Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විවෘත ආර්ථිකය අධිවේගී මගකට යොමු කළ අයවැයක්

නීල හරිත ආර්ථිකයක් -  යනුවෙන් මෙවර අය වැය ඉදිරිපත් කර තිබේ. තිරසර සංවර්ධන ඉලක්ක දෙස බලාගෙන සහ රටේ ආර්ථික කටයුතු දියුණු කිරීම යන අදහස මේ තුළ අන්තර්ගතවේ. 
අයවැය යෝජනා දෙස බලන විට රජය මෙවර අයවැය මගින් ආර්ථික ලිහිල්කරණයක් වෙත යාමට උත්සාහ කර තිබේ. මෙය එක් අතකින් විදේශීය අංශය ඉලක්ක කර තිබේ. විදේශ අංශයේ යම් යම් බදු නොවන ආනයන සීමා ලිහිල් කර තිබේ. විදේශ ආයෝජනයට අදාළව වත්කම් මිලදී ගැනීමට අදාළව තිබූ සීමා ලිහිල් කර ඇත. දේශීය අංශයේ ශ්‍රම වෙළෙඳ‍පොළ, ප්‍රාග්ධන වෙළෙඳ‍පොළ හා ඉඩම් වෙළෙඳ‍පොළට අදාළව පවතින දුෂ්කරතා ඉවත් කිරීමට කටයුතු කර තිබේ. මේ තත්ත්වය තුළ රේගු පනත, කුඹුරු පනත, සේවා නියුක්තිකයන්ට අදාළව ඇති පනත් සංශෝධනයට යෝජනා කර තිබෙන්නේත් අධ්‍යාපනයට අදාළ පනත් සංශෝධනයට හෝ අලුත් පනත් ගෙන ඒමට යෝජනා කර තිබෙන්නේත් ආර්ථික ලිහිල්කරණයට අදාළවය. ඒ අතින් බලන කල මෙය විවෘත ආර්ථිකය තවදුරටත් අධිවේගී මාර්ගයකට යොමු කිරීමකි. 
මෙම අනපනත් හා ලිහිල්කරණයන් කිරීමේදී ඇතිවන සමාජීය බලපෑම කුමක්ද යන්න ගැනත් යම්කිසි ආකාරයට විමසා බැලිය යුතුය. එම නීති කලකට පෙර හඳුන්වා දී තිබුණත් කාලයක් සමග විවිධ සංශෝධනයන්ට ලක්ව තිබේ. දැනට තිබෙන නීති ලිහිල් කිරීමේදී ආර්ථිකමය වශයෙන් යම් යම් ධනාත්මක තත්ත්වයන් ඇතිවිය හැකිය. එහෙත් සමාජීය වශයෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් ගැන අවධානය යොමුවිය යුතුය.
ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය සඳහා විශාල යෝජනා සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබේ. තරුණ කොටස් ව්‍යවසායකයන් ලෙස යොමු කිරීමට, කාන්තාවන් ව්‍යවසායකත්වයට යොමු කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ. උසස් පෙළ සඳහා වරම් නැති අය ව්‍යවසායකත්වයට පුහුණු කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම හොඳ පියවරකි. ව්‍යවසායකයන් වැඩි වශයෙන් බිහි කිරීම රටේ ආර්ථික වර්ධනයට හේතුවන්නකි.
තිරසර සංවර්ධන ඉලක්කයන් ජයගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා ඉදිරිපත්වන්නේ පරිසරයට අදාළවය. පරිසර සුරක්ෂිතභාවයට අදාළව ‍පොලිතින් භාවිතය තහනම් කිරීමේ සිට වෙරළ, ගංගා ද්‍රෝණි පවිත්‍රතාවයෙන් පත්වාගැනීමට යෝජනා කර තිබේ. 