Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා මාධ්‍යවේදී සිරි කහවලට හිමි වනුයේ සුවිශේෂ තැනකි. සෑම ක්‍ෂේත්‍රයකටම අයත් කලා කරුවන් අතර හොඳ හිත පතුරවන කලා කරුවකු ලෙස ප්‍රකට සිරි කහවල ‘මිස්ටර් හොඳ හිත’ යනුවෙන් ද ප්‍රකටය.

නමුත් ඔහු සම්බන්ධ විශේෂ පුවතක් මේ දින වල මාධ්‍යවලින් පැතිර යමින් තිබේ. ඒ පසුගිය 09 වන බදාදා කළුබෝවිල රෝහලේ ‍ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ චිත්‍ර ශිල්පී බලංගොඩ සරත් මධූ ගේ සුව දුක් බැලීම පිණිස කළුබෝවිල රෝහලට ගොස් සිටි සිරි කහවල කලා කරුවා එම රෝහල් භූමිය තුළදීම මෝටර් රථ අනතුරකට මුහුණ පා එම රෝහලටම ඇතුල් කිරීමය.

මේ වන විට ඔහු එහි විසි වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. මේ ඒ සම්බන්ධයෙන් ලක්බිම ඔන්ලයින් ඔහුගේ සුවදුක් බැලූ අවස්ථාවකි.

ඇත්තටම මොකද වුණේ?

පහුගිය 09 වෙනිදා මම බලංගොඩ සරත් මධූ බලන්න ආපු වෙලාවෙ මෝටර් රථයකට හසුවීමෙන් මගේ කකුලට හානි සිද්ධ වුණා.  දැන් ඒකට ශෛල්‍ය කර්මයක් කරන්න වෙලා තියෙනවා; ඒ සඳහා මම දැන් 20 වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා.

සෑම කලා කරුවෙකුගේම උපන්දිනයට නොවරදවාම සුභ පතන කලා කරුවා ඔබ බව ප්‍රසිද්ධ රහසක්; කොහොමද ඔබ ඒ දේ කරන්නේ?

මගේ ළඟ අපේ රටේ කලා කරුවන් 2500 කගේ පමණ ලිපින සහ දුරකථන අංක තියෙනවා. මම ඒ සෑම කලා කරුවෙකුගේම උපන්දිනයට දින දෙක තුනකට කලින් මම සකස්කරගත්තු විශේෂ උපන්දින සුභ පැතුමකින් පිටපතක් තැපැල් කරලා යවනවා. ඒ වගේම නියමිත දවසෙ උදේ ඒ කලා කරුවාට දුරකතනයෙන් සුභ පතනවා. මේ විදිහට දිනපතාම කලා කරුවන් 5 - 10 අතර ප්‍රමාණයකට මම සුභ පතනවා.

ඒ නිසා ද ඔබට ‘මිස්ටර් හොඳ හිත’ කියන්නේ?

වෙන්න ඇති මගෙ හිතේ.

ඔබ ලේඛන කලාවට සම්බන්ධවෙලා කොච්චර කල්ද?

අවුරුදු 59 ක් වෙනවා. 1958 කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ තමයි මම ලේඛන කලාවට සම්බන්ධ වුණේ. හින්දි සිනමා තොරතුරු තමයි මම වැඩිපුරම ලිව්වේ. ඒ හැරුණු කොට අපේ කලා කරුවන් පිළිබඳ ලොකුම තොරතුරු එකතුව තිබෙන්නෙත් මා ළඟයි. ‍

අපේ රටේ සෑම කලා කරුවෙකු අතරේම හොඳ හිත පැතිරවීම සම්බන්ධයෙන් නම් දැරූ කලා කරුවා ඔබයි. නමුත් ඔබ හදිසි අනතුරට ලක්වූ අවස්ථාවේ සිට කලා කරුවන් කී දෙනෙක් ඔබේ සුව දුක් විමසා සිටියාද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, නීලා වික්‍රමසිංහ වගේ අය මා ගැන විමසා බැලුවා. සුදත් රෝහණ, වෛද්‍ය කපිල සූරියාරච්චි මට  විශේෂයෙන් උදවු කළා.

ඒ වුණාට 2500 යෙන් තව සෑහෙන ගණනක් ඉතුරුයි නේ?

ඒ වුණාට මගෙන් කලා ලෝකේ කලා කරුවන්ගේ ලිපින සහ දුරකතන අංක ඉල්ලා ගන්නා රසිකයන් සැලකිය යුතු පිරිසක් මගේ සුවදුක් විමසා සිටියා.

ඔබේ සුවදුක් විමසීම සම්බන්ධයෙන් අපේ කලා කරුවන් දක්වන ප්‍රතිචාර ඉතාම දුර්වල මට්ටමක තියෙනවා කියා මා සඳහන් කළොත්?

අනේ අනේ කීයටවත් එහෙම නම් දාන්න එපා; ඒක ඒ අයට කරන මදි පුංචි කමක්; අපි එහෙම කාටවත් මදි පුංචි කම් කරන්න හොඳ නෑ ඒක පව්.

සිරි කහවල කලා ලොවේ’ මිස්ටර් හොඳ හිත’ යනුවෙන් හඳුන්වනුයේ කලා කරුවන්ගේ උපන්දින වලදී සුභ පතන නිසාම නොවන බව ඔහුගේ මෙම ප්‍රකාශයෙන් වුව  ඔබටද මැනවින් තහවුරු වනවා ඇත.

