Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දුටුගැමුණු රජතුමාගේ මඟුල් කඩුව අතුරුදන් වී ඇති බවටත් එය පසුගිය සමයේ රාජ්‍යනායක පවුලක සාමාජිකයකු විසින් පැහැරගත් බවටත් පසුගිය කාලයේ කටකතා පැතිරිණ.

එහෙත් දුටුගැමුණු රජතුමා සඳහා පරිච්ඡේද 11 ක්ම වෙන්කොට ඇති සිංහලයේ අසමසම ඵෙතිහාසික මූලාශ්‍රය වන මහාවංසයේ වත් දුටුගැමුණු රජුගේ මඟුල්කඩුවක් පිළිබඳව සඳහනක් නැත.

අඩුමතරමින් ඉන් සියවස් කීපයකට පසුව ලියැවුණු එහිම අටුවාව වන වංසත්තපකාසිනියේ වත් එවැනි කඩුවක් පිළිබඳව සඳහනක් නැත.පැරණි යුද ආයුධ ගැන සඳහන් කරන විට කඩු - කස්තාන යනුවෙන් සඳහනක් ඇත. මෙහිදී කස්තානය(Carved sword) යනු කැටයම් කළ හෙවත් වැඩ දැමූ කඩුවකි. එය බොහෝ විට රාජ්‍යත්වය සහ ප්‍රභූත්වයේ සංකේතයක් ලෙස යොදා ගනු ලබන්නකි.

වසර 44කට පසුව ශී‍්‍ර ලාංකීය රාජ්‍ය නායකයෙකුට රුසියාවේ නිල සංචාරයක් සඳහා ලැබුණු පළමු නිල ආරාධනය සනිටුහන් කරමින් පසුගිය මාර්තු මාසයේ රුසියාවේ තෙදින නිල සංචාරයක නිරතවූ ජනාධිපතිතුමාගේ සංචාරයට ලබා දුන් ඉහළ පිළිගැනීමක් ලෙස රුසියානු ජනාධිපතිවරයා විසින්  අතීතයේ අප සතුව තිබූ මෙම ඓතිහාසික කස්තානය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගන්වා ඇත.
පෞරාණික වටිනාකමකින් යුත් මෙම කස්තානය මහනුවර යුගයට අයත් වූවකි. එය ඒකාන්තයෙන්ම මහනුවර යුගයේ රාජකීයකු විසින් භාවිතා කරන ලද්දකි. ඒ 1906දී පමණ එංගලන්තයට ගෙනගොස් තිබියදී එංගලන්තයේ පැවති කෞතුක භාණ්ඩ වෙන්දේසියකින් රුසියාව විසින් මිලදී ගෙන තිබේ.

මෙම කස්තානය ඉතාමත් දුර්ලභ ගණයේ රාජකිය ආයුධයකි. එපමණක් නොව ඓතිහාසික වශයෙන් අගයක් ඇති දුර්ලභ ගණයේ නිර්මාණයකි. රුසියානු සමූහාණ්ඩුවේ අපරාධ නීති සංග‍්‍රහයේ 243වගන්තියට අනුව පෞරාණික වටිනාකමින් යුතු පුරාවස්තූන් හා සංස්කෘතික අගයෙන් යුත් වස්තූන්ට හානි කිරීම හෝ විනාශ කිරීම අපරාධයක් ලෙස සඳහන් වෙයි.  ඒ අනුව එම වස්තූන් ආරක්ෂා කිරීමේ වගන්තියට මෙම කස්තානය ද අයත්ව තිබුණි.එහෙත් මෙම කස්තානය පිළිබඳව බොහෝ දෙනෙක් නොදත් රහසක් ලක්බිම ඔන්ලයින් වෙත හෙළි කිරීමට හිටපු ජාතික  කෞතුකාගාර අධ්‍යක්ෂකවරයකු, කැලණි විශ්ව විද්‍යාලීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරයකු  වන ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතාට හැකිව තිබේ.

මෙතෙක් සැඟවුණු එම  රසවත් ප්‍රවෘත්තිය ඔහුගේම වචන වලින් මෙලෙ‍සිනි,

“මීට අවුරුදු 45 කට විතර කලින් 1972 අවුරුද්දේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය කාලයේ සෝවියට් - ශ්‍රී ලංකා සංස්කෘතික ගිවිසුමක් සම්බන්ධ කටයුත්තකට අපි තුන් දෙනෙක් රුසියාවට ගියා. ඒ ශ්‍රී ලංකාවේ කීර්තිමක් පුරාවිද්‍යාඥයෙක් වන ආචාර්ය රෝලන්ඩ් සිල්වා මහත්තයයි, සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයකු වන නලීන් රත්නායක මහත්තයයි, මමයි.

එහිදී රුසියානුවෝ අපිව බොහොම ආදරයෙන් පිළිඅරගෙන ඒ රටේ සංස්කෘතිය දැක්වෙන හැම තැනක්ම හැම කලාවක්ම අපට ඉදිරිපත් කළා. අන්තිමට අපි තුන්දෙනාව ‍ ‘හර්මිටේජ්’ කෞතුකාගාරයට කැඳවාගෙන ගියා. ඒකෙ රුසියාවේ විතරක් නෙවෙයි ලෝකයේ වෙන රටවල් වල පුරාවස්තු කෞතුක භාණ්ඩ විශාල ප්‍රමාණයක් තිබුණා. ඒ අතරෙ ඉන්දියානු පුරාවස්තු  සමග කඩු - කස්තාන රාශියක් තිබුණා. ඒ කඩු කස්තාන අතර තිබිච්ච එක කස්තානයක් දැක්ක හැටියෙ මාව විස්මයට පත් වුණා.  මොකද ඒක ඉන්දියාවට කිසිම සම්බන්ධයක් නැති අපේ රටේ මහනුවර යුගයේ කස්තානයක්. මම ඒ වෙලාවෙම ඒක භාරව සිටි අභිරක්ෂක නිලධාරිනියට කිව්වා; ඔයාලට ලොකු වැරදීමක් වෙලා
(ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ)

තියෙනවා; මේක ඉන්දියානු කෞතුක භාණ්ඩ ගොඩට දාන්න එපා; මේක ශ්‍රී ලංකාවෙ කස්තානයක්; ඒක සියයට සියයක්ම තහවුරු කරන්න පුළුවන් කියලා.

