Coss Ear2
lakbima.lk
COSS Ear 1

පෙම්වතුන් පෙම්වතියන් අතර හෝ අඹු සැමියන් අතර පවත්නා ආදරය ලිංගිකත්වය හා අනුරාගය මත පදනම් වූ පෞද්ගලික බැදීමකි. එබැවින් එම ආදරය සම්බන්ධ විශේෂ සැමරුම් ද ඔවුනො,වුන්ගේ ජීවිත හා ප්‍රේමය සම්බන්ධ ඒවා විය යුතුය. ඒ හැරුණුකොට පෙම්වතුන්ගේ සැමරුම්, ලෝක කම්කරු දිනය, ලෝක පරිසර දිනය ආදී වශයෙන් සමාජීය උත්සව ලෙස සැලකිල්ලට ගත යුතු නැත. ඒ පෙම්වතුන්ගේ ආදරය සමූහ චර්යාවක් නොවන බැවිනි. නමුත් සමූහ ආදරය (Group Love) කියා යමක් නැතත් සමූහ ලිංගිකත්වය (Group Sex) කියා දෙයක් තිබේ. එය ශිෂ්ඨසම්පන්න මිනිසුන් ‍විසින් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නකි.

එහෙත් සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදා වැලන්ටයින් දිනය යනුවෙන් සැමරුම් දිනයක් යොදා ගෙන තිබේ. මෙය මුළුමනින්ම ව්‍යාපාරික උප්පරවැට්ටියකි. ලොව බොහෝ රටවල මෙන්ම අප රටේද නුවණ මද පෙම්වත්තු පෙම්වතියෝ මෙම උප්පරවැටිටියට හසුවී ඊනියා පෙම්වතුන්ගේ දින සැමරුමක් මුවාවෙන් අනවශ්‍ය විය හියදං වල යෙදෙති. ඒ හැරුණු කොට එදිනට තම පෙම්වතා හෝ පෙමිවතිය වෙනුවෙන් 'නොදිය යුතු'  යමක් නැතැයි යන මුලාවට වැටී නොයෙකුත් අකරතැබ්බයන්ට පත්වෙති.

මෙම වැලන්ටිය්න දිනය ආධ්‍යතාත්මික සංකල්පයක් මත පදනම් වූවකැයි කියනු ලැබේ.

එමෙන්ම මෙය රෝමානු කතෝලික ආගමට අයත් වූවක් වන බව ප්‍රසිද්ධ කරුණකි. එහෙත් ශාස්ත්‍රීය පදනමක් මත ඒ සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ ශාන්ත වැටලන්ටයින් නම් සාන්තුවරයකු පිළිබඳ  කිසිදු සඳහනක් කිසිදු කතෝලික ලේඛණයක නොමැති බවය.  හුදෙක් ව්‍යාජයක් වූ අදාල කතා ප්‍රවෘත්තියට මුල් වනුයේ ක්‍රිස්තු වර්ෂ තුන්වන සියවසේ රෝමයේ ඇති වූ සිද්ධියක් යැයි කියනු ලැබේ.

රෝමානු අධිරාජ්‍යයේ මුල් ශතවර්ෂ හතර තුළ කතෝලිකයින්ට එතරම් වූ නිදහසක් තිබී නැත. එහි දී දිවි පුදා ප්‍රාණ පරිත්‍යාගිවරුන්ගේ නාමාවලියක (Roman Martyrology) 3 වන ශතවර්ෂයේ දී දිවි පිදී යැයි සැලකෙන ‘වැලන්ටයින්‘ නම් නම ඇති ප්‍රාණ පරිත්‍යාගීවරුන් දෙදෙනෙකු ගැන කියවේ. ඉන් පළමු වැන්නා රෝමානු කතෝලික පූජකතුමකු බවත් ඔහු ක්ලව්ඩියස් (Cludius)  නම් රෝමානු අධිරාජයාගේ පාලන සමයෙහි ප්‍රාණ පරිත්‍යාග කළ බවත් කියැවේ. ඉන් දෙවැන්නා ඉතාලියේ තේර්නි (Terni) නම් පලාතේ දී ප්‍රාණ පරිත්‍යාග කළ රෝමානු කතෝලික රදගුරුතුමකු බවත් කියැවේ. එහෙත් පසු කාලයේදී ශුද්ධවන්තයින් ගැන කරන ලද පරීක්ෂණවලදී මේ දෙදෙනෙකු නොව එක්කෙනකු බවට සෙයාගෙන ඇතැයිද කියනු ලැබේ. තව ද මේ එක් අයෙකු ද නැතිනම් දෙදෙනකු ද යන වන ඓතිහාසික වශයෙන් මුළුමනින්ම සනාථ කළ නොහැකි බව ද සඳහන් වෙයි. ඒ කෙසේ වුවද මේ එක්කෙනා හෝ දෙන්නා ආදරවන්තයන්ට හෝ විවාහ වන යුවතිපතීනට හෝ කිසියම් වූ සම්බන්ධයක්  ඇති බවට කිසිම තැනක සඳහනක් නොමැත.

