Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා. ඒක අපි කොයි කාටත් ‍පොදු දෙයක්. අදටත් මගේ හිතට හොරෙන් වගේ එබිකම් කරන සිදුවීම් රාශියක් තිබෙනවා. මේ සිදුවීම්වලින් බොහොමයක් ළමා වියට සම්බන්ධ ඒවා. මගේ ජීවිතේ කාටවත් නොකී රහස් අතරේ ඔය වගේ සිදුවීම්ද තියෙනවා. හැබැයි ඒවා රස රහස්ද කියන්න බෑ. මොකද මගේ අතීතය තුළ තියෙන්නේ දුප්පත්කම හින්දා, මුහුණ දීපු හරිම කටුක අත්දැකීම්. 
මම ඉපදුනු අලුත අපි ඉඳලා  තියෙන්නේ රත්නපුර ෆාම් හවුස්වලට එහා තියෙන පෙත්තලංගොඩ කියන ගමේ. අපි හරිම දුප්පත්. ඒ පැත්තේ හැමෝමත් අපි වගේම දුප්පත්. පුංචි අතු පැලවල්වල තමයි ඒ අය ජීවත් වෙලා තියෙන්නේ. එතකොට මගේ අම්මයි තාත්තයි දෙන්න කරලා තියෙන්නේ ගොවිතැන. ඒ දවස්වල මට තොටිල්ලක් තියා ලණු මැස්සක්වත් නැහැලු. ගොම ‍පොළවේ බිම තමයි අපි හැම දෙනාම නිදා ගන්නේ. මාව නිදි කරවලා අම්මා ගෙදර වැඩලු. ඔය වගේ දවසක මම නින්දෙන් නැගිටලා අඬනවලු. අම්මා ඇවිත් මාව වඩාගෙන කොට්ටය අයින් කරද්දී කොට්ටේ යට මාපිලෙක්ලු. සමහර විට ඒ වේලාවේ මම නින්දෙන් නැගිටලා ඇඬුවේ නැතුව නිදාගෙන හිටියා නම් ඒක මගේ සදාකාලික නින්ද වෙන්නත් ඉඩ තිබුණා. 
ඊට පස්සේ මම  කොස්පැලැන්නවිල්ල ඉස්කෝලෙට ගියා. මේ කාලයේ පාස‍ලේ ජාතික ගීය කියන්න කණ්ඩායමක් තේරුවා. මමත් ඒ කණ්ඩායමට තේරුණා. එතකොට මම පහ වසරේ. උදේ රැස්වීමේ තමයි අපි ජාතික ගීය ගයන්නේ. ඔය අතරේ පාස‍ලේ තිබුණු උත්සවයකට සිරිපාල කිරිඇල්ල මහතාට ආරාධනා කෙරුණා. අපි කණ්ඩායමට කහපාට ළමා සාරි මහන්න යෝජනා කෙරුණා. ඒකට සල්ලි එකතු කරන්න භාර දුන්නේ අපේම පන්තියේ ළමයෙකුට. ඒත් මට සල්ලි දෙන්න විදියක් තිබුණේ නැහැ. හැමෝම සල්ලි දීලා මම විතරයි සල්ලි දීලා නැත්තේ. කට්ටියගේ මහපු ළමා සාරි භාරදෙන්න කලින් අපි සල්ලි දෙන්න ඕනෑ. මම විතරක් සල්ලි දුන්නේ නැහැ කියලා අර ළමයා මට ලැජ්ජා හිතෙන විදියට දොස් කිව්වා. ඒ දුක දරාගන්න බැරුව මම ගීත පුහුණුවීම්වලට යන එක නතර කළා. පන්ති භාරව හිටපු ජයරත්න ටීචර් මගෙන් ඇහුවා මම ගීත පුහුණුවීම් සඳහා නොඑන හේතුව. මම අඬ අඬා විස්තරේ කිව්වා. අනිවාර්යයෙන්ම උත්සවයට මම එන්න ඕන කියලා ටීචර් කිව්වා. උත්සවයට ගියාම ටීචර් ළමා සාරියක් ගෙනත් මගේ අතට දුන්නා. 
පස්සේ කාලෙක අපි කිරිඇල්‍ලේ පදිංචියට ආවා. මම කිරිඇල්ල මහ විදුහ‍ලේ ඉගෙන ගන්න කා‍ලේ නවය වසරේදී වූ මේ සිදුවීම අදටත් කොළඹ ඇවිත් මේ කියන්නට යන ‍පොත් සාප්පුව ළඟින් යද්දී මට මතක් වෙනවා.  
එතකොට මම නවය වසරට සමත් වෙලා. ‍පොත් ලැයිස්තුව කොළඹින් ගමු කියලා තාත්තා කිව්වේ තාත්තාගේ වැඩකට කොළඹ ආපු හින්දා. ඔන්න මමයි තාත්තයි කොළඹ ආවා. ඒ ඇවිත් අපි එක්තරා ප්‍රසිද්ධ ‍පොත් සාප්පුවකට ගියා. ‍පොත් ටික තෝරලා මට ඉන්න කියලා තාත්තා කොහේද ගියා. මම ‍පොත් ටිකත් තියාගෙන ඉන්නවා. කාලය ටික ටික ගෙවිලා යනවා. තාත්තා නැහැ. ටික වේලාවකින් තාත්තා ආවා. තාත්තාගේ මුහුණ අඳුරුවෙලා.
“පුතේ මගේ පර්ස් එකට ‍පොකට් කාරයෙක් ගැහුවා. අද ‍පොත් ගන්න වෙන්නේ නැහැ.’’ 
තාත්තා මුහුණ අඳුරු කරගෙන කිව්වා. ගත්තු ‍පොත් ටික ආපහු තියලා තාත්තයි මමයි ආපහු එන්න ආවා. 
“මගේ පර්ස් එකට ගැහුවේ ‍පොකට් කාරයෝ කට්ටියක්. ඒක අතින් අත පාස්වෙලා යනවා මම දැක්කා. මම එතන හිටපු ‍පොලිස් රාළහාමි කෙනෙකුට ඒ ගැන කිව්වා. “දැන් කොහේ හොයන්නද? දැන් පර්ස් එක ගැන අදහස අතෑරලා දාන්න. තමුන්ගේ දේවල් තමුන් පරිස්සං කරගන්නවා මීට පස්සෙවත්” කියලා ඒ රාළහාමි කිව්වා. 
තාත්තා කිව්ව ඒ වචන තවමත් මට මතකයි. තාත්තගේ කමිස සාක්කුවේ තිබුණ සල්ලි බස් ටිකට්වලට ඇති වුණා. වතුර උගුරක්වත් නැතුව තමයි එදා අපි ගෙදර ආවේ. 
එදා නවය වසරේ ළමයෙක් විදියට මට ඇත්තටම හිතුණු දේ මම කියන්නද....? කාටවත් වරදක් නැති හැමදාම ගෙදර බුදු පහන පත්තු කරන අපිට ඇයි මෙහෙම වුණේ කියලා මට ඇති වුණේ ලොකු වෛරයක්. සෙනඟ පිරිච්ච බස් එකේ හිරවෙලා යද්දී බස් එකේ හිටපු කාගේ හරි චේන් එකක් කඩාගන්න තරම් ආවේගයක් එදා මට ඇති වුණා. 
 
