Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රනිල්ගෙන් මහින්දට කළු කෝපි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපන්දිනයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයත් පැවැත්වුණේත් පසුගිය ඉරිදාය. ඉරිදා උදෑසනම මෛත්‍රීට දුරකථන ඇමතුමක් ලැබුණේය.
“සුභ උපන්දිනයක් වේවා. ඒ වගේම පක්ෂ සම්මේලනයත් සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා” දුරකථනයේ එහා කෙළවරේ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවැසුවේය.
“ඔබතුමා අද සම්මේලනයට එනවාද”මෛත්‍රී ඇසුවේය.
“මට පෞද්ගලික වැඩ කටයුතු කිහිපයක් යෙදී තිබෙනවා. ඒ නිසා මට පක්ෂ සම්මේලනයට එන්න ලැබෙන්නේ නෑ” මහින්ද සම්මේලනයට නොපැමිණෙන බව කල් ඇතිවම මෛත්‍රීට දැනුම් දුන්නේය.
එදින සවස මෛත්‍රී පක්ෂ සම්මේලනයට සහභාගි වීමට බොරැල්ල කැම්බල් පිටියට පැමිණි අතර පක්ෂ මහ ‍ලේකම් දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර පැමිණ මෛත්‍රී පිළිගත්හ. 
මෛත්‍රී එන විට හිටපු අගමැති දි.මු. ජයරත්නද වේදිකාවේ අසුන්ගෙන සිටියේය. ඒ වන විට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග එහි පැමිණ නොසිටි අතර දි.මු. අසුන්ගෙන තිබුණේ ඇයට වෙන් කළ ආසනයේය. ටික වේලාවකින් චන්ද්‍රිකා එහි පැමිණි අතර වෙනත් ආසනයකට ගොස් ඇය අසුන්ගත්තාය. ආසන මාරුවීම ගැන දැන සිටි දුමින්ද දි.මු. අසලට පැමිණියේය.
“එහා පැත්තේ තියෙන්නේ මහින්ද මහත්තයාට වෙන් කරපු ආසනය. එතැන හිස්ව තියෙන එක හරි නැහැ. ඒක නිසා ඒ ආසනයට යන්න”දුමින්ද කී පසු දි.මු. මෛත්‍රී අසල තිබූ ආසනයට ගියේය. පසුව චන්ද්‍රිකා ඇයට වෙන් කර තිබූ ආසනයට පැමිණියාය.
මේ අතර වැසි ඇද වැටීමේ තත්ත්වයක් තිබූ නිසා මෛත්‍රීගේ කතාව ඉදිරියට ගත්තේය. පූජ්‍ය පක්ෂයෙන් අවසර ගත් මෛත්‍රී දෙවනුව අවසර ගත්තේ චන්ද්‍රිකාගෙන්ය. ඉන් පසුව ඔහු කතාව කරගෙන ගිය අතර ටික වේලාවකින් ඔහුගේ අතට කුඩා තුණ්ඩුවක් ලැබුණේය. තුණ්ඩුව කියවූ මෛත්‍රීගේ මුහුණ වෙනස් විය. තුණ්ඩුව ගුලි කර පැත්තකට විසි කළ මෛත්‍රී “මම ඉස්සර වෙලාම එයාගෙන් තමයි අවසර ගත්තේ” යැයි තරමක් ආවේගයෙන් යුතුව කීවේය. එම තුණ්ඩුව වැටුණේ ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීවරයාගේ ඔඩොක්කුවටය. ඩග්ලස් තුණ්ඩුව දිගහැර බලන විට ඔහු සිදුවී ඇති දේ තේරුම් ගත්තේය. එහි සඳහන්ව තිබුණේ “හිටපු ජනාධිපතිනියගෙන් අවසර ගත්තේ නෑ” යනුවෙන්ය.
එදින රාත්‍රියේදී නිවසට එන බව මෛත්‍රී බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රියට දැනුම්දී තිබුණේය. මෛත්‍රී හදිසියේම තමන්ගේ නිවසට එන්නේ කුමක් නිසාදැයි යන්න ගැන පුදුමයට පත්ව සිටි ඉසුර රාත්‍රියේ කෑම වේලක්ද සූදානම් කළේය. දුමින්ද, අමරවීර, ෆයිසර් මුස්තාෆා ඇතුළු පිරිසක් නිවසට පැමිණියේය.
රාත්‍රී හතයි තිහට පමණ මෛත්‍රී සරල ඇඳුමකින් සැරසී නිවසට ආවේය. 
“ඔයා දන්වාද අද මෙයා කරපු වැඩක්”මෛත්‍රී ඇසුවේ අසල සිටි ෆයිසර් මුස්තාෆා ඇමැතිවරයා පෙන්වමිනි. මෛත්‍රී කියන්නේ කුමක්දැයි යන්න ගැන සියල්ලෝම පුදුමයෙන් මෙන් බලා සිටියේය.
“අද උදේ දෙමළ මන්ත්‍රීවරු ටික දෙනෙක් මම හමුවෙන්න ආවා. එයාලා දෙමළෙන් කියන දේ සිංහලට පරිවර්තනය කරන්න කියලා මම ෆයිසර්ට කිව්වා. ඒත් මෙයාට දෙමළ බෑ. දැන් ඔය නම වෙනස් කරලා සිංහල නමක් දාගන්න” මෛත්‍රී ෆයිසර් පෙන්වමින් කී කතාවට සියල්ලන්ටම සිනා නොවී සිටිය නොවිය හැකි විය.
 
