Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම ඇගේ ඥාතීන් පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ සිද්ධියක් වාර්තා වෙයි.

එහිදී එම මනාලයා ඥාතීන්ගේ පහරකෑමට ලක්ව ඇති අතර තමන් සතුව තිබූ රුපියල් හතලිස්දහසක් පමණ වන මංගල මුදුව, හෝටලයේ බිල ගෙවීමට තිබූ රුපියල් පනස්දහසක මුදල සහ තමන් සතු ජංගම දුරකථනයද මනාලිය සමගම  ඇගේ ඥාතීන් විසින් පැහැරගෙන ගිය බව මනාලයා විසින් කොච්චිකඩේ පොලිසියට කළ පැමි‍ණිල්ලෙහි සඳහන් වෙයි.

මනාලියගේ ඥාතීන් පිරිසක් මෙසේ එක්වරම ඔවුන්ගේ මධුසම රාත්‍රියට කඩා වැදීමට හේතුව එම රාත්‍රියේ දී මනාලිය විසින් මනාලයා පිළිබඳ යම් කරුණක් දුරකතනයෙන් තම ඥාතීන් වෙත දන්වා සිටීම යැයි අනුමාන කෙරේ. ඇය මෙසේ එම කරුණ තම ඥාතීන් වෙත දුරකතනයෙන් දැන්වීමට පෙර ඔවුන් දෙදෙනා අතරේ බහින් බස් වීමක්ද සිදු වී ඇත.

මෙය මෑතකදී ඉදිරිපත් වූ විවාහ යෝජනාවක ප්‍රතිපලයක් ලෙස සිදුකෙරුණු විවාහයක් බවත් විවාහයට පෙර ඔවුන් දෙදෙනා අතරේ සමීප සබඳතාවයක් නොපැවති බවත් කියනු ලැබේ.

මෙම මනාලයාගේ වයස අවුරුදු විසි හයක් වන අතර මනාලියගේ වයස අවුරුදු විසි එකකි. මනාලයාගේ පැමිණිල්ල මුල්කොට කොච්චිකඩේ පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

 

එස්.ටී.පී සිල්වා

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශේෂ වරප්‍රසාදයක් වන තීරුබදු රහිත බලපත්‍ර විකුණු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් මේ දිනවල සමහර සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ. ඒ ලැයිස්තුවේ කියන ආකාරයට තීරුබදු රහිත බලපත්‍ර විකිණුවේදැයි අපි මන්ත්‍රීන් දෙතුන් දෙනකුගෙන් මෙසේ ප්‍රශ්න කළෙමු.

පර්මිට් එක ඥාතියෙකුට දුන්නා

ගාලු දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු - මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි

මගේ වාහන පර්මීට් එක මගේ ඥාතියෙකු අරගෙන මට වාහනයක් දුන්නා. මම දැන් පාවිච්චි කරන වාහනය ලක්ෂ එකසිය හැත්තෑවක් වටිනවා. ඡන්දයකට සූදානම් වී, මන්ත්‍රීකම ලැබෙන විට අඩුම වශයෙන් කෝටි දෙකක්වත් වියදම් කර තිබෙන්න පුළුවන්. ඡන්දයක් අවසන් වී අවුරුද්දක් යන විට ණය වී සිටිනවා කිව්වොත් එය බොරුවක් ‍නෙවෙයි.

මට ගාල්ලෙ ඉඳල කොළඹට යාමට, ඒමට පසුගිය මාසයේ අධිවේගී මාර්ග ගාස්තු විතරක් රුපියල් විසිඅටදාහක් වියදම් වුණා. මාසෙකට ඉන්ධනවලට විතරක් එක්ලක්ෂවිසිදාහක්. වාහනේ සර්විස්කරන්න විසිපන්දහසක් යනව.

කෝටි දෙකකට වාහනයක් ගන්න පර්මිට් තිබුණත් ඒ වාහනේ ගෙන්වන්න තවත් ලක්ෂ අනූවක් ඕනේ. ඉතින් වාහනයක් ගෙන්වන්න ලක්ෂ අනූවක් වැය කරන්නෙ මොන මන්ත්‍රීද? එහෙම කරන්නෙ මොකටද? වාහන පර්මීට් එකත් කියන්නෙ මන්ත්‍රීවරයෙකුට ලැබෙන වරප්‍රසාදයක්. ඒ වරප්‍රසාදය අරගෙන විකුණල අපි බිස්නස් කරන්නෙ නැහැ. බොහොමයක් මන්ත්‍රීවරු කරන්නෙ ඡන්දෙට වියදම් කරන්න වෙච්ච ණය ගෙවන එකයි.

නිතර දෙවේලෙ ගමනේ යෙදෙන අපිට කැබ් එකක යන්න බැහැ. දවසට පැය තුන හතරකට වඩා ගෙදර නොනිදන අපි බොහෝ විට නිදියගන්නෙත් වාහනේ. මම ප්‍රාඩෝ එකක යන්නෙ එය ආරක්ෂිත නිසා. හැප්පුණත් ජීවිතේ බේරෙනවා. ‍පොඩි කාරෙකක ගිහින් හැප්පුණොත් ජීවිතෙත් ඉවරයි. එතකොට කවුද බිරිඳ, දරුවො ගැන වග කියන්නෙ?

මට ගල්මෝල් ව්‍යාපාර, වැලි බිස්නස් නැහැ. අපේ බැංකු ගිණුම් බැලුවත් හැමදාම ඕ.ඩී. ඉතින් මේ වාහන පර්මිට් විකුණල අපි කරන්නෙ ණය ගෙවල ඔය කියපු දේවල්වලටම යොදවන එක තමයි. ඒක වැරදිද?

හැමෝම කරපු විදියට මමත් පර්මිට් එක වික්කා

එජාප පත් කළ මන්ත්‍රී  - ආශුබෝධ මාරසිංහ

මටත් මුදල් අවශ්‍යතාවයක් තිබුණා,හැමෝම කරපු විදිහට මමත් පර්මිට් එක විකුණුවා. ඒක ලොකු දෙයක් ‍නෙවෙයි. සියලු දීමනා සහිතව මන්ත්‍රී මාසික වැටුප රුපියල් එක් ලක්ෂ පනස් දාහක් පමණ වෙනවා. මේක තමයි ඇත්ත.

