Coss Ear2
lakbima.lk
COSS Ear 1

පෙබරවාරි 10 වෙනිදායින් පසුව  ගත වූ දින කිහිපය ශ්‍රී ලංකාවේ අපට පාඩම් ගණනාවක් කියා දුන් වකවානුවක් ලෙස අවධානයට  යොමුවිය යුතුය. ස්ථිර ආර්ථික වැඩපිළිවෙළක්, දර්ශනයක් නොමැතිවීමේ ආදීනව මැනවින් රට ඉදිරියේ ප්‍රදර්ශනය විය.
ආර්ථිකය දේශපාලනයෙන්  විනිර්මුක්ත විය යුතු වුවත් ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකය හා දේශපාලනය අතර ඉතා සමීප සම්බන්ධතාවක් පවතී. ඒ ස්ථිර ආර්ථික ප්‍රතිපත්තියක් හා වැඩපිළිවෙළක් නොමැතිකම නිසාය. ආණ්ඩු වෙනස්වන විට හා අස්ථාවරත්වයට පත්වනවිට ඒ සමගම ආර්ථිකයද අස්ථාවර වන්නේ නම් එහි බරපතළ වරදක් තිබෙන බව  තේරුම්ගත යුතුව ඇත.
ආණ්ඩු වෙනස් වුවද රජයක් වෙනස් නොවේ. ආර්ථිකය අයත්විය යුත්තේ ආණ්ඩුවට නොව රජයටය. ආර්ථිකයද රජය මෙන් ආණ්ඩු වෙනස්වුවද වෙනසකට භාජනය නොවන සාමාන්‍ය ලෙසම ඉදිරියට යා යුතුය. ඇමෙරිකාව, ජපානය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි සංවර්ධිත රටවල පමණක් නොව ඉන්දියාව, වියට්නාමය, වැනි ආසියතික දියුණු වෙමින් පවතින රටවල පවා ආණ්ඩු වෙනස් වුවද වෙනස් නොවන ආර්ථික වැඩපිළිවෙළක් පවතී.
පෙබරවාරි 10 වෙනිදා පැවැත්වූයේ පළාත් පාලන මැතිවරණයකි. නමුත් එම මැතිවරණයෙන් පාලන පක්ෂය පරාජයට පත්විය. එය ජාතික දේශපාලනයට අභියෝගයක් වී ආණ්ඩුව දැඩිලෙස සසල විය. ආණ්ඩුවක් නොමැති ආකාරයෙන් දින ගත වීගෙන යන අතරතුර ආර්ථිකයට දැවැන්ත හානියක් සිදුවිය. විදේශ ආයෝජකයන් මූල්‍ය  වෙළෙඳ‍පොළේ  කරනු ලැබූ ආයෝජනයන් ඈවර කරමින් ස්වකීය මුදල්ද රැගෙන  රටින් පිටවීමත් සමග එය විනිමය අනුපාතයට දැඩි ලෙස බලපෑම් කරනු ලැබිය. ප්‍රධාන පෙළේ සියලුම ව්‍යාපාර මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම වේගවත් විය. 2017 දෙසැම්බර් අවසානයේදී ඇමෙරිකන් ඩොලරයක විකුණුම් මිල වූයේ  රුපියල් 153.17කි ස්ටලිං පවුමක මිල රුපියල් 196.47ක් විය. ජපන් යෙන් එකකට ගෙවනු ලැබුවේ රුපියල් එකයි ශත තුනකිි. 2018 පෙබරවාරි 09 වෙනිදා රුපියල් 154.37ක් වශයෙන්  පැවැති ඇමෙරිකන් ඩොලරයක් පෙබරවාරි 12 වෙනිදා වනවිට රුපියල් 157ක් බවට  පත්විය. ස්ටර්ලිං පවුමක් රුපියල් 222.06ක් දක්වා ඉහළ ගිය අතර ජපන් යෙන් එකක් සඳහා රුපියල් 1යි ශත 48ක් ගෙවීමට සිදුවිය.
දිගු හා කෙටිකාලීන ප්‍රතිඵල
මෙහි දිගු හා කෙටිකාලීින ගැටලු රාශියකි. ශ්‍රී ලංකාවේ අපි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සියල්ලම පාහේ ආනයනය  කරන්නෙමු. විශේෂයෙන්ම ඉන්ධන, සහල්, අල, ලූනු,
ඖෂධ යන්ත්‍ර සූත්‍ර,  අමුද්‍රව්‍ය වැනි  එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා රාශිය අමතක කළ නොහැකිය. විනිමය  අනුපාතිකය අවප්‍රමාණය වීමත් සමග මෙහි ආනයනික සියලුම භාණ්ඩ හා  සේවාවන්ගේ මිල ගණන් ඉහළ යන්නේය. විශේෂයෙන්ම ඉන්ධන, ගෑස් වැනි අත්‍යවශ්‍ය සේවාවන් ආනයනයේදී  දැරීමට සිදුවන පිරිවැය  තාවකාලිකව රජය දරාගනු ලැබුවද එය  දිගුකලක් පුරාවට පවත්වාගෙන යාම අසීරුය. එය ඉතා ඉක්මනින් ජනතාවගේ කරමත පැටවෙනු ඇත.
දේශපාලන අස්ථාවරත්වය විසින් ආර්ථිකයට කරනු ලැබූ දිගුකාලීන  හානිය මීටත් වඩා විශාලය. විදේශ ආයෝජකයන්ගේ පැමිණිම හා සෘජු විදේශ ආයෝජකයන්ගේ ආගමනය සීමාවීමට අමතරව පවත්නා කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය ආනයනයේදී දැරීමට සිදුවන පිරිවැය ඉහළයාම වැළැක්වීමට අසීරුය. විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය රෙදි ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍යවල ආනයන වියදම ඉහළයාම ඉතා අසීරු තත්ත්වයන් යටතේ කර්මාන්තයේ යෙදී සිටින සුළු  මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවෝ  අපහසුතාවයට පත්වෙති.  මහා පරිමාණ කර්මාන්තකරුවන් බංග්ලාදේශ වියට්නාමය වැනි රටවල් වෙත යොමුවීමේ අවදානමක් මෝදුවිය හැකි අතර දැඩි අපහසුතාවයකට පත් වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ආයෝජකයෝය. රජය මැදිහත් වී නිමි ඇඳුම් ආනයනය සීමා නොකළහොත් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් නිෂ්පාදකයන්ට වෙළෙඳ ‍පොළ තරකාරිත්වයට මුහුණදීමට නොහැකිව කර්මාන්තය  අතහැර දැමීමට සිදුවනු ඇත.
ආර්ථික පීඩනය
ජනතාවගේ ආර්ථික පීඩනය හා ජීවත්වීමේ අපහසුතාව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පිළිබිඹුවන බව දේශපාලන විචාරකයෝද පෙන්වා දෙති. කෙසේ වෙතත් පවතින තත්ත්වය  යටතේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම  හිතන තරම් පහසු කටයුත්තක් නොවනු ඇත.  මක්නිසාදයත් රට තුළ යළි සභාග හා සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිවනු විනා කෙටි කාලයේදී  ස්ථාවර ආණ්ඩුවක් බිහිවීමේ පෙරනිමිති දක්නට නොමැති නිසාය.  බලය තහවුරු කර ගන්නට පක්ෂ හා කණ්ඩායම් හැකිතාක් උත්සාහ කරනු ලබන්නේ රටේ ආර්ථිකය ඉහළට ඔසවා  තැබිමට නොව හැකිතාක් වර්තන වියදම් වැඩි කොට ජනතාව දිනා ගැනීම වෙනුවෙන් කෙටිකාලීන  සුබසාධන වැඩ සටහන් දියත් කිරීමටය. සමෘද්ධි දීමනාව හා ලබාදෙන ප්‍රමාණය ඉහළ නැංවීම, රජයේ රැකියා නිර්මාණය කර ලබාදීම භාණ්ඩ මිල කෘත්‍රිමව පහළ දැමීම, මහන මැෂින්, ගොවි උපකරණ වැනි භාණ්ඩ බෙදාහැරීම් වැනි අවිධිමත් ක්‍රියාමාර්ග වෙත එළඹිය හැකිය. පවතින ආර්ථිකයට  මෙම අසාමාන්‍ය සුබසාධන වියදම් කිසිසේත්ම දරා ගැනීමට නොහැකිය. රාජ්‍ය ආදායමින් වැඩිම ප්‍රමාණයක් ලබාගත් දේශීය හා විදේශීය ණය ‍පොලී ගෙවූ විට ඉතිරිවන  යමක් නොමැත. පසුගිය අවුරුදු කිහිපය ඇතුළත ශ්‍රී ලංකාවේ රුපියල විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වීම නිසා අපි ලබාගත් විදේශ ණය සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණය ඉහළ ගියේය. එය ශ්‍රී ලංකා  මහබැංකුව අවධාරණය කොට ඇත්තේ පහත සඳහන් පරිදිය.
'ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපිය‍ලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන් 2016 වසර අවසානය වනවිට සමස්ත ණය ප්‍රමාණය  රුපියල් බිලියන 186.6කින් වැඩිවිය.
(ශ්‍රී ලංකා මහබැංකු වාර්තව පිටුව 222)
රජය විසින් ලබාගනු ලැබූ ණය ප්‍රමාණය ඉහළයාමත්,  විනිමය අනුපාතිකය දිගින් දිගටම අවප්‍රමාණය වීමත් නිසා ණය සඳහා ගෙවිය යුතු ‍පොලී ප්‍රමාණයද  විශාල වශයෙන් ඉහළ ගියේය.
'2016 වසරේ ‍පොලී ගෙවීම් 2015 වසරේ පැවැති රුපියල් බිලියන 509.7 සිට රුපියල් බිලියන  610.9ක් දක්වා සියයට 10.9කින් (රුපියල් බිලියන 101.2)  වැඩිවිය.
(ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පිටුව 225)
  2018 වසරේ විදෙස් ණය සහ ‍පොලී ගෙවීම සඳහා  පමණක්  ඇමෙරිකන් ඩොලර් මිලියන 2891ක් වෙන් කිරීමට සිදුව තිබේ. විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීම ඉහළ යාමත් සමග මේ ණය ප්‍රමාණය තවදුරටත් වැඩිවන බව අමුතුවෙන් කිව යුතු නැත.
කොටස් වෙළෙඳ ‍පොළ ආයෝජන, සෘජු විදේශ ආයෝජන, සංචාරක ඉපැයීම් හා අපනයන ආදායම ඉහළ නැංවීම කින් තොරව විදේශ විනිමය අනුපාතිකය ශක්තිමත් කිරීමේ හැකියාවක් නොමැත. පවත්නා දේශපාලන වාතාවරණය යටතේ මෙම අංශයන්ගේ වර්ධනයක් අපේක්ෂා කිරීම දුෂ්කරය.
දේශපාලනඥයන්  අවංකවම රටේ ආර්ථිකය ඉහළ නැංවිය යුතු යැයි කල්පනා කරන්නේ නම් දේශපාලන භේද අමතක කොට ‍පොදු කරුණක් වෙනුවෙන් පෙනී සිටිය යුතුය. එනම් ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හා වැඩපිළිවෙළක් සැකසීමය. සියලුම දේශපාලන පක්ෂවල ‍පොදු එකඟතාවකින් එවැනි ආර්ථික වැඩ
පිළිවෙළක් දියත් කළහොත් ආණ්ඩු මාරුවූවායැයි, විනිමය අනුපාතිකය, කොටස් වෙළෙඳ‍පොළ හා දෙස් විදෙස් ආයෝජන සසල වන්නේ නැත. උතුරේ සිට දකුණටත් බස්නාහිර සිට  නැගෙනහිරටත් ජාති ආගම් භේදයකින් තොරව ආර්ථික ප්‍රතිලාභ ලැබෙන වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් අනතුරුව ඒ ඒ දේශපාලන පක්ෂවලට  ස්වකීය දේශපාලනය කිරීමේ බාධාවක් ඇති නොවේ. දිගින් දිගටම ජනතාව තොරොම්බල් කරමින් හා රවටමින් ගෙනයන බාල දේශපාලනයට තිත තැබිමේ කාලය එළඹ ඇත. එසේ නොමැතිවුවහොත් හෙට දවස මේ රටේ මුදල් ආයෝජනය කිරීමට ආයෝජකයනුත් කර්මාන්තකරුවනුත් ඉතිරි නොවනු ඇත.

