Coss Ear2
lakbima.lk
COSS Ear 1

වාද විවාද මැද්දේ සම්මුතික ආණ්ඩුව නැවතත් ඉදිරියට

පළාත් පාලන මැතිවරණය ඉවර වුණේ ඉකුත් දහවනදාය. එදා සිට පසුගිය දින දහයක් රට එක තැන නැවතී සියලු දෙනා පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට කඹ අදිනු දක්නට ලැබුණි. මේ කඹ ඇදිල්ලට පාදක වූ කරුණු කීපයක්ම දක්නට තිබුණි. පළාත් පාලන මැතිවරණයට  ඉදිරිපත් වන මොහොත වන විටත් එජාප හා ශ්‍රීලනිප සම්මුති ආණ්ඩු ගිවිසුම අහෝසි වී තිබුණි. එය අහෝසි වුණේ ඉකුත් දෙසැම්බර් 31 දිනය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය වසරේ සැප්තැම්බර් මාසේ සඳහන් කළේ එජාප - ශ්‍රීලනිප සම්මුති ආණ්ඩුව පිළිබඳව දෙසැම්බර් මාසේදී තීන්දුවක් ගන්නා බවය. දෙසැම්බර් 31 වන සම්මුති ගිවිසුම අවසන් වුවද ජනාධිපති හෝ අගමැතිවරයා සම්මුති ආණ්ඩුවේ අනාගතය ගැන නිල ප්‍රකාශයක් කළේ නැත. එසේ වුවද පෙබරවාරි 10 දා පැවැති පළාත් පාලන මැතිවරණය සඳහා එජාප, ශ්‍රීලනිප වෙන වෙනම තරගයට මුහුණ දී දෙපාර්ශ්වය එකිනෙකා නිර්දය ලෙස විවේචනය කර ගනිමින් තනි ආණ්ඩු පිහිටුවන බවට පුරසාරම් දොඩවූහ. නායකයන් දෙදෙනා තනි ආණ්ඩු හදන එක ගැන වහෙන් ඔරෝ කියද්දී දෙපැත්තේම ගෝලයෝ කෙළින්ම ඒ ගැන කතා කළෝය.
පසුගිය දින 10ක් තිස්සේ රට තුළ දිග හැරුණු දේශපාලන අර්බුදය ආරම්භ වූයේ එසේය. මේ අර්බුදය වඩා තීවුර් වුණේ මැතිවරණ ප්‍රතිඵලත් සමගය. පළාත් පාලන මැතිවරණයේදී එජාපය ලබා ගෙන තිබුණේ මුළු ඡන්ද  සංඛ්‍යාවෙන් 32 ක් පමණයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දුන් ශ්‍රීලනිප  හා එජනිස ලබා ගෙන තිබුණේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 14 ක් පමණය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නායකත්වය දුන් ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ලබා ගෙන තිබුණූ ඡන්ද සංඛ්‍යාව මුළු ඡන්ද ප්‍රමාණයෙන් 45ක් පමණ විය. මේ තත්ත්වය තුළ රටේ පාලක පක්ෂ දෙකම දරුණු පරාජයකට ලක්ව තිබිම නිසා ඊට හේතු ලෙස ශ්‍රීලනිපයෙන් එජාපයට චෝදනා එල්ල වූයේ බැඳුම්කර සිද්ධිය ගැන සඳහන් කරමින්ය. එජාපය ශ්‍රීලනිපයට චෝදනා එල්ල කළේ හොරුන්ට දූෂිතයන්ට දඬුවම් දීම ප්‍රමාද කිරීම ගැනය.
මේ අවලාද කර ගැනීම් උත්සන්න වීමත් ජනමතය රජයට එරෙහිව ප්‍රකාශ වීමත් නිසා ඒකාබද්ධ විපක්ෂයද කාලයක් තිස්සේ  බලා ගෙන සිටි ඔවුන්ගේ අරමුණ ඉටු කර ගන්නට අවශ්‍ය මෙහෙයුම් දියත් කළේය. ඔවුන් සඳහන් කළේ සම්මුති ආණ්ඩුවේ ගිවිසුම ඉකුත් දෙසැම්බර් 31දායින් අවසන් වූ නිසා ආණ්ඩුව බල රහිත බවය. බල රහිත ආණ්ඩුව වෙනුවට අලුත් ආණ්ඩුවක් පිහිටුවිය යුතුය යන ප්‍රබල මතයත් ජනගත කළේ ඒකාබද්ධ විපක්ෂයය. ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක දේශපාලන වේදිකාවේදී එකිනෙකා විවේචනය කර ගැනීම නිසාත් මැතිවරණයේ අන්ත පරාජය නිසාත්, එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ජනගත කර තිබූ මතය ප්‍රබල වී තිබූ නිසාත් ශ්‍රීලනිප  මැති ඇමැතිවරුද අලුත් ආණ්ඩුවක් සඳහා පිඹුරුපත් සකස් කර ජනාධිපතිවරයාද ඊට ‍පොළඹවා ගත්හ.
“නව ආණ්ඩුවක්” සෑදීම ගැන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ‍ලේකම් මහින්ද අමරවීර නිල වශයෙන් ලිඛිතව ජනාධිපතිවරයාට කරුණු ඉදිරිපත් කළේය. මේ අතර එජාපය තුළත් අර්බුදයක් ඇතිව තිබෙන බව පෙන්වීමට රනිල් විරෝධි එජාපයේම පිරිසක් කටයුතු කරමින් සිටින බවද පෙනුනි. එජාප මහ ‍ලේකම් කබිර් හෂීම්  ‍ලේකම්ධුරයෙන් ඉවත් වී රටේ අගමැති ධුරය කරු ජයසූරිය කථානායකවරයාට බාර දෙන ලෙස ඉල්ලා ඇති බවද මාධ්‍ය වාර්තා පල වූයේ මේ අනුවයි. මේ අතර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් ඔහු ගේ මුහුණු ‍පොතේ සටහනක් යොදා  තිබුණි. අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතම දේශපාලන සගයෙක් වූ සාගල රත්නායක අමාත්‍ය ධූරයෙන් ඉවත්වී අලුත් ආණ්ඩුවක් පිළිබඳ උනන්දු වුවන්ට උත්තේජකයක් විය. ඒ අතරම ආණ්ඩුව එජාප සංවිධායක රාජ්‍ය අමාත්‍ය රංගෙ බණ්ඩාර මහතාද විශේෂ ලිපියක් මාධ්‍යයට නිකුත් කරමින් සඳහන් කර තිබුණේ තමන් එජාප ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වූ බවය.
“මේ සියලු සිදුවීම් එසේ සිදු වෙද්දී ශ්‍රීලනිපය හා එජාපය තනි ආණ්ඩු හදන බවට පුච්චානම් දොඩමින් තම කණ්ඩායමට පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇති බවද තරගයකට මෙන් ප්‍රකාශ කරන්නට විය. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ මාධ්‍ය ප්‍රධානින් කැඳවා සඳහන් කළේ එජාපයට අලුත් ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාවක් නැති බවත් තිබෙන ආණ්ඩුව නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල බවත්ය. තමන්ව අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ව්‍යවස්ථාවෙන් බලයක් නැති බවත් ඒ නිසා ව්‍යවස්ථානුකූලව තමන් අගමැති ධුරයේ කටයුතු කරන බවත්ය.
අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් පසු ජනපති නීතිපතිවරයාගෙන් විමසුවේ ජනපතිට අගමැති ඉවත් කළ හැකිද යන්නය. නීතිපතිගේ උත්තරය වූයේ ජනපතිට අගමැති ඉවත් කළ නොහැකි බවය. මේ වන විටත් රට අරාජික තත්ත්වයකට හැරෙමින් තිබුණි. ඒ අනුව තාවකාලිකව සම්මුති ආණ්ඩුව ඉදිරියට කරගෙන යන්නට සහය දිය යුතු බව තම කණ්ඩායමට උපදෙස් දුන් ජනාධිපති ඒ අතර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේ සම්මුති ආණ්ඩුවෙන් ශ්‍රීලනිප ඉවත් වුවහොත් ඇති වන තත්ත්වය පිළිබඳවයි. ජනපතිගේ විමසුමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිළිතුරු ලැබෙන තෙක් සම්මුති ආණ්ඩුව ක්‍රියාත්මක වනු ඇත.
මැතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත්කරගත් ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණ ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ලෙස කටයුතු කරන්නට අවස්ථාව දෙන්නැයිද විපක්ෂ නායකයා ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන පත් කරන්නැයිද එම පෙරමුණේ සභාපති මහාචාර්ය  ජී. එල්. පීරිස් ඉල්ලා සිටින්නේය. “මේ ආණ්ඩුවට බලයක් නෑ.
ජනමතය ප්‍රකාශ වී තිබෙන්නේ ආණ්ඩුවට එරෙහිවයි. වෙන රටවල නම් මෙවැනි පසුබිමකදී ආණ්ඩුව ඉල්ලා අස්වෙනවා. නමුත් අපේ රටේ එහෙම සිද්ධ වෙන්නෙ නෑ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ‍පොදු ජන පෙරමුණ විශිෂ්ට ලෙස ජය ගෙන ඇති බැවින් ඒ ජනමතයට ගරු කරමින් ශිෂ්ට සම්පන්න රජයක් නම් විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබා දිය යුතු බවද මහචාර්යවරයා සඳහන් කළේය.
මැතිවරණ ප්‍රතිඵලය පාදක කර ගනිමින් ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුව වෙනස් කරන්න උත්සහ කරද්දී දෙමළ ජාතික සන්ධානය යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිහිනයක් වේදැයි බයෙන් තැතිගෙන සිටියේය. ඔවුන් නිකං හිටියේද නැත. 2015 ජනවාරි 08 දා ජනවරමට බලපෑ දේශපාලන ‍පොරොන්දු ගැන ජනපති හා අගමැති දැනුවත්කර  සම්මුති ආණ්ඩුව වෙනස් නොකළ යුතු බවද එවැනි වෙනසක් ඇති වුවහොත් ප්‍රතිඵලය භයානක විය හැකි බවද ඔවුන් පෙන්වා දී තිබුණි. මේ අතර ඔවුන් තානාපති කාර්යාල දැනුවත් කිරීම නිසා ඇමෙරිකාවේ හා ඉන්දියාවේ බලපෑමද මෛත්‍රීපාල සිරිසේන ජනපතිට හා අගමැතිට එල්ල විය. ඇති වූ දැඩි බලපෑම් හමුවේ මානසික ව්‍යාකූලත්වය සමනය කර ගැනීමට ජනපති ‍පොළොන්නරුවේ සිය නිවසට ගුවනින් ගොස් ගමේ උත්සව කිහිපයකට සහභාගි වී ඇති බවද ආරංචි පැතිර ගොස් තිබුණි. කෙසේ වුවද පසුදිනම නැවත කොළඹට එන්නට ජනපතිට සිදු වූයේ දැඩි තීරණයක්ද සමගයි. ඒ තීරණය වූයේ සම්මුති ආණ්ඩුව දිගටම පවත්වා ගෙන යෑමය.
ජනතා විමුක්ති පෙරමුණ මේ අර්බුදය හමුවේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ඔවුන් සඳහන් කළේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල පාදක කර ගනිමින් ආණ්ඩු වෙනස් කිරීමට උත්සාහ කිරීම විහිළුවක් බවය. ඔවුන් පෙන්වා දී තිබුණේ ජනමතයට අනුව රජයට ජනතාව බරපතළ අනතුරක් අඟවා ඇති නමුත් එමගින් 2015 දී පැවැති ජනාධිපතිවරණයේ හෝ පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රතිඵල අවලංගු නොවන බව හා එම ජනවරම මෙම ප්‍රතිඵලයෙන් නිශේධනය නොවන බවත්ය.
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල දේශපාලනඥයන් බොහෝමයකගේ නායකත්ව පැටිකිරිය හෙළි කර තිබුණි. විශේෂයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක නියෝජනය කළ අත්තනගල්ල මැතිවරණ කොට්ඨාසය ඇයට අහිමි කරමින් ‍පොහොට්ටුව ජය ගෙන තිබුණි. ප්‍රතිඵල ප්‍රකාශවීමෙන් පසු ඇය විදේශ ගත වුවද දින කිහිපයකින් නැවත මෙරටට පැමිණියාය. ඇය සම්මුති ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටිමින් පසුගිය දිනවල යම් යම් කටයුතුවල නිරත වන බව මාධ්‍ය වාර්තා පල කර තිබුණි.
පසු දින 10ක පමණ කාලය තුළ රට තුළ පැවැති අර්බුදය පිළිබඳ මහනායක මහ හිමිවරුන්ද රජයටත්
විපක්ෂයටත් අනුශාසනා කරමින් දන්වා තිබුණේ රට අස්ථාවර තත්ත්වයට පත් නොකරන ලෙසය. මල්වතු මහ විහාරයේ මහනායක හිමියෝද රාමඤ්ඤ මහ නිකායේ හිමියෝද අස්ගිරි පාර්ශ්වයේ මහ ‍ලේඛකාධිකාරී හිමියෝද රටේ අස්ථාවර තත්ත්වය වහ වෙනස් කර ජනතාව පීඩාවට පත් නොකර රට කරවන්නැයි ඉල්ලා සිටියහ.

