Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

යහපාලන ජාතික ආණ්ඩුව ඇතුළේ පුපුරා ගිය දේශපාලන අර්බුදයක් හේතුවෙන් අධිකරන හා බුද්ධ ශාසන ඇමැතිවරයා නොබෝදා ධුරයෙන් පහ කරන විට ඒ සිදුවීම හා බැඳුණු  නව දිශානතියක තවත් දේශපාලන අන්දරයක්ද සමාජය තුළ පැතිර ගියේය. ජනමාධ්‍ය ඔස්සේ පවා විවෘතව දිග හැරුණු මේ කතාන්දරයට ඉහළම බර තැබිමක් දේශපාලන ලෝකයෙහි හිමිවනු පෙනුණේ රටේ ජනතාවද ඒ ගැන තැන නොතැන නොබලා කතාබහ කරන්නට වූ විටය. ධුරයෙන් ඉවත් කෙරුණු හිටපු අධිකරණ හා බුද්ධශාසන ඇමැතිවරයා ඉදිරි ජනපතිවරණයකදී ‍පොදු අපේක්ෂකයෙකු ලෙස දේශපාලන කරළියට පැමිණේවිද යන කුතුහලයෙන් පිරුණු දේශපාලන පුවත එම කාරණාවයි. මෙරට සිටින කීර්තිමත් හා කෘතහස්ත නීතිවේදියෙකුලෙස සමාජයේ ඉහළම ජනප්‍රසාදයක් දිනාගෙන සිටින උගතෙකු හා බුද්ධිමතෙකු වන හිටපු අධිකරණ ඇමැතිවරයාට ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට  ඇති අයිතියට හා සුදුසුකමට කිසිවෙකුටත් අබියෝග කළ නොහැකිය. ඒ මන්දයත් ඔහුට තරම් ඉහළ ප්‍රවීණ  සුදුසුකම් නොතිබූ අය පවා වසර 35ක පසුගිය අතීතය තුළ ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත්ව තිබෙන බැවිනි. මෙරට දේශපාලන ධුරාවලියෙහි ඉහළම තනතුර වන ජනාධිපති පදවියට තරග කිරීම සඳහා අවශ්‍යවන  මූලික අපේක්ෂක සුදුසුකම් පිළිබඳව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(1) හා (2) වැනි උප වගන්තිවලත්, 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ ඡන්ද විමසීම් (විශේෂ) විධි විධාන පනතෙහි 11 වැනි වගන්තියෙහිත් පැහැදිලිවම දක්වා තිබේ. එකී සුදුසුකම් සපුරාලීමට හැකි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට එම තනතුරට තරඟ කිරීම සඳහා ඉදිරිපත්වීමට නීතියෙන් පිළිගත් වලංගු ප්‍රජාතන්ත්‍රික අයිතිවාසිකමක් තිබේ. එසේ ඉදිරිපත්වන අපේක්ෂකයගේ දේශපාලන පෞරුෂත්වය වැඩෙන්නේ ඔහුට සමාජයේ තිබෙන පිළිගැනීම, ගෞරවය හා වටිනාකම වඩාත් ඉහළ යන විටය. හිටපු අධිකරණ ඇමැතිවරයා වටා නොබෝදා  ගෙතී රට වටා සීඝ්‍රයෙන් පැතිරී ගිය හදිසි දේශපාලන පුවතටද වැඩි සමාජ වටිනාකමක් නිතැතින්ම ආරෝපණය වූයේ මේ පසුබිම තුළය.

එහෙත්, දේශපාලනික වශයෙන් වඩාත් සංවාදයට බඳුන් කළ යුතු විවාදපන්න කාරණය වන්නේ එසේ ජනපතිවරණයකට සූදානම් කරවන ‍පොදු අපේක්ෂකයා කවුරුන්ද, ඔහුට ඊට ඇති සුදුසුකම් මොනවාද, ඔහුගේ දේශපාලන දර්ශනය හෝ අභිලාශය කුමක්ද යන කරුණු නොව ශක්තිමත් හා සංකීර්ණ දේශපාලන පක්ෂ පද්ධතියක් පවතින අපේ රටේ ප්‍රධාන පුරවැසියා තෝරන මැතිවරණය සඳහා වසර ගණනාවක් කල්තියාම ‍පොදු අපේක්ෂකයන් සොයා යෑමට තිබෙන සැබෑ අවශ්‍යතාවය කුමක්ද යන්නයි. ආසියාවේ සෙසු බොහෝ රටවල් අසාවත් නොතිබුණු තරම් ඈත යුගයක 1931 දී සර්වජන ඡන්ද අයිතිය දිනාගත් අපේ රටෙහි ඊට නොදවෛනි අභිමානවත් ඉතිහාසයක් දේශපාලන පක්ෂ ක්‍රමයටද තිබේ.  1935 දී මෙරට මුල්ම දේශපාලන පක්ෂය බිහි වූ දා සිට 2010 දක්වා ගෙවිගිය වසර 75 ක කාලය තුළ පැවැති පාර්ලිමේන්තු  ජනධිපති ජනමත හා පළාත් සභා මැතිවරණ වෙනුවෙන් කලින් කලට ඉදිරිපත් වී තරගවැදී තිබෙන මුළු දේශපාලන පක්ෂ සංඛ්‍යාව 115කි. 2010 න් පසුව මේ දක්වාද තවත් දේශපාලන පක්ෂ ගණනාවක් මෙම ලැයිස්තුවට අලුතින් එකතු වී තිබේ. අපේ දේශපාලන පක්ෂ ක්‍රමය කෙතරම් වැඩි අතුපතර විහිදී ගොස් තිබේද යන්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් වර්තමානයේ වලංගු ලෙස පිළිගෙන ඇති දේශපාලන පක්ෂ ලැයිස්තුවෙහි පක්ෂ 67 ක්ම තිබිමෙන් පැහැදිලිවෙයි. ඇමෙරිකාව, බටහිර යුරෝපය වැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා  නොමැති තරමේ අති විශාල දේශපාලන පක්ෂ ගණනකින් ලාංකීය දේශපාලන කෙත සරුවට ‍පොහොණවී  ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මෙබඳු පසුබිමක් තුළ දේශපාලන පක්ෂ ක්‍රමයේ අභිමානය ඉහළින්ම හුවා තැබිය හැක්කේ ජාතික මැතිවරණ සඳහා ඔවුන් දක්වන ප්‍රශස්ත දායකත්වය තුළය. ඒ වෙනුවෙන් සමාජය ‍පොදුවේ පිළිගන්නා හා ඉහළින්ම වැළඳ ගන්නා නියම ජනතාවාදී අපේක්ෂකයන් ඉදිරිපත් කරවීමට ඔවුන්ට ඇති හැකියාව හා අවස්ථාව තුළය.  මෙහිලා වැඩිවගකීම ඇත්තේ එ.ජා.ප.යත්, ශ්‍රීල.නි.ප.යත් යන රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටය. ඒ ජනාධිපතිවරණයකදී සැබෑ සටන ඇත්තේ මෙම පක්ෂ දෙක අතරෙහි වන බැවිනි. ජාතික මැතිවරණයකදී වැඩි දෙයක් කිරීමේ දේශපාලන  ශක්නුතාවයෙන් හෙබි එකම බලවේ දෙකද මෙම පාර්ශ්වයන් පමණක් වන බැවිනි. එහෙයින් ඉදිරි ජනාධිපතිවරණයකට වඩාත් සුදුසු අපේක්ෂකයෙකු සූදානම් කරවීමේ වැඩි වගකීම හා කාර්යභාරය පැවැරෙන්නේද මෙම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වෙතය.

