Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නීල හරිත ආර්ථිකයක් -  යනුවෙන් මෙවර අය වැය ඉදිරිපත් කර තිබේ. තිරසර සංවර්ධන ඉලක්ක දෙස බලාගෙන සහ රටේ ආර්ථික කටයුතු දියුණු කිරීම යන අදහස මේ තුළ අන්තර්ගතවේ. 
අයවැය යෝජනා දෙස බලන විට රජය මෙවර අයවැය මගින් ආර්ථික ලිහිල්කරණයක් වෙත යාමට උත්සාහ කර තිබේ. මෙය එක් අතකින් විදේශීය අංශය ඉලක්ක කර තිබේ. විදේශ අංශයේ යම් යම් බදු නොවන ආනයන සීමා ලිහිල් කර තිබේ. විදේශ ආයෝජනයට අදාළව වත්කම් මිලදී ගැනීමට අදාළව තිබූ සීමා ලිහිල් කර ඇත. දේශීය අංශයේ ශ්‍රම වෙළෙඳ‍පොළ, ප්‍රාග්ධන වෙළෙඳ‍පොළ හා ඉඩම් වෙළෙඳ‍පොළට අදාළව පවතින දුෂ්කරතා ඉවත් කිරීමට කටයුතු කර තිබේ. මේ තත්ත්වය තුළ රේගු පනත, කුඹුරු පනත, සේවා නියුක්තිකයන්ට අදාළව ඇති පනත් සංශෝධනයට යෝජනා කර තිබෙන්නේත් අධ්‍යාපනයට අදාළ පනත් සංශෝධනයට හෝ අලුත් පනත් ගෙන ඒමට යෝජනා කර තිබෙන්නේත් ආර්ථික ලිහිල්කරණයට අදාළවය. ඒ අතින් බලන කල මෙය විවෘත ආර්ථිකය තවදුරටත් අධිවේගී මාර්ගයකට යොමු කිරීමකි. 
මෙම අනපනත් හා ලිහිල්කරණයන් කිරීමේදී ඇතිවන සමාජීය බලපෑම කුමක්ද යන්න ගැනත් යම්කිසි ආකාරයට විමසා බැලිය යුතුය. එම නීති කලකට පෙර හඳුන්වා දී තිබුණත් කාලයක් සමග විවිධ සංශෝධනයන්ට ලක්ව තිබේ. දැනට තිබෙන නීති ලිහිල් කිරීමේදී ආර්ථිකමය වශයෙන් යම් යම් ධනාත්මක තත්ත්වයන් ඇතිවිය හැකිය. එහෙත් සමාජීය වශයෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් ගැන අවධානය යොමුවිය යුතුය.
ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය සඳහා විශාල යෝජනා සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබේ. තරුණ කොටස් ව්‍යවසායකයන් ලෙස යොමු කිරීමට, කාන්තාවන් ව්‍යවසායකත්වයට යොමු කිරීමට යෝජනා ඉදිරිපත් කර තිබේ. උසස් පෙළ සඳහා වරම් නැති අය ව්‍යවසායකත්වයට පුහුණු කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම හොඳ පියවරකි. ව්‍යවසායකයන් වැඩි වශයෙන් බිහි කිරීම රටේ ආර්ථික වර්ධනයට හේතුවන්නකි.
තිරසර සංවර්ධන ඉලක්කයන් ජයගැනීම සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා ඉදිරිපත්වන්නේ පරිසරයට අදාළවය. පරිසර සුරක්ෂිතභාවයට අදාළව ‍පොලිතින් භාවිතය තහනම් කිරීමේ සිට වෙරළ, ගංගා ද්‍රෝණි පවිත්‍රතාවයෙන් පත්වාගැනීමට යෝජනා කර තිබේ. 2030 වසර වන විට තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා ඉදිරිපත් කරඇති යෝජනා දෙස බලන විට ඒ පැත්තට යොමු කර ඇති අවධානය වඩා වැඩිදැයි විටෙක සිතේ. වාහන සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ලෙස බලන විට සියලුම වාහන විදුලි බලයෙන් ධාවනය වන වාහන බවට පත් කිරීමට යෝජනා කර තිබේ. එය හොඳ යෝජනාවකි. එහෙත් අපි සිටින අර්ධ සංවර්ධන තත්ත්වයන් තුළ ඇතැම් විට පිරිවැය සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකිය. ලංකාවේ විදුලි බිල ලෝකයේ ඉහළ විදුලි බිලකි. එවැනි තත්ත්වයක් මත විදුලි වාහනවලට ක්‍රමානුකූලව පරිවර්තනයවීමේදී විදුලි සැපයුම කරගත හැකිද යන්න ගැන අවධානය යොමු කළ යුතුය. එහෙත් පරිසරය සම්බන්ධයෙන් ලබාදී ඇති ප්‍රමුඛතාවය වැදගත්ය.
මේ අයවැය මගින් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම යහපත් තත්ත්වයකි. මෙවර අයවැය මගින් උසස් පෙළ ළමුන්ට ලබාදෙන ටැබ් පරිගණකය දිගටම ලබාදෙන්නේද යන්න ගැන සදහනක් කර නැත. එසේම ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමක් දකින්නටද නැත.
මීට අමතරව අයවැය ‍ලේඛනයේ යම් යම් සෘනාත්මක හෝ පසුගාමී කරුණු කිහිපයක් ද තිබේ. රජය ක්‍රමානුකූලව ඩිජිටල් ආර්ථිකය බද්දට යට කරමින් සිටී. අන්තර්ජාලය ඔස්සේ කරනු ලබන බදු සදහා පසුගියවර බදු පනවා තිබුණි. මෙරට ජංගම දුරකථන කුළුණුවලට අදාළව බදු පනවා තිබේ. මේ බද්ද දුරකථන සේවා සපයන සමාගම්වලින් අය කළද අවසාන වශයෙන් එම බද්ද ගෙවීමට සිදුවන්නේ දුරකථන භාවිතා කරන ජනතාවටය. කෙටි පණිවුඩ දැන්වීම් සඳහා බදු අය කිරීමටද යෝජනා කර තිබේ. ඒ ඩිජිටල් ආර්ථිකයට බදු පැනවීමේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමකි.
බැංකු ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද මෙවර අය වැයෙන් අවධානය යොමු කර තිබේ. බැංකුවලින් ලබාගන්නා ණය ගෙවීමේදී රුපියල් දහසකට ශත විස්සක් බැංකුවෙන් අය කරයි. එම මුදල ගනුදෙනුකරුවන්ගෙන් අය නොකර බැංකුව ගෙවිය යුතු බවට ඉල්ලීම් කර තිබේ. ඒ ආකාරයට පැවැසුවත් අවසාන වශයෙන් බැංකුව එය තල්ලු කරන්නේ ගනුදෙනුකරුවාටය. ‍පොලී අනුපාත හෝ වෙනත් ගාස්තු හරහා එය අය කරන්නේ ගනුදෙනුකරුවාගෙනි. ආදායම් බද්දට පුද්ගලයන් යටත් කරගැනීම පහසු නොවන්නේ බොහෝ ගනුදෙනු බැංකු හරහා සිදු නොවීම නිසාය. බැංකුවට පිටින් ගනුදෙනු සිදුවන විට අලුත් යෝජනාවලට අදාළව පවා පුද්ගලයන් ලබන ආදායම කුමක්ද යන්න හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකියාව ලැබෙන්නේ නැත. මෙවැනි බදු පැනවීම හරහා පුද්ගලයන් බැංකුවලට පිටින් ගනුදෙනු කිරීමට වැඩි උත්සාහයක් ගනු ඇත. සියලුම ගනුදෙනු බැංකු හරහා සිදුවන ආකාරයට කටයුතු කිරීමට අවශ්‍ය නම් මෙවැනි යෝජනා ඒ සඳහා සුදුසු නොවේ. රජය මෙවැනි අයවැය යෝජනාවක් ඉදිරිපත් කරන්නට ඇත්තේ බැංකු අධිප්‍රාමාණික ලාබ ලබන නිසා විය යුතුය. 
එකිනෙකට නොගැළපෙන යෝජනා අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර තිබේ. එක් පැත්තකින් තරුණ ව්‍යවසායකයන් දිරිමත් කරන අතරවාරයේදී ටුක් ටුක් ක්‍රමය යටතේ ත්‍රිරෝද රථ රියැදුරන් සංචාරක මගපෙන්වන්නන් ලෙස දිරිමත් කරයි. තරුණයෙක් ව්‍යවසායකයෙක් ලෙස කටයුතු කරනවාද නැතිනම් ත්‍රිරෝද රථයක් මිලදීගෙන ත්‍රිරෝද රථ රියැදුරෙක් ලෙස කටයුතු කරනවාද කියා සිතීමට හැකිය. සියලුදෙනාටම සලකන්නට ගොස් කිසිවෙක්ටවත් සැලකිය නොහැකි තත්ත්වයක් ඇතිවීමේ යෝජනා මේ තුළ අන්තර්ගත වේ. 
‍පොදු ප්‍රවාහන සේවාව දියුණු කිරීම සම්බන්ධයෙන් මෙවර අයවැය යෝජනා කර නැත. ‍පොදු ප්‍රවාහන සේවය දියුණු නොවීම නිසා විශාල මිනිස් පැය සංඛ්‍යාවක් දිනකට අහිමිවේ. ‍පොදු ප්‍රවාහනය ගැන අවධානය යොමු නොකිරීම ප්‍රශ්නගත තත්ත්වයකි. ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමට නම් දියුණු ‍පොදු ප්‍රවාහනයක් තිබිය යුතුය. එහෙත් ඒ ගැන කිසිදු සැලකිල්ලක් දක්වා නැති ස්වභාවයක් පෙන්නුම් කරයි. 
මේ අයවැය ‍ලේඛනයද ඉදිරියේදී ගෙන ඒමට නියමිත අයවැය ‍ලේඛනය සමග සමපාතවන ස්වභාවයක්ද තිබේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පළවාහරින ලද මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර ඇති යෝජනා, යාපනයේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කර ඇති යෝජනා දෙස බැලූ විට එක්තරා ආකාරයකට ජාතික සංහිඳියාව කෙරෙහි ඇති උත්සාහයද පෙනෙන්නට තිබේ. 
කෙසේ වෙතත් මෙවර අයවැය තුළ හොඳ ලක්ෂණ තිබේ. ආර්ථිකය වර්ධනය කරගැනීම සදහා අවශ්‍ය යෝජනා මේ තුළ අන්තර්ගතවේ. නමුත් මේ යෝජනා සියල්ලම ඇතුළත් වන්නේ රජය විසින් පිළිගනු ලබන විවෘත ආර්ථිකය තුළය. විවෘත ආර්ථිකය තුළ කරනු ලබන යෝජනා තුළින් ආර්ථිකය වර්ධනය වනු ඇතැයි යන මූලික උපකල්පනය මත අදාළ යෝජනා ඉදිරිපත් කරඇත. මේ උපකල්පනය මත කටයුතු කරන විට සමාජීය බලපෑම කුමන ආකාරයක් ගනීද යන්න ගැන අවධානය යොමු කළ යුතුය. ඇතැම් නීති රීති වෙනස් කරන විට හා තීරු බදු නොවන සම්බාධක ඉවත් කරන විට දේශීය කර්මාන්තකරුවාට එල්ලවන බලපෑම ගැනත් අවධානය යොමු කළ යුතුවේ.
මෑත කාලීනව ඉදිරිපත් කළ අයවැය ‍ලේඛන මගින් සියලු දෙනාම ආවරණය කරමින්, ඉදිරිපත් කළ හැකි හොදම යෝජනා ඉදිරිපත් කිරීමේ ස්වභාවයන් දක්නට ලැබුණේය. නමුත් අයවැය ‍ලේඛනය ක්‍රියාත්මක කරන විට ක්‍රියාත්මක කර ඇත්තේ ඉතාම  සීමිත යෝජනාය. පසුගිය අයවැය මගින් සුළු හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන්ට ‍පොලී රහිත ණයක් ලබාදීමට යෝජනා කළේය. එහෙත් කාටවත් එවැනි ණයක් ලැබුණේ නැත. ඇතැම් අයවැය යෝජනා ක්‍රියාත්මක වූයේ නැත. එවැනි තත්ත්වයක් මෙවර අයවැයට අත් කර නොදීමට වග බලාගත යුතුය. එසේ නැතිනම් කෙතරම් හොඳ යෝජනා ඉදිරිපත් කළත් එයින් ඇතිවන ප්‍රයෝජනයක් නැත. ඒ ගැන අපගේ කල්පනාව යොමු කළ යුතුය.
තවදුරටත් රජය වක්‍ර බදු මත රැදෙන ස්වභාවයක් අය වැය ‍ලේඛනය මගින් පෙන්නුම් කරයි. අප්‍රේල් මස පළමු වැනිදා සිට නව බදු පනත ක්‍රියාත්මක වේ. එමගින් සෘජු බදු හරහා ආදායම් ලබාගැනීමට රජය බලා‍පොරොත්තුවේ. සෘජු බදු පහසුවෙන් රැස් කරගැනීමට නොහැකිය. ඒවා රැස් කරගැනීමට දැඩි වෙහෙසක් දැරිය යුතුය. ඒ තත්ත්වය තුළ ආදායම් හා වියදම් පරතරය අතර වෙනසක් සිදුවුවහොත් වක්‍ර බදු හරහා බදු ලබාගැනීමට කටයුතු කිරීමට සිදුවනු ඇත. ඒ නිසා සෘජු බදු අය කිරීම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය. එසේ නොවුණහොත් අයවැය පරතරය වැඩි විය හැකිය. තවදුරටත් ණය ලබාගැනීමට සිදුවනු ඇත.
බැංකුවලින් ණය අය කරගැනීමේදී බද්දක් පනවා තිබෙන්නේ මැදමූලන බද්ද යැයි කියමිනි. වසර තුනක් සදහා මේ බද්ද පනවන්නේ ණය ගෙවීමට යැයි මුදල් ඇමැතිවරයා පවසයි. මීට පෙර වැට් බද්ද වැඩි කළේද ණය ගෙවීමට යැයි කියමිනි. නමුත් මේ රජයත් ඒ ආකාරයෙන්ම ණය ගනී. ඇතැම් විට ඊට වඩා වැඩි බද්දක් අය කරයි. පවතින රජයත් ඵලදායී නොවන ව්‍යාපෘති කිරීම තුළ තවදුරටත්  ණය බර ඉහළ යයි. එවිට මීළඟට බලයට පත්වන ආණ්ඩුවත් මංගල බද්ද, රනිල් බද්ද යැයි කියමින් බදු පනවනු ඇත. මේ නිසා ණය ලබාගැනීම් සීමා කළ යුතුය. කෙටි කාලීන වානිජ ණය ලබාගැනීම් සීමා කළ යුතුය. ණය බර අඩු කරගැනීමේ සැබෑ වුවමනාවක් ඇතිනම් කළ යුත්තේ මෙයයි.
 
කොළඹ විද්‍යා විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යයනාංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත දුනුසිංහ
 