මම මහාචාර්යවරයෙක් විදිහට ජපානයේ වැඩ කළා. මාසික ආදායම ලක්ෂ දහයකට වැඩියි. උපදේශක සේවාවෙහි නිරත වුණොත් ලක්ෂ විසි පහක් තිහක් ලබාගන්න පුළුවන්.

මේ සියල්ලම පසෙක දා රට වෙනුවෙන් වැඩ කරන්නයි මං ආවේ. ඉතින් කොළඹ පදිංචියට නිවසක් ඕන. දේශපාලනය කරන්න ඕනි. මේ මන්ත්‍රීකම පිනට පහළ වෙන දෙයක් නෙවේ. ඉතින් මෙම වියදම් දරන්න ක්‍රමයක් අවශ්‍යයි. අඩු වශයෙන් වෙන ආදායම් මාර්ගයක් අවශ්‍යයි. ලංකාවෙ තත්ත්වය අනුව මෙහි විශ්වවිද්‍යාලවල වැඩ කරන්න බැහැ.

මේ රටේ තියෙන දේශපාලන තත්ත්වය වෙනස් කරන්න ආවට පස්සෙ අවුරුදු පහක අනාගතය ගැන හිතන්න ඕනි. දරුවන්ගේ වියදම් ජීවන වියදම් දේශපාලන කටයුතු මේ සියල්ලම කළ යුතුයි.

මට පෞද්ගලික කාරණාවකට මුදල්  අවශ්‍යවුණා. ඉතින් මම වාහනය විකුණුවා. ඒත් වංචාවක් කරලා නැහැ. වාහන විකුණන්න බැහැ කියලා තිබුණේ නැහැනේ.

ලෝකයේ අනිත් රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෘත්තියමය වටිනාකමක් තිබෙනවා. ඒත් මේ රටේ එහෙම ‍නෙවෙයි හැමදේටම මන්ත්‍රී වැරදියි. මේ අය අතර වුණත් බුද්ධිමත් අය නැද්ද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉහළට එන්න ආර්ථික තත්ත්වයක් තත්ත්වයක් හදන්න ඕනෙ.

තමන්ට ලැබෙන වාහනය විකුණා ස්ථිර තැන්පතු දමා ජීවත් වෙන මන්ත්‍රීවරු සිටිනවා. එය සොරකම් කරනවට වඩා හොඳ සාධාරණ දෙයක්.

මම පර්මිට් එක වික්කේ නෑ

එජනිස රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  - වාසුදේව නානායක්කාර

වාහන පර්මිට් එකෙන් වාහනයක් ගෙන්වීම ගැන නම් මගේ නම සඳහන් වී ඇති. මන්ත්‍රීවරයෙකු විදිහට මට ලැබුණු පර්මිට් එකෙන් මා ඩියුටි ෆී වාහනයක් මිලදී ගත්තා.

හැබැයි ඒ වාහනය නම් මම විකුණා දැමුවෙ නැහැ. පර්මිට් එකට  වාහන ගෙන්වා විකුණා දමන අය නම් ඕන තරම් ඉන්නවා.

ඒත් මා මිලදී ගත් වාහනය තිබෙන්නේ මගේ නමටයි.

 



මම වික්කේ ජනතා සුබසාධනයටයි

සමාජ සවිබල හා සුබසාධන නි.ඇමැති  - රන්ජන් රාමනායක

වාහන පර්මිට් එක මන්ත්‍රීවරයකුට ලැබෙන වරප්‍රසාදයක් 2010 දී ලැබුණ පර්මිට් එකේදී වාහනය ලැබි වසර පහක් යනතුරු කිසිවෙකුට පැවැරිය නොහැකි බව පැහැදිලිවම සඳහන් වුණා.

නමුත් 2015දී ලැබුණු පර්මිට් එකේ 'වාහනය ලැබි වසර පහක් යනතුරු පැවැරිය නොහැකිය. යන වගන්තිය තිබුණේ නැහැ. එහි පැහැදිලිවම සඳහන් වන්නේ මන්ත්‍රීවරයාගේ අභිමතය පරිදි රාජකාරියට, දේශපාලනයට ආධාරයක් ලෙස එය යොදවා ගැනීම පිළිබඳවයි.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ වාහන පර්මිට් විකිණීම යන්න ‍නොවෙයි. එසේ විකුණා ලැබුණු මුදල් යෙදවූයේ කුමකටද? යන්නයි. ඇතැම් අය කෝටි දෙක හමාරක් වූ මේ මුදල ගෙන ‍පොලියට දුන් අවස්ථා තිබෙනවා. සමහරු දේපළ මිලදී ගැනීම් ව්‍යාපාර ආදියට යෙදවූවා. එය ඒ අයගේ පෞද්ගලිකත්වය.

හැබැයි මම ගැන කිවුවොත් මේ රන්ජන්ට සුඛෝපභෝගී බි.එම්.ඩබ්ලිව්. රථයක නැගී විරාජමානවී දිවුලපිටියට යාමට අවශ්‍යතාවයක් නැහැ. මා එම වාහන පර්මිට් විකුණා ලද මුදල් යෙදවූයේ 'රන්ජන් රාමනායක' නමින් වූ මගේ පදනමටයි.

මැද පෙරදිග සේවයේ සිටියදී වැරදිවලට හසුවී ගල් ගසා මැරීමට ගෙල සිඳ මරණයට පත් කිරීමට නියමිත වූවන් ඉන් බේරා ගැනීමට 'බ්ලඩ් මනී' ගෙවීමට පවා මා ඒ අරමුදලේ මුදල් යොදවා තිබෙනවා.