ආරියවංශ කුලතිලක

මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු දුක්ගන්නාරාළ මේ දවස්වල ඉන්නේ දැඩි තීරණයකට එළැඹිලා. හොඳින් බැරිනම් නීතිය හමුවට ගිහිල්ලා හරි තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගන්නවා කියලයි ‘දුකා’ නම් අපිත් එක්ක කිව්වේ. 
 
ඔබ අතින් ලියවුණු ගීතවලට මුදල් නොගෙවා පැහැර හැර සිටින ගායකයන්ට එරෙහිව නීතිය ඉදිරියට යාමට සැරසෙන බව, සඳහන් ඔබේ ප්‍රකාශයක් මේ දිනවල අන්තර්ජාලයේ මුහුණු ‍පොතේ (FB) සැරිසරනවා. හදිසියේම මේ වගේ දැඩි තීරණයකට එළැඹුණේ ඇයි ?
මම පසුගිය 15 වැනිදා තමයි ඔය ධඵබ එක දැම්මේ. මාසයක් තුළ මට ලැබිය යුතු මුදල් ලබා නුදුන්නොත් අදාළ අයට එරෙහිව නීතිය ඉදිරියට යනවා. අදාළ පිරිසට පෙබරවාරි 15 වනතුරු කල් තියෙනවා මේ ගනුදෙනු බේරුම් කරගන්න. මේක විහිළුවක් නමෛයි. සමහර විට යාළුකම් නැති වෙන වැඩක්.
 
කවුද මේ පිරිස ?
දැන්ම නම් සඳහන් කරන්න බැහැ. ඒත් අදාළ අය දන්නවා වැරදිකරුවන් තමන් බව.
 
ඒ අය ඔබේ මිතුරෝ නේද?
අ‍පොයි ඔව්, හොඳ යාළුවෝ. ඒ හින්දා තමයි අවුරුදු ගණනක් බලාගෙන හිටියේ. මම මාසයක කාලයක් දෙන බවට මේ විදියට FB එකට දැම්මට මීට කලින් අවුරුදු කීපයක් බලා හිටියා. කීප වතාවක් දුරකථනයෙන් කතා කළා. ඒ වෙලාවට ඒ අය කියන්නේ “හරි හරි ඉක්මනට දෙනවා” කියලා. හැබැයි අද වනතුරු සතයක්වත් දීලා නැහැ. 
 
සාමාන්‍යයෙන් ගීතයක් නිර්මාණය කරන්නේ අදාළ ගනුදෙනු ගැන කතාබහ කරලනේ. ඔබ කොහොමද මේ අයට ගීත ලියලා දුන්නේ...?
ගීතයකට අයිතිය පිළිබඳ නීතියක් තිබෙනවා. මම ගීතය පවරා දුන්නේ නැත්නම් ඒ ගීතයේ රචකයා විදියට මට ලැබිය යුතු මුදලක් තියෙනවා. නීතිය අනුව මංගල උත්සවයක ගැයුවත් ඒ මුදල හිමිවිය යුතුයි. සමහරු රිංගිං ටෝන්වලට Youtube වලට මාගේ ගීත දාලා කෝටි ගණන් හම්බකරලා තියෙනවා. ඒත් මට ලැබිය යුතු මුදල ලැබිලා නැහැ. ඒ ගැනයි මම මේ කතා කරන්නේ.
 
අදාළ පුද්ගලයන්ගේ නම් හෙළි කරන්න කැමැති නැතිනම් ඔබට ලැබිය යුතු මුදල සඳහන් කරන්න කැමැතිද?
ලක්ෂ ගණනකට අධිකයි. කෝටියතට ආසන්නයි. 
 
ගීත ලියලා ලක්ෂ ගණන් මුදල් හොයනවා. දැන් මඟුල් කපුකමටත් ලොකු ගාණක් අය කරනවා ඇති...?
(හිනැහී) හැමෝම කියනවා අපිටත් මඟුල් කපුකමක් කරලා දෙන්න බැරිද කියලා..  මගේ ලොකු අම්මගේ දුවගේ දුව සනායාට දවසක් කාවිංග අපේ ගෙදරට ආපු වෙලාවක මුණ ගැසුණා. ඒ දවස්වල දුවට විවාහයට කෙනෙක් හොයනවා. ඉතින් මම නිකමට වගේ දෙන්නට දෙන්නව යෝජනා කළා. ඇසුරු කරලා සුදුසු නම් විවාහ වෙන්න කිව්වා. කොහොම හරි ඇසුර දුර ගිහින් විවාහය කෙරුණා. හැබැයි ඉතින් දිගටම මඟුල් කපුකම කරන්න නම් අදහසක් නැහැ.
 
