Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි වැඩසටහනක්. රංගන ශිල්පිනියක් විදිහට කොයි කාටත් හුරුපුරුදු තනාෂා හතරසිංහ ආකර්ෂණීය නිවේදන විලාශයද මේ වැඩසටහනේ ජනප්‍රියත්වයට හේතුවක් වෙලා තියෙනවා.  
 
ජුනියර් සුපර් ස්ටාර් හි නිවේදිකාව වෙන්න තනාෂාට කොහොමද අවස්ථාව ලැබුණේ? 
රංගන ශිල්පිනියක් විදිහට මම සිරස ටීවී අංගර ඉංගර ගේම් ෂෝ එකට සහභාගි වුණා. එතනදී තමයි ජුනියර් සුපර් ස්ටාර් 
නිෂ්පාදන කණ්ඩායමෙන් මට මේ ආරාධනාව ලැබුණේ. වැඩේ හොඳ නිසා මමත් කැමැත්තෙන්ම ආරාධනාව පිළිගත්තා. 
 
ලැබුණු වගකීම අභියෝගයක් කියලා ඔබට හිතුණේ නැද්ද? 
මම මීට කලිින් නිවේදිකාවක් විදිහට වැඩ කරලා තියෙනවා. නමුත් රියැලිටි ළමා වැඩසටහනක නිවේදිකාවක් විදියට වැඩ කරලා තිබුණේ නැහැ. ඒ නිසා ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මට වෙනස්ම අත්දැකීමක්. විශේෂයෙන්ම පුංචි අයත් එක්ක වැඩ කරන කොට ගොඩක් පරිස්සමට වැඩ කරන්න ඕනේ. මේ තරගාවලියේ නිවේදිකාව වීම මුලදී නම් මට විශාල අභියෝගයක් වුණා. ඒත් දැන් ලැබෙන ප්‍රතිචාරත් එක්කම  ඒ අභියෝගය මම ජයගත්තා කියලා හිතනවා. මොකද මම එළියට ගියත් දකින හැමෝම අහන්නේ අපේ පුංචි පැටව් ගැන. මේ නිසා මටත් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් තිබෙනවා. 
 
ඔබට සහෝදර නිවේදකයාගෙන් ලැබෙන සහය මොන වගේද? 
හේෂාන් මල්ලව කියන්නේ මට වඩා ක්ෂේත්‍රය ගැන බොහෝ අත්දැකීම් තිබෙන කෙනෙක්. සමහර අවස්ථාවලදී වැඩසටහන ඉදිරිපත් කරනකොට නංගී අපි මේ විදිහට කරමු. මේ විදිහට කතා කරමු කියලා මට නිතරම හේෂාන් අයියා උපදෙස් දෙනවා. ඇත්තටම මට හේෂාන් අයියාගෙන් ලැබෙන්නේ විශාල සහයෝගයක්. 
 
පුංචි ළමයි එක්ක වැඩ කරන හින්දම තනාෂාට අමතක නොවන ලස්සන මතකයන්් එහෙමත් ඉතිරි වෙලා ඇති නේද?
 එකක් දෙකක් නමෛයි පුංචි අයත් එක්ක ගත කරන හැම මොහොතක්ම මට ලස්සනම මතකයන්. එයාලා හරිම මිත්‍රශීලී කතා කරන විදිහ, හැසිරෙන විදිහ, අඳින පලඳින විදිහත් හරිම සුන්දරයි. 
 
තරගයේදී ඉවත් වෙන ‍පොඩිත්තෙක් සංවේදී වෙලා අඬන කොට නිවේදිකාවක් විදියට තනාෂා මොකද කරන්නේ? 
එතනදී මාත් ගොඩක් සංවේදී වෙනවා. ඒ වේලාවේදී මමයි හේෂාන් අයියයි දෙන්නම බොහෝම පරිස්සමට කතා කරන්නේ. උපරිම විදිහට අපි දෙන්නම ‍පොඩ්ඩන්ගේ හිත හදනවා. තරගයෙන් ඉවත් වෙනකොටම විනිශ්චය මණ්ඩලයත් පුදුම විදිහට එයාලගෙ හිත් හදලයි අපි දෙන්නා ළඟට එවන්නේ. 
 
ජුනියර් සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලයට හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් එල්ල වෙනවා. ඔබට ඒ ගැන මොනවාද කියන්න තියෙන්නේ? 
ඕනෑම දෙයක් හැමෝම හොඳ විදිහටම මම දකින්නේ නැහැනේ. ඒ නිසාම ඕනෑම දෙයකට විවේචන එල්ල වෙන්න පුළුවන්. කලින් අපේ විනිශ්චය මණ්ඩලයට පුංචි පුංචි විවේචන එල්ල වුණත් මම හිතන්නේ දැන් එහෙම නැහැ කියලයි. 
 
ඔබ රංගන ශිල්පිනියක් විදිහටනේ මුලින්ම ක්ෂේත්‍රයට ආවේ. කොහොමද  ඒ ගමන පටන් ගත්තේ? 
මම 2013 දෙරණ මිස් ශ්‍රී ලංකා වෙලා ඒ සමගම දෙරණ තිමිර ගිර ටෙලි නාට්‍යයේ රඟපෑවා. පස්සේ මම ලෝක සුරූපිනියන්ගේ තරගාවලියට සහභාගි වුණා. ඒත් එක්කම සහෝදර රංගන ශිල්පී රොෂාන් රණවන අයියාගේ නිර්දේශයට අනුව, රන් දේදුන්නයි කියන චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස රඟපෑවා. ජනප්‍රිය වගේම දක්ෂ නළුවෙක් වන රොෂාන් අයියා එක්ක මුල් වරට රඟපාන්න ලැබිමත් මට වාසනාව ගෙන ඒමට හේතුවක් වුණා. 
 
මොනවාද ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්නට ලැබෙන ඔබේ නිර්මාණ? 
මොහාන් නියාස්ගේ බඹර වසන්තේ සහ චන්න පෙරේරාගේ පුංචි වීරයෝ කියන චිත්‍රපට දෙකේම ප්‍රධාන චරිතෙට පණ දුන්නේ මමයි. මේ චිත්‍රපට දෙකම ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ටෙලි නාට්‍යය වලටත් බොහෝ ආරාධනා ලැබුණා. නමුත් ඒ ආරාධනා ගැන මට සැහිමකට පත්වෙන්න බැරි වුණ නිසා මම ඒවා ප්‍රතික්ෂේප කළා. මම වැඩිපුර කැමති සිනමාවටයි. ඒත් හොඳ ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණොත් ඒ ගැන හිතලා බලනවා. 
 
ඔබේ ආදරණීය රසික රසිකාවියන්ට දැන ගන්නත් එක්ක පවු‍ලේ විස්තර ගැන කිව්වොත්? 
මගේ අම්මා ආශා හතරසිංහ, තාත්තා රුවන් හතරසිංහ, ඔහු ව්‍යාපාරිකයෙක්. මම නංගිලා තුන්දෙනාගේම ලොකු අක්කා. ඒහින්දා හැම වේලාවේම මම ගොඩක් හිතලා තමයි වැඩ කරන්නේ. ලොකු අක්කා  විදිහට නංගිලා තුන් දෙනාටම ආදර්ශයක් වෙන විදිහට ජීවත් වෙන්න තමයි නිතරම උත්සාහ කරන්නේ. කලින් නම් මමත් ආදරවන්තියක් වෙලා කාලයක් හිටියා. ඒ ආදර කතාව දැන් ඉවරයි. මම දැන් සින්ගල්. 
 
