lakbima.lk
2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

“අපේ රටේ බඩු මිල අඩු කරන්න ශක්‍රයාගේ පුතා වයිමාට වත් බැහැ.” මේක මීට අවුරුදු කීපයකට කලින් අපේ රටේ සුවිසල් ආන්දෝලනයකට තුඩු දුන් කතාවක්. අපේ රටේ එවකට පැවැති බඩුමිල මුල් කර ගනිමින් මේ කතාව කිව්වේ පහුගිය ආණ්ඩුවේ වෙළද සහ පාරිභෝගික සේවා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්තයා. නමුත් මේ බඩුමිල අඩු කරන්න බැරි කතාව පැත්තක තියෙද්දී සමහරු කවුද මේ ශක්‍රයාගේ පුතා වයිමා කියන්නේ කියලා දිගට හරහට හොයන්න පටන් ගත්තා. මේ සම්බන්ධයෙන් අපේ දැනඋගත් හාමුදුරුවරු නම් කිව්වේ ශක්‍ර දේවේන්ද්‍රයා ගැන වැඩිපුරම සඳහන් වෙන බෞද්ධ සාහිත්‍යයේ සූත්‍ර පිටකයට අයිති සංයුක්ත නිකායේ සක්ක සංයුක්තයේවත් ශක්‍රයාට වයිමා කියලා පුතෙක් හිටපු බවක් සඳහන් වෙන්නේ නැහැ කියලයි.  මේකෙන් මේ රසවත් සමාජ කතිකාව තවත් උණුසුම් වුණා.
කොහොම හරි අන්තිමට ශක්‍රයාගේ පුතා වයිමා ගැන කියපු බන්දුල ගුණවර්ධන ඇමති තුමාටවත් කවුද මේ “වයිමා” කියලා ජනතාවට හරියට කියලා දෙන්න බැරි වුණා. ඒ හින්දම පුවත් පත් කාටුන් ශිල්පියෝ මේ ශක්‍රයාගේ පුතා වයිමගේ කතාව කාටුන්වලට නංවනකොට ශක්‍ර දේවේන්ද්‍රයාගේ රූපයක් අඳින්න පටන් ගත්තා.
නමුත් මේ ශක්‍රයාගේ පුතා වයිමාගේ කතාවේ එන සක්‍රයා කියන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා නෙවෙයි; මෙතන සක්‍රයා කියන්නේ මීට කලින් ‘පෝස්ටුවෙන්’ මම ඔබට හඳුන්වලා දීපු සැක්‍රියන් සොයිසාට; (මතක නැතිනම් පොඩ්ඩක් බලන්න)
ඒ කාලේ හත්කෝරලේ ගැමියන් මේ සැක්‍රියන් සොයිසාව හැඳින්වූවේ ‘සක්‍රයා’ කියලා. ඒකට ප්‍රධාන හේතු දෙකක්ම තිබුණ. මුල්ම හේතුව තමයි අපේ ගැමියන්ට සැක්‍රියන් කියනවට වඩා සක්‍රයා කියන වචනය පහසුවෙන් උච්ඡාරණය කළ හැකිවීම; ඒ වගේම සැක්‍රියන් සොයිසා ශක්‍රයා වගේ පංචකාම සම්පත් භුක්ති විදිමත් ඔහුට මේ ‘සක්‍රයා’ කියන නම පට බැ‍‍‍ඳෙන්න හේතු වෙන්න ඇති. මේ සක්‍රයාගේ තිබුණු ලොකුම දුර්වලතාවයක් තමයි උස්මුරුත්තාවට ගිය ස්ත්‍රී ලෝලිත්වය. ගමේ රටේ තරමක් හැඩ වැඩ ගෑණු ලමිස්සියක් ඇහැ ගැහුණොත් මොන දහංගැටේකින් හරි ඒ ලමිස්සිව තමන් ගේ ග්‍රහණයට නතු කර ගන්නකම් සක්‍රයාට නින්ද ගියේ නැහැ. නමුත් ඒක එච්චරටම ලේසි පහසුකාරියක් නෙවෙයිනේ ඒ හින්දා පහුවෙනකොට සක්‍රයා ඒකට කදිම උපායක් යෙදුවා. ඒ තමයි ඒ වගේ ලස්සන ගෑණු ළමිස්සියො ඉන්න ගෙවල්වල ඉන්න හරක් තමන්ට ආවතේව කරන මැරයෝ ලවා හොරකම් කරවීම; ඒ කාලේ ගවයෙක් කියන්නේ හත්‍කෝරලේ දුප්පත් පවුලකට තිබුණු ලොකුම වත්කමක්; සම්පතක්. ඒ හින්දා ගෙදරක හරකෙක් නැතිවුණාම ඒක ගම පුරාම ප්‍රචාරය වුණා. ඔය අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තු ‘සක්‍රයා’ ත් ඒ දුක් ගැනවිල්ලට සවන් දෙන මුවාවෙන් අර ලස්සන ගෑණු ළමිස්සි ඉන්න ගෙදරට හින් සීරුවෙම රිංගුවා. එහෙම රිංගලා නිකම් හිටියේ නැහැ. ඒ නැතිවීම ගැන බොහොම විස්සෝපවෙලා කොහොම හරි ඒ හරකා හොයලා දෙන්න ඒ දැරිවිගේ වැඩිහිටියන්ට පොරොන්දු වුණා. ඔය අතරේ සැරින් සැරේ ඒ ගෙදරට ගිහින් අර කියපු ළමිස්සිට බැල්ම හෙළපු ‘සක්‍රයා’ තමන් ගේ ගෙදර දොරේ වැඩට පලට අත්උදව් දෙන්න කියලා ඒ දැරිවිව උපායශිලීව තමන්ගේ ගෙදරට ගෙන්නා ගන්නත් සමත් වුණා කියමුකෝ. ඉතින් ඔය අතරේ කොහොමහරි අර නැතිවුණ හරකත් හොයා ගන්තු බවක් අඟවලා ‘සක්‍රයා’ තමන්ගේ මැර ගෝල බාලයොත් එක්ක බොහොම ආඩම්බරයෙන් අර ගෙදරටම ගිහින් බාර දුන්නා.
නමුත් හත්කෝරලේ ගැමියන්ට සක්‍රයාගේ මේ උප්පරවැට්ටිය තේරුණේ නැහැ.
සක්‍රයා ගේ පුතාගේ නම වයිමන් සොයිසා; සැක්‍රියන්ට සක්‍රයා කියපු ගම්මු උන්නැහේගේ පුතා හැඳින්වුවේ ‘වයිමා’ කියලා. කොහොම හරි මැර කල්ලිය ලවා අහිංසක ගම්මුන්ගේ හරක් හොරකම් කරලා තමන් ගේ තාත්තණ්ඩි කරන මේ සමනළ දඬයම පහුවෙනකොට වයිමාටත් ටිකෙන් ටික තේරුම් ගියා. ඒ වෙන කොට හොඳට කරදඬු උස්වෙලා හිටපු ‘වයිමා’ ටත් අරවගේම මැර හමුදාවක් හිටියා. පහුවෙනකොට තාත්තණ්ඩි කරන මේ සමනළ දඬයම හීන්සීරුවෙම තමන්ගේ අතට ගන්න වයිමා මොකද කළේ; තාත්තාගේ මැරයන් හොරෙන් අරගෙන ගිහින් හංගලා තියන හරක් තමන්ගේ මැරයන් ලවා ඒ තැන්වලින් හොරකම් කරලා වෙනම තැන්වල හංගන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් කලින් හංගපු හරක් ගැමියන්ට භාර දෙන්න සක්‍රයාට බැරි වෙනවනේ . ඒහින්දා ඔන්න ගැමියන්ගේ නැතිවුණු හරක් හොයා දීමේ ‘වික්‍රමය’ වයිමා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ගැමියොත් තමන්ගේ නැතිවුණු හරක් හොයා දීම බාර කළේ සක්‍රයාගේ පුතා වයිමාට; ඒ වගේම ඔය වෙනකොට වයිමාත් ඒ හරක් හොයාදීම මුල්කොට ගත්තු සමනළ දඬයමත් බොහොම රහසිගතව සීරුමාරුවට කරගෙන ගියා කියමුකෝ.
කොහොම හරි මේ වෙනකොට ඒ ගම්පළාත් වල ඉන්න හරක් හොරුන්ට ඉවවැටුණා, මේ තාත්තයි පුතයි තමන්ගේ මැර කල්ලි යොදාගෙන කරන මේ උප්පර වැට්ටිය. ඊළඟට මේ ගම්වල හිටපු හරක් හොරු මොකද කළේ; සක්‍රයාගේ මැර කල්ලි පැහැර ගත්තු හරක් වයිමාගේ මැර කල්ලි හංගලා තියන තැන්වලිනුත් පැහැරගෙන ගිහින් මරාගෙන කෑවා. ඊට පස්සේ මොකද වුණේ මුලින්ම සක්‍රයා ළඟටත් දෙවනුව වයිමා ළඟටත් ගිහින් නැතිවුණු හරක් හොයා ගත්තු ගැමියන්ට තමන්ගේ නැතිවුණු හරක් හොයා ගන්න කිසිම ක්‍රමයක් නැතිව ගියා; ඊ ට පස්සේ තමයි මේ නැතිවුණු හරක් ගැන කතා කරපු ගැමියෝ “ සක්‍රයාට කොහොම වුණත් සක්‍රයාගේ පුතා වයිමාටත් බැරි නම් ඉතින් බෑම තමයි බොලව්” කියලා කියන්න පටන් ගත්තේ. කොහොමද අපේ බන්දුල ඇමතිතුමා කියපු සක්‍රයාගේ පුතා වයිමගේ පිරුළේ පසුබිම් කතාව.
 
