Coss Ear2
lakbima.lk
COSS Ear 1

මේක නිකම්ම  කතාවක් නෙමෙයි. මේක හරිම අවනඩුවක් කිව්වොත් තමයි හරි. අපි කට්ටිය හැමෝම ඉන්නේ අත්තිඩිය පන්සල පාරෙන් ගිහින් කහවිට පාරේ. කහවිට පෙදෙස කියන හරියේ. වමට  හැරෙන දෙවැනි අතුරුපාරේ පැන්ට්‍රි කඩබ් වැඩපළ ළඟයි. ඒ ඉස්සරහම තියෙන ගරාජ් එක අයිති හඩ්සන් මහත්තයා තමයි අපිට කන්න බොන්න දීලා අපිව බලාගන්නේ ඩොට් කොම්, කළු බ්‍රවුනි. චීටි. ජුන්ඩා, චණ්ඩි වගේ නම් තියෙන අපි ඔක්කොම පිරිමි සත්තු හතරයි. ගැනු සත්තු හයයි. කාලයක් තිස්සේ අපි මේ විදියට මේ පාරේ හිටියට අපි  හැමෝම වගේ කලින් හිටියේ මේ  පාරෙම ගෙවල්වල තමයි. 
දැන් මේ බ්‍රවුනි හිටියේ මේ ළඟම ගෙදරක. ඒ අය හිටියේ කුලියට. ඒ අය ගෙවල් ඇරල යනකොට බ්‍රවුනි විතරක් තියල අනිත් හැම දෙයක්ම අරගෙන ගියා. හුඟක් දවස් ඒ අය ආපහු එයි කියලා මඟ බලාගෙන හිටපු බ්‍රවුනි අන්තිමට අපේ කාණ්ඩෙට එකතු වුණා. ඒ විදියට අමානුෂික විදියට අතරමං  කරලා දාපු සාමාජිකයෝ කීප දෙනෙක්ම අපේ කල්ලියේ ඉන්නවා.
තවත් සමහරු  පුංචි කා‍ලේ මේ ගෙවල් ඇතුළේ සැපට හැදුණු අයයි. ටිකක් ලොකුවෙලා ඒ  හුරුබුහුටිකම නැතිවෙලා යනකොට කෙලින්ම ගේට්ටුවෙන් එළියට. මේ ප්‍රශ්නෙට මුල් වුණෙත් ඒ වගේ ආපු කෙනෙක් තමයි. ශීබා හිටියේ මේ එහා පැත්තේ ගෙදර. එයා පුංචි කා‍ලේ බොහෝම ආදරෙන් හිටිය අය ටිකක් ලොකු වෙනකොට එයාව එළියට දැම්මේ කිසිම හිතක් පපුවක් නැති ගාණටයි. මේ ළඟදි දවසක ශීබා එයාගේ කලින් මහගෙදර ළමයෙක්ව හපලා. සමහරවිට එයාගේ හිතේ එයාට වුණු අසාධාරණය ගැන මතකයක් තියෙන්නත් ඇති. අනේ ඉතින් ඒ අය ‍පොලීසි ගිහින්. අපිට කන්න දෙන අපේ හඩ්සන් මහත්තයාගෙන් වන්දි විදියට රු. 10.000/- අරගෙන. දැන් තවත් සල්ලි ගන්න හදනවලු. අපිට කන්න දෙනව මදිවට මේ කරුණාවන්ත මනුස්සයට තවත් කරදර. දැන් මේ වටපිටාවේ කීප දෙනෙක්ම එකතුවෙලා අපිව මරණව කියල තර්ජනය කරනවා. දැන් අපි වගේම අපේ හඩ්සන් මහත්තයත් ඉන්නේ හරිම බයෙන්. ඒ වගේම දුකෙන්. අපිට හුඟාක් ආදරේ කරන අපේ පණ රැකගන්න උදව් කරන මේ ගරාජ් එකේ රුවන් වගේම අනිත් මහත්තුරුත් ඉන්නේ දුකෙන්. ඇයි ඉස්සරහ පැන්ට්‍රි කබඩ් වැඩ‍පොළේ දමයන්ති නෝනයි ඒ මහත්තයයි අපිව ආරක්ෂා කරගන්න ලොකු සටහනක් කරනවා. දැන් මරණ බය අපි කාටත් දැනෙනවා. කෙනෙකුගේ මරණ බය නැති කරන එක අති විශාල කුසල කර්මයක් කියලා ළඟදී රේඩියෝ එකේ බණකට  කියනවා අපිත් අහගෙන. අනේ අපිට ලොකු සැප සම්පත් ඕනේ නැහැ. කරුණාවන්ත කෙනෙකුගේ ගෙදර, ඉදුල් ටික්ක කාලා, අගුවක හරි හිතේ සැනසීමෙන් ඉන්න තිබුණොත් ඇති. අපි හැමෝටම එකට ඉන්න ඕනෙත් නැහැ. අනේ ඔයාලට පින් සිද්ධවෙයි අපේ ජීවිත බේර ගන්න උදව්වෙන්න. අපි හැමෝටම අවශ්‍ය කරන එන්නත් දීලයි තියෙන්නේ. ඒ ගැන කතා කරගන්න අපේ හඩ්සන් මහත්තයාගේ 077-3056246 නොම්මරේට කතා කරන්න.
 
