Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දුමින්ද-අනුරාධ නූලෙන් බේරෙයි

එක්වෙමු - නැගිටිමු අටු කොටු පුරවමු ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ කැකිරාව තිබ්බටුවැව වෙල් යාය පරිශ්‍රයේදීය. කොළඹ සිට මෛත්‍රී අනුරාධපුරයට පැමිණ තිබුණේ හෙලිකොප්ටරයෙනි. අනුරාධපුරයට පැමිණ මෛත්‍රී පිළිගැනීමට පැමිණියේ දුමින්ද දිසානායක ඇමැතිවරයාය. ඔහු සමග පී. හැරිසන් ඇමැතිවරයාත් අනුරාධ ජයරත්න ඇමැතිවරයාත් පැමිණ සිටියහ. 
වෙල් යායට පැමිණි මෛත්‍රී පිළිගත්තේ ගොවියෙක් හා ගෙවිලියකි. එතැනට ස්වාමීන්වහන්සේලා හා ගොවීන් පැමිණ සිටි දුටු මෛත්‍රී උත්සව සභාවට යාමට පෙර ඔවුන් අතරට ගියේය. එතැනට පැමිණි අය තමන්ගේ ගැටලු ගැන සඳහන් කරමින් ලිපි ජනාධිපතිවරයාට භාරදීමේ අපේක්ෂාවෙන් පසුවූහ. ඔවුන්ගේ ගැටලු ගැන විමසූ මෛත්‍රී ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීමටද එකඟත්වය දැක්වූවේය.
“ජනාධිපතිතුමා වයඹ ඇළ ඉදිකිරීම් දැන් පටන් ගන්නවා. අපේ පැත්තට ඇනිකට් තුනක් දාලා වතුර දෙන්න” එතැනට පැමිණ සිටි චන්දිම ගමගේ මන්ත්‍රීවරයා ඉල්ලුවේය.
“ඕක ඉල්ලීමක් විදියට ඉදිරිපත් කරන්න. ලබන අවුරුද්දේ ඒකට මුදල් වෙන් කරන්නම්” මෛත්‍රී ‍පොරොන්දුවක් දුන්නේය.
උත්සව සභාවෙන් පසුව මෛත්‍රී ගොයම් පැළ සිටුවීමට ගියේය. ගොයම් පැළ සිටුවීමට තිබුණේ යන්ත්‍රයකිනි. මෛත්‍රී එක් යන්ත්‍රයකට ගොඩවූයේ එහි ක්‍රියාකරු සමගය. දුමින්ද දිසානායක හා අනුරාධ ජයරත්න අනෙක් යන්ත්‍රයට නැග්ගේය. මෛත්‍රී ඉදිරියෙන් ගොයම් පැල සිටුවාගෙන ආ අතර දුමින්ද හා අනුරුද්ධ පිටුපසින් පැළ සිටුවමින් ආවේය. ඔවුන් දෙදෙනා ටික දුරක් ඉදිරියට යද්දී යන්ත්‍රය සිරවූයේ මඩ ගොඩකය. ඔවුන් දෙදෙනා සමග පැළ සිටුවීමේ යන්ත්‍රය පෙරෙළෙන්නට ගිය අතර යන්ත්‍රයේ ක්‍රියාකරු මඩට බැස ඔවුන් දෙදෙනා සමග යන්ත්‍රය පෙරලීමට ඉඩ නොදී යළි කෙළින් කරගත්තේ විශාල පරිශ්‍රමයක් දැරීමෙන් පසුවය. මොවුන් දෙදෙනා මඩට පෙරලීමෙන් බේරෙන්න උත්සාහ ගනිද්දී මෛත්‍රී වට දෙකක්ම ගොස් ගොයම් පැළ සිටුවූවේය.
ඉන් පසුව ගෙවිලියන් පැමිණ ඇඹුල රැගෙන ආවේය. රෙද්ද හැට්ටය ඇඳගත් ඔවුන් ඇඹුල බෙදුවේ මැටි ගෙදරකදීය. මෛත්‍රී පන් වට්ටියක් මත දැමූ නෙළුම් කොළයක ඇඹුල ගත් අතර කහට කෝප්පයක් හා හකුරු සංග්‍රහයක්ද විය. මෛත්‍රී අසල තිබූ ‍පොල්කට්ටක් අතට ගෙන හකුරු කෑල්ල සමග කහට කෝප්පය රස වින්දේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මැති ඇමැතිවරු හමුවී පක්ෂ ජයග්‍රහණයට අවශ්‍ය පියවර ගැනීමට අදාළසාකච්ඡාවන් පසුගිය දිනවලදී පැවැත්විණි.  ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්ය. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු පුද්ගලිකව හමුවී සාකච්ඡා කළේද ඒ අනුවය. ගාල්ලේදී පසුගිය බ්‍රහස්පතින්දා හා සිකුරාදා පුද්ගලිකව මන්ත්‍රීවරු හමුවී මේ ගැන සාකච්ඡා කරන්න විය. පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ සාකච්ඡාවේදී වැඩි වෙලාවක් අදහස් දක්වා තිබුණේ ඩුලිප් විජේසේකරය. ඔහු විනාඩි හතළිස්පහක් මෛත්‍රී සමග පුද්ගලිකව කතා කර තිබුණේය.
මේ අතර ප්‍රාදේශීය මට්ටමට ගොස් පක්ෂ ජයග්‍රහණයට අවශ්‍ය පියවර ගැනීමටද මෛත්‍රී කටයුතු කරමින් සිටී. පසුගියදා ගාල්ලට ගිය මෛත්‍රී එම ප්‍රදේශවල පක්ෂ ක්‍රියාකාරීන් පුද්ගලිකව හමුවී පක්ෂයේ ඉදිරි ජයග්‍රහණයට අවශ්‍ය කටයුතු කිරීමට පියවර ගත්තේය. ඒ අනුව ගාල්ල ටැමරින් හිල් හෝටලයේදී තවත් පුද්ගලික හමුවක් සංවිධානය කර තිබුණේය. මහින්ද අමරවීර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා ශාන් විජයලාල් ද සිල්වා පමණක් ඒ සාකච්ඡාවට එක් කරගැනීමට මෛත්‍රී කටයුතු කර තිබුණේය.
“දකුණු පළාත් සභාවේ වැඩ කටයුතු කොහොමද ශාන්” මෛත්‍රී විමසුවේය.
“ඒකාබද්ධ විපක්ෂයේ වැඩ නිසා පළාත් සභාවේ කටයුතු කරගෙන යාමේ ගැටලුවක් ඇතිවෙලා තිබෙනවා” ශාන් පළාත් සභාවේ කටයුතු ගැන පැහැදිලි කළේය.
“පළාත් සභාවේ මේ ඇතිවෙලා තිබෙන බෙදීම නිසා වාසියක් අත්වන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. අන්තිමේදී එක්සත් ජාතික පක්ෂය තමයි ජයගන්නේ. දකුණු පළාතේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජයගැනීමට පුළුවන්. ඒකට සියලුදෙනාම එකට එකතුවෙන්න ඕන” ලක්ෂ්මන් යාපා පෙන්වා දුන්නේය.
“ශාන් ඔයා පළාත් සභාව හරියට අරගෙන යන්න බලන්න. ඒකාබද්ධයේ අය ඒක කරගෙන යන්න දෙන්නේ නැතිනම් මම තීරණයක් ගන්නවා. එහෙම වුණොත් ඔයාව දකුණු පළාතේ ආණ්ඩුකාරයා කරලා පළාත් සභාව විසුරවලා ඔයා යටතේ ගෙනියන්න කටයුතු කරනවා. 2019 වෙනකම් තියෙන පළාත් සභාවක් ගෙනියන්න ඉඩ දෙන්නේ නැතිනම් මම ඒක අනිවාර්යයෙන්ම කරනවා” මෛත්‍රී කීවේ දැඩි ස්වරයෙනි.
මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරු සමග පැවැත්වූ සාකච්ඡාවට යාමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කිහිපදෙනෙක් ඒ බව මහින්දට දුරකථන ඇමතුම් දුන්නා. ඒ තමුන් ජනාධිපතිවරයාට කියන්නේ මොනවාදැයි දැනුම්දීමටය. තවත් පිරිසක් සාකච්ඡාවට සහභාගීවීමෙන් පසුව මහින්දට දුරකථන ඇමැතුම් දුන්හ.
 
