Coss Ear2
lakbima.lk
COSS Ear 1

දුලීකා මාරපන යක්ෂාවේශයෙන් ගෑනු ළමයෙකුට බිම දාගෙන පහර දෙනවා. ගෑනු ළමයා තමන්ට පහර දෙන්න එපා කියලා හඬමින් වැලපෙමින් දුලීකා ඉදිරියේ බැගෑපත් වෙනවා. ඒත් දුලීකාගේ දරදඬුකමේ නම් කිසිම අඩුවක් නැහැ.
“කට්”
ඒ හඬත් එක්ක පහරදීම නතර වුණා. ඒ වෙලාවේ දුලීකා තමන්ගේ අත්දෙකින් අර බිම වැටිලා හිටපු ගෑනු ළමයව නැගිටවලා තුරුලු කරගත්තා. 
“ඇත්තටම මගේ පිටට පහර දෙකතුනක් වැදුණා. තවම මට රිදෙනවා..”
අර ගෑනු ළමයා එහෙම කිව්වේ හිනාවෙවී. ටිකකට කලින් ගැටුණු දෙදෙනා හිනා වෙවී එතැනින් මෑත් වෙද්දී වටා පිටාවේ කැමරා ආම්පන්න අල්ලාගෙන හිටපු අයත් යුහුසුලුව ඒ බඩුමුට්ටු ඒ මේ අත අරගෙන ගියා. 
කළු පැහැ ගැන්විලා, වැරහැලි ඇඳගෙන ඉන්න අර ගෑනු ළමයා අපි කවුරුත් නොදන්නනා කෙනෙක් නමෛයි. මේ වෙලාවේ මේ විදියට හිටියාට, ඇය බොහොම සුන්දර යුවතියක්. ඇය තමයි ශනුද්‍රි ප්‍රියසාද්. ශනුද්‍රිට මේ විදියට සැරසෙන්න සිදුවුණේ “සුදු අඟුරු” ටෙලි නාට්‍යය වෙනුවෙන්. අපි මේ ඇවිල්ලා ඉන්නේ “සුදු අඟුරු” ටෙලි නාට්‍යය දර්ශන තලයටයි.
දුලීකායි, රොෂාන් රණවනයි, ශනුද්‍රියි, මීනා කුමාරියි ලැබුණු විවේකයේදී අපිත් එක්ක කතා බහට වැටුණා. 
ශනුද්‍රි මුළු රටේම ජනප්‍රිය නිළියක්. ඒත් ටෙලි නාට්‍ය වෙනුවෙන් වෙස් ගන්වලා පාර අයිනේ රූගත කරන අවස්ථාවලදීවත් කවුරුත් ඇයව අඳුනාගත්තේ නැතිලු. රූගත කිරීම් අතර හරස් පාරකින් ආපු වාහනයක ගැටිලා රොෂාන්ගේ කාර් එක අනතුරට පත්වූ අවස්ථාවක් ගැනත් අපට රොෂාන් කිව්වා. 
“සුදු අඟුරු” දර්ශන තලය හරි කාර්යබහුලයි. සියල්ලම මෙහෙයවමින් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ ජී. නන්දසේන ඒ මේ අත යනවා. ඒ කාර්යබහුලත්වයෙන් මදකට මිදිලා අපිත් එක්ක කතාබහ කරන්නත් ඔහු අමතක කළේ නැහැ. 
“මේ ටෙලි නාට්‍ය නිර්මාණය වෙන්නේ මට ස්වර්ණවාහිනී නාලිකාවෙන් ලැබුණු ආරාධනාවකට අනුවයි. මෙහි පිටපතට මමත් හුඟත් කැමති වුණා”.
මෙගා ටෙලි නාට්‍යවල කොටස් ප්‍රමාණය නිශ්චිතව තීරණය කරන්න බැරි බව අප කවුරුත් දන්නවා. සතියේ දවස් පහේම විකාශය වන “සුදු අඟුරු” ටෙලි නාට්‍යයත් කොටස් විශාල සංඛ්‍යාවක් දක්වා දිග හැරෙනවා”. 
ඒත් කතාව බලෙන්ම අනවශ්‍ය විදියට දර්ශන ඇතුළත් කරලා දිග්ගස්සන්නේ නැති බව තමයි අධ්‍යක්ෂවරයා පවසන්නේ. ටෙලි නාට්‍ය රචනා කරන සුනන්ද සිල්වාත් අපේ කතාබහට එකතු වුණා. “සුදු අඟුරු” කතාව ගැන ඔහු අපි සමග බොහෝ දේ පැවැසුවා. සමාජයේ විවිධ තැන් කීපයක්ම කතාබහට ලක්කරන “සුදු අඟුරු” දීර්ඝව රැගෙන යන්න අනවශ්‍ය දර්ශන එක් කරන්න අවශ්‍ය නැති බව සුනන්ද පැවැසුවා.
“සුදු අඟුරු” නිෂ්පාදනය කරන්නේ කුෂාන් සමීර හා සුසිලා ජයසිංහ. ටෙලි නාට්‍යය සඳහා සහය අධ්‍යක්ෂණයෙන් වසන්ත වැල්ලවත්ත, එකතු වෙනවා. දුලීකා, ශනුද්‍රි, මීනා චන්න, රොෂාන් පිලපිටිය, චන්දන නානායක්කාර, රුවන්ති මංගල, නන්දන හෙට්ටිආරච්චි, තිලක් කුමාර රත්නායක, ධනංජි කරුණාරත්න ඇතුළු නළු නිළියෝ රැසක් ඊට රංගනයෙන් දායකත්වය සපයනවා. 
 