සටහන නිර්මලා කුමාරි සේනාරත්න

ලක් වැසියෝ සාමාන්‍යයෙන් ගෙදර ආහාර වේලකින් පසු ලබා ගන්නේ කෙසෙල් ගෙඩියක්, පැ‍පොල් බෑවක්, එහෙමත් නැත්නම් අත්ලට හලාගත් සීනි හැන්දක් වැනි සරල අතුරුපසකි. අයිස්ක්‍රීම්, මීකිරි වැනි අතුරුපසක් ගෙනෙන්නේ එහෙමත් දවසකටය. එහෙමත් දෙයක් කන්නට වත්කමක් ඇත්තේ මධ්‍ය ආදායම් ලබන යම් පිරිසකට පමණි. එයට හේතුව යම්තම් එදා වේල පිරිමසන සමාජයට අයිස්ක්‍රීම් පෙට්ටියේ, මීකිරි හට්ටියේ මිලද දරන්නට අපහසු නිසාය. එහෙත් අප අද කියන්නට යන්නේ රුපියල් ලක්ෂ තිස්අටක් වටිනා අතුරුපසක් ගැනය. ඒ ලෝකයේ සුපිරිම ධනවතුන් වෙසෙන ඇමෙරිකාව, ප්‍රංශය හෝ ඉතාලිය වැනි රටක නොවේ. අපේම ලංකාවේය. 
ඇත්තෙන්ම මෙම අතුරුපස නිර්මාණය කිරීමේ අරමුණ සංචාරක ආකර්ෂණය ලංකාව වෙත යොමු කර ගැනීමය. නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ විධායක සූපවේදී විරාජ් ජයරත්න තම සූපවේදී ජීවිතයට වසර 25ක් පිරීම නිමිති කරගෙන මෙම පර්යේෂණාත්මක කටයුත්තකට අත ගසන්නේය. 
"Marry Me"යනුවෙන් නම් කළ මෙම ලක්ෂ 38කට මිල වූ අතුරුපසට රන් රිදී මුතු මැණික් අයත් වනවාදැයි ඔබට සැකයක් ඇතිවන්නට පුළුවන. එය ඇත්තය. මෙම සුපිරි අතුරුපසට ආහාරයට ගත හැකි රන් හා රිදී මෙන්ම ලොව මිල අධිකම චොක්ලට් ඇතුළු අමුද්‍රව්‍ය පමණක් නොව ලක්ෂ 30ක් පමණ වටිනා මැණිකක්ද අයත් වෙයි. අපි මේ කුතුහලය දනවන කතාව සූපවේදී විරාජ් ජයරත්නගේම වචනයෙන්ම අසා බලමු. 
ලෝකෙ ගොඩක් වටින අතුරුපස හදලා තියෙනවා. නමුත් කලාත්මක විදියට වටිනාකමෙන් වැඩි අතුරුපසක් නිර්මාණය කෙරී තිබුණෙ නැහැ. මගේ සූපවේදී වෘත්තීය ජීවිතයට වසර 25ක් ගවෛද්දී කිසියම් වෙනස් දෙයක් කිරීමයි මගේ අරමුණ වුණේ. ඒ අනුව මෙම නිර්මාණය ආහාරමය වශයෙනුත් ඉතා අධික මිල ගණන්වලින් යුතු ද්‍රව්‍ය  යොදමින් භෞතික පෙනුමටත් වටිනාම ද්‍රව්‍ය යොදමින් වටිනාකම් දෙකක් සහිතව නිර්මාණය කළා. ලොව මිල අධිකම මැඩගස්කර් චොක්ලට් විශේෂයත්, 
ලෝකෙ තියෙන මිල අධිකම ෂැම්පේන්  ඇසුරින් සෑදූ අයිස්ක්‍රීම් එකක්, ස්පාඤ්ඤයෙන් ගෙන්වූ, ලොව මිල අධිකම සෝස් විශේෂයක් ඇතුළත්ව මෙහි ආහාරමය කොටස නිර්මාණය කර තිබෙනවා. 
ඊට අමතරව මෙහි කලාත්මක අගය වැඩි කිරීමට අතුරුපස පිළිගන්වන පිඟානේ චොක්ලට්වලින්, නුවර පෙරහර ඇඳ තිබෙනවා. එය ඇල්පෙනෙති තුඩකින් කළ  ඉතා සියුම් නිර්මාණයක්. එහි නැට්ටුවෝ දෙදනෙක් සහ බෙරකාරයෝ දෙදෙනෙක් ප්‍රදර්ශනය වෙනවා. 
නිර්මාණයේ කලාත්මක අගය ඉන් නතර වන්නේ නැත. අයිසින් සීනි භාවිතයෙන් ආහාරයට ගත හැකි පරිදි නිර්මාණය කළ හස්තීන් සිවු දෙනකු මත අතුරුපස පිඟානක තබා තිබේ. එහි මල්කම්, ලියකම් මෝස්තරද නිර්මාණය කර ඇත්තේ අයිසින් සීනි භාවිතයෙනි. මේ නිර්මාණය යන්ත්‍රයක් භාවිත නොකර දින ගණනක් තිස්සේ අතින්ම කරන ලද සියුම් උත්සාහයක ප්‍රතිඵලයක් බව පෙනේ. ලොව අති දුර්ලභ කැරට් 24 රත්රන් සහ රිදී ආහාරයට ගැනීමට සුදුසු පරිදි සියුම් ලෙස සකසා මෙම නිර්මාණයට යොදා තිබේ. 
ලංකාවට සංචාරක ආකර්ෂණය රඳවා ගනු වස් 'නෙළුම් කුලුන' වැනි සංකල්පයක් ලොවට ගෙන යන්නටද මෙම අතුරුපස තුළින් එහි සංකල්පධාරී විරාජ් ජයරත්න කටයුතු කර තිබේ. අයිසින් සීනි භාවිතයෙන් නිර්මාණය කළ නෙළුම් කුලුනේ අනුරුව මත වූ නෙළුම් මලෙහි තැන්පත් කර ඇත්තේ ලොව මිල අධිකම ස්වාභාවික 'බ්ලූ සැෆයර්' වර්ගයේ මැණිකකි. එහි වටිනාකම රු. ලක්ෂ 30 ඉක්මවන බව කියවේ. කිසියම් පුද්ගලයෙකු මෙම නිර්මාණාත්මක අතුරුපස මිලට ගන්නේ නම් එම මැණිකද, එහි සැකසුම් කොටස් සියල්ලද ඔහුට හිමිවේ. 
මේකෙ සංකල්පය "Marry Me" කියලා යොදා ගැනීම තුළ අපි බලා‍පොරොත්තු වුණේ පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක්ට හෝ ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක්ට මේක ත්‍යාගයක් වශයෙන් දෙනකොට නිර්මාණාත්මකව කරන ආරාධනයක් ලෙස යොදා ගැනීමයි. මෙහි සම්පූර්ණ වියදම දැරුවේ නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ කළමනාකාරීත්වය මගින්. මෙහි මූලික අරමුණ සංචාරකයන් උදෙසා ලෝකය පුරා ශ්‍රී ලංකාවේ නාමය ඉස්මතු කර තැබිම. අපි ඒ සඳහා තමයි මුල්ම නිර්මාණය ලොව ජනප්‍රියම ශ්‍රී ලාංකිකයෙකු වන කුමාර් සංගක්කාර වෙත ප්‍රදානය කරන්නේ. ලොව මතෛක් කර නැති නිර්මාණයක් කිරීමෙන් අපේ මූලික අපේක්ෂාව සාර්ථක වන බව පෙනෙනවා. “නුවරඑළිය” ජාත්‍යන්තරයට ගෙනයාමත් මෙහි එක් අරමුණක් වුණා. අපිට මේ සඳහා ගිනස් ලෝක වාර්තාවක් අයැදුම් කිරීමට අවශ්‍ය වුණත් නියමිත දිනට ඒ සඳහා කටයුතු සූදානම් කර ගැනීම අපහසු වුණා. ඒත් නුදුරේදීම ඒ සඳහා කටයුතු කිරීමට අපි සූදානම්. මේ වන තුරු මෙවැනි නිර්මාණයක් ලොව කොහේවත් කර නැති නිසා ගිනස් කමිටුවෙන්ද අප කළ විමසීමේදී මෙයට අවස්ථාව පවතින බව දැනගන්නට ලැබුණා. මේ සියල්‍ලේ අවසාන අරමුණ ශ්‍රී ලංකාව වැනි රටක ලොව හොඳම, මිල අධිකම සහ නිර්මාණාත්මකම අතුරුපස නිර්මාණය කර තිබේය යන පණිවුඩය ලෝකය වෙත ගෙනයාමයි.” සූපවේදී විරාජ් ජයරත්න කියන්නේය. 
මෙහි සංකල්පය විධායක සූපවේදී විරාජ් ජයරත්නගේ වුවද එකී ජයග්‍රහණය පිටුපස නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සමස්ත කාර්ය මණ්ඩලයේම කැපවීම සැඟව පවතින බව ඔහු සඳහන් කරන්නේය. ග්‍රෑන්ඩ් හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ ග්‍රෑන්ඩ් ඔන්ඩච්චි, සාමාන්‍යාධිකාරී රිෆාන් රිසාන්, ප්‍රධාන සූපවේදී දිමුතු කරුණාසිංහ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම මෙම නිර්මාණයේ සාර්ථකත්වය පිටුපස සිටින්නෝ වෙති.
සූපවේදී විරාජ් ජයරත්න  සූපවේදය කලාවක් වශයෙන් ඉස්මතු කිරීම තුළ දෙස් විදෙස් සම්මානවලට පාත්‍ර වී පදක්කම් 30ක් පමණ හිමිකරගෙන තිබේ. මෙ නව නිර්මාණයේ අවශ්‍යතාව කිසිවකුට පවතීනම් දින තුනකට පමණ පෙර ඇණවුම් කිරීමෙන් Marry Me නිර්මාණයක් සකසාගත හැකි බව හෙතෙම සඳහන් කරයි. පසුගිය 3 දා පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ශූර කුමාර් සංගක්කාර වෙත පිරිනැමුණු මෙම නිර්මාණාත්මක අතුරුපස ඔහුගේ බිරිඳ යෙහාලි සංගක්කාර වෙත පිළිගැන්වුණි. 
 මෙම ක්‍රියාව අන්තර්ජාල සමාජ මාධ්‍ය තුළ සංගක්කාර විසින් කළ මිලදී ගැනීමක් ලෙස සඳහන්ව විවිධ මත සංසරණය වුවද එය හුදෙක් සංචාරක ප්‍රවර්ධන අරමුණු කරගත්තක් බවද නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ කළමනාකාරිත්වයේ මූල්‍ය දායකත්වය මත නිර්මාණය කර සංකේතාත්මකව සංගක්කාර වෙත ප්‍රදානය කෙරූවක් බවද අවධාරණය කළ යුතුය.
 
