lakbima.lk

පුදුම හිතෙන පළමු නඩු තීන්දුව

සමන් වික්‍රමාරච්චි රටේ වැඩියෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ සම්මානීය ගත්කතුවරයෙකු හා සාහිත්‍ය විචාරකයෙකු වශයෙනි. එහෙත් ඔහු වෘත්තියෙන් විනිසුරුවරයකු ලෙස රාජකාරි කළ අයෙකි. මහේස්ත්‍රාත්, දිසා විනිසුරු, මහාධිකරණ විනිසුරු, පළාත්බද සිවිල් අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ද බොහෝ ප්‍රදේශවල විවිධ දේශපාලන හා සමාජ තත්ත්වයන් යටතේද රාජකාරි කර ඇති ඔහුගේ වෘත්තීය අත්දැකීම් බොහෝය. ඔහුගේ වෘත්තිය දිවියේ විශේෂ සිද්ධියක් වූයේ ගංගොඩවිල සෝම හිමියන්ගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමය. මුළු රටේම ආන්දෝලනයට ලක් වූ එම සිද්ධිය හා විනිසුරු දිවියේ මතක සටහන් දිග හැරෙන ලිපි මාලාවේ පස්වෙනි කොටසයි මේ.

පසුදින උදෑසනින්ම අවදි වූ සමන් වික්‍රමාරච්චි සහ මිතුරන් දෙදෙනා නා පිරිසිදු වී අලුත් ඇඳුමෙන් සැරසී තමන් සිටි කාමරවල සිට තානායමේ බරාඳයට පැමිණියහ.

එහිදී සමන් වික්‍රමාරච්චි සැනකින් දුටුවේ සුදෝ සුදු ඇඳුමෙන් සැරසුන තානායම් පාලකවරයා බුලත් අතක්ද රැගෙන සිනහමුහුණින් ඉදිරියට එන ආකාරයයි.

“සුබ අලුත් අවුරුද්දක් වේවා සර්”  දෑතින්ම සමන් වික්‍රමාරච්චිට බුලත් අත දුන් තානායම් පාලකයා දෙඅත් එක්කර ආචාර කළේය.

ඊයේ මහා රාත්‍රියේ ඇසුණේ සන්නද්ධ තරුණයන් හා ‍පොලීසිය අතර වූ වෙඩි හුවමාරුවක් නොව, මධ්‍යම රාත්‍රියේ අලුත් අවුරුද්ද එළැඹෙත්ම මිනිසුන් විසින් දල්වන ලද රතිඤ්ඤාවල හඬ බව සමන් වික්‍රමාරච්චිට අවබෝධ වූයේ  එම අවස්ථාවේදීය.

උදෑසන ආහාරය සඳහා තානායම් පාලකවරයා කිරිබත් පිළියෙල කර තිබුණි. අලුත් අවුරුදු කිරිබත අනුභව කළ ඔවුහු මෝටර් රථයෙන් මොරවක උසාවිය බලා පිටත්ව ගියහ.

උසාවි කාර්ය මණ්ඩලය හැර, කිසිදු නීතිඥ මහතෙකු උසාවියේ නොවීය.

“මොරවක උසාවියට ලෝයර්ස්ල ගොඩක් එන්නෙ අකුරැස්සෙ ඉඳල. මාතර ඉඳලත් එනවා. උසාවියෙ නඩුවලට පෙනී සිටල ආපහු හවස තමන්ගේ නගරවලට යනවා. හැබැයි මම ඉන්න අන්තිම කාලෙ වගේ මොරවක එක නීතිඥවරයෙක් හිටිය” ඔහු පැහැදිලි කළේ මොරවක මහේස්ත්‍රාත් අධිකරණයෙහි නීතිඥ සංයුතිය පිළිබඳවය.

සමන් වික්‍රමාරච්චි මොරවක මහේස්ත්‍රාත්වරයා වශයෙන් පත්වීම භාරගත් 1988 ජනවාරි පළමුවන දින සිකුරාදා දිනයක් විය. එනිසා උසාවිය  පටන් ගැනීමට නියමිත දිනයට තිබුණේ ඊළඟ සඳුදාය.

මොරවක අලුත් මහේස්ත්‍රාත්වරයා, මුලින්ම මොරවක උසාවියේ රෙජිස්ට්‍රාර්වරයා මුණ ගැසී වැඩ භාර ගැනීමේ කටයුතු සිදුකර කාර්ය මණ්ඩලය සමග කතාබස් කළේය.