වඳුරන් - බල්ලන් ගැන කතා 
 
මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ අඟහරුවාදා උදෑසනය. සතියේ ඉදිරිපත් කිරීමට තිබූ කැබිනට් පත්‍රිකා ගැන සාකච්ඡා කිරීමෙන් පසුව අවධානය යොමුවූයේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ගැනය. ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේදී වන සතුන්ගෙන් වන හානිය ගැන ඇමැතිවරු අදහස් දක්වන්නට වූහ. ඒ අතර වඳුරන්ගෙන් වගාවට වන හානිය ගැන මෙන්ම බල්ලන්ගේ ගහණය වැඩිවීම ගැනත් ඇමැතිවරු අදහස් දක්වන්නට වූහ.
“වඳුරන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට අවශ්‍යයි. නැතිනම් මේක විශාල ගැටලුවක් බවට පත්වෙනවා” එස්.බි. දිසානායක ඇමැතිවරයා කීවේය.
“වඳුරන් පාලනය කරන්න වෙනවා. නැතිනම් වගාබිම් පාළුවෙලා ලොකු ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්” පී. හැරිසන් ඇමැතිවරයා පැවැසුවේය.
“වඳුරන්ගෙන් විතරක් නමෛයි. කොළඹ නගරයට නම් හරක්ගෙන් හා බල්ලන්ගෙනුත් ලොකු ප්‍රශ්නයක් ඇතිවෙලා තිබෙනවා” පාඨලී කීවේ මේ වන විට කොළඹ නගරයේ අයා‍ලේ යන බල්ලන් හැට දහසක් පමණ සිටින බව කියමිනි.
“මෙහෙම ගියොත් මිනිස්සුන්ට වඩා සත්තු ඉස්රහින් ඉන්න පුළුවන්” මෛත්‍රී කීවේ සිනාවක් මුවට නංවාගනිමිනි.
මේ අතර සීමා නිර්ණය කොමිෂන් සභාවට පත් කළ මුස්ලිම් නියෝජිතයා ගැන කතාවක් ඇදී ආවේය. ඒ රවුෆ් හකීම් එම පත් කිරීමට විරෝධය දැක්වීම නිසාය.
“මේ නියෝජිතයා රිෂාඩි බදියුදීන් ඇමැතිතුමාගේ ආධාරකරුවෙක්. දේශපාලනය කරන කෙනෙක් තමයි මේකට පත් කරලා තියෙන්නේ” හකීම් විරෝධය දැක්වීය.
“මෙයා එහෙම දේශපාලනය කරන කෙනෙක් නමෛයි” ෆයිසර් මුස්තාෆා කතාවට මැදිහත්විය.
මේ අතර රිෂාඩ් බදියුදීන්ද සාකච්ඡාවට එක්වූයේ හකීම්ට චෝදනා රැසක් කරමිනි. අවසානයේදී ඒ ගැටුම බේරීමට මෛත්‍රීටත් රනිල්ටත් මැදිහත්වීමට සිදුවිය.
 
