Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලාංකේය සිනමා නිළියක් පහුගියදා අන්තර්ජාතික සම්මාන උළෙලකදී හොඳම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ රංගන ශිල්පිනිය තමයි අනෝමා ජිනාදරී. ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වුණු “Asian world Film Festival හිදී තමයි ඇයට එම සම්මානය හිමි වුණේ. අනෝමා එම සම්මානය දිනා ගත්තේ, සංජීව පුෂ්පකුමාරගේ නවතම සිනමා පටය වන “දැවෙන විහඟුන්” හි ඇය කළ රංගනය වෙනුවෙන්.  කොහොම නමුත් එම සම්මානය පිටුපස ඇති කතාව සම්මානය තරම් මිහිරි නොවන බව පවසමිනුයි ඇය අප සමග මේ විදිහට සංවාදයකට එක් වුණේ. 
 
Asian world Film Festival හිදී පිරිනැමෙන සම්මානය ලබාගත්තේ ඔබ නොවෙයි අධ්‍යක්ෂවරයායි. ඇයි ඔබ සම්මානය පිළිගන්න නොගියේ? 
සංජීව දැනටමත් සිනමා උළෙල 13කට මේ චිත්‍රපටය රැගෙන ගොස් තිබෙනවා. නමුත් ඒ කිසිදු අවස්ථාවක ප්‍රධාන චරිතය රඟපෑ මට මේ කියපු එකම සම්මාන උළෙලකටවත් ඇරයුම් කළේ නැහැ. ඒ වෙනුවට සුළු චරිත රඟපාන ආධුනික නළු නිළියන්ව තමයි ඒවාට සහභාගි කරවාගත්තේ. ඒ විතරක් ‍නෙවෙයි තරග වදින ඉසව්වලදී තිර නාටකය සහ අධ්‍යක්ෂවරයා යන 
ඉසව්වලට පමණක් චිත්‍රපටය යොමු කරවනවා. “ඉගිල්ලෙන මාළුවෝ” චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන ගයේෂා පෙරේරාත් එම ඉසව්වලදී  රඟපෑම් අංශ ඇතුළත් නොකරන බවට මේ අධ්‍යක්ෂවරයාට මීට කලිින් බරපතළ චෝදනා එල්ල කළා.
 
නමුත් ඔබට මෙවර ඔබේ රඟපෑම වෙනුවෙන් සම්මානයක් හිමි වෙනවා?  
ඔව්. Asian world Film Festival ජූරිය මගේ රඟපෑම ඒකමතිකව අගය කිරීමට ලක් කළ නිසා මට ඒ සම්මානය ලැබුණා. සම්මානය ගන්න ගිය පුද්ගලයාට අඩුම තරමේ සහතිකයක්වත් නොතිබියදී තමයි ඔහු මට හිමි සම්මානය ගන්න තනිවම ගියේ්. 
 
සම්මානය ලබාගත් පසු අධ්‍යක්ෂවරයා ඔබට කතා කළාද? 
මට මේක කියන්නත් ලැජ්ජයි. මේ වෙන තුරු ඔහු ඒ ගැන මට කතා කරලා නැහැ. චිත්‍රපටයේ අධ්‍යක්ෂණය ඔහුගේ නිසා චරිතයත්, එය රඟපාන නිළියත් ඊට ලැබුණු සම්මානයත් ඔහුගේ කියලා ඔහු හිතනවා ඇති. 
 
ඔබ බොහෝ විට ආන්දෝලනාත්මක චරිතවලට පණ ‍පොවන නිළියක ලෙසයි ප්‍රකටව සිටින්නේ. සම්මානයට පාත්‍ර වූ “දැවෙන විහඟුන්” චිත්‍රපටයේ ඔබේ චරිතයත් එවැනි එකක්ද? 
ඇත්තෙන්ම ඔව්. කුසුම් නමැති එම චරිතය සමස්ත චිත්‍රපට වෘත්තාන්තය පුරාම ඇගේ මානයෙන් රූප කථනය වෙනවා. 1989 භීෂණය සමයේදී සිය සැමියා පැහැරගෙන ගොස් මරා පුළුස්සා දැමීමෙන් පසුව කුසුම් තමන්ගේ දරුවන් අට දෙනා සහ නැන්දනියත් සමග ජීවන අරගලයට මුහුණ දෙන ආකාරය තමයි චිත්‍රපටයෙන් කියැවෙන්නේ. 
 
නිරුවත් දර්ශන ඇතුළත් වීම හේතුවෙන් ඔබ රඟපෑ ඇතැම් චරිත මීට පෙර විශාල වශයෙන් කතා බහට ලක් වූ අවස්ථා තිබෙනවා. මෙම චිත්‍රපටයේදිත් ඔබට එවැනි දර්ශනවලට පෙනී සිටින්නට සිදුවුණාද? 
ඔව්. චිත්‍රපටය පුරා ලිංගික ජවනිකා 14ක් තිබෙනවා. කුසුම් තමන්ගේ දරුවන් ජීවත් කරවීමට දරන අරගලයේදී ඇයට අවසානයේ ගණිකා වෘත්තිය තමයි තෝරා ගැනීමට සිදුවන්නේ. ඒ නිසා මට එවැනි දර්ශනවලට පෙනී ඉන්න සිදුවුණා. 
 
සංජීව පුෂ්පකුමාර මීට පෙර අධ්‍යක්ෂණය    කළ “ඉගිල්ලෙන මාළුවෝ” චිත්‍රපටය තහනමට පවා ලක් වුණා. එසේ තිබියදී ඇයි ඔබ ඔහුගේ නිර්මාණයකට නොබියව සම්බන්ධ වුණේ? 
ඒ චිත්‍රපටය තහනම් කළ අවස්ථාවේදී එහි රඟපෑ නළු නිළියන් බහුතරය පරීක්ෂණ සඳහා කැඳවූවා. ඔය කියන සිදුවීමේදී තමන්ගේ ශිල්පීන් අනතුරට වැටී සිටියදී මගහැර යාම නිසා තමයි අධ්‍යක්ෂවරයා අපකීර්තියට පත් වුණේ. “දැවෙන විහඟුන්” චිත්‍රපටය ඊට සපුරා වෙනස් තේමාවක් රැගත් එකක් වීම සහ එය මගේ සමාජ දැක්මට ගැළපෙන එකක් වීම නිසයි මම සංජීවගේ ආරාධනාව බාරගත්තේ. 
 