මිහිරාන් කරුණාරත්න

අක්මාවේ ආබාධයක් හේතුවෙන් බරපතළ ලෙස රෝගීව සිටි ගායන ශිල්පී නාමල් උඩුගමට සිය අක්මාවෙන් කොටසක් ලබාදුන් ක්‍රිෂාන්ත සම්පත් සිංහලගේ විසින් මීට සති දෙකකට පමණ පෙර මාධ්‍ය ඔස්සේ කරන ලද හෙළිදරව්වක් නිසා මේ දිනවල බොහෝ දෙනා නාමල් උඩුගම සහ ඔහුගේ බිරිඳ වන රංගන ශිල්පිනී රුවන්ති මංගලාට දැඩි ලෙස චෝදනා නගනවා. නාමල්ගේ සැත්කම සඳහා සිය අක්මාවෙන් අවශ්‍යවන්නේ 10ක කොටසක් පමණක් බවට මුලින් ‍පොරොන්දු වුවද, පසුව එය 68ක කොටසක් බවට පත් වූ බවත්, තමන් නාමල්ට සිය අක්මාවෙන් කොටසක් ලබාදුන්නේ ග්‍රාම නිලධාරියකු ලෙස සේවය කරමින් සිට රැකියාව අහිමිවූ තමන්ගේ රැකියාව නැවත ලබාදීමේ ‍පොරොන්දුව මත වුවත් නාමල් සහ රුවන්ති සැත්කමෙන් අනතුරුව ඒ ‍පොරොන්දු අමතක කළ බවත් ක්‍රිෂාන්ත මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. මෙම චෝදනාවලට නාමල් දුන් පිළිතුර ඇතුළත් ලිපියක් අපි පසුගිය සතියේ පාඨක ඔබ වෙත ගෙන ආවා. මෙවර අපි ක්‍රිෂාන්තව මෙසේ සංවාදයකට එක්කාසු කරගත්තේ ඔහුගේ හෙළිදරව්වෙන් අනතුරුව මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය ගැන ඔහුටත් යමක් පවසන්නට තිබූ නිසයි.
 
නාමල් උඩුගම වෙනුවෙන් අක්මාවෙන් කොටසක් ලබාදීලා ඔහුව ජීවත් කරවපු ඔබ, ඒ සැත්කමෙන් වසර දෙකහමාරකට විතර පස්සේ කරළියට ඇවිත් කළ හෙළිදරව්ව ගැන අද වෙද්දී නොදන්නා කෙනෙක් නැතිතරම්. ඒ හෙළිදරව්වෙන් පස්සේ සමාජ ජාල වබේ අඩවිවලත්, ඉන් පිටතත් ඔබ වෙනුවෙන් හඬනගන අයට දැන් ඔබට මොනවද කියන්න තියෙන්නේ?
ඒ හැමෝටම මට කියන්න තියන්නේ එක දෙයයි. ඒ තමයි මේ ප්‍රශ්නය නිසා නාමල් උඩුගමටවත් ඔහුගේ පවු‍ලේ අයටවත් මඩගහන්න එපා කියන එක.
 
හිතට එකඟවද ඔබ ඔය ඉල්ලීම කරන්නේ ?
ඇත්තෙන්ම ඔව්. මට නම් අමුතුවෙන් ඇතිවෙන්නවත්, නැතිවෙන්නවත් දෙයක් නැහැ. ඒත්, මේ සිදුවීම හෙළිවුණු දා පටන් ෆේස්බුක් හරහා එහෙම එල්ලවෙන විවේචන නාමල්ගේ සහ ඔහුගේ පවු‍ලේ උදවියගේ සමාජ තත්ත්වයට විශාල කැළලක්. මම ෆේස්බුක්වල පවා සටහනක් දාලා හැමෝගෙන්ම ඉල්ලා සිටියා ඒ අයට මඩ ගහන්න එපා කියලා.
 
ඔබ මේ ගැන රටට හෙළිකරපු නිසා තමයි මෙවැනි තත්ත්වයක් උදා වුණේ. ඒ හෙළිදරව්වෙන් බලා‍පොරොත්තු වූ දේ ඉටු වූ නිසාද ඔබ අද මෙවැනි ඉල්ලීමක් කරන්නේ?
මම විශාල හිත් වේදනාවකිනුයි හිටියේ. මට තිබුණු ලොකුම ගැටලුවක් වුණේ රැකියාව අහිමිවීම. නමුත් රැකියාවේ ප්‍රශ්නය විසඳේවි කියලා බලා‍පොරොත්තුවක් මට දැන් තියෙනවා. නාමල් ගැන මගේ හිතේ කිසිම තරහක් නැහැ. ඔහු හොඳින් ජීවත්වෙනවා දකින එකයි මගේ සතුට. මොකද ඔහුව යළිත් ජීවත් කරවන්න මමත් සම්මාදම් වුණා. 
 
හැම දෙයක් ගැනම තොරතුරු කරළියට ආවාට පස්සේ නේද රැකියාවේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න මග පෑදුණේ ?
ඔව්. මම වැටිලා හිටපු තත්ත්වය ගැන ආරංචි වෙලා මාව ඔහු ළඟට ගෙන්වාගත් රංජන් රාමනායක ඇමැතිතුමා අහිමි වෙලා තිබුණු මගේ රැකියාව නැවත මට ලබාදීමට කටයුතු සකස් කරලා දුන්නා. රැකියාවක් සඳහා විදේශගතවෙලා සිටින මගේ බිරිඳත් නැවත ලංකාවට ගෙනැවිත් දෙන්න ඇමැතිතුමා මට ‍පොරොන්දු වුණා. ඒක මට ලොකු සහනයක්.
 