සමන්මලී නැලිගම 
 
ඡායාරූප - තිළිණ විජේසිරි 

මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය නොවැම්බර් 11 සෙනසුරාදා පස්වරුවේ පිළියන්දල නාම්පමුණුව සණස ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. සාමාන්‍යයෙන් එම සංවත්සර සභාව අවසානයේ කාලීන මාතෘකාවක් යටතේ විශේෂ ආරාධිත දෙසුමක් පැවැත්වුණ අතර එහි මෙවර දේශකයා වූයේ මාය. එම දෙසුම සඳහා මා වෙත ලැබි තිබූ මාතෘකාව වූයේ ‍ජ්‍යොතිෂය පිළිබඳ නිදහස් විචාරයක්, යන්නය.
එම දෙසුම අවසන් කොට ශ්‍රවණාගාරයෙන් පිටත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී දෙසුමට සවන් දී සිටි තලතුනා මහත්මියක් ඉක්මන් ගමනින් මා වෙත ආවාය. තමන් මෙම සංගමයේ සාමාජිකාවක නොවන බව කී ඇය එහි සාමාජිකාවක සමඟ මෙහි පැමිණියේ විශේෂ හේතුවක් මත බව ද කීවාය. ඒ සම්බන්ධයෙන් ඇය වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේ මෙලෙසිණි. මගේ අක්කාගේ දුවගේ වයස අවුරුදු තිස් හතරයි. බැඳලා අවුරුදු පහක් යනකම් දරුවෝ ලැබුණේ නැති හින්දා එයාලා  රුපියල් ලක්ෂ ගණන් වියදම් කරලා වෛද්‍ය ප්‍රතිකාරවලින් දරු පිළිසිඳ ගැනීමක් ඇති කර ගත්තා. දැන් ඒ දරුවට අවුරුදු හතරයි. ඔය අතරේ ඒ දෙමව්පියෝ ටීවී එකේ ‍ජ්‍යොතිෂ වැඩ සටහන්වලට සහභාගී වෙන ප්‍රසිද්ධ නමක් තියන ‍ජ්‍යොතීර්වේදියකු ලවා රුපියල් දහස් ගණනක් වියදම් කරලා ඒ දරුවගේ කේන්දරේ බලවාගෙන, එනකොට ඒ මනුස්සයා කියලා තියනවා මේ දරුවාට අවුරුදු පහේ දී මාරක අපලයක් තියනවා, ඒක මඟහරවා ගන්න නම් හුගක් දේවල් කරන්න වෙයි කියලා. කොහොම හරි ඒ දරුවගේ මාරකය වෙනුවෙන් කියලා ආරක්ෂක යන්ත්‍රය දම්මවන්නයි අනික් ගුරුකම්වලටයි මේ වෙනකොට රුපියල් ලක්ෂ පහක් විතර වියදම් කරලා තියනවා, ඒත් නරකම කාරණේ එක ‍නෙවෙයි.
එසේ කී එම මහත්මිය දෙවනුව කී මෙම වදන් කීපයෙන් මම අතිශය කම්පාවට පත්වීමි. කොහොම වුණත් ඒවයෙනුත් ඒ දරුවගේ මාරකය දුරුවෙලා නැතුව ඇති කියන බය හිතට තදින්ම කා වැදිලා. දැන් ඒ දරුවගේ අම්මා මානසික රෝගියෙක් වෙලා. ඔහේ අඬ අඬා බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා.
එම මහත්මිය හෙළි කළ අනුවේදනීය විස්තරයත් සමග මගේ මතකය මීට වසර විසි අටකට ඉහත අතීතයට දිව ගියේ මගේ ජීවිතයේ මුල්ම ගුප්ත විශ්වාස පිළිබඳ මුල්ම පර්යේෂණය යළි සිහිගන්වමිනි. එය ද ‍ජ්‍යොතීර්වේදයේ එන මාරක අපල මුල්කොට ගත් පර්යේෂණයකි. දිනය 1989 ජනවාරි 17 දාය.
එදින පස්වරු දෙකට අම්බලන්ගොඩ බස්නැවතුමින් පිටත් වූ අම්බලන්ගොඩ ඩි‍පෝවට අයත් 23 ශ්‍රී 8293 දරන ඌරගස්මන්හන්දිය බසය අහුන්ගල්ල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය වෙත පැමිණෙන විට එය පාසල් සිසුන්ගෙන් අතුරුසිදුරු නොමැතිව පිරී තිබිණ. එහෙත් එම බස්රථය පැද වූ රියැදුරාගේ අපරික්ෂාකාරී බව නිසාම එම බස් රථය තුළ තෙරපෙමින් සිටි පාසල් සිසු සිසුවියන් තිස් අට දෙනෙකුට සහ මුස්ලිම් ගුරුමාතාවකට හිමිව තිබූ ජීවත් වීමේ වාසනාව මුළුමනින්ම අහෝසි විය. ඒ ඒ වනවිට එම දුම්රිය හරස් මාර්ගය දෙසට ධාවනය වෙමින් තිබූ අංක ඹ.2 714 ඇන්ජිම සහිත අලුත්ගම සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 750 දරන මගී දුම්රිය හෙනහඬ නංවමින් එම බස් රියේ ගැටුණු බැවිණි. එම සිද්ධියත් සමග අහුන්ගල්ල ප්‍රදේශය පමණක් නොව මුළු රටම සෝ කඳුළින් නැහැවී ගියේ එකම සිදුවීමක් මුල් කොට ගුරුමෑණිකෙනෙකුත් සමග පාසල් සිසුන් තිස්අට දෙනෙකුම මිය යාම නිසාය. මෙරට හදිසි අනතුරු ඉතිහාසයේ සුවිශේෂ ඛිෙදවාචකයක් ලෙස අදත් එය සැලකෙයි.
එවක ‍ජ්‍යොතිෂය පිළිබඳ අතිමහත් විශ්වාසයක් තැබූ මම එම අනතුරින් මියගිය සිසුන් තිස් අට දෙනාගේ ජන්ම පත්‍ර ඇසුරින් මාරක අපල පිළිබඳව අධ්‍යයනයක් කිරීමට අදහස් කළෙමි. ඒ එම ඛිෙදවාචකය මුල්කොට වුවද ‍ජ්‍යොතිෂයේ සත්‍යතාවය ලොවට කියා පෑමට එය මහඟු අවස්ථාවක් කර ගැනීමට මා අදහස් කළ බැවිනි.
මගේ සටහන්වලට අනුව මා මුල්වරට එම ගවේෂණය සඳහා එම අනතුරින් මිය ගිය සිසු දරුදැරියන්ගේ නිවෙස් වෙත යන ලද්දේ 1989 ජනවාරි 22 ඉරුදිනය. එහෙත් එහි දී එම සියලුම සිසු දරු දැරියන්ගේ නිවෙස්වලට යාමට කාලවේලා මඳ වූයෙන් ඉන්පසු එම වසරේ ජනවාරි 29 ඉරුදින සහ පෙබරවාරි 04 සෙනසුරාදා යළි එහි යාමට මට සිදු විය.
එහි දී මා' විසින් මුල්වරට අනාවරණය කර ගත් කරුණු සැකෙවින් මෙසේය.
එම අනතුරින් මිය ගිය සිසු දරුවන් තිස්අට දෙනාගෙන් ඊට ආසන්න කාලයක ජන්ම පත්‍ර විමසා තිබුණේ සිසු සිසුවියන් විසි හයදෙනකුගේ පමණි. ඒ අතරින් සිසුන් දහඅට දෙනෙකුගේම ග්‍රහාචාරයන් හි සැලකිය යුතු අපලයක් නොතිබූ බව ඔවුන්ගේ දෙමාපිය භාරකරුවෝ මා හා කීහ. එහෙත් එම සිසුන්ගෙන් සිව්දෙනෙකුගේ කේන්ද්‍රවල ඒ වන විටත් සැලකිය යුතු අපල තිබූ බවක් ඔවුන්ගේ මා පියන් වෙතින් දැන ගත හැකි විය. අහුන්ගල්ල අනතුරින් මිය ගිය සිසු දැරියන් අතුරින් ජන්ම පත්‍ර 
විශ්‍ලේෂණයට බඳුන් වූ දරුවන් විසි හය දෙනාගෙන් එවක මාරක අපල සටහන්ව තිබුණේ සිසුන් හතර දෙනකුගේ ජන්ම පත්‍රවල පමණි.
ඒ අනුව පසුව ඉහත සඳහන් සංසිද්ධිය සංඛ්‍යාත්මක විශ්‍ලේෂණය කිරීමෙන් මා ලත් ප්‍රතිඵලය මෙලෙසිනි.
යමකු අකල් මරණයකට පත් වීම සඳහා ඒ තැනැත්තාගේ ජන්ම පත්‍රයේ ඒ බව මාරක අපලයක් ලෙස සටහන්ව තිබිමේ සම්භාවිතාව  ප්‍රතිශතයක් වශයෙන් සීයට පහළොවයි දශම තුනයි අටකි, එවන් ඛිෙදවාචකයක් යමකුගේ කේන්ද්‍රයක සැලකිය යුතු අපලයක් ලෙස සටහන් වීමේ සම්භාවිතාවද ප්‍රතිශතයක් වශයෙන් එම අගයම ගනී. එහෙත් මෙහි ඇති බරපතළම විපරීතය හෝ විකෘතිය එය නොවේ. මා විසින් කරනු ලැබූ ඉහත හදහන් නිරීක්ෂණයට අනුව කේන්ද්‍රයේ කිසිම අපලයක් සටහන් නොතිබූ සිසු දරුවන්ගෙන් සියයට හැට නවයයි දශම දෙකයි තුනක ප්‍රතිශතයක් මෙම අනතුරින් මිය ගොස් තිබිමය.
‍ජ්‍යොතිෂය විචාරයට ලක් කරනුයේ හුදෙක් භෞතිකවාදීන්ය යන සමහරුන්ගේ මතයකි. එය සත්‍යයකි. භෞතික විද්‍යා නියමයන්ට අනුව ‍ජ්‍යොතිෂය යනු පට්ටපල් කෙබරයකි. එහෙත් විස්මයට කරුණ එය නොවේ, ‍ජ්‍යොතිෂ සිද්ධාන්ත සංග්‍රහයන් හෙවත් පංචාංග ලිත් කතුවරුන්ද තම දෘෂ්ටි කෝණයක් තුළින් මෙම සත්‍යයට බොහෝ දුරට ළංව තිබිමය.
එබැවින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පංචාංගලිතක් වන ලංකා ග්‍රහස්පුට පංචාංග ලිතේ සංස්කාරකවරුන් වන එස්.ඩබ්ලියු. කස්තුරිරත්න සහ ආර්.කේ. රොහාන් සිසිර කුමාර යන විද්වතුන් විසින් රචනා හඳහන බැලීමේ ගුරු මුෂ්ටි - 2 කෘතියේ පෙරවදනින් කොටසක් පහත උපුටා දක්වමින් මා නිහඬ වනුයේ රූපවාහිනී ඇතුළු ජන මාධ්‍යවලින් මුල්කොට මනෝ විද්‍යාත්මක ත්‍රස්තවාදයක් මවාපාන අධමයන්ට පැමිණ විය යුතු සමාජමය දඬුවම තීරණය කිරීමේ වගකීම බුද්ධිමත් පාඨක ඔබ වෙතට පවරමිනි.
මේ ශාස්ත්‍රය පිළිබඳව ප්‍රකට රහසක් කීමට තිබේ. එනම් යම් කෙනෙකුට හැකි තරමින් ඉගෙන රක්ෂාවක් වශයෙන් කරමින් ජීවනෝපාය ගෙන යාමට නම් මෙය හොඳ ශාස්ත්‍රයක් මිස සියයට සියයක්ම හරියන ලෙස අනාවැකි කීමට හැකි ආකාරයට සත්‍යම සිද්ධාන්ත මත ගොඩ නගා තිබෙන විද්‍යාත්මක පදනමක් ඇති ශාස්ත්‍රයක් නොවන බවයි.
 
