Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නැතිවූ සහ සොරකම් කළ දේවල් පිළිබඳව දැන ගැනීම පිණිස සාත්තර, නිමිති, අංජනම්, පේන ආදියේ පිහිට පැතීමට අප සමාජයේ බෙහෝ දෙනෙක් පුරුදුව සිටිති. මෙම ගුප්ත සාත්තර වල ඇති සත්‍යතාව විමසීම පිණිස නොයෙකුත් විමර්ශන සිදු කොට ඇති මට සැබැවින්ම නැති වූ යමක් මුල් කොට එවන් සාත්තරයක් ඇසීමේ දුලබ අවස්ථාව පසුගිය සෙනසුරාදා(සැප් 30) උදාවිය.

ඒ මා භාවිතා කළ ජංගම දුරකථනය කොළඹ කොටුවේ ඕල්කට් මාවත සහ පලමු හරස් වීදිය අතර මංසන්දියේදී ඊට  පෙර සිකුරාදා(සැප් 29) හරියටම පස්වරු 2.30ට ගැට කපන්නෙකු විසින් පැහැර ගැනීම නිසාය. ඒ සම්බන්ධයෙන් ඒ මොහොතේම පිටකොටුව පොලීසියට පැමිණිලි කළ මම ජංගම දුරකථනයේ එමි අංකයද ලබා දුනිමි. ඊට පසු දින එනම් ඊයේ(30) සීතාවක ජනශ්‍රැති විමර්ශනයක් සඳහා රුවන්වැල්ල ප්‍රදේශයට ගිය මම එහි සිටින මගේ හිතවතෙකුට ජංගම දුරකථනය නැතිවීමේ පුවත කීවෙමි.

එවිට ඔහුගේ බිරිඳ වහා ඉදිරිපත්ව කීයේ තමන් යන කරුණ පවසා ඊට ගත යුතු පියවර පිළිබඳව පවසන සාස්තර මෑණි කෙනෙක් ඊට නොදුරු ගමක වෙසෙන බවය.

කාලිඅම්මාගේ ආරූඩයක් සහිත ඇය අපගේ ශරීර තුළ ඇති රෝග පීඩා පිළිබඳව කියා ඒවාට විසඳුම් ඉදිරිපත් කරන බවද හිතවතාගේ බිරිඳ කීවාය.

ඈ කී කතාවෙන් මගේ සිත තුළ මහත් සතුටක් ජනිත විණි. ඒ එම සාත්තරකාරිය ක්‍රියාවට නංවන 'සාත්තර සූත්‍රය' කුමක් දැයි දැන ගැනීමට මට ඉඩ ලැබෙන බැවිනි. කෙසේ හෝ ඒ සාස්තර දේවාලය ඇති ප්‍රදේශය තනිව සොයා ගත නොහැකි යැයි කී මගේ හිතවතා මගේ මඟ පෙන්වන්නියගේ භූමිකාව සිය නව යොවුන් දියණියට පැවරුවාය. ඒ අනුව ඇය ද සමගින් එම සාත්තර මෑණියන් හමුවට ගිය මට දේවාලය ඉදිරියේ පැයක් පමණ බලා හිදීමට සිදු විය.

ඒ සාස්තර මෑණියන්ට එදින කාලි ආරූඩය ඒමට තරමක් ප්‍රමාද වූ බැවිනි. එදින වැසි සහිත කාලගුණයක් පැවිති බැවින් සිග්නල්  අඩු වීම මත මත මෙසේ ආරූඩය ප්‍රමාද වන බව මම මා සමඟ සිටි දියණියට රහසින් කීවෙමි.

අප එහි යන විට තවත් වියපත් කතුන් දෙදෙනෙක්ද එහි පැමිණ සිටි මුත් එහිදී පියෙකු හා දියණියක ලෙස හැසිරෙමින් සාත්තර කියන වාරය එන තෙක් බලා සිටි අපට ආරූඩයට පත් කාලි අම්මාගෙන් මුල්ම ඇමතුම ලැබිණ. එහිදී කාලි අම්මාට මගේ සිත කියවීමට  හැකි වුයේද ජංගම දුරකථනය පිළිබඳව කීමට හැකිවුයේද යන්න මෙම හඬ පටය අසන ඔබට මනාව ඒත්තු යනු නියතය.

තිලක් සේනාසිංහ

දිමංක වෙල්ලාලගේ ගායනා කරන අවසාන ප්‍රේමයයි මාගේ ගීතය මීට වසර දෙකකට පමණ පෙර ඔෂානි සංදීපා විසින් පංති කාමරයකදී ගයද්දී එය දුරකථනයකින් වීඩියෝ ගත කරලා අන්තර්ජාලයේ මුහුණු ‍පොතට මුදාහැර තිබුණා. දින දෙක තුනක් තුළ නොසිතූ විදියට මේ ගැන රටේම කතා බහට ලක්වන විට ගීතයේ රචකයා වන ඩිලාන් ගමගේ සහ සංගීත අධ්‍යක්ෂ අශාන් ප්‍රනාන්දු විසින් අවසාන ප්‍රේමයේ කඳුළේ නමින් එයට පිළිතුරු ගීතයක් නිර්මාණය කරලා ඔෂානි ලවා ගායනා කළා. තමන්ගේ අවසරයකින් තොරව මේ කටයුත්ත කළ බවට දිමංක ඒ දිනවල සිිත් වේදනාවෙන් අදහස් පළ කළා. කොහොම නමුත් ඔෂානි රටේම ජනප්‍රිය තරුවක් බවට පත් වීමට මේ ගීතය බලපෑවා. නමුත් අද වන විට ඩිලාන්ලා සහ ඔෂානි අතර සිත් රිදීමක් ඇති වී ඇති බවයි ආරංචි. මේ දිනවල අන්තර්ජාලය හරහා මේ දෙපාර්ශ්වයම එකිනෙකාට ඇඟිලි දිගු කරගන්නවා. මේ ගැන අපි මේ දෙපාර්ශ්වයෙන්ම අදහස් විමසුවා. අවසාන ප්‍රේමයයි ගීතය ජනප්‍රිය ගීයක් වුණේ දිමංකගේ හඩින් බව අමතක කරන්න බැරි නිසා අපි ඔහුවත් මෙම සංවාදයට එක්කාසු කර ගත්තා.
 
