Coss Ear2
lakbima.lk
COSS Ear 1

තුවක්කුවක් අතින් ගත් මාරයාගේ සිත්තමක් ඇති පුදබිමක්

IMAGEදේශපාලන කැරැල්ල යන වදන කිසිසේත් සිතට සහන් සුවයක් දනවන්නක් නොවේ. එහෙත් දේශපාලන කැරැල්ලක් නිසා ඉදිවූ අපේ රටේ වැදගත් බෞද්ධ සිද්ධස්තානයක් පිළිබඳව ඔබ අසා ති‍බෙනවාද? ඒ සුවිශේෂ බෞද්ධ පුදබිම වන්නේ කන්ද උඩරට රාජධානි සමයේ ඉදිවූ දෙගල්දොරුව රජමහා විහාරයයි.

ක්‍රි.ව.1747 – 1782 අතර කන්ද උඩරට රජකම් කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා තමන්ගේ නායක්කර් වංශික බිසෝවරුන්ගේ මන දෙල සපුරාලනු පිණිස කුණ්ඩසාලේ ප්‍රදේශයේ ගල්මඩුව නම් විහාරය ඉදිරිකරනවා. එහෙත් රජතුමා එය තනන්නේ කුම්භම්, ගෝපුරම් ආදී ලක්ෂණ සහිත හින්දු කෝවිල් ගෘහනිර්මාණ ශිල්පයකට අනුවයි. එහෙත් රජතුමා මෙසේ හින්දුකෝවිලක ආකාරයෙන් බෞද්ධ විහාරයක් ඉදිකිරීම සම්බන්ධයෙන් උඩරට‍ ප්‍රභූන් දැඩි සේ විරුද්ධ වන අතර එය රජුට එරෙහි දේශපාලන කැරැල්ලක් දක්වා දුරදිග යනවා. එබැවින් එම ගල්මඩුව විහාර කර්මාන්තය අතරමග නතර කරන රජතුමා මෙම දෙගල්දොරුව නම් ස්ථානයේ බෞද්ධ ආරාමික ලක්ෂණ වලින් යුතු අංගසම්පූර්ණ විහාරයක් තැනීම ආරම්භ කරනවා. නමුත් එහි කටයුතු හමාරවීමට පෙර කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මිය යන නිසා එය නිමකොට මොරතොට ධම්මඛන්ධ නාහිමි ප්‍රමුඛ මහ සගරුවනට පිළිගන්වන්නේ ඉන්පසුව රජකම් කළ  ඔහුගේ සොයුරු රාජාධි රාජසිංහ රජතුමා (ක්‍රි.ව 1782 – 1798) විසින්. මෙම විහාරය සගරුවන්ට පූජාකොට ඇත්තේ 1786 වසරේ බව දෙගල්දොරුව විහාර තඹ සන්නසේ සඳහන් වෙනවා. ‍මෙය ශ්‍රී ලංකාවේ කණින ලද ලෙනක් තුළ තනවන විහාරයක්; මෙහි ගලින්ම මතුකළ සැතපෙත බුදුරුවක් දක්නට ලැබෙනවා. මෙහි සිත්තරුන් ලෙස නීලගම පටබැඳි, කොස්වත්තේ සිත්තර නයිදේ  සහ දෙවරගම්පොල සිල්වත් තැන ආදීන්  මෙහි නිර්මාණ කටයුතු කළ බව සඳහන් වෙනවා. මෙහි දහඅට රියන් බුද්ධ ප්‍රතිමාව නෙලීමට වසර විස්සක් පමණ ගතවී ඇති අතර එම ලෙන තුලට ආලෝකය ලබා ගෙන ඇත්තේ එම විහාරයෙහි ඇතුළු දොරෙහි මැණික් ගල් ඔබ්බවා ඒවායින් ලබා ගත් ආලෝකයෙන් බව ද පැවසෙනවා.

දෙගල්දොරුව විහාරය කලා විචාරකයන්ගේ මහත් ප්‍රසංසාවට ලක්ව ඇත්තේ එහි ඇති බිතුසිතුවම් ඇතුළු කලා නිර්මාණ නිසයි. වෙස්සන්තර, මහා සුතසෝම, මහා සීලව, සත්තුභද්ධ ආදී ජාතක කතා සිතුවමට නගා ඇති අන්දම මේවායින් දකින්න පුළුවන්. දෙගල්දොරුවේ වියන් චිත්‍රයක් වශයෙන් දැක්වෙන මාර පරාජය කලා විචාරකයන් අතර මහත් ආන්දෝලනයට පත්වූවක්. එහි මාරයන් අත ඇති දුණු ඊ තල අතර තුවක්කු තිබීමද විශේෂත්වයක්. මෙය එවක තිබූ අධිරාජ්‍යවාදී ආක්‍රමණ මාරයන්ට සමාන කිරීම පිණිස කලා කරුවා දැරූ කාව්‍යාත්මක උපහාසයක් බව විචාරකයන්ගේ අදහසයි.

මහනුවර නගරයේ සිට කිලෝමීටර් 07 ක් දුරින් පිහිටි දෙගල්දොරුව උඩරට චිත්‍ර සම්ප්‍රදායේ විශිෂ්ටතම කලා නිකේතනයක් ලෙස හඳුන්වන්නට පළුවන්. මහනුවර සිට ලේවැල්ල පාලම ඔස්සේ පහසුවෙන් දෙගල්දොරුවට ළඟා විය හැකි අතර දේශීය සංචාරකයන් අතර සේම විදේශීය සංචාරකයන් අතරද මෙම සිද්ධස්තානය අතිශය ප්‍රසිද්ධ වී තිබෙනවා.

මෙම විහාරය තැනීම සඳහා කීර්ති ශ්‍රී රාජසිංහ රජු කෙරම් උනන්දුවක් දක්වා තිබේද යත් නිරතුරුවම එම චිත්‍ර කර්මාන්තය සිදුවනු බැලීමට පැමිණි බවත් එක්තරා අවස්ථාවක එහි චිත්‍ර නිර්මාණයේ යෙදී සිටි සිත්තරෙකු තමන් පිටුපස සිටින්නේ තම අතවැසියා යැයි සිතා තමන්ගේ මුවේ තිබූ බුලත් හපය අතට ගෙන පිටුපසට දිගු කළ විට රජතුමා එය දෝතින්ම ගත් බවත් ඉන් බියපත් වූ සිත්තරා රජතුමාට වැද වැටුණු අවස්ථාවේ කලබල වෙන්න එපා මට ඕන ඔය වැඩේ හොඳටම කෙරෙන්න විතරයි කියා සිත්තරා සැනසූ බවත් පැවසෙනවා.

කෙසේ හෝ කන්ද උඩරට යුගයේ කලා ශිල්ප පිළිබඳව උනන්දුවක් පළ කරන ඕනෑම අයෙකුගේ මන දොල සපුරාලන මෙම පුදබිමට, කලාගාරයට යාමෙන් ඔබේ දැනුම් අත්දැකීම් සහ කලා රසාස්වාදය වඩාත් ඔප්නංවා ගත හැකි බවට කිසිදු සැකයක් නැහැ.





සහන් සංකල්ප සිල්වා

නැකත් 28 ම සිත්තමින් දැක ගත හැකි පැරණි පන්සලක්

අපේ ජන සාමාජයෙන් බහුතරයක් ‍ජ්‍යෙතිෂයෙන් එන නැකැත් හා ලග්න පලාපල විශ්වාස කරනවා. ඒ වගේම ජ්‍යෙතිෂයේ එන රාශි 12 රූප සටහන් වශයෙනුත් අපට හඳුනාගන්නට පුළුවන්. නමුත් ජ්‍යොතිෂයේ එන නැකැත් 28 රූප මාධ්‍යයෙන් දැක ගැනීමට බොහෝ දෙනෙකුට අවකාශ ලැබෙන්නේ නැහැ. එමෙන්ම එම නැකැත් රූප මාධ්‍යයෙන් ඉදිරිපත් කළ හැකි බවක්වත් අදත් බොහෝ දෙනෙකු දන්නේ නැහැ.

(නැකත් 28 චිත්‍රණය කොට ඇති අයුරු)

ඒ කෙසේ හෝ ජනාකීර්ණ කිරිබත්ගොඩ නගරයෙන් මඳ දුරක් යන විට හමුවන මාකොළ හන්දියෙන් හැරී තවත් කෙටිදුරක් තුල හමුවන ගලේ පන්සල හෙවත් සපුගස්කන්ද රජමහා විහාරයේ පැරණි බුදු මැදුරේ මෙම නැකත් 28 සහිත පැරණි සිත්තමක් දකින්න පුළුවන්.