සහන් සංකල්ප සිල්වා 

සැක්‍රියන් සොයිසා කියන්නේ මිට අවුරුදු සීයකට හමාරකට කලින් හත් කෝරළේ, ඒ කියන්නේ වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු ධන කුවේරයෙක්. හත්කෝරළේ පොල් අක්කර සිය ගාණක් තිබුණු සොයිසා මහත්තයට සුරාබදු බලපත්‍රයකුත් තිබුණා.
ඉහවහා යන තරමට සල්ලි පනම්, ගේ දොර ඉඩකඩම්, වතුපිටි වගේම් ලොකු මැර බලයකුත් තිබුණු සොයිසා මහත්තයාගේ චරිතය අතින් “හත්පොලේ ගාගෙන” හිටපු බව කාටවත් රහසක් වුණේ නැහැ.
කොහොම හරි තමන්ගේ මැර බලයයි, බේබදු කමයි, සල්ලාල කමයි වහගන්නත් මුන්නැහේ නොම්බර එකේ වැඩ පිළිවෙලක් යොදලා තිබුණා. ඒ තමයි ඒ පළාතේ තියෙන හැම පන්සලකටම අතමිට දිග ඇරලා අධාර උපකාර කිරීම. ඒ හින්දම සොයිසා මහත්තයා මොන ජාතියේ මිනිහෙක් වුණත් මහාදානපතියෙක් විදිහටත් ප්‍රසිද්ධ වුණා.
ඔන්න එක දවසක් උදේ පාන්දරක හිටිහැටියේ සොයිසා මහත්තයා කරදාසිය ලිපේ දාපු ගාණට ගමේ පන්සලට කඩා වැදුණා.
“අනේ හාමුදුරුවනේ, මම මේ දවස්වල දාහක් වැඩ; හුස්මක් කටක් ගන්නවත් විවේකයක් නැහැ‍‍; කොහොමද දුරුතු පෙරහැරේ වැඩ ටික‍; හොඳට යනවනේ; පෙරහැරේ වැඩේට තව මොකක් හරි සල්ලි වුවමනාවක් වුණොත් ඔබ වහන්සේ උවමනා කාරණෙයි ගාණයි ලියලා අපේ ලියන මහත්තයට පුංචි තුණ්ඩුකෑල්ලක් යවන්න; මිනිහා ඒ වෙලාවෙම ඔබ වහන්සේට සල්ලි එවයි. මම මිනිහට විස්තරේ කියලා තියෙන්නේ” හාමුදුරුවන්ට කතා කරන්න කිසිම ඉඩක් නොතියා අරික්කාලට, කාලට හාමුදුරුවන්ට වැඳපු සොයිසා මහත්තයා මෙන්න මොහොතකින් අන්තරස්දාන වුණා.
කොහොම හරි ඔන්න එදා රෑ දහයට විතර හාමුදුරුවෝ සැතපෙන්න හදනකොට කවුරුහරි කෙනෙක් ‘හාමුදුරුවනේ හාමුදුරුවනේ’ කියා කියා ආවාස ගේ ඉස්සරහ ඉඳන් බෙරිහන් දෙනවා. මේ අවේලාවේ පන්සලට කඩා වැදුණු මහසෝනා මොකාද කියලා බලන්න හාමුදුරුවෝ ආවාස ගෙයි දොර අරිනකොට මෙන්න සොයිසා මහත්තයා ආවාසේ දොර ඉස්සරහ බලි රූපෙ වගේ හිටගෙන ඉන්නවා.
“අනේ හාමුදුරුවනේ මම ආවේ අද උදේ මගේ බස්තම මෙහේ අමතකවෙලා ගියාද කියලා බලන්න; ඔබ වහන්සේට කියන්න ඕක අපේ හිටපු සුදු ඒජන්ත මහත්තයා ඒරෝප්පෙ යන්න නැව් නගින්න කලින් මාව මතක් වෙන්න මේක තියා ගනින් කියලා මගේ අතත් ඉඹලා මට දීපු බස්තම; මම ඕකට මගේ පණටත් වඩා ආදරෙයි හාමුදුරුවනේ.” මෙන්න සොයිසා මහත්තයා හාමුදුරුවෝ ඉස්සරහ නාහෙන් අඬන්න පටන් ගත්තා.
“සොයිසා මහත්තයා තරහා නැතිව මෙතැනින් වාඩි වුණා නම් ඩිංගිත්තකට”සොයිසා මහත්තයාගේ ඒ අසරණ කමින් ප්‍රයෝජනය ගත්ත හාමුදුරුවෝ ආවාසෙ ඉස්තෝප්පුවේ තියන බංකුව පෙන්නලා කිව්වා; එතකොට මෙන්න සොයිසා මහත්තයත් වැස්සට අහුවුණු බළල් පැටියෙක් වගේ හාමුදුරුවන්ට කීකරු වුණා. “අද පාන්දර පන්සලට එනකොට සොයිසා මහත්තයාගේ අතේ ඔය බස්තම තිබුණා තමයි, ඒත් ඔබ තුමා ඒක ආපහු අරන් යනවා මට නම් හොඳටම මතකයි. හොඳයි මට කියන්න මේ පන්සලෙන් ගිහින් ඊට පස්සේ ඔබ තුමා කොහේ කොහේද ගියේ කියලා.”  හාමුදුරුවෝ බොහොම සන්සුන් විදිහට සොයිසා මහත්තයට කිව්වා.