 සුසිල් - එස්.බි. පැටලැවේ 
 
මේ සතියේ සුපුරුදු පරිදි කැබිනට් රැස්වීම නොපැවැත්වුණේ අඟහරුවාදා ‍පොහොය දිනයක් වීම නිසාය. එහෙත් බදාදා දිනයේදී විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබුණේ කැබිනට් පත්‍රිකා කිහිපයකට අනුමැතිය ගැනීමටය. ඒ නිසා මෙවර කැබිනට් රැස්වීම පැය භාගයකට වඩා දික් නොවීය. වෙනදාට කතා වන දේශපාලන කරුණු මෙවර කැබිනට් රැස්වීමේදී සාකච්ඡා නොවූ නමුත් පළාත් පාලන මැතිවරණය ගැන එහිදී සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා අවධානය යොමු කළේය.
“පළාත් පාලන මැතිවරණයට සමෘද්ධි නිලධාරීන්ට ඉදිරිපත්වීමට තිබෙන අවස්ථාව අහුරා දමා තිබෙනවා. ඡන්දයට ඉදිරිපත් වෙනවානම් අවුරුද්දකට කලින් එම පළාත් පාලන ආයතනය තිබෙන ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට මාරුවෙන්න ඕන. මේක වෙනස් කරන්න” සුසිල් ඉල්ලීමක් කළේය.
“එහෙම කරන්න බැහැ. මේක හොඳ දෙයක්” එස්.බි. දිසානායක ඇමැතිවරයා සුසිල්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේය.
“ඉවත් කරන්න බැරි නම් මාස තුනක් දක්වා මේකේ කාලය අඩු කරන්න”සුසිල් ඉල්ලුවේය. එහෙත් එස්.බි. එයට කැමැත්තක් දැක්වූයේ නැත. 
“මේක පක්ෂ නායක රැස්වීමකදී කතා කරන්න”මෛත්‍රී එම කතාවට තිත තැබුවේය.
 
මෛත්‍රී කුණු වළේ 
 
“දරුවන් සුරකිමු”වැඩසටහනට එක්වීමට මෛත්‍රී සිකුරාදා උදෑසන කොළඹ සිට මහනුවර බලා පිටත්ව ගියේ හෙලිකොප්ටරයකිනි. උදෑසන එම වැඩසටහනට එක්වූ මෛත්‍රී පසුව රිය අනතුරකින් මිය ගිය ජනාධිපති ආරක්ෂක ඒකකයේ නිලධාරියෙක් සඳහා ඉදිකළ නිවස හා ඉඩම් ඔප්පුව දීමට දිගන ප්‍රදේශයේ පිහිටි එම නිවසට ගියේය. ජනාධිපති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක සමග එක්ව මෙම නිවස ඉදිකර තිබුණේය. මෛත්‍රී දිවා ආහාරය ලබාගැනීමට මහනුවර ජනාධිපති මන්දිරයට ගියේය. ඔහු දිවා ආහාරය ගත්තේ පැරණි රස කතා කිහිපයක් සිහිපත් කරමින්ය.
“70දී ජාඇළ අතුරු මැතිවරණයට මම ඡන්ද රැස්වීම්වලට ගියා. වනවාසල පැත්තේ රැස්වීමක මම යූ.එන්.පී. එකට හොඳටම ගහලා කතාවක් කළා. මම කතාව කරලා ඉවරවෙලා කෝච්චියේ නැගලා එන්න ස්ටේෂන් එකට ගියා. තුන්දෙනෙක් ඇවිත් මාව උස්සාගෙන ඇවිත් එතැන තිබුණ කුණු වලකට මාව උස්සලා දැම්මා. මම ඇඳගෙන හිටපු සුදු ඇඳුම පුරාම කුණුයි, දැලි තෙල්වලිනුයි නෑවිලා. කෝච්චිය ආවම අනික් අයට නගින්න දීලා මම අන්තිමට නැග්ගා. නැගලා ඇතුළට යන්නේ නැතිව ෆුට් බෝඩ් එකේ එල්ලිලා ආවා. එතකොට මිනිස්සු මෙන්න පිස්සෙක් කියලා කෑ ගහන්න ගත්තා. පස්සේ මම කුණු 
වළකට වැටුණා. ඒ නිසා ඇතුළට එන්නේ නෑ කියලා දිගටම ෆුට් බෝඩ් එකේ ආවා”මෛත්‍රී කීවේ දිවා කෑම මේසයේ සිටි අයත් සිනා ගන්වමිනි. 
 