මීට පෙර දායක වූ ඇතැම් නිර්මාණවලදී ඔබට, ඔබ රඟපෑ චරිතයේ වටිනාකමට සරිලන ගෙවීමක් නොලැබුණු බවට ඔබ මීට පෙර චෝදනා නගා තිබෙනවා. මේ චිත්‍රපටයේදී ඔබට එවැනි ගැටලුවලට මුහුණ දෙන්න සිදුවුණේ නැද්ද? 
මේ චිත්‍රපටයේදිත් මට එවැනි ගැටලු මතු වුණා. මගේ චරිතය සඳහා රුපියල් දෙලක්ෂ විසි පන්දාහක් දෙනවා කියලයි අධ්‍යක්ෂවරයා කිව්වේ. නමුත් මම ඒ සඳහා රුපියල් මිලියන දෙකක් ඉල්ලුවා. ඔහු ඊට මුලින් එකඟ වුණත් චිත්‍රපටයට ගිවිසුම් අත්සන් කරන විට මගේ ගෙවීම විදිහට තිබුණේ ලක්ෂ පහළොවයි. ඉතුරු මුදල ඔහුගේ අතින් හරි දෙනවා කියලා සංජීව කිව්වා. චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ගෙවන ‍පොරොන්දුව මත රඟ පෑ නිසා මට තවමත් ඒ මුදලින් 1/4ක්වත් ලැබිලා නැහැ. 
 
කිෂාන් කනංකෙ

පසුගියදා පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබූ නීටා ප්‍රනාන්දුගේ රංගන දිවියේ අලුත් වෙනසක් සිදුවී ඇති බව අපට දැනගන්නට ලැබුණා. ඒ ගැන වගේම ඇගේ  කලා දිවියේ නවතම තතුත් දැනගන්නත් එක්කයි අපි ඇයව මෙලෙස සංවාදයට එක්කාසු කරගත්තේ. 
 
කාලයක් වේදිකාවෙන් ඈත්වෙලා හිටපු නීටා මේ දවස්වල ආයෙමත් වේදිකාවට ගොඩවෙලා නේද? 
මම රඟපෑම ආරම්භ කළ අලුතම 1970දී ගුණසේන ගලප්පත්තිගේ සඳකිඳුරු නාට්‍යයට එකතු වුණා. ඒ තමයි මගේ මුල්ම වේදිකා රංගනය. ඒත් ඉන්පසු සිනමාවේදී කාර්යබහුල වීම නිසා වේදිකාවෙන් මට ඈත්වෙන්න වුණා. හැබැයි කාලෙන් කාලෙට ඉඳහිට වේදිකා නාට්‍යවලට එකතු වුණා. දැන් මම වේදිකා නාට්‍යයකට එකතු වෙලා තියෙන්නේ අවුරුදු 8කට විතර පසුවයි. 
 
ඔබේ ඒ නවතම වේදිකා රංගනය ගැන කතා කළොත් ? 
තනුජ් අනවරත්න නිර්මාණය කළ සඳ එළියට වෙඩි තියන්න නාට්‍යයේ තමයි මම මේ දිනවල රඟපාන්නේ. මා නිෂ්පාදන කළ නිසලගිර අධ්‍යක්ෂණය කළෙත් තනුජ්මයි. මේ මස 22 හා 23 දිනවල පුංචි තියටර්හිදී මෙම නාට්‍යය වේදිකාගත වෙනවා. 
 
සිනමා හා ටෙලි නාට්‍ය රංගනයෙන් ඔබ දැන් ඈත් වෙලාද? 
එහෙම දෙයක් නෑ. මම රඟපෑ තේජා හා ස්වර යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වේවි. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකුත් විකාශය වීමට නියමිතයි. 
 
නීටා ප්‍රනාන්දු නිළියක් වගේම නිෂ්පාදිකාවක්. අදහසක් නැද්ද අධ්‍යක්ෂණය පැත්තට යොමුවෙන්න?
අධ්‍යක්ෂණය කියන්නේ සුළුපටු රාජකාරියක් නමෛයි. මට හිතෙන්නේ මම තවම ඊට සුදුසු නැහැ කියලයි.
 
වේදිකාවේ, ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයේ, සිනමාවේ විවිධ චරිත රඟපෑ ඔබට තවමත් රඟපාන්නට නොහැකි වූ රඟපාන්න ආශාවෙන් සිටින චරිතයක් තියෙනවාද? 
කන්‍යා සොයුරියකගේ චරිතයක් රඟපාන්න ආසයි. මම දායක වූ ඇතැම් නිර්මාණවල කන්‍යා සොයුරියන්ගේ චරිත ඇතුළත් වුණේ කතාවේ කේන්ද්‍රගත ප්‍රධාන චරිතය ලෙස ‍නෙවෙයි. මම කැමැති කන්‍යා සොයුරියන්ගේ චරිතය කේන්ද්‍ර වූ නිර්මාණයක ප්‍රධාන චරිතය රඟපාන්න.
 
ඔබ දශක ගණනක් කලාවේ රැඳී සිටියා. ඔබේ සමකාලීනයන් බොහොමයකගේ පවුල්වල පසු පරපුරේ අයගේ දූ දරුවෝ කලාවට පිවිසුණා. ඒත් ඔබෙන් පසු ඔබේ පරපුරේ කෙනෙකු කලාවට ආවේ නැහැ.
ඒක ඇත්ත. මගේ සහෝදර සහෝදරියෝවත් ඒ අයගේ දූ දරුවෝවත් කලාවට ආවේ නැහැ.
 
ඔබට දරුවකු සිටියා නම් කලාවට යොමු කරන්න තිබුණා යයි සිතෙන්නේ නැද්ද? 
නැහැ. මට දරුවන් නැතිවීම ගැන මා තුළ කිසිදු දුකක් පසුතැවීමක් නැහැ. යම් විදියකට මට දරුවකු සිටියා නම් මම ඔහුගේ හෝ ඇයගේ ජීවිතය ළඟ විතරක් නතර වෙනවා. ඒත් දැන් මට සමාජයටම මෙහෙවරක් කරන්න පුළුවන්. 
 
දේශපාලනයට යොමුවුණා නම් ඊටත් වඩා වැඩි මෙහෙවරක් කළ හැකිව තියෙනවා කියා සිතෙන්නේ නැද්ද? 
කවදාවත් දේශපාලනයට යොමු වීමේ අදහස් මට ඇතිවී නැහැ. ඉදිරියේදී ඇති වෙන එකකුත් නැහැ.
 
ඔබේ සහෝදර නිළියක් වන මාලනී ෆොන්සේකා සහ ගීතා කුමාරසිංහ දේශපාලනයට යොමු වීම ගැන මොකද හිතෙන්නේ? 
ඒක ඒ අයගේ කැමැත්ත. මම කවදාවත් කාගේවත් කැමැත්තක් විවේචනය කරන කෙනෙක් නමෛයි. ඔවුන් දෙදෙනා ගැනම මට සතුටුයි.
 