තිලක් සේනාසිංහ

මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අය වැය කතාවේදී ප්‍රකාශ කළා. ඒක හරියට යන්තම් විළිවැහෙන අමුඩ කෙටියක් ගහගෙන ඉන්න මිනිහෙකුට ෆුල් සූට් එකක් අන්දවන්න සැලසුම් කළා වගේ.

නමුත් දැනට මීගමුව ආශ්‍රිතව පැන නැඟිලා තියෙන සමුද්‍ර කලපු සහ ගොඩබිම් ආශ්‍රිත පාරිසරික ප්‍රශ්න සම්බන්ධයෙන් රජය ගන්නා පියවර අනුව අපට නම් හැගෙන්නේ ඒ ෆුල් සූට් ඇන්දවීම කොහොම වෙතත් ඒක ඇගේ තියෙන අමුඩ කෙටියත් ගලවා ගන්න දරන උත්සාහයක් වගේ.

ලක්බිම ඔන්ලයින් සමඟ එම අදහස් ප්‍රකාශ කළේ මීගමුව ධීවර සංවිධාන එකමුතුවේ වර්ණකුලසූරිය ජූඩ් නාමල් මහතාය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ඔහු මෙසේද කීය.

ශ්‍රී ලංකාවේ අතිශය පලදායි මුහුදු කලාපයක් වන මීගමුව ආශ්‍රිත සාගර කලාපයට ඒ ජෛවමය ගුණය ලැබී ඇත්තේ මීගමු කළපුව ඒ ආශ්‍රිත කඩොලාන ඇතුළු හරිත වැස්ම නිසයි. නමුත් මේ රජය ඒවා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් අරගෙන නැහැ. ඒ වෙනුවට සිදු කොට ඇත්තේ ඒවා විනාශ මුඛයට යන අන්දමට කටයුතු යෙදීමයි. මීගමු කලපුව කියන්නේ ශ්‍රී ලංකාවේ කලපු අතරින් විශිෂ්ටතම දෙදිය හුවමාරුවක් සහිත සක්‍රීය කලපුවක්. ඒ කලපුව සඳහා මිරිදිය සම්පත ලබාදෙන ප්‍රධානතම ජල මූලාශ්‍ර දෙකක් තියෙනවා. ඒ දඬුගම් ඔය ලෙසින් මීගමු කලපුවට සම්බන්ධ වන අත්තනගලු ඔය සහ ජා ඇළ දෙසින් මීගමු කලපුවට සම්බන්ධ වන ඌරුවල් ඔයයි. නමුත් අද වන විට මේ ගංගාධාර අවට පිහිටි කර්මාන්ත ශාලා වලින් විශාල වශයෙන් නිකුත්කෙරෙන විෂ රසායනික මේ ජල ප්‍රවාහයන් ඔස්සේ මීගමු කලපුවට එකතු වෙනවා.

ඒ සම්බන්ධයෙන් අතනින් මෙතනින් කෙනෙකු අල්ලා නඩුවක් දෙකක් පවරනවා හැරුණු කොට මේ සමස්ත ක්‍රියාවලිය මුළුමනින් නතර කිරීමට මෙතෙක් කිසිවෙකුත් සමත් වී නැහැ. ඊට හේතුව එම පරිසර බලධාරීන් එම කර්මාන්ත ශාලා හිමියන්ගෙන් විශාල වශයෙන් අල්ලස් හා කප්පම් ලබා ගැනීම බවට අප තුළ සාධාරණ සැකයක් තියෙනවා.

එහිදී වැඩිදුරටත් අප හා අදහස් දැක්වූ ජුඩ් නාමල් මහතා කියා සිටියේ දඬුගම් ඔයේ වරින් වර මසුන් දහස් ගණන් එක්වරම මිය යාම ප්‍රදේශවාසීන්ට සහ ධිවරයන්ට කලක පටන් රහසක් නොවන බවය.

එම ජලජ ජීවින්ගේ විනාශයට හේතුව දඬුගම් ඔයේ ජලයට විෂ රසායනික එක් වීම බව අතිශයින් පැහැදිලිව පෙනුණද ඒවා පිළිබඳ විමර්ශනය කරන නිලධාරින් එසේ මිය ගිය මත්ස්‍යයෙකු මරණ පරීක්ෂණයට ලක් කර එම මත්ස්‍යයා මහළු වී මිය ගිය බව පවා ප්‍රකාශ කළ අවස්ථා ඇති බව කීය.

මෙලෙස මිගමු කලපුවට විෂ රසායනික ඇතුළු ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය (E waste) අසීමාන්තිකව එක් කිරීම නිසා මුලික වශයෙන් එම මසුන් මිය ගියද කෙමෙන් උන් එම විෂ සහිත ද්‍රව්‍යයන්ට අනුවර්තනය වීම එම මත්ස්‍ය අස්වැන්න ආහාරයට ගන්නවුන්ට පිළිකා ඇතුළු මාරක විපත් පමුණුවන බවද කිය.

මෙහිදී ඒ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු දැක්වූ ජූඩ් නාමල් මහතා මෙසේද කීය.

මීගමු මුහුදු කලාපයේ මසුන් අස්වැන්න වැඩිවීම සම්බන්ධයෙන් මුතුරාජවෙළ ආශ්‍රිත දැවැන්ත කඩොලාන පද්ධතිය සෘජු සාධනීය ප්‍රතිථිපලයක් උදාකරන බව පර්යේෂණ සිය ගණනකින් තහවුරු කර තියෙනවා.

එමෙන්ම මීගමු කලපුවේ ජල දූෂණය අවම කිරීම පිණිස මෙම කඩොලාන පද්ධතිය ස්වභාවික ජල පෙරණයක් ලෙස ඉටු කරන මෙහෙවර අතිවිශාලයි.

ඒ වගේම කටුනායක ගුවන්තොටුපල ඇතුළු ජනාකීර්ණ කාර්මික කලාප රාශියක් සමීපයේ පිහිටි මේ ස්වභාවික පරිසර පද්ධතිය නිසා ප්‍රදේශයේ වායු දූෂණය බොහෝ දුරට යටපත් වී තිබෙනවා.

නමුත් අද මහ නගර සංවර්ධනය මුවාවෙන් මුතුරජවෙල පරිසර පද්ධතිය දැඩි දූෂණයකට ලක් කර තිබෙනවා.

පසුගිය කාලයේ මුතුරාජවෙළ අනවසර ගොඩ කිරීම් සම්බන්ධයෙන් පරිසර වේදීන් සහ ධීවරයන් තොරතුරු දැනගෙන ඒ විනාශයට එරෙහිව විශාල හඬක් නැගුවා. නමුත් අද වන විට මුතුරාජවෙල තෙත්බිම තුළ අනවසරයෙන් සිදුවන මහා පරිමාණ ගොඩ කිරීම් පිළිබදව අඩුම තරමින් ඒ ප්‍රාදේශීය ලේක්ම් වරුන්වත් දන්නේ නැහැ. මහනගර සංවර්ධනය කියමින් සිදුකරන තෙත් බිම් සංහාරයට එරෙහිව කිසිවෙකුත් හඬ නගන්නේ නැහැ.