සාලිය ජනක කුමාර

පසුගියදා  ප්‍රකාශයට පත් කරන ලද පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් සමාජයේ විවිධ කතාබහක් ඇතිවී තිබෙනවා. දේශපාලන විද්‍යාඥයෙක් ලෙස ඔබට මේ ප්‍රතිඵලය සම්බන්ධව ඇති විග්‍රහය කොහොමද?
පළාත් පාලන මැතිවරණයට හෝ වෙනත් ඕනෑම මැතිවරණයක ප්‍රතිඵලය තීන්දු කරන්නේ ඡන්දදායකයායි. මෙවර පැවැති පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලය කිසිවෙක් අපේක්ෂා නොකළ ප්‍රතිඵලයක්. කොටින්ම මේ ප්‍රතිඵලය ඡන්ද දායකයා පවා විශ්මයට පත් කරලා. වත්මන් රජයේ වැඩපිළිවෙළ, එහි නායකත්වයට එරෙහිව රටේ බහුතර ජනතාව ඉදිරිපත් කළ දෝෂාභියෝගයක් කියලයි මම මේ ප්‍රතිඵලය දකින්නේ. මම එහෙම කියන්නේ මේ මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් වුණත් එය ආරම්භයේ සිටම ජාතික මැතිවරණයක ස්වරූපයක් ගෙන තිබුණා. ඒ වාගේම ජාත්‍යන්තර තානාපති කාර්යාල පවා මේ මැතිවරණය ගැන උනන්දු වූයේ ජාතික මැතිවරණයක් හැටියට සලකා ගෙනයි.
 පවතින රජයට පළාත් පාලන ආයතනවල බලය හිමිවීම තමයි අපේ රටේ දේශපාලන ඉතිහාසයේ හැමදාම දකින්නට ලැබුණේ. මේ තත්ත්වය මෙවර මැතිවරණයේදී වෙනස් වීම ගැන ඔබේ විග්‍රහය කුමක්ද?
අපේ රටේ පළමු පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ 1870දී කොළඹ මහනුවර හා ගාල්ල මහ නගර සභාවලට නියෝජිතයින් පත්කර ගන්නයි. මේ අනුව ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයට එහා ගිය ඉතිහාසයක් පළාත් පාලන මැතිවරණයට හිමිවෙනවා. කෘව් මැකලම් ප්‍රතිසංස්කරණය යටතේ 1911 දී තමයි ලංකාවේ පළමු ව්‍යවස්ථාදායක මැතිවරණයක් පැවැත්වුණේ. ඒ අනුව ඊටත් වසර 41කට පෙර සිටම පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ ශ්‍රී ලාංකික ජනතාවට අත්දැකීමක් තිබුණා. මේ දේශපාලන ඉතිහාසය පුරාවට අඩුවැඩි වශයෙන් පළාත් පාලන මැතිවරණවල ජය ලබාගත්තේ බලයේ සිටි රජයන්ය කියන කාරණය නිවැරදියි. නමුත් මෙවර මැතිවරණයේදී ඒ ඓතිහාසික කාරණා පවා කණපිට පෙරළිලා. මේ රටේ දීර්ඝ ඉතිහාසයක් ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල අභිභවා ඉතාම කෙටි කාලයකින් ජනතාව අතරට ආපු අලුත් දේශපාලන පක්ෂයක්, අලුත් දේශපාලන ලාංඡනයක් විශිෂ්ට ලෙස ජනතාව ජයග්‍රහණය කරවීමෙන් දී ඇති පණිවුඩය තමයි රටට අලුත් පාලනයක් අවශ්‍යයි කියන කාරණය.
 2015 ජනාධිපතිවරණයේදී මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් මෛත්‍රීපාල සිරිසේනට සහය දැක්වූවා. ඒ වගේම මහින්ද රාජපක්ෂටත් ප්‍රධාන පක්ෂ කීපයක් සහය වුණා. එදා මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කළ මහින්ද රාජපක්ෂ ඊට වසර තුනකට පස්සේ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කරවීම දේශපාලන විද්‍යාඥයෙක් ලෙස ඔබ දකින්නේ කොහොමද?
මේ මැතිවරණ දෙකේදී ජනතාව ඡන්දය පාවිච්චි කර ඇති ආකාරය අනුව ජනතාවගේ දේශපාලන විඥානය ඉතා ඉහළ මට්ටමක පවතින බව පැහැදිලියි. 2015 දී මේ රටේ ජනතාව රැඩිකල් දේශපාලන තීන්දුවක් ලබාදී තිබෙනවා. රටේ යුද්ධය අවසන් කිරීමට නායකත්වය දුන් දේශපාලනඥයකු පරාජය කර නිර්පාක්ෂික අපේක්ෂකයකු වූ මෛත්‍රීපාල සිරිසේන රටේ ජනාධිපති ලෙස පිළිගත්තා. උතුරේ දෙමළ ජනතාවත් එදා ‍පොදු ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ සිරිසේනගේ ප්‍රතිපත්ති අනුමත කළා. නමුත් ඉන් වසර තුනක් යද්දී රටේ ජනතාව තේරුම් ගෙන තිබෙනවා වත්මන් පාලකයින් එදා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ අමතක කරල පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයක් යටතේ කටයුතු කරනවා කියලා. ඒ නිසා වත්මන් දේශපාලන නායකයන් හා මහින්ද රාජපක්ෂ නමැති දේශපාලනඥයා ජනතාව සංසන්දනය කළාම ජනතාවට සමීප ජනතා මතය තේරුම් ගන්නා නායකයා මහින්ද රාජපක්ෂ බව තේරුම්ගෙන තිබෙනවා. ඒ අනුවයි වසර තුනකට පෙර ප්‍රතික්ෂේප කළ පුද්ගලයා නැවත බලයට ගේන්න ජනතාව කටයුතු කරමින් ඉන්නේ.
 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කිරීම ජනතාව ප්‍රතික්ෂේප කළ බව ඔබ කියනවා. ඒ කාරණය තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද..?
‍පොදු අපේක්ෂකයා විදියට නිර්පාක්ෂිකව ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණයෙන් පස්සේ ශ්‍රීලනිප සභාපති ධුරය බාර ගත්තා. ඉන් නොනැවතී ඔහුගේ ආණ්ඩුවේ බලය තහවුරු කර ගන්න ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලනඥයින් ඔහු ළඟට අරගෙන තනතුරු දුන්නා. 2015 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප නායකයෙක් ජනාධිපති කරවා ගන්න ජනතාවට ඕනෑ කමක් තිබුණේ නෑ. සිරිසේනයන්ට 2015 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ 4 හෝ 5කට වඩා ලැබිලත් නෑ. එවැනි පසුබිමක ඔහු ශ්‍රීලනිප සභාපතිකම බාර ගෙන දූෂිතයින් ලෙස ජනතාව ප්‍රතික්ෂේප කළ අය ළං කර ගෙන පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයක් තමයි ක්‍රියාත්මක කළේ. මෙවර ඡන්ද ප්‍රතිඵල අනුව ඒ ප්‍රතිපත්ති ජනතාව කොතරම් දුරට ප්‍රතික්ෂේප කරලා තියෙනවාද කියල පැහැදිලියිනේ.
 පක්ෂ දේශපාලනයේ වඩාත් කැපී පෙනෙන වෙනස්කම් සිද්ධ වෙන්නෙ 1950 දශකයේ ශ්‍රී ලනිපය බිහිවීමත් සමගයි. එදා ජනතාව ආදරයෙන් වැලඳගත් ශ්‍රීලනිපය මෙවර මැතිවරණයේදී අන්ත පරාජයක් ලබලා. මේ ගැන ඔබේ විග්‍රහය.
ජනතාව ශ්‍රීලනිපය ප්‍රතික්ෂේප කරලා නෑ. ජනතාව ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ ශ්‍රීලනිපයේ වත්මන් බාරකාරීත්වයයි. පසුගිය 2015 ජනවාරි 08 දා මෛත්‍රීපාල සිරිසේන ‍පොදු අපේක්ෂකයා විදියට ජනාධිපතිවරණයට තරග කළ අවස්ථාවේදීත් ශ්‍රීලනිපයේ ඡන්ද ඔහුට ලැබුණේ නෑ. ඔහු ලබාගත් ඡන්ද හැට දෙලක්ෂය තුළ ශ්‍රීලනිප ඡන්ද ලක්ෂ පහට වඩා නෑ. 2015 දීත් මෙවරත් ශ්‍රීලනිප පාක්ෂිකයා තමන්ගේ නායකයා ලෙස පිළිගෙන තිබෙන්නෙ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියල ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මෙවර මැතිවරණයේදී ශ්‍රිලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන එහි මහ ‍ලේකම් දුමින්ද දිසානායක ශ්‍රීලනිප උපදේශිකාවක වූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා ඇතුළු ශ්‍රීලනිප ප්‍රතිපත්තිවලට අනුගත නොවූ සියලු දෙනාම ජනතාව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ශ්‍රීලනිප ඡන්ද 2015 දීත් මෙවරත් පාවිච්චි කර තිබෙන්නේ ඒකාකාරී විදියටයි. මම එහෙම කියන්නේ  එදා 2015 දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට ඡන්ද ලක්ෂ පනස් අටකට ආසන්නව ලැබුණා. ඒ ඡන්ද ප්‍රමාණය මෙවර ලක්ෂ 51 කට පමණ අඩුවෙලා (ස්වාධීන කණ්ඩායම් ලබාගත් ඡන්ද ද ශ්‍රීලනිප ඡන්ද ලෙස උපකල්පනය කළ විට ලක්ෂ 51 ක්වේ) ඒ අඩු වූ ඡන්ද ප්‍රමාණය හා ශ්‍රීලනිපයට පාවිච්චි වූ ඡන්ද සියල්ල ලක්ෂ 14ක් පමණ. ඒ අනුව රටේ බහුතරය එජාප ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කර තිබෙනවා.
 ඔබ දේශපාලන විද්‍යාඥයෙක් ලෙස ශ්‍රීලනිප දෙකඩ වීමක් දකිනවාද..?
ශ්‍රීලනිපයේ ඡන්ද දායකයා දෙකඩ වී ඇති බව මේ මැතිවරණයේදී ඉතා සියුම්ව අවබෝධ කර ගන්න පුළුවන්. 2015 දී මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිපයේ මහ ‍ලේකම් ලෙස කටයුතු කරමින් සිටියදී තමයි නිර්පාක්ෂිකයකු ලෙස ‍පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ. එදත් ශ්‍රීලනිප පාක්ෂිකයෝ ඔහුට ඡන්දය පාවිච්චි කළේ නෑ. තමන්ගේ ගමේ කමට හෝ යහළු මිත්‍රයින් ලෙස එදා ශ්‍රීලනිප ඡන්ද යම් ප්‍රමාණයක් සිරිසේනයන්ට ලැබුණත් බහුතරය මහින්ද රාජපක්ෂට තමයි ලැබුණේ. එදා ශ්‍රීලනිප සභාපති ඔහුයි. මෙවර මැතිවරණයේදී ශ්‍රීලනිප ඡන්ද සුළු ප්‍රමාණයක් වත්මන් ශ්‍රීලනිපයට ලැබිලා තිබෙනවා. ඒ අනුවත් ශ්‍රීලනිප දෙකඩ වෙලා කියන්න බෑ. මේ මැතිවරණය රටේ නායකත්වය තීරණය කරන මැතිවරණයක් වූවා නම් ශ්‍රීලනිප නොබෙදී ඡන්දය පාවිච්චි කරනවා.
 ඔබේ විග්‍රහයට අනුව ශ්‍රීලනිපයේ දැන පවතින්නේ නාමික නායකත්වයක්ද..?
ඒකට උත්තරය 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵල හා මෙවර ප්‍රතිඵල විග්‍රහයේදී පැහැදිලියි. පිළිගත් සම්මතයන්ට අනුව රටේ නායකයා ශ්‍රීලනිප නියෝජනය කරන්නෙක් නම් ඔහුට ශ්‍රීලනිප නායකත්වය හිමි වෙනවා. ශ්‍රීලනිප නායකත්වයට පත් වූ අය එහි ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නැත්නම් ඔහුව ජනතාව ප්‍රතික්ෂේප කරනවා. මෙවර සිදුව ඇත්තේ ඒක ‍නෙවෙයිද..?
 මෙවර මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට විශිෂ්ට
ජයක් ලැබි තිබෙනවා. ඒ අනුව නිගමනය වන්නේ ඔහු හා ඔහුගේ රජය කළ වැරැදිවලට ජනතාව සමාව දී හෝ එවැනි වැරදි නැති බව තහවුරු කිරීමක්ද..?
මේ ප්‍රතිඵල අනුව එවැන්නක් කිසිසේත්ම සිදුවිය නොහැකියි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ආධාරකරුවන් කරන යම් යම් ප්‍රකාශවලින් ජනතාවට අවබෝධයක් ඇති වෙනවා මහින්දට හා ඔහුගේ රජයට වත්මන් රජය එල්ල කරන විවිධ චෝදනා ප්‍රතික්ෂේප කරලා ජනතාව ඡන්දය පාවිච්චි කරලා තිබෙනවා කියලා. මෙවර මැතිවරණයේදී ජනතාව මහින්ද රාජපක්ෂට ඡන්දය පාවිච්චි කරන්න බලපෑ ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. එකක් ඔහු මෙරටේ දරුණු යුද්ධයක් අවසන් කළ නායකයෙක් කියන කාරණය. අනෙක රට තුළ දැවැන්ත ජනතාවාදී සංවර්ධනයක් ඇති කළ අයෙක්ය යන කාරණය. අනෙක තමයි ජනතාවට බරක් නොදී ජීවන බර සැහැල්ලු කළ නායකයෙක් කියන කාරණය. මේ රජය මහින්ද හොරා කෑවා කියල කිව්වත් එදා ජනතාවට අද තරම් ජීවත් වීමේ අපහසුතා තිබුණෙ නෑ. ඒ නිසා ජනතාව ඔහුට ඡන්දය දුන්නෙ හොරා කාලා හරි අපට කරදරයක් තිබ්බෙ නෑනෙ කියන හැඟීමෙන්. මේ ආණ්ඩුවත් හොරා කනවා. උන් හොරා කන ගමන් අපිටත් ජීවත් වෙන්න අමාරුයි. එහෙම හිතල තමයි මේ රජයට විරුද්ධව ජනතාව ඡන්දය දුන්නේ. ඒ නිසා මේ ඡන්ද ප්‍රතිඵලය තුළින් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ රජයට එල්ල වී ඇති දූෂණ හා වෙනත් චෝදනා අවලංගු වෙන්නෙ නෑ. ඔවුන්ට එල්ල වී ඇති චෝදනා පදනම් රහිත බව ඔප්පු කිරීම ඔවුන් සතු කාර්යයක්. ජනතාව ඒ දෙස බලාගෙන ඉන්නවා.
 මෙවර මැතිවරණ ප්‍රතිඵල සමග රටේ යම් දේශපාලන අස්ථාවරතාවයක් ගොඩනැගිලා. මේ තත්ත්වයට ඔබේ යෝජනා මොනවද..?
මේ මැතිවරණය රටේ පාලනය වෙනස් කරන මැතිවරණයක් නමෛයි. රට අවුරුදු පහක් පාලනය කරන්න ජනතාව මීට කලින් ජනවරමක් දීලා තිබෙනවා. ප්‍රශ්නය මතු වන්නේ ඒ ජනවරම භාවිතා කරමින් පාලන ව්‍යුහය සකස් කර ගත් ආකාරය නිසයි. ඒ නිසා මෙවර මැතිවරණයේ ජනතා තීන්දුව ගැන සියලු දේශපාලන පක්ෂ කටයුතු කළේ හා අපේක්ෂා කළේ ජාතික මැතිවරණ තීන්දුවක් අපේක්ෂාවෙන් බව පැහැදිලිව දකින්න තිබුණා. ප්‍රතිඵලය කිසිවෙකුත් අපේක්ෂා නොකළ ප්‍රතිඵලයක් වුණා. ඒ නිසා දැන් ජාතික මෙන්ම ජාත්‍යන්තරවත් යම් දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා. විසඳුම් දෙකක් අපට හඳුනා ගන්න පුළුවන්. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු ප්‍රබල නිල විපක්ෂයකට ඉඩ දී දැන් පවතින ක්‍රමයටම ආණ්ඩුව කර ගෙන යෑම ඉන් එක් විසඳුමක්. ඒ සඳහා එකඟතාවක් ඇති නොවන්නේ නම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ආණ්ඩුව විසින්ම පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන් යෝජනාවක් සම්මත කර ගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමයි. ඊට අමතරව ඔළු ගෙඩි මාරු කරල අලුත් ආණ්ඩුවක් හදන්නත් ඉඩ කඩ තිබුණත් එවැනි ආණ්ඩුවක් පවත්වා ගෙන යෑම පහසුවේ යැයි සිතන්න අමාරුයි.

-ජයසූරිය උඩුුකුඹුර-

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ ආචාර්ය අතුල විතානවසම් සමග කල සාකච්ඡාවකි

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමත් සමග රටේ දේශපාලනයේ විවිධ ආන්දෝලනයන් ඇතිවිය. අගමැතිවරයා වෙනස් කළ යුතු බවට අදහසක් මතුවී තිබෙන අතර ඒ සඳහා ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන කුමක්ද යන්න ගැන අවධානය යොමුවී තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නම් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙයි. අගමැතිවරයා ඉවත් කිරීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන තිබේද යන්න ගැන විවාදයක් ඇතිවී තිබේ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන අවස්ථාවේදී මූලික කෙටුම්පතේ අගමැතිවරයා ඉවත් කිරීමේ ප්‍රතිපාදන සෘජුව ඇතුළත් කර තිබුණත් සම්මතවූ කෙටුම්පතේදී එය සංශෝධනය විය. 
19 වැනි සංශෝධනයට ඉදිරිපත් කළ අවස්ථාවේදී 46 (1) වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක්විය. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කළේ මෙය සංශෝධනය කිරීමටය. ඒ අනුව පාර්ලිමේන්තුවට කෙටුම්පත ඉදිරිපත් වූ අවස්ථාවේදී එයට සංශෝධනයක් ඉදිරිපත් වූයේ කාටත් නොදැනෙන ලෙසය. එය වෙනස් කළේ කිසියම් අමුතු ආකාරයකටය. 46 - 2 වගන්තිය අනුව අගමැතිවරයා ජනාධිපතිවරයා වෙත යවනු ලබන ඉල්ලා අස්වීමේ ලිපියක් මගින් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවූවෙක් වූවොත් මිස අමාත්‍ය මණ්ඩලය පවතින තාක් කල් ධුරය දරන්නේ යැයි සඳහන් වේ. එම වගන්ති සංශෝධනයෙන් පසුව අගමැතිවරයා ඉවත් කළ  හැක්කේ ඉල්ලා අස්වීමකින් මිස හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙක් නොවූ විට විය. එහෙත් 46 (3) වගන්තිය අනුව අමාත්‍යවරයෙක් ධුර දැරීම ගැන සඳහන් වේ. අගමැතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපතිවරයා විසින් යවනු ලබන ලිපියක් මගින් ඇමැතිවරයෙක් ඉවත් කළ හැකිය. අගමැතිවරයා ධුරයෙන් ඉවත් විය හැක්කේ අවස්ථා දෙකකදීය. එහෙත් අනෙක් ඇමැතිවරයෙක් ඉවත් කිරීමට හැකිය. ඒ අනුව කැබිනට් මණ්ඩලය පවතින තාක් කල් අගමැතිවරයා ධුරයේ රැඳී සිටී.
එහෙත් 19 වැනි සංශෝධනයේ මෙවැන්නක්ද සඳහන් වේ. 48 (1) වන්තිය අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණය පවත්වන තෙක් කාලය තුළ හැර ධුරයෙන් ඉවත් කරනු හැරීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකින් ධුරය දැරීම අවසන් වීමෙන් පසුව.... යනුවෙන් සඳහන් වේ. එහි ඉංග්‍රීසි පිටපතේ සඳහන් වන්නේ අගමැති මරණය, ඉල්ලා අස්වීම හෝ වෙනත් කාරණයකදී ධුරය දැරීම අවසන් වුවහොත් යනුවෙනි. සිංහල පිටපතේ සඳහන් වන්නේ ධුරයෙන් ඉල්ලා අස්වීම, ධුරයෙන් ඉවත් කරනු ලැබිම යනුවෙන් සඳහන් වේ. සිංහල පිටපත අනුව පාර්ලිමේන්තුව විසුරුවාහැරි කාලය හැර වෙනත් කාලයකදී අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීම ගැන සඳහන් වේ. ඒ අනුව ධුරයෙන් ඉවත් කිරීමට හැක්කේ ජනාධිපතිවරයාට පමණි. පාර්ලිමේන්තුව විසුරවාහැර නොමැති කාලයකදී අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ හැකි ආකාරයක් ඒ අනුව 48 වැනි වගන්තියේ සඳහන් වේ. මේ අවස්ථාවේදී අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළහොත් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරේ. එවිට ජනාධිපතිවරයාට අලුත් ඇමැති මණ්ඩලයක් පත් කළ හැකිය.
46 වැනි වගන්තිය හා 48 වැනි වගන්තිය අතර ගැටුමක් ඇතිවුවහොත් ඒ පිළිබඳ අර්ථ නිරූපණය කළ යුතු වන්නේ  ශ්‍රේෂ්ඨාධිකරණයයි. අප ව්‍යවස්ථාවක් අර්ථකථනය කළ යුත්තේ ව්‍යවස්ථාවක වගන්ති අතර ගැටීම් නොමැති බවට උපකල්පනය කරගෙනය. සෑම වගන්තියක්ම අනෙක් වගන්තියට ගැළපෙන ආකාරයට පනවා ඇතැයි යන පූර්ව නිගමනය අනුව ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කළ යුතුය. අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත් වුවහොත් හැර අමාත්‍ය මණ්ඩලය පවතින තාක් කල් අගමැතිවරයා සිය ධුරයේ රැඳී සිටිය යුතු බව සඳහන් වන්නේ ව්‍යවස්ථාවේ 46 වැනි වගන්තියේය. එහෙත් 48 වැනි වගන්තියෙන් දක්වන්නේ අමාත්‍ය මණ්ඩලය විසුරුවාහරිනු ලැබූ අවස්ථාවක් ගැනය. අගමැති ධුරයෙන් ඉවත්වීමත් සමග මුළු ඇමැති මණ්ඩලයම විසුරුවා හැරේ. අගමැතිවරයාට සිය ආරක්ෂාව පවතින්නේ ඇමැති මණ්ඩලය පවතින තාක් කල්ය. ඒ අනුව බලන විට 46 වැනි වගන්තියෙන් ලබාදී ඇති ආරක්ෂාව 48 වැනි වගන්තියෙන් ස්වායත්තව පැවැතිය හැකිය. එනම් 48 වැනි වගන්තිය අනුව ඇමැති මණ්ඩලය සමග අගමැතිවරයා ඉවත් කළ හැකි බවට අර්ථකතනයක් ලබාදිය හැකිය.
කිසියම් පුද්ගලයෙක් ධුරයකින් ඉවත් කළ හැක්කේ ධුරයට පත් කළ පුද්ගලයාටමය. අගමැතිවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයාය. ඒ අනුව අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාටමය. අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැතිනම් ඔහු ධුරයෙන් ඉවත් කළ හැකිද යන්න ගැන  ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබාදුන්නහොත් මේ පිළිබඳවද අවධානය යොමුවනු ඇත.
අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ යුතු බවට වන අදහස ඉදිරිපත් වන අතරවාරයේදී ඉදිරිපත්වූ අනෙක් අදහස වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර වහාම මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවට වන අදහසයි. මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවාහැර මහ මැතිවරණයක් පවත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉල්ලා සිටියේය. 19 වැනි සංශෝධනය අනුව පාර්ලමේන්තුව විසුරුවා හැරීමට නම් පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයක් ඇති කරගත යුතුය. පාර්ලිමේන්තුව කැඳවීම, විසුරුවාහැරීම ගැන හෝ වාර අවසාන කිරීම ගැන තීරණය ගත හැක්කේ ජනාධිපතිවරයාටය. එහෙත් 19 වැනි සංශෝධනය අනුව පාර්ලිමේන්තුව කැඳවා වසර හතරකුත් මාස හයක් ගතවන තෙක් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවාහැරිය හැකි නොවේ. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසුරුවා හැරීමට නොහැකි නිසා විසුරුවා හැරීමට අවශ්‍ය නම් නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කරගත යුතුය.
පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලීම සම්බන්ධයෙන් විවිධ අදහස් මතුවේ. ගමේ නියෝජිතයා තෝරා පත් කරගැනීමට පැවැත්වූ ඡන්දයෙන් රටේ නායකයා වෙනස් කළ නොහැකි බව ඇතැම්හු පවසති. මේ ඡන්දයේදී ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ කුමන අභිලාෂයෙන්ද යන්න ගැන අවධානය යොමු කළ යුතුය. ඒ ඒ ප්‍රදේශයට ඉදිරිපත්වූ අපේක්ෂයා ගැන අවධානය යොමු කිරීමෙන් පසුව, අදාළ සභාව සඳහා සුදුසු අපේක්ෂකයා සභිකයෙක් ලෙස තෝරා ගැනීම පමණක් ඡන්දදායකයාගේ අභිලාෂය වූයේ නම් ඒ මගින් රාජ්‍ය පාලනයේ වෙනසක් කළ යුතු නැතිය යන අදහස මතුවේ. ලංකාවේ උතුරු පළාතේ කිසියම් ප්‍රදේශයක් හැර අනෙක් ප්‍රදේශවල ජනතාව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ එක් අරමුණක් වෙනුවෙන්ය. සමස්ත ඡන්දදායකයින් හැසිරී ඇති ආකාරය ගැන අවධානය යොමු කරන විට ඒ ඒ ප්‍රදේශයට ඉදිරිපත්වු අපේක්ෂකයා ගැන අවධානය යොමු කිරීමෙන් ඔබ්බට ගොස් රජය සම්බන්ධයෙන් තීන්දුවක් ලෙස සිතා මෙම තීරණය ගෙන තිබේ. මෙය එක් ආකාරයකින් ජනමත විචාරණයක් ලෙස ගත හැකිය. ඡන්දදායකයා ඡන්දය පාවිච්චි කළ ආකාරය දෙස බැලූ විට පළාත් පාලන ආයතන වපසරියෙන් ඔබ්බට ගොස් තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද ප්‍රතිඵලය ඊට ඉහළින් ඇති ව්‍යවස්ථාදායකයට හා විධායකයට බලපෑමක් එල්ල කර තිබේ. ඡන්ද දායකයාගේ ච්ෙතනාව එය නොවේ. ව්‍යවස්ථාදායකයට හා විධායකයට සිදුව ඇත්තේ ඡන්දදායකයාගේ ච්ෙතනාව අනුව අභ්‍යන්තර වෙනසක් කිරීමට සිදුව ඇත. වෙනස කළ යුත්තේ ඔළුගෙඩි මාරු කරමින් නොවේ. ප්‍රතිපත්ති වෙනස් කරමින් එය වෙනස් කළ යුතුය.
මෙවර මැතිවරණයේදී ඡන්ද දායකයා ඡන්දය ප්‍රකාශ කළේ ප්‍රතිපත්ති ගැන අවධානය යොමු කිරීමෙන්ය. මේ වන විට ආණ්ඩුව ගමන් ගන්නා ගමන් මාර්ගය වෙනස් කළ යුතුය. ජනතාවගේ පණිවුඩය වී ඇත්තේ එයයි. එම ජනතා මතය තේරුම් ගෙන කටයුතු කිරීම දේශපාලනඥයින්ගේ කාර්යභාරය වෙයි.
 