ජයසූරිය උඩුකුඹුර

ආණ්ඩු වෙනස් කරන්න දෙපැත්තම ගහපු රහස් ගේම් හා ඩීල්

ගිය සතිය පුරාම දේශපාලන ලෝකය දිස්වූයේ පැටලුණු නූල් බෝලයක් සේය. සියලුම දේශපාලනඥයන් උත්සහ ගනිමින් සිටියේ නූල් බෝලයේ පැටලිල්ල ලිහා ගැනීමටය. එහෙත් එය ‍ලේසි වූයේ නැත. පැටලිල්ල ඇරඹුයේ පුංචි ඡන්දයත් සමගය.
පළාත් පාලන මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 
‍පොළොන්නරුවට ගියේ ඊට පෙර දිනයේදීය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සුපුරුදු පරිදි වීරකැටියේදී ඡන්දය ප්‍රකාශ කර තංගල්ල කාල්ටන් නිවසට පැමිණියේය. අගමැති රනිල් වික්‍රමසිංහත් ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායකත් ඡන්දය ප්‍රකාශ කළේ කොළඹදීය. මැතිවරණය අවසන් වීමෙන් පසු ප්‍රතිඵල එන තෙක් මහින්ද කාල්ටන් නිවසට වී සිටියත් මෛත්‍රී ‍පොළොන්නරුවේ සිට කොළඹ පැමිණියේ තමන්ගේ හිතවතුන් කිහිප දෙනෙක් හමුවී සුහද කතාබහක යෙදීමෙන් පසුවය.
මැතිවරණ පැවැත්වෙන අතරවාරයේදී සමාජ ජාල වබේ අඩවිවල සිදුවන්නේ කුමක්ද යන්න ගැනත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අවධානයෙන් සිටියේය. ආබාධිතයන්ට ඡන්ද ‍පොළට යාමට නොහැකි ස්ථාන ගැන අවධානය යොමු කර තිබුණේ ආබාධිත නීතිඥවරියකි. ඇයට ඡන්දය ප්‍රකාශ කිරීමට යාමට ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරි කළ නිලධාරීන්ගෙන් අවස්ථාවක් ලබා නොදුන් බවද ඇය ෆේස් බුක් ගිණුමේ සදහන් කර තිබුණේ මහින්ද දේශප්‍රියට ඒ ගැන දැනුම් දෙමිනි.
“ඔබ දැන් ඡන්ද‍පොළට යන්න. එතැනට ගිහින් මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගන්න” මහින්ද දේශප්‍රිය එයට පිළිතුරු දී තිබුණේ තමන්ගේ ජංගම දුරකථන අංකයද එහි සඳහන් කරමිනි. පසුව ඇය ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කර තිබුණාය. 
මහින්ද තංගල්‍ලේ සිටියත් ‍පොහොට්ටුවේ ඡන්ද මැෂිම වූ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා සිටියේ කොළඹය. බත්තරමුල්‍ලේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ සිය කාමරයට වී සිටි බැසිල් රාජපක්ෂ මැතිවරණ ප්‍රතිඵල ගැන තොරතුරු එක් කරමින් සිටියේය. රාත්‍රී අටයි තිහ වන විට  මැතිවරණ ප්‍රතිඵල නිකුත් කළ හැකි යැයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබූ නිසා දේශපාලන පක්ෂ නියෝජිතයන් බලා සිටියේ කඩිනමින් මැතිවරණ ප්‍රතිඵල ලැබෙන තුරුය. එහෙත් රාත්‍රී නමය, දහය වන විටත් ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වී තිබුණි. මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වන විට රටේ තැනින් තැන විවිධ අදහස් මතුවන්නට විය. මෙවර මැතිවරණයෙන් ආණ්ඩුවට පරාජයක් අත්ව තිබෙන නිසා ආණ්ඩුවට වාසිදායක පළාත් පාලන ආයතනවල ප්‍රතිඵල නිකුත් වන තෙක් බලා සිටින බවට අදහස් මතුවී තිබුණේය. රාත්‍රී දොළහ වන තෙක් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන බවක් පෙනෙන්නට තිබුණේ නැත.
මේ අතර විවිධ පාර්ශ්වයන් මැතිවරණ ප්‍රතිඵල ගැන අදහස් දක්වා තිබුණේය. ලංකාවම ආවරණය වන පරිදි මැතිවරණය නිරීක්ෂණය කළ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පැවැසුවේ ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන දෙසීය පනහකට අධික සංඛ්‍යාවක බලය ලබාගෙන ඇති බවය. මේ අතර බැසිල් ද සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට වී පළාත් පාලන ආයතන මැතිවරණ ප්‍රතිඵල ගැන තොරතුරු ලබා ගනිමින් සිටියේය. ඒ අවස්ථාවේදීම ඔහු දුරකථනයෙන් ඇමතුවේ මහින්දටය.
“අපිට පළාත් පාලන ආයතන දෙසීය තිස් දෙකක් ජයගන්න පුළුවන්කම ලැබිලා තිබෙනවා” බැසිල් මහින්දට දැනුම් දුන්නේය. 
“මේ ගැන අපේ මන්ත්‍රීවරුන්ට කියන්න ඕන. තවත් විස්තර හොයන්න. මමත් කතා කරලා බලන්නම්” මහින්ද කාල්ටන් නිවසේ සිටම දුරකථන ඇමතුම් ගන්නට විය.
“ඔය පැත්තේ තත්ත්වය කොහොමද” මහින්ද දුරකථන ඇමැතුමක් ගෙන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගෙන් ඇසුවේ බණ්ඩාරනායකවරුන්ගේ උරුමය ඇති ගම්පහ ඡන්දය ගැන තොරතුරු ගැන දැනගන්නටය.
“හොඳයි සර්. අපි ඉස්සරහින් ඉන්නවා, චන්ද්‍රිකාට ඇපත් නෑ ප්‍රසන්න උත්තර දුන්නේය.
“කොච්චර විතර බහුතරයක් තියෙනවාද” මහින්ද ඇසුවේය.
“අපි ලක්ෂ දෙකහමාරක් විතර ඉදිරියෙන් ඉන්නවා” ප්‍රසන්න මහින්දට උත්තර දුන්නේය.
මේ අතර මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වන විට මහින්ද කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය භාරව සිටින මහාචාර්යවරයෙක්ට කතා කළේය.
“මොකද මේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වෙන්නේ” මහින්ද ඇසුවේ පරිගණක පද්ධතියේ දෝෂයක් නිසා මැතිවරණ ප්‍රතිඵල ප්‍රමාද වන බවට ඒ වන විටත් පැතිර යමින් තිබූ තොරතුරු නිසාය.
“අපි දන්නේ නෑ සර්. මේ පාර කොළඹ විශ්වවිද්‍යාලයෙන් නමෛයි මැතිවරණ කොමිසම පරිගණක පහසුකම් ලබාගෙන තිබෙන්නේ. කැලණිය විශ්වවිද්‍යාලයෙන් තමයි ඒවා අරගෙන තියෙන්නේ” එම මහාචාර්යවරයා මහින්දට උත්තර දුන්නේය.
 
 මහින්දට ඇමතුම් දුන්  ශ්‍රී ලංකා ඇමැතිවරු 
 
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී මහින්දට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගෙන්ද දුරකථන ඇමතුම් ලැබෙන්නට විය. ඒ අතර ජෝන් සෙනවිරත්න ඇමැතිවරයාද විය. ජෝන් සෙනවිරත්න මහින්දට දුරකථන ඇමතුම ගන්නා විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද ඒ අසල විය.
“සර් අපි එකට එකතුවෙලා ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදමු” ජෝන් යෝජනා කළේය.
“අපිට ආණ්ඩුවක් හදන්න නම් ඔයාලා ඉස්සරවෙලාම ඔය ජාතික ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙන්න. ඊට පස්සේ අනෙක් දේවල් අපිට තීරණය කරන්න පුළුවන්. අගමැති කවුද, කථානායක කවුද වගේ දේවල් ඊට පස්සේ තීරණය කරන්න පුළුවන්” මහින්ද උත්තර දුන්නේය.
මේ වන විට ‍පොදුජන පෙරමුණට පැහැදිලි ජයක් ලැබි තිබූ අතර ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ යෝජනාව වූයේ පාර්ලිමේන්තුව විසුරුවාහැර වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවය. ඒ අනුව කඩිනමින් මහ මැතිවරණයක් ඉල්ලා සිටිය යුතු බව ඔවුන්ගේ යෝජනාව විය. ඒ බව මහින්ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම වඩාත් සුදුසු යැයි ඔවුහු පවසා තිබුණහ.
 
 මෛත්‍රී ඇමැතිවරු කැඳවයි 
 
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී ඉරිදා උදෑසනම මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු මහගමසේකර මාවතේ පිහිටි සිය නිවසට කැඳවූවේය. ඒ මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වාසිදායක නොවූ පසුබිමක් තුළදීය. එස්.බි. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා ඇතුළු ඇමැතිවරු මෛත්‍රී සමග සාකච්ඡා කළේ මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන්ය. මැතිවරණ ප්‍රතිඵල ගැන විවිධ විග්‍රහ ඉදිරිපත් වන්නට විය.
“මේ මැතිවරණයේදී ආණ්ඩුවට විරුද්ධවූ ඡන්ද සේරම ‍පොහොට්ටුවට ලැබුණා. අගමැතිවරයාට තියෙන විරෝධය පළ කිරීම සඳහා තමයි මේ විදියට ‍පොහොට්ටුවට ඡන්දය දීලා තියෙන්නේ” ඩිලාන් පෙරේරා මැතිවරණ ප්‍රතිඵල ගැන අදහස් දැක්වූවේය.
එස්.බි.ත් මැතිවරණ ප්‍රතිඵල ගැන අදහස් දක්වන්ට වූයේ එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරකම් ගැනද විවේචනයක් එල්ල කරමිනි.
“අගමැතිවරයා අයින් කරන්න ඕන. අලුත් අගමැතිවරයෙක් එක්ක ආණ්ඩුව ඉදිරියට අරගෙන යන්න ඕන” ඩිලාන් කීවේය.
“මේ ඡන්ද ප්‍රතිඵලවලින් පෙන්නලා තියෙන්නේ කිසියම් වෙනසක් අවශ්‍ය බව තමයි. ජනතාව වෙනසක් වෙනුවෙන් තමයි ඡන්දය දීලා තියෙන්නේ. ඒ ගැන අවධානය යොමු කරන්නේ නැතිව අපිට කටයුතු කරන්න බෑ” මහින්ද සමරසිංහ අදහස් දැක්වූවේය.
“මේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවම එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය පරාජයට පත්වෙලා තිබෙන බව පේනවා. ඒ වගේම බැඳුම්කර චෝදනාවත් එක්සත් ජාතික පක්ෂයට එල්ලවුණා. බැඳුම්කර වංචාවට විරුද්ධව හිටපු අය ‍පොහොට්ටුවට ඡන්දය දීලා තියෙනවා” තවත් ඇමැතිවරයෙක් කීවේය.
“ජාතික ආණ්ඩුවක් විදියට ඉදිරියට යනවා නම් අගමැතිවරයා වෙනස් නොකර බැහැ. කරු ජයසූරිය වගේ කෙනෙක් අගමැති ධුරයට පත් කරලා ඉදිරියට යන්න පුළුවන්” ඩිලාන් යෝජනා කළේය.
“මම අද හවස හයට අගමැතිවරයා හමුවෙනවා. එතැනදී මේ ගැන සාකච්ඡා කරලා තීරණයක් ගන්නම්” මේ යෝජනා සියල්ලම අසා සිටි මෛත්‍රී කීවේය.
 
 රනිල් ඇමැතිවරු  කැඳවයි 
 
උදෑසන මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු හමුවූ ආකාරයටම එදින සවස හයට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ට අරලියගහ මන්දිරයට පැමිණෙන්නැයි රනිල් දැනුම්දී තිබුණේය. ඒ වන විට ඇතැම් එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු සිටියේ කොළඹින් පිටත තමන්ගේ මැතිවරණ කොට්ඨාසවලය. 
“අගමැතිතුමා වහාම සියලුම ඇමැතිවරුන්ට කොළඹට එන්න කියලා තිබෙනවා” අරලියගහ මන්දිරයෙන් ඇමතුම් ලැබුණ වහාම ප්‍රාදේශීය දේශපාලන කටයුතු අවසන් කළ මැති ඇමැතිවරු කොළඹට පැමිණියහ.
“එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසයෙන් හිටියා. ඒත් අපිට වැඩි පළාත් පාලන ආයතන සංඛ්‍යාවක බලය ලබාගැනීමට නොහැකි වුණා. ඒකට හේතුව මොකක්ද” රනිල් විමසුවේය.
“බැඳුම්කර සිද්ධිය වගේ දේවල් අපිට අවාසිදායක අයුරින් බලපෑවා”එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරයෙක් කීවේය.
“බැඳුම්කර සිද්ධිය විතරක් නමෛයි මේකට හේතුව. මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විවේචනය කළා. මහින්දට විරුද්ධව නොයෙක් දේවල් කිව්වා. මහින්දගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා කිව්වා. මේ වගේ දේවල් අපේ වාසියට වඩා අවාසියට තමයි  බලපෑවේ” එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරයෙක් මැතිවරණ ප්‍රතිඵල ගැන විග්‍රහයක් ඉදිරිපත් කළේය.
“ජනාධිපතිතුමාත් ප්‍රසිද්ධියේම අගමැතිතුමා විවේචනය කළා. ඒක නිසා අපිට ලැබෙන්න තිබුණ ඡන්ද ප්‍රමාණය විශාල ලෙස අඩු වුණා” තවත් ඇමැතිවරයෙක් කීවේය.
“මේ ප්‍රතිඵලය එක්ක අපිට තීන්දුවක් ගන්න පුළුවන්” රනිල් කීවේය.
“අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු එකතු කරගෙන ආණ්ඩුවක් හදන්න පුළුවන්. දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු දහ දෙනෙක් විතර අපිත් එක්ක ඉන්නවා” වජිර අබේවර්ධන ඇමැතිවරයා කීවේය.
“එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනෙක් ඇමැතිවරුන්ගේ තීරණය මොකක්ද?” රනිල් ඇසුවේය.
“ඉතිං සමහරු දැන් මහින්ද හමුවෙන්න ගිහින්. තවත් අය මහින්දට කතා කරලා මහින්දත් එක්ක එකතුවෙන්න කැමැතියි කියලා තියෙනවා කියලා තමයි මට තියෙන ආරංචිය” ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා කීවේය.
“දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි ආණ්ඩුවක් හැදීම ගැනත් කතා කරනවා කියලා අපිට තොරතුරු ලැබිලා තිබෙනවා” රනිල් කීවේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි ආණ්ඩුවක් හදන්න උත්සාහ ගන්නවානම් අපි අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් හදන්න ඕන” එක්සත් ජාතික පක්ෂ ඇමැතිවරයෙක් කීය.
 
 අගමැතිකමට කරු 
 
එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු හමුවූ රනිල් අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියේ මහගමසේකර මාවතේ පිහිටි මෛත්‍රීගේ නිවසටය. ඒ මෛත්‍රී සමග සාකච්ඡා කිරීමටය.
“එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදන්න ඕන කියලා අපේ ඇමැතිවරු යෝජනා කරනවා” රනිල් මෛත්‍රීට කීවේ තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් සෑදීම ගැන සුබවාදී ප්‍රතිචාරයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන්ය.
“තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න කියලා නමෛයි මේ මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්වලා දීලා තියෙන්නේ. ඔබතුමා අගමැති ධුරයෙන් ඉවත්වෙලා වෙනත් අයෙක් අගමැති ධුරයට පත් කරන්න ඕන කියන එක තමයි අපේ ඇමැතිවරුන්ගේ යෝජනාව වෙලා තියෙන්නේ” මෛත්‍රී කීවේය.
එහෙත් එයට රනිල්ගෙන් ලැබුණේ එතරම් සුබවාදී ප්‍රතිචාරයක් නොවේ. 
“ඔබතුමා මේ ගැන නැවත වරක් සිතා බලන්න. කරු ජයසූරිය වගේ අයෙක් අගමැති ධුරයට පත් කරලා ජාතික ආණ්ඩුව ඉදිරියට අරගෙන යන්න” මෛත්‍රී යෝජනා කළත් රනිල්ගෙන් එයට සුබවාදී ප්‍රතිචාරක් නොවීය. එජාපයේ අගමැති කවුදැයි තීරණය කරන්නේ එජාපය බව අගමැතිවරයා ජනපතිට දැනුම් දුන්නේය.
රනිල් මෛත්‍රීගේ නිවසේ විනාඩි විස්සකට වඩා වැඩි වේලාවක් රැඳී සිටියේ නැත. විනාඩි විස්සකින්  රනිල් පිටත්ව ගිය පසුව මෛත්‍රී තමන්ට හිතවත් මැති ඇමැතිවරු පිරිසක් සමග ආණ්ඩුවේ ඉදිරිය ගැන සාකච්ඡා කළේය. මෛත්‍රීගේ ආශිර්වාදය හිමිවූයේ රනිල් අගමැති ධුරය නොදරන ආණ්ඩුවක් ඉදිරියට ගෙන යාමටය.
 
 ආණ්ඩුවට සහය දෙන  යෝජනාව වාසුගෙන්  
 
මැතිවරණයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කැඳවූ මහින්ද ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළේ ඉදිරියේදී ගන්නා දේශපාලන ක්‍රියාමාර්ග ගැනය. 
“ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ රට පුරාම ගිහින් රැස්වීම්වල කතා කළා. ඒවා අපේ ජයග්‍රහණයට හේතු වුණා”මහින්ද කීවේය.
“එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් හදන්න යනවා කියලා කතාවක් යනවා. මේකට අපි විරුද්ධ වෙන්න ඕනනේ” විමල් වෙනුවෙන් එම සාකච්ඡාවට ගොස් සිටි ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා ඇසුවේය.
“ඒ විතරක් නමෛයි ජාතික ආණ්ඩුව මේ විදියට ඉදිරියට යන එකත් වළක්වන්න ඕන” බැසිල් තවත් යෝජනාවක් කළේය.
“ඒක ඇත්ත” මහින්ද එම යෝජනාවන් දෙකටම පක්ෂව අදහස් දක්වන්න විය. 
“පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයක් පවත්වන තෙක් භාරකාර ආණ්ඩුවක් හදන්න යෝජනා කරමු. ඒ භාරකාර ආණ්ඩුවට අපේ සහය ලබාදෙමු” වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා යෝජනා කළේය.
“ඒ යෝජනාව මම ස්ථිර කරනවා” ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාද එයට සිය සහය ලබාදුන්නේය.
“එහෙම නම් අපි ඒ පදනමේ ඉඳලා ඉදිරියට යමු” මහින්ද කීවේය.
 