මෙම ඉතිහාසගත තොරතුරුවලට අනුව මෙම බුදු මැදුර ඉදිකොට ඇත්තේ කන්ද උඩරට රාජ්‍යය කළ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (1707 -1739) විසින්. ජ්‍යෙතිෂය ඇදහීම සහ නැකැත් පිළිපැදීම මූලික බුදු සමය හා බද්ධ නොවූවත් මේ කියන කාලය වන විට වෛදික හින්දු සම්ප්‍රදායේ ජ්‍යෙතිෂය අපේ බුදු සසුන තුළට බරපතල ලෙස කාවැදී තිබුණා. ඒ සඳහා දැක්විය හැකි ප්‍රබලතම ඵෙතිහාසික නිදසුනක් තමයි මෙම විහාර චිත්‍රය. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු යුගයේ සිට ඉංග්‍රීසි යටත් විජිත යුගය දක්වා සියවස් එකහමාරක පමණ කාල පරාසයක් පුරා දිවයන බුද්ධ ප්‍රතිමා, දේවප්‍රතිමා සහ බිතිසිතුවම් මෙම විහාරය තුළ දැකගන්නට පුළුවන්.

ඒ වගේම චිත්‍ර සහ මූර්ති කලා ඉතිහාසය හදාරන්නවුන් හටත් අතිශය වැදගත් කලා නිකේතනයක් වන මෙම විහාරය තවත් අංග රැසකින් සමන්විත බව කිව යුතුයි. මෙහි විහාරාධිපති පූජ්‍ය දරනාගම සිරිඥාණසිරි හිමියන්ගේ අප්‍රතිහත ධෛරය නිසා මෙම පැරණි විහාරස්ථානය බොදු බැතිය වඩවන හා සිත්ගන්නා සුළු නවාංග රැසකින් අලංකෘත කර තිබෙනවා.

අවුකන බුද්ධ ප්‍රතිමාවේ අනුරුව සහ අසූ මහා ශ්‍රාවක බුද්ධ ප්‍රතිමා ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා. එනිසා තෙරුවන් නැමදීමට අමතරව මෙරට ශාසන ඉතිහාසය මහනුවර යුගයේ සිට චිත්‍ර සහ ප්‍රතිමා කලාවේ විකාශනය ආදිය පිළිබඳ අධ්‍යයනය කිරීමට කැමති ඔබ කාටත් පහසුවෙන් යා හැකි පුදබිමක් ලෙස මෙම සපුගස්කන්ද රජ මහා විහාරය හඳුන්වන්න පුළුවන්.

සටහන සහ ඡායාරූප -  සහන් සංකල්ප සිල්වා

ලොව එකම ගව අනාථාගාරය බලන්න යමු

අධික ජනගහනයකින් යුතු මහාමාර්ග සහ ප්‍රදේශ වල නිදැල්ලේ ගැවසෙන ගවයන් ප්‍රශ්නයක් වී ඇති බවට අද අමාත්‍යංශ මට්ටමින් පවා මැසිවිලි නැගෙනු අසන්නට පුළුවන්.

එහෙත් අපගේ ජන සංස්කෘතියට අනුව කෘෂිකර්මයේ යාව ජීව මිතුරා සහ පස්ගෝ රසය ලබා දෙන ගව සම්පත මස් පිණිස යොදා ගැනීම මිනිසත් බවට කිසිසේත්ම නොගැලපෙන්නක් බව කිවයුතුයි.  පොදුජනතාව තුළ බලපවත්වන  මරණයට කැප වූ ගවයන් නිදහස් කිරීමට මේ වන විට අප ජන සමාජයේ ප්‍රමුඛ තැනක් හිමිවී ඇතත් එසේ නිදහස් වන ගවයන්ට කුමක් සිදුවන්නේ ද යන්න පිළිබඳව විමසා බැලීමක් සිදු නොකිරීම විශාල අඩුපාඩුවක්.මේ සියළු ගැටළු අර්බුද වලට පොදු විසඳුමක් සැපයෙන ලෝකයේ ප්‍රථම හා එකම 'ගව අනාථාගාරය' වෙත ඔබ කැඳවාගෙන යාමටයි අද අපගේ සූදානම.

උඩවලවේ ජලාශය පසුකොට තණමල්විල දෙසට යන මා‍ර්ගයේ කිලෝමීටර් 05 ක් පමණ ගිය පසු හමුවන බෝධිය අද්දරින් දකුණ හැරෙන අතුරුපාර ඔස්සේ තවත් කිලෝමීටර් 03 ක් පමණ පසු කළ විට අක්කර 100 ක භූමි ප්‍රමාණයකින් යුත් ලෝකයේ එකම 'ගව අනාථාගාර' භූමියට පිවිසීමට ඔබට පුළුවන්.

ඇඹිලිපිටියෙන් මොරකැටිය පාරේ විත් මොරකැටිය හන්දියෙන් වමට හැරීමෙනුත් මෙම ස්ථානයට පැමිණිය හැකියි.

කෘෂිකර්මයේ මිනිසාගේ පරම උපකාරක මිත්‍රයා සහ පස්ගෝරසයෙන් මිනිසාට පෝෂණය ලබා දෙන ගව සම්පත මස් කඩයෙන් මුදා ගැනීමෙන් පසු  ඔවුන්ට නිසි ආරක්ෂණයක් ලබාදීම සඳහා  තිරසාර වැඩපිළිවෙලක අවශ්‍යතාව මුලින්ම වටහාගෙන ඇත්තේ රාමඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ‍ඕමල්පේ සෝභිත හිමියන් විසින්.ඒ අනුව මස් පිණිස ඝාතනය කිරීමට තිබිය දී ඉන් මුදා ගන්නා ගවයන්ට 'සැබැවින්ම' අභයදානය ප්‍රදානය කොට ඔවුන් රැක බලා ගැනීමේ වගකීම සියතට ගන් සෝභිත හිමියන් එම සතුන් නිශ්චිත ගිවිසුමක් යටතේ දැහැමි පවුල් භාරයට පත් කිරීම අරඹා ඇත්තේ 2004 වසරේ සිටයි.

එහි දී කිසිවෙකුගේ පිළිසරණක් නොමැති ගවයන් රඳවා තැබීමට සුදුසු ස්ථානයක අවශ්‍යතාව දැඩිව පැනනැගීම මත විදේශිය දාන පතියන්ගේ ආධාරයෙන් ලබාගත් සෙවනගල කොවුල්ආර අක්කර සීයක භූමි භාගයක මෙම අනාථාගාරය ස්ථාපිත කොට තිබෙනවා.2008  මාර්තු 05 වෙනිදා ගවයන් අසූ දෙනෙකු ගෙන් යුතුව ඇරඹූ මෙම අනාථාගාරයට පසුව එක්වූ  ගවයන් අතරින් නී‍රෝගී ගවයන් දසදහසකට ආසන්න ප්‍රමාණයක් විධිමත් ගිවිසුමක් යටතේ සෑම පසලොස්වකපොහොය දිනයකම දැහැමි පවුල් වෙත ලබා දීමත් විශේෂත්වයක්.

ඉන්පසුවද ඔවුන් පිළිබඳව අවධානය යොමු කිරීම අනිවාර්යෙන්ම සිදුකරනු ලබනවා. එමෙන්ම ගවයන් කෙරෙහි දැඩි භක්තිමත් හැඟීමක් ඇති යාපනය හා කිලිනොච්චි ප්‍රදේශ වල හින්දු පවුල් 800 ක් සඳහා ද මෙම ගවයන් ලබා දී ඇති බව පැවසෙනවා. ශිව දෙවියන්ගේ වාහනය වශයෙන් සලකා ගවයාට පූජනීයත්වයක් ආරෝපණය කරන හින්දු ආගමට අනුව ගව ඝාතනය බිහිසුණු පාපකර්මයක්.

පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් දියත් කළ මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන්නේ ඇඹිලිපිටිය  බෝධිරාජ මහා පිරුවණේ නියෝජ්‍ය පරිවෙණාධිපති පූජ්‍ය විජයවියේ විමල හිමිපාණන් විසින්.  