නීතිඥ  කණිෂ්ක විතාරණ
 
 සාකච්ඡාකළේ - සංජය නල්ලපෙරුම

මෙම සතිය උදා වූයේ උණුසුම් දේශපාලනික කතිකාවක් සමගිනි. ඉකුත් 10 වෙනිදා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය ආණ්ඩුව අපේක්ෂා කළ එකක් නොවීය. මක්නිසාද යත් මතෛක් පැවැති සෑම පළාත් පාලන මැතිවරණයක්ම බලයේ සිට පක්ෂය හෝ පාර්ශ්වය පහසුවෙන්ම දිනාගෙන තිබූ නිසාය. අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය කල්පනා කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී තිබෙන පසුබිමක පහසුවෙන්ම තම ඡන්ද ප්‍රමාණය වැඩි කරගෙන ස්වාධීන පළාත් පාලන ඒකක පවත්වාගෙන යාමේ හැකියාව ලැබෙනු ඇති කියාය. එම නිසා ඔවුන්ද ඒකාබද්ධ විපක්ෂය මෙන්ම මැතිවරණ වේදිකාවේ කියා සිටියේ මෙය ජනමත විචාරණයක් ලෙස සලකන බවය.
වත්මන් ආණ්ඩුව බලයට පත්වී වසර තුනක් සම්පූර්ණ වීම ජනමතය යළි විමසීමකට අවස්ථාව උදාවීම දේශපාලන පක්ෂවල පමණක් නොව දෙස් විදෙස් නිරීක්ෂකයන්ගේද අවධානය යොමුවූවකි. මක්නිසාද යත් ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීම සඳහා ස්ථාවර දේශපාලන පසුබිමක් තිබිය යුතු නිසාය. යහපාලන ආණ්ඩුව දේශපාලන පක්ෂ කිහිපයක නායක කාරකාදීන් හා දේශපාලකයන්ගෙන් සැදුම්ලත් එකක් විය. මැතිවරණයට පෙර සිටම මෙම දේශපාලන නායකයන් අතර පැවැති පරස්පරතාවයන් කරළියට පැමිණියේය. මැතිවරණයට සති දෙකක් පමණ තිබියදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ පවසා සිටියේ ආර්ථිකයේ ගමන්මග පිළිබඳව තමන්ට සතුටුවිය නොහැකි බැවින් එය තමන්ගේ පාලනයට නතු කරගන්නා බවකි. දෙස් විදෙස් ආයෝජකයන් රට හැර යමින් පවතින බව පැවැසූ ජනාධිපතිවරයා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ තමන් ආර්ථිකය මෙහෙයවීමේ වගකීම භාරගන්නා බැවින් රටින් පිටව යාමෙන් වළකින ලෙසය.
 
ග්‍රාමීය ආර්ථිකය
 
ජනාධිපතිවරයා ආර්ථිකය දෙස නෙත යොමන විට ග්‍රාමීය ආර්ථිකය අඩපණව ගොස් අවසන්ය. පෙබරවාරි 10 වෙනිදා මැතිවරණ ප්‍රතිඵලයෙන් ගම්‍ය වූයේ ග්‍රාමීය ජනතාව මතු නොව නාගරික ප්‍රදේශවල ජනයාගේද ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්වී තිබෙන බවකි. ආර්ථිකයේ මූල්‍ය ප්‍රවාහය ග්‍රාමීය ආර්ථිකය තුළ වේගයෙන් සංසරණය වීමට තිබූ ප්‍රවේශයන් වැසීයාම, ‍පොලී අනුපාත වේගයෙන් ඉහළ යාම, බදු බර ඉහළ යාම, කෘෂි 
නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හා ඊට නිසි වෙළෙඳ ‍පොළක් නොමැතිවීම, වෙළෙඳ‍පොළේ භාණ්ඩ හිඟවූ සැණින් ආනයනය කිරීමට යොමුවීම තුළින් දේශීය නිෂ්පාදකයා අධෛර්යට පත්ව ඔහු නිෂ්පාදන ප්‍රවාහනයෙන් ඉවත්වීම, අතරමැදියන්ගේ දැඩි සූරා කෑමට ලක්වීම හා එය වැළැක්වීමට නිසි පියවර නොගැනීම වැනි ආර්ථිකමය කරුණු ගණනාවක් නිසි ලෙස කළමනාකරණය කරගැනීමට නොහැකිවීම නිසා ග්‍රාමීය ආර්ථිකයෙන් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය පහළ වැටුණි. එහි ප්‍රතිඵලය වූයේ ජනතාවගේ ආදායම් මට්ටම පහළ වැටී ජීවන වියදම ඉහළ යාමය. ජනතාවට ජීවත්වීම දුෂ්කර වනවිට පවතින ඕනෑම ආණ්ඩුවකට එරෙහිවීම සාමාන්‍ය මහජනතාවගෙන් බලා‍පොරොත්තු විය හැකි තත්ත්වයකි.
2015 වර්ෂයේදී වත්මන් ආණ්ඩුව ජනතාව තමුන්ට ලබාදුන් ‍පොරොන්දු නිසි ලෙස ඉටුකිරීමට සමත්ව සිටීද? ඕනෑම කටයුත්තක් අරභයා ආර්ථික සාධනය වැදගත්ම සාධකය වන බැවින් අපගේ අවධානය යොමුවනුයේ ආර්ථික කරුණු කෙරෙහිය. දෙස් විදෙස් ආයෝජන පුළුල් කරමින් වසර 05ක් ඇතුළත රැකියා දසලක්ෂයක් බිහිකරන බව ආණ්ඩුව ජනතාවට ‍පොරොන්දු විය. රැකියා දශලක්ෂයක් ඉබේ බිහිවන්නේ නැත. ඒ සඳහා නිෂ්පාදනය 
හා කර්මාන්ත ක්ෂේත්‍රයේ 
විශාල ආයෝජනයන් සිදුවිය යුතුය. රැකියා එවැනි ප්‍රමාණයක් බිහිවෙන අතරතුර ආර්ථිකයෙන් විශාල පිබිදීමක් හා ප්‍රබෝධයක් ජනිත වනු ඇත. නමුත් එවැන්නක් සිදුවූයේ නැත. ඉහළ ආර්ථික වර්ධන වේගයකින් තොරව රැකියා 
නිෂ්පාදනයක් අපේක්ෂා කළ නොහැකිය. 2017 වර්ෂයේ ආර්ථිකය සියයට 5.5කින් හෝ වර්ධනය වූයේ නැත. මේ තත්ත්වය යටතේ අපේක්ෂිත ප්‍රතිඵල ජනතාවට ලබාදීමට රජය අ‍පොහොසත් විය. ඒ වෙනුවට ආණ්ඩු පාර්ශ්වය පැවැසුවේ රාජපක්ෂ රජය සමයේ ලබාගත් ණය නිසා ආර්ථිකය ඉදිරියට ගෙනයා නොහැකි බවය.
 
ජනතා ප්‍රතිචාරය
 
නමුත් ජනතාවගෙන් බහුතරයක් ආණ්ඩුවේ එම කතාව තඹ දොයිතුවකට මායිම් කර නොමැති බව පෙනී යන්නේ යළිත් මහින්ද රාජපක්ෂ නායකත්වය ලබාදුන් නව පක්ෂය දිනවීමට ඡන්දය ප්‍රකාශ කොට තිබිමෙන්ය. පෙබරවාරි 10 වෙනිදා ප්‍රතිඵලයෙන් ආණ්ඩුව දැන් අර්බුදයකට ලක්වූයේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පත්වූයේ දැඩි අවුලකය. මෙය ජනමත විචාරණයක් ලෙස සලකන ලෙස දේශපාලන නායකයෝ ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළහ. සම්මුතිවාදී ආණ්ඩුවේ සිටින එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කියන්නේ ස්වාධීන ආණ්ඩුවක් (තනි ආණ්ඩුවක්) පවත්වාගෙන යායුතු බවය. නමුත් ඔවුනට ඒ සඳහා වන බහුතරය සොයාගැනීමේදී වෙනත් දේශපාලන 
පක්ෂවල සහය ලබාගැනීමට සිදුවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ද වෙනම ආණ්ඩුවක් ගැන කතා කරන අතරතුර එසේ නොහැකි වුවහොත් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටිය යුතු බවට අදහස් ඉදිරිපත් කොට ඇත. මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටින්නේ පාර්ලිමේන්තුවේ නීති සංශෝධනයකින් වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවන ලෙසය.
 
දේශපාලන අවිනිශ්චිතතාව
 
මෙකී අපේක්ෂක මතවාද හා අදහස් සියල්ල විමසා බලනවිට ඉතා පැහැදිලිව පෙනෙන යමක් ඇත. එනම් දේශපාලන අවිනිශ්චිතභාවය හා අස්ථාවර ආණ්ඩුවක් බිහිවීමේ වැඩි ඉඩකඩකි. ඕනෑම දේශපාලන පක්ෂයක අරමුණ බලය ලබාගැනීම, පවත්වාගැනීම හා එය ආරක්ෂාකර ගැනීමයි. එම අර්ථයෙන් බලන කල්හි වත්මන් දේශපාලන නායකයන්ටද අවශ්‍යව ඇත්තේ ස්ථාවර ආණ්ඩුවක් බිහිකරගැනීම කෙසේ වෙතත් කෙසේ හෝ බලය පවත්වාගෙන යාමය.
නමුත් මෙමගින් රටට සහ ආර්ථීකයට සිදුවන්නේ විශාල හානියකි. ස්ථාවර ආණ්ඩුවක් නොමැති වූ විට එම රටේ සිටින ආයෝජකයන් පවා ස්වකීය ආයෝජන අරමුණු ප්‍රමාද කරගැනීමට යොමුවන අතර ඇතැම් ආයෝජකයෝ කලාපයේ වෙනත් ස්ථාවර ආර්ථිකයක් ඇති රටවල් කරා යොමුවෙති.
අනෙක් පැත්තෙන් ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අවැසි විදේශ මූල්‍යාධාර සහ ණය ලබාගැනීම දැඩි අර්බුදයකට ලක්වනු ඇත. ඕනෑම රටකට ණය ලබාදීමේදී එම රටේ ආණ්ඩුවේ ඇති ස්ථාවරත්වය ජනතා කැමැත්ත ආර්ථික ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී දක්වන දක්ෂතා ආදිය පිළිබඳව දැඩි අවධානයක් යොමුකරනු ලබයි.
පවතින නායකත්වය යටතේ එවැනි ස්ථාවර බවක් ජාත්‍යන්තරයට පෙන්වීමේ හැකියාවක් ආණ්ඩුවට ලැබේද යන්න සැක සහිතය. ආණ්ඩුව දේශපාලනික වශයෙන් ශක්තිමත් නොවන විට උද්ඝෝෂණ, වැඩ වර්ජන හා විරෝධතාවන්ගේ අඩුවක්ද අපේක්ෂා කළ නොහැකිය. මෙම 
උද්ඝෝෂණ වැඩ වර්ජන දෙස් විදෙස් ආයෝජකයන් දැඩි ලෙස අධෛර්යමත් කරන සාධකයෝ වෙති. මෙම විරෝධතා බැටන් ‍පොල්ලෙන්, කඳුළු ගෑස්වලින් මර්දනය කිරීමට ගියහොත් ආණ්ඩුවට එරෙහිව පෙළගැසෙන ජනරැල්ල තවදුරටත් වැඩිවනු ඇත.
විදේශ ආයෝජන, කොටස් වෙළෙඳ‍පොළ වැනි සංවේදී ආර්ථික සාධක කෙරෙහි ඕනෑම රජයක පවත්නා ආර්ථික ප්‍රතිපත්ති හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී දක්වන ස්ථාවරත්වය දැඩි ලෙස බලපෑම් කරනු ලබයි. ආණ්ඩුවක් දේශපාලනික වශයෙන් බෙලහීන වනවිට ඇතැම් ආර්ථික ප්‍රතිපත්ති හා තීරණයන් ක්‍රියාත්මක කිරීමට නොහැකිවනු ඇත. මක්නිසාදයත් ඒවාට එරෙහිව නැගෙන විරෝධතාවන් හා උද්ඝෝෂණයන් ඉදිරියේ පසුබෑමකට ලක්වන නිසාය. උදාහරණයක් ලෙස ත්‍රිකුණාමලය වරායේ තෙල් ටැංකි ඉන්දියාවට පැවැරීම හෝ බදුදීම යන කාරණාව අරභයා ඇතැම් දේශපාලන පක්ෂ ආණ්ඩුවට එරෙහිව රතු එළි දල්වා තිබිම දැක්විය හැකිය.
ආර්ථිකය දේශපාලනයට නතු වුවහොත් එහි ඉදිරි වර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය. ඉහළ ආර්ථික වර්ධනයක් සඳහා ස්ථාවර ආණ්ඩුවක් පැවැතීම අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස ආර්ථික විද්‍යාඥයින් පෙන්වාදී ඇත්තේ එම නිසාය.
 