 මහින්ද ඡන්දයක්  ඉල්ලන විට ගෝඨා ලංකාවට 
 
මහින්ද මැතිවරණය අවසන් වීමෙන් පසුව මාධ්‍ය හමුවීමට පැමිණියේය. වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලීමක්ද කරමිනි.
“ඔබතුමාලා පාර්ලිමේන්තුව විසුරවන්න කියලා යෝජනාවක් ගේනවාද?” මාධ්‍යවේදීහු විමසූහ
“අපි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්නේ නෑ. අපි ආණ්ඩුවට කියන්නේ පාර්ලිමේන්තුව විසුරුවන්න කියලා. අපි යෝජනාව ගෙනාවොත් ආණ්ඩුව ඒකට උදව් කරන්නේ නැහැනේ” මහින්ද කීවේ ආණ්ඩුවට පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ඉල්ලා සිටිමිනි.
මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ ලංකාවට පැමිණියේය. ඔහු පැමිණියේ සති ගණනාවක් ඇමෙරිකාවේ ගත කිරීමෙන් පසුවය.
“මට අගමැතිකම ගන්න කියලා යෝජනාවක් ඇවිත් නෑ. මට අගමැතිකම ගන්න බෑ. මම ඇමරිකන් පුරවැසියෙක්නේ” ගෝඨාභය කීවේ මාධ්‍යවේදීන් ගුවන්තොටපුළට පැමිණ ඒ ගැන විමසූ විටය.
මහින්දගේ ප්‍රවෘත්ති සාකච්ඡාව අවසන් වූ වහාම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් මහින්ද සමග මහින්දගේ විජේරාම නිවසට ගියහ.
“සර් අපි ඉක්මනට ආණ්ඩුවක් හදාගන්න ඕන” මන්ත්‍රීවරු පැවැසූහ.
“මට අගමැතිකම ගන්න කිසිම වුවමනාවක් නැහැ. මට ඕන විපක්ෂය හදාගන්න. විපක්ෂයෙන් තමයි හැම වෙලාවකම ජනමතය නියෝජනය වෙන්නේ. විපක්ෂය හරියට හදාගත්තට පස්සේ ඉස්සරහට යන්න ඉන්න අයට ඉස්සරහට යන්න පුළුවන්” මහින්ද එතැන සිටි මන්ත්‍රීවරුන්ට දේශපාලන පාඩමක් කියා දුන්නේය.
 
 ඇමැතිවරුන්ගෙන්   රනිල්ට බාල්දියක් 
 
එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ඇමැතිවරු හා නියෝජ්‍ය ඇමැතිවරු කණ්ඩායමක් රනිල් හමුවීමට අරලියගහ මන්දිරයට ගියේ ආණ්ඩුවේ ඉදිරිය හා පක්ෂයේ ඉදිරිය ගැන සාකච්ඡා කිරීමටය. රනිල්ට හිතවත් ඇමැතිවරු මෙන්ම පක්ෂයේ ප්‍රතිසංවිධානයක් වෙනුවෙන් පෙනී සිටි මැති ඇමැතිවරුද එහි වූහ.
“මේ ප්‍රතිඵල දිහා බැලුවම ජනතාව වෙනසක් ඉල්ලලා තියෙනවා. අපි පක්ෂය ඇතුළේ ඒ වෙනස කරන්න ඕන. මේක මාත් එක්ක පුද්ගලිකව ගන්න එපා. පර්සනලි අරගෙන මාත් එක්ක හිත් අමනාපකම් ඇතිකරගන්න එපා” හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ රනිල්ගේ නායකත්වය ගැන කිසියම් සංකාවක් ඇතිකරමිනි.
“හර්ෂ ද සිල්වා ඇමැතිතුමා කියන කතාවේ ඇත්තක් තියෙනවා. මේවා ගැන අපි අවධානය යොමු කරන්න ඕන. මැතිවරණ ප්‍රතිඵලවලින් ලබාදෙන සංඥාව මොකක්ද කියලා අපි අවබෝධ කරගන්න ඕන” වසන්ත සේනානායක ඇමැතිවරයාද අදහස් දැක්වූයේ රනිල්ගේ නායකත්වයට පක්ෂව නොවේ.
මේ අතර කරු ජයසූරියට හා සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු පිරිසක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් පණිවුඩ කිහිපයක් රැගෙන ආහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස පැමිණියේ මෛත්‍රීගේ පණිවුඩයක් රැගෙනය. මෛත්‍රී ඔවුන්ට එවා තිබූ පණිවුඩයෙන් කියවුණේ අගමැති ධුරය ලබාගන්නා ලෙසය. 
“මම අගමැති ධුරය ලබාගන්නේ රනිල් වික්‍රමසිංහ හැර අනෙක් සියල්ලෝම කැමැත්ත දැක්වුවහොත් විතරයි” කරු පණිවුඩකරුවන්ට දැනුම් දුන්නේය.
“ඔබතුමා පක්ෂයේ නායකත්වය ගන්න. කරු ජයසූරිය ඇමැතිතුමාට අගමැති ධුරය ලබාගන්න පුළුවන්. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයත් කැමැතියි” පණිවුඩකරුවන් සජිත්ට කීවේය.
“මම පක්ෂ නායකත්වය ලබාගන්නවාට අනික් අය කැමැති වෙන්න ඕන. එහෙම නැතිව මට පක්ෂ නායකත්වය ගන්න බෑ” සජිත් පස්ස ගැසුවේය.
 
 තානාපති මැදිහත්වීම් 
 
පළාත් පාලන මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවේ අනාගතය ගැන ඇතිවූ ආන්දෝලනයන් සමග ආණ්ඩුව අස්ථාවර වන ලකුණු පෙන්නුම් කරමින් සිටියේය. මේ ගැන ලංකාවේ පමණක් නොව විදේශ රටවලද අවධානය යොමුවිය. විශේෂයෙන්ම ඇමෙරිකාවේ සහ ඉන්දියාවේ අවධානය ඒ වෙත යොමුව තිබූ අතර ඉන්දීය මහ කොමසාරිස්වරයාත්, ඇමෙරිකාවේ තානාපතිවරයාත් පැමිණ මෛත්‍රී හමුවූහ.
ඉන්දීය මහ කොමසාරිස්වරයාද රටේ තත්ත්වය ගැන සිය අවධානය යොමු කර තිබුණේය. එහෙත් ඒ ගැන කිසිවක් ප්‍රසිද්ධියට පත් නොවීමට තානාපති අංශත් මෛත්‍රීත් වගබලාගෙන තිබුණේය. තමන්ගේ අතිශය හිතවත් කිහිප දෙනෙකුට හැර අනෙක් අයට මේ ගැන කිසිවක් නොකියා සිටීමට මෛත්‍රී වග බලාගත්තේය. අගමැති ධුරයේ වෙනසක් කළ යුතු බවට ඒ වන විට මෛත්‍රී දැඩි ස්ථාවරයක සිටියත් ඒ ගැන තානාපති අංශවල පැහැදිලි ස්ථාවරය කුමක්ද යන්න ගැන සාකච්ඡා වූ බවක් තමන්ගේ හිතවතුන්ටවත් මෛත්‍රී දැනුම්දී තිබුණේ නැත.
මේ අතර රනිල්ද තානාපති නිලධාරීන් කිහිප දෙනෙක් රහසිගතව හමුවී තිබුණේය. රටේ දේශපාලනය ගැන ඔවුන් සමග අදහස් හුවමාරු කරගත් රනිල් ඉදිරියේදී ගනු ලබන පියවර ගැන එහිදී වැඩි අවධානයක් යොමු කර තිබුණේය.
 
 පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම 
 
අඟහරුවාදා දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් රනිල් හමුවීමට ගියහ. ඒ වන විට රනිල් අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු බවට විශාල හඬක් සමාජයෙන් මතුවී තිබූ අතර ඒ වෙනුවෙන් වන මෙහෙයුම ආරම්භ වී තිබුණි. එපමණක් නොව පක්ෂ නායකත්වයෙන් ඔහු ඉවත් කිරීමට අදාළ පසුබිමද මේ වන විට නිර්මාණය වෙමින් තිබුණේය.
“අපිට එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් හැදීමට අවශ්‍යයි. ආණ්ඩුවේ කළ යුතු වෙනස්කම් කරමින් අපි ඉදිරියට යමු” හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා යෝජනා කළේය. එයට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් ලැබුණේ සුබවාදී ප්‍රතිචාරයකි. 
මේ අතර එම යෝජනාවට රනිල්ගෙන්ද සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණි.
“මම අද රෑට නැවත ජනාධිපතිවරයා හමුවෙනවා. එහිදී මම මේ ගැන වැඩිදුරටත් කතා කරන්නම්” රනිල් කීවේය.
 
 දයාසිරිගේ ගෙදර   රහස් මෙහෙයුමක් 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් දයාසිරිගේ නිවසට ආවේ අගමැති ධුරය වෙනස් කිරීම ගැන සාකච්ඡා කිරීමටය. සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.
“අපි ඒකාබද්ධ විපක්ෂයේ සහාය ගන්න ඕන. ඒ අයගේ උදව් අරගෙන අපි තනි සන්ධාන ආණ්ඩුවක් හදමු” ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු සාකච්ඡා කළහ. ඒ අනුව ඔවුහු මහින්ද සමගත් සාකච්ඡා කරමින් තනි ආණ්ඩුවක් හැදීමට අවශ්‍ය පියවර ගත්හ. එතැන ටික වේලාවක් සිටි ඩිලාන් පෙරේරා ඇමැතිවරයා ගියේ ඔලිම්පික් නිවසටය. ඔලිම්පික් නිවසේ සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු පිරිසකි.
“අපි 113 බහුතරය පෙන්වන්න ඕන. ඒකට අපි අත්සන් එකතු කරන්න ඕන” ඩිලාන් එතැනට ගොස් පාර්ලිමේන්තුවේ බහුතරය ශ්‍රීලනිපය වෙත ඇතැයි යන්න පෙන්වීමට අවශ්‍ය මෙහෙයුම ආරම්භ කළේය
මන්ත්‍රීවරුන්ගේ වැඩි බහුතරය තමන් වෙත ලබාගැනීමට හැකියාව ඇතැයි පෙන්වාදීමට හැකි බව කියමින් ජනාධිපතිවරයාට යවන ලිපිය සකස් කිරීමේ මූලික සාකච්ඡා පැවැත්වුණේද එහිදීය. ඒ අනුව මහින්ද අමරවීරගේ අත්සනින් යුතුව යවන ලිපිය එහිදී සකස් කළේය.
මේ අතර දිවුරුම් ප්‍රකාශවලට අත්සන් ගැනීමේ වගකීම නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලගේ කර මත වැටී තිබුණි. ඔහු දිවා රෑ වෙහෙස නොබලා මන්ත්‍රීවරු සමග සාකච්ඡා කරමින් දිවුරුම් ප්‍රකාශවලට  අත්සන් ගත්තේය.
දයාසිරිගේ නිවසේ සිටි අය වෙනුවෙන් රාත්‍රී ආහාරය සූදානම් කර තිබුණේ ඔලිම්පික් නිවසේය. දයාසිරිගේ නිවසේ සිට ඔලිම්පික් නිවසට යන ආකාරය ගැන ඇතැම් ඇමැතිවරු දැන නොසිටි අතර ඔවුහු පාරවල් සොයමින් එතැනට ගියෝය.
 
 මංගලගේ ගෙදරත් කතා 
 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු දයාසිරිගේ ගෙදර සාකච්ඡා කරන විට මංගල සමරවීර ඇමැතිවරයාගේ නිවසට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් පැමිණියහ. රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් එහි වූහ. ඔවුන් සාකච්ඡා කරමින් සිටින විට රනිල්ද එහි පැමිණියේය.
“ඔබතුමාලා පක්ෂයට අවශ්‍යයි. ඉදිරියේදී පක්ෂය මෙහෙයවීමේ වගකීම් ඔබතුමාලා ගන්න ඕන” රනිල් රාජිතට කීවේය.
රනිල් තවදුරටත් අගමැති ධුරයේ රැඳී සිටීම ගැන එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.
 
රනිල්ගේ ඉන්දීය ගමන
 
මේ අතර රනිල් අගමැති ධුරයේ අවුල නිසා විදේශ සංචාරයක්ද අවලංගු කළේය. සඳුදා උදෑසන ඔහු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ ද හින්දු පුවත්පතට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන උත්සවයක ආරාධිත අමුත්තා ලෙසය. එහෙත් රනිල් පවතින දේශපාලන අර්බුද හමුවේ සියලුම සංචාර අවලංගු කරන  ලෙස අගමැති කාර්යාලයේ නිලධාරීන්ට උපදෙස්  දුන්නේය.
 
 කැබිනට්ටුවත් අවුල් 
 
වෙනදාට අඟහරුවාදාට කැබිනට් මණ්ඩල රැස්වීම පැවැතියත් මේ සතියේ කැබිනට්  මණ්ඩල රැස්වීම පැවැත්වුණේ බදාදාය. ඒ අඟහරුවාදා නිවාඩු දිනයක් වීම නිසාය. මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වී තිබූ කැබිනට් පත්‍රිකා අතරින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේය. එම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබුණේ පාසල් ළමුන් සඳහා ටැබ් පරිගණක මිලදී ගැනීමටය.
“මොනවද මේ ඉදිරිපත් කරලා තියෙන කැබිනට් පත්‍රිකා. මේ වෙලාවේ ඕන ටැබ් දෙන්නද? මේ වගේ යෝජනා මේ වෙලාවේ ගේන්න එපා” මෛත්‍රී කැබිනට් පත්‍රිකාව ඉවත දැමුවේය.
 
 මෛත්‍රීට මහින්දගෙන් පණිවුඩ 
 
කැබිනට් මණ්ඩල රැස්වීම අවසන්වීමෙන් පසුව මෛත්‍රී ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කැඳවා තිබුණි. ඒ ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කිරීමටය. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය මෛත්‍රීගේ විවේචනයට ලක්විය.
“මහින්ද මහත්තයාගේ පැත්තෙන් මොනවා හරි පණිවුඩයක් ලැබිලා තියෙනවාද” ඇමැතිවරයෙක් මෛත්‍රීගෙන් ඇසුවේය.
“ඊයේ රෑ කණ්ඩායම් දෙකක් ඇවිත් මම හමුවුණා. මෙහෙම ආවේ කවුද කියලා අහන්න එපා. හිටපු ජනාධිපතිතුමාගේ පණිවුඩයක් අරගෙන තමයි මේ දෙගොල්ලෝම මම හමුවෙන්න ආවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හදනවා නම් කොන්දේසි විරහිතව සහාය දෙනවා කියලා ඒ අය පණිවුඩය එවලා තියෙනවා” මෛත්‍රී කීවේය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස්වීම සම්බන්ධයෙන්ද මෛත්‍රී අදහස් දක්වන්න විය.
“මම දැන් බිත්තර කටුව කඩලා තියෙන්නේ. ඒකෙන් පැටියා එළියට ගන්න එක එක්සත් ජාතික පක්ෂයේ වැඩක්” මෛත්‍රී කීවේය.
මෛත්‍රීගේ අදහස වූයේ තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සෑදිය හැකි බවය. එහෙත් ඇතැම් මැති ඇමැතිවරු ඒ ගැන දැක්වූයේ වෙනස් අදහසකි. එහෙත් ඔවුන් ඒ ගැන ප්‍රසිද්ධියේ කිසිවක් කියන්න ගියේ නැත.
“ශ්‍රී ලංකා එකේ තනි ආණ්ඩුවක් හදනවා කියන්නේ කරන්න බැරි වැඩක් නේ”මහින්ද සමරසිංහත්, ෆවුසිත් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ සිට එළියට එන අතරවාරයේදී කීවේය.
“අ‍පෝ අපි කොහොමද ආයිමත් මහින්ද ළඟට ගිහින් ආණ්ඩු හදන්නේ” විජිත් විජිතමුනි ද සොයිසා කීවේ එතැන සිටි තවත් ඇමැතිවරයෙක්ටය.
මේ අතර ශ්‍රීලනිප මහ ‍ලේකම් දුමින්ද දිසානායක ඇමැතිවරයාද සිටින්නේ මෛත්‍රීගේ අදහසට වඩා සම්පූර්ණ වෙනස් අදහසකය. ඔහුගේ අදහස වී තිබෙන්නේ මහින්ද සමග එක් නොවිය යුතු බවය. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක් කරගැනීමේ සාකච්ඡාවලට ඔහු සහභාගී වූයේ නැත. මෛත්‍රීට මුහුණ දෙන්න එන්නේද නැත.
“මම ප්‍රතිපත්තිමය හේතු නිසා තමයි මහින්ද රාජපක්ෂලාගෙන් ඉවත් වුණේ. එහෙම තිබියදී මට නැවත මහින්ද ළඟට යන්න බෑ” දුමින්ද තමන්ගේ හිතවතුන්ට කියා තිබුණේය.
 