ආරියවංශ කුලතිලක 
 
ඡායාරූප - තුෂාර සංජීව

කාටවත් නොකී රහසක් ගැන විමසද්දී මට කියන්න තියෙන්නේ ටිකක් දිග කතාවක්. ඒ කතාව පටන් ගන්්නේ් මගේ පුංචි සන්දියෙන්. මට මතක හැටියට එතකොට මගේ වයස 9ක් 10ක් විතර ඇති. අපිට හිතවත් අක්කා කෙනෙකුට හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇතිවෙලා ඇයගේ මහන මැෂිම විකුණන්න සූදානම් වුණා. අපේ ගෙදරට ඇවිල්ලත් එයා ඒ ගැන පැවැසුවා. ඒ වෙද්දී අපේ අම්මාටවත් ගෙදර වෙනත් කිසිම කෙනෙකුට මහන්න බැහැ. ඒත් ඒ අක්කට උදව්වක් විදියට තාත්තා ඒ මැෂිම මිලදී ගත්තා. 
මැෂිම දැකපු වෙලාවේ ඉඳන් මට ඒ ගැන ලොකු ආශාවක් ඇති වුණා. ඒ වෙලාවේ ඉඳන් මම මැෂිමත් එක්කමයි වැඩ. ඒක ක්‍රියා කරවන විදිය ගැන හොයලා බලලා ඉක්මනින් මහන්න තමයි මට ඕනෑ වුණේ. මම මුලින්ම සීයාගේ පරණ සරමක් කපලා  කලිසමක් මැහුවා. ඒත් ඒක කාටවත් අඳින්න බැහැ. හැබැයි මම මගේ උත්සාහය අතහැරියේ නැහැ. පස්සේ මම අහුවෙන අහුවෙන රෙදි කපලා ඇඳුම් මහන්න පටන් ගත්තා. දවසක් සීයාගේ අලුත් සරමක් කපලා හොඳටම බැණුම් අහන්නත් සිද්ධ වුණා. ඒ බැණුම්වලින් මගේ වැඩේ නම් නැවතුනේ නැහැ. අම්මගේ සාරි කපලත් මම ගවුම් මහලා තියෙනවා. හැබැයි අම්මා මට කවදාවත් තහංචි පනවලා නැහැ. 
අපේ ගෙවල් කිට්ටුව ඉන්නවා රෙදි මහන අක්කා කෙනෙක්. මම ඒ කා‍ලේ එයාව මුණගැහෙන්න ගිහින් එයා රෙදි කපන දිහා බලාගෙන ඉන්නවා. එයා තමයි මට රෙදි කපන්න පුරුදු කළේ. 
ඔහොම ටික කාලයක් ගතවෙද්දී මට රෙදි මහන්න පුළුවන්. වතාවක් මම ඩෙනිම් රෙද්දකින් සායක් මැහුවා. ඊට පස්සේ මමම ඒ සාය ඇන්දා. හැබැයි ඒක ඇන්දාට පස්සේ මට හුස්ම ගන්නත් බැහැ. මම ඉක්මනට සාය ගලවලා දාන්න හැදුවා. හැබැයි සාය ඇඟට හිර වෙලා ගලවන්න බැහැ. පස්සේ අම්මා ඇවිත් සාය කපලා තමයි අයින් කළේ. 
කොහොම කොහොම හරි මම ඇඳුම් මහන්න පුරුදු වුණා. සාප්පුවලට ගිහින් රෙදි වර්ග ගැන දැන ගත්තා. බොහොම ඉක්මනට ඇඳුම් මහන්න විතරක් ‍නෙවෙයි ඩිසයින් කරන්නත් මට පුළුවන් වුණා. 
මම ලස්සනට ඇඳුම් මහනවා දැකලා අම්මටත් ඇඳුම් මහන්න ආසාවක් ඇති වුණා. දවසක් අම්මත් මැෂිම ළඟ වාඩි වෙලා මම බාගෙට මහපු ඇඳුමක් මහන්න පටන් ගත්තා. ඒත් ඉතින් නුපුරුදු දෙයක් කරන එක අමාරුයිනේ. ඉදිකට්ට අම්මගේ ඇඟිල්ලක් පසාරු කරගෙන එහා පැත්තෙන් මතු වුණා. අම්මා බයවෙලා කෑ ගැහුවා. අම්මව රෝහලට රැගෙන යන්නත් සිද්ධ වුණා. එදායින් පස්සේ අම්මා මැෂිමක් ළඟ වාඩි වෙන්නෙවත් නැහැ. කොහොමින් කොහොම හරි අද අම්මගේ ඇඳුම් මහන්නෙත් මම. 
පස්සේ මම නිළියක් වුණා. නර්තන ශිල්පිනියක් වුණා. නමුත් ඊට පස්සෙත් මගේ හැම ඇඳුමක්ම මහගන්නෙත්, ඩිසයින් කරගන්නෙත් මමමයි. උත්සවවලට, ප්‍රසංගවලට මම අඳින්නේ මගේම අතින් මහපු ඇඳුම්. ගොඩක් අය අහනවා ඒවා මිලදී ගත්තේ කොහෙන්ද කියලා. මමම නිර්මාණය කළා කිව්වාම සමහරු විශ්වාස කරන්නේ නැහැ. අද වෙද්දී මට ලස්සන ඇඳුමක් පැය 1 1/2 කින් මහන්න පුළුවන්. උදේ ඇඳුම මහලා හවස උත්සවයට ඇඳගෙන ගිය අවස්ථාත් මගේ ජීවිතයේ තියෙනවා. 
පුංචි කා‍ලේ මම අම්මාගේ සාරි කපනකොට අම්මා දඬුවම් කළා නම් මට මේ හැකියාව ලැබෙන්නේ නැහැ. උපතින් මම අරගෙන ආපු හැකියාව මතු වුණේ අම්මා නිසයි. මගේම ඇඳුම් නිර්මාණ ඇතුළත් ව්‍යාපාරයක් පටන් ගන්න කියලත් මගේ යාළුවෝ අද මට යෝජනා කරනවා.  සමහරවිට මේ රහස කවුරුත් දැන ගත්තාට පස්සේ ඒ විදියේ යෝජනා මට තව තවත් ඉදිරිපත් වෙයි. 
 