පුංචි අතපසු වීමක් වුණා. ඒත් මගේ හැදියාව හොඳ නෑ කියලා අන්තර්ජාලයේ දැම්මාම ගෑනු ළමයෙක් විදියට මට දුක හිතුණා 
 
- ඔෂානී සංදීපා
 
මම 2011 දී දෙරණ ලිට්ල් ස්ටාර් තරගයේ දක්ෂතම ගායනයට හිමි කිරුළ හිමි කරගත්තා. ඒ තුළින් තරගය නැරඹු අය අතර මට ජනප්‍රියත්වයක් හිමි වුණා. ඒ වගේම අවසාන ප්‍රේමයයි ගීතය පන්තියේදී ගායනා කරලා ඒක අන්තර්ජාලයට මුදා හැරියාට පස්සෙත් මුහුණු ‍පොත හරහා මට ජනප්‍රියත්වයක් ලැබුණා. ඔය අවස්ථාවේ ඩිලාන් අයියා හා අශාන් අයියා මා වෙනුවෙන් අවසාන ප්‍රේමයයි කඳුළේ ගීතය නිර්මාණය කළා. ඒ ගීතය මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් කීවොත් නිවැරදියි. මේ නිසා මම හැම රූපවාහිනී සාකච්ඡාවකදීම සහ පුවත්පත් සාකච්ඡාවකදීම වගේ ඒ දෙන්නවම ආදරයෙන් සිහිපත් කළා. නමුත් එක්තරා පුවත්පතක් සමග කළ සාකච්ඡාවකදී ඒ දෙන්නගේ නම් සඳහන් කරන්න මට අමතක වුණා. ඒ නිසයි ඩිලාන් අයියගේ හිත රිදිලා මා ගැන සටහනක් ෆේස් බුක් එකේ දාලා තිබුණේ. මමත් සිදුවූ අතපසුවීමට සමාව ඉල්ලලා ෆේස් බුක් සටහනක් දැම්මා. ඒත් ඒ සටහනට යම් යම් අය දාලා තිබූ කමෙන්ට් හා ඇති වූ ආන්දෝලනය නිසා මම ගොඩක් කලබල වුණා. ඒ වගේම මගේ හිත තදින්ම රිදුණා. ඒ වගේ වෙලාවක තමයි මම අන්තර්ජාල වබේ අඩවියකින් කතා කළාම උත්තර දුන්නේ. ඒ සාකච්ඡාවේදී මගේ උත්තර ටිකක් ආවේගශීලී වෙන්න ඇති. ඒකට හේතුව පුංචි අතපසුවීම නිසා මට ලොකු හිත් රිදීමක් වීම. මගේ හැදියාව ගැන ඩිලාන් අයියා කියලා තිබුණම මට ගොඩක් දුක හිතුණා. ගෑනු ළමයකුට හැදියාව හොඳ නෑ කියද්දී හිත රිදෙනවා. මගෙන් සිදුවූ අතපසු වීම, නම සඳහන් කරන්න බැරි වීමක් විතරයි. හැබැයි එහෙම වුණේ මගේ හැදියාවක් නැතිකම නිසා ‍නෙවෙයි. ඒක අතපසු වීමක් පමණයි. අවසාන ප්‍රේමයයි කඳුළේ ගීතයට මමවත් තාත්තාවත් මුදල් බලා‍පොරොත්තු වුණේ නැහැ. ඒ වෙද්දී අපි රිංගිං ටෝන් ගැන  දැනගෙන හිටියෙත් නැහැ. ඒත් මුදලට වඩා වටිනා දෙයක් ඒ ගීතයෙන් මට ලැබුණා. ඒකට මම ඩිලාන් අයියාට ස්තූති කරනවා. 
 
හැකියාව වගේම හැදියාවත් වැදගත් කියලා මම එෆ්.බි. එකේ දැම්මේ ඇගේ ඉදිරි ගමනට යහපතක් කරන්නයි 
 
- ඩිලාන් ගමගේ 
 
ඔෂානි ගීත ගායනා කරලා තියෙන බවක්වත් ඇය පුංචි දැරියක් විදියට ලිට්ල් ස්ටාර් තරගයෙන් ජයග්‍රහණය කරලා තියෙන බවවත් මම මුලදී දැනගෙන හිටියේ නැහැ. මම ඇයව දැන ගත්තේ අවසාන ප්‍රේමයයි ගීතය තුළින් ෆේස් බුක් හරහා ඇය රටේම කතාබහට ලක්වන විටදීයි. ඒ වෙලාවේ වැඩි විස්තර හොයලා බලද්දී ඇය ඇඹිලිපිටියේ අහිංසක ළමයෙක් බව දැන ගන්න ලැබුණා. මමත් ඇඹිලිපිටියේ. කැ‍ලේ පිපුණ මලකට රටටම සුවඳ විහිදුවන්න උදව් කරනවා කියන ච්ෙතනාවෙන් තමයි මම මගේම වියදමින් අවසාන ප්‍රේමයයි කඳුළේ ගීතය ඇයට නිර්මාණය කරලා දුන්නේ. ඒ අවස්ථාවේ ඔෂානියි ඇගේ තාත්තයි ගොඩක් සතුටින් ගෞරවණීය විදියට මගේ ආරාධනය පිළිගත්තා. ගීතයත් එක්කම ඇයට අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණා. හැබැයි කාලයක් යද්දී ඇයට මාවයි අශාන්වයි අමතක වුණා. 2015 දී ඔය ගීතය පටිගත කරලා ගියාට පස්සේ අද වනතුරු ඇය මට දුරකථනයෙන් කතා කරලා දුක සැප අහලාවත් නැහැ. ඔෂානිගෙ තාත්තා එකම වතාවක් විතරක් මට කතා කළා. ඒ ඔෂානිට තවත් ගීතයක් ලියන්න කියලා කියන්නයි. ඒත් ඇතිවූ කලකිරීම මත මම එය ප්‍රතික්‍ෂේප කළා. මම ආයේ කිසිම දාක ඔෂානිට සිංදු ලියන්නේ නැහැ. හැබැයි ඇය සමග කිසිම අමනාපයක්වත් වෛරයක්වත් නැහැ. පුංචි ළමයෙක් එක්ක ගැටුම් ඇති කරගන්න මට බැහැ.
මම ඇයට උදව් කිරීමේ පරම පවිත්‍ර ච්ෙතනාවෙන් අවසාන ප්‍රේමයයි කඳුළේ ගීතය නිර්මාණය කළාට එය රිංගිං ටෝන් සඳහා දෙන්න ඇය හිතාගෙන හිටියාද කියලා ඇගේ යම් යම් ප්‍රකාශ වලින් පෙනෙනවා. ඒ ගීතයේ අයිතිකරු මම. ඒ ගීතය ඇයට නිර්මාණය කළේ මගේ වියදමින්. මම ඒක රිංගිං ටෝන් වෙනුවෙන් දුන්නා. ඒත් ඒ වෙද්දී දිමංකගේ ගීතය ජනප්‍රිය වෙලා ඉවරයි. ඒ හින්දා ඔෂානිගේ ගීතයෙන් රිංගිං ටෝන් හරහා සතයවක් මට ලාභ ලැබුණේ නැහැ. මම ඇති කළ කෙනා මමම නැති කරනවා කියන අදහස නම් මගේ හිතේ කොතනවත් නැහැ. ඇය දක්ෂයි හැකියාව වගේම හැදියාවත් වැදගත් කියලා මම එෆ්.බි. එකේ සටහනක් දැම්මේ ඇගේ ඉදිරි ගමනට යහපතක් කරන්නයි. වැඩිහිටියකුගේ යුතුකම ‍පොඩි ළමයකුගේ වැරදි පෙන්නලා දෙන එකයි. ඒත් ඒ ප්‍රකාශයන් ඇය වැරදියට වටහාගෙන ඇති බවයි එක්තරා වබේ අඩවියකට කළ ප්‍රකාශයකින් මට තේරුම් ගියේ. ඒ කොහොම වුණත් දක්ෂතාව හා නිහතමානිකම වැඩි දියුණු කරගෙන ක්‍ෂේත්‍රය තුළ දිග ගමනක් යන්න හැකිවේවා කියල මම ඔෂානිට සුබ පතනවා. 
 