සාකච්ඡාව : සංජය නල්ලපෙරුම

සූරාකන හා සූරාකනු ලබන වශයෙන් සමාජය පන්තිවලට බෙදුණේ කි‍්‍ර.පූ. 3-4 සහශ‍්‍රකවලදී පොදු අයිතිය පැවැති ආදී සාමූහික ක‍්‍රමය අවසන් වූ ඊජිප්තුවෙන් යැයි පිළිගැනේ.
එහි හරය සහ සංයුතිය වන්නේ පන්ති රහිත සමාජයක සිට ප‍්‍රතිවිරුද්ධ පන්ති සහිත සමාජයක් කරා පරිවර්තනය වීමයි. එහි ප‍්‍රතිඵලය ලෙස සමාජ ආර්ථික පදනම වූ නිෂ්පාදන මාර්ගයන්ගේ පෞද්ගලික අයිතිය ඇති විය. 
පෞද්ගලික දේපළ මත ගොඩ නැගුණු සමාජය ධනවාදී සංවර්ධන අවධියට එළඹුුණු විට, එහි අවශ්‍යතාවයන් හා හැකියාවන් අවසානය කරා පැමිණ තිබෙන බව පෙන්නුම් කෙරේ. 19 සියවස අගභාගය සහ 20 සියවස ආරම්භයේ සිදු වූ ධනවාදයේ සංවර්ධනය ලෙනින් සහෝදරයා විග‍්‍රහ කළ පරිදි ඒකාධිකාරී ධනවාදය වෙත පරිනාමය වීමකි. රාජ්‍ය ඒකාධිකාරී නැඹුරුවීම් වර්ධනය වීම මගින්ද පැහැදිලි ලෙස පෙන්නුම් කළේ පෞද්ගලික දේපළ ක‍්‍රමයේ හැකියාවන් ක්‍ෂය වෙමින් ඇති බව සහ එහි ආයු කාලය අවසන් වෙමින් ඇති බවත්ය. එය මියයමින් පවතින ධනවාදය ලෙස ලෙනින් හැඳින් විය. 
ඉතිහාසය පෞද්ගලික දේපළ මත පදනම් වූ ධනවාදය සම්බන්ධව ද සිය තීන්දුව ලබාදී තිබේ. එයින් අදහස් වන්නේ නිදහස්ව මානව ස්වභාවයෙන් යුතුව ජීවත්වීම සඳහා සියලූ ජනතාව සඳහා සූදානම් කෙරෙන, නිර්මාණය කෙරෙන පන්ති රහිත කොමියුනිස්ට් සමාජයකට පරිවර්තනය වීමේ නව අවධියකට පත්ව ඇතිය යන්නයි. 
මිනිසා ඉතිහාසයේ මෙම තීරණාත්මක දෙවන පියවර තැබුවේ 1919 නොවැම්බර් 7 වෙනි දිනය. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවය එම දෙවන පියවරයි.
බෝල්ෂෙවික්වරු හැමවිටම අත්‍යවශ්‍ය දෙයක් ලෙස සඳහන් කළ  ගොවි-කම්කරු විප්ලවය සාර්ථක කරගෙන තිබේ. මෙතැන් සිට රුසියානු ඉතිහාසයේ නව අවධියක් ආරම්භ වෙයි. විප්ලවය අවසානයේදී සමාජවාදය ජයග‍්‍රහණය කර ගැනීමට මග පෙන්වනු ඇතැයි වී.අයි. ලෙනින් සඳහන් කළේය.
අතීතයේ බොහෝ විප්ලව සිදුවිය. ඉදිරියටද සිදුවනු ඇත. කම්කරු පන්තිය සහ එහි මිතුරන් විසින්ද නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ ප‍්‍රගතිය සඳහා සටන් කරන්නවුන් විසින්ද බොහෝ උදාර ජයග‍්‍රහණ ලබා ගෙන ඇත. මතුවට ද ජයග‍්‍රහණ ලබාගනු ඇත. එම හැම ජයග‍්‍රහණයක්ම ලැබූ දිනයන් සිහි කටයුතු දිනයන් ලෙස ඉතිහාසයෙහි ලියැවී තිබේ. ලියවෙනු ඇත. මෙම සියලූ විප්ලව අතුරෙන් ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය අති විශේෂ තැනක් උසුලයි ඒ කොමියුනිස්ට් සමාජයක් සඳහා මාවත විවෘත කළ ප‍්‍රථම විප්ලවය එය බැවිණි. ඔක්තෝබර් විප්ලවය හා සමාන වෙනත් විප්ලවයක් ඇතිවිය නොහැක.
ඔක්තෝබර් විප්ලවය සිදුවූයේ ධනවාදය මධ්‍යම ප‍්‍රමාණයකින් දියුණු වූ ජාතීන්ගේ සිරගෙයකැයි සඳහන් කළ පසුගාමී රටකය. එහෙත් එහි දැඩි ලෙස ඒකාධිකාරී ග‍්‍රහණයට හසු වූ කර්මාන්තයක් තිබුණි. අධිරාජ්‍ය යුද්ධයට පැටලීම නිසාත්, අකාර්යක්ෂම ආණ්ඩු පාලනය නිසාත්, මුළු රටම මහත් විනාශකාරී තත්ත්වයකට වැටී තිබුණි. නව ජීවිතයක් ගොඩ නැගීම ප‍්‍රධානතම කාර්යය බවට පත්ව තිබුණි. එහෙත්, නව ජීවිතයක් ගොඩනැගීම සඳහා කිසියම් ම ආකෘතියක් ඒ වන විට නොතිබිණි. කම්කරු පන්තියේ ප‍්‍රථම විප්ලවීය ආණ්ඩුව 1871 මාර්තු මස පැරිස් කම්කරුවන් විසින් පහිටුවන ලද පැරිස් කොමියුනයයි. එය පැවැතියේ දින 72ක් පමණකි.
පෙබරවාරි විප්ලවය සහ එහි ජයග‍්‍රහණ ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහණයට මහත් සේ උපකාරී විය. එය සෝවියට් සභා වෙත නැවතත් බලය ඒකරාශී කළේය.
ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සමාජවාදී විප්ලවය දක්වා ක‍්‍රමානුකූලව වර්ධනය වන බව පැහැදිලි කළ ලෙනින් පෙබරවාරි විප්ලවයේ ඓතිහාසික තත්ත්වය මධ්‍යයේ සුප‍්‍රසිද්ධ අපේ‍්‍රල් නිබන්ධන ලීවේය.
මේ වන විට, සමාජවාදී විප්ලවය පිළිබඳ ලෙනින්ගේ වැඩ පිළිවෙළ සතුරන් මෙන්ම, බොහෝ මිතුරෝද, කම්කරු නායකයෝද පවතින නීතිවලට හා න්‍යායික නිගමනවලට පටහැනි මනෝමූල එකකැයි අදහස් කළහ. සමාජවාදී විප්ලවයක් සඳහා අවශ්‍ය ද්‍රව්‍යමය පූර්ව සාධක රුසියාවේ ධනපති ක‍්‍රමය විසින් ඉස්මතු කොට නැතැයි සිතූහ.
දිග්ගැසුණු අධිරාජ්‍ය යුද්ධය නිසාත්, සිවිල් යුද්ධය සහ පිටස්තර ඇඟිලි ගැසීම් නිසාත්, ජනතාව නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ පෑවේය. උද්ගත වී ඇති තත්ත්වය අනුව විප්ලවයේ ජයග‍්‍රහණය ආරක්ෂා කිරීමට ලෙනින් මග පෙන්වීය. සිවිල් යුද්ධයේදී සෑම සෝවියට් පවුලකටම තීරණාත්මක ප‍්‍රශ්නවලට මුහුණ දීමට සිදු විය. සාමාන්‍ය ජීවන රටාව අවුල් වියවුල්වලින් ගහන එකක් විය. එහෙත්, සෝවියට් ජනතාව විප්ලවය රැුකගත්තේය. විප්ලවය කෝටි සංඛ්‍යාත ජනතාවගේ අවදි වීමක් මෙන්ම නැගිටීමක්ද විය. විප්ලවයේ තේමාවන්ගෙන් මූර්තිමත් වූයේ කම්කරුවන්ගේ මූලික වුවමනාවන් මෙන්ම ගොවි ජනතාවගේ දිගු කාලීන බලාපොරොත්තු සහ සොල්දාදුවන්ගේ සහ නාවිකයන්ගේ සාමය පිළිබඳ පිපාසාවන්ගෙන් සමන්විත වූ නිදහස හා සමාජ ප‍්‍රගතිය සඳහා වූ අසීමිත ආශාවන්ය.
විප්ලවයත් සමග නිකුත් කළ සාමය සහ ඉඩම් සම්බන්ධව ආඥා මගින් ඒ යුගයේ අවශ්‍යතාවන් සපුරා ලීමට පක්ෂය කි‍්‍රයා කළේය.
මෙම වුවමනාවන්වල හරය සහ බලාපොරොත්තු ඒකරාශී කිරීමටත්, හැම විප්ලවයකම මූලික ප‍්‍රශ්නය වන බලය පිළිබඳ ප‍්‍රශ්නය විසඳීම සඳහාත්, සියලූම සාධක එක්තැන් කිරීමට ලෙනින් සහෝදරයාගේ නායකත්වයෙන් යුත්, බොල්ෂෙවික් පක්ෂයට හැකි විය. සමාජවාදී විප්ලවය අහඹුවක් නොවේ. ආර්ථික කොන්දේසි මෝරා නැත්නම් කැරැුල්ලකට සමාජවාදය ඇති කළ නොහැක. මාක්ස් ලෙනින්වාදය සාදා නිමකළ වට්ටෝරුවක් හෝ සාදා නිම කළ විසඳුම් පිළිවෙත් ඇතැයි නොපිළිගනියි.
මානව වර්ගයාගේ අසීමිත සංවර්ධනය සඳහා ඔක්තෝබර් විප්ලවය සහ එහි ප‍්‍රතිඵල මගින් නව ඉඩකඩ නිර්මාණය කළේය. එය සමාජ ප‍්‍රගතියේ ප‍්‍රධානතම බාධාව වන ධනවාදය සහ අධිරාජ්‍යවාදය දුර්වල කළේය. සියලූ ජනතාවන්ට සමාජවාදයට නැගීම සඳහා මග පෙන්නුවේය. ජාතික හා සමාජ ප‍්‍රගතිය සඳහා වැඩකරන ජනතාවට ආධාර ලබාදුන්නේය. ඔක්තෝබරය ධනවාදී සමාජ ක‍්‍රමයේ බිඳවැටීමේ ආරම්භය විය. එය මිනිස් වර්ගයාගේ නියම ඉතිහාසයේත්, සමාජ ප‍්‍රගතියේත්, නව අවධියේත් ආරම්භයයි. මිනිස් ඉතිහාසයේ දීප්තිමත් උදාව සනිටුහන් කළ විප්ලවය ඔක්තෝබර් විප්ලවයයි. එය මිනිස් වර්ගයාගේ ඉතිහාසය එනම් ධනපති ක‍්‍රමයේ සිට ලෝක සමාජවාදී ක‍්‍රමයක් කරා පරිවර්තනය වීමේ යුගය නිර්මාණය කළේය. 
ඔක්තෝබරය සමාජ ප‍්‍රගතියේ අදහස්වල ස්වාභාවික ප‍්‍රතිඵලය විය. වැඩකරන ජනතාව ශතවර්ෂ ගණනාවක් තිස්සේ සියලූ ජාතික හා අධ්‍යාත්මික සූරාකෑම්වලට විරුද්ධව නිදහස සාමය සහ සමාජ ස්ථාවරත්වයේ ඉහළ අදියරක් වන සමාජවාදය කරා ගමන් කිරීම ආරම්භ කළේය.
දේශපාලන ආර්ථික සමාජ ක්ෂේත‍්‍ර තුළ හැම අංශයක්ම ශක්තිමත් කළ සිතිවිලි සම්ප‍්‍රදායන් සහ චින්තනයට අඛණ්ඩ බලපෑමක් ගෙන ආ එම මාවතේ ශ්‍රේෂ්ඨ ජයග‍්‍රහණ මෙන්ම ඛේදනීය පසුබෑම්ද සිදු විය. ඔක්තෝබරය ජාතික සහ සමාජ විමුක්තිය වෙනුවෙන් සටන් කරන ජනතාවට සෑහෙන තරම් ආධාර ලබාදුන් අතර ළාබාල රටවල් බොහොමයක් අද ධනවාදී සංවර්ධන රටාව ප‍්‍රතික්ෂේප කරයි. සිය දේශපාලන සහ ආර්ථික නිදහස ශක්තිමත් කරගැනීම සඳහා අධිරාජ්‍යවාදයට විරුද්ධව සටන් කරයි. 
වැඩකරන ජනතාව ශතවර්ෂ ගණනාවක් තිස්සේ සියලූ ජාතික හා  අධ්‍යාත්මික  සූරාකෑම්වලට විරුද්ධව නිදහස සාමය සහ සමාජ සාධාරණත්වයේ ඉහළ අදියරයක් විය. පසුගිය සියවස තුළ වැඩකරන ජනතාව තම අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමේ ළා මෙම මාවතේ ගමන් කොට ජයග‍්‍රහණ සහ ප‍්‍රගතිය ඇතිකර ගෙන තිබේ.
සිවිල් යුද්ධ කාලයේ එහි ප‍්‍රතිඵල ලෙස අවුල් සහගත තත්ත්වයකට පත්ව තිබූ තත්ත්වයේ දී නිෂ්පාදනය සංවිධානය කර ගැනීම සහ පාරිභෝගික කටයුතු පාලනය කරගැනීමට විශේෂ කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවිය. මෙය හැඳින්වූයේ යුද්ධ කොමියුනිස්ට් නමිනි. සමාජවාදයේ ද්‍රව්‍යමය පදනම ගොඩ නැගීම සඳහා නව ආර්ථික ප‍්‍රතිපත්තියේ කි‍්‍රයාමාර්ගය දියත් කරනු ලැබුණි.
ලෙනින්ගේ මග පෙන්වීම යටතේ පටන්ගත් සමාජවාදී සංවර්ධනයට විවිධ මූලික ලක්ෂණ එක් විය. ලෝක ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ආර්ථික සැලසුම් ක‍්‍රම සම්පාදනය කොට ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කරන ලදී. රුසියාව විදුලිමය කිරීමට සකස් කළ සැලැස්ම නව සෙයා ගැනීමකි. ලෝකයම මවිතයට පත් කළ එය මුළු රටේම නිෂ්පාදන බලවේග සමබරව 
ගොඩනැගීමට ඇතිකරගත් විධිමත් සැලසුමකි. කෘෂිකර්මය, කර්මාන්ත සහ ගමනාගමනය අතර ඵලදායක සම්බන්ධීකරණයක් ඇති කර ගැනුණි. 
විප්ලවය නිසා ජනතා සේවය සඳහා කැප වූ සාහිත්‍යධරයන්ගෙන් කලාරුවන්ගේ පෝෂණය වූ කැප වූ සංස්කෘතියක් පැන නැගුණි. බුද්ධිමය බවින් ප‍්‍රවීණ නිදහස සහ සමාජවාදී සංවර්ධනය පිළිබඳ සංකල්ප ගැන අදහස් මාලාවක් මතු වුණි.
නව ලෝකයක් ගොඩනැගීමට මාර්ගය පෙන් වූ එක් අවස්ථාවක සිට තවත් අවස්ථාවකට ගමන් කරන හැටි පක්ෂයට ඉගැන්වූ ලෙනින්ගේ අකල් මරණය පක්ෂයටත්, සෝවියට් ජනතාවටත්, ජගත් ව්‍යාපාරයටත්, වැදුණුු තදබල පහරක් විය. එය ඓතිහාසිකව ඉතා වැදගත් කාර්යන් 
රැුසක් සිදු කිරීමට සිදු වූ කාලයක සිදු වූ එය ප‍්‍රකාශයට පත් කළ නොහැකි පාඩුවක් විය.
අප ජීවත් වන ලෝකයේ සමාජයීය සැකැස්ම හඳුනා ගැනීමට බැරි තරම්  සකස් වී තිබේ. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ බලපෑම යටතේ සමාජවාදය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතික විමුක්තිය සහ සාමය සඳහා සටන් කරන බලවේග යුද නිර්මාණ ජයග‍්‍රහණ අත්කර ගෙන ඇත. 
මානව ප‍්‍රජාවගේ අසීමිත සංවර්ධනය සඳහා ඔක්තෝබර් විප්ලවයට සහ එහි ප‍්‍රතිඵල මගින් ඉඩකඩ නිර්මාණය කර තිබේ. එය සමාජ සංවර්ධනයේ ප‍්‍රධානත ම බාධාව වන ධනවාදය සහ අධිරාජ්‍යවාදය දුර්වල කළේය. මෙම මාවතෙහි ගමන් නොකොට ඉදිරියට යා නොහැකි බව 21 වන සියවසේ දී වඩාත් පැහැදිලි වෙමින් තිබේ.
සමාජවාදී සමාජයක් ගොඩනැගීමේ දී ජනතාව දිනාගත් සියලූ දේ පැහැදිලි කිරීම අසීරු වූවත්, ධනවාදී පෞද්ගලික දේපළ අහෝසි කොට මූලික නිෂ්පාදන මාර්ගයන්ගේ සමාජවාදී පොදු අයිතිය ඇති කිරීම මගින් සහ සූරාකෑම පිළිබඳ සමාජීය සහ ආර්ථික මූලික හේතු එනම් සූරාකෑමේ ක‍්‍රමය අහෝසි කර දැමීමෙන් යුගයේ අවශ්‍යතාවය සපුරාලීමට නිර්ධන පන්ති ආඥාදායකත්වය ඉදිරිපත් වූයේය. ඒ තුළින් කම්කරු පන්තියේ සහ බහු ජනතාවගේ ප‍්‍රධාන වුවමනා නියෝජනය විය. බහුජනතාව යන වචනයෙන් තේරුම් ගත හැක්කේ කුමක්ද යන්න ගැන සඳහන් කළ ලෙනින් සහෝදරයා පෙන්වා දුන්නේ බහුජනතාව පිළිබඳ සංකල්පය අරගලයේ ස්වභාවය වෙනස් වන ආකාරය අනුව වෙනස් වන්නක් ලෙස තේරුම් ගත යුතු බවයි.
පන්ති දෘෂ්ටිකෝණයෙන් බලන කළ අන් හැම කාලයකම මෙන්ම විප්ලව කාලයේදී ද මෝඩකම් කෙරෙන බව එංගල්ස් කියයි. ඔහු කීවේ ඇත්තක් යැයි සඳහන් කරන ලෙනින් මෝඩකම් හැකිතාක් අඩුවෙන් කිරීමටද හැකිතාක් ඒවා නිවැරදි කිරීමටද අප උත්සාහ කළ යුතු යැයි කීවේය. ඔහු කීවේ අති වම්මුන් කෙසේ කීවත් බ්‍රෙස්ට් සාමය උදාකර දීමේ දී අනුගමනය කළ උපක‍්‍රම නිවැරදි බවයි.  
ඔක්තෝබර් විප්ලවය සිදුනොවන්නට ලෝකය අද පවතින ආකාරයට වඩා වෙනස් වන්නට තිබුණි. 
 
අගා ජයසේන

ප්‍ර - රාජ්‍ය ඖෂධ නීතිගත නිෂ්පාදන සංස්ථාවේ වත්මන් ප්‍රගතිය ගැන විග්‍රහයක් කළොත්?

පි - වසර 2015 දී තමයි අපි සංස්ථාව පවරා ගත්තේ. වසර 2014 දී මිලියන 250ක ආදායමක් ලබමින් සිටියා. වසර 2015 දී එම ආදායම මිලියන 416කුත් 2016 දී එම ආදායම මිලියන 465කුත් ලෙස දෙගුණයක් කිරීමට හැකි වුණා. නිෂ්පාදන ධාරිතාවය දෙගුණයක් කිරීම සඳහා අපි මේ වනවිටත් විශාල වැඩ කොටසක් කරගෙන යමින් සිටිනවා. ජර්මනියෙන්, කොරියාවෙන් හා ජපානයෙන් හොඳම යන්ත්‍ර මිලදී ගෙන තිබෙනවා. අපි ඖෂධ නිෂ්පාදනයෙන් ලබන ලාභය පෞද්ගලික අංශයේ ඖෂධ නිෂ්පාදනයෙන් ලබන ලාභයට වඩා ඉතාමත්ම අඩුයි. එය සියයට 12 - 13 ක් දක්වා වූ අඩු ප්‍රතිශතයක්. අපේ ලොකුම ගැණුම්කරුවා තමයි රජයේ වෛද්‍ය සැපයුම් අංශය. 2014 දී සියයට 68ක් ඇනවුම්වලින් ලබා දීමට හැකි වුණා.  වසර 2015 දී එය  සියයට 98කුත් 2016 දී සියයට 100ත් අපි ඇනවුම්වලට ඖෂධ නිකුත් කරලා තිබෙනවා. වෛද්‍යවරුන් අතර  අපේ ඖෂධ සම්බන්ධයෙන් හොඳ විශ්වාසයක් ගොඩ නැගී තිබෙනවා.  ඒකට හේතුව තමයි අපේ ඖෂධවල ගුණාත්මකභාවය හුඟාක් ඉහළයි. අපි ඖෂධයක් නිෂ්පාදනය කිරීමට පෙර අමු ද්‍රව්‍යයේ සිට ඖෂධය නිෂ්පාදනය කරනතාක් කල් හතර වරක් පමණ එහි ගුණාත්මක භාවය තහවුරු කර ගන්නවා. අපි නිෂ්පාදනය කරන ඖෂධවලින් හතරෙන් තුනක් රජයේ  රෝහල්වලට හතරෙන් එක්ක පෞද්ගලික අංශයටත් දෙන්න බලා‍පොරොත්තු වෙනවා.

ප්‍ර - සංස්ථාවේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධවලින් හතරෙන් තුනක් රජයේ රෝහල් වෙත ලබා දීමෙන් රෝල්වල අවශ්‍යතාව සපුරා ලිය හැකිවේවිද?

පි - මේ වනවිට රට තුළ ඖෂධ නිෂ්පාදනය කිරීමට රාජ්‍ය අංශයේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හැරුණු කොට පෞද්ගලික අංශයේ ආයතනය 11ක් ඖෂධ නිෂ්පාදනයට දායක වී සිටිනවා. අපි දෙපාර්ශ්වයම ඖෂධ නිෂ්පාදනය කළත් අපිට සපුරාලිය හැක්කේ රෝහල්වලට අවශ්‍ය ඖෂධවලින් සියයට 15ක ප්‍රතිශතයක් පමණයි.

ප්‍ර - පෞද්ගලික අංශයත් සමග තරග කිරීමට රාජ්‍ය ඖෂධ නීතිගත නිෂ්පාදන සංස්ථාවට හැකිවේවිද?

පි - මෙතන අපේ කිසිදු තරගයක් නැහැ. අපට අවශ්‍ය වන්නේ රටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය
කිරීම පමණයි. අපි සියලු දෙනාම සහයෝගයෙන් ඒ සඳහා දායකත්වය ලබා දෙනවා. ඇතැම් අවස්ථාවලදී අපේ සංස්ථාවට ඖෂධයක් නිෂ්පාදනය කිරීම ප්‍රමාද වුවහොත් එය පෞද්ගලික අංශයේ නිෂ්පාදන ආයතනයකට කියලා නිෂ්පාදනය කරලා රෝහල්වලට බෙදා හරිනවා. අපි දෙපාර්ශ්වයම මාස තුනකට වරක් රැස්වෙලා කළයුතු වැඩ කොටස පිළිබඳව සාකච්ඡා කරනවා. එහිදී අපේ අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කර ගැනීමට කටයුතු කරනවා.

ප්‍ර - පෞද්ගලික ඖෂධ නිෂ්පාදන ආයතනයන් හා රජයේ නිෂ්පාදන ආයතනයට එකතු වී මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමට යාමේදී විදේශීය ඖෂධ සමාගම්වලින් ඇතිවිය හැකි බලපෑම්වලට  ඔබ මුහුණ දෙන්නේ කෙසේද?

පි - ඇත්තටම විදේශීය ඖෂධ සමාගම්වලින් බලපෑම එල්ල වන්නේ අපිට වඩා විෂය භාර ඇමැතිවරයාටයි. හැබැයි මොන බලපෑම් ආවත් ඒ සෑම අභියෝගයකටම ඇමැතිවරයා නොබියව මුහුණ දෙනවා. අපිත් එහෙමමයි. මොන බලපෑම් ආවත් රටට අවශ්‍ය ඖෂධ අපි රට තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළ අදට වඩා හෙට දිනයේදී වඩාත් ශක්තිමත්ව කරනවා.

ප්‍ර - මේ වනවිට ඔබ ආයතනයේ ඖෂධ වර්ග 54ක් නිෂ්පාදනය කරනවා. මේ හැරුණු විට අලුත් ඖෂධ නිෂ්පාදනය කිරීමේ බලා‍පොරොත්තුවක් නැතිද?