ආරියවංශ කුලතිලක
 
ඡායාරූප: ජනක කඳනආරච්චි

අමරසිරි පීරිස්, අමල් පෙරේරා ගායනා කරන ‘‘විරාග රාගය අතරේ” ගීතය එළි දැක්වුණේ ඊයේ (27). නමුත් මේ පිළිබඳ ලොකු කතිකාවතක් පසුගිය කාලයේ ඇතිවුණා. ගීතය පිරිමි යුග ගායනයක් වීමත්, ගායකයන් අමල් හා අමරසිරි වීමත් ගීතය ගැන කතිකාවන් ඇතිවීමට හේතුවක් වුණා. තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ, චන්න දේශප‍්‍රිය කැමරා කළ ‘‘විරාග රාගය අතරේ” ගීතයේ රූප රචනාවේ රඟපෑම හා අන්තර්ගත කතාව හේතුවෙන් රූපරචනාව පිළිබඳත් විවිධ කතිකාවන් ඇති වුණා. ගීතයක රූප රචනාවට රංගනයෙන් දායක වුණේ කිසිදාක රූප රචනාවකට සහභාගී නොවූ ප‍්‍රවීණ රංගන ශිල්පියෙක් හා ශිල්පිනියක්, සිනමා ක්ෂේත‍්‍රයේ නැඟී එන දක්ෂ නළුවෙක්. ඒ මහේන්ද්‍ර පෙරේරා, යශෝධා විමලධර්ම සහ හේමාල් රණසිංහයි. 
 
ගීතයට වශී වු නිසයි රඟපෑමට එකතු වුණේ - යශෝධා
 
යශෝධා මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන්නෙ නෑ කියන මතයේද මීට පෙර හිටියේ?
ඔව්. මේ ගීතය අහනකම් එහෙම තමයි හිටියේ. ඒ වගේම අද හැදෙන බහුතරයක් මියුසික් වීඩියෝ ගැන මගේ පැහැදීමක් නෑ. මොකක් හරි වචන ටිකකට මොනවා හරි රූප රාමු ටිකක් දාලා තියනවා. සමහර අර්ථයක් ඇති රස වින්දනයක් ඇති ගීතත් මේ රූප රචනා නිසා විනාශ වෙලා තියෙනවා. ඔය රූප රචනා ආවේ රූපවාහිනී මාධ්‍යයත් එක්ක. ඊට කලින් අපි ගීතයක් අහලා අපේ මනසේ රූප මවා ගත්තා. අද ඒ වින්දනය ලබන්න බැරි තරමට රසිකයාව රූප රචනාවලින් අන්ද මන්ද කරලා. එක අතකට ඒක ඛේදයක්.
 
අමල්ගෙ විරාග රාගය ගීතය එහෙම නෑ කියලද යශෝධා කියන්නේ?
ඔව්. මම කියනවාට නෙමෙයි අහලා බලලාම ඔයාලට තීරණය කරන්න පුළුවන්. ඇත්තටම මම රඟපෑවේ මියුසික් වීඩියෝ එකක කියලා හිතාගෙන නෙමෙයි. කෙටි චිත‍්‍රපටයකයි මම රඟපෑවේ. ඒ තරමටම සිනමා ගුණ ඒ නිර්මාණයේ තිබුණා.
 
මහේන්ද්‍ර පෙරේරා ඔබේ රංගන දිවියට ආගන්තුකයෙක් නෙමෙයි නමුත් හේමාල්. ආධුනිකයි. ආගන්තුකයි?
මහේන්ද්‍ර අයියා සමග නිර්මාණවලට දායක වුණාට ඔහුයි මමයි කවදාවත් සැමියා බිරිඳ, පෙම්වතා පෙම්වතී තබා අයියා නංගීවත් වෙලා නෑ. මේ ප‍්‍රථම අවස්ථාව මහේන්ද්‍ර අයියා එක්ක එකට රඟපාපු. ඒ නිසා ඇත්තටම මට එතනදීත් මේ රූප රචනාව මට සුවිශේෂීයි. මහේන්ද්‍ර අයියා කියන්නේ සුවිශේෂ රංගධරයෙක්. මම කියන්නේ ඔහු ඉන්න  ඕනෑ ලංකාවේ නෙමෙයි යුරෝපයේ. හේමාල් කියන්නෙත් බොහෝ කුසලතා ඇති, බොහෝ සුදුසුකම් ඇති සිනමාවේ දිග ගමනක් යන්න පුළුවන් නළුවෙක්. අපි තුන්දෙනා බොහොම කැමැත්තෙන් ආසාවෙන් මේ නිර්මාණයට දායක වුණේ.
 
එහෙනම් රූප රචනාවකට සම්බන්ධ වෙන්න ගත්ත තීරණය ගැන දුකක් නෑ?
චුට්ටක්වත් නෑ. මොකද මම රඟපෑවේ කෙටි චිත‍්‍රපටයක නිසා. මම හිතන්නේ රසිකයාත් මම සමග ඒ කතාවට එකඟ වෙයි.
 
 
මුදල් ගැන නොහිතා හැමෝම සහයෝගය දුන්නා - අමල් පෙරේරා
 
ඒ හොඳ වැඬේට අමරසිරි පීරිස් මහත්තයා ගාව ගන්න හිතුවේ ඇයි?
මට හිතුණ අමරසිරි අංකල් එක්ක ගීතයක් කරන්න. මම මගේ කැමැත්ත කිව්වාම ඔහුත් කැමති වුණා.
 
අමරසිරි පීරිස් මහත්මයා සමග ඔබේ සමීප ඇසුරක් තියෙනවාද?
ඔව්. මගේ පියාගේ හිතවතෙක්. ඒ නිසා ඒ හිතවත් කම මටත් තියනවා. මගේ හිතේ ඔහු ගැන හිතවත්කම තරමටම ගෞරවයකුත් තියනවා.
 
ගීතයේ අදහස කාගෙද?
අදහස බන්දුල අයියාගේ. මම කිව්වෙ අමරසිරි අංකල් එක්ක ගීතයක් කරනවා කියලා විතරයි.
 
බන්දුල නානායක්කාරවසම් මහත්මයා  ලබා දුන් ගීතයේ අර්ථයට අමරසිරි පීරිස් මහත්මයා කැමති වුණාද?
ඔව්. කිසිම ගැටලූවක් වුණේ නෑ.
 
කවුද අධ්‍යක්ෂවරයා හැටියට තිසරව තෝරා ගත්තෙ?
මම. තිසර කාලයක් ඉඳන්ම මම දන්න, මගේ වැඩ කරලා තියන දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඒ විතරක් නෙමෙයි රැුල්ලට නොයන ගීතයකුත් මට කරන්න  ඕනෑ වුණා. ඒකයි ඔහුවම තෝරා ගත්තේ.
 