ඊට පස්සෙ ඒ අභිරක්ෂක වරිය ඒ ගැන බොහොම උනන්දුවෙලා මම කියපු හැම දෙයක්ම එයාගේ අතේ තිබුණ  පුංචි නෝට් පොතේ ලියාගත්තා. ඒ වෙලාවෙ සංස්කෘතික ලේකම් නලීන් රත්නායක මහතයටත් මම කිව්වා දෙරට අතරෙ සංස්කෘතික ගිවියුමක් ඇති වෙනව නම් මේ ව‍ගේ දේවල් ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියලා.

කොහොම නමුත් මේක නැවත ලංකාවට ලැබෙයි කියලා මම කීයටවත් හිතුවේ නෑ. මගේ ජීවිත කාලය තුළම ඒක ලංකාවට  හිමිවෙලා මම කලක් සේවය කරපු ජාතික කෞතුකාගාරයේ තැන්පත් වීම ගැන මගේ හිතේ අහිංසක සතුටක් තියෙනවා.”

මෙම කස්තානය කෞතුකාගාරයට භාරදීමේ උත්සව සභාව ඇමතූ පුස්තකාල හා ප‍්‍රලේඛණ සේවා මණ්ඩලයේ සභාපති ආචාර්ය ඩබ්.ඒ. අබේසිංහ මහතා ලොව ප‍්‍රබල නායකයෙකුගෙන් ලැබුණු මෙම ඓතිහාසික තිළිණය තම පෞද්ගලික වස්තුවක් බවට පත් කර නොගෙන එය ජාතික උරමයක් බවට පත්කරමින් එයට හිමි නිසි ස්ථානයේ තැන්පත් කිරීමට කටයුතු කිරීම තුළින් රාජ්‍ය නායකයෙකු ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අපේ රටේ සංස්කෘතිය සහ ජාතික උරුමයන් පිළිබඳ දරණ නිවැරදි ආකල්පය මැනවින් පිළිඹිබු වන බව පැවසීය.

මහනුවර යුගයේ රාජකීයකු සතුව තිබූ මෙම අගනා ඵෙතිහාසික කෞතුක වස්තුව දැන් ඔබටත් ජාතික කෞතුකාගාරයේ දී නැරඹිය හැක.



දමයන්ති ගමගේ

 

පසුගිය කාලය තුළ ශීඝ්‍රයෙන් පැතිර ගිය ඩෙංගු ව්‍යසන තත්ත්වය දැන් පහ වෙමින් පවතී.

එය සිදු වූයේ ඩෙංගු මදුරුවා මැඩ පැවැත්වීම සඳහා ගන්නා ලද ක්‍රියා මාර්ගයන් නිසාද නැතහොත් වැසි සහිත කාලගුණික තත්ත්වය පහ වී යාම නිසා ද යන්න ගැන සිතා බැලීම වැදගත්ය.

ඩෙංගු තත්ත්වය අඩුවීමට හේතුව පරිසරය වියළීම ය. අපේ රටේ ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා ක්‍රියා මාර්ග ගැනීම කෙරෙහි බලධාරීන් මෙන්ම මහජනතාවද යොමු වෙන්නේ ඩෙංගු බොහෝ සෙයින් ව්‍යාප්ත වී රෝහල් පිරී ඉතිරී සෑහෙන පිරිසක් මියගියාටත් පසුවය. මෙය විශාල අඩුපාඩුවකි.

අපේ රටේ ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වන කාල සීමාවන් දෙකක් තිබේ. ඒ මෝසම් වැසි සමයයි. වසරේ ජුනි - ජූලි මාසවල එක් මෝසම් වැසි සමයක් පවතින අතර ඊළඟ මෝසම් වැසි සමය එළඹෙන්නේ නොවැම්බර් - දෙසැම්බර්  කාලයේදීය.

වර්ෂාව නිසා වතුර එකතු වන ස්ථානවල ඩෙංගු මදුරුවා බිත්තර දැමීම සිදුවෙයි. ඩෙංගු මෙලෙස ව්‍යාප්ත වූ පසු කළ යුතු ප්‍රතිකාර, පිළිපැදිය යුතු පිළිවෙත් සහ කසල ඉවත්  කිරීමත්, කානු, වැහිපීලි ආදිය පිරිසිදු කිරීමත් ගැන මිස ඩෙංගු ‍වැළැක්වීම සම්බන්ධ විද්‍යාත්මක කථිකාවක් අපේ රටේ තවමත් සිදු කෙරෙන්නේ නැත.

ඩෙංගු වැළැක්වීමට නම් ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්විය යුතුමය. මේ සඳහා ආකාර කිහිපයක් තිබේ.

පළමු සහ ප්‍රධාන ක්‍රියාමාර්ගය විය යුත්තේ මෝසම් සුළං ඇති වීමට පෙර, එනම් මෝසම් සුළං සමය ආසන්නයේ පරිසරය පිරිසිදු කිරීම ආරම්භ කිරීමයි. ‍මෝසම් සුළං ආසන්න කාලය කාලගුණ විද්‍යාඥයන් හට මාධ්‍ය හරහා දැනුවත් කිරීමේ හැකියාව ඇත. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොදුවේ මහජනතාව ක්‍රියාත්මක විය යුත්තේ මේ කාල සීමාවේදීය.

අපි ප්‍රධාන වශයෙන්ම ඩෙංගු රෝගය හඳුනාගැනීම, ඩෙංගු රක්තපාතය, ඩෙංගු පැතිරයාම, ප්‍රතිකාර පිළිබඳව මෙන්ම රෝහල් වල ඩෙංගු රෝගීන් සඳහා අලුතින් දැඩි සත්කාර ඒකක ඉදිකිරීම පිළිබඳව පවා සාකච්ඡා කරමු. මේ සියලුම දේ ඩෙංගු වැළඳීමෙන් පසු සිදුවන ඒවාය. නමුත් ඩෙංගු මදුරුවන් හට ගැනීම වැළැක්වීම සඳහා වන ක්‍රම ගැන ඊටත් වඩා කතා බහ කළ යුතුය.  එය සිදුවිය යුත්තේ ඉහතද කී පරිදි ‍මෝසම් වැසි සමය ආරම්භ වීමට පෙරය. ඒ අනුව අප දැන් ඩෙංගු මැඩළීමට ක්‍රියා කරනුයේ වඳුරන් ගෙවල් හදන ආකාරයට තරමක් සමාන ක්‍රමයකට බව කිව යුතුය.