 සජිත්ට විරෝධයක් 
 
බදාදා රාත්‍රියේදී රනිල් නැවත වරක් මෛත්‍රී හමුවීමට මහගම සේකර මාවතේ නිවසට ගියේය. ඔහු මෛත්‍රී හමුවන විට රනිල්ට විරෝධය දක්වන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් කබිර් හෂීම් ඇමැතිවරයාගේ නිවසට එක්ව සිටියහ. මේ ඇමැතිවරු හමුවන බව කබිර් කල් ඇතිවම රනිල්ට ද දැනුම්දී තිබුණේය. රංජිත් මද්දුමබණ්ඩාර, පාලිත රංගේබණ්ඩාර, චන්ද්‍රාණි බණ්ඩාර, අජිත් පී. පෙරේරා, දයා ගමගේ, නලීන් බණ්ඩාර ඇතුළු පිරිසක් එහි වූහ. පාලිත රංගේබණ්ඩාර එහි පැමිණියේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක්ද ලියාගෙනය.
“මොකක්ද මේ” රංගේබණ්ඩාර ලිපිය පෙන්වූ විට එතැන සිටි අයෙක් ඇසුවේය
“ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලියුම” රංගේබණ්ඩාර කීවේය.
“අගමැතිවරයාට විරෝධය දක්වලා අයින් කරන්න කියනවානම් හැමෝම එකවර ඉල්ලා අස්වීමේ ලියුම් දෙන්න ඕන. තනියෙන් ඉල්ලා අස්වීමේ ලියුම් දෙන්න එපා” රංජිත් මද්දුමබණ්ඩාර ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය උදුරාගෙන ඉරා දැමුවේය.
මේ අතර මෛත්‍රී සමග පැවැති සාකච්ඡාව අවසන් කළ සජිත් ප්‍රේමදාස කබිර්ගේ නිවසට පැමිණියේය.
“ජනාධිපතිතුමා එක්ක තියපු සාකච්ඡාවේදී මොකද වුණේ” එතැන සිටි මන්ත්‍රීවරයෙක් ඇසුවේය
“අගමැති ධුරයේ වෙනසක් ගැන එකඟතාවයක් ආවේ නෑ” සජිත් කීවේය.
සජිත්ගේ කතාව එතැනට පැමිණ සිටි මන්ත්‍රීවරුන්ගේ වැඩි ප්‍රසාදයට ලක්වූ කතාවක් නොවීය.
“රනිල් වික්‍රමසිංහ තබාගැනීමට ඔබ තවදුරටත් මොන විදියකටවත් උදව් කරන්න එපා. ඔබ නායකත්වය මණ්ඩලය පාවා දුන්නා. ගියවර නායකත්ව මණ්ඩලය කඩාකප්පල් කරේ ඔයා. ඔයාට අගමැති වෙන්න බැරි නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිමල් සිරිපාල ද සිල්වා පත් කරනවා. කරුටත් ඔයාටත් බැරිනම් අපි රංජිත් මද්දුමබණ්ඩාර පත්කරගෙන හරි ඉදිරියට යනවා. රනිල් පක්ෂයෙන් එළවපු හතළිස් දෙදෙනෙක් එකතු කරගෙන අපි ඉදිරියට යනවා. එහෙම නැතිනම් ඔයාටත් වෙන්නේ ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන්න තමයි” ඇමැතිවරු පැවැසුහ.
 
එස්.බි. බැසිල් ළඟට 
 
රනිල් වික්‍රමසිංහ ඉවත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයෙක් අගමැති ධුරයට පත් කිරීම ගැන සාකච්ඡා ඉදිරියට යන විට යෝජනා වී තිබුණේ නිමල් සිරිපාල ද සිල්වාගේ නමය. ඔහු අගමැති ධුරයට පත් කරනවාට මහින්ද පාර්ශ්වයෙන්ද විරෝධයක් එල්ලවූයේ නැත.
මේ අතර එස්.බි. දිසානායක බදාදා රාත්‍රියේදී බැසිල්ගේ නිවසට ගියේය. ඒ බැසිල් සමග රහස් සාකච්ඡාවටය. ඔහු බැසිල් හමුවීමට පෙර මෛත්‍රීට දුරකථනයෙන් කතා කර ඒ ගැන දැනුවත් කර තිබුණේය.
 
සාගල අස්වෙයි 
 
පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිවූ අර්බුදයන් මැද එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීම බ්‍රහස්පතින්දා උදෑසන අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂය සමග පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූ  සියලුම පක්ෂ නියෝජිතයින් ඒ සඳහා එක්ව සිටියහ.
“නීතිය හා සාමය අමාත්‍යාංශයේ කටයුතු ගැන නොයෙක් විවේචන එල්ලවෙලා තිබෙනවා” මන්ත්‍රීවරුන්ගේ අදහසක් මතුවිය.
“මම නීතිය හා සාමය අමාත්‍යාංශයෙන් ඉල්ලා අස්වෙනවා. මට වෙනත් ඇමැති ධුරයක් ගන්න පුළුවන්. ඒත් මම පක්ෂය එක්ක දිගටම ඉන්නවා. මම දිගටම පක්ෂයටත් ආණ්ඩුවටත් උදව් කරනවා” සාගල කීවේය.
මේ අතර වහාම එක්සත් ජාතික පක්ෂයට බහුතරයක් ඇති බව පෙන්වා දිය යුතු බව නවීන් අදහස් දක්වමින් ප්‍රකාශ කරන්න විය.
 
සුසිල් මහින්දගේ නිවසට 
 
මේ අතරේ ශ්‍රීලනිපයද රනිල් එළවන මෙහෙයුම අතහැරියේ නැත. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සිකුරාදා උදෑසන මහින්දගේ නිවසට පැමිණියේ දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමටය. ඒ වන විට චමල් රාජපක්ෂ අගමැති කළ යුතු බවට තැන තැන කතාවී තිබූ අතර ඔහු ඒ ගැන අදහස් දක්වමින් කියා තිබුණේ තමන් අගමැති ධුරය ගැනීමට සූදානම් නැති බවය. තමන් ඡන්දයෙන් මිස අගමැති නොවන බව ඔහු කීවේය.
ඔවුන් සාකච්ඡා කරමින් සිටියදී සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා එහි පැමිණියේය. ඔහු පැමිණියේ මෛත්‍රීගේ පණිවුඩයක් රැගෙනය.
“ඒකාබද්ධ විපක්ෂයේ සහාය ආණ්ඩුවට ලබාදීමේදී ඇමැති ධුරත් ලබාගන්න ඕන” සුසිල් සිය පණිවුඩය ඉදිරිපත් කළේය.
“ඇමැතිකම් ගැනීමට අවශ්‍ය නැහැ” ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පැවැසුහ.
“අපි මේ ගැන ජනාධිපතිතුමා එක්කත් කතා කරමු”අවසානයේදී දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, පවිත්‍රා වන්නිආරච්චි, සී.බි. රත්නායක, ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ගියහ. මේ අතර මෛත්‍රී සමග නිමල් සිරිපාලත් තිලංග සුමතිපාලත් පැමිණියහ.
“අපි අගමැති ධුරයට නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිතුමා පත් කිරීමට තමයි සූදානම් වෙන්නේ” මෛත්‍රී කීවේය.
“ඒකට අපි කැමැතියි” ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පැවැසූහ.
“වැඩි බහුතරයක් එක්ක අපිට ඉදිරියට යන්න පුළුවන්. අගමැති ධුරය වෙනස් කිරීම ගැන නීති උපදෙස් ගන්නවා” මෛත්‍රී කීවේය.
“ඔබතුමන්ලාත් ඇමැති ධුර ලබාගන්න” මෛත්‍රීගෙන් ආරාධනාවක් ලැබුණි.
“අපිට ඇමැති ධුර එපා” ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු එය ප්‍රතික්ෂේප කළහ.
“එහෙම නම් කථානායක ධුරය ඒකාබද්ධ විපක්ෂය අරගන්න” මෛත්‍රී තවත් යෝජනාවක් කළේය
“ඒ ගැන අපි සලකා බලන්නම්” එයට තරමක් එකඟවන ලකුණු පෙනෙන්නට තිබුණේය. ඔවුන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් පැමිණියේ ඉදිරි සාකච්ඡා සඳහා කමිටුවක්ද පත් කරගෙනය.
මේ අතරේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග රනිල් කීවේ තමා අගමැති ධුරයෙන් ඉවත් නොවන බවය. ඒ අනුව සති අන්තයේද ප්‍රධාන පක්ෂ ගෙවා දමමින් සිටින්නේ පැටළුණු නූල් බෝලය ලිහා ගැනීමට නොහැකිවය.
 
 තිලකජය

කථානායක ජනපති අගමැතිට දුන් අවවාදය

බැඳුම්කර කොමිසම පිළිබඳ දේශපාලන වේදිකාවේ කතා බහට ලක්වන අතරවාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකයන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයට කැඳවූවේ පසුගිය සඳුදාය. ඇතැම් පක්ෂ නායකයන්ට ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් දුරකථන ඇමතුම් ලබාදී තිබුණේ ඉරිදා සවසය. මැතිවරණ කටයුතු සමග කාර්යබහුල වූ ඇතැම් පක්ෂ නායකයන්ට මේ රැස්වීමට සහභාගීවීමට නොහැකි වූ නමුත් තමන්ගේ නියෝජිතයෙක් හෝ සහභාගි කරවන බවට ඇතැම් අය සහතිකයක් ලබාදුන්නේය.
ඒ අනුව සඳුදා උදෑසන ජනාධිපති ‍ලේකම් කාර්යාලයට දේශපාලන පක්ෂ නියෝජිතයන් පැමිණ සිටි අතර ජනතා විමුක්ති පෙරමුණෙන් නියෝජිතයෙක් සහභාගී කර තිබුණේ නැත. එහෙත් ඒ බව කල් ඇතිවම දැනුම් දී තිබුණේය. 
“මේ වනවිට බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර ගැන අපි සාකච්ඡා කරනවා. මේ වාර්තාව මම අපේ ‍ලේකම්තුමාට දීලා තියෙන්නේ. ඒ ගැන ‍ලේකම්තුමා පැහැදිලි කරාවි” මෛත්‍රී වැඩි කතාවක් නැතිව ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට අදහස් දැක්වීමට අවස්ථාව ලබාදුන්නේය.
“හැමෝම බැඳුම්කර වාර්තාව ගැන කතා කරනවා. අත්සන් කරලා තියෙන්නේ එකම එක වාර්තාවක් විතරයි. ඒ වාර්තාව තමයි මේ. අනික් හැම තැනටම අපි යවලා තියෙන්නේ පිටපත් විතරයි”ජනාධිපති ‍ලේකම්වරයා පැවැසුවේය.
නීතිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා, අල්ලස් කොමිසමේ කොමසාරිස්වරයෙක්, රහස් ‍පොලීසියේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙහි පැමිණ සිටි අතර ඉන් පසුව ඔවුන් ද අදහස් දක්වන්නට වූහ.
“අල්ලස් පනත ගෙනවිත් අවුරුදු විසි තුනක් වෙනවා. ඒත් මේ අවුරුදු විසි තුනටම පනතට එක සංශෝධනයක්වත් ගෙනැල්ලා නෑ. අවුරුදු විසි තුනක් තිස්සේ සංශෝධනය නොවී තියෙන ලෝකයේ එකම අල්ලස් පනත මේ පනතයි. ලෝකයේ අල්ලස් දූෂණ සිදුවන අලුත් ආකාර තිබෙනවා. තාක්ෂණය එක්ක ඒවා වෙන විදිය ගැන අපි අවධානය යොමු කරන්න ඕන” අල්ලස් කොමිසමේ කොමසාරිස්වරයා පැවැසුවේය.
“මේ කාලයේ අල්ලස් පනත යටතේ නඩු දාලා වරදකරුවන් කළ කී දෙනෙක් ඉන්නවාද” එතැන සිටි අයෙක් ඇසුවේය.
“හතර දෙනෙක්ට තමයි නඩු දාලා වැරදිකරුවන් කරල තියෙන්නේ” ඔහු කීවේය.
මේ අතර නීතිපතිවරයාද අදහස් දක්වමින් සිවිල් නඩු කටයුත්තක් මෙන්ම අපරාධ නඩු  කටයුත්තක්ද ඉදිරියට ගෙන යන බව සඳහන් කළේය. 
“දේශපාලන පක්ෂවල අදහස මොකක්ද” මෛත්‍රී ඇසුවේය.
“ඔබතුමා ජනාධිපති කොමිසමක් පත් කිරීමට තීරණය කළා. මම තමයි මුලින්ම අධිකරණ බලය තිබෙන ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා ඉල්ලුවේ. එහෙම අධිකරණ බලයක් තිබෙන කොමිසමක් පත් කළානම් අපිට අද මේ රැස්වීම තියන්නත් ඕන වෙන්නෙ නෑ” ඩිව් ගුණසේකර හිටපු ඇමැතිවරයා කීවේය. 
“අපි පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමට සම්බන්ධ ආයතනවල බැංකු ගිණුම් තහනම් කර තිබෙනවා. මූලික ආයෝජන ප්‍රාග්ධනයක් තිබෙන ආකාරයට, එම ආයතන කඩා නොවැටෙන ආකාරයට, එම ආයතනවල සේවකයන්ට බලපෑමක් නොවන ආකාරයට තමයි අපි එම ගිණුම් තහනම් කර තිබෙන්නේ” මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. 
 
ඡන්ද කල් දැමීමේ යෝජනා
 
මේ අතර බැඳුම්කර කොමිෂන් සභාවේ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටීම නිසා පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. මේ සාකච්ඡාවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියද පැමිණ සිටියේය.
“ජනවාරි 8 වැනිදා මේ විවාදය තිබුණොත් ඒක පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අයට අවාසියක් වෙනවා. ඒ නිසා 5 හරි 6 මේ විවාදය තියන එක තමයි හොඳම දේ” මහින්ද දේශප්‍රිය කීවේය.
ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙයට පක්ෂ වුවත් එක්සත් ජාතික පක්ෂයෙන් එම යෝජනාවට ලැබුණේ සුභවාදී ප්‍රතිචාරයක් නොවේ.
“ලබන සතිය මුලදී මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට මැති ඇමැතිවරු ගම්වලට යනවා. ඒ නිසා විවාද කරන්න කවුරුවත් එන එකක් නැහැ. එදාට මේ විවාදය තියන එක ප්‍රායෝගික නොවන වැඩක්” කිරිඇල්ල එයට විරෝධය දැක්වූවේය..
“එහෙම නම් ඡන්දය කල් දාන්න වේවි” මහින්ද දේශප්‍රිය තද ස්ථාවරයක් ප්‍රකාශයට පත් කළේය.
“එහෙම ඡන්දය කල් දාන්න බෑ. අපි 8 වැනිදාට කලින් විවාදය තියමු” විජිත හේරත් මන්ත්‍රීවරයා කීවේය.
එහෙත් කිරිඇල්ල දිගින් දිගටම එයට විරෝධය දක්වන්න විය.  ඒ සමග පක්ෂ නායක රැස්වීමත් කාලගෝට්ටියක් බවට පත්විය.
“මේක මෙහෙම කරන්න බෑ. මම අගමැතිතුමා එක්ක කතා කරලා දවසක් දාන්නම්” කථානායකවරයා අවසානයේදී කීවේය
ඒ අනුව රනිල් සමග කතා කළ කථානායකවරයා මේ විවාදය හය වැනිදාට යොදා ගැනීමට තීරණය කළේය.
 
