Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඔබ අලුත් වැඩකට අත ගහලා කියලා ආරංචියි? 
අලුත් වැඩක් කියලා කියන්න බැහැ. මේ වැඩේ ආරම්භ කළේ කාර්යබහුලකමත් එක්ක. ඒ නිසා වැඩේට ලොකු කාලයක් යොදවන්න බැරි වුණා. ආයෙමත් ඒ වැඩේ ආරම්භ කළේ වැඩි කාලයක් ඒ වෙනුවෙන් කැප වෙලා රට පුරා ව්‍යාප්ත කරන්නත් හිතාගෙනයි. 
 
හරි දැන් අපි කියමුකෝ මොකක්ද ඔය වැඩේ කියලා? 
“Health and fitness with Roshan Ranawana” නමින් ක්‍රියාත්මක වැඩසටහනක්. කමල් ජයතිලක කියලා යෝග්‍යතා උපදේශකවරයෙක් මේ සඳහා මාත් එක්ක එකතු වෙනවා. අපි මේ වැඩසටහන තුළින් ශරීර සෞඛ්‍යය හා යෝග්‍යතාව ගැන ජනතාව දැනුවත් කිරීමක් කරන්නේ. මෙය මිනිසුන් නොදන්නා දෙයක් පිළිබඳ කියා දීමට වඩා අමතක කර දැමූ දෙයක් යළි මතක් කර දීමක් කිව්වට වැරදි නැහැ. අද වන විට බොහොම නිරෝගී ජීවිත ගෙවන වයස 70 අය ඉන්නවා. ඒත් ශාරීරිකව දුර්වල අවුරුදු 30-35 අයත් ඉන්නවා. ආහාර රටාවක් නැති විම,  ව්‍යායාම්වලින් දුරස්වීම. මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතයට වැඩි 
නැඹුරුතාවක් දැක්වීම ආදී කරුණු ඊට හේතුවක් වෙලා. අවබෝධයක් ලබාදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමයි මේ වැඩසටහන යටතේ කරන්නේ. 
 
අද පාසල් ළමුන්ට පවා ටියුෂන් තරගය හින්දා ක්‍රීඩාවට වෙලාවක් හොයා ගන්න බැහැ. රැකියා කරන අයට මේ ගැන හිතන්නවත් බැහැ. ඒ වගේ පසුබිමක ඔබේ වෑයම හරි යයිද? 
රූප රාජිනියන් හදන්නවත් සික්ස්පැක් ඇඟවල් තියෙන කායවර්ධන ශිල්පීන් හදන්නවත් ‍නෙවෙයි මම මේ වැඩසටහන පටන් ගත්තේ. කවුරුත් නිදහසට මොන කාරණා කිව්වත් අපිට යම් තරමකින් හෝ ශාරීරික ව්‍යායාම්වල නිරත වෙන්න බැරි කමක් නැහැ. උදාහරණයක් විදියට අපි හිතමු කාර්යාලයක සේවය කරන කෙනෙක් ගැන. එයා දවස පුරා ඹ්ඪටබ එක පාවිච්චි කරනවා. හැබැයි එයාට පුළුවන් තමන්ගේ ආයතනයේ පඩිපෙළ භාවිත කරන්න. ඒ විදියට තමන් ජීවත් වන වටපිටාව අනුව තමයි මේ වැඩසටහනට සම්බන්ධ වන අයව දැනුවත් කරන්නේ. ඒ නිසයි මම කියන්නේ අපේ වැඩසටහන ප්‍රායෝගිකයි කියලා. 
 
රොෂාන් දැන් ටෙලි නාට්‍යවලවත් වැඩිපුර දකින්න නැත්තේ මේ වගේ සමාජ සේවා වැඩ නිසාද? 
මම හැමදාම රඟපෑවේ තෝරා බේරාගෙනයි. ටෙලි නාට්‍යවලට නිතර ආරාධනා ලැබුණත් මම භාරගන්නේ නැහැ. ජී. නන්දසේනගේ ටෙලි නාට්‍යයක වෙනස් විදියේ චරිතයකට ළඟදී ආරාධනාවක් ලැබුණා. ඒක සටන් පිරි ක්‍රියාදාම ගණයේ කතාවක්. ඒ වගේම සමන් පුෂ්ප ලියනගේ අධ්‍යක්ෂණය කරන අංගම්‍පොර ශිල්පය කේන්ද්‍ර කරගත් නිර්මාණයක “මල් රාළ” කියලා අංගම්‍පොර සටන් ශිල්පියකුගේ චරිතයකුත් මට ලැබුණා. ඒ දෙක විතරයි තෝරා ගත්තේ. 
 
එතකොට චිත්‍රපට? 
මගේ නවතම චිත්‍රපටය “face to face” ළඟදීම තිරගත වේවී. පළමු වතාවට මම දුෂ්ට චරිතයක් රඟපාන්නේ ඒ චිත්‍රපටයේ. ඒ කියන්නේ ළඟදීම මම දුෂ්ටයෙක් වෙනවා. හැබැයි ඒ දුෂ්ටයා සාම්ප්‍රදායික දුෂ්ටයෙක් ‍නෙවෙයි. චිත්‍රපටයේ මම ගමන බිමන ඉරියව් වගේම කටහඬ පවා වෙනස් කරලා රඟපාන්නේ. 
 
ආදරණීය සැමියෙක් විදියටයි අපි හැමෝම ඔබ ගැන දන්නේ. ඉතින් දරු මල්ලෙක් එහෙම හදාගෙන ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න තවම අදහසක් නැද්ද? 
(හිනැහී) බඳින්න කලිනුත් මගෙන් ඇහුවා කවදද බඳින්නේ කියලා. දැන් අහනවා කවදද තාත්තා කෙනෙක් වෙන්නේ කියලා. මම කවදාවත් කිසි දෙයක් මාධ්‍යයට වසන් කරන්නේ නැහැ. තාත්තා කෙනෙක් වන දාට ඒකත් කියනවා. මගේ බිරිඳයි මමයි දෙන්නම කාර්යබහුලයි. “සෙලින්කෝ ලයිෆ්”එකේ අපි දෙන්නම සන්නාම තානාපතිවරු. අපිට කරන්න තව වැඩ කිහිපයක් තියෙනවා. 
ඉන් පස්සේ ආදරණීය දරු පැටියෙක් ගැනත් හිතලා බලනවා. 
 