මේ වන විට ගවයන් 200 ක් පමණ මෙහි රැකවරණය ලබන අතර ඔවුන්ට දිනපතා පිටතින් තණ කොළ ගෙන ඒමට මුදල් අවශ්‍ය වන බවත් රෝගී ගවයන් සඳහා ප්‍රතිකාර ලබා දීමට තවත් මුදලක් වැය වන බවත් බෝධිරාජ පදනමේ ලේකම් අශෝක කන්නංගර මහතා පවසනවා.අසරණ සතුන් හට අභයදානය හිමි කරන අතරේ දැහැමි අසරණ පවුල් වල ආදායම සරු කිරීම සඳහා ද ඉවහල් වන මෙම මාහැඟි ව්‍යාපෘතිය සියැසින් දැක බලා ගැනීමටත් ඒ සඳහා ආධාර උපකාර කිරීමට සේම මරණයට කැප වී ඉන් මුදාගත් ගවයන්ට ජීවිතාන්තය දක්වා සැනසිලි දායක දිවි පෙවෙතක් ගත කිරීමට ඉඩ සලසමින් ඔවුන්  මෙම අනාථාගාරයට භාර දීමටත් ඔබට හැකියි. එමෙන්ම මෙම අනාථාගාරය සහ එහි ක්‍රියාකාරීත්වය දැක බලා ගැනීමේ පූර්ණ අවකාශයක් ද ඔබ සතු බව කිව යුතුමයි.

ඒ සඳහා මතු දැක්වෙන දුරකථන අංක ඔබට ප්‍රයෝජනයට ගත හැකියි.

  • විජයවියේ විමල හිමි,
    0755461025
     
  • අ‍ශෝක කන්නංගර මහතා,
    0776564124

මීට අමතරව මෙම ගව අනාථාගාරය නැරඹීමට හෝ මේ සඳහා ගවයන් භාර දීමට කැමති ඔබට 0773304932 අංකය යටතේ එම අනාථාගාර භාර කරු එස්.එච්.අමරසේන (ගම්බාර මහත්තයා) ඇමතීමටත් පුළුවන්.

 

දමයන්ති ගමගේ

 

කොළඹ නගරයේ සැඟවුණු කාක දූපතේ වෙරළ උද්‍යානය

කොළඹ නගරයේ උතුරු දෙසට වන්නට දූපතක් ඇතැයි කීවොත් සමහරවිට ඔබ පුදුමයට පත්වෙන්නත් පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් නමින් පමණක් අසා ඇති 'කාක දූපත' එවැනි කොළඹ නගරය තුළ ඇති කුඩා දූපතක්. මට්ටක්කුලිය මුහුදුවෙරළ ආශ්‍රිතව ඇල මාර්ගයකින් වෙන්වූ වෙනම බිම් කඩකටයි මේ 'කාක දූපත' කියන්නේ.
නමුත් මේ දූපතට යාම සඳහා බෝට්ටු වැනි යාත්‍රා අවශ්‍ය නැහැ. කුඩා පාළමක් පසුකිරීමෙන් මෙම දූපතට පැමිණිය හැකියි.. අතීතයේ බිහිසුණු අපරාධ,  නීති සහ සදාචාර විරෝධී ක්‍රියා බහුලව සිදුවූ මෙය සමුද්‍රාසන්න වන ලැහැබක්ව පැවැති සමයේ 'රීටා ජෝන්ස්' නම් ඉන්දීය රූමතිය කාමාතුරයන් අතින් කෙලෙසීමට ලක්කොට මරණයට පත් කළ පුවත තවමත් බොහෝ දෙනෙකුට අමතක නැහැ.

නමුත් අද වන විට මේ 'කාක දූපතේ' තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්. හිමිදිරි යාමයක හෝ සැන්දෑ සමයක කිසිදු බියක්, සැකක්, චකිතයක් නොමැතිව මුහුදු සුළඟ සිත් සේ ආඝ්‍රහණය කරගත හැකි සුන්දර වෙරළ උද්‍යානයක් අද මෙම 'කාක දූපත' තුළ පිහිටා තිබෙනවා.ලෝක බැංකුවේ සහන ණය ආධාර මත කොළඹ අගනගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධ අමාත්‍යංශය මගින් මෙම වෙරළබඩ උද්‍යානය ජනතා අයිතියට පවරා ඇත්තේ 2016 අප්‍රේල් 09 වෙනිදායි. එතැන් සිට අද දක්වා සිංහල, දෙමළ, මුස්ලිම්,බර්ගර්, බෞද්ධ, කිතුනු, හින්දු, ඉස්ලාම් ආදී විවිධ ජාති ආගම් වලට අයත් පිරිසක් දිනපතා පැමිණ එකට එක්වී විවේක සුවය විදින මෙම අපූරු බිම් කඩට නිරතුරුව පොලිස් ආරක්ෂාවද ලබා දී තිබෙනවා.

ඊට අමතරව මෙම ප්‍රදේශය ආශ්‍රිතව අතීතයේ සිදුවූ නීති විරෝධී ක්‍රියා මැඩලීම පිණිස විශේෂ පොලිස් ආරක්ෂක වැඩපිළිවෙලක්ද මෙහි ක්‍රියාත්මක වන අතර එනිසාම සොර මැරකම් ආදියේ ශීඝ්‍ර අඩුවීමක් දක්නට ලැබෙන බවයි කිව හැක්කේ.

එමෙන්ම විවේක කුටි, නැරඹුම් අට්ටාල, පදික මංපෙත් ආදියෙන් සහ  කුඩා දරුවන් උදෙසා සැකසුණු විශේෂ ක්‍රීඩා මණ්ඩප මගින්  මෙම වෙරළ තීරය අලංකාරවත් වීම විශේෂත්වයක්. ඊට අමතරව විවිධ ක්‍රීඩා භාණ්ඩ සහ අරුමෝසම් භාණ්ඩ මිලදී ගත හැකි වෙළඳ කුටි කිහිපයක් ද මෙහි දක්නට ලැබෙනවා.

 ඒ අනුව අගනුවර සහ ඒ අවට ජීවත් වෙන ඔබටත් පරිසර දූෂණයෙන් පිරුණු, කලබලකාරී නාගරික පරිසරයෙන් අත්මිදී මුහුදු තීරය අද්දර සුවදායී පෙරවරුවක් හෝ සැදෑ කාලයක් ගත කිරීමට මෙය ඉතා සුදුසු පරිසරයක් බවයි කිව හැක්කේ.



සටහන සහ ඡායාරූප - සහන් සංකල්ප සිල්වා

 