වර්තමාන රජයෙන් සිදු කෙරෙන මේ මහා පරිමාණ තෙත් බිම් සංහාරය සහ පරිසර දූෂණය පිළිබඳව හිටපු කතානායක වරයෙක් සහ කැබිනට් අමාත්‍යවරයෙක් සහ එම ප්‍රදේශයේ වැසියෙකු වන ජෝෂප් මයිකල් පෙරේරා මහතා පසුගියදා දැඩි විවේචනයක් එල්ල කළා. ඔහු එහිදී කියා සිටියේ වෙන මොන සංවර්ධනයක් නැතත් හෙට අනිද්දා වන විට ජා ඇළ ප්‍රදේශය ගංවතුරෙන් නම් සංවර්ධනය වන බවයි.

මුතුරාවෙල සිදුවන මෙම මහා පරිමාන පස් පිරවීම සඳහා පස් ලබා ගන්නේ දිවුලපිටිය ආසනයෙන්. එහිදී එම පස් ඉවත් කර ගන්නා ස්ථානයක සිට දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් වරියට දුරකථනයෙන් කතා කළ නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට දුරකතනයෙන් පිළිතුරු දුන්  දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් වරිය කියා සිටියේ එවැන්නක් තියෙනවා නම් ලිඛිතව දැනුම් දෙන ලෙසයි.

තමන්ගේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් දිනකට පස් ටිපර් සිය ගණනක් ඉවත් වන බව ප්‍රාදේශීය ලේකම් නොදැන සිටියා යැයි කියන්නේ කොහොමද? එවිට ඉන් ආවේගයට පත් රංජන් රාමනායක මහතා කවුරුන් හෝ ඇවිත් ඔබ තුමියගේ හොම්බට ඇත්න හොත් ඒකත් ලිඛිතව ඉල්ලා සිටිනවාදැයි ඇසීමෙන් ඔහු රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කළ බවට ජන මතයක් ඇති කිරීමට පිරිසක් උත්සාහ කළා.

ඒ එම පස් ජාවාරම් කාරයන් බව ප්‍රසිද්ධ වුණත් අවසානයේ ඔවුන්ට ජය අත්කොට දී රංජන් රාමනායක මහතා දිවුලපිටිය ආසනයෙන් ඉවත් කිරිමට වත්මන් රජය කටයුතු කළා. ඒ බව දැන් කිසිවෙකුටත් රහසක් නෙවෙයි.

එවන් අවුල් සහගත පසුබිමක් තුළයි මේ නීල-හරිත අයවැය රජය ඉදිරිපත් කරන්නේ. අද මීගමුව ආශ්‍රිත මුහුදේ දැල් එලීමේදී දැල් එළිය නොහැකි ප්‍රදේශ ගණනාවක් මීගමු කළපුවේ සහ මුහුදේ ධීවරයන් හඳුනාගෙන තියෙනවා.

ඔවුන් එවා නම් කරන්නේ 'පොලිතීන් මඩ' කියායි. මේවා ටොන් දහස් ගණනක් මීගමු කලපුවෙත් මුහුදේත් තිබෙන බව ධීවරයන් දන්නවා. නමුත් මහ මුහුද සම්බන්ධ පරිසර බලධාරීන් මේ සම්බන්ධයෙන් අන්ධ භාවයක් පළ කරනවා.

අතීත ධීවරන්ට සාපේක්ෂව වර්තමාන ධීවරයන් පරිසරය කෙරෙහි තරමක් දුරට සංවේදීයි. ඊට හේතුව වර්තමානයේ  පවතින දැඩි පාරිසරික තර්ජන නිසා මීගමුවේ ධීවර කර්මාන්තයටද දැඩි තර්ජන එල්ල වී ඇති බව ඔවුන්ට කෙමෙන් ඒත්තු යාම නිසයි.

එසේ කී ජූඩ් නාමල් මහතා අවසානයේ මෙසේද කිය.

ඒ නිසා නීල-හරිත අය වැයක් ගැන කතා කළ වත්මන් රජයට අප කියන්නේ අමුඩ කෙටියක් ඇඳ සිටින මිනිසාට නීල-හරිත ආර්ථිකය නම් ෆුල් සූට් එක දීමට පෙර ඔහුගේ අමුඩ කෙටිය උදුරා ගැනීමට වෙර දරන යහපාලන රජයේ ඇතැම් පාර්ශවයන්ට එම බිහිසුණු ක්‍රියා මාර්ග ගැනීමට තව දුරටත් ඉඩ නොදෙන ලෙසයි. එසේ කළ හොත් ඒ සංවර්ධනය අපිට හැඳින්විය හැකි වන්නේ 'ලෙඩා මළත් බඩ සුද්දයි' සංවර්ධනයක් කියායි.

ප්‍රසංග පෙරේරා ජා ඇළ

අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත් චන්දිමාල් ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමත්, කපිල් දේව්, රවී ශාස්ත්‍රි, මොහොමඩ් අසුරුඩීන්, ඩේවිඩ් බූන් වගේම ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පරිපාලක නිලධාරීනුත්, ක්‍රිකට් හා සම්බන්ධ සුවිශේෂී අමුත්තන් පිරිසක් මැද ජග්මොහාන් දල්මියා නමැති විශිෂ්ට ක්‍රිකට් පරිපාලකයා පිළිබඳව ලෝකයා දැනුවත් කිරීමට මට අවස්ථාව ලැබිම සුවිශේෂී අවස්ථාවක් විදියටයි මා සලකන්නේ.
1995 වසර වන විට, එනම් මම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ උප සභාපති වශයෙන් කටයුතු කරන අවධියේදී ජගු මහතා ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ‍ලේකම් වශයෙන් කටයුතු කළා. එවකට ඉන්දියාව පාකිස්තානය සහ ශ්‍රී ලංකාව එක්ව කමිටුවක් පිහිටුවනු ලැබූ අතර ඒ හේතුව නිසා මට ජගු මහතාව දැන හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණා. එම කමිටුව කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස අප රටවල් ත්‍රිත්වයට 1996 දී ලෝක කුසලානය පැවැත්වීමට හැකියාව ලැබුණා. ජග්මොහාන් දල්මියා මහතා සමග එම කාලපරිච්ජේදය තුළ සමීපව කටයුතු කරන්න මට හැකියාව ලැබුණා. සංවිධාන ශක්තිය අතින් ගත් කල, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එවකට ඉතාම කුඩා සංවිධානයක් වුණා. එම නිසා ක්‍රිකට් ලෝක කුසලානය එම කාලයේදී සංවිධානය කළේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නොවේ. ඒ හේතුව නිසා අප PILCOM නමින් විශේෂ සංවිධානයක් ඇතිකරා සහ එහි කැඳවුම්කරු සහ ‍ලේකම් තනතුරට දල්මියා මහතා පත්කරනු ලැබුවා. කැඳවුම්කරු සහ ‍ලේකම් තනතුරට දල්මියා පත්කර ගත්විට ලෝක කුසලාන තරගාවලි කාලය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරේ නිල බලයෙන් කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබෙනවා.

ඒ අනුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට්  කවුන්සිලයේ කාර්ය භාර ප්‍රධාන විධායක නිලධාරී ලෙසට තරගාවලියට අදාළව විනිසුරුවන්ගේ, තරග තීරකයන්ගේ ප්‍රධානියා ලෙසද තරගාවලි නීති රෙගුලාසි සඳහාද  ප්‍රධානියා වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉදිරියට ආවේ කියලා ඔබ සැමට මතක ඇති. කෙසේ නමුත් 1996 ජනවාරි 31 වන දින ඉතා අවාසනාවන්ත සිදුවීමකට ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවුණා. එදින අප රටේ මහ බැංකුවට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා. එනිසා මගේ රට තුළ ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ආරක්ෂිත නොවන තැනක් බවට ලොවටම හැඟී ගියා. ඒ හේතුව නිසා ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් 1996 ලෝක කුසලානය සඳහා අප රටේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමටත් කටයුතු කළා. නමුත් සිම්බාබ්වේ, කෙන්යා ඇතුළු අනෙකුත් කණ්ඩායම් සිය සහයෝගය දක්වමින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කැමැත්ත පළකර සිටියා. නමුත් ජනවාරි 31 වන දින සිද්ධියෙන් පසුව එළඹෙන පෙබරවාරි 5 වන දින පැවැත්වීමට නියමිතව තිබූ තරගය සඳහා ආරක්ෂාව වැඩිදියුණු වී ඇත්ද යන්න ප්‍රශ්නාර්ථයක් වුණා. එහි ආරක්ෂක තත්ත්ව සනාථ කිරීමට සාක්ෂි තිබුණේ නැහැ. විනිසුරුවන්, තරග තීරකයන්, මාධ්‍යවේදීන් අනෙකුත් නිලධාරීන්ට කොළඹටයාමට සිදුව තිබුණා. ඒ පිළිබඳව එදා කල්කටාහි අප මේ දැන් සිටින ගොඩනැගිල්ල තුළ සාකච්ඡාවක් පැවැත් වුණා. එහිදී අප කරුණු දක්වමින් ආයාචනා කළා. එහිදී PILCOM ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ  සභාපති ඇතුළු සියලු දෙනා සිටියත් ආරක්ෂක තත්ත්වය මත එය ඉතා අසීරු කටයුත්තක් වුණා. නමුත් අපි වාසනාවන්ත වුණා අපගේ  PILCOM  හි කැඳවුම්කරු සහ ‍ලේකම් ජග්මොහාන් දල්මියා වන ඒ අසහාය සොඳුරු මිනිසා එම ලෝක කුසලාන තරගාවලිය භාරව සිටීම ගැන. එහිදී ජගු මහතා අප සමග තරගයන් පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කොට ඔහුගේ සුවිශේෂී ප්‍රමන්ත්‍රණ දක්ෂතා තුළින් අනෙකුත් සියලු පාර්ශ්වයන් අස්වසමින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තරග පැවැත්වීමට තීරණය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළා. ඒ අනුව අපගේ ආරක්ෂක තත්ත්වයේ යහපත් භාවය ප්‍රදර්ශනය කිරීම සඳහා ඉන්දියාව සහ පාකිස්තානය එක්ව ක්‍රීඩකයන් 11 දෙනකු අන්තර්ගත කරමින් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කිරීමට තීරණය කළා. ඒ අනුව ඉන්දියාවේ අසාරුඩීන් සහ පාකිස්තානයේ වසීම් අක්‍රම් ඇතුළු දෙරටේ ක්‍රීඩකයින් 11 දෙනකු එක්ව තරගයක් ක්‍රීඩා කිරීමට කටයුතු කළා. ඔබ හිතන්න එම කාලයේදී පාකිස්තානය සහ ඉන්දියාව එක්ව එකට තරගයක් ක්‍රීඩා කිරීම කෙසේ වන්නට ඇත්ද කියා.