රනිල්ගෙන් මහින්දට කළු කෝපි 
 
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේදී ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයාගේ දියණිගේ විවාහ මංගල උත්සවයට එක්වූයේ තවත් දේශපාලනඥයන් කිහිප දෙනකු සමගය. ජනාධිපතිවරයා හා අගමැතිවරයා විවාහයේ සාක්ෂිකරුවන් ලෙස අත්සන් කළ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද එහි පැමිණ සිටියේය.
“ජේ.සී. මන්ත්‍රීතුමාගේ තාත්තයි මමයි 77 ඡන්දයේදී එකට පාර්ලිමේන්තුවට ආවේ. මම බියගමින් එනකොට අලවතුවල මන්ත්‍රීතුමා දොඩගම්ගස්ලන්දෙන් ආවා” රනිල් කීවේ අලවතුවල පවු‍ලේ දේශපාලන ඉතිහාසය ගැන සිහිපත් කරමින්ය.
මේ අතර මහින්දට රනිල් හමුවීමට අවශ්‍ය බව පසුගිය සතියේදී දැනුම්දී තිබුණේය. ඒ අනුව පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී එම හමුව සංවිධානය කර තිබුණි.
රනිල්ගේ නිල කාර්යාලයට පැමිණි මහින්දට සුපුරුදු පරිදි රනිල් කළු කෝපි සංග්‍රහයක් සූදානම් කර තිබුණි. මහින්ද සමග ගිය අනෙක් මන්ත්‍රීවරුන්ටද රනිල්ගේ කළු කෝපි සංග්‍රහය බුක්ති විඳීමට අවස්ථාවක් ලැබුණේය.
“පළාත් පාලන මැතිවරණ පනතට සංශෝධන ගෙනාවේ කෙළින්ම පාර්ලිමේන්තුවටයි. ඒ නිසා අපිට අධිකරණයට යාමට අවස්ථාවකුත් නෑ. සමෘද්ධි නිලධාරීන්ට ඡන්දය ඉල්ලන්න බෑ. විදුහල්පතිවරුන්ට ඊට වඩා වැඩි බලපෑමක් කරන්න පුළුවන්. හිටපු හමුදාපතිවරයා ඊයේ අයින් වෙලා අද ඡන්දයකට යන්න අවස්ථාවක් ඒ කාලයේ ලබාදී තිබුණා” ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
“අපි පක්ෂ නායක රැස්වීමක් කැඳවලා මේ ගැන කතා කරමු” රනිල් කෙටියෙන්ම පිළිතුරු දුන්නේය.
 