පරංගියා කෝට්ටේ යාමේදී පැන ගත් ගල් දෙබොක්කාව

“පරංගියා කෝට්ටේ ගියා වගෙයි“ යන පිරුළ අසා නොමැති කෙනෙක් අප ජන සමාජයේ නැති තරම්; නමුත් මේ පිරුළ ආවාට ගියාට ජන කරළියට 
පැමිණි එකක් නොවෙයි. මෙහි අතිශය ප්‍රබල ඓතිහාසික පසුබිමක් තිබෙනවා. ඒ වගේම පරංගියා කෝට්ටේ ගිය පාරේ යම් තැනක් වශයෙන් හඳුනා ගැණුනු යම් ස්ථානයක් අදත් දක්නට පුළුවන්. මෙය ඇත්තේ මාකොළ සපුගස්කන්ද රජමහා විහාරයේ ඇති ගල් පව්වක් ආශ්‍රිතවයි. 
කෝට්ටේ රජ කළ අටවන වීර පරාක්‍රම බාහු රජ සමයේ එනම් ක්‍රි.ව. 1505 දී පෘතුගීසීන් අප රටට පැමිණීම මෙරට ජන සමාජය කැළඹීමට ලක් කළ සිදුවීමක්. ඔවුන්ගේ ශරීර වර්ණය, කඩිසර ගතිපැවතුම්, කතාබහ ආදී සියල්ල නිසා මහත්සේ කලබලයට පත් වන රට වැසියන් රජ තුමාට ඒ පුවත සැලකරන්නේ යකඩ තොප්පි සහ පාවහන් පැළඳගත් තිරුවානා ගල් කමින් ‍ලේ බොන මිනිසුන් පිරිසක් කොළඹ වරායෙන් ගොඩ බැස ඇති බවකි. එමෙන්ම ඔවුන් රිදී දෙක තුන දෙමින් මසුන් මිලට ගන්නා බවත් රජතුමන්ට දන්වන මෙරට වැසියන් වැඩිදුරටත් පවසා හිඳිනුයේ හෙණ හඬටත් වඩා බිහිසුණු හඬ නගන කළු ගල් පවා පලා දැමිය හැකි තුවක්කු ද ඔවුන් සතු බවයි. 
මෙම ප්‍රවෘත්තියෙන් විස්මයට පත්වන ධර්මපරාක්‍රමබාහු රජතුමා එවක උඩුගම්‍පොළ රජ කරමින් සිටි තම පිය රජුට දාව සුළු මවගේ කුසින් උපන් සකල කලාවල්ලභ රජුට මේ බව දන්වා සිටිනුයේ රහසිගතව කොලොම් තොටට ගොස් එම අමුතු මිනිස් කොට්ඨාසය ගැන තොරතුරු දැනගෙන එන ලෙසයි. ඒ අනුව සකල කලාවල්ලභයන් එම තොරතුරු විමසා දැනට පෘතුගීසීන් හා සාමකාමීව කටයුතු කිරීමේ වැදගත්කම ධර්ම පරාක්‍රම රජතුමා හමුවේ පවසා හිඳිනවා. මේ ප්‍රවෘත්තිය  රාජාවලිය අලකේශ්වර යුද්ධය ආදී ඓතිහාසික කෘතීන්වල සඳහන් වෙනවා. කෙසේ හෝ ඉන්පසු රජතුමා පෘතුගීසි හමුදාවේ සෙනෙවියන් දෙදෙනෙකුට තමන් බැහැ දැකීමට එන මෙන් රජතුමන් ඉල්ලීමක් කරන අතර එම ගමන කොළඹ සිට කෝට්ටේ දක්වා වන සැබෑ ගමන් මග වසන් වන අන්දමින් සිදු කළ යුතු බවටද රජතුමා තම ඇමැතිවරුන්ට නියෝග කරනවා. ඒ අනුව කෝට්ටේ රජ වාසලෙන් කොලොම්තොටට යන නියෝජිතවරුන් එම පෘතුගීසි හමුදා නායකයන් වට රවුම් මං පෙතක් ඔස්සේ කෝට්ටේ රාජධානිය වෙත කැඳවාගෙන එනවා. ඓතිහාසික සහ පුරා විද්‍යාත්මක වශයෙන් තහවුරු වී නොමැති වුවත් එම ගමන කැලණි ගඟ තරණය කොට  දෙපස වූ වගුරු බිම ඔස්සේ වත්මන් කිරිබත්ගොඩ මාකොළ ඔස්සේ ගොස් නැවත කඩුවෙලින් කැලණි ගඟ තරණය කොට දියවන්නාව මග ඔස්සේ කෝට්ටේ රාජධානිය වෙත යොමු වූ බවයි පැවසෙන්නේ. මෙහිදී කොළඹ සිට කෝට්ටේ දක්වා යාමට කැලණි ගඟ තරණය කිරීමට අවශ්‍ය නොවූවත් මේ මාර්ගය ඔස්සේ කැලණි ගඟ දෙවරක්ම තරණය කිරීමට සිදුවීම විශේෂ සිදුවීමක්. එහිදී එම පෘතුගීසි සෙනෙවියන් දෙදෙනා රැගත් කෝට්ටේ රාජ්‍ය නියෝජිතවරුන් මාකොළ සපුගස්කන්ද රජමහා විහාර භූමියේ පිහිටි ගල් දෙබොක්කාවක් ද පසුකොට ඇත්තේ එම ගමන අතිශය දුෂ්කර එකක් බව පෘතුගීසීන්ට ඒත්තු ගැන්වීමටයි. එහෙත් රාජ සභාව හමුවට පැමිණි මෙම සෙනෙවි වරුන් දෙදෙනාට කොළඹ නැව් තොටින් අහස්ගත වූ පෘතුගීසි කාලතුවක්කු ප්‍රහාරයක් ඉතා හොඳින් ශ්‍රවණය වීම නිසා කෝට්ටේ රාජ්‍ය පාලකයන් තමන් රවටා ඇති බව පෘතුගීසීන් තේරුම් ගත් බවයි. ඓතිහාසික මූලාශ්‍රවල සඳහන් වන්නා ඒ කෙසේ හෝ මාකොළ පිහිටි සපුගස්කන්ද රජමහා විහාරයට හෙවත් ග‍ලේ පන්සලට පියමං කරන ඔබට  පරංගියාගේ කෝට්ටේ යාම පිළිබඳ මානව විද්‍යාත්මක සාධකයක් වන මෙම ගල් දෙබොක්කාව මනාව දැක ගන්නට පුළුවන්.
 


සහන් සංකල්ප සිල්වා 
 

අසිරිමත් එළියක් විහිදුවන දිවාගුහාවට යමු

IMAGEසමන් දෙවිඳුන්ගේ ඇරයුමෙන් සිරිපතුල පිහිටවීම සඳහා වැඩම කළ බුදුරජාණන් වහන්සේ සිරිපා හිමයේ දිවාගුහාව නම් ස්ථානයක දිවා විහරණය කළ පුවත අපගේ වංශකතාවල සඳහන් වෙනවා. නමුත් ඒ දිවාගුහාව පිහිටි ස්ථානය පිළිබඳ නිවැරදි නිශ්චයක් මේ දක්වාම නැහැ.

හැටන් නල්ලතන්නි ශ්‍රී පාද මාර්ගයේ සිරිපා හිමයේ සිට නල්ලතන්නිය දෙසට අඩි 500 ක පමණ පහලින් පිහිටා ඇති භගවා ලෙන හෙවත් නිශ්ශංකමල්ල ලෙන මෙම දිවා ගුහාව ලෙස ඇතැමුන් හඳුන්වනවා. ඊට අමතරව බලංගොඩ කල්තොට දක්වා වැටී ගත් මාවත ‍ඔස්සේ තන්ජන් තැන්න අද්දරින් දකුණට ගිය විට හමුවන කූරගල පර්වතයේ ඇති ස්ථානයකුත් මෙම දිවා ගුහාව ලෙස සමහරුන් නම් කොට තිබෙනවා.
 නමුත් අද වන විට දිවාගුහාව යනුවෙන් වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති ස්ථානයටයි අද අප ඔබව මෙසේ කැඳවාගෙන යාමට උත්සාහ කරන්නේ. කුරුවිට, එරත්න මාර්ගය ඔස්සේ කිලෝමීටර් 07 ක් පමණ ගිය විට හමුවන බටතොට හන්දියෙන් වමට හැරී නන්ද එල්ලාවල මාවත ඔස්සේ තවත් කිලෝමීටරයක දුරක් පසුකළ විට බටතොට කණිටු විදුහල දැකිය හැකියි. එම විදුහලේ ක්‍රීඩා පිටිය අද්දරින් වමට හැරෙන මාවත යොමු වී ඇත්තේ දැවැන්ත ගිරි කුලක් වෙතයි. එහි ඇති පුරාණ බටතොට ලෙන් විහාරයේ ඇති සුවිසල් ගල් ලෙන මෙම දිවා ගුහාව ලෙස අතිශයින් ප්‍රසිද්ධ වී තිබෙනවා.
මහනුවර යුගය දක්වාම බෞද්ධ ලෙන් විහාරයක්ව පැවැති මෙය පසු ක‍ලෙක මුළුමනින් වනගත වී තිබුණා. එහි අවසන්  ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකොට ඇත්තේ 1908 වසරේ බවයි එවකට අපට දැනගැනීමට ලැබුණේ. ඒ අනුව මීට හරියටම වසර 20 කට පෙර අප එහි යනවිට එම ගල්ලෙන මුළුමනින් වල් බිහිවී තිබූ අතර එහි තිබූ මහනුවර යුගයට අයත් සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ නේත්‍රා යුගල පවා කිසිවෙකු විසින් සාරා දමා තිබුණා. ඒ පිළිබඳව විමසුම් කළ අපට එහි ගම්වැසියෙකු කියා සිටියේ බුද්ධ ප්‍රතිමා වල නේත්‍රා ගමක් වෙත එල්ල වී තිබුණ හොත් ඉන් ගමට වස් වදින බව එවක ජනප්‍රියව තිබූ ජෝතිෂ්‍යය පත්‍රයක පළවී තිබූ බවයි. ඉන් පසුව එම ඛේදනීය වෘත්තාන්තය "බෞද්ධයන්ට බුදුපිළිම වලින් අපලයි - දිවා ගුහාවේ නේත්‍ර යුග්මය කියන කතාව" යන සිරස්තලයෙන් යුතුව 1998 ජනවාරි 04 වෙනිදා ලක්බිම ඉරිදා සංග්‍රහයේ ලිපියක් සම්පාදනය කිරීමට අපට හැකි වුණා.
(ලක්බිම ඉරිදා සංග්‍රහයේ  පළවු ලිපිය සහ  ඡායාරූප - මෙහි දකුණු පස ඇති ඡායාරූපයේ බුද්ධ ප්‍රතිමාවට කර තිබූ හානිය සටහන්ව තිබේ.)