සාලිය ජනකකුමාර

මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නියමිත කාලයට වඩා වසර තුනක් ප්‍රමාදව පැවැත්වූයේ තවදුරටත් එය කල් දැමීමට නොහැකි නිසාය. ඒ නිසා ජනතාව තුළ යම් විරෝධයක් මතුවී තිබුණේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයට එකට එක්වී සැදු ජාතික ආණ්ඩුව තරග කරන පළමු පළාත් පාලන මැතිවරණය වූයේ මෙයයි. එකිනෙකට වෙනස් ප්‍රතිපත්ති එකට පෑහෙන්නේ නැති විරෝධතාවයන් සමග මේ මැතිවරණය පැවැත්වුයේය. මීට දශක ගණනාවක් තිස්සේ මැතිවරණ පැවැත්වූ ක්‍රමවේදයට වෙනස්ව කොට්ඨාස ක්‍රමයට මෙවර මැතිවරණය පැවැත්වූවේය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට ගැලපෙන සමානුපාතික ක්‍රමය යටතේ මීට පෙර මැතිවරණ පැවැත්වුවත් මේ මැතිවරණ ක්‍රමය ජනතාවට සමීප වී ඇති බව පෙනෙන්නට තිබුණේය. පැවැති ක්‍රමය තුළ කිසියම් ආකාරයක බලපෑම්වලට ලක් වුවත් නව ක්‍රමය තුළ නිදහස්ව ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවකාශය උදාවී තිබුණි.
ගෝලීය වශයෙන් හා ජාතික වශයෙන් අර්බුදයට ගොස් තිබෙන නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක ජාතික ආණ්ඩුවත් තුළ මැතිවරණය පැවැත්විය. මීට පෙර ලිබරල්වාදය කඩා වැටීමකට හෝ අර්බුදයකට ගිය වාතාවරණයක් තුළ මෙවැනි මැතිවරණයකට මුහුණදීමට සිදුවූයේ නැත. මෙහි ඇති ගතිකයන් මෙහි දේශපාලන විඥානය සකස්වීමට බලපෑවේය. ලංකාවේ දේශපාලන සංස්කෘතිය තුළ ජාතික ආණ්ඩුවක් තුළ එකිනෙකට විරුද්ධ සමාජ ආර්ථික ප්‍රතිපත්ති සහිත දේශපාලන පක්ෂ දෙකක් මැතිවරණයට ඉදිරිපත් විය. ඒ නිසා පසුගිය අවුරුදු තුන තුල ඇතිවූ කළකිරීම් හා ජනතා විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමේ ගතිකයන් මේ පළාත් පාලන මැතිවරණයේදී තීන්දු වලට බලපා ඇති බව සැලකිය හැකිය.
මේ  මැතිවරණය විශේෂයෙන් වැදගත් වන්නේ ලංකාවේ පළාත් පාලන මැතිවරණ පැවැත්වූයේ මධ්‍යම ආණ්ඩුවේ නැතහොත් විධායකයේ බලය පවත්වාගෙන යමින් බැවිණි. රජය පවත්වාගෙන යන අතරවාරයේදි ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය පරාජයට පත්වීම 
විශේෂත්වයකි. පාර්ලිමේන්තු බලය හා ජනාධිපති බලය තිබුණ හෙයින් ඒ බලය එලෙසින්ම පළාත් පාලන ආයතනවල දිගටම පවත්වාගෙන යාමට හැකි බව මැතිවරණ ව්‍යාපාරය තුළදී ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළේය. එහෙත් පක්ෂ ලෙස ගත් විට මේ මැතිවරණය පවත්වන්නේ නව ලිබරල්වාදය ගෝලීය වශයෙන් අර්බුදයකට ගොස් ඇති අවස්ථාවකදීය. ලිබරල්වාදී පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ලිබරල්වාදයේ පළමු ඉනිම පරාජයට පත්වී නැවත වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසකට ඒකාබද්ධවී බලය අල්ලාගෙන දියත් කිරීමට උත්සාහ කළ සමාජ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස ජනතාව කළකිරීමකට හා ඈත් වීමකට ලක්ව තිබේ. ජනතාවට විශාල පීඩනයක් හා විශාල බරක් දැනී ආණ්ඩුව නොරුස්සන ස්වභාවයක් ඇතිවිය. ජනතාව තුළ විශාල ප්‍රතිරෝධයක් ආණ්ඩුවට විරුද්ධව ඇතිවිය. මෙය මාධ්‍ය තුළින් සමස්ත ලෙස ප්‍රචාරය වූයේ නැත. ගම් මට්ටමේ හා බිම් මට්ටමේ තිබූ ජනතා ලැදියාවන් හා වුවමනාවන් මාධ්‍ය හා විඥාපන මාධ්‍ය භාවිතා කිරීමේ ස්වභාවයක් දක්නට ලැබුණේය. එහෙත් මේ මැතිවරණය තුළදී බිම් මට්ටම තුළ තිබූ සැබෑ ස්වභාවය මතුවිය. ආණ්ඩුව ගෙන ගිය සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ප්‍රතිපත්ති, සමාජ විරෝධී, ජනතා විරෝධී, ආකල්ප විරෝධී ප්‍රතිපත්ති බව මැතිවරණය තුළින් පෙනී ගියේය. ජනතාව එයට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස මැතිවරණ ප්‍රතිඵල දැක්විය හැකිය. 
පසුගිය කාලයේදී යුද හමුදාව හා ජනතාව බෙදුම්වාදී ජාතිවාදී යුද්ධය පරාජයට පත් කර සමස්තයක් ලෙස රට පාලනය කිරීමේ හැකියාව ලැබුණි. පශ්චාත් සංග්‍රාමික අවකාශය තුළ  ආර්ථීක, දේශපාලන වර්ධනයන් ඇතිවිය. කලාපීය ප්‍රාග්ධනය ගෙන්වා ගැනීම් සමග ආර්ථිකයේ වර්ධනයක් ඇතිවිය. උතුරු නැගෙනහිර ඇතුළු සියලුම ප්‍රදේශ සමස්තයක් ලෙස පාලනය කිරීමේ හැකියාව පශ්චාත් සංග්‍රාමික අවධියේ ඇතිවිය. එයට අනුගතවීමට පැවැති අවස්ථාවකදී, ජාතික හා ගෝලීය වශයෙන් විවිධ දේශපාලන බලවේග හා භූ දේශපාලනික වුවමනාවන් අනුව අස්ථාවර කිරීමේ බලපෑම් පැමිණියේය. ගෝලීය සමාජයේ සිටි ලිබරල්වාදී කණ්ඩායම දේශීය ලිබරල්වාදීන්ගේ කණ්ඩායම් සමග එක්වී සැලසුම් සහගත උපාය මාර්ගයක් අනුගමනය කරගෙන ගියේය. එහි ප්‍රතිඵලය ඇතිවූයේ ජනවාරි 8 වැනිදාය. 
එතැනින් පසුව ඇතිවූ ආණ්ඩුව සංකීර්ණ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැගෙන ආ සමාජ ප්‍රජාතන්ත්‍ර්‍රවාදී ප්‍රතිපත්තිය චන්ද්‍රිකා යුගයේදී ලිබරල්කරණය වී එහි දෙවැනි පියවර ජනවාරි 8 වැනිදායින් පසුව ක්‍රියාත්මක විය. එක්සත් ජාතික පක්ෂය පිරිහී සිටි තත්වයක් තුළ තනියම බලය ලබාගැනීමට නොහැකිව තිබූ තත්ත්වයක් තුළ ජන විඥානය තුළ සිය දේශපාලන පැවැත්ම ඒ වන විට අර්බුදයකට ගොස් තිබුණේය. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබූ අභ්‍යන්තර ප්‍රතිවිරෝධයක් භාවිතා කරමින් මෛත්‍රීපාල සිරිසේන ‍පොදු අපේක්ෂකයා බවට පත් කර නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේ දෙවැනි පියවර ආරම්භ කළේය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට වඩා ක්‍රියාත්මක වූයේ අර්බුදයට යමින් තිබූ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය. එය  ක්‍රියාත්මක කිරීම සඳහා බලහත්කාරී ලෙස විවිධ මට්ටම් ලෙසින් විවිධ පියවර ගත්තේය. ඒ ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ පැවැත්ම අහිමි කරගත්තේය. සිය අනන්‍යතාවය නැති කරගනිමින් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට සහාය ලබාදීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාවගෙන් ඈත් වීමට ගත්තේය. 
එවැනි තත්ත්වයක් තුළ මේ මැතිවරණය විසින් ක්‍රියාවට නංවන ලද ආණ්ඩු පක්ෂය විසින් සාම්ප්‍රදායික මතවාදයන් පරාජය වීමකි. ගමේ ගැටලු විසදාගැනීම, ගමේ පුද්ගලයෙක් තෝරා ගැනීමට ලඝු නොකර මෙය ගැඹුරක් ඇති මැතිවරණයක් බව ජනතාවගෙන් වසන් කිරීමට ආණ්ඩුව උත්සාහ කළේය. මේ මැතිරවණය තවදුරටත් ග්‍රාමීය හෝ නාගරික පාලනය සදහා අවශ්‍ය නියෝජිතයින් තෝරා ගැනීමට වඩා ගැඹූරු  ඇදහසක් ඇති සාධකයක් බවට මැතිවරණය පත්විය. මෙය තවදුරටත් ලඝු කිරීමට නොහැකි ජාතික මට්ටමේ මැතිවරණයක් බවට පත්විය. මේ මැතිවරණය සමග අනාගතයේ දේශපාලන ගතිකයන් හා විභවයන් ගැන තීන්දුවෙයි. ඒ නිසා මේ මැතිවරණය ප්‍රදේශයට සීමා වූ මැතිරවණයක් නොවේ.
පළාත් පාලන ආයතනවලට පත්වන නියෝජිතයින්ගේ සංඛ්‍යාව මෙවර දෙගුණ වී තිබේ. දේශපාලන පන්තිය ලංකා ඉතිහාසයේ පළමු වතාවට මේ තරම් විශාල ලෙස වැඩි විය. මෙය ලාංකිය දේශපාලන සංස්කෘතියකට, ආර්ථිකයට, පරිපාලනයට කොතරම් දුරට දරාගැනීමට හැකියාව ලැබෙන්නේද යන්න සංකීර්ණ ප්‍රශ්නයකි. දැනට ඇති වංචා දූෂණ වැනි ප්‍රශ්න මේ දේශපාලන පංතිය වැඩිවීම සමග වැඩිවිය හැකිය. එමෙන්ම ඔවුන්ට කිරීමට සිදුවන 
වියදමද ඉහළ යනු ඇත. ජනතාව මත ඔවුන් එල්ලකරන පීඩනය වැඩිවනු ඇත. ප්‍රමාණාත්මකව මන්ත්‍රී සංඛ්‍යාව ඉහළ යාමට හේතුවූයේ බිම් මට්ටමේ අවශ්‍යතාවයට වඩා ඉහළ දේශපාලන පංතියේ මතුවූ අර්බුදයන් කළමනාකරණය කිරීමේ විකල්පයක් ලෙස එය යොදා ගැනීම නිසාය. 
පූර්ව මැතිවරණ සමයේදී මැතිවරණය ගැන ඉදිරිපත්වූ සමීක්ෂණවලින් පැවසුනේ කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවය. එහෙත් ශ්‍රී ලංකා නිදහස්  
පක්ෂය හා ‍පොදුජන පෙරමුණ එක්ව තරග නොකරන්නේ නම් ඔවුන්ට වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගැනීමට නොහැකි බවට අදහසක් මතුවිය. එහෙත් ‍පොදුජන පෙරමුණේ බලය එක්වරම සීඝ්‍රයෙන් ඉහළ ගියේය. විශාල ලෙස ජාතික හා ජාත්‍යන්තර බලවේග පරාජයට පත් කිරීමට හා ගෝලීය බලවේගවලට එරෙහිව යමින් තිස් අවුරුදු යුද්ධය පරාජයට පත්  කිරීම නිසා අලුත් දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය විය. අලුත් රාජ්‍යත්වයක ව්‍යුහය ගොඩ නැගුණේය. අලුත් පාලන ව්‍යුහයක්, ආර්ථික ප්‍රබෝධයක් ඇතිවිය. මෙය ජාත්‍යන්තර හා දේශීය විරුද්ධවාදීන් රාජපක්ෂ පවුල් පාලනයකට ලඝු කළේය. දූෂණයට, වංචාවට ලඝු කරමින් එය වෙනස් කිරීමට අවශ්‍ය කරන යම් කිසි ආකාරයක විවිධ තත්ත්වයන් ඇති කළේය. දේශපාලන තන්ත්‍රය වෙනස් කරීමට අවශ්‍ය මූලෝපායන් සකස්වීමට ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස අභ්‍යන්තරික ගැටලු වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස එම රෙජීමය වෙනස් විය. ඒ වෙනස්වීමත් සමග ප්‍රශ්චාත් සංග්‍රාමික අවධිය තුළ පැවැති ව්‍යහුය පාලනය කිරීමට අවශ්‍ය යාන්ත්‍රනය සකස් කරගැනීමට නොහැකි විය. එහි අර්බුදය රටේ ජනතාව පසුගිය වසර තුන තුළදී අත්වින්දේය. දේශපාලන වශයෙන්, පරිපාලනමය වශයෙන් බිඳවැටීම තුළ ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනාම කෙරෙහි පැවති විශ්වාසය බිඳ වැටුණේ්ය. ඔවුන්ගේ වචන යතාර්ථය සමග සම්බන්ධයන් නොමැති ෆැන්ටසියක් බවට පත්විය. මේ තත්ත්වය තුළ මෙය දේශපාලන විහිළුවක් බවට පත්විය. මේ කාරණා සමග විකල්පයක් තිබුණේ නැත. නමුත් මැතිවරණය සමග තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම තුළ පැවැති තන්ත්‍රයට, යහ පාලන ආණ්ඩුවට ජනතාවගේ පැවැති විරෝධය පැහැදිළිව නිරූපණය විය. 
ඉදිරියේදී ලිබරල්වාදය ගෝලීය වශයෙන් පරාජයට පත්වී ඇති තත්ත්වය තුළ දේශීය වශයෙනුත් එම ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට උත්සාහ කළහොත් දැන් ඇතිවී තිබෙන දේශපාලන වෙනස බලපෑමක් එල්ල කරනු ඇත. එය පාර්ලිමේන්තුව, ඇමැති මණ්ඩලය තුළ වෙනසක්කමක් ඇති කිරීමට බලපෑමක් එල්ල කරනු ඇත. කිසිදු බලවේගයකට තවදුරටත් නොසලකා හැරිය නොහැකි සාධකයක් බවට ‍පොදුජන පෙරමුණ පත්වනු ඇත. මේ වන විට එය යථාර්ථවාදී සාධකයක් බවට පත්වනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකාවේ ඉතිහාසය තුළ කළ භූමිකාවට සමාන භූමිකාවක් ‍පොදුජන පෙරමුණ සමග එක්වන බලවේග ක්‍රියාත්මක කරනු ඇත. මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ කොටස මේ වෙනස්වීම නොසලකා ජනවාරි 8 වැනිදායින් පසුව ඇතිවූ පාලනය ඉදිරියට ගෙන යාමට උත්සාහ කළහොත් තවදුරටත් අර්බුදයක් නිර්මාණය වනු ඇත. මේ නිසා ඔවුන්ටද යළිත් ඇතිවූ තත්ත්වය ගැන යළත් කල්පනා කිරීමට සිදුවනු ඇත. අලුත් විකල්ප සෙවීමට ඔවුන්ට සිදුවනු ඇත. ජාතික දේශපාලන ප්‍රභූත්වයට ඒ ගැන  සිතීමට සිදුවෙයි. 
බටහිර කේන්ද්‍රීය බලවේග අප රට මෙහෙයවීමට ගෙන ඇති වැඩපිළිවෙලවල් විවේචනාත්මකව සලකා බැලීමෙන් තොරව ඒවා ක්‍රියාත්මක කළහොත් අරාබි රටවලට අත්වූ ඉරණම අපිට අත්වනු ඇත. පළාත් පාලන මැතිවරණයෙන් ලබාදුන් හොදම සංඥාව වන්නේ ගම, නගරය සංවර්ධනය කිරීමේ පුද්ගලයින් තෝරා ගැනීමට වඩා නිවැරදි දේශපාලන ප්‍රතිපත්තියකට පැමිණිය යුතු බවය. ජනතා වුවමනාවන් නියෝජනය කරන තැනකට පැමිණිය යුතු බවය. යුද්ධය ජයග්‍රහණයෙන් පසුව රට පාලනය කිරීමට ඇති කළ තන්ත්‍රය තවදුරටත් ශක්තිමත් කළ යුතු බවය. සමාජයක්, ජනතාව පාලනය කිරීමේ 
දෘෂ්ඨිකෝණයෙන් ජනාධිපතිවරයා ඇතුළු සියලු අය කටයුතු කළ යුතු බවය. අනුකම්පාවට හෝ වෙනත්  සාධක මුල් කරගන්නේ නැතිව පාලනය යන්න මුල් කරගෙන කටයුතු කළ යුතුය. ඉහළ මට්ටමේ  දේශපාලන ප්‍රභූත්වයට පැරණි ආකාරයට ඉදිරියට යා නොහැකි බව තේරුම් ගත යුතුය. අනාගත ලාංකීය දේශපාලන සංයුතිය තුළ ‍පොදුජන පෙරමුණේ ඇති අභිලාශයන් තේරුම් ගැනීමට සිදුවෙයි. ඒ සදහා වන දේශපාලන කළමනාකරණයකට යාමට සිදුවෙයි.
 