ඔහුගේ ජංගම දුරකතන අංකය - 0714454251

 

එස්.ටී.පී.සිල්වා

 

ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින් පසුවන පුද්ගලයන් ඔබද දැක තිබෙන්නට පුළුවන.

බොහෝ විට ඔබට මේ බිහිසුණු දර්ශනය දැක ගත හැක්කේ හින්දු කෝවිල් සහ සිංහල බෞද්ධයන් විසින් පවත්වාගෙන යනු ලබන දේවාලවල දීය.

කතරගම දෙවියන් ඇතුළු දෙවිවරුන් උදෙසා කරනු ලබන පූජා චාරිත්‍රයක් වන මෙසේ ශරීරය යකඩ කොකු වලින් එල්ලී හිඳීම හඳුන්වනුයේ ‘පරවා කාවඩි’ හෙවත් ‘එල්ලුම් කාවඩි’ වශයෙනි.

බැලූ බැල්මටම බිහිසුණු බවක් පළකරන මෙය පූජා චාරිත්‍ර ක්‍රමයක් සේම එක්තරා කලා සංදර්ශනයක් ද වේ. එහෙත් විස්මයට කරුණ වනුයේ ශ්‍රී ලාංකිකයන්, ඉන්දියානුවන් ඇතුළු පෙරදිග ජනයා විසින් දක්වනු ලබන මේ සොඳුරු හාස්කම කිරීමට තබා සිහිනයකින් සිතීමටවත් යුරෝපා ජාතීන්ට නොහැකි වීමය.

යුරෝපීය ජාතීන් කතරගම ආදී දෙවිවරුන් නොඅදහන බැවින් මෙය එම දෙවිවරුන් දැඩි දේව භක්තියකින් යුත් පෙරදිග ජාතීන්ට පමණක්  දී ඇති විශේෂ වරප්‍රසාදයක් සේ යමෙකු සිතිය හැක. එසේම කතරගම දෙවිඳුන් අදහන සිංහල බෞද්ධයන් විශ්වාස කරනුයේ මෙය ‘කඳසුරිදුන් විසින් දෙමළ ජාතිකයන්ට’ පනවා ඇති දඬුවමක් වශයෙනි. ඒ සිංහල බෞද්ධයන් මෙම ‘පරවා කාවඩි’ වල නොයෙදෙන බැවිනි. එහෙත් දෙමළ ජාතිකයන් එම 'දඬුවම' අසීමාන්තික සතුටකින් භුක්ති විඳිනු පෙනේ.

ශරීරයේ මස් ‘උල් කොකු’ වලින් අමුණා එල්ලා තැබීමේ දී කුරිරු‍ වේදනාවක් ඇති නොවන්නේ මන්ද යන ප්‍රශ්නය බොහෝ දෙනෙකු තුළ තිබේ. ඒ ඇල්පෙනිත්තක් ඇනීමේ දී ඇති වන වේදනාව වුව යමෙකුට පහසුවෙන් දරාගත නොහැකි බැවිනි. එ‍හෙත් වේදනාව යනු හුදෙක් ‘සාපේක්ෂ’ වූවකි. ඒ බව ‘වේදනා  මාදිළිකරණය (Pain Modulation)’ යන වි‍ෂයේදී උගන්වනු ලැබේ.

ශරීරයට බාහිරින් සිදුවන බලපෑමක් මත ඇතිවන වේදනාව ඒ මොහොතේ පවත්නා ඒ තැනැත්තාගේ මානසිකත්වය මත අඩුවැඩි වෙයි.

ඒ අනුව දෙවියන් සතුටු කිරීමක්, දේව පිහිට ලබාගැනීමක් ආදී වශයෙන් සලකා ශරීරය කොකු වලින් අමුණා ගැනීමේ දී ඒ තැනැත්තාට ඇති වනුයේ කුරිරු වේදනාවක් නොවේ. දේව භක්තිය, සතුට, ජයග්‍රාහී හැඟීම, තම අධිශ්ඨානය, කැපවීම ආදී හැඟීම් සමුදායක් එක්කොට ගත් සම්මිශ්‍රිත හැඟීමකි. ඒ හැඟීම මොළයේ ඉදිරිපස ඇති ‘ළලාට පිණ්ඩිකය (Frontal Lobe) ’ ආශ්‍රිත ‘උච්ච හැඟීම් දනවන ස්ථාන (Higher Centers) ’ වලින් ලබා දෙන විට එම වේදනාව ශීඝ්‍රයෙන් පහව යයි. මෙය විද්‍යාත්මක හැඳින්වෙනුයේ ‘ගේට්ටු පාලන න්‍යාය (Gate Control Theory) ’ යනුවෙනි.

එවන් අවස්ථාවල මොළයේ සිදුවන ජෛව රසායනික ක්‍රියාවලිය මුල්කොට සිරුරට අත්වන වේදනාව විවිධ ‘ගේට්ටු’ වලදී අඩුකිරීම මෙහි සරල සිද්ධාන්තයයි.

එමෙන්ම මෙහි සංස්කෘතිකමය පසුබිමක් ද තිබේ. ඒ තැනැත්තා දෙවියන් පිළිබඳව ඇති විශ්වාසය, එම සංස්කෘතියට ඇති  දැඩි ආශාව සහ කැපවීම එම ක්‍රියාව තුළින් වීරත්වයක් ආරෝපණය කර ගැනීමට ඇති ආශාව ආදී විවිධ හේතු මත  එම වේදනාව පහව ‍ගොස් කෙමෙන් එය සතුට මිශ්‍රිත අපූරුතම හැඟීමක් බවට පත්වෙයි.