චන්ද්‍රලතා තන්ත්‍රිගේ

"දියවැඩියාවට නිශ්චිත ගුණ දෙන බව පැවසෙන කොතල හිඹුටු, තෙබු, මස්බැද්ද, ආදී දේශීය ශාක වර්ග භාවිතයට බටහිර වෛද්‍යවරුන් ජනතාව නොපොළඹවන්නේ මන්ද?"

මේ පැනය මගේ වෘත්තීය ජීවිතයේ දී සිය දහස් වරක් රෝගීන්ගෙන් ඇසී තිබේ.

ඊට අමතරව දියවැඩියාව නිට්ටාවට සුවකරන වෙදමහතුන් පිළිබඳව රූපවාහිනිය, පුවත්පත්, සමාජ ජාලා, වෙළඳ දැන්වීම් තුළින් සේම පුවත්පත් ලිපි විශේෂාංග සහ රූපවාහිනී,ගුවන්විදුලි වැඩසටහන් ආදියෙන් පැවසෙන තොරතුරු පිළිබඳවද බොහෝ දෙනෙක් අපෙන් විමසා සිටිති.

'කෙබු (Costus speciosus)'

බටහිර වෛද්‍ය වෘත්තිකයන් වන අපට ඉන් පරිබාහිර වූ වෛද්‍ය ක්‍රම පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි යමෙකුට හැඟී යා හැක. එහෙත් දියවැඩියා රෝගය සම්බන්ධ ලොව පුරා කරනු ලැබූ අති නවීන පරීක්ෂණ මඟින් එම රෝගයේ ස්වභාවය  අද වන විට මනා සේ හඳුනාගෙන ඇත. එය ඉක්මවා යා හැකි නවතම සොයා ගැනීමක් ලොව සිදුව තිබේනම් එය ඒකාන්ත ලෙසම වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයකට හිමිකම් කියන සොයා ගැනීමක් ම වනු ඇත.

දියවැඩියා රෝගය කාණ්ඩ දෙකකින් යුක්තය. ඉන් පළවෙනි කාණ්ඩය ලෙස හඳුනාගත හැක්කේ අග්න්‍යාසයේ (Pancreas) ඉන්සියුලින් (Insulin) නම් හෝමෝනය නිශ්පාදනය වීම අඩුවීමත් සමඟ රුධිරයෙහි සීනි සංයුතිය ඉහළ යාම මත ඇති වන තත්ත්වයයි.

දියවැඩියා රෝගයේ දෙවෙනි කාණ්ඩය වන්නේ රුධිරයේ සමාන්‍ය ඉන්සියුලින් සංයුතියක් ඇතත් ශරීරයේ සෛල විසින් එම ඉන්සියුලින් කෙරෙහි දක්වන සංවේදීතාවය අවමවීමය. මේ රෝග තත්ත්වයන් දෙකම 'නිට්ටාවටම සුව කළ නොහැකි' රෝග තත්ත්වයන් බව මේ වන විට විද්‍යාත්මක වශයෙන් අතිශයින් පැහැදිළි වී තිබේ.

මෙම රෝගය නිට්ටාවටම සුව කළ නොහැකි වුවද එම රෝග තත්ත්වය තුළ වුව ශරීරයේ සීනි සංයුතිය පාලනය කිරීමෙන් එම රෝගය පාලනය කර ගැනීමට සේම එයින් ඇති වන අතුරු ඵල වලක්වා ගැනීමට හා අවමකර ගැනීමට පුළුවන.

'කොතල හිඹුටු (

දියවැඩියාව නිසා ශරීරයේ ප්‍රධාන වශයෙන් හානි පැමිණවෙන ඉන්ද්‍රියන් තුනකි. එනම් හෘදය වස්තුව, ඇස් සහ වකුගඩුය.

දියවැඩියාවෙන් හෘදය වස්තුව ආශ්‍රිත කිරීටක ධමනි ආදියට සිදුවන හාහි Diabetic Angiopathy නමින් හැදින්වෙන අතර ඇස් වලට සිදුවන හානිය Diabetic Retinopathy ලෙසින් හැඳින්වෙයි. මේ අතර වකුගඩු වලට සිදුවන හානිය හැඳින්වෙනුයේ  Diabetic Nephropathy යනුවෙනි.

මෙහිදී සිදුවනුයේ ශරීරයේ ඉන්සියුලින් නිපදවීම හෝ ඒවා කෙරෙහි ශරීරයේ සෛල සංවේදී නොවීම මත එම ඉන්ද්‍රියන් කෙමෙන් අකර්මන්‍ය වීමය. මීට අමතරව දියවැඩියාව යනු ශරීරයේ කෙස් නිය ඇතුළු සෑම ඉන්ද්‍රියකම, ‍සෑම සෛලයකටම බලපාන රෝගයක් ලෙස හැඳින්වේ. දියවැඩියාව මගින් ශරීරයේ පර්යන්ත ස්නායු පද්ධතියට සිදුවන හානිය හැඳින්වෙනුවේ Diabetic Neuropathy යනුවෙනි.

මෙහිදී දියවැඩියාව සුව වීම කෙසේ වෙතත් ශරීරයේ සීනි මට්ටම පාලනය කෙරෙන ඖෂධ සහ ආහාර වර්ග ඕනෑම තරම් තිබිය හැක.  රෝගීන් අප වෙතින් විමසන කොතල හිඹුටු, තෙබු, මස්බැද්ද ආදී ශාක වර්ග ඉන් කීපයකි.

මේ හැරුණු කොට ලෝකයේ සෑම රටකම දියවැඩියාවට ගුණ දෙන බව පැවසෙන වෙනත් ශාක වර්ග ඇති බවද නොරහසකි.

නමුත් මේ බොහෝ ශාකයන් ආහාරයට ගැනීමෙන් ශරීරයේ සීනි සංයුතිය අඩුවන බවට සායනිකව තහවුරු වී නැත. තවත් ශාක වල රුධිරයේ සීනි සංයුතිය අඩුකරන සංඝටක ඇති බවට නිරීක්ෂණ අධ්‍යයන (Observational studies) මගින් තහවුරු වී තිබේ.  එහෙත් එම ශාක  භාවිතා කළ යුතු මාත්‍රාව සහ එම මාත්‍රාව භාවිතා කිරීමෙන් පසු අඩුවන සීනි සංයුතියේ ප්‍රමාණය, ඒවා භාවිතයෙන් ඇතිවන අතුරු සහ පශ්චාත් ඵල  ආදිය මුල්කොට සායනික අත්හදා බැලීම් (Clinical Trial)  කිසිවක් සිදුවී නැත. නමුදු   ඒ ශාක භාවිතය සම්බන්ධයෙන් ඇතැමුන් අහඹු රුධිර පරීක්ෂණ සිදුකොට ඇති අවස්ථා තිබීමට පුළුවන.