මෛත්‍රී - රනිල් සමගි කිරීමේ කපුකම්
 
මෛත්‍රී - රනිල් මේ දිනවල දේශපාලන වේදිකාවේ හැසිරෙන්නේ ආණ්ඩුවේ හා විපක්ෂයේ දෙදෙනෙක් ලෙසය. එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු විවේචනය කරන විට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු එක්සත් ජාතික පක්ෂය විවේචනය කරති. මේ දේශපාලන විවේචන යහ පාලන ආණ්ඩුවේ ඉදිරි ගමනට එතරම් සුබදායක නොවන බව තේරුම්ගත් කථානායක කරු ජයසූරිය මෛත්‍රී රනිල් හමුවිය. ඔවුන් දෙදෙනා එකට එක් කරගත් කරු ආණ්ඩුවේ කටයුතු ගැන කතා කරන්න විය.
“ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, මම කථානායක විදියට ස්වාධීනව කටයුතු කරනවා. මට දේශපාලන ප්‍රශ්නයක් නෑ. ඒත් පක්ෂ දෙකේම සාමාජිකයන් දේශපාලන වේදිකාවේ කතා කරන විදිය බැලුවාම සමහරු පමණ ඉක්මවා කතා කරනවා කියලා මට හිතෙනවා. අපිට වැඩපිළිවෙළක් තිබෙනවා. සෝභිත හාමුදුරුවන්ගේ අපේක්ෂාවන් අපි ඉටු කරන්න ඕන. සමහර දේශපාලන කතා නිසා අප රටේ ආර්ථිකයට නරක බලපෑම් එන්න පුළුවන්. අයෝජකයෝ බිය වෙනවා. කොටස් වෙළෙඳ‍පොළ කඩාගෙන වැටෙනවා. ඡන්දෙන් පස්සේ රට අස්ථාවර වෙන්න පුළුවන් කියලා අයෝජකයෝ කල්පනා කරනවා. අපි මෑතකදී ළං කරගත්ත ජාත්‍යන්තර ප්‍රජාවත් ගැටලුවලට මුහුණ දෙනවා. මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්” කරු කීවේය.
ඒ දෙස මෛත්‍රීත් රනිලුත් සාවධානව අසා සිටියේය.
“ඔබ දෙ‍පොළගෙන්  මම ගෞරවනීය ඉල්ලීමක් කරනවා. දේශපාලන වේදිකාවේ විරසක  බව ටිකක් අඩු කරගන්න. ඒක මේ වෙලාවේ අත්‍යවශ්‍ය දෙයක්” කරු කීවේය.
එයට රනිල්ගෙන් මෙන්ම මෛත්‍රීගෙන් ලැබුණේද සුබවාදී ප්‍රතිචාරයකි.
 
ඩිලාන් ත්‍රි්‍රෝද රථයේ
 
නිදහස් සමරු උත්සවයේ පෙරහුරු නිසා පසුගිය දින දෙක තුනේම ගාලුමුවදොර පිටිය මාර්ගය වසා තැබුවේය. මේ නිසා කොළඹ මාර්ග රැසක දැඩි වාහන තදබදයක් ඇතිවී තිබුණේය. මේ වාහන තදබදය නිසා මැති ඇමැතිවරුන්ටත් නියමිත වේලාවට තමන්ගේ වැඩකටයුතු කරගැනීමට නොහැකි වූහ.
අජිත් පී. පෙරේරා සහ හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමැතිවරු ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේ බ්‍රහස්පතින්දා උදේය. එහෙත් ඔවුන්ට වෙලාවට ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවීමට නොහැකි වූහ.
“වාහන තදබදය නිසා අපිට වෙලාවට එන්න බැරි වුණා. ඒ ගැන සමාවෙන්න” ඔවුන් මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලා සිටියහ.
මේ අතර ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමැතිවරයා සහභාගි වන ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණේ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදීය. එහෙත් මාර්ග තදබදය නිසා ඔහුටත් වේලාවට පැමිණීමට නොහැකි විය. තමන්ගේ නිල වාහනයෙන් වේලාවට යාමට නොහැකි බව තේරුම් ගත් ඩිලාන් වාහනයෙන් බැස්සේය. වාහනයෙන් බැස ත්‍රිරෝද රථයකට ගොඩවූ ඔහු අවසානයේදී එතැනට ආවේ ත්‍රිරෝද රථයෙනි.
 
මුදල් අමාත්‍යාංශය ගැන විමර්ශන
 
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අම්පාරේ පැවැති රැස්වීමට සහභාගිවීමට පෙර බ්‍රහස්පතින්දා උදෑසන අරලියගහ මන්දිරයට පැමිණියේය. ඒ එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු හමුවී සතියේ දේශපාලනය ගැන සමාලෝචනය කිරීමටය. 
“බැඳුම්කර විවාදය ඡන්දයට කලින් තියන්න පුළුවන් වෙන එක ලොකු දෙයක් වජිර අබේවර්ධන ඇමැතිවරයා කීවේය.
“හය වැනිදා මේ විවාදය තියන්න ලැබෙන එක ලොකු දෙයක්. නැතිනම් අපි ඡන්දයට කලින් විවාදයක් ගන්න එකට අකුල් හෙළුවා කියන කතාවට තටු ලැබෙනවානේ. 7 වැනිදා මේක තියන්න බැරි අගමැතිතුමා ඒ දවස් දෙකේ රැස්වීම්වලට සහභාගි වෙන නිසයි. කොහොම නමුත් 6 වැනිදා කැබිනට් රැස්වීම ජනාධිපතිතුමා අවලංගු කරලා තියෙනවානේ”
ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ බැඳුම්කර විවාදයට සූදානම් බව කියමිනි.
“මේ ආණ්ඩුව යටතේ ලැබුණ මුදල් පෞද්ගලික සමාගම්වලට ගියා කියලා චෝදනාවක් තියෙනවා නේද”ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා ඇසුවේය.
“ඒක මුදල් අමාත්‍යාංශය පැත්තට ආපු චෝදනාවක්. මම මේ ගැන හොයලා බැලුවා. ඒත් එහෙම දෙයක් වුණා කියලා නම් සොයා ගන්න නෑ. ඒත් මම තවදුරටත් මේ ගැන සොයා බලනවා. මගේ ගෙදර ඉඳගෙන ඒ වගේ දේවල් කරන්න ඉඩක් දෙන්නේ නෑ”රනිල් කීවේය.
 
සජිත්ට සංවිධායකකම ලැබුණ හැටි
 
මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු බොහෝ දෙනෙක් සිටින්නේ ගම්වලය. ඒ පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වෙමින්ය. නවීන් දිසානායක ඇමැතිවරයාද මේ සතියේ නුවරඑළියට ගොස් රැස්වීම් මාලාවක ප්‍රධාන කථිකයා ලෙසින් එක්ව සිටියේය. පසුගිය මැතිවරණවලදී නවීන් සමග එතරම් ඇයි හොඳයියක් නොදැක්වූ කොත්ම‍ලේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා නවීන්ගේ රැස්වීම්වලට පැමිණ සිටියේය.
“මම සර්ට මගේ පූර්ණ සහයෝගය දෙනවා. අපි එකතුවෙලා නුවරඑළියේ සියලුම පළාත් පාලන ආයතනවල බලය එක්සත් ජාතික 
පක්ෂයට අරගන්න වැඩ කරමු” ඔහු නවීන්ට කීවේය.
“එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ අපි හැමෝම එකට එකතුවෙලා වැඩ කරන තැනක්. අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් ‍පොදු අරමුණක් වෙනුවෙන් අපි එකතුවෙනවානේ” නවීන් කීවේය.
“සර්ගේ තාත්තත් මේ වගේ තමයි. පක්ෂය වෙනුවෙන් ගාමිණී ඇමැතිතුමාත් හැමෝම එකට එකතු කළානේ” එතැන සිටි ගාමිණී දිසානායක ඇමැතිවරයා සමග කටයුතු කළ අයෙක් කීවේය.
“මගේ තාත්තාට ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක ප්‍රශ්න තිබුණා. ඒ නිසා තමයි පක්ෂයෙන් ගියේ. රුපියල් පහක් දීලා අයිමත් පක්ෂ සාමාජිකත්වය ගත්තාට පස්සේ ඉස්සරවෙලාම කළේ ප්‍රේමදාස මහත්තයාගේ පිළිරුවකට මල් මාලාවක් දාපු එකයි. ඒ විතරක් නමෛයි සජිත් ප්‍රේමදාසගේ අතින් අල්ලාගෙන ගිහින් සංවිධායකකමක් දුන්නෙත් තාත්තා”නවීන් අතීතය සිහිපත් කළේය. 
 
විමල් රිය අනතුරක
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වේදිකාවේ ප්‍රධාන කථිකයා වූයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාය.  එහෙත් පසුගිය සතියේ ඔහු මහින්ද සමග මැතිවරණ වේදිකාවේ දකින්න සිටියේ නැත. විමල්ගේ පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන්ට සහාය දැක්වීමට විමල් වැඩි වේලාවක් වෙන් කරගෙන තිබුණි. පසුගිය බ්‍රහස්පතින්දා විමල් සිටියේ රත්නපුරයේය. ඒ තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයන්ට සහාය දැක්වීමේ රැස්වීම් මාලාවකට සහභාගි වෙමිනි. ඔහු රැස්වීම්වලට ගියේ දීපාල් ගුණසේකර පළාත් සභා මන්ත්‍රීවරයා සමගය. ඔවුන් දෙදෙනා ගමන් ගත්තේ විමල්ගේ ජීප් රථයේය. ඔවුන් ටික දුරක් යද්දී පිටුපසින් පැමිණි කැබ් රථයක් වේගයෙන් ජීප් රථයේ ගැටුණේය. ඒ වන විට විමල් සිටියේ පිටුපස අසුනේය. පිටුපස අසුණේ සිටි විමල් විසිවී ගොස් ඉදිරිපස අසුනේ වැදුණේය. එහෙත් බරපතළ තුවාල නොලබා බේරීමට විමල්ට හැකිවිය.
වාහනය අනතුරට ලක්වූ පසුව විමල් හා දීපාල් වාහනයෙන් බැස බැලුවේය. පිටුපසින් පැමිණ රියේ වැදී තිබුණේ දීපාල් මන්ත්‍රීවරයාගේ කැබ් රථයයි. 
“තුවාලද” දීපාල් විමල්ගෙන් ඇසුවේය.
“එහෙම බරපතළ අවුලක් නෑ”විමල් කීවේ ඉදිරිපස ආසනයේ වැදුන තැන් දෙසත් බලමිණි.
මේ අතර එතැනට තවත් ජීප් රථයක් පැමිණියේය. ඒ විමල්ගේ දේශපාලන පක්ෂයේ බ්‍රිතාන්‍ය කමිටුවේ ප්‍රධානියෙකුගේ ජීප් රථයකි. 
“දැන් කරන්න දෙයක් නෑ. මේ හැප්පුන වාහන හදාගෙන එන්න කියලා අපි ඊළඟ රැස්වීම්වලට යමු. ඒ තැන්වල මිනිස්සු බලාගෙන ඇතිනේ” විමල් දීපාල් සමග වාහනයට නැගුනේ එසේ කියමිණි.
 
‍පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට අළු කෙසෙල්
 
‍පොදුජන පෙරමුණේ රැස්වීම්වල ප්‍රධාන කථිකයා වී තිබෙන්නේ මහින්දය. මහින්දගේ ප්‍රධානත්වයෙන් කටුනායකදී පැවැත්වෙන රැස්විමක සංවිධාන කටයුතු ගැන සාකච්ඡා කිරීමට පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකරගේ නිවසේදී සාකච්ඡාවක් පැවැත්විණි. ඒ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්.
“ජනාධිපතිතුමා ආපු රැස්වීමට වඩා හොද රැස්වීමක් අපි කරන්න ඕන”ප්‍රසන්න කීවේය.
“බැඳුම්කර වංචාව වුණේ දැන් ඉන්න ජනාධිපතිතුමාගේ කාලයේදී. එතකොට එතුමා තමයි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. බැඳුම්කර වංචාව අනෙක් අයගේ ඇගේ ගහලා බේරෙන්න බෑ” ප්‍රසන්න බැඳුම්කර කතාව ඇද ගත්තේය.
“ඒක ඇත්ත. අද වෙලා තියෙන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්” ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා සිනා සෙමින් කීවේය.
මේ සාකච්ඡාව අතරවාරයේදී මන්ත්‍රීවරුන්ට දිවා ආහාරය සූදානම් කර තිබුණි. දිවා ආහාරය අතරවාරයේදී ලලන්තගේ බිරිඳ කෑම මේසයට අරගෙන ආවේ අළු කෙසෙල් ව්‍යාංජනයකි. 
“මේවා ගෙදරම හදපු ඒවා. හොඳයි. කන්න”ඇය මන්ත්‍රීවරුන්ට අළු කෙසෙල් බෙදන්න විය. එවිට මන්ත්‍රීවරු එකිනෙකාගේ මුහුණ බලන්නට වූ නමුත් කිසිවක් කීමට ඉදිරිපත්වූයේ නැත.
“හිනා වෙවී හිටියට කමක් නෑ. මේ දවස්වල ඡන්ද වැඩ නිසා ගෙදර එන්නේ නැති එකේ කවුරු කවුරුත් ඔය ව්‍යාංජනය බෙදාගෙන කෑවනම් තමයි හොද”එතැන සිටි තවත් පළාත් සභා මන්ත්‍රීවරයෙක් කීවේ කෑම මේසය සිනා සාගරයක් බවට පත් කරමිණි.
 
ප්‍රසන්නට ලැබුණ ඇමතුම්
 
ජනාධිපතිවරයාගේ ගම්පහ රැස්වීම පැවැත්වෙන දිනයේ උදෑසන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලැබුණි. දුරකථනයේ එහා කෙළවරේ සිටියේ සන්ධානයේ ප්‍රබලයෙකි 
“අද ගම්පහ රැස්වීමට සෙනග එන්නේ නෑ. බොරු නම් බලන්නකෝ. මම ‍පොඩි ගේමක් ගහලයි තියෙන්නේ” ප්‍රසන්න කීවේය.
“ඉතිං හවසට බලාගන්න පුළුවන් නේ” සන්ධානයේ ප්‍රබලයාත් කීවේය.
සවස හතරට පමණ ප්‍රසන්න ගම්පහ බස් නැවතුම්පළ අසලට ගිය අතර රැස්වීමේ සංවිධාන කටයුතුවල යෙදෙමින් සිටි රෙහෙන්සිරි වරාගොඩ පළාත් සභා මන්ත්‍රීවරයා අසලට ළංවිය.
“කෝ බං සෙනග“ප්‍රසන්න එසේ අසාගෙන එතැනින් පිටත්ව ආවේය.
මේ රැස්වීමට පසු දින ගාමිණී තිලකසිරි පළාත් සභා මන්ත්‍රීවරයාගෙන් ප්‍රසන්නට ඇමතුමක් ලැබුණේය. හෝමාගම රැස්වීම සංවිධානය කිරීමේදී ඇතිවූ ගැටලු නිසා ඔහුට මෛත්‍රීගෙන් දොස් අසන්නට සිදුව තිබූ බව ඒ වන විට ප්‍රසන්නට ආරංචිවී තිබුණේය. ප්‍රසන්නට ඒ කතාව කියා තිබෙන්නේ බැසිල් රාජපක්ෂය. බැසිල් ඒ තොරතුරු දැනගෙන ඇත්තේ එදා මෛත්‍රී සමග වාහනයෙන් ගිය ව්‍යාපාරික හිතවතෙක්ගෙන්ය. 
“මොකද ලොක්කාගෙන් බැණුම් ඇහුවා කියන්නේ” ප්‍රසන්න ඇසුවේ ඔලොක්කුවට මෙනි.
“දන්නේ නැද්ද ඉතිං” ගාමිණී කීවේ ඕනෑවට එපාවට මෙනි.
 