ජනාධිපතිවරණයක් සඳහා වන ‍පොදු අපේක්ෂක සංකල්පය අපේ දේශපාලන සමාජයට ආගන්තුක දෙයකි. මක්නිසාද යත් දේශපාලන නිදහස දිනූ දා සිට මේ දක්වා අඛණ්ඩවම අපේ රටේ ජනතාව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මත පදනම් වූ තට්ටුමාරු පාලන ක්‍රමයක් සඳහා දිගින් දිගටම හුරුපුරුදු වී සිටි බැවිනි. ඒ සඳහා ඔවුන්ගෙන් සාතිශ්‍ය බහුතරය හැමැදාමත් ඡන්දය පාවිච්චි කොට ඇති බැවිනි. ‍පොදු අපේක්ෂක සංකල්පයෙන් තොරව අවසන්වරට මෙරට පැවැති අතිශය දේශපාලන සංකීර්ණභාවයකින් යුතු පසුගිය 2015 අවසන් මහා මැතිවරණයේදි පවා රටේ ඡන්ද දායකයන්ගෙන් 88ක් වූ සාතිශය බහුතරය ඡන්දය දී තිබුණේ මෙම ප්‍රධාන පක්ෂ දෙකට වීමෙන් මෙම තර්කය තවත් සනාථ වෙයි. අනෙක් අතට, විධායක ජනාධිපතිධුරය රටට හඳුන්වා දී වසර 28ක් යන තුරුම ‍පොදු අපේක්ෂකත්වය යන්න  මෙරට දේශපාලනයට නුහුරු නුපුරුදු දෙයක් විය.  1982 - 2005 දක්වා පැවැති සෑම ජනාධිපතිවරණයකටම ප්‍රධාන ප්‍රතිවාදීන් ලෙස තරගවැදී තිබුණේ එ.ජා.ප.යේත්, ශ්‍රීල.නි.ප.යේත් අපේක්ෂකයන්ය. එකල පැවැති මුල් ජනාධිපතිවරණ  පහේදීම ඔවුන් අතරට පැමිණ ලොකු දෙයක්  කිරීමේ හැකියාව කුඩා දේශපාලන ධාරාවක අපේක්ෂකයෙකුට හෝ  නිර්පාක්ෂික අපේක්ෂකයෙකුට කිසිවිටෙකත් තිබුණේ නැත.  එවැනි දේශපාලන රික්තකයක් එකල දේශපාලන සමාජයෙහි නිර්මාණය වූයේද නැත. කලානුරූපීව පැවැති වඩාත් අසීරු දේශපාලන සාධක හමුවේ වුව එදා පැවැති ජනාධිපතිවරණවලට තමන්ගේම අපේක්ෂකයන් ඉදිරිපත් කරවීමට මෙම පක්ෂ දෙකම එදා මොනවට වගබලා ගත්තේය. තමන්ට  ජනාධිපතිවරණයක් ජයගැනීම හුදු සිහිනයක්ව පැවැති 1982 දී ශ්‍රීල.නි.ප.යත්, 1994 දී එ.ජා.ප.යත් ක්‍රියා කළ අන්දම මීට නිදසුන්ය. කෙතරම් දැඩි හා අසීරු දේශපාලන අභියෝග මැද වුවද මේ ප½ධාන පක්ෂ දෙකම එදා මහත් අපහසුවෙන් හෝ තමන්ගේම අනන්‍යතාවයෙන් යුතු පාක්ෂිකත්වයේ නියම අපේක්ෂකයන්ම මැතිවරණවලට ඉදිරිපත් කරවුවා විනා කිසිවිටෙකවත් තම දේශපාලන පක්ෂයේ නම සලකුණ හෝ පාට උකසට තබමින් ‍පොදු අපේක්ෂකයන් පසුපස හඹා ගියේ නැත. මැතිවරණය දිනිය නොහැකි වුවත් ඔවුන්ගේ සාම්ප්‍රදායික දේශපාලන පැවැත්මට හෝ ස්ථාවරභාවයට කෙටිකාලීනව විනා දිගුකාලීනව බලපෑ තර්ජනයක් හෝ අබියෝගයක් එදා ඇති නොවූයේද මෙම පසුබිම හේතුවෙනි.