විමල් - දයාන් ගැටුමක 
 
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක්් පසුගිය අඟහරුවාදා ජී. එල්. පීරිස් හිටපු ඇමැතිවරයාගේ නිවසට පැමිණියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහභාගීවීමටය. මහියංගනය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරය භාරගත් තේනුක විදානගමගේ මන්ත්‍රීවරයාද මෙයට පැමිණ සිටියේය.
“වෙල්කම් බැක්” තේනුක එනු දුටු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා තේනුකගේ පිටට තට්ටුවක් දමමින් කීවේය.
“මම කොහේවත් ගියේ නෑ. මම මෙතැනම තමයි හිටියේ” තේනුක කීවේ සිනාසෙමිනි.
“ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ජාතිකත්වය හෝ ඒකීයභාවය ගැන කතා කරනවාට වඩා තරුණ පරපුර ආකර්ෂණය කරගත හැකි නව මාතෘකාවක් සොයාගන්න ඕන. අපි මැද තැනකට එන්න ඕන” දයාන් ජයතිලක කීවේය.
“ව්‍යවස්ථා ක්‍රියාදාමී ප්‍රතිගාමී අවශ්‍යතාවයක් බව අපි පිළිගන්නවා. දයාන් ගන්න කියන අතර මැද ස්ථාවරය මොකක්ද? අතරමැද ස්ථාවරය තමයි දැන් ඉන්න තැන. ඒ කියන්නේ පළාත් ආණ්ඩුකාරවරු ඉන්න ඕන කියන එක. දයාන් කියන මැද තැන මොකක්ද කියන ප්‍රශ්නය මට තිබෙනවා” විමල් වීරවංශ මන්ත්‍රීවරයා නැගී සිටිමින් දයාන්ගෙන් ප්‍රශ්න කළේය.
“මම ඒක පැහැදිළි කළා. මේ නිවසේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දුන්න නියෝගය තමයි මැද” දයාන් කීවේ පළාත් සභාවල සමගාමී ලැයිස්තුවේ ඇති බලය සාකච්ඡා කළ යුතු බවට මහින්ද කර තිබූ ප්‍රකාශයක් සිහිපත් කරමිනි. 
“ඒ කියන්නේ සමගාමී ලැයිස්තුව සාකච්ඡා කරනවා කියන එක මැද වෙන්න ඕන. ඔය කියන මැද හිටගත්තට දයාන් කියන ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. තරුණයින්ට එය මාකට් කරන්න බෑ” විමල් කීය.
“ජනමත විචාරණයකදී සියයට හතළිස් නවයක් අපිට ලැබෙන්න පුළුවන් කියන තමයි ඔබතුමාගේ අදහස. ඒක හරියට මලිත් ජයතිලක එදා ජනාධිපතිවරණය වෙලාවේ කියපු කතාව වගේ දෙයක්” එතැන සිටි තවත් අයෙක් කීවේය.
“මලිත් ජයතිලක කියපු කතාව හරි ගියා” දයාන් උත්තර දුන්නේය. 
“ඒකාබද්ධ විපක්ෂය හැටියට ඔබතුමන්ලා දරන ස්ථාවරය ගැන ඔබ කළ කතාව එක්ක ප්‍රශ්නයකට ආවා. අලුත් ආණ්ඩු ක්‍රමයකට යනවාද, නැතිනම් සංශෝධනයකට යනවාද කියන තැනට අපි එන්න ඕන” එතැන සිටි තවත් අයෙක් කීවේය.
“මම කියන්නේ මගේ පෞද්ගලික මතය. මට ඒකාබද්ධ විපක්ෂයේ මතය මොකක්ද කියලා කියන්න බෑ” දයාන් පැවසුවේය.
 