ගහේ කටු උල් කරන්න ඕන නැහැලු. දුකාගේ දරුවෝ දෙන්නත් දැන් කලා ලෝකය තුළ දස්කම් පාන්න පටන් අරන් නේද ? 
පසුගිය දාක මොස්කව් නුවර පැවැත්වුණ “මොස්කව් ජාත්‍යන්තර නර්තන උළලෙදී” රටවල් 28ක නර්තන කණ්ඩායම් 240ක් අතරින් හොඳම නර්තනය හා නර්තන කණ්ඩායම විදියට සම්මාන හිමි කරගත්තේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාස‍ලේ නර්තන කණ්ඩායමයි. එහි නායකයා මගේ පුතා. (සඳලිඳු) මගේ දුවත් (සඳපිනි) එම නර්තන කණ්ඩායමේ ඉන්නවා. පුතාට දැන් වයස 16යි. එයා කළමනාකරණ අංශයෙන් හදාරන්නේ. දුවට 13යි. එයා සාමාන්‍ය පෙළට සූදානම් වෙනවා. දෙන්නම කලාවට දක්ෂයි. ඒත් මමයි බිරිඳයි ඒ අයට බලපෑම් කරන්නේ නැහැ. අනාගතයේදී කැමැති අංශයකින් ඒ අය ඒ අයගේ ඉදිරිගමන තෝරා ගන්න අපි ඉඩදීලයි තියෙන්නේ. 
 
ආරියවංශ කුලතිලක

කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී. ඒවායේ ආසනික් වැනි බැරලෝහ පවා අඩංගු බවට ඇතැම් පාර්ශ්ව චෝදනා නගන අතර තවත් පාර්ශ්ව ඒවා ප්‍රතික්‍ෂේප කරති. මේ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමයේ සභාපති සාලිය ගැමුණු පෙරේරා ඒ පිළිබඳව දක්වන අදහස්ය.
 