එමෙන්ම මෙහිදී කහ දියර, දුම්මල අළු ආදී විෂබීජ නාශක ද්‍රව්‍ය එම ස්ථානවල ගල්වන අතර සංගීතය, සීනු හඬ ආදී තියුණු ශබ්ද මගින් ඒ තැනැත්තාගෙ සිත තුළ සතුටක් ජනිත කෙරේ. මෙය එක්තරා අන්දම තුෂ්ටක ක්‍රියාකාරීත්වය (placepo effect) කි. 

නමුත් දෙවියන් සම්බන්ධයෙන් අපට වඩා වෙනස් අකාරයක භක්තියක් දනවන යුරෝපා ජාතීන්ට මෙම හපන්කම කළ නොහැකිය.

මෙහිදී ‘සතුට මිශ්‍ර වේදනාව’ යන්න ඔබට තරමක ගැටළු සහගත දෙයක් විය හැක. එහෙත් ලිංගිකත්වයේ දී තමන්ට පීඩා සිදුකරගන්නා තරමට සතුටක් ලැබිය හැකි ‘ස්වපීඩක කාමුකත්වය’(Masochism) නම් රෝගයක් තිබේ.

එමෙන්ම දැඩි ‘භාවමය කම්පනයක දී’ හෝ ‘භාවමය උත්තේජනයක දී’ ද වේදනාව දැඩිව නොදැනෙන බව යුද බිමේ දී දරුණු ප්‍රහාරයන්ට ලක් වූ රණවිරුවන්ගෙන් අසා දැනගත හැක.

‘ඒ වෙලාවෙ නම් මට කිසිම ගාණක් තිබුණේ නෑ.’ තම බිහිසුණු අත්දැකීම විස්තර කරමින් ඔවුන් එසේ කියනුයේ මෙම මනෝ විද්‍යාත්මක සිද්ධාන්තය පදනම් කර ගනිමිනි.

එසේම මෙලෙස කොකු වලින් එල්ලීම පුරුදුවන තරමටම වේදනාව අඩුවන බව ද ප්‍රායෝගික සත්‍යයකි. එසේ නිතර නිතර  ‘එල්ලුම් කාවඩි’ වල යෙදෙන පුද්ගලයන්ගේ එම කොකු ගසන ස්ථාන වල කැලැල් ඝණ වී  ඇති බැවින් එම ස්ථානවලට  නැවතත් යකඩ කොකු ගැසීමේ දී එම වේදනාව දිගින් දිගටම අඩුවේ.

එමෙන්ම මෙහිදී විශේෂයෙන්ම කිව යුතු දෙයක් තිබේ. එනම් එම ශරීරයට කටු ගැසීම ආවාට ගියාට කළ නොහැක්කක් බවය. හුදෙක් සම ඝණ ස්ථානවල ශරීරයේ උඩු සම හා මේද ස්ථරය සහිත ස්ථාන වලටම එම කටු ගැසිය යුතුය. එහිදී එම කටු ගැසීම් වලදී දැඩි රුධිර වහනයක් සිදු නොවෙනුයේ එම ප්‍රදේශ රුධිරනාල හා සෘජු සබැදියාවක් නොමැති බැවිනි. එමෙන්ම පුද්ගලයාගේ බර එම ‍කොකු වලට දරාගත හැකි ආකාරයට ප්‍රමාණවත් සංඛ්‍යාවක්  ගැසීමට ද එම කොකු ගසන්නෝ නිරතුරුව වග බලා ගනිති.

ඒ කෙසේ හෝ මෙවැනි කටයුත්තක යෙදීමට හැක්කේ ඒ සඳහා වන දැඩි දේව භක්තියක්, චිත්ත ශක්තියක් නැතහොත් ආත්ම විශ්වාසයක් ඇත්තවුන්ට පමණි.

එමෙන්ම දේවභක්තියකින් තොරව වුවද මෙසේ කටු ගසා වීරයෙකු වීමට හැකිය යන දැඩි විශ්වාසයේ පසුවන්නෙකු හට වුවද මෙලෙස වේදනාවකින් තොරව කොකු වලින් එල්ලී සිටීමට පුළුවන.

තිලක් සේනාසිංහ

කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ විශේෂඥයෙකි. සමුද්‍රීය සේවා සපයන මාස්ටර් ඩයිවර්ස් (පෞද්.) සමාගමේකළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේද ඔහුය. හම්බන්තොට වරාය පිළිබඳ සමාජ කතිකාවක් ඇති වී තිබෙන මෙවන් සමයක ඔහු හම්බන්තොට වරායේ උපත පිළිබඳව ඉරිදා ලක්බිමටකරනවිශේෂ අනාවරණයකි මේ.

මොකක්ද ඔබට හම්බන්තොට එක්ක තියෙන ගනුදෙනුව?

මට හම්බන්තොට ගැන තිබුණු දැක්ම මිහිපිට හුස්ම ගන්න කිසිවෙකුට තිබුණේ නෑ. මේක මීට දශක හතර පහකට කලින් මම දැකපු හීනයක්. ඒ කාලේ හම්බන්තොට පුංචි ටවුමක් තිබුණේ. පාරවල්වල යන්න බයයි අලි. මේක පුරාණ මාගම්පුර රාජධානිය. එහි තිබූ ගොඩවාය වරාය ලෝප්‍රකට එකක්. ඒ ආශ්‍රිතව වරායක් හදන සිහිනය මා නිතර දුටුවා.