චන්ද්‍රිකා - අරුන්දික පැටලැවේ 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ පක්ෂ සම්මේලනයෙන් පසුවය. එහිදී වැඩි අවධානයක් යොමුවූයේ පක්ෂ සංවත්සරය ගැනය. මහින්ද අමරවීරත්, දුමින්ද දිසානායකත් ඒ ගැන අදහස් දැක්වීමෙන් පසුව මෛත්‍රී අදහස් දක්වන්නට විය.
“පක්ෂය දැන් ඉතාම හොඳ තැනකට ඇවිත් තියෙනවා. පක්ෂයක් විදියට ලබාගනිපු ජයග්‍රහණ ඉදිරියට අරගෙන යන්න අවශ්‍යයි. පක්ෂ සම්මේලනයත් ඉතාමත් සාර්ථකව පැවැත්වූවා. බොරැල්‍ලේ අපේ සංවිධායක තිලංග සුමතිපාල සමුළුවේ වැඩ හොඳට සංවිධානය කළා” මෛත්‍රී කීවේය.
මේ අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ගැනත් අවධානය යොමුවිය.
“දැන් ඔයාලා පළාත් පාලන ඡන්දයකට සූදානම් වෙන්න. ළඟඳී නම් පළාත් සභා මැතිවරණය පැවැත්වෙන එකක් නැහැ. ඒත් පළාත් පාලන මැතිවරණය තියෙනවා. ඒකට සූදානම් වෙන්න”මෛත්‍රී දැනුම් දුන්නේය.
“මම මේ කියන කතාව වැරදියට තේරුම් ගන්න එපා. මම කතා කරන්නේ පක්ෂය වෙනුවෙන්. අපේම පිරිසක් ‍පොහොට්ටුවක් හදාගෙන ශාඛා සමිති පිහිටුවාගෙන යනවා. මේවට ඉඩ තියන්න බැහැ. එයාලා අපිත් එක්ක එකතුවෙයි කියලා දැන් බලන් හිටියා ඇති. අපි වහාම මේ අයට විරුද්ධව පියවරක් ගන්න ඕන”දයාසිරි ජයසේකර ඇමැතිවරයා පැවැසුවේය.
“අපි ඇත්ත තත්ත්වය තේරුම්ගන්න ඕන. රටේ තත්ත්වය එච්චර හොඳ නැහැ. පක්ෂයක් විදියට අපි ඉන්නේ අමාරු තැනකයි. ජයග්‍රහණය කරන්න නම් ඒකාබද්ධ විපක්ෂය කියලා බෙදිලා ඉන්න අපේ අය එක්ක එකතුවෙන්න ඕන. එහෙම නැතිවුණොත් අපි පරදිනවා. ආණ්ඩුව යන ගමන ගැන සෑහීමකට පත්වෙන්න බෑ” සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා පැහැදිලිි කළේය.
“අපි ආණ්ඩුවෙන් ඉවත්වෙනවාද කියන එක ගැන කණ්ඩායමක් විදියට සාකච්ඡා කරනවා. මේ ආණ්ඩුවේ හිටියොත් එක්සත් ජාතික පක්ෂයේ සේරම පව්වලට අපිට කරගහන්න වෙනවා. එක්කෝ අපි ආණ්ඩුවක් හදන්න ඕන. එහෙම නැතිනම් එළියට ගිහින් ආණ්ඩුව පෙරළන්න ඕන. අපිට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන්න ඕන” අරුන්දික ප්‍රනාන්දු නියෝජ්‍ය ඇමැතිවරයා සුසිල්ගේ කතාව ඉදිරියට ගෙන ගියේය.
අරුන්දික කතා කරමින් සිටියදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග තමන් අසල තිබූ මයික්‍රෆෝනය ක්‍රියාත්මක කරගත්තේ සුපුරුදු ආවේගයෙන් යුතුව ප්‍රතිචාර දැක්වීමටය.
“මේ පිස්සු මරගාත කියන්නේ නැතිව ඉන්න. අපි කොහොමද එක්සත් ජාතික පක්ෂය නැතිව ආණ්ඩුවක් කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එකතුවෙලා ආණ්ඩුවක් හදාගෙන තිබෙන මේ අවස්ථාව ස්වර්ණමය අවස්ථාවක්. මේ අවස්ථාව මගහැරලා බෑ. මේ කතා කරන්නේ ආයෙත් රාජපක්ෂලා බලයට ගේන්නද? ඒකට ඉඩ දෙන්න බෑ. ඒකාබද්ධයේ මතවාදය මෙතැනට අරගෙන එන්න එපා. චන්ද්‍රිකා වේගවත් කතාවක් කළාය.
“මැඩම් මොනවාද දන්නේ. ගම්වලට ගිහින් තියෙන තත්ත්්වය බලන්න. අපිට එක්සත් ජාතික පක්ෂය එක්ක වැඩ කරන්න බෑ” අරුන්දික චන්ද්‍රිකා සමග වාදයක පැටලුනේය.
“අපි යන එන ඒවා ගැන නමෛයි පක්ෂය ගැන කතා කරමු” අවසානයේදී මෛත්‍රී මැදිහත්වූයේ දෙදෙනා අතර ඇතිවූ ගැටුම සමථයකට පත් කිරීමටය. 
 