ආරියවංශ කුලතිලක
 
ඡායාරූප - අසන්ත ගමආරච්චි

“ගමනක් බිමනක් යාම සඳහා උදයේ නිවසින් පිටවන විට මුලින්ම නෙත ගැටෙන පුද්ගලයා සතා හෝ වස්තුව කෙරෙහි ඔබ කොතෙක් සංවේදීද? මම මේ පැනය සමාජයේ විවිධ තරාතිරම්වලට අයත් බොහෝ දෙනෙකුගෙන් වරින් වර අසා ඇත්තෙමි. එවිට උදයේ ගමනක් යන විට මුලින්ම හමුවන පුද්ගලයා සතා හෝ ද්‍රව්‍ය පිළිබඳව කිසිදු සංවේදීතාවයක් නොදක්වන බව පවසා සිටියේ ඉතා සුළු පිරිසකි. මගේ නිගමනය අනුව එය සියයට දහයකටත් අඩු ප්‍රතිශතයකි. 
සෙසු පිරිස එවන් පෙරමග නිමිති පිළිබඳව කිනම් හෝ සංවේදීතාවයක් කරන බව කී අතර එය කරුණු දෙකක් මත පදනම් වන බවක් පැහැදිලි විය. 
එනම් තමන් යන ගමනේ වැදගත්කම පුද්ගලයා සතා හෝ වස්තුවේ සුවිශේෂී බව නිදසුනක් ලෙස සම්මුඛ පරීක්ෂණයක්, විභාගයක් නඩු විභාගයක් මුදල් ගනුදෙනුවක් දේපළ මිලදී ගැනීමක් විවාහ කටයුත්තක් ආදී විශේෂිත කරුණුවලටද බොහෝ දෙනකු පෙරමග නිමිතිවල සම්බන්ධයක් සංවේදී වන බව මෙහිදී අනාවරණය විණි. මීට අමතරව ගමනේ දුර ප්‍රමාණය හා අවදානම අනුවද මෙම සංවේදීතාව ඉහළ නංවන අයුරක් නිරීක්ෂණය කළ හැකි විය. 
ඊට අමතරව මෙම පෙර මග නිමිත්ත වශයෙන් හඳුන්වාගත හැකි පුද්ගලයා සතා හෝ වස්තුවෙහි ඇති සුවිශේෂත්වය මතද සමහරුන් සංවේදී වන බව අනාවරණය විය. නිදසුනක් ලෙස කිසියම් ගමනක් යාමට මගට බසින විට ඉදිරියට අවමංගල්‍ය රථයක් හමුවීම අසුබ නිමිත්තක් සේ යමකුට හැඟී යා හැක. ආබාධ සහිත යාචකයකු ඉදිරියට මුණගැසීමද එවන් අසුබ සංඥාවක් සේ සැලකේ. 
මෙලෙස පෙරමග නිමිතිවලින් යන ගමනේ සුබ අසුබ නිශ්චය කළ හැකිය යන විශ්වාසය එක් රටකට සංස්කෘතියකට හෝ ජන සමාජයකට සීමා වූවක් නොවේ. කිසිදු ආගමකට අයත් නොවූවද ආගමික විශ්වාසයන්ගෙන් බැහැරව ලොව පුරා බොහෝ දෙනකු අදහනු ලබන මේවා සමාජ විද්‍යාවේදී හැඳින්වෙනුයේ අධි විශ්වාසය යනුවෙනි. මෙම අධි විශ්වාස ආගමික සංස්කෘතික පදනමක් තිබිය හැකි අතර එසේ නොවන ලොවටම ‍පොදු පෙරමග නිමිතිද තිබේ. 
රථයකින් ගමනක් යාම අරඹන විටම කළු බළලකු පාර හරහා පැනීම ඒකාන්ත වශයෙන්ම අසුබ පලයක් ගෙන දෙන බවට ලොව පුරා පැතිර යන අධි විශ්වාසයක් තිබේ. ඇතැම් ජන සමාජයන්හි මෙම විශ්වාසය කොතෙක් බරපතළ ලෙස මුල් බැස තිබේද යත් එලෙස පාර හරහා මාරු වන කළු බළලකු වාහනයකට හසු වුවහොත් එම වාහනය යළි භාවිතයට නොගෙන කීයකට හෝ විකුණා දමන්නෝද අප රටේද සිටිති. 
එක් එක් ජන සමාජයන්හි පෙරමග නිමිතිවල සුබ අසුබ බව තීරණය කෙරෙන ආකාරයන්ද එකිනෙකට වෙනස්ය. එමෙන්ම ඇතැම් විට ඒවා ආර්ථික බවින්ද තොරය. පැරණි භාරතීය පෙරමග නිමිත ශාස්ත්‍රයට අනුව පෙරමග හමුවන ශ්‍රමිකයා අසුබ නිමිත්තකි. ගණිකාව සුබ නිමිත්තකි. ඒ කෙසේ හෝ පෙරඅපර දෙදිග පෙරමග නිමිති ශාස්ත්‍රයන් හි ඇති විෂමතාවයන් සේම පෙරදිග පෙරමග නිමිති ශාස්ත්‍රය තුළද මෙවන් නොයෙකුත් විෂමතා සහ පරස්පරතා දක්නට ලැබේ. 
බල පෙරමග නිමිති සුබ නැකතටත් වැඩි කෝට්ටේ යුගයේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් විසින් රචනා කරන ලද සැලලිහිණි සංදේශ කාව්‍යයේ එන එම කවිපදය අදටත් අප ජන සමාජයේ මුවින් මුව නිරතුරුවම රැව් පිලිරැව් දෙන්නකි. එහිදී කතුවරයා සංදේශ කාරක සැලලිහිණියාට උපදෙස් දෙනුයේ නැකත් බැලීමටත් වඩා පෙරමග නිමිති බැලීමට උත්සුක වන ලෙසය. එවක තත්ත්වය එසේ වුවද නුතන සමාජය නැකත් බැලීමට දක්වන උනන්දුව පෙරමග නිමිත කෙරෙහි නොදක්වන බව නම් අතිශයින් පැහැදිලිය. මක් නිසාද යත් රාජ රාජමහා මාත්‍යවරුන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්වා අද ‍ජ්‍යොතිෂයට වහ වැටී හිඳින බැවිනි. පෙර දිග හින්දු ආභාෂයෙන් අපට හිමිව ඇති නැකත් සේම පෙරමග නිමිති ආදිය කෙරෙහි විශ්වාසය තැබිම මූලික බුදුදහමට ඉඳුරාම පටහැනිය. එහෙත් මහනුවර යුගයේ රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලයේ සිට එතුමන්ගේ මනාපය පරිදි මෙවන් අන්‍යාගමික විශ්වාස බුදු දහම පදනම් කරගනිමින් අප විසින්ම තනාගත් 'බුද්ධාගමට' බරපතළ ලෙස ඇතුළු වී තිබේ. එහෙත් මෙබඳු විශ්වාස දරන්නවුන් උපාසක චණ්ඩාලයන් උපාසක දීනයන් ලෙස බුදුන් වහන්සේ විසින් හඳුන්වා ඇති අන්දම අංගුත්තර නිකායේ පංචම නිපාතයේ් එන උපාසක චණ්ඩාල සූත්‍රය කියැවීමෙන් මනාව වටහා ගත හැක. 
දැන් අපි මේ සියලු පෙරමග නිමිති නියෝජනය වන පරිදි කළු බළල් පෙරමග නිමිත්ත වෙත නැවත යොමු වෙමු. 
ගමනක් යන පෙරමගට පළමුව කළු බළලකු පිවිසිය හොත් විපතක් සිදු වන්නේය යන කරුණෙහි සම්භාවිතාවක් තිබේ. එහෙත් එය සැබැවින්ම අර්ථකථනය කළ යුත්තේ එපරිද්දෙන් නොවේ. ගමනක් යන පෙරමගට කළුබළලකු පිවිසීම මගතොට විපත් වලින් අත්මිදීමට හේතුවක් නොවන බව සනාථ කරවීමෙනි. මෙය වඩාත් පැහැදිලි ලෙස මෙලෙස දැක්විය හැක. 
 