‍ප්‍රෝටීන් ආහාර ශරීර වර්ධනයට හිතකර බව අලුතින් කියන්නට අවශ්‍ය නැත. ශාකමය ආහාර මගින් ලබා ගන්නා ‍ප්‍රෝටීන්වලට වඩා වැඩි ‍ප්‍රෝටීන් ප්‍රමාණයක් අපට සත්වමය ආහාර මගින් ලබා ගත හැකිය. සත්වමය ආහාරයන් ගැන කතා කිරීමේදී ලොව පුරා බොහෝ දෙනෙකු කුකුල් මස් ආහාරය සඳහා යොමු වී තිබේ. වැඩිපුර ‍ප්‍රෝටීන් ප්‍රමාණයක් සැපයුවත් සත්ව ආහාර ශරීර සෞඛ්‍යයට හිතකර නොවන බව අද මුළු ලෝකයම පිළිගෙන ඇත්තේය.
සත්ව ආහාරයන්වල සාමාන්‍යයෙන් ශරීරයට හිතකර මෙන්ම අහිතකර මේදයන් අන්තර්ගතව පවතී. ඔමේගා 3 සිරුරට හිතකර මේදයයි. ඔමේගා 6 සිරුරට අහිතකර මේදයයි. ස්වාභාවික පරිසරයෙන් ඇහිදගෙන කෘමීන් ගස් උඩ ලැගුම් ගෙන හොඳින් හිරු එළියට නිරාවරණය වෙමින් ජීවත් වූ කුකුළන් දැන් කුඩා ඉඩ ප්‍රමාණයක හිරකරගෙන කෘත්‍රිම ආහාර ලබා දෙමින් ඇති කරති. මෙවැනි සතුන්ට නිසි ලෙස ස්වභාවධර්මයෙන් ලැබෙන හිරු එළිය තබා පිරිසිදු වාතාශ්‍රය හෝ  නොලැබෙන්නේය. මෙසේ මුදල් සෙවීමේ අරමුණින් කුකුල් ගොවිපළවල්වල කෘත්‍රිම ආහාර ලබා දෙමින්  වගාකරන කුකුළන්ගේ සිරුරේ ඔමේගා 6  මේද කොටස්  විශාල වශයෙන් වර්ධනය වන බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේය. වසර 2008 දී ශ්‍රී ජයවර්ධනපුර රෝහල මගින් කරන ලද පර්යේෂණයකින් තහවුරු වූයේ කුකුල් මස්වල ආසනික් නමැති විස රසායනිකය අන්තර්ගත වී ඇති බවය. වසර 2011 දී  රිසර්ච් ගේම් නමැති වබේ අඩවිය මගින් මෙම පර්යේෂණ වාර්තාව ප්‍රසිද්ධ කර තිබුණි. වසර 2017 දීත් ඉහත කී වාර්තාවේ තොරතුරු තවදුරටත් එසේම බව තහවුරු කර තිබිණි.
මෙය ශරීර සෞඛ්‍යයට කොහෙත්ම හිතකර තත්ත්වයක් නොවන්නේය. යම් ආහාරයක ඔමේගා 6 මේද කොටස් වැඩි වීම යනු පිළිකා, හෘද රෝග, දියවැඩියා වැනි බෝ නොවන රෝග ක්‍රමයෙන් ඉහළ යාම යැයි ලෝකයේම පිළිගත් තත්ත්වයකි.
මෙසේ ස්වාභාවික පරිසරයෙන් ඈත්කර කෘත්‍රිමව සාදන සතුන්ගේ මස්, කිරි, බිත්තර හා අනෙකුත් 
නිෂ්පාදනවල පවා ඔමේගා 6 මේද කොටස් අන්තර්ගත බැවින් ඒවාද ශරීර සෞඛ්‍යයට කිසි සේත්ම හිතකර නොවන්නේය.
එසේම ගොවිපළවල්වල සතුන් ඇති කරණුයේ උන්ගේ මස්, කිරි හා බිත්තර ඇතුළු අනෙකුත් සත්ව නිෂ්පාදන විකුණා ලාභ ලබා ගැනීමේ පරමාර්ථයෙනි. මේ හේතුවෙන් සතුන්ගේ බර වැඩි වීම අලෙවිකරුවන්ට වඩාත් වාසිදායක තත්ත්වයකි. මේ හේතුවෙන් උන්ගේ මස් වේගයෙන් වර්ධනය වීම සඳහා වර්ධක හෝමෝන විටමින් වර්ග හා රසායනික ද්‍රව්‍ය අන්තර්ගත කරන ලද කෘත්‍රිම ආහාර වර්ගයන් ලබා දීමට ගොවිපළවල් හිමියෝ කටයුතු කරති. 
“රොසැන්ඩෝස් නමැති වර්ධක සංඝටකයෙහි ආසනික් අන්තර්ගතව පවතින බව පර්යේෂණයන් මගින් තහවුරු වී ඇත්තේය. එපමණක් නොව ඇතැම් ලවණ සඳහාද ආසනික් ආන්තර්ගත කර තිබෙන බැවින් එම ලවණ අඩංගු ආහාර ලබා දීමේදී කුකුළන්ගේ ශරීරයේ ජීවත් වන හිතකර ක්ෂුද්‍ර ජීවීන් විනාශයට පත් වෙනු ඇත. මෙසේ කුකුළන්ගේ සිරුරේ ජීවත් වූ ක්ෂුද්‍ර ජීවීන් විනාශ වූ පසුව තදින් බඩගිනි දැනෙණු ඇත. එසේ වූ විට කුකුළන් වැඩි වැඩියෙන් ආහාර ගනු ලැබේ. එවිට උන්ගේ බර ක්‍රමයෙන් වැඩි වේ.
මෙසේ කෘත්‍රිම වර්ධක හෝමෝන  ඇතුළත් ආහාරයන් ලබා දීමේදී එහි   අන්තර්ගත  ආසනික් කුකුළන්ගේ අක්මාවේ තැන්පත් වනු ඇත. අක්මාව ‍ප්‍රෝටීන් අධික ආහාරයක් යැයි සිතා බොහෝ දෙනෙකු ආහාරයට ගනිති. විශේෂයෙන් රෝගීන්ට, කුඩා දරුවන්ට හා වයස්ගත වූවන්ට මෙය ලබා දීමට අපි පෙළඹී සිටින්නෙමු. ඒ ඔවුන්ගේ සිරුරට ශක්තියක් ලබා දීම සඳහාය. ඒත් දැන් දැන් තහවුරු වන්නේ අපි මෙසේ අධි ‍ප්‍රෝටීන් යනුවෙන් ලබා දී ඇත්තේ මිනිස් පරිභෝජනයට කිසිසේත්ම සුදුසු නොවන වස අන්තර්ගත ආහාරයකි.
ගොවිපළවල ඇති කරන කුකුළන්ගේ බර වැඩි වීම සඳහා  හෝමෝනයන්  එන්නත් කර   ශරීරය තුළදීම විනාශයට පත් වූ පසුව වෙළඳ‍පොළේ මස් පිණිස අලෙවි කළ යුතු නමුත් දැන්  එම හෝමෝනය එන්නත් කර දින දෙක හෝ තුනක් ඇතුළත වෙළෙඳ‍පොළට මස් පිණිස නිකුත් කරන්නේය. මෙය කිසි සේත්ම නොකළ යුතු තත්ත්වයකි. මන්ද කුකුළාගේ ශරීරයට ඇතුළු කළ විස සහිත එන්නත විනාශ වීමටත් පෙර එය මිනිස් සිරුරට ඇතුළුවන නිසාය. මෙය මිනිස් ජීවිත කෙටි කරළීමට හේතුවක් වන්නේය.
එසේම වර්ධක හෝමෝන කුකුළන්ට ලබා දීමේදී සිදුවන තවත් එක් හානියක් වන්නේ එම සතාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වීමය. මෙසේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ වීම නිසා එම සතා විවිධ රෝගයන්ට ගොදුරු වන්නේය. මෙසේ රෝගයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රතිජීවක ඖෂධ හා විටමින් වර්ග විශාල වශයෙන් එම සතාට එන්නත් කිරීමක් හෝ දියකර පෙවීමක් කරණු ලැබේ. මෙසේ ලබා දෙන ප්‍රතිජීවක 
ඖෂධයන් වල අන්තර්ගත රසායනිකයන් විශාල වශයෙන්  කුකුල් මස් අනුභවය තුළ මිනිස් සිරුරට ඇතුළු වනු ලැබේ. මෙය රෝග කාරකයන්ට ඔරොත්තු නොදෙන තත්ත්වයක් මිනිස් සිරුර තුළ නිර්මාණය කිරීමට හේතුවක් වනු ලැබේ.
කාබනික ‍පොහොර නිෂ්පාදනය, ප්‍රවර්ධනය කිරීම සඳහා ජනාධිපති කාර්යාලය මගින් දියත් කළ වස විස නැති ආහාර වගා කිරීමේ වැඩපිළිවෙළේදී වස විස නොමැති ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (ක්ෂමා) මගින් ක්‍රියාත්මක කළ කාබනික ‍පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළට කුකුල් ‍පොහොර යොදා ගන්නා ලදී. මෙම ‍පොහොර යොදා ගනිමින් සකස් කළ කාබනික ‍පොහොර වගාවන් සඳහා යෙද වූ පසුව කෙටිකාලයක් ගත වීමේදී එම ‍පොහොර යෙදූ වගාවන් විනාශ විය. ඉන් අනතුරුව කරන ලද සොයා බැලීමේදී තහවුර වූයේ කුකුල් ‍පොහොරවල ප්‍රතිජීවක ඖෂධයන් විශාල වශයෙන් තැන්පත් වී ඇති බවකි.
මෙම පර්යේෂණයන් තුළින් තහවුරු වන්නේ අපි අනුභව කරන්නේ විස සහිත කුකුල් මස් බවය.
මෙසේ කෘත්‍රිමව සාදන කුකුළන්ගේ මස් ඇතුළු කුකුළු නිෂ්පාදනයන්ගෙන් සකස් කරන ලද ආහාර වර්ගයන් අනුභව කරන මිනිසුන් තමන්ගේ ජීවිතය කෙටි කර ගන්නා අතරම දරුවන්ගේ මනා වර්ධනය යැයි පවසමින් දෙමාපියන් විසින් දරුවන්ට ලබා දෙන කුකුල් පීකුදු මගින් තමන්ගේ දරුවන්ගේ ජීවිත කෙටි වනවා මෙන්ම දරුවන්ගේ මළගම දෙමාපියන් අලුතින්ම සිදුකරන කාලය ළඟාවෙමින් පවතින බව පැහැදිලිය. මෙය මහත් ඛිෙදවාචකයකි. 
සතුන්ගේ ජීවිත මෙන්ම මිනිසුන්ගේ ජීවිතද ආරක්ෂා කර ගැනීමේ කාලය දැන් එළඹ ඇත්තේය. මේ සඳහා ආහාර සම්බන්ධයෙන් නීති රීති සම්පාදනය කරන නීති පනවන හා සකස් කරන ආයතනයන් වන සෞඛ්‍ය අමාත්‍යාංශය, ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණික ආයතනය, පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය ක්‍රියාත්මක විය යුතු කාලය එළඹ ඇත්තේය. ඔවුන් ක්‍රියාත්මක නොවන්නේ නම් අඩු වශයෙන් ගෙදර මව හා පියා හෝ ක්‍රියාත්මක වී තමන්ගේ දරුවන් මරණයෙන් ගලවා ගැනීමේ කාලය එළඹ ඇති බව කනගාටුවෙන් හෝ සිහි කිරීමේ කාලය එළඹ ඇත්තේය.
 