'මස්බැද්ද (Gymnema sylvestre)'

නමුත් එසේ අහඹු රුධිර පරීක්ෂණ මගින් රුධිරයේ සීනි මට්ටම පමණක් පරීක්ෂා කොට එය භාවිතයට සුදුසුය යන නිගමනයකට එළඹීම විද්‍යාත්මක ක්‍රමවේදයක් නොවේ. මීට අමතරව කොතල හිඹුටු, මස්බැද්ද, තොබු ආදී ශාක වර්ග ආහාරයට ගැනීමෙන් ශරීරයේ සීනි සංයුතිය අඩුවූ පමණින් එය ඖෂධ මාධ්‍යයක් වශයෙන් භාවිතා කිරීම නිර්දේශ කිරීමට අපට නොපුළුවන. එබැවින් එවන් ශාක වර්ගයක් නිතර නිතර අධික ලෙස භාවිත කිරීමෙන් වකුගඩු, අක්මාව ආදී ඉන්ද්‍රියන්ට සිදුවන හානි පිළිබඳව විධිමත් පරීක්ෂණ සිදුවී නොමැති බැවින් ඒවා වැඩිපුර ආහාරයට ගන්නා ලෙස නිර්දේශ කිරීමට ද වෛද්‍යවරුන් වන අපට නොපුළුවන.

ප්‍රෝටීන, මේද, කාබෝහයිඩ්‍රේට්, ලවණ, විටමින්, ජලය යන අංග හය සහිත සමබර ආහාරයක් ගන්නා ලෙසත් ඉහත සඳහන් පදාර්ථයන් ගෙන් යමක් අඩුවුවහොත් එය සපුරාගැනීම පිණිස ආහාර මාධ්‍ය භාවිතා කිරීම පිළිබඳවත් උපදෙස් දීමට හැකි වුවද ශරීරයේ සීනි සංයුතිය පාලනය කිරීම සඳහා අසවල් ශාක වර්ගය වැඩිපුර ආහාරය ගන්නා ලෙස රෝගීන්ට උපදෙස් දීමට අපට බටහිර වෛද්‍ය විද්‍යාත්මක සේම වෛද්‍ය ආචාරධර්මීය හැකියාවක් ද නැත.

බටහිර වෛද්‍යවරුන් ලෙස කොතලහිඹුටු, මස් බැද්ද, තෙබු ආහාරයට ගැනීමෙන් දියවැඩියාව සුව වන බවට හා සමනය වන බවට රෝගීන්ට උපදෙස් දීමට අපට නොහැක්කේ ඒ පිළිබඳ නිසි වගකීමක් දැරීමට අපට කෙසේවත් නොහැකි බැවිනි.

හෘද රෝග  විශේෂඥ වෛද්‍ය  නාමල් විජේසිංහ,

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,

ශ්‍රීමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය,

රත්මලාන. 

තම සැබෑ මව සොයා ගැනීමේ අරමුණින් එංගලන්තයේ සිට මෙරටට පැමිණි දියණියක් වසර 37ක් පුරා තම මව සොයන බවත් කෙසේ හෝ සිය මව සොයා ගැනීම අරමුණ  බවත් බත්තරමුල්ල ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසුවාය. ඇය පවසන පරිදි සිද්ධිය මෙසේය.
“ ‍ලේ කිරි බැම්ම තරමට ශක්තිමත් කිසිවක් මෙලොව නැති තරම් යනුවෙනි. මේ වනවිට එංගලන්තයේ ජීවත්වන අය රෙබෙකා නලයිනී පරරාජසිංහම් නමැති 38 හැවිරිදි දරුවන් සිව් දෙනකුගේ මවකි. ඇය ඉපදී ඇත්තේ 1979 වසරේදීයි. ඒ කොළඹ සොයිසා කාන්තා රෝහ‍ලේදීය. අනතුරුව ඇය මාස තුනක පමණ කාලයක් රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ නේවාසිකව හිඳ ඇත.
දරුවන් අහිමි ශ්‍රී ලාංකීය ද්‍රවිඩ යුවළක් වන සෙල්වරාජම් හා ලීලාවදී යුවළ ඇය හදාවඩා ගැනීමට කැමැත්ත පළ කිරීම හේතුවෙන් ඇයගේ නීත්‍යනුකූල අයිතිය 1979 වසරේදී කොළඹ පවුල් අධිකරණයේ තීන්දුවකට අනුව එම ද්‍රවිඩ යුවළට හිමි වී තිබිණි. ඉන් අනතුරුව ඔවුන් රෙබෙකාවත් රැගෙන එංගලන්තයේ පදිංචියට ගොස් තිබිණි.
පිටරට ජීවත්වන දරුවන් මෙලෙස ලංකාවට පැමිණ සිය සැබෑ මව්වරුන් සොයා ගත් බොහෝ අවස්ථාවන්හි තමා දැක ඇති අතර තමන්ට මව සෙවීමේ සිතුවිල්ල අවශ්‍යතාවය අට හැවිරිදි වියේ සිටම තිබූ බව කියන ඇය මේ වන විට විවාහක සිව් දරු මවකි. ඉතා හොඳින් අධ්‍යාපනය හැදෑරූ ඇය බ්‍රිතාන්‍යයේ අයිකොන් සමාගමේ ජීව විද්‍යාඥවරියක හැටියට රැකියාව කරයි. ඇයගේ සැමියා අර්ජුනන් තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂවරයකු හැටියට කටයුතු කරයි.
ඇය අවසන් වරට ඉල්ලා සිටින්නේ තම මව හෝ ඥාතියෙකු සම්බන්ධ තොරතුරක් ලබා දීමට කාරුණික වන ලෙසත්  සැබෑ මව දැකීම සහ ඇයට උපකාර කිරීම තම ඒකායන අරමුණ බවත්ය.යම් තොරතුරක් වෙතොත් 071 - 9408866 දුරකථන අංකයට හෝ එන්. වීරසිංහ - 155, ඉහළ බෝමිරිය, කඩුවෙල. යන ලිපිනයට තොරතුරු දන්වන ලෙසත් ඇය කාරුණිකව ඉල්ලා සිටී.