ඒකාබද්ධ මාධ්‍යයේ ගැටුම් 
 
ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය කටයුතු ගැන සාකච්ඡා කිරීමට මහින්දගේ හිතවාදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් කිහිපදෙනෙක් සෑම සතියකම බ්‍රහස්පතින්දා හමුවන්නේ මාධ්‍ය කටයුතු විධිමත් කරගැනීමටය. පසුගිය ආණ්ඩු කාලයේදී රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් ලෙස කටයුතු කළ කිහිපදෙනෙක්ද මේ කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කරමින් සිටිති. මොවුන් පසුගියදා මහින්දට කියා තිබුණේ විහාරස්ථානවලට ගොස් එන විට මාධ්‍යවේදීන් අසන ප්‍රශ්නවලට පිළිතුරු නොදිය යුතු බවය. ඒ අනුව මහින්ද මෙසේ මාධ්‍යවේදීන් සිය කැමරා දික් කරන විට අදහස් නොදක්වා යාමට උත්සාහයන් ගෙන තිබුණේය.
මේ අතර පසුගිය සතියේදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමල් වීරවංශගේ හා උදය ගම්මන්පිලගේ මාධ්‍ය අංශයේ සාමාජිකයන් දෙදෙනෙකුටද මෙම සාකච්ඡාවට එන්නැයි දැනුම්දී තිබුණේය. ඔවුන් එහි පැමිණ තිබුණේ මාධ්‍ය කමිටුවේ සාමාජිකයෙක් ඔවුන්ට එවා තිබූ එස්.එම්.එස්. පණිවුඩ දෙකක් නිසාය.
“මේක අභ්‍යන්තර සාකච්ඡාවක්. ඒ නිසා ඔයාලාට ඇතුළට යන්න දෙන්න විදියක් නෑ” මහින්දගේ පුද්ගලික සහකාර ලෙස කටයුතු කරන උදිත ලොකුබණ්ඩාර ඔවුන් දෙදෙනාට ඇතුළට යාමට අවසර දුන්නේ නැත. ඒ සමග ඔවුන් දෙදෙනා මහින්දගේ නිල නිවසින් එළියට පැමිණි අතර එය සම්බන්ධීකරණය කළ පුද්ගලයාට දුරකතන ඇමතුමක් දුන්නේය.
“ඔයාලා මේ මොකක්ද කරලා තියෙන දේ. අපිට එන්න කියලා ඇතුළට ගන්නේ නැත්තේ ඇයි. අපිට ආයිමත් එන්න කියන්න එපා. කියන්න තියෙන දෙයක් අපේ ලොක්කන්ටම කියන්න” ඔවුන් දෙදෙනා කීවේ විමල්ට හා උදයට අවශ්‍ය දෙයක් කියන්නැයි දැනුම් දෙමිනි.
ඒ අනුව පසුව ඒකාබද්ධයේ ප්‍රධානීන් කිහිපදෙනෙක් විමල්ට හා උදයට දුරකතන ඇමතුම් ලබාදී සිදුවූ ප්‍රශ්නය ගැන දැනුම් දී තිබුණි. 
“එයාලා ඒකාබද්ධයේ වැඩවලට ගන්නවානම් විමල්ටයි උදයටයි කලින් කියන්න. එයාලාගේ පක්ෂයේ මාධ්‍ය වැඩත් ඒ අයට තියෙනවානේ” මේ ගැන ආරංචිවූ විට මහින්ද උපදෙස් දී තිබුණේය.
 
පවිත්‍රාට පාර වැරදෙයි 
 
ජී.එල්.ගේ නිවසේ සාකච්ඡාවෙන් පසුව මන්ත්‍රීවරු සියලුදෙනාම පිටත්ව ගියේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුගේ පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය. මළගෙදර යාමට පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියත් ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාත් මහින්ද යාපාත් ගොඩවූයේ එකම වාහනයකටය. ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ ඇතුළු තරුණ මන්ත්‍රීවරු ගොඩවූයේ තවත් වාහනයකටය. 
“මල්ලිලා පාර දන්නේ නෑනේ. ඔයාලා පිටිපස්සෙන් එන්න”තරුණ මන්ත්‍රීවරුන්ට කී පවිත්‍රා සිය වාහනය ඉදිරියට ගත්තාය. ඒ අනුව පවිත්‍රාගේ වාහනය ඉදිරියෙන් ගිය අතර තරුණ මන්ත්‍රීවරු ගමන්ගත් වාහනය පිටුපසින් ගමන් කරන්නට විය. එහෙත් පවිත්‍රාට පාර නිවැරදිව සොයා ගැනීමට නොහැකිවිය. ඇයට පාර වැරදුන අතර තරුණ මන්ත්‍රීවරු වෙනත් පාරකින් කල් ඇතිවම මළගෙදරට ගොස් තිබුණේය.
“මැඩම් අපිට පාර පෙන්වන්නම් කියලා අන්තිමට පාර වරද්දගත්තා නේද” ප්‍රසන්න රණවීර ඇසුවේ සිනාසෙමිනි.
“මොනවා කරන්නද මල්ලි. රටටම පාර වැරදුන එකේ මොනවා කරන්නද”පවිත්‍රා කීවේ ලැජ්ජාව වසාගනිමිනි.
 