දුම් ගැසීමද ඩෙංගු මදුරුවෝ පලවා හරින එක් ක්‍රමයකි. නමුත් මෙය තාවකාලික පිළියමකි.  මෙමගින් මදුරුවන් බෝවීම වැළැක්විය නොහැක. අනික්   අතට ඩෙංගු ව්‍යාප්තිය වළක්වා ලීම වෛද්‍යවරුන්ගේ කටයුත්තක්ද නොවේ. වෛද්‍ය විද්‍යාවේදී ප්‍රගුණ කරන්නේ රෝග පිළීබඳව හා ඊට කරනු ලබන ප්‍රතිකාරත්, රෝගවලින් බේරී සිටීමට ගත යුතු පිළිවෙත් පිළිබඳවත්ය. එනිසා මදුරුවන් බෝවීම වැළැක්වීම පිළිබඳව රජය කීට විද්‍යාඥයන්, පරිසර විද්‍යාඥයන්, පරපෝෂ විද්‍යාඥයන් මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන් වෙතින් ද උපදෙස් ලබා ගත යුතුය. මේ සියලු දෙනාගේ මෙන්ම කාලගුණ විද්‍යාඥයන් වෙතින්ද සැලසුම් කමිටුවක් පත් කිරීම වඩාත් ඵලදායී වෙයි. නමුත් මේ සාමූහික වගකීමෙන් වැඩිකොටස වෛද්‍යවරුන්ගේ කර මත පැටවීමෙන් අයහපතක් මිස යහපතක් සිදුනොවෙයි.

මදුරුවන් බෝවීම වළෑක්වීමට වෙනත් රටවල Larvicidal trap නමින් හඳුන්වන භාජන විශේෂයක් භාවිතා කෙරේ. මෙම භාජනයට අධිසීනි ද්‍රාවණයක් දමා මදුරුවන් බහුල ගස් ආශ්‍රිත ස්ථාන වැනි අඳුරු තැන්වල තැබිය යුතුය. මෙම භාජනයට මදුරුවන් ඇතුල් වී බිත්තර දමනු ඇත. එයට ඇතුල් වූ පසු මදුරුවන්ට මෙන්ම මදුරු කීටයන්ටවත් ආපසු යා හැකි නොවේ. මෙගා බෝතලයකින් වුවද මෙවැනි බඳුනක් සාදා ගැනීමට හැකියාව පවතියි.

සාමාන්‍යයෙන් එක ආසන්නයේ නිවෙස් කිහිපයකම ඩෙංගු රෝගීන් සිටියේ නම් ඒ ප්‍රදේශයේ මීටර් 200 ක් පමණ වපසරියක් තුළ ඩෙංගු මදුරුවන් සිටින බව කිව හැකිය. ඩෙංගු මදුරුවකුට පියාසර කළ හැක්කේ එවැනි දුර ප්‍රමාණයක් පමණකි. එවැනි ප්‍රදේශයක ස්ථාන කිහිපයක Larvicidal trap කිහිපයක් තැබිය හැකි නම් මදුරු ඝණත්වය අඩු කර ගත හැකිය. මෙය ලොව පිළිගත් මදුරු නාශක ක්‍රමයකි.

BTI බැක්ටිරියාව ද මදුරුවන් මර්දනය සඳහා යෙදිය හැකිය. පසුගිය කාලයේ අපේ රටේ බලධාරින් කියා සිටි පරිදි මේවා හෙලිකොප්ටර් මගින් පරිසරයට මුදා හැරීමට කරදර විය යුතු නැත.  බොහෝ රටවල මේවා කැට වශයෙන් නිෂ්පාදනය කරන අතර වෙළඳසල් වලින් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට ද හැකියාව ඇත. මදුරු කොයිල් මිලදී ගන්නා අයුරින් මේවාද ජනතාව මිලදී ගැනීමට කටයුතු කරන්නේ නම් වතුර එකතුවන හැම ස්ථානයකම මේවා දැමීම තුළින් මදුරුවන් බෝවීම වළක්වා ගැනීමට හැකියාව ලැබේ.

මීට සමාන බැක්ටීරියා විශේෂයක් අපේ රටේ පේරාදෙණිය හා කැලණිය විශ්ව විද්‍යාල මගින් නිපදවා ඇත. මෙය වෙළඳපොළට නිකුත් කළ හැකි මට්ටමට රජයට අමතරව පෞද්ගලික අංශයටද සම්බන්ධ වී නිෂ්පාදනය කළ හැකි නම් මදුරුවන් බෝවීම වැළැක්වීම අපහසු නොවේ.

ජානමය වශයෙන් වෙනස් කරන ලද වඳ මදුරුවකු ඩෙංගු මදුරුවන් ගැවසෙන ප්‍රදේශවලට මුදා හැරීම තවත් ඵලදායි ක්‍රමයකි. මෙය බ්‍රසීලය වැනි රටවල සුලබව භාවිතා වේ.  මේ වඳ මදුරුවා මදුරු ගැහැනු සතුන් හා එක්වීම සිදු වුවත් එම මදුරුවන් ගෙන් ඊළඟ පරම්පරාවක් හට ගන්නේ නැත.

