Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ බිරිය මෙන්ම දරුවන් සාමාන්‍යයෙන් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින්නේ නැත. සිය පියා ජනපති පදවියට පත් වූ දා සිට මේ දක්වා එම පවු‍ලේ කිසිවෙක් කිසිදා මාධ්‍යයට කතා කරද නැත. එම පිළිවෙත මුල් වරට බිඳ දමමින් ජනපතිගේ වැඩිමහල් දියණිය වන චතුරිකා සිරිසේන ගිය සතියේ මාධ්‍යයට කතා කළාය. ඒ ඇය ලියූ “ජනපති තාත්තා” ‍පොත ගැන කතා කිරීමටය. මේ චතුරිකා ලක්බිමට දුන් සාකච්ඡාවය. 
 
ජනාධිපති කෙනෙකුගෙ දුවක් වුණාට ඔබ ‍ලේඛිකාවක් නොවෙයි. ඇයි මේ ‍පොත ප්‍රසිද්ධ ‍ලේඛකයෙකු අතින් ලියවන්නෙ නැතුව ඔබ විසින්ම ලියන්න සිතුවේ?
මම ‍ලේඛිකාවක් හැටියට ප්‍රසිද්ධ නැති කෙනෙක් බව ඇත්ත. නමුත් කලා නිර්මාණවලට මට තියෙන්නේ පාසල් කාලයේ සිට බැඳීමක්. මම පත්තරවලට ලිපි, රචනා ලියා තිබෙනවා. 
ඒ එක්ක අපේ තාත්තාගේ ජීවිතය ගැන බොරු පිම්බිම්, සුදු හුණු ගෑම් උපහාර නැතිව ඇත්ත ඇති සැටියෙන්ම ජනතාවට කියන්න මට අවශ්‍ය වුණා. ඒකයි මේ ‍පොත මමම ලිව්වේ.. 
 
තාත්තා ගැන ‍පොතක් ලියන්න ඕනේ කියලා හිතුණේ තාත්තා ජනාධිපති වුණාට පසුවද?
‍පොතක් ලිවීම ගැන සිතීමට පෙර තාත්තගේ ජීවිතයේ විවිධ අවස්ථාවල් අපේ දරුවන්ට දැනගන්න ලියලා තියන්න ඕනේ කියලා මට සිතුණු අවස්ථා තිබුණා. 2013 වසරේ තාත්තාට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හොඳම සෞඛ්‍ය ඇමැතිවරයාට හිමි සම්මානය ලැබෙනවා.  එම සම්මානය අරගෙන ලංකාවට තාත්තා එනකොට තාත්තගේ අම්මා, අපේ ආච්චි මෙලොවින් සමුගන්නවා. ඊට වඩා ජීවිතයේ ළමා කාලය, තරුණ කාලය, මැදි වයස ඔය වකවානු ඉතාම සුවිශේෂියි. ඒ සුවිශේෂී කාරණා ලියා තබන්න ඕනේ කියලා සිතුවිල්ලක් සිතේ තිබුණා. ඒ නිසා තාත්තා ගැන තොරතුරු රාශියක් දින වකවානුත් සමගම මම එකතු කරගෙන තිබුණා. විශේෂයෙන් ‍පොදු අපේක්ෂක සටන මේ ‍පොත ලියන්න මාව බොහෝ සෙයින් පෙළඹුවා. 
 
හිටපු ආණ්ඩුවෙන් එළියට බැහැලා ඔබගේ තාත්තා ‍පොදු අපේක්ෂකයා වනවිට දරුවකු ලෙස සිතට දැනුණේ කුමන හැඟීමක්ද?
පැවැති පාලනය පෙරළා දැමීමට, ඉතා නොබියව ආණ්ඩුවෙන් එළියට බැහැලා තාත්තා ‍පොදු අපේක්ෂකකම භාරගත්තා. තාත්තාගේ දේශපාලන ජීවිතයේ හැමදාමත් එවැනි අභියෝග තිබුණා. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පහකින් තාත්තා බේරුණා. ‍පොදු අපේක්ෂක සටනට මුහුණ දුන්නු මාස එක හමාර අපේ ජීවිතවල තීරණාත්මක කාලයක් වුණා. අපේ අම්මා, නංගී, මල්ලී, අපි හැමෝම වෙන ඕනම දෙයකට මුහුණ දෙන්න සූදානම් වුණා. මගේ දරුවෝ ‍පොඩියි. එහෙම හිතෙද්දී මගේ සිතේ බියක් තිබුණත් අපි තාත්තව තනි කළේ නැහැ.
 
ජනවාරි 8 රාත්‍රිය කිසිදා අමතක නොවන රාත්‍රියක් වෙන්න ඇති නේද?
ඒ දවස කවදාවත් අපට අමතක වෙන්නේ නැහැ. හෙට දවසේ අපිට කුමක් වෙයිද කියලා දන්නේ නැහැ. හිතේ හිස් බවකුත් තිබුණා. දිනන්න කලින් දවසේ රෑ මගෙ නංගිගෙ දුව ඇවිත් අපේ අම්මගෙන් ඇහුවා ආච්චි අම්මේ හෙට අපිට මොකද වෙන්නෙ කියලා. ඒ වචන ඇහුණු අම්මයි තාත්තයි තිගැස්සුනු බවකුත් මම දැක්කා. කොහොම වුණත් අපේ තාත්තා නම් ඔහුගේ දේශපාලන අත්දැකීම් නිසාම එදා රාත්‍රිය සාමාන්‍ය විදිහට ගතකළා. එය අපිටත් විශාල ශක්තියක් වුණා.
 
දේශපාලන නායකයන් පිළිබඳව ලෝකයේ ඕනෑ තරම් ‍පොත් ලියවිලා තිබෙනවා. ජනාධිපති තාත්තා කෘතියත් තවත් එක් නායකයෙක් පිළිබඳව ලියැවුණු දේශපාලන කෘතියක් පමණක් වෙයිද?
මේ ‍පොත ලියන්න පටන්ගත් දිනවල ඔය ප්‍රශ්නය මගේ හිතෙත් තිබුණා. කියවන අයට රසයක් දැනෙන ආකාරයට මම මේ ‍පොත නවකතාවක හැඩරුවට ලිව්වා. ඒ වගේම මේ සඳහා තුන් හතර දෙනෙක් එකතු කරගෙන විවිධ ප්‍රදේශවලට ගිහිල්ලා තාත්තා සම්බන්ධ ඇතැම් සිදුවීම් ගවේෂණය කර තොරතුරු එකතු කරගෙනයි මම ‍පොත ලිව්වේ. ඒ වගේම මෙහි සියලු කාරණා සත්‍ය තොරතුරු ඇසුරින් සකස් කරලා තියෙනවා. 
 