අමා ද  සිල්වා - කඩුවෙල

එය ප්‍රධාන මාර්ගයක සිදුවූ බිහිසුණු රිය අනතුරකි. එම රථයේ ඉදිරිපස වම් අසුනේ සිටි කාන්තාව එම අනතුරින් බරපතල තුවාල ලැබුවාය. ඉන්පසුව පළමුව අද්දර ප්‍රාදේශීය රෝහලකටත් දෙවනුව මහ රෝහලකටත් මාරු කරනු ලැබූ ඇය යළි සාමාන්‍ය තත්ත්වයකට පත්වූයේ මාස කිහිපයකට පසුවය. ඉනි'ක්බිතිව ඇය එම අනතුර පිළිබඳව මෙලෙස විස්තර කළාය.

"ඒ ඇක්සිඩන්ට් එක වුණු වෙලාවේ මට දරාගන්න බැරි තරම් වේදනාවක් දැනුණා. ඒ එක්කම ඒ වේදනාව වේගයෙන් අඩුවෙලා ඇඟට අමුතුම සනීපයක් දැනෙන්න පටන් ගත්තා. ඒත් එක්කම මට තේරුණා; මගෙ ඇ‍ගෙන්  වෙන්වෙලා මාව අහසට යන බව. නමුත් වැඩිය ඉහළට ගියේ නැහැ. අඩි 6- 7 ක් ඉහළ අහසේ මම නතර වුණා. එතකොට මම දැක්කා කාර් එක ඇක්සිඩන්ට් වෙච්ච තැනට සෙනඟ එකතුවෙනවා. ලේ නෑවිලා තිබුණු මගේ ශරීරය කාරෙකෙන් එළියට ඇදල ගන්න හැටිත් මං දැක්කා. ඒ අතරෙ සමහරු කිව්වා මෙයාව නං ඉස්පිරිතාලෙ ගෙනිහින් වැඩක් නෑ දැනටමත් ඉවරයි වගේ කියලා. කොහොම හරි ඒ වෙලාවෙ ආපු වාහනයක පටවල මගේ ශරීරය වේගෙන් අරන් යනවා මම දැක්කා. මාත් අහසින් ඒ එක්කම වගේ ගිහින් මගේ ශරීරයට රිංගන්න බැලුවා. කීප සැරයක් උත්සාහ කළාම මට මගේ ශරීරයට රිංගගන්න පුළුවන් වුණා. ඊට පස්සේ මට මගේ ශරීරයේ උණුසුම දැනුණා. ඒ එක්කම අර වේදනාවත් ටික ටික දැනෙන්න පටන් ගත්තා."

ඉහත සඳහන් වූයේ මීට වසර ගණනාවකට ඉහත හදිසි අනතුරකට පත් වූ කාන්තාවක මාහා කී විස්තරයකි. ඇගේ මෙම ප්‍රකාශයත් සමඟම අප කාගේත් සිහියට නැගෙන වදනක් වේ. එනම් 'මනෝ කාය' යන්නය. මෙම 'මනෝ කාය' පිළිබඳව බොහෝ දෙනෙකුට අත්දැකීම් ලැබී ඇත්තේ මරාන්තික අනතුරු වලට පත්ව 'මරණයේ දොරකඩට' ගිය අවස්ථා වලදීය.

ඒ අනුව මරණයේ එළිපත්තෙන් ඇතුළට නොගොස් යළි මෙපිටට පැමිණි බොහෝ දෙනෙක් මීට අතිශයින් සමාන අත්දැකීම් හෙළි කරති.

NDE යන නාමයෙන් ලොව පුරා ප්‍රචලිත මරණාසන්න අත්දැකීම් (Near Death experience) පිළිබඳව ලොව පුරා මෙතෙක් සිදු වී ඇති සහ සිදුවෙමින් පවතින වාද විවාද බොහොමයකි. මේ සම්බන්ධයෙන් ලියැවුණු පොත පත ද බොහෝ ය. ඒවා අතරින් රේමන්ඩ් මූඩ් විසින් ලියන ලද 'ජීවිතයෙන් පසු ජීවිතය (Life after Life)' පිටපත් දශලක්ෂ ගණනින් අලෙවි වූ සහ භාෂා විශාල ගණනකට පරිවර්තනය වූ ග්‍රන්ථයකි.

මරණාසන්න අත්දැකීම් යනු යමකු මිය යන මොහොතේ තම සිරුරින් නික්මෙන ද්විතියික ශරීරයක් මුල් කොට ගත් අත්දැකීම් සම්භාරයකි. ඒ සම්බන්ධ අත්දැකීම් ඇත්තවුන් පවසන්නේ තම සිරුරින් වෙන් වූ යම් පදාර්ථයක් විසින් තම සිරුරට අඩි හතරක පහක නැතිනම් ඊටත් මදක්  උස ප්‍රමාණයක සිට ප්‍රාණය නිරුද්ධ තම සිරුර දුටු බවකි. අපට යමක් දැකීම පිණිස ඇස නම් වන භෞතික ඉන්ද්‍රිය තිබිය යුතු ය. එහෙත් මේ අත්දැකීම්වලට අනුව එසේ දකිනුයේ මෙතෙක් හඳුනා නොගැනුණු සංවේදී පථයක් මඟින් බව පැවසෙයි.

නමුදු මෙම මරණාසන්න අත්දැකීම්වලට අතිශයින් සමාන අත්දැකීම් තමන් ජීවත්ව හිඳින කාලය තුළ දී ද බො‍හෝ දෙනෙක් අත්විඳ තිබේ. ශල්‍ය කර්මවලදී නිර්වින්දනය වීම සඳහා ලබා දුන් කෙටමීන් (Ketamine) වැනි නිර්වින්දක ඖෂධ ශරීර ගත වූ පසු මෙම  'සිරුරින් බැහැර' අත්දැකීම් ලැබීම ඉතා ස්වභාවික ය. LSD (Lysergic Acid Diethylamide) වැනි භ්‍රාන්තිජනක මත්ද්‍රව්‍ය මඟින් ද මෙම අසාමාන්‍ය අත්දැකීම් ජීවිත කාලය තුළ දීම ලද හැක. ඒ අනුව මේවා හුදෙක් භ්‍රාන්තිමය අත්දැකීම් විය නොහැකි ද යන්න පිළිබඳව විද්වතුන්ගේ අවධානය යොමු වී තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනීවා විශ්ව විද්‍යාල රෝහලේ දී විශේෂඥ වෛද්‍ය ඔල්ෆ් බලාන්ක් ඇතුළු වෛද්‍ය කණ්ඩායමකට මේ සම්බන්ධ වැදගත් අනාවරණයක් ලොව හමුවේ ගෙන ඒමට හැකි විය. ඒ ස්නායුවේදය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණයක අහඹු ඵලයක් වශයෙනි.