පාසල් නිල ඇඳුම වෙනස් කිරීම ද සමහර රටවල් වල දක්නට ලැබෙන ක්‍රමයකි. සාමාන්‍යයෙන් ඩෙංගු මදුරුවා බහුල උදය හා සවස් කාලයේය. එසේම මෙම මදුරුවා පියාසර කරන්නේ පහළ මට්ටමකය. එබැවින් පාසල් දරුවන්ට දිගු කලිසම් ඇඳීම අත් දිග කමිස ඇඳීම මගින් මදුරු දෂ්ටනයෙන් වැළකී සිටිය හැකිය. ගැහැනු ළමයින්ට කලිසම් ඇඳීමට ඉඩ දිය නොහැකි නම් සුදු ගවුමට යටින් ස්ටොකින්ස් නමැති දිගු මේස් විශේෂය භාවිතා කිරීමට ඉඩ සලසා දීම සුදුසුය. අඩුම තරමින් මදුරු වසංගතය පවතින කාලයටවත් මෙලෙස පාසල් නිල ඇදුම් වෙනස් කිරීමට පියවර ගැනීම සුදුසු වේ.

මෙවැනි ක්‍රම පොදුවේ හදුන්වන්නේ Integrated vector control ලෙසිනි. මදුරුවන් පලවා හරින්නට මෙම එක් ක්‍රමයක්  ප්‍රමාණවත් නැත. මේ ආකාරයට විවිධ ක්‍රම කිහිපයක්ම අනුගමනය කරන්නට සිදු වනු ඇත. නමුත් අවාසනාවන්ත තත්ත්වය වන්නේ මෙබඳු විධිමත් ක්‍රම වේදයක් අපේ රටේ ක්‍රියාත්මක නොවීමය.

මෙම කතාවෙන් කොටසක් සහිත වීඩි‍යෝව -:

ළමා රෝග විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

සැකසුම - ඉන්දු පෙරේරා

පතුලක් නැති ළිඳක් ඇති බව පිළිගැනීමට පවා ඔබ අකමැති වනු ඇත. පසුගිය යුද ජයග්‍රහණයෙන් පසු එතෙක් යාපනයේ අර්ධද්වීපයේ අප්‍රකටව පැවති මෙම පතුල නැති ළිඳ පිළිබඳව සුවිසල් ප්‍රසිද්ධියක් ලැබුණි.

යාපනය කන්කසන්තුරය මාර්ගයේ චුන්නාකම් අසලින් හෝ චාවකච්චේරිය සිට ගමන් ගන්නේ නම් සරසාලෙයි හරහා චුන්නාකම් අසලින් දිවෙන මාර්ගයේදී හමුවන පූතූර් නගරය අසල දී නිලාවරි ගම්මානය හමුවෙයි. මුළුමනින්ම පාහේ කෘෂිකාර්මික මුහුණුවරක් ගත් මෙහි පිහිටි පොකුණක ස්වරූපය ගත් මෙම පතුලක් නොමැති ළිඳ හැඳින්වෙන්නේ ‘නාවක්කන්නි’ ළිඳ යනුවෙනි.

‘නාවක්කන්නි’ යන දෙමළ වදනෙහි සිංහල අරුත ‘නාග කන්‍යාව’ යන්නය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවීමට පෙර නාග ගෝත්‍රිකයන් හා සම්බන්ධ පුරාවෘත්ත කිහිපයක් මෙහි ගැබ්ව තිබේ.

එමෙන්ම මිහිපිට වෙසෙන නාගයන්ට නාගලොවට යා හැකි දෝනාමාර්ගයක් හෝ පියගැට පෙළක් මෙම ළිඳ පත්ලෙහි ඇති  බව කියනු ලැබේ.

මෙම නීලාවරී ළිඳ පිළිබඳව දෙ‍වන ජනප්‍රවාදය වන්නේ රාම රජු හා යුද කොට  රාම කුමරුන් සීතා දේවිය රැගෙන ඉන්දියාවට යන ගමනේ දී ඇයට ඇති වූ දිය පිපාසය සන්සිඳවනු පිණිස රාමකුමරුන් තම ත්‍රිශූලයෙන් පොළවට ඇන මෙම ළිඳ කපා දිය මතු කර ගත් බවය.

එමෙන්ම බුදුරාජාණන් වහන්නේ නාගදීපයට වැඩම කළ අවස්ථාවේ උන්වහන්සේට දිය පිපාසයක් දැනුණු බවත් එවිට ශක්‍රදේවේන්ද්‍රයා විසින් උන්වහන්සේට පැන් පානය කිරීමට මෙම ළිඳ නිර්මාණය කළ බවත් පැවසේ.

සාමාන්‍යයෙන් ළිඳක් යැයි ව්‍යවහාර වූවද බාහිර ස්වරූපය අනුව මෙය ළංවන්නේ පොකුණකටය. එම පොකුණට බැසීමට  අඩි 20 ක පමණ පිය ගැට පෙළක්  ද තනා තිබේ.

පැරණි සිතියම්ගත ලේඛනයන්හි වඩදිය බාදිය ළිඳක් (Tidel Well) ලෙස ප‍්‍රකට මෙම ළිඳ පිළිබඳව  තවත් විවිධ ජනප‍්‍රවාද පවතී.

 ඉතා නිල්වන් පැහැදිලි ජල වර්ණය (Astonishing aqua marine) මෙම ළිඳට අලංකාර ස්වභාවික පිහිටීමක් එක්කර ඇත. මෙම පත්ල නොමැති ළිඳ පිළිබඳව විවිධ අවස්ථාවන්හි විද්‍යාත්මක පර්යේෂණ පැවැත්විණි.

ඒ අතරින් 2013 වර්ෂයේ අගෝස්තු මස මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යාඥ කණ්ඩායමක් මගින් ගවේෂණයක් සිදුකිරීම කැපී පෙනේ. හත් දෙනෙකුගෙන් සමන්විත මුහුදු පුරාවිද්‍යාඥ කණ්ඩායමේ සාමූහික කැප කිරීම මත මෙතෙක් පැවැති ළිඳ සම්බන්ධ ගුප්ත විශ්වාසයන්ට  තිත තැබිණි.

එනම් මෙම ළිඳේ පත්ල අනාවරණය කර ගැනීමයි. ඒ අනුව මෙහි උපරිම ගැඹුර මීටර් 50 ක් හෙවත් අඩි 164 ක ප‍්‍රමාණයක් වන බව නිගමනය කෙරුණි.