මෛත්‍රීපාල සිරිසේන කියන දේශපාලන චරිතය මෙම කෘතිය ඇතුළේ පෙළගස්වා ගත්තේ කොහොමද?
ඈත ගමක මහගෙදරක ගහට කොළට ආදරය කරමින් හැදෙන වැඩෙන, ඒ වගේම කුඹුරු යායවල් ඇළ දොළවල් 
දිය කඩිතිවල කොලු ගැටව් සමග කෙළි සෙල්ලම් කරන තාත්තාගේ ළමා කාලය මම මේ කෘතිය තුළ ඉදිරිපත් කර තිබෙනවා. හැත්තෑ එකේ කැරැල්ලට තාත්තා හසුවෙනවා. තරුණ වයසේදීම සිරගත වෙනවා. අත් දෙකේ මාංචු දාගෙන උසස් පෙළ ලියනවා. මේ දේවල් සත්‍ය තොරතුරු ඇසුරින්ම සටහන් කළා. ඉන්පසු තාත්තා තරුණයෙකු විදිහට තමන්ගේ දේශපාලන භූමිකාව පටන්ගත්තු වෙලාවේදී මුහුණ දුන්න විවිධ අර්බුද, කකුලෙන් ඇදීම්, කැපිලි කෙටිලි, තාත්තා ඒවාට මුහුණ දෙන ආකාරය පරිච්ජේද ලෙස පෙළ ගස්වා තිබෙනවා. සිරිමාවෝ මැතිනිය චන්ද්‍රිකා මැතිනිය, ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා වැනි නායකයන් සමග එම නායකත්වයන්ට ගරු කරමින් තාත්තා දේශපාලනය කළ හැටි මෙහිදී මම ඉදිරිපත් කර තිබෙනවා. 
 
තාත්තා ගැන ‍පොතක් ලියනවා කියලා තාත්තට කිව්වේ කවදද?
තාත්තට මම මුලින් කිව්වේ නැහැ. හැබැයි අම්මා දැනගෙන හිටියා පස්සේ තාත්තා දැන ගත්තා. මම තාත්තා ගැන විවිධ තැන්වලට මගේ කාර්ය මණ්ඩලයේ අය යවලා තොරතුරු හොයන කොට එක දවසක් තාත්තා නුවර මාලිගාවේ ඉඳලා මගෙන් ඇහුවා චතු, මොකද මගෙ තොරතුරු හොයන්නේ කියලා. කොහොම හරි තාත්තා දැනගත්තා. ‍පොතේ හරි වැරදි බලන්න තාත්තට ‍පොත දෙන්න සිදුවෙන හින්දා මම තාත්තගෙන් අවසර ගත්තා.
 
අවසර ගනිද්දී තාත්තා මොනවද කිව්වේ ?
තාත්තා කිව්වා ළමයෝ ඉස්සෙල්ලාම මට ඕක බලන්න ඕනේ කියලා. තාත්තා එච්චරමයි ඒ ගැන කිව්වේ.
 
මන්ත්‍රී තාත්තා ඇමැති තාත්තා වෙලා අනපේක්ෂිත ලෙස ජනාධිපති තාත්තා වෙයි කියලා කවදාවත් හිතුවද?
අපේ තාත්තා මේ රටේ ජනාධිපති වෙයි කියලා කවදාවත් අපි හිතුවේ නැහැ. ජනාධිපති කෙනෙකුගේ දුවෙක් වෙන්න හීන දැකපු කෙනෙක් ‍නෙවෙයි මම. 
 
අද ඔබ ජනපති මැදුරේ සුව සැප විඳිනවා. මොනවගේ හැඟීමක්ද සිතට දැනෙන්නේ?
ජනපති මැදුරේ තවමත් අපි එක රැයක්වත් ජීවත් වෙලා නැහැ.  මේ සියලු දේ තාවකාලිකයි. තාත්තා අපිට සීමා මායිම් පෙන්නලා තියෙනවා. තාත්තා අපිට හැම දේම ආදර්ශයෙන්ම පෙන්නුවා. ඇත්තටම තාත්තා අදටත් පෙන්වා දෙන ජීවිතාබෝධය පුදුමාකාරයි. ඒ වගේම අදටත් අපි ගෙවන සරල සාමාන්‍ය ජීවිත හරිම සුන්දරයි. 
 
රටේ ජනාධිපතිගේ දුවෙක් වෙලාත් ඒ සැපසම්පත් විඳින් නැහැ කියලා පැවැසීම ඇතැමුන්ට නම් විහිළුවක් නේද?
ජනාධිපති වුණා කියලා අපේ තාත්තගේ කිසිම වෙනසක් සිදුවෙලා නැහැ. පුංචි කා‍ලේ මාවයි නංගිවයි අත්දෙකට වඩා ගත්ත වගේ තාත්තා අද මගේ දරුවෝ ගෙදරට එනකොටම වඩා ගන්නවා. අම්මා කෙහෙල් කොළේ ඔතලා දෙන බත් එකයි තාත්තා තවමත් කන්නේ. තාත්තා ජනාධිපති වුණා කියලා අපේ ජීවිත මහ ලොකුවට වෙනස් වුණේ නැහැ. අපිට එහෙම අවශ්‍යත් නැහැ. ගෙදරට අවශ්‍ය දේවල් මිලදී ගන්න මම තාමත් එදා වගේ වෙළෙඳසල්වලට යනවා. අනික මේ රජ ගෙවල්වලට වඩා අපේ පුංචි ගෙවල් හරි සිරියාවන්තයි කියලා අපි හිතනවා. 
 
දේශපාලනඥයෙකුගේ දරුවන් ලෙස ඔබලාගේ ජීවිත විවිධ හැලහැප්පීම්වලට මුහුණ දෙන බව අමුතුවෙන් පැවැසීමට කාරණාවක් නොවෙයි. නමුත් මෛත්‍රීපාල සිරිසේන කියන පුද්ගලයා සමග දරුවන් ලෙස ඔබලා ගතකළ ළමා කාලය කෙබඳුද?
අපේ තාත්තා කොච්චර කාර්ය බහුල වුණත් හරිම සමබරයි. අපේ හැම දෙයක්ම මුල් වෙලා ක‍ලේ තාත්තා. පාස‍ලේ සියලු රැස්වීම්වලට අම්මා අවේ නැහැ. මන්ත්‍රී කාලෙත්, ඇමැති කාලෙත් තාත්තා තමයි ඒ රැස්වීම්වලට ආවේ. අනික තාත්තා අපිට හැමදේම කියලා දුන්නා. මැතිවරණ දවස්වලට අපේ ගෙවල්වල සීයකට දෙසීයකට තේ හදනවා, උයනවා. අපි තමයි ඒවා කරන්න ඕනේ. ට්‍රේ එකක තේ අල්ලනකොට ඒ ට්‍රේ එක පාත්කරන්න, හරියට මිනිස්සුන්ට සලකන්න කියලා තාත්තා අපිට බැණපු අවස්ථා තියෙනවා.  
 
රටේ ජනතාව මුහුණ දෙන අනේක විධ ප්‍රශ්නවලට විසඳුම් දෙමින් කාර්යබහුල ජීවිතයක් ගතකරන ජනාධිපති තාත්තා සමග අද ගෙවන ජීවිතය කොයි වගේද?
වෙනසක් නැහැ, තාත්තා කවදාවත් දේශපාලන ක්‍ෂේත්‍රයේ තිබූ ප්‍රශ්න ගෙදර ගෙනාවේ නැහැ. තාත්තා මහා පරිත්‍යාග කරපු කෙනෙක්. අගමැතිකම, තනතුරු තානාන්තර පරිත්‍යාග කරමින් පුදුමාකාර ඉවසීමකින් දේශපාලනය කළ කෙනෙක්. හැබැයි ඒ දේවල් ගෙදර එනකොට අරගෙන ආවේ නැහැ. තාත්තා ජනාධිපති වුණත් අපි ගැන හොයලා බලන එක අඩු කරලා නැහැ. අපිට නිතරම කතා කරලා අපි මොනවද කරන්නෙ බලනවා. වැරැද්දක් කරලා තියෙනවා නම් අදටත් තාත්තා අපිට එදා වගේම බණිනවා.
 