ශ්‍රියානි විජේසිංහ

(ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති විද්වත් කතිකාවේදී ඇමෙරිකාවේ නාසා ආයතනයේ හිටපු තාරුකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග කළ දෙසුම ඇසුරිනි.)
ජ්‍යොතිෂයට අනුව ග්‍රහයන් නවයකි. ඉන් හතක් ග්‍රහලෝක වන අතර රාහු-කේතු නම් කල්පිත ග්‍රහයන් දෙකක් ද ඊට එක්කොට තිබේ. රාහු සහ කේතු පෘථිවියේ සහ සඳෙහි කක්ෂය ජේදනය වන ස්ථාන මිස සැබෑ ග්‍රහලෝක නොවේ. එහෙත් සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ආදී ස්වාභාවික සංසිද්ධීන් සිදුවන බැවින් ‍ජ්‍යොතිෂයේදී ඊට 'ග්‍රහ' තත්ත්වය හිමි කොට තිබේ.
පෘථිවියේ සිට සූර්යයා වටා ඇති රාශීන් දහතුනක් දැකිය හැක. ‍ජ්‍යොතිෂයේදී මේ දහතුන දොළහක් වශයෙන් සැලකෙයි. රාශියක් යනු පෘථිවියේ සිට බලනවිට පියැවි නෙතට පෙනෙන තාරුකා මණ්ඩලයකි. එහෙත් ඒවා තාරුකා මණ්ඩල ලෙස හැඳින්වීම සපුරාම වැරදිය. ඊට හේතුව පෘථිවියේ සිට බලන විට එකම තරු ‍පොකුරක් ලෙසින් දිස් වුවද ඒ එක් තරුවක සිට තවත් තරුවකට ඇති දුර ප්‍රමාණය ආලෝක වර්ෂ දහස් ගණනකින් යුතු වීමය. එමෙන්ම අප රාශි වශයෙන් දකින මෙම තාරුකා එකිනෙකට අතිවිශාල දුරකින් පිහිටි ඒවා බව නිවැරදි ලෙස ගණනය කොට තවම වසර දෙසීයක්වත් නැත. එමෙන්ම අපගේ නෙත ගැටෙන ග්‍රහලෝකවලට වඩා දීප්තිමත් තාරුකා වස්තූන් බොහෝ දුරකින් පිහිටා ඇති බව පාසල් සිසුහු පවා දනිති. ඒ අනුව ‍ජ්‍යොතිෂයේ මූලිකම ඉගැන්වීමක් වන ග්‍රහ වස්තු පිහිටීම හුදෙක් සත්‍යයක්, යථාර්ථයක් නොවන බව පළමුව කිව යුතුය. 