මෛත්‍රී එන්නේ නැතිලු 
 
මධ්‍යම කාරක සභා රැස්වීම අවසන්වීමෙන් පසුව සුසිල්, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනවිරත්න ඇතුළු පිරිසක් මෛත්‍රී සමග වෙනම සාකච්ඡා කළේ පක්ෂයේ වැඩ කටයුතු ගැනය.
“ආණ්ඩුවට එරෙහිව මතවාදයක් ඉදිරිපත් කරන්නේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම විතරයි. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමත් එකතු කරගෙන ඉදිරි මැතිවරණයට යන්න ඕන” සුසිල් යෝජනා කළේය.
“මට ප්‍රශ්නයක් නෑ. 
ඊළඟ ජනාධිපතිවරණයට මම ඉල්ලන්නේ නෑ. මහින්ද ඉල්ලන්නේත් නෑ. චන්ද්‍රිකා ඉල්ලන්නේත් නෑ. ඔයාල ඒ ගැන කතා කරලා වැඩපිළිවෙළක් හදාගන්න”මෛත්‍රී කීවේය.
 
ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරිය පසුගිය සතියේදී හදිසි අනතුරකට මුහුණ දුන්නේ සිය නිවසේ සිටියදීය. පිළිස්සුම් තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිටි ගීතා බැලීමට මහින්ද එම රෝහලට ගියේ අනතුර දැනගත් වහාමය. මහින්ද යන විට ගීතා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණි. ඒ වන විට ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරු හමුවූ මහින්ද ඇගේ තත්ත්වය විමසුවේය. 
“කොහොමද මේ අනතුර වුණේ” මහින්ද ඇසුවේය
“ගෙදර ගෑස් ටැංකිය පුපුරලා වෛද්‍යවරු කීහ. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙන විට මහින්ද සිටියේ දෙණියායේය. කලින් දිනයේදී දෙණියායේ සිය නැගනියගේ නිවසට ගිය මහින්ද ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ දෙණියාය ආසන සම්මන්ත්‍රණයට සහභාගි විය. එතැන් සිට හක්මන පැවැති සම්මන්ත්‍රණයකට මහින්ද එක්විය. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා සංවිධානය කර තිබූ එම රැස්වීම ආරම්භ කළේ බණ්ඩාරනායක යුවළ සිහිපත් කරමින් මල් මාලා පළඳවමිනි. එම රැස්වීම ආරම්භ වන විට කැම්බල් පිටියේදී පක්ෂ සම්මේලනය පැවැත්වෙමින් තිබුණි.
“කවුරු ගියත් මම පක්ෂය දාලා ගියේ නෑ. දහදුක් විඳගෙන පක්ෂය මේ තත්ත්වයට ගෙනාවා. මගේ කාලයේ තමයි පක්ෂයේ ස්වර්ණමය යුගය උදාවෙලා තිබුණේ. අදටත් පාක්ෂිකයෝ ඉන්නේ අපි එක්කයි. අපි ඊළඟ ඡන්දෙට ‍පොහොට්ටුව එක්ක සන්ධානගතවෙලා ඡන්දය ඉල්ලනවා”මහින්ද මීළඟ මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය හෙළි කළේය.
මේ රැස්වීමෙන් පසුව මහින්ද නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රීවරයාගේ නිවසට ගියේ තේ පැන් සංග්‍රහයට එක්වීමටය. මහින්ද සමග ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් සිටියහ. 
මාතර සිට තංගල්‍ලේ කාල්ටන් නිවස බලා ගිය මහින්ද නැවත කොළඹ පැමිණියේ සිය හිතවතකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගිවීමටය. රත්නපුරයේ ව්‍යාපාරිකයකුගේ විවාහ මංගල උත්සවයක් වූ මෙයට දිස්ත්‍රික්කයේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ පැමිණ සිටියහ. ආණ්ඩුවෙන් ජෝන් සෙනවිරත්න ඇමැතිවරයා පැමිණ සිටි අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පවිත්‍රා වන්නිආරච්චි සහ රංජිත් සොයිසා එක මේසයක වාඩිවී සිටියහ. මහින්ද පැමිණ ගියේ ඔවුන් සිටි මේසයටය.
“කොහොමද ඉතිං” ජෝන් සෙනවිරත්න දුටු මහින්ද ඇසුවේය.
ඔවුන් දෙදෙනා බොහෝ වේලාවක් ආගිය දේශපාලන කතා කතාකරමින් සිටි අතර ඔවුන් කතා කළේ මොනවාදැයි දැනගැනීමට අනෙක් අයටත් අවශ්‍ය විය.
“මොකද සර් ඇමැතිතුමා කියන්නේ. දැන් කවදාද අපේ පැත්තට එනව කියලා කියන්නේ”එතැන සිටි අයෙකු මහින්දගෙන් ඇසුවේය.
“එන දවසක් මට කිව්වේ නෑ. මම එන දවසක් ඇහුවෙත් නෑ” මහින්ද සිනාසෙමින් කීවේ දේශපාලන රහස් සඟවාගන්නා මුහුණක්ද පෙන්වමිනි.
 