මැද පෙරදිග අතරමං වූවන් ගෙන්වා ගැනීමට ගුවන් බලපත්‍ර සඳහා එහි සේවයේ යෙදී සිටියදී මියගිය වුන්ට මිනී පෙට්ටි ගැනීමට මම පදනමින් මුදල් ලබා දී තිබෙනවා.

සෞදි සේවයේ යෙදී සිටියදී ඇණ 21 සිරුරට ගැසීම හේතුවෙන් දුක්විඳි ආරියවතීට විශාල නිවසක් ලබා දුන්නේ මේ මුදලින් තමයි. මහජන දිනයේදී එන ඇතැමුන්ට මා මුදල් බෙදා දෙනවා. භයානක රෝගී තත්ත්වයක් පිළිබඳ පැවැසූ දරුවෙකුගේ අධ්‍යාපනයට වියදම් දෙන්නේ මේ  පදනමේ මුදල්වලින්.

නිලංකා ජයසුරිය

ශ්‍රී ලංකාවේ බඹර ප්‍රහාරවලට නිරතුරුවම ලක්වන්නේ මධ්‍ය කඳුකරයේ වතු කම්කරුවෝය. හැටන්, තලවකැ‍ලේ, නෝර්වුඩ් වැනි ප්‍රදේශවල තේවතුවල ඇති උස් තුරු මත බැඳ ඇති බඹර වදවලින් වතු කම්කරුවන් ප්‍රහාරයන්ට ලක්වූ පුවත් අපි නිතර අසන්නෙමු. එහෙත් පසුගිය සතියේ ගම්‍පොළ ලෙවලන්ඩ් වත්තෙන් වාර්තා වූ බඹර ප්‍රහාරය වෙනදා අප අසනා දකිනා බඹර ප්‍රහාරවලට වඩා බොහෝ සේ වෙනස් වූවකි. ඊට හේතු දෙකකි. ඉන් පළමුවැන්න එකී බඹර ප්‍රහාරය නිසා සුසාන භූමියකට රැගෙන ගිය මෘත දේහයක් මග දමා පිරිස පලා යෑමය. අනෙක් කරුණ වනුයේ මිනිසාගේ පැරණිතම හිතවතා වන සුනඛයෙකුගේ උතුම් ගති සිරිත් ඉන්  මනාව පිළිඹිබු වීමය.

ලෙවලන්ඩ්වත්තේ මානිකට්ටුව පෙදෙසේ පදිංචි 79හැවිරිදි මාරිමුත්තු මහතා දෙදරු පියෙකි. වියපත් වුවද හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටි ඔහු පසුගියදා අභාවප්‍රාප්ත විය. මාරිමුත්තුගේ මරණය ඔහුගේ පවු‍ලේ උදවියට ගෙනාවේ බරපතළ කම්පනයකි. එබැවින් ඔවුන්ගේ එකම උත්සාහය වූයේ උපරිම ගෞරව සහිතව මාරිමුත්තුගේ දේහය මිහිදන් කිරීමය. පවු‍ලේ උදවිය හා අසල්වාසීන්ගේ සෝ සුසුම් මැද මාරිමුත්තුගේ දේහය රැගත් පිරිස මළහිරු බැස යන සැන්ඳෑවේ සොහොන් බිමකරා පිටත් වූහ. පවු‍ලේ උදවියත් නෑ හිතමිත්‍රාදීනුත් සෝබර මුවෙන් තම ඥාතියාට සමුදෙනු වස් සුසාන භූමිය කරා යමින් සිටියහ.

වතුකරයේ අවමඟුල් පෙරහරවල්වල මෘතදේහය රැගෙන යන මග දෙපස රතිඤ්ඤා දැල්වීම චාරිත්‍රයකි. මාරිමුත්තුගේ අවමඟුල් පෙරහරේ ඉදිරිපස ගිය තරුණයන් කීපදෙනෙකුද මග දිගට රතිඤ්ඤා දමමින් ගමන් කළේ එකී චාරිත්‍රය ඉටුකරන්නටය. එහෙත් එකී චාරිත්‍රය නිසා සිදුවූවේ නොසිතූ විරු ඇබැද්දියකි. රතිඤ්ඤා හඬ හා ඉන් නැගුණු වෙඩි බෙහෙත්  දුම නිසා අසල වූ බඹර වදයක බඹරුන් ඇවිස්සී දසත පියාසලන්නට වූහ. කුපිතවූ දහස් ගණනක් බඹරු පැමිණ අවමංගල්‍යය පෙරහරේ ගමන්ගත් පිරිසට එලව එලවා පහරදෙන්නට වූහ. අවට සිටි අය මුලින්ම පලා ගියහ. එහෙත් මෘතදේහය සහිත පෙට්ටියට කර ගසාගෙන ආ උදවියට එසේ දිව යෑමට බැරි විය. ඔවුහු හැකි විලසින් බඹර ප්‍රහාරයෙන්  මිදීමට තැත් කළෝය. එහෙත් ඒ සියලු උත්සාහ අසාර්ථක විය. අවසන දේහය  සහිත පෙට්ටිය බිම දමා ඔවුහු හිස් ලූ ලූ අත දිව ගියහ.

මෙසේ බඹර ප්‍රහාරයෙන් බේරීමට දිවගිය පිරිසෙන්  සිව්දෙනකු මාරිමුත්තු මිහිදන් කිරීමට හාරා තිබූ සොහොන් වලටද පැන බේරීමට උත්සාහ කළෝය. එහෙත් ඉන් සිදුවූයේ  නොසිතූ විපතකි.  වළ තුළට කොටු වූ සිව්දෙනාට බඹරු සිත්සේ ප්‍රහාර එල්ල කළහ.

ප්‍රහාරයට ලක්වූවන් අතර අවුරුදු 10ක කුඩා දරුවෙක් ද විය. අවසානයේ දැඩි බඹර ප්‍රහාරයට ලක්වූ අටදෙනෙකු ගලහ රෝහලට හා පේරාදෙණිය රෝහලට ඇතුළත් කරනු ලැබිණ.