සාකච්ඡාව : සංජය නල්ලපෙරුම

ශාසනාවචර කුල පුත්‍රයන්ගේ පහළ වීම ලොවට ආශිර්වාදයකි. උන්වහන්සේලාගේ නික්ම යෑම මුළු මහත් දැයටත් සම්බුද්ධ ශාසනයටත් මහා විපතකි. මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන් රටට අහිමි වූයේ උන්වහන්සේගේ අවශ්‍යතාවය අන් කවරදාකටත් වඩා ප්‍රකට වූ යුගයකයි. සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක ධුරයෙන් පිදුම් ලද මේ මහා යතිවරයාණෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති ධුරය දැරුවේ ද රටට සර්වාකාරයෙන් අත්‍යවශ්‍ය සාධකයක් වූ බැවිනි.
ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරය ස්වකීය අධිපති භවන ලෙස භාවිත කළ ද උන්වහන්සේ මේ හදිසි අවාසනාවන්ත ඉරණමට ගොදුරු වීමට මාස කිහිපයකට පෙර දී තනතුරු රටක් වෙනුවෙන් පයට පෑගී දුහුවිල්ලක් සේ පිඹහැරීමට තරම් නිහතමානී වූහ. රට දැය සමය දේශීය හා විදේශීය අවස්ථාවකදී දේශද්‍රෝහී කුමන්ත්‍රණකරුවන්ගේ බලවේග විසින් වසා ගනිමින් පවතින අයුරු විනිවිද දුටු මේ සංඝපීතෘවරයාණෝ රාජරාජ මහාමාත්‍යාදීන් ඉදිරිපිට සෘජුව නොසැලී තම අදහස් අභීත හඬ අවදි කළ අන්දම අපගේ දෙසවන් පුරා රැව් පිළිරැව් දෙන අයුරු මේ මොහොතේ සිහිපත් කළ යුත්තේ සිය යුතුකම් හා වගකීම් හමුවේ නිද්‍රාවෙන් පසුවන නායක කාරකාදීන්ට උන්වහන්සේගෙන් ආදර්ශ ගෙන අවදිවීමට කාලය එළඹ ඇති බැවිනි.
මෑත භාගයේ අප සැමගේ ජීවන පරිසරය තුළ රට දැය සමය උදෙසා තම වගකීම් ඉටු කිරීමට පෙරමුණ ගත් මෙවන් උජුපටිපන්න යතිවරයාණන් වහන්සේලා අපට අහිමි වීම අපේ අභාග්‍යයකි. මිත්‍යාවන්ගෙන් පිරුණු භාවිතයත් හෙළා දකිමින් දේශයටත්, ජාතියටත්, සම්බුද්ධ ශසනයටත් එරෙහි බලවේග හඳුනාගනිමින් එකී බලවේගයන්ට දුර්මතයන්ට එරෙහි වූ ආචාර්ය ලබුදූවේ සිරිධම්ම නාහිමියන් ගංගොඩවිල සෝම හිමියන් මාදුළුවාවේ සෝභිත හිමියන් වැනි යතිවරුන් කිසියම් යුග මෙහෙවරකට සූදානම් වූ මොහොතේම සම්බුද්ධ ශාසනයට අහිමිවීම ෙදෙවයේ සරදමකි.
ලංකා ඉතිහාසයේ අතිශයින් තීරණාත්මක මොහොතක වාසය කරන අපට උන්වහන්සේගේ වෙන් වීම දැරිය නොහැකි සංවේගයකි.
ජාතියේ වීරවරයන් දිවි පුදා ආරක්ෂා කළ මේ පුණ්‍ය භූමිය බෙදා වෙන් කර ගැනීමටත් ව්‍යවස්ථා මගඩි තුළින් ඓතිහාසික උරුමයන් විනාශ කිරීමටත් එරෙහිව සිය ස්වරය අවදි කළා පමණි. රටේ අවාසනාව ඉස්මතු වීය. බෙල්ලන්විල නාහිමියන් නූතන පරපුරට නායකත්වය සැපයීමට සැරසුණා පමණි. උන්වහන්සේ රට දැය හැර දෑමත් විමතියකි. මේ මොහොතේ වගකිව යුතු මහා සංඝයා වහන්ස බෙල්ලන්විල නාහිමියන් ආදර්ශයට ගෙන නැගී සිට මළ පසු ලැබෙන රාජානුග්‍රහයන් කෙරෙහි ගිජු නොවී නොසිට දැයට නායකත්වය සපයන ලෙසට ආරාධනා කරමි. අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ජීවිතයේ අවසානයේ ගැඹුරු පැතුමද එයයි. එය ඉටු කිරීම උන්වහන්සේට කරන නිසි උපහාරයයි. 
 
ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමි

තවත් මැතිවරණයක් දැන් අත ළඟටම පැමිණ ඇත. ගමේ නගරයේ පුංචි ඡන්දයක් වුවත් ඊට තරගකාරී මුහුණුවරක් හා ජාතික වැදගත්කමක් ලැබි තිබේ. ඒ මෙය රට තුළ කාලයකට පසුව පවත්වන ඡන්දය වන නිසාය. රට පුරාම එකම දිනයක එකවර පවත්වනු ලබන පළමු පළාත් පාලන මැතිවරණයද වන නිසාය. වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ පවත්වනු ලබන මුල්ම ඡන්ද විමසීමද මෙයයි. රටේ දේශපාලන බලතූළනය සැකසී ඇති අන්දම සහ නව විකල්ප දේශපාලන පක්ෂ බිහි වී ඇති පදනම තුළ මේ මැතිවරණයේ ප්‍රතිඵලය ගැන වැඩි උනන්දුවක් සමාජයේ ඇති වී තිබේ.
සර්වජන ඡන්ද බලය පිළිබඳ වසර 87 ක දීර්ඝ අත්දැකීම් අප සමාජය සතුය. එහෙත් පසුගිය සමහර මැතිවරණවලදී ජනතාව හැසිරුණු හා තීන්දු ගත් අකාරය අනුව රටේ සැබෑ දේශපාලන තත්ත්වය පිළිබඳ නිවැරදිම අවබෝධයකින් ඔවුන් කටයුතු කර තිබුණේද යන්න තරමක විචිකිච්ඡාවට බඳුන් වූ කාරණයකි. එසේ වූයේ ඡන්දදායකයන්ගෙන් බහුතරයක් අවස්ථාවාදී කූට දේශපාලකයන්ගේ ඇන්දවීම් හා නොමග යැවීම්වලට හසු වී යථානුරූපී නොවන අපරිනත දේශපාලන තීන්දුවලට සාවද්‍ය ලෙස එළැඹ තිබිමේ හේතුවෙනි. මෙයින් සිදුවූයේ බලකාමයෙන් මත් වූ දේශපාලන අවස්ථාවාදීන්  කළ දුටු කළ වළ ඉහගනිමින් සිය මඩිය තරකර ගන්නා  විට අනෙත් පසින් රටේ පරමාධිපත්‍ය බලය දිගින් දිගටම හෑල්ලු වීමය. අපි සිතන පතන බෙහෙවින් ඇළුම් කරන තරු පහේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයකට කවදත් දොරගුළු වැටී එහි මග දිගටම අවහිර වීමය.
මේ නිසා තව නොබෝ දිනකින් එළැඹෙන ඉදිරි මැතිවරණයේදී පෙරට වඩා වගකීමෙන් යුතුව, විචාරශීලී හා බුද්ධිමත් ආකාරයෙන් තම ඡන්දය පාවිච්චි කිරීමට සියලු දෙනා අදිටන් කර ගැනීම ඉතාම වැදගත් කාරණයකි. යහපත් ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා වන දේශපාලනඥයන්ට බලපාන සමාජ නිර්ණායක පිළිබඳ විවිධ පාර්ශ්වයන් විසින් දැනටමත් ඉදිරිපත්  කොට ඇත. ඒ ගැන පුළුල් සමාජ කතිකාවතක්ද  ඇති වෙමින් තිබේ. එහෙත් මැතිවරණයක තීරණාත්මක කාර්යය කොටස ඉටු කරනු ලබන ඡන්දදායකයන්ට බලපාන ‍පොදු උපමාන පිළිබඳ ප්‍රමාණවත් සමාජ අවධානයක් මතෛක් යොමු වී නැත. එබැවින් මේ ලිපිය එවැනි අවධාරණයක් සිදු කිරීම සඳහාය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී මතු නොව ඕනෑම අනාගත රැකවරණයකදී තම ඡන්දය වඩාත් ඵලදායීව ආයෝජනය කිරීම සඳහා ඉවහල් විය හැකි ‍පොදු උපමාන කිහිපයක් පහත පරිදි ඔබ වෙත ඉදිරිපත් කර සිටිමි.
මැතිවරණ දිනයේදී තමන්ට නියමිත ඡන්ද‍පොළ  වෙත අනිවාර්යයෙන්ම ගොස් සිය ඡන්දය භාවිතා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ප්‍රමුඛ පුරවැසි වගකීමය. තම ඡන්දය වෙනත් පුද්ගලයන්ට අවභාවිතා කිරීමට ඉඩ නොසැලසෙන ආකාරයෙන් හැකිතාක් වේලාසන ඡන්ද ‍පොළ කරා යෑම වැදගත්වේ. මැතිවරණයකදී තනි ඡන්දයකට වුව හිමිවන වැදගත්කම  කිසිසේත්ම ලඝු කොට තැකිය නොහැකිය. මේ නිසා ඡන්දය සලකුණු කිරීම නිසි අවබෝධයකින් හා මනා අවධානයකින් යුතුව සිදු කළ යුතු කාර්යයකි. ඡන්ද අයිතිය අපතේ නොහැරීමට සියලු දෙනාම වග බලා ගත යුතුය. වුවමනාවෙන්ම ඡන්දය අවලංගු කිරීමට පෙළඹීම මෙන්ම පෙළඹවීමද ප්‍රජාතන්ත්‍රවාදය යටතේ බරපතළ අපරාධයකි.
මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතුරින් වඩාත්ම සුදුසු පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීම වැදගත් වේ. මහජන සේවයට නොගැළපෙතැයි හැඟෙන නුසුදුසු අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කිරීමද ඒ තරමටම වැදගත්ය. එහිදී ඡන්ද අපේක්ෂකයන්ගේ දැන, උගත්කම්, ගුණ, යහපත්කම් මෙන්ම අවංකභාවය, විශ්වාසනීයත්වය, පාරදෘශ්‍යභාවය වැනි සාධනීය ගති ලක්ෂණ කෙරෙහි වැඩි බර තැබිමක් කිරීම නිවැරදිය. එසේ නොමැතිව හුදෙක් ඔවුන්ගේ වත් ‍පොහොසත්කම්, බල පුළුවන්කාරකම් හෝ පටු ඥාති, හිතමිත්‍රාදීකම් පිළිබඳව පමණක් සලකා කටයුතු කිරීමෙන් වඩාත් හිතකර සාධනීය දේශපාලන නියෝජනයක් ලබා ගැනීමට ඇති අවස්ථාව මග හැරී යයි. එනිසා මේ ගැන විශේෂයෙන් සැලකිලිමත්වීම අවශ්‍යයි.
මහජන නියෝජිතයන්ට නොයෙකුත් බරපතළ අපරාධ, සමාජ විෂමාචාර, නොහොබිනා නොපණත්කම් සහ වංචා දූෂණ සිදුකිරීම පිළිබඳ ඉකුත් සමයේ නිරන්තර චෝදනා එල්ල විය. මේවා ජනතා නියෝජිතයන්ට අකැප ක්‍රියාකාරකම්ය. ඉන් සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ උතුම් වූ  මූලධර්ම විනාශ වී  සමස්ත පාලන පද්ධතියම කඩා වැටීමය. ඇද වැටීමය. ඊටද අවසාන වශයෙන් වගකිව යුත්තේ  මෙවැනි නුසුදුස්සන් මහජන සේවයට තෝරා පත් කර ගනු ලැබූ  ජනතාවමය. මේ නිසා පෙර සිදුවූ වැරදි නිවැරදි කරගෙන, අතපසු වීම් මග හරවා ගනිමින් පිරිසිදු පෙරහන් කඩකින් පෙරා ගෙන නුසුදුස්සන් මහජන නියෝජිත  ආයතනවලින් ඉවත් කිරීමට කටයුතු කිරීමේ පරම වගකීම ජනතාව විසින් ඉදිරි මැතිවරණයේදී  භාරගත යුතුය. නීතිය ඉදිරියේ වරදකරුවන්  වී දඬුවම් ලැබූ පුද්ගලයන්, සමාජ විරෝධී  ක්‍රියා පිළිබඳව බරපතළ චෝදනා ලැබූ පුද්ගලයන්, රටේ ‍පොදු දේපල හා සම්පත් අවභාවිතයට යොදවනු ලැබූ හෝ ඊට අනුබල දුන් පුද්ගලයන්, දේශීය අනන්‍යතාවයට, සංස්කෘතියට හා පරිසරයට හානිකර  ලෙස හැසිරී   තිබෙන පුද්ගලයන්  නීති විරෝධි හා රටේ  ආර්ථිකයට නොගැලපෙන විනාශකාරී  ව්‍යාපාරවල හා ජාවාරම්වල මහ පරිමාණයෙන් නියුතු පුද්ගලයන්  ආදී මේ සියල්ලෝම ගෞරවාන්විත ජනතා  සේවයකට කිසිසේත්ම සුදුස්සෝ නොවෙති.  එබැවින් එවැනි අපගාමී හා අනර්ථකාරී චරිත හඳුනාගෙන ඒවා තම කතිර බලයේ මහිමයෙන් පරදවා පළවා හැරීමට කටයුතු කිරීම ඡන්දදායකයාගේ භූමිකාවය. පුරවැසි වගකීමය.
ඡන්දය දිය යුත්තේ කාටද යන්න සම්බන්ධයෙන් හුදෙක් සිය විචාර බුද්ධියට විනා හැඟීම්වලට සංවේදී නොවී තීරණය කිරීමද ඉතාම වැදගත්ය. එහිදී තමන්ගේ පවුලට ආවේණික සම්ප්‍රදායානුකූල දේශපාලන පාරම්පරිකත්වයට ගැති නොවී, යුගයේ කාලීන අවශ්‍යතාවය වටහාගෙන දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල සුදුසු හෝ නුසුදුසුභාවය තීරණය කිරීමට පෙළැඹීම අවශ්‍ය වේ.  කැපුවත් කොළ, නිල්, රතු යනාදී පටු පක්ෂ මානසිකත්වයෙන් වියෝජනය වී තම හෘද සාක්ෂියට  එකඟව  සිතා බලා ස්වාධීනව එළැඹෙන තීරණය වඩාත්ම නිවැරදිවේ. මෙහිදී පක්ෂ කණ්ඩායම්, පුද්ගලයන් ඇතුළු සියලු දෙනා  ඉදිරිපත්කොට තිබෙන ප්‍රතිපත්ති, දර්ශනය හා ඔවුන්ගේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳව සාධාරණ හා තුලනාත්මක ලෙස අධ්‍යාපනය කොට, කරුණු හදාරා ඒ පිළිබඳව වඩාත් යුක්ති සහගත ස්වයං තක්සේරුවකට එළැඹීමට සියලු ඡන්දදායකයන් කටයුතු කළ යුතුය. රටටත්, ගමටත්, නගරයටත් වඩාත්ම ලැඳි මානව හිතවාදී සැබෑ ජනතා නියෝජිතයන් පිරිසක් තෝරාපත් කර ගැනීමට අවස්ථාව පෑදෙන්නේ එවිටය.
පුංචි ඡන්දයට දැනටමත් නා නා විධ අර්ථ සපයා ඇති පක්ෂ, විපක්ෂ දේශපාලනඥයන් විසින් ඡන්දදායකයාගෙ මනස මේ වන විට බෙහෙවින් විපරීත කර තිබේ. ඒ ඔවුන්ගේ ඉලක්කය  වන බලය ලබා ගැනීම සාක්ෂාත් කර ගැනීම උදෙසාය.  එනම්, ඡන්දදායකයා රවටා හෝ කෙසේ හෝ බලය ලබා ගැනීම සඳහාය. එහෙත් නොයෙකුත් වේශයන්ගෙන් පැමිණෙන මේ “දේශපාලන ගුග්ලි” පිළිබඳ නිවැරදිව හඳුනාගෙන ඒවායින්  මංමුලා නොවී තම හෘදය සාක්ෂියට අනුකූලව සුදුසු හා නිවැරදි තීන්දුවට එළැඹීමේ වගකීම ඇත්තේ ජනතාවටය. දේශපාලනඥයන් කවරාකාර අර්ථ නිරූපණ දුන්නද මෙය වනාහි රාජ්‍ය පාලන තන්ත්‍රයේ ක්ෂුද්‍රතම ඒකකය වන ජනතාවගේ එදිනෙදා ජීවිතයට වඩාත්ම සමීපව බලපාන ඔවුන්ගේ ගමට, නගරයට, වත්තට නියෝජිතයෙකු තෝරා ගැනීමට තමන්ට ලැබෙන අවස්ථාව බව සියලු ඡන්දදායකයන් තේරුම් ගත යුතුය. ඡන්දයේ සැබෑ ප්‍රතිඵලය වඩාත් ඵලදායී ලෙස භූක්ති විඳීමට  හෙට දවසේ  ඔවුන්ට ඉඩ හසර පෑදෙන්නේ එවිටය. දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති හා දර්ශනය ගැන මෙන්ම තමන්ගේ කොට්ඨාසයට එක් එක් පක්ෂ හා කණ්ඩායම්වලින් තරගවැදී සිටින සියලුම අපේක්ෂකයන්ගේ පසුබිම හා වතගොත පිළිබඳවත්  හැකි උපරිම  ගැඹුරින් පිරික්සා බැලීම මෙහිලා වැදගත්ය. කොට්ඨාසයට වඩාත්ම සුදුසු පුද්ගලයා පත්කර ගැනීමට අවස්ථාව සැලසෙන්නේ එවිටය. තමන් කැමති පක්ෂයෙන්  වුව නොගැළපෙන අපේක්ෂකයෙකු තම කොට්ඨාසයට ඉදිරිපත් කර ඇති විටෙක ඔහු ප්‍රතික්ෂේප  කිරීමේ අභිමතය  පාවිච්චි කිරීමේ හැකියාව මේ තුළින් ඡන්දදායකයාට ලැබේ. එහිදී තමන් ඡන්දය දී පත් කර ගන්නා නියෝජිතයා  ලවා ඉටු කරවා ගැනීමට අපේක්ෂිත මූලික කාර්යභාරය කුමක්ද යන්නත්, එය ඉටු කිරීමට නායකත්වය දීම සඳහා ඒ ඒ අපේක්ෂකයා සතු හැකියාව කුමක්ද යන්නත් පිළිබඳව සාපේක්ෂව සිතා බැලීමද එකසේ වැදගත්ය.
මින් පෙර සිදුවූවා සේ දේශපාලකයන් ලබාදෙන අතාත්ත්වික සිහින ‍පොරොන්දුවලට රැවටීමෙන් වැළකී සිටීමට මෙවර අධිෂ්ඨාන කර ගැනීම සෑම ඡන්දායකයෙකුටම වැදගත්වේ. දේශපාලන පක්ෂවල ප්‍රතිපත්තිගරුක භාවයත්, අපේක්ෂකයන් විසින් ඉදිරිපත් කරනු ලබන වැඩපිළිවෙළ ප්‍රායෝගිකත්වයත් පිළිබඳව පරීක්ෂා කිරීමට වැඩි බරක් යෙදීම තුළින් අවස්ථාවාදින්ගේ සිහින ‍පොරොන්දුවලින් ගැලවී සිටීමේ හැකියාව කතිර හිමියාට   ලැබෙනු ඇත. 
තම පවු‍ලේ පාරම්පරිකත්වයට හෝ වැඩ බිමේ බලපෑම්කරණයට ගැති වී  අන්ධානුකරණයෙන් දේශපාලන දර්ශනයක් වැලඳ ගනු වෙනුවට, ස්වකීය සහජ බුද්ධිය වඩාත් සංවේදීව ස්පර්ශ කොට ඡන්දය දිය යුත්තේ කාටද, නොදිය යුත්තේ කාටද යන්න නිගමනය කිරීමේ  ශක්නුතාව  ඡන්දහිමියා විසින්ම හිමිකර ගත යුතුය. එහිදී හුදෙක් එක පක්ෂයක පමණක් නොව තම වටාපිටාවෙන් මෙන්ම මාධ්‍ය ඔස්සේද දිවා රෑ පුරාවට ඇසෙන සෑම දේශපාලන පක්ෂයකම හඬට වඩාත් සාවධානව කන්දී, ඒවා තර්කානුකූලව විග්‍රහ කොට ගෙන අවසන් නිගමනයන්ට එළැඹීම වඩා සුදුසුය. මේ විවිධ දේශපාලන කතා බහ තුළ ඇති හරවත් හරසුන් බව පිළිබඳ යථාවබෝධයක් ජනතාවට ලබාගත හැක්කේ  ඒ සියල්ලටම  සවන් දීමෙන්, අවධානය යොමු කිරීමෙන් පසුවය. ඡන්ද විමසීමට පැය 48කට පෙරතුව සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කොට නිහඬ නිස්කලංක වටාපිටාවක් නීතිය මගින් සලසා දෙන්නේ සති කිහිපයක් පුරාම නොකඩවා  ඔවුන්ගේ සවනග රැව්පිළිරැව් දුන් මේ සියලු මතවාද වලට නිවැරදි පිළිතුරක් දෙන්නටය.