එක්තරා කාන්තාවකගේ මොළයේ ස්නායු සම්බන්ධයෙන් කරනු ලැබූ විමර්ශනයක දී මොළයේ විවිධ කලාප වලට ඉලෙක්ට්‍රෝඩ මඟින් උද්දීපන ලබා දෙන අතරේ එක් අවස්ථාවක තම සිරුර කයින් වෙන් වී අහසේ පාවෙමින් තිබෙනු එම කාන්තාව දැක තිබේ. මේ මොහොතේ වෛද්‍ය බ්ලාන්ක් උද්දීපනය ලබා දී තිබුණේ ඇගේ මොළයේ කෝණික ගයිරසය(Angular Gyrus) නමැති කොටසට ය. ඇය විසින් පසුව කරන ලද එම ප්‍රකාශය අනුව වෛද්‍ය බ්ලාන්ක් විසින් ඇගේ මොළයට යළිත් එවැනිම ඉලොක්ට්‍රෝඩ උත්තේජන ලබා දී ඇත. යම් සාධක සමුදායක් මුල් කොට යම් ප්‍රතිඵලයක් ලැබේ නම් ඒ සාධක නැවත නැවතත් එලෙස ම ඉදිරිපත් කළ විට එම ප්‍රතිඵල ඒ අයුරින් ම නැවත ලැබිය යුතු ය යන්න විද්‍යාත්මක පර්යේෂණවල ක්‍රමවේදයයි. ඉන්පසු පර්යේෂකයන් එය පදනම් කර ගෙන විද්‍යාත්මක වාර්තා ඉදිරිපත් කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි. ඒ අනුව මොළයේ කෝණික ගයිරසයට උත්ඡේදනයක් ලබා දී මේ දී යමෙකුට සිරුරෙන් බැහැර අත්දැකීම් (Out of Body Experience) ලැබිය හැකි බව මුල්වරට අනාවරණය කර ගැනීමට වෛද්‍ය බ්ලාන්ට් ඇතුළු පිරිසට හැකි විය.

2002 වසරේ ඔක්තෝබර් 19 නේචර් (Nature) සඟරාවේ මෙම පර්යේෂණ වාර්තාව පළ කර තිබුණි.

කුමන වයසක, කවර තරාතිරමක වේවා පුද්ගලයකු මරණයට පත්වීම පිණිස මුල් වන කායිකමය හේතූන් තුනක් ඇත. හෘද අකර්ණීය (Cardiac Arrest) ඉන් පළමුවැන්නයි. දෙවැන්න ශ්වසන පද්ධතියේ ඇති වන ක්‍ෂණික අකර්මණ්‍යතාවය (Respiratory Arrest) ය. මධ්‍ය ස්නායු පද්ධතියේ ඇති වන ප්‍රබල ප්‍රාථමික රෝග තත්ත්වයන් (Primary Brain Diseases) යමකු මරණයට මුල් වන තෙවන හේතුව ය. මින් එකක් මරණය සඳහා මුල් වන අතර ඉන්පසු අනෙක් කරුණුත් ඊට සාපේක්ෂව සිදුවීමෙන් මරණය සිදු වනු ඇත.

හෘද අකරණියක් මුල් කොට මරණය සිදු වන්නේ දරුණු හෘදයාබාධයක් හෝ හෘදය සංකෝචනය වන රිද්මයේ ප්‍රබල වෙනසක් (Arrhythmia) වීමෙනි. මේ සඳහා මුල් වන හේතූන් රාශියකි.

මීට අමතරව ඇදුම, නියුමෝනියාව වැනි රෝග ප්‍රබල ලෙස ඇති වූ විටත්, කෘමිනාශක වැනි දරුණු විෂ ශරීරගත වීම හේතුවෙනුත් ශ්වසන පද්ධතියේ ඇතිවන ක්‍ෂණික අකර්මණ්‍යතාවක් සිදුවනු ඇත.

මොළයේ මධ්‍ය ස්නායු පද්ධතියේ ඇති වන ප්‍රබල ප්‍රාථමික රෝග තත්ත්වයන් ලෙස මොළයේ උණ, මොළයේ මැලේරියාව, අක්මාව අකර්මණ්‍ය වීමෙන් සිහි විකල්වීම වැනි තත්ත්වයන් දක්වන්නට පුළුවන.

අප මේ කී අවස්ථා තුනෙන් මුල් අවස්ථා දෙකේ දී හෘදය හා ශ්වසනය ක්‍රියා විරහිත වුවත් මොළයේ ක්‍රියාකාරීත්වයට ඉන් ක්‍ෂණික බලපෑමක් සිදු නොවේ. කිසියම් ආකාරයකට කෘත්‍රිම උත්තේජක ලබා දී එමඟින් හෘදය සහ ශ්වසනයේ පැවැත්ම තබා ගත හොත් මොළය ඇතුළු වැදගත් ඉන්ද්‍රියයන්හි රුධිර ගමනාගමනය යන්තමින් හෝ පවත්වා ගත හැක. ඒ නිසා එම ඉන්ද්‍රියයන් තවදුරටත් පවත්වා ගැනීමට අවස්ථාව ලැබේ.

මරණාසන්න අත්දැකීම් නැතහොත් සිරුරින් බැහැර අත්දැකීම් (Our of body experience) වශයෙන් එක් එක් පුද්ගලයන් මත පළ කොට ඇත්තේ මෙම අවස්ථා දෙකේ දී මරණාසන්න වූ විට දී බව සනාථ වී තිබේ. හේතුව මේ අවස්ථා දෙකේ දී ම මොළයේ විද්‍යුත් සහ ජෛව රසායනික ක්‍රියාවලියේ ඇණ හිටීමක් සිදු නොවීම ය. ඒ අනුව ඒ පුද්ගලයාගේ විඥාන ශක්තියේ ඇණ හිටීමක් ඇති නොවේ.