ඒ ඉතිහාසයත් වර්තමානයත් සම්බන්ධ වෙන්නෙ කොහොමද?

මේක මම නිකම්ම කටට ආවට කියන කතාවක් නෙමෙයි. අවුරුදු ගණනක් මං මේ ගැන විමර්ශන කළා. මාගම්පුරට නැවත යාම කියන මාතෘකාව ඔස්සේ මම ‍පොත් ලිව්වා. පුවත්පත් ලිපි ලිව්වා. අපේ ශිෂ්ටාචාරය කේන්ද්‍ර වුණේ මෙතැනට. අපේ ජීවනාලිය තිබුණේ මේ භූමියේ. ඇත්තම කතාව මහින්ද රාජපක්ෂවටත් රනිල් වික්‍රමසිංහටවත් මම නිකම්ම කියපු දෙයක් නෙමේ; මේ වරාය සංකල්පය. ඉතිහාසය අධ්‍යයනය කරලා මම විමර්ශනාත්මකව ඉදිරිපත් කළ සත්‍යයක් මේක. ඒ හින්දා තමයි මම කියන්නේ හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පත් මං කියලා.

ඔබ මොන වගේ යෝජනාවක්ද ඔවුන්ට කළේ?

හම්බන්තොට වරාය හැදිය යුත්තේ ඇයි, අපි නැවත මාගම්පුරට යා යුත්තේ ඇයි කියලා මම පත්තරවලට පිටු ගණන් ලිව්වා. දක්ෂිණ සංවර්ධන අධිකාරිය පුවත්පත් දැන්වීමක් පළ කළා දකුණ සංවර්ධනය කරන්න ඔබේ යෝජනා දෙන්න කියලා. ඒ වෙනකොට මම මේ වරායේ සැලසුම ඇඳලා ඉවරයි. මේක මම 1992දී විතර පටන් ගත්තෙ. හම්බන්තොට තනිකර ගලුයි වැලියි විතරක් තියෙන ‍පොළව.

ඉතින් ඔබ මොකද කළේ?

මම මහින්ද රාජපක්ෂට රනිල් වික්‍රමසිංහට මම ඇඳපු සැලසුම් ඉදිරිපත් කළා. මගේ නැව් තුනක් අරන් ගිහින් පුංචි ධීවර වරාය අස්සෙ වැල්ලෙ ගිහින් මහින්ද රාජපක්ෂට පෙන්නුවා. මෙතන වරායක් හදන්න පුළුවන් කියලා. මම 96දී ලියපු ‍පොතට මම ලිව්වේ මා විසින් ජාතිය වෙනුවෙන් දායාද කරන ලද ත්‍යාගය කියලයි හම්බන්තොට වරාය ගැන. රාජපක්ෂ මහත්තයට ඒ ගැන කියද්දී කිව්වේ පිස්සු කියවන්න එපා විකී කියලයි දැං එයා වරයේ අයිතිකාරයා වගේ කතා කළාට.

මොකක්ද ඔබට මේ සා විසල් ව්‍යාපෘතියක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තිබෙන පසුබිම?

මගේ ගම්පළාත ගාල්ලේ බද්දේගම, මම පාසල් ගියේ ගාල්ල ඇලෝසියස් විද්‍යාලයට, එහිදී මම වෛද්‍ය විද්‍යාලයට තේරුණා. නමුත් මම ඒ වෙද්දී ලංකාවේ ඉඳපු වේගවත්ම පිහිනුම්කරු. කිමිදුම් ශිල්පයත් මම ප්‍රගුණ කළා. වෛද්‍ය උපාධියට පයින් ගහලා කිමිදුම්කරුවෙක් වෙන සාහසික ක්‍රියාව මම නොබියව කළා.

ඊට පස්සේ ?

සිංගප්පූරුව බහලුම් වරායක් හදන්න හීනෙකින්වත් හිතපු නැති කා‍ලේ 1970දී මම කොළඹ වරායෙ බහලුම් පර්යන්තයක් හදන්න පටන් ගත්තා. ඒ සම්බන්ධයෙන් මා ගැන පුවත්පත්වල පවා ලිපි පළවුණා. මේක දැකපු බෙන්තොට හෝටලයේ සිටි ජර්මන් ජාතිකයෙක් කතා කළා ඔබ අපේ ආයතනයට සම්බන්ධ වෙන්න කියලා. ඔවුන් ඒ වනවිට සෞදි අරාබියේ විශාල බහලුම් පර්යන්තයක් හැදුවා. කිලෝමීටර් 3.75ක් දිග, මීටර් 20ගැඹුරු. ඒකෙ ඉදිකිරීම් කටයුතු ඇනහිටලා තිබුණේ. නමුත් ඒ වෙද්දී ආණ්ඩුවෙන් විශාල වැටුපක් සහිත රැකියාවක් මට හිමිව තිබූ නිසා මම එහි සේවය කළේ ටික කාලයයි. නමුත් ඒ සැලසුම්, වැඩසටහන් සියල්ල මම රැගෙන ආවා.

ඔබේ රැකියාවේ ස්වභාවය කුමක්ද?