දේශපාලනඥයන් ස්වකීය අවධානය මුළුමනින්ම යොදා ඇත්තේ පළාත් පාලන මැතිවරණය කෙරෙහිය. ඔවුනට මේ රටේ ආර්ථිකයත් ඇති බවක් හෝ එය පවත්වාගෙන යා යුතු බවත් හෝ පිළිබඳ කිසිදු හැඟීමක් ඇති බවක් නොපෙනේ. පුංචි මැතිවරණයට මහා මැතිවරණයක වටිනාකමක් ලබා දී ඇත්තේ දේශපාලනඥන්මය. ජනාධිපති, අගමැති පුටුව කැබිනට් මණ්ඩලය මතු නොව සමස්ත පාර්ලිමේන්තුවම  නියෝජනය කරන මන්ත්‍රීවරු මැතිවරණය වෙනුවෙන් උපරිම වෙහෙස මහන්සිය දරමින් සිටිති. 
දේශපාලනඥයන් තුළ මැතිවරණය පිළිබඳ උණුසුමක් පැවතියද සාමාන්‍ය ජනතාව තුළ නම් එවැනි උණුසුමක් ඇති බවක් නොපෙනේ. ඔවුනට ඇති ප්‍රධාන ප්‍රශ්නය  නම් මේ මැතිවරණ හිසරදය නිමාවට පත්වන්නේ කවදාද යන්නය. ජනතාවගේ ගැටලු කතා බහ කිරීමට ඇති පාර්ලිමේන්තුව නැවත රැස් වන්නේ මැතිවරණයෙන් අනතුරුවය. ඒ මන්ත්‍රීවරුන් සියල්ල මැතිවරණ රාජකාරිවල නිරතව ඇති නිසාය. ආර්ථිකයට බරපතළ හානියක් සිදුකළ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විවාදයක් පවත්වන ලෙස කරනු ලැබූ ඉල්ලීමද මේ නිසා දෝලනය වෙමින් පවතී. එහි විවාදය පැවැත්වීම සඳහා පෙබරවාරි 08 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරයා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළ බව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි. මැතිවරණය පැවැත්වෙන්නේ 10 වෙනිදාය. 08 වෙනිදාට පෙර දිනයක් වෙන් කර ගැනීමට නොහැකිව ඇත්තේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් කැඳවාගැනීමේ ප්‍රායෝගික ගැටලුවක් මතුවන නිසාය. ඔවුන් සියල්ල මැතිවරණ වේදිකා උඩය. මෙය ජාතික මැතිවරණයක ස්වරූපයක් කරගෙන ඇත්තේ මන්දැයි සිතා බැලිය යුතුය.
දේශපාලනයේ අරමුණ  බලය බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ප්‍රාදේශීය මට්ටමින් පැවැත්වෙන මැතිවරණයක් වෙනුවෙන් සියල්ල අමතක කොට කටයුතු කිරීම දෙස් විදෙස් ආයෝජකයින් හා කර්මාන්තකරුවන් දුර්මුඛවන තත්ත්වයක් බව නම් කිව යුතුමය.
රටේ ඉහළම නායකයින් දේශපාලන වේදිකාවේදී කරනු ලබන ප්‍රකාශ තුළින් රටේ දේශපාලන අස්ථාවර බවක් නිර්මාණය වීමේ ඉඩකඩ තිබෙන බවට සැකයක් ආයෝජකයන් තුළ නිතැතින්ම ඇතිවේ. ඔළු ගෙඩි මාරුවක් තුළින් අවශ්‍ය නම්  නව ආණ්ඩුවක් බිහිකළ හැකි බව ජනාධිපතිවරයා ඉකුත්දා ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍යවරයාද ඒ හා සමාන ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේය.
ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වනුයේ ස්ථාවර දේශපාලන පසුබිමක් පැවතීමය. අනෙක් කාරණාවනම් කලින් කලට වෙනස් නොවන ස්ථීර ආර්ථික ප්‍රතිපත්තියක් තිබිමය. එවැන්නක් වර්තමානයේ දැකිය හැකිද යන්න ආයෝජකයින්ට ගැටලුවකි.
මේ නිසා ආර්ථිකයට සාධනීය මාවතකට ප්‍රවේශවීමට නොහැකිව තිබේ. “දේශපාලනයෙන් බැහැර වූ ආර්ථික වැඩ පිළිවෙළක්” යන්න යථාර්ථය විය යුතු වුවත් එය දේශපාලන වේදිකාවල හුවමාරුවන හුදු වචන කිහිපයක් පමණක් වී තිබේ. මේ අවාසනාවන්ත තත්ත්වයට  වගකිව යුත්කේ කවුරුන්ද?
ශ්‍රී ලංකාවේ ආර්ථික තීන්දු තීරණ ගනු ලබන්නේ දේශපාලනඥයන් විසිනි. ආණ්ඩු  වෙනස්වන සෑම අවස්ථාවකදීම ආර්ථික ගමන් මගේද  බරපතල හැල හැප්පීම් නිර්මාණය වෙයි. ඒ අප සතුව ජාතික ආර්ථික වැඩසටහනක් හෝ ප්‍රතිපත්තියක් නොමැති නිසාය. ආර්ථිකයේ ඇතිවන සංකෝචනයන් හා ප්‍රසාරණයන් ආර්ථික දෘෂ්ඨි කෝණයෙන් බැලීම පසෙකලා දේශපාලන කණ්ණාඩි දමා බැලීමට යාමෙන් අසරණයෙකුගේ තත්ත්වයට  පත් වී ඇත්තේ මෙරට ආර්ථිකයයි. එම අසරණයා පෙරටු කර ගනිමින් සිඟමන් අයදින යාචක රැළක් මෙන් තම තමන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිවල යෙදීම හැරුණුකොට මේ අසරණයා මුහුණ දී ඇති අවාසනාවන්ත තත්ත්වයෙන් මුදවා ගැනීමට පියවර ගන්නා සෙයක් නොපෙනේ.
මේ වන විට ආර්ථිකය බරපතල අවදානම් තත්ත්වයකට ඇද වැටී තිබේ. පසුගිය වසර තුනේ ආර්ථික ගමන් මග පිළිබඳව තමන්ට සතුටු විය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලබන්නේය. මේ වන විට ඇමෙරිකන් ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය 155 ද ඉක්මවා එය 156 ට සමීප වෙමින් පවතී. ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගන්නා අග්‍රාමාත්‍යවරයා ඇතුළු සපිරිවර කියා සිටියේ හම්බන්තොට වරාය චීනයට පැවරීමත් සමග  හිමි වූ මුදල් විදේශ සංචිත තුළ බැර කිරීමෙන් අනතුරුව විදේශ වත්කම් වැඩිවී රුපියල ශක්තිමත් වනු ඇති බවය. නමුත් ඇමෙරිකන්  ඩොලරයකට රුපියල් 156 කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවූයේ මේ මැතිවරණ කලබල අස්සේ 2018 ජනවාරි මාසයේ සිටය.
 
ආයෝජකයන්
 
දේශීය හා විදේශීය ආයෝජකයන් රටේ සිදුවන දේශපාලන හා ආර්ථික සිදුවීම් දෙස සූක්ෂමව නිරීක්ෂණය කරමින් සිටින බව පැහැදිලිය.  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සතියේ කියා සිටියේ දේශීය හා විදේශීය ආයෝජකයන් රට හැර යමින්  පවතින නිසා  ආර්ථිකය මෙහෙයවීමේ වගකීම තමන් අතට ගන්නා බවය. දෙස් විදෙස් ආයෝජකයන් රට හැර යාමට පටන්ගෙන ඇති බව ජනාධිපතිවරයාගේ කතාවෙන් ප්‍රසිද්ධියේම ගම්‍ය විය. දේශපාලන අවිනිශ්චිතතාව, ඉහළ ‍පොලී අනුපාත, විනිමය අනුපාතය අවප්‍රමාණය වීම, මිල මට්ටම් ඉහළයාම, ශ්‍රමයේ පිරිවැය වැඩිවීම වැනි කරුණු ආයෝජකයන් අධෛර්යමත් කරන සුලු කරුණුය. විශේෂයෙන්ම ආර්ථිකයේ මිල මට්ටම් ඉහළ යාම නිසා ශ්‍රමිකයෝ ඉහළ වැටුපක් අපේක්ෂා කරති. 
මේ නිසා අද ඇඟලුම් ඇතුළු අනෙකුත් කර්මාන්ත ශාලා සඳහා ශ්‍රමිකයන් සොයා ගැනීමේදී ඉහළ වැටුප් ගෙවීමට සිදුව තිබේ. වර්තමානයේ ඇඟලුම් කර්මාන්ත ශාලා බහුතරයක වැටුප රුපියල් 20,000ත් 35,000ත් අතරය. මෙම වැටුප් තලයේ වුවද ශ්‍රමිකයන් කර්මාන්තශාලාවලට ගෙන්වා ගැනීම ගැටලුවක් වී ඇති බවට කර්මාන්ත හිමියෝ මැසිවිලි  නගති. ආර්ථිකයේ භාණ්ඩ හා සේවා මිල මට්ටම් ඉහළ යන විට පෞද්ගලික අංශයේ රැකියාවන් සොයා පැමිණෙන ශ්‍රමිකයෝ ඉහළ වැටුපක් බලා‍පොරොත්තු වෙති. මෙය කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළයාම කෙරේ සෘජු බලපෑමක් කරනු ලබන සාධකයකි.
මේ නිසා ශ්‍රී ලංකාවට වඩා අඩු ශ්‍රම පිරිවැයක් සහිත බංග්ලාදේශය, වියට්නාමය, පිලිපීනය, ඉන්දියාව වැනි රටවල ඇඟලුම් කාර්මාන්ත ශාලා ආරම්භ කිරීමට හා ආයෝජන කටයුතු පුළුල් කිරීමට ආයෝජකයෝ පෙළඹී සිටිති. මේ තත්ත්වය අපි සැහැල්ලුවෙන් නොගත යුතු කාරණයකි. ජී.එස්.පී. ප්ලස් (ට්ඉ +) සහනය හිමිවූවායැයි ඇඟලුම් ක්ෂේත්‍රයේ සියලු ගැටලු විසඳෙන්නේ නැත. කර්මාන්තය අඩපණ වුවහොත් කුමන තීරුබදු සහනයන් හිමි වුවද ප්‍රයෝජනයක් නොවනු ඇත. 
 
අවධානය
 
ආර්ථිකය පිළිබඳව වූ අවධානය අත් හැරීම හා නොසලකා හැරීම හෙට දවසේ බරපතල ගැටලුවක් බවට පත්වනු නියතය. මෙම මැතිවරණය නිමවීමෙන් අනතුරුව දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ වෙනස්කම් සිදුවන බවට ඉඟි දැනටමත් පළවී තිබේ. සම්මුතිවාදී ආණ්ඩුවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකකාරකාදීන්ගේ ප්‍රකාශ හුදු දේශපාලන කතා නොවේයැයි උපකල්පනය කළහොත් මැතිවරණයෙන් අනතුරුව ඔවුන් තම තමන්ගේ පක්ෂ දේශපාලන ගමන් මග තෝරා ගැනීමට අපේක්ෂිතය. 2018 වර්ෂයේ මැතිවරණ වර්ෂය වන බව දැනටමත් ප්‍රකාශිතය. මෙම මැතිවරණයෙන් අනතුරුව දේශපාලනඥයින් පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සූදානම් වෙනු ඇත.  ආර්ථිකය කුඩම්මාගේ සැලකිල්ලට භාජනය වනු ඇත.
ශ්‍රී ලංකාව වැනි රටවල ආර්ථිකය හා දේශපාලනය අතර අවියෝජනීය සබඳතාවක් පැවතීම අර්බුදය වඩාත් තීව්‍ර කරන්නකි. ආර්ථිකය දේශපාලනයෙන් විනිර්මුක්තව තිබේනම් දේශපාලකයින් කවර අඩව්වක් ඇල්ලුවද ආර්ථිකයට කම් නැත. නමුත් ආණ්ඩු වෙනස්වන වාරයක් වාරයක් පාසා ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග වෙනස්වීම තුළින් ශ්‍රී ලංකාවට ස්වාධින ආර්ථික ගමනක් යෑමට නොහැකි වී තිබේ. 
මේ නිසා රටේ දේශපාලන වාතාවරණය තීරණාත්මක සන්ධිස්ථානවලට  පැමිණෙන සෑම අවස්ථාවකදීම පාහේ කොටස් වෙළෙඳ ‍පොළ විදේශ ආයෝජන වැනි සංවේදී ආර්ථික විචල්‍යයන්වල උච්ඡාවචනයක් හා පහළ වැටීමක් දැකිය හැකිය. මේ 
තුළින් ස්ථාවර  ආර්ථික ප්‍රවේශයකට යොමුවීමට හා ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීමට අපට නොහැකි වී තිබේ.
 
සාලිය ජනකකුමාර

පුංචි ඡන්දයෙන් දිනන පරදින පක්ෂවලට වඩා ඡන්ද වේදිකාව උණුසුම් කළ මාතෘකාව වී ඇත්තේ ජනපති හා එජාප මන්ත්‍රීන් අතර ඇති වූ වාග් සංග්‍රාමයය. ඒ පිළිබඳ සමහරු කියන්නේ ජනපති අගමැති විරසක වී ඇති බවය. ඒ අතරේ තවත් පිරිසක් කියන්නේ මෙය හුදෙක් රඟපෑමක් බවය. මේ තත්ත්වය යටතේ ඉදිරි ඡන්දයේදී විය හැක්කේ කුමක්ද? ඒ පිළිබඳ මෙසේ අදහස් දක්වන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනපති කිරීමේ සටනේ ප්‍රධාන චරිතයක් වන දේශපාලන විචාරක අශෝක අභය ගුණවර්ධනය.
 
