙන් එළියට ඒමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි විශ්වාස කළ නිසාය.
“මට කට උත්තරය කියවන්න ඕන. මගේ කණ්ණාඩි දෙක ගේන්න ඕන” ප්‍රසන්න රණවීර කීවත් ‍පොලිස් නිලධාරියෙක් ප්‍රසන්නට කටඋත්තරය කියෙව්වා මිස කණ්ණාඩි ගෙනවිත් එය කියවා බැලීමට අවස්ථාවක් ලබා දුන්නේ නැත.
රාත්‍රී අටයි තිහ පමණ වන තෙක් කට උත්තර සටහන් කරගත් අතර පිරිස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේ රාත්‍රී එකොළහට පමණය. ඔවුන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන තෙක් සිටින විට නාමල්ගේ නීතීඥයෙක්ට මේ දිනවල විදේශගතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය.
“මොකද දැන් තත්ත්වය” මහින්ද ඇසුවේය.
“කට්ටිය ඇතුළට දාන පාටක් තමයි සර් තියෙන්නේ”නීතිඥයා උත්තර දුන්නේය.
“මම ඕක දැනගෙන හිටියා”මහින්ද වැඩි දෙයක් කියන්න ගියේ නැත.
පසුදා උදෑසන ඩලස් අලහප්පෙරුම ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් තංගල්ල කාල්ටන් නිවසට පැමිණ සිටියේ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින නාමල් ඇතුළු මන්ත්‍රීවරු බැලීමට යාමටය. දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රීවරු පිරිස කාල්ටන් නිවසෙන් දිවා ආහාරයද රැගෙන බන්ධනාගාරය වෙත යාමට සැරසෙන විට ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කෙලින්ම බන්ධනාගාරය ළඟට ගොස් තිබුණේය. ප්‍රසන්න සමග පළාත් සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පැමිණ සිටියද ඔවුන්ට බන්ධනාගාරයට යාමට දොර විවරවූයේ නැත. පසුව දිනේෂ්ලා පැමිණි විට ප්‍රසන්නට බන්ධනාගාරයට යාමට අවසර ලැබුණත් පළාත් සභා මන්ත්‍රීවරුන්ට බන්ධනාගාරය තුළට යාමට අවසර ලැබුණේ නැත.
නාමල් ඇතුළු පිරිස බැලීමට පැමිණි මන්ත්‍රීවරුන්ට නාමල් හමුවූයේ කාන්තා සිර මැදිරියක් තුළදීය. ඒ මන්ත්‍රීවරුන්ට හමුවීමට වෙනත් ඉඩ ඇති තැනක් නොතිබූ නිසාය.
“අර අලුත් එක විවෘත කරන්න පුළුවන් වේවි නේද?” ප්‍රසන්න රණතුංග ඇසුවේ නාමල්ගෙන්ය.
“මොකක්ද අලුත් එක කිව්වේ”නාමල් නැවත ඇසුවේ ප්‍රසන්නගේ ප්‍රශ්නය නොතේරුන නිසාය.
“නෑ.. මම කිව්වේ අර අඟුණුකොළපැලැස්සේ හදපු බන්ධනාගාරය. ඒක අපිවම දාලා විවෘත කරන්න වගේ තමයි ආණ්ඩුව හදන්නේ” ප්‍රසන්න කීවේය.
“ඒකේ වැඩ දැන් ඉවරයි. පහුගිය මැතිවරණය කා‍ලේ මේ පැත්තේ සමහරු වේදිකාවල කිව්වේම රාජපක්ෂ කෙනෙක් දාලා මේක විවෘත කරනවා කියලයි. ඒකට වෙන්න ඇති මේ යන්නේ”නාමල් කීවේය.
 