2030 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා ඉදිරිපත් කරඇති යෝජනා දෙස බලන විට ඒ පැත්තට යොමු කර ඇති අවධානය වඩා වැඩිදැයි විටෙක සිතේ. වාහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ලෙස බලන විට සියලුම වාහන විදුලි බලයෙන් ධාවනය වන වාහන බවට පත් කිරීමට යෝජනා කර තිබේ. එය හොඳ යෝජනාවකි. එහෙත් අපි සිටින අර්ධ සංවර්ධන තත්ත්වයන් තුළ ඇතැම් විට පිරිවැය සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකිය. ලංකාවේ විදුලි බිල ලෝකයේ ඉහළ විදුලි බිලකි. එවැනි තත්ත්වයක් මත විදුලි වාහනවලට ක්‍රමානුකූලව පරිවර්තනයවීමේදී විදුලි සැපයුම කරගත හැකිද යන්න ගැන අවධානය යොමු කළ යුතුය. එහෙත් පරිසරය සම්බන්ධයෙන් ලබාදී ඇති ප්‍රමුඛතාවය වැදගත්ය.
මේ අයවැය මගින් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම යහපත් තත්ත්වයකි. මෙවර අයවැය මගින් උසස් පෙළ ළමුන්ට ලබාදෙන ටැබ් පරිගණකය දිගටම ලබාදෙන්නේද යන්න ගැන සදහනක් කර නැත. එසේම ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමක් දකින්නටද නැත.
මීට අමතරව අයවැය ‍ලේඛනයේ යම් යම් සෘනාත්මක හෝ පසුගාමී කරුණු කිහිපයක් ද තිබේ. රජය ක්‍රමානුකූලව ඩිජිටල් ආර්ථිකය බද්දට යට කරමින් සිටී. අන්තර්ජාලය ඔස්සේ කරනු ලබන බදු සදහා පසුගියවර බදු පනවා තිබුණි. මෙරට ජංගම දුරකථන කුළුණුවලට අදාළව බදු පනවා තිබේ. මේ බද්ද දුරකථන සේවා සපයන සමාගම්වලින් අය කළද අවසාන වශයෙන් එම බද්ද ගෙවීමට සිදුවන්නේ දුරකථන භාවිතා කරන ජනතාවටය. කෙටි පණිවුඩ දැන්වීම් සඳහා බදු අය කිරීමටද යෝජනා කර තිබේ. ඒ ඩිජිටල් ආර්ථිකයට බදු පැනවීමේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමකි.
බැංකු ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද මෙවර අය වැයෙන් අවධානය යොමු කර තිබේ. බැංකුවලින් ලබාගන්නා ණය ගෙවීමේදී රුපියල් දහසකට ශත විස්සක් බැංකුවෙන් අය කරයි. එම මුදල ගනුදෙනුකරුවන්ගෙන් අය නොකර බැංකුව ගෙවිය යුතු බවට ඉල්ලීම් කර තිබේ. ඒ ආකාරයට පැවැසුවත් අවසාන වශයෙන් බැංකුව එය තල්ලු කරන්නේ ගනුදෙනුකරුවාටය. ‍පොලී අනුපාත හෝ වෙනත් ගාස්තු හරහා එය අය කරන්නේ ගනුදෙනුකරුවාගෙනි. ආදායම් බද්දට පුද්ගලයන් යටත් කරගැනීම පහසු නොවන්නේ බොහෝ ගනුදෙනු බැංකු හරහා සිදු නොවීම නිසාය. බැංකුවට පිටින් ගනුදෙනු සිදුවන විට අලුත් යෝජනාවලට අදාළව පවා පුද්ගලයන් ලබන ආදායම කුමක්ද යන්න හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙන්නේ නැත. මෙවැනි බදු පැනවීම හරහා පුද්ගලයන් බැංකුවලට පිටින් ගනුදෙනු කිරීමට වැඩි උත්සාහයක් ගනු ඇත. සියලුම ගනුදෙනු බැංකු හරහා සිදුවන ආකාරයට කටයුතු කිරීමට අවශ්‍ය නම් මෙවැනි යෝජනා ඒ සඳහා සුදුසු නොවේ. රජය මෙවැනි අයවැය යෝජනාවක් ඉදිරිපත් කරන්නට ඇත්තේ බැංකු අධිප්‍රාමාණික ලාබ ලබන නිසා විය යුතුය. 
එකිනෙකට නොගැළපෙන යෝජනා අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර තිබේ. එක් පැත්තකින් තරුණ ව්‍යවසායකයන් දිරිමත් කරන අතරවාරයේදී ටුක් ටුක් ක්‍රමය යටතේ ත්‍රිරෝද රථ රියැදුරන් සංචාරක මගපෙන්වන්නන් ලෙස දිරිමත් කරයි. තරුණයෙක් ව්‍යවසායකයෙක් ලෙස කටයුතු කරනවාද නැතිනම් ත්‍රිරෝද රථයක් මිලදීගෙන ත්‍රිරෝද රථ රියැදුරෙක් ලෙස කටයුතු කරනවාද කියා සිතීමට හැකිය. සියලුදෙනාටම සලකන්නට ගොස් කිසිවෙක්ටවත් සැලකිය නොහැකි තත්ත්වයක් ඇතිවීමේ යෝජනා මේ තුළ අන්තර්ගත වේ. 
‍පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීම සම්බන්ධයෙන් මෙවර අයවැය යෝජනා කර නැත. ‍පොදු ප්‍රවාහන සේවය දියුණු නොවීම නිසා විශාල මිනිස් පැය සංඛ්‍යාවක් දිනකට අහිමිවේ. ‍පොදු ප්‍රවාහනය ගැන අවධානය යොමු නොකිරීම ප්‍රශ්නගත තත්ත්වයකි. ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට නම් දියුණු ‍පොදු ප්‍රවාහනයක් තිබිය යුතුය. එහෙත් ඒ ගැන කිසිදු සැලකිල්ලක් දක්වා නැති ස්වභාවයක් පෙන්නුම් කරයි. 
මේ අයවැය ‍ලේඛනයද ඉදිරියේදී ගෙන ඒමට නියමිත අයවැය ‍ලේඛනය සමග සමපාතවන ස්වභාවයක්ද තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පළවාහරින ලද මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර ඇති යෝජනා, යාපනයේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර ඇති යෝජනා දෙස බැලූ විට එක්තරා ආකාරයකට ජාතික සංහිඳියාව කෙරෙහි ඇති උත්සාහයද පෙනෙන්නට තිබේ. 
කෙසේ වෙතත් මෙවර අයවැය තුළ හොඳ ලක්ෂණ තිබේ. ආර්ථිකය වර්ධනය කරගැනීම සදහා අවශ්‍ය යෝජනා මේ තුළ අන්තර්ගතවේ. නමුත් මේ යෝජනා සියල්ලම ඇතුළත් වන්නේ රජය විසින් පිළිගනු ලබන විවෘත ආර්ථිකය තුළය. විවෘත ආර්ථිකය තුළ කරනු ලබන යෝජනා තුළින් ආර්ථිකය වර්ධනය වනු ඇතැයි යන මූලික උපකල්පනය මත අදාළ යෝජනා ඉදිරිපත් කරඇත. මේ උපකල්පනය මත කටයුතු කරන විට සමාජීය බලපෑම කුමන ආකාරයක් ගනීද යන්න ගැන අවධානය යොමු කළ යුතුය. ඇතැම් නීති රීති වෙනස් කරන විට හා තීරු බදු නොවන සම්බාධක ඉවත් කරන විට දේශීය කර්මාන්තකරුවාට එල්ලවන බලපෑම ගැනත් අවධානය යොමු කළ යුතුවේ.
මෑත කාලීනව ඉදිරිපත් කළ අයවැය ‍ලේඛන මගින් සියලු දෙනාම ආවරණය කරමින්, ඉදිරිපත් කළ හැකි හොදම යෝජනා ඉදිරිපත් කිරීමේ ස්වභාවයන් දක්නට ලැබුණේය. නමුත් අයවැය ‍ලේඛනය ක්‍රියාත්මක කරන විට ක්‍රියාත්මක කර ඇත්තේ ඉතාම  සීමිත යෝජනාය. පසුගිය අයවැය මගින් සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන්ට ‍පොලී රහිත ණයක් ලබාදීමට යෝජනා කළේය. එහෙත් කාටවත් එවැනි ණයක් ලැබුණේ නැත. ඇතැම් අයවැය යෝජනා ක්‍රියාත්මක වූයේ නැත. එවැනි තත්ත්වයක් මෙවර අයවැයට අත් කර නොදීමට වග බලාගත යුතුය. එසේ නැතිනම් කෙතරම් හොඳ යෝජනා ඉදිරිපත් කළත් එයින් ඇතිවන ප්‍රයෝජනයක් නැත. ඒ ගැන අපගේ කල්පනාව යොමු කළ යුතුය.
තවදුරටත් රජය වක්‍ර බදු මත රැදෙන ස්වභාවයක් අය වැය ‍ලේඛනය මගින් පෙන්නුම් කරයි. අප්‍රේල් මස පළමු වැනිදා සිට නව බදු පනත ක්‍රියාත්මක වේ. එමගින් සෘජු බදු හරහා ආදායම් ලබාගැනීමට රජය බලා‍පොරොත්තුවේ. සෘජු බදු පහසුවෙන් රැස් කරගැනීමට නොහැකිය. ඒවා රැස් කරගැනීමට දැඩි වෙහෙසක් දැරිය යුතුය. ඒ තත්ත්වය තුළ ආදායම් හා වියදම් පරතරය අතර වෙනසක් සිදුවුවහොත් වක්‍ර බදු හරහා බදු ලබාගැනීමට කටයුතු කිරීමට සිදුවනු ඇත. ඒ නිසා සෘජු බදු අය කිරීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය. එසේ නොවුණහොත් අයවැය පරතරය වැඩි විය හැකිය. තවදුරටත් ණය ලබාගැනීමට සිදුවනු ඇත.
බැංකුවලින් ණය අය කරගැනීමේදී බද්දක් පනවා තිබෙන්නේ මැදමූලන බද්ද යැයි කියමිනි. වසර තුනක් සදහා මේ බද්ද පනවන්නේ ණය ගෙවීමට යැයි මුදල් ඇමැතිවරයා පවසයි. මීට පෙර වැට් බද්ද වැඩි කළේද ණය ගෙවීමට යැයි කියමිනි. නමුත් මේ රජයත් ඒ ආකාරයෙන්ම ණය ගනී. ඇතැම් විට ඊට වඩා වැඩි බද්දක් අය කරයි. පවතින රජයත් ඵලදායී නොවන ව්‍යාපෘති කිරීම තුළ තවදුරටත්  ණය බර ඉහළ යයි. එවිට මීළඟට බලයට පත්වන ආණ්ඩුවත් මංගල බද්ද, රනිල් බද්ද යැයි කියමින් බදු පනවනු ඇත. මේ නිසා ණය ලබාගැනීම් සීමා කළ යුතුය. කෙටි කාලීන වානිජ ණය ලබාගැනීම් සීමා කළ යුතුය. ණය බර අඩු කරගැනීමේ සැබෑ වුවමනාවක් ඇතිනම් කළ යුත්තේ මෙයයි.
 
කොළඹ විද්‍යා විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයනාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත දුනුසිංහ
 
සාකච්ඡාව : සංජය නල්ලපෙරුම
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1033

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 1559

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4427

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2583

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1431

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2306

Please publish modules in offcanvas position.

Web Analytics