එතකොට මහේන්ද්‍ර, හේමාල්, යශෝධා තෝරා ගත්තේ?
ඒක මගේ අදහසක්. තිසර ඒ අදහසට කැමති වුණා.
 
නිර්මාණය වෙනුවෙන් අමල්ගෙන් සමහරු සතයක් වත් ගත්තේ නැතිලූ. සමහර අය හරි පොඩි ගාණක් ගත්තලූ‍. ඇත්තද මේ කතා? 
අපි මේ නිර්මාණය කළේ යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා. මම වැඬේ කරමු කිව්වා මිසක් එයාලගෙන් ගාණක් ඇහුවෙත් නෑ. එයාලා මගෙන් ඇහුවෙත් නෑ. එහෙම තමයි මේ වැඬේ වුණේ. 
 
හිමේෂා සවන්ති රාජපක්‍ෂ
 
ඡායාරූප - අසන්ත ගමආරච්චි

අපි කොයි කවුරුත් ආදරය කරන ගායන ශීල්පීනියක් තමයි “ශෂිකා නිසංසලා” කියන්නේ. ශෂිකා දෙවන වතාවටත් විවාහ වුණ බවට සඳහන් වෙන ඡායාරූප පෙළක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙනවා. මේ වනවිට දෙදරු මවක් වන ශෂිකා නැවත විවාහ වූ බවට පැතිර යන පුවතේ සත්‍ය අසත්‍යතාවය ගැන ශෂිකාගෙන්ම විමසා බලන්න අපි තීරණය කළා.
 
ශෂිකාට මේ විදිහට නැවත වතාවක් මනාලියක් වෙන්න හිතුණේ ඇයි?
මේ අවුරුද්දේ ජනවාරි මාසේ විසි අට වෙනිදාට අපි දෙන්න විවාහ වෙලා අවුරුදු දහයක් වෙනවා. ඉතිං දහවෙනි විවාහ සංවත්සරය වෙනස් විදිහට සමරන්නත් එක්ක අපි දෙන්නට හිතුණා අයෙමත් මංගල ඇඳුමින් සැරසෙන්න. මගේ ළඟම හිතවතෙන් වගේම ලංකාවේ ජනප්‍රියම හැඩගන්වන ශිල්පියෙක් තමා ඉයන් ඩයස් කියන්නේ. ඉතිං ඉයන් මල්ලී මට කිව්වා “අක්කේ ඔයා තවම ඉස්සර හිටියා වගේනේ. ඒ හින්දා විවාහ සංවත්සරය වෙනුවෙන් අපි බ්‍රයිඩල් ෂූට් එකක් කරමු” කියලා. ඉස්සරට වඩා දැන් කැන්ඩියන් එක අඳින විදිහ, මංගල සාරිය ආභරණ වගේ හැමදේම අද අලුත් වෙලා. ඒ වගේම ලස්සන වෙලා. ඉතින් මටත් හිතුණා මංගල ඇඳුම අඳින්න. මේ ඡායාරූප දැකපු සමහරු අහනවා ආපහු මංගල ඇඳුම ඇන්දේ ප්‍රසිද්ධියක් ලබන්නද කියලා. ඇත්තටම ඒ නිසා නමෛයි හිතේ තිබුණු ආසාව නිසාමයි මේ වගේ දෙයක් කළේ. 
 
එතකොට ඔබේ සැමියා සුරංගත් ඒ යෝජනාවට එකපයින් කැමති වුණාද? 
එයාට කියපු ගමන්ම හරිම ආශාවෙන් ආ... අපි ආයෙමත් බඳිමු කියලා කිව්වා. 
 
ඔබ දැන් දරුවන් දෙදෙනකුගේ අම්මා කෙනෙක්. අම්මයි තාත්තයි මඟුල් ඇඳුමෙන් ඉන්නවා දැක්කාම දරුවෝ දෙන්නා මොනවාද කිව්වේ? 
ලොකු පුතා තුන වසරේ. එයාට අවුරුදු හතක් වෙනවා. ‍පොඩ්ඩාට අවුරුදු හතරක් වෙනවා. ඉතින් එක පාරට අපි මඟුල් ඇඳුමෙන් ඉන්නවා දැක්කාම ඒ දෙන්නාට හුඟක් ආසා හිතුණා. ඒ දෙන්නා අපිව මඟුල් ඇඳුමෙන් ඉන්නවා ඡායාරූප දැකලා තිබුණාට ඇත්තටම දැක්කේ මේ ෆොටෝ ෂූට් එක නිසානේ.
 
අවුරුදු 10කට කලින් විවාහ වූ දා ගත් ඡායාරූප සහ මේ ඡායාරූප දිහ බලද්දී ශෂිකාට මොකද හිතුණේ ?
(හිනැහී) කලින් ෆොටෝස්වල මං ගොඩාක් කෙට්ටුයි. අයියත් එහෙමයි. එදාට වැඩිය දැන් හැමදේම වෙනස් වෙලානේ. විලාසිතා පවා වෙනස්. හැමෝම කිව්වා කලින්ට වඩා මේ ඡායාරූප ගොඩාක් ලස්සනයි කියලා. මාව ලස්සන කරපු ඉයන් මල්ලිට වගේම සුරංගව ලස්සන කරපු සඳුන් මල්ලිටත් ස්තූති කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. 
 