සනත්ගේ පාසල් ප්‍රේමය 
 
පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් පැවැති අතර පවිත්‍රා, මහින්ද යාපා, සනත් නිශාන්ත පාර්ලිමේන්තු භෝජනාගාරයේ කතා කරමින් සිටින විට ෆයිසර් මුස්තාපා ද එහි ආවේය. ෆයිසර් දුටු සනත් අමුතු සිනහවක් දැම්මේය.
“මොකද නිකං නක්ක‍ලේට වගේ හිනාවෙන්නේ”ෆයිසර් සනත්ගෙන් ඇසුවේය.
“නෑ.. මුකුත් නෑ”සනත් කීවේය.
“මගේ වැඩේ මොකද? කෙරෙනවාද”මහින්ද යාපා ෆයිසර්ගෙන් ඇසුවේය.
“ඔව්. ඔව්. ඒක කෙරෙනවා”ෆයිසර් උත්තර දුන්නේය.
“අ‍පෝ මෙයා කෙරෙනවා කිව්වොත් ඒකේ තේරුම කෙරෙන්නේ නෑ කියන එකයි. කිසිම විශ්වාසයක් තියන්න බෑ”සනත් කීවේය.
“ඒ මොකද එහෙම කියන්නේ”ෆයිසර් ඇසුවේය.
“මම ‍පොඩි කතාවක් කියන්නම්. ඉස්සර ඉස්කෝලෙ යන කා‍ලේ ලස්සන ගෑනු ළමයෙක් හිටියා. මම මෙයාට හරි කැමැත්තෙන් හිටියේ. හැමදාම පස්සෙන් යනවා. ගිහින් යාළු වෙන්න අහනවා. හැබැයි මෙයා හා කිව්වෙත් නෑ. බෑ කිව්වෙත් නෑ. කැමැතියි වගේ හිනාවෙලා යනවා. හැබැයි මොනවත් කියන්නේ නෑ. ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනකම් මම පස්සෙන් ගියා. කිසිම වැඩක් වුණේ නෑ. ඒ වගේම තමයි මෙතුමත් අපිත් එක්ක හිනා වෙලා ඉන්නවා ඡන්ද තියනවා වගේ. හැබැයි කවදාවත් ඡන්ද තියන්නේ නෑ” සනත් කීවේය.
“මේ දෙපැත්ත කැපෙන කතා කියන්න එපා”යැයි කියමින් ෆයිසර් එතැනින් ලිස්සා ගියේය.
“ඇත්තටම මල්ලි ඔයාට ඉස්කෝලෙ යන කා‍ලේ ගෑනු ළමයෙක් එක්ක  යාළු වෙන්න බැරි වුණාද?” පවිත්‍රා සිනාසෙමින් ඇසුවේ ෆයිසර් ගිය පසුවය.
“පිස්සුද අක්කේ. මට එහෙම කිසිම අවුලක් තිබුණේ නෑ. පස්සෙන් ගිය හැම ළමයෙක්ම මට කැමැති වුණා” සනත් පාසල් ප්‍රේමය ගැන සිහිපත් කළේය.
 