1. පෙරමගට කළු බළලකු පිවිස  මඟතොට විපතක් සිදුවීම 
2. පෙරමගට කළු බළලකු පිවිස මගතොට විපතක් සිදු නොවීම 
3. පෙරමගට කළු බළලකු නොපිවිස මගතොට විපතක් සිදුවීම. 
 
පසු සිදුවීම පෙර සිදුවීමේ  ප්‍රතිඵලයක්ය යන්න මිථ්‍යා තර්කයකි. ඒ අනුව බොහෝ විට මෙම කළු බළල් මග පෙර නිමිත්ත විමසා බැලෙනුයේ රිය අනතුරක් වැනි මගතොට විපතක් මුල් කොට ආපසු කරුණු විමසා බැලීමේදී එවන් අනතුරක් හෝ මගතොට විපතක් මුල් කොට යළි කරුණු විමසීමේදී ඇතැම් විට  ඒ කරුණු අතර තිබි කළු බළල් සාධකයක් හමුවීමට පුලුවන. එවිට ඒ අනතුර, විපත, පිළිබඳව කතා කරන සැම විටෙකම ඒ කළු බළල් සාධකයද ඉදිරිපත් වීම නිසා එම මිථ්‍යා තර්කය සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිර යයි. නමුදු එසේ කවර හෝ වැදගත් ගමනක් යන විටෙක කළුබළලකු පෙරමග හමුවී එම ගමන නිරුපද්‍රිතව සාර්ථක ලෙස අවසන් කළ හැකි වුවහොත් ඉහත සඳහන් කළු බළල් සාධකයද නිරායාසයෙන්ම යටපත් වනු ඇත. එවිට කිසිවෙක් ඒ පිළිබඳව කතා නොකරති. 
ඒ අනුව මෙම පෙරමග නිමිති සම්බන්ධයෙන් කීමට ඇත්තේ එම නිමිති මුල් කොට ප්‍රතිඵලය විමසීමක් නොව ප්‍රතිඵලය මුල් කොට එම පෙරමග නිමිත විමසීමක් පමණක් බව කිව යුතුය. එය මුලුමනින්ම අවිද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවේදයකි. ඒ කෙසේ හෝ පෙරමග නිමිති ඇතුළු මෙවන් ගුප්ත විශ්වාස දැඩිව සිත දරා හිඳින්නවුන් යථාර්ථවාදී ලෙස සිතන්නවුන්ට වඩා මානසික කම්පන ගැටුම් අර්බුදවලට මුහුණ දෙන බව ලොව පුරා සිදු කරනු ලැබු විවිධ සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ. ඒ අනුව මෙම කළු බළල් පෙරමග නිමිත්තක් දැක තමන්ට කිනම් හෝ අනතුරක් සිදුවේය යන විශ්වාසයේ දැඩිව එල්බගැනීම මත හදිසි අවස්ථාවකදී ආත්ම විශ්වාසය ගිලිහී ගොස් අනතුරකට මං පාදන්නක් වීමටද බැරි කමක් නැත. එවිට සිදුවනුයේ ඒ හේතුව නිසාම එම කළු බළල් වැනි පෙරමග නිමිති මිථ්‍යාවන් සමාජය පුරා තවදුරටත් පැතිර යාම පමණි. 
 
තිලක් සේනාසිංහ 

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුගේත්, කේට් මිඩ්ල්ටන් කුමරියගේත් වැඩිමල් පුතු වන ජෝර්ජ් කුමරු කේන්ද්‍ර කරගෙන මේ වනවිට යම් ආන්දෝලනයක් හටගෙන තිබේ. එයට පසුබිම් වූයේ ඔහු අයිසිස් සංවිධානයේ ඉලක්කයක් බවට පත්ව ඇති බව ඇඟවෙන ආකාරයේ පණිවුඩයක් සම්බන්ධයෙන් පැතිරුණු ආරංචියයි. තවමත් පස්වෙනි වියේ පසුවන ජෝර්ජ් කුමරු මේ ආකාරයෙන් සිය ඉලක්කයක් බවට පත්ව ඇති බව අයිසිස් සංවිධානය ඉඟි කර තිබූ බව පැවැසුණේ එක්තරා සමාජ මාධ්‍ය අඩවියක පළ කර තිබූ පණිවුඩයක ය. මෙම පණිවුඩයත් සමග ජෝර්ජ් කුමරු ඉගෙන ගන්නා පෞද්ගලික පාස‍ලේ ඡායාරූපයක්ද පළ කර තිබූ බව සඳහන් වෙයි. එම ඡායාරූපයත් සමග 'රාජකීයයන්ට පවා පාඩුවේ ඉන්න දෙන්නේ නැත' වැනි අදහසක් ගම්‍ය වන ආකාරයේ වැකියක්ද සඳහන් වී තිබේ. මෙම පණිවුඩය නිසා මේ වනවිට කිසියම් තැතිගැන්මක් හටගෙන තිබෙන්නේ ජෝර්ජ් කුමරුට ඔහුගේ පාසල තුළදී කිසියම් අනතුරක් කිරීමට අයිසිස් සංවිධානය පියවර ගනු ඇත්ද කියාය.
ජෝර්ජ් සිය පාසල් ගමන ආරම්භ කර දැන් වැඩි කාලයක් නැත. ඔහු පළමු වරට පාසල් ගියේ සැප්තැම්බර් මාසයේ 7 වෙනිදා ය. ලන්ඩනයෙ හි පිහිටි මෙම පාසල හැඳින්වෙන්නේ තෝමසස් බැටර්සි යන නමිනි. ඒ වනවිට ජෝර්ජ්ගේ මව වන මිඩ්ල්ටන් කුමරිය අසනීප තත්ත්වයෙන් පසු වූ නිසා විලියම් කුමරුට සිය පුතු පාසලට බාර දීමට යාමට සිදු වූයේ තනිවමය. (ජෝර්ජ් පාසල් යන්නේ එතරම් ආසාවකින් නොවන බවක් පසුගිය දිනෙක විලියම් සඳහන් කර තිබිණැයිද මාධ්‍ය වාර්තා කර තිබිණි.)
ජෝර්ජ් පාසලට ඇතුළත් වීමට ටික දිනකට පෙර එහි ආරක්ෂාව සම්බන්ධයෙන් තරමක ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක්ද විය. එක්තරා කාන්තාවක් පාසලට ඇතුළු වී එහි ඇතැම් ස්ථාන වීඩියෝගත කිරීමට පියවර ගෙන තිබූ අතර පසුව ඇය පවසා තිබුණේ තමාට කිසිවෙකුගෙන් අවහිරයක් සිදු නොවුණු බවයි. මෙයින් ඇය පෙන්වා දීමට පියවර ගත්තේ පාස‍ලේ ආරක්ෂක තත්ත්වයේ ඇති දුර්වලතාව ගැනය. තමාට අවශ්‍ය වී නම් බෝම්බයක් වුවද රැගෙන යාමට තිබුණු බව ඇය පවසා තිබූ බැව් සඳහන් විය.