මුල අමතක කරන්නත් හොඳ නෑ කළ උපකාර ගැන නැවත නැවත කියන්නත් හොඳ නෑ 
 
- දිමංක වෙල්ලාලගේ 
 
“අවසාන ප්‍රේමයයි මාගේ ගීතය මුල් කරගෙන අද වෙද්දී ඩිලාන්ටයි ඔෂානිටයි හිත් රිදීමක් ඇති වෙලා. ඔය හිත් රිදීම මට ඇතිවුණේ 2015 දී. මම මහා ගායකයෙක් නම් මගේ ගීතයට පිළිතුරු ගීතයක් කළාට මට ගැටලුවක් නැහැ. මමත් මහන්සියෙන් ඉදිරියට එන්න හදන කෙනෙක්. අවසාන ප්‍රේමයයි ගීතයෙන් මම මතුවේගෙන එන වෙලාවේ ඒ ගීතයට පිළිතුරු ගීතයක් නිර්මාණය වීම මට විශාල පහරක් වුණා. එදා ඔෂානිගේ ගීතය මතුවෙලා මගේ ගීතය යටපත් වෙලා ගියා නම් මේ වෙද්දී මගේ ගායන ජීවිතය නතර වෙලා. ඒත් මොකක්දෝ වාසනාවකට මගේ ගීතය යටපත් වුණේ නැහැ. ඔෂානියි ඩිලානුයි අශානුයි අතර අද ඇති වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය ගැන මට ප්‍රකාශ කරන්න වෙන්නේ පිටස්තර තැනක ඉඳලා. මට කියන්න තියෙන්නේ මෙපමණයි. අවසාන ප්‍රේමයයි ගීතයට ච්ඥපචදච ර්භඵඪජ ඪඤඥධ ඒඹචපඤ වලදී මා සම්මානයට පාත්‍රවූ මොහොතේ මම එය නිර්මාණය කළ ඩිලාන්ටයි අශාන්ටයි ස්තූති කළේ දෙවැනියට. පළමුවෙන් සිහිපත් කළේ මාව ක්‍ෂේත්‍රයට ගෙනාපු රාජ්ව. මොකද කවදාවත් මුල අමතක කරලා ඉදිරි ගමනක් යන්න බැහැ. ඒ වගේම තමයි අපි කාටහරි අවංක හිතින් උදව්වක් කළා නම් ඒ වෙනුවෙන් ප්‍රතිඋපකාර හෝ ගෞරවයන් බලා‍පොරොත්තු විය යුතුත් නැහැ. ඔෂානිටයි ඩිලාන්ටයි දෙන්නටම මට කියන්න තියෙන්නේ එපමණයි. අනික ඉතින් මම අමරදේව ‍නෙවෙයි. ඩිලාන් රත්න ශ්‍රී විජේසිංහ නමෛයි. ඔෂානි නන්දා මාලනී නොවෙයි. අපි අපේ තරම වටහා ගෙන ඉදිරි ගමන සකසා ගත යුතුයි කියලා මම මේ මොහොතේ කාට කාටත් සිහිපත් කරන්න කැමතියි. 
 
ආරියවංශ කුලතිලක

රූපවාහිනියෙන් දෙනුවන්ව දකින අය නම් හිතනවා ඇති දෙනුවන් නිරතුරුවම සතුටු සාගරයක කිමිදිලා ඉන්න කෙනෙක් කියලා?
ඒ සිතුවිල්‍ලේ වරදකුත් නැහැ. මොකද මම කොහොමත් සතුටින් ඉන්න කෙනෙක්.
 
ඒ කියන්නේ දෙනුවන්ට දුකක් දැනෙන්නේම නැද්ද?
මමත් දුක්වන අවස්ථා තියෙනවා. ඒත් මම මගේ දුක සතුටකට හරවා ගන්න තමයි නිතරම උත්සාහ කරන්නේ.
 
දෙනුවන් වැඩිපුරම දුක්වූ අවස්ථා මොනවාද?
අපේ රටේ කලාකරුවන්ට නිසි සැලකිල්ලක් නැහැ. ඇගයීමක් නැහැ. ඒ ගැන හිතනකොට නම් ලොකු දුකක් ඇතිවෙනවා. 
 
නළුවකු විදියට ඔබ සිටින තැන ගැන හිතද්දී දැනෙන්නේ සතුටක්ද දුකක්ද? 
ලොකු සතුටක් ඇතිවනවා. මම සිහින කුමාරයෙක් ‍නෙවෙයි. සිහින කුමාරයෙක් වුණාම කාන්තා පාර්ශ්වයේ අසීමිත ආකර්ෂණය ලැබූ නළුවෙක් වෙන්න පුළුවන්. ඒත් මට එහෙම ආකර්ෂණයක් නැහැ. හැබැයි ‍පොඩි 
ළමයාගේ ඉඳන් ගෑනු පිරිමි භේදයකින් තොරව හැම වයස් කාණ්ඩයකම රසිකයින් මට ඉන්නවා.
 