මේක ඒ දවස්වල ආණ්ඩුවේ වැඩිම වැටුපක් ගෙවූ රැකියාව. කිමිදුම් නිලධාරි කියලා කිව්වේ. දැන් සමුද්‍රීය ඉංජිනේරු ලෙස හඳුන්වනවා. දකුණු අප්‍රිකාව, එංගලන්තය වගේ රටවල විශේෂ පුහුණුවත් ලැබෙනවා. වසර දෙකක ශිෂ්‍යත්වයක් ලැබෙනවා. කුරුඳුවත්තේ බරපතළ මුදලාලි කෙනෙක්ගෙ දුවෙක් කිසි කරදරයක් නැතිව කසාද බැඳගන්න පුළුවන්. ඉතින් කවුරුවත් මේ රස්සාව අතහරින්න හිතන්නෙ නැහැ. මුහුද යට සියලුම කටයුතු කිරීමේ හැකියාව තමයි අපේ රැකියාවේ ස්වභාවය. දිය යට පෑස්සුම්, වෑද්දුම්, නැව් අලුත්වැඩියාව, වරාය තැනීම මේ ආදී සියලු කටයුතු පිළිබඳ අපි ප්‍රගුණ කළා.

ආරියශීල වික්‍රමනායක, මහින්ද රාජපක්ෂට වරාය භූමිය පෙන්වමින්

කොහොම හරි ඔබේ හීනය සැබෑ කරමින් හම්බන්තොට වරාය ඉදිවුණා.

ඒක මහින්ද රාජපක්ෂ එකසැරේ කරපු ප්‍රාතිහාර්යයක් නමෛයි. මං මේකෙ බරපතළ අතීතයත් හෙව්වා. හාමුදුරුවරුන්ගෙන් පන්සල්වලින්, මහාචාර්ය මැන්දිස් රෝහණදීර, සූරියප්පෙරුම මහත්තයා එක්ක ගිහින් මේ ඉතිහාසය ගැන කතා කළා. පුරාණ ගොඩවාය වරාය තමයි මෙතන. මම එතන කිමිදිලා තියෙනවා. අඩි 126ක් යට තඹ සහ වීදුරු, මාබල් එක්ක ගිලුණු නැව් තියෙනවා. රෙදිවල ගැටගහපු කාසි ‍පොදි තියෙනවා. යකඩ තියෙනවා. දුටුගැමුණු රජ සමයේ යකඩ උණුකළ කෝව අපිට තිබෙනවා. මේ අපේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීම තමයි මට අවශ්‍ය වුණේ.

වරාය සෑදීමේදී ඔබේ සැලසුම් ක්‍රියාත්මක වුණාද?

මං ඊට පෙර කිරින්ද ධීවර වරාය ඉදිකිරීමේදී ජපන් කොන්ත්‍රාත්කරුවෙක්ට වතුර යට ක්‍රියාවලින්ට දායකත්වය දුන්නා. කොළඹින් පාන්දර ගිහින් මම හම්බන්තොට තානායමෙන් තමයි උදේ කෑම ගන්නෙ. ඒ අතරෙ මම මිදුලෙ ඇවිදිමින් කල්පනා, කළා කඳු මුදුනට පේන මුහුදු තීරය දිහා බලාගෙන ඇයි මේකෙන් වැඩක් ගන්නෙ නැත්තෙ කියලා. මං මූද යට යන මනුස්සයා. මට පුදුම හිතුණා ඇයි සුද්දෝ ගාල්ලට, කොළඹට මුල්තැන දුන්නෙ මෙච්චර හොඳ තැනක් තියාගෙන කියලා. ඔවුන්ට ඕන වුණේ රට හදන්න නෙමේ අපේ සම්පත් ටික එංගලන්තෙට පටවගන්න විතරයි. කොහොම හරි මේක ඉදිවීම මට ප්‍රමාණවත්. ඒක රනිල් කළාද මහින්ද කළාද කියන දේශපාලන කාරණේ මට වැඩක් නෑ. ඒත් මම තවම දකින්නෙ ඒකෙන් සීයට පහක්වත් කරල නෑ කියලයි. අදටත් මම ඉන්නේ මේක ඇර වෙන සම්පතක් රටට නෑ කියන ස්ථාවරයේ.

ඔබේ සංකල්පය ගත්තට පස්සෙ ඔබව නොසලකා හැරි බවක් පේනවා?

මගේ හීනය අපේ පුරාණ සශ්‍රීක මාගම්පුර රාජධානිය නැවත ඉදිවීම. ඒක දේශපාලනික වෙන්න ඕන නෑ. ඒක ඇමෙරිකන්කාරයා හරි චීනා හරි කවුරු හරි සල්ලි යොදවලා කරනවානම් එච්චරයි. හැබැයි මං මේක යෝජනා කරද්දී දැන් මූලිකයෝ වගේ පේන සමහරු මූදවත් දැකල නෑ. මගේ 'රුහුණුපුර' නැව හදලා මම හම්බන්තොට වරාය විවෘත කරන වෙලාවෙ ගෙනිච්චා. ඒකෙ තිබුණෙ මාලදිවයිනට අපනයන කරන්න ගෙනියපු පැල්වත්ත සීනි සමාගමේ සීනි. ඒක අපිට කොයිතරම් ආඩම්බරයක්ද? ඒත් මගේ නැව ඇතුළු කරන්න දුන්නෙ නෑ. ඒක හැංගුවා. මේක තනි අයිතියට මගේ කියන්න සමහරුන්ට ඕන වුණා. 

වරායට නැව් එන්න අවහිරයක් ලෙස විශාල ගලක් තිබෙන බව එකල කියවුණා.

මං මුහුද යට යන මිනිහා. මට වඩා කවුද දන්නෙ එතන ගැන. එහෙම කිසිම බාධාවක් තිබුණේ නෑ. මේක සිංගප්පූරුවට ගහන වරාය. මේක ලෝකෙ වටිනාම වරාය.