ඉදින් ‍පොදු අපේක්ෂ සංකල්පයට පණ ලැබෙන්නේම පවතින දේශපාලන පසුබිම තුළ තනිව තරගකොට ජනපතිවරණයක් ජයගත නොහැකිය යන හීනමානය සහ පරගැති අදීන මතවාදය පක්ෂ ක්‍රමය තුළ මුල් බැස ගැනීමත් සමගය.  1988 දෙවැනි ජනාධිපතිවරණයේදී විජය කුමාරතුංග මහතා විපක්ෂයෙන් ඊට ඉදිරිපත් කළ යුතු බවට පැවැති ‍පොදු අදහස ඔහුගේ හදිසි ඝාතනයත්, ඊට සමගාමීව මැතිණියගේ ප්‍රජා අයිතිය පිළිබඳ තිබූ ගැටලුව නිරාකරණය වීමත් සමග තිඹිරිගෙය තුළදීම මියැදී ගියේය. ඉන්පසුව පැවැති ඊළඟ ජනාධිපතිවරණ තුනේදීම ‍පොදු අපේක්ෂකත්ව සංකල්පය පක්ෂ දෙකටම වුවමනා නොවීය.  එය මුලින්ම විද්‍යාමාන වන්නේත්,ප්‍රායෝගිකව ක්‍රියාවට නැගෙන්නේත්  2010 ජනාධිපතිවරණය සඳහා එ.ජා.ප.යේ වුවමනාවෙන් හා මෙහෙයවීමෙන් යුතු ‍පොදු අපේක්ෂකයෙකු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණින් කරළියට ගෙන ඒමත් සමගය. 2015 දීද නැවතත් එම ජවනිකාව එලෙසින්ම දේශපාලන කරළිය තුළ දිග හැරුණේත් එ.ජා.ප.යේම දේශපාලන වුවමනාවටය. එහෙත් එ.ජා.ප.යට  එසේ වුවත් ශ්‍රීල.නි.ප.යට  නම් මේ සංකල්පය මෙතුවක් කිසිදා අවශ්‍ය නොවීය. ඒ සිය පක්ෂ අනන්‍යතාවයෙන් යුතු සැබෑ ශ්‍රීල.නි.ප. අපේක්ෂකයෙකු තරඟයට යොමු කොට රටේ සියලුම ප්‍රගතිශීලී බලවේග ඔහු වටා ඒකරාශී කර ගැනීමේ සූක්ෂම දේශපාලන කලාව  ඔවුන් සිය අඩසියවසකටත් වැඩි පක්ෂ ඉතිහාසය තුළ මැනවින් ප්‍රගුණ කොට තිබූ නිසාය. එහෙත් එ.ජා.ප.යට එය කළින්ම වුවමනා වූයේ දක්ෂණාංගික ප්‍රතිපත්ති වැළඳගෙන හුදකලා දේශපාලන ගමනක් ගිය ඔවුන්ට  අතිශය තීරණාත්මක මොහොතක මධ්‍යස්ත සමාජ හා දේශපාලන බලවේග තමන් වෙත නතු කර ගැනීමේ වෙනත් විකල්පයක් පෙනෙන්නට නොතිබූ හෙයිනි. එහෙත්, අකාලයේ අරුමය වන්නේ මතෛක් ‍පොදු අපේක්ෂකත්වය ගැන කිසිදා නොසිතා තම පක්ෂ අනන්‍යතාවය අභිමානවත් ලෙසින් දිගටම රැකගෙන සිටි ශ්‍රීල.නි.ප.යේම සමහර   පිරිස් ඒ මුල සහමුලින්ම අමතක කොට 2020 ට ‍පොදු අපේක්ෂකත්වයක් ගැන දැන් සිටම සිහින මවන්නට හා සිතන්නට පෙළඹී තිබෙන ජුගුප්සාජනක පසුබිම තුළය.

වත්මන් ආණ්ඩුව ඉකුත් ජනපතිවරණයේදී ‍පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපතිධුරය අහෝසි නොකළහොත් ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා තවත් වසර දෙකහමාරකට ආසන්න කාලයක් ඉතිරිව තිබේ. මේ කාලය වූ කලී කුලියට ගෙන එනු ලබන තාවකාලක ‍පොදු අපේක්ෂකයන් ගැන නොව තමන්ගේම ප්‍රතිපත්තිවලින් හා අනන්‍යතාවයෙන් හෙබි පක්ෂයේ තිරසාර ජනාධිපති අපේක්ෂකයෙකු ගැන සිතීමට පක්ෂවලට ලැබි තිබෙන ඕනෑවටත් වඩා වැඩි කාලයකි. එ.ජා.ප.යට මෙම කාලය තුළ තමන් සතු ආණ්ඩු බලයේ මහිමයෙන් රටට වැඩ පෙන්වා තම කාර්්‍යභාරය නොකඩවා ඉදිරියට ගෙන යා හැකි ශක්තිමත් ජනපති අපේක්ෂකයෙකු නිර්මාණය කරගත හැකිය. ඉදිරි මැතිවරණයකට තනිව ඉදිරිපත්වීමට ඒකාබද්ධ විපක්ෂය අදහස් කරන්නේ නම් ඔවුන්ටද වත්මන් ආණ්ඩුවේ පවතින අඩුපාඩු හා නොහැකියාව රටට හුවා දක්වා ඊට විකල්ප තමන්ගේම සැබෑ නායකත්වයක් රටට ඉදිරිපත් කිරිම මගින් ඔහු වෙත ජනතා ආකර්ශනය දිනා ගැනීමේ ප්‍රමාණවත් අවකාශය කාලයා විසින් මේ වනවිටත් පාදා දී තිබේ. එහෙත් ගැටලුවත්, අවාසනාවත් වන්නේ එවුන් දෙපිරිසම තවමත් ඒ ගැන සිතන,  උනන්දුවන හෝ ක්‍රියාකරන පසුබිමක් පෙනෙන්නට නොතිබිමය.  ඒ වෙනුවට මේ දෙපිරිසම තරගයට මෙන් ‍පොදු අපේක්ෂක මිරිඟුවක් පසුපස යළි හඹායාමට සූදානම්  බව රටට පෙන්වීමය. තමන්ගේම  වාසිය තකා කෙස් පැලෙන තර්ක, විතරක් මේ දෙපාර්ශවය  විසින්ම කොතෙකුත් ගෙනහැර පෑවත් සැබැ පාක්ෂිකත්වයේ අපේක්ෂකයෙකු තුළින්ම ඉදිරි ජනපතිවරණයත් ජයගැනීමේ අවස්ථාව හා හැකියාව මේ දෙපාර්ශ්වයටම තිබේ. එ.ජා.ප.ය 1982 දී හා 1988 දීත්, ශ්‍රීල.නි.ප.ය 1994 දී හා 2010 දීත් මේ වග ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා ඇත.