ඉන්පසු එම පුවත දැකීමෙන් මහත් කම්පාවට පත් පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් ඒ පිළිබඳව දුරකථනය මගින් අප වෙතින් කරුණු විමසා සිටියා. එම ගල්ලෙනේ සිට රූපවාහිනී ධර්ම දේශනාවක් කිරීමට තමන් වහන්සේ අදහස් කරන බවද ‍සෝමහිමියන් අපට දන්වා සිටියා. ඒ අනුව උන්වහන්සේ ගේ එම ප්‍රකාශය එවක සුමති සමූහ ව්‍යාපාර සභාපතිනි මිලිනා සුමතිපාල මැතිණිය වෙත දැන්වීමෙන් පසුව එම ධර්ම දේශනාවේ සම්පූර්ණ බරපැන දැරීමට එතුමිය ඉදිරිපත් වුණා.

1998 වසරේ එම ගල්ලෙනේ දී පටිගත  කෙරුණු ධර්ම දේශනාව එම වස‍රේ වසරේ දුරුතු පෝදා ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රචාරය වීමත් සමඟ එම බටතොට ලෙන් විහාරය කෙරෙහි ජාතික මට්ටමේ අවධානයක් යොමු වුණා. ඊට පසුදා සිටම එම ස්ථානය නැරඹීමට දිනකට සිය දහස් ගණන් ජනතාව පැමිණෙන්නට පටන් ගත්තා. එම වැඩසටහන නිෂ්පාදනය කළේ ස්වාධීන ‍රූපවාහිනියේ විධායක නිශ්පාදක මහසෙන් මොරවක විසින්.කෙසේ හෝ මෙම බටතොට ලෙනේ ප්‍රධාන ගල්ලෙනෙහි ආකෘතිය සහ කැලණි රජ මහා විහාරයේ සෝලියුස් මෙන්දිස් සිත්තරාණන් සිතුවමට නැගූ දිවාගුහා චිත්‍රය අතර විස්මිත සමාන කමක් දකින්නට පුළුවන්. ඔහුගේ මනැසෙහි දිවාගුහාව සම්බන්ධ මෙවන් මනෝ රූපයක්ම මැවුණේ කෙසේ දැයි අපට සිතා ගත නොහැකියි.

කෙසේ හෝ  මේ වන විට මෙය වැඳුම් පිදුම් කළ යුතු  ස්ථාන කිහිපයකින් සමන්විට පින් බර පුදබිමක්.
මෙවර සිරිපා සමයේ මෙම බටතොට ලෙන පුරාණ විහාරයට පිවිසෙන ඔබට ඉතා චමත්කාර ජනක අත්දැකීම් රැසක් ලබන්නට පුළුවන්. මෙම සුවිසල් ගල්ලෙනෙහි එක් ස්වභාවික ආරුක්කුවක් තුළින් සිරිපා කඳුවැටිය ඉතා රමණීය ලෙස දිස්වන අතර ඇතැම් හිමිදිරි යාමයන් හි ශ්‍රී පාදය දෙසින් එන අමුතුම ආලෝක ප්‍රභවයකින් මෙම ගල්ලෙන පිරී යන අයුරු ඔබට දැක ගන්නට පුළුවන්. එය බුදුරැස් විහිදීමක් ලෙස අතීතයේ මෙම ප්‍රදේශයේ ගැමියන් සලකා ඇති බවත් අපට දැනගන්නට ලැබුණා. මේ අතර නිරතුරුවම පාහේ ඒ අවට අහස්තලයේ දේදුණු දැක ගැනීමට හැකිවීමත් එක්තරා විශේෂත්වයක්. ඇතැම් විට එ‍ලෙස එක්වර දේදුණු දෙක තුනක් පායා ‍තිබෙනු උව ඔබට දැක ගත හැකියි.

ඒ කෙසේ හෝ 1908 සිට 1998 දක්වා වසර 90 කාලයක් පාළු අඳුරේ ගිලී තිබූ මේ ඉපැරණි පින් බිම නැවත ආලෝකමත්ව ඇත්තේ බුදු සසුන මෙරට පවතින තාක් කල් යළි අඳුරේ ගිලී නොයන ලෙසයි.





තිලක් සේනාසිංහ

වන අලි ඇතුන් සිත් සේ දැකගත හැකි හක්වටුනාව ජලාශය

IMAGEශ්‍රී ලංකාවේ ජලාශ අතුරින් වැඩි ප්‍රසිද්ධියක් නැති; එහෙත් සොබා සොඳුරු බවින් පිරී ඉතිරී ගිය ජලාශයක් පිළිබඳව විස්තර කිරීමටයි අද අපේ සූදානම.

මේ ජලාශය පිළිබඳව අපට යළිත් සිහියට නැංවෙන්නේ ගල්ගමුවේ දළ පූට්ටුවා නම් සද්දන්තයාගේ ඝාතනයත් සමඟයි. මේ සද්දන්තයා ඇත් දළ සොරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කරගත් කහල්ල පල්ලෙකැලේ වන ජීවී රක්ෂිතය තුළයි.

1989 566 / 5 ගැසට් නිවේදනය මඟින් වනසතුන් සඳහා වෙන් කළ වන ජීවි කලාපයක් ලෙස 1989 වසරේ නම් කෙරුණු මෙහි වර්ග ප්‍රමාණය  අක්කර 6000 ක් පමණ වනවා. මේ වන කලාපය තුළ කුඩා වැව් කිහිපයක් දක්නට ලැබුණත් මීට ආශ්‍රිතව ඇති සුවිසල්ම දියවර වනුයේ අද අපේ විමසුමට ලක්වන 'හක්වටුණාව' ජලාශයයි.

වයඹ පළාතේ ඇති යෝජනා ක්‍රම අතරින් විශාලතම ජලාශයක් වන හක්වටුණාව වෙත කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ සිට අලි මං පෙතක් හෙවත් කොරිඩෝවක් සකස් කිරීමට යෝජනා වී තිබුණත් මේ දක්වා එය සාර්ථකව ක්‍රියාත්මක වී නැහැ. ඊට හේතුව එම ප්‍රදේශ ආශ්‍රිතව මේ වන විට ශීඝ්‍රයෙන් මිනිස් ජනාවාස බිහිවෙමින් තිබීමයි.මේ මිනිස් ජනාවාස වලින් බොහොමයක් අතීතයේ අලි ඇතුන් සඳහා වෙන්ව තිබූ මං පෙත් අවහිර වන සේ ඉදිකොට ඇති බව ඉතා පැහැදිළි කරුණක්. ඊට අමතරව 1970 වසරේ බලයට පත් සමගි පෙරමුණු රජය මගින් පොල්පිතිගම ප්‍රදේශයේ මඩහපොළයාය, වලගම්බාපුර, ඉරුදෙණියාය, බඹරගලයාය, තෙළඹු ඇල, මහපිටිය, රැකෑවල, ඇරැහැපොළ යාය, කට්ටම්බේරිය ආදී අතීතයේ වනයෙන් වැසී ගත් ප්‍රදේශවල ගොවි ජනාවාස බිහිකිරීමත් සමඟ වන අලින්ගේ ස්වභාවික වාසභූමි රැසක් අදවන විට ඔවුනට අහිමි වී තිබෙනවා. එහි පළමුව පදිංචි කරන ලද ජනපද වැසියන්ගේ දෙවන සහ තුන්වන පරම්පරාවල් මේ වන විට සොබාවික අලි මං පෙත් ආක්‍රමණය කොට මානව ජනාවාස ඉදිකොට ඇති බව ඉතා පැහැදිළි කරුණක්. ඒ කෙසේ හෝ මේ තත්ත්වය යටතේ අලි මිනිස් සහජීවන වැඩපිළිවෙලක් පිළිබඳව මේ දක්වාත් නිශ්චිත විසඳුමක් ඉදිරිපත් වී නැහැ.

මීට දශක තුනකටත් වැඩි කලක් තිස්සේ මේ සම්බන්ධයෙන් වත්මන් වනජීවි සහ බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් ගැමියන් තුළ ප්‍රසාදයක් නැත්තේ ඇමතිවරයා මිනිසුන් අමතක කොට අලින් පිළිබඳව සිතනවාය යන ඒකපාර්ශවීය සිතුවිල්ල නිසයි. එය පසුගිය මැතිවරණ වලදී ඔහුට දේශපාලනික අවාසියක් ගෙන දුන් බවට එහි වැසියන් අපි හා කීවා.

ඒ කෙසේ හෝ ඉබ්බාගමුව, කුඹුක්ගැටේ හරහා මඩගල්ල පාර ඔස්සේ  ගොස් එගොඩගම හන්දියෙන් හැරී තලා ‍කොළ වැව පාර ඔස්සේ හිමිදිරියක හෝ සන්ධ්‍යා යාමයක මෙම මනරම් පරිසර පද්ධතිය වෙත පියනගන ඔබට අදටත් එම ජලාශය ආශ්‍රිතව ජීවත්වන වන අලි ඇතුන් ඇතුළු ක්‍ෂීරපායින් සේම පක්‍ෂි, උරග සහ සමනල ආදී සොබාදහමේ මාහැගි උරුමයන් රැසක් නෙත් පුරා සිත් පුරා දැකබලා ගත හැකි වනවාට කිසිදු සැකයක් නැහැ.ඒ කෙසේ හෝ මෙම ප්‍රදේශයේ දැනට ඉදිවී ඇති මානව ජනාවාස ඒවායේ පදිංචි කරුවන්ට වන්දි ගෙවා හෝ ඉවත්කොට වසර සියදහස් ගණනක් තිස්සේ අලි ඇතුන් හිමිකරගෙන තිබූ ඔවුන්ගේ සාම්ප්‍රදායික උරුමය රැක දීම බුද්ධිමත් සමාජයක මාහැගි යුතුකමක් ලෙසයි අප දකින්නේ. එවිට ඔවුන්ට ලැබෙන ස්වභාවික රැකවරණය යටතේ දළ පූට්ටුවා වැනි සද්දන්තයන්ට ලක් වූ ඛේදනීය ඉරණම මදකින් හෝ අවමවනවාට සැක නැහැ.

 

සහන් සංකල්ප සිල්වා

පිදුරුතලාගල කඳු සෙවනේ සැඟවුණු මන්දාරම් නුවරට යමු

IMAGEපිදුරුතලාගල, ගෝනපිටිය, කබරගල සහ උඩගබ්බල යන කඳු පන්ති වලට මුවා වීම නිසා දවසේ වැඩි වේලාවක් අදුරු ස්වභාවයක් උසලන අපූරු ඉසව්වක් පිළිබඳවයි අද අපේ මේ විමසුම.

මේ ප්‍රදේශය හැඳින්වෙන්නේ මන්දාරම් නුවර යනුවෙන්. නුවරඑළි දිස්ත්‍රිකයට අයත් මේ ගම් පියසට  මහනුවරින්, රිකිල්ලගස්කඩ, පදියපැලැල්ල ඔස්සේ ඔබට පැමිණිය හැකියි. මේ මන්දාරම් නුවර නුවරඑළිය දිස්ත්‍රිකයට අයිති වුණත් සමශීතෝෂ්ණ දේශගුණයක් සහිත ගම්පියසක්.

සදාහරිත වන ගහනයකින් සහ දවසේ වැඩිම වේලාවක් මිහිදුමින් ගැවසුණු කඳු පන්තිවලට මැදි වූ මේ අපූරු පුරවරය කොළපතන ඇල්ල ඇතුළු සිඟිති දිය ඇලි කිහිපයකින් ද පොහොසත්.

මේ අපූරු පරිසරයට මහනුවර සිට වගේම නුවරඑළියේ සිටත් ළඟා වන්නට පුළුවන්. නුවරඑළියේ සිට මන්දාරම් නුවරට ඇති දුර කිලෝමීටර් 38 ක් පමණ වෙනවා.පිදුරුතලාගල පාමුල ඇති මීදුම් ගම්මානය ලෙස අතීතයේ සිට ප්‍රකට මෙය එකල 'මන්දාරම් පුරය' යනුවෙන් හැඳින්වූ බවත් මහනුවර රාජධානි යුගයේදී මෙය ඉතා බලගතු ශිව පූජකයෙකුගේ ග්‍රහණයට යටත් වී තිබූ බවත් පළමුවෙනි විමලධර්මසූරිය රජු ඒ ශිව පූජකයාගේ බලය බිඳ මේ පුරය බේරාගත් බවත් 'මන්දාරම්පුර පුවත' නම් ඵෙතිහාසික ග්‍රන්ථයේ සඳහන් හේන් සහ ආලින්දාකාර කුඹුරුවලින් ගහණ වූ මන්දාරම් පුර වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වන අතර පළිබෝධ නාශක ආදියෙන් නොකෙළෙසුණු සහල් සහ එළවළු මිලදී ගැනීම සඳහා මේ ප්‍රදේශය ඉතා සුදුසු බව කිව යුතුයි.තවමත් නාගරික ලක්ෂණ එක් නොවූ බෝධියක් මැදිකරගත්  මන්දාරම් නුවර කඩමණ්ඩිය පවා නිතර අඳුරු පැහැති මීදුමකින් වැසී යන අතර එහි ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළේ දවසේ වැ‍ඩිම වේලාවක් වෙළඳසල් තුළ විදුලි බුබුලු දැල්වීමට සිදුවන නිසා සෙසු ප්‍රදේශ වලට වඩා තමන්ගේ විදුලි බිල ඉහළ යන බවයි.
සාමාන්‍ය සංචාරකයන් මෙහි නොපැමිණියත් පරිසර සංචාරයේ නාමයෙන් මෙහි පැමිණෙන කණ්ඩායම් ‍මන්දාරම් නුවර විවිධ ස්ථාන වල රාත්‍රී කඳවුරු ඉදිකොට බීමත්ව අශීලාචාර ලෙස හැසිරෙන බව පවසන මෙහි ගැමියන් ඒ පිළිබඳව කතා කරන්නේ දැඩි නොසතුටකින්. ඒ අනුව ඔවුන්ගේ සදා  හරිත නිසල ගැමි වන පියස නාගරීකරනයෙන් වැනසෙනවාට දැඩි සේ අකමැති ඔවුන් එවැනි සංචාරකයන් මෙහි පැමිණෙනවාට වඩා නොපැමිණෙනවා නම් හොඳ යැයි අප හා පවසා සිටියා.එමෙන්ම මන්දාරම් පුර ආශ්‍රිතව දැනට ඉදිවෙමින් පවතින කුඩා ජල විදුලි බලා ගාර නිසා ප්‍රදේශයේ ජල මූලාශ්‍ර වලට අයහපත් බලපෑම් සිදුවී ඇති අතර එය ප්‍රදේශයේ ජෛව විවිධත්වයට බලපෑම් ඇති කරන බවත්  එමගින් තමන්ගේ කෘෂිකාර්මික ජන ජීවිතයට ද බාදා පැමිණ ඇති බවත් පවසන එහි ගොවි ජනතාව පිදුරුතලාගල ඇතුළු කඳු වැටි හැරුණු කොට තමන් දෙස බලන වෙන කිසිවෙකුත් නොමැති බවයි අප හා සිනාසෙමින් කියා සිටියේ. එමෙන්ම වතු ආශ්‍රිත ද්‍රවිඩ ජනතාව හැරුණු කොට සිංහල බෞද්ධ ජනතාවක් වෙසෙන මන්දාරම් නුවර ජනසමාජය තුළ ගුප්ත විශ්වාස තවමත් ශේෂව පවතින බව මේ ගමනේ දී අපිට මැනවින් වැටහීගියා. ඒ කෙසේ හෝ ශ්‍රී ලංකාවේ සෑම පෙදෙසකම ස්භාසෞන්දර්ය නරඹන ඔබට මෙම මන්දාරම් පුරයෙන් ලැබෙන සුවිශේෂ අත්දැකීම අප රටේ වෙන කවර හෝ ස්ථානයක දී ලැබිය හැකි දැයි අපටනම් සිතා ගැනීමටවත් බැහැ.


බොහෝ දෙනෙක් නොදත් සොදුරු පාරාදීසය ඇල්ල කපොල්ල

ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් නොදත් සොබා සොදුරු බවින් අනූන ස්ථාන රැසක් තිබෙනවා. ඒවා අතරින් ඇල්ල කපොල්ලට හිමි වන්නේ මුල් තැනක්. රාවණා ඇල්ල, රාවණා ගුහාව ආදී ස්ථාන පිළිබඳව බොහෝ දෙනෙක් දැන සිටියත් ඒ ඉසව්වේම ඇති ඇල්ල කපොල්ලේ ආශ්චර්යවත් දර්ශනය ගැන බොහෝ දෙනෙකු තවමත් දැනුවත් නැහැ. නමුත් අතීතයේ වතු වගාවේ යෙදුණු යුරෝපීයයන් මේ ඇල්ල කපොල්ලේ අසිරිය සිත් සේ විඳගත් බවට සාක්ෂි ‍තිබෙනවා. එනිසාම අදත් ඇල්ල විදේශීය සංචාරකයන්ගේ පාරාදීසයක්.