ගෝඨා එළියට
 
ගෝඨාභය රාජපක්ෂ බොරලැස්ගමුවේ ගෝල්ඩන් රෝස් හෝටලයේදී වෘත්තිකයින් පිරිසක් හමුවූයේ “එළිය - අපේක්ෂාවන් දල්වන්න” වැඩසටහන ආරම්භ කරමිනි. බදාදා සවස පහට වැඩසටහන ආරම්භ කිරීමට නියමිතව තිබුණත් ඊට පෙර සිටම පිරිස් පැමිණ සිටියහ. ගෝඨාභය කල් ඇතිවම එහි පැමිණ සිටි අතර පැමිණ සිටි ආගමික නායකයින් හා වෘත්තිකයින් සමග කතා කරමින් සිටියේය. සවස පහට වැඩසටහන ආරම්භ විය. නිවේදකයෙක් පැමිණ වැඩසටහන මෙහෙයවනු ඇතැයි පැමිණ සිටි අය සිතා සිටියත් එක්වරම ගෝඨා මයික්‍ර‍පෝනය අතට ගෙන සභාවේ වැඩ කටයුතු ආරම්භ කළේය. 
“අලුත් ව්‍යාවස්ථාවක් අරගෙන එන්නේ ලැබූ ජයග්‍රහණ ආපසු හැරවීමට නම් ඒකට ඉඩ දෙන්න බැහැ. අලුත් ව්‍යවස්ථාවක් එන එක ගැන දැනුවත් විය යුතුයි” ගෝඨා 'එළිය' වැඩසටහන ගැන පැහැදිලි කිරීමක් කළේය. ඉන් පසුව කථිකයින් වේදිකාවට කැඳවූ අතර මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය දයාන් ජයතිලක, ජනපති නීතිඥ මනෝහර ද සිල්වා, ඇතුළු විද්වතුන් එක්වූහ. මහින්ද රාජපක්ෂ එහි පැමිණියේ සවස හයට පමණය. වේදිකාව ඉදිරියේ සිට වේදිකාවේ සිටි අයට ආචාර කළ මහින්ද එතැනට පැමිණ සිටි බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන සමග අසුන් ගත්තේය.
“අලුත් ව්‍යවස්ථාවකින් රට බෙදනවා කියලා අපි කියන්නේ නෑ. මේ යෝජනා කර තිබෙන දේවලින් රට බෙදෙනවා. පාර්ලිමේන්තුවේ තත්ත්වය බැලුවම මන්ත්‍රීවරු දහසයක් ඉන්න තැනට විපක්ෂ නායක ධුරය ලබාදී තිබෙනවා. හරිනම් විපක්ෂ නායක ධූරය ලැබෙන්න ඕන මන්ත්‍රීවරු පනහක් ඉන්න තැනටනේ. එහෙම බලනකොට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට හරි හිටපු ජනාධිපතිතුමාට හරි විපක්ෂ නායක ධුරය ලැබෙන්න ඕන” දයාන් කියන විට මහින්ද - දිනේෂ් මුහුණට මුහුණ බලාගත්තා මිස කිසිවක් කියන්න ගියේ නැත.
පැය තුනක්  තිස්සේ පැවැති වැඩසටහන අවසන් වූයේ තේ පැන් සංග්‍රහයකිනි. ගෝඨා පැමිණ සිටි අය සමග දීර්ඝ වේලාවක් කතා කරමින් සිටියේය. එදිනට පසුදින ගෝඨා එහි පැමිණ සිටි මාධ්‍යවේදියෙක්ට කතා කරමින් වැඩසටහන ගැන විස්තර ඇසුවේය. එහිදී ගෝඨා කියා තිබුණේ මේ වැඩසටහන ඉදිරියට ගෙන යන බවත් පැය දෙකකට සීමා කරමින් දේශන සැලසුම් කරන බවත්ය.
 
තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 1280

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 2129

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 2078

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 4913

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 4543

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 7326

Please publish modules in offcanvas position.

Our website is protected by DMC Firewall!