සජිත් මංගලගෙන් ඉල්ලූ දේ 
 
ලෝක ජනාවාස දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණි. නිල උත්සවය සංවිධානය බෙලිඅත්තේදීය. සජිත් ප්‍රේමදාස  ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවති අතර එය අවසන් වූ වහාම ඔහු මාතර බලා පිටත්වූයේ මාතර පැවැත්වෙන දිස්ත්‍රික් උත්සවයට සහභාගී වීමටය. හම්බන්තොට උත්සවය අවසන් කර මාතර බලා පිටත්වන විට තරමක් ප්‍රමාද වූ අතර එන අතරවාරයේදී සජිත් මංගල සමරවීර ඇමැතිවරයාට දුරකථන ඇමතුමක් ගත්තේය.
“මම මාතරට එන්න ටිකක් පරක්කු වෙන්න පුළුවන්. අපි කොහේදිද හමුවෙන්නේ” සජිත් මංගලගෙන් ඇසුවේය.
“ඔයා අපේ ගෙදරට එන්න” මංගල කීවේය. එහෙත් ඒ වන විට තවත් මන්ත්‍රීවරයෙක් සජිත්ගේ වාහනයේ සිටියේය.
“ඔයාගේ යාළුවෙකුත් වාහනයේ ඉන්නවා. එයා එනවට කැමැති වේවිද දන්නේ නෑ” සජිත් කීවේ සිනාවක් මුවට නංවාගනිමිනි.
“කවුද වාහනයේ ඉන්නේ” මංගලගෙන් ප්‍රශ්නයකි.
“බුද්ධික පතිරණ වාහනයේ ඉන්නේ” සජිත් උත්තර දුන්නේය.
“බුද්ධික ඕනෑ තරම් මෙහේ ඇවිත් තියෙනවා. එයත් එක්කම එන්න” මංගල දුරකථනයේ එහා කෙළවරෙන් කියන විට “මටත් ප්‍රශ්නයක් නෑ. අපි යමු” යැයි බුද්ධික වාහනයේ සිට කීවේය.
ඒ අනුව සජිත්, බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාද සමග මංගලගේ නිවසට ගියේය. මංගලගේ නිවසට ගිය බුද්ධික පතිරණ නිවසේ තැනින් තැන තිබූ මංගලගේ පියාගේ පැරණි ඡායාරූප බලමින් සිටියේය. එවිට මංගල පැමිණ එම ඡායාරූපවල ඉතිහාස කතාව බුද්ධිකට පැහැදිළි කළේය. ටික වේලාවක් නිවසේ සිටි ඔවුන් තිදෙනා උත්සවයට ගියේ එකම ජීප් රථයකින්ය.
උත්සව භූමියට ඒ වන විටත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන රාජ්‍ය ඇමැතිවරයාද පැමිණ සිටියේය. උත්සවයේදී පවුල් 1,500 කට රුපියල් ලක්ෂ 1,605 ක ප්‍රතිලාභ හිමිකර දෙද්දී මංගල කීවේ “මේ වගේ සහන තොගයක් මාතරට ලැබුණමයි” කියාය. සජිත් සිය කතාවේදී කීවේ “ඔබතුමා අය-වැය කතාව කරගෙන යනකොට නිවාස අමාත්‍යාංශයට ලොකුම හැන්දෙන් බෙදන්න ඕනෑ” කියාය.
ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ දේශපාලන වැඩ කටයුතු යාපනයේ ආරම්භ කිරීමේ වගකීම් පැවරී ඇත්තේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාගේ කර මතය. පසුගිය සිකුරාදා උදෑසනම කොළඹින් යාපනට යන්නට පිටත් වූ බැසිල් මුලින්ම ගියේ එස්.එම්. රංජිත් හිටපු මහ ඇමැතිවරයාගේ නිවසටය. ඒ දිවා ආහාරය ගැනීමටය. රංජිත්ගේ නිවසින් දිවා ආහාරය ගත් බැසිල් ඔහුත් කැටිවම සිය මෝටර් රථයෙන් යාපනය බලා පිටත්ව ගියේය.
මුරුකන්ඩි කෝවිලදී බැසිල් පිළිගැනීමට යාපනයේ දෙමළ ජනතාව පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කර තිබුණි. එතැනට පැමිණි කාන්තාවක් තම දරුවාගේ අතුරුදන්වීම ගැන බැසිල්ට කරුණු කීවාය.