“අනේ හාමුදුරුවනේ අද දවසේ මම ගිය දිහාවල් කිව්වොත් ඒකටත් පැයක් විතර යයි; මම උදෙන්ම අර විදානෙගේ කෙල්ලගේ කොටහළු මඟුලට ගියා; ඊට පස්සේ ඒබරන් කපුරාළ අසනීප වෙලා හින්දා මිනිහව බලන්න ගියා; ඊටත් පස්සේ කොප්පරා මඩුවට ගියා... එතැනින් කෙළින්ම ගියා ම්...ම්...ම්” සොයිසා මහත්තයා කතාව නතර කළා.
“සොයිසා මහත්තයා ඔය වගේ අමතක වීම් අතපසුවීම්වලට ප්‍රධාන හේතුව තමයි සොයිසා මහත්තයාගේ හිතේ සන්සුන් කමක් එකලාසයක් නැතිකම; රටේ ලෝකෙ තියන වැඩ ටික ඔක්කොම තනියම බදා ගන්න ගියාම ඔහොම තමයි අන්තිමට වෙන්නේ, අර දොඩම් ගොඩ බදා ගන්න ගිය මිනිහට වෙච්චි දේමයි.” දැන් හාමුදුරුවෝ සොයිසා මහත්තයාට හීන් සීරුවේ පුංචි බණක් කියන්න හදනවා.
“ හොඳයි කොහොමද හාමුදුරුවනේ මම දැන් හිත සන්සුන් කර ගන්නේ. මට දැනට ඒක විතරක් කියන්න; මට කොහොම හරි මේ බස්තම හොයාගන්නම ඕනේ” හාමුදුරුවන්ගේ කතාවට බාධා කරපු සොයිසා මහත්තයා එකපාරටම කිව්වා.
“හොඳයි සොයිසා මහත්තයා අන්තිමට පන්සිල් සමාදන් වුණේ කවදද මතකද?” සොයිසා මහත්තයාට මෙල්ල නොවී මෙන්න හාමුදුරුවොත් ඇහුවා.  “ඒක නම් මට මතක නැහැ; අපේ හාමුදුරුවනේ පන්සිල් ගන්න එක නෙවෙයිනේ දැන් මෙතන තියන ප්‍රශ්නේ; මගේ බස්තම හොයා ගන්න එකනේ” මෙන්න සොයිසා මහත්තයත් හාමුදුරුවන්ට දෙවැනි නොවී කිව්වා.
“හරි ඒ සේරම දැන් පැත්තකින් තියන්න; මම දැන් සොයිසා මහත්තයට පන්සිල් දෙනවා; සොයිසා මහත්තයා සූදානම්ද කියන්න දැන් මෙතන පන්සිල් සමාදන් වෙන්න.” හාමුදුරුවොත් තරමක් තදින් ඇහුවා.
“එහෙම වුණොත් මගේ බස්තම හම්බුවෙයිද?”  සොයිසා මහත්තයත් කැත්තට පොල්ලවගේ ප්‍රශ්නයක් නැගුවා.
“ඔවු හම්බු වෙනවා තමයි” හාමුදුරුවොත් තදින්ම කියා සිටියා.
ඔන්න දැන් සොයිසා මහත්තයා තද බල නොඉවසිල්ලකින් වැඳගෙන ඉන්නවා; හාමුදුරුවොත් බොහොම සන්සුන් විදිහට පන්සිල් දෙනවා දැන් කොහොම හරි තිසරණය වැඳලා ඉවරවෙලා හාමුදුරුවෝ පාණාතිපාතා, අදින්නා දානා කියන සිල් පද දෙක කියලා; ඊ ළඟට කාමේසු මිච්ඡාචාරා වේරමණී කියන කොටම සොයිසා මහත්තයා දඩස් ගාලා ගැස්සුණා.
“හරි හාමුදුරුවනේ හරියට හරි ඔබවහන්සේ කියපු කතාව සීයට සීයක්ම හරි” මෙන්න හිටපුගමන් පන්සිල් ගැනීම නතර කරපු සොයිසා මහත්තයා දඩිබිඩිගාලා බංකුවෙන් නැගිට්ටා.
“ඔබ වහන්සේ කාමේසු මිච්ඡාචාරා කියන කොටම මට මතක් වුණා මගේ බස්තම අමතක වුණු තැන”  එහෙම කියපු සොයිසා මහත්තයා විදුලි වේගෙන් ආපහු හැරුණා. “එකත් එකටම ඒක බබී නෝනාගේ ගේ ඇඳ විට්ටමේ එල්ලලා ඇති”
 