බඹරුන් සන්සුන්ව යථාතත්ත්වයට පත්වීමට පැය දෙක තුනක්වත් ගතවීම සාමාන්‍ය තත්ත්වයකි. ඇඳිරි වැටීගෙන එන්නේ නම් එය වඩාත්  ඉක්මන් වේ. ඒ අනුව පැය දෙකක් පමණ ගොස් ඇඳිරි වැටීගෙන එන විට ගමේ තරුණ පිරිස  ඇතුළු කිහිපදෙනෙකු පන්දම් පත්තුකර නැවත සොහොන් පිටිය දෙසට පැමිණියේ මිනියට කුමක්වී ඇතිදැයි කතාබහ කරමිනි.

ඌරන් හා දිවියෝ මේ ප්‍රදේශයේ බහුලව සැරිසරති. එබැවින් පැමිණි පිරිස තුළ සැක මතුවී ඇත්තේ උන්ගෙන් මිනියට කිසියම් හානියක් සිදුවී ඇතිදැයි කියාය. ඔවුන්ගේ සැකය තහවුරු කරමින් දමා ගිය මිනී පෙට්ටිය අසල සතෙකු ගැවසෙන අයුරු අඬ අඳුරේම  නිරීක්ෂණය  කරන්නට ඔවුනට හැකිවිය. ඌරෙකු පැමිණ දේහයට හානිකර ඇතැයි තීරණය කළ තරුණයෝ ඌරා පලවා හරිනු රිසින් ඊට සූදානම්ව පෙට්ටිය වෙත ළං වූහ.

නමුත් එක්වරම දුටු දෙයින් කවුරුත් විමතියට පත්වූහ. තම පේළි නිවාසයේ සිටින ජිමි නම් සුනඛයා පමණක් මාරිමුත්තු‍ගේ දේහයට තනි රකින අයුරු දුටු සියල්ලන්ගේම නෙත්  කඳුළින් තෙත් විය.

“අපි දිව්වත් බල්ලා මාරිමුත්තු  ළඟ නැවතිලා. බල්ලාටත් බඹරු ගහන්න ඇති. ඒත් ඌ මාරිමුත්තු  අතෑරලා නෑ” පිරිසේ සිටි අය කියන්නට වූහ.

ලෙවලන්ඩිවත්තේ මාරිමුත්තු සමග ජිමී  නම් මේ සුනඛයා බොහෝ හිතවත්ව සිටී බව ප්‍රදේශවාසීහු පවසති. මිනිසුන් වයසට  යන විට  තනි වන අවස්ථාවල  සතුන්ගෙන් බොහෝ ආදරය  ලැබේ.

මේ සුනඛයාද අබල දුබල වූවෙකි. එහෙත් වියපත් මාරිමුත්තුට ළංවී සිට ඇත. කෙසේ හෝ සුනඛයාට පෙර මාරිමුත්තුගේ දෛවය ඉක්මන් විය. මාරිමුත්තුගේ සිරුර නිවසේ තැන්පත් කර තිබූ දින කිහිපයක් සුනඛයා ඒ අසල සිටිමින් කෑම බීම පිළිබඳව පවා නොතකා දේහයට තනි රැක තිබේ. අවසන සොහොන කරා රැගෙන යන අවස්ථාවේදී ද ජිමී ඒ පසුපසින් ගියද කාගේවත් අවධානයට ලක්වී නැත.

නෑ හිතමිතුරන් පමණක් නොව අඹුදරුවන්ද බඹර ප්‍රහාරයෙන් බේරෙන්නට  මාරිමුත්තු ගේ ‍දේහය හැරදමා යද්දී  ඒ  උතුම් සතා  මාරිමුත්තු හැර නොගියේය. ඒ නිසා දැන් ලෙයිලන්ඩ් වත්තේ පමණක් නොව මුලු ලංකාවේම අවධානය දිනාගන්නට ජිමී සමත්ව ඇත. දැන් මාරිමුත්තු මිහිදන් කර දින ගණනක් ගෙවී ඇත. මේ වන විට මාරිමුත්තුගේ මතකය ප්‍රදේශවාසීන්ට කෙමෙන් අමතක වෙමින් පවතී. එහෙත් ජිමීගේ ලෝකයෙන් තවමත් මාරිමුත්තු ඉවත් වී නැත.

මාරිමුත්තුගේ නිවසේ සිට සොහොනට කිලෝමීටරයකට වඩා දුරක් ඇත. ඒත් අදටත් මෙම සුනඛයා මාරිමුත්තුගේ සොහොන අසල තනි රකින බව ප්‍රදේශවාසීහු පවසති.





එස්.ඩී. රාජනායක

නිරෝෂා පෙරේරා ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. මතුපිටින් ඔබ දකින නිරෝෂාට වඩා වෙනස්ම චරිතයක්ද ඇගේ හදවත තුළ සැඟවී සිටින්නේ. මේ කතා බහ තුළින් ඔබට නිරෝෂාගේ ජීවිතයේ සැඟවුණු තැන් වගේම ඇගේ අභ්‍යන්තරය ගැනත්මනා අවබෝධයක් ලබාගත හැකියි. 
 
“ඉරෝෂයි නිරෝෂයි“, ‘නිරෝ ඇන්ඩ් ද ස්ටාර්ස්’, “ෂෝ ටයිම් විත් නිරෝ’, “හැපි අවර් විත් නිරෝ” මේ හැම වැඩසටහනකටම නම දා ගන්නේ ජනප්‍රිය වෙන්නද? 
(හිනැහී) ඔය කිසිම වැඩසටහනකට මගේ නම යොදන්න කියලා මම ඒ නාලිකාවලටවත් නිෂ්පාදන අංශවලටවත් කිසිම බලපෑමක් කරලා නැහැ. මගේ නම ඒ වැඩසටහනට ආලෝකයක් එකතු කරනවා ඇති. ඒක වෙන්න ඇති මගේ නමින්ම මගේ වැඩසටහන් කරන්නේ. 
 