වේදිකා ගහන හැටි
 
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගිය සතියේ උතුරු නැගෙනහිර රැස්වීම් මාලාවකට සහභාගි විය. ඔහු මඩකලපුවේ රැස්වීමකට සහභාගි වී තිබුණේ පළමු වතාවටය. ඒ ඉතිහාසයේ පළමු වතාවට ජනතා විමුක්ති පෙරමුණ මඩකලපුවේ පළාත් පාලන ආයතන කිහිපයකට තරග කරන නිසාය. වාලච්ච්ෙන, එරාවුර් සහ කාත්නත්කුඩිවල රැස්වීම් පැවැත්වූයේ 
පළමු වතාවටය. ඒ තැන්වල වෙන වෙනම වේදිකා සකස් කරනවා වෙනුවට තැනින් තැනට රැගෙන යා හැකි එකම වේදිකාවක් සකස් කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය පියවර ගෙන තිබුණේය. 
එක් රැස්වීමක් අවසන් කළ අනුර කුමාර අනෙක් රැස්වීමට පැමිණෙන විට ජනතාව රැස්වීම් භූමියට පැමිණ සිටියහ. එහෙත් වේදිකාවක් දකින්නට නොලැබිමෙන් ජනතාව පුදුමයට පත්වූයේ රැස්වීමක් පැවැත්වෙන්නේ නැද්දැයි යන ප්‍රශ්නය හිතේ තබාගෙනය.  එහෙත් අනුර කුමාර මග එන අතරවාරයේදී ලොරියක් එතැනට පැමිණියේය. කඩි මුඩියේ එහා මෙහා ගිය සාමාජිකයන් කඩිනමින් වේදිකාවක් ඉදි කෙරිණි. එම වේදිකාව තැනින් තැනට රැගෙන යා හැකි වේදිකාවක් බව එතැන සිටි ජනතාව දැනගත්තේ පසුවය.
කඩිනමින් එහා මෙහා ගිය පිරිස විනාඩි දොළහක් යන විට වේදිකාව සම්පූර්ණයෙන්ම සකස් කළහ. එපමණක් නොව අනුර කුමාරට කතාව පැවැත්වීමට අවශ්‍ය ශබ්ද විකාශන යන්ත්‍රද සකස් කෙරිණි. මෙවැනි වේදිකාවක් කලින් දැක නොතිබූ එරාවුර් ජනතාව ඒ දෙස බලා සිටියේ පුදුමයෙන් මෙනි.
 
තිලකජය

මෛත්‍රී-රනිල් මහින්ද එකට හමුවෙති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේදී දේශපාලන රැස්වීම් රැසකට සහභාගී වූ අතර කැබිනට් රැස්වීමත් නොපැවැත්වූයේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මැති ඇමැතිවරු කාර්යබහුල වී සිටීම නිසාය. අඟහරුවාදා රාත්‍රියේදී මෛත්‍රී තම නිල නිවසට මහින්ද අමරවීර, ලක්ෂමන් යාපා, සුසිල් ප්‍රේමජයන්ත සහ තිලංග සුමතිපාල කැඳවූයේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රගතිය ගැන සාකච්ඡා කිරීමටය.
“සර්, සර්ගේ ජීවිතයට තර්ජනයක් තියෙනවා. ඡන්දය අතරවාරයේ විතරක් නමෛයි ඡන්දෙන් පස්සෙත් සර් පරිස්සම් වෙන්න ඕන. මට විශ්වාසවන්ත විදියට තොරතුරු ලැබිලා තියෙන්නේ”අමරවීර කීවේය.
“ඔය දූෂිතයන්ට වැදගත් සල්ලි විතරයි. රටට, මිනිස්සුන්ට මොනවා වුණත් ඒ අයට කිසිම ගානක් නෑ”තිලංග කීවේ ජනපති දෙස බලමිනි.
“සර් දූෂණ වංචා ගැන කතා කරන එකයි, හොරුන්ට දඬුවම දෙන බව කියන එකයි මේ අයට දරාගන්න බැරිව ඉන්නේ. ඒ නිසා තමයි හැම පැත්තකම ඉන්න හොරු කුමන්ත්‍රණ කරන්න හදන්නේ”සුසිල් පැවැසුවේය.
“බණ්ඩාරනායක මහත්තයට කළෙත් ඔය ටිකමනේ. රට හදන්න හදපුවම ඒ මනුස්සයා මරලා දැම්මා. මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා මම දන්නවා. බොරැල්‍ලේ ගෙදරකදී හමුවන කට්ටිය ගැනත් මට ආරංචි තියෙනවා. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා මම සී.අයි.ඩී. එකට කියලා තියෙන්නේ”මෛත්‍රී කීය.
“හොරුන්ට විරුද්ධව වැඩ  කරන්න ඕන. එහෙම වැඩ කරනකොට මිනිස්සු සර් එක්ක ඉන්නවා”ලක්ෂ්මන් යාපා පැවැසුවේය.
 
 ලන්ඩනයෙන් මෛත්‍රීට ඇමතුම් 
 
බදාදා උදෑසන මෛත්‍රී්‍රට දුරකථන ඇමතුමක් ලැබුණේ ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන හිතවතකුගෙනි. 
“මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ වැඩ තහනම් කරලා. විදේශ කටයුතු අමාත්‍යාංශය තමයි වැඩ තහනම් කිරීමේ ලියුම එවලා තියෙන්නේ”දුරකථනයේ එහා 
කෙළවරේ සිටි නිලධාරියා කීවේය.
“මම දැන්ම මේ ගැන සොයා බලන්නම්”කී මෛත්‍රී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ‍ලේකම් ප්‍රසාද් කාරියවසම්ටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ‍ලේකම් කපිල වෛද්‍යරත්නටත් දුරකථනයෙන් ඇමතුවේය. 
“මේ වගේ සිද්ධියක් වුණාම පරීක්ෂණයක් කරන්නේ නැතිව, හොයන්නේ බලන්නේ නැතිව වැඩ කරන්න එපා. මේ වගේ තීරණයක් ගන්නවා නම් මාව දැනුවත් කරන්න තිබුණා. මට කියන්නේ නැතිව ඕන ඕන විදියට තීරණ ගන්න සූදානම් වෙන්න එපා. වහාම මේ නිලධාරියා සේවයේ පිහිටුවන්න”මෛත්‍රී කීවේ තදින්ය.
“ඔය හමුදා නිලධාරියා ඉක්මනට මගේ දුරකථනයට ගන්න”මෛත්‍රී අසල සිටි නිලධාරියකුට කීවේය. ඔහු දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්තද එය අසාර්ථක විය. ඒ වන විට ලන්ඩන් වේලාව මධ්‍යම රාත්‍රිය වී තිබූ නිසාය. 
හමුදා නිලධාරියා සම්බන්ධ කරගැනීමට නොහැකි ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලයට පණිවුඩයක් තැබූ මෛත්‍රී දඹදෙණියේ රැස්වීමට සහභාගීවීමට පිටත්ව ගියේය. එම රැස්වීම අවසන් කර තේ පානය කරන අතරවාරයේදී හමුදා නිලධාරියා මෛත්‍රීගේ දුරකථනයට සම්බන්ධ විය.
“ආ.. බ්‍රිගේඩියර් කොහොමද? අයිමත් සේවයේ පිහිටවූවා කියලා එවපු ලියුම ලැබුණාද”මෛත්‍රී ඇසුවේය.
“ඔව් සර්. මේ ප්‍රශ්නයට මැදිහත් වුණාට ඔබතුමාට බොහොම ස්තුතියි” හමුදා නිලධාරීයා මෛත්‍රීට සිය කෘතඥතාවය පුද කළේය.
“ඇත්තටම බ්‍රිගේඩියර් ඔතැනදී මොකද වුණේ”මෛත්‍රී සැබෑ සිද්ධිය ගැන විමසන්න විය. හමුදා නිලධාරියාත් තමන්ට මුහුණපෑමට සිදුවූ දේ අකුරක් නෑර විස්තර කරන්න විය. 
“ඔයාගේ වරදක් තියෙනවා නම් ඒ ගැන සොයලා බලන්න ක්‍රමයක් තියෙන්න ඕන. වීඩියෝ එකක් බලලා සේවයෙන් අයින් කරන්න බෑ. ඔයත් වැඩ කරගෙන ඉන්න. අවශ්‍යතාවයක් තිබුණොත් මට කතා කරන්න”මෛත්‍රී දුරකථනය තබමින් කීවේය.
 
 සමීක්ෂණ වාර්තා 
 
මෛත්‍රී පසුගිය සතියේ දේශපාලන රැස්වීම් රැසකට සහභාගී විය. අඟහරුවාදා රැස්වීම් තුනක කතා කිරීමට ඔහුට සිදුව තිබුණි. මෛත්‍රී කොළඹ සිට මාතර එන විටත් හක්මණට ආවේය. 
මෛත්‍රී සවස හතරට පමණ රැස්වීමට පැමිණි අතර රැස්වීම අවසන් කළ ඔහු ලක්ෂ්මන් යාපාට කතා කළේය.
“ලක්ෂ්මන්, මෙහෙමම මාත් එක්ක ගාල්ලේ රැස්වීමට යමු”මෛත්‍රී යෝජනා කළේය.
“සර් මේක මගේ රැස්වීම. මම ගියහම කොහොමද”ලක්ෂ්මන් යාපා මෛත්‍රී සමග ගාලු යාම අදිමදි කළේය.
“ඇයි පසඳ ඉන්නේ බලාගන්න”යැයි කී මෛත්‍රී හෙලිකොප්ටරයේ ලක්ෂ්මන් යාපා නංවාගෙන ගාල්ලට ආවේය. ගාල්ල සංඝමිත්තා විද්‍යාලයීය ක්‍රීඩාංගණයට මෛත්‍රී පැමිණි හෙලිකොප්ටරය නවතා තිබූ අතර මනූෂ නානායක්කාර නියෝජ්‍ය ඇමැතිවරයා ඔහු පිළිගැනීමට පැමිණියේය. ගාල්ලේ අනෙක් මැති ඇමැතිවරු වේදිකාවේ සිටිමින් මෛත්‍රී පිළිගැනීමේ සූදානමින් සිටියේය. 
ගාල්ලේ රැස්වීම අවසන් කර මහරගම රැස්වීමට යාමට නියමිතව තිබුණි. 
“ලක්ෂ්මන් මමත් එක්ක මහරගම රැස්වීමටත් යන්න එන්න ඕන”මෛත්‍රී කීවේය. අවසානයේදී මාතර රැදී සිටීමේ අපේක්ෂාවෙන් සිටි ලක්ෂ්මන් යාපාට සිදුවූයේ මෛත්‍රීගේ මෝටර් රථයෙන්ම කොළඹ ඒමටය.
රැස්වීම් සියල්ල අවසන් කර කොළඹ පැමිණි මෛත්‍රී හමුවීමට තිලංග සුමතිපාල සහ සුසිල් ප්‍රේමජයන්ත කණ්ඩායමක් රැගෙන විත් තිබුණේය. ඒ කළමනාකරණ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ කණ්ඩායමකි. ඔවුන් පැමිණ තිබුණේ මැතිවරණය ගැන සමීක්ෂණ වාර්තාවක් රැගෙනය
“මොකද ඔයගොල්ලන්ගේ සමීක්ෂණය අනුව කියවෙන්නේ”මෛත්‍රී ඇසුවේය.
“රටේ ඡන්දදායකයන්ගෙන් සියයට හැත්තෑ පහක්ම දූෂණයට වංචාවට විරුද්ධව ඉන්නවා. ඒත් ඒ අයගෙන් ඡන්ද‍පොළට යන්නේ සියයට තිස් අටක් වගේ පිරිසක් විතරයි. බඩු මිල හා උද්ධමනය ගැන සියයට විසි හතරක් විතර අවධානයෙන් ඉන්නවා. ගමට සේවය කරන්න පුළුවන් කෙනෙක්ට ඡන්දය දෙන්න ඕන කියලා සියයට දහ අටක් කියනවා. විවිධ දේශපාලන මතවාදවලට සියයට එකොළහක් විතර ඡන්දය දෙනවා”සමීක්ෂණය කළ විශ්ව විද්‍යාල ආචාර්යවරු කණ්ඩායම කරුණු පැහැදිලි කළහ.
“මේ වාර්තාව අනුව එක කණ්ඩායමකටවත් සියයට 
හතළිහකට වඩා වැඩියෙන් ඡන්ද ගන්න බෑ”තිලංග සමීක්ෂණය තවදුරටත් පැහැදිලිි කළේය.
“එහෙම නම් ගමේ වැඩපිළිවෙළ අරගෙන යන්න අපිට වගකීමක් තියෙනවා”මෛත්‍රී කීවේ ගැඹුරු කල්පනාවක් ඇතිවය.
 
 හිටපු මහ බැංකු අධිපතිගෙන් මෙහෙයුමක්  
 
අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලට සහභාගී වෙමින් කාර්යබහුල වී සිටි අතර බ්‍රහස්පතින්දා දිනයේදී අරලියගහ මන්දිරයට පැමිණ සිටියේ ඒ වන විට මැතිවරණ ප්‍රචාරක වැඩ කටයුතු අවසන්වී තිබූ නිසාය. රනිල්ට හිතවත් ඇමැතිවරු පිරිසක් අරලියගහ මන්දිරයට සුපුරුදු පරිදි පැමිණ සිටි අතර මැතිවරණ ව්‍යාපාරය ගැන එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබුණි.
මේ අතර නිදහස්  දිනයේදී අත්අඩංගුවට පත්වූ අය ගැනත් අවධානය යොමුවිය
“නිදහස් උත්සවය සමරන අතරතුරේ හොරු අල්ලන මෙහෙයුමකුත් ගියා. අපි නිදහස සැමරුවාට හොරුන්ට නම් නිදහස නැතිවුණා” වජිර අබේවර්ධන කීවේ සිනා හඬ මැදය.
“ඇලෝසියස් අත්අඩංගුවට ගන්නවා කියන එකයි උදයංග ඩුබායිවලදි අත්අඩංගුවට ගත්තා කියන පණිවුඩයයි එකට ලැබුණේ”රනිල් කීවේය.
“ඇලෝසියස් ඇල්ලුවේ ඇත්තටම බැඳුම්කර වාර්තාව අනුව නමෛයි. අගමැතිතුමා නීතිපතිට ලියලා මේ ගැන ක්‍රියා කරන්න කියලා ඉල්ලපු නිසායි, මේ ගැන මහ බැංකු අධිපතිවරයා දාපු පැමිණිල්ලක් අනුවයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ”කිරිඇල්ල කළේ නීතිමය විග්‍රහයකි. 
“අර්ජුන් මහේන්ද්‍රන්ටත් 15 වැනිදාට කලින් වාර්තා කරන්න කියලා දැනුම්දීලා තියෙනවා නේද? සිංගප්පූරුවේ ඉන්න ඔහුයි, දැන් ඇමරිකාවේ ඉන්න ගෝඨාභයයි ඒ රටවල පුරවැසියෝ නිසා ඒ රටවල අධිකරණවලින් තහනම් නියෝග ගන්න හදනවා කියලාත් ප්‍රවෘත්ති ගියා නේද”ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා ඇසුවේය.
“උදයංග අල්ලපු එක වටිනවා. එයා ගෙනාවොත් මිග් ගනුදෙනුවේ මහා දූෂණයත් ගැන තොරතුරු එළි කරගන්න පුළුවන් වේවි” පී. හැරිසන් මන්ත්‍රීවරයා කීවේය.
“උදයංග ලංකාව ගේන එක ටිකක් ලොකු ක්‍රමවේදයක් අනුව කරන්න වෙයි කියලා ආරංචියි. ඒත් ලංකාවෙන් යන අයට ඔහුගෙන් ප්‍රශ්න කරන්න ලැබේවි. රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් කරන්න වෙනවා. වෙන නමකින් තියෙන පාස්‍පෝට් එකකින් ඉන්නකොටයි ඔහු අල්ලලා තියෙනනේ. හොරු මොන පැත්තේ වුනත් උපරිම වෙහෙසක් දාලා අල්ලන්න ඕන. ඒ හැම කෙනාටම දඩුවම් දෙන්න ඕන”රංජන් රාමනායක කීවේය.
“ආරංචි විදියට අර්ජුන් සිංගප්පූරු උසාවියකින් රැකවරණ ඉල්ලලා නෑ. එයා නීතීඥයන් මාර්ගයෙන් ලංකාවෙන් කල් ඉල්ලන්න යනවා කියලා ආරංචියි. පහුවෙලා ඇවිත් හරි ඔහුට ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. මේ චෝදනා නිසා රිමන්ඩ් වෙන්නත් වේවි”නවීන් දිසානායක ඇමැතිවරයා කීවේ නීති අංශවලින් ලැබුණ තොරතුරුත් හෙළි කරමිනි.
 