පි - අපි මේ වනවිට අලුත් ඖෂධ වට්ටෝරු 19ක් නිෂ්පාදනය කිරීම සඳහා සකසා තිබෙනවා. ඒවා අලුත්ම නිෂ්පාදනයන්. අලුත් ඖෂධ වට්ටෝරුවක් නිෂ්පාදනය කිරීම සඳහා වසරක් හෝ වසර එකහාමාරක කාලයක් ගත වෙනවා. ඒ නිසා ඉදිරියේදී නවතම ඖෂධ 19ක් අපි රෝහල්වලට නිකුත් කරනවා.

ප්‍ර - විදේශීය රටවලින් ඖෂධ මිලදී ගැනීමේදී විශාල වශයෙන් ඒ හරහා කොමිස් ගැසීම් සිදුවන බව රහසක් නොවේ. එහෙත් රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමේදී කොමිස් ගැසීම් නතර වීමක් හෝ සීමා වීමක් සිදුවේවි. මේ නිසා කොමිස් පිටුපස ගිය නිලධාරීන්ගෙන් ඔබට යම් බලපෑමක් එල්ල වේවි නේද?

පි - රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළට මට හුඟාක් දෙනෙකුගෙන් මේ වනවිට සහයෝගය ලැබි තිබෙනවා. අපි තාමත් මුල් අදියරේ සිටින නිසා බලපෑමක් කාගෙන්වත් එල්ල වෙලා නැහැ. කොහොම නමුත් සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ‍ලේකම්වරයාගෙන් මේ වැඩපිළිවෙළට මට හොඳ සහයෝගයක් ලැබෙනවා. ඒත් යම් හේතුවකින් බලපෑමක් එල්ල වුණොත් එයට මුහුණ දීමට හොඳින් සූදානමින් සිටිනවා.

ප්‍ර - රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට හැකි වුවහොත් ඖෂධ මිල සැලකිය යුතු ලෙස අඩු කළ හැකි නේද?

පි - අනිවාර්යයෙන්ම ඖෂධ මිල සැලකිය යුතු අන්දමට අඩු කරන්න පුළුවන්. අපි ඒ වාසිය රටේ ජනතාවට ලබා දෙනවා. වැඩිපුර වියදම් කරන ඖෂධ වර්ග.

ප්‍ර - රජය ඖෂධ මිල අඩු කිරීමත් සමග විදේශීය ඖෂධ  සමාගම්වලින් විශාල බලපෑමක් ආවා නේද?

පි - ඔව්. ඇතැම් අවස්ථාවන්වලදී එවැනි ඖෂධ මෙරටට එවීම නතර කරන බවට තර්ජනය කළා. ඒ ඖෂධයට රෝගීන් සෑහෙන කාලයක සිට පුරුදු වෙලා තිබුණ නිසා අපිට විශාල ප්‍රශ්නයක් වුණා. කොහොම නමුත් අපේ රටට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කර ගැනීමට හැකි වුණොත් එවැනි තර්ජනයන්ට අපිට බියවීමට හේතුවක් නැහැ.

ප්‍ර - ඇතැම් ඖෂධ සඳහා රජයට විශාල මුදලක් ගෙවීමට සිදුවෙනවා. විශේෂයෙන්ම පිළිකා රෝගීන් සඳහා දෙන ඇතැම් ඖෂධ ඒ අතර ප්‍රධාන වෙනවා. මෙවැනි ඖෂධ රට තුළ නිෂ්පාදන කිරීමට අදහස් කරන්නේ නැතිද?

පි - ඉදිරියේදී මෙවැනි ඖෂධයත් අපි රට තුළ නිෂ්පාදනය කිරීමට කටයුතු කරනවා. මිල අධික ඇතැම් ඖෂධ සියයට පන්සියයක ලාභයක් පෞද්ගලික සැපයුම්කරුවන් තබාගෙනයි රජයට ලබා දෙන්නේ. මේ නිසා විශාල මුදලක් මෙවැනි ඖෂධ වෙනුවෙන් රජයට වැය කිරීමට සිදුවෙනවා. අපි එවැනි ඖෂධ නිෂ්පාදනය කිරීමත් සමග රජය වැය කරන මුදල විශාල වශයෙන් අඩු කර ගැනීමට හැකිවේවි.

ප්‍ර - ඔබ ඖෂධ නිෂ්පාදනය සියයට සියයක් දක්වා කළත් රෝහල්වල නිරන්තරයෙන්ම ඖෂධ හිඟයක් මතුවෙනවා. මෙවැනි හිඟයක් ඇති නොවීමට ගන්නා පියවර කුමක්ද?

පි - රෝහල්වල ඖෂධ හිඟය මේ වනවිට විශාල වශයෙන් අඩුවෙලා තිබෙනවා. රජයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් රජයේ රෝහල්වල අවශ්‍යතාව කල් ඇතිව සොයා බලා ඖෂධ සැපයීමක් කළා. ඔවුන්ගේ  ඒ වැඩපිළිවෙළ නිසා තමයි අපිටත් සියයට සියයක් දක්වා ඖෂධ නිෂ්පාදනය කිරීමට හැකිවෙලා තිබෙන්නේ. මාස තුනකට අවශ්‍ය ඖෂධ තබා ගනිමින් තමයි අපේ ආයතන දෙකම කටයුතු කරන්නේ.

සයුර සමරසුන්දර

උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල තවදුරටත් අඩු කිරීමට ක්‍රියා කරන බව වෙළෙඳ සහ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසා තිබේ. එසේම ඉදිරි සතිය ඇතුළත  සහල් තොග වෙළෙඳුන් සහල් මිල අඩු කිරීමට පියවර නොගතහොත් සහල් සඳහා පාලන මිලක් පැනවීමට  කටයුතු කරන බවටද රජයේ පැත්තෙන් ප්‍රකාශ වී තිබේ. මේ ප්‍රකාශ දෙකෙන්ම අදහස් වන්නේ ආර්ථිකයේ භාණ්ඩ හා සේවා මිල මට්ටම් ඉහළයාම ජනතාවට දරා ගැනීමට නොහැකි තරමට වැඩි වී ඇති බව ආණ්ඩුව පිළිගෙන ඇති බවකි.

ආර්ථිකයේ මිල මට්ටම් ඉහළ යාම කෙරේ ආණ්ඩුවේ වක්‍ර බදු පැනවීම් හේතු කාරක වී ඇති බව මෙරට ආර්ථික විශේෂඥයෝද පෙන්නා දෙති. එසේම මහ බැංකු අධිපතිවරයාද ඉකුත් දා ප්‍රකාශ කොට සිටියේ වැට් බදු අනුපාතිකය සියයට 11 සිට 15 දක්වා වැඩි කිරීම ආර්ථිකයේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට බලපෑම්කොට ඇති බවය.

ළඟ එන උත්සව සමයේ භාණ්ඩ හා සේවා සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවෙයි. එම ඉල්ලුමට වඩා අද දවසේ වැදගත් වනුයේ එදිනෙදා ජනජීවිතය සඳහා අත්‍යවශ්‍ය වන ආහාර ද්‍රව්‍යවල මිල ගණන්  ඉහළයාමේ ගැටලුවට විසඳුම් ඉදිරිපත් කිරීමය. ‍පොල් ගෙඩියක මිල රුපියල් 85ත් 100ත් අතර මිලකට නැග ඇත්තේ ‍පොල් සැපයුම පහළ වැටී ඇති නිසාය. නමුත් මෙහිදී ‍පොල් ආනයනයකොට බෙදාහැරීමක් පිළිබඳව  අපට කතා කළ නොහැකිය. මක්නිසාදයත් ‍පොල් අපගේ ප්‍රධාන අපනයන භෝගයක් වන නිසාය. ඉදිරියේදී ‍පොල් අස්වනු යථා තත්ත්වයට පත්වූ පසු ‍පොල් මිල කිසියම් ස්ථාවර මට්ටමකට පත්වේය යන්න බලා‍පොරොත්තු තබාගත හැකිය.

විකල්ප අවස්ථා කෙසේවෙතත් ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම සඳහා වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන්ගේ මිල පාලනය කිරීම තුළින් ජනතාවට සහන ලබාදිය හැකිය. උදාහරණ ලෙස සහල්, සීනි, කව්පි, මුංඇට, තේකොල, හාල්මැස්සන්, කරවල, මාළු ආදියෙහි මිල ගණන් අඩුවට ලබාදීමට පියවර ගැනීම තුළින් ජනතාවට  සහනයක් ලබාදිය හැකිය. සතොස මගින් සහල් සාපේක්ෂව අඩු මිලකට ලබාගැනීමට හැකි පසුබිමක් නිර්මාණයකොට තිබුණද නගරයෙන් ඈත ගම්බද ප්‍රදේශවල ජීවත්වන ජනතාවට සතොස එතරම් සමීප නැත. තවත් සතොස  ශාඛා ගණනාවක් විවෘත කරන බව පැවැසුවද එය කවදාදැයි නිශ්චිත නොමැත. විශේෂයෙන්ම සහල් මිල ඉහළ යාම තුන් වේලටම බත් කෑමට පුරුදු වී සිටින ජනතාවගේ පසුම්බියට නම් තදින්ම දැනී තිබෙන සෙයක් පෙනී යයි. ජනාධිපතිවරයාද සහල් මිල අර්බුදයට සෘජුවම මැදිහත් වී ඇත්තේ එම මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමකින් ඉහළ නැග ඇති නිසාය.

ඇත්ත වශයෙන්ම අද වන විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අතුරින් මිල ඉහළ ගොස් ඇත්තේ සහල්වල පමණක් නොවේය. මාළු ග්‍රෑම් 500ක මිල රුපියල් 600කි. රුපියල් 80ට තිබූ සහල් පිටි (ඉඳිආප්ප පිටි) කිලෝවක් දැන් රුපියල් 140කි. මේ නිසා රුපියල් 2ට 2.50ට තිබූ ඉඳිආප්පයක් රුපියල් 3ක් 4ක් බවට පත්වී තිබේ. රුපියල් 10ට තිබූ සුදු ආප්ප රුපියල් 12කි. කරවල, හාල්මැස්සන් ආදියෙහි මිල ඇසීමටවත් නොහැකි තරමට ඉහළ ගොස් තිබේ. කට්ටා කරවල ග්‍රෑම් 500ක මිල රුපියල් 600ත් 700ත් අතරය. හාල්මැස්සන් හා කීරමින්, සාලයා සතොස අලෙවිසල් මගින් පාරිභෝගිකයාට සහන මිලට ලබාදෙන බවට සඳහන් භාණ්ඩ ලැයිස්තුවට ඇතුළත්කොට තිබුණද සතොසේ කරවල මිල විවෘත වෙළෙඳ‍පොළේ මිලටත් වඩා ඉහළය.

ජනතාවට වඩා වැදගත් වන්නේ වැටුපේ මූර්ත අගයයි. එනම් වැටුපට අනුකූලව මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. මෙහිදී පාරිභෝගිකයාගේ මිලදී ගැනීමේ හැකියාව හෙවත් ක්‍රය ශක්තිය පිළිබඳවද අද දේශපාලන වේදිකාවේ, කඩ‍පොළේ, බස් රථයේ, දුම්රියේ හා සේවා ස්ථානයේද කතා බහට ලක්වේ.

“මිනිසුන් බඩු මිලදී ගන්නේ අඩුවෙන්” ඒ වෙළෙඳුන්ගේ පැත්තෙන් නැගෙන හඬයි. “මිනිසුන්ගේ අතේ සල්ලි නෑ” ඔවුහු ඊට හේතුද ඉදිරිපත් කරති.
ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ දැමුවේය. එමගින් ලක්ෂ 13 කගේ පමණ පිරිසකගේ ආදායම් ඉහළ ගියේය. එසේ නම් ආර්ථිකයේ භාණ්ඩ හා සේවා ඉල්ලුම පහත වැටී ඇත්තේ යැයි පැවසෙන්නේ මන්ද?
කෝටි 2ක පමණ ජනගහනයක් සිටින රටක ලක්ෂ 13ක් යනු විශාල ප්‍රතිශතයක් නොවේ. එක්කෝටි හැත්තෑපන් ලක්ෂයක පමණ ආදායම් වැඩි වූයේ නැත. නමුත් ඔවුන්ගේ කරමත, බදු හා සේවා ගාස්තු ඉහළ යාමේ බර පැටවිණි. වැට් බද්ධ සියයට 11 සිට 15 දක්වා සියයට 4කින් වැඩිවූයේය. දුරකථන, අන්තර්ජාල පහසුකම් ඇතුළු සියලු සන්නිවේදන ගාස්තු ඉහළ ගියේ පාරිභෝගිකයාගේ පසුම්බියට දැනෙන පරිදිය. ජල බිල්පත්, ප්‍රවාහන වියදම් විශේෂඥ වෛද්‍ය චැනලින් ගාස්තු ආදිය ඉහළ ගියේ ඉහළ ප්‍රතිශතයකිනි. උදාහරණයක් ලෙස රුපියල් 1000 ට 1200 ට තිබූ වෛද්‍ය චැනලින් ගාස්තුව මේ වන විට රුපියල් 1500 ත් 2500ත් දක්වා ඉහළ නැග තිබේ. මේවා ජනතාවට පැහැර හැරිය නොහැකි වියදම්ය. ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් මෙවැනි අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වෙන් කළ විට ඔහු අත ඉතිරි වන මුදල සාපේක්ෂව අඩුය.

වැඩ වර්ජන හා උද්ඝෝෂණ ආර්ථිකයේ භාණ්ඩ හා සේවා මිල මට්ටම් ඉහළයාමේ බරට අමතරව විවිධ වෘත්තීය සමිති ක්‍රියාකාරකම්  හා ඇතැම් දේශපාලන කණ්ඩායම් හා ක්‍රියාකාරීන්ගේ වැඩ වර්ජන හා උද්ඝෝෂණවල පීඩනයද දරාගැනීමට සිදුවී ඇත්තේ සාමාන්‍ය ජනතාවටය. ඉකුත් සතියේ දුම්රිය රියැදුරන් හා නියාමකයින් විසින් හිටි ගමන් වැඩ වර්ජනයක් දියත් කරනු ලැබිය. උදේ දුම්රියෙන් සේවා ස්ථානවලට ගිය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින් සවස නිවෙස් බලා යාමට දුම්රිය  ස්ථානයට පැමිණි විට ඔවුන්ට මුහුණදීමට සිදුවන්නේ කිසිසේත්ම බලා‍පොරොත්තු නොවූ අකරතැබ්බයකටය. දුම්රිය රියැදුරන් වැඩ වර්ජනයකය. දුම්රිය ධාවනය වන්නේ නැත. මේ වූ කලී ලෝකයේ කිසිදු රටක වෘත්තීය සමිතියක් විසින් අනුගමනය කරනු ලබන වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බව ඉඳුරාම පැහැදිලිය. ඕනෑම රටක වෘත්තීය සමිතියක් වැඩ වර්ජනය කරනු ලබන්නේ පූර්ව දැනුම් දීමකින් අනතුරුවය.
දුම්රිය ස්ථානයේ අසරණ වූ මගී ජනයා දුම්රිය පරිපාලනයට එරෙහිව උස් හ¾ඩින් කතා කිරීම හෝ විරෝධය පෑම සාධාරණ නොවේයැයි පැවැසිය නොහැකිය. මක්නිසාදයත් බොහෝ දුරබැහැර ප්‍රදේශවල සිට සේවා ස්ථානවලට පැමිණෙන ජනතාව දුම්රිය ගමනාන්තයෙන් අනතුරුව තවත් ‍පොදු ප්‍රවාහන සේවාවක (බස් රථයක) පිහිට පැතීමට සිදුවන අවස්ථා බහුලය. දුම්රිය  හිටිගමන් වර්ජනය කළ විට මහ මග අතරමංවන  ජනතාවගේ සුරක්ෂිතතාව පිළිබඳව  වගකීම බාරගනු ලබන්නේ කවුරුන් විසින්ද?

වැඩ වර්ජනයෙන් මෙරට ජනතාව මතු නොව සංචාරක කටයුතු සඳහා මෙරටට පැමිණ දුම්රියෙන් ගමන් බිමන් යොදාගෙන සිටි විදේශකයෝද දැඩි අසීරුතාවයකට පත්වූහ. මෙසේ හිටිගමන් ප්‍රවාහන පද්ධතිය බිඳ වැටෙන රටක ආයෝජනය කිරීමට සංචාරය කිරීමට විදේශ ආයෝජකයන් සංචාරකයන් පැමිණේද යන්න සිතා බැලිය යුතුය.

අනෙක් පැත්තෙන් උද්ඝෝෂණ, පෙළපාළි උපවාස හා සත්‍යග්‍රහ නොමැති දිනයක් සොයා ගැනීමට අසීරුය. උද්ඝෝෂණ හා පෙළපාළි විසුරුවා හැරීමට යොදාගනු ලබන කඳුළු ගෑස්  හා ජල ප්‍රහාරවලින් පීඩාවට පත්වන්නෝ අතර උද්ඝෝෂකයෝ මතුනොව සාමාන්‍ය ජනතාවද වෙති. බොහෝ දෙනෙක් සේවය නිමකොට නිවෙස් බලා යන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ  සේවකයෝය. බදු බරින් සහ භාණ්ඩ හා සේවා මිල මට්ටම් ඉහළයෑම් තුළින් පීඩනයට පත්වී සිටින ජනතාව හිතුවක්කාරි වැඩ වර්ජන හා උද්ඝෝෂණ පෙළපාළිවලින්ද පීඩාවට පත්වීමට සිදුවීම සැබැවින්ම අවාසනාවන්ත තත්ත්වයකි. මෙහි අවසන්  ප්‍රතිඵලය කලකිරුණූ හා හෙම්බත්වුණු ශ්‍රම හමුදාවක් රටට ලැබිමය. ඔවුන්ගෙන් ඉහළ ඵලදායිතාවක් බලා‍පොරොත්තු වීම කොයිතරම් දුරට සාධාරණ වන්නේද?