‍පෝක් සමුද්‍ර සන්ධියේ සේතු සමුද්‍රම් ඇළ මාර්ගය ක්‍රියාත්මක වුණොත් හම්බන්තොටින් වැඩක් නැහැ නේද?

ඒක පිස්සු කතාවක්. ඒ තරම් ඉක්මනට ඕක හාරන්න පුළුවන්ද? ඔයාල ‍පොඩි කාලෙ ඉඳන් ඔය කතාව අහල තියෙනවා නේද? තාම උදැල්ලක්වත් ගහල නෑ. කොච්චර හෑරුවත් ගංගානම් ගඟේ වැල්ලෙන් ඕක පිරෙනවා. 

දැන් හම්බන්තොට වරාය හදලා චීනෙට බදුදීලත් ඉවරයි. අපි අද ගැන කතා කරමු.

මම කියන්නේ මේක කවුරු කළත් කළ යුතුම දෙයක්. රටට අත්‍යවශ්‍ය දෙයක්. ඇයි ඔබ ගෙයක් හැදුවොත් ඒක කුලියට දෙන්නෙ නැද්ද? මම මේ ඉන්න බිල්ඩිමත් රජයෙන් බද්දට ගත්ත එකක්. මේකට කරුණා කරලා දේශපාලනේ ගාවන්න එපා. මං එදා ඉඳන් විමල් වීරවංශට, නිහාල් ගලප්පත්තිට මේක පැහැදිලි කළා. මේක රටට අත්‍යවශ්‍ය දෙයක් බව. ඊළඟට මහින්දට, රනිල්ට, චන්ද්‍රිකාට මේ හැමෝටම. මේක තවමත් කරල තියෙන්නේ සීයට 5යි. ඉතුරු 95ත් කළහම තමයි මේක සම්පූර්ණ වෙන්නෙ. ඒක සුද්දා කළාද චීනා කළාද කියන ඒක නෙමේ වටින්නේ ඉක්මනින් නිර්මාණය වීමයි.

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගැන මොකක්ද ඔබේ අදහස?

රැජිනගේ කාලෙ හදපු, අවුරුදු 69ක් පාවිච්චි නොකරපු ටැංකි ටිකත් තියාගෙන වංසෙ කබල් ගානවට වඩා හොඳ නැද්ද ඉන්දියාව වගේ රටකට ඒක කුලියට දීලා ආදායමක් ගන්න එක. ඉන්දියාව විශාල වශයෙන් තෙල් අවශ්‍ය රටක්. ඔවුන්ට මේක ගබඩාවක් කරගන්න දීම තුළ අපිට වෙන අවාසිය මොකක්ද?

මිහිරාන් කරුණාරත්න

ඡායාරූප - ප්‍රියන්ත ගමගේ

මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි නාට්‍යය හරහාද ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙයි. කලක් රංගනයෙන් ඈත්ව සිට නැවතත් රඟපෑමට එක්ව සිටින සමාධි සිය නවතම තොරතුරු සමගින් මෙලෙස සංවාදයට එක්වූවාය. 
 
අදටත් සමාධිට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නේ මලී නිසා කීවොත් නිවැරදියි නේද?
ඔව්, වෙනත් ටෙලි නාට්‍යයක රූගත කිරීමකට ගියත් එතැනට එන අය මට කතා කරන්නේ මලී කියලාම තමයි. මග තොටේදී පවා තවමත් මලීට ප්‍රතිචාර තියෙනවා.
 
මලී ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑවත් ඔබ සිඳු තුළින් දකින්නට ලැබෙන්නේ ඉඳහිට නේද?
'සිඳු' ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිත විදිහට ගලාගෙන යන්නේ ළමා චරිත. ඒ නිසා සිඳු, සෝරත ‍පොඩි හාමුදුරුවෝ වැනි චරිත තමයි නිරතුරුව ටෙලි නාට්‍යයෙන් මතු කරන්න උත්සාහ කරන්නේ. මම සිඳුගේ අම්මා. මගේ චරිතය කතාවට අවශ්‍ය විදිහට අවශ්‍ය තැන්වලදී තමයි මතුවන්නේ.
 
ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් උප ප්‍රධාන චරිතයන්ට යොමුවීම 'මලීට වූ අසාධාරණයක් කියලා හිතෙන්නේ නැද්ද?
එහෙම කියන්න බැහැ. 'සිඳු' ටෙලිනාට්‍යයේ මලී උප ප්‍රධාන චරිතයක් නමෛයි. සිඳු ටෙලි නාට්‍යය විකාශය වෙන්නේ 'මලී- 3' නමින් ඒ නිසා මේ නාට්‍යයේත් මලීගේ චරිතය කේන්ද්‍ර ගත වනවා. රඟපාන ජවනිකා සංඛ්‍යාව අනුව ‍නෙවෙයිනේ. චරිතයක් ප්‍රධානද උප ප්‍රධානද කියලා තීරණය වන්නේ. ඒ හින්දා 'සිඳු' තුළින් මලීට අසාධාරණයක් වුණේ නැහැ කියලා මට හොඳටම විශ්වාසයි.
 
දැන් දියණිය එක්ක ගෙවී යන ජීවිතය ගොඩක් සුන්දර ඇති නේද?
අ‍පොයි ඔව්, දුවට (සනල්යා සවුමදී මොරගොල්ල) දැන් වයස අවුරුදු 2 1/2යි. දැන් අම්මා, අප්පච්චි වගේ වචන කෑලි කියනවා. 'සිඳු' ටෙලිනාට්‍යයේ සිංදුව ඇහෙනකොටම රූපවාහිනිය ළඟට දුවලා එනවා. මාව දකිනකොටම 'අම්මි...අම්මි. කියලා හැමෝටම පෙන්වනවා. මම ෂූටිංවලට ගියාම කවුරුහරි අම්මි කෝ කියලා ඇහුවොත් ටී.වී. එක පෙන්නලා ගියා කියලා කියනවාලු. 
 