කුමන පක්ෂ කෙසේ සිතුවත් ජනතාව සිතන්නේ ඊට  වඩා වෙනස් ලෙසටය. රාජ්‍ය නායකයා තෝරන ජාතික මැතිවරණ පද්ධතියේ මුදුන් මල් කඩ වන් ජනාධිපතිවරණයකදී ඔවුන් ඡන්දය දෙන්නේ වඩාත් බුද්ධිමත් ලෙසය. පරිණත ලෙසය. විචාරශීලිවය. පසුගිය 2010 හා 2015 අවසන් ජනාධිපතිවරණ දෙකේදීම ඔවුන් ඒ බව කදිමට පසක් කර තිබේ. එබැවින්  ප්‍රධාන දේශපාලන පක්ෂද  සිතිය හැකිය යුත්තේ ඒ ආකාරයටමය. රටට වැඩදායක වන ලෙසය. ජනතාවගේ හිත සුව පිණිස වන ලෙසය. තමන්ගේ පක්ෂ අනාගතයද වඩා යහපත්වන හා  සුරැකෙන ලෙසය. මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ඒවායේ නිර්මාතෘවරුන් විසින් එදා ගොඩනගනු ලැබුවේ කිසිවෙකුටත් මතවාදී වශයෙන් අත නොපා ස්වෝත්සාහයෙන්ම  නැගී සිට දේශපාලනික ජයග්‍රහණ අත්පත් කර ගන්නා රිසියෙනි. තමන් ජීවමානව සිටි අවධියේ කිසිදාක ඒවා වෙනත් පාර්ශ්වයන්ට පාවා දීමට හෝ උකස් තැබිමට ඔවුන් කටයුතු කළේ නැත. එම අබිමානය අදීනත්වය හා අනන්‍යතාවය මතුවටත් එපරිදීම රැකගැනීම ඒවායේ වත්මන් නායක, කාරකාදීන් වෙත පැවැරී තිබෙන පරම යුතුකමය. වගකීමය. එය නොපිරිහෙළා ඉටු කිරීම ඔවුන් විසින් සිතාමතාම හෝ වුවමනාවෙන්ම පැහැර හැරියහොත් එය තම පක්ෂවල ආදි කතුවරුන්ටද සිදුකරනු ලබන අවමානයක් හා නින්දාවක්වන බව අමුතුවෙන් කිව යුතු නැත.

නීතිඥ කපිල මුණසිංහ

පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේත් මහවැලි බි හා සී කලාපවලත් මේ දිනවල යල කන්නයේ අස්වනු නෙළීම ආරම්භ කර තිබේ. පුද්ගලික වී මෝල් හිමියන් හා වී තොග රැස් කරන්නන් ඉතා ඉහළ මිලක් ගෙවා කුඹුරෙන්ම වී මිලදී ගැනීමද ආරම්භ කර ඇත. මේ තත්ත්වය මත දේශීය වී වෙළෙඳ‍පොළට හොඳ මිලක් ලැබි තිබෙන්නේද යන්න අප විමසා බලන්නට සිතුවේද ඒ නිසාය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ඒ පිළිබඳ ප්‍රකාශ කරනු ලැබුවේ මෙවන් කරුණකි.

මේ වෙනකොට වීවලට හොඳ වෙළෙඳ‍පොළක් නිර්මාණය වෙලා තිබෙනවා. නමුත් මේ තත්ත්වය නිර්මාණය වුණේ අහම්බෙන්. වී අලෙවි මණ්ඩලයට වී ලබාදෙන කොට 14ක් එහි තෙත බර ඉවත් කරන්න ඕනේ. ඒ වගේම ඔවුන් සම්බා කිලෝ එකක් මිලට ගන්නේ රුපියල් 41කට. ඒ වගේම නාඩු කිලෝ එකක් මිලට ගන්නේ රුපියල් 38කට. ගොවියා මතෛක් කල් වී අලෙවි කළේ ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වෙලා. නමුත් මේ වනවිට තෙත බර පිටින්ම යම් කිසි මුදලකට වී මිලට ගන්නට පෞද්ගලික වෙළෙන්දන් ඉදිරිපත් වෙලා ඉන්නවා. මේ නිසා ගොවීන් ඔවුන්ට වී අලෙවි කරනවා.
මෙලෙස වී අලෙවි මණ්ඩලයට වී ලබානොදී පෞද්ගලික අංශයට වී ලබාදීමට අදාළව හේතුවූ කරුණු පිළිබඳව ගොවිජන සම්මේලනයේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මේ ආකාරයෙනි.