සාලිය ජනක කුමාර

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සිය අතුරු කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට පසුගිය සතියේදී ඉදිරිපත් කළේය. මෙම වාර්තාව ඉදිරිපත් කරන විට එහි ඇමුණුම් ලෙස ව්‍යවස්ථා මණ්ඩලයේ සාමාජිකයන් ඉදිරිපත් කළ යෝජනාව ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් දෙදෙනා තවත් යෝජනා ඉදිරිපත් කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණද ජාතික හෙළ උරුමයද තවත් යෝජනා ඇතුළත් කර ඇත. ජයම්පති වික්‍රමරත්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස තවත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එහෙත් එක්සත් ජාතික පක්ෂය සිය අදහස් ඉදිරිපත් කර නොමැත. ඒකාබද්ධ විපක්ෂය මෙම අතුරු කමිටු වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව ඉදිරිපත් වන්නේ සියලු දෙනාගේම එකඟත්වයක් ඇති වාර්තාවක් ලෙස නොවේ. එය අපගේ අවධානය යොමු කළ මූලිකම කාරණය වෙයි.
මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව සකස් කර ඇත්තේ කවුරුන් විසින්ද යන්න තමන් නොදන්නා බව ඒකාබද්ධ විපක්ෂය            මේ වන විට ප්‍රකාශ කර තිබේ. මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් සියලුදෙනාගේම එකඟත්වය ඇතිව මෙවැනි වාර්තා සකස් වන්නේ නම් මේ ආකාරයේ ගැටලු ඇතිවන්නේ නැත. එමෙන්ම කමිටු වාර්තාවේ යෝජනාවලට අමතරව ගැටලු යනුවෙන් වෙනම කොටස් ඇතුළත් කර තිබෙන්නේ මෙය සියලුදෙනාගේම එකඟත්වය ඇතිව ඉදිරිපත් කළ වාර්තාවක් නොවන නිසාය.
දැනට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි වගන්තියෙන් ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස හඳුන්වා දී තිබේ. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති අතුරු කමිටු වාර්තාව මගින් ඉදිරිපත් කළ යෝජනා අනුව ඒකීයභාවයට බරපතළ ප්‍රශ්නයක් මතුවේ. ලංකාවේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටුවා ඇති බවත් එය අත්හල නොහැකි බවත් දැනට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තියෙන් දක්වා තිබේ. එහෙත් දැන් ඉදිරිපත් කර ඇති යෝජනා අනුව ලංකාව බෙදිය නොහැකි බවත් නොබෙදෙන රටක් ලෙසත් දක්වා තිබේ. එවැන්නක් දක්වා තිබෙන්නේ ලංකාව බෙදී යන ආකාරයේ යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන නිසාද යන සාධාරණ සැකය අපට මතුවේ. ලංකාව නිදහස් ස්වෛරී රජයක් ලෙස දක්වා තිබෙන අතර එයට සමාන වන්නේ දෙමළ භාෂාවේ 'ඔරුමිත්තනාඩු' යන්නට බව මෙම යෝජනාවල දක්වා තිබේ. මෙය වැරදි ප්‍රකාශයකි. දෙමළ භාෂාවෙන් 'ඔරුමිත්තනාඩු' යනු ඒකීය රාජ්‍යය යන අදහස  දෙන්නේ නැත. 
ඒකීය රාජ්‍යයක් යනු නොබෙදුන හා බෙදිය නොහැකි රාජ්‍යයක් යන්න නොවේ. ඒකීය යන වචනය භාවිතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් එන 'යුනිටරි ස්ටේට්' යන වචනය වෙනුවටය. 'යුනිටරි ස්ටේට්' යනු මුළු රටටම නීති සකස් කරන එක පාර්ලිමේන්තුවක් රටේ තිබිය යුතු බවය. දෙවැන්න වන්නේ පාර්ලිමේන්තුව සමග තරග කළ හැකි වෙනත් ආයතනයක් රටේ තිබිය නොහැකිය. 1987 දී  13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒකීය රාජ්‍යයක ව්‍යුහය කුමක්ද යන්න ගැන අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අර්ථකථනය වන්නේ එයයි. ඒකීය රාජ්‍ය යන්නට දැන් ඇති ව්‍යවස්ථාවේදී දක්වා ඇත්තේ යුනිටරි ස්ටේට් යන්නයි. දෙමළ පරිවර්තනයේ ඒකීය යන වචනය පරිවර්තනය කර ඇත්තේ 'ඔක්‍රියන්සි' ලෙසය. 'ඔක්‍රියන්සි' යනු ඒකීය රාජ්‍යයයි. දෙමළින් ඇති ඔක්‍රියන්සි යන්න 'ඔරුමිත්තනාඩු' ලෙස වෙනස් කර තිබේ. ඔරුමිත්තනාඩු යනු කොටස්වලින් සැදුන ඒකකයක් නැතිනම් ආණ්ඩුවක් යන්නයි. සිංහලෙන් ඒකීය රාජ්‍ය යන්න තිබේ නම් දෙමළ පරිවර්තනයෙන් 'ඔක්‍රියන්සි' යන වචනය එලෙසින්ම තබන්නට තිබුණි. ඔරුමිත්තනාඩු ලෙස වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නැත. දෙමළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන අයෙකුට ලංකාව කොටස්වලින් සැදුන එක්සත් රටක්ය යන අදහස මතුවේ. 
ඒකීය රාජ්‍ය යන වචනය සිංහල පිටපතේ තබා තිබේ. එහෙත් ඒකීය රාජ්‍යයට දෙන අර්ථකථනය වෙනස් කර තිබේ. ඒකීය රාජ්‍යය යන්න හඳුන්වන්නේ නොබෙදුන හා බෙදිය නොහැකි රටක් ලෙස හඳුන්වා තිබේ. අවසානයේදී ඒකීය යන වචනය පමණක් යොදාගෙන ලංකාව එක්සත් රටක් යන අදහස ලබාදී තිබේ. සිංහල බෞද්ධ බහුතරය ඒකීය රාජ්‍යයක් යන වචනය ඉවත් කිරීමට විරුද්ධ නිසා එය ඉවත් නොකර ලංකාව එක්සත් රටක්ය යන්න අර්ථ ගන්වා තිබේ. සිංහල පමණක් දන්නා අයෙකු ඒකීය රාජ්‍යය යන වචනය ඇතැයි දැක සතුටු වෙයි. එහෙත් ඒකීය රාජ්‍යය යන්නේ අර්ථය විකෘති කර ඇති බව තේරුම් ගන්නේ පසුවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෝකයට යන්නේ ඉංග්‍රීසි පිටපතයි. ඒකීය රාජ්‍යය යන්නට ලෝකයම ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කරන්නේ යුනිටරි ස්ටේට් යන්නයි. යුනිටරි ස්ටේට් යන වචනයට විවිධ අර්ථකථන ඉදිරිපත් වී ඇති නිසා යුනිටරි ස්ටේට් යන වචනය ලංකාව සම්බන්ධයෙන් අදාළ නොවන බව අතුරු කමිටු වාර්තාවේ දක්වා තිබේ. ඒ නිසා ඉංග්‍රීසි පිටපතේ යුනිටරි ස්ටේට් යන පද යෙදුම ඉවත් කර ඒකීය සහ ඔරුමිත්තනාඩු යන්න ඉංග්‍රීසි අකුරුවලින් ලියා තිබේ. ඉංග්‍රීසි ව්‍යවස්ථාවේ යුනිටරි යන වචනය ඉවත් කරන්නේ කුමක් නිසාදැයි යන සැකය මතුවේ. මෙය ජාත්‍යන්තරයට ගිය විට ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පිළිගැනෙන්නේ නැත. සිංහලෙන් ඒකීය රාජ්‍ය අර්ථ නිරූපණය කර ඇති ආකාරයට හා දෙමළින් ඔරුමිත්තනාඩු යන්න අර්ථ නිරූපණය කර ඇති ආකාරයට එය අර්ථ ගන්නවා ගනී. ජාත්‍යන්තරය මෙය අර්ථ නිරූපණය කරගන්නේ ඒකීය රාජ්‍යයක් ලෙස නොව එක්සත් රටක් ලෙසය. මේ අතුරු කමිටු වාර්තාවේ ඒකීය යන වචනය යොදා ඇති ආකාරය අනුව ජනතාව රවටා ඇති තරම තේරුම්ගත හැකිය. දකුණේ ජනතාව හා උතුරේ ජනතාවත් මේ මගින් රවටා තිබේ. දකුණේ ජනතාව රැවටීමට ඒකීය වචනය යොදා ඇති අතර උතුරේ ජනතාව රැවටීමට පෙඩරල් යන වචනයම නොදා ඔරුමිත්තනාඩු යන වචනය යොදා තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව දෙස බලන විට මේ ව්‍යවස්ථාව ඉදිරිපත්කරන්නේ ලංකාවේ වුවමනාව මත නොව ජාත්‍යන්තරයේ වුවමනාව මත බව පැහැදිලි වේ. මෙම යෝජනා මත ව්‍යවස්ථාව සකස් වුවහොත් එය අර්ධ සන්ධීය හෝ සන්ධීය රාජ්‍යයක් දක්වා යාමට හැකිය. මධ්‍යම ආණ්ඩුවට සම්බන්ධ නොමැති වෙනම ඒකකයක් ලෙස කටයුතු කරන ඒකකයක් පිළිගන්නා බව ජාත්‍යන්තරයට පිළිගැනීමේ අවදානම මේ යෝජනා ක්‍රියාත්මක කිරීම හරහා මතුවේ. 
මෙම ව්‍යවස්ථාව සකස් වන්නේ ජනතා උවමනාව අනුව නොවේ. සම්පූර්ණම ව්‍යවස්ථාව ඉවත් කර අලුත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන ලෙස ජනතාව ආණ්ඩුවට වරමක් දී නැත. ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ ජනමත විචාරණයකින් වෙනස් කළ හැකි වගන්නි වෙනස් කිරීමට නොවේ. ඒකීයභාවය වෙනස් කිරීම වැනි ආකෘතිමය වෙනස්කම් කිරීමට ඒ අනුව ආණ්ඩුවට හැකියාවක් නැත. ජනාධිපතිවරයාට ජනතාව දුන් වරමට පටහැනිව දැන් ව්‍යවස්ථා වෙනසකට සූදානම් වේ. 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යනු රටේ ජනතාව සකස් කරන මූලික නීති පද්ධතියයි. රජයේ ආකෘතිය තීරණය වන්නේ ඒ අනුවය. ජනතා අදහස් ලබාගෙන එම ව්‍යවස්ථාව සකස් විය යුතුය. ජනතා අදහස් ලබාගෙන ඒවා ජනතාව ඉදිරියේ සාකච්ඡා කර ව්‍යවස්ථාව සම්පාදනය කළ යුතුය. 2016 මාර්තු 9 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාව සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා ජනතාවගේ අදහස් ගෙන නව ව්‍යවස්ථාව සකස් කළ යුතු බවයි. පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් සකස් කරන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට බලය දෙන්නේ ජනතා අදහස් ගෙන ව්‍යවස්ථාව සකස් කිරීමටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතු ජනතාවට විවෘත විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ හා අනු කමිටුවල වාර්තා ‍ලේඛන ගත කර ජනතාවට ඉදිරිපත් කළ යුතුය. අවශ්‍ය අවස්ථාවලදී එහි කටයුතු ජනතාවට විකාශනය කළ යුතුය. එහෙත් කිසි දිනෙක අනු කමිටුවල කටයුතු ජනතාවට විවෘත වූයේ නැත. එහෙත් දැන් සිදුව ඇත්තේ ජනතාවට රහසිගතව වාර්තා සකස් කර යෝජනා ඉදිරිපත් කිරීමය. ජනතාවගේ අදහස් මත පදනම්ව මෙහෙයුම් කමිටු වාර්තාව සකස් වී නැත. ඒ නිසා මෙය අපේ රටේ ජනතාවගේ ලියවිල්ලක් නොවේ.
එසේ නම් මෙය කොහි සිට පැමිණෙන යෝජනාවක්දැයි යන්න ගැන අවධානය යොමුවිය යුතුය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කළේ ඉන්දියාවේ වුවමනාව මතය. එය ලංකාවේ වුවමනාව මත ඉදිරිපත් කළ එකක් නොවේ. ඒ ආකාරයටම මෙය බහුතර ජනතාවගේ සහභාගිත්වයක් නොමැතිව සකස් කර පාර්ලිමේන්තුව හරහා සම්මත කරගැනීමට උත්සාහ කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් සිය වාර්තාවේ දක්වා තිබුණේ ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය බවයි. ඒ අනුව මේ අවස්ථාවේදී ව්‍යවස්ථාවක් ඉදිරිපත් වන්නේ ජාත්‍යන්තර වුවමනාව මතය.
මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා රටේ ජනතාවගේ ගැටලු මේ මගින් විසඳෙන්නේ නැත. මේ මගින් විසඳෙන්නේ ජාත්‍යන්තරයට ඇති ගැටලු පමණි. අපේ රටේ ජනතාවගේ සමාජ, ආර්ථික හා දේශපාලනික ගැටලු මේ මගින් විසඳෙන්නේ නැත. අධ්‍යාපනික ප්‍රශ්න විසඳෙන්නේ නැත. රටේ කර්මාන්ත ඇති කිරීමට වැඩසටහන් මේ මගින් ක්‍රියාත්මක වන්නේ නැත. රටේ ජනතාව පීඩාවට පත්වන ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නැත. මේ රටට ඇතුළුවී විවිධ කොටස්වල බලය තබාගැනීමට උත්සාහ කරන ඉන්දියාව, චීනය හා ඇමෙරිකාවේ ගැටලුවලට මේ මගින් විසඳුම් ලැබිය හැකිය. 
එසේ බලන විට මේ ව්‍යවස්ථාව ඉදිරිපත් වන්නේ ජනතාව රැවටීමට බව අපි හොඳින් මතක තබාගන යුතුය.
 
නීතිඥ කනිෂ්ක විතාරණ
 
සාකච්ඡා ක‍ලේ : සංජය නල්ලපෙරුම

මේ දිනවල පාට කරපු ‍පොල් ගන්නට පාරිභෝගිකයෝ සැදී පැහැදි සිටිති. වෙනදාට සාමාන්‍ය වෙළෙඳ සැලකින් ‍පොල් ගෙඩියක් මිලට ගත් පාරිභෝගිකයා අද ‍පොල් ගෙඩියක් මිලට ගන්නට සතොස සොය සොයාම ඇවිදිති. ඒ පසුගිය සතියේදී ‍පොඩි ‍පොල් ගෙඩියක් රුපියල් හැත්තෑ පහකටත්, ලොකු ‍පොල් ගෙඩියක් රුපියල් සියයකටත් මිලට ගන්නට පාරිභෝගිකයාට සිදු වූ නිසාය. මේ නිසාම කළු කඩ කාරයන්ගෙන් පාරිභෝගිකයාට බේරි සිටීම සඳහා රජය වර්ණ ගන්වන ලද ‍පොල් අලෙවි කිරීමට සතොස වෙළෙඳසල් වලට භාර කළේය. ‍පොල් මිල ඉහළ ගොස් තිබෙන්නේද වර්ණ ගැන්වූ ‍පොල් අලෙවි කරන්නට රජයට සිදුවූයේ ඇයිද යන කාරණය පිළිබඳව ‍පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පහදා දුන්නේ මෙසේය.

“පාර්ලිමේන්තුවේදී පසුගියදා මන්ත්‍රීවරයකු ප්‍රකාශයක් කළා ‍පොල් ගෙඩියක් රුපියල් 105 කියලා. ඇත්තටම ඔහු එහිදී කළේ වැරදි ප්‍රකාශයක්. රු. 105ක් කිව්වේ ‍පොල් කිලෝ එකක මිල. එතකොට ‍පොල් ගෙඩියක් තිබුනේ රු. 49කට මේ වගේ කිසිම වග විභාගයකින් තොරව කරපු ප්‍රකාශයකින් කළු කඩ කාරයෝ වාසි ලබා ගත්තා. ඉතිං ලොකු ‍පොල් ගෙඩියක් රුපියල් 100කට අලෙවි වුණා මේකෙන් අන්තිමේදී අසරණ වුණේ අහිංසක පාරිභෝගික ජනතාව. ඉතින් මේ නිසාම වෙළෙඳ කටයුතු වලට රජය මැදිහත් විය යුතුයි කියන ප්‍රතිපත්තියේ හිඳගෙන රෝස පාට ගැන්වූ ‍පොල් සතොස හරහා අලෙවි කරන්න පටන් ගත්තා. ඒ විදිහට ‍පොල් වර්ණ ගැන්වූයේ පාරිභෝගිකයා කළු කඩකාරයින්ගේ රැවටීම් වලින් වළක්වා ගන්න”
ලංකාවේ නුවරඑළිය ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ හැර අනෙක් සෑම පළාතකම ‍පොල් වගා කරති. මේ අනුව දැනට ‍පොල් වගා කර තිබෙන භූමි ප්‍රමාණය අක්කර ලක්ෂ 11කි. ‍පොල් වගාවෙන් යැපෙන පවුල් සංඛ්‍යාවද ලක්ෂ 08කි. අපේ රටේ ප්‍රධානම අපනයන බෝගයක් ලෙස ‍පොල් මෙරට ජාතික ආදායමට ඩොලර් මිලියන 870ක් තරම් වටිනා මූල්‍ය ආදායමක්ද ලබා දෙන්නේය. කුමන ආකාරයකින් හෝ ‍පොල් මිල දරාගත නොහැකි තරම් ඉහළ යන්නේ නම් එය පාරිභෝගිකයාට ඉවසා දරාගත නොහැක්කකි. මන්ද ‍පොල් කිරි නැතිව ආහාර පිසීම අපේ රටේ කොයි කාටත් කළ නොහැකි නිසාවෙනි.
දැනට වෙළෙඳ‍පොළේ පවතින ‍පොල් මිල පිළිබඳව ‍පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා මෙසේද පෙන්වා දුන්නේය.

“මේ වනවිට ‍පොල් ඵලදාවේ යම්කිසි අඩුවක් තිබෙනවා. ඒත් මෙහි අවාසිය ‍පොල් කර්මාන්තකරුවන්ට මිස පාරිභෝගිකයාට නම් නොවේ. දැනට ‍පොල් වෙළෙඳ‍පොළේ රුපියල් 65ත් 80ත් අතර මුදලකට අලෙවි වෙනවා. ‍පොල් ගෙඩියකට පාලන මිලක් නියම කරන්නත් බැහැ. ආණ්ඩුව ‍පොල් වලට පාලන මිලක් නියම කරලාත් නැහැ. අපි කියන්නේ ‍පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රුපියල් 75කට වැඩි නොවිය යුතුයි කියලා. මේ විදිහට අප නියම කරපු මිලකට වඩා වැඩි මිලකට ‍පොල් අලෙවි කරන්නේ කළු කඩකාරයෝ. අපි පසුගියදා වෙළෙඳසල් කිහිපයකින් නිරීක්ෂණය කළා ඇතැම් වෙළෙඳසල් වල මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම පාරිභෝගික සේවා පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක්. අපි ඉදිරියේදී මේ ගැන පුළුල් සොයා බැලීමක් කරනවා. මිල පාලන ඒකක මූලික කරගෙන අපි කළු කඩකාරයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවා”

‍පොල් හා සම්බන්ධ අපේ රටේ ප්‍රධාන ආයතන තුනක් පවති. ‍පොල් සංවර්ධන මණ්ඩලය, ‍පොල් සංවර්ධන අධිකාරිය හා ‍පොල් පර්යේෂණ ආයතනය ඒ ප්‍රධානම ආයතන තුනය. පහුගිය කා‍ලේ පැවැති දැඩි නියඟය ‍පොල් ඵලදාව අඩුවීමට හේතු වූ බව මේ ආයතන තුනම කරුණු ගෙනහැර දක්වති මේ සමගම ‍පොල් මිලද ඉහළට ගොස් තිබෙන්නේය. එහෙත් මේ තත්ත්වයෙන් අසාධාරණ ලෙස වැඩි වාසි භුක්ති විඳින්නේ කූඨ වෙළෙන්දන්ය.
මේ ආකාරයට කූඨ වෙළෙඳුන් නිසා අපහසුතාවයට පත්වෙන පාරිභෝගිකයා වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද යන්න වග පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දුන්නේ මේ ආකාරයෙනි.

“අනවශ්‍ය ලෙස ‍පොල් මිල ගණන් වැඩිකරලා ‍පොල් අලෙවි කරමින් ජනතාව අසීරුතාවයට පත්වීම වළක්වා ගැනීමට මේ වෙනකොට ‍පොල් වර්ණ ගන්නවලා අලෙවි කරනවා. ලොරි තියාගෙන විකුණනවා. ඒ වැඩපිළිවෙළ සාර්ථක වෙන්න පුළුවන්. ඒත් ‍පොළවල් වලින් ‍පොල් මිලදී ගන්න පාරිභෝගිකයාට මෙතනදි සාධාරණ විසඳුමක් නැහැ. මේ නිසා මේ ක්‍රමවේදය දිවයින පුරා ක්‍රියාවට නංවන්න ඕනේ. දැනට ‍පොල් නැහැ. ‍පොල් මිල වැඩියි කියලා පාරිභෝගිකයා මැසිවිලි නගනවා. මේ විදිහට අපට පැමිණිලි කළොත් අපි පාරිභෝගිකයා වෙනුවෙන් අදාළ ආයතන දැනුවත් කරන්න අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා”

කුරුණෑගල, පුත්තලම, ගම්පහ, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් 65 ‍පොල් වගාව ආවරණ කෙරේ. ‍පොල් මද ආශ්‍රිත නිෂ්පාදන හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 307ක් මෙරට ආදායමට එක්වන අතර ‍පොල් මද නොවන නිෂ්පාදන
වලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 247ක් උපයා දෙනු ලැබේ. එමෙන්ම දේශීය ‍පොල් 80ක්ම වැය වෙන්නේද පරිභෝජනය සඳහාමය.