මේ හැම වැඩසටහනක්ම විනෝදාත්මක වැඩසටහන්. ශාස්ත්‍රීය වැඩසටහන් කරන්න දැනුමක් නිරෝෂාට නැද්ද? 
මගේ දැනුම ගැන ආත්ම විශ්වාසයක් මට තියෙනවා. ගොඩක් අය යම් හැදෑරීමක් කරන්නේ ඒ තුළින් රැකියාවකට යන්න. ගණකාධිකරණය හදාරන අය බැංකුවලට යනවා. විද්‍යාව හදාරලා වෛද්‍යවරු වෙනවා. මම දැනුම එකතු කරගනිමින් අධ්‍යාපනය ලබමින් විශාල ආත්ම තෘප්තියක් ලබනවා. ලැබෙන විවේකය මොකක් හෝ හැදෑරීමක් කරන්නයි මම උත්සාහ කරන්නේ. මම මහ ලොකු වැඩ ගොඩක් භාරගන්නේ නැහැ. “සෙවණැලි“ හා “කන්දක් සේමා” චිත්‍රපට කරලා ඉවරයි. මේ දවස්වල මම ටිකක් විවේකී සුවයෙන් ඉන්නේ. දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද දන්නවාද? විවේකීව ගෙවන මේ දින කිහිපය තුළ හදාරන්නේ මොනවාද කියන එක. 
 
මේ වන විට නිරෝෂා හදාරලා තියෙන්නේ මොනවාද? 
මම ඉගෙන ගත්ත දේවල් මාධ්‍යයට කියන්න මම කැමැති නැහැ. ඒත් අහපු හින්දා මම කියන්නම්. මම බැ‍ලේ, උඩරට නැටුම්, බටහිර නර්තනය, ඉන්දියන් නැටුම් හදාරලා පියානෝ, ගැටබෙර, යක්බෙර වාදනය හදාරලා තියෙනවා. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ප්‍රංශ හා ජපන් භාෂා හදාරලා තියෙනවා. ඊට අමතරව සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව හදාරලා තියෙනවා. භරත නාට්‍යයම් ස්පැනිෂ් හා ඉතාලි භාෂා දෙක තරමක් දුරට හදාරලා තියෙනවා. 
 
නිරෝෂා මනෝ විද්‍යා උපදේශකවරියක් විදියට කටයුතු කරනවා කියන එක නම් හැමෝම දන්නේ නැහැ නේද?
ඉස්කෝලෙ යන කා‍ලේ ඉඳන් යාළුවෝ එයාලට ප්‍රශ්නයක් ආවාම කියන්නේ මටයි. නිරෝෂාට ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා කියලයි හැමෝම කියන්නේ. ඒ හින්දාමයි මට හිතුණේ මනෝ විද්‍යාව හදාරන්න. මම මනෝ විද්‍යා උපදේශනය දෙනවා තමයි. හැබැයි සතයක්වත් අය කරන්නේ නැහැ. දන්න අඳුනන අයටයි උපදෙස්. මා සොයා එන අයටත් මම දෙනවා. හැබැයි අනාගතේ දවසක මම වෘත්තීය මට්ටමේ මනෝ විද්‍යා උපදේශකවරියක් වෙන්නත් බැරි නැහැ. 
 
මනෝ විද්‍යා උපදේශනය වෙනස්ම අත්දැකීම් රැසක් නිරෝෂාට ඇති?
මනෝ විද්‍යා උපදේශනයේදි ප්‍රධානතම දේ තමයි තමන් ළඟට එන අයගේ රහස්‍යභාවය රැකීම. තමන්ගේ ජීවිතේ නැති කරගන්න උත්සාහ කරපු අයටත් මම උපදෙස් දීලා හිත් හදලා තියෙනවා. ගොඩක් තරුණ ළමයින්ට තියෙන්නේ ලිංගික ප්‍රශ්න. ගෑනු ළමයි එක්ක විවෘතව ඒ ගැන කතා කළත් මාත් එක්ක කෙළින් ඒ වගේ දේවල් කතා කරන්න පිරිමි ළමයි එන්නේ නැහැනේ. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න දීර්ඝව ලියලා දෙන පිරිමි ළමයි ඉන්නවා. සමහර වෙලාවට හරිම සුළු ප්‍රශ්න මහ ලොකු ප්‍රශ්න කරගෙන විඳවන අයත් ඉන්නවා.
 
ජනප්‍රිය චරිත තමන්ගේ මානසික ගැටලුවලට විසඳුම් ගන්න නිරෝෂා ළඟට ඇවිත් නැද්ද? 
මට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැහැ. 
 
ඔයාගේ නංගි ඉරෝෂා දැන් පේන්න නැත්තේ ඇයි? 
එයා අපේ පවු‍ලේ ව්‍යාපාර බලා ගන්නවා. මටත් වඩා රඟපෑමේ ආරාධනා ඉරෝෂාට එනවා. ඒත් එයා රඟපාන්නයි නිවේදනයටයි වැඩි කැමැත්තක් නැහැ.
 
නිරෝෂයි ඉරෝෂයි තවම තනිකඩයි. විවාහ වෙන්න කියලා අම්මා බලපෑම් කරන්නේ නැද්ද?
මට නම් බලපෑම් අඩුයි.බොහෝ විට මට කලින් ඉරෝෂා විවාහ වෙයි. 
 
ඒ කියන්නේ ඉරෝෂට පෙම්වතෙක් ඉන්නවා....?
මගේ පෞද්ගලිකත්වයවත් මාධ්‍යයට කියන්න අකමැති මම ඉරෝෂාගේ විවාහය ගැන කොහොමද කියන්නේ. ඒ ගැන එයාගෙන් අහන්න. 
 
එහෙනම් නිරෝෂාගේ විවාහය ගැන කතා කරමු
හෙට මම විවාහ වෙන්නත් පුළුවන්. සදාකාලිකව තනිකඩව ඉන්නත් පුළුවන්. 
 