ඒ අනුව සෑම දෙයක්ම හොඳින් තීරණය කෙරුණා. ඒ අවස්ථාවේදී මට මතකයි ධර්මෙ මහතා එම සාකච්ඡා මේසයේදී ඇසුවා, සර් කවුද එම තරගයේ නායකත්වය දරන්නෙ? ඊට තවත් විනාඩි 10කට පමණ පසුව වසීම් මහතාත් ඇවිල්ල ඇහුවා, සර් කවුද නායකත්වය දරන්නේ කියලා... එහිදී අපිට අලුත් ප්‍රශ්නයක් පැන නැගුණා. එහිදී ජගු මහතා විනාඩි 5ක් පමණ සිට ඉන්ටිකාබ් අලාම් මහතා හට කතා කොට, මෙය ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වීමට යන මොහොතක්. වඩාත් වැදගත් වන දේ තමයි කණ්ඩායමේ නායකත්වය. ඉතින් කවුද ඔබ කණ්ඩායම භාරව ඉන්නේ. එවිට ඉන්ටිකාබ් මහතා මම තමයි භාරව ඉන්නේ යැයි පවසා සිටියා. එවිට ජගු මහතා වඩාත්ම වැදගත් වන්නේ කණ්ඩායමේ  කළමනාකරණයයි. ඒ නිසා ඔයා කණ්ඩායම කළමනාකරණය කරන්න ඉන්දියාව ඔබ යටතේ නායකත්වය දරනු ඇත කියා පවසා සිටියා. එවන් විශාල ප්‍රශ්නයක් එතරම් සුළු වේලාවකින් ඉතා දක්ෂ ලෙස විසඳීමට හැකිවීම අති විශාල දක්ෂතාවයක් ලෙස මා සලකනවා. ඊට පස්සේ අපිට දැන ගැනීමට ලැබුණා ඒ කාලය තුළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා අනුග්‍රාහකයා ලෙස කටයුතු කළ WILLS  සමාගම හැර වෙනත් අනුග්‍රාහකයෙක් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව. ඉතින් අපට පැය 48කට ආසන්න කාලයකින් තරගය පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත් WILLS  සමාගම පැවැසුවා ඔබ හට මෙහෙම තරගයක් පැවැත්වීමට ගිවිසුම්ගතව අයිතියක් නැහැ, මොකක්ද මේ තරගය කියා? එවිට ජගු  මහතා පවසා සිටියා ඔව් මේ WILLS 11 තරගය කියා. WILLS  11 ආයතනයට එය ප්‍රහේළිකාවක් වුණා. එවිට ජගු මහතා පවසා සිටියේ, ඔව් පාකිස්තානය සහ ඉන්දියාව එක්ව එකම කමිසයක් යටතේ එකම කණ්ඩායමක ක්‍රීඩා කිරීමට ඔබට මින් මතු කෙදිනකවත් දක්නට නොලැබෙන දෙයක්. එය ඔබට ලැබෙන විශාල වාසියක්. ඉතින් එයින්ම WILLS ආයතනය මේ තරගය සඳහා එකඟ වුණා. ඒ අනුව එකම කණ්ඩායමක් වශයෙන් ඉන්දියානු සහ පාකිස්තාන ක්‍රීඩකයන් එකම කමිසයක් යටතේ තරග කිරීමටත්, ශ්‍රී ලංකාව සදා තනි නොකිරීමටත් ලබාදෙන සහයෝගය සඳහා පැවැත්වීමට නියමිත තරගයට සහභාගි වීමට කොළඹට පැමිණීම මුළු මහත් ලෝකයම දෑස් දල්වා බලා සිටියා. එම තරගය සාර්ථකව පැවැත් වුණා. ඒ හේතුවෙන් සිම්බාබ්වේ සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්ද ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා සිය කැමැත්ත පළකර සිටියා. ජගු මහතාගේ එම ගනුදෙනු කිරීමේ සහ සාකච්ඡා කිරීමේ, නම්මවා ගැනීමේ ශෙලීන් සැබවින්ම කලාවක්. ජගු මහතා ඒ සඳහා උපන් හපනෙක්.
ඉන් පසුව අප 1996 ලෝක කුසලානය දිනා ගනු ලැබුවා. ඉන් පසු අපි එංගලන්තයට ගියා. ඉන්පසු අපගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ පන්දු දැමීමේ විලාශය සැක කරමින් විශාල ප්‍රශ්නයක් ඕස්ට්‍රේලියාවේදී ඇතිකරනු ලැබුවා. ඊට පෙර පන්දුව පලුදු කිරීම ගැනද චෝදනා කළා. ඉතින් අපට වුවමනා වුණා මුරලිදරන්ගේ ගැටලුව පිළිබඳ විනිසුරුවන් තීරකයන් සහ සියලුදෙනාම සමග ඔහුගේ නිර්දෝෂී භාවය ඔප්පු කිරීමට. ඒ කා‍ලේ ඒ සම්බන්ධයෙන් වන සියලු දේ අප සොයා බැලුවා. ශබ්ද කෝෂයන් පිරික්සමින් බාහුවක දිග හැරුම් ආදී නොයෙකුත් දෑ පිළිබඳව අපට සොයා බැලීමට සිදුවුණා. මේ සියල්ල අතරතුර ජගු මහතා නිසා අපට පුළුවන් වුණා අපගේ ලෝක කුසලාන ක්‍රීඩකයන් නම් කරන්න. මේ වගේ බොහොම අරුත්බර ආදර්ශමත් කතා බොහොමයක් ජගු මහතා ගැන මට දැක්වීමට පුළුවන්. ඉන් මාස කිහිපයකට පසුව ඉතා වැදගත් සිද්ධියක් වුණා. ඒ වනවිට අප ආසියානු ක්‍රිකට් කවුන්සිලය නියෝජනය කරනවා. ජගු ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ‍ලේකම් විදිහට කටයුතු කළා. බින්ද්‍රා මහතා තමයි එවකට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කළේ. එවකට පැවැති අසාධාරණ, අසමානත්වයෙන් සැලකීම පිළිබඳව බොහෝ දෙනා කම්පිතව සිටියා. විවිධ ජාතීන්ට වෙනස් විදිහට සැලකීමට කටයුතු කර තිබුණා. ඒ වනවිට අප ඉන්දීය පාලක මණ්ඩලයේ සභාපතිතුමාගෙන් අසා සිටියා මේ සිදුවන අසාධාරණය සහ නොසැලකීම් පිළිබඳව ඇයි ඔබ හඬක් නොනගන්නේ කියලා. එවිට බින්ද්‍රා මහතා කියා සිටියා මම ‍නෙවෙයි එයට සරිලන පුද්ගලයා, ජගු තමයි ඒ සඳහා ජවය, ශක්තිය සහ නම්මවා ගැනීමේ හැකියාව තිබෙන ඒ සඳහා ඔබින පුද්ගල චරිතය, ඔහුගේ මූලිකත්වයෙන් අපගේද සහාය ඇතිව අපි මෙය කරමු කියා පවසා සිටියා. ඒ අනුව අප සියලුදෙනා ඒකමතිකව ජගු මහතා ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුර සඳහා 1996 වසර සඳහා නාමයෝජනා කරනු ලැබුවා. අප මේ සඳහා සියලු දෙනාගේම සහාය ගත්තා. අවසාන ප්‍රතිඵලය වූයේ 23 ට 17ක් ලෙස ජගු එම නිලවරණය දිනනු ලැබුවා. එහෙත් අප හට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලිපියක් ලබා දෙමින්, ජගු නිලවරණය ජයගත්තත් සභාපතිත්වය දැරිය නොහැකි බවට දන්වා තිබුණා. ඕනෑම ප්‍රජාතාන්ත්‍රික නිලවරණයකදී වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගත් තැනැත්තා සභාපති තනතුරට පත්වෙන බව අප දන්වා සිටියත්, නෑ නෑ එසේ විය නොහැකියි. නීති තියෙනවා. ක්‍රිකට් කවුන්සිලයේ නිශේධ බලය ඇත්තේ ඕස්ට්‍රේලියාවටයි යනාදී ලෙස දක්වමින් එය ප්‍රතික්ෂේප කළා. ඒ අනුව 1996දී ජගු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලවරණය දිනනු ලැබුවත්, ඔහුට එහි සභාපති විය නොහැකි වුණා. ඒ අනුව අප 1996දී මැ‍ලේසියාවට ගොස් එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලියාපදිංචි කරනු ලැබුවා. එමගින් සියලු පූර්ණ සාමාජිකයන් සඳහා සම අයිතිවාසිකම් ලැබෙන ව්‍යවස්ථාවක් ඇතිකරනු ලැබුවා. කවුන්සිලයේ 75ක හිමිකාරීත්වය පූර්ණ සාමාජිකයන්ටද 25 ඉතිරි අයිතිය අනෙකුත් සාමාජිකයන් හටද පිරිනමනු ලැබුවා. ඉන්පසුව පමණයි අප හට සම අයිතිවාසිකම්  හා මාරුවෙන් මාරුවට නියෝජිතත්වය දැරීමට හැකියාව ලැබුණේ. ඒ අනුව සියලුම අනෙකුත් සාමාජිකයන් හට අවස්ථාව ලැබුණා පූර්ණ සාමාජිකයන් හට හිමි අයිතිවාසිකම් සමව දැරීමට. ඉන්පසුව 1997 ජගු නැවත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිත්වයට නාම යෝජනා භාර දුන්නා. එවිට ජගු හා තරග කිරීමට පවා කිසිවකු ඉදිරිපත් වූයේ නැහැ. එතරම්ම ජගුගේ ජයග්‍රහණය ගැන සියලු දෙනා දැන සිටියා. ඒ අනුව ජගු මහතා 1997දී සංස්ථාගත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රථම සභාපතිවරයා ලෙස තේරී පත්වුණා.
අද වන විට අනෙකුත් ආසියානු සභාපතිවරුන්ටත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවීමේ දොරටු විවර වී තිබෙනවා. එදා දල්මියා මහතා ඒ පුටුවට නොගියා නම් මට විශ්වාසයෙන් කියන්න පුළුවන් අද වනවිට ලෝක ක්‍රිකට් ක්‍රීඩාව මේ තරම් දියුණු තත්ත්වයකට පත් නොවන බව. ඒ අනුව ජගු මහතාට ගෞරවයක් වශයෙන් ඒ මහතාගේ සේවයට ගෞරවයක් වශයෙන් අපට ඉගෙන ගන්න විශාල පාඩමක් තිබෙනවා. ඒ තමයි අප සියලුදෙනාම එක්සත්ව සහ එකමුතුව ‍පොදු අරමුණක් වෙනුවෙන් කටයුතු කළොත් අපිට අනිවාර්යයෙන්ම සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව. අන් කවරදාටවත් වඩා මේ එකමුතුතාව, එක්සත්කම අවශ්‍ය මොහොතේ බෙංගාලි ක්‍රිකට් සංගමය අද කළ මේ දේ ඉතිහාස ගතවේවි කියලා මා හිතනවා.