මේ ආකාරයට මෙරට ‍පොල් ආශ්‍රිත පරිභෝජනය අතිශය පුළුල්ය. මේ නිසාම ‍පොල් අපේ කප්රුක ලෙසද හඳුන්වනු ලබති. කෙසේ නමුත් ‍පොල් හිඟය, ‍පොල් මිල ඉහළ යෑම ලංකාවට අලුත්ම අත්දැකීමක් නොවේ. එහෙත් ‍පොල් ගෙඩිය රුපියල් සියයට අලෙවි වන පළමු අවස්ථාව ලෙස මෙවර ඉහළ ගිය ‍පොල් මිල අපේ ‍පොල් ඉතිහාසයට අලුත් වාර්තාවක්ද එක්කර තිබෙන්නේය.

සමන්මලී නැලිගම

කෘෂිකාර්මික රටක් වූ අපේ රටේ වගා නොකර ඇති බිම් වගා කරන්නට  රජයට විශේෂ වැඩසටහන් ක්‍රියාවට නැංවීමට සිදුව තිබේ.එය අද ඊයේ සිදු වූවක්ද නොවන්නේය.  ඩී.ඇස්. සේනානායක අගමැතිවරයාද ගොවි ජනපද ඇති කරමින් මෙරටේ කෘෂිකර්ම නවෝදයක් ඇති කරන්නට කටයුතු කර ඇති බව ඉතිහාසයෙන් උගත හැකිය. ඊට පසුව බලයට පත් රජයන්ද අඩු වැඩි වශයෙන් මෙරටේ  සියලු ඉඩම් වගා කර අහරින් රට ස්වයං‍පෝෂිත කරන්නට  උත්සාහ කළේය.
මෙරට ප්‍රථම අගමැති කාන්තාව වූ  සිරිමාවෝ බණ්ඩාරනායක යුගයේ ක්‍රියාත්මක වූ වගා සංග්‍රාමය අද ජීවත්වන ජනතාවට හොඳින් මතකය. එදා හාල් ‍පොල් මිරිස් ‍පොලු දමමින් මෙරට නිෂ්පාදන ආහාර ද්‍රව්‍ය තුලනාත්මකව බෙදා හැරීමේ ක්‍රමවේදයක් සියලු ඉඩම් හා ගෙවතු වගා කිරීමේ  සංග්‍රාමයත්් නිසා රටේ ජනතාවට යම් අපහසුතා ඇති වූ බව සැබෑය. එහෙත් එහි දීර්ඝ කාලීන ප්‍රතිඵල සුබ වන්නට තිබියදී බඩ ගැන හිතන අපේ ජනතාවගේ තීන්දුව නිසා රාජ පාලනය වෙනස් විය.
එතැන් සිට අපට හිමි වූයේ විවෘත ආර්ථික ක්‍රමයකි. ඕනෑම අයෙකුට ඕනෑම දෙයක් පිටරටින් ගෙන්වා වෙළෙඳ‍පොළේ විකුණන්න  මෙමගින් ඉඩකඩ ලැබුණි. මේ නිසා දේශීයව නිෂ්පාදනය කරන ආහාර  ද්‍රව්‍යවලට වඩා අඩු මිලට පිටරට ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නට ජනතාවට අවස්ථාව ලැබුණි. මේ තත්ත්වය තුළ  කෘෂිකර්මාන්තය රැකියාවක් හෝ   ව්‍යාපාරයක් කර ගත් ජනතාව  ස්වකීය නිෂ්පාදන තරගකාරී මිල ගණන් යටතේ අලෙවි කර ගත නොහැකිව අසරණ වූහ. එහි ප්‍රතිඵලය වූයේ කෘෂිකර්මාන්තයෙන්් බොහෝ දෙනා ඈත් වීමත් රජයේ හෝ පෞද්ගලික රැකියා සඳහා යොමු වී  එයින් ලැබෙන වැටුපෙන් වෙළෙඳ‍පොළෙන් ආහාර  ද්‍රව්‍ය මිලදී ගෙන ජීවත් වීමත් පුරුදු වීමත්ය.
එදා  ඇති වූ එහි ප්‍රතිඵල අද අපි බුක්තිවිඳිමින් සිටිමු. බෝනොවන රෝග ව්‍යාප්තිය සමාජය තුළ  විවිධ උප සංස්කෘතින්  බිහි වි අපේ උරුමය වූ  බෞද්ධ  සංස්කෘතියට අභියෝග එල්ල වීමත්  සශ්‍රී්‍රික වගාබිම් ලෙස තිබූ අක්කර දහස් ගණන්් මුඩුබිම් ලෙස අතහැර දැමීමත්  තරුණ තරුණියන් ගොවිතැන අතහැර  කුමන හෝ රැකියාවක් සඳහා යොමු වීමත් ආදිය අද අපට දරාගත නොහැකි බරක් බවට පත්ව තිබේ. අදත් අපේ ගොවිබිම්වල වගා කරන ආහාර බෝග සඳහා තරගකාරී මිලක් ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ විදේශ නිෂ්පාදන අප රටේ වෙළෙඳ‍පොළ ආක්‍රමණය කර තිබිම නිසාය.
මේ සඳහා හොඳම උදාහරණය  මෑතක ඇති වූ  ලොකු ලූනු මිල අර්බුදයයි. පිටරට ලොකු ලූනු වෙළෙඳ‍පොළේ අඩුමිලට ගොඩ ගසද්දී අපේ ගොවියා දහඩිය මහන්සියෙන් විශාල වියදමක් දරා නිපදවන ලොකු ලූනු කුණුකොල්ලයට විකුණා දැමීමට සිදු වීමෙන් ගොවියා කබලෙන් ළිපට වැටෙන තත්ත්වයට පත් විය. ජනාධිපති සිරිසේන මහතාගේ මැදිහත් වීමෙන් ආනයනික ලොකුලූනු බද්ද  100ක් වැඩි කිරීම ගොවියාට අස්වැසිල්ලක් වුවද  ස්වභාව ධර්මය විසින් ලොකු ලූනු ගොවියා උස්සා ‍පොළොවේ ගසා ඇති බව ඉකුත් සතියේ වාර්තා විය. මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා ලොකු ලූනු වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ඇතැම් ගොවීන්ගේ අක්කර ගණනක ලූනු ඵලදාව නෙළීම පවා අතහැර දමා ඇත.
ඉකුත් දෙවසරක කාලය තුළ වත්මන් රජය ස්වාභවික විපත්වලට මුහුණ දෙමින් අංක එකට පැමිණ තිබේ. මේ නිසා ගොඩ හා මඩ ගොවිතැන්  කන්න තුනහතරක්ම වගා කර ගන්නට බැරි වූ ගොවියෝ බිමට වතුර සොයමින් ගම්බිම් අතහැර දමා ගිය පුවත්ද අසන්නට ලැබිණ. දිවයිනේ එක් පැත්තක ගංවතුරෙන් වගාවට හානි සිද්ධ වද්දී තවත් පැත්තක දැඩි නියඟයෙන් වගාව බිලි ගත්තේය. මේ කොයි විදියටත් අපේක්ෂා භංගත්වයටත් ආර්ථික අඟහිඟ කම්වලටත් මුහුණ දුන්නේ ගොවියාය.  වත්මන්  රජය බලයට පත් වී වසරක් 2 1/2 තුළ අත්විඳි මේ කටුක අත්දැකීම්  හමුවේ මෙන්ම විවෘත ආර්ථික ප්‍රතිපත්ති සමග මෙරට තුළ  කෘෂිකාර්මික නවෝදයක් ඇති කිරීම සඳහා ප්‍රවේශයක් ඇති කරමින් සිරිසේන ජනපතිවරයා ඉදිරියට පියවරක් තබා ඇති බව පෙනෙන්ට ඇත.
ආහාර නිෂ්පාදන සංග්‍රාමය ඒ ඉදිරි  පියවරය. මෙරටේ සෑම බිම් අඟලක්ම වගා කොට  මෙරට ආහාරවලින්  ස්වං‍පෝෂිත කිරීම මෙම සංග්‍රාමයේ ඉලක්කය වී තිබේ. ග්‍රාම සේවා නිලධාරියකු ලෙස ග්‍රාමීය ජන ජීවිතය පිළිබඳ අත්දැකීම් ලබා ඇති වත්මන් ජනාධිපතිවරයාද ගොවි පවුලක ගොවි පුතෙකි. මේ නිසා මෙරටේ අතීත කෘෂිකාර්මික සශ්‍රී්‍රිකත්වය ගැන ඔහුට ඇති  පුළුල්  අවබෝධය අවතක්සේරු කළ නොහැකිය. ආහාර නිෂ්පාදන සංග්‍රාමය ජනපතිගේ ඒ ජීවන අත්දැකීම් සමග මතු වූ යථාර්ථවාදී වැඩපිළිවෙළක් විය හැකිය.
අතීතයේදී අප රට  සහලින් ස්වයං‍පෝෂිත වූයේ දියුණු වාරි කර්මාන්තයත් සමගය. ඇතැම්  විදෙස් රටවල් අපේ වාරි කර්මාන්තයෙන් ගුරු හරුකම් ලබාගෙන එරටේ කෘෂිකාර්මික විප්ලවයක් ඇති කළ බවටද වාර්තා පළ වී ඇත්තේය. මෑත කාලයේ අප රටේ ක්‍රියාත්මක වූ දැවැන්ත වාරියෝජනා ක්‍රම ‍පෝෂණය වන්නේ   මහවැලි දැවැන්ත ජල යෝජනා ක්‍රමයෙනි. මේ නිසා ඉදි වූ ජලාශ හා වගාබිම් බවට පත් වූ ඉඩම් ගැන අදත් ආඩම්බරයෙන් කතා කළ හැකිය.  ඕනෑම කාර්යයක් ක්‍රියාත්මක කිරීමේදී මුහුණදීමට සිදුවන ‍පොදු අභියෝග මහවැලි යෝජනා ක්‍රමයේදීද දක්නට ලැබුණි. එහෙත් මේ වනවිට එහි අවසන් අදියරද  පසු කරමින් සිටී.
මහවැලි ව්‍යාපාරය කෘෂිකාර්මික කලාප ඇති කිරීමේ පුරෝගාමියා වූයේය. ඩී.එස්. සේනානායක අගමැතිවරායා, මිනිපේ  යෝධ ඇළ ඉදිකර ගොවිජනපද  බිහි කළා සේම මහවැලි ව්‍යාපාරය නිසා බිහි වූ කෘෂිකාර්මික කලාප ගණනද  දහයකි. මෙම කෘෂිකාර්මික කලාප තුළ බිහි වූ කෘෂිකාර්මික ගම්මාන ගණන 223කි. ඒවායේ පදිංචි පවුල් ගණන 2,40000කි. ඔවුන්ගේ දෑත් සවියෙන් සශ්‍රිකවන ගොවිබිම් ප්‍රමාණය හෙක්ටයාර්  1,25000කි. එයින් ගොඩ ඉඩම් හෙක්ටයාර් 20000ක් හැර ඉතිරිය මඩ ඉඩම්ය.
 ජනාධිපති  සිරිසේන මහතා ප්‍රකාශයට පත් කර ඇති ආහාර නිෂ්පාදන  සංග්‍රාමයට සජීවී දායකත්වය දක්වන්නට මහවැලි අධිකාරිය පෙරමුණ ගෙන  ඇත්තේය. ඒ සඳහා මහවැලි සතිය නමින් වැඩ සටහනක්ද ප්‍රකාශයට පත් කර ඇත. මෙම වැඩසටහනට නායකත්වය සපයන්නේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඒ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙසය. මහවැලි සතිය වැඩ සටහන් ගැන  එහි අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභාය ජයරත්න මහතා සඳහන් කරන්නේ මෙවන් අදහසකි.
‘අපේ ජනතාවට කෘෂිකර්මය අලුත් දෙයක් නොවේ. නමුත් විවෘත ආර්ථිකය තුළ අඩුමිලට වෙළෙඳ‍පොළේ ආහාර සුලභ වූ නිසා අපේ ගොවිදරුවන් බොහෝ දෙනෙක්  ගොවිතැන අතහැර රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමු වී තිබෙනවා.  මේ නිසා මේ රටේ කෘෂිකර්මාන්තය  යම් කඩා වැටීමක් සිදුව තිබෙනවා. අද ලෝකයේ  සෑම රටකම ආර්ථික  ගැටලු මතුව තිබිම නිසා සෑම රටකම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිහින්. ඒ නිසා අද අපේ වෙළෙඳ‍පොළෙත් ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා ජනතාවට  අනපේක්ෂිත අපහසුතාවලට මුහුණදීමට සිදුව තිබෙනවා.’
 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආහාර නිෂ්පාදන  සංග්‍රාමය ප්‍රකාශයට පත් කරන්නේ එවැනි පසුබිමකය. මේ කාරණය කාලීන අත්‍යවශ්‍ය කාරණයක්. මේ කටයුත්ත  සාර්ථක කර ගන්න සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා සියලු පුද්ගලයන් තම තමන්ට හැකි අයුරින් ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. අපි මහවැලි  අධිකාරිය මෙහි පෙර ගමන්කරුවෙකු වී මහවැලි සතිය නමින් වැඩසටහනක් ප්‍රකාශයට  පත් කරලා තිබෙනවා. අපේ තේමාව තමයි‘ යළි අපි නැඟිටිමු  - අටුකොටු පුරවමු’ කියන එක. 2017 ඔක්තෝබර් 05 සිට ඔක්තෝබර් 12 දක්වා මේ වැඩ සටහන අපේ මහවැලි කලාප දහයම අවාරණය වන පරිද්දෙන් වැඩසටහන් සංවිධානය කරලා තිබෙනවා” යැයි ගෝඨාභය ජයරත්න මහතා කීවේය.
මහවැලි සතිය ආරම්භ වන්නේ ලබන 05 දාය.  එදින ආගමික දිනය ලෙස නම් කර ඇත. ඒ අනුව ප්‍රධාන ආගමික වැඩසටහන් පැවැත්වෙන්නෙ දඹුළු විහාරය, හා ශ්‍රී මහා බෝධිය අසලදීය. ඊට අමතරව  හුරුළුවැව මහවැලි සී කලාපය, රඹකැන්ඔය  මහවැලි සී කලාපය, වලව, මහවැලි  එල් හා එච් කලාප, මොරගහකන්ද, මැදිරිගිරිය හා වික්ටෝරියා  යන ප්‍රදේශවලදී බෝධි පූජා, වැසි පිරිත්, දේව පූජා, ආධ්‍යාත්මික වැඩ සටහන්, ධර්ම දේශනා හා  දානමය පින්කම් වැනි ආගමික වැඩ සටහන් පැවැත්වේ.
ගොවි දිනය ලෙස නම් කර ඇත්තේ ඔක්තෝබර් 6 වනදාටය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙදින ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය සඳහා හුරුළුවැව මඩාටුගම  කොට්ඨාශයේ තිබ්බටුවැව ඒකකයේදී වප්මඟුල් උත්සවය පැවැත්වේ. මෙදින  මහ කන්නයේ  වගා සැලැස්ම ප්‍රකාශයට පත් කෙරෙන අතර ගෙවතු සංවර්ධන විශේෂ වැඩ සටහනද ආරම්භ කරනු ඇත. මහවැලි ගොවීන්ගේ  ඉඩම් ඔප්පු ප්‍රදානය අවාරයේ වගා කළ ගොවීන්ට ත්‍යාග ප්‍රදානය, මහවැලි පදනම  ශිෂත්ව ප්‍රදානය, ගොවීන්ට බිජ, පැල හා කෘෂි උපකරණ බෙදා දීම, කොස් හා පලතුරු පැළ 5000ක් රෝපණය ආදී වැඩ සටහන් රැසක් එදින ක්‍රියාවට  නැංවීමට නියමිතය. ජාතික ආහාර නිෂ්පාදන  සංග්‍රාමය වෙනුවෙන් 2017/2018  මහ කන්නයේදී  මහවැලි කලාපවල වී නිෂ්පාදනය  මෙ.ටොන් 50,0000ක් ඉලක්ක කර ඇති අතර  බඩ ඉරිඟු මෙ.ටොන් 8690 ක්ද  , සෝයා මෙ.ටොන් 1554ක්ද ලොකු ලූනු බිජ මෙ.ටොන් 12 ක්ද මිරිස් , මෙටොන් 3856ක්ද මාෂ බෝග මෙ.ටොන් 1500ක්ද කුරක්කන්  මෙ.ටොන් 970ක්ද  කෘෂි ළිං යටතේ  එළවළු මෙ.ටොන් 46000ක්ද  නිෂ්පාදන ඉලක්ක ලෙස තබාගෙන ඇත.මේ අතර ඉදිරි වර්ෂ තුන ඇතුළත ආදර්ශ ගෙවතු 15000ක්ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
අධ්‍යාපන හා පරිසර දිනය ලෙස නම්කර ඇත්තේ ඔක්තෝබර් මස 7 වැනිදාය. මෙදින මහවැලි කලාපය තුළ පිහිටි පාසල් 223ක ආදර්ශ ගෙවතු ආරම්භ කිරීමත්, සිසුන් සඳහා මහවැලි ජලාශ නැරඹීමට අවස්ථාව ලබා දීමත් සිංහල සාහිත්‍ය  රසාස්වාදය සඳහා සිසුන් 250කට වැඩමුළු පැවැත්වීම හා මහවැලි කලාපයේ පුස්තකාල 10ක් සඳහා  රුපියල් 25000ක් බැගින්  වටිනා ‍පොත් කට්ටල ප්‍රදානයක්ද සිදු කිරීමට නියමිතය.
පශු සම්පත් දිනය වන්නේ ඔක්තෝබර් 08 වැනිදාය. මෙදින  රුපියල් මිලියන 2.5ක් වටිනා කිරි ගවයින්, කුකුළු පැටවුන්, කිරි දොවන යන්ත්‍ර , ගව නිවාස, කුකුළු නිවාස,   තෘණ  කැබලි කරන යන්ත්‍ර ආදිය ගොවීන්ට ප්‍රදානය කිරීමට නියමිතය. එමෙන්ම  සත්ව ආහාර නිෂ්පාදනය හා සත්ව  සායන පිළිබඳ වැඩමුළු පැවැත්වීමටද මෙදින සැලසුම් කර තිබේ.
ව්‍යවසායකත්ව දිනය වන්නේ  ඔක්තෝබර් 09 දාය. මෙදින මහවැලි සුළු පරිමාණ ව්‍යවසහයකයන්ට  සහන පදනම මත රුපියල් මිලියන 1.5ක් වටිනා භාණ්ඩ හා උපකරණ බෙදාදෙනු ලබන්නේය.  එමෙන්ම තරුණයන් සඳහා  ස්වං රැකියා මැඩමුළු 8ක්ද  ආහාර සකස් කිරීමේ තාක්ෂණය පිළිබඳ කාන්තා වැඩමුළු 10ක්ද  ස්වයං රැකියාලාභීන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශන වැඩමුළු 2ක්ද මෙදින  මහවැලි කලාපයන්හිදී පැවැත්වේ. භූ විද්‍යා හා  පතල් කැණීම් අංශයේ දායකත්වයෙන් මහවැලි සේවා වනිතා ඒකකය මහවැලි සී කලාපයේ ඉදිකර ඇති රුපියල් ලක්ෂ 19ක් වටිනා නිවාසය අදාළ පවු‍ලේ සාමාජිකයන් වෙත පිරිනැමීම සිදුවන්නේද මෙදිනටය. මෙදින   හුරුළුවැව කලාපයේ වැඩ සටහන් 3ක්ද, සී කලාපය  තුළ වැඩසටහන් 3ක්ද,   රඹකැන්ඔය කලාපයේ වැඩ සටහන් 3ක්ද, බි කලාපයේ වැඩ සටහන් 2ක්ද, මහවැලි වලව කලාපයේ   විවිධ වැඩ සටහන් 5ක්ද,  එල් කලාපයේ වැඩ සටහන් 4ක්ද  එච් කලාපයේ වැඩසටහන් 2ක්ද, මොරගහකන්ද කලාපයේ වැඩසටහන් 5ක්ද, මැදිරිගිරිය කලාපයේ වැඩ සටහන් එකක්ද, වික්ටෝරියා කලාපයේ වැඩසටහන් 3ක්ද, ආදී වශයෙන් ව්‍යවසහයකත්ව සංවර්ධනයට අදාළ වැඩසටහන් 31 ක් පැවැත්වේ. මහවැලි කලාප සියල්‍ලේ්ම ප්‍රධාන ව්‍යවසහයකයන්ගේ සහභාගිත්වයෙන් මහ ව්‍යාපාරික හමුව කොළඹ මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වීමට මහවැලි අධිකාරියේ ව්‍යාපාර සංවර්ධන අංශය කටයුතු කර තිබේ.
ඔක්තෝබර් 10 දා  ධීවර දිනය ලෙස මහවැලි සතිය තුළ වෙන් කර තිබේ. මෙදින මහවැලි ජලාශයන්ට මත්ස්‍ය ඇඟිල්ලන් ලක්ෂයක් නිදහස් කිරීමට නියමිතය. මීට  අමතරව මහවැලි ධීවර ජනතාවට රුපියල් ලක්ෂ 10ක ධීවර ආම්පන්න සහන පදනමින් ලබා දීමට සැලසුම් කර ඇත. මීට අමතරව මහවැලි කලාප 10 තුළ  ධීවර කර්මාන්තයට අදාළ විවිධ වැඩ සටහන් 17ක් පැවැත්වීමට සූදානම් කර ඇත.
රාජ්‍ය සේවක දිනය සඳහා වෙන්කර ඇත්තේ ඔක්තෝබර් 11 දිනයයි. මේ නිමිත්තෙන් මහවැලි කලාප  10 තුළ පිහිටි කාර්යාල 54ක් ආදර්ශ කාර්යාල බවට පත් කිරීමේ වැඩ සටහන ආරම්භ කිරීමට නියමිතය.   ඒ අතර මහවැලි නිලධාරීන්ගේ ආකල්ප සඳහා ඵලදායිතාව වර්ධනය සඳහා වැඩ මුළු 10ක්ද, සංවිධානය කර තිබේ. එමෙන්ම මහවැලි කලාපයේ කලාප 10ක තුළ රාජ්‍ය සේවයට අදාළ වැඩසටහන් 90ක් මෙදින පැවැත්වීමටද සැලසුම් කර ඇත.
දියවර දිනය වෙන් කර ඇත්තේ ඔක්තෝබර් 12 දිනටය. මෙදින මහවැලි සතියේ අවසන් දිනයයි. මෙදින මහවැලි කලාප තුළ වාරි ඇළ පද්ධති අලුත්වැඩියා හා ශුද්ධ කිරීම කටයුතු ශ්‍රමදාන 223ක් සංවිධානය කර ඇති අතර සහභාගිත්ව ජල කළමනාකරණ වැඩමුළු 16ක්ද පැවැත්වීමට සැලසුම් කර ඇත. මීට අමතරව මහවැලි කලාප 10 තුළ දියවර දිනය නිමිත්තෙන් විවිධ වැඩ සටහන් 80ක් පැවැත්වීමට සූදානම් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආහාර නිෂ්පාදන සංග්‍රාමය මහවැලි  කලාපයට සීමාවූවක් නොවේ. එය  මුළු රටම වැළඳගත යුතු ජාතික වැඩසටහනකි. දේශපාලන පිල් බෙදීම්වලින් තොරව අපේ රටේ අපට අවශ්‍ය ආහාර අපිම  නිපදවා ගන්නා මෙම වැඩසටහන කාලීන අවශ්‍යතාවයකි. අතීතයේදී  අඩු පහසුකම් සහිතව  සුළු ජනකොටසක් අපේ රට සහලින් ස්වං‍පෝෂිත කළේ නම් මෙවන් හපන්කම් කරන්නට අද අපිට එදාටත් වඩා පහසුකම් හා ජන බලය ඇත්තේය. අවශ්‍ය වන්නේ මනා සංවිධානයක් හා  සමගිව රටේ ආර්ථික ක්‍රියාවලිය  පණ ගන්වා ගැනීමේ අධිෂ්ඨානශීලී කැපවීමකි.