තවත් අවස්ථාවක පාසලට අනවසරයෙන් ඇතුළු වීමට ගිය වෙනත් කාන්තාවක අත්අඩංගුවට ගැනීමක් ගැනද වාර්තා විය. ජෝර්ජ් මෙම පාසලට පැමිණීමට නියමිත බව දැනගත් ඒ ආසන්නයේ පදිංචිකරුවන් මෙන්ම පාස‍ලේ ඉගෙනුම ලබන සෙසු දරුවන්ගේ මව්පියන්ද ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන්නට පටන් ගත් බව සඳහන් වෙයි. කෙසේ වෙතත් ජෝර්ජ් කුමරු පාසලට ඇතුළත් වීමෙන් පසු එයට සුවිශේෂී ආරක්ෂාවක් යොදන්නට පියවර ගෙන තිබේ.
අයිසිස් සංවිධානය ජෝර්ජ්ට අදාළව පළ කර ඇති පණිවුඩය සුළුවෙන් නොතැකිය යුතු බවට ඇතැම් ආරක්ෂක විශේෂඥයින් අදහස් දක්වා තිබෙනු දැකිය හැකි විය. ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔවුන්ගේ විශ්වාසය බව පෙනේ. මෙයට පෙර ද කිහිප වතාවකම බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අය ඉලක්ක කර මෙවැනි තර්ජන ඉදිරිපත් වූ බව රහසක් නොවේ. ලෝක යුද්ධයේ 70 වෙනි සැමරුම පැවති 2015 වසරේ මහ රැජින සම්බන්ධයෙන්ද මෙවැනිම තර්ජනය කිරීමක් සිදු විය. ඉන්පසු හැරී කුමරුටද තමුන් සමග සටනට එන ලෙස අයිසිස් සංවිධානය අභියෝග කර තිබූ බැව් වාර්තා විය.
ජෝර්ජ් කුමරුට අදාළව අයිසිස් පණිවුඩය පළ වූ සමාජ මාධ්‍ය අඩවිය මේ වනවිට බ්‍රිතාන්‍ය බුද්ධි අංශවල විශේෂ පරීක්ෂාවට ලක්ව ඇති බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඒ අයිසිස් සංවිධානයේ කටයුතු පිළිබඳ අවධානයෙන් පසුවීම සඳහාය. ඒ අතර ජෝර්ජ් වැනි කුඩා දරුවෙකු මේ ආකාරයෙන් ඉලක්ක කිරීම ගැන විශාල විරෝධයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙමින් ඇති බවටද තොරතුරු වාර්තා විය.

ජෝර්ජ් කුමරු විලියම් සහ කේට් දෙපළගේ වැඩිමල් පුතු වන අතර ඔහුට චාලට් නමින් නැගණියකද සිටියි. ඇගේ වයස අවුරුදු 2 කි. මේ වනවිට කේට් මිඩ්ල්ටන් කුමරිය තුන්වෙනි දරු උපත සඳහාද සූදානම් වෙමින් සිටින අතර මෙවර ඇය නිවුන් දියණියන් දෙදෙනකු බිහි කිරීමට යන බවටද ආරංචි පළ වී තිබිණි. කේට් කුමරියට ජෝර්ජ් සමග පළමු දිනයේ පාසලට යාමට නොහැකි වූයේද ගැබිනි බව නිසා හටගත් අසනීප තත්ත්වය හේතුවෙනි.

කිත්සිරි මල්වත්ත

තරුණ තරුණියන්ගේ මනැස් විකෘති කොට ඔවුන් රංගනයට හා ලිංගික ක්‍රියා කෙරෙහි යොමු කරන නැටුම් පෙති (Dancing tablet) නමින් හැඳින්වෙන මත් ද්‍රව්‍යයක් රට පුරා ව්‍යාප්ත කිරීමේ දැවැන්ත ක්‍රියාන්විතයක් පිළිබඳ වාර්තා වේ.

රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වැය කරමින් ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමඟ එක්ව දේශීය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මෙහෙයවන මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් වනුයේ අප්‍රකටව පවත්වන සාද වලදී මේවා තරුණ තරුණියන් අතට පත් කිරීමය.

මෙම සාද විශේෂය ‘පෙති පාටි‘ යනුවෙන්ද සමහරෙක් හඳුන්වති. මේ සම්බන්ධ ආසන්නතම සිදුවීම වාර්තාවනුයේ අනුරාධපුරයෙනි.

අනුරාධපුර නගරයේ පාසල්වල අධ්‍යාපනය ලබන වයස අවුරුදු 20 නොඉක්මවූ සිසු සිසුවියන් අතර මෙම පෙති වර්ගය ප්‍රචලිත කිරීමේ සාදයක් පසුගියදා අනුරාධපුර මල්වතු ඔය ආසන්නයේ පිහිටි වනගත ස්ථානයක පවත්වාගෙන යන නිවාඩු නිකේතනයක පවත්වා තිබේ.

මීට පෙර අනුරාධපුර යාපනය හන්දියේ ආසන්නයේ නිවාඩු නිකේතනයක පැවැති මෙවන් සාදයක් පිළිබඳව මාධ්‍යවලින් ප්‍රචාරය වීම නිසා මෙම  සාදය  ඉතා රහසිගතව පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි.

පසුගිය මාස කිහිපයේම හෙරොයින් මත්පෙති හා වෙනත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින තරුණ තරුණියන් සිය ගණනක් මෙම වැඩසටහනට සහභාගී වූ බව අනාවරණය කළ අතර පසු මෙවර පැවැති මත් පෙති සාදය ‍පොලිස් බුද්ධි අංශවලට හා මාධ්‍යයට අනාවරණය නොවන අන්දමින් පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි.