ඔබටයි ඔබේ සැමියා සංජයටයි නිෂ්පාදන ආයතනයක් තියෙනවා. මේ නිසා මතු දාක දියණියට රංගනයට පිවිසීම පහසු වේවි..?
දුවව රඟපෑමට එවනවාද කියලා තවම මමයි සංජයයි තීරණය කරලා නැහැ. ගෑනු ළමයෙක් මලක් වගෙ පරිස්සමින් හදන්න ඕනෑ කියලයි අපි හිතන්නේ. කොහොමටත් ගොඩක් ‍පොඩි වයසෙදී නම් දුවව ටෙලි නාට්‍යයවලට යවන්නේ නැහැ. තේරෙන වයසකදී එයා කැමති නම් ඒ ගැන සලකා බලනවා. 
 
සමාධි ඉදිරි කාලයේදී දැකගන්නට ලැබෙන්නේ මොන විදිහේ නිර්මාණවලද?
අපි නිෂ්පාදනය කරපු උක්කුවා සහ පිනි වහින දා ටෙලි නාට්‍ය ඉදිරියේදී විකාශය වේවි. දුව හින්දා කාලයක් රංගනයෙන් ඈත් වෙලා ඉඳලා සිඳු ටෙලිනාට්‍යයට එකතු වුණේ ඒ කතාවට මලී ගෙ චරිතය අත්‍යාවශ්‍යම නිසයි. දැන් ආයෙම රඟපාන්න එන්න පුළුවන්. ඒ නිසා සුදුසු චරිතයක් ලැබුණොත් ඉදිරියේදිත් භාර ගන්නවා.
 
ආරියවංශ කුලතිලක

මත්පැන් පානයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාලීම පිණිස නිෂ්පාදනය කොට ඇති ඖෂධ වර්ගයක් මේ දිනවල වෙළඳපොළේ හිඟ වීම මුල්කොට මත්පැන් වලට ඇබ්බැහිවූවන් සහ  ඔවුන්ගේ බිරියන් විශාල අපහසුතාවකට පත්ව සිටිති.

Disulfiram යන ඖෂධීය නාමයෙන් හැඳින්වෙන මෙම ඖෂධය වෙළඳ නම් වලින් යුතුව ජර්මනියේ සහ ඉන්දියාවේ නිෂ්පාදන ලෙසින් ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පැමිණ තිබූ අතර මේ දිනවල එම ඖෂධය සොයා ගත නොහැකි මට්ටමක පවතිතැයි මත්පැන් වලට ඇබ්බැහිවූවන් සහ ඔවුන්ගේ භාර්යාවෝ මැසිවිලි නගති.

මත්පැන් වලට දැඩි ලෙස ඇබ්බැහිවූවන් මෙම ඖෂධය පාවිච්චි  කොට  මත්පැන් පානය කළ පසු  ශරීරය අප්‍රාණික වී මද්‍යසාර පිළිගැනීම ප්‍රතික්ෂේප කරන බවත් ඉන්පසුව ඔවුන් ස්වභාවිකවම මත්පැන් භාවිතයෙන් ඉවත්වන බවත් වෛද්‍යවරු කියති.

එමෙන්ම සෙසු මත්ද්‍රව්‍ය භාවිත කරන්නවුන් සම්බන්ධයෙන්ද ප්‍රතිඵලදායක මෙම ඖෂධය සැලකිය යුතු අතුරුආබාධ වලින් තොරවීමද විශේෂත්වයකි.

එක්දහස් නමසිය විසි ගණන්වලදී මුල්වරට ලොවට හඳුන්වා දී ඇති මෙම බෙහෙත රුපියල් 5/- පමණ සිට මිල වන අතර මත්පැන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටින පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මෙමගින් විශාල සහනයක් ලබා ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ඇතැම් ඖෂධශාලා හිමියන් පවසන්නේ එම ඖෂධය ප්‍රමාණවත් ලෙස නොලැබෙන බවය.

අප රටේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය උවදුර බලවත් ජාතික ‍ව්‍යසනයක් බවට පත්ව ඇති යුගයක මත්පැන්වලට සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ඉන් මුදා ගැනීම පිණිස හඳුන්වා දී ඇති Naltrexone , Acamprosate ආදී ඖෂධ  රජයේ රෝහල් වල පවා  දැඩි හිඟයක් පවතින අතර මෙම Disulfiram ඖෂධය එක් වරම වෙළඳපොළෙන් ගිලිහීයාම පිළිබඳ වඩාත් විමසිලිමත් විය යුතු බව තතුදත් ආරංචි මාර්ග පවසයි.