මේවන විට මුළු රටම පළාත් පාලන මැතිවරණයකට සූදානම් වෙමින් සිටී. කෙසේ වෙතත් මෙම මැතිවරණය තමන්ගේ ප්‍රදේශයේ අපේක්ෂකයා තෝරා පත් කරගැනීමට පවත්වන මැතිවරණයක්ද එසේ නොමැති නම් රටේ දේශපාලනය පිළිබඳ තීරණ ගන්නා මැතිවරණයක්ද යන්න ගැන සංවාදයක් ඇතිවී තිබේ. 
ප්‍රධාන වශයෙන් පෙර එක් කණ්ඩායමකට සිටි අය වෙන් වෙන්ව තරග කරයි. එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතව සිටි දෙමළ මුස්ලිම් පක්ෂ වෙනම තරග කරයි. මහ මැතිවරණයේදී එක්ව සිටි මහින්ද රාජපක්ෂ පාර්ශ්වය හා මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය වෙනම තරග වදියි. සමස්තයක් ලෙස ගත් විට 2015 මහ මැතිවරණයට වඩා වෙනස් තත්ත්වයක් මෙහි තිබේ. එක්සත් ජාතික පක්ෂයට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බාහිරව මහින්ද රාජපක්ෂ පාර්ශ්වය හා ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ පක්ෂ ලෙස තරගයට ඉදිරිපත් වී තිබේ. මේ නිසා වෙනත් මැතිවරණවලට වඩා විවෘත තත්ත්වයක් ඇති වී තිබේ. මෙය අලුත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කළ හැකි තත්ත්වයකි. 
පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුවත් දේශපාලන පක්ෂ තරග කරන්නේ ජාතික කාරණා ඉදිරිපත් කරමිනි. මේ දෙකෙන් තීරණාත්මක වන්නේ කුමක්ද යන්න ගැන අවධානය යොමු කළ යුතුව ඇත. මේ මැතිවරණය පවත්වන්නේ වර්තමාන රජයේ කාල සීමාවෙන් භාගයක් ගෙවී ඇති කාලයකදීය. පසුගිය වසර දෙකහමාර තුළ රටේ සිදුවූ දේ ගැන ජනතාවට සෘජු ප්‍රතිචාරයක් දැක්වීමට සංඥාවක් ලබාදීමට හොඳම අවස්ථාවක් ලෙස මෙය තේරුම් ගැනීමට හැකිය. 
ආණ්ඩුව දෙකට බෙදී ඡන්දය ඉල්ලයි. විපක්ෂය තුනට බෙදී ඡන්දය ඉල්ලයි. එක්සත් ජාතික පක්ෂය වෙනම තරග කරන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරගයට ඉදිරිපත් වී සිටී. දැන් ආණ්ඩුව කරන්නේ කවුරුන්දැයි බැලූ විට එක්සත් ජාතික පක්ෂය කියන්නේ තමන් ආණ්ඩුව කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ආණ්ඩුව ගෙන යාමට තමන් උදව් කළද එක්සත් ජාතික පක්ෂය නිවැරදිව ආණ්ඩුව කරගෙන යන්නේ නැති බවයි. මෙය ඡන්ද දායකයන්ට තේරුම් ගැනීමට අපහසු තත්ත්වයකි. මේ රටේ වැඩ සිදුවන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඕනෑ එපාකම් අනුවද නැතිනම් අගමැති රනිල් වික්‍රමසිංහගේ ඕනෑ එපාකම් අනුවදැයි යන ප්‍රශ්නය මතුවේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම පවසන්නේ ඔහු තෘප්තිමත් නොවන බවය. ඒ අතරම තමන් මෙය හදලා ගන්නා බව කීම තුළ අර්ධ වශයෙන් ආණ්ඩුවේ ස්වභාවයක් ගනී.
ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ මේ දෙපාර්ශ්වයටම පහර දෙයි. ඒ අතරම ඔවුන් ආමන්ත්‍රණය කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ඡන්ද දායකයන්ටය. ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනෙක් තරගයට ඉදිරිපත්ව සිටින නිසා ගමේ පාක්ෂිකයින් යම් ආකාරයකට අසරණ වී තිබේ. ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් මහින්ද රාජපක්ෂට ඡන්දය ප්‍රකාශ කළේය. මහ මැතිවරණයේදී දෙපාර්ශ්වයම එකට තරග කළත් වැඩි පිරිසක් ඡන්දය දුන්නේ මහින්ද රාජපක්ෂ සමග සිටි අයටය. එහෙත් එදා මහින්ද රාජපක්ෂ පි‍ලේ සිටි බොහෝ දෙනෙක් දැන් සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේය. මේ නිසා මහ මැතිවරණයේදී මහින්ද පිලට තිබූ ආස්වාදජනක තත්වයක් දැන් දක්නට ලැබෙන්නේ නැත. ජනතාවට තීරණයක් ගැනීමට සිදුවන්නේ මේ සියල්ලන්ගේම සටන් පාඨ දෙස බැලීමෙන් පසුවය. 
එක්සත් ජාතික පක්ෂය පවසන්නේ මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය යහපත් නිසා තමන්ට ඡන්දය ප්‍රකාශ කළ යුතු බවය. මේ වන විට පවතින තත්වය හොඳ යැයි විශ්වාස කරන අයගේ පළමු තේරීම වන්නේ එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීමයි. එහෙත් ඊට ප්‍රතිවිරුද්ධව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සටන් පාඨය වී තිබෙන්නේ දේශපාලනය පිරිසිදු කිරීමට හොරු අයින් කළ යුතු බවය. හොරු කුමන පාර්ශ්වයේ සිටියත් තමන් ඔවුන් ඉවත් කරන බව පවසයි. එහි ඇත්තේ 
දූෂණයට විරුද්ධ සටන් පාඨයකි. එහිදී ඇඟිිල්ල දිගු වන්නේ මහින්ද රාජපක්ෂ කණ්ඩායමට පමණක් නොවේ. එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැතිවරයාට ඇඟිිල්ල දිගු වන තරමට බැඳුම්කර වාර්තාවේ කරුණු ඉදිරිපත් වී තිබේ. එහි සඳහන් හොරු ආරක්ෂා කිරීමට අගමැතිවරයා කටයුතු කළ බව ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම පවසා ඇත. ආණ්ඩුවේ හොඳ දේවල් සිදුව ඇති නමුත් වැරදි සිදුවී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් තමන්ට වගකීමක් ගත නොහැකි බවත් ජනාධිපතිවරයා පවසන අතරවාරයේදීම දෙපැත්තේම හොරු සිටින බව පවසා ඇත. තමන් හොරු පරාජයට පත් කරමින් ජනාධිපතිවරයා බවට පත්වුවත් මේ පැත්තේ සිටින අය සුද්ධවන්තයන් නොවන බව ඔහු පවසා තිබේ. දෙතුන් පැත්තේම සිටින හොරු වෙනුවට හොරු නැති දේශපාලනයක් කරන බව ජනාධිපතිවරයා පවසා තිබේ. මේ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව කරගෙන යන්නේ කෙසේද යන්න ගැන ජනාධිපතිවරයා පවසා නැති නමුත් බලය අතට ගන්නා බවට පැහැදිළි ඉඟිියක් ලබාදී තිබේ. අවුරුදු දෙකහමාර තුළ කර ඇති වැඩ ගැන ජනාධිපතිවරයාට විවේචනයක් ඇත. සිදුවූ හොඳ අතරම සිදුවූ වැරදි ඉදිරියේදී සිදු නොවීමට වග බලාගන්නා බව ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි. එසේ කල්පනා කරන විට ඡන්දයෙන් පසුව මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශක්තිමත් කිරීමට අවශ්‍ය නම් ඔවුන්ට ඡන්දය ලබාදිය යුතුය. එක්සත් ජාතික පක්ෂයට මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරයා විවෘතව ආරාධනාව කර තිබේ. 
‍පොදුජන පෙරමුණට ආණ්ඩුවක් සෑදීමේ ලකුණු නොලැබෙන නිසාත් පක්ෂය එක් කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක වීම නිසා ඔවුන් මැතිවරණයට ඉදිරිපත් වන්නේ දුර්වලයින් ලෙසය. ජනාධිපතිවරණයට වඩා දුර්වල ලෙස ඔවුන් මහ මැතිවරණයට ඉදිරිපත් විය. ඊටත් වඩා දුර්වල ලෙස දැන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වේ. අනෙක් දෙපාර්ශ්වයටම වඩා දුර්වල ප්‍රතිඵලයක් ඔවුන්ට ලබාගැනීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පාර්ශ්වයට ලැදි අයට ‍පොහොට්ටුවට ඡන්දය දෙනවාද බුලත් කොළයට ඡන්දය ලබාදෙනවාද යන්න ගැන තීරණයක් ගැනීමට සිදුවනු ඇත. 
මේ වනවිට තුන් කොන් සටනක් පවතින නිසා අංක එක බවට පත්වන්නේ කවුරුන්දැයි පැවැසිය නොහැකිය. කවුරු දිනුවත් පළාත් පාලන ආයතනවල සාමාන්‍ය බහුතරය ලබාගැනීමට කිසිදු පක්ෂයකට හැකියාවක් ලැබෙන්නේ නැත. මේ නිසා සන්ධාන ගතවන පාර්ශ්ව මොනවාදැයි යන්න අතිශයින් වැදගත්ය. ඒ අනුව පාර්ලිමේන්තුවේ සංයුතියද වෙනස් වනු ඇත. එක්සත් ජාතික පක්ෂය අංක එකට පැමිණ සාමාන්‍ය බහුතරයක් ලබාගැනීමට නොහැකි වන්නේ නම් මෛත්‍රී පාර්ශ්වය සමග හෝ ‍පොහොට්ටු පාර්ශ්වය සමග එක්වීමට සිදුවනු ඇත. මෛත්‍රී පාර්ශ්වයට පළමු තැන පැමිණියත් අත්වන්නේ එවැනිම ඉරණමකි. 
2018 පෙබරවාරි 11 වැනිදා මධ්‍යම ආණ්ඩුවේ ජාතික ආණ්ඩුව කුමක්ද යන්න තීරණය කිරීමේ වගකීම ඇත්තේ ඡන්දදායකයා අතය. එක්සත් ජාතික පක්ෂයට පැහැදිලි ජයක් ලැබුණොත් දූෂණය, මහ බැංකු මංකොල්ලය ගැන චෝදනා යට යනු ඇත. ‍පොදුජන පෙරමුණ විරෝධාකල්පයක සිටින නිසා ඔවුන්ට සිදුවන්නේ මෛත්‍රී පාර්ශ්වය සමග එක්වීම ගැන සිතීමට සිදුවනු ඇත. එය ජාතික ආණ්ඩුවේ සංයුතිය වෙනස් කිරීමක්ද යන්න ගැන සිතීමට තවදුරටත් සිදුවනු ඇත. මෛත්‍රී පාර්ශ්වය පළමු තැනට පැමිණියහොත් දෙපාර්ශ්වයම සමග ශක්තිමත් එකඟතාවකට යාමට හැකි තත්ත්වයක් නිර්මාණය වනු ඇත.
‍පොදුජන පෙරමුණ බලා‍පොරොත්තු වූ රැල්ල පැමිණියේ නැත. ඔවුන්ගේ ප්‍රධාන තුරුම්පු අදට අධෛර්යමත් වී ඇත. එක්සත් ජාතික පක්ෂයට බරපතළ පසුබෑමක් එල්ල වූයේ මහ බැංකු වාර්තාව ප්‍රසිද්ධියට පත්වීම නිසාය. මෛත්‍රීපාල සිරිසේනට පක්ෂය තුළ සියයට සියයක් බලය තහවුරු කරගැනීමට නොහැකිවීම නිසා ඔවුන්ද කිසියම් පසුබෑමකට ලක්වී තිබේ. කෙසේ වෙතත් දෙමළ ජනතාවගේ ඡන්දයෙන් පත්වූ පළමු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන නිසා ඔහුගේ පක්ෂයට එම ප්‍රදේශවල වැඩි ඉඩකඩක් ලැබි තිබේ. ජාතිවාදී කෝණයෙන් මෙය බැලීමට නොහැකි වීම යහපත් ප්‍රවණතාවකි. 
මේ දේශපාලන සන්දර්භය තුළ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට ප්‍රහාරයක් එල්ල කළේය. ජාතික ආණ්ඩුව පිහිටුවූයේ පක්ෂ දෙක අතර ඇතිවූ අවබෝධතා ගිවිසුමක් අනුවය. මේ වන විට මෙම ගිවිසුමේ කාලය අවසන්වී තිබේ. මේ වන විට අවබෝධතා ගිවිසුමක් නොමැති නිසා විවෘත මනසකින් අවබෝධතා ගිවිසුමකට යාමට හැකියාව ඇත. අවුරුදු දෙකහමාරක න්‍යාය පත්‍රයකට දෙපාර්ශයම එක්වී කටයුතු කළේය. ජනතාව ලබාදෙන ප්‍රතිඵල අනුව ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද යන්න ගැන තීරණය කිරීමට දැන් දේශපාලන නායකයන්ට අවස්ථාව උදාවී 
තිබේ.
 
සාකච්ඡා ක‍ලේ : සංජය නල්ලපෙරුම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට පැවැරී ඇති ප්‍රතිපාදන අනුවය. 
ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඬුල්ල තමන්ගේ මතය ඉදිරිපත් කර ඇත්තේ ඒකමතික මතයක් ලෙසය. ජනාධිපති වෙත එය ඉදිරිපත් කර ඇත. මේ සම්බන්ධයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලය හා ජනාධිපතිවරයා අවට සිටින අය කරනු ලැබූ ප්‍රකාශ අනුව ධුර කාලය සම්බන්ධයෙන් මත දෙකක් පැවැති බව පැහැදිලි වෙයි.
බැලූ බැල්මට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට වසර හයකට ජනවරමක් ලැබුණේය. ජනාධිපතිවරණය පැවැති අවස්ථාවේදී පැවැති ව්‍යවස්ථාව අනුව ඔහුගේ ධුර කාලය වසර හයකි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් දක්වා සංශෝධනය කෙරේ. ජනාධිපතිවරණයකදී මුළු රටම එක් ඡන්ද කොට්ඨාසයක් බවට පත්වෙයි. රටේම සිටින ඡන්ද බලය හිමි ඡන්ද දායකයින් සතු පරමාධිපත්‍ය මත ජනාධිපතිවරයා තෝරා පත් කරගනී. ඒ අනුව ජනාධිපතිවරයා සිය ධුරයේ කටයුතු කරයි. එවැනි තත්ත්වයක් තුළ තමන්ගේ ධුර කාලය අවසන් වන්නේ කවදාදැයි යන්න ගැන මතය විමසීම කාලීන අවශ්‍යතාවකි. එසේ මත විමසීම නිවැරදි තීරණයකි. 
ප්‍රතිපත්ති තීරණය කරන නිලධාරීන්ට පසුගිය කාලයේදී ගැටලු කිහිපයකට මුහුණදීමට සිදුවී තිබුණි. තමන් සකස් කරන ප්‍රතිපත්ති වසර දෙකකින් අවසන් වන ආකාරයට සකස් කරනවාද නැතිනම් වසර තුනක් යන තෙක් එම කටයුතු කිරීමට හැකිද යන්න ගැන ඔවුන් හමුවේ තිබූ ගැටලුවයි. එයට හේතු වූයේ ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන්වන්නේ කවදාදැයි යන තීරණය ගැනීමට අවශ්‍යව තිබූ නිසාය. ජනාධිපතිවරයාට තවත් වසර තුනක කාලයක් ඇතැයි ඇතැම් අය කියූ අතර තවත් සමහරු කටයුතු කළේ වසර දෙකක් ඔහුට ඇති යැයි සිතමිනි. 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරූපණය කිරීමේ ඒකාධිකාරී බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි. 
ඒ අනුව පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් සිය මතය ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය. මෙයින් පසුව මේ ගැන කිසිදු සැකයක් ඇති කරගැනීමට අවශ්‍ය නැත. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකට පසුව අවසන් වෙයි. ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව ඇති කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඉදිරි කටයුතු සිදුවේ. 
නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැසුවේ ජනතාවගෙන් ජනවරමක් වසර හයක් සඳහා ලබාගත් නිසා වසර හයක් ධුර කාලයේ කටයුතු කළ හැකි බවයි. එහෙත් එය පිළිගත්තේ නැත. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව සංශෝධනය සිදුවන අවස්ථාවේ සිටි අගමැතිවරයාට හා ජනාධිපතිවරයාට ලැබෙන බලතල පැහැදිලිය. 
ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ මැතිවරණය පැවැත්වූ ජනවාරි 8 වැනිදා නැතිනම් 19 වැනි සංශෝධනය ගෙන ආ අප්‍රේල් 22 වැනිදා දැයි ඇතැම් අය ප්‍රශ්න කරති. එහෙත් ශේ්‍රෂ්ඨාධිකරණය ලබාදුන් මතය අනුව ජනවාරි 8 වැනිදා සිට වසර පහක් ගතවූ තැන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන බව පැහැදිලිය. 
ජනාධිපතිවරයා තමන්ගේ ධුර කාලය සම්බන්ධයෙන් මත විමසා ඇත්තේ කැබිනට් මණ්ඩලයේදී ඒ ගැන සාකච්ඡාවකින් තොරවය. ජනාධිපතිවරයාට එසේ කැබිනට් මණ්ඩලයට දැනුම් දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසිය යුතු නැත. ශේ්‍රෂ්ඨාධිකරණය විසින් අදාළ තීන්දුව ලබාදීමෙන් පසුව ඇතිවිය හැකි දේශපාලන පසුබිමේ සිදුවිය හැකි වෙනස්කම් තිබේ. දේශපාලනමය වශයෙන් ඇතිවිය හැකි බලපෑම් තිබේ. දැන් ඇත්තේ යම් ආකාරයක සභාග ආණ්ඩුවකි. ජනාධිපතිවරයා තෝරා පත් කරගත්තේ විවිධ දේශපාලන කණ්ඩායම්, විවිධ සංවිධාන කෙටි කාලයක් ඇතුළත සංවිධානය වීමෙන් පසුවය. හිටපු ජනාධිපතිවරයා ඡන්ද ලක්ෂ හතරකින් පරාජයට පත්වී වත්මන් ජනාධිපතිවරයා ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, වතුකරයේ දිගම්බරන්ගේ පක්ෂය සහ ජාතික හෙළ උරුමය වැනි පක්ෂවල සහාය ඇතිවය. විවිධ ප්‍රතිපත්ති ඇති, විවිධ දේශපාලන මත දරන විවිධ භාෂා කතා කරන අය එකතුවී එක් අරමුණක් වෙනුවෙන් කටයුතු කළෝය. හිටපු ජනාධිපතිවරයා පරාජය කිරීමේ අරමුණ ඉටු කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණි. 
ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසුව පිහිටුවූයේ සභාග ආණ්ඩුවකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය වත්මන් ජනාධිපතිවරයාට ලැබුණ නිසා මාස ගණනාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්වී ආණ්ඩුව පිහිටුවූවේය. නැවත අගෝස්තු 17 වැනිදා පැවැති මැතිවරණයෙන් පසුව සභාග ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබුණි. එම ආණ්ඩුව පවත්වාගෙන යන අතරවාරයේදී ජනාධිපතිවරයා සිය ධුර කාලය අවසන්වන දිනය ගැන විමසුවේය. මෙම විමසීමෙන් පසුව ආණ්ඩුවේ අය බලා‍පොරොත්තු නොවූ තත්ත්වයක් ඇතිවී තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූයේ ඔහු වටා සිටි අයට එල්ලවූ දූෂණ චෝදනා, මැතිවරණ ක්‍රමය සංශෝධනය, විධායක ජනාධිපතිවරයාගේ බලය අඩු කිරීම වැනි කරුණු මතය. රටේ ආර්ථිකයට බලපාන දූෂණ වංචා සම්බන්ධයෙන් එම අවස්ථාවේදී චෝදනා එල්ලවිය. එම තත්ත්වය වෙනස් කිරීමට අලුත් ජනාධිපතිවරයෙක් පත් කරගත්තේය. එහෙත් එම මැතිවරණය පවත්වා වසර තුනක් ගත වන විට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සිටින අයට චෝදනා එල්ලවූයේ බැඳුම්කර ගනුදෙනුව නිසාය. මේ තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂය            ජනාධිපතිවරයා විවේචනය කිරීම ඔවුන්ගේ පැත්තෙන් සාධාරණය.
ඉදිරි වසර දෙක තුළදී දූෂණ චෝදනාවන්ට වැරදිකරුවන් වන අයට දඬුවම් ලබාදෙන බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපතිවරයා කියන ආකාරයට ඉදිරි වසර දෙක තුළදී දූෂණ විරෝධී සටන ගෙන යාමට දැනට ඇති නීති ප්‍රමාණවත්ය. වැරදිකරුවන්ට ඒ මගින් දඬුවම් ලබාදිය හැකිය. 1960 ජූලි මස පැවැති මැතිවරණයෙන් තේරී පත්වූ එම්. පී. ද සොයිසා හා ඩී. බි. මොන්නෑකුලම යන මන්ත්‍රීවරු දෙදෙනා කොමිෂන් සභා තීරණ අනුව වැරදිකරුවන් වූ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිවී වසර හතක් දක්වා මැතිවරණයකට ඉදිරිපත්වීමට නොහැකිව සිටියහ. ‍පොතුවිල් ආසනයේ පළමු මන්ත්‍රී ජලල්ඩීන්ට අල්ලස් චෝදනාවලට වැරදිකරු වී පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමි විය. ඒ අනුව චෝදනාවන්ට ලක්වන මන්ත්‍රීවරුන්ට මේ ආකාරයට දඬුවම් ලබාදිය හැකිය. ජනාධිපතිවරයා තමන් ගෙදර යන්නේ දූෂිතයන්ට දඬුවම් ලබාදීමෙන් පසුව බව කීම අගය කළ යුතු කතාවකි.
තවත් අවුරුදු දෙකකින් තමන්ගේ ධුර කාලය අවසන් වන බව කල් ඇතිව දැනගැනීම මගින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සූදානම් විය හැකිය. ප්‍රධාන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරයාගේ ධුර කාලය දැනගැනීම හා මීළඟ ජනාධිපතිවරණය පැමිණෙන කාලය දැනගැනීම වැදගත්ය. තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් සාදා ගැනීම ඔවුන්ගේ අරමුණයි.
මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන කාලය ගැන දැනුවත්වීම එක්සත් ජාතික පක්ෂයට හා ඒකාබද්ධ විපක්ෂයට බලපාන ආකාරය ගැන අවධානය යොමු කළ යුතුව ඇත. එක්සත් ජාතික පක්ෂයට මෙය තමන්ගේ වාසියට යොදා ගත හැකිය. වසර දෙකකට අඩු කාලයකදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව ඔවුන් දැන් දනී. ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වන එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන්නේ දෙමළ හා මුස්ලිම් පක්ෂවල සහාය ඇතිවය. ඒ නිසා ඔවුන්ට වර්තමානයේ සිට ජනාධිපතිවරණයකට සූදානම් විය හැකිය.
බැඳුම්කර ගනුදෙනුව නිසා එක්සත් ජාතික පක්ෂයට ඇතිවී තිබෙන තත්ත්වය පාක්ෂිකයන් විසින්ම තේරුම්ගත යුතු තත්ත්වයකි. රනිල් වික්‍රමසිංහ අවංක දේශපාලනඥයෙක්ය යන අදහසට ඇතිවී තිබෙන හානිය කුමක්ද යන්න මා විග්‍රහ කරන්නේ නැත. ඉදිරි ජනාධිපතිවරණයේදී එය ඔවුන්ට මුහුණදීමට සිදුවන අභියෝගයකි.
අනාගතයේ පැවැත්වෙන ජනාධිපතිවරණයකදී කවුරුත් බලා‍පොරොත්තු වනවාට ඩැඩි උද්යෝගයකින් ජනතාව කටයුතු කරනු ඇත. වඩා ප්‍රබල ආණ්ඩු විරෝධී බලවේගයක් සමග එකතු වෙනවාද ආණ්ඩුවේ සිටින ප්‍රබල පාර්ශ්වයක් එහිදී තෝරා ගන්නවාද යන්න ගැන ජනතාව තීරණයක් ගනු ඇත. 
 