සහන් සංකල්ප සිල්වා

විසි වෙනි සියවසේ මුල් භාගයේ කොස්ගොඩ, බලපිටිය, අහුන්ගල්ල පැත්තේ බොහොම තෙදවත්, බලවත් හාමු මහත්තයෙක් හිටියා. මේ හාමු මහත්තයාට ඒ පළාතේ අක්කර සිය ගාණක පොල්වතු, කුරුඳු වගේම කුඹුරු එහෙමත් තිබුණා. තෙදවත් බලවත්, ධනවත් කම් අතින් ‍කොච්චර ඉහළ ගියත් ගුණවත් කම අතින් නම් මුන්නැහේ අන්තිම පහත් අඩියකට වැටිලා හිටියා. විශේෂයෙන් ගමේ ගොඩේ ඇහැට කනට පේන ළමිස්සියෙක් දැක්කොත් ඒ කෙල්ලව හොඳින් බැරිනම් නරකින් හරි ගොඳුරු කර ගන්නකම් මේ හාමුමහත්තයට නින්ද ගියේ නැති ගාණයි. කොහොම නමුත් මේ හාමු මහත්තයට හිටියේ එකම එක පුතයි හොඳට කඳ බඩ හැදිලා තිබුණට මොකද? මේ පුතා මන්ද මානසික තරුණයෙක්. ඒ හින්දා ඒ තරුණයා කරන තරමක් කළේ අනුවණකම්. ඒ හින්දම මේ තරුණ හාමුව ගමේ හැමෝම හැඳින්වූවේ “මෝඩ හාමු”  කියන නමින්.