එසේ ම මුල් ශත වර්ෂවලදී රෝමයේ රෝමානු ආගමික උත්සව පැවැත් වූ බවට ඉතිහාසයේ සඳහන් වී ඇත. පෙබරවාරි මාසයේ පවත්වන්නට යෙදුණු මේ උත්සවය ලූපර්කාලියා (Lupercalia)  නම් වූ අතර එහි දී තරුණ තරුණියන් ඔවුන්ගේ සහකරුවන් සහකාරියන් තෝරා ගෙන ඇත. නමුත් එම උත්සව එවකට රෝමානු සමාජයේ සමාජ චාරිත්‍ර මිසක කතෝලික ආගම හා කිසිදු සම්බන්ධයක් තිබූ ඒවා නොවේ. ලූපර්කාලියා පෙබරවාරි මාසයේ පැවැත්වූ බවට නම් ඉතිහාසයේ සඳහන් වේ.

කුරුළු ලෝකයේ කුරුල්ලන් අතර ප්‍රේමාලිංගන ඇතිවන කාලය (Mating Period) ද මෙම මාසයේ යෙදෙන බවට පිළිගැනීමක්ද ඇත. ඒ කෙසේ වෙතත් මේ මාසයේ ම යෙදෙන මෙම වැලන්ටයින් දිනය ගැන විවිධ නා නා ප්‍රකාර වූ රස කතන්දර අන්තර්ජාලයේ වෙබ් අඩවි දහස් ගණනක සඳහන් වේ. අන්තර්ජාලය වූ කලී සෑම විටම නිවැරදි දත්ත ලබා දෙන මාර්ගයක් නොවේ. එය ද ව්‍යාපාරයකි. මුදල් තිබේ නම්, ක්‍රියා කරවීමට දනී නම් ඕනෑ ම ගජබින්නයක් එයට ඇතුල් කර ගත හැකි ය.  එනිසා එහි සමහර විෂයයන් ගැන නිවැරදි දත්ත මූලාශ්‍ර තිබෙන අතර තවත් එවා ගැන අමූලික බොරු ද තිබිය හැක. නමුත් මෙවැනි අසත්‍ය තොරතුරු ලබා දීම සැබැවින් ම තවත් ව්‍යසනයකි.

තවද ලංකාවේ කොතැනක හෝ වැලැන්ටයින් මුනිවරයාට කැප කළ දේවස්ථානයක් නැත. කතෝලික ආගමේ ශුද්ධවරයන් නාමයෙන් දේවස්ථාන කැපකිරිමේ පිළිවෙතක් ඇත. රට පුරා ශාන්ත අන්තෝනි, ශාන්ත ජෝශප් වැනි මුනිවරුන්ට කැප කළ දේවස්ථාන ඇත. එසේ ම කිසිවකු කවදාවත් ශාන්ත වැලන්ටයින් මුනිඳුනි, අප නිසා යාඥා කළ මැනව කියනු අප අසා නැත. එසේ ම මෙම මුනිතුමා ප්‍රචලිත ශුද්ධවර චරිතයක් ද නොවේ.

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සහ ඉතාලියේ තේර්නි ප්‍රදේශයේ වැලන්ටයින් මුනිතුමා නමින් දේවස්ථාන ඇති බවටත් ඩබ්ලින් නුවර පිහිටි දේවස්ථානයේ 1835 දී ඔහුගේ භෂ්මාවශේෂ තැන්පත් කළ බවටත් සඳහනක් ඇත. එහෙත් එයද ප්‍රේමය සම්බන්ධ මුනිවර චරිතයක් නොවන බව විශේෂයෙන් කිව යුතුය.

1962-1965 දී පවත්වන්නට යෙදුණු 2 වැනි වතිකානු සමුළුවෙන් පසුව කතෝලික සභාව තුළ විශාල පරිවර්තනයක් ඇතිවිය. එහිදී ශුද්ධවන්තයන්ගේ නාමාවලිය (Santoral Calendar of the Catholic Church) සංශෝධනය කළ අතර එවකට සිටි ශුද්ධවරයන්ගේ ඓතිහාසික දත්ත පිළිබඳව විමර්ශනයක් ද කරන ලදී. එහි දී මුළුමනින් ම තහවුරු කළ නොහැකි දත්තයන් තිබූ ශුද්ධවරයන් එම නාමාවලියෙන් ඉවත් කරන ලදී. (උදා.ශා බාර්බරා, ශා ක්‍රිස්ටෝපර්) එසේ ම කිව යුත්තේ වැලන්ටයින් නමින් ශුද්ධවරයෙක් මෙම කැලැන්ඩරයේ ද නොමැති බවය.