විශ්වයේ හට ගැනීම හෙවත් සම්භවය මීට අවුරුදු බිලියන 13.8කට පෙර සිදුවූ බව අද වන  විට තහවුරු වී තිබේ. එමෙන්ම මෙම විශ්වයද නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින්නක් බවද අද වන විට විද්‍යාත්මකව තහවුරු වී ඇත. ඒ අනුව තාරකා ගමන් කිරීම මත මීට වසර මිලියනයකට පෙර අහස සහ අද අහස මුළුමනින්ම වෙනස්ව අතර ඉදිරි වසර මිලියනය තුළ මෙම වෙනස තවදුරටත් වෙනස්ව වර්ධනය වනු ඇත.
අපගේ අවුරුද්ද දවස් තුන්සිය හැටපහකි. එහෙත් විශ්වය ඇරඹී ගතවූ අවුරුදු බිලියන 13.8 එක් අවුරුද්දක් ලෙස නම් කළහොත් එහි එක් තත්පරයක් අපගේ ව්‍යවහාර වර්ෂ 435කි.  ඒ විශ්වීය ගණනය අනුව බලන විට නුතන මිනිස් ශිෂ්ටාචාරය ඇරඹී තවම ඉක්ම ගොස් ඇත්තේ විශ්වීය තත්පර පහළොවක් පමණක් බව ඔබ දන්නවාද? 
පෘථිවි කේන්ද්‍රවාදය මිථ්‍යාවක් මිස සත්‍යයක් නොවන බව අදවන විට ලොව පුරා ‍පොදු පිළිගැනීමකට  ලක්ව තිබේ. එහි සූර්යයා වටා ග්‍රහයන් ගමන් කිරීම ‍ජ්‍යොතිෂයෙන් විස්තර කෙරෙනුයේ සූර්යා ද ඇතුළුව ග්‍රහයන් හත් දෙනකු සහ ග්‍රහ වස්තූන් නොවන රාහු සහ කේතු ද පෘථිවිය වටා ගමන් කිරීමක් ලෙසිනි. එමෙන්ම ඊට ආලෝක වර්ෂ දහස් ගණන් දුරින් පිහිටි රාශි වළල්ලද ඊටම සම්බන්ධ කොට දැක්වීම නවීන විද්‍යාවෙන්  තහවුරු වූ කරුණු අනුව අතිශයින් වැරදි සහගතය.
දැන් මිනිසා සඳ තරණය කොට හමාරය. තවත් වසර පනහකින් මිනිසා අඟහරුද තරණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත් අනාගතයේ සඳ මතට හෝ අඟහරු මතට ගොඩ බසින මිනිසාට ‍ජ්‍යොතිෂය රැගෙන යාමට නොහැක. ඒ එහි සිට දැකගත හැකි ග්‍රහ පිහිටීම් මුළුමනින්ම වෙනස් බැවිනි. මිනිසා සඳ මතට හෝ අඟහරු මතට පා තැබුවහොත් ඔහුට තවදුරටත් සඳ හෝ අඟහරු ග්‍රහයකු නොවේ. නමුත් එවිට පාථිවිය නම් ග්‍රහයෙකි. එමෙන්ම එහිදී අපට සඳ විශාල ලෙස පෙනෙනවාට වඩා  'සඳ ලොව' වාසීන්ට පෘථිවි ග්‍රහයා විශාල ලෙස දිස්වනු ඇත. ඇතැම් විට නවීන විද්‍යාවේ ආධාරයෙන් සඳ මතදී හෝ අඟහරු මතදී දරු ප්‍රසූතියක් සිදු කළහොත් ඒ දරුවාගේ කේන්ද්‍රයේ 'පෘථිවි' නම් ග්‍රහයෙක් ඇතිවීම අනිවාර්යය. නමුත් පෘථිවියේ ඇති රාශි චක්‍රය එහිදී බිඳවැටෙන බැවින් එම ග්‍රහලෝකවල වෙසෙන්නවුන් සඳහා වෙනම ‍ජ්‍යොතිෂයක් නිර්මාණය කිරීමටද සිදුවනු ඇත.
එහෙත් අනාගතයේ අඟහරු මත හෝ වෙනයම් ග්‍රහලෝකයක් මතට පා තැබුව ද මෙලොවින් රැගෙන යන විද්‍යා තාක්ෂණය එහිදීද භාවිතා කළ හැකි වෙයි. පසුගිය කාලයේ මිනිසා සඳ තරණය කළ අවස්ථාවේදී ද පෘථිවියෙන් බැහැරට ගෙන යන ලද්දේ මෙලොව විද්‍යා තාක්ෂණයම බව පැහැදිලිය. 
‍ජ්‍යොතිෂයෙත්, නවීන විද්‍යාවෙත් පැහැදිලි වෙනස එයයි. 
විද්‍යාව ශීඝ්‍රයෙන් දියුණුවට, පරිණාමයට, විකාශනයට ලක්වන්නකි. එහෙත් ‍ජ්‍යෝතිෂය මීට වසර දහස් ගණනකට පෙර තිබූ තත්ත්වයෙන්ම පවතින එකිනෙකට වෙනස්, සංකීර්ණ, සාධක සමුදායක් මත පදනම් වන්නකි. මෙලොව මිනිසා පහළ වූ දා සිටම සූර්යයා  දැක තිබුණද එහි ක්‍රියාකාරීත්වය ගැන නොදැන සිටියේය. සූර්යයා ආලෝකය නිකුත් කරන්නේ කෙසේදැයි මිනිසා වටහාගෙන ගතවී ඇත්තේ තවමත් වසර එකසිය තිස්පහක් පමණි. එය විද්‍යාත්මකව සොයා ගන්නා ලද්දේ 1880 වසරෙන් පසුවය.
විද්‍යාව කලින් කලට වෙනස් වන බවත්, ‍ජ්‍යොතිෂය සදාතනික සත්‍යයක් බව බොහෝ දෙනෙක් කියනු  මා අසා තිබේ. එහෙත් එයද මුළුමනින්ම මුසාවකි. දැනට අපට පෙනෙන රාශි පද්ධතිය  වසර දෙදහසකට රාශිය බැගින් වෙනස්වී තව වසර විසිහය දහසකින් මුලුමනින්ම වෙනස් වන බව පැවැසෙන සනාතන සත්‍යය ‍ජ්‍යොතිෂය මගින් අනාවරණය කිරීමට කිසිවකුටත් නොහැකි වූයේ ඇයි? එමෙන්ම දැනට ලංකාවේ භාවිතා වන ‍ජ්‍යොතිෂය සිද්ධාන්ත ඇරඹුණු කාලය සහ වත්මන් සෞරග්‍රහ මණ්ඩලයේ රාශි පිහිටීම අනුව විමසා බලන විට වත්මන් ‍ජ්‍යොතිෂවේදීන් අදටත් සිය කටයුතු සඳහා යොදා ගනු ලබනුයේ වත්මන් රාශි පිහිටීම් නොව දුරාතීතයේ පැවැති රාශි පිහිටීම්ය.
ග්‍රහලෝකවලින් එළැඹෙන කිරණ මගින් මිනිස් ජීවිතවලට බලපෑම් එල්ලවන බව ‍ජ්‍යොතිෂයේ මුල්ම ඉගැන්වීමකි. මීට හේතුව පෘථිවියට ආසන්නම උප ග්‍රහයා වන චන්ද්‍රයාගේ ගුරුත්ව බලය මහ මුහුදේ වඩදිය - බාදිය  බලපෑම සිදුවීම වැනි ඉතා සුළු කරුණු කිහිපයක් බව පෙනෙයි. ආලෝක වර්ෂ දශම 1.25 දුරින්. පෘථිවියට ආසන්නතම උපග්‍රහයා වන චන්ද්‍රයා නිසා පෘථිවියට එල්ලවෙන බලපෑම එතරම් සුළුනම් ආලෝක වර්ෂ ගණන් දුරින් පිහිටි තරුකාවන්ගෙන් යම් කිරණ විශේෂයක් නිකුත් වන්නේ නම් ඉන් සිදුවන බලපෑම කෙතරම් අල්ප දැයි අප සිතා බැලිය යුතුය. 
කිසියම් දරුවකු මෙලොවට බිහිවන අවස්ථාවේ ඔහු වෙත එල්ල වන කිරණ මගින් යම් බලපෑමක් සිදුවේ නම් එවන් දහස් ගුණයක බලපෑමක් එම දරුවාගේ මව, වෛද්‍ය සහ හෙද  කාර්යමණ්ඩලය සහ සුතිකාගාරයේ ඇති විදුලි බුබුළු ආදියෙන් එල්ලවිය යුතු බවට සැකයක් නැත. විද්‍යාත්මකව තහවුරු වී ඇති අන්දමට පෘථිවිය සමග සෘජු සබැඳියාවක්  ඇත්තේ හිරුගෙන් සහ සඳුගෙන් පමණි. එහෙත් එයද කිසිසේත් ගුප්ත බලපෑමක් නොවේ. එම බලපෑම් විද්‍යාත්මකව තහවුරු වී තිබේ.
පුද්ගලයෙකුට ඕනෑම කෙනකු සහ ඕනෑම දෙයක් පිළිබඳව විශ්වාස කළ හැකිය. එහෙත් ඒ සියලු විශ්වාසයන්ට වඩා තමන් පිළිබඳව ඇතිකර ගන්නා ආත්ම විශ්වාසය ප්‍රබල බව කිව යුතුය. 
 