දේශපාලන ප්‍රශ්න තාත්තා ගෙදර ගෙනාවේ නැහැ කියලා ඔබ කිව්වට අපිට මතකයි ඔබගේ තාත්තා ජනාධිපතිවරණයේ ‍පොදු 
අපේක්ෂකයා වනවිට ප්‍රසිද්ධියේ පැවැසුවා මම මේ තීරණය ගන්නට පෙර බිරිඳගෙන්, දුවලා දෙන්නගෙන් පුතා දහම්ගෙන් ඇහුවා කියලා?
ඒක ඇත්ත, තාත්තා මේ රටට යහපාලනය, සහජීවනය ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න පැවැති ආණ්ඩුවෙන් එළියට බැසීම මොනතරම් තීරණාත්මකද? අනික ඒ තීරණය හරි යයිද වැරදියිද කියලා කවුද දැනගෙන හිටියේ. පැරදුනොත් අපේ ජීවිතවලට මොකද වෙන්නේ. ඒ නිසා තාත්තා අපි සමග කතා කළා. අපි කවුරුත් එදා තාත්තට හයියක් වුණා මිසක් තාත්තාගේ තීරණය පස්සට ගත්තේ නැහැ.  
 
ඔබගේ තාත්තා මේ ආණ්ඩුවේ යම් යම් කාරණා පිළිබඳවත් තීන්දු තීරණ ගන්නා ආකාරය රටේ ජනතාව දකිනවා. එවැනි තීන්දු තීරණ ගැනීමේදීත් ඔබලාගෙන් අහනවාද?
කවදාවත් නැහැ. ඔහු ජනාධිපති ලෙස රටේ ජනතාවට හොඳ රටක් හදන්නයි දිවා රෑ වෙහෙසෙන්නෙ. සමහර වෙලාවට හරියට කෑමකුත් ගන්න එතුමාට වෙලාවක් නැහැ. මේ රටේ මිනිස්සු සතුටින් ඉන්නවා දැකීම තමයි තාත්තගේ එකම සතුට.  
 
ඒ වගේම ජනාධිපතිවරයා ගන්න ඇතැම් තීන්දු තීරණ රටේ බොහෝ විවේචනයට ලක්වෙන අවස්ථාවන්ද දකින්න තිබෙනවා. එවැනි අවස්ථාවල ඔබලා තාත්තා සමග කතා කරන්නේ නැද්ද?
ඊටත් කියන්න තියෙන්නේ පෙර පිළිතුරමයි. දේශපාලනයේ මහා අත්දැකීම් ඇති අපේ තාත්තට උපදෙස් දෙන්න, අදහස් දෙන්න අපට සුදුසුකම් මදි.
 
ජනාධිපති තාත්තා ගැන ‍පොතක් ලියලා ඒ හරහා ඔබ දේශපාලනයට එන්නද හදන්නෙ? 
මේ ‍පොත ගැන විවිධ විවේචන එල්ල වෙන්න පුළුවන්. ඒවා ප්‍රශ්නයක් නොවෙයි. මගේ අරමුණූ වුණෙත් තාත්තාගේ ජීවිතය ගැන ප්‍රශ්න හමුවේ ජීවිතය අතහරින, තරුණයන්ට, තරුණියන්ට පෙන්වාදීම මිස දේශපාලනය කිරීම නොවෙයි. 
 
සිරිසේනලාගේ දේශපාලනය තාත්තාගෙන් පසු අවසන් වෙයිද? 
තාත්තා හැමදාම කියන්නේ ඔටුන්න පළඳවන්න කුමර කුමාරිකාවෝ එයා ගාව නැහැ කියලයි. ඒ වගේම තාත්තා අපිට කියලා නැහැ දේශපාලනයට එන්න කියලා. එයා හැමවෙලාවේම අපිට කියන්නෙ නායකයෝ බිහි වෙන්නේ ජනතාව අතරින් කියලයි. 
 
කෙළින්ම පිළිතුරක් දෙන්නකෝ ඔබ දේශපාලනයට එනවද නැද්ද කියලා?
වෘත්තීමය. දේශපාලනය කරගත්ත පියෙකුට දාව මම ඉපදෙනවා. ඇරිස්ටෝටල් කියනවා සියලුම සත්වයෝ දේශපාලනඥයෝ කියලා. මම දකින, උගත් දේශපාලනය කියන්නේ පක්ෂවලට බෙදිලා පාර්ලිමේන්තුව තුළ කරන බල අරගල දේශපාලනයක් නොවෙයි. මිනිසුන්ගේ යහපත වෙනුවෙන් සිදුකරන සේවයයි, මම දේශපාලනය හැටියට දකින්නේ. මම මේ වනවිටත් ස්වේච්ඡා සමාජ සේවිකාවක් හැටියට මට හැකි පමණින් බොහෝ දේවල් කරනවා.
 
ජනාධිපති තාත්තා කෘතියේ දෙවන කොටසක් නැද්ද? මම එහෙම අහන්නෙ තාත්තාගේ දේශපාලනය තවත් ඉදිරියටත් ගලාගෙන යන නිසයි.
ඒ ගැනත් මම හිතලා තියෙනවා. මගේ තාත්තා ජනාධිපතිවරයා වශයෙන් නික්ම යන දවසට ඒ ජනාධිපති ධුර කාලයේ මුහුණ දුන්න දේවල් නිර්මාණයක් හැටියට එළියට දාන්න බලා‍පොරොත්තුවක් තියෙනවා.
 
පානුක රාජපක්ෂ

“වසූදා” ටෙලි නාට්‍යය තුළින් රංගනයට පිවිසි ඇය “හංස පිහාටු” “මාද ඔබම විය” වැනි ටෙලි නාට්‍යය හරහා මෑත කාලයේදී වැඩිපුර කතාබහට ලක්වූවාය. පුංචි තිරය සිය රංගනයෙන් ඔපවත් කළ මේ රංගන ශිල්පිනිය විවාහ වී මව් පදවිය ලැබිමෙන් අනතුරුව අද වනවිට තාවකාලිකව රංගනයෙන් දුරස්ව සිටියි. ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ගයාත්‍රි රාජපක්ෂ නම් මෙම රංගන ශිල්පිනිය කලකට පසු ඔබ හමුවට එයි. 
 
මේ දවස්වල ඔබ රංගනයෙන් තාවකාලිකව දුරස්වෙලා නේද..?
ඔව් ... මම අන්තිමට රඟපෑවේ “හංස පිහාටු” ටෙලි නාට්‍යයේ. ඊට කලින් “මාද ඔබම විය” ටෙලි නාට්‍යය කළා. ඒ දෙකේම අවසන් අදියර වනවිට මම මව් පදවියට සැරසිලා හිටියේ. ඊට පස්සේ මම තාවකාලිකව රඟපෑමෙන් අයින්වුණා. පුතා ඉපදුනාට පස්සේ දැන් පුතාගේ කටයුතු වෙනුවෙන් තමයි දවසම ගත වෙන්නේ. පුතා ටිකක් ලොකු වෙනකල් රඟපාන්න යන්නේ නැහැ.
 