මත්පෙතිවලට පමණක් සීමා වූ මෙම සාදයට අනුරාධපුර නගරයේ පාසල්වල ඉගෙනුම ලබන සාමාන්‍ය පෙළ, උසස් පෙළ හා අමතර පන්ති සඳහා සහභාගිවන සිසුන් පනස්දෙනකුට ආසන්න පිරිසක් එක්ව සිටි බව වාර්තා විය. කිසිදු ඡායාරූපයක්, පටිගත කළ දර්ශන මුහුණු ‍පොතේ නොදමන ලෙසත් මාධ්‍යකරුවන්ට  මෙම සාදය ප්‍රවෘත්තියක් වීමට ඉඩ නොතබන ලෙසත් සාදය සංවිධානය කළ පිරිස ඊට සහභාගිවූවන්ට තරයේ අවවාද කර තිබුණු බව වාර්තා විය.

එම සාදය පිළිබඳව අනාවරණය කළ ලක්බිම මාධ්‍යවේදියාට තර්ජනය කිරීම සඳහා පසුගිය දිනක කිසියම් තරුණ කණ්ඩායමක්  ඔහුගේ නිවසටම පැමිණීමද විශේෂත්වයකි.

මේ අතර මීගමුව,සෙත්තප්පාඩුවේ හෝටලය ක  පසුගිය 22දා රාත්‍රිය පුරා පැවත්වූ අමුතුම මාදිලියේ සාදයක් පිළිබඳව මේ වන විට පසුගියදා විවෘත කළ මීගමුව,දුන්ගාල්පිටිය පොලීසියේ උකුසු ඇස යොමුවී ඇත.
ළාබාල තරුණ තරුණියන් 300කට ආසන්න ප්‍රමාණයක් සහභාගිවී ඇති මෙම සාදයේදී තරුණ තරුණියන් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ගෙන ඇති අතර එහිදී ඔව්හු වීශේෂ මත්පෙති වර්ග භාවිතා කර ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත.

මෙයද මෙම පෙති පාටියක් බවද තොරතුරු ලැබී තිබේ.

යුරෝපීය ජාතිකයකුගේන් අයථා ලෙස මුදල් ලබා ගැනීම නිසා ධනවතෙකුවූ මෙම හෝටලයේ අයිතිකරු මෙම ප්‍රදේශයේ තරුණ තරුණියන් අතරේ මෙම මත්පෙත්ත පැතිරවීමට කටයුතු කරන බව ප්‍රදේශවාසිහු කියති.

මේ අතර ජා ඇල උදම්මිට ප්‍රදේශයේ සංචාරක හෝටලයක පසුගියදා පැවැති මෙවන්  සුවිසල් සාදයක් සම්බන්ධයෙන් ගම්වාසීන්ගේ දැඩි විරෝධතාවය එල්ල විය.

බාහිරින් පැමිණි කණ්ඩායමක් විසින් සංවිධානය කර ඇති මෙම සාදය සඳහා තරුණ තරුණියෝ 1000ක් පමණ සහභාගී වී වුහ. ඒ අතර ගැබිණි තරුණ කාන්තාවෝද සිටියහ. මෙයද පෙති පාටියක් යැයි චෝදනා කළ ගම්වාසිහු හෝටලය වටලු අතර එය අවටදී තරුණ තරුණියන් කිහිප දෙනෙක් පහර කෑම්වලට ලක්ව ඇතැයි ද කියනු ලැබේ.

මේ සම්බන්ධයෙන් අපහා අදහස් දැක් වූ ප්‍රදේශවාසියෙකු කියා සිටියේ මීට සහභාගී වූවන්ගෙන් තරුණ තරුණයන්ගෙන් කිහිප දෙනෙක් හෝටල් භූමියෙන් පිට වාහන තුළ පවා අශෝබන ලෙසින් හැසිරිමෙන් සිටිනු දුටු නිසා ගම්මුන් මෙසේ කුපිත වී ඇති බවය.

කෙසේ හෝ ගම්වාසීන් පවසා ඇත්තේ සමාජ ජාල වෙබ් අඩවියක මිතුරු මිතුරියන් පිරිසක් සංවිධානය කළ මේ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තරුණ පිරිස් සහභාගී වි සිටින බවය.

මිය ගිය ගායකයෙකුගේ ගායක පුතෙකු මෙම පෙති පාටියේ සංවිධායක වශයෙන් සිටි බව කියති.

තරුණ තරුණියන් මෙම මත් ද්‍රව්‍ය කෙරෙහි යොමු කරවන පෙති පාටි සංවිධානය කෙරෙනුයේ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වුවද එම තරුණ තරුණයන්ගේ සිත් දිනා ගැනීම සඳහා ජනප්‍රිය ප්‍රසිද්ධ පුද්ගලයන් ඒ සඳහා යොදා ගන්නා බවත් ඒ වෙනුවෙන් ඔවුන්ට විශාල වශයෙන් මුදල් ගෙවන බවත් දැන ගන්නට ඇත.

‍මේ අතර පසුගිය වසරේ ඔක්තෝබර් විසිනම වැනිදා ජාඇල සහ උණවටුන ප්‍රදේශවල වෙරළ සාද වශයෙන් මෙවන් පෙති පාටි දෙකක්ම සංවිධානය කර තිබුණි. එම සාද දෙක සඳහා විශාල තරුණ තරුණියෝ පිරිසක්‌ සහභාගි වුහ.  ඉන් ජාඇල වෙරළ සාදය සංවිධානය කර තිබුණේ ටෙලි නාට්‍ය  ක්‌ෂේත්‍රයට සම්බන්ධ කාන්තාවකි.

මැය ටෙලිනාට්‍ය කිහිපයක රඟපා ඇති අතර ඇය විවිධ වංචනික ක්‍රියාවන්ට සම්බන්ධ කාන්තාවක බවද කියනු ලැබේ.  

මේ අතර උනවටුනේ පැවැති පෙති පාටිය සංවිධානය කර ඇත්තේද එම ප්‍රදේශයේ කුප්‍රකට කාන්තාවකි. එයද පසුගිය දිපවාලි දිනයම යොදා ගැනිම සැලසුම් සහගතව සිදුවුවක් දැයි තොරතුරු අනාවරණය වී නැත.

 මෙම සාද වලට සහභාගි වූ තරුණ තරුණියන් දැන හැඳුනුම්කම් වලින් තොරව පවා ලිංගිකව හැසිරීම තරම කාම අධික වන අතර ඒ සාදය සඳහා විදේශිකයන්ද සහභාගී වු බව පැවසේ.

ජාඇල සහ උණවටුන ප්‍රදේශයන්හි පැවැත්වුණ වෙරළ සාද සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මවු සුරා බදු නිලධාරීහු වෙරළ සාද දෙකම වැටලුහ. එවිට එම සාද දෙකේදීම විවිධ වර්ගයේ මත්පැන් බෝතල් හාරසීයක්‌ පමණ සොයා ගැනීමට හැකිවිය.