පතුලක් නැති ළිඳක් යනුවෙන් හැඳින්වෙන මෙම ස්ථානය පිළිබඳව භූ විෂමතා ආශි‍්‍රත සටහන් තුළින් හෙළිදරව් කෙරෙනුයේ හුණුගල් පාෂාණ සහිත ස්ථරයකින් නිර්මාණය වූ මෙම කලාපයේ මුහුදට සම්බන්ධ වන ප‍්‍රදේශයේ කබොල්ල පොළොව මට්ටමේ සිට මුහුදු මට්ටම දක්වා කැඞී යෑමෙන් හෙවත් ස්වභාවික ඛාදනයට ලක්වීමෙන් මෙම ගැඹුරු ආගාධය නිර්මාණය වී ඇති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වන ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයේ (NARA) ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ ආචාර්ය කේ. අරුලානන්දන් මහතා ප්‍රකාශ කරනුයේ මෙම ප්‍රදේශයේ පවතින හුණුගල් පාෂාණය කාලාන්තරයක් තිස්සේ සාමුද්‍රික බලපෑමට  ලක්ව ඛාදනය වීම නිසා මෙම  ළිදෙහි පත්ල සහ මුහුද අතර කුහර නිර්මාණය වී ජලජමය සම්බන්ධයක් ඇති බවයි.

ඒ අනුව මෙහි මතුපිට ජලය මිරිදිය ලෙසද පතුලෙහි ජලය කරදිය ලෙසද පවතිනු ඇතැයි ඔහු කීය.

එමෙන්ම මෙම ළිඳ සහ කන්කසන්තුරේ පිහිටි කීරමලෙයි පොකුණ අතර අන්තර් ජලජ සම්බන්ධතාවයක් ඇති බව යාපන වැසියන් ‍ප්‍රකාශකරන බව කී ආචාර්ය අරුලානන්දන් මහතා නීලාවරි ළිඳට දමනු ලබන දෙහි ගෙඩි, පොල් කැබලි ආදී පූජා භාණ්ඩ කිරමලේ  පොකුණෙන් මතුවන පුවත එක් වරම විද්‍යතාත්මකව බැහැර කළ නොහැකි බව ද කීය.

යාපනය අර්ධද්වීපයේ කෝපායි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නවක්කේනි ග‍්‍රාම නිලධාරි වසමේ මෙම පිහිටි මෙම ළිඳ ‘නීලාවරි’ පොකුණ වශයෙන් 1486/2007/02/23 ගැසට් පත්‍රය මගින් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ලියාපදිංචි කොට තිබේ.
 මෙය මෙම ළිඳට අමතරව   පුරාවිද්‍යාත්මක සාධක සහිත භුමියක් ද වෙයි.

පෘතුගීසි සමයේ යාපනයේ විසූ පිලිප් බැල්දියුස් දේවගැතිවරයාගේ දේශාටන වාර්තා අනුව මෙම ළිඳ ආසන්නයේ පැරණි බෞද්ධ විහාරයක් තිබූ බවත්, එම ස්ථානයේ සිංහල හා පෘතුගීසින් අතර සටනක් පැවැති බවත් සඳහන් කරයි.

එසේම 1917 වර්ෂයේ එවකට යාපනයේ දිසා විනිසුරුවරයාව සිටි පෝල් ඊ. පීරිස් විසින් යාපනය පිළිබඳව තබන සටහනේ ද මෙම ස්ථානය පිළිබඳව කරුණු දක්වා ඇත. ඒ අනුව ඉහත නම සඳහන් ළිඳට අමතරව බෞද්ධ  නටබුන් රැසක් එහි තිබූ බව ද පවසයි.

මෙම ළිඳ සමීපයෙන් හමුවූ බුද්ධ ප‍්‍රතිමාවක් මේ වන විට යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. වර්තමානයේ වුව හුණුගලින් නිර්මිත දාගැබ් ද්විත්වයක නටබුන් ඒ අසල භූමියේ දැකිය හැකිය. එමෙන්ම මෙම ස්ථානයට යාබඳව පැරණි බෝධි වෘක්ෂයක් ද දැකිය හැකිය.

බැල්දියුස්ගේ දේශාටන වාර්තාවල සඳහන් මෙම ස්ථානයේ පිහිටියේ යැයි සඳහන් ඓතිහාසික විහාරය සිංහල රජ සමයේ   ”බුද්ගමුව” නමින් හැඳින්වූ ගම්මානයට අයත්ය. කි‍්‍ර. ව. 1053 වර්ෂයේදී සොළීන් හා සටන් වැදුණු විජයබා රජු විසින් මෙම විහාරය ප‍්‍රතිසංස්කරණය කරවූ බව ඉතිහාසයේ එයි.

ඒ අනුව නාගග්‍රෝතික සහ රාම රාවනා පුරාවෘත්ත වල සිට බෞද්ධ ඵෙතිහාසික සහ පුරාවිද්‍යාත්මක සාධක සහිත ස්ථානයක් වශෙන් වැදගත් වන මෙම නිලාවරි ළිඳ ජාති ආගම් බේදයකින් තොරව අප කාගේත් පොදු උරුමයක් සේ සල කිය හැකිය.





ඒ.ජී රේණුකා

අන වින හදි හූනියම් ආදිය පිළිබඳව අප සමාජයේ බොහෝ දෙනෙකු තුළ ඇත්තේ මහත් භීතියකි. තමන්ට කොඩිවිනයක් කර ඇතැයි විශ්වාස කරන සමහරෙක් එය මුල්කොට ගත් භීතිකාව නිසා නොයෙක් විපත් සිදුකර ගනීති.

එමෙන්ම තමන්ට කොඩිවිනයක් කර ඇතැයි සලකන සමහරෙකු ඒ කොඩිවිනය කළ තැනැත්තා වශයෙන් හඳුනාගන්නා තැනැත්තාට විපත් පැමිණවීමද වරින් වර අසන්නට ලැබේ.