“ ඒ කා‍ලේ මගේ පුතා මහින්ද මහත්තයා එක්ක ජිනීවා ගියා. යාපනයේ ජනතාවගේ තත්ත්වය ගැන කීමට තමයි ගියේ. එයා ගිහින් ආවා විතරයි සුදු වෑන් එකක් ඇවිත් එයා පැහැරගෙන ගිහින් අතුරුදහන් කළා” එම කාන්තාව අඬමින් කීවාය.
“ආණ්ඩුව වෙනුවෙන් කරුණු කියන්න ගියපු කෙනෙක් පැහැර ගත්තේ කවුද කියලා හිතන්න පුළුවන්නේ” බැසිල් කීවේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරකම් ගැන සිහිපත් කරමින්ය.
යාපනයට ගිය බැසිල් නවාතැන් ගත්තේ ජෙට්වින් ආයතනයට අයත් හෝටලයකය. හිටපු මන්ත්‍රී මිලින්ද මොරගොඩට අයත් ඉඩමක ඉදිකර තිබූ මේ හෝටලයට මුල් ගල් තබා තිබුණේ බැසිල්ය. පසුගියදා එම හෝටලය විවෘත කර තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. බැසිල් හෝටලයේ නවාතැන් ගත්තේ තමන් මුල් ගල් තැබිමට පැමිණි දිනය ගැනද සිහිපත් කරමින්ය.
යාපනයේ දේශපාලන වැඩකටයුතු ආරම්භ කිරීමට පෙර බැසිල් ගියේ නල්ලූර් කෝවිලටය. එතැන් සිට කෝපායි වෙත ගිය බැසිල් කෝපායි හෝටලයක සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගි වූයේය. සංවිධායකයන් මුලින්ම බලා‍පොරොත්තුව සිටියේ වීරසිංහම් ශාලාවේ රැස්වීම සංවිධානය කිරීමටය. එහෙත් රාජිත සේනාරත්න හා එස්.බි. දිසානායක පැමිණෙන රැස්වීමක් සඳහා වීරසිංහම් ශාලාව කල් ඇතිවම වෙන් කරගෙන තිබූ නිසා බැසිල්ට එම ශාලාව වෙන් කරගැනීමට නොහැකි විය. බැසිල්ගේ රැස්වීම් සංවිධානය කර තිබුණේ රෝහණ විජේවීර යාපනය බන්ධනාගාරයේ සිට නිදහස්ව පැමිණි ජනතාව ඇමතූ රැස්වීම් සංවිධානය කර තිබූ අමරසිංහය. 
බැසිල්ගේ රැස්වීමේ පරිවර්තන කටයුතු සඳහා පැමිණ සිටියේ කාන්තාවකි. බැසිල්ට එම කාන්තාව දැක පුරුදු නිසා ඇය තමන් අසලට කැඳවූවේය.
“මම ඇමැතිවෙලා ඉන්න කාලයේදී ඔයා පරිවර්තන වැඩවලට ඇවිත් තියෙනවා නේද” බැසිල් ඇසුවේය.
“ඔව් සර්. මම ආණ්ඩුවේ කන්තෝරුවක වැඩ කරන්නේ. ඒත් බලය නැති කාලෙත් සර්ලාගේ වැඩවලට එන්න ඕන කියලා මම හිතුවා. ඒ නිසා තමයි මම අද ආවේ” පරිවර්තන කටයුතු සඳහා පැමිණ සිටි කාන්තාව කීවාය. 
එම රැස්වීමෙන් පසුව බැසිල් යාපනයේ බිෂොප්වරයා හමුවීමට ගියේය.
 
 තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 266

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 876

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 983

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1111

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1553

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2516

Please publish modules in offcanvas position.