රනිල් දීර්ඝ ගුවන් ගමනක 
 
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සති එකහමාරක කාලයක් තිස්සේ සිටියේ පින්ලන්තයේ නිල සංචාරයකට එක්වෙමින්ය. පින්ලන්තයේ හෙල්සින්කි සිට ලන්ඩන් හරහා කටුනායකට පැමිණියේ බ්‍රහස්පතින්දා අලුයම දෙකට පමණය. පැය විසි දෙකක දීර්ඝ ගුවන් සංචාරයකින් පසුව ලංකාවට පැමිණි රනිල් පැය තුනක් පමණ නිදා සිට අරලියගහ මන්දිරයට පෙරවරු දහයට පමණ පැමිණියේ ආර්ථික කමිටු රැස්වීමට සහභාගීවීමටය.
රනිල් හමුවීමට නවසීලන්ත ආයෝජකයෙක් අරලියගහ මන්දිරයට පැමිණ සිටියේ රනිල්ට හිතවත් මාධ්‍යවේදීන් දෙදෙනෙක් සමගය.
“මගේ පියාගේ පරම්පරා හතක් ලංකාවේ හිටපු අයයි. මගේ තාත්තා ඉපදුණෙත් ලංකාවේ. මම ඉපදුණේ ඕස්ට්‍රේලියාවේ. දැන් පදිංචිවෙලා ඉන්නේ නවසීලන්තයේයි” එම ආයෝජකයා රනිල්ට කීවේ හෝටලයක් ඉදිකිරීමට අවශ්‍ය පහසුකම් ඉල්ලා සිටින අතරවාරයේදීය. ඔහු රනිල් ගැන ලියවුණ ‍පොත් දෙකක්ද රැගෙන විත් තිබූ අතර එම ‍පොත් දෙකට රනිල්ගේ අත්සනක්ද ලබාගත්තේය.
“පින්ලන්ත සංචාරය අපිට වාසිදායක බව පෙනුණා” එම හමුවෙන් පසුව රනිල් අසලට පැමිණි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරය කීවේය.
“පින්ලන්තය නිදහස ලබන වසර සියයක් සම්පූර්ණවෙන අවස්ථාවට අගමැතිතුමාට ආරාධනා කරලා තිබුණා. තවත් ඇමැතිවරු කිහිපදෙනෙක් එහිදී හමුවුණා. ලංකාවට උදව් කරන්න ඒ අය ‍පොරොන්දු වුණා. කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම, මුහුදු රළෙන් විදුලිය නිපදවීම ගැනත් ඒ අය කතා කළා. එම ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන්ද අපිට උදව් කරාවි” අකිල විරාජ් කීවේය.
“පින්ලන්ත ව්‍යවස්ථාවේන් අපිට බොහෝ දේ ඉගෙන ගන්න පුළුවන්. මේ සංචාරයේදී ලංකාවට ලැබුණ ලොකුම වාසිය වෙන්නේ වෘත්තීය පුහුණුව හා විභාග පාස් වුණත් නැතත් දරුවෙක් වසර දහතුනක අධ්‍යාපනයකට යොමු කිරීමේ පින්ලන්ත ක්‍රමය ලංකාවට හඳුන්වාදීමට එකඟවීමයි. එහි නියමු ව්‍යාපෘතිය ලබන අවුරුද්දේදීම ආරම්භ කරනවා. ඒ අය ලංකාවට ඇවිත් අපේ අයට පුහුණුව ලබාදේවි” රනිල් පින්ලන්ත සංචාරය ගැන පැහැදිලි කළේය.
 
රවිගේ රහස් සාකච්ඡා 
 
හිටපු ඇමැති රවි කරුණානායක ඇමැති ධුරයේ සිටියදී එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ ඔවුන්ගේ ඕනෑ එපාකම්වලට උපකාර කරමිනි. ඒ නිසා පසුගිය සතියේදී පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් තංගල්‍ලේ හෝටලයකට කැඳවා තිබුණේ රවිය. එහෙත් ඒ ගැන පක්ෂ නායකත්වය දැනුවත් කර තිබුණේ නැත. රවිගේ හමුවට පසුපෙළ මන්ත්‍රීවරු විසි පස්දෙනෙක් පමණ පැමිණ සිටියහ.
“අපි පසුපෙළ මන්ත්‍රීවරු නිතර හමුවෙන්න ඕන. මාසයකට සැරයක් වත් අපි මේ වගේ හමුවක් තියමු. අපිට තියෙන ප්‍රශ්න අපි කතා කරමු”රවි කීවේය.
“ඔබතුමා තමයි බලය තිබුණත් නැතත් අපි ගැන බැලුවේ”පසුපෙළ මන්ත්‍රීවරු රවිගේ ගුණ ගයන්නට වූහ.
“පළාත් පාලන මැතිවරණයට අපි ශක්තිමත්ව ඉදිරිපත් වෙන්න ඕන. ගම් මට්ටමින් අපි ශක්තිමත් වෙන්න ඕන. පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ආසනවලට හැමෝම ගිහින් ශාඛා සමිති ශක්තිමත් කරන්න වැඩ කරමු” පසුපෙළ මන්ත්‍රීවරු යෝජනා කළහ
මේ අතර ඇතැම් අය ජනාධිපතිවරයාද ආණ්ඩුවද විවේචනය කරමින් කතා කරන්න විය. 
කෙසේ වෙතත් රවිගේ රහස් සාකච්ඡා පැවැත්වෙන විට රනිල් ලංකාවේ සිටියේ නැත. රනිල්ටත් හොරා රවි පසුපෙළ මන්ත්‍රීවරු හමුවී කරන සාකච්ඡා ගැන රනිල් සිටින්නේ එතරම් හිත හොඳකින් නොවේ. ඒ නිසා ඔහු දැන් සූදානම් වන්නේ රවිගේ රහස් සාකච්ඡා ගැන සොයා බැලීමටය.
 
තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2328

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1542

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 816

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1830

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5465

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3414

Please publish modules in offcanvas position.

Web Analytics