නාමල්ව මුණ ගැහිලා කතා කරලා ඔබේ අවශ්‍යතාවය කිව්වානම් මේ ප්‍රශ්නය මේ තරම් දුරදිග යන්නේ නැහැ නේද?
ශල්‍යකර්මය කළාට පස්සේ මගෙන් වැඩක් නෑ කියන ස්ථාවරයේ වගේ තමයි නාමල් සහ රුවන්ති හිටියේ. ශල්‍යකර්මයෙන් පස්සේ රුවන්ති මංගලා මට සලකපු විදිහෙන් මට ඒ බව තේරුණා. නාමල් එක්ක නම් මම වචන දහයකට වඩා කතා කරලා නැතුව ඇති. මොකද ඒ දවස්වල ඔහු හොඳටම අසාධ්‍යවෙලයි හිටියේ. ලංකාවට ආවාට පස්සේ නාමල්ට කතාකරන්න උත්සාහ කළත් මගේ උත්සාහය සාර්ථක වුණේ නැහැ.
 
නාමල් දන්නා හඳුනන කෙනෙකුගේ මාර්ගයෙන්වත් ඔහුව මුණගැහෙන්න බැරි වුණාද?
කලින් පදිංචි වෙලා හිටපු පළාතේ ‍නෙවෙයි ඔවුන් දැන් ඉන්නේ. අනික මම මධුමාධව අරවින්ද සහ ලක්ෂ්මන් හිල්මිටත් කතා කරලා නාමල්ව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් ඉල්ලුවාට ඒ අයගෙනුත් මට කිසිම සහයෝගයක් ලැබුණේ නැහැ.
 
ඔබ අද ඔය විදිහට චෝදනා කළාට ඔබ වෙනුවෙන් කළ යුතු යුතුකම් සියල්ල ඔහු ඉටු කළ බවයි නාමල් කියන්නේ. ඔබට මුදලින් ලක්ෂ 20ක් ලබාදුන්නා කියලාත් ඔහු කියනවා. ඇත්තද ඒ කතාව?
ඔය කියන මුදල් ලැබුණු බව මම පිළිගන්නවා. හැබැයි ඔවුන් මට බොහොම නරක විදිහටයි සැලකුවේ. ඉන්දියාවේ ඉඳන් ආපසු ලංකාවට එන්නවත් මට මුදලක් දුන්නේ නැහැ. සැත්කම නිසා අසනීපයෙන් හිටපු මගේ සහයට කවුරුවත් නැවැත්තුවේවත් නැහැ. තනියම ගේන්න අමාරු නිසා අන්තිමේදී මම මගේ ඇඳුම් පැළඳුම් පවා ඉන්දියාවේ දමලයි ආවේ. අනික ඒ වෙනකොට අත්හිටවලා තිබුණු මගේ රැකියාව නැවත ලබාගැනීම වෙනුවෙන් පැවැති නඩුවාරවලට මට යන්න බැරි වුණේ නාමල්ගේ සැත්කම නිසයි. මම නඩුවට පෙනී නොසිටි නිසා මට රැකියාව අහිමි වුණා. ඇත්තම තත්ත්වය කියලා නාමල්ලා ඒ ප්‍රශ්නයට මැදිහත් වුණා නම් මට මගේ රැකියාව මීට කලින් ලබාගන්න තිබුණා.
 
අක්මාවෙන් 68ක කොටසක් නාමල්ට ලබාදුන්නේ ඔබේ අනුමැතියක් නොමැතිවයි කියලා කියන්න බැහැ නේද?
අන්තිම මොහොතේ ඉන්දියාවේදී මට ඒ ඉල්ලීමට එකඟවෙන්න සිද්ධ වුණා. මොකද නාමල් ඒ වෙනකොට බොහොම අසාධ්‍ය තත්ත්වයකයි හිටියේ.
 
ඔබ දැන් නාමල්ගෙන් තවත් මුදල් බලා‍පොරොත්තු වෙනවාද?
නැහැ. මට දැන් ඔහුගෙන් මුදල් අවශ්‍ය නැහැ.
 
සැත්කමෙන් පස්සේ ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔබ සැලකිලිමත් වුණේ නැද්ද?
සැත්කමෙන් පස්සේ මට හුඟක් අමාරු වුණා. ඒ ඇතිවුණු සමහර අසනීප තත්ත්වයන් තවමත් නතර වෙලා නැහැ. මට ආයෙමත් ඉන්දියාවට යන්න වේවි කියලා හිතලා මම සමහර  වෛද්‍ය පරීක්ෂණ කරගත්තේ නැහැ. මොකද මම දැනගෙන හිටියා මට යළිත් ඉන්දියාවට ගිහින් ප්‍රතිකාර ගන්න තරම් වත්කමක් නැති බව. 
 
සැත්කම කරන්න ඔන්න මෙන්න කියලා තිබියදී ඔබ නාමල් සහ රුවන්තිව අසරණ කළා කියන්නේ ඇත්තද?
මම රෝහලෙන් පැනලා ගියා කියලා ඒ අය මට චෝදනා නගනවා. පුළුවන්නම් ඒක ඔප්පු කරන්න කියලයි මට නාමල්ට කියන්න තියෙන්නේ. මොකද ඒක සම්පූර්ණයෙන්ම බොරු කතාවක්.
 
සැත්කම කළ කාලයේදීවත් මාධ්‍ය ඉදිරියට ආපු නැති ඔබ අවුරුදු දෙකහමාරකට පස්සේ ඇවිත් ඔහුට චෝදනා නගන්නේ යම්කිසි පටු අරමුණක් ඉටු කරගන්න හිතාගෙන කියලයි නාමල් උඩුගම දැන් කියන්නේ. මොකක්ද ඔබට ඊට දෙන්න තිබෙන පිළිතුර?
මම දන්නවා දැන් මට විවිධ විදිහේ චෝදනා එල්ල වෙන බව. අක්මාව විකුණුවා නේද කියලා අහලා පසුගිය දවසක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කියලත් මට දුරකථන ඇමතුමක් ලැබුණා. අනික නාමල් සහ රුවන්තිගේ පරණ තරහකාරයෙක් මගේ පිටුපස ඉඳගෙන මාව මෙහෙයවනවා කියලාත් මට චෝදනාවක් තියෙනවා. මට විවිධ පුද්ගලයෝ එක්ක ඩීල් තියෙනවා කියලාත් කියනවා. මාව කවුරුවත් මෙහෙය වූයේ නැති බව තමයි මට ඔය කියන චෝදනාවලට දෙන්න තියෙන පිළිතුර. මම මගේ දරුවෝ දෙන්නයි අවුරුදු 88ක් වයස අම්මා එක්කයි ජීවත්වෙන්නේ. ඕනෑම කෙනෙකුට තඹුත්තේගම මගේ ගෙදරට ඇවිල්ලා වුණත් හොයලා බලන්න පුළුවන් ඔය කියන විදිහේ සම්බන්ධතා මට තියෙනවාද කියලා. 
 