 නවීන් තනතුරු දුන් හැටි 
 
නවීන් දිසානායක ඇමැතිවරයා පසුගිය සතියේ වැඩි කාලයක් සිටියේ නුවරඑළියේ මැතිවරණ කටයුතුවල නිරතවෙමිනි. තැනින් තැනට යමින් මැතිවරණ ව්‍යාපාරයේ යෙදෙන අතරවාරයේදී ඔහු පිළිගැනීමේ උත්සව ද සංවිධානය කර තිබුණි. ඒ තැනවලදී වාහනයෙන් බසින නවීන් ඔවුන් සමග විනාඩි කිහිපයක සුහද කතාබහක යෙදීමටද අමතක කරන්නේ නැත. ඒ සෑම තැනකදීම වතුකරයේ තරුණ තරුණියන් සමග සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටීමට ඔහුට සිදුවේ. 
මේ අතර එක තැනක වාහනය නැවතූ විට ඔහු අසලට ආවේ පාසල් ගොස් පැමිණෙමින් සිටි ළමුන් හා ඔවුන්ගේ දෙමාපියන්ය.
“මේ ළමයි ටියුෂන් යනවාද”නවීන් ඇසුවේය.
“ඔව් සර්”දෙමාපියෙක් උත්තර දුන්නේය.
“මේ ළමයි උදේට ඉස්කෝ‍ලේ යනවා. හවසට ටියුෂන් යනවා. ටියුෂන් ගිහින් තමයි විභාග පාස් වෙන්නේ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕන. අඛණ්ඩ ඇගයිම් ක්‍රමයක් අනුව ළමුන් ඇගයීමේ ක්‍රමයක් මම අධ්‍යාපන ඇමැති වුණොත් හදනවා”නවීන් කීවේය.
මේ අතර තවත් තැනකදී ඔහුගේ ආයතනවල නිලධාරීන් පත් කළ  හැටි ගැන කතාවක් ඇදී ආවේය.
“මම ඇමැති වුණ ගමන් ආයතනවල සභාපතිවරු පත් කළා. මට තියෙන බලතල අනුව තමයි පත් කළේ. මට වැඩ කළ අය, මාත් එක්ක ඉන්න අය වෙනුවෙන් මම දේවල් කරනවා”නවීන් කීවේය.
 
 අසුන් පැනවූ හැටි 
 
 අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වුණේ බ්‍රහස්පතින්දා සවසය. මෛත්‍රී මෙන්ම මහින්දත් ආදාහන පූජෝත්සවයට පැමිණීමට නියමිතව තිබූ නිසා ඔවුන්ට අසුන් පැනවීම ගැන සංවිධාකයන්ට නැවත නැවත සිතා බැලීමට සිදුවිය. ඔවුන් දෙදෙනා එකම ළග අසුන් පැනවීමට නොහැකි නිසා සංවිධායකයන් අපූරු පියවරක් ගත්හ. ඒ ඔවුන් දෙදෙනා මැදට කථානායක කරු ජයසූරියගේ අසුන එක් කිරීමටය.
ඒ අනුව රනිල් එක් පසෙක වූ අතර ඉන් පසුව මෛත්‍රීගේ අසුන විය. ඉන් පසුව කරුගේ අසුන වූ අතර මහින්දගේ අසුන වෙන් කළේ ඉන් පසුවය. ඔවුන්ගේ නම් ගසමින් අසුන් වෙන් කිරීමට සංවිධායකයන් වග බලාගෙන තිබුණේය.
මෛත්‍රී පැමිණ ටික වේලාවකින් මහින්ද, ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා සමග එහි පැමිණි අතර මහින්ද මෛත්‍රීගේ මුහුණ දෙස නොබලාම තමන්ගේ ආසනයට ගොස් වාඩි වුණේය. මෛත්‍රී අසුනින් නැගිට්ටේ නැති නමුත් ඒකාබද්ධ විපක්ෂයේ මැති ඇමැතිවරු අසුන්වලින් නැගිට ආචාර කළෝය.
එක පේළියක ඔවුන් දෙදෙනා වාඩි වී සිටියද මුහුණට මුහුණ නොබැලීමට දෙදෙනාම වගබලාගෙන තිබුණි. එනමුත් මහින්ද රනිල් දෙස බලා සිනාසෙමින් වචන කීපයක් කතා කිරීමට අමතක කළේ නැත.
මහින්ද පැමිණ සිටි සභාවක පළමු වතාවට මෛත්‍රීට කතා කිරීමට සිදුවූයේ මෙහිදීය. “හිටපු ජනාධිපතිතුමනි” යැයි ඔහු කීවා මිස ඊට වඩා වැඩි කිසිවක් කියන්නට ගියේ නැත.
 
 රාජිතට ජපන් බිස්කට් 
 
රාජිත සේනාරත්න ඇමැතිවරයා පසුගිය දිනවල පැවැති රැස්වීම් ඇමැතීමට ගියේ හෙලිකොප්ටරයකිනි. ඔහුට ගමන් කිරීමට වෙනම හෙලිකොප්ටරයක් එක්සත් ජාතික පක්ෂය විසින් ලබාගෙන තිබුණේය. රනිල්ට පෙර රැස්වීම් භූමියට යන රාජිත කතාව කරගෙන යන අතරවාරයේ රනිල් එතැනට පැමිණෙයි. රනිල්ගේ කතාවට පෙර සිය කතාව අවසන් කරන රාජිත හෙලිකොප්ටරයෙන් මීළග රැස්වීමට යන්නේ රනිල්ට පෙර එහි කතාව කිරීමටය. 
රාජිත කුලියාපිටියේ රැස්වීමට ගිය විට පිළිගත්තේ අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයාය.
“අකිල, මම ඔයා නිසාම තමයි මෙහේ ආවේ”රාජිත කීවේය.
රාජිත වේදිකාවටග ගොස් අසුන් ගත් විට අනෙක් මැති ඇමැතිවරු ඇසුවේ දිවා ආහාරය රැගෙන පැමිණියේද යන්නයි.
“මට දවල්ට කන්න වෙලාවක් තිබුණේ නෑ. කන්න හිටියා නම් මට මේ රැස්වීමට වෙලාවට එන්න වෙන්නේ නෑ” රාජිත කීවේය.
එය ඇසුණ ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැතිවරයා ආවේ බිස්කට් පැකට් එකක් රැගෙනය.
“ඇමැතිතුමා, මේ මට ජපානයෙන් ලැබුණ ජපන් බිස්කට් එකක්. මේක කන්න” රාජිත එදින දහවල් වේල පිරිමසා ගත්තේ ජයවික්‍රම පෙරේරාගේ ජපන් බිස්කට් එකෙනි.
ඊට පසුදින රාජිත තලතා අතුකෝරළ ඇමැතිවරිය සමග රත්නපුරයේ රැස්වීම්වලට සහභාගී විය.  ඒ වන විට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන තිබූ අතර රාජිත තලතාගෙන් ඇසුවේ එහි නීතිමය තත්ත්වයන් ගැනය.
“උදයංග ලංකාවට ගේන්න අවශ්‍ය නීතිමය කටයුතු අපි කරනවා”තලතා කීවේ අධිකරණ ඇමැතිවරිය ලෙස ඇය ගෙන තිබෙන පියවර ගැනය.
 
 සජිත්ගෙන් ඩ්‍රම්ස් වාදනයක් 
 
මේ දිනවල දේශපාලන වේදිකාවේ කතා පවත්වන දේශපාලනඥයන් මෙන්ම ගීත ගායනා කරන දේශපාලනඥයන්ද වේ. දේශපාලන වේදිකාවේ කතා පැවැත්වීමෙන් පසුව සංගීත සංදර්ශනයක්ද සූදානම් කරන්නේ රැස්වීමට වැඩි සෙනගක් ගෙන්වා ගැනීමටය. 
සෑම පක්ෂයකම ගීත ගායනා කිරීමට හැකි මැති ඇමැතිවරුන්ට ඒ නිසා ඇත්තේ  වැඩි ඉල්ලුමකි. එයින් වැඩියෙන්ම අපහසුතාවයට පත්ව සිටින්නේ රංජන් රාමනායකය. 
“මට දැන් හරි වැඩේ වෙලා තියෙන්නේ. කිසිම තැනක ගිහින් කතාව විතරක් කරලා එන්න බෑ. සිංදුවකුත් කියලා තමයි එන්න වෙන්නේ” රංජන් තමන්ගේ හිතවතුන්ට පැවැසූහ
මේ අතර පියල් නිශාන්ත, දයාසිරි ජයසේකර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන දේශපාලන වේදිකාවේ ගීත  ගායනා කරමින් සිටිනු දකින්නට ලැබුණේය.
සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා හම්බන්තොට පැවති රැස්වීමකට සහභාගී වූ විට වේදිකාවේ පිටපුස සංගීත කණ්ඩායමක් සිටියේය.
“සර් සිංදුවක් කියන්න”රැස්වීමේ සංවිධායකයෙක් පැමිණ කීවේය.
“මම සිංදු කියන්නේ නැතිව වෙන දෙයක් කරන්නම්”යැයි කී සජිත් ගියේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා වෙතය.
“ඔයා ඔතැනින් නැගිටින්න”යැයි කී සජිත් ඩ්‍රම්ස් වාදකයාගේ අසුනේ අසුන්ගෙන ඩ්‍රම්ස් වාදනය කරන්න විය. 
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් 
ගුණවර්ධනගේ පුත් යදාමිණී ගුණවර්ධන පසුගිය සතියේ දේශපාලන රැස්වීම්වලට සහභාගී වෙමින් සිටින අතරවාරයේදී හේන්පිටගෙදර ප්‍රදේශයේ පැවැති ජන හමුවකටද සහභාගී විය. ඔහු රැස්වීමට ගොස් තිබුණේ සිය බිරිය වන සමන්මලී සකලසූරිය සමගය. යදාමිණී රැස්වීම අමතා වේදිකාවේ අසුන්ගෙන සිටියදී සර්පයෙක් ඔහුගේ පාදයට දෂ්ට කර තිබුණි.
“‍පොළගෙක් තමයි කන්න ඇත්තේ”එතැන සිටි අයෙක් කී විට සමන්මලී ද කලබලයට පත්විය. වහාම ඔහු රෝහලකට රැගෙන ගියේ කඩිනමින් ප්‍රතිකාර දීමටය.
“‍පොළගෙක් නමෛයි කාල තියෙන්නේ. දියබරියෙක්”ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු පැවැසූහ. ඉන් පසුව තුවාලයට ප්‍රතිකාර ගත් ඔහු නැවත පැමිණියේ කලින් සිටි රැස්වීමටමය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සතියේදී දේශපාලන රැස්වීම් රැසකට එක්විය. කටුනායක පැවැති රැස්වීමට මහින්ද පැමිණි විට ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා තමන්ගේ වාහනයට ආරක්ෂක නිලධාරියෙක් යැව්වේය. ඔහු නැවත පැමිණියේ ප්‍රසන්නගේ වාහනයේ තිබූ කේක් ගෙඩියක් රැගෙනය. කේක් ගෙඩියක් වේදිකාවට ගෙන ආවේ ඩුලිප් විජේසේකර මන්ත්‍රීවරයාගේ උපන්දිනය සැමරීමටය.
ප්‍රසන්නගේ රහස් උපන්දින සැමරුම් උත්සවය ගැන ඩුලිප් දැන  සිටියේ නැත. මහින්ද කතාව අවසන් කරන විට ප්‍රසන්න මහින්ද අසලට ගියේය.
“අද ඩුලිප් මන්ත්‍රීතුමාගේ උපන් දිනය. අපි කේක් කපමුද” ප්‍රසන්න අසන විට මහින්දත් සිනා සෙමින් කේක් ගෙඩිය තිබූ තැනට ආවේය. කේක් කැපූ මහින්ද පළමු කේක් කෑල්ල කැව්වේ ඩුලිප්ටය.
 
 ප්‍රසන්න - ප්‍රසන්න අවුලක් 
 
බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා ගම්පහ දිස්ත්‍රික්කයේ රැස්වීම් මාලාවකට සහභාගී වූයේ ප්‍රසන්න සමගය. මිනුවන්ගොඩ රැස්වීම් හතකට සහභාගී වූ බැසිල් පෑලියගොඩ පැවැති රැස්වීමකට සහභාගීවීමට ඒමට නියමිතව තිබුණි. ඒ ජන හමුව සංවිධානය කර තිබුණේ ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයාය. රාත්‍රී නමයයි තිහ වන විටත් බැසිල් ප්‍රසන්න රණවීරගේ රැස්වීමට පැමිණියේ නැත. ඒ වන විට ‍පොලීසිය පෑලියගොඩ රැස්වීම අවසන් කරන ලෙස රණවීරට දැනුම්දී තිබුණේය.
“දැන් ඔබතුමාලා නොආවත් කමක් නැහැ”ප්‍රසන්න රණවීර ඇමතුමක් ගෙන ප්‍රසන්න රණතුංගට කීවේ අමනාපයෙනි.
“බය වෙන්න එපා මචං. මම දහයට පහක් තියලා හරි බැසිල් ඇමැතිතුමා ඔතැනට ගේනවා”ප්‍රසන්න ‍පොරොන්දු විය. ඔහු කී ලෙසම බැසිල් එතැනට ආවේ දහයට පහක් තිබියදීය.
“ඔන්න මම කිව්ව වෙලාවටම එක්කගෙන ආවා”එතෙක් වේලා අමනාපයෙන් සිටි ප්‍රසන්න රණවීර අසලට ගිය ප්‍රසන්න රණතුංග කීවේ ඔහුගේ පිටට තට්ටුවක්ද දමමිනි.
 
 මහින්දගේ මන්ත්‍රීගේ  වාහනය උස්සලා 
 
මහින්ද සහභාගී වූ කුරුණෑගල අවසන් රැස්වීමට එක් අපේක්ෂකයෙක් ආවේ සුඛෝපභෝගී ජීප් රථයෙනි. එහෙත් ඔහුට නැවත එම ජීප් රථයෙන් තමන්ගේ නිවසට යාමට නොහැකි විය. මේ අපේක්ෂකයා රැස්වීමට එන බව දැනගත් පිරිසක් ඔහු එන තෙක් රැස්වීම් භූමියට වී බලා සිටියහ. එසේ බලා සිට තිබුණේ ජීප් රථයේ ලීසිං පහසුකම ගත් සමාගමේ සීසර්වරුය. ඔහු රැස්වීමට ජීප් රථයෙන් එන විටත් වාහනයට ලක්ෂ දහ අටක වාරික ගෙවීම් ප්‍රමාද වී තිබුණි.
“අපි ලීසිං සමාගමෙන්. වාහනය අරගෙන යන්න ආවේ” යැයි කී ලීසිං සමාගමේ නියෝජිතයෝ වාහනය රැගෙන ගියහ.
අවසානයේදී අපේක්ෂකයාට සිදුවූයේ වෙනත් අයෙකුගේ වාහනයකින් ‍පොලීසියට යාමටය.
“ලීසිං සමාගමෙන් කියලා ආපු කට්ටියක් මගේ වාහනය අරගෙන ගියා” අපේක්ෂකයා ‍පොලීසියට පැමිණිලි කළේය. ‍පොලීසියට පැමිණිල්ල කළ ඔහු එතැනින් ගියේ තමන්ගේ හිතවතකුගේ වාහනයකිනි. 
 