නමුත් තෙවනුව කී මොළයේ මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඇණ හිටියොත් ඒ මොහොතේ ම ඒ පුද්ගලයාගේ මරණය සිදුවන බැවින් ඔහුට ඉහත කී අන්දමින් 'මරණාසන්න අත්දැකීම්' ලැබීමට අවකාශයක් නැත. ඒ අනුව 'මරණාසන්න අත්දැකීම්', 'සිරුරින් බාහිර අත්දැකීම්' යන මේවා එක් එක් පුද්ගලයා සම්බන්ධ මනෝමය සහ කායික තත්ත්වයන් වශයෙන් විස්තර කළ හැක. 

මෙම 'මරණාසන්න අත්දැකීම්' සහ 'සිරුරෙන් බැහැර අත්දැකීම්' සඳහා ඉහවල්වන සෘජු මනෝ විද්‍යාත්මක හේතුවක් ද තිබේ. එය හැදින්වෙනුයේ 'විෂ්පෞරුෂායණය (Depersonalization)' යනුවෙනි.

තම ජීවිතයේ, පැවැත්ම සම්බන්ධයෙන් තමන්ට දරාගත නොහැකි අභියෝගයක් එල්ලවීමේ දී ඇතැම් පුද්ගලයන් තුළින් ඔවුන්ගේ සාමාන්‍ය පෞරුෂය ගිලිහී යා හැක. එවිට එතැන් සිට ඔවුන් ක්‍රියාකරනුයේ තම උප විඥානයේ  කලක් තිස්සේ රැඳුණු විස්වාස සහ මතිමතාන්තර අනුවය. ඉහත සඳහන් රිය අනතුරට මුහුණ පෑ තරුණියට එම ඇත්දැකීම දරා ගත නොහැකි වූ තැන ඇය කෙරෙන් ඇගේ පෞරුෂය ගිලිහී ගොස් තිබේ.

ඇයට තම ශරීරයෙන් 'මනෝ කාය' වැනි යමක් පිටව අහස් ගත වන බව හැ‍ගෙනුයේ ඒ අනුවය. බොහෝවිට ‍ප්‍රකෘති සිහියෙන් බැහැරව සිටියද තමන් අවට පරිසරයේ සිදුවන සිදුවීම් පිළිබඳ යම් සංවේදීතාවක් ඇය සතුව තිබේ. ඇය මිය ගොස් ඇතැයි යමෙකු පැවසීම ඇතැම් විට ඇයට සැබැවින්ම ඇසුණු දෙයක් වීමට පුළුවන. නොඑසේනම් එය ඇගේ මනෝ භාවයක් වීමට ද බැරි නැත.

ඒ කෙසේ හෝ මෙබඳු විද්‍යාත්මක කරුණු පදනම් කොට වුව මරණයත් සමඟ තම සිරුරෙන් පිටවන ආත්මයක් ඇතැයි යන මිථ්‍යාව බැහැර වීමට බොහෝ දෙනෙකු කැමති නැත.

ඊට හේතුව මිථ්‍යා විශ්වාස යනු අපේ සහජතාවය සමඟ 'ගසට පොත්ත' මෙන් සහ සම්බන්ධ වී ඇති අපගේ මානසික ගැටළු අර්බුද වලට නොවිධිමත්, තාවකාලික විසදුම් සපයන සිතතුළ සැඟවුණු අදහස් උදහස් මතිමතාන්තර සමුදායක් බැවිනි.

තිලක් සේනාසිංහ

වත්මන් සමාජයේ චරිතය මුල්කොට චෝදනා අපවාද ආදියට ලක්වන කාන්තාවන් අතුරින් 'නිළිය' ප්‍රධාන තැනක් ගන්නා බව නොරහසකි. එනිසාම ටෙලිනාට්‍ය හෝ සිනමා ක්‍ෂේත්‍රයන් හට තරුණියන් සම්බන්ධ කරවීම පිළිබඳව බොහෝ වැඩිහිටියන් නොකැමතිවන අවස්ථාද තිබේ. මේ තත්ත්වය දිනෙන් දින ඉහළ නැංවෙන බවක් පෙනෙන්නට තිබේ.

අප ජන සමාජයේ අනේක විධ කාන්තා පාර්ශව අතරින් නිළියන්ගේ චරිතය සම්බන්ධ අපවාද බහුල වීමට හේතුව කුමක්ද? මෙය පාර්ශව කිහිපයකින් විමසා බැලිය යුතු කරුණකි.

පොදුවේ ගත් කළ 'නිළිය' යනු අනුරාගයේ සංකේතයකි. බොහෝ විට 'නිළිය' යන වදන පෙරටුකොට රූමත් යන වදන යෙදුණ හොත් එම වදනෙහි ඇති අනුරාගය, ශෘංගාරාත්මක බව තවත් තීව්‍ර වේ.

අපි කෙටි නිදසුනක් ගනිමු,

'සම්බාහන මධ්‍යස්ථානයක සිටි තරුණියක් අත්අඩංගුවට' යන පුවත්පත් සිරස්තලයේ තරුණියක් යන වදන පෙරටු කොට 'රූමත්' යන වදන යෙදුවහොත් එහි ආකර්ෂණීය බව තරමක් වැඩිවේ. එමෙන්ම එම 'රූමත් තරුණිය' යන්න වෙනුවට 'නිළියක්' යන්න යෙදුවහොත් ඊට වඩා වැඩි පිරිසක් එම ප්‍රවෘත්තිය කෙරෙහි ඇදී එති. එහිදී ද එම 'නිළියක්' යන වදනට පෙරටුව 'රූමත්' යන වදන යෙදුවහොත් එය ජාතික අවධානයට ලක්කර ගත හැකි මට්ටමේ පුවතක් වනු ඇත.

මෙහිදී එම තැනැත්තියගේ රූමත් බව හෝ වෘත්තීය මට්ටම එතරම් වැදගත් නොවේ. ටෙලිනාට්‍යයක හෝ චිත්‍රපටයක සමූහ දර්ශනයකට පෙනීසිටි තැනැත්තියකට වුවද මෙම 'නිළිය' යන නාමය ප්‍රදානය කළ හැක. 'නිළියන්' සම්බන්ධයෙන් චරිතාපවාද සමාජය පුරා පැතිර යාමට මුල්ම හේතුව එයයි.