සැබෑ ජීවිතයේදීත් කැමරාව ඉදිරියේදී වගේම විහිළු තහළු කරලා අනිත් අය සතුටු කරලා තමනුත් සතුටුවන කෙනෙක්ද ඔබ ?
අනිවාර්යයෙන්ම ඔව්, ඉස්කෝ‍ලේ යන කා‍ලේ ඉඳලා විහිළු කරන්න නම් මම ගොඩක් ප්‍රසිද්ධයි. 
 
විහිළු හින්දා දුක් වෙලා නැද්ද?
නැහැ
 
විහිළු දුරදිග ගිහින් ඇස් රතුවන අවස්ථා අපි කොයිකාටත් තියෙනවා. දෙනුවන් විහිළු හින්දා දුක්වෙලා නැද්ද?
මගේ විහිළුවලට. අනිත් අය දුක්වූ අවස්ථා නම් තියෙනවා.
 
දෙනුවන්ගේ විහිළු හින්දා වැඩියෙන්ම දුක්වෙලා තියෙන්නේ කලා ලෝකයේ අයද පෞද්ගලික ජීවිතයේ හිත මිතුරන්ද? 
පෞද්ගලික ජීවිතයේදී අපිට සීමා අඩුයි. පාසල් ජීවිතේදී සීමාවන් හොඳටම අඩුයි. මගේ විහිළු හින්දා අනිත් අය වැඩියෙන්ම දුක්වෙලා තියෙන්නේ පෞද්ගලික ජීවිතයේදී. ඒ අතරිනුත් පාසල් කාලෙදි ඒ වගේ අවස්ථා වැඩියි. හැබැයි කලා ලෝකෙදීත් ඒ වගේ දේවල් වෙලා තියෙනවා. 
 
කලා ලෝකෙදී දෙනුවන්ගේ විහිළුවක් හින්දා වෙනත් කෙනෙකු දුක්වූ අවස්ථා අතුරින් අමතකම නොවන අවස්ථාව මොකක්ද?
විශ්වයි මමයි මෙහෙයවන “දෙරණ රියැලිටි” තරගයකදී තමයි ඒ දේ වුණේ. ඒ සිදුවීමට සම්බන්ධ නිළියගේ නම නම් කියන්න බැහැ. වැඩසටහන අපි කොහොමත් හාස්‍ය රසය මතුකරවන විදියට තමයි කරන්නේ. ඒ හින්දම මම වැඩසටහන අතරදී අර නිළියට විහිළුවක් කළා. මගේ විහිළුව දරුණුයි කියලා මට තේරුණේ නැහැ. ඒත් අර නිළිය වැඩසටහන මැද අඬන්න පටන් ගත්තා. අදටත් ඒ නිළිය මග තොට හමුවුණත් මාත් එක්ක වැඩි කතාබහක් නැහැ.
 
පෞද්ගලික ජීවිතේදී සිදුවූ ඒ වගේ අවස්ථා ගැන කතාකළොත්?
පාසල් කාලෙදි තමයි ඒ වගේ අවස්ථා වැඩියෙන්ම සිදුවුණේ. එක දවසක් මගේ විහිළුවක් දුරදිග ගිහින් යාළුවෙක් මාව මරනවා කියලා පන්නගෙන ආවා. දවසක් සර් කෙනෙකුට විහිළුවක් කරලා මාව ස්ටේජ් එක උඩ දණ ගස්සලා තිබුණා.
 
ආදරේ හින්දා දෙනුවන් වැඩියෙන්ම විඳලා තියෙන්නේ සතුටද.... දුකද?
මගේ ප්‍රථම ප්‍රේමය විවාහය දක්වාම ආවා. ආදරේ හින්දා සතුට මිසක් දුක නම් මම විඳලම නැහැ.
 
වැඩියෙන්ම සතුට රැඳිලා තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජීවිතය තුළද?
මගේ ජීවිතේ ගැන හිතද්දී මට නම් කියන්න තියෙන්නේ අතීතයට වඩා වර්තමානය ගොඩක් සතුටුයි. මට හොඳ බිරිඳක් ඉන්නවා. හෙට අනිද්දා මම තාත්තා කෙනෙක්. මට නම් වැඩිපුරම සතුටක් දැනෙන්නේ විවාහ ජීවිතයෙන්.
 
ආරියවංශ කුලතිලක 
 
ඡායාරූප - මංජුල පෙරේරා, තුෂාර සංජීව

මරණය යනු අතිශය වේදනාකාරී අත්දැකීමක් බව ලෝක සම්මතයකි. එහෙත් එය හුදෙක් අනුමානයක් පමණක් බව කිව යුත්තේ මරණයට පත්වූවෙකුගෙන් ඒ පිළිබඳ විමසා බැලීමට ලොව කිසිවෙකුටත් නොහැකි බැවිනි.

මරණය වේදනාකාරී සංසිද්ධියක්ය යන අනුමානයට පිවිසීමට කරුණු කිහිපයක් පදනම් වේ. බොහෝ දෙනෙකුගේ මරණයත් සමඟ දෙනෙත් වල කළු ඉංගිරියාවන් කැරකැවී යාම, මරණයෙන් පසු බොහෝ දෙනෙකු හට මළ මුත්‍ර පහව තිබීම සහ මිය ගිය පසු මුහුණේ වේදනාත්මක ඉරියව් පළ වීම. මරණය වේදනාත්මක බව හඟවන දෘෂ්‍යමාන සාක්ෂි කිහිපයකි.

මිනිසෙකු කුමන කරුණක් මුල් කොට මිය ගියද එම මරණය සිදුවීමට හේතුවන ප්‍රධාන කාරණා 03 ක් තිබේ.

01.මොළය අක්‍රීය වීම.

02.ස්වසනය ඇන හිටීම.

03.හෘදය අකර්මන්‍ය වීම.

නිදසුනක් ලෙස කිසියම් පුද්ගලයෙකු හෘදයාබාධයකට ලක්වීම මත හෘදය අකර්මන්‍ය උවවොත් ඒ සමඟම මොළයට අම්ලකර සැපයුම ඇනහිට විනාඩි 03 ක් තුළ මොළයද අක්‍රිය වනු ඇත. එවිට මොළයද අක්‍රිය වීම මත  ඒ පුද්ගලයාගේ ස්වසනය ද නතරවනු ඇත. මොළයේ සිදුවූ අසාදනයක් මුල් කොට මිය යන පුද්ගලයකුගේ මොළය අකර්මන්‍ය වූවහොත් ඉතා කෙටි වේලාවක් තුළ හෘදය වස්තුව හා ස්වසන පද්ධතිය ද අක්‍රිය වනු ඇත.