මෙවර කන්නයේ විශාලම අස්වැන්න ලැබෙන්නේ අම්පාරෙන්. ඒ වගේම මින්නේරිය ගිරිත‍ලේ ආදී ප්‍රදේශවලිනුත් අක්කර 18ක අස්වැන්නක් ලබා ගන්නවා. උතුරේත්, රාජාංගණයේත් යම් ප්‍රමාණයක අස්වැන්න ප්‍රමාණයක් වගා කෙරුණා. ඒ වගේම ඇඹිලිපිටිය මොණරාගල වැනි ප්‍රදේශවල වී වගා කරලා තිබෙන්නේ හතරෙන් එකකට අඩු ප්‍රමාණයක්. මෙවර ගොවීන් ලබාගත් වී අස්වැන්න ප්‍රමාණය අඩුවීමත් ගොයම් කඩින්කඩ කැපීමත් යන හේතු වී වලට හොඳ වෙළෙඳ‍පොළක් නිර්මාණය කරදීමට බලපෑවා.

එකවර අස්වැන්න ප්‍රමාණයක් නෙළාගත්තා නම් සමහර විට වී අතිරික්තයක් නිර්මාණය වෙලා. එහෙම වුණා නම් ගොවියාට අද හොඳ මිලක් නොලැබෙන්නත් පුළුවන්.

ගොවියාට සහනයක් ලැබුණත් ඉදිරියේදී වී තොග පෞද්ගලික අංශ සතුවීමේදී ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව නාමල් කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ මෙවන් අදහසකි.

මේ වගේ ගොවීන්ට අහම්බෙන් සහනයක් ලැබෙන එක බෙහෙවින්ම වටිනවා. නමුත් නිතර නිතරම වී පෞද්ගලික අංශ සතු වෙන්න ගියොත් වෙන්නේ ඉදිරියේදී නොසිතූ අරගලයක් ඇතිවීම. මේ නිසාම රජයට විශාල වගකීමක් තියෙනවා. වී යම් ප්‍රමාණයක් හෝ රජයේ ගබඩා සතුව පවත්වාගෙන යාමට. ඒ නිසා රජය යම් වී ප්‍රමාණයක් හෝ මිලදී ගන්න ඕනේ. එහෙම නැති වුණොත් සිදුවන්නේ මහ පරිමාණ මෝල් හිමියන් අතර විශාල සහල් ඒකාධිකාරියක් නිර්මාණය වෙන එක. එහෙම වුණොත් මහා පරිමාණ වී මෝල් හිමියන් පාරිභෝගිකයා අපහසුතාවයට පත්කරමින් පාරිභෝගිකයාව විශාල ලෙස කොල්ලකෑමට ඉඩ තිබෙනවා. මෙවැනි තනි ඒකාධිකාරියක් පෞද්ගලික අංශය සතුව නිර්මාණය වුණොත් සිදුවෙන්නේ ගොවියාට වගේම පාරිභෝගිකයාට පෞද්ගලික අංශයෙන් වී නිසාම යැපීමට සිදුවෙන එක. මේ නිසාම මෙවැනි තත්ත්වයන් ඇති නොවීමට නම් රජය වගකීමෙන් කටයුතු කළ යුතුයි.

මේ ආකාරයට ගොවිජන සම්මේලනය කියන වී ඒකාධිකාරිය නිර්මාණය වීමට ඇති ඉඩකඩ පිළිබඳවත් ගොවියා වී අලෙවි මණ්ඩලයට වී ලබා නොදීම පිළිබඳවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති එස්.බි. දිසානායක මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
මැදිරිගිරිය හා කවුඩුල්ල ගිරිත‍ලේ ව්‍යාපාරවල අස්වනු නෙළා අවසන් වුවත් වී ඇටයක්වත් ගොවීන් වී අලෙවි මණ්ඩලයට ලබාදුන්නේ නැහැ. මේ වනවිටත් ගොයම් කපා පෑගූ ගමන්ම කුඹුරේදීම තෙත හා අමු වී පවා රුපියල් 47ක් වැනි මිලකට පුද්ගලික වෙළෙන්දන් වී ගන්නවා. වේලන ලද නාඩු වී කිලෝවක් රුපියල් 53ක් වැනි ඉහළ මිලකටත් පෞද්ගලික අංශ වී මිලට ගන්නවා. අස්වැන්න අඩු නිසා මේ විදිහට වී හොඳ මිලකට අලෙවි වෙනවා. ඒ වගේම වී ගබඩා කොට බොහෝ කල් අපට තබාගන්නත් බැහැ. කොහොම නමුත් රජයේ වී ගබඩා හිස් වෙන්න නම් ඉඩ තබන්නේ නැහැ.