පුතාගේ විස්තර දැනගන්නත් ගයාත්‍රිගේ රසික පිරිස කැමති ඇති ..
පුතාගේ නම “ආර්යන් ප්‍රිම්හාන්”.. එයාට දැන් වයස අවුරුද්දයි මාස 5 යි. දැන් නම් ටිකක් දඟයි. නිතරම එයා ළඟටම වෙලා ඉන්න ඕන.. දැන් වචන කෑලි කියනවා. හරියට වචන හසුරුවන්න බැරි වුණාට තාත්තා කියන වචනේ  නම් හරියටම කියනවා ..   
ගයාත්‍රිගේ සැමියා විදෙස්ගතවෙලා ඉන්න හිංදා දරුවාගේ සියලු කටයුතුවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ තනියම නේද?
සැමියා (අනුරාධ පනංවල) වෘත්තියෙන් පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙක්. විදෙස් ගතවෙලා හිටියට එයාට මාසෙකට වතාවක් විතර ලංකාවට ඇවිත් යන්න පුළුවනි. අම්මා ඉන්නේ මගේ ළඟ. ගෙදර කටයුතු කරන්නේ අම්මා. මම පුතාගේ වැඩ ටික කරනවා.  
 
ගයාත්‍රිගේ ටෙලි නාට්‍ය ජීවිතය ගැන කතා කළොත්  .. 
මම එක්තරා මනාලියන් හැඩ ගැන්වීමකට සහභාගි වුණා. ඒ අවස්ථාවේ මාව දැකලා වෙළඳ දැන්වීම්වලට ආරාධනා ලැබුණා. ඊට පස්සේ තමයි “වසූදා” ටෙලි නාට්‍යයේ “මොරින්” කියන චරිතය රඟපාන්න  අවස්ථාව උදාවුණේ. එතනින් තමයි මගේ රංගන ජීවිතය ආරම්භ වුණේ. මේ වෙද්දි ටෙලි නාට්‍ය විස්සක විතර රඟපාලා තියෙනවා .  
 
සමහර නළු නිළියන් ටෙලි නාට්‍යය එකක් දෙකක් රඟපෑවත් බොහෝ කතාබහට ලක්වෙනවා. වසර ගණනක රංගන ඉතිහාසයක් තිබුණත් ගයාත්‍රිට ලැබුණු අවස්ථා සහ කතාබහට ලක් වූ අවස්ථා අඩුයි කියල හිතෙන්නේ නැද්ද .. ?
මම රඟපාන්න ගියත් වැඩියේ කාත් එක්කවත් සම්බන්ධ වෙන්නේ නැහැ. මගෙ කොටස කරලා පැත්තකට වෙලා ‍පොතක් කියවනවා. මට මේ ක්ෂේත්‍රයේ කිසිම යාළුවෙක් නැහැ. උත්සව අවස්ථාවකටවත් සම්මාන උළෙලකටවත් ආරාධනා ලැබෙන්නේ නැහැ. ඒකත් මගේ නිහඬ බවට හේතුවක් වෙන්න ඇති. හැබැයි මට ඒක ප්‍රශ්නයක් ‍නෙවෙයි. කලාවට ගොඩක් ආසයි තමයි. ඒත් මම මුල්තැන දෙන්නේ දරුවටයි ගෘහ ජීවිතයටයි.
 
ජනප්‍රිය චරිතවලට කටකතා හැදෙනවා. කටකතා නිසාම ප්‍රසිද්ධ වූ නළු නිළියනුත් ඉන්නවා.. 
මේ අවුරුදු 8ට කිසිම කටකතාවක් හැදිලාම නැහැ. කටකතා හිංදා ඇති වෙන්නේ ජනප්‍රි්‍රයත්වයක් ‍නෙවෙයි ප්‍රසිද්ධියක්. ඒ වගේ ප්‍රසිද්ධියකින් වැඩක් නැහැ. මට කටකතාවක් හැදිලා ඒත් එක්ක මාව රටේම කතාබහට ලක්වෙන චරිතයක් වුණොත් මට නම් දරාගන්න බැරි දුකක් ඇතිවෙයි. ඉදිරියටත් කටකතාවක් හදාගන්නේ නැතුව ඉන්න  මම වගබලා ගන්නවා.
 
ජනප්‍රිය චරිතවලට ‍පොදු වාහනවල යන්න බැරිබව සාමාන්‍ය විදියට ඉන්න බැරිබව ඇතැමුන් කියනවා. ගයාත්‍රිටත් ඒ තත්ත්වය ඒ වගේමද .. ?
මට ගමන් බිමන් යන්න මගේ වාහනේ තියෙනවා. ඒ වගේම මම බස් එකේ යන අවස්ථාත් තියෙනවා. ඒ වගේ අවස්ථාවන්වලදී රසිකයින් මාව හඳුනාගෙන කතා කරනවා. සාමාන්‍යයෙන් ඕනෑම කාන්තාවක් ලස්සනට අඳින්න පළඳින්න ආසයිනේ .. මමත් එහෙමයි. ඒත් නිළියක් කියලා ගොඩක් හැඩට ඇඳගෙන ලොකු මේකප් එකක් දාගෙන පාරේ යන්න මම කැමති නැහැ..
 
ගයාත්‍රිගේ රංගන ජීවිතයට සැමියාගෙන් තහංචි එල්ලවෙලා නැද්ද .. ?
කොහෙත්ම නැහැ.. එයා මම රඟපානවට ගොඩක් කැමතියි. 
 
ටෙලි නාට්‍යවලදී නළුවන් එක්ක පෙම් ජවනිකා රඟපාන්න වෙනවනේ. ඒ වගේ ජවනිකා රූපවාහිනියේ විකාශය වෙද්දි එය නරඹන සැමියාගේ ප්‍රතිචාර කොහොමද .. ?
හිනා වෙවී බලාගෙන ඉන්නවා. ඊට එහා කිසි දෙයක් කියන්නේ නැහැ. 
 
දක්ෂතාවයේ හැටියට රඟපාන්න ලැබුණු අවස්ථා ගැන ගයාත්‍රි සෑහීමකට පත්වෙනවාද .. ?
මට වැඩියෙන්ම ලැබෙන්නේ අහිංසක චරිත. නපුරු චරිතයක් රඟපාන්න ආසයි. ඒ වගේම තමයි තවම සිනමාවට එකතු වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. සිනමාව තුළත් හොඳ රංගනයක් කරන්න ආශාවෙන් ඉන්නවා.  
 
ආරියවංශ කුලතිලක

මේ කතාව ලියන විටත් දිවයින පුරා ආරම්භ වී තිබූ විදුලි සේවක වර්ජනය නිමා වී නැත. මේ නිසා රටේ විවිධ පළාත්වලින් සිදුවීම් රැසක් වාර්තා වී තිබේ. නමුත් ඉන් සංවේදීම සිදුවීමක් වාර්තා වන්නේ හිඟුරක්ගොඩ ප්‍රදේශයෙනි.

ඒ හෘදයාබාධයක් නිසා හිඟුරක්ගොඩ රෝහලට ඇතුළුවීමට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු  විදුලිය නොමැති නිසා රෝහලට භාර නොගැනීමෙන් ‍පොළොන්නරුව  රෝහලට ගෙන යන අතරතුර මගදී මිය යාමය. මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හිඟුරක්ගොඩ   කුමාරගම ප්‍රදේශයේ පදිංචිව සිටි  පනස් හය හැවිරිදි  එම්.ජී.එස්. කරුණාරත්න මහතායි. එක් දරු පියෙකු වන ඔහු මිය යන විට හිඟුරක්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙසත් කුමාරගම, යටියල්කොන කලාපයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙසත් සේවය කරමින් සිටියේය.

හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය ග්‍රාම නිලධාරී වසම් 53ක් පුරා  විහිදෙන්නෙකි.  එහෙත් එම විශාල  ප්‍රදේශය ආවරණය  කරන්නට  සිටින්නේ සීමිත මහජන සෞඛ්‍ය පරීක්ෂක පිරිසකි. කරුණාරත්න මහතා ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නිසා තමන්ගේ සෞඛ්‍ය කලාපයට අමතරව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙසද වැඩ බැලීමට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි.

කරුණාරත්න මහතා ඉකුත් 13 දිනද තම සුපුරුදු රාජකාරි නිමවා නිල නිවසට පැමිණ විඩාහැර තම බිරිඳ වන ලක්ෂ්මි මල්කාන්ති විසින් පවත්වාගෙන යන මල් වගා කිරීමේ කාර්ය නිරීක්ෂණයටද ගියේය. ඒ සවස 3.00ට පමණය. සැමියා හා බිරිඳ එක්ව එම වගාවේ කටයුතු විමසා බලා නැවත නිල නිවසට එන්නේ සවස 6.00ට පමණය. එහෙත් එම නිවසේ සාමාන්‍ය කටයුතු සිදුවන අතර ඔවුන් නිදන්නට යන්නේ රාත්‍රී 10.30ට ආසන්න වේලාවකය.  එතැන් සිට වූ සිදුවීම් පෙළ කරුණාරත්න මහතාගේ බිරිඳ වන කේ.ඩී.ඒ. ලක්ෂ්මි පෙරේරා මල්කාන්ති දසනායකගේ වචනවලින් සටහන් වන්නේ ‍පොළොන්නරුව නාගරික හදිසි මරණ පරීක්ෂක එල්.එම්. චමින්ද ලක්මාල් මහතාගේ සටහන් ‍පොතේය.

‘අපි එදා නිදා ගන්න කොට රෑ 10.30 විතර වුණා.  පාන්දර 3.00ට විතර සැමියා මට ඇහැරවලා කිව්වා පපුව ටිකක් රිදෙනවා කියලා. පස්සේ මම එරන්ද මල්ලිගේ ත්‍රීවීල් එකට කතා කරලා සැමියා ඒකේ  නංවාගෙන හිඟුරක්ගොඩ ඉස්පිරිතාලෙට එක්කරගෙන ආවා. එහෙම ඇවිත් විනාඩි 10ක් විතර කතා කළාට පස්සේ තමයි වෛද්‍යවරයෙක් ආවේ. එතනදී එම වෛද්‍යවරයා කිව්වා ඉස්පිරිතා‍ලේ ලයිට් නැහැ. මොකුත් කරන්න විදිහක් නෑ. ඔහොම්මම  ‍පොළොන්නරුවට අරන් යන්න කියලා. හිඟුරක්ගොඩින් සැමියාට ප්‍රතිකාරයක් කළේ නැහැ. පස්සේ මම සැමියා එක්කගෙන හිඟුරක්ගොඩට ආවා. එහේ ඉන්න  අසේල පුතාට කතා කරලා එයාගේ කාර්  එකෙන් ‍පොළොන්නරුව ඉස්පිරිතාලෙට යන්න පිටත් වුණා. ඒ යන්න කලින් සැමියා අකිල පුතාලගේ ගෙදරින්  වතුර ඉල්ලගෙන බිව්වා. ‍පොළොන්නරුවට යන ගමන් සැමියා කිව්වා කාර් එකේ හෙමින් යමු මට අමාරුයි කියලා. පස්සේ අපි විනාඩි 15කින්   20කින් විතර සැමියා ‍පොළොන්නරුව ඉස්පිරිතාලෙට අරගෙන ආවා එතනදී සැමියා පරීක්ෂා කළ වෛද්‍යවරු කිව්වා සැමියා මිය ගිහින් කියලා. මට මේ ගැන සැකයක් නැහැ. පපුවේ අමාරුව නිසා එයා නැති වෙන්න ඇති.'

මෙහිදී මිය ගිය කරුණාරත්න මහතාගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ ‍පොළොන්නරුව මහරෝහ‍ලේ අධිකරණ වෛද්‍ය ඩබ්.කේ.බි.එස්. රාජපක්ෂ මෙනවිය සඳහන් කර ඇත්තේ මිය ගිය අයගේ සිරුරේ නහරවල මේදය  තැන්පත් වීම නිසා ඇති වූ හෘදයාබාධයකින් මෙම මරණය සිදු වී තිබෙන බවය.

කරුණාරත්න මහතා මියගොස් ඇත්තේ හෘදයාබාධයකින් බව සැබෑවකි. එහෙත් රෝගාතුරව හිඟුරක්ගොඩ රෝහලට ගෙනා ඔහුට මූලික ප්‍රතිකාර හෝ ලබා නොදී ඉන් පිට කිරීම ගැටලු සහගතය. රෝහ‍ලේ විදුලිය නොමැතිකම යම් ප්‍රශ්නයක් වුවද ඒ වනවිට  එහි රාජකාරියේ නිරත සිටි වෛද්‍යවරයාට ඉටිපන්දම් එළියකින් හෝ රෝගියා වෙනුවෙන් යමක් කිරීමට තිබූ බව ඔහුගේ සමිප  මිතුරෝ  කියා සිටිති.  ඇරත් කරුණාරත්න මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි. සේවය කළේ හිඟුරක්ගොඩ රෝහල් භූමියේම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේය. සෞඛ්‍ය සේවයේම අයෙකුට  හිඟුරක්ගොඩ රෝහලින් දැක්වූ සැලකිල්ල මෙයනම් සෙසු සාමාන්‍ය රෝගීන්ට  ඔවුන් දක්වන්නේ කවර සැලකිල්ලක්දැයි ප්‍රදේශවාසීන් ප්‍රශ්න කරන්නේ නිකමට නොවේ. අනෙක් අතට   හදිසි  විදිලි බිඳ වැටීමකදී භාවිත කිරීමට රෝහල තුළ විදුලි  ජනක යන්ත්‍රයක්ද තිබේ. එය ඒ මොහොතේ ක්‍රියාත්මක නොවූයේ මන්දැයි සොයා බැලිය යුත්තකි.

තමන්ගේ වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වැඩවර්ජන කිරීමේ අයිතිය පිළිබඳව අපට කිසිදු වාදයක් නැත. එහෙත් තම වැඩ වර්ජනයක් හේතුවෙන් මහජන සේවා බිඳ වැටී වටිනා මිනිස් ජීවිත මෙලෙස අකාලයේ අහිමිවන්නේ නම් තම වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට සඳහා මහජන පීඩාව අවම වන මීට වඩා සහනශීලී පිළිවෙතක් අනුගමනය කළ නොහැකිද යන්න සියළු වෘත්තිකයන් විමසා බැලිය යුතුය.


ආර්.ඒ. බණ්ඩාර - හිඟුරක්ගොඩ / ප්‍රියන්ත බණ්ඩාර - ‍පොළොන්නරුව

ශ්‍රී ලංකාවේ පළමු පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ලෙසින් ආරම්භ වූ මාලඹේ පෞද්ගලික (සයිටම්) වෛද්‍ය විද්‍යාලය සම්බන්ධව පැන නැගුණ මත ගැටුම් කිසිවක් මෙතෙක් අවසන් වී නැත. එහි වෛද්‍ය උපාධිය පිළිගෙන ලියාපදිංචිය සඳහා පියවර ගන්නා ලෙස අධිකරණයෙන් මීට පෙර අවස්ථාවක වෛද්‍ය සභාවට නියෝග කළ ද වෛද්‍ය සභාව එම නියෝගය පිළිගත්තේ ද නැත.