සහන් සංකල්ප සිල්වා

අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය රූමත් තරුණියකට උදවු උපකාර කළ හැකි බව කියමින් ජංගම දුරකථන අංක ඉල්ලාගෙන රාත්‍රී කාලයේ ඇය පදිංචිව සිටින නිවස ඉදිරිපිටට ගොස් එයින් පිටතට පැමිණෙන ලෙස දන්වමින් අයුතු යෝජනාවන් කළ බන්ධනාගාර නියාමකයකු පිළිබඳව අනුරාධපුරයෙන් වාර්තා විය.

මෙම තරුණ නිලධාරියා අනුරාධපුර එළිමහන් සිරකඳවුරේ සේවයේ නියුතුව සිටින අතර පසුගිය කාලය පුරාම මෙවැනි සිදුවීම් රැසක් අනුරාධපුර බන්ධනාගාරයේ සේවයේ නියතු ඇතැම් නිලධාරීන් කළ බවට තොරතුරු වාර්තා විය. පසුගිය (15) වැනිදා රාත්‍රියේ තරුණියක් සොයා අනුරාධපුර නව නගරයේ පිහිටි රජයේ නිල නිවසක් ඉදිරිපිටට ගිය අනංග බන්ධනාගාර නියාමකට ඔහුගේ කුරුමානම වැරදී තිබූ බව වාර්තා විය.

මෙම රූමත් තරුණිය ඇගේ සහෝදරියක් සමග අනුරාධපුර බන්ධනාගාරයේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඥාතියකු බැලීම සඳහා කිහිපවිටක් එහි ගොස් ඇති අතර ප්‍රධාන ගේට්ටුව ආසන්නයේ රාජකාරියේ නිරත වූ නියාමක තරුණිය සමග හිතවත්වී ඇයගේ පෞද්ගලික ජංගම දුරකථන අංකය ඉල්ලාගෙන තිබෙන බව වාර්තා විය. දුරකථන අංකය ඉල්ලාගත් දිනයේ රාත්‍රියේ ඇය පදිංචි වී සිටින ස්ථානය නිවැරදිව අනාවරණය කරගත් අනංග බන්ධනාගාර නියාමක අනුරාධපුර නගරයේ පිහිටි රජයේ නිල නිවස ඉදිරිපිටට ගොස් ඇයට ඇමතුම් ගෙන තිබේ.

තරුණිය ඇයට ලැබුණු ඇමතුමට පිළිතුරු දුන් අවස්ථාවේ එම ඇමතුම් දුන්නේ බන්ධනාගාරයේදී හමුවූ නියාමක බව තහවුරු කරගෙන තිබේ. නියාමකවරයා විසින් ඇයට නිවසෙන් පිටතට පැමිණෙන ලෙස ඉල්ලීම් කර ඇතත් තරුණිය එම ඉල්ලීම ප්‍රතික්ෂ්ප කර තිබේ.

“එළියට ඇවිල්ලා අඩුම තරමේ ඔය සුදු මූණවත් පෙන්නලා යන්න” කියමින් බන්ධනාගාර නියාමක ඇයට ආයාචනා කළත් තරුණිය ඊට ප්‍රතිචාර දක්වා නැති බව වාර්තා විය. මේ පිළිබඳව පසු දිනයේ දැනට බන්ධනාගාරගතව සිටින ඥාතියාට ඔවුන් පවසා තිබෙන අතර ඔහු විසින් ඒ පිළිබඳව බන්ධනාගාරයේ උසස් නිලධාරියෙකුට දන්වනු ලැබූවත් ඊට ප්‍රතිචාර ලැබි නැති බව වාර්තා විය. මේ ආකාරයෙන් පසුගිය කාලය පුරාවට බන්ධනාගාරයේ ඇතැම් නිලධාරීන් හා නියාමකයන්  රූමත් කාන්තාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම් හා ලබාගැනීම් කර තිබෙන බවට වාර්තා වූ අතර ඔවුන්ගේ අවශ්‍යතා ඉටුනොවුන හොත් බන්ධනාගාර ගතව සිටින්නන්ට ඊට වන්දි ගෙවීමට සිදුවූ අවස්ථා කිහිපයක්ම මීට පෙර අනාවරණය විය.
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකුගේ  ඥාති සහෝදරියක් සොයා බන්ධනාගාර නියාමකවරයකු රාත්‍රියේ නිවසට යෑම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබි ඇත්ද යන්න පිළිබඳව අනුරාධපුර එළිමහන් සිර කඳවුරේ සහකාර බන්ධනාගාර අධිකාරී කිත්සිරි බණ්ඩාර මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවැසුවේය.

“ මට කිසිම පැමිණිල්ලක් ලැබිලා නෑ. එහෙම සිද්ධියක් වුණා නම් මාව මුණගැහිලා ඔවුන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න පුළුවන්. අනිවාර්යයෙන් මම විනය ක්‍රියාමාර්ග ගන්නවා. බන්ධනාගාරයට එන කාන්තාවනුත් දැනගන්න ඕන නියාමකවරුන්ට දුරකථන අංක නොදී  ඉන්න. ඒ අයත් විවිධ වරප්‍රසාද ලබාගැනීම සඳහා නිලධාරීන්ට දුරකථන අංක දීලා ගැටලු ඇතිකර ගන්නවා.