ඇයි ඒ දෙගිඩියාව?
කෙනෙකුගේ බිරිඳ වෙලා එයාටම ජීවිතේ කැප කරනවා කියන්නේ ලොකු දෙයක්. මගේ හැමදේම අතෑරලා ඒ වගේ කැප කිරීමක් කරන්න නම් එයා මට සුවිශේෂ කෙනෙක් විය යුතුයි. මොන හේතුවක්ද මන්දා ඒ තරම් සුවිශේෂී කෙනෙක් මට හමුවෙලාම නැහැ. එහෙම කෙනෙක් හමුවුණොත් මේ හැමදේම දාලා එයාගේ බිරිඳ වෙනවා. 
 
නිරෝෂාට පෙම්වතෙක් නැහැ කියලද ඔය කියන්න හදන්නේ?
(හිනැහී) මේ වෙනකොට නම් ඒ වගේ කෙනෙක් නැහැ.
 
ප්‍රේමවන්තයෙක් ඉඳලා තියෙනවාද? 
මේ කතාව මම කාටවත් නොකියපු රහසක් අද වන තුරු මගේ හිතේ විතරයි තිබුණේ. ඒ රහස මම කියන්නම්. තවමත් සැබෑම සැබෑ ප්‍රේමවන්තයා මගේ ප්‍රථම ප්‍රේමයයි. එයාට විතරයි මම ආකර්ෂණය වුණේ. අනිත් හැමෝම මට ආකර්ෂණය වෙලා මගේ පස්සෙන් ආපු අය. ඒ අයව මම අදටත් ගණන් ගන්නේ නැහැ. 
 
ආරියවංශ කුලතිලක 
 
ඡායාරූප - මීෂා ගුණවර්ධන

ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙකු විදිහට කවුරුත් දැන හඳුනාගෙන සිටින කමල් අද්දර ආරච්චිට පසුගිය දිනවල එක්තරා විදිහක අභියෝගයකට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ චරිතයට පණ පෙවීමට සිදුවීම. අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටය වෙනුවෙනුයි ඔහු එම අභියෝගය බාරගත්තේ. මේ වන විටත් සිනමා ලෝලීන් අතර විශාල අවධානයක් දිනාගෙන තිබෙන “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වූ හැටියේ එහි අත්දැකීම් “අප” සමග බෙදා හදා ගන්න කමල් අද්දර ආරච්චි අමතක කළේ නැහැ. 
 
කමල්ට ආයෙමත් විවේකයක් ලැබිලා නේද? 
ඔව්. “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටයේ රූගත කිරීම් මීට සතියකට විතර කලින් අවසන් වුණා. ඒ නිසා මේ දවස්වල ටිකක් විවේකයෙන් ඉන්නවා. 
 
කොච්චර කාලයක් චිත්‍රපටය වෙනුවෙන් වෙහෙසෙන්න වුණාද?
මට මාස 1   1/2 විතර රූගත කිරීම්වලට දායක වෙන්න වුණා. 
 
රූගත කිරීම් අවසන් වෙලා තමන් රඟපෑ චරිතය දෙස ආපසු හැරිලා බලද්දි මොනවාද හිතෙන්නේ?
මට හිතෙනවා මම ඒ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කළා කියලා. රෝහණ විජේවීර කියන චරිතය ගැන විශාල ගවේෂණයක් කරලයි මම චරිතයට අවතීර්ණ වුණේ. මම හිතනවා මගේ උත්සාහය සාර්ථකයි කියලා.
 
එවැනි චරිතයක් රඟපෑම නළුවෙකුට අභියෝගයක්ද? 
ඇත්තෙන්ම ඔව්. මොකද මම රඟපෑවේ කවුරුත් දන්නා කියන ජීවමාන චරිතයක්. ඒ නිසා මට ඒ වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න සිදු වුණා. 
 
මේ චරිතය අභියෝගයක් කියලා වැඩිපුරම දැනුණ අවස්ථාවක් සිහිපත් කරන්න පුළුවන්ද? 
රෝහණ විජේවීරගෙ පෙනුම ගන්න මට බොරු දත් කුට්ටමක් පලඳින්න වුණා. ඔහු ඉතා වේගවත්ව කතා පැවැත්වූ කෙනෙක්. ඉතින් මගේ දත්වලට අමතරව තවත් දත් කුට්ටමක් කටේ තියෙද්දි එවැනි දර්ශන රඟපාන එක පහසු දෙයක් වුණේ නැහැ. ඒ අපහසුතාවලින් මිදෙන්න මට ඇතැම් විට මගේම ශිල්පක්‍රම භාවිත කරන්න සිද්ධ වුණා.
 
දර්ශන තලයේදී ඔබට හොඳ ප්‍රතිචාර ලැබුණා කියලා ආරංචියි? 
ඔව්. රෝහණ විජේවීරට ගරු කරන බොහෝ අය රූගත කිරීම් බලන්න ඇවිත් හිටියා. දර්ශන තලයේදී ඔවුන් ඉදිරියේ බොහොම සංවරව තමයි මට හැසිරෙන්න සිදුවුණේ. 
 
ඒ සංවරකම ඔබ සැබෑ ජීවිතයටත් එකතු කරගත්තා කියන්නේ ඇත්තද? 
යම් චරිතයක් රඟපාන්න නළුවෙක් පේවෙන්න ඕනෑ කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අනෙක ඒ චරිතයට අදාළ ලක්ෂණ තමන්ගේ සැබෑ ජීවිතයටත් එකතු කරගෙන රඟපෑ යුතුයි කියන මතයේ මම නැහැ. හැබැයි මේ චරිතය රඟපාපු කාලය තුළදී නම් මට අමද්‍යප වෙන්න වුණා.
 
ඒ ගැන ටිකක් විස්තර කළොත්?
චිත්‍රපටයක් රූගත කරන කාලෙට නළු නිළියන් ඇතුළු කණ්ඩායම එකතුවෙලා වයින් එකක් බියර් එකක් බිලා සවුදිය පුරන එක සාමාන්‍ය දෙයක්නේ. හැබැයි මේ චිත්‍රපටය අතරතුරදී නම් මට එහෙම කරන්න හිතුණේ නැහැ.
 