අප කාටත් අකමැත්තෙන් හෝ පිළිගත හැකි පරිදි මානව ශිෂ්ටාචාරයේ ආරම්භයටත් පෙර සිටම අද දක්වා සෑම සමාජයකම 'ස්ත්‍රී වෙළඳපොළක්' දක්නට ලැබේ. එහි වෙනස්කම් පවතිනුයේ එම ‍වෙළඳපොළ තුළ ස්ත්‍රිය අලෙවිවන ප්‍රමාණයේ අඩුවැඩි බව හා ස්ත්‍රිය අලෙවිවීමේ මුහුණුවරෙහි පමණි.

නූතන සමාජයේ සෑම තරාතිරමකම ස්ත්‍රීහු යම් යම් ක්‍රම මඟින් පුරුෂයාගේ ලිංගික ගොදුරු බවට පත්වෙති. මෙහිදී ස්ත්‍රී දූෂණය යනු විවෘත පැතිකඩක් පමණි. ඊට අමතරව අප සමාජයේ සෑම ජනකොටසක් තුළම අදටත් ලිංගික වශයෙන් ස්ත්‍රී සූරාකෑම අඩුවැඩි වශයෙන් දක්නට තිබේ.

බොහෝ දෙනෙකු නොසිතන උසස් සමාජ තලයන්හි පවා ඉතා අප්‍රකට ලෙස මෙම 'ලිංගික සූරාකෑම' සිදුවේ. 'සූරාකෑම' යනු වෙළඳ ක්‍රමයක පවත්නා අවිචාරවත් කොටසකි. නමුත් මෙම 'සූරාකෑම' දොරකවුළු වැසූ ගොඩනැගිල්ලක් තුළ සිදුවන්නක් මෙන් අප්‍රකටව සිදුවන නිසා ඒ පිළිබඳ විවෘත සමාජ කතිකාවක් පැන නොනගී. එහෙත් මේ ස්ත්‍රී ඛේදවාචකයේ සමාජයට මුළුමනින්ම විවර වූ කවුළු දෙකක් ඇත. එනම් සෘජු හා අර්ධ ගණිකා ව්‍යාපාරයයි. අනෙක කලා ක්‍ෂේත්‍රයයි.

අප කවුරුත් දන්නා අන්දමට 'නිළිය' සමාජමය වශයෙන් 'සන්නාමයක්' (Brand) හිමි තැනැත්තියකි. ඒ අනුව ඇගේ සියලු ක්‍රියාකාරකම් සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිරයාමේ පහසු හැකියාවක් තිබේ. ඒ අනුව අප ජන සමාජයේ වෙනත් කන්තාවක පිළිබඳ තොරතුරකට වඩා 'නිළිය' පිළිබඳ තොරතුර වේගවත්ව පැතිර යයි. ඒ සඳහා විධිමත් සේම නොවිධිමත් ජනමාධ්‍ය මඟින් මනාපිටුවහලක් ලැබේ.

රැකියා අවස්ථාවක් හෝ රැකියා උසස්වීමක්, ඉහළ වෘත්තීමය තත්ත්වයක්, කීර්තියක් හෝ වෙනයම් සමාජීය වරප්‍රසාදයක් අපේක්ෂාවෙන් පුරුෂයකුගේ ලිංගික සූරාකෑමට ලක්වන කාන්තාව නූගත් නොදියුණු ග්‍රාමීය සමාජයේ සිට උගත් දියුණු නාගරික සමාජය තුළද අඩුවැඩි වශයෙන් දක්නට පුළුවන. එහෙත් එම කාන්තාවන් 'සන්නාම' ගත වී නොමැති බැවින් ඔවුන්ගේ එම චර්යාවන් මුල්කොට  සමාජ කතිකාවක් ගොඩ නැඟී නැත. සයිමන් නවගත්තේගමයන්ගේ 'සුද්දිලාගේ කතාව' වැනි කෘති තුළින් එළි දැක්වුණු නූගත් බව සහ දිළිඳු බව පදනම් කරගත් කාන්තාවන් ලිංගික සූරාකෑමට ලක්වීම මුල්කොට හෝ ශ්‍රී ලාංකිය ගැමි කාන්තා එලෙස සන්නාම ගත වූයේ නැත. මක්නිසාද ඇය පොදු ශ්‍රී ලාංකික ජන සමාජයේ න්‍යෂ්ඨිය හා බද්ධව සිටි බැවිනි.

එහෙත් විවෘත ආර්ථිකයත් සමඟ ඇගලුම් සේවිකාව එලෙස 'සන්නාම' ගත වූ අයුරු අපට මතකය. නමුදු ‍ශ්‍රී ලංකාවේ සෙසු බොහෝ කර්මාන්ත ක්‍ෂේත්‍රයන් තුළ කාන්තා ශ්‍රමය ව්‍යාප්ත වීමත් සමඟම එම සන්නාමය කෙමෙන් මැකී යන්නට විය. එහෙත් චරිතය මුල්‍ කොට ගත් අපවාද එක්රොක් වීම පිණිස 'නිළිය' යන 'සන්නාමය' අද ද සමාජ භාවිතාවේ පවතී.

තමන්ට රංගන අවස්ථාවක් ලබා ගැනීමට හෝ කලා ක්‍ෂේත්‍රයේ යහපත් අවස්ථාවක් උදාකර ගැනීමට සේම මිල මුදල්, යාන වාහන ඇතුළු වෙනත් සමාජීය වරප්‍රසාද උදෙසා තම ලිංගිකත්වය කැප කරන 'නිළියන්' අප සමාජයේ නොසිටියහොත් එය ලෝක පුදුමයකි. එහෙත් එසේ ලිංගිකත්වය කැප කරනුයේ හුදෙක් වෘත්තීය 'නිළියන්' පමණක්ම නම් ඔවුනට එරෙහිව මෙවන් 'චරිතාපවාද' ගොඩනැගීම සාධාරණය. එහෙත් විශ්ව විද්‍යාල, අධිකරණ ක්‍ෂේත්‍රය ආදී ඉහළ සමාජ තලයන් මුල්කොට පවා ක්‍රියාත්මක වන  ස්ත්‍රී වෙළඳපොළ, ස්ත්‍රී ලිංගික සූරාකෑම, සහ ඒ මත පදනම් වූ  කාන්තාවන්ගේ ක්‍රියාකාරකම් උදෙසා 'නිළිය' යන 'සන්නාමය' පමණක් යොදා ගැනීම එක්තරා අන්දමක අවිචාරවත් හා අදූරදර්ශී ක්‍රියාමාර්ගයක් බව නොකියාම බැරිය.