 
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ක්‍රිෂාන්ත සම්පත් හමුවූ අවස්ථාවේ සිය ෆේස්බුක් පිටුව වෙත මුදාහරින ලද සජීවී වීඩියෝව වෙනුවෙන් නාමල් උඩුගම තබා තිබූ සටහන සහ රන්ජන් ඊට දී තිබූ පිළිතුර 
 
නාමල් උඩුගම
 
රන්ජන් අයියෙ, ක‍්‍රිශාන්තට කතාකරන්න පුළුවන් නම් මටත් කතා කරන්න තිබුණා නේද? මම ආවා නම් ඔය ප‍්‍රශ්නය හරියට විසඳගන්න තිබුණා. ඔයා මේ වෙලාවේ එක පැත්තක් ගන්න බව පේනවා මේ කතාවේදී.
ඔයා රටක් හදන්න ඉන්න කෙනෙක්නේ. එ්ත් ඔයා කොටසකට විතරක් ආදරේ වගේ පේනවා.
මගේ යාළු‍කමට මට සලකන්න එපා, නමුත් සත්‍යය මොකක්ද කියලා බලලා මධ්‍යස්ථව කළා නම් හරි.
මිනිසුන් එකමුතු කිරීමයි නායකත්වයේ යුතුකම. ඒත්...වෙනස්ම දෙයක් ඔයා කළේ.
ඔයා ඇමැති කෙනෙක්. මම නිකං ඔහේ ගායකයෙක්. ඔයාට කට්ටියත් එක්ක  ඕන දෙයක් කරන්න පුළු‍වන්.
නමුත් මම දරුවො දෙන්නෙක් එක්ක පවුල් ජීවිතයක් ගතකරන කෙනෙක්. මේක බලපාන්නේ ඔයාට පමණි.
ඒත්..මට ළමයිත් එක්ක මේවට මූණ දෙන්න ගොඩක් අමාරුයි. අයියෙ, මූණට මූණ එකට තියලා ක‍්‍රිශාන්තට එන්න කියලා සාධාරණ විසදුමක් කරන්න. ඔයාට පින්සිද්ධ වෙයි. මේක මට ලොකු අසාධාරණයක්.
ඔයා මට වැඩිය ජනප‍්‍රියයි. සමහර වෙලාවට මම ඔයාට වැඩිය ජනප‍්‍රිය වෙන්න පුළුවන්. ඒකයි සත්‍යය. ජනතාව කියයි ඒ ගැනත්.
මේ වගේම video එකක් කරමු රන්ජන් අයියේ.
සත්‍යය ඔප්පු කරමු අයියේ. එතකොට අපිව තේරුම් ගනී. හෙට ගෙන්වාගන්න අයියෙ ක‍්‍රිශාන්තව. එකට තියා කතා කරලා විසදමු. ඔයාට පිං සිද්ධ වෙනව job එකක් එයාට දුන්නට. මොකද හැමෝම මේ ප‍්‍රශ්නය නොදන්නා අය මට දොස් කියනවා.
හදවතට එකඟව මේක විසඳන්න අයියේ.
මම කිසිම වැරැද්දක් නොකර මට බැණුම් අහන්න අමාරුයි රංජන් අයියෙ.
බුදුසරණයි..
දෙවි පිහිටයි...!!!
 
රන්ජන් රාමනායක 
 
නාමල් මල්ලි ,මට උවමනා වුණේ පීඩිතයාට උදව් කිරීමටයි, එ් මනුස්සයා දුප්පත් අහිංසක ලෙඩෙක්, එයාගෙන් වරදක් වෙන්න ඇති, නමුත් අද ඉන්න තත්ත්වය භයානකයි, බිරිඳවත් සවුදි යවලා, පොඩි ළමයින් දෙදෙනකු අනාථ වෙලා, සල්ලි නැහැ, job එකක් නැහැ, මම මට පුළුවන් විදිහට උදව් කළා. එ්ක වරදක්ද, රාවය පත්තරේ දැක්කාම මම මයි call කළේ, ඇමැතිතුමාට කතා කරලා දැන් job එක හරි, තවත් සල්ලි හොයලා දෙනවා, 
 
බොහොම ස්තුතියි,
රන්ජන් රාමනායක
 
කිෂාන් කනංකෙ

2017 අවුරුද්ද නිමාවුණේ තවත් ජනප්‍රිය කලාකාරියකට මංගල සීනු හඬවමින්. අවුරුද්ද අවසන් වෙන්න දවස් තුනකට කලින් ඒ කියන්නේ 2017.12.28 වැනිදා ජනප්‍රිය නිළියක හා නිරූපිකාවක් වූ අමන්දා ද සිල්වාගේ විවාහය ලියාපදිංචි කිරීමේ උත්සවය සිදුකෙරුණා. පසුගිය සතියේ අපි ඔබට ඒ සුබ ආරංචිය දැනුම් දුන්නා. අද අපි සූදානම් වෙන්නේ මේ දෙන්නාගේ කවුරුත් නොදන්නා ආදර කතාව ගැන ඔබට කියන්නයි. 
 
අමන්දාට සුබ මංගලම් කියලම මේ කතාබහ ආරම්භ කරනවා
බොහොම ස්තූතියි
 
අමන්දා-දිමුතු විවාහ ලියාපදිංචි කිරීමේ උත්සවය ගැන දැනගන්නත් රසික පිරිස කැමති වේවි?
28 වැනිදා කොළඹ ගලධාරි හෝටලයේ තමයි උත්සවය පැවැත්වුණේ. මම බෞද්ධ. දිමුතු කතෝලික. බෞද්ධ චාරිත්‍ර අනුව වගේම කතෝලික චාරිත්‍ර අනුවත් උත්සවය සිදු කෙරුණා. අපි දෙන්නගේ ඥාතීන් හැරුණම සමීපතම හිතවතුන් තමයි උත්සවයට සහභාගි වුණේ. මගේ පැත්තෙන් අත්සන් කළේ කැලුම් විජේසූරිය. දිමුතුගේ පැත්තෙන් එයගේ මාමා අත්සන් කළා. 
 
කලා ලොවෙ හිතවතුන් සහභාගි වුණේ නැද්ද? 
ගොඩක් අය මංගල උත්සවවලදී සාක්ෂිකරුවන්ව, දෙවැනි මනාල මනාලියන්ව යොදා ගන්නේ ජනප්‍රිය චරිත. ඒත් මට එහෙම හිතුණේ නැහැ. හේෂාන් මංජුල, අරුණ හා ඉරේෂා විතරයි කලා ලෝකයේ අයගෙන් උත්සවයට සහභාගි වුණේ. ඒ තුන්දෙනා මගේ හොඳම යාළුවෝ.
 
කොහොමද අමන්දාට දිමුතුව හමුවුණේ?
දිමුතු පදිංචිවෙලා ඉන්නේ ඇමෙරිකාවේ. ඒත් එයා මගේ මාමා (ප්‍රියන්ත විජේකෝන්)ගේ යාළුවෙක්. මම ගැන අදහසක් තියෙනවා කියලා දිමුතු තමයි මාමට කියලා තියෙන්නේ. හැබැයි ඒ වෙද්දී එයා මාව දැකලා තිබුණේ ෆොටෝවලින් විතරයි. මාමා මට ඒ ගැන කිව්වා. ආශ්‍රය කරලා තීරණයක් ගන්න කියලා මාමා මට කිව්වා. මුලදී දිමුතුයි මමයි Video Call වලින් තමයි කතාබහ කළේ. යාළුවෝ විදියට ආශ්‍රය කරද්දී මට එයා ගැන පැහැදීමක් ඇතිවුණා. ඊට පස්සේ තමයි කැමති වුණේ. අපි අවුරුදු  2 1/2ක් විතර ආශ්‍රය කරලා තමයි විවාහ වුණේ. 
 