ඒ සම්බන්ධයෙන් මේ වන විට ද අධිකරණය තුළ තවත් නඩුවක් විභාග වෙමින් පවතී. එමෙන්ම සයිටම් ආයතනය අහෝසි කරන්න යැයි ඉල්ලමින් රජයේ විශ්වවිද්‍යාල සිසුහු තවමත් මහපාරේ අරගල කරමින් සිටිති. මේ සියල්ල අතරේ සයිටම් සම්බන්ධයෙන් ඇසුණ අලුත්ම ආරංචිය වූයේ, එංගලන්ත වෛද්‍ය සභාව මගින්ද සයිටම් උපාධිය පිළිගත නොහැකි බව දැනුම් දී ඇති බවකි. ඒ තත්ත්වය ඇති වී තිබෙන්නේ, සයිටම් උපාධිධරයෙකු, එංගලන්තයේ සේවයට ඉල්ලුම් කිරීමේ දී බවට ද තොරතුරු අනාවරණය විය.

එහෙත් සයිටම් ආයතනය පවසන්නේ, එංගලන්ත වෛද්‍ය සභාව සයිටම් උපාධිය තහනම් කර නැති බවකි. අපේ උපාධිය එරට තහනම් වුණේ නැහැ. අධිකරණයේ තීන්දුව එනතෙක් උපාධිය පිළිගැනීම තාවකාලිකව නතර වීමක් පමණයි සිදු වුණේ.සයිටම් ආයතනයේ ‍ලේඛකාධිකාරී හුස්නි හුසේන් මහත්මිය පවසන්නීය.

යම් වෛද්‍ය උපාධිධරයෙකු එංගලන්තයේ සේවය සඳහා ඉල්ලුම් කරන අවස්ථාවක දී, ඔවුන්ට එම අවස්ථාව හිමිවන්නේ, එරට වෛද්‍ය සභාව විසින් පවත්වන ලද පරීක්ෂණයකට පෙනී සිටීමෙන් අනතුරුව ය. Plab Test නමින් හඳුන්වන මෙම පරීක්ෂණය සඳහා පෙනී සිටීමට අයෙකුට අවසර ලැබෙන්නේ, එම පුද්ගලයාගේ උපාධිය එරට වෛද්‍ය සභාව විසින් අනුමත කරන අවස්ථාවක දී පමණි. හුස්නි හුසේන් මහත්මිය පවසන පරිදී, මෙම ශිෂ්‍යයා ද එංගලන්තයේ වෛද්‍යවරයෙකු ලෙස ඉල්ලුම් කර ඇති බැවින් ඊට අදාළ ඉදිරි කටයුතු සඳහා, එංගලන්ත වෛද්‍ය සභාව විසින් සයිටම් ආයතනයෙන් අදාළ උපාධිය පිළිබඳව විමසීමක් කර ඇත. අපෙන් ඇහුවා මේ උපාධිය කුමක් ද කියලා. අපිට ඒ සඳහා ලබා දී ඇති අවසරය සහ උපාධිය පිළිබඳව අපි පැහැදිලි කර දුන්නා.‍ලේඛකාධිකාරිවරිය පවසන්නීය. එහෙත් මෙරට වෛද්‍ය සභාවෙන් ඒ පිළිබඳව විමසූ කල, සයිටම් උපාධිය තම ආයතනය විසින් පිළිනොගන්නා උපාධියක් බව වෛද්‍ය සභාව එරටට දැනුම්දී ඇතැයිද ඇය පෙන්වා දුන්නාය. නමුත් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද විභාග වන බැවින්, එහි තීන්දුව ලැබෙන තෙක් මෙම ශිෂ්‍යයාගේ ඉල්ලීම සලකා බැලීම තාවකාලිකව අත්හිටුවන බව එරට වෛද්‍ය සභාව සයිටම් ආයතනයට දැනුම් දී ඇත.

සයිටම් උපාධිය පිළිගන්න කියලා අධිකරණයෙන් මීට පෙර වෛද්‍ය සභාවට දැනුම් දීලා තියෙද්දිත්, මේ උපාධිය පිළිගන්නේ නැහැ කියලා කියන්න අපේ වෛද්‍ය සභාවට බලතල නැහැ. නමුත් ඔවුන් තවමත් අපේ ආයතනයට කෙනෙහිලිකම් කරනවා. කෙසේ වෙතත්, දැනට විභාග වන නඩුවේ තීන්දුවෙන් පසු මේ ගැන යළි සාකච්ඡා කරමු කියලා එංගලන්ත වෛද්‍ය සභාව අපිට දැනුම් දීලා තියෙනවා. ඒ නිසා අපි මේ නඩුවේ තීන්දුව දෙන තෙක් බලාසිටිනවා.සයිටම් ‍ලේඛකාධිකාරී හුස්නි හුසේන් මහත්මිය පවසන්නීය.