ජයසූරිය උඩුකුඹුර

හිටපු ජනපති ‍ලේකම් ලලිත් වීරතුංග හිරේට නියම කළ නඩු තීන්දුව නිසා මින් පසු රජයේ නිලධාරීන් රාජකාරි කිරීමට බියක් දක්වනු ඇති බව මේ දිනවල පැවැසෙන කතාවකි. ඒ ගැන විදේශ කටයුතු  අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ රැසක ‍ලේකම් ධුරය දරා ඇති කීර්තිමත් පරිපාලන නිලධාරියකු වන ලයනල් ප්‍රනාන්දු අදහස් දැක්වූයේ මෙසේය. 
 
වත්මන් පරිපාලන ක්‍රමය අපට ලබා දුන්නේ ඉංග්‍රීසින් විසිනි. එංගලන්තයේ අධ්‍යාපනයට මුල්තැන ලබාදෙන විට ඔවුන් ලංකාවේත් අධ්‍යාපනයට මුල් තැන ලබාදුන්හ. සෞඛ්‍යය පහසුකම් නොමි‍ලේ ලබාදුන්හ. ඒ කෙසේ වෙතත් හොඳින්ම කළ දේ වන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්ෂා කිරීමයි. කොයි ආණ්ඩුව බලයට පත්වුවත් මුදල් ලබාගැනීමට පාර්ලිමේන්තුවට අය වැය ‍ලේඛනයක් ඉදිරිපත් කළ යුතුය. මේ අයවැය ‍ලේඛනය ගැන රටේ කොයි කවුරුත් බලා සිටින්නේ මහත් උනන්දුවෙනි. ඒ මගින් ලබා දෙන මුදල් අයවැය මගින් රාජ්‍ය  ආයතනවලට ලබාදෙන මුදල් වියදම් කරන ආකාරය ගැන පාර්ලිමේන්තුව විමසිලිමත් වෙයි. මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148,149, 150 යන වගන්ති තුනෙහි ඒ පිළිබඳව පිටු තුනක් පුරා විග්‍රහ කර තිබේ. අය වැය ‍ලේඛනය මගින් කිසියම් අමාත්‍යාංශයකට හෝ දෙපාර්තමේන්තුවකට වෙන් කළ මුදල් ප්‍රමාණවත් නොවන්නේ නම් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් අමතර මුදලක් වෙන් කරගත හැකිය. මැතිවරණයකදී කටයුතු කරන ආකාරය, පාර්ලිමේන්තුව විසුරුවා ඇති කාලයේදී මුදල් ඇමැති කටයුතු කළ යුතු ආකාරය ගැනද එහි පැහැදිලිව සඳහන් කර තිබේ. මුදල් ඇමැතිවරයාට වුවද රාජ්‍ය මුදල් භාවිතයේදී සිය අභිමතය පරිදි කටයුතු කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත.
කිසිම රාජ්‍ය සේවකයෙකුට රාජ්‍ය මූල්‍ය පාලන ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියාකළ නොහැක්කේය. එහෙත් ඇතැම් අවස්ථාවලදී රාජ්‍ය නිලධාරීන්ට සිය අභිමතය භාවිත කිරීමට සිදුවන අවස්ථාද තිබේ. 
රාජ්‍ය නිලධාරීන් සෑම අවස්ථාවකදීම තමන්ගේ අමාත්‍යාංශයේ ඇමැතිවරයා කියන ආකාරයටම කටයුතු කළ යුතුදැයි යන්න ගැන අවධානය යොමු කරයි. ඇමැතිවරයෙක් කියන දේ රාජ්‍ය නිලධාරියා දිගින් දිගටම ඉටු නොකරන විට කිසියම් සිත් බිඳීමක් නිරායාසයෙන්ම සිදුවීම ස්වාභාවිකය. ප්‍රේමදාස ජනාධිපතිවරයාට හැර අනෙක් සියලුම ජනාධිපතිවරුන්ට මම සෘජුවම සේවය කර ඇත්තෙමි. එසේම විවිධ රජයන් යටතේ විවිධ ඇමැතිවරුන් ගණනාවක් සමග කටයුතු කර ඇත්තෙමි. 70-77 රජයේ ප්‍රබලතම ඇමැතිවරයා වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක ඇමැතිවරයා සමග වරක් මට ගැටෙන්නට සිදුවිය.  දෙදෙනාගේම සිත් නොරිදෙන ආකාරයට එම ගැටලුව විසඳාගෙන සුහදව කටයුතු කිරීමට හැකිවිය. රාජ්‍ය නිලධාරීන් ඇමැතිවරු සමග කටයුතු කිරීමේදී සෘජුව හා අනලස්ව කටයුතු කළ යුතුය. 
ඇතැම් අවස්ථාවලදී ඇතැම් ඇමැතිවරු විවිධ ගෙවීම් කරන ලෙස තම ‍ලේකම්වරුන්ට නියෝග කරයි. සෑම අවස්ථාවකදීම ඇමැතිවරු ලිඛිතව මෙම නියෝග දෙන්නේ නැත. බොහෝවිට දෙන්නේ වාචිකවය. 
මෑත කාලයේදී ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ‍ලේකම්වරයාට සිර දඬුවම් ලැබිම හා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පරීක්ෂණ නිසා රාජ්‍ය නිලධාරීන් සෘජුව කඩිනමින් කටයුතු කිරීමට බියක් ඇත්තේය යන මතයකි. මෙසේ බියවීමට කිසිදු හේතුවක් නැත. මූල්‍ය අපරාධ කොට්ඨාසයක් තිබුණත්  නැතත් පැය විසිහතරකින් ස්ථාන මාරුවීමක් ලබාගෙන යාමට බිය නැති රාජ්‍ය සේවකයකු සිටිත් නම් මේවාට බිය විය යුතු නැත.  
මම රාජ්‍ය සේවයේ කටයුතු කරන විට කිසිදු අවස්ථාවකදී බිය වූයේ නැත. රාජා සමරනායක රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේදී රජයේ ගබඩාව පැවැතියේ මගේ යටතේය. එක්තරා අවස්ථාවකදී අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරියෙක් පැමිණ එහි දූෂණ සිදුව ඇතැයි චෝදනා කළේය. එම දූෂණ මොනවාදැයි නිශ්චිතව පවසන්නේ නම් එම වැරදි නිවැරදි කිරීමට උත්සාහ ගන්නා බවට මම සහතික වීමි. මේ ගැන එම නිලධාරියාට පැහැදිලිව කරුණු ඉදිරිපත් කිරීමට නොහැකිවූ විට එම නිලධාරියාට ඇමැතිවරයා දොස් පැවරුවේය. මෙවැනි සිදුවීම්වලින් රජයේ සේවකයන්ට ධෛර්යයක් ඇතිවන නමුත් බියක් ඇතිවීමට හේතුවක් නැත.
තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගැනීමට දේශපාලනඥයන්ට රජයේ දේපළ යොදා ගැනීමේ චෝදනා එල්ලවෙයි. මැතිවරණයකට මාසයකට පෙර මැතිවරණ දෙපාර්තමේන්තුව රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන්නේ රාජ්‍ය සම්පත් මැතිවරණ කටයුතුවලට යොදා ගැනීමට අවස්ථාවක් නොදිය යුතු බවය. ඇමැතිවරයා කියන දේ මුල සිටම කිරීමට ගියහොත් රාජ්‍ය නිලධාරීන් උගුලට හසුවෙති. එවැනි අවස්ථාවකදී කළ යුත්තේ ඇමැතිවරයාටද කරුණු පහදා දී කටයුතු කළ යුත්තේ රාජ්‍ය නිලධාරියාය. නැතිනම් අමාත්‍යාංශ ‍ලේකම් නිසාය. 
මම වෙළෙඳ හා නාවික කටයුතු අමාත්‍යාංශයේ කටයුතු කරන කාලයේදී ජනාධිපති ‍ලේකම්වරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි. ඒ අවස්ථාව වන විට මම වෙළෙඳ අමාත්‍යාංශයේ වැඩ බලන ‍ලේකම්වරයා ලෙස කටයුතු කළෙමි. මහ‍පොළ අරමුදලින් 
ආරක්ෂක අමාත්‍යාංශයට මුදල් අවශ්‍ය බව ඔහු කීවේය. මහ‍පොළ අරමුදලින් මට මුදල් ලබාදීමට හැකියාවක් නොමැති බව ජනාධිපති ‍ලේකම්වරයාට ගැළපෙන ආකාරයට දැනුම් දුන්නේය. එම අරමුදල පවත්වාගෙන යන්නේ කමිටුවක් විසින් නිසාත්, මම එම මණ්ඩලයේ නොමැති නිසාත්, අගවිනිසුරුවරයා මෙම මණ්ඩලයේ ප්‍රධානියා නිසාත් එය කළ නොහැකි බව දැනුම් දුන්නෙමි.  එදින දිවා ආහාරය ගෙන නැවත කාර්යාලයට එන විට මගේ මේසය මත ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් මාගේ නමට ලිපියක් විය. එම ලිපියේ සඳහන් වූයේ ලයනල් ප්‍රනාන්දු නමැති මම වහාම ක්‍රියාත්මක වන පරිදි මහවැලි අමාත්‍යාංශයට මාරු කර යවන බවය. මා වෙනුවට පැමිණීමට සිටි මහවැලි අමාත්‍යාංශයේ නිලධාරියා නිදහස් කිරීමට ගාමිණී දිසානායක ඇමැතිවරයා කැමැති නොවූ නිසා එම මාරුවීම ක්‍රියාත්මක වූයේ නැත. මා කීමට උත්සාහ කළේ සාධාරණ හේතු මත දේශපාලන නියෝගයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්‍ෂේප කළ පමණින්ම රාජ්‍ය නිලධාරියෙක් ගෙදර යැවිය නොහැකිය යන්නයි. නීත්‍යානුකූල හේතු මත යම් දෙයක් කළ නොහැකි බව රජයේ නිලධාරියෙක් දැන්වූවිට එම නිලධාරියාගේ රැකියාව අහිමි කිරීමට ජනාධිපතිවරයාටද බලයක් නැත්තේය. කළ හැක්කේ වෙනත් තැනකට මාරු කර යැවීම පමණි. එහෙත් කවයක් සේ නැවතත් කැරකී පළමු සිටි තැනටම පැමිණෙනු ඇත.
 
සංජය නල්ලපෙරුම

දේශීය ආහාර බෝග වගා කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කොට ඇතැයි පැවැසේ. දේශීය ආහාර නිෂ්පාදනය අරභයා වර්තමානයේ පවතින්නේ ඉතා කනගාටුදායක  තත්ත්වයක් බව ඉතාම පැහැදිලිය. අයහපත් කාලගුණ තත්ත්වය, නිෂ්පාදන පිරිවැය ඉහළයාම, වෙළෙඳ ‍පොළ ගැටලු ආදි වාස්තවිත තත්ත්වයන් කරණකොටගෙන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ඉතා අවදානම් සහගත අඩියකට පැමිණ තිබෙන බව පෙනී යන කාරණයකි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළ කරුණක් වන්නේ සහල්, අල, ලූනු, කව්පි, මුංඇට, කුරහන්, වියළි මිරිස් වැනි දේශීය වශයෙන් වගා කළ හැකි ආහාර බෝග දිගින් දිගටම ආනයනය කිරීමට සිදුවීම ලැජ්ජාවට කරුණක් වන බවය.
ඉකුත් වසරේදීම මෙවැනිම දේශීය ආහාර ප්‍රවර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක කරනු ලැබිය. එහෙත් අයහපත් කාලගුණ තත්ත්වය නිසාදෝ  මේ වසරේ සැප්තැම්බර් මාසය වන විටත් අපි අඩුවක් නොමැතිව  සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය දිගින් දිගටම ආනයන කරමින් සිටින්නෙමු. ගොවි පුතෙකු හා කෘෂිකාර්මික ප්‍රදේශයකින් රටේ මුල් පුටුවට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මෙරට කෘෂිකර්මාන්තය නගා සිටුවීම  සඳහා අවංක වුවමනාවක් තිබෙන බව පැහැදිලිය. ඔහු විසින් මොරගහකන්ද ජලාශය ඉදිකිරීම සඳහා ගනු ලැබූ ප්‍රයත්නය තුළින් ඒ බැවි ගම්‍ය වෙයි. එහෙත් අවාසනාවකට මෙන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වගකිව යුතු අංශ වෙතින් ප්‍රමාණවත් සහායක් ජනාධිපතිවරයාට නොලැබිම නිසා ආහාර බෝග  
නිෂ්පාදනය මන්දගාමී තත්ත්වයකට ඇද වැටී තිබේ. එම නිසා ජනාධිපතිවරයාට  2017 වසරේදී ආහාර බෝග නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව වැඩ සටහනක් ඉදිරිපත් කිරීමට සිදුවී ඇත. 
 
සහල් නිෂ්පාදනය
 
‍පොහොර සහනාධාරය සඳහා වාර්ෂික අයවැයෙන් රුපියල් බිලියන 35ක් පමණ වෙන් කරන අතර එම වැඩ සටහන සඳහා දරනු ලබන වියදම  කෘෂිකාර්මික ක්ෂේත්‍රය සඳහා වෙන් කරනු ලබන මුළු ප්‍රතිපාදන  ප්‍රමාණයෙන් සියයට 60ක් පමණ වේ.
(මුදල් අමාත්‍යාංශය වාර්ෂික වාර්තාව 2016) රජය ‍පොහොර  සහනාධාරය සඳහා මෙපමණ මුදලක් වියදම් කරනු ලැබුවද අද වන විටද වෙළෙඳ ‍පොළේ සහල් ගැටලුවට විසඳුමක් ලෙස සහල් ආනයනය කොට බෙදා හැරීමට රජයට සිදුවි තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම මීට මාසයකට පමණ පෙරදී ප්‍රකාශ කළේ රටවල්  හතරකින් හෝ සහල් ආනයනය කොට වෙළෙඳ ‍පොළේ සහල් මිල අර්බුදයට විසඳුම් ලබාදෙන බවය. දැන් වෙළෙඳ ‍පොළේ සහල් සඳහා පැවති උපරිම මිල ඉවත් කොට  ඇත. ඒ අනුව එතෙක් රුපියල් 90ට  පමණ තිබූ සම්බා  සහල් කිලෝවක් රුපියල් 110 ක් පමණ දක්වා ඉහළ ගියේය. 2017 වර්ෂයේ “ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහන” පැමිණෙන්නේ මෙවැනි පසුබිමකය. අද වන විට ලංකා සතොසේ ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 136 කි. අර්තාපල් අල කිලෝවක මිල රුපියල් 159 කි. මෙය ඉතා ඉහළ මිලක් බව අමුතුවෙන් කිවයුතු නැත. දැන් වෙළෙඳ‍පොළේ උපරිම මිලක් නියම කොට ඇති භාණ්ඩයන් හෝ සේවාවන් සොයා ගැනීමට නොහැකිය. 2017 සඳහා ඉදිරිපත් කළ අය වැය ‍ලේඛනයෙන් කියා සිටියේ හාල් මැස්සන්, සාලයා, කරවල, උම්බලකඩ, ටින්මාළු ආදිය සඳහා සහනදායි මිලක් යටතේ අලෙවි කිරීමට පියවර ගන්නා බවය. නමුත් මේ වන වට වෙළෙඳ ‍පො‍ලේ හාල් මැස්සන්, කරවල ආදියෙහි  මිල විශාල වශයෙන් වැඩි වී තිබේ.
ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහන ධීවර සම්පත් ප්‍රවර්ධනය කිරීම සඳහාද වැඩ පිළිවෙළක් එකතු කළ යුතුය. මක්නිසාදයත් රටවටා  නොගැඹුරු මුහුදු  තීරයක් පැවැතීමත්, අමුතු පිරිවැයක් නොදරා මහමුහුදෙන් නොමිලයේ මාළු ලබාගැනීම හැකිවීමත් නිසාය. ආහාර නිෂ්පාදන වැඩ සටහන ගැන කතා කරමින් තවදුරටත් පිටරටින්, හාල්මැස්සන්, කරවල හා මාළු ආනයනය කිරීම ලැජ්ජා සහගත ක්‍රියාවන් බව අමුතුවෙන් කිවයුතු නැත.  
සෑම ආණ්ඩුවක් යටතේම දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා විවිධ නම්වලින් වැඩ සටහන් ඉදිරිපත් කරනු ලැබිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජය යටතේ “වගා ලංකා වගා සංග්‍රාමය පැමිණියේය. මහින්ද රාජපක්ෂ රජය යටතේ “දිවි නැගුම හා ගෙවතු වගා වැඩ සටහන” පැමිණියේය. වත්මන් රජය යටතේද දැන් “ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහන” පැමිණ තිබේ. මේ අන්දමට ඒ ඒ ආණ්ඩු යටතේ කෘෂිකාර්මික  වැඩ සටහන් පෙරට පැමිණියද ඒවායේ ප්‍රතිඵල ඉතා අල්ප විය. සත්‍ය තත්ත්වය නම් අප තවදුරටත් ආහාරවලින් ස්වයං ‍පෝෂිත නොවූ ජාතියක් වීමය. ශ්‍රී ලංකාවේ  අපට  ආහාර සුරක්ෂිතභාවයක් නොමැත. ඉන්දියාවෙන් හෝ පාකිස්තානයෙන් කරනු ලබන ආහාර ආනයනය කුමන හෝ  තත්ත්වයන් යටතේ වැළකී ගියහොත් ශ්‍රී ලංකේය ජනතාව දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙනු ඇත.
මේ නිසා ඉලක්කගත ජාතික ආහාර නිෂ්පාදන වැඩ පිළිවෙළක් රටට අවශ්‍යය. කටින් බතලකොළ සිටුවන ආකාරයේ වැඩ සටහන් තුළින් රටට යහපතක් වී නොමැති බව අප දිගින් දිගටම ආහාර ආනයනය මත රැදී සිටීම තුළින් පෙනී යයි. මේ අවදානමෙන් මිදීම සඳහා ආණ්ඩු මාරු වුවත් වෙනස් නොවන ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියන් සකස් කළ යුතුව ඇත. එහිදී ජනතාවටද කෙටිකාලයක් තුළ කිසියම්  කැප කිරීමක්  කිරීමට සිදුවනු ඇත. විදේශ ආහාර  මතම රැඳී නොසිටීම දේශීය ආහාර සඳහා හුරුවීම හා ඒ සඳහා කිසියම් කාලයක් ලබාදීම අප විසින් කළ යුතුම කාර්යයකි. ඉන්දියාව, ජපානය වැනි රටවල් සෑම අවස්ථාවකදීම පාහේ පරිභෝජනය කරනුලබන්නේ දේශීය නිෂ්පාදනයන්ය. එසේම එම රටවලට වෙනත් රටක 
නිෂ්පාදනය කරනු ලැබූ කෘෂි බෝගයක් පහසුවෙන් ආනයනය කිරීමද අසීරුය. තීරු බදු හා තීරුබදු නොවන බාධක යොදා දේශීය  ගොවිතැන් නිෂ්පාදනයන් ආරක්ෂා කර ගැනීමේ  වැඩ පිළිවෙළක් එම රටවල් අනුගමනය කරනු ලබයි.  එවැනි වැඩ පිළිවෙළක් හා ප්‍රතිපත්තියන් නොමැතිව කුමන කෘෂි නිෂ්පාදන වැඩසටහනක් දියත් කරනු ලැබුවද එය සාර්ථකවීමට ඇති ඉඩකඩ අඩුය.
 