එසේම සෑම දිනයක් සඳහා ම දිව්‍ය පූජාවේ  ජන වන්දනාවට (Liturgy) අවශ්‍ය උපදෙස් අඩංගු  පොතක් කතෝලික සභාව විසින් නිකුත් කරයි. එම පොත (Ordo) මුළු විශ්ව සමාජයටම ය. එහි පෙබරවාරි 14 වන දිනට නියමිතව ඇත්තේ ශාන්ත සිරිල් සහ ශාන්ත මෙතෝදියස් යන නම් ඇති තාපස රදගුරුවරුන්ගේ මංගල්‍යයයි. එබැවින් විශේෂයෙන් ම කිව යුත්තේ වර්තමාන ජනවන්දනා ලිත තුළ ද වැලන්ටයින් නම් මුනිවරයෙක් නැති බව පමණි.

එසේනම් මේ සමාජයේ මුල් බැස ගෙන ඇති මේ විවධ වූ වැලන්ටයින් සම්බන්ධ කතාන්දර හුදු පුරාණොක්ති(Myths) විය යුතුය. ඒ අනුව අද සැමරෙන වැලන්ටියිම් දිනය නුවණ මද පෙම්වතුන් පෙම්වතියන් ගොදුරු කර ගැනීම පිණිස අටවා ඇති ව්‍යාපාරික කෙමනක් බව ඒකාන්ත වශයෙන්ම කිව යුතුය.

 

නිර්මලා කුමාරි සේනාරත්න

 

කෝවක්කා ගෙඩියක් ආහාරයට ගත් දරුවෙකු ශරීරයේ සීනි මට්ටම පහත වැටීමෙන් මිය ගිය පුවත පසුගිය සතියේ වාර්තා වූයේ වයඹ පළාතේ හෙට්ටිපොළිනි. රටම කම්පා කළ එකී පුවතින් පසු රටේ බොහෝ දෙනෙකු රුධිරයේ සීනි මට්ටම පහළ හෙලනා කෝවක්කා, අධිරුධිර පීඩනය මඩිනා ආහාරයක් වන තෙබු කොළ වැනි ආහාර දෙස සැකෙන් බලන්නට පුරුදුව ඇත. ලාංකිකයන්ගේ සාම්ප‍්‍රදායික ආහාර රටාවේ එන මෙවැනි පලා වර්ග භාවිතය අතහැරීමට තරම් ඇතමුන් පුරුදු වෙන තරමට එම තත්ත්වය දුර යමින් පවතී. එබැවින් දේශීය වෛද්‍ය ක‍්‍රමයේ එන අර්ථ දැක්වීම අනුව මෙකී ගැටලූව විමසා බලන්නට අපි තීරණය කළෙමු. මේ ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල් පෙරේරා කෝවක්කා, තෙබු කැහිපත්තක් වැනි දේශීය ශාක ආහාරයට ගැනීම පිළිබඳ දක්වන අදහස් ඇසුරෙන් ලියවූ ලිපියකි.
 
කෝවක්කා යනු කියුකර්බිටාසි Cucurbitaceae කුලයට අයත් ශාකයකි. වැලක් ලෙස වැවෙනා කෝවක්කාවල විද්‍යාත්මක නාමය කොක්සිනියා ග‍්‍රැන්ඩිස් Coccinia grendis ය. කෝවක්කා වැල් වර්ගය දකුණු ආසියාතික රටවල බහුලව දක්නට ලැබේ. මෙහි දලූ සහ ඵල ආහාරයට ගනී. සැනින් රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පහත හෙලනා කෝවක්කා  දියවැඩියා රෝගීන්ට මහඟු ඖෂධයකි. ඒ බැව් විවිධාකාර පර්යේෂණ මගින් ද තහවුරු වී ඇත. 
කෝවක්කා ගෙඩිද පලතුරක් ලෙස ආහාරයට ගත හැකි කිසිම අගුණයක් නොවන පලතුරකි.  එහි විටමින් සී බහුල වන අතර යකඩ මැග්නීසියම් පොටෑසියම් සින්ක් ඛනිජ ලවණ හා සෙලනියම් වැනි පෝෂණීය විටමින් වර්ගද  අන්තර්ගතය. එමෙන්ම එය  100% ක්ම විෂ රහිත ආහාරයකි. කෝවක්කා ගසෙහි දලූ, කොළ, ගෙඩිවලට අමතරව මුල්ද දියවැඩියාවට ඔසුවකