Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජනපතිවරණයකට හත් ගව්වක් තියා ‍පොදු අපේක්ෂකයන් ඇහිඳීම

යහපාලන ජාතික ආණ්ඩුව ඇතුළේ පුපුරා ගිය දේශපාලන අර්බුදයක් හේතුවෙන් අධිකරන හා බුද්ධ ශාසන ඇමැතිවරයා නොබෝදා ධුරයෙන් පහ කරන විට ඒ සිදුවීම හා බැඳුණු  නව දිශානතියක තවත් දේශපාලන අන්දරයක්ද සමාජය තුළ පැතිර ගියේය. ජනමාධ්‍ය ඔස්සේ පවා විවෘතව දිග හැරුණු මේ කතාන්දරයට ඉහළම බර තැබිමක් දේශපාලන ලෝකයෙහි හිමිවනු පෙනුණේ රටේ ජනතාවද ඒ ගැන තැන නොතැන නොබලා කතාබහ කරන්නට වූ විටය. ධුරයෙන් ඉවත් කෙරුණු හිටපු අධිකරණ හා බුද්ධශාසන ඇමැතිවරයා ඉදිරි ජනපතිවරණයකදී ‍පොදු අපේක්ෂකයෙකු ලෙස දේශපාලන කරළියට පැමිණේවිද යන කුතුහලයෙන් පිරුණු දේශපාලන පුවත එම කාරණාවයි. මෙරට සිටින කීර්තිමත් හා කෘතහස්ත නීතිවේදියෙකුලෙස සමාජයේ ඉහළම ජනප්‍රසාදයක් දිනාගෙන සිටින උගතෙකු හා බුද්ධිමතෙකු වන හිටපු අධිකරණ ඇමැතිවරයාට ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට  ඇති අයිතියට හා සුදුසුකමට කිසිවෙකුටත් අබියෝග කළ නොහැකිය. ඒ මන්දයත් ඔහුට තරම් ඉහළ ප්‍රවීණ  සුදුසුකම් නොතිබූ අය පවා වසර 35ක පසුගිය අතීතය තුළ ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත්ව තිබෙන බැවිනි. මෙරට දේශපාලන ධුරාවලියෙහි ඉහළම තනතුර වන ජනාධිපති පදවියට තරග කිරීම සඳහා අවශ්‍යවන  මූලික අපේක්ෂක සුදුසුකම් පිළිබඳව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(1) හා (2) වැනි උප වගන්තිවලත්, 1981 අංක 15 දරණ ජනාධිපතිවරණ ඡන්ද විමසීම් (විශේෂ) විධි විධාන පනතෙහි 11 වැනි වගන්තියෙහිත් පැහැදිලිවම දක්වා තිබේ. එකී සුදුසුකම් සපුරාලීමට හැකි ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුට එම තනතුරට තරඟ කිරීම සඳහා ඉදිරිපත්වීමට නීතියෙන් පිළිගත් වලංගු ප්‍රජාතන්ත්‍රික අයිතිවාසිකමක් තිබේ. එසේ ඉදිරිපත්වන අපේක්ෂකයගේ දේශපාලන පෞරුෂත්වය වැඩෙන්නේ ඔහුට සමාජයේ තිබෙන පිළිගැනීම, ගෞරවය හා වටිනාකම වඩාත් ඉහළ යන විටය. හිටපු අධිකරණ ඇමැතිවරයා වටා නොබෝදා  ගෙතී රට වටා සීඝ්‍රයෙන් පැතිරී ගිය හදිසි දේශපාලන පුවතටද වැඩි සමාජ වටිනාකමක් නිතැතින්ම ආරෝපණය වූයේ මේ පසුබිම තුළය.

එහෙත්, දේශපාලනික වශයෙන් වඩාත් සංවාදයට බඳුන් කළ යුතු විවාදපන්න කාරණය වන්නේ එසේ ජනපතිවරණයකට සූදානම් කරවන ‍පොදු අපේක්ෂකයා කවුරුන්ද, ඔහුට ඊට ඇති සුදුසුකම් මොනවාද, ඔහුගේ දේශපාලන දර්ශනය හෝ අභිලාශය කුමක්ද යන කරුණු නොව ශක්තිමත් හා සංකීර්ණ දේශපාලන පක්ෂ පද්ධතියක් පවතින අපේ රටේ ප්‍රධාන පුරවැසියා තෝරන මැතිවරණය සඳහා වසර ගණනාවක් කල්තියාම ‍පොදු අපේක්ෂකයන් සොයා යෑමට තිබෙන සැබෑ අවශ්‍යතාවය කුමක්ද යන්නයි. ආසියාවේ සෙසු බොහෝ රටවල් අසාවත් නොතිබුණු තරම් ඈත යුගයක 1931 දී සර්වජන ඡන්ද අයිතිය දිනාගත් අපේ රටෙහි ඊට නොදවෛනි අභිමානවත් ඉතිහාසයක් දේශපාලන පක්ෂ ක්‍රමයටද තිබේ.  1935 දී මෙරට මුල්ම දේශපාලන පක්ෂය බිහි වූ දා සිට 2010 දක්වා ගෙවිගිය වසර 75 ක කාලය තුළ පැවැති පාර්ලිමේන්තු  ජනධිපති ජනමත හා පළාත් සභා මැතිවරණ වෙනුවෙන් කලින් කලට ඉදිරිපත් වී තරගවැදී තිබෙන මුළු දේශපාලන පක්ෂ සංඛ්‍යාව 115කි. 2010 න් පසුව මේ දක්වාද තවත් දේශපාලන පක්ෂ ගණනාවක් මෙම ලැයිස්තුවට අලුතින් එකතු වී තිබේ. අපේ දේශපාලන පක්ෂ ක්‍රමය කෙතරම් වැඩි අතුපතර විහිදී ගොස් තිබේද යන්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් වර්තමානයේ වලංගු ලෙස පිළිගෙන ඇති දේශපාලන පක්ෂ ලැයිස්තුවෙහි පක්ෂ 67 ක්ම තිබිමෙන් පැහැදිලිවෙයි. ඇමෙරිකාව, බටහිර යුරෝපය වැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා  නොමැති තරමේ අති විශාල දේශපාලන පක්ෂ ගණනකින් ලාංකීය දේශපාලන කෙත සරුවට ‍පොහොණවී  ඇති බව අමුතුවෙන් කිවයුතු නොවේ.

මෙබඳු පසුබිමක් තුළ දේශපාලන පක්ෂ ක්‍රමයේ අභිමානය ඉහළින්ම හුවා තැබිය හැක්කේ ජාතික මැතිවරණ සඳහා ඔවුන් දක්වන ප්‍රශස්ත දායකත්වය තුළය. ඒ වෙනුවෙන් සමාජය ‍පොදුවේ පිළිගන්නා හා ඉහළින්ම වැළඳ ගන්නා නියම ජනතාවාදී අපේක්ෂකයන් ඉදිරිපත් කරවීමට ඔවුන්ට ඇති හැකියාව හා අවස්ථාව තුළය.  මෙහිලා වැඩිවගකීම ඇත්තේ එ.ජා.ප.යත්, ශ්‍රීල.නි.ප.යත් යන රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටය. ඒ ජනාධිපතිවරණයකදී සැබෑ සටන ඇත්තේ මෙම පක්ෂ දෙක අතරෙහි වන බැවිනි. ජාතික මැතිවරණයකදී වැඩි දෙයක් කිරීමේ දේශපාලන  ශක්නුතාවයෙන් හෙබි එකම බලවේ දෙකද මෙම පාර්ශ්වයන් පමණක් වන බැවිනි. එහෙයින් ඉදිරි ජනාධිපතිවරණයකට වඩාත් සුදුසු අපේක්ෂකයෙකු සූදානම් කරවීමේ වැඩි වගකීම හා කාර්යභාරය පැවැරෙන්නේද මෙම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වෙතය.

ජනාධිපතිවරණයක් සඳහා වන ‍පොදු අපේක්ෂක සංකල්පය අපේ දේශපාලන සමාජයට ආගන්තුක දෙයකි. මක්නිසාද යත් දේශපාලන නිදහස දිනූ දා සිට මේ දක්වා අඛණ්ඩවම අපේ රටේ ජනතාව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක මත පදනම් වූ තට්ටුමාරු පාලන ක්‍රමයක් සඳහා දිගින් දිගටම හුරුපුරුදු වී සිටි බැවිනි. ඒ සඳහා ඔවුන්ගෙන් සාතිශ්‍ය බහුතරය හැමැදාමත් ඡන්දය පාවිච්චි කොට ඇති බැවිනි. ‍පොදු අපේක්ෂක සංකල්පයෙන් තොරව අවසන්වරට මෙරට පැවැති අතිශය දේශපාලන සංකීර්ණභාවයකින් යුතු පසුගිය 2015 අවසන් මහා මැතිවරණයේදි පවා රටේ ඡන්ද දායකයන්ගෙන් 88ක් වූ සාතිශය බහුතරය ඡන්දය දී තිබුණේ මෙම ප්‍රධාන පක්ෂ දෙකට වීමෙන් මෙම තර්කය තවත් සනාථ වෙයි. අනෙක් අතට, විධායක ජනාධිපතිධුරය රටට හඳුන්වා දී වසර 28ක් යන තුරුම ‍පොදු අපේක්ෂකත්වය යන්න  මෙරට දේශපාලනයට නුහුරු නුපුරුදු දෙයක් විය.  1982 - 2005 දක්වා පැවැති සෑම ජනාධිපතිවරණයකටම ප්‍රධාන ප්‍රතිවාදීන් ලෙස තරගවැදී තිබුණේ එ.ජා.ප.යේත්, ශ්‍රීල.නි.ප.යේත් අපේක්ෂකයන්ය. එකල පැවැති මුල් ජනාධිපතිවරණ  පහේදීම ඔවුන් අතරට පැමිණ ලොකු දෙයක්  කිරීමේ හැකියාව කුඩා දේශපාලන ධාරාවක අපේක්ෂකයෙකුට හෝ  නිර්පාක්ෂික අපේක්ෂකයෙකුට කිසිවිටෙකත් තිබුණේ නැත.  එවැනි දේශපාලන රික්තකයක් එකල දේශපාලන සමාජයෙහි නිර්මාණය වූයේද නැත. කලානුරූපීව පැවැති වඩාත් අසීරු දේශපාලන සාධක හමුවේ වුව එදා පැවැති ජනාධිපතිවරණවලට තමන්ගේම අපේක්ෂකයන් ඉදිරිපත් කරවීමට මෙම පක්ෂ දෙකම එදා මොනවට වගබලා ගත්තේය. තමන්ට  ජනාධිපතිවරණයක් ජයගැනීම හුදු සිහිනයක්ව පැවැති 1982 දී ශ්‍රීල.නි.ප.යත්, 1994 දී එ.ජා.ප.යත් ක්‍රියා කළ අන්දම මීට නිදසුන්ය. කෙතරම් දැඩි හා අසීරු දේශපාලන අභියෝග මැද වුවද මේ ප½ධාන පක්ෂ දෙකම එදා මහත් අපහසුවෙන් හෝ තමන්ගේම අනන්‍යතාවයෙන් යුතු පාක්ෂිකත්වයේ නියම අපේක්ෂකයන්ම මැතිවරණවලට ඉදිරිපත් කරවුවා විනා කිසිවිටෙකවත් තම දේශපාලන පක්ෂයේ නම සලකුණ හෝ පාට උකසට තබමින් ‍පොදු අපේක්ෂකයන් පසුපස හඹා ගියේ නැත. මැතිවරණය දිනිය නොහැකි වුවත් ඔවුන්ගේ සාම්ප්‍රදායික දේශපාලන පැවැත්මට හෝ ස්ථාවරභාවයට කෙටිකාලීනව විනා දිගුකාලීනව බලපෑ තර්ජනයක් හෝ අබියෝගයක් එදා ඇති නොවූයේද මෙම පසුබිම හේතුවෙනි.

ඉදින් ‍පොදු අපේක්ෂ සංකල්පයට පණ ලැබෙන්නේම පවතින දේශපාලන පසුබිම තුළ තනිව තරගකොට ජනපතිවරණයක් ජයගත නොහැකිය යන හීනමානය සහ පරගැති අදීන මතවාදය පක්ෂ ක්‍රමය තුළ මුල් බැස ගැනීමත් සමගය.  1988 දෙවැනි ජනාධිපතිවරණයේදී විජය කුමාරතුංග මහතා විපක්ෂයෙන් ඊට ඉදිරිපත් කළ යුතු බවට පැවැති ‍පොදු අදහස ඔහුගේ හදිසි ඝාතනයත්, ඊට සමගාමීව මැතිණියගේ ප්‍රජා අයිතිය පිළිබඳ තිබූ ගැටලුව නිරාකරණය වීමත් සමග තිඹිරිගෙය තුළදීම මියැදී ගියේය. ඉන්පසුව පැවැති ඊළඟ ජනාධිපතිවරණ තුනේදීම ‍පොදු අපේක්ෂකත්ව සංකල්පය පක්ෂ දෙකටම වුවමනා නොවීය.  එය මුලින්ම විද්‍යාමාන වන්නේත්,ප්‍රායෝගිකව ක්‍රියාවට නැගෙන්නේත්  2010 ජනාධිපතිවරණය සඳහා එ.ජා.ප.යේ වුවමනාවෙන් හා මෙහෙයවීමෙන් යුතු ‍පොදු අපේක්ෂකයෙකු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ හංසයා ලකුණින් කරළියට ගෙන ඒමත් සමගය. 2015 දීද නැවතත් එම ජවනිකාව එලෙසින්ම දේශපාලන කරළිය තුළ දිග හැරුණේත් එ.ජා.ප.යේම දේශපාලන වුවමනාවටය. එහෙත් එ.ජා.ප.යට  එසේ වුවත් ශ්‍රීල.නි.ප.යට  නම් මේ සංකල්පය මෙතුවක් කිසිදා අවශ්‍ය නොවීය. ඒ සිය පක්ෂ අනන්‍යතාවයෙන් යුතු සැබෑ ශ්‍රීල.නි.ප. අපේක්ෂකයෙකු තරඟයට යොමු කොට රටේ සියලුම ප්‍රගතිශීලී බලවේග ඔහු වටා ඒකරාශී කර ගැනීමේ සූක්ෂම දේශපාලන කලාව  ඔවුන් සිය අඩසියවසකටත් වැඩි පක්ෂ ඉතිහාසය තුළ මැනවින් ප්‍රගුණ කොට තිබූ නිසාය. එහෙත් එ.ජා.ප.යට එය කළින්ම වුවමනා වූයේ දක්ෂණාංගික ප්‍රතිපත්ති වැළඳගෙන හුදකලා දේශපාලන ගමනක් ගිය ඔවුන්ට  අතිශය තීරණාත්මක මොහොතක මධ්‍යස්ත සමාජ හා දේශපාලන බලවේග තමන් වෙත නතු කර ගැනීමේ වෙනත් විකල්පයක් පෙනෙන්නට නොතිබූ හෙයිනි. එහෙත්, අකාලයේ අරුමය වන්නේ මතෛක් ‍පොදු අපේක්ෂකත්වය ගැන කිසිදා නොසිතා තම පක්ෂ අනන්‍යතාවය අභිමානවත් ලෙසින් දිගටම රැකගෙන සිටි ශ්‍රීල.නි.ප.යේම සමහර   පිරිස් ඒ මුල සහමුලින්ම අමතක කොට 2020 ට ‍පොදු අපේක්ෂකත්වයක් ගැන දැන් සිටම සිහින මවන්නට හා සිතන්නට පෙළඹී තිබෙන ජුගුප්සාජනක පසුබිම තුළය.

වත්මන් ආණ්ඩුව ඉකුත් ජනපතිවරණයේදී ‍පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපතිධුරය අහෝසි නොකළහොත් ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා තවත් වසර දෙකහමාරකට ආසන්න කාලයක් ඉතිරිව තිබේ. මේ කාලය වූ කලී කුලියට ගෙන එනු ලබන තාවකාලක ‍පොදු අපේක්ෂකයන් ගැන නොව තමන්ගේම ප්‍රතිපත්තිවලින් හා අනන්‍යතාවයෙන් හෙබි පක්ෂයේ තිරසාර ජනාධිපති අපේක්ෂකයෙකු ගැන සිතීමට පක්ෂවලට ලැබි තිබෙන ඕනෑවටත් වඩා වැඩි කාලයකි. එ.ජා.ප.යට මෙම කාලය තුළ තමන් සතු ආණ්ඩු බලයේ මහිමයෙන් රටට වැඩ පෙන්වා තම කාර්්‍යභාරය නොකඩවා ඉදිරියට ගෙන යා හැකි ශක්තිමත් ජනපති අපේක්ෂකයෙකු නිර්මාණය කරගත හැකිය. ඉදිරි මැතිවරණයකට තනිව ඉදිරිපත්වීමට ඒකාබද්ධ විපක්ෂය අදහස් කරන්නේ නම් ඔවුන්ටද වත්මන් ආණ්ඩුවේ පවතින අඩුපාඩු හා නොහැකියාව රටට හුවා දක්වා ඊට විකල්ප තමන්ගේම සැබෑ නායකත්වයක් රටට ඉදිරිපත් කිරිම මගින් ඔහු වෙත ජනතා ආකර්ශනය දිනා ගැනීමේ ප්‍රමාණවත් අවකාශය කාලයා විසින් මේ වනවිටත් පාදා දී තිබේ. එහෙත් ගැටලුවත්, අවාසනාවත් වන්නේ එවුන් දෙපිරිසම තවමත් ඒ ගැන සිතන,  උනන්දුවන හෝ ක්‍රියාකරන පසුබිමක් පෙනෙන්නට නොතිබිමය.  ඒ වෙනුවට මේ දෙපිරිසම තරගයට මෙන් ‍පොදු අපේක්ෂක මිරිඟුවක් පසුපස යළි හඹායාමට සූදානම්  බව රටට පෙන්වීමය. තමන්ගේම  වාසිය තකා කෙස් පැලෙන තර්ක, විතරක් මේ දෙපාර්ශවය  විසින්ම කොතෙකුත් ගෙනහැර පෑවත් සැබැ පාක්ෂිකත්වයේ අපේක්ෂකයෙකු තුළින්ම ඉදිරි ජනපතිවරණයත් ජයගැනීමේ අවස්ථාව හා හැකියාව මේ දෙපාර්ශ්වයටම තිබේ. එ.ජා.ප.ය 1982 දී හා 1988 දීත්, ශ්‍රීල.නි.ප.ය 1994 දී හා 2010 දීත් මේ වග ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා ඇත.

කුමන පක්ෂ කෙසේ සිතුවත් ජනතාව සිතන්නේ ඊට  වඩා වෙනස් ලෙසටය. රාජ්‍ය නායකයා තෝරන ජාතික මැතිවරණ පද්ධතියේ මුදුන් මල් කඩ වන් ජනාධිපතිවරණයකදී ඔවුන් ඡන්දය දෙන්නේ වඩාත් බුද්ධිමත් ලෙසය. පරිණත ලෙසය. විචාරශීලිවය. පසුගිය 2010 හා 2015 අවසන් ජනාධිපතිවරණ දෙකේදීම ඔවුන් ඒ බව කදිමට පසක් කර තිබේ. එබැවින්  ප්‍රධාන දේශපාලන පක්ෂද  සිතිය හැකිය යුත්තේ ඒ ආකාරයටමය. රටට වැඩදායක වන ලෙසය. ජනතාවගේ හිත සුව පිණිස වන ලෙසය. තමන්ගේ පක්ෂ අනාගතයද වඩා යහපත්වන හා  සුරැකෙන ලෙසය. මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම ඒවායේ නිර්මාතෘවරුන් විසින් එදා ගොඩනගනු ලැබුවේ කිසිවෙකුටත් මතවාදී වශයෙන් අත නොපා ස්වෝත්සාහයෙන්ම  නැගී සිට දේශපාලනික ජයග්‍රහණ අත්පත් කර ගන්නා රිසියෙනි. තමන් ජීවමානව සිටි අවධියේ කිසිදාක ඒවා වෙනත් පාර්ශ්වයන්ට පාවා දීමට හෝ උකස් තැබිමට ඔවුන් කටයුතු කළේ නැත. එම අබිමානය අදීනත්වය හා අනන්‍යතාවය මතුවටත් එපරිදීම රැකගැනීම ඒවායේ වත්මන් නායක, කාරකාදීන් වෙත පැවැරී තිබෙන පරම යුතුකමය. වගකීමය. එය නොපිරිහෙළා ඉටු කිරීම ඔවුන් විසින් සිතාමතාම හෝ වුවමනාවෙන්ම පැහැර හැරියහොත් එය තම පක්ෂවල ආදි කතුවරුන්ටද සිදුකරනු ලබන අවමානයක් හා නින්දාවක්වන බව අමුතුවෙන් කිව යුතු නැත.

නීතිඥ කපිල මුණසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3874

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3622

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6704

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4125

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2565

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3368

Please publish modules in offcanvas position.

Web Analytics