ජනාධිපති නීතීඥ ආචාර්ය ජයතිස්ස ද කොස්තා

මෙම සතිය ආරම්භ වූයේද දේශපාලනික උණුසුමත් සමගිනි. පළාත් පාලන මැතිවරණයේදී මනාප සටනක් දක්නට නොලැබුණද වෙනදාට වඩා වෙනස් මුහුණුවරක් මෙදා දැකිය හැකිය. වෙනදා පුංචි ඡන්දය වෙනුවෙන් ජනාධිපති, අගමැති ඇතුළු  ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් වෙහෙස මහන්සි වන්නේ නැත. නමුත් මෙවර, පුංචි ඡන්දයකට එහා ගිය දේශපාලනයේ ඉදිරි ගමන තීරණය කෙරෙන ඡන්දයක් බවට මෙම මැතිවරණය පත්කොට ගෙන ඇති සෙයක් පැහැදිලිවම පෙනී යයි. මැතිවරණ සටන මෙහෙයවීමට ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්ද, ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද පෙරමුණ ගෙන තිබිමෙන් පෙනී යන්නේ  මැතිවරණයේ උණුසුම වඩාත් දැනී ඇත්තේ පහළට නොව ඉහළට වන බවය. තම තමන්ගේ දේශපාලන පැවැත්ම තහවුරු කරගන්නා ජාතික තලයේ මැතිවරණයක් බවට මෙය පත්වෙන විට එය සාමාන්‍ය ජනතාවට දැනෙන ආකාරය කෙබඳුදැයි විමසා බැලීම වෙසෙසින්ම වැදගත්ය.

මනාප ක්‍රමය අහෝසි වීම තුළින් පක්ෂය තුළම එකිනෙකා ගහ මරා ගන්නා නිර්ලජ්ජිත තත්ත්වය වැළකීයාම මහජනතාවට සහනයකි. කෙසේ වෙතත් පක්ෂය ජයග්‍රහණය කරවීම එකම අරමුණ කොටගෙන මේ දිනවල කටයුතු කරන ඉහළම මට්ටමේ දේශපාලනඥයන්ගෙන් සාමාන්‍ය ජනතාවට සේවයක් සැලසෙනවාද යන්න විවාදාත්මකය. දේශපාලන සදාචාරය, කැබිනට් සාමුහිකත්වය, තීන්දු තීරණ ගැනීම රට හමුවේ  විහිළුවක් වන තරමට දේශපාලන විගඩම් වේදිකාවල  දැකිය හැකිය. උදාහරණයක් ලෙස හිටි ගමන් මුදල් අමාත්‍යවරයා නිවේදනයන් නිකුත් කරමින් කියා සිටියේ තැබෑරුම් විවෘත කරන වේලාව පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දීර්ඝ කරන බවත් කාන්තාවට මත්පැන් මිලදී ගැනීමේ තහංචි ඉවත් කරන බවත්ය.

මෙම තීරණයේ හොඳ සහ නරක කුමක් වුවත් දින කිහිපයක් රට තුළ ප්‍රධාන මාතෘකාවක් බවට එය පත්ව තිබුණි. ජනතාව සිතුවේ එය කැබිනට් මණ්ඩලයේද අනුමැතිය සහිතව ගනු ලැබූ තීරණයක් වන බවය. මෙමගින් රජයේ සුරාබදු ආදායම ඉහළ යාමක් සිදුවන අතරම  මධු ලෝලයන් සඳහා රාත්‍රිය තවදුරටත් දිගුවීමක් සිදුවන බැවින් ඒ පිළිබඳව සාධනීය හා නිශේධනීය මට්ටමින් සමාජ කතිකාවක් නිර්මාණය වෙමින් පැවැතුනි.  එහෙත් ජනාධිපතිවරයා ඉකුත් 14 වෙනිදා අගලවත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් කියා සිටියේ මුදල් අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කළ චක්‍ර‍ලේඛය වහාම අවලංගු කිරීමට  මුදල් අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදුන් බවයි.

ආයෝජක විශ්වාසය

මුදල් අමාත්‍යවරයාගේ තීරණය හෝ ජනාධිපතිවරයාගේ තීන්දුව විවේචනාත්මකව හෝ විචාරාත්මකව විමසා බැලීම මෙම ලිපියේ අරමුණ නොවේ. අප සාකච්ඡා කරනුයේ දේශපාලනයේදී ගනු ලබන තීන්දු තීරණ මෙරට ආර්ථීකයට කවරාකාරයේ බලපෑමක් සිදුවෙනවාද යන කාරණය ගැන පමණි. ඕනෑම රටක දේශීය හා විදේශීය ආයෝජන වැඩිවී නිෂ්පාදනය හා සේවා නියුක්තිය ඉහළ යන්නේ එම රටේ ස්ථාවර ආර්ථීක හා දේශපාලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක  වන්නේ නම් පමණි. ස්ථිර තීන්දුවක් ගැනීමට පෙර කවරාකාරයේ මත ගැටුම් විවේචන පැවැතියත් තීරණයන් ලෙස රට හමුවට පැමිණිවිට  එහි ස්ථිරසාර බවක් පැවැතිය යුතුය. අද රට හමුවට ඉදිරිපත් කරන කිසියම් තීරණයක් හෙට වෙනස් වන්නේනම් එම අර්ථ ක්‍රමය පිළිබඳව දෙස් විදෙස් ආයෝජකයන් තුළ විශ්වාසයක් ගොඩනැගෙන්නේ කෙසේද?

මෙහිදී වඩාත් වැදගත් වනුයේ කිසියම් තීන්දුවක් රට හමුවට පැමිණීමට පෙර කැබිනට්  මණ්ඩලය  තුළත් දේශපාලන ක්ෂේත්‍රය තුළත් සංවාදයකට බදුන් කිරීමෙන් අනතුරුව ස්ථිර තීරණයක් ලෙස ජනතාව හමුවට පැමිණවීමේ වැදගත්කමයි. දේශපාලන විද්‍යාවේදී ‍පොදුවේ පිළිගනු ලබන සිද්ධාන්තයක්  වෙයි. එනම් “ජනප්‍රිය දේ නිවැරදි නොවේ.” යන්නය. මෙය ආර්ථීක විද්‍යාවටද අදාළ කරගත හැකිය. මක්නිසාදයත් ශ්‍රී ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ රටවල ආර්ථිකය හා දේශපාලනය අතර අවියෝජනීය සබඳතාවයක් දැකිය හැකි නිසාය.

ආර්ථීක ප්‍රතිපත්ති

පුංචි ඡන්දය මහා මැතිවරණයක් බවට පරිවර්තනය කර ගැනීමට උත්සාහ දරන මේ රටේ ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂ  බලය තහවුරු කරගැනීම හා බලය ලබාගැනීම පිළිබඳව කල්පනා කරනු විනා ආර්ථීකය ගොඩ ගැනීමට සමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කොට නොමැත. මේ වන විට ආර්ථීකය දැඩි අර්බුදයකට  ලක්වී තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත. භාණ්ඩ හා සේවා මිල මට්ටම් අඛණ්ඩවම ඉහළයාම හෙවත් උද්ධමනය, ඉතිරි කිරීම් අඩුවීම, ‍පොලී අනුපාතය ඉහළයාම, නිෂ්පාදනය හා සේවා නියුක්තිය පහළ වැටීම, ආර්ථිකමය වශයෙන් අසහනකාරී තත්ත්වයක් ඇතිවී තිබිම ආර්ථික ගැටලු අතරින් ප්‍රධානය.

මේ ගැටලු අද ඊයේ ඇතිවූවක් නොව දශක ගණනාවක් මේ රට පාලනය කළ හා කරමින් සිටින දේශපාලනඥයන් නිවැරදි තීන්දු තීරණ නොගැනීම නිසා ජනතාවට විඳීමට සිදුවී ඇති පීඩාවන්ය.  මේ රටේ දේශපාලනඥයන්ට කිසිදු පීඩාවක් ඇති බවක්  අපට නම් නොපෙනේ. ඔවුනට යාන වාහන, ඉහළ ආදායම්, පඩි නඩි, ආරක්ෂාව මේ සියල්ල හිමිය. නමුත් සාමාන්‍ය ජනතාවට හාල් කිලෝවක්, ‍පොල් ගෙඩියක් මිලදී ගැනීම බරපතළ ගැටලුවකි. මෙවැනි තත්ත්වයන් රට තුළ නිර්මාණය වී ඇත්තේ මන්ද?

පිළිතුර ඉතා පැහැදිලිය. එසේ වන්නේ නිෂ්පාදනය කඩා වැටී ඇති නිසාය. නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථික ක්‍රමයක් වෙනුවට ආනයනය කොට බෙදා හැරීමේ ක්‍රමවේදයක් දිගින් දිගටම අනුගමනය කිරීමේ ආදීනව දැන් අපි බුක්ති විඳින්නෙමු. සහල්, අල, ලූනු, වියළි මිරිස්, කව්පි, මුංඇට, කුරහන්, බඩඉරිඟු, වියළි හාල්මැස්සන්, ඉඟුරු, කහ මෙකී නොකී සෑම ආහාර භෝගයක්ම ආනයන කිරීමට අපට සිදුවී ඇත්තේ  එම ක්ෂේත්‍රය පිළිබඳව අපට ජාතික ප්‍රතිපත්තියක් හෝ වැඩපිළිවෙළක් නොතිබුණු නිසාය.

අද ‍පොහොර අරභයා මතු වී ඇති ගැටලුව ගැඹුරින් විමසා බැලුවහොත් අප වැටී සිටින භයානක තත්ත්වය පිළිබඳ යම් හෝ අදහසක් ලබාගත හැකිය. වත්මන් ‍පොහොර අර්බුදයට හේතු වී ඇත්තේ පාකිස්තානය ‍පොහොර ආනයනය සම්බන්ධයෙන් වෙනදාට වඩා දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. වෙනත් වචනවලින් කිවහොත් ‍පොහොර අපනයනය සීමා කිරීමට පාකිස්තානය තීරණය කිරීමය. මේ අන්දමට ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල් සහල්, අල, ලූණු, කුරහන්, බඩඉරිඟු ආදිය අපනයනය කිරීමද සීමා කළහොත් ශ්‍රී ලංකාවේ අපට යන කල දවස කුමක් විය හැකිද?

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා ඇත්තේ අප්‍රේල් මාසය දක්වා මාසිකව සහල් ආනයනය කරන බවටය. වෙළෙඳ ‍පොළේ සෙසු ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පාලනය කිරීම උදෙසා දිගින් දිගටම භාණ්ඩ හා සේවා ආනයනය කිරීමට තමන් නොපැකිලෙන බවටද හෙතෙම සහතිකයක් දී අවසන්ය. කෙසේ වෙතත් වෙළෙඳ ‍පොළේ භාණ්ඩ හා සේවා මිල ගණන් නම් ජනතාවට දරාගත හැකි මට්ටමකට අඩු වී නොමැත. සතොස හා සුපිරි වෙළෙඳසල් ජාලය ඔස්සේ තොග මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදෙන බව පැවැසුවද බොහෝ සතොස වෙළෙඳ සල්වල සහල්, අල, ලූනු ආදිය නොමැත.  අනෙක් පැත්තෙන් සුපිරි වෙළෙඳ සල්වල තොග මිලට භාණ්ඩ විකිණීමක් දැකිය නොහැකිය.

නිෂ්පාදකයා හා පාරිභෝගිකයා

නිෂ්පාදකයා හා පාරිභේගිකයා යන දෙදෙනාම ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළක්  ඕනෑම රජයකට තිබිය යුතුය. ශ්‍රී ලංකාවේ අපට ජාතික ආර්ථීක ප්‍රතිපත්තියක් නොමැති නිසා මෙය යථාර්ථයක් කර ගැනීමට නොහැකි වී තිබේ. පවතින වෙළෙඳ‍පොළ මිල මට්ටම් යටතේ ජනතාවට භාණ්ඩ හා සේවා පරිභෝජනය කිරීමට ඔවුන්ගේ ආදායම් මට්ටම් ඉහළ යා යුතුය. ආදායම ඉහළ නැංවීමට නම් රටේ නිෂ්පාදනය හා සේවා නියුක්තිය ඉහළ යා යුතුය. රට තුළ නිෂ්පාදනය ඉහළ නැංවීමට සුදුසු පරිසරයක් ගොඩ නැංවී තිබේද? කෘෂිකර්මාන්තයට අවශ්‍ය ‍පොහොර, ජලය, වෙළෙඳ ‍පොළ හා අනෙකුත් යටිතල පහසුකම් සැපිරී තිබේද? අනෙක් පැත්තෙන් දේශීය නිෂ්පාදන ඉහළ නැංවීමට අවැසි ස්ථීර ප්‍රතිපත්තියක් හෝ  වැඩපිළිවෙළක් රටට තිබේද? මෙය දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලු පාර්ශ්වයන් විසින් එකමුතුව සැලසුම් කළයුතුව තිබෙන වැඩ පිළිවෙළකි.  දේශපාලනඥයන් හා පක්ෂ නායකයින් ඒ සඳහා පෙරමුණ නොගන්නේනම් සිවිල් සංවිධාන පෙරට පැමිණිය යුතුය. රටට වෙනස් නොවන ජාතික ආර්ථික ප්‍රතිපත්තියක්  හා වැඩපිළිවෙළක් සැකසීමේ වගකීමෙන් මේ රටේ සිවිල් සංවිධානවලට මග හැර යා නොහැකිය.

මක් නිසාද යත් අප කුමක් පැවැසුවද ආර්ථික සාධනය අතහැර දේශපාලන සදාචාරය, යහපාලනය නීතිය හා  සාමය යන මේ කවර දෙයක් වුවද සපුරා ගත නොහැකිය. මන්දයත් ඒ සියල්ල යථාර්ථයක් බවට පත් කිරීමේ හැකියාව ඇති අදෘශ්‍යමාන බලවේගය ආර්ථික සාධනය වන බැවිනි. අපේ දේශපාලනඥයන් තේරුම් ගත යුතුව ඇති මහ ‍පොදු සාධකය වන්නේ එයයි.

Page 1 of 4

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4092

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2703

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3774

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2280

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7521

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4635

Please publish modules in offcanvas position.