“මහේස්ත්‍රාත්වරයකුගෙ රාජකාරී කාලය පැය අටකට සීමාවෙන්නෙ නැහැ” පැය විසිහතරම සේවයෙහි  නිරතව සිටිය යුතුය. එසේම ඔහු තමන්ගේ අධිකරණ කලාපය තුළ පදිංචිව සිටිය යුතුය. ඉරිදා, සෙනසුරාදා අනික් රජයේ නිවාඩු දවස් ඔහුට අදාළ නැහැ. ඔහු නිවාඩු යනවා නම් ඒ සඳහා වැඩ බැලීමට කෙනෙකු පත්කළ යුතුයි. සෑම උසාවියක ‍‍‍ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ නීතිඥවරුන්ගේ ‍ලේඛනයක් තියෙනවා වැඩ බලන මහේස්ත්‍රාත් නිලයේ වැඩ බැලීම සඳහා” විශ්‍රාමලත් විනිසුරුවරයා  පවසන්නේ මහේස්ත්‍රාත්වරයකු නිවාඩු පිළිබඳව අනුගමනය කළයුතු රාජකාරි ක්‍රමය පිළිබඳවය.

එනිසා නවක මහේස්ත්‍රාත්වරයා, රෙජිස්ට්‍රාර්වරයාගේ සහායෙන් වැඩ බැලීම සඳහා සුදුසුකම් ඇති නීතිඥයකු ගෙන්වා ගෙන සෙනසුරාදා සහ ඉරිදා දින දෙක සඳහා වැඩ බලන මහේස්ත්‍රාත්වරයකු පත් කිරීම සඳහා අවශ්‍ය ‍ලේඛන පිළියෙල කළේය.

ඊළඟට ඔහු මහේස්ත්‍රාත්වරයකු වශයෙන්, මහාධිකරණ විනිශ්චයකාරයකු ඉදිරිපිට දිවුරුම් දිය යුතුය. ඒ සඳහා නැවතත් මාතරට පැමිණිය යුතුය.

“ඒ කාලෙ මාතර මහාධිකරණයේ විනිශ්චයකාරවරයකුව සිටියේ  ආනන්ද ග්‍රේරෝ මහත්තයා. මම එතුමාගෙ නිල කුටියෙදී එතුමා ඉදිරියේ මහේස්ත්‍රාත්වරයකු වශයෙන් දිවුරුම් දුන්නා. ඒකත් එක විදියකට ෙදෙවෝපගත සිද්ධියක්. විනිසුරුවන් අතරින් සිංහල ග්‍රන්ථකරණයෙහි යෙදුනෙ මමත් ආනන්ද ග්‍රේරෝ මහත්තයයි විතරයි “විශ්‍රාමික විනිසුරුවරයා අතීතය සිහිපත් කරමින් පවසන්නට විය.

එම කටයුතු නිමා කිරීමෙන් පසු ඔවුන් ආපසු අලව්ව බලා පිටත් වූහ. අලව්වෙ සිය නිවසට ළඟාවන විට රාත්‍රිය එළඹ තිබුණි.

“ඒ එනකොට අපේ ගෙදර ලොකු පිරිසක් පිරිලා මාව පිළිගන්න. මට සුබ පතන්න. අපේ ගමෙන් බිහිවුණ පළමු       විනිසුරුවරයා මමයි. ඉතින් මිනිස්සුන්ට හරි ඉහළයි. නමුත් විනිසුරුවන් යන්න ඔවුනට මහා හාස්කමක් කියල හිතුවෙ නැහැ. විනිසුරුවරයකු පිළිබඳව, ඔවුන්ගේ බලතල පිළිබඳව ඔවුන් දන්නවා. එනිසා මාව අමුතුම කෙනෙක් කියල ඔවුනට  තේරුණේ නැහැ. හැබැයි ඔවුන් සතුටු වුණා මා ගැන”, සමන් වික්‍රමාරච්චි විස්තර කළේ තමන්ගේ ගමේ මිනිසුන්ගේ  ගති ස්වභාවයන් පිළිබඳවය.

ඉරිදා සවස බිරිඳ සහ මාස දහඅටක් වයසැති බිලිඳාද සමග, තංගල්‍ලේ බිරිඳගේ මහ ගෙදර බලා පිටත්ව ගියේය. අලුත් අවුරුද්දේ බිරිඳගේ පාසල් වාරය ආරම්භ වීමට කාලය ළංවී තිබුණි.

සඳුදා සිට මොරවක නැවතී එහි මහේස්ත්‍රාත්වරයා වශයෙන් රාජකාරී කටයුතු ආරම්භ කළ යුතුය. නමුත් මොරවක නතර වෙන්නේ කිනම් තැනකදැයි කියා අලුත් මහේස්ත්‍රාත්වරයාට නිනව්වක් නොවීය.