ඇයි එහෙම වුණේ? 
රෝහණ විජේවීර කියන්නේ සිගරට් හෝ මත්පැන් නොබිපු කෙනෙක්. නමුත් සැඟවී සිටින කා‍ලේ තමන් සිගරට් මත්පැන් බොන කෙනෙක් විදිහට සමාජයට පේන්නයි ඔහු ඒවා නිවසේ තියාගෙන හිටියේ. මොන හේතුවක් නිසාද මන්දා චිත්‍රපටයේ වැඩ පටන් ගත්දා ඉඳන් මේ වන තුරුත් මමත් බියර් වීදුරුවක්වත් කටේ තියලා නැහැ. 
 
තවත් අභියෝගයක් බාරගන්න සූදානමින්ද මේ දිනවල ඉන්නේ?
මම කොහොමත් මට ලැබෙන ආරාධනා හොඳට තෝරා බේරාගෙන බාරගන්නා නළුවෙක්. හැබැයි මෙදා පාර නම් මට වැඩි කාලයක් විවේකයෙන් ඉන්න බැරි වේවි. 
 
ඒකට හේතුව? 
ජයන්ත චන්ද්‍රසිරිගේ මීළඟ සිනමා නිර්මාණයේ රූගත කිරීම් අද හෙටම පටන් ගන්නවා. චිත්‍රපටයේ නම ඝරසර්ප. මටත් එහි ප්‍රධාන චරිතයක් වෙන් වෙලා තියෙනවා. 
 
කිෂාන් කනංකෙ
 
ඡායාරූප: ෆ්‍රෑන්ක් ද සොයිසා

තාරක දිල්ෂාන් කුමාර හේරත් මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ 9වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රටක් වටින දරුවෙකි. මෙම දරුවා පසුගිය දිනෙක ලංකාවේ නව ලෝකයේ රන් අකුරින් සටහන් කිරීමට කටයුතු කළේය. ඒ මැ‍ලේසියාවේ පැවැති ජාත්‍යන්තර නව නිපැයුම් හා තාක්ෂණ ප්‍රදර්ශනයේත් (International inventors Technology Exeibition - ITEX 2017)  රටවල් පනස් තුනක තරගකරුවන් දෙසිය තිස්හය දෙනෙකු (236) පරදවා මෙරටට රන් පදක්කම් එකක් නොව තුනක්ම ලබා දෙමිණි. මෙම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ රන් පදක්කම මෙන්ම හොඳම නිර්මාණයට හිමි සම්මානයද තරගාවලියේ ප්‍රථම ස්ථානයද හිමිකර ගත්තේ තාරක දිල්ෂාන් විසින්. ලොවක් මවිත කළ මෙවැනි අවිශේෂී දක්ෂතාවයන් දැක් වූ තාරක තවමත් පසුවන්නේ දාහත් වැනි වියේය.
 
තාරුක දිල්ෂාන් මෙකී තරගාවලි සඳහා ඉදිරිපත් කළ නිර්මාණය වන්නේ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් භාවිතා කරන සුදු සැරැටියක්. එය උසස් තාක්ෂණයෙන් ‍පොහොසත් වූවකි. එය අද කා‍ලේ හැටියට ස්මාර්ට් සැරැටියක් යැයි පැවැසීම වරදක් නෙවේ. තම නිර්මාණය පිළිබඳ තාරුක පද ගැළපුවේ මෙලෙසිනි.
අපේ ගමේ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් සතර දෙනෙකු සිටියා. ඉන් එක් අයෙකු මිය ගියා. ඒ වෙලාවේ මම හිතුවා මේ අයට උපකාරවන නිපයුමක් නිර්මාණය කරන්න අවශ්‍යයි කියලා. ඒ අනුව තමයි සුදු සැරැටිය මම නිර්මාණය කළේ.
ඔහු ප්‍රථමයෙන්ම ඔහුගේ නිර්මාණය ඉදිරිපත් කරනුයේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගෙ සහයත් නිපැයුම් 2016 තරගාවලිය සඳහායි. එහිදී ඔහු ඉදිරිපත් කළ අංශයෙන් කලාප, පළාත් හා සමස්ත ලංකා ප්‍රථමයා වීමට ඔහුට හැකි විය. එකී ජයග්‍රහණය ඔහුට මැ‍ලේසියාවේ ක්වාලාලම්පුර් තරගාවලියට යාමට මග පෑදෙන්නේය.
තාරක විසින් සැරැටිය නිර්මාණයේදී ප්‍රධාන වශයෙන් කිරීමට උත්සාහ කර ඇත්තේ වටපිටාවේ පිරිසට මේ පැමිණෙන්නේ දෘශ්‍යාබාධ සහිත අයකු බව හැඟවීමටය. එහිදී විශේෂයෙන් රාත්‍රියේදී ඉදිරියෙන් අන්ධ පුද්ගලයකු පැමිණෙන බව හැඟවීමට සැරැටියට රතු පාට බල්බයක් සවිකර ඇති. ඊට අමතරව ලුමිනස් වර්ණයෙන් කහපාට පටිවලින් සැරැටිය සැරසීමට ඔහු කටයුතු කරගෙන ඇත.
එනිසා පසුගියදා විදුලිබල අක්‍රිය වුවද සැරැටිය හඳුනාගැනීමට අවට සිටිනා අපට හැක.
මේ විදිහෙ දෙයක් රියදුරකු දුටු විට අනිවාර්යෙන්ම වාදනයක් බව හඳුනාගන්නවා ඒ අනුව රථයේ වේගය පාලනය කිරීමට ඔහුට හැකි වෙනවා. 
ඉදිරියෙන් බාධකයක් තිබෙන බව අන්ද පුද්ගලයින්ට දැන ගැනීම සඳහා මම සංවේදකයක් (Sencer) එකක් සැරයැටියට හයි කළා. එහිදී බාධකයක් ඇති විට සැරැටිය දෙදරීමටක ලක් වෙනවා. එහිදී දෘශ්‍යාබාධ සහිත පුද්ගලයාට බාධකය හඳුනා ගන්නවා. දෘශ්‍යාබාධ සහිත අයට රාත්‍රී දහවල වෙන්කර හඳුනා ගන්න හැකියාව නැහැ. මම ඔවුනට එය අවබෝධ කරගැනිමට ක්‍රම වේදයක් සැරැටියට ඇතුළත් කළා. එහිදී බොත්තමක් තද කිරීම තුළින් එය හඳුන්වා දෙනවා. දහවල නම් This is Sun time රාත්‍රිය නම් This is Night time යනුවෙන් පටිගත කළ පාඨයක් වාදනය වෙනවා. උදව්වක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට එහි තිබෙන්නේ බොත්තමක් එබිම පමණයි.
 