ජග්මොහාන් දල්මියා අනුස්මරණ දේශනය පවත්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල කියයි

ගීත් ගුණසේකර - ඉන්දියාවේ කල්කටා නුවර සිට

ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි පියෙකුට දාව බෞද්ධ මවකගේ කුසින් උපන් ඔහු අධ්‍යාපනය ලබා ඇත්තේ කන්ද උඩරට සුප්‍රකට කිතුණු පාසලකය. මව අනුව යමින් බෞද්ධ වත් පිළිවෙත් කෙරෙහි මහත් ඇල්මක් දැක්වූ ඔහු ඉන් පසුව බුදු දහම පිළිබඳ පොත පත කියවීමට ද යොමු වී ඇත. මේ වන විට විවාහක දෙදරු පියෙකු වන ඔහු ඉතා යහපත් සමාජ ආර්ථික පසුබිමකින් යුත් අයෙකි. ඔහුගේ බිරිඳද රජයේ උසස් තනතුරක් හොබවන්නියකි. සාමාන්‍ය ජීවිතයේ දී ඉතා ප්‍රසන්න ඇවතුම් පැවතුම් සහිත ඔහු තම බැංකුවට ගණුදෙනු කරුවන් ළංකර ගැනීමට රුසියෙකි.

එසේ තමන් හමුවට එන ධනවත් ව්‍යාපාරිකයන්ට ජීවිතය, සමාජය, ලෝකය ගැන විවිධ පාඩම් කියා දෙන මෙම බැංකු කළමණාකරු ඉන්පසුව ජීවිතයේ අනිත්‍ය බව, සංසාරය ආදිය පිළිබඳවද ඔවුනට  නොයෙකුත් ධර්ම කරුණු කියා දෙයි. ඔහුගේ මෙම කරුණු පහදාදීමේ හැකියාව කොතෙක්ද යත් කිසිදු ස්වාමීන් වහන්සේ  නමකටවත් ඔහු තරම් හොඳින් දම් දෙසිය නොහැකි බව පවසන්නෝද හිඟ නොවෙති. මෙසේ තමන් ලත් බුදු දහම පිළිබඳ දැනුමෙන් ජීවිතයේ අනිත්‍ය බව, සංසාරය සහ නිර්වාණය පිළිබඳව දහම් කරුණු ඉදිරිපත් කරන ඔහු තමන්ට අතිශය සමීප වූවන්ට මෙබඳු දහමක් දෙසයි.

"දැනට අපි බුදු දහම කියලා හඳුන්වන දේ පිරිසිදු බුදු දහම නොවේ. පිරිසිදු බුදු දහම පොත පතින් වත්, කවුරුන් කියන දේකින් වත් ඉගෙන ගන්න බැහැ. ඒක ඉබේටම ප්‍රඥාවට නතුවෙන්න ඕන දෙයක්. මීළඟට බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරුවො ගැන බණ පොත් වල තිබෙන කාරණා පට්ටපල් බොරු. නමුත් මුළු බෞද්ධ සමාජයම ඒවයින් මුලා වෙලා තියෙන්නේ. වැඩි දෙනෙකුට නොකියනව නම් මම ඒ ගැන වැදගත් රහසක් කියන්නම්."

බැංකු කළමණාකරු තම ගණුදෙනු කරුවන් අතරින් තමන්ට වඩාත් සමීපතම වූවන්ට එසේ කියා මෙලෙස ද කියයි.

 "මම තමයි මෛත්‍රී බුදුහාමුදුරුවො හැටියට ඊළඟට ‍ලෝකෙට පහළ වෙන්න ඉන්නෙ. නමුත් මේ කථාවට වැඩි ප්‍රසිද්ධියක් දෙන්න එපා. කවුරුවත් ඒක විශ්වාස කරන එකක් නැහැ."

 කෙසේ හෝ තමන් හමුවට පැමිණි ධනවත් ව්‍යාපාරිකයක් කිහිප දෙනෙකුට ඔහු හෙළි කළ මෙම විස්මිත රහස එම ව්‍යාපාරිකයන් අතරේ මුනුමුනුවක් සේ ශීඝ්‍රයෙන් පැතිරෙන්නට විය. අවසානයේ එම බැංකු කළමණාකරු ලවාම ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගැනීමට එම ව්‍යාපාරික කිහිපදෙනෙකුට අවශ්‍ය විය. එනිසා තම හිතමිතුරු පවුල් වල පිරිසක් එක්ව මහනුවරට නොදුරු මහවැලි ගඟ ආසන්නයේ තිබූ සංචාරක නිකේතනයක ඔවුහු මෙම 'මතු බුදුවන බෝසතාණන්' ගේ දෙසුමක් සංවිධානය කළහ.

 එවිට ඊට එක්වූ ඔහු කියා සිටියේ මෙම දෙසුම සංවිධානය කරන ලද්දේ සාංසාරික වශයෙන් මෛත්‍රී බුදුන් වන තමන් හමුවේ මතු නිවන් දැකීමට පෙරුම්පුරා සිටින මහා භාග්‍යවන්තයින් පිරිසක් බවය. ඒ අනුව එම දෙසුම අවසානයේ ඔහු විසින් ඔවුනට 'නිල තල' ප්‍රදානයක් ද සිදුකරන ලදී.