 තිලකජය

රටම බලා සිටින විවාදය 6 වනදා

පුංචි ජන්දයේ ප‍්‍රචාරණ කටයුතු මේ දිනවල වඩාත් උණුසුම් ස්වභාවයක් ගෙන ඇත. විශේෂයෙන්ම මැතිවරණ වේදිකාව තුළ, එකිනෙකාට මඩ ගසා ගැනීම්, බැණ වැදීම්, චෝදනා හා තර්ජන ගර්ජන දිනපතාම පාහේ අසන්නට ඇත.
මේ අතර, ”බැඳුම්කරය” මෙම මැතිවරණ වේදිකාවේ මේ දිනවල අතිශය ජනප‍්‍රියම මාතෘකාවක් බවට පත්ව ඇත. ඒකාබද්ධ විපක්ෂය මෙම ”බැඳුම්කරය”  යොදාගනුයේ රජයට චෝදනා නැගීම සඳහා වන  ප‍්‍රධානතම මෙවලමක් ලෙසිනි. කෙසේ වෙතත් රජයද මේ වනවිට, 2008 වසරේ සිටම සිදු වූ බැඳුම්කර ගනුදෙනු මුල් කරගනිමින් රාජපක්‍ෂ රජයට චෝදනා නැගීමට පටන්ගෙන ඇත.
මේ කරුණු කාරණා හේතුවෙන් ලබන 06 දින, බැඳුම්කර කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත, පාර්ලිමේන්තු විවාදය ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව කාගේත් විශ්වාසයයි.
මෙම විවාදය ලබන 06 දින පැවැත්වීමට තීරණය වුයේ, පසුගියදා පැවැති පක්‍ෂ නායක රැුස්වීමකින් අනතුරුවය.කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම විශේෂ පක්ෂ නායක රැුස්වීම පැවැත්වූයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදීය.
බැඳුම්කර විවාදය ලබන 08 දින පවත්වන ලෙසට මීට පෙර කථානායකවරයාගෙන් ඉල්ලා තිබිණ, ඒ අනුව පුංචි ජන්දයට පෙර එලෙස මෙම බැඳුම්කර පාර්ලිමේන්තු විවාදය පැවැත්විය හැකිද යන්න සොයා බැලීම, සාකච්ජා කිරීම හා ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම මෙම පක්ෂ නායක රැස්වීමේ  අරමුණු අතර  විය.
මෙම රැස්වීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාද සහභාගිවීම විශේෂත්වයක් විය.
පෙබරවාරි 07 දින මධ්‍යම රාත‍්‍රියෙන් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අවසන් වන බැවින් මෙම විවාදය 08 දින පැවැත්වීම  මැතිවරණ නීතිවලට පටහැනි බව මෙහිදී මැතිවරණ කොමිසම් සභාපතිවරයා පැවැසීය.
”මේ විවාදය මාධ්‍ය හරහා ප‍්‍රචාරණය කිරීම ගැටලූවක් වෙනවා. පාර්ලිමේන්තුවේ නැති පක්ෂවලට මෙහිදී අසාධාරණයක්ද වෙනවා”‍ දේශප‍්‍රිය මහතා පැවැසීය.
”‍මේ නිසා මේ විවාදය ලබන 5 හා 6 යන දිනවල පැවැත්වීම යෝග්‍ය”‍ යැයිද මහින්ද දේශප‍්‍රිය මහතා මෙහිදී පැවැසීය.
 එම යෝජනාවට මහින්ද සමරසිංහ, දිනේෂ් ගුණවර්ධන, විජිත හේරත් හා එම් සුමන්දිරන් යන පක්‍ෂ නියෝජිතයන් එකඟ වුවද, එජාපය නියෝජනය කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊට විරුද්ධ විය.
”‍ලබන සතිය මුලදී,  මැතිවරණ ප‍්‍රචාරණ කටයුතුවලට මැති ඇමැතිවරු ඔක්කොම ගිහිල්ල ඉන්නේ. ඒ නිසා විවාදය පවත්වන එක
ප‍්‍රායෝගික නැහැ.”‍ කිරිඇල්ල මහතා පැවැසීය.
”‍08 වෙනිදා විවාදය තියෙනවනම් මැතිවරණය කල් දාන්න වෙනවා”‍ මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය.
”ජන්දය කල්  දමන්න බැහැ. අපි 08 වෙනිදට කලින් විවාදය තියමු.”‍ විජිත හේරත් මහතා මෙහිදී තරමක දැඩි ස්වරයෙන් පැවැසීය.
”ඔව්, 08 කලින් විවාදය තියමු. අඩුම ගානේ දින දෙකක් මේ විවාදයට අවශ්‍ය වෙනවා”‍ දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
”‍10 වෙනිදාට පෙර  ඕනෑම දිනක විවාදයට අපි එකඟයි, විවාදයට සුදුසු දිනයක් යෝජනා කරන්න”‍ මහින්ද සමරසිංහ මහතා මෙහිදී කථානායකවරයාට පැවැසීය.
කෙසේ වෙතත් 08 වෙනිදාට පෙර දිනක මෙම විවාදය පැවැත්වීම පිළිබඳව, කිරිඇල්ල මහතා දිගින් දිගටම විරෝධය පළකරන්නට විය.
ඒ අනුව කථානායකවරයා අවසානයේ පක්ෂ නායකවරුන් අමතා මෙසේ පැවැසීය.
”මේ විදියට මෙතන මේ ගැන එකඟත්වයකට එන්න බැහැනේ, ඒ නිසා මම අගමැතිතුමාත් එක්ක කතාකරලා අවසන් තීරණයකට එන්නම්”
ඒ අනුව කථානායකවරයා හා අගමැතිවරයා අතර පැවැති සාකච්ජාවකින් අනතුරුව විවාදය ලබන 06 දින පෙරවරු 10ට පැවැත්වීමට තීරණය විය.
මේ අතර මේ දිනවල බැඳුම්කර ගනුදෙනුව හා එම කොමිසම් වාර්තාව මුල් කරගනිමින් හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතාට තම පක්‍ෂයෙන්ම  පහර එල්ලවෙමින් ඇත.
අල්ලස් කොමිසමේ  සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිමය ක‍්‍රියාමාර්ග අවසන් වනතුරු හිටපු මුදල් අමාත්‍ය,  පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂ උපනායක ලෙස රාජකාරී කටයුතුවලින් ඉවත්විය යුතු බව එම පක්ෂය විසින් පත් කළ තිලක් මාරපන කමිටුව නිර්දේශ කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා පසුගියදා මාධ්‍ය හරහා ප‍්‍රකාශ කළේය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත‍‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ   බැඳුම්කර සිදුවීමට අදාළව එජාප පාර්ලිමේන්තු මන්ත‍‍්‍රි රවි කරුණානායක මහතා ස්ව කැමැත්තෙන් අත්අඩංගුවට ගෙන මැතිවරණය අවසන් වූ පසු නිදහස් කිරීමේ  සූදානමක් ඇති බවයි.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී රවි කරුණානායක මහතා එක්සත් ජාතික පක්‍ෂ උප නායක ධුරයෙන් ඉවත් කර අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට සූදානම් වී සිටින බවද ඔහු පැවැසීය.
බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන මෙම 06 වැනි දිනට පෙර රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගැනෙණු ඇති බවත් මැතිවරණයට පසු දින 11 වැනිදාම ඔහු නැවත නිදහස් කරනු ඇති බවත් බන්දුල ගුණවර්ධන මහත මෙහිදී පැවැසීය.
කෙසේ වෙතත් මේ සියලූ‍ ප‍්‍රකාශ පිළිබදව රවි කරුණානායක මහතා පිළිතුරු වශයෙන්   කියා සිටින්නේ, ජනාධිපති හෝ අගමැති වුවද මැතිවරණ කාලයේ කියනා දේවල් එතරම් ගණන් ගත යුතු නැති බවය,  මැතිවරණය අවසන් වූ පසු සිදුවන දේ දෙස බලා සිටිනා ලෙසද ඔහු පසුගියදා මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවක සඳහන් කළේය.
ගම්පහ දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් ප‍්‍රගති සමා‍ලෝචන රැුස්වීමක් පසුගියදා  
පැවැත්වුණේ ගම්පහ දිස්ත‍්‍රික් නායක ප‍්‍රසන්න රණතුංගගේ ප‍්‍රධානත්වයෙනි. ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ගම්පහ දිස්ත‍්‍රික් මන්තී‍්‍රවරුන් වන සිසිර ජයකොඩි, ඩුලිප් විජේසේකර, ප‍්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, නිමල් ලන්සා මෙම සාකච්ඡුාවට එක්ව සිටියහ. ගම්පහ දිස්ත‍්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡුා කෙරිණි.
”මේ පාර ඡුන්දේදී ගම්පහ දිස්ත‍්‍රික්කය වශයෙන් අපිට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. මොන දිස්ත‍්‍රික්කයකටත් වඩා ගම්පහ ජයග‍්‍රහණය අපට වැදගත්. ඒ හින්දා කොහොම හරි අපි ගම්පහ උඩින් දිනන්න කටයුතු කරන්න  ඕනේ”‍ ප‍්‍රසන්න පෙන්වා දුන්නේය.
”අනිවාර්යෙන්ම මීගමුව දිනන්න අපිට පුළුවන්. දැනටමත් මිනිස්සුන්ගෙන් ලොකු ප‍්‍රතිචාරයක් තියෙනවා. මීගමුව දිනුව හැම අවස්ථාවකම අපි ගම්පහ දිස්ත‍්‍රික්කය දිනුවා. ඒ හින්දා මේ වතාවෙත් අපිට කිසිම සැකයක් නැහැ. අපි රැයක් දවාලක් නැතුව මහන්සි වෙන්නේ ඒ ජයග‍්‍රහණය තවත් තහවුරු කරගන්නයි”‍ ලන්සා පැවැසීය.
”මහින්ද මහත්තයට එදා ඉඳලම තියෙන ඡන්ද වගේම ආණ්ඩුව ගැන කලකිරීමෙන් කැඩිලා එන ඡන්දත් එකතු වුණාම අපිට බහුතර පළාත් පාලන ආයතනවල ජයග‍්‍රහණය හිමිකරගන්න පුළුවන්. මේක නිකම්ම නිකම් පළාත් පාලන මැතිවරණයකටත් වඩා ආණ්ඩුවේ ගමන ගැන තියෙන ජනමත විචාරණයක්”‍ ප‍්‍රසන්න කීවේය.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කරාපිටිය ශික්ෂණ රෝහල් භූමියේ ඉදිකිරීමට යෝජිත දකුණු පළාතේ ළමා රෝහල සඳහා මුල්ගල තැබීමට පසුගියදා එක්වූයේය. කොළඹ සිට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කරාපිටිය බලා පිටත්ව ගියේ එකම කාරයෙනි. එහිදී වජිර අබේවර්ධන අමාත්‍යවරයා ”ඔබතුමාගේ කතාව අහන්න තමයි මිනිස්සු කැමැති. අදත් හොඳ කථාවක් කරන්න” යැයි ඉල්ලා සිටියේය. මෝටර් රථයේ ගමන් කරන අවස්ථාවේ දී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව දෙදෙනා අතර දිර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.
කරාපිටියේ උත්සවයේදී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවාව නංවාලීම සඳහා රජය ගත් ක‍්‍රියාමාර්ග සෞඛ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළ ඉන් පසු කොළඹ බලා පැමිණියේ දිවංගත අමාත්‍යවරයෙකු වන ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතාගේ දියණියගේ විවාහ මංගල උත්සවයට සහභාගි වීම සඳහායි. අමාත්‍ය සුදර්ශණී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමග සුහද කතාබහක නිරත වූ සෞඛ්‍ය අමාත්‍යවරයා නව යුවළට සුබ පතා ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතා සමග සිදු කළ දේශපාලන කටයුතුවල රස මුසු තැන් ද සිහිපත් කළේය. ඉන් පසු යළි ඇල්පිටිය බලා පැමිණි සෞඛ්‍ය අමාත්‍යවරයා ඇල්පිටිය මුලික රෝහලේ නව මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වූයේය. ඉන් පසු ඇල්පිටිය නගර මධ්‍යයේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජනරැුලියට සෞඛ්‍ය අමාත්‍යවරයා සහභාගි වන විට ජනතාවගෙන් උණුසුම් ප‍්‍රතිචාර ලැබුණි.
ජ.වි.පෙ එරාවුර් ජනහමුවට ප‍්‍රදේශයේ ජනතාව දෙදහසකට අධික පිරිසක් පැමිණ සිටියහ. රැස්වීම සංවිධානය කිරීමට ගිය ජ.වි.පෙ සාමාජිකයන්ට විවිධ බාධාවන්ට මුහුණ දීමට සිදුවිය. ජ.වි.පෙ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ භූමිය ආසන්නයේම ඇමැති හිස්බුල්ලාගේ රැස්වීමක් සංවිධානය කර ශබ්ද විකාශන යන්ත‍්‍ර යොදා තිබුණේ ජ.වි.පෙ රැස්වීමට බාධාවන ආකාරයෙනි. කෙසේ වෙතත් රැස්වීම් දෙකම එකම වෙලාවට පැවැති යේය. එහිදී හිස්බුල්ලා විසින් කරන ලද ප‍්‍රකාශවල ජ.වි.පෙ එරාවුර් කණ්ඩායම් නායකයා උත්තර දීමට පටන් ගැනීමත් සමග ජනතාව ජ.වි.පෙ රැස්වීමට ඇදී එන්නට විය.
මෙහිදී ජ.වි.පෙ නායක අනුර දිසානායක පැය එකහමාරකට ආසන්න කාලයක් රැස්වීම ආමන්ත‍්‍රණය කළේය. ඇතැම් පුද්ගලයන් ජ.වි.පෙ නායකයාගේ සජීවී රැස්වීමක් දැක තිබුණේ එදිනය. රටේ දේශපාලන තත්ත්වය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළ ජ.වි.පෙ නායකයා ජාතිවාදය පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය. ”දේශපාලන පක්ෂවල නායකයන් තමන්ට බලය ලබාගැනීම වෙනුවෙන් ජනතාව බෙදුවා. ජාතිවාදය ඇවිළුවා. සිංහල,දෙමළ, මුස්ලිම් විදියට ජනතාව බෙදලා, දේශපාලන පක්ෂ හදලා ඡන්ද ටික අරගෙන උඩින් ආණ්ඩුව හදලා දෙගොල්ල ජනතාවගේ මුදල් කොල්ල කෑවා. ඒ අය උඩින් එකට ඉන්නවා. පහළින් අපේ ජනතාව බෙදිලා. ඒ නිසා අපි පහළින් එකතු වෙන්න   ඕනෑ. අපි එකතු වුණොත් තමයි ජාතික සමගිය ඇතිවෙන්නේ. පාලකයන්ට පාඩමක් ඉගැන්විය හැක්කේ.” ජ.වි.පෙ නායකයා කියා සිටියේය.
ජ.වි.පෙ  ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පසුගියදා මාධ්‍ය හමුවක පැවැසූ කතාවක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් මෙන්ම ආණ්ඩුවේ පිරිස්ද හිත් වේදනාවට පත්ව තිබේ. ”බැඳුම්කර වාර්තාව මෙන්ම මහා පරිමාණ මූල්‍ය අපරාධ ජනාධිපති විමර්ශන වාර්තාව පිළිබඳව විවාදයක් මෙන්ම නීතිමය පියවර ඕනෑ. මුලින් කියපු විදියට හොරුන්ට මංකොල්ලකාරයන්ට මඩු වලිගෙන් තැලූවෙත් නැහැ. අද කඩුවෙන් කොටන්නෙත් නැහැ. එක පැත්තකින් මේ තියන ආණ්ඩුවත් දුවන්නේ හොරුන් එක්ක. අලූතින් හදන ආණ්ඩුව දුවන්න වෙන්නෙත් හොරු ටික එකතු කරගෙන.” විජිත හේරත් කීවේය. මෙම කතාවත් සමග විජිත හේරත් වාර්තා දෙක අතැතිව සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ ප‍්‍රචාරය වූයේ මැතිවරණයේදී තෝරන්නේ දෙපැත්තේ හොරුද? ජ.වි.පෙද? යන්නයි.

පැතුම් වික‍්‍රමරත්න

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 3617

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2392

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3557

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2119

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7200

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4430

Please publish modules in offcanvas position.