ඇයි අමන්දා “දිමුතුට” කැමති වුණේ?
එයා හරිම හොඳ අවංක කෙනෙක්. මං ගැන ගොඩක් උනන්දුයි. මම වගේම අපේ පවු‍ලේ අයටත් ආදරෙයි. ඒ හින්දා මම කැමති වුණා. 
 
විවාහය ලියාපදිංචි කෙරුණා. දැන් කවදද විවාහ උත්සවය? 
මේ අවුරුද්දේ විතර
 
ඊට පස්සේ ඔබ කලාවයි. ලංකාවයි අතහැරලා ඇමෙරිකාවට යනවද? 
මේ දවස්වල මම සම්බන්ධ වෙලා ඉන්නේ “පැරීසියට යන පාර” ටෙලි නාට්‍යයට විතරයි. තවම ඒකේ ෂූටිං ඉවර වෙලා නැහැ. දිමුත් එක්ක මටත් ඇමෙරිකා යන්න වෙනවා. හැබැයි ඉතින් කලාව තුළ හෝ නිරූපණය තුළ හොඳ දෙයක් කරන්න අවස්ථාවක් ලැබුණොත් ආයෙමත් ලංකාවට ඇවිල්ලා හරි ඊට සම්බන්ධ වෙනවා.
 
අපි අපේ කතාබහට දිමුතුවත් එකතු කරගත්තා. අමන්දාගේ ආදරය දිනූ දිමුතු ගැන වැඩි විස්තර දැනගන්න හැමෝම කැමතියිනේ. ඒ හින්දා අපි මුලින්ම ඔහුගෙන් සාමාන්‍ය තොරතුරු ගැන විමසා සිටියා. 
 
මගේ ගම කිරිබත්ගොඩ. ශාන්ත අන්තෝනි විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. මම වයස 14දී ඇමෙරිකාවට ගියා. පවු‍ලේ හැමෝම දැන් ඉන්නේ ඇමෙරිකාවේ. මම ව්‍යාපාරිකයෙක්. 
 
ව්‍යාපාරිකයෙක් වුණාට ඔබට හොඳ ගායන හැකියාවක් තියෙන බව ආරංචියි. ගීතයක් කරන්න එහෙම අදහසක් නැද්ද? 
මම සංගීතයට ආසයි. ක්ලැරන්ස් විජේවර්ධන, මිල්ටන් මල්ලවාරච්චිගේ ගීතවලට ගොඩක් කැමතියි. යම් යම් උත්සවවල ගී ගයන්න වුණොත් ගයන්නේ ඒ දෙන්නාගේ ගීත. ඒත් ගීතයක් කරන්න කලාවට එකතු වන්න නම් ආශාවක් නැහැ. මගේ ක්‍ෂේත්‍රය ව්‍යාපාර ක්‍ෂේත්‍රය.
 
ඇමෙරිකාව ලංකාවට වඩා ගොඩක් ලොකු රටක්. ලස්සන සුද්දියොත් එහෙදි දකින්න ලැබෙන්න ඇති. එහෙම තියෙද්දී ඇයි ෆොටෝවලින් දැකපු ගෑනු ළමයෙකු ගැන හිත බැඳුණේ 
එකට හේතුව මටත් තේරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අමන්දා මවන්න ඇත්තේ මම වෙනුවෙන් වෙන්න ඇති. 
 
ෆොටෝවලින් හිත බැඳිලා දුරකථනයෙන් කාලයක් අසුරු කරද්දී මොකද හිතුණේ? 
අමන්දාට ලස්සන හිතක් තියෙන්නේ කියලා හිතුනා.
 
ඉස්සරවෙලාම එයාව සජීවීව දැක්කේ කවදාද?
මීට අවුරුද්දකට විතර කලින් 
 
ඒ වෙලාවේ මොකද හිතුණේ? 
(හිනැහී) ෆොටෝවලයි වීඩියෝ කෝල්වලයි දකිනවට වඩා කොච්චර ලස්සනද කියලා හිතුණා. 
 
දිමුතු අමන්දාව ඇමෙරිකාවට එකතු කරගෙන යන්නේ කලාවෙන් අයින් කරලාද?
එයා කැමති දේවලවලින් මම කවදාවත් එයාව ඈත් කරන්නේ නැහැ. ඉඳහිට ලංකාවට ඇවිත් කලා කටයුතුවල නිරත වෙන්න ඉඩදෙනවා. ඇමෙරිකාවේදී එයාට නිරූපණ ක්‍ෂේත්‍රය තුළ වැඩිදුර හදාරන්න, ඒ තුළ යමක් කරන්න ඉඩ හදලා දෙනවා. 
 
ආරියවංශ කුලතිලක

සනුක වික්‍රමසිංහ කියන්නේ වර්තමාන තරුණ පරපුරේ ඉදිරියෙන්ම සිටින ගායකයෙක්. සංගීත් වික්‍රමසිංහගේ පුතා විදිහට ක්‍ෂේත්‍රයට ආවත් සනුක මේ වනවිට ඔහුටම ආවේණික සංගීත සම්ප්‍රදායක්ද ගොඩනගා ගෙන තිබෙනවා. මේ රටේ ඉන්න ජනප්‍රිය ගායක ගායිකා යුවළකගේ බාල දියණිය සමග සනුකගේ නම ඈදිලා මේ දවස්වල කටකතාවකුත් පැතිරිලා යනවා.
ඔය අතරේ තමයි සනුක මේ විදියට අප සමග කතාබහකට මුලපිරුවේ. 
 
මේ දවස්වල සනුකගේ අලුත්ම තොරතුරු මොනවාද? 
අලුත් නිර්මාණ කීපයක් සඳහා සූදානම් වෙනවා.
 
සනුක වගේම මෑත කාලයේ බිහිවූ බොහෝ නවක ගායකයන් තමන් විසින්ම තමන්ගේ නිර්මාණ කරගැනීම සිරිතක් බවට පත් කරගෙන. මොකක්ද ඒකට හේතුව?
තමන්ටම තමන්ගේ නිර්මාණයක් කරගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි ඉතින් වෙනත් නිර්මාණකරුවන් එක්ක කටයුතු කරනවා නම් විවිධත්වයකින් යුතු නිර්මාණ සඳහා දායකවන්නත් පුළුවන්. මගේ නිර්මාණ මමම කරගන්නවා තමයි. හැබැයි ඉතින් මම නිර්මාණ කරන විට තාත්තගෙනුයි මගේ නිර්මාණවලට හා මට සම්බන්ධ විවිධ අයගෙනුයි අදහස් අහලා ඒ අයගේ අදහසුත් නිර්මාණයට එකතු කරගන්නවා. ඒ වගේම වෙනත් කෙනෙකුගේ හොඳ නිර්මාණයකට වුණත් සම්බන්ධ වෙනවා.
 