එය මෙරට මත්පැන් නිශ්පාදනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන රටේ ප්‍රබලතමයන්ගේ සියුම් උපක්‍රමශීලී ක්‍රියාවක් දැයි විමසා බැලිය යුතු බවද තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ප්‍රසංග පෙරේරා - ජා ඇල

 

සුනාමි ඇතිවීම, එහි බලපෑම, දුර ප්‍රමාණය ආදිය පිළිබඳව සමීක්ෂණ‍ සිදුකොට ඇත්තේ සාගර විද්‍යාඥයන් මිස කාලගුණ විද්‍යාඥයන් නොවන බව ජාතික ජලජ සම්පත් ප‍ර්යේෂණ සහ සංවර්ධන නි‍යෝජිතායතනයේ (NARA)  ජ්‍යෙෂ්ඨ සාගර විද්‍යාඥ ආචාර්ය කනපතිපිල්ලේ අරුලානන්දන් මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පසුගිය 13 වන ඉරිදා අප රටේ පැතිර ගිය සුනාමි භීතිකාව පිළිබඳව ලක්බිම ඔන්ලයින් වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය අරුලානන්දන් මහතා ප්‍රකාශ කළේ සාගර විද්‍යා දත්තයන් අනුව රික්ටර් මාපකයේ 7.00 ට වැඩි සහ මුහුදු පත්ලේ පෘෂ්ටයේ සිට කිලෝ මීටර් 10 කට අඩු ගැඹුරකින් යුත් භූගර්භය තුළ සිදුවන භූකම්පන මගින් පමණක් සුනාමි අවදානමක් ඇති විය හැකි බව නිරීක්ෂණය කොට ඇති බවය.

ඒ අනුව පසුගිය ඉරිදා සුමාත්‍රා දූපත අද්දර සිදුවූ රික්ටර් මාපකයේ 6.6 ප්‍රමාණයේ භූකම්පනය සහ එය සිදුවූ පෘථිවි ගර්භයේ ගැඹුර කිලෝ මීටර් 40 ක් වීම මත සුනාමි අවදානමක් හට නොගත හැකි බව සාගර විද්‍යාත්මක පූර්ව දත්ත මගින් තහවුරු කළ හැකි යැයිද ආචාර්ය අරුලානන්දන් කීය.

සුනාමි යනු සාගර විද්‍යාත්මක විෂය පථයක් වුවද ඒ සම්බන්ධ  මුහුදුබඩ ජනතාව සහ ධීවරයන් දැනුවත් කිරීමේ වගකීම අප රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ඇති අතර පසුගිය 13 වෙනිදා ෆැසිපික් සුනාමි මධ්‍යස්ථානයෙන් හෝ ඉන්දියාවේ ඉන්කොයිස් මධ්‍යස්ථානයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත්කොට නැති පසුබිමක අප රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුනාමි අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කළ බවද පැවසීය.

නමුදු සුනාමි සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට නාරා ආයතනය සතුව නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවද ආචාර්ය අරුලානන්දන් පැවසීය.

මුහුදේ ඇතිවන සුනාමියක්  ‘බෝයා’ මාර්ගයෙන් නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේද සාගර විද්‍යාව සතු බව පවසන ආචාර්ය අරුලානන්දන් සුනාමියක දී මුහුදේ ජල මට්ටම වෙනස් වීම සෙන්ටිමීටර් දෙකකට පමණ සීමා වුවද එය ගොඩබිමේ දී මිටර් 02 - 03 ක් පමණ උස්ව නැගී සිටිය හැකි බව කීය.

ඒ කෙසේ හෝ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ නාරා ආයාතනය අතර සම්බන්ධතා පැවතියද මෙවර සුනාමි අනතුරු සංඥා නිකුත් කිරීමේ දී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාරා ආයතනයෙන් විමසීමක් කර නොමැති බව පැවසූ ආචාර්ය අරුලානන්දන්  මුහුදු පත්ලේ භූකම්පනයක් සිදුවී පැයක් ඇතුලත සුනාමියක් හට ගැනීම හෝ නොගැනීම පිළිබඳ නිශ්චිත අනාවැකියක් පළ කිරීමේ සාගර විද්‍යාත්මක හැකියාව නාරා ආයතනය සතුව පවතින බව පැවසීය.

ඒ කෙසේ හෝ මෙවර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුනාමි අනතුරු සංඥා නිකුත්කිරීම සම්බන්ධයෙන් ඉක්මන් වී ක්‍රියා කළ බව ඉහත සඳහන් සාගර විද්‍යාඥයාගේ ප්‍රකාශයෙන් පැහැදිළි වන අතර මෙහිදී සිදුවන අහිතකර ප්‍රතිවිපාක දෙකක් පිළිබඳව ද සඳහන් කිරීමට කැමැත්තෙමු.

01.සුනාමි අනතුරු ඇඟවීමේ දී කායික සහ මානසික දුබලතාවයන්ගෙන් පෙළෙන්නවුන් මෙවන් අනතුරු සංඥා මගින් හදිසි කායික මානසික රෝග වලට ලක්වීමේ සහ අකල් මරණ වලට ලක්වීමේ අවදානම.

02.නිරන්තරයෙන් මෙවැනි සංඥා නිකුත් කිරීම ඔස්සේ එම සංඥා කෙරෙහි ජනතාවගේ විශ්වාසය සහ සංවේදී බව අඩුවීමෙන් ‘කොටියා ආවා’ කථාව සිහිගන්වන ඛේදවාචක ඇතිවීම.

එබැවින් මේ මොහොතේ මේ සම්බන්ධයෙන් පුළුල් සමාජ කතිකාවක්  අතිශයින් වැදගත් වන බව අපි සියළු පාර්ශවයන් වෙත අධාරණය කරමු.

ආචාර්ය අරුලානන්දන්ගේ ප්‍රකාශය සහිත හඬපටය -:



තිලක් සේනාසිංහ

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2332

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1545

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 818

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1832

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5468

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3416

Please publish modules in offcanvas position.

Web Analytics