බොහෝ ජනප්‍රිය පුද්ගලයන්ගේ විවාහ ජීවිත ඉක්මනින් කඩා වැටෙන කාලයක වසර 10ක් විවාහ දිවිය සමගියෙන් ගත කරන්න සැමියාගෙන් මොන විදිහේ අත්වැලක්ද ජීවිතයට ලැබුණේ. 
මං ගොඩාක් විශ්වාස කරන දෙයක් තමයි, අපිට හම්බවෙන මේ ආත්මේ ඉන්න සමීපතමයන් පෙර ආත්මවලත් හිටියා කියලා. සුරංග අයියයි මමයි දෙපැත්තක හිටිය දෙන්නෙක්. එයාගේ ගම ඇඹිලිපිටියේ. එයා විශ්වවිද්‍යාලයේදී මට හම්බවෙන්නේ. ඉතිං අපි දෙන්නත් ආත්ම ගාණක ඉඳලා මුණ ගැහෙන දෙන්නෙක් කියලා මට හිතෙන්නේ. මොකද යාළුවෝ කා‍ලේදීත් අපි ගොඩාක් සමීපයි. මගේ ජීවිතයට ලැබුණු වටිනාම කෙනා ඔහු. ක්‍ෂේත්‍රයේ ඉන්න කෙනෙක් විදිහට ඔහුගෙන් මට ලැබෙන්නේ පුදුම සහයෝගයක්. පාරමිතා, තොල්පෙති විතරක්, මේ වගේ ගීත අපි දෙන්නා ආදරේ කරන්නත් කලින් ජනප්‍රිය වෙලා තිබුණේ. ඒ හැමදෙයක්ම තේරුම් ගෙන මම ගායිකාවක් විදිහට වැඩ කරන්න ඕන කියන තැන හිඳගෙන එයා මට පුදුම සහයෝගයක් දෙන්නේ. දරුවන්ගේ වගේම මගේ වැඩවලටත් උපරිම කැපවුණ කෙනෙක්. මගේ සැමියා හෙවණැල්ල වගේ මගේ පිටිපස්සේ ඉන්නවා. 
 
අපි ඊළඟට මේ කතාවට එකතු කරගත්තේ ශෂිකාගේ ආදරණීය සැමියා වන සුරංග සම්පත් මතඟවීරවයි.
 
ශෂිකාව ආයෙත් වතාවක් මනාලියක් විදිහට දැක්කාම ඔබට මොකද හිතුණේ ? 
මට ඇත්තටම ලොකු සතුටක් දැනුණා. ආදරේ කරපු කා‍ලේ හැම මතකයක්ම අලුත් වුණා වගේ දැනුණා.
 
ශෂිකා වගේ සහකාරියක් හිමිවීම ගැන දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? 
ශෂිකා මගේම වාසනාවට ලැබුණ බිරිඳක්. අපි දෙන්නා හැමදේම පටන් ගත්තේ ගොඩක් හොඳට තේරුම් අරගෙනයි. අපි දෙන්නාම ‍පොළොවේ පය ගහලා ජීවත් වෙන්න කැමති බොහෝම සරල යුවළක් විදිහට මම හඳුන්වන්න කැමැති.
 