සනුකගේ අලුත් නිර්මාණවලටත් ගීත රූප රචනා නිර්මාණය කෙරේවිනේ. ඒ නිසයි මේ ප්‍රශ්නය අහන්නේ. අද වනවිට ගීත රූප රචනා කලාව ප්‍රබලම මාධ්‍යයක් බවට පත්වීමත් එක්ක මෑත කාලයේ ගීත රූප රචනා සඳහා අනවශ්‍ය විදියට නිරුවත හා ලිංගිකත්වය යොදාගෙන තිබෙනවා. මොකක්ද ඒ ගැන ඔබේ අදහස?
මගේ “සරාගයේ” ගීතය සඳහා කළ රූප රචනයේත් ටීනා හා උදාර විසින් යම් යම් සරාගී දර්ශන නිරූපණය කළා. ගීතය ඇහුවම එම දර්ශන එම රූප රචනයට අවශ්‍යයි. ලිංගිකත්වය හා නිරුවත නිර්මාණ සඳහා කලාත්මකව යොදා ගැනීම වරදක් නැහැ. ඒත් එක දිගට රැල්ලක් වගේ එවැනි Video ආවා. එය නම් මම අනුමත කරන්නේ නැහැ. විවිධ සමාජ ප්‍රශ්න නිර්මාණවලින් කතාබහ කරනවා. ලිංගිකත්වය පමණක් නොවෙයි කතා බහ කළ යුතු තවත් දේවල් තියෙනවා.
 
ගායනයට ඇවිත් ජනප්‍රිය වෙලා රංගනයට යොමු වූ අය ඉන්නවා. තමන්ගේ ගීත රූප රචනාවලදී සනුකගේ ඉදිරිපත් කිරීම් දිහා බැලුවම පෙනෙනවා නළුකමටත් සුදුසුයි කියලා. 
ටෙලිනාට්‍ය කිහිපයක රඟපාන්න මටත් කතා කළා. ඒත් මම ගියේ නැහැ. රඟපෑම ගැන කිසිම හැදෑරීමක් නැතුව ඊට යොමුවන්න මම කැමති නැහැ. අනික මේ කාර්යබහුලකමත් එක්ක රඟපෑමට කාලය හොයාගන්න අමාරුයි. 
 
තවම සනුක විවාහය ගැන හිතුවේ නැද්ද?
(හිනැහී) ඒකට තව වයස තියෙනවානේ. 
 
පෙම්වතෙක් නම් පෙම්වතිය විදියට කෙනෙකු තෝරා ගන්නේ මොන විදියේ සුදුසුකම් බලලාද?
මගේ සංගීත කටයුතු සාර්ථකව කරගෙන යන්න සුදුසු නිදහස සහ වටපිටාව ඇය තුළ තිබිය යුතුයි. ඊට සහය විය හැකි කෙනෙක්ව තමයි තෝරා ගන්නේ.
 
රූකාන්ත - චන්ද්‍ර‍ලේඛාගේ බාල දියණිය වින්ඩි සනුකගේ පෙම්වතිය බවට කටකතාවක් පැතිරිලා යනවා. ඇත්තද ඒ කටකතාව 
(හිනැහී) ඒ ප්‍රශ්නයට පස්සේ හරි උත්තරයක් දෙන්නම්.
 