එහෙත් මෙම මත්පැන් අලෙවිය එම සාදයේ මුලික සංකල්පය වන මත්පෙති ප්‍රචාරනයට අමතරව සිදුවන්නක් බවත් එම මත් පෙති පානය කරන කෙනෙකුට අවශ්‍ය නම් මත් පැන් පානය කිරීම සඳහාද එහි මත්පැන් සුදානම් කර තිබූ බවත් පැවසේ.

Club Drug, Rave drugs, Party Drugs or pill යනුවෙන් හඳුන්වන මෙම මත් පෙති ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා ඉන්දියානු සහ පාකිස්තානු මත්ද්‍රව්‍ය කල්ලි සමඟ මෙරට මත් ද්‍රව්‍ය ජාවරම් කරුවන් සෘජුව කටයුතු එක්ව කරන බව වාර්තා වේ. 

පසුගිය මාර්තුවේ කොළඹ ටෙක්නිල් හන්දියේදී පොලිස් අත්අඩංගුවට ගත් පුද්ගලයකු අත තිබූ පැකට්ටුවක් පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබි මෙබදු මත්පෙති පැකැට්ටුවක් සොයා  ගැනිණ. එහි ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 300ක අධික මත් පෙති තිබිණ

 මෙම පෙත්ත භාවිත කිරීමේදී කුසගින්න, මහන්සිය හෝ නිදිමත නොදැනෙන අතර කිසිදු වෙහෙසක් නොදැනෙන බව ද කියති. මේ මත් ස්වභාවය පැය 24කට අධික කාලයක් පවති. ඒ නිසා ඒ කාලය තුළ කිසිදු ආහාරයක් නොගෙන ජලය පමණක් පානය කිරීමෙන් පමණක් කුස ගින්න නිවා ගත හැක. එමෙන්ම මෙම පෙත්ත ගත් විට කළහකාරි හැසිරීම් වාර්තා නොවන අතර නර්තනය ලිංගික සංසර්ගය වැනි කටයුතු වලට ඔවුන් තුළ විශේෂ උනන්දුවක් ඇති වෙයි.

එහි බිහිසුනුම තත්වය වනුයේ මේ පෙති භාවිතයත් සමඟ ලැජ්ජාව විළිබිය සහ ශිෂ්ටචාරය පිළිබඳ හැඟීම් ඔවුන්ගේ මනැස්වලින් පහව යාමය. එවිට තමන් ඉදිරියේ සිටින්නා කවරෙකු වුවද ඔහු හෝ ඇය හා ලිංගික හැසිරීමට එම පෙත්ත භාවිතා කළ තැනැත්තාට පුළුවන.

රාත්‍රී සමාජ ශාලා ආශ්‍රිතව මෙම පෙත්තක් රුපියල් 8000ක් තරම් මුදලකට අලෙවි කෙරෙන බව පැවසෙයි. එමෙන්ම රුපියල් 3500ක අවම මිලක් යටතේද මේවා අලෙවි කරන්නට ජාවාරම්කරුවෝ ක්‍රියා කරති.

මෙම පෙති පාටි වලදී ඒවා තරුණ තරුණියන් අතරට මුලින් පත්කරනුයේ ඉතා සුළු මුදලකටය. මෙහි ඇති වඩාත් බිහිසුණු තත්වය වනුයේ මෙම පෙති භාවිත කරන්නවුන් ඊට ඇබ්බැහි වීමත් ඉන් පසු එම පෙති භාවිතයෙන් තොරව ඔවුන්ට ජීවත් විය නොහැකි වීමත්ය. කෙසෙ හෝ දිගු කාලිනව මෙම පෙති භාවිතයෙන් ස්නායු රෝග රැසක් වැළදෙන අතර ස්නායු අකර්මන්‍යතා හේතුවෙන් ඔවුන් අකල් මරණවලට ලක් වන බවද අනාවරණය වෙයි.

එමෙන්ම මෙය හුදු ජාවාරමකටත් වඩා ශ්‍රී ලාංකීය ප්‍රධාන ජනවර්ගයේ අනාගත පරපුර වැනසීම පිණිස අන්‍යාගමික අන්‍ය සංස්කෘතික බලවේගයක් විසින් මෙහෙයවුනු ලබන සූක්ෂම ක්‍රියාදාමයක් බවද සමහරෙක් කියති.

පසුගියදා කොළඹදී අත්අඩංගුවට පත් මෙම මත්පෙති ජාවාරමේ නිරත වූ තැනැත්තා පීර් සයිබු වීදිය, කැඩිච්චවත්ත, කොළඹ 12 පදිංචි 28 හැවිරිදි තරුණයෙකු බව පොලීසිය කියයි.  විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මොහු මීගමුව ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් පෙති ලබාගෙන කොමිස් මත විකුණන බවය.

මේ වනවිට තරුණ තරුණියන් අතරට කෙමෙන් පත්වෙමින් ඇති ඩාන්සින් ටැබ්ලට් නොහොත් නැටුම් පෙත්ත මාළිගාවත්ත, කෙසෙල්වත්ත, වනාතමුල්ල, ඔබේසේකරපුර ඇතුළු අඩු ආදායම් ලාභි ප්‍රදේශවල ව්‍යාප්තව තිබෙන බව සඳහන් වේ.

එමෙන්ම මෙම පෙති පාටි මගින් මේවා මධ්‍යම පාන්තික තරුණ තරුණියන් අතර ව්‍යාප්ත කිරීමට මෙම ජාවාරම් කරුවන් මහත් වෙහෙසක් දරන අතර ඒ සඳහා ෆේස්බුක් වෙබ් අඩවිය යොදා ගන්නා බවද මේ වන විට අනාවරණවී තිබේ.

කෙසේ හෝ මෙම නැටුම් පෙත්ත සහ පෙති පාටි මැඩලීම පිණිස පොලීසිය විසින් මෙතෙක් විධිමත් වැඩපිළිවෙලක් යොදා නොමැති බව පැහැදිලිවම පෙනී යයි.