උඩරට දුම්රිය මාර්ගයේ හීල් ඔය සහ ඇල්ල දුම්රිය ස්ථාන අතර ඇති කිතල් ඇල්ල ප්‍රදේශයට මේ ආශ්චර්යමත් දර්ශනය දැක ගන්න පුළුවන්. ඒ වගේම මෙහි චමත්කාරය වඩාත් සිත් සේ විඳ ගැනීමට නම් ඇල්ල දුම්රිය ස්ථානයෙන් බැස මීටර් 500 ක් පමණ ආපසු පැමිණ එතනදී හමුවන කළු පාලම අද්දරින් ඇල්ල ගල කන්ද තරණය කළ යුතුයි. අඩි 500 ක පමණ උසක් මෙසේ තරණය කළ විට රාවණා ඇල්ල ගලා බසින ඇල්ලේ ගලේ සිට සිරිලක් දිවයිනේ දකුණු පළාතේ විශාල ප්‍රදේශයක් සිත් සේ දැක බලා ගත හැකියි. ඌව පළාතේ සිට දකුණු පළාත දැක ගත හැකි කදිම ඉසව්වක් ලෙස මේ ඇල්ල කපොල්ල හැඳින්වෙනවා. නමුත් මිහිදුමින් යුතු කාලයට ඒ කිසිවක් නෙත නොගැටුණත් හාත් පස ඇති සොබා සෞන්දර්යෙන් ඔබේ සිත් සතන් වසඟ වනවාට සැක නැහැ.

පුංචි ශ්‍රී පාදය නමින් හැඳින්වෙන කඳුගැටයක් මේ ආසන්නයේ තිබෙනවා. එය පිහිටා ඇත්තේ ඇල්ල බල්ලකෙටුව හරහා නමුණුකුල මාර්ගය ආසන්නයේයි.

මේ කඳු පන්තිය මුහුදු මට්ටමේ සිට අඩි 5000 ක් පමණ උසින් යුතු බවයි පැවසෙන්නේ.

පැහැදිළි අහස සහිත දිනවලදී මේ ඇල්ල කපොල්ලේ සිට දකුණු ලකේ තිස්සමහාරාමය දාගැබ පවා දිස්වන බවට ප්‍රදේශ වාසීන් පවසනවා. ඒ කෙසේ හෝ මේ අසිරිමත් දසුන් සිත්සේ නෙතට හසුකර ගැනීමට නම් දුර දක්නයක් භාවිතා කළ යුතු වෙනවා.‍

මෙම ඇල්ල නගරයෙන් ශීඝ්‍රාකාර බෑවුමක් ඔස්සේ පහතට වැටෙන මාර්ගය පහළ ඌවේ ප්‍රධාන නගරයක් වන වැල්ලවාය දක්වා විහිද යනවා. ඇල්ල නගරයෙන් විහිදෙන අනෙක් මාර්ගය නමුණුකුල පස්සර ඔස්සේ බදුල්ල දක්වා විහිදයන අතර ඇල්ල ප්‍රදේශයේ සොබා සොඳුරුබව රසවිඳින ඔබට නවාතැන් පහසුව පිළිබඳව නම් කිසිදු ගැටළුවක් ඇතිවන්නේ නැහැ. ඊට හේතුව මෙම ඇල්ල ප්‍රදේශය විදෙස් සංචාරකයන්ගේ සිත් වසඟ කරවන සොබාදහමේ පාරාදීසයක් වීමයි. මෙහි විවිධ මිල ගණන් යටතේ නවාතැන් පොළවල් රැසක් තිබෙනවා.

මෙම සුන්දර ගමනාන්තය සඳහා අගනුවර සිට වාහනයකින් පැමිණෙනවා නම් රත්නපුර බලන්ගොඩ හරහා කුඹල්වල හන්දිය ඔස්සේ මෙහි ළඟාවීමට පුළුවන්. මේ ඇල්ල ප්‍රදේශය සහ රාවණා රජු අතර ඇති ජනප්‍රවාද ශීඝ්‍රයෙන් අභාවයට යමින් පවතින අතර ඒවා පිළිබඳව අධ්‍යයනය කරන්නවුන්ට වුවද මේ ඇල්ල ප්‍රදේශය කදිම ගමනාන්තයක් බව කිව යුතුයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ පිරිසිදු වාතාශ්‍රය සහිත ප්‍රදේශ අතරින් මෙම ඇල්ල ප්‍රදේශය මුල් තැනක් ගන්නා බවත් මෑතක දී සිදුකරනු ලැබූ පාරිසරික අධ්‍යනයකින් සනාථ වී තිබෙනවා.


 

සහන් සංකල්ප සිල්වා

දුම්බර කඳුවැටියේ සොභාදම් රජදහන පිටවල පතනට යමු

ශ්‍රී ලංකාවේ දක්නට ඇති අසිරිමත් ස්වභාවික පරිසර පද්ධතීන් අතර පතන් වලට හිමිවන්නේ විශේෂ තැනක් ඒ පතන් අතරිනුත් මාතලේ දිස්ත්‍රිකයේ නකල්ස්; දුම්බර කඳුපන්තියට අයත් පිටවල පතන අපේ රටේ විතරක් නොවේ ජාත්‍යන්තර වශයෙනුත් ප්‍රසිද්ධියක් උසුලන අගනා පරිසර පද්ධතියක්. පතන යන්නෙන් අදහස් වන්නේ කඳු වළල්ලකට මැදි වූ තැනිතලා ප්‍රදේශයක්.

නකල්ස් කඳු වලල්ලට මැදිව පිහිටි සුවිසල් තැනිතලා ප්‍රදේශයක් වන පිටවල පතන පතන යන්නට දිය හැකි විශිෂ්ට උදාරණයක්. මුළුමනින් කලුගල් තලාවක් වන මේ පතන් බිමේ ඇත්තේ අගල් කිහිපයට සීමා වුණු තුනී පස් තට්ටුවක් විතරයි. එනිසා මෙහි කිසිම උස් ශාකයක් වැඩෙන්නේ නැහැ. බොහෝ විට මේ පතන් වල දැකිය හැක්කේ තෘණ පඳුරු පමණයි. වැසි කාලයට මෙම ගල්තලාව මතට නොමදවම ලැබෙන ජලයෙන් පෝෂණය වීම නිසා පිටවල පතන ජෛව විවිධත්වයෙන් අනූන පරිසර කලාපයක් ලෙස ප්‍රසිද්ධයි.

දැනට අධ්‍යාපනික පර්යේෂණ සහ සංරක්ෂණ කලාපයක් ලෙස නම් කොට ඇති මෙය මුළු මනින් වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පවතින පරිසර පද්ධතියක්. පිටවල පතනට පමණක් සීමා වූ 'පතන් අල' මෙලොව වෙන කිසිදු තැනකින් දක්නට නොලැබෙන බව පැවසෙනවා. ජූලි, අගෝස්තු, සැප්තැම්බර් ආදී මාස වල පවතින නියඟය නිසා මුළු පිටවල පතනම වියලි බවට පත්වන අතර එහිදී මේ පතන් අල ශාකයද මුළු මනින් වියලී ගියත් නැවත ඊසාන දිග මෝසම් වරුෂාවත් සමඟ එම අල වලින් නැවත එම ශාකය වැඩෙනවා. ඊට අමතරව කඳුලැස්ස, නිල්මොණරැස්ස, වටැස්ස ආදී දුර්ලභ ශාක සහ දුම්බර ගල්පර මැඩියා ආදී දුලභ සතුන් මේ අගනා පරිසර පද්ධතියේ දී ඔබට දැක ගන්නට පුළුවන්.

පිටවල, රත්කින්ද,ඇටැන්වල ආදී ගම්මාන ආශ්‍රිතව පිහිටා ඇති පිටවල පතනට මානිගල ඇතුළු කඳුවැටි මනාව දර්ශනය වෙනවා. එමෙන්ම වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සැරිසරන අලි ඇත්තු වියළි කාල වලදී මෙම පතන් බිමේ දී දැකගන්නට පුළුවන්. මෙම පිටවල පතනේ කෙලවරක් ප්‍රපාතයකින් නිමාවට පත් වන අතර එය හැඳින්වෙන්නේ පුංචි ලෝකාන්තය නමින්. මුහුදු මට්ටමින් අඩි 4000 ක් පමණ උසින් පිහිටි මෙහි වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 පමණ වනවා. එමෙන්ම දුම්බර ප්‍රදේශයට ආවේනික ‍මිහිදුම ඇතැම් උදේ සහ රාත්‍රී කාලවල මේ පිටවල පතන මුළුමනින් වැළඳගෙන සිටිනු දක්නට පුළුවන්.