ස්විචය නවතන තුරාම Please help me යනුවෙන් පටිගත කළ පාඨකයක් වාදනය වෙනවා. මේ හැම දෙයක්ම මම අදාළ ලෙස සැලැසුම් කරලා (Programme)  තියෙනවා. ඒවාගේම මේ සැරැටිය යටට බෝල හයිකරලා තිබෙනවා. එහිදී මෙය රැගෙන යන්නට ඉස්සීමකින් තොරව එහාට මෙහාට කිරීමේ හැකියාවත් තිබෙනවා.
 
තාරුක නිර්මාණ්‍ය කළ සැරැටිය නැවත විදුලි බලය ආරෝපණය (Recharge) කිරීමේ හැකියාව ඇති බැටරියකින් සමන්විතය. එකවරක් පූර්ණ ලෙස ආරෝපණය කිරීමෙන් පැය දෙකක් නොකඩවා භාවිතා කළ හැකි වේ. එයට අමතරව භාවිතා නොකරන  විට විදුලි සැපයුම විසන්ධි කර තැබිමේ හැකියාව මෙහි ඇත.
 
තාරක දිල්ෂාන්ගේ මෙකී සියලු දක්ෂතා හඳුනා ගත්තේ මාවතගම මධ්‍ය මහා විදුහ‍ලේ තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයා වන කේ.බි.එස්. නන්දන කුමාරය.
තාරක පුතා 7 වසරේ ඉගෙන ගන්නා විට තනියම කැරකෙන වෙසක් කූඩුවක් හැදුවා. මම එදා තමයි මේ පුතාගේ දක්ෂතාවය හඳුනා ගත්තේ ඒ අනුව තමයි මූලික තරගය සඳහා මේ පුතාව පාසල් මට්ටමින් මම ඉදිරියට යැවීමට පියවර ගත්තේ..
තාරුක පුතු පිළිබඳ ගෘහණියක වන මව ශිරෝමි ලියනආරච්චි පවසන්නේ මෙසේය.
අපේ ගෙදර දඟම දරුවා. ‍පොඩි කා‍ලේ හරිම දඟයි. මුරණ්ඩුයි. ඒ වාගේම හරියට තරහා යනවා. ‍පොඩි කා‍ලේ කෑම මේසේ පුටු හයම කැඩුවා. ඒත් දැන් ගතිය ටිකක් අඩුවෙලා. කවදාවත් නැහැ බැහැ කියන වචන පුතාගේ කටින් පිට වෙන්නේ නැහැ. හැම විටම බලන්නේ ඉදිරියටම යන්න. අවුරුදු උත්වයකට ගියත් තෑගි ගොඩක් අරගෙන තමයි ගෙදර එන්නේ. පාස‍ලේ 2 වසරේ ඉගෙන ගන්න කොට එයාට මහණ වෙන්න ඕන කියලා මුරණ්ඩු වුණා. නමුත් පසුව එය මග හැරිලා ගියා. දැන් පුතා ඒ තරමටම තැන්පත් දරුවෙක්.
තාරකට ඇත්තේ මෙම හැකියාව පමණක් නොවෙයි. ඔහු ඉගෙනීමටද දක්ෂ දරුවෙකි. ඔහු කරාටේ කොළ පටි හිමිකරුවෙකි. ගමේ පන්ස‍ලේ ශිෂ්‍ය සමිතිවල නිලතල රැසක් හොබවන ඔහු වොලිබෝල් හා ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත වෙයි. ඔහු අවසානයේ ඔහුට උදව් කළ සැමට ස්තුති කිරීමට අමතක නොකළේය.
ඔහුගේ පියා වන වසන්ත කුමාර හේරත් සුළු ව්‍යාපාරිකයෙකි. නමුත් පුතුට තිබෙන අනාගත බලා‍පොරොත්තු ඉටු කිරීමට යම් යම් අපහසුතා ඔහුට නැතුවාම නොවේ. මේ හේතුව නිසාම තාරුක මෙවැනි ඉල්ලීමක් සැමගෙන් ඉල්ලා සිටියේය.
'මට රට යන්න ආසාව තිබුණා. අද මම එය ඉටුකරගත්තා. ඒ වාගේම මම හරිම ආසයි. රාජකීය, ආනන්ද නාලන්ද හරි ධර්මරාජ, කිංස්වුඩ් වගේ පාසලකට ගිහිල්ලා මගේ දැනුම තවත් වර්ධන කර ගැනීමට. ඒ සඳහා මා මේ වගේ පාසලකට ඇතුළත් කරගන්නවා නම් මට තවත් ඉදිරියට ගොස් තවත් නව නිර්මාණ කිරීමේ හැකියාව තිබෙනවා. මට අවශ්‍ය නිවැරදි දැනුම පමණයි. ශක්තිය මා සතුව පවතිනවා. මේ දරුවාගේ අහිංසක බලා‍පොරොත්තුව සරිකිරීමට හැකි නම් අනාගත විද්‍යාඥයකු අපි සතුවනවා නොඅනුමානයි.
 
ශිරෝමි රත්නායක 
IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 816

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1504

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 776

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1998

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 652

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4498

Please publish modules in offcanvas position.