කොඩිවිනයක් කර බිරිඳගෙන් තමා වෙන් කර ඇතැයි යන කලක් සිට පැවැති සැකයක් මත කටාන දෙමංහන්දිය නිවසක් තුළදී පෙරේදා (6දා) දහවල් උදැල්ලකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇත.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙමංහන්දිය, දිවුලපිටිය පාර, කොහුමෝල වත්තේ අංක 561දරන නිවසේ මුරකරු වශයෙන් සේවය කළ බඩල්කුඹුරේ ස්ථීර පදිංචිකරුවෙකු බව කියන බඩල්කුඹුරේ පුංචි බණ්ඩා නමැති දෙදරු පියෙකි.

වසර කිහිපයක් සිට මොහු මෙම නිවසේ මුරකරු වශයෙන් සේවය කරයි. මෙම මනුෂ්‍ය ඝාතනයේ සැකකරු කලක සිට තම බිරිඳගෙන් වෙන්ව ජීවත් වන්නෙකි. බිරිඳගේ මව හා ඝාතනය වූ අය එක්ව සැකකරු හා බිරිඳව වෙන් කිරීමට සිදු කරන ලද කොඩිවිනයක් නිසා බිරිඳ තමා හැර ගොස් තිබෙන බව මොහු විශ්වාස කර තිබේ.

පසුව එම කොඩිවින අදහස වෛරයකට පෙරලා ගත් සැකකරු මෙම ඝාතනය කර ඇති බවට මූලික ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම සිද්ධියේ සැකකරු ලෙස අංක 34, උතුරු කදිරාන, මල්බෙරිවත්ත, දෙමන්හන්දිය ලිපිනයේ පදිංචි එක් දරු පියෙකු කටාන ‍පොලීසිය  මගින් අත්අඩංගුවට ගෙන ඇත.

නිවසේ කාමරයක් තුළ  සිදුවූ මෙම මිනීමැරුම හා සම්බන්ධ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා මීගමුව අතිරේක මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ආර්.ජී.එන්.කේ. රංකොත් මහත්මිය පෙරේදා (06දා) සවස සිද්ධිය වූ ස්ථානයට පැමිණ මීගමුව දිසා මහ රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මගින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස කටාන ‍පොලීසියට නියෝග කළාය.

මීගමුව ‍පොලිස් අධිකාරී අනුර සේනාරත්න ද සිල්වා මහතාගේ උපදෙස් මත කටාන ‍පොලිස් ස්ථානාධිපති ජගත් තේමිය මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ අංශයේ ස්ථානාධිපති  උප ‍පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එච්. උදය අශෝක, ‍පොලිස් සැරයන්වරුන් වන 24834ප්‍රියන්ත, 51788නිහාල්, ‍පොලිස් කොස්තාපල් 34112ජිනදාස යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

 

රේමන් අ‍පොන්සු

 

අද නිකිණි පුර පෝ දිනයයි. පොහෝ දිනවල පන්සල් යාම බොහෝ බොදුනුවන්ගේ සිරිතකි. එහෙත් මෙවර නිකිණි පොහොය දිනයේ දේවස්ථානයකට යාමට මගේ හිතවතෙකුගෙන් ඇරයුමක් ලැබිණි.

ඒ හිතවතා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රුමි රූබන්ය. 'පෝය දවසේ දේවස්ථානයකට යාමේ තියෙන වැදගත් කම මොකක්ද?'  මම ඔහුගෙන් අසා සිටියෙමි. 'ඒක බෞද්ධ දේවස්ථානයක්.'  වෛද්‍ය රූබන් දුන් පිළිතුරෙන් මම විස්මයෙන් ඇළලී ගියෙමි.

'බෞද්ධ දේවස්ථාන කියලා ජාතියකුත් තියෙනවාද? මම නම් ඔය ඇහුවමයි'. එම විස්මය අතරින් මම කීවෙමි.

'එහෙම නම් නැහැ තමයි මාත් හිතන්නේ ලංකාවේ එකම බෞද්ධ දේවස්ථානයත් මේකම වෙන්න ඇති.' වෛද්‍ය රූබන් කීය.

කෙසේ හෝ ඔහුගේ එම ඇරයුමෙන් මම ඔහුද සමඟ මාතර දිස්ත්‍රිකයට අයත් ඉහළ අතුරළියේ පිහිටි අංගහ දේවස්ථානය නමින් හැදිවෙන එම පුද බිමට පිවිසුණෙමි.

සාමාන්‍යයෙන් කටවහරට අනුව මෙය දේවස්ථානය නමින් හැදින්වෙන බවක් මා මුලින් සිතා සිටියද අංගහ දේවස්ථානය යනුවෙන් හැදින්වෙන අගනා නාම පුවරුවක් ඊට පිවිසෙන තැන දැකිය හැකි විය. බෞද්ධ සම්ප්‍රදායට අනුව දෙවියන් පුදන තැන දේවාල නමින් හැදින්වෙන අතර සිංහලෙන් දේවස්ථාන ලෙස හැදින්වෙන්නේ කිතුණු සහ ඉස්ලාම් ආගමික ස්ථානයන්ය.

එහෙත් මෙම දේවස්ථානය බෞද්ධ සම්‍ප්‍රදායට අනුව වත් පිළිවෙත් සිදු කෙරෙන ගම්බාර දෙවියන් සදහා වන ඉපරණි පුද බිමකි. අතීතයේ පත්තිනි දේවිය සඳහා අංකෙළිය හෙවත් අං ඇදීම සිදුවූ නිසා මෙම ස්ථානය අංගහ යනුවෙන් හඳුන්වා ඇති අතර ඊට පසුව මෙම ස්ථානය පත්තිනි දේවිය උදෙසා පොර පොල් ගැසීම සිදු කොට ඇති නිසා මෙම ස්ථානය 'පොල් පිටිය' යනුවෙන් ද හැදින්වෙයි.

අතුරැලිය ශ්‍රී නිවාසාරාම පුරාණ විහාරය මගින් පාලනය වන මෙය ප්‍රදේශවාසීන්ගේ නිරන්තර පුද පූජා වලට ලක්වන ස්ථානයක් බව එම විහාරාධිපති අතුරලියේ තිලාකානන්ද හිමියෝ කියති.