 ඒ අතර සැරියුත් හිමියන් වශයෙන් එක් පුද්ගලයෙකු නම් කරන ලද අතර මුගලන් හිමියන් වශයෙන් තව පුද්ගලයෙකු නම් කරන ලදී. ඉන් පසුව සුදවුන් රජු, මහාමායා දේවිය, අනේ පිඬු සිටු තුමා, කොසොල් රජතුමා ආදී නිළ තල ද ඔහු විසින් පත් කරන ලද අතර ඊට අමතරව විශාකාව, සුජාතාව, මල්ලිකාව, ආදී වශයෙන් තවත් තනතුරු කිහිපයක් ඔහු විසින්ම ප්‍රදානය කරන ලදී.

ඉන්පසුව ඊළඟ මාසයේත් එම හෝටලයේම පෙරවරුවක මෙම දහම් හමුව පැවැත්වීමටත්; එය අවසානයේ එම දහම් හමුවට එක්වන පිරිස සඳහා නිර්මාංශ ආහාර වේලක් ලබා දීමටත්; එසේ ඔහු වෙතින් නව තනතුරු ලත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ. ඒ අනුව දෙවන දහම් හමුවේ දී ඊට තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු එක් වූ අතර ඔවුහු මෙම දහම් හමුව දැඩිව විවේචනය කරන්නට වූහ. ඒ මෙය මුළුමනින් බෞද්ධ විරෝධී ක්‍රියාවක් බව පවසමිනි.  එවිට එසේ 'මතු බුදු වන බෝසතාණන්' එසේ විවේචනය කළ පිරිස දේවදත්ත, චිංචිමානවිකාව, සච්චක බමුණා ලෙස නම් කරමින් ඔවුන් ඒ දහම් හමුවෙන් පිටමං කරන ලද්දේ තම අනුගාමිකයන්ගේ සාධුකාර හඬ මධ්‍යයේය.

කෙසේ හෝ ඉන්පසු සෑම මාසයකම පෙරවරුවේ මෙම දහම් හමුව පැවැති අතර ඒ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දීමට ඔහුගේ මීළඟ බුදු සසුනේ තනතුරු ලත් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ.

මෙම බැංකු කළමණාකරුගේ අනුගාමිකයන් අතරින් ප්‍රමුඛතම සාමාජිකයෙකුගේ නැන්දනිය මිය යන ලද්දේ ඔය අතරය. ඉන් පසු එහි හත් දවසේ මතක බණ සඳහා මෙම පිරිස සමඟ එම 'මතු බුදු වන බෝසතාණන්' ද සහභාගී විය. එදින එම දම් දෙසුම පැවැත් වූ හිමි නම මෛත්‍රී බුදුන් ගේ පහළ වීම පිළිබඳව යමක් කීමට සූදානම් වූවා පමණි; බණ අසන පිරිසේ සිටි 'බෝසතානෝ' හනික අසුනෙන් නැගී සිටියහ.

"අනේ හාමුදුරුවනේ; පින් සින්ද වෙයි ඔය පට්ට පල් බොරු නවත්ත ගන්න; මෙතන ඉන්න කිසිම කෙනෙක් ඒවා විශ්වාස කරන්නේ නැහැ."

ඔහු කෑ ගසන්නට විය.

නමුත් ‍එම මිය ගිය කාන්තාවගේ පවුලේ ඥාතීන් සහ සෙසු ඥාති මිත්‍රාදීන් මෙම 'බෝසතාණන්' පිළිබඳ නොදැන සිටීම නිසා ඔහු එම පිරිසෙන් ගුටි නොකා බේරුණේ අනූ නමයෙනි.

එසේම මෙම කලහය අතරට පැමිණි 'බෝසතාණන්ගේ' බිරිඳ මෙසේ කීවාය.

"මගේ මහත්තයා හැම අතින්ම හොඳ කෙනෙක්; නමුත් මෙයා හිතාගෙන ඉන්නේ එයා මතු බුදු වන මෛත්‍රී බෝධි සත්වයෝ කියලා. මෙයා ඉන්න හැටියට ඒක අහන සමහරු ඒක පිළිගන්නවා. නමුත් අපිට නම් තේරෙනවා මෙයාගේ මොකක් හරි මානසික විකෘතියක් කියලා. කොහොමත් අපි වුණත් එයාගේ මතයට විරුද්ධ වෙච්ච හැටිය එයා පුදුම විදිහට කේන්ති ගන්නවා."

බිරිඳගේ එම ප්‍රකාශය හමුවේ ඔහු කියා සිටියේ තම බිරිඳ සාංසාරික වශයෙන් තමන්ට සතුරුව ක්‍රියා කරන්නියක බවත් තමන් බුද්ධත්වයට පත්වූ පසුද ඇය තමන්ට සතුරුකම් කරන බවත්ය.

ඒ කෙසේ හෝ මේ පුද්ගලයාට වැළඳී ඇත්තේ 'අභිමාන මෝහය' (Grandiose Delusion) නම් මානසික රෝගය බවත් එම රෝගය වැළඳුණු අය හට සාමාන්‍ය ජීවිතයේ සෙසු කටයුතු වල දී ‍එය බල නොපාන බවත් එහි පැමිණ සිටි ඒ පිළිබඳව තතු දත් අයෙකු පහදා දුන් අතර ඔහු වැඩිදුටත් කියා සිටියේ මෙම පුද්ගලයන් මෙසේ  තමන් එල්බ ගත් වැරදි විශ්වාසය පදනම් කර ගත් කරුණේ දී පමණක් අතිශය සංවේදී වන බවත් කෝප වන බවත් ය. ඒ කෙසේ හෝ මනෝ වෛද්‍යවරයෙකු හමුවී කලක් ප්‍රතිකාර ගතහොත් ඔහුගේ මෙම මානසික විකෘති තාවය දුරු වෙතැයි ඇතැමුන් පැවසුවද ඒ සඳහා ඔහුගේ අනුගාමිකයන් මේ දක්වා ඔහුට කිසිදු අවසරයක් දී නැත. ඊට හේතුව ඔහුගේ එම මානසික රෝගය සුව වුවහොත් ඔහු පවසන ඊළඟ බුදු සසුනේ තමන්ට හිමි තනතුරු අහිමි වන නිසාද විය හැක.

 

තිලක් සේනාසිංහ

වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා කරුවන්, ක්‍රීඩකයන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් ද සෘජුවම වගකිවයුතු බව පේරාදෙණීය විශ්වවිද්‍යාලීය සමාජ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය දයා අමරසේකර මහතා පවසයි.

මේ ඒ සම්බන්ධයෙන් ඔහු වෙතින් කළ වැඩිදුර කරුණු විමසීමකි;

  • අපේ රටේ දික්කසාද ඇතුළු පවුල් අර්බුද වැඩිවීම කෙරෙහි කලා කරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් සහ මාධ්‍ය වගකිවයුතු වන්නේ කෙසේද?

මේකට හැම ජනප්‍රිය පුද්ගලයෙක්ම, හැම මාධ්‍යක්ම එකසේ වගකිවයුතු නැහැ; නමුත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් තමන්ගේ ජනප්‍රියත්වය තහවුරු කරගැනීම සඳහා කරන ක්‍රියාවන් සහ ඒවා මාධ්‍යය මගින් පතුරුවා හැරීම මේ තත්ත්වයට ඉවහල් වන බව පැහැදිළිවම පෙනෙනවා.

  • ඒ තත්ත්වය වඩාත් විස්තර කළොත්?

 ලෝකය පුරාම කලා කරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු දැන ගැනීම කෙරෙහි සාමාන්‍ය ජනතාව තුළ විශාල උනන්දුවක් තිබෙනවා. ඒ කලා කරුවන් කෙරෙහි සමහරුන් දක්වන්නේ අසීමිත භක්ත්‍යාදරයක්. ඒ අනුව ඔවුන්ගේ ජීවන පැවැත්ම, ජීවන චර්යාවන් අගය කිරීමට සේම ඒවා අනුකරණය කිරීමට ද ජීවිත පරිඥාණය අඩු රසිකයන් කටයුතු කරනාවා. නමුත් කලා කරුවන් ඇතුළු බොහෝ ජනප්‍රිය පුද්ගලයන් මාධ්‍ය මගින් ජනතාව අතරට පත්කරන්නේ තමන්ගේ ජීවිත පිළිබඳ සැබෑ අභ්‍යන්තරික තත්ත්වය නොවේ.

  • මොකක්ද ඒකට ‍හේතුව?

කලා කරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් කියන්නේත් මේ සමාජ ප්‍රපංචයේම එක්තරා පැතිකඩක්. ඔවුන් සමාන්‍ය ජනතාවගෙන් ව්‍යුක්ත ඊට වඩා වෙනස් ජීවන රටාවක පසුවෙනවා ය කීම මිථ්‍යාවක්. නමුත් බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත සම්බන්ධයෙන් කරනු ලබන විස්තර පුහු ආටෝපයෙන් සහ අතිශෝක්තියෙන් පිරුණු ඒවා බව ඒ කරුණු කෙරෙහි විමසිල්ලෙන් බලන විට පෙනී යනවා.  කොටින්ම ඔවුන් සමහරවිට තම ‍පවුල් ජීවිත සම්බන්ධයෙන් කියන්නේ පට්ටපල් බොරු.