සමන්මලී නැලිගම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තමන් නොවන බව හොඳින් දන්නා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහි සභාපති තමන් යැයි කීමට තරම් දේශපාලනික වශයෙන් අසරණ තත්ත්වයට පත්ව ඇතැයි සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට සංවර්ධන අමාත්‍ය එස්.බි. දිසානායක මහතා පැවැසීය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත ආරම්භ කළ ‍පොහොට්ටු පක්ෂය, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටියත් එම පක්ෂයද දේශපාලනික වශයෙන් පිරිහීම නිසා මහින්ද රාජපක්ෂ මහතාද අසරණ වී ඇතැයි වත්තේගමදී පැවැති පාතදුම්බර ආසන බල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ ඔහු මේ බව කීවේය. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිධුරය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදුන් හිටපු ජනාධිපතිවරයා ‍පොළොන්නරුවේ පැවැති සමුළුවේදී අනුශාසක ලෙස අසුන්ගෙන සිටි බව සිහිපත් කළ අමාත්‍ය එස්.බි. දිසානායක මහතා මෙසේ ප්‍රකාශ කළේය.
දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද අර්බුදයකට මැදිහත් වී සිටිනවා. එක් පැත්තකින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අනෙක් පසින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා පෙනී සිටිනවා.
කුමන දෙයක් සිදු වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව නව පක්ෂ සකස් කොට ගිය පිරිස් යළි පක්ෂය හා එක්වන බව අතීතයේ සිටම ගෙන හැර දැක්විය හැකි යැයි කී අමාත්‍යවරයා මෙසේ කීවේය.
මෛත්‍රීපාල සේනානායක, අනුර බණ්ඩාරනායකයන් පක්ෂය කඩාගෙන වෙනත් පක්ෂ සකස්කොට ගියත් ඔවුන් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත පැමිණියා. ඊටත් ඉහතදී සී.පී.සී. ද සිල්වා, ටී.බි. ඉලංගරත්න, රත්නසිරි වික්‍රමනායක, විජය කුමාරතුංග ආදී විවිධ පිරිස් පක්ෂයෙන් ඉවත්ව විකල්ප ක්‍රම කරා යොමු වුවත් අවසානයේදී සිදුවුණේ ඔවුන්ට යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත පැමිණීමටයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පමණක් නොව එක්සත් ජාතික පක්ෂයටද  එවැනි අත්දැකීම් තිබෙනවා. ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි ආදීන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව ගියත් අවසානයේදී ඔවුන්ට යළි පක්ෂය සමග අත්වැල් බැඳීමට සිදු වුණා. මහජන පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික  සන්ධානය ආදියද මේ අයුරින් විකල්ප කණ්ඩායම්වලට බෙදී ගියත් අවසානයේදී ඔවුන්ට සිදුවන්නේ සිය මව් පක්ෂය හා එක්වීමටයි.
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින්නේ මෙවර ඉදිරිපත් කරන අපේක්ෂකයන්ගෙන් සියයට අසූවක් සම්මුඛ පරීක්ෂණ ගත කළා. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් තුළ බෙදීමක් තිබෙනවා. පාක්ෂිකයන් සියයට පනහක් මහින්ද රාජපක්ෂ මහතා සමග සිටින්නේ නම් සෙසු සියයට පනහ සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග යැයි අමාත්‍ය එස්.බි. දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
 