සමන්මලී නැලිගම
ඡායාරූප - සහන් රූපස්සර
ඇඳුම් - ඉයන් සංජීව ඩයස්, සඳුන් බණ්ඩාර

ඉරිදා උදෑසන හයට පමණ මාගේ ජංගම දුරකථනය නාද වන්නට විය. දුරකථනයේ සඳහන් වූයේ ජටිලගේ අංකය බව දුටු විට මා එයට පිළිතුරු දෙන්නට ගියේ නැත.
දිනපතා අලූයම අවදිවන අයට ටිකක් දහවල් වනතෙක් නිදාගන්නට තිබෙන්නේ ඉරිදා දවසේ පමණි. සමහර දවස්වලට උදෑසනම දුරකථන ඇමතුමක් දී විහිළුවක් කර අපව ඇහැරවීම ජටිලගේ පුරුද්දකි. මා දුරකථනයට පිළිතුරු දෙන්නට නොගියේ එ් නිසාය.
එහෙත් තවත් සුළු මොහොතකින් මා හට තවත් ඇමතුමක් ලැබුණේය. එ් ජටිලගේ ඥති සොයුරු පොලිස් පරීක්‍ෂක
දිනේෂ්ගෙනි.  
”මචං ජට්ටා මැරිලා වගේ. කතාවක් බහක් නැහැ ඉක්මනට එන්න පුළුවන්ද” ඔහුගේ හඬින් මම අන්ද මන්ද වීමි. එවන් දෙයක් මා ජීවිතයේ කිසිදිනක බලාපොරොත්තු නොවූ ඇමතුමක් විය. ජටිල මේ තරම් ඉක්මනින් මිය යනු ඇතැයි අප කවුරුත් අපේක්ෂා කළේ නැත.
”උදේ පාන්දර බොරු කියන්න එපා. උඹලා මාව අන්දන්න නේද හදන්නේ?” මා පෙරළා දිනේෂ්ගෙන්                            විමසුවේ ලැබුණු තොරතුරු විශ්වාස කළ නොහැකි නිසාමය. එ්ත් අකමැත්තෙන් හෝ මට එය විශ්වාස කරන්නට සිදුවිය.
ජටිල වැල්ලබඩ  පරමාදර්ශී චරිතයකි. ඔහු මත්පැනින් තොරය.  සිගරට්ටුවක් උරමින් සිටිනු දක්නට ලැබූව ද එය ද ඉතාම කලාතුරකිනි. ඔහු නිර්මාංශියෙකි. ධර්මයට අනුව කටයුතු කරන්නෙකි. දිනපතා භාවනා කිරීම ද පුරුද්දක් කරගෙන තිබුණි. කැලණියේ අපේ පරපුරේ සිටි නිරෝගීම පුද්ගලයා ඔහු යැයි අපි විශ්වාස කළෙමු.
 කැලණියේ අපි කවුරුත් ඔහු ඇමතුවේ ‘ජට්ටා‘ යන නමිනි. ඔහුගේ සමීපතම මාධ්‍ය සගයෝ ද ඔහුව ඇමතුවේ ජට්ටා යන නමිනි. මාධ්‍ය මිතුරන් මෙන්ම කැලණියේ මිතුරන් ද මුණගැසුනු හැම මොහොතකදීම ඔහු විහිළුවක් කිරීමට අමතක නොකළේය. ඔහු කාලය ගත කළේ සැහැල්ලූවෙනි විනෝදයෙනි. මේ අවාසනාවන්ත සිදුවීම වූ  සෙනසුරාදා මධ්‍යම රාත‍්‍රියේ නින්දට යාමට පෙර ද ඔහු සංගීතයට සවන් දෙමින් සිට ඇත.
ජටිල ගිලන් රථයට ඇතුළත් කරන තෙක්ම  ඔහු මියගිය බව මම විශ්වාස නොකළෙමි. ඔහු ඇඳේ වැතිර සිටියේ සිනාවකින් මුව සරසාගෙනය. මා ඇත්තටම සිතුවේ ඔහු මේ කරන්නේ බොරුවක් බවය. ‘ජට්ටා බොරු නොකර නැගිටපං‘ මම කෑ ගසා කීවේ ද ඔහු සිටි ආකාරය දැකීමෙනි. ඔහු නින්දේ දී කිසිම දැඟලීමක් කර නොතිබුණි. මරණය ඔහු වෙත පැමිණෙන්නට ඇත්තේ ඔහුටත් නොදැනීමය. ඔහුගේ මරණය අපට දුකක් වුවත්  එය ඉතා වාසනාවන්තම මරණයක් විය.
ජටිල මිය ගොස් ඇති බව මා විශ්වාස කළේ ගිලන් රථයෙන් පැමිණි කෙනෙක් කොළඹ රෝහල වෙත යාමට පෙර ඔහුගේ නාඩි වැටීම නතර වී ඇති බව දැන්වූ විටදීය. එහෙත් කොළඹ මහ රෝහල වෙත යන තෙක්ම අප තුළ ඉතා කුඩා  බලාපොරොත්තුවක් විය. ඒ ජටිල ප‍්‍රකෘති තත්ත්වයට ගත හැකි වනු ඇති බවය. එහෙත් අප ගමන් කළ මෝටර් රථය රෝහල වෙත ළඟා වීමටත් පෙර ඒ බලාපොරොත්තු විනාශ වී ගියේය.
ජටිල පරමාදර්ශී චරිතයක් බව මා නැවත පවසන්නෙමි. ඔහු ඉතා හොඳ මහත්තයෙක් බව ඔහු ඇසුරු කළ කවුරුත් දනිති. ඔහු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වුව ද ඔහු හා හතුරු වූ කිසිවෙක් නොවූහ. ඔහු ලොකු කුඩා කාහටත් පිහිට විය යුතු හැමවිට පිහිට වුණේය.
මා මාධ්‍ය ක්ෂේත‍්‍රයට පිවිසෙන්නේ ද ජටිලගේ පිහිටෙනි. ඒ වනවිට ජටිල දිවයින පුවත්පතේ ක‍්‍රීඩා අංශයේ සේවය කරමින් සිටියේය. 1984 පමණ වකවානුවේ දී දිවයින පුවත්පතට එක්වූ ඔහු ක‍්‍රීඩා වාර්තාකරුවෙකු වුව ද  ඉතා දක්ෂ ලෙස පෑන හැසිර වූ නිසා තීරු ලිපි ලිවීමේ අවස්ථාව ද හිමි කර ගත්තේය. එකල ගුරුළුගෝමී නමින් ඔහු ලියූ තීරු ලිපිය ඉතා ජනප‍්‍රිය විය.
දිවයින පුවත්පතට මා කැඳවාගෙන ගිය  ඔහු පුවත්පත් කලාවේ දැවැන්තයන් වූ එඞ්මන්ඞ් රණසිංහ, සුනිල් මාධව පේ‍්‍රමතිලක, උපාලි තෙන්නකෝන්, කිත්සිරි නිමල් ශාන්ත, දයාරත්න රණසිංහ, ධර්මරත්න විජේසුන්දර, ගාමිණී සුමනසේකර, කරුණාදාස සූරියාඅරච්චි වැනි මාධ්‍යවේදීන්ගෙන් ආභාසය හා ගුරුහරුකම් ලැබීමේ මග පෙන්වා දුන්නේය. කොළඹ ආනන්ද විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක් වූ ඔහු ක‍්‍රීඩා වාර්තාකරණය අත්හැර ප‍්‍රවෘත්ති අංශයට එක්වූයේ ඒ වනවිට කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ එඞ්මන්ඞ් රණසිංහ මහතාගේ බලපෑම නිසාමය. ඒ වන විටත් මාත් ගයිරුක පේරුසිංහත් ප‍්‍රවෘත්ති අංශය තුළ සිටි අතර ගයිරුක  නියෝජ්‍ය ප‍්‍රවෘත්ති කර්තෘ වනවිට ජටිල සහකාර  ප‍්‍රවෘත්ති කර්තෘ බවට පත්වූයේය.