මහාචාර්ය දයා අමරසේකර,
සමාජ විද්‍යා අධ්‍යනාංශය,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

සුන්දර රුවත්, තමාටම ආවේණික රංගන ශෛලියත් උපතින් උරුම කරගෙන රංගනයට පිවිසි දුලානි අනුරාධා ජනාදරයට පාත්‍ර වූයේ සරල විනෝදාත්මක සිනමාවේ තරුවක ලෙස නොවේ. දායක වූ සෑම නිර්මාණයක් තුළින්ම සිය රංගන කුසලතා පළකළ ඇය  චරිතාංග රංගනයෙන් සම්මානනීයත්වයට සේම ජනප්‍රියත්වයටද පත් රංගන ශිල්පිනියකැයි කීම නිවැරදිය. කලකට පසු අප ඇයව කතාබහකට එක්කර ගත්තේ ඇගේ රංගන දිවියේත්  පෞද්ගලික දිවියේත් තොරතුරු බිඳක් විමසන්නටය.
 
ඔබේ රංගනයන් ඉදිරියේදී දක්නට ලැබෙන්නේ කවර නිර්මාණ තුළින්ද?
මම රඟපෑ චිත්‍රපට දෙකක් සහ ටෙලි නාට්‍යය කිහිපයක් ඉදිරියේදී එන්නට තිබෙනවා. අවසන් වතාවට කළේ “එක හීනේ පාට ගොඩයි” කියන ළමා චිත්‍රපටය. ඉන්පසුව නම් අලුත් නිර්මාණයකට දායක වුණේ නැහැ.
 
රඟපාන නිර්මාණ ප්‍රමාණාත්මකව අඩුවන්නට හේතුව ඔබ තෝරා බේරාගෙන රඟපාන නිසාද ?
ඔව්, මට තෝරා ගැනීමක් කරන්න සිදුවෙනවා. මොකද, මම වෘත්තියෙන් ගුරුවරියක්. ඒ නිසා මට විශාල කාලයක් රංගනය වෙනුවෙන් යොදවන්න බැහැ. 
 
දුලානි සරල විනෝදාත්මක සිනමාවේ මල්ගස් වටේ රඟන පෙම්වතිය විදියට දකින්න ලැබෙන්නේ නැහැ.. 
මට එවැනි නිර්මාණවලට ආරාධනා ලැබිල තියෙනවා. ඒත් මට ඒ වගේ නිර්මාණ භාරගන්න පුංචි බයක් තියෙනවා. 
 
ඇයි ඒ .. ?
යම් ගැඹුරක් සංකීර්ණ බවක් තියෙන හැලහැප්පීම්වලට ලක්වන චරිත රඟපාන්න මට පුළුවන් කියන විශ්වාසය මා තුළ තිබෙනවා. ඒත් සරල විනෝදාත්මක සිනමාවේ මල්ගස් වටේ රඟන පෙම්වතියට තිබිය යුතු සරල බව මට මගේ රංගනය තුළින් හරියට මතු කරගන්න බැරිවෙයි කියලා බයක් මට හිතෙනවා. ඒ හින්දා මම එවැනි චරිත රඟපාන්න යන්නේ නැතුව මට ගැළපෙන දේ විතරක් කරනවා.
 
සරල බව ඔබට සංකීර්ණයි. සංකීර්ණ බව සරලයි. ඔය දේ සාමාන්‍ය ජීවිතයටත් ‍පොදුද? දුලානි අනුරාධා කියන්නේ සැබෑ ජීවිතේදීත් හැමදේම සංකීර්ණව දකින සුළු ප්‍රශ්නවලට විසඳුම් පවා ගැඹුරින් හොයන කෙනෙක් ද?
ඒ කතාවේ යම් තරමකට සත්‍යතාවක් නැත්තෙත් නැහැ. ඇත්තටම මම මහ ලොකු ප්‍රශ්න කරගත්තු සමහර දේවල් බොහොම පුංචි දේවල් නේද කියලා පස්සේ හිතුණ අවස්ථා තියෙනවා. ඒ වගේම එහි අනිත් පැත්තත් තියෙනවා. සමහර ලොකු දේවල් දිහා කිසිම බරක් පතළක් නැතුව හරිම සරලව සැහැල්ලුවෙන් බැලූ අවස්ථාත් මගේ ජීවිතේ තියෙනවා.
 
ඔබ ගුරුවරියක්. නිළියක් විදියට ජනප්‍රිය චරිතයක් වීම පාසල් භූමිය තුළ කෙබඳු තත්ත්වයක්ද ඇති කරලා තියෙන්නේ. ගුරුවරියක ලෙස සිසු පිරිස ඉදිරියේ ඔබේ පෞරුෂය රැකගන්නට නිළිකම බාධාවක් වෙලා නැද්ද ?
පාසල තුළ මම සාමාන්‍ය ගුරුවරියක්. මගේ විදුහ‍ලේ ඉන්නේ සිසුවියන් විතරයි. ඒ අය අතර තියෙන්නේ මම ටිකක් සැර ගුරුවරියක් කියන හැඟීමක්. මට පාසල් භූමිය තුළදී නිළියක් කියන හැඟීම හිතේ තියාගෙන හැසිරෙන්න බැහැ. එතැනදී මට මගේ පෞරුෂය රැකෙන ආකාරයටයි හැසිරෙන්න සිදුවන්නේ.
 
ඔබ ළඟට ඇවිත් රඟපාන්නට අවස්ථා ඉල්ලන සිසුවියන් නැද්ද ?
එහෙම අයත් ඉන්නවා. ඒ අයට මම කියන්නේ රඟපාන්න කලින් තමන්ගේ අධ්‍යාපනය හරියට කරගෙන ඉන්න කියලා.
 
තවමත් තනිකඩව දිවි ගෙවන්නේ ඇයි ?
ජීවිත කාලෙම තනිකඩව ඉන්නවා කියලා මම කිසිම තැනක කියලා නැහැ. මගේ විවාහය තවත් කාලෙකින් සිදුවන්නටත් පුළුවන්, හෙට සිදුවන්නටත් පුළුවන්. 
 
ආරියවංශ කුලතිලක
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3877

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3624

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6706

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4128

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2567

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3370

Please publish modules in offcanvas position.

Web Analytics