විදුලි බිල හා ජල ගාස්තු
 
ඉදිරියේදී විදුලි බිල හා ජල ගාස්තු ඉහළ නැංවීමට සිදුවන බවට  ආරංචි මෙම සතිය ආරම්භයත් සමග පැතිරී ගියේය. විදුලි ඉංජිනේරුවන් මණ්ඩලයට පවසා  ඇත්තේ පාඩු පියවා  ගැනීම සඳහා විදුලි බිල ඉහළ නැංවිය යුතු බවය. එහෙත් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා පවසා තිබුනේ කිසිදු හේතුවක් මත විදුලි බිල ඉහළ නැංවීමක් සිදු නොකරන බවය. අමාත්‍යවරයා මීට මාස කිහිපයකට පෙර  කරනු ලැබූ ඉහත ප්‍රකාශය අදටත් වලංගු දැයි අපි නොදනිමු. කෙසේ  වෙතත් පවතින  තත්ත්වය යටතේ විදුලි ගාස්තුවද වැඩිකළහොත් රටේ ආර්ථිකයත් ජනතාවත් කබලෙන් ලිපට  වැටෙන බව පැහැදිලිය. ඉහළ ගොස් ඇති ප්‍රවාහන හා අනෙකුත් නිෂ්පාදන පිරිවැය හමුවේ  කර්මාන්ත කරුවන් ස්වකිය ව්‍යාපාර පවත්වාගෙන  යන්නේ ඉතා අසීරුවෙනි.
මෙරට නිෂ්පාදන කර්මාන්තවල තරගකාරීත්වය පහළ වැටීමට එහි පිරිවැය ඉහළයාම මූලික හේතුවක් වී තිබේ. විශේෂයෙන්ම ඉන්දියාව, චීනය, වියට්නාමය, බංග්ලාදේශය වැනි ආසියාතික  රටවල් ශ්‍රී ලංකාවට සාපේක්ෂව අඩු නිෂ්පාදන පිරිවැයක් යටතේ භාණ්ඩ හා පමණට වැඩි සේවා  නිෂ්පාදනය කරනු ලබයි. ඒ අතුරින් ඇඟලුම් ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවට වඩාත් සමීපය. මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ  නිෂ්පාදන පිරිවැය ඉහළ යාමට විදුලිය, ප්‍රවාහන වියදම් හා සේවක වැටුප් මට්ටම වැඩිවීම හේතුකාරක වී තිබේ. මෙවැනි පසුබිමක් යටතේ තවදුරටත්  ප්‍රවාහන වියදම් හා ජල ගාස්තු ඉහළ යෑමක්  සිදුවන්නේනම් කාර්මික ක්ෂේත්‍රයේ තරගකාරීත්වය තවදුරටත් පහළයාමක් අපේක්ෂා කළ හැකිය.
අනෙක් පැත්තෙන් පාරිභෝගිකයාගේ ජීවන වියදම ඉහළ යාමටද එය ආසන්න බලපෑමක් වනු ඇත. විශේෂයෙන්ම මෙරට විදුලි බිල ගැන සලකා බැලුවොත් එය ලෝකයේ  ඉහළම විදුලි ගාස්තු ගෙවන රටවල්වලින් එකකි. ප්‍රවාහන, දුරකථන අමාත්‍යාංශය හා ආහාර ද්‍රව්‍ය  ආදියෙහි බරෙන් හෙම්බත්වී සිටින ජනතාවගේ හිසමත විදුලිය හා ජල ගාස්තුවද පැටවුණහොත් ඔහුට පාන් කියා ගැනීමටවත් නොහැකි තත්ත්වයන් උදාවනු ඇත. 
 
සාලිය ජනක කුමාර

යහපාලන රජයට දෙවසරක් පිරී ඇත. මෙම රජය බලයට පත් කර දීමට මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලාට විශාල මෙහෙයක් කළ බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.  විශේෂයෙන් කෝට්ටේ නාග විහාරයේ සෝභිත නාහිමියන් ප්‍රමුඛ ප්‍රාදේශීය  මහා සංඝරත්නය වත්මන් යහපාලන රජය බලයට පත් කිරීමට සහාය වූයේ ප්‍රධාන කරුණු කිහිපයක් මුල්කරගෙනය.
විධායක ජනාධිපති බලතල අහෝසි කිරීමට දූෂණය, වංචාව, හොරකමට එරෙහිවීම හා ඉකුත් රජයේ එවැනි කටයුතු විමර්ශනය කර වැරදිකරුවන්ට දඬුවම් දීම ජාතික  හා ආගමික සහජීවනය ඇතිකර රට තුළ ශීඝ්‍ර දියුණුවක් ඇති කිරීම යන කරුණු ඉන් ප්‍රමුඛත්වයෙන් සැලකිය හැකිය. යහපාලන ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙපාර්ශ්වයම ගිවිසුමකට එළෙඹුනේද මේ කාරණා පිළිබඳ අවබෝධයෙන් යුතුවය. මේ ගිවිසුම අත්සන් කළේ දෙවසරකට ඉහතදීය. දැන් ඊටද කල් පිරී ඇත. අප දැන් ආපසු හැරී බලද්දී එදා මේ රජය බලයට පත් වෙද්දී දුන් ‍පොරොන්දු  ඒ ආකාරයෙන්  ඉටු වී ඇත්ද යන්න සැක සහිතය. යම් රජයක් ලබා දෙන ‍පොරොන්දු 100 ක්ම ඉටු කළ නොහැකි වනු ඇත. ඒ ගැන තර්කයක් අපට නැත. එසේ වුවද ප්‍රධාන කාරණා ඉටු කිරීමට මේ  රජය ගෙන ඇති පියවරයක් හා ඒවායේ ප්‍රගතිය විමසා බලද්දී සතුටුවිය හැකිද යන්න විමසා බැලිය යුතුව ඇත.
එදා සෝභිත හාමුදුරුවන් වේදිකා ගානේ හඬ නැගුවේ ජනාධිපති  විධායක බලතල අඩු කිරීම සඳහාය.  එහෙත් 19 වන සංශෝධනය ඉදිරිපත් කර ඊට ආරම්භයක් දුන්නා මිස දැන් ඒ ගැන කතාවක්වත් නැත්තේ ඇයි දැයි අපට  තේරුම් ගැනීමට අපහසු නැත. සෝභිත හිමියන්ගේ දේහය ඉදිරිපිටදීද රටේ නායකයන් කතා කරනු ලැබුවේ සෝභිත නාහිමි අපේක්ෂා කළ වෙනස යහපාලන රජය විසින් ඇති කරන බවය. පසුගිය කාල පරිචිජේදය තුළ රටේ ඇති වූ ස්වභාවික විපත් හේතුවෙන් යම් යම් කාරණා ඉටු කිරීමට රජයට අවස්ථාවක් නොවූ බවටද තර්කයක් නැත. එහෙත් කළ හැකි දේ නොකර නොකළයුතු දේ කරමින් මේ යහපාලන රජය ඇති කරන වෙනස කුමක්දැයි අසන්නට අපට සිදුව තිබේ.
වත්මන් රජය බලයට පත් වූ ගමන්ම 2015 පෙබරවාරි 27 වනදා සිදුකර ඇති මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව හා ඉන් සිදුව ඇති මහ මුදල් වංචාව දෙවසරක් යන්නට කලින් හෙළිදරව් කරගන්නට වත්මන් විපක්ෂයට හැකියාව ලැබි තිබුණද ඉකුත් රජයේ දස වසරක කාලයේ සිදු කළායැයි කියන කිසිදු හොරකමක්, දූෂණයක් ගැන නිවැරදි අයුරින් ඔප්පු කර ගන්නට වත්මන් රජයට මතෛක් හැකියාව ලැබි නැත.
මහ විශාල වංචා කළ බව කියමින් ඉකුත් රජයේ නායකයන් සම්බන්ධයෙන් යහපාලන රජය ලෝකයට කීවේ කුමක්ද? නමුත් අද මේ රජයේ මැති ඇමැතිවරුන් ඊටත් වඩා හොරකම් කර ඇති බවට ඔප්පු වෙමින් තිබෙන්නේ මේ දෙගොල්ලොම එකම පි‍ලේ අය බව සනාථ කරමින්ය. රජයේ නොහැකියාව වහ ගැනීමට දැන් පක්ෂය තුළත් ආණ්ඩුව තුළත් පිල් බෙදෙමින් එකිනෙකට චෝදනා කර ගැනීම අපි පිළිකුලෙන් යුතුව බලා සිටින්නෙමු. ගෙදර ගින්දර පිටතට දෙන්න එපා යැයි ගැමි වහරේ කියමනක් තිබේ. පක්ෂය තුළ තම සාමාජිකයන්ගේ ප්‍රශ්න කතා බහ කර විසඳා නොගෙන  එකිනෙකා අභිබවා යන ප්‍රකාශ කතා කරමින් අද බොහෝ ජනතාව අභිමුඛව රජය ස්වකීය අසාර්ථකභාවය ප්‍රකට කර තිබේ. 
විජේදාස රාජපක්ෂ මහතා අමාත්‍යවරයෙකු වුවද එ.ජා.ප.යේ සාමාජිකයෙකි.  ඔහු වරදක් කර ඇත්නම් ඒ පිළිබඳ පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා කර තීන්දු තීරණ ගත යුතුය. එසේ නොමැතිව විජේදාස අමාත්‍යවරයා සිය අමාත්‍ය ධුරයේ කටයුතු ඉටු නොකරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න රටේ ජනතාවට ප්‍රශ්නයකි. මේ නිසා දැන් එ.ජා.ප. පාක්ෂිකයන්ද පිල් බෙදෙමින් කොටසක් විජේදාස රාජපක්ෂ මහතාටද පක්ෂවද තවත් කොටසක් ඔහුට එරෙහිවද සිටිති. ඉදිරියේ ළඟ එන මැතිවරණයේදී මේ පිල් බෙදීම එ.ජා.ප.ය ජයග්‍රහණයට කොයි ආකාරයෙන් බලපාන්නේ දැයි පක්ෂයේ නායකයන් අවධානය යොමු කළ යුතු නොවේද?
මහින්ද රාජපක්ෂ රාජ්‍ය පාලන සමයේ සිදුවූවා යැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රමාද වීම හා නඩු පැවැරීමේ ප්‍රමාදය ගැන අගමැතිවරයාටද ඇඟිල්ල දිගු කරන්නට අපට සිදුව තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩල ප්‍රධානියාය. ඔහුට ඕනෑම අමාත්‍යාංශයක කටයුතු පිළිබඳ ඕනෑම වේලාවක විමසා බලා තීන්දු තීරණ ගත හැකිය.  එසේ තිබියදී ඔහු මේ නඩු ‍පොත් පරීක්ෂණ ප්‍රමාදය ගැන තමන්ගේම අමාත්‍ය මණ්ඩලයේ තමන්ගේම පක්ෂයේ අයෙකුට තමන්ගේම අය ප්‍රසිද්ධියේ පහර දෙද්දී බලා සිටීම ප්‍රජාතන්ත්‍රවාදී දැයි කිව හැකිද?
හම්බන්තොට වරාය බදු දීම සම්බන්ධයෙන් අප තුළ ඇත්තේ ජාතික ආර්ථිකය නංවාලීමට ගත් තීරණයක් යන හැඟීමය. ඉකුත් රජයේද මේ ආකාරයට රාජ්‍ය දේපළ බදු දීමට පමණක් නොව විකිණීමටද පියවර ගෙන ඇත. ඒ නිසාම ඒකාබද්ධ විපක්ෂයේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම මීට විරුද්ධ වීම ගැන අප පුදුමයට පත්ව සිටිමු. ඔවුන්ට මෙම බදු දීමට විරුද්ධ වීමට හා ඒ සඳහා ජනතාව පෙළ ගැස්වීමට අවස්ථාව උදා කර දුන්නේද රජයේ උදවියටය. මෙම ගිවිසුම සම්බන්ධයෙන් විවෘත සංවාදයක් කරන්නට අවස්ථාව තිබුණේ නම් විරුද්ධවාදීන්ට මෙම ගිවිසුම තුළින් රාජ්‍ය දේපළ විකුණා ගන්නවා යැයි සිතන්න හෝ ප්‍රකාශ කරන්නට අවස්ථාවක් නොලැබෙනු ඇත.
ගත වූ දෙවසර තුළ රටේ ජනතාවට සහනයක් වූ යමක් කළේද යන්න පිළිබඳව ජනතාව තුළ නම් මතකයක් නැති තරම්ය. අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන හුදෙකලාව ඔවුන්ගේ කටයුතු කරගෙන යද්දී කරලියේ දක්නට ලැබුණේ රජයේ පාර්ශ්ව දෙක (ශ්‍රීල.නි.ප. , එ.ජා.ප) ඇතැම් කරුණු වලදී කඹ අදිමින් එකිනෙකා විවේචනය කර ගැනීමකි. ඔවුන් තුළද අපට අසන්නට දකින්නට ලැබුණේ ඒවාය.
ඔවුන් තුළ දකින්නට ලැබෙන දෙයින් රජයක් තිබේද යන ප්‍රශ්නය මතුවන බව හැඟීයන බව සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයාමය. එසේ වීමට හේතුව ඉකුත් දෙවසර තුළ රජයේ ජනතා වැඩසටහන් මාධ්‍ය මගින් ප්‍රචාර නොවීම බව පැහැදිලිය. ඊටද වගකිව යුත්තේ රජයමය. රජයේ වැඩ පිළිබඳ මාධ්‍යයන්ට  තොරතුරු සපයා දෙන්නට කෙතරම් බලවත් යාන්ත්‍රණයක් තිබේදැයි අප සිතිය යුතුය. ඕනෑම නියෝජ්‍ය  අමාත්‍යවරයෙකුට සෑම අමාත්‍යවරයෙකුටම ප්‍රධාන ‍ලේකම්වරුද ඒ ඒ අමාත්‍යාංශයන්ට මාධ්‍ය ඒකක හා ඊට අයත් කාර්ය මණ්ඩලයද ඇත. රජයේ පුවත්පත්ද, පුවත්පත් දෙපාර්තමේන්තුවද අගමැති හා ජනාධිපති මාධ්‍ය අංශයන්ද ක්‍රියාත්මක වන්නෙය. එසේනම් ඉකුත් දෙවසර තුළ රජයේ ජනතා වැඩසටහන් මාධ්‍යයට ලබාදී තිබුණද එසේ ලබාදී තිබියදීත් ප්‍රචාරය නොවූවාද? එසේ නැත්නම් මාධ්‍ය ආයතනවලට රජයේ සංවර්ධන කටයුතු ගැන තොරතුරු ලබාදී නැද්ද යන්න පිළිබඳව සොයා බැලිය යුතුය. මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට දොස් පැවැරීමට පෙර මේ සම්බන්ධයෙන් සොයා බලා එසේ තොරතුරු ලබාදී නැත්නම් අදාළ නිලධාරීන් සම්බන්ධයෙන්ද රජය සුදුසු පියවර ගත යුතුය. 
රජයේ දෙවන මුදල් අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශයට පත් කළ බදු අඩුවීම හා ණය‍පොලී පහත දැමීම ඉතා වැදගත්ය. මේ රජය බලයට පත් වූ සැණින් ඉන්ධන මිල අඩුකර එම මිල ස්ථාවරව පවත්වාගෙන ගියේය. පසුගිය වසරේ විවිධ බදු පැනවීම් නිසා ජනතාවට යම් අපහසුතාවක් දැනුන බව සැබෑය. මේ රජයේ පළමු අයවැයෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ දහතුනක පාලන මිල අඩුකර පාලන මිලකට යටත් කරන බව කීවද එය වෙළෙඳ‍පොළේ ප්‍රායෝගිකව සිදු නොවූ බවද අදටත් ජනතාව නගන මැසිවිල්ලකි. මේ නිසා වත්මන් රජයේ මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශනයන් ජනතාව එතරම් ගණන් නොගන්නා තත්ත්වයකට පත්ව ඇත. මේ ස්වභාවය ජනතාවගේ සිත් සතන් තුළින් ඈත් කර ඔවුන්ට රජයේ ප්‍රකාශන කෙරෙහි විශ්වාසයක් ඇති වන පරිද්දෙන් ක්‍රියාකළ යුතු වීම අත්‍යවශ්‍ය වේ.  
අප රටේ මහා සංඝරත්නයේ බහුතරයකට පක්ෂ දේශපාලනයක් නැත. අප මේ යහපාලන රජය පිහිටුවා ගැනීමට  ශක්තිය ලබා දුන්නේ පක්ෂ දේශපාලන අරමුණකට වඩා මේ රටේ බෞද්ධ අබෞද්ධ දායක දායිකාවන්ගේ අනාගත සුබ සිද්ධිය සඳහා යහපාලන රජයෙන් යම් කාර්යභාරයක් සිදුවනු ඇතැයි විශ්වාසයෙනි. අප දේශපාලන පක්ෂ වශයෙන්  හෝ පෞද්ගලිකව දේශපාලකයන් සම්බන්ධව විශේෂ පැහැදීමක් හෝ විශේෂ කලකිරීමක්ද නැත. අපට ඇත්තේ අපේ දායක රට වැසියන්ට  රජයකින් සිදුවිය යුතු යුතුකම් හා වගකීම් පිළිබඳව සොයා බලා ඊට අවශ්‍ය මග පෙන්වීම රාජ්‍ය නායක කාරකාදීන්ට ලබාදීමටය.
මේ රටේ ෙතේ‍රනිකායික මහ නාහිමිවරුන්ගේ අනුශාසනා රජය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම වැදගත් වනු ඇති බවද මෙහිදී මතක් කළ යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවක් ඇති බවත් අපටද පෙනෙන්නේ නැත. අවශ්‍ය වන්නේ ජාතික සංහිඳියාව සඳහා සුළු ජාතීන්ගේ සැකබිය දුරු කරන සංශෝධන කිහිපයක් පමණි. එහිදීද රටේ ඒකීයබාවයත්, බුද්ධාගමත් ප්‍රමුඛත්වයෙහිලා සැලකීම යන කාරණාවලදී. ඊට හානියක් හෝ වෙනත් ආකාරයකින් ඊට දවෛනි හෝ සමතැන හිමිවන වගන්ති ඇතුළත් නොකළ යුතු බවද අපි අවධාරණය කරමු. මේ රටේ සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් හෝ වෙනත් ජාතීන්ට එකට ජීවත්වීමට මතෛක් කල් බාධාවක් හෝ ගැටලු තිබුණේ නැත. මේ ගැටලු ඇති කරමින් ඒවා ජාතික ප්‍රශ්න බවට පත් කරන්නේ දෙමළ හා සිංහල අතළොස්සකි. ඒ අතළොස්සක් දෙනා රජයට හා ජාත්‍යන්තරයට බලපෑම් කරන්නේ කෙසේද ඒ සඳහා ඔවුන්ට ශක්තිය දෙන්නේ කවුදැයි විමසා බලන්නේ නම් සත්‍ය හෙළිදරව් කරගත හැකිය.
මේ රටේ ජාති හෝ ආගම් හෝ භේදයක්  නැත. එවැන්නක් ඇති බව පෙන්වීමට ඇතැම් පිරිස් දරන උත්සාහය ව්‍යර්ථ කළ යුතුය. ඒ සඳහා රජය කළ යුත්තේ ව්‍යවස්ථා සම්පාදනය කොට හෝ අවස්ථාවාදී අතළොස්සක් දෙනා රටට හෙළිකර ඔවුන්ට  දඬුවම් පැනවීමය. අප දන්නා තරමට  දකුණේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් සාමාන්‍ය ජනතාවට ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න නැත. ඔවුන් බලෙන් මේ ජාතිවාදී ආගම්වාදී කලබලවලට ඇද ගන්නට  ඇතැම් පිරිස් උත්සාහ කරමින් විවිධ උපාය මාර්ග ක්‍රියාකාරකම් උතුරේදීත්, දකුණේදීත් ක්‍රියාත්මක කරන බවට නැගෙන චෝදනා සනාථ කර ගැනීමද රජයේ වගකීමයි. 
දෙවසරක් අවසානයේ ආපසු හැරී බලා සතුටුවන දේට වඩා අනාගතය සඳහා සැලසුම් කළයුතු දේ හඳුනාගත යුතුය. හෙට දවස ශ්‍රී ලාංකේය ජනතාවට යහපත් දිනයක් උදාකර දීමට මේ යහපාලන රජයේ මූලික වගකීම් බවට අමතක නොකළ යුතුය.
 