පසුකළෙක ඔහු ස්වාධීන රූපවාහිනිය වෙත එක්වීමට පෙරාතුව ජටිල දිනපතා ලක්බිම පුවත්පතේ කතුවරයා බවට පත්විය. ඒ 2002 කිත්සිරි නිමල් ශාන්තයන්ගේ අභාවයෙන් පසුවය. සුමති පුවත්පත් ආයතනයේ ලක්බිම පුවත්පතේ කර්තෘවරයා ලෙස ඔහු වසර 12ක් කටයුතු කළේය.  
ජටිල හොඳින් අඳින පලඳින කෙනෙකි. ඔහු ‘දිවයිනට’ ආවේ බොහෝ විට අත්දිග කමිසය ඇදගෙන ය. ඔහු කිසිදිනක සෙරප්පු දෙකක් දමාගෙන කාර්යාලයට ආවේ නැත. ඔහු සමග සිටි අපද හොඳින් අඳින්නට පුරුදු වූයේ ඔහු නිසාය. ගඩොල් භාගයක් තරම් සෙලියුලර් දුරකථන ද රැුගෙන සපත්තු දමා අත් දිග කමිස ඇඳ  කාර්යාලයට ආ ගයිරික, ජටිල, සිසිර, රංජන් පරණවිතාන මෙන්ම චතුර විද්‍යාරත්න ද එකල දිවයින කර්තෘ මණ්ඩලයේ සිටි සමහරුන්ට පෙනුණේ ඔබරෝයි මාධ්‍යවේදීන් ලෙසය. කුමන කතා කිව්ව ද අපි අපේ දේ කරමු ජටිල අපට කීවේය.
මාධ්‍ය ජීවීතයේ දී මට ඔහු සමග වැඩි ඇසුරක් ඇත්තේ දිවයින කර්තෘ මණ්ඩලය
තුළදීය. වසර 15කට වැඩි කාලයක් අප එකට සිටියෙමු. විහිළු තහළු කළෙමු. ජ්‍යෙෂ්ඨයන් මැද ඔවුන් සමග උරෙන් උර ගැටී වැඩ කළෙමු. ඒ අත්දැකීම ජටිල මාධ්‍යකරුවෙකු ලෙස ලක්බිම පුවත්පතේ පමණක් නොව ඉරුදින
පුවත්පතේද කර්තෘවරයා දක්වා ගිය ගමනට පිටිවහලක් විය.
පත්තර කන්තෝරුවක හෝ විද්‍යුත් මාධ්‍ය ආයතනයකදී මට ජටිලව ඉන්පසු මුණ නොගැසුන ද සතියකට වතාවක් අප කැලණියේ දී මුණ ගැසුනෙමු. මා හට මාධ්‍ය ජීවිතයේ ප‍්‍රශ්නයක් පැමිණි වහාම මා හැමවිටම උපදෙස් ලබා ගන්නේ ඔහුගෙනි. මා  පමණක් නොව ඔහු සමග සිටි බොහෝ මාධ්‍යවේදීන් ඔහුගෙන් දැනුම, උපදෙස් ලබාගත් බව නොරහසකි.
ඉරුදින පුවත්පතෙන් ඉවත්වීමට සිදු වූ පසු ඔහු තරමක කනස්සල්ලෙන් සිටිය ද ඒ බව නොපෙන්වීය. තම මාධ්‍ය සටන වෙබ් මාධ්‍ය ඔස්සේ ගෙන ගිය ඔහු ස්වාධීන රූපවාහිනී සේවයේ ප‍්‍රවෘත්ති උපදේශක ලෙස පත්වීම ඔහුගේ මාධ්‍ය ජීවිතයේ තවත් ප‍්‍රධානතම මංසන්ධියක් පසු කිරීමක් විය.
තමන්ට නුහුරු නුපුරුදු විද්‍යුත් මාධ්‍යයට එක් වුණ ද වැඩ අල්ලා ගැනීමට ඔහුට ගත වූයේ සුළු කාලයකි. මුළු ප‍්‍රවෘත්ති අංශය සමග ශක්තිමත් බැඳීමක් ඇති කරගත් ඔහු තම සේවය පවත්වාගෙන ගියේ මහත්
තෘප්තිමත් බවෙනි. ”මචං මම දැන් හරියට වැඩ  කරනවා” ඔහු මා හමු වූ අවස්ථා කිහිපයකදී ම කීවේ ඒ නිසාමය.
කර්තෘ සංසදයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළ ඔහුද මා දැන් සේවය කරන ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂවරයෙකු ද විය. ආරාධනා කරන සැම විටක දී නොපැකිලිව නවක සිසුන් පුහුණු කිරීමට ද ජටිල ඉදිරියට ආවේය. ඔහු ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක්ද විය.  
ජටිල මාධ්‍යකරුවෙකු පමණක් නොවීය. ඔහු සමාජ සේවකයෙකි. ශ‍්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේ දායක සභාවේ ප‍්‍රබල සාමාජිකයෙක් ලෙස ද කටයුතු කරමින් දුරුතු පෙරහර සාර්ථකව පැවැත්වීමට උර දුන්නේය. සෑම පොහොය දිනයකදීම  සිල් සමාදන්වූවන්ට සෞඛ්‍ය උපදෙස් ලබාදීමට වෛද්‍යවරයෙක් කැඳවා ගෙන එන්නේ ද ජටිලය. එමෙන්ම ඔහු කැලණි රජ මහා විහාරස්ථ තරුණ සංවිධානය වාර්ෂිකව පවත්වන දන්සලේ පසුබිමේ මහත් වගකීමක් ඉටුකරන පරිත්‍යාගශීලියෙකි.
කුමන රාජකාරී තිබුණද පවුලේ සාමාජිකයන් වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට ඔහු නොපැකුළුනේය. රාත‍්‍රියේ නිදි වරාගෙන ඔහු කැලණියේ සිට කොළඹට එන්නේ තම දරුවන් රැුගෙන ඒමටය. ජටිලට අපි
පසුගිය දිනක පැවැත්වූ ආදී ආනන්දීය මාධ්‍ය කවයේ රැුස්වීමට මෙන්ම කැලණි විහාරයේ දායක සභාවේ රැුස්වීමට ද සහභාගී වීමට නොහැකි වූයේ පවුලේ රාජකාරී නිසාමය. ඔහු නොමැතිවුව ද අප ඔහුව මාධ්‍ය කවයේ උප සභාපති ධූරයට පත් කළේ ඔහුට තිබෙන ගෞරවය නිසාමය.
ජටිල ගැන තව ලිවිය හැකි දෑ බොහෝය. එහෙත් එ් සියල්ල යළි යළි ආවර්ජනය කිරීම හිතට තව තවත් දුක් දීමකි. ජටිල දැන් අප අතර නැති වුණත් ඔහු අප අතර සදාකාලිකය.