 ගයාත්‍රි ගීගනආරච්චි

බලංගොඩ  ජනතාව කොතරම් රා බොනවාදැයි පසක් වූයේ ඉකුත්දා ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති බලංගොඩ පින්නවල අංක 02 රා තැබෑරුම ටෙන්ඩර් කරන අවස්ථාවේදීය.
එදින ටෙන්ඩර්කරුවන් කිහිපදෙනකු පැමිණ සිටි අතර ටෙන්ඩර් මණ්ඩලයේ ප‍්‍රධානියා වූයේ ඉඹුල්පේ ප‍්‍රාදේශීය මහලේකම් කීර්ති ජයසිංහ මහතාය. සෙසු සාමාජිකයින් වූයේ  සහකාර සුරාබදු කොමසාරිස් වී.යූ වික‍්‍රමරත්න, බලංගොඩ සුරාබදු ස්ථානාධිපති කපිල විජේසිංහ හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන ගණකාධිකාරීවරයාය.
උදෑසන 10.30ට පමණ ටෙන්ඩර් පත‍්‍රිකා විවෘත කිරීම සිදු විය. එක් අයෙකු රුපියල්  එක්කෝටි දස ලක්‍ෂයක ලංසුවක් දමා තිබිණි. තවත් අයෙක්  දමා තිබූ ලංසුව රුපියල් දෙකෝටි දස ලක්‍ෂයකි. වැඩිම ලංසුව ලැබී තිබුණේ ගාල්ල කරන්දෙණිය ප‍්‍රදේශයේ පුද්ගලයෙක් ඉදිරිපත් කළ ටෙන්ඩර් පත‍්‍රිකාවේය. එය රුපියල් දෙකෝටි හැත්තෑඅට ලක්‍ෂයක් විය.
ඒ අනුව 2018 වර්ෂයේ බලංගොඩ පින්නවල අංක 02 රා තැබෑරුම  පවත්වාගෙන යාම එම ලංසුව තැබූ පුද්ගලයාට ලබා දීමට ටෙන්ඩර් මණ්ඩලයේ ප‍්‍රධානී ඉඹුල්පේ ප‍්‍රාදේශීය ලේකම් කීර්ති ජයසිංහ මහතා තීරණය කළේය.
කීර්ති ජයසිංහ මහතා සඳහන් කරන අන්දමට ඉකුත් වසරේ මෙම රා තැබෑරුම ටෙන්ඩර් වුයේ රුපියල් එක්කෝටි තිස්තුන් ලක්‍ෂයකටය. එසේ ගණන් හිලව් බලනවිට මෙවර ටෙන්ඩරය පෙර වසරට වඩා දෙගුණයකින් පමණ වැඩි වී තිබේ.
මේසා විශාල මුදලකට අලෙවි වූ රා තැබෑරුම මහා ලොකු නගරයක් මැද්දේ ඇති එකකැයි කෙනෙකුට සිතෙනු ඇත. එ්ත් පුදුමය එසේ නොවීමයි. ලංකාවේ ලොකුම මුදලට අලෙවි වූ මෙම රා තැබෑරුම පිහිටා ඇත්තේ බලංගොඩ නගරයෙනුත් කිලෝමීටර් විස්සක් පමණ එපිටින් ඇති පින්නවල ග‍්‍රාමයේය.
පසුගිය කාලයේදී මෙම ප‍්‍රදේශයේ  ස්ථිර පොලිස් ස්ථානයක් ස්ථාපනය කිරීමටද හිටපු පොලිස්පති වරයකු වූ එන්.කේ. ඉලංගකෝන් මහතා පියවර ගෙන තිබුණි. පින්නවල එම හිටපු  පොලිස්පතිවරයාගේ උපන් ගම් ප‍්‍රදේශයද වේ.
අනවසර මත්පැන් මෙම ප‍්‍රදේශයේ බහුලව  ඇති නිසා එය වළක්වාලීමටත්, ප‍්‍රදේශයේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමටත්  අවශ්‍ය බැවින් ගමට ඇති ආදරය නිසාම මෙම පොලිස් ස්ථානය එන්.කේ. ඉලංගකෝන් මහතා විසින්  ඉදිකරන්නට ඇත. පොලීසිය විවෘත කරනු ලැබුවේ ඔහු විශ‍්‍රාම ගැනීමට දින කිහිපයක් තිබියදීය.
පින්නවල ප‍්‍රදේශය යනු සිංහල, මෙන්ම දෙමළ ජනතාව සම සමව ජීවත් වන ප‍්‍රදේශයකි. මෙම ප‍්‍රදේශයේ බෞද්ධ විහාරස්ථාන, හින්දු කෝවිල් හා කතෝලික පල්ලි රාශියක් දැක ගැනීමට හැකියාව තිබේ.
විශේෂයෙන් පින්නවල ප‍්‍රදේශය විශාල හා කුඩා තේ වතු ඇති ප‍්‍රදේශයකි. මේ තේ වතු වල හා තේ කාර්මාන්තශාලාවල සේවය කරන්නේ වැඩි වශයෙන් දෙමළ කම්කරුවන්ය.
වලේබොඩවත්ත, මාරතැන්නවත්ත හා ඒ ආසන්නයේම බගවන්තලාව වතු යායද පිහිටා තිබේ.
පින්නවල රා තැබෑරුම මෙරට පැරණිම රා තැබෑරුමකි. එය ආරම්භ වී ඇත්තේ විදේශකයින් මෙරට වතු පාලනය කරන සමයේය. එ් කාලයේ මුලින්ම බලංගොඩ නගරයේ රා තැබෑරුමක්  ස්ථාපනය කර ඇති අතර  ඉහත කී වතුවල සේවය කරන  කම්කරුවන්ට  බලංගොඩ නගරයට පැමිණිමේ අපහසුතාවය හේතුකොට ගෙන විදේශකයින්  පින්නවල රා තැබෑරුම අරම්භ කළ බව අතීත තතු දන්නෝ කියති.  අංක 01 රා තැබෑරුම ලෙස  බලංගොඩ නගරයේ  රා තැබෑරුමත්, අංක 02 රා තැබෑරුම ලෙස පින්නවල රා තැබෑරුමත් නම් කර ඇත්තේ එ් අනුවය.
රා තැබෑරුමේ ටෙන්ඩරය ලබා ගත් පුද්ගලයා කඩ කුලිය, විදුලි බිල්, වතුර බිල්, සේවක වැටුප්, රා සඳහා මුදල් ගෙවීම, ඒ සඳහා ප‍්‍රවාහන වියදම් ඇතුළුව මෙකී නොකී වියදම් සියල්ලමද ගෙවිය යුතුය. එ් ටෙන්ඩරය ලබාගැනීමට වැය කළ දෙකෝටි හැත්තෑ ලක්ෂයට අමතරවය.
එසේ රජයට ගෙවන දෙකෝටි හැත්තෑඅට ලක්‍ෂයට අමතරව ඔහු මෙම තැබෑරුමේ ගනුදෙනුවෙන් ලාභයක්ද ලැබිය යුතුව තිබේ. ලාභය ගැන නොසලකා හැරියද ටෙන්ඩරය සඳහා වැයකළ මුදල වසරක් තුළදී උපයා ගැනීමට වුවද ඔහු අවම වශයෙන් දිනකට රුපියල් අසූතුන් දහසක්වත් රා විකිණිය යුතුය.
ලාභයක් ලබන්නට නම් දිනකට රුපියල් ලක්ෂයකවත් රා විකිණිය යුතුය. බලංගොඩ මැතිවරණ කොට්ඨාසයට ඇත්තේ රා තැබෑරුම් දෙකකි. එකක් බලංගොඩ නගරයේය. අනෙක පින්නවලය. මුලින් කී පරිදි පින්නවල බලංගොඩ නගරයෙන් ඈත එපිට පිහිට ගමකි. එවැනි ගමක රා අලෙවියෙන් මෙතරම් මුදලක්  සොයා ගන්නේ කෙසේද? තවද පෝය දින හා රජයේ විශේෂ අවස්ථාවලදී තැබෑරුම වසා දැමීමට සිදු වේ.
සාමාන්‍යයෙන් බලංගොඩ ප‍්‍රදේශයේ  කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් අටසියයත් දහසත් අතර මුදලකි. රා බෝතලයක මිල රුපියල් එකසිය හතළිහකි. සාමාන්‍ය ගාණට පදම් වීමට නම් දිනකට රා බෝතල් තුනක්වත් පානය කළ යුතු බව රා බොන්නෝ පවසති.
ඒ අනුව  දිනකට කම්කරුවෙකු රා සඳහා අඩු තරමේ රුපියල් හාරසිය විස්සක්  වැය කරති. ඊට අමතරව වඬේ, මඤ්ඤොක්කා වැනි අමතර දේවල් සඳහා ද  තවත් රුපියල් පනහක්වත් වැය වේ. දුම්වැටි සහ බීඩි සඳහා  රුපියල් සියයක්වත් වැය කරති. ඒ අනුව දිනකට නිකරුණේ වැය කරන මුදල රුපියල් හයසියයකට ආසන්න වේ.
ඉන්පසුව නිවසේ වියදමට ඉතිරි වන්නේ රුපියල් දෙතුන් සියයකි. ඒ  අනුව බලන කල  පින්නවල ප‍්‍රදේශයේ ගෙවල්වල දිනපතා දිගහැරෙන අඬ දබර සමනය කිරීමට නම්  පින්නවලට පොලීසියක් නැතිවම බැරි බව නම් පැහැදිලි සත්‍යයකි.
මේ කරුණු කාරණා මෙසේ තිබියදී රා තැබෑරුම්වල විකිණිමට ඇත්තේ නියම පොල් රා නොවන බවත් ඒවා කෘත‍්‍රිමව නිෂ්පාදනය කරන රා බවත් රා බොන්නෝ පවසති.  ලංකාවටම අවශ්‍ය තරම්  පොල් රා නිෂ්පාදනය කරන පළාතක් අප දන්නා තරමට ලංකාවේ නම් නැත්තේය. බලංගොඩ ප‍්‍රදේශයට අවශ්‍ය රා රැගෙන එන්නේ මීගමුව ප‍්‍රදේශයෙනි.
කිතුල්ගහට ගිය මිනිහාටද නිදහසට කියන්නට දෙයක් ඇත්තේය. දිනපතා ඇඟ වෙහෙසන තමන් හැන්දෑවට රා උගුරක් බොන්නේ ඇගේ අමාරුවට බව රා බොන්නෝ කියති. රා පානයට මුදල් වියදම් කිරීම ගෙදරට බරකි. එ්ත් විකල්පයක් නැතැයි ඔවුහු කියති.
ගෙවත්තක ඇති  පොල් ගසක් , කිතුල් ගසක්  මැද ගෙන රා ටිකක් නිෂ්පාදනය කර ගැනීමට  සහනදායී වැඩපිළිවෙළක් සලසා දෙන්නේ නම් එය තමන්ට ලොකු සහනයක් බවද මොවුහු කියති.
එහෙත් බලංගොඩ සුරාබදු ස්ථානාධිපති  කපිල විජේසිංහ  නම් කියන්නේ  රුපියල් පනහක් වැනි සුළු මුදලක් ගෙවා රා මැදීම සඳහා වාර්ෂික බලපත‍්‍රයක් ලබා ගත හැකි බවයි.