ඒ අනුව හදිසි අනතුරකින් හෝ කම්පනයකින් මොළයේ ස්නායු වලට හානි පැමිණීමෙන් දැඩි සත්කාර ඒකකයකට ඇතුල් කරන රෝගියෙකු හට නවීන යන්ත්‍රයක මාර්ගයෙන් අම්ලකර ලබා දුන හොත් ඒ පුද්ගලයාගේ මොළය මිය ගිය පසුද ශරීර යාන්ත්‍රණය කෘත්‍රිම ලෙසින් ක්‍රියාත්මක වනු ඇත. ඊට පසුව හෘදය එම කෘත්‍රිම යාන්ත්‍රණය ද ප්‍රතික්ෂේප කළහොත් එසැනින් ඒ තැනැත්තාගේ මරණය සම්පූර්ණ වනු ඇත. මෙසේ හෘදය නතරවීමෙන් සිදුවන මරණය හැඳින්වෙනුයේ සායනික මරණය
(Clinical Death) ලෙසිනි.

එහෙත්  මොළය මුලුමනින් අකර්මන්‍ය කෙනෙකුට හෙවත් මස්තිස්ක මරණය ( Brain Death ) සිදුවූ කෙනෙකුට යළි කිසිසේත් නැවත ජීවිතයට පිවිසිය නොහැක.

බොහෝ විට අන්‍යයන්ට බද්ධ කිරීම සඳහා ශරීර කොටස් වෙන් කර ගනුයේ එසේ මොළය මිය ගිය තැනැත්තන්ගෙනි. මොළය මිය යාම නිසා මොවුන් හට කිසිදු වේදනාවක් නොදැනෙන බව සහතිකය. මන්ද ශරීරයේ වේදනා පාලන මධ්‍යස්ථානය මොළය වන බැවිනි.

යමෙකුගේ මරණය සිදුවන ආකාර 03 ක් තිබේ. ඉන් පළමු වැන්න රෝගී තත්ත්වයක් ය‍ටතේ සිදුවන මරණය.

මෙහිදී එම රෝගය නිසා ඒ පුද්ගලයා දරුණු කායික වේදනාවන්ට ලක් වීම වැලැක්විය නොහැක. සුවපත් කළ නොහැකි රෝගියෙකු මෙලෙස කායික වේදනාවන් වලට පත් වන අතරේ වේදනා නාශක ආදී මගින් එම වේදනාව අවම කළ හැක. මේ සඳහා වන විධිමත් ප්‍රතිකාර පද්ධතියක් ලොව පුරා ක්‍රියාත්මක වන අතර එය හැඳින්වෙනුයේ Palliative Care යනුවෙනි.

සරළ නිදසුනක් ලෙස, ශරීරය පුරා පැතිර ගත් පිළිකා තත්ත්වයක් දැක්විය හැක.

එහෙත් එම රෝගය නිසා ලබන පීඩාව හැරුණු කොට ඉහත රෝගය නිසා මොළය, ස්වසනය හෝ හෘදය අක්‍රීය වන අවස්ථාවේ එම මරණය සිදුවීම මුල්කොට සුවිශේෂ වූ වේදනාවක් ඒ පුද්ගලයාට ලැබේද යන්න පිළිබද පැහැදිළි විද්‍යාත්මක නිගමනයක් නැත. එහිදී මිය යන පුද්ගලයාගේ දෑස් එක්වරම කැරකැවී යාම හෙවත් අක්ෂි චලන වේග ( REM – rapid eye movement) වේදනාව නිසා සිදුවන්නක් බව යමෙකුට හැඟි යා හැකි වුවද මොළයේ ක්‍රියාත්මක භාවය අඩාල වීම මුල්කොට ගෙනද එවන් තත්ත්වයක් ඇති විය හැක.

නිදසුනක් ලෙස, අප නිදාගන්නා සෑම අවස්ථාවකම නින්දට පිවිසීමේදීත් නින්දෙන් පිබිදීමේදීත් අතර මැදි අවස්ථා කිහිපයකදීත් මෙම අක්ෂි චලන වේග අපට නොදැනුවත්වම ක්‍රියාත්මක වේ. එය බොහෝ විට අන්‍යයන්ට නොපෙනෙනුයේ එවිට අප දෙනෙත් පියවී තිබෙන නිසාය. එහෙත් දෙනෙත් නොපියා නිදාගන්නා අය ඉතා කලාතුරකින් දැකිය හැකි අතර ඔවුන් කෙරෙන් ද මෙම අක්ෂි චලන වේග දැක ගත හැකිය. යමෙකු ක්ලාන්තයට පත්වන අවස්ථාවේත් මෙම අක්ෂි චලන වේග ක්‍රියාත්මක වේ.

පුද්ගලයෙකු මරණයට පත්වන ඊළඟ තත්ත්වය වන්නේ ශරීරයේ කිසියම් ඉන්ද්‍රියකට  ක්‍ෂණික කම්පනයක්, ආපදාවක් සිදුවීමය.

හදිසි අනතුරු, විදුලිසැර වැදීම්, හෘදයාබාධ ආදී මේ ගණයට වැටේ . මෙහිදී මෙවන් අවස්ථාවක් මුල්කොට කිසියම් කෙනෙකු තුළ දැඩි මරණ භීතියක් ඇතිවුවහොත් ඉතා කෙටි වේලාවක් තුළ ශරීරයෙන් එන්ඩො‍පීන් (Endorphin) නම් ජෛව රසායනිකය මුදා හැරේ.

නිදසුනක් ලෙස,  පුද්ගලයෙකු වාහනයකින් ගමන් කරමින් සිටින විට තමන් ඉදිරියට වේගයෙන් එන වාහනයක් දුටු සැනින් ඒ තැනැත්තා තුළ ඇති වන බිය, කම්පනය මුල් කොට ශරීරය තුළ මෙම රසායනික ක්‍රියාවලිය ඇති වේ.