ශාන් විජේතුංග

චීනයෙන් ගෙන්වන ලද දුම්රිය මැදිරි වල තිරිංග ක්‍රියාකාරීත්වයේ ප්‍රශ්න ඇති බැවින් දුම්රිය රියැදුරන් ඒවායේ ධාවනයෙන් ඉවත්ව සිටිති.

ඔවුන් පවසනුයේ මෙහි ඇති සම්පීඩන වායු තිරිංග පද්ධතිය දැනට ශ්‍රී ලංකාවේ ධාවනය වන කැනඩාවේ නිෂ්පාදිත M 04 දරණ දුම්රිය ඇන්ජින් සඳහා කෙසේවත් නොගැලපෙන බවය. එම චීන මැදිරිවල ඇති සම්පීඩන වායු තිරිංග සඳහා වන වායු සැපයුම M 04 දුම්රිය ඇන්ජින් වලින් ලබා ගැනීම සඳහා පසුව අතිරේක කොටසක් එක්කොට ඇතත් එය එතරම් ආරක්ෂිත නොවන බව දුම්රිය රියදුරෝ පෙන්වා දෙති.

(කැනඩාවේ නිෂ්පාදිත M 04 දුම්රිය ඇන්ජින්මක්)

එමෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත M 08 සහ M 10 දුම්රිය එන්ජින් සහ ප්‍රංශයේ නිෂ්පාදනය කරන ලද M 09 එන්ජින් වල එම පහසුකම් ඇතත්  මෙම චීන මැදිරිවල ඇති කිසියම් දෝෂ සහගත තත්ත්වයක් නිසා ඇතැම් අවස්ථාවල එම මැදිරිවල තිරිංග නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව අප කළ විමසුමක දී දුම්රිය රියදුරු සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් කීය.

(ඉන්දියාවේ නිෂ්පාදිත M 08 දුම්රිය ඇන්ජින්මක්)

මෙහිදී ඇතැම් අවස්ථා වල මෙම මැදිරි යොදා දුම්රිය ධාවනය කරන විට තමන්ට අවශ්‍ය පරිදි දුම්රිය කට්ටලය පාලනය කර ගැනීමට නොහැකි වූ අවස්ථා පිළිබඳ රියදුරන් වරින්වර වාර්තා කොට ඇතත් ගතවූ වසර ගණනාවක් තිස්සේ මේ දක්වා කිසිදු විසඳුමක් ලබා දීමට දුම්රිය බලධාරීන් අසමත්ව ඇතැයි කියනු ලැබේ.

මෙහිදී අවස්ථා කිහිපයකම මෙම දෝෂ තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා දුම්රිය ධාවන බල උප දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික ඉන්ජිනේරුවරුන්ද මෙම මැදිරි සහිත දුම්රියන්හි එන්ජින් වල ගමන් කළ මුත් ඒ ගමන්වාර වලදී ඔවුන්ට එවැන්නක් නිරීක්ෂණය නොවූ බව එම උප දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. නමුත් රියැදුරන් ප්‍රකාශ කරනුයේ ඉතා අනපේක්ෂිත අවස්ථාවල මෙම තිරිංග දෝෂය අත්දකින්නට තමන්ට ලැබී ඇති බවකි.

(ප්‍රංශයේ නිෂ්පාදිත M 09 දුම්රිය ඇන්ජින්මක්)

කලින් මෙම දුම්රිය මැදිරි කන්ද උඩරට මාර්ගයේ මහනුවර දක්වා ධාවනයට යොදා තිබුණද මේ වන විට එම මැදිරි සම්බන්ධ තාක්ෂණික ප්‍රශ්න නිසා කන්ද උඩරට මාර්ගයේ ආරම්භක දුම්රිය පොළ වන රඹුක්කන දක්වා පමණක් ධාවනය කරන අතර අ‍නෙකුත් සියළු දුම්රිය මාර්ග වල දුර සේවා සහ කාර්යාල දුම්රිය සඳහා මෙම දුම්රිය මැදිරි යොදවනු ලැබේ.

(ඉන්දියාවේ නිෂ්පාදිත M 10 දුම්රිය ඇන්ජින්මක්)

මෙහිදී එම දුම්රිය රියදුරු සංගමයේ නියෝජිතයා පවසා සිටියේ ඇතැම් අවස්ථාවල මෙම දුම්රිය මැදිරිවල තිරිංග පද්ධතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම මත දුම්රිය කට්ටලය වේදිකා හෝ සිග්නල් කණු ඉලක්කකොට දුම්රිය නතර කරගැනීමට නොහැකි වූ අවස්ථාද තිබූ බවය.

මේ වන විට මෙම මැදිරිවල තිරිංග හරි හැටි ක්‍රියා නොවීම මත කිසියම් අවස්ථාවක මෙම මැදිරි යෙදූ දුම්රියක රියැදුරාට හදිසියේ තිරිංග ක්‍රියාත්මක කිරීමට සිදුවුවහොත් ඒවා ක්‍රියාත්මක නොවී දුම්රිය ඇන්ජිමේ පමණක් තිරිංග ක්‍රියාත්මක වීම මත බිහිසුණු අනතුරක් සිදුවිය හැකි බවද එම රියැදුරු සංගම් ප්‍රකාශකයා කීය.

(චීනයෙන් ගෙන්වන ලද දුම්රිය මැදිරි)

එවන් අවාසනාවන්ත තත්ත්වයක් ඇති වුවහොත් එහිදී එම වගකීම මුළුමනින් එම රියැදුරා මත පැටවීමේ පහසු හැකියාවක් පවතින බව පෙන්වා දෙන ඔහු එවන් දෝෂ තත්ත්වයන් පිළිබඳව දෙපාර්තමේන්තුව දැනුවත් නොකිරීම සම්බන්ධයෙන්ද රියැදුරන් පිට වරද පැටවීමේ පහසු අවකාශයක් ඇති විය හැකි බවද  කීය.

කෙසේ හෝ වසර ගණනක් අඛණ්ඩවම පැවැති මෙම තත්ත්වය මුල්කොට මෙවන් අවස්ථාවක වෘත්තීය සමිති පියවරක් ගැනීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙමින් පවතින අතර ඒ අතරින් ඇතැමුන් පවසනුයේ  මැතිවරණයක් ළඟ තිබිය දී මෙවැනි ගැටළුවක් එක්වරම ඉස්මතු කොට මගී ජනතාව අපහසුවට පත් කිරීම තුළ කිසියම් දේශපාලනික සබැඳියාවක් ද තිබිය හැකි බවය. එහෙත් ඒ සම්බන්ධයෙන් රියැදුරු සංගමයේ එම නියෝජිතයා ප්‍රකාශ කරනුය‍ේ මෙය හුදෙක් මගීන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂාව සම්බන්ධයෙන් අප්‍රමාදව ගත යුතුව තිබූ පියවරක් මේ මොහොතේ ප්‍රමාද වී හෝ ක්‍රියාත්මක කිරීමක් බවය.

 

සහන් සංකල්ප සිල්වා

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 526

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 244

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3208

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1802

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3781

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4879

Please publish modules in offcanvas position.