නදීක දයා බණ්ඩාර - මහනුවර අතිරේක

මේ සතිය ආරම්භයේදීම මාධ්‍ය ආයතනවලට ෆැක්ස් මගින් ආරාධනාවක් ලැබි තිබුණේ ‍පොදුජන පෙරමුණේ  නීතිඥ  සංගමයේ මාධ්‍ය හමුවක් සඳහාය. එය පැවැත්වෙන  ස්ථානය ලෙස දැනුම් දී තිබුණේ  බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ‍පොදුජන පෙරමුණේ කාර්යාලයේදීය. මීට සහභාගි වීම සඳහා අපිද එහි ගියෙමු.  අපි එහි යන විට ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් මෙම කාර්යාලය රැකවල්ලා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එතැනට එන නිසාය.
මාධ්‍යවේදීන්ට අහම්බෙන් ලැබුණු මේ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාගෙන් පවතින දේශපාලන ආර්ථික තත්ත්වයන් ගැන ප්‍රශ්න කරන්නද අවස්ථාවක් උදා වූයේ නොසිතූ පරිදිය. මෙහි පලවන්නේ මාධ්‍යවේදීන් මහින්ද රාජපක්ෂ  හිටපු ජනාධිපතිවරයාට යොමු කළ ප්‍රශ්න හා ඔහුගෙන් ඊට ලැබුණු පිළිතුරුය.
• ඔබතුමාට 2020 බලය ලබා ගන්න උත්සාහ කළත් රජයේ ප්‍රබලයන් කියන්නේ ඊට අවස්ථාවක් නෑ කියලයි. සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ ආකාරයටම ඔබේ ප්‍රජා අයිතියත් අහෝසි කරන සැලසුමක් තිබෙනවාද?
කොහොමද ප්‍රජා අයිතිය නැති කරන්නේ. එහෙම වුනොත් මගේ ප්‍රජා අයිතිය විතරක් නෙමේ මට ඡන්දය දුන්නු පනස් අට ලක්ෂයක් හා දැන් අලුතින් මා සමග එකතු වී සිටින අයගෙන් ප්‍රජා අයිතිය අහෝසි  කරන්න වේවී. ඒ ගැන ජනතාව කලබල විය යුතු නෑ. එන ඕනෑම දේකට මුහුණ දෙන්න අපි ලෑස්තියි. ප්‍රජා අයිතිය ආවට ගියාට නැති කරන්න පුළුවන් දෙයක් නමෛයි.
ආණ්ඩුවේ ඉඳගෙන කියන දේවල් හුඟක් කරන්න පුළුවන් දේවල් නමෛයි. පසුගිය දිනක නීතිපතිවරයා අරලිය ගහ මන්දිරයට ගෙන්වා ගෙන ඔහු ඉදිරියේ කෑ ගහල නඩු ෆයිල් 5ක් තෝරාලා දීලා කිව්වලු ඒ ෆයිල් අධිකරණයට බාර දීලා නඩු පවරන්න කියලා. ඒ පැත්තේ අයම තමයි මේවත් අපිට කියන්නේ.
• මේ රජය ඩෙංගු මතවමඩින්නත් හමුදාව යොදා ගන්නවා. ඒ වුණත් ඔවුන්ට විදේශ  පුහුණු සඳහා වෙන් කර තිබූ ඩොලර් 6000ක මුදල ඩොලර් 1200 ට අඩු කරලාලු. ඇයි එහෙම වෙන්නේ?
මේ රජය රණවිරුවන්ට රජයේ සේවකයන්ට තිබෙන පහසුකම් වරප්‍රසාද අඩු කරනවා කියල ඒ අයම කියනවා. මගේ පාලන කාලයේ ‍පොලීසියට මෝටර් බයිසිකලයක් දුන්නා. දැන් ඒවා නිලධාරියා පැන්සන් යන කොට බාර දීලා යන්න ඕනෑලු. එහෙම නැත්නම් ඒ මොහොතේ වෙළෙඳ‍පොළ වටිනාකම ගෙවන්න ඕනෑලු. අපි ඒ දුන්න මෝටර් සයිකල්වලට දැන් ‍පොලීසිවලට එවලා තියෙන චක්‍ර‍ලේඛයේ එහෙම සඳහන් වෙනවාලු.
• රණවිරුවන්ගේ විදේශ පුහුණු අවස්ථා
අඩු කිරීම හරිද?
ඒක වැරදියි. ඒක රණවිරුවන්ටද රජයේ සිවිල් සේවකයන්ටද ‍පොලීසියටද මේ කාට වුණත් ඒ ඒ රාජකාරියඅනුව ලැබෙන්න තියෙන ලැබිය යුතු දේවල් දෙන්න ඕනේ. දැන් රජය ගන්න හැම තීන්දුවකටම ඡන්දය දුන්න හැටි දෙලක්ෂයම කැමතියි කියලයි කියන්නේ.
• මේවා කරලා හොඳම මුදල් ඇමැති වුණාද කියලත් සමහරු අහනවා?
මමත් හිතන්නේ එහෙමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන විදියට වැඩ කරනවා නම් හොඳයි කියල තමයි මේ අය හිතන්නේ. අලුත් අදායම් බදු පනතත් ඒ අයගේ උපදෙස් අනුව තමයි හදලා තියෙන්නේ. මේ පනත අනුව පන්සලෙනුත් බදු අය කරනවා. දානය දෙන එකත් පන්ස‍ලේ වත්කම් විදියට සලකන්න රජය කටයුතු කරනවා. හැම අංශයම වැටිලා. දැන් ඔයාලත් හිනා වේවී හිටියට ඔයාලටත් මේකට මුහුණ දෙන්න වෙයි. හැම තැනටම වාර්තා දීලා ආදායම ලක්ෂය පැන්නොත් ලෙඩේ.
• මේ රජය පෙර රජයේ හොරුන්ට දඬුවම් කරන්න ප්‍රමාදයි කියල අධිකරණ අමාත්‍යවරයා ඒ තනතුරින් ඉවත් කරන්න හදනවා නේද?
ඔව් බොහොම පැහැදිලියි. මේ ආණ්ඩුව හොරු අල්ලන්න අවුරුදු දෙකහමාරක් දඟලනවා. සාක්ෂි තිබුණා නම් මේ අය කියව කියව ඉන්නේ නෑ. සාක්ෂි  නැති නිසයි ප්‍රමාද තියෙන්නේ. නීතිපති  දෙපාර්තමේන්තුවට ෆයිල් බාර දුන්නට ඒවායේ නඩු දාන්න තරමේ ප්‍රමාණවත් සාක්ෂි නැත්නම් ඒ අය කොහොමද අධිකරණයේ නඩු පවරන්නේ. තවම ඒකාබද්ධ විපක්ෂයේ  කවුරුත් වැරදි කරුවෝ වෙලා නෑ. රවි කරුණානායක ජනතා අධිකරණය ඉදිරියේ වරදකරුවෙක් වෙලා.
• ඔබ සඳහන් කරන්නේ ඔබලාට එරෙහිව ඉදිරිපත් කරන චෝදනා බොරු කියලද?
ඕනෑ කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්. ඒ චෝදනා ඔප්පු කරන්න සාක්ෂිත් අවශ්‍යයයි.  මේ කරන බොරුවලට ජනතාවට කරන අපරාධ නිසා තමයි මේ ගංවතුර නියඟය, නාය යෑම්, අපිට කරන බොරු චෝදනාවලට දෙවියෝ බලනවා. දැන් තමයි දෙවියෝ දඬුවම් දෙන්න පටන් අරන් තියෙන්නේ.
• රාජිත සේනාරත්න අමාත්‍යවරයා කැබිනට් ප්‍රකාශක ලෙස කීවා ඊළඟට බලයට එන්නේ ඔබ තුමාලා
කියලා.
ආ..... එයා එහෙම කිව්වද? දැන් එයාලට දැනිලා ඇති වෙන්නේ මොනවද කියලා.
• රාජිත අමාත්‍යවරයා එහෙම කීවේ අයි කියලයි මම ඇහුවේ?
දැන් ඒ අයට ජනතාවගේ හැඟීම් දැනෙන්න  පටන් අරන්. උපන් දිනය වෙනුවෙන් තිබුණු සංගීත සංදර්ශනයේ පහන පත්තු කරන්න ගියාම ජනතාව දැක් වූ ප්‍රතිචාරවලින් මේවා දැනිලා ඇති.