ආරියවංශ කුලතිලක

ධනවතෙකු වීම මේ කාලයේ බොහෝ දෙනෙකු තුළ ඇති ලොකුම සිහිනයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ධනවතුන් වන්නට මෙන්ම ධනවතුන් ගැන කියවන්නටද මේ බොහෝ දෙනෙකු කැමැත්ත දක්වන බව රහසක් නොවේ. මේ සමග පළවන්නේ 2017 වසරේ ධනවතුන් ගැන මේ වනවිට පළවී ඇති තොරතුරු බිඳකි.
2017 වසර අවසන් වනවිට ලෝකයේ වඩාත්ම ධනවත් පුද්ගලයා කවුද කියා දැනගන්නට කවුරුත් කැමැති වනු ඇත. බ්ලූම්බර්ග් බිලියනපති දර්ශකය වැනි වාර්තාවන්ට  අනුව 2018 ජනවාරි මුල  වනවිට මෙම වාර්තාවට හිමිකම් කියන්නේ ජෙෆ් බෙසෝස් නමැති ව්‍යාපාරිකයායි. ඔහු අන් කවුරුත් නොව සුප්‍රකට ඔන්ලයින් වෙළෙඳ ව්‍යාපාරයක් වන ඇමසන්.කොම් ව්‍යාපාරය ආරම්භ කළ තැනැත්තාය.  ඔහු එහි සභාපතිවරයා ද වෙයි. ජෙෆ් බෙසොස්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න බව පැවැසේ. (ශ්‍රී ලංකා රු. බිලියන 15,000ක් හෙවත් ට්‍රිලියන 15කට ආසන්න ප්‍රමාණයකි).
මෙම වාර්තාවට අනුව වඩාත්ම ධනවත් පුද්ගලයන් අතර 2 සිට 5 දක්වා ස්ථාන හිමි කරගෙන සිටින්නේ පිළිිවෙළින් බිල් ගේට්ස්, වොරන් බෆෙට්, අමාන්සියෝ ඕටේගා, මාක් සකර්බර්ග් යන අයයි. ඔවුන්ගේ වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 92, 85, 76, 75 ආදී වශයෙනි. මෙම ධනවතුන් අතරින් බෙසෝස්, ගේට්ස්, බෆෙට්, සකර්බර්ග් යන සිව් දෙනාම ඇමෙරිකානු ජාතිකයන් වීමද විශේෂත්වයකි. අමාන්සියෝ ඔටේගා පමණක් ස්පාඤ්ඤ ජාතික ව්‍යාපාරිකයෙකු වෙයි.
ලොව ධනවත්ම පුද්ගලයන් සම්බන්ධයෙන් කියැවෙන තවත් විශේෂ කාරණාවක් වන්නේ 2017 වසර තුළ ධනවත්ම පුද්ගලයන් 500 දෙනාගේ වත්කම් ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකින් වැඩි වී ඇති බවයි. මෙය ඩොලර් බිලියන දහසකට සමාන ප්‍රමාණයක් වන අතර ලෙහෙසිපහසු ගණනක් නොවන බවද සඳහන් කළ හැකි වෙයි. මේ බොහෝ දෙනෙකු තාක්ෂණ ක්‍ෂේත්‍රයේ ව්‍යාපාර කරන අය වීමද තවත් විශේෂත්වයකි.
කෙසේ වෙතත් 2017 අවසන් වනවිට ලෝකයේ බිලියනපතියන් වැඩිම කලාපය බවට පත්ව ඇත්තේ ආසියාවයි. ඒ අතරින් ඉදිරියෙන්ම සිටින්නට චීනය සමත්ව සිටියි. මේ වනවිට ඇමෙරිකාවේ සිටිනවාට වඩා බිලියනපතියන් පිරිසක් චීනයේ සිටින අතර සෑම දින පහකට වරක්ම එහි බිලියනපතියෙකු බිහිවන බවක්ද පැවැසේ. පසුගිය ඔක්තෝබර් මාසයේ පළවූ වාර්තා අනුව චීනයේ සිටි බිලියනපතියන් ගණන 594කි. ඇමෙරිකාවේ මෙම සංඛ්‍යාව වූයේ 535කි. ආසියාව තුළ බිලියනපතියන් බහුලව සිටින අනෙක් රටවල්/කලාප වනුයේ ඉන්දියාව, හොංකොං සහ ජපානයයි. මේ වනවිට චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටින්නේ අලිබාබා සමාගමේ සභාපතිවරයා වන ජැක් මා බව අනාවරණය වෙයි. ඔහුගේ වත්කම ලෙස සඳහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 47කි. ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවේ ඔහු 14 වෙනි ස්ථානය හිමි කරගෙන සිටියි. (කෙසේ නමුත් ඔහු මෑතක පවසා තිබුණේ තමාගේ ජීවිතයේ සුන්දරම කාලය ගුරුවරයෙකු ලෙස ‍පොඩි පඩියකින් ජීවත් වූ කාලය බවයි) පසුගිය වසර තුළ සිය වත්කම් වැඩියෙන්ම වර්ධනය කරගෙන ඇත්තේ ද චීන බිලියනපතියන් බව පැවැසේ. මෙම පුද්ගලයන් අතරින් බොහෝ දෙනෙකු තම පවුල්වල උරුමයන් හරහා නොව සිය උත්සාහයෙන්ම ධනපතියන් බවට පත්වූවන් වීමද කැපී පෙනෙන කාරණයක් වී තිබේ.
අපේ අසල්වැසියා වන ඉන්දියාවද ධනවතුන් විශාල පිරිසක් ජීවත්වන රටකි. එහි ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්බානි ලොව ධනවතුන් අතර 20 වෙනි ස්ථානය හිමි කරගෙන සිටින බව වාර්තා වෙයි. ඔහුගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 40කට ආසන්න බවද සඳහන්ව තිබිණි.
ලොව ධනවත්ම පුද්ගලයින් අතර මුල් ස්ථානවල කාන්තාවන් කිසිවෙකු නැති වීමද අවධානයට ලක් වූ කාරණයකි. මේ වනවිට ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ඇලිස් වොල්ටන්ට හිමි වන්නේ 17 වෙනි ස්ථානයයි. ඇලිස් ඇමෙරිකාවේ සුපිරි වෙළෙඳසැල් ව්‍යාපාරයක් වන ‘’වොල්මාට්’’ හි නිර්මාතෘ වූ සෑම් වොල්ටන්ගේ එකම දියණිය වන අතර ඇය සතු වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 45 ක් ලෙස සඳහන් වේ. කෙසේ වෙතත් ඇය මේ වනවිට නිරත ව සිටින්නේ  පියා ආරම්භ කළ ඔවුන්ගේ පවු‍ලේ ව්‍යාපාරයෙහි නොවේ. ඇලිස් වොල්ටන් ඇමෙරිකානු කලා ඉතිහාසය හා සම්බන්ධ කෞතුකාගාර ආයතනයක් පවත්වාගෙන යමින් එහි සභාපතිවරිය ලෙස කටයුතු කරයි. ලොව ධනවත්ම කාන්තාවන් අතර මුල් ස්ථාන පහ හිමි කරගෙන සිටින අනෙක් ධනවතියන් ලෙස සඳහන් වන්නේ ජැකලින් මාර්ස්, මාරියා ෆිසොලෝ, සුසේන් ක්ලැට්න්, ලොරේන් ජොබ්ස් ය. තුන්වැනි සහ සිව් වෙනි ස්ථානවල සිටින මාරියා සහ සුසේන් පිළිවෙළින් ඉතාලි සහ ජර්මන් ජාතික කාන්තාවන් වන අතර අනෙක් තිදෙනාම ඇමෙරිකානු අය යි. ලොරේන් ජොබ්ස් යනු සුප්‍රකට ඇපල් සමාගමේ හවුල් නිර්මාතෘවර ස්ටීව් ජොබ්ස්ගේ බිරිඳයි.
කෙසේ නමුත් ලෝකයේ ධනවතුන් සහ ඔවුන්ගේ වත්කම් මේ ආකාරයෙන් දිනෙන් දින වැඩි වෙමින් තිබියදී අනෙක් පැත්තෙන් දුප්පතුන් සහ දුප්පත්කමද වැඩි වෙමින් ඇති බව අමතක කළ හැකි නොවේ. ලොව දිළිඳු ජනයා වැඩිම සංඛ්‍යාවක් ජීවත්වන කලාපය වන්නේ අප්‍රිකාවයි. ඒ අතරින්ද  2017 සංඛ්‍යා‍ලේඛනවලට අනුව වඩාත්ම දිළිඳු රට හැටියට සැලකෙන්නේ මධ්‍යම අප්‍රිකානු ජනරජයයි. ඊට අමතරව කොංගෝ, බුරුන්දි, ලයිබිරියා, නයිගර් වැනි රටවල් ද වඩාත්ම දිළිඳු රටවල් පහ අතරට ගැනේ.
ආර්ථික වශයෙන් ඇති නැති පරතරය ලෝකයෙහි වේගයෙන් වැඩි වෙමින් තිබිම මේ වනවිට විශාල අර්බුදයක් වී ඇති ගැටලුවකි. මේ නිසා ලොව බොහෝ කලාපවල විවිධ ආකාරයේ නොසන්සුන් තත්ත්වයන් සහ අසහනයන් උත්සන්න වෙමින් ඇති ආකාරය පැහැදිලිව දැකිය හැකි වෙයි. 2016 වසරේ ඇතැම් සංඛ්‍යා‍ලේඛනවලට අනුව ලොව ජනගහනයෙන්  පහළ ස්ථරයේ ජීවත්වන  සියයට 50කගේ (බිලියන 3.6කගේ)  වත්කම්වලට සමාන වත්කම් ප්‍රමාණයක් ඉහළම ස්ථරයේ සිටින ධනවතුන් 8 දෙනා සතු විය. (මෙම අට දෙනාම පිරිමින් වීමද තවත් විශේෂත්වයකි. )
කෙසේ හෝ වේවා, දිනෙන් දින වර්ධනය වෙමින් ඇති මෙම විෂමතාවන් සමනය කිරීමට හැකි නොවුවහොත් ලෝකය තව තවත් ගැටුම්, අසහන, අර්බුදවලින් ගහන තැනක් බවට පත්වීම වැළකිය නොහැකි වනු ඇති අතර මෙම තත්ත්වය විසඳිය හැක්කේ කෙසේද යන්න ගැන බොහෝ විශේෂඥයන්, විද්වතුන්, දේශපාලන නායකයන් ඇතුළු පාර්ශ්ව අවධානය යොමු කරමින් සිටින බවද දැකිය හැකි වෙයි.

කිත්සිරි මල්වත්ත

IMAGE

ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීම සොයුරාගේ සැලසුමක් -...

IMAGE 2018 Feb 16 13:54
හත්දෙනෙකුට මරු කැඳවමින් පසුගිය (14) දා ග්‍රැන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩා වැටීමේ සිද්ධිය...
Views - 2508

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 5386

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 4773

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 2865

හොර හැඳුනුම් පතක් ගෙන ප්‍රේම ලෝකයට බසින 'වැලන්ටයින්'

IMAGE 2018 Feb 14 09:22
පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ...
Views - 2819

කෝවක්කා කෑවම මැරෙනවද?

IMAGE 2018 Feb 13 19:41
කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ...
Views - 7425

Please publish modules in offcanvas position.