සරත් වීරවංශ

දේශපාලනික කරුණු  වලට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු ජනතාවගේ අවධානයට ලක්ව ඇති හේතු කාරණා කිහිපයක් ඇත. නිසැක ලෙසම ඉන් මුල් තැන ගනුයේ ඔහු විසින් කථා ව්‍යවහාරයේ දී යොදනු ලබන 'හිටං' යන වදනය.

තම පෞද්ගලික කතා ව්‍යවහාරයේ දී සේම වසර 28 ක පාර්ලිමේන්තු දේශපාලනික කතා ව්‍යවහාරයේ දී ද ඔහු විසින් යොදා ගන්නා ලද මේ 'හිටං' යන වදන සමාජ කරළියට පිවිසෙන ලද්දේ ඒ මහතා ගේ ජනාධිපති පදවි ප්‍රාප්තියත් සමඟිනි මෛත්‍රීපාල සිරිසේන නාමය මේ 'හිටං' යන වදනත් සමඟම කොතෙක් සහ සම්බන්ධ වී තිබේද යත් ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ඔහු 'හිටං සි‍රිසේන' යනුවෙන් හඳුන්වා ඇති අවස්ථාද අපි දැක ඇත්තෙමු.

එහෙත් මේ 'හිටං' කතාවේ සුල මුල පිළිබඳව මෙතෙක් විධිමත් අනාවරණයක් සිදුවී ඇති බවක් නොපෙනේ.

'හිටං' යනු කිසියම් වාක්‍යක් අවසානයේ හෝ මධ්‍යයට යෙදෙන විරාම වාචකයකි. කිසියම් කථාවක් කරන අතරේ නිශ්චිත අදහසක් පළවන වැකියක් අවසන් වූ පසු  හෝ එහි සමාප්තිය හඟවනු පිණිස හෝ විරාමයක් හඟවනු පිණිස 'හිටං' කියා යෙදීමත් ඇතැම් ප්‍රදේශ වල ගැමි වහරේ දක්නට ඇත. ඇතැම් ප්‍රදේශ වල මේ 'හිටං' යන්න 'ඉඳං' යනුවෙන් පැවසෙන බවද නොරහසකි. මෙහි අරුත වන්නේ සිට ගැනීම ඉඳ ගැනීම වුවද මෙහිදී එය පැවසෙනුයේ තම අදහසට යම් ස්ථාවරත්වයක් ලබා දීම පිණිසය.

ඇතැම් ප්‍රදේශයක 'මම මිනිහට කිව්වා හිටං' යනුවෙන් යම් කිසි වාක්‍යයක් හමාර කරන විට, තවත් ප්‍රදේශයක ගැමියෙක් 'මම මිනිහට කිව්වා ඉඳං' යනුවෙන් පවසනු අසන්නට පුළුවන.

මේ අතර තවත් ප්‍රදේශ වල මේ 'ඉඳං' යන්න වෙනුවට 'ඉඳගෙන' යන වචනයද පැවසෙනු අසන්නට ඇත.

එවිට ඒ පුද්ගලයා පවසනුයේ 'මම මිනිහට කිව්වා ඉඳගෙන' යනුවෙනි. මෙම ඉඳගෙන යන්නද  වාක්‍යයක් අවසානයට සේම වාක්‍ය කණ්ඩයක් අතරතුර යෙදෙන අවස්ථා ද තිබේ.

ජනාධිපතිවරයාගේ මේ 'හිටං' කතාව උපහාසයට නංවන එක්තරා නූතන ප්‍රබන්ධ කතාවක් මෙසේය.

වරක් විදේශ සංචාරයක යෙදුණු ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන මහතා සිංහලයෙන් එම සභා වාරය ඇමතීය. එහිදී ඔහුට සුපුරුදු ලෙස කිහිපවරක්ම 'හිටං' යන වදන කියවිණි. එහිදී එම කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කළ පරිවර්තකයා එහ 'හිටං' යන්න 'Stand' යනුවෙන් ඉංග්‍රීසියට නඟා සභාවට ඉදිරිපත් කරන ලදී.

සිංහල බසේ පමණක් නොව ඉංග්‍රීසි බසෙහිද විවිධ ජාතික සංස්කෘතික අනන්‍යතාවයන් අඟවන මෙවන් වදන් ඇතුලත් වී තිබේ. බාහිර පුද්ගලයන්ට ඒවායෙන් නිසි අරුතක් පළ නොවුවද එම ජාතික සංස්කෘතික සන්දර්භය තුළ සිටින්නවුන්ට ඒවා ද ඉංග්‍රීසි‍යේම කොටසකි.

ඒ කෙසේ හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිතර යොදන මේ 'හිටං' යන වදන ඔහු ජන්ම ලාභය ලැබූ වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ එනම් සියනෑ, හාපිටිගම් සහ අළුත්කූරු කෝරළ වල බහුලව යෙදුණු වදනකි. නමුත් නූතන පරපුර අතින් මෙම ව්‍යවහාරය ගිලිහී ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා ද වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට හා හාපිටිගම් කෝරළයට අයත් අඹේපුස්ස බෝතලේ වලව්වේ උපත ලැබූවෙකි. ඔහුගේ වාග් ව්‍යවහාරය තුළ  මෙම 'හිටං' යන්න කෙතරම් සුලබ ලෙස යෙදී තිබේද යන්න මේ වී‍ඩියෝව නරඹන ඔබට මනාව පසක් වනු ඇත.

මෙහි විනාඩි 05 යි තත්ත්පර 17 ක කාල සීමාව තුළ කරනු ලබන කතාවකදී ඔහු 20 වාරයක් 'හිටං' යන වදන පවසා තිබේ.

නමුත් නූතන පරපුර අතින් බැහැරව ගිය මෙම පැරණි ජනයෙදුමට රාජ්‍ය හා ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් ලබා දීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අප වෙනම ස්තූතිවන්ත විය යුතුය.



තිලක් සේනාසිංහ

 

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2347

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1550

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 821

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1835

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5471

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3419

Please publish modules in offcanvas position.

Web Analytics