එන්ඩොපීන් යනු අපේ ශරීරය තුළින් ක්‍රියාත්මක වන ප්‍රබල වේදනා නාශක හෝමෝනයකි. සතුට දැනවීම සහ ලිංගික ආස්වාදය සඳහාද මෙම හෝමනය ක්‍රියාත්මක වේ.  ඒ අනුව එවන් අනතුරකින් ‍මිය යන පුද්ගලයාගේ ශරීරයට සිදුවී ඇති ශාරීරික හානිය අනුව ඒ තැනැත්තා අත්විදි කායික වේදනාව ගණනය කළ නොහැක. ඊට හේතුව සුළු කායික හානියක දී අත්වීඳීමට සිදුවන වේදනාවට සාපේක්ෂව බරපතල කායික හානියක දී සිදුවන වේදනාව අතිප්‍රමාණ නොවීමය.

පසුගිය කාලයේ දුම්රියක පා පුවරුවක් කඩා වැටීමෙන් එහි ගමන් කළ තරුණයෙකු මිය ගියේය. ඔහුගේ කලවා මතින් දුම්රිය ධාවනය වීම මුල්කොට මුළු සිරුර දෙකට වෙන් වී තිබුණි. එහෙත් එම සිද්ධිය මුල්කොට මර හඬින් කෑ මොර දීම වෙනුවට ඔහු අවසන් මොහොතේ එහි සිටියකුගෙන් අසා ඇත්තේ 'මගේ කකුල් දෙකට මොනවා හරි වෙලා ද' යනුවෙනි. එම ඛේදනීය රූපරාමු සමාජ ජාලා වෙබ් අඩවි මගින් ද ප්‍රචාරය වී තිබිණ.

මිය යන විට මළ මුත්‍ර පහවීම බොහේ විට සිදුවන්නක් වන අතර එහිදී එම තැනැත්තාගේ බහිස්‍රාවීය ග්‍රන්ථි ආශ්‍රිතව මිය යන මොහොතේ එක් රොක් වී ඇති මල මුත්‍රා ප්‍රමාණ ද ඊට බලපානු ඇත. එහිදී මරණයත් සමඟම ඒවා පිටවනුයේ වේදනාව නිසාද නැතහොත් ඒවා ශරීරය තුළ රඳවා ගැනීම සම්බන්ධයෙන් මොළයේ විධානය ඉවත්වීම නිසාද යන්න පිළිබඳව මත පවතී.

මෙහිදී මරණයට පත්වන ඇතැම් පිරිමින්ගේ මළ සිරුරු වලින් ශුක්‍ර ධාතු පවා  මෝචනය වී ඇති අයුරු දැක ගැනීමට පුළුවන.

ඉහත සඳහන් මල මුත්‍ර පහවීම වේදනාවක් මත සිදුවන්නේ නම් මරණයත් සමඟ ශුක්‍ර ධාතු පිටවීම මරණයේ දී ලිංගික ආශ්වාදයක් ලැබීම මත සිදුවන් බවට තර්ක කළ හැක.

නමුත් මෙහිදී සිදුවනුයේ ශරීරයේ ශුක්‍ර ධාතු තැන්පත් කොට ඇති ග්‍රන්ථි මරණයත් සමඟම කෙමෙන් සංකෝචනය වීමෙන් ඒවා පුරුෂේන්ද්‍රිය තුළ ඇති නාල ඔස්සේ පිටතට පැමිණීම පමණි. ලිංගික සුරාතාන්තයේ දී ද මෙලෙස ශුක්‍රාණු පිටතට විදීමක් සිදුවනුයේ සුරතාන්තයත් සමඟම මෙම සංකෝචනය කිහිප වරක් රිද්මයානු කූලව සිදුවන බැවිනි.

මරණයෙන් පසු පුද්ගලයන්ගේ මුහුණු වල වේදනාකාරී ඉරියව් පළ වීම මරණයන් පැය 02 කට පමණ පසු ඇතිවන මෘත කාටින්‍ය ( Rigor Mortis ) නම් තත්ත්වය නිසා ඇති වන්නකි. එහිදී සිදුවනුයේ මුහුණේ මාංශපේෂීන් තුළ සිදුවන ජෛවමය ක්‍රියාවලිය නතරවීමෙන් එහි ඇති ලිහිල් බව නැතිවී ‍මුහුණෙහි මාංශපේෂීන් වල ඝණ බවක් ඇතිවීමය. ඒ අනුව බැලූ බැල්මට මෙය වේදනාවක් දරා හිඳින්නකුගේ මුහුණකට සමාන විය හැක.

ඒ අනුව මරණ වේදනාව යන්න නිශ්චිත වූවක්ද? සෑම පුද්ගලයෙකුටම ‍පොදු එක සමාන අත්දැකීමක් ද? එසේත් නොමැති නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වූ තත්ත්වයක්ද? එසේත් නොමැති නම් තමන් නොදැනුවත්වම සිදුවන ජීවිතය නතර වීමක්ද? යන්න පිළිබඳ පැහැදිළි නිශ්චයක් අදත් ලොව නැත.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජේසිංහ,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨය,
රත්මලාන.

 

මිනිසුන්ට සහ වාසස්ථාන වලට අරක් ගන්නා යක්ෂයන් පලවා හැරීම පිණිස යක් තොවිල් පැවැත්වීම අප ජන සංස්කෘතියේ ප්‍රධානතම අංගයකි. මෙම යක් තොවිල් වල සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගත නොහැකි අත්භූත දෑ සිදුවන බවට ද ජන විශ්වාසයක් පවතී.

මේවා සාර්ථක වන්නේ එම අත්භූත සිදුවීම් පිළිබඳ යශෝරාවය පැතිර යාමත් සමඟිනි. යක්තොවිලයක අළුයම් යාමයේ යක්ෂයා එම ආතුරයා හෝ නිවස හැර ගිය බව හඟවන ප්‍රධාන සාධකයක් තිබේ. එනම් ‘ලකුණක් පෙන්වාගෙන පලයන්‘ යනුවෙන් යකැදුරු තැන කරන විධානයට අනුව තොවිලය සිදු කළ රාත්‍රියේ අළුයම්  යාමයේදී එම නිවස අද්දර ඇති කිරි ගසක අත්තක් අත්භූත ලෙස කඩා වැටීමෙනි.