• ශ්‍රීලනිප ආණ්ඩු පක්ෂය කියන්නේ ඔබලා ශ්‍රීලනිප ප්‍රතිපත්ති උල්ලංඝනය කරනවා කියලා. නමුත් ශ්‍රීලනිප මහ ‍ලේකම් කියනවා ආණ්ඩුවේ   අර්බුද තිබුණත්  එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති කම වෙනස් වෙන්නේ නෑ කියලා. ඒකත් ශ්‍රීලනිප ප්‍රතිපත්තියද?
ශ්‍රීලනිපය පරාජය කරලා එජාප බලයට ගෙනාවේ ඒ අය තමයි. ඒ අයට ශ්‍රීලනිපයේ අයිතියක් නෑ. මම තාමත් කියන්නේ මමයි ශ්‍රිලනිප සභාපති කියලා.
ශ්‍රීලනිප ඡන්දදායකයෝ බහුතරය මා සමගයි. මම ඔවුන්ගේ සභාපති.
• සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කියලා තිබුණා දැන් ශ්‍රීලනිපයේ බණ්ඩාරනායක ප්‍රතිපත්ති නෑ කියලා. ඔබ එකඟද?
ඔව් ඒ කතාව සම්පූර්ණ  සත්‍යයක්. අද මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ රට විකුණන් කන රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තියි.
• සුසිල් ප්‍රේමජයන්ත  අමාත්‍යවරයා ඉදිරියේදී තීන්දුවක් ගන්නවා කියලා සඳහන් වෙනවා එතුමා ඒ ගැන ඔබලා සමග කතා කළාද?
මම හිතනවා එයාලා හරි තීන්දුවක් ගනියි කියලා.
• මේ රජයේ  ඇතැම් අය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී නීතිපති, මාධ්‍යවේදීන් විවේචනය කරනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයද?
මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? මේක ඒකාධිපති ගමනක ලක්ෂණ.  රටේ නීතියක් තියෙන්න ඕනේ. එයාලා හිතන විදියට නීතිපති බය කරන්න නම් ටිකක් අමාරුවෙයි. මේ අය දැන් අධිකරණ තීන්දු ගැනත් විවිධ ප්‍රකාශ ප්‍රසිද්ධීයේ  කරනවා. ඒකෙන් ඒ අය අධිකරණයටත් බලපෑම් කරන බව පැහැදිලියි.
• විගණන කොමිෂන් පනත වසර 2 1/2ක් වෙනවා හදලා. තවමත් සම්මත කර ගන්න බැරිවෙලා. ඒකෙන් අදහස් වන්නේ රජය රජයේ ආයතනවල දූෂණ වංචා යට ගහන්න හදන එකද?
ඒක ගැන ප්‍රශ්නයක් තියෙනවා. යෝජිත විගණන කොමිෂන් සභා  පනතට රජයේ නිලධාරීන් විරුද්ධයි. ඒ ගැන මත දෙකක් තියෙනවා. ඒ වුණත් පනත ගෙනාවා      නම් ගේන්න ඕනේ නැත්නම් නිකන් ඉන්න ඕනේ.
• ඔබලාට විරුද්ධව ඇති චෝදනාවලට ඔබලා නිවැරදි නම් නඩු දාන්න ඉක්මන් වීම ගැටලුවක් ‍නෙවෙයි නේද?
ඔව් අපි උසාවියට ගිහිල්ලා නඩුවලට තීන්දු ලබා ගන්න සූදානම්. හැබැයි ඒවා නියමිත  ක්‍රමවේදයට උසාවියට යන්න ඕනේ. තමන්ට ඕනෑ විනිශ්චය කරුවෝ පත් කරගෙන ඔවුන්ට ඕනෑ නඩු විතරක් විභාග කරන්න කියලා බලපෑම් කරනවා නම් ඒක වැරදියි. එයාලා බලා‍පොරොත්තු වෙන්නේ තමන්ට හිතවත් නඩු කාරයෝ තෝරා ගෙන  ඔවුන්ටත් බලා‍පොරොත්තු  දීලා නඩු අහනවා නම් ඒක වැරදියි. මම පෞද්ගලිකවම විශ්වාස කරන්නේ අධිකරණය ස්වාධීනව කටයුතු කරනවා කියලයි. බලපෑම්වලට යට නොවී ස්වාධීනත්වය ආරක්ෂා කර ගන්න කියලයි අපි ඉල්ලන්නේ.
• අලුත් මුදල් ඇමැතිතුමා බයිසිකල් බදු අඩු කරලා තවත් සහන දීලා තියෙනවා. අය වැයේදීත් මිල අඩු කිරීම් කරලා සහන දුන්නොත් පළාත් පාලන  මැතිවරණයට බලපෑමක් කරන්න පුළුවන් නේද?
මැතිවරණ ළංවෙන කොට අඩු කළාට මැතිවරණ ඉවර වුණාම ආයෙත් වැඩි කරයි. මේවා ගැන දැන් ජනතාව දන්නවා. මේවාගෙන් ජනමතය වෙනස් කරන්න ලැබෙන්නේ නෑ.
• ශ්‍රීලනිප සභාපති කවුරු කියලද කීවේ?
මම තමයි තවමත් ශ්‍රීලනිප සභාපති.
• ශ්‍රීලනිප තරුණ මහ ‍ලේකම් කියන්නේ ඔබතුමා ජනාධිපතිවරණයට  පසු ශ්‍රීලනිප සභාපති කම පරිත්‍යාග කළා කියලා.
මම සභාපතිකමෙන් අස් වුණෙත් නෑ. කවුරුත් මම අස් කරලත් නෑ. ඒනිසා සභාපති  මමයි. තමන්ට තියෙන තනතුරු බලෙන් වෙනත් අයට දෙන අය දැන් නෑ. ඒවා ඉතිං ඒ අය හදා ගත්තු කතානේ.
• දැන් ශ්‍රීලනිප සභාපති ගන්නා තීරණ ඔබ වෙනස් කරනවාද?
ඒවා බලමු ඒ නීති ප්‍රශ්නනේ.
මෙහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය. මේ රජය අහෝසි කරලා තියෙන ජනතා සහන සියල්ල අපි නැවත ලබා දෙනවා. රණවිරුවන්ගේ ගෞරවය අභිමානය නැවත ඔවුන්ට ලබා දෙනවා. දැන් ඇතැම් අය ඉඩම් ඔප්පු තමන් ළඟ තියෙනවා කියලා පුරසාරම් දොඩවනවා. ඉඩම් ඔප්පු නම් කොච්චර තියෙනවාද? අපි ඒ අයගේ ඔප්පු තිරප්පු ගැන කතා කරන්නෙ නෑ. විප්ලවාදීයෝ කියල, කියා ගත්තු අය අද අලියගෙ පස්සෙන් යනවා. ජනතාවට බොරු කියලා ජනතාව රවට්ටලා මේ අයට ආණ්ඩු කරන්න බෑ. අද රජයේ මැති ඇමැතිවරු අපිට අපහාස කරනවා. අපි මිනිමරුවෝ කරන්න හදනවා”යැයි සඳහන් කළා. හිටපු ජනාධිපතිවරයා අපට අපහාස කරන ඇමැතිවරු දෙතුන් දෙනෙකුට විරුද්ධව නඩු පවරන්න දැන් අපි කටයුතු කර ගෙන යනවා යැයිද කීවේය.

ජයසූරිය උඩුකුඹුර

Page 2 of 2

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2324

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1538

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 814

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1826

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5462

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3412

Please publish modules in offcanvas position.

Web Analytics