  • ඔවුන් එසේ වංක ලෙස කටයුතු කරන්නේ ඇයි?

ඒක වංක බවකටත් වඩා වර්තමානයේ පවතින ජනප්‍රිය සංස්කෘතියේ දුර්දාන්ත ලක්ෂණයක් ලෙස හැඳින්වීමයි නිවැරදි. මෙහිදී ඔවුන් තමන්ගේ ජීවිත වල යථාර්තය සඟවා තමන්ගේ ජීවිතය හා සම්බන්ධ කරුණු ව්‍යාජ, ආටෝපකාරී ලෙසින්  ඉදිරිපත් කරන්නේ තමන් පිළිබඳ අලෙවි ප්‍රවර්ධනයට හෙවත් තමන්ව මාකට් කරගැනීම සඳහායි. වර්තමාන අධිපරිභෝජන සමාජයේ මේ 'මාකටින්' කියන දෙය ප්‍රධාන පුරුෂාර්ථයක් වශයෙන් සැලකෙනවා. ඒ නිසා එම ක්‍ෂේත්‍රවල පැවැත්ම සඳහා තමන්ව මාකට් කර ගැනීමත් ජනප්‍රිය සංස්කෘතිය තුළ වැදගත් අවශ්‍යතාවයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

  • ඒ විදිහට ව්‍යාජ ප්‍රකාශ කිරීම තුළින් රසිකයන්ට සිදුවන අයහපත් බලපෑම කුමක්ද?

බොහෝ රසිකයන් ඒ ජනප්‍රිය පුද්ගලයන්ගේ ප්‍රකාශ හා තමන්ගේ ජීවිත සංසන්දනය කිරීමට පෙළඹෙනවා. කිසියම් ජනප්‍රිය කාන්තාවක් ඇගේ සැමියා පිළිබඳව කරන අසීමාන්තික පුහු වර්ණනාව දකින ජීවිත පරිඥාණයෙන් තොර කාන්තාවක් ඒ කලා කාරිය කියන 'කල්පිත සැමියා' සහ තම සැමියා සංසන්දනය කිරීමට පෙළඹිය හැකියි. බොහෝ විට ඒ ව්‍යාජ තොරතුරුවලට රැවටෙන ඇයට ඒ කලා කරුවාගේ සැමියා දෙවියෙකු ලෙසත්; තමන්ගේ සැමියා රාස්සයෙකු ලෙසත් පෙනී යා හැකියි. නමුත් එහි ඇති ඇත්ත තත්ත්වය නම් තමන්ගේ සැමියා රාස්සයෙක් නම් ඒ කලාකරියගේ සැමියා පරාස්සයෙකු බව ඇය මාධ්‍යයට හෙළි නොකිරීමයි. ඇතැම්විට ඒ කලා කාරිය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන කඳුළින් පිරි ජීවිතයක් ගතකරන තැනැත්තියක විය හැකියි. මෙසේ තමන්ට ජීවිතයේ අහිමි තත්ත්වයන් පිළිබඳව සත්‍ය සඟවා ඒ සම්බන්ධ ව්‍යාජ තොරතුරු පුන පුනා ප්‍රකාශ කිරීම මනෝ විද්‍යාවේ අධිහානිපූරණය (Overcompensation) නමින් හැඳින්වෙනවා.

නමුත් මේ කටුක යතාර්ථය තේරුම් නොගන්නා සාමාන්‍ය රසිකයන් එම ව්‍යාජ ප්‍රකාශ මත පදනම්ව තම ජීවිත වල්මත් කර ගැනීම බොහෝ විට දක්නට ලැබෙනවා.

  • සාමාන්‍ය අයගේ යුග ජීවිත වලට වඩා කලා කරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන්ගේ යුග ජීවිත අවුල් සහගත බවක් සමහරුන් කියනවා.

සරල ග්‍රාමීය සමාජ ක්‍රමයක දී යුග ජීවිතයකට එළඹිය හැකි ගැටළු අර්බුද වලට වඩා සංකීර්ණ නාගරික සමාජ ක්‍රමයක  යුග ජීවිතයක ඇතිවන ගැටළු අර්බුද බහුලයි. විශේෂයෙන් කලා කරුවන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් අතිශය සමාජශීලී වීම  ජනප්‍රියත්වය මත පදනම් කර ගනිමින් ඔවුන්ට ඇති සමාජමය ඉල්ලුම ආදිය නිසා යුගදිවියක් පවත්වාගෙන යාමේදී ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන ගැටළු අභියෝග බහුලයි. ඒ සඳහා මනා සිහිබුද්ධියෙන් කටයුතු නොකිරීම මත ඔවුන්ගේ විවාහ බිඳී යාමේ වැඩි නැඹුරුවක් තිබෙනවා. මෙය එක් එක් ආකාර වලින් ලොවටම පොදු තත්ත්වයක්.

  • නමුත් දික්කසාද වන කලා කරුවන් නැවත විවාහ වීමේදීත් පෝරුවේ චාරිත්‍ර පවා අනුගමනය කරනු අපට මාධ්‍ය මගින් දැක ගන්නට පුළුවන්.

ඒක අතිශයින් නරක තත්ත්වයක්; විවාහ වී දරුවන් පවා සිටින මව්වරු පියවරු නැවත සාම්ප්‍රදායික විවාහ මංගලෝත්සවයක වැදගත්ම අංගයක් වන පෝරුව පවා යොදා ගනිමින් විවාහ වීම මතුපිටින් හාස්යෝත්පාදක කරුණක්. නමුත් ඔවුන් පිළිබඳ භක්ත්‍යාදරයෙක් පසුවන රසිකයන් ඒ කලා කරුවන්ගේ එවැනි ක්‍රියාත් ඇගයීමකට ලක් කීරීමටත් ඒවා සාධාරණය කිරීමටත් ඇතැම් විට ඒවා අනුකරණය කිරීමටත් පෙළඹෙන්න පුළුවන්. මේක සමාජ අපගමනයට නිසැකලෙසම තුඩු දෙන කරුණක්.

විශේෂයෙන් කලා කරුවන් තම දෙවන තුන්වන විවාහ මෙලෙස ආටෝපකාරී අයුරින් ඉදිරිපත් කිරීමෙන් විවාහය සම්බන්ධව ඇති ගෞරවනීය ආකල්පය අප ජන සමාජයෙන් තුරන් වී යන්නට පුළුවන්. එය සමාජයට ඉතා අහිතකර තත්ත්වයක්.

  • සමහර කලා කරුවන් තමන්ගේ විසිපස්වන විවාහ සංවත්සර ආදියත් මංගල්‍යයක ස්වරූපයෙන්ම සමරන අවස්ථාවන් අපි මාධ්‍ය මගින් දකිනවා.

ඕනෑම කෙනෙකුට තමන්ගේ විවාහ සැමරුම ඕනෑම ආකාරයකට සිදුකර ගත හැකියි. නමුත් බොහෝ කලා කරුවන් මේවා කරන්නේ තමන්ගේ විවාහක බැඳීම මුල්කරගත් අවංක අභිලාශයකට වඩා ඒ තුළිනුත් තමන් පිළිබඳ අලෙවි ප්‍රවර්ධනයක් ඇතිකර ගැනීමේ බලාපොරොත්තුවෙන්. ඒ වගේම ගැටළු අර්බුද බහුල විවාහ ගත කළ පුද්ගලයන් පවා තමන්ගේ විවාහ ජීවිතයේ සාර්ථකත්වය ‍සමූජය හමුවට ව්‍යාජ ලෙස ඉදිරිපත් කිරීම පිණිසත් මෙවැනි ආටෝපකාරී උත්සව ගන්නා බව අපට පෙනෙනවා.

  • නමුත් එමගින් සමාජය සිදුවන අයහපත කුමක්ද?

වයස්ගත පිරිමින් මනමාලයන් ලෙසත්, ඔවුන්ගේ බිරියන් මනමාලියන් ලෙසත් බොළඳ රංගනයක යෙදීම තුළින් ඔවුන් වැඩිහිටි බවේදී හිමිකරගත යුතු ගෞරවයට, ගාම්භීරත්වයට බරපතල හානි සිදුකරගන්නවා. ඒ නිසා තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ගැටළු අර්බුද සමාජයෙන් වසන්කර ගැනීමට හෝ තමන් සම්බන්ධයෙන් අලෙවිප්‍රවර්ධනයක් ඇති කර ගැනීමට හෝ ඔවුන් එසේ කටයුතු කිරීම යෝග්‍ය නොවන බවයි මගේ වැටහීම.

අනෙක දූ දරුවන් දීග තළ දෙන වයස්වල සිටින වැඩිහිටි මාපියන් මනමාලයන්, මනමාලියන් සේ හැසිරීම ඒ දූ දරුවන්ගේ වයස්වල හිමි උරුමයන් පවා අයථාලෙස උදුරාගැනීමක් ලෙසයි මා දකින්නේ.  

 

දමයන්ති ගමගේ

 

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1821

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2156

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4963

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2957

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1717

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2595

Please publish modules in offcanvas position.

Web Analytics