බෞද්ධ සිද්ධස්ථානයක් වන මෙයට දේවස්ථානයක් ලෙස නම යෙදීම නිසා ප්‍රශ්න මතු වූ අවස්ථා නැත්දැයි අපි විහාරාධිපති හිමියන්ගෙන් අසා සිටියෙමු.

'පහුගිය දවසක මාතර පැත්තේ අවමගුලකට අපේ දායකයන් සහභාගී වුණා. ඒ අවමගුල සඳහා අංගහ දේවස්ථානයේ සංවේගය කියා බැනර් එකකුත් සවිකර තිබුණා. එවිට ඒ අවමගුලට සහභාගී වු කිතුණු පියතුමෙක් සහ කන්‍යා සොහොයුරියන් කිහිප දෙනෙකු ඒ බැනරය සවිකළ අපේ දායකයන් සොයා විත් අංගහ දේවස්ථානය ගැන තමන් නොදන්නා බව කියා ඒ ගැන විස්තර අසා සිටියා.

Temple1

Temple2

 

Temple3

එවිට ඒ දායකයන් එය අවුරුදු සියගණනක් තිස්සේ පැවත එන බෞද්ධ සිද්ධස්ථනයක් බවත් එහි නම එකල සිටම භාවිතා කළේ අංගහ දේවස්ථානය ලෙස බව පැවසූ පසු ඔවුන් සිනාසි නිහඩ වි තිබෙනවා.

ඒ කෙසේ හෝ මෙම අංගහ දේවස්ථානයේ වසර සිය ගණනක් පැරණි යැයි කිවහැකි බෝධියකින් සහ නාගස් පෙළකින් ඔපවත් වී ඇති අතර එහි නව බුදු මැදුරක්ද තනා තිබේ.  

තිලක් සේනාසිංහ

ඡායාරූප - වෛද්‍ය රුමි රූබන්

පූර්ව දැනුවත්වීමකින් තොරව, කිසියම් කාර්යයකට අත පෙවීම, සහ එය අසාර්ථක වීමට ඇති සම්භාවිතාව ගැන කියැවෙන "දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතර මඟ" යන සුප්‍රසිද්ධ ප්‍රස්ථා පිරුළ කවුරුත් අසා ඇතිවාට සැක නැත. නමුත් මේ ප්‍රස්ථා පිරුළේ උපත හා සම්බන්ධ ඵෙතිහාසික කතාන්දරය නම් බොහෝ අය අසා නැති බව නිසැකය. එය අපගේ රට යටත් විජිත සමය තුළ සැඟව තිබෙන අපූරු කතා ප්‍රවෘත්තියකි.

ඉංග්‍රීසීන් අප රට පාලනය කළ එක්දාස් අටසිය ගණන්වලදී, රට තුළ විශාල සහල් හිඟයක් ඇති විය. ඒ නිසා රටේ උද්ගතවූ ආහාර ගැටළුව විසඳීම සඳහා දකුණු ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට ඉංග්‍රීසි පාලකයන්ට සිදුවිය. ඒ සඳහා දැරිය යුතු වූ අධික වියදම දරාගත නොහැකි තරම් විය. ඒ නිසාම රටේ ආදායම ශීඝ්‍රයෙන් පහළ බැස ගියේය. මෙය ඉංග්‍රීසි පාලනයට ප්‍රබල ලෙස දැනුණි. ඒ වන විට රටේ බොහෝ සශ්‍රීක ප්‍රදේශ, වැව් අමුණු වෙල්යායවල් වල්බිහිව තිබුණේ වසර ගණනාවක් තුළ පෘතුගීසින් කළ විනාශකාරී කටයුතු නිසාය. පසුව එම කෘෂිකාර්මික කටයුත යළි නඟාසිටුවීමට ලන්දේසිහු ඌරුබොක්ක වැව ඇතුළු රුහුණේ වැව් අමුණු ගනණාවක් ප්‍රතිසංස්කරණය කළද එය සාර්ථක පිළියමක් නොවිණි.

මේ ගැටළුවේදී එකල හම්බන්තොට ආදායම් පාලකවරයා විසින් ඒ වන විට වල්බිහිව තිබූ ඵෙතිහාසික පැරණි පුදබිමක් වන තිස්සමහාරාම ප්‍රදේශය නැවත සංවර්ධනය කර ආදායම් ලැබිය හැකි ප්‍රදේශයක් ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට පිඹුරුපත් සකසන ලදී. එසේම මේ ඵෙතිහාසික පුදබිම ආශ්‍රිත ප්‍රදේශ සංවර්ධනය කරමින් ඒ අවට වගා බිම් දියුණු කිරීම කෙරෙහිද ඔවුන්ගේ අවධානය යොමුවූයේ එවැනි ආගමික වටපිටාවක් උරුම ප්‍රදේශ වල පදිංචි වීමට අපේ මිනිසුන් දක්වන විශේෂ වූ කැමැත්ත තම වැඩපිළිවෙලට උපකාර කර ගැනීමටය.

1859 දී පමණ ශ්‍රීමත් හෙන්රි වෝඩ් ආණ්ඩුකාරවරයා වල්බිහිව තිබූ තිස්සමහාරාම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදී තිබේ. එහිදී ඒ අවට තිබූ තිස්සමහාරාම වැවේ නටබුන් දැක එතුමා තැබූ සටහනෙහි මේ ආකාරයේ අදහසක් ගැබ්ව තිබේ.

"මේ ප්‍රදේශය මේ තත්වයේ තිබියදී පවා ඉතාම සුන්දරය" එතුමා දැක තිබුණේ තිස්සමහාරාම වැව් පතුල ගොඩවී ඒ මත වැවී තිබුණු මහා වනාන්තරයයි. නමුත් ඒ වන විටත් වැව්බැම්ම ඉතාම ආරක්ෂිතව පවතින බවද ඔහු නිරීක්ෂණය කළේය.