බුද්ධික මහේෂ් විජේසූරිය, අනුරාධපුර

මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ සංගීතවේදියා විදිහටයි ප්‍රවීණ සංගීතවේදී අයිවෝ ඩෙනිස් වඩාත් ප්‍රකටව සිටින්නේ. එපමණක් නොවෙයි ඔහු සංගීත ගුරුවරයකු මෙන්ම තමාගේම ගීත රැසකට හිමිකම් කියන සම්මානනීය ගායන ශිල්පියෙක්. 85 හැවිරිදි මෙම ‍‍‍ජ්‍යෙෂ්ඨ සංගීතවේදියා මේ වන විට පසුවන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක නොවෙයි. හදිසි අනතුරකට ලක්ව තදබල ලෙස රෝගාතුර වූ අයිවෝ ඩෙනිස් මහතාගේ අලුත්ම තතු මෙලෙස 'රිද්මට' පැවසුවේ ඔහුගේ පුත් තුසිත පින්සිරි පැස්කුවල්. 
 
අයිවෝ ඩෙනිස් මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට හොඳ අතට හැරිලාද තියෙන්නේ? 
මේ වන විට තාත්තා කොළඹ ජාතික රෝහ‍ලේ ගෙවන වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබමිනුයි ඉන්නේ. ඔහුගේ රෝගී තත්ත්වය තවමත් හොඳටම සුව අතට හැරිලා කියලා කියන්න බැහැ. තාත්තාගේ ශරීරයේ දුර්වලකම තවමත් එහෙමම තියනවා. ආහාර විදිහට දෙන්නෙත් දියරමය දේවල් විතරමයි. සංඥාවලින් පිළිතුරු දෙනවා මිස පැහැදිලිව කතා බහ කරන්න පුළුවන් විදිහේ වර්ධනයක් නම් තවම නැහැ. 
 
අවුරුදු 85ක් වැනි වයසක පසු වුණත් රෝගාතුර වෙන්න කලිනුත් ඔහු කලා කටයුතුවලට සහභාගි වුණා නේද? 
ඔව්. හදිසි අනතුරකට ලක්වෙලා බරපතළ විදිහට අසනීප වෙන්න මාස දෙකකට විතර කලින් තමයි තාත්තා අවසන් වරට ප්‍රසංගයකට සහභාගි වුණේ. ඒ බණ්ඩාර ඇහැලියගොඩ මහතා වෙනුවෙන් පැවැත්වූ ප්‍රසංගයක්. එදා තාත්තාගේ ගීත රස විඳපු ප්‍රේක්ෂකයන් හුඟක් සතුටු වුණා. බොහෝ අය තාත්තාව එදා අගය කළා. 
 
කොහොමද ඔහු හදිසියේ මේ විදිහට රෝගාතුර වුණේ? 
ඒ වෙනකොටත් තාත්තා අසනීපයෙනුයි හිටියේ. ශරීරයේ සමතුලිත බව පිළිබඳ ප්‍රශ්නයක් ඔහුට තිබුණා. ඒ නිසා අපි හැමවෙලාවේම ඔහු ගැන විමසිල්ලෙනුයි හිටියේ. ඒත් අපි කවුරුත් නින්දට ගිහින් හිටපු වෙලාවක සිදුවුණු වැටීමකින් තාත්තාගේ මොළය ඇතුළේ ‍ලේ ගැලීමක් සිද්ධ වෙලා තිබුණා. ඒ අනතුරෙන් පසුගිය ඔක්තෝබර් 31 වැනිදා රෝහල් ගත කරපු අවස්ථාවේ ඉඳන් මේ වෙනතුරුම ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබමිනුයි ඉන්නේ. 
 
දිගටම රෝහල් ගතවෙලා ප්‍රතිකාර ලබන්නට සිදුවීම අයිවෝ ඩෙනිස් මහතාගේ පවු‍ලේ අයට මූල්‍යමය වශයෙනුත් විශාල බරක් වෙන්න ඇති නේද? 
ඔව්. තාත්තා මුලින්ම කොළඹ නවලෝක රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ නැවතිලයි ප්‍රතිකාර ලබා ගත්තේ. එතැනින් ජාතික රෝහලට මාරු වෙද්දී අපට රුපියල් ලක්ෂ 25ක බිලක් ගෙවන්න තිබුණා. තාත්තා වෙනුවෙන් නවලෝක රෝහල ඒ බිල ලක්ෂ 19ක් දක්වා අඩු කළා. නමුත් ඒ මුදලත් අපට ණය වෙලා තමයි ගෙවන්න සිද්ධ වුණේ. 
 
ඒ වේලාවේ මූල්‍යමය වශයෙන් උදවු උපකාර කරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැද්ද? 
කාදිනල් තුමා සහ වෛද්‍ය රුවන් ඒකනායක අපට මුදලින් ආධාර කළා. මහාචාර්ය කාලෝ ෆෙන්සේකා හුඟාක් උදවු උපකාර කළා. දැනුම්දීමක් නොකර බැංකු ගිණුමට මුදල් දාපු අයත් හිටියා. ඒත් ලොකු මුදලක් නම් එකතුවෙලා තිබුණේ නැහැ. ජනාධිපති අරමුදලින් මූල්‍යමය ආධාරයක් කරාවි කියන බලා‍පොරොත්තුවෙන් තමයි අපි දැන් ඉන්නේ. 
 
රෝහල් ගත කළාට පස්සේ කලා ක්‍ෂේත්‍රයේ අය ආවාද අයිවෝ ඩෙනිස් මහතාගේ දුක සැප විමසන්න? 
හිතූ තරම් කලාකරුවෝ පිරිසක් තාත්තා බලන්න ආවේ නැහැ. ඒ ගැන හිතේ කනගාටුවක් තියනවා. හැබැයි අපි තවමත් බලා‍පොරොත්තු තබාගෙනයි ඉන්නේ කලාකරුවෝ තාත්තා වෙනුවෙන් යම් උපකාරයක් කරාවි කියලා. 
අයිවෝ ඩෙනිස් මහතා වෙනුවෙන් යම් උපකාරයක් කිරීමට කැමති අයකු වේ නම් ඒ සඳහා 0776792630 යන දුරකථන අංකයෙන් තොරතුරු විමසිය හැකිය. 
 
කිෂාන් කනංකෙ 

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 737

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 354

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3453

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1955

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3947

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5039

Please publish modules in offcanvas position.