නමුත් මෑත කාලයේ සිට අප ර‍ටට බලපාන දේශගුණික විසමතාවයන් නිසා මේ පිටවල පතනත් දැඩි නියගයන්ට ගොඳුරුවූ බව කණගාටුවෙන් වුවද කිව යුතුයි. නමුත් වැසි කාලවලදී ජල මූලාශ්‍ර රැසකින් පෝෂණය වන මේ පිටවල පතන අප ‍රටේ ඇති ස්වබාවදමේ විශිෂ්ටතම තිළිණයක් බව කිව යුතුමයි.

නමුත් අනවසර වගා කරුවන්ගෙන් සහ පරිසරය කෙරෙහි තැකීමක් නොමැති දේශීය සංචාරකයන්ගෙන් මේ පරිසර කලාපයට සිදුවන හානිය අවමකොට මෙය රැක ගැනීම අපකාගේත් මහඟු යුතු කමක්. මාතලේ සිට රත්තොට නගරයට පැමිණ කිලෝමීටර් 15 ක දුෂ්කර මංපෙතක් ඔස්සේ පැමිණ රිවස්ටන් සම්ප්‍රේෂණ කුළුන මාර්ගය ඔස්සේ ඔබට මෙහි ළඟා විය හැකියි. නමුත් මිහිකතට අමිල මෙහෙවරක් ඉටුකරන මෙවන් පරිසර පද්ධතීන් වලට කිසිදු අයහපත් බලපෑමක් සිදු නොකිරීම මෙහි එන ඔබ කාගේත් වගකීමක් බවද නොකියාම බැහැ.

සහන් සංකල්ප සිල්වා

දළඳා හිමි සඟවා තැබූ මාලිගාතැන්නට යමු

මාලිගාතැන්න යන නම සහිත ස්ථාන අපේ රටේ බොහෝ ප්‍රදේශ වලින් හමුවනවා. ඒ අතරින් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් මාලිගාතැන්න ට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. මාලිගාතැන්න යනුවෙන් පැවසීමේ දී මාලිගාවක් ඇති බව හැඟුණත් එනමින් බොහෝ විට විස්තර වන්නේ එවන් ස්ථාන වල පැරණි රජ කෙනෙකුගේ තාවකාලික වාසස්ථානයක් තිබූ බවයි. පැරණි රජ වරුන් සහපිරිවරින් දුර ගමන් යන අවස්ථාවලදී විවේක ගන්නා ස්ථාන වල ඉදිකරනු ලබන තාවකාලික නිවහන් හැඳින්වූයේ 'ගමන් මාලිගාව' යනුවෙන්. නමුත් මේ මාලිගාතැන්නේ පිහිටීම අනුව අතීතයේ රජදරුවන් කිහිප දෙනෙකුම ස්ථිරව හෝ තාවකාලිකව මෙහි වාසය කළ බව ඕනෑම කෙනෙකුට ඒත්තු යනවා. ඒ අතරින් වළගම්බා රජු මෙහි වාසය කළ බව සාධාරණ ලෙස ඒත්තු යනුයේ ඒ අවට ඇති පිළිකුත්තුව සහ වාරණ යන ලෙන් විහාර ආශ්‍රිතව බ්‍රාක්මීය අකුරින් ලියැවුණු ලෙන් ලිපි හමුවන නිසයි.

මේ මාලිගාතැන්න සම්බන්ධ තවත් සුවිශේෂත්වයක් වන්නේ මෙහි දළඳා වහන්සේ තාවකාලිකව වඩා හිඳවූ බවට පත්නා විශ්වාසය නිසයි. කෝට්ටේ යුගයේ සිටි හිරිපිටියේ රාළ නම් ඒකනායක පරපුරේ දියවඩන නිලමේවරයෙකුට 'කොට්ටේ කලාලේ දත මැදගන් රාළේ' යනුවෙන් සිහිනයෙන් ලැබුණු පණිවුඩයක් මත පෘතුගීසීන්ගෙන් දළදා වහන්සේ ආරක්ෂා කර ගැනීම පිණිස සීතාවක රජ කළ මායාදුන්නේ රජුට බාර දුන් බව ප්‍රකට කරුණක්.

කෝට්ටේ රාජධානියෙන් දළඳාව සීතාවක රාජ්‍යයට අයත් කුරුවිට දෙල්ගමුව රජමහාවිහාරයට වැඩම වන තුරු මෙම මාලිගාතැන්නේ වඩාහිඳවූ බවත් එහිදී නිරතුවම දළඳා වහන්සේට පිඳුම් දුන් බවත් ඉන් පසුවද දළඳා වහන්සේ වඩාහිඳුවා තිබූ එම පර්වත මස්ථකයට පුෂ්පෝපහාර පැවැත්වූ බවත් ජනශ්‍රැතියෙහි සඳහන් වෙනවා. එසේ පුෂ්පෝපහාර පැවැත්වීම සඳහා මල් වැවූ ප්‍රදේශය හිරිපිටියේ රාළගේ නම ද එක්කොට 'මල්වතු හිරිපිටිය' යනුවෙන් නම් කළ බවත් එම ප්‍රදේශය අද ද එනමින්ම හැඳින්වෙන බවත් ප්‍රකට කරුණක්.කොළඹ නුවර ‍ප්‍රධාන මාර්ගයේ ගම්පහ, මිරිස්වත්ත හන්දියෙන් වමට හැරී කිලෝ මීටර් පහක් පමණ ගිය විට ගම්පහ දිසාවේ සුවිසල්ම වන ගහනයක් සහිත පිළිකුත්තුව රජ මහ විහාරය හමුවෙනවා. පැරණි බ්‍රාහ්මීය සෙල්ලිපි සහිත මෙම පුදබිමේ සිට තවත් මීටර් 500 ක් පමණ ගිය විට මෙම මාලිගාතැන්නට පිවිසිය හැකියි. සුවිසල් ගල් පර්වතයක පිහිටා ඇති මෙම මාලිගා තැන්නෙහි පහළ කොටස දැන් 1924 වසරේ සිට ආරන්‍ය සේනාසනයක් ලෙස ප්‍රකට වී තිබෙනවා. එම සේනාසනය පසුකොට දුර්ග මාර්ගයක් ඔස්සේ කඳු මුදුනට පිවිසෙන ඔබට ඉතා රමණීය වටපිටාවක් දැක ගන්නට පුළුවන්. මෙම දුර්ග මාර්ගය ඔස්සේ ගමන් කිරීමේ දී සුවිශේෂ පිහිටීමක් වන ගල් දෙබොක්කාවක් මැද්දෙන්ද ඔබට ගමන් කිරීමට සිදුවෙනවා. අතීතයේ එක්තරා අවස්ථාවක මෙම ගල් දෙබොක්කාව මැදින් ගමන් කළ ඇතෙකු එහි සිරවී මිය ගිය පුවතක් එම ප්‍රදේශයේ පැරැන්නන් අතර අදත් ප්‍රචලිතව පවතිනවා.පියසේන නිශ්ශංක ශූරීන් ලියූ පසුව සිනමාවට ද නැගූ 'වදුල' නවකතාවට පසුබිම් වී ඇත්තේ මෙම මාලිගාතැන්න කඳු ආශ්‍රිත ගැමි පරිසරයයි.

පහතට රට තෙත් කලාපයට ආවේණික ස්වභාවික වෘක්ෂලතාදියෙන් බහුල මෙම මා හැඟි පරිසර පද්ධතිය වන සංහාරකයන්ගේ හා පුරාවස්තු සංහාරකයන්ගේ ගොදුරු බිමක් බවට පත්වීම කණගාටුවට කරුණක්.

ඒ කෙසේ හෝ කෑමට යමක් සහ බීමට ජලය රැගෙන පැය කිහිපයක විවේකය අත්විඳීමට කැමති ඔබට මේ මාලිගාතැන්න කදිම එක් දින චාරිකා ගමනාන්තයක් වනවාට සැක නැහැ.  නමුත් මෙහිදී පොලිතින් ප්ලාස්ටික් ආදී පරිසරයට අහිතකර ද්‍රව්‍ය කිසිවක් මෙහි නොහෙලා යාම ඔබ සතු යුතුකමක් සහ වගකීමක් බවද කිවයුතුමයි.

සහන් සංකල්ප සිල්වා

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 2006

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1096

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 5106

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 2936

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 5020

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 6247

Please publish modules in offcanvas position.