මෙම අත්භූත ජනක සිදුවීම සාමාන්‍ය ලක් වැසියන්ගේ පමණක් නොව විද්වතුන්ගේ පවා මවිතයට හේතු වූ බවට සපයා ගත හැකි සාක්ෂි කිහිපයක් ඇත. ඒ අතරින් ශ්‍රී ලංකාවේ මිනින්දෝරු වෘත්තියේ යෙදුණු ඕලන්ද සම්භවයකින් යුත් විද්වතෙකු සහ විශිෂ්ඨතම මානව විද්‍යාඥයෙකකු වන ආර්.එල්. බ්‍රෝහියර් ලියු Discovering Ceylon කෘතියේ එන එක් සඳහනක් මගේ මතකයට නැඟේ. එහි සඳහන් අන්දමට චින්තා නමැති යුවතියකට ආරූඩ වූ ‘කළු කුමාර යක්ෂයා‘ පළවා හැරීමේ ශාන්ති කර්මයක් බ්‍රෝහියර් විද්වතාගේ නිරීක්ෂණයට ලක් වී ඇත.

සුමනසිංහ නම් යකැදුරෙකු විසින් කරනු ලැබූ එම ශාන්ති කර්මයේ එළිවන ජාමය ඔහු සිය කෘතියේ විස්තර කරන්නේ මෙලෙසිනි.

‘තෙල් සහ දුම්මල දමා පන්දම් නැවත ආලෝකමත් කෙරිණ. සුමනසිංහගේ ආරූඩය උච්ච ස්ථානයකට පත් වූ බව ඔහුගේ හැසිරීම් වලින් මනාව පසක් විණි.

කස පහර මෙන් තියුණු ඔහුගේ වදන් ද ශීඝ්‍රයෙන් උච්ච වෙමින් තිබිණ. ‘කළු කුමාර යක්ෂයා ; මට ලකුණක් පෙන්නපන් ලකුණක්! ලකුණක්!‘ හිමිදිරියට හෝරාවක් පමණ තිබියදී ඔහුගේ මුවෙන් නැගි අණකිරීමක් බදු මෙම ආයචනාත්මක ඉල්ලීම හාත්පස රැව්පිළි රැව් දෙන්නට විය. එවිටම එහි සිටි සියළුම දෙනාගේ සිත් භ්‍රැන්ත කරවන සිදුවීමක් සිදුවිය.

එනම් යක්ෂයා බැඳ තිබූ කොස්ගසෙහි අත්තක් හිටි හැටියේ මහ හඬ නඟමින් කඩා වැටීමය. එම සිද්ධියත් සමඟම යක්ෂයා එළවීම අතිශයින් සාර්ථක වූ බව සියල්ලෝම වටහා ගත්හ.

තමන් මින් පෙර මෙබඳු සුවිශේෂ අවස්ථාවක් දැක නොමැති බව එහි සිටි කවුරුත් කීහ.

ඒ මොහොතේම චින්තා යක්ෂ ග්‍රහණයෙන් අත්මිදුණාය. ....

මෙහි අතිශයෙන් විස්මය එළවන දෙය නම් විශාල කොස් අත්තක් හිටි හැටියේ බිම ඇද වැටීමය. එය කපා නොදැමූ බව පැහැදිලිවම දක්නට ලැබිණ. නමුත් ඒ අත්භූත රහස වටහා ගැනීමට මටද නොහැකි විය.

බ්‍රෝහියර් ශූරීන් එසේ කීවද මෙම ශාන්ති කර්ම කලාවේ අප බොහෝ දෙනෙකුට එක්වරම නොවැටහෙන විධිමත් සවිමත් නිහඬ යාන්ත්‍රණයක් තිබේ.

මේ සියළු සංසිද්ධීන් සිදුවන්නේ ඒ ඔස්සේය. මෙම යකැදුරු කම් සිදු කිරිමට ප්‍රධාන යකැදුරා, යකැදුරාගේ නායකත්වයෙන් යුතු අඩුම තරමින් පස් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම නිවසට පැමිණෙති. ඒ එම ශාන්ති කර්මය සිදු කිරීමට දිනකට හමාරකට කලිනි. කොට්ටෝරුවන් හෙවත් ශාන්ති කර්මයේ ගබඩා බාරකරුවන් ඇතුළු එම කණ්ඩායමේ කණිටු සාමාජිකයන් ලෙස හැඳින්වෙන කොළු කුරුට්ටෙකු දෙදෙනෙක් නොවැරදීම පැමිණෙති.

බැලූ බැල්මට ආවතේව කරුවන් සේ පෙනෙන මොවුන් නූතන ව්‍යවහාරයට අනුව කිව හොත් එම ශාන්තිකර්මයේ ‘බුද්ධි අංශ සාමාජිකයන්ය‘ එම ශාන්ති කර්මය පැවැත්වෙන නිවසේ වට පිටාව සේම ඔවුන්ගේ පවුල් පසුබිම පුද්ගල විස්තර ආදීය සියුම් ලෙස නිරීක්ෂණය කරන ඔවුන් ඒවා ශාන්ති කර්මයට පෙර කාටත් රහසින් ප්‍රධාන ඇදුරාගේ කනේ තියති.

එවිට එම තොරතුරු අවශ්‍ය පරිදි කළමණාකරණය කර ගනිමින් ශාන්ති කර්මයේ දී ඒවා අවශ්‍ය පරිදි භාවිතයට ගැනීම යකැදුරාගේ වගකීමකි. ඉහත සඳහන් කළ ආකාරයට යකැදුරා ‘ලකුණක් පෙන්නපන්! ලකුණක් පෙන්පන්!‘ යනුවෙන් යක්ෂයාට අණ දෙනුයේ එළිවෙන ජාමයේදීය.

ඒ වන විට එම නිවසියන් ඇතුළු ශාන්ති කර්මයට එක් වූ සියළුම දෙනා පසුවෙනුයේ දැඩි වෙහෙසකින් හා නිදිමතකිනි. ඒ අතර වාරයේ මා ඉහත සඳහන් කළ කොළු කුරුට්ටන් දෙදෙනා මඳ වේලාවකට දර්ශන පථයෙන් ඉවත්ව සිටීම බෙහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවේ.

ඔවුන් එසේ ඉවත් වනුයේ එම ගෙවත්තේ ඇති කොස් ගසක් වැනි කිරි ගසක පොළවට අඩි 10ක් 15ක් උසින් යුතු  අත්තක් සොයා එහි එල්ලී සිටීමටය. ඇදුරා ‘ලකුණක් පෙන්නපන් ලකුණක් පෙන්නපන්‘ යනුවෙන් කෑ ගසන්නේ ඒ මෙහොතේ ඊට තරමක් දුරින් සිටින ඔවුන්ට ඇසෙන පරිදිය.