දමයන්ති ගමගේ

පසුබිම් වාර්තා - බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුරය, ප්‍රසංග පෙරේරා - ජා ඇළ

දේශීය රූපවාහිනී නාට්‍ය කලාවේ නිම් වළලු ප්‍රසාරණය කරමින්, ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ ටෙලි නාට්‍යය වන 'භවත්‍රා' නිෂ්පාදනය කළ ඔහු දේශීය ප්‍රාසාංගික ටෙලි නාට්‍ය ඉතිහාසයේ මතෛක් වැඩිම සම්මාන සංඛ්‍යාවකින් පිදුම් ලද 'දඬුබස්නාමානය' මෙන්ම, 'වෙද හාමිනේ', 'සසල ඉම', 'ඔරු බැඳි සියඹලාව' වැනි සම්මානනීය ටෙලි නාට්‍ය රැසක් රූපවාහිනී ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කළේය. මෙයට අමතරව සම්මානනීය වෙළෙඳ දැන්වීම් 1000 කට අධික ප්‍රමාණයක් නිර්මාණය කළ ඔහු නමින් සුනිල් රත්නායකය. ඔහුගේ කලා දිවියේ 30 වස් සැමරුම් උළෙල මේ මස 10 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
 
'යශෝරාවය', 'දඬුබස්නාමානය' වැනි ජන ප්‍රසාදය දිනාගත් නිර්මාණ පුංචි තිරයට රැගෙන ආ ඔබ අද පවතින ටෙලි නාට්‍ය කලාව ගැන දක්වන්නේ මොන වගේ අදහසක්ද?
බුදුහාමුදුරුවොත් දේශනා කරලා තියෙනවානේ වෙනස් නොවන එකම දේ වෙනස්වීමයි කියලා. ඒ නිසා අපි වෙනස් විය යුතුයි. වෙනස් නොවන ජීවීන්, නැත්නම් අනුගත නොවන ජීවීන් අභාවයට යනවා කියලත් කියනවනේ. අපි හැමදාමත් යශෝරාවය නොබැලිය යුතුයි. යශෝරාවයම නොහැදිය යුතුයි. තව අලුත් දේවල් නිර්මාණය කළ යුතුයි. මේ ආකාරයට අලුතින් නිර්මාණය වුණු අංශයක් විදියට තමයි දැන් පවතින මෙගා නාට්‍ය කලාව මම දකින්නේ. මම කවදාවත් මෙගා රැල්ල නවත්තන්න කියන සටන්වලට ගිහින් නෑ. මෙගා කියන්නේ කාලීන සමාජ වුවමනාවක්. අනෙක් සෑම එකකම වාගේ මේකෙත් හොඳ නරක දෙකම තියෙනවා. මම ඒ ගැන දැන් කතා කරන්න යන්නේ නෑ. නමුත් සමාජය අද මේ නාට්‍ය පිළිගන්නා තත්ත්වයට ගොඩනැගිලා තියෙනවා. මේකයි මගේ අදහස. දැන් කරන්නේ මෙගා නාට්‍යම නම් මගේ අරමුණ සහ උත්සාහය වෙන්නේ ඒ අතරිනුත් හොඳම මෙගා නාට්‍ය නිර්මාණය කිරීමයි.
 
ඔබ ජයන්ත චන්ද්‍රසිරි වැනි එවකට තරුණ නිර්මාණකරුවන් රැසක් ටෙලි නාට්‍ය නිර්මාණකරණයට ගෙන එනවා. නිෂ්පාදකයෙක් විදියට මේ වගේ අවදානමක් ගැනීමට බයක් ඇතිවුණේ නැද්ද?
මුලින්ම කියන්න ඕනෑ මම ව්‍යවසායකයෙක් බව. ව්‍යවසායකයාගේ ස්වභාවය තමයි අවදානමක් ගැනීම. ඒ වගේ අවදානමක් ගැනීමේ ශක්තියක් නැතිනම් ඔහුට සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්නත් බැහැ. ඒ වගේම අවදානම මනා ලෙස කළමනාකරණය කරගැනීම සඳහා සාර්ථක වැඩපිළිවෙළක්ද ඔහු සතුව තිබිය යුතුමයි. මේ දෙකම මගේ ළඟ තියෙනවා. ඒක සාර්ථකව මෙහෙයවීමේ හැකියාව තියෙනවා කියලා මම තදින්ම විශ්වාස කරනවා. අනෙක් කාරණය තමයි, මට තෝරාගැනීම් සම්බන්ධයෙන් විශේෂ දක්ෂතාවක් වගේම දැනුමකුත් තියෙනවා. මම මුදල් තිබුණට නාට්‍ය නිෂ්පාදනයට යොමුවුණ කෙනෙක් ‍නෙවෙයි. වෘත්තීය නිෂ්පාදකයෙක්. ටෙලි නාට්‍ය, චිත්‍රපට හෝ මොනයම් මාධ්‍යයක වෘත්තීය නිෂ්පාදකයකුට ඒ හා සම්බන්ධ සෑම ක්ෂේත්‍රයක් ගැනම හොඳ අවබෝධයක් තිබිම අත්‍යවශ්‍ය කාරණයක්.
 
'ටෙලිවිව්' ඇකඩමිය ආරම්භ කිරීමට මූලිකත්වය ගත්තේ ඔබයි. 'ටෙලිවිව්' ඇකඩමිය ආරම්භ කිරීමට පසුබිම් වූ හේතුව මොකක්ද?
මම රූපවාහිනී නිෂ්පාදන කාර්යයන්වලට පිවිසුණු කා‍ලේ වැඩි හරියක් චිත්‍රපට ක්ෂේත්‍රයේ නිරත වුණු අය තමයි හිටියේ. ඒ අයත් සමග වැඩ කිරීමේදී මට ඇත්තටම නුහුරු ගතියක් දැනුණා. මේ අයගේ භාෂා රටාව, ඇඳුම් පැළඳුම්, හැසිරීම් වගේ දේවල්වලින් මට අප්‍රසන්න හැඟීමක් ඇතිවුණා. මේ නිසා මාගේ කාර්යයන් කරගෙන යාමට මට ගැළපෙන කිසියම් හික්මීමක් ඇති පිරිසක් යොදාගැනීම අවශ්‍යතාව මට ඇතිවුණා. මෙවැනි පිරිසක් නිර්මාණය කරගැනීමේ අරමුණින් තමයි මම මුලින්ම මේ ඇකඩමිය ආරම්භ කිරීමට යොමුවුණේ.
 
ඔබගේ තිස් වසරක කලා දිවිය සැමරීම වෙනුවෙන් පැවැත්වෙන උත්සවය පිළිබඳව කතා කළොත්?
ගොඩක් වෙලාවට මේ වගේ සැමරුම් උත්සව තියන්නේ විශ්‍රාම ගැනීම අරමුණු කරගෙන. නමුත් මේ උත්සවය පවත්වන්නේ මගේ ගමනේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක් වශයෙන් වගේම මගේ ඉදිරි කාර්යයන් සඳහා නව උත්තේජනයක් ලබාගැනීමේ පරමාර්ථයෙනුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ නළු නිළි, ගායක ගායිකා ඇතුළු විවිධ කලාකරුවන්ගෙන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන්, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම උළෙල නම්කර ඇත්තේ සුනිල ප්‍රතිභා ප්‍රභා නමින්. 
 
පාලිත අබේලාල්
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4323

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4029

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7095

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4424

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2815

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3621

Please publish modules in offcanvas position.

Web Analytics