එක්දහස් නවසිය තිස් පහේ දෙසැම්බර් පස් වෙනිදා ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ මූලිකත්වයෙන් පිහිටවපු ලංකා සමසමාජ පක්ෂය හරහා අපේ රටේ තරුණයන් අතර වාමාංශික දේශපාලන අදහස් මුල්වරට පැතිරෙන්න පටන් ගත්තා.  ඒ තාක් ගමේ රටේ අප්‍රසාදයට පත්වෙලා හිටපු හාමුමහත්තයා ධනේශ්වර පන්තියේ බලකණුවක් විදිහට වාමාංශික දේශපාලන අදහස් දරපු ගැමි තරුණයන්ට පේන්න ප‍ටන් ගත්තා. ඒකෙන් හාමුමහත්තයා ගම්මුන්ගෙන් තවත් දුරස් වුණා.
 
ඒ කාලේ සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් කරත්ත රේස් එකක් සංවිධානය වුණේ ඔය අතරේ. ඒකට ගාල්ල, බෙන්තර වගේ දුර පළාත්වලින් පවා දක්ෂ කරත්ත රේස් කරුවන් ඉදිරිපත් වෙලා හිටියා. මේ කරත්ත රේස් එක බලන්න සිය දහස් ගණන් එක් රොක්වන බව දැන ගත්තු හාමු මහත්තයට විරුද්ධ තරුණ පරපුර ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන උන්නැහේට ලොකු අපහාසයක් එල්ල කරන්න සැලසුම් කළා.
 
ඒ අනුව ඒ තරුණයෝ කීප දෙනෙක් වලව්වේ හාමු මහත්තයා නැතිවෙලාවක් බලලා හීන් සීරුවෙම මෝඩ හාමුට කිට්ටු කළා.
 
“හාමු ඔන්න අහවල් දවසට අතන කරත්ත රේස් එකක් තියනවා. හැබැයි මේකට හාමුත් රේස් කරත්තේ බැඳගෙන ආවොත් පළමුවෙනියා වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව.” මේ තරුණයෝ මෝඩ හාමු  ළඟට ගිහින් කුටු කුටු ගෑවා.
 
“අනේ මං රේස් කරත්ත පදින්න දන්නේ නැහැනේ. අනික ඕක කරන්න ගියොත් තාත්තා මාව මරයි.” මෝඩ හාමුත් අසරණ විදිහට කිවුවා.
 
“හාමු කොහොම හරි එදා නියම වෙලාවට තාත්තට හොරෙන් කරත්තේ බැඳගෙන එතනට එන්නකෝ. ඉතුරු හරිය අපි බලා ගන්නම්.” තරුණයෝ මෝඩ හාමුට හීන් සීරුවෙම කිව්වා. ඒ හැමෝගෙම අරමුණ කරත්ත රේස් එකේ දී මෝඩ හාමු කරන විගඩම මුලු ගමටම පෙන්නලා හාමු මහත්තයගේ බල බිඳින්න.
 
කොහොම හරි ඔන්න නියම දවසේ නියම වෙලාවට එතැනට ආපු දක්ෂ රේස් කරත්ත කාරයෝ අතරේ මෝඩ හාමුත් තමන්ගේ රේස් කරත්තේ තියාගෙන ඉන්නවා. දැන් තරුණයන්ගේ අරමුණ මෝඩ හාමු රේස් එක පටන්ගත්තු තැන ඉඳලා හූ කියමින් සමච්චල් කරන්න. ඔන්න කොහොම හරි කරත්ත රේස් එකත් පටන් ගත්තා කියමුකෝ. අර තරුණයොත් මොකද කරන්නේ තරඟාරම්භක සංඥාව ලැබෙන කොටම කරත්තේ නැගලා ඉන්න මෝඩ හාමු වටේ රොක්වෙලා හූ කියන්න පටන් ගත්තා. කොහොම හරි මේ හූ සද්දෙට කලබල වුණු මෝඩ හාමුගේ කරත්තේ බැඳලා හිටපු ගොන් නාම්බා පුළුවන් තරම් වෙර වීරිය අරන් කරත්තෙත් ඇදගෙන දුවන්න පටන් ගත්තේ නැතැයි. අන්තිමට මොකද වුණේ? එතන හිටපු කිසිම කෙනෙක් හීනෙන් වත් නොහිතපු විදිහට ඒ කරත්ත රේස් එකෙන් ජයගත්තු “මෝඩ හාමු” කප් එකත් ගහගෙන වලවුවට ගියා.
 
සහන් සංකල්ප සිල්වා

Please publish modules in offcanvas position.