යටමලගල සුමනසාර හිමි
සිංගප්පූරුවේ  ක්වීන් ලිංග් විහාරයේ 
ආගමික උපදේශක හා කැලණිය පට්ටිවිල ජාත්‍යන්තර බෞද්ධාගම මධ්‍යස්ථානාධිපති


රටේ සංවර්ධනයට අප කිසිවෙකු විරුද්ධ නැති බව මුලින්ම කිවයුතු කාරණාවක්ව පවති. එසේම සංවර්ධනයේ නාමයෙන් ලංකාවේ අධිවේගී මාර්ග ඉදිවෙනවාට විරුද්ධත්වයක් නොමැතිවා මෙන්ම රටේ සියලු මාර්ගයන් අධිවේගී වුවද එය අප පිළිගැනීමට සුදානම්ය. එහෙත් ප්‍රශ්නය වන්නේ එසේ අධිවේගී මාර්ග ඉදිකිරීමේදී කෙරෙන නාස්තිය, දූෂණය, වංචාව, හොරකම පිළිබඳ  දේ ගැනය. විශේෂයෙන්ම පැවැති මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වන විට තිබූ ප්‍රධාන චෝදනාවක් අතර වූයේ මග නැගුම ආදී වශයෙන් සමාගම් පිහිටුවාගෙන යමින්, අධිවේගී මාර්ග සහ රටේ පාරවල් ආශ්‍රිතව කළ සොරකම්ය. එය එසේම අද වන විටද ඒ ආකාරයටම අධිවේගී මාර්ගවලින් විශාල ප්‍රමාණයේ දුෂණයන් සිදුවන බව පෙනී යයි.
කොළඹ සිට මාතර දක්වාත්, මාතර සිට හම්බන්තොට දක්වාත් දිවෙන අධිවේගී මාර්ගයේ මේ වන විට මාතර හම්බන්තොට කොටස ඉදිවෙමින් පවති. එය ප්‍රධාන සමාගම් තුනක් විසින් කොටස් හතරකට ඉදිකිරීම් පවතින අතර මේ සඳහා  ශ්‍රී ලංකාව රටක් ලෙස ණය ආධාර ලබා ගෙන ඇත්තේ චීනයෙනි. එසේ චීනයෙන් ගන්නා ණය, ‍පොලී සමග ගෙවීමට නියමිතව ඇත. මෙම කොටසට පමණක් ගෙන තිබෙන ප්‍රමාණය රුපියල් බිලියන 243කි. හම්බන්තොට වරාය විකුණා, ලැබෙන ගාණටත් වඩා වැඩි ගණනක් ලෙස එය පෙන්වා දිය හැකිය.
මෙසේ ණය රැගෙන ඉදිකිරීම් කටයුතු කරන මෙම ක්‍රියාවලිය සඳහා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවෙක් සහ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් උපදේශන සේවාවන් ලබාදෙන සමාගමක් පවති. මෙහි විශේෂත්වයක් ඇත. එනම්, ණය ගැනීම සිදුවන්නේත්, අදාළ උපදේශන සේවාවන් ලබා ගැනීමත් චීනයෙන්ම වීමය. කෙසේ වුවද මෙහි උපදේශනය ලබා ගත් වෙනත් රටවල තත්ත්වයන් ප්‍රගතියන් කෙසේද යන්න සොයා බලා නොමැති වීමද තවත් ගැටලුවක්ව පවති.
අදාළ උපදේශනවලට ගාස්තු ගෙවීම සිදුකෙරුණද ආසන්න වශයෙන් ඩොලර් බිලියන 12ක් ලංකාවට ඔවුන් ගෙන ආ යුතු වුවත් මේ දක්වා ණය ලබාදී නැත. මෙහි සිදුවිය ඇති ගැටලු ගණනාවකි. චීන බැංකුවක් විසින් අනුමත කර ඇති මෙම ණය තවමත් ලංකාවට ලැබි නැති අතර මතුවන ගැටලුවක් වන්නේ අවුරුදු ගණනක් ගොස් ඔවුන් බිල් පත් ඉදිරිපත් කිරීමේදී ‍පොලී සහිතව ප්‍රමාද ගාස්තු සහිතව ඒ බිල්වලට අපට ගෙවීමට සිදුවීමය. ශ්‍රී ලංකා රජයට එය ගෙවීමට නොහැකි වුවහොත් සිදුවන්නේ මෙම අදාළ ඉදිකිරීම සහ උපදේශනයේ වටිනාකමට සරිලන ලෙසට අධිවේගී මාර්ගය චීනයටම විකිණීමට සිදුවීමය. අප මෙහිදී ඉතා වගකීමෙන් කියා සිටින්නේ අදාළ මෙම ණය ගනුදෙනුවත් සමග, අධිවේගී මාර්ග ඉදිකරන ක්‍රියාවලියත් සමග අනිවාර්යයෙන්ම මෙම ණය ගෙවා ගැනීමට බැරි තත්ත්වයක් මතු වීමත්, ණය සහ ‍පොලී ගෙවා ගැනීමට නොහැකි වීමත් නිසා ණයට හිලව්වක් ලෙසට අධිවේගී මාර්ගය චීනයටම දෙන්න සිදු වෙනවා යැයි ආණ්ඩුවේ පාලකයන් විසින් පැවැසීමට ඉඩ තිබෙන බවය. එය ඉතාම පැහැදිලිය.
දැනට මෙම ඉදිකිරීම්වල පළමුවෙනි කොටස සිදුකරන්නේ කැතික් යන චීන සමාගමක් විසිනි. අදාළ සමාගම කරන මෙම ගනුදෙනු අයථා කටයුතු සියල්ල චීන රජය සම්පුර්ණ වශයෙන් දැන සිටින බව අප විශ්වාස නොකරන අතර චීන රජයටත් සඟවා මෙම කටයුතු සිදුකරන බව පෙනී යයි.
උපදේශන සේවා සපයන ආයතනයත්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියත් අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුම ව්‍යාපෘති එකඟතා ගිවිසුම තුළ පැහැදිලිව ඇති කාරණයක් තිබේ. එනම්, මෙම උපදේශකයා සපයන උපදේශන එහි සේවා දායකයා ලෙස සිටින ශ්‍රී ලංකා රජය තෘප්තිමත් විය යුතු බවය. එහිදී ඔවුන්ගේ තාක්ෂණික සම්පත්, ඔවුන් සපයන සේවාවන් පිළිබඳව, ඔවුන්ගේ තාක්ෂණික හැකියාව, මේ සියල්ල පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් අදාළ ගිවිසුම වලංගු වන්නේ නැත යන්නය. එසේ තෘප්තිමත්භාවයක් සපයන සේවයක් මේ වන විට සපයා තිබේද යන්න අප විමසා බැලිය යුතුව තිබෙන කාරණයකි.
අපට කිවයුතුව තිබෙන කාරණාවල ප්‍රධානම දේ තමයි මේ ගිවිසුම අනුව එකඟතාවයට පත් වුණු ආකාරයට හදන්න තියෙන කොටස්වල,  ප්‍රධාන කොටස් දෙකක් ඇත. එක් කාරණයක් වන්නේ අධිවේගී මාර්ගය හදන විට ගුවන් පාලම් හැදීමය. ගුවන් පාලම් කොපමණ තිබේද යන්න ඇස්තමේන්තු කළ යුතුව තිබේ. එසේම අනිත් ඒවා වන්නේ සාමන්‍ය ස්ථාන හදන්න පස් පුරවන්න.  දැන් මේ උපදේශන සමාගම අදාළ සැලසුම් නිර්මාණය කිරීමේදී  ඔවුන් ඉදිරිපත් කරන කරුණු අනුව, ගුවන් පාලම කොච්චරක් හදනවද, ගුවන් පාලම්වල දිග කොපමණද, ඒ දුරට යන ඇස්තමේන්තුව කොපමණද, ඒ සඳහා එක කිලෝ මීටරයකට යන වියදම කොපමණද කියලා ඇස්තමේන්තු කර මෙම කාර්යය ආරම්භ කළ යුතුය.
එසේ ආරම්භ කර මෙම කාර්යය කරගෙන යන අතර 2016.11.13 දින අග්‍රාමාත්‍ය පෞද්ගලික ‍ලේකම් සමන් ඒකනායක මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ‍ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් පවසන්නේ 2016.11.09 වෙනිදා රැස්වූ ආර්ථික කළමනාකරණ කමිටුවේ තීරණයකට අනුව සම්පූර්ණ පරීක්ෂණයකින් පසු කොන්ත්‍රාත්කරු විසින් ගුවන් පාලම්වල දිග කිලෝ මීටර් 2.78කින් වැඩි කළ යුතු බව ය. එසේම එය එසේ වැඩි කළ යුතුව ඇත්තේත් ණය සීමාව තුල  සිටිමින් ණය සීමාව ඉක්මවා නොයන ලෙස බවය. එසේ තිබියදී නොවැම්බර් 09 වෙනිදාට පසුව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාගෙන් මෙම ව්‍යාපෘතියේ උපදේශන සමාගම ඉල්ලුම් කරමින් පවසන්නේ, මෙම දුර ප්‍රමාණය වැඩි කිරීමට අවශ්‍ය බවත්, එම දුර වැඩි කිරීම සඳහා යන ඇස්තමේන්තුවේ ප්‍රමාණය මෙපමණ බවත්, එම ප්‍රමාණයට අනුමැතිය ලබා දෙන ලෙසත් ය. මෙහිදී මතුවන ගැටලුව වන්නේ ආර්ථික කළමනාකරණ කමිටුව මෙසේ ගුවන් පාලමේ දිග වැඩි කළ යුතුයි යන්න කලින්ම දන්නේ කෙසේද යන්නය.
ඔවුන් මෙයට අදාළව සාකච්ඡා කළේ කවුරුන් සමගද, ලංකාවේ ඉංජිනේරුවන් සමග සාකච්ඡා කළාද, එසේ නැතහොත් තාක්ෂණික ඇගැයීම් වාර්තාවක් බැලුවාද, කිලෝ මීටර් 2.78ක් දුර වැඩි කිරීමට අනුමැතිය ගත්තේ කවුරුන්ගෙන්ද? අධිවේගී මාර්ගයක් හැදීම සාමන්‍ය පාරක තාර දමන්නාක් වැනි කාර්යයක් නොවේ. මුලින් පුංචියට ඇස්තමේන්තු හදන අතර පසුව වෙනස් කිරීම් කරනවා. අග්‍රාමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් ඇති තාක්ෂණික දැනුම මොකක්ද, මේ අය ගිහින් පාර බැලුවාද මේ ආදී ගැටලු මෙහිදී පැන නගී. මෙම කිලෝ මීටර් 2.78 වැඩි කිරීමට ආර්ථික කළමනාකරණ කමිටුව නොහොත් එජාප ආණ්ඩුවේ කුස්සි කැබිනට්ටුව තීරණය කළේ කොහොමද යන ප්‍රශ්නය මෙහිදී පැන නගී.
මහින්ද රාජපක්ෂ පාලනයට තිබූ විවේචනයක් වූයේ ඔවුන්ගේ යහළුවන් සමග එක්වී වංචාවන් කළා යන්නය. නමුත් අදත් සිදුවන්නේ එයම බව පෙනී යයි. ආර්ථික කලමනාකරණ කමිටුව මෙම තීරණය ගත්තේ කුමන තාක්ෂණික ඇගැයීම් වාර්තාවක් පදනම් කරගෙනද, එසේ නැතහොත් උපදේශන ආයතනයේ ඉදිරිපත් කරන ලියැකියැවිලි පදනම් කරගෙනද මේ ආදී කුමන කාරණා මතද යන්න පිළිබඳව දැන් ආණ්ඩුව රටට ඉදිරිපත් කළ යුතුව තිබේ.
මේ මහ දැවැන්ත විනාශයට හවුල් වන්නට බැරි හෘද සාක්ෂියක් ඇති දේශීය ඉංජිනේරුවරුන් මෙම ව්‍යාපෘතියෙන් ඉවත්වී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය සිටිය යුත්තේ, ඉන්නේ රට පැත්තෙනි.  එහි ඉහළ නිලධාරීන් කිහිපදෙනකු සමග එකතු වෙලා මේ මිල වැඩි කිරීම කර තිබෙන්නේ. අද මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම මෙහෙය වනු ලබන්නේ ලංකාවේ මාර්ග සංවර්ධන අධිකාරියේ කටයුතු කරන ව්‍යාපෘති කළමනාකරුවන් සහ කැතික් කොම්පැනියයි කියන මේ උපදේශක සමාගම එකතු වෙලයි. ඒ මිල වැඩිවීම් කරනවාට අනුමැතිය දෙන්නේ කවුද? රජයේ ප්‍රතිපත්ති සම්පාදනයට අනුමත සඳහා තිබෙන කැබිනට් මණ්ඩලය නමෛයි. පාර්ලිමේන්තුව නමෛයි. මේ රටේ ජනතාවගෙන් අමතර  රුපියල් මිලියන 36,000ක් මෙම ව්‍යාපෘතියේ අධිවේගී මාර්ග හදන්නට වැය කරන විට, ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවගෙන් අහන්න ඕනෑද නැද්ද යන ගැටලුව මෙහිදී පැන නගී. පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය තිබෙන්නේ ජනතාවගේ එම හඬ වෙනුවෙනි.
අධිවේගී මාර්ග සඳහා වත්මන් හවුල් ආණ්ඩුව මැදිහත් වෙන ක්‍රියාකාරකම් ඔස්සේ සිදුවන මහ පරිමාණ මූල්‍ය වංචාවන් පිළිබඳ තොරතුරු රැසක් සහ එම පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැසක් මේ වන විට ලැබි තිබේ. එම හෙළිදරව් කිරීමටත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අදාළව කටයුතු කිරීමටත් අප සුදානම්.
එසේම මෙම මාතර සිට බෙලිඅත්ත අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවලට සිදුව ඇති වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධවත් ඊට හවුල් පුද්ගලයන් පිළිබඳ තොරතුරු කෝප් කමිටුව ඉදිරියට ගෙන ඒමටත් කටයුතු කරන බව අවධාරණය කළ යුතුව ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා අදාළ කොන්දේසි කඩකරමින්, බදු සහන ලබාගනිමින් චීනයෙන් යකඩ ගෙනවිත් තිබෙන අතර, ආර්ථික කළමනාකරණ කමිටුවෙන් ගුවන් පාලම්වල දිග වැඩි කිරීම එහිදී ඒ සඳහා රුපියල් මිලියන 36,000 මුදල් වැඩිපුර ගෙන තිබිම යන කාරණා සුළු කොට තැකිය යුතු නෙවේ.
එසේම මෙම ව්‍යාපෘතිය සඳහා සංචාරක වීසාවලින් චීනයෙන් උපදේශකවරුන් පැමිණ තිබේ. ඔවුන්ට නේවාසික වීසා තිබිය යුතුය. සංචාරක වීසා මගින් පැමිණි ඔවුන්ට වැටුප් ගෙවීමට පදනමක් නොමැති නිසා අග්‍රමාත්‍යවරයාගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු පෙන්වා, මහා මාර්ග අධිකාරියේ සභාපතිවරයාගේ අත්සන ගසා රුපියල් ලක්ෂ ගණනින් වැටුප් ඔවුන්ට ලබාදී ඇත.  එහිදී ප්‍රධානියෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 35ක් සහ සාමාන්‍ය අයෙකුට ලක්ෂ 5 බැගින් වන ලෙස වැටුප් සකස් කර ඇත. එසේම මෙම ව්‍යාපෘතියට අදාළ නොවන මර්සිඩස් බෙන්ස් රථයක් අල්ලස් ලෙස ගෙන්වා තිබෙන බව දැනගන්නට ලැබි තිබේ. ප්‍රබලයෙකුට අල්ලස් ලෙස මෙම රථය ගෙන්වා තිබෙන බව දැන ගන්නට ලැබි ඇත. කෙසේ වුවද අදාළ වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව ලිපි ‍ලේඛණ මෙන්ම ඉතා වැදගත් සාක්ෂි බොහොමයක් මේ වන විට අප සතුව ඇත. මේ පිළිබඳ දැවන්ත හෙළිදරව් කිරීමක් අප කෝප් කමිටුවට ඉදිරිපත් කිරීමට සුදානම්ව සිටින්නෙමු.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති - සුනිල් හඳුන්නෙත්ති

සාකච්ඡාව - පද්මිණී මාතරගේ

Page 1 of 2

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2978

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1810

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1392

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3539

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5982

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5247

Please publish modules in offcanvas position.