පසුව මේ වැවට කිරිදිඔය හරහා දියවර ලබාදී වැව නැවත යථා තත්වයට පත්කරන ලදී. දකුණු ලකේ සංවර්ධනය ආරම්භ වූයේ මේ වැව් ප්‍රතිසංස්කරණයත් සමඟය. එම ගෞරවය හිමිවිය යුත්තේ ඉංග්‍රීසි ජාතිකයන්ටය. තිස්සමහාරාම ඵෙතිහාසික ප්‍රදේශය පැරණි රාජ්‍ය සමයේ හැඳින්වුයේ 'තිහව' යන නමිනි. අදද එම නම ව්‍යවහාරයේ පවතී.

වැව ප්‍රතිසංස්කරණය කර ඒ අවට ඉඩම් කට්ටි ජනතාවට නොමිලේ බෙදා දෙන්නට කටයුතු කළ පසු එම ප්‍රදේශය ක්‍රමයෙන් නැවත ජනාවාස වීම ඇරඹිණි. ගොවි බිම් සකස් කළ මිනිස්සු සිය වගා කටයුතු ආරම්භ කළහ. නමුත් ඒ වන විටත් අලි ඇතුන්, වල් හරක්, කිඹුලන් වැනි හානිකර සතුන් ගහණ මේ ප්‍රදේශයේ අය ජීවත් වූයේ ගස් මුදුන්වල තනාගත් අට්ටාල වල යැයි කියනු ලැබේ. තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවිතැන් බත් සඳහා නොමිලේ ඉඩම් දෙන බවට ඉංග්‍රීසි ජාතිකයන් රුහුණේ සෙසු ප්‍රදේශ වලට අණබෙර පවා පිටත් කර තිබේ.

ක්‍රම ක්‍රමයෙන් ගොවිබිම් වල සරු අස්වනු සමඟ ජන ජීවිතය සාර්ථක විය. සරුසාර අස්වනු හා සමඟ එහි සාර්ථක වෙළද නඟරයක් (නියම්ගමක්) ගොඩනැගීම ඇරඹිණි. ඒ අවට වෙළඳ ප්‍රජාව තම අස්වනු විකුණා ගැනීමට සේම විවිධ නිෂ්පාදන මිලදී ගැනීමට ද 'තිහව'ට පැමිණීමට හුරුපුරුදු වුහ. ඒ හා සමඟම ප්‍රතිසංස්කරණය කොට තිබූ තිස්සමහාරාම විහාරයද විශේෂ ආකර්ශණයට ලක්වූ ස්ථානයක් බවට පත්විය. දෙවුන්දර දේවාලය පවා ඉතා හොඳ ආදායමක් ලැබූ, පිරිස් බහුලව ගැවසුණු තැනක් බවට පත්ව තිබූ එසමයෙහි කතරගම දේවාලය එතරම් ජන ආකර්ෂණයට ලක් නොවූ එසේම, එතරම් ආදායමක් නොලැබූ , තරමක්අප්‍රකට ස්ථානයක් විය. එනිසාම 19වන සියවසේ අග භාගයේදී කතරගම දේවාලයේ නඩත්තුව සඳහා ඉංග්‍රීසින් විසින් පහළ ඌව ප්‍රදේශයෙන් ඉඩම් ප්‍රදානයක්ද කරන ලදී. දේවාලය සතු එම ඉඩකඩම් සේම ඒවායේ ඔප්පු ද අදත් කතරගම දේවාලය සතුව තිබේ.  

තිස්සමහාරාම සංවර්ධනයත් සමඟ එම ප්‍රදේශය කලඑළිවනවාත් හා සමඟ බැතිමතුන් සහ වෙළඳුන් එහි පැමිණීම ආරම්භ විය. මාතර ප්‍රදේශයෙන් ගෙනන අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය එහිදී අලෙවි කළ වෙළෙන්දෝ එම ප්‍රදේශයේ කෘෂිනිෂ්පාදන මිලදී ගෙන නගරයට රැගෙන ගියහ.

නමුත් කතරගම පුදබිම වෙත යා යුතු ගමන් මඟ වැටී තිබුණේ මහා රූස්ස වනාන්තරයක් වූ යාල මහා වනය හරහාය. එය විශාල කැලයක් සේම රුදුරු වන සතුන් ගැවසුණු අන්තරාකාරී ප්‍රදේශයක් ද විය. විශාල ගස් අතරින් කටු පදුරු අතරින් ඒ ඝන කැලෑවේ පාර සොයාගෙන යාම කිසිසේත්ම පහසු කටයුත්තක් නම් නොවීය. මහා වර්ෂා කාලයේදී පාදාගෙන තිබෙන පාරවල් පවා මඩවී කිසිවක් පැහැදිලි නැති තත්වයට පත්විය. මේ නිසාම මේ මහා වනය මැදින් කතරගම දක්වා ගමන් කිරීම පුරුදු කාරයෙකුට මිස නවකයෙකුට නම් කෙසේ වත් කළ හැක්කක් නොවිණි.

ඒ නිසා එකල ආරක්ෂා සහිතව කතරගම යාමට, තිස්සමහාරාමයට පැමිණෙන වන්දනා කරුවන් කළේ තම කරත්ත එහි නතර කර බඩු බාහිරාදිය පළපුරුදු කරත්ත කාරයින්ගේ කරත්ත වල පටවාගෙන ඔවුන් සමඟ ගමනේ බැරෑරුම් ඉතිරි කොටස ගෙවමින් කතරගමට ළඟාවීමය. ඒ සඳහා කිසියම් මුදලක් අයකර තම සේවය සැපයූ කරත්තකරුවන් පිරිසක්ද තිස්සමහාරාම වෙළඳ නගරය තුළ වූහ. මේ අයගේ සහය නොලබා හිතුමතේ මේ මහ වනය තරණය කරන්නට උත්සාහ කළ අය මඟ අතර මං වූ අතර සමහරු වනසතුන්ට ගොදුරු වී ජීවිත පවා අහිමි කරගත්හ.

එදා කතරගම ගිය උදවියට මුහුණ දෙන්නට සිදුවූ මේ අභියෝගාත්මක සිද්ධිය මුල්කොටගෙන තැනුණු "දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමඟ" කතාවේ උප්පත්තිය සිදුවිය.

නිර්මලා කුමාරි සේනාරත්න

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4323

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4029

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7095

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4424

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2815

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3621

Please publish modules in offcanvas position.

Web Analytics