ඒ වන විට කොස් අත්තේ එල්ලී සිටින කොළු කුරුට්ටන් දෙදෙනා එහි එල්ලී හැකි තාක් පදවමින් එය බිමට ඇද දමා සුරුස් ගා පස්ස දොරින් එම තොවිලය පැවැත්වෙන තැනට හීන් සීරුවෙම ළං විය යුතුය.

මේ සඳහා තොරාගන්නා කොළු කරුට්ටන් ගස් නැගීමේ කලාවේ විශාරදයන් විය යුතුය. නැතිනම් පොඩ්ඩ වැරදුණොත් යකාගේ පලා යාම වෙනුවට ශාන්ති කර්මයේ සිටින්නවුන්ට අසන්නට ලැබෙනුයේ ගසකින් වැටී කොන්ද කඩා ගත් කොලු කුරුට්ටකුගේ මර ලතෝනියකි.

කෙසේ හෝ යක්ෂාරූඩය නමැති තත්වයක් ඇති බවත් මෙම ශාන්ති කර්මයේදී පිළිගැනෙන අතර ඉන් අත්මිදීම මෙසේ කොස් අත්තක් කඩා වැටීම ඔස්සේ සංකේතනය කිරීම නොවිධිමත් මනෝ චිකිත්සක ක්‍රමයකි. එමෙන්ම තමන්ට ආරූඩ වූ හෝ නිවසට අරක් ගත් යක්ෂයා පලවා ගියේය යන දැඩි විශ්වාසය එම සංකේතනය මගින් වටහා ගන්නා නිවැසියන්ගේ මානසික ආතතිය, පීඩාව සහ විඝටනකාරී ස්වරූපය ඒ ඔස්සේම දුරු වීමේ ප්‍රබල හැකියාවක් තිබේ.

තිලක් සේනාසිංහ

යොවුන් රංගන ශිල්පී දසුන් නිශාන් ද සිල්වාගේ (29) මරණය තමන් විසින්ම ගෙල සිරකරගෙන සිය පණ හානි කරගනු ලැබිමක්  බව  පිළියන්දල මඩපාත හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු හක්මනගේ අජිත් විජේසිංහ මහතා ඊයේ (26) දින ප්‍රකාශ කළේය. 
දකුණු කොළඹ  (කළුබෝවිල) ශික්ෂණ  රෝහ‍ලේදී  රංගන ශිල්පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුණි. 
එහිදී සාක්ෂි දුන් මියගිය දසුන්ගේ මව වන හේරත් මුදියන්සේලාගේ ලලිතා ස්වර්ණා කුමාරි හේරත් මහත්මිය මෙසේ කීවාය. 
“මියගොස් සිටින්නේ මගේ වැඩිමහල් පුතා. මා හට තවත් පිරිමි දරුවකු සිටිනවා. ඔහු උසස් පෙළ විභාගය අවසන් කර  සිටිනවා. ලොකු පුතා විවාහකයි. එහෙත් ඇය නිවසට කැන්දාගෙන ආවේ නෑ. පුතා රංගන ශිල්පියෙකු හැටියට කටයුතු කළත් පරිගණක ඉංජිනේරු උපාධියක් ලබා තිබෙනවා. එහෙත් රංගන ශිල්පයට වඩාත් ඇළුම් කළා. මම ‍පොඩි පුතා සමග නිට්ටඹුව - කන්තොට අංක 30 දරන නිවසේ පදිංචිව සිටි අතර ලොකු පුතා පිළියන්දල ප්‍රදේශයේ බෝඩිමක නතර වී රංගන කටයුතු කළා. පුතා පසුගිය දිනවල මට දුරකථනයෙන් පවසා සිටියේ ශලනි කියා නිළියක් සමග සම්බන්ධකමක් තිබෙනවා. එය තමන්ට කසාද බඳින්න ඕන  කියායි. එහෙත් පුතාට මා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් අවවාද කළා. එහෙත් පුතා මෙලෙස බෝඩිමේදී සියදිවි නසාගෙන ඇති බවට ආරංචි වුණා. මෙහිදී සාක්ෂි දුන් දසුන් නිශාන්ගේ විවාහක බිරිඳ වන සංදීපනී රණතුංග මහත්මිය ප්‍රකාශ කළේ තමන් ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක හැටියට සේවය කරන  වන අතර ජාත්‍යන්තර පාසලක ගුරුවරියක බවයි. 
කුඩා කල සිටම දසුන් හඳුනන අතර වසර 13ක ප්‍රේම වෘත්තාන්තය අවසානයේ දෙපාර්ශ්වයේම ආශිර්වාදය මත විවාහ ගිවිස ගත් බවත් ඇය කියා සිටියාය. පසුගිය කාලයේ ශලනි කියා ගැහැනු ළමයෙක් සමග සබඳතාවක් ඇති බව දසුන්ගෙන් දැනගත් අතර පසුකාලීනව ශලනි කියන කාන්තාව තමාට දුරකථනයෙන් අමතා ඇය දැන් සිටින්නේ දසුන් සමග බවත් දසුන්ට ඇයට අවශ්‍ය  බවත් තවත් බොහෝ දේ පැවැසූ නමුත් තමන් දසුන්ට බොහො සේ ආදරය කරන බැවින් විවාහ ජීවිතය මේ වෙනතුරු රැකගෙන ආ බවත්ය. 
මෙහිදී මියගිය දසුන් නිශාන් ද සිල්වා (29) නමැති රංගන ශිල්පියා පේළි පහකින් සමන්විත ලිපියක් ලියා තබා සිය ජංගම දුරකථනයෙන් සියදිවි නසා ගන්නා අයුරු රූගත කර තිබියදී ‍පොලීසියට හමු වී ඇති අතර එහි පටිගතව තිබූ දර්ශන තුළින්  ඔහු දෙවරක් උත්සාහ කර සිය පණ නසා ගෙන ඇති බවට වීඩියෝ ගත වී තිබිණි. මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය නිලධාරීනි  ප්‍රසාදිනී සෙනරත් මහත්මිය පැවැත්වූ අතර පිළියන්දල ‍පොලීසියේ ‍පොලිස් කොස්තාපල් 87669, ජයරත්න මහතා සාක්ෂි මෙහෙය වීය. මියගිය අයගේ සිරුර ගම්පහ දයාරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර මල්වත්ත ‍පොදු සූසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට  නියමිතය. 
 
අමා ද සිල්වා - කඩුවෙල
IMAGE

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 181

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 3480

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 2127

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1574

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3821

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 6395

Please publish modules in offcanvas position.