ඇඳුම් බෑගයද තම ෆොක්ස්වැගන් මෝටර් රථයේ පිටුපස අසුනේ තබාගත් සමන් වික්‍රමාරච්චි සඳුදා උදයෙන්ම මොරවක අධිකරණය බලා පිටත් විය.

උසාවියේ සේවය කරන අය පැවැසුවේ නතරව සිටීමට ස්ථානයක් නොමැතිවීම නිසා සමහර මහේස්ත්‍රාත්වරුන් උසාවියේම කොටසක් කාමරයක් ලෙස සකස්කරගෙන එහි නතරව සිට සිකුරාදා සවසම කොළඹ තමන්ගේ නිවෙස් කරා ගොස් නැවත සඳුදා උදෑසනින්ම පැමිණි බවය.

උදෑසනම උසාවියට පැමිණ නීතිඥ මහත්වරු අලුත් මහේස්ත්‍රාත්වරයාට සුබ පැතූහ.

“මාතර හිටිය දක්ෂ නීතිඥ මහත්වරු මොරවක උසාවියට ආවා. මාතර බොහෝම ප්‍රසිද්ධ චන්ද්‍ර දහනායක, මහින්ද සිරිවර්ධන වගේ නීතිඥවරුන් මොරවකට ආවා. චිත්‍රපට සංස්ථාවෙ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරපු සමන් වීරමන් ඒ දවස්වල මොරවක උසාවියේ නීතිඥයකු වශයෙන් කටයුතු කළා. ඔහු ඒ වෙන කොටත් කිරිමදුවැල් කියල චිත්‍රපටයක් නිෂ්පාදනය කරල තිබුණා. ඔහු එහි රඟපාලත් තිබුණ. මාතර කඹුරුපිටියෙ ඉඳල ආපු ඔහු මා සමග බොහොම සමීපව ආශ්‍රය කළා. ඔහු ප්‍රේමසිරි කේමදාස එක්ක බොහෝම සමීප ඇසුරක් තිබුණා. කේමදාසගේ මානසවිල නිෂ්පාදනයට මුදල් යොදවලත් තිබුණ විශ්‍රාමික විනිසුරුවරයා පවසන්නේ තමන් ප්‍රථමයෙන් මහේස්ත්‍රාත්වරයකු වශයෙන් සේවය කළ අධිකරණයදී හමුවූ නීතිඥයන් පිළිබඳවය.

මහේස්ත්‍රාත්වරයකු වශයෙන් පත්වීම ලැබූ දින පළමුව නඩු විභාගය ලෙස සමන් වික්‍රමාරච්චි වෙත ඉදිරිපත් වූයේ කසිප්පු නඩුවකි.

ඉතාමත් විශාල ප්‍රමාණයක කරිඤ්ඤං තබා ගැනීම පිළිබඳව පුද්ගලයකුට චෝදනා කර තිබුණි.

“මගේ පළමුවන නඩු තීන්දුව නිසා, මම කිසියම් සහනදායී දඬුවමක් පවරයි කියල මුඩ්ලියර් එක්ක එකතු වෙලා මුලටම ඒ නඩුව උඩට ගන්න ඇති” විශ්‍රාමික විනිසුරුවරයා අතීත සිද්ධිය පිළිබඳව තම මතකය අලුත් කරයි.

සමන් වික්‍රමාරච්චි නවක මහේස්ත්‍රාත්වරයා මෙයට පෙර කරිඤ්ඤං යනුවෙන් වූ මත්පැන් වර්ගයක් ගැන අසා තිබුණේ නැත. ඔහු සිතුවේ කරිඤ්ඤං යනු කසිප්පු වලට වඩා දරුණුූ මත්පැන් වර්ගයක් බවයි.

 “විත්තිකාරයාට රුපියල් හත්සිය පනහක දඩයක් නියම කරනවා” මහේස්ත්‍රාත්වරයා විනිශ්චාසනයේ සිට පැවැසීය. උසාවියේ සිටි නීතිඥවරුන් පුදුමයෙන් මෙන් එකිනෙකා   දෙස බලනු මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කළේය.

“මම මුඩ්ලියර්ගෙන් ඊට පස්සේ ඇහැව්වා. මොනවද මේ කරිඤ්ඤං කියන්නෙ කියලා. රා වගේ හදන වර්ගයක් කියල කිව්වා. සාමාන්‍යයෙන් ඒ වගේ වරදකට රුපියල් සියයක් වගේ දඩයක් තමයි ගහන්නෙ.  මම දඩය නියම කළානේ. ඊට පස්සෙ කරන්න දෙයක් නැහැ” තමන්ගේ ප්‍රථම අධිකරණ අත්දැකීම ඔහු විස්තර කළේ එසේය.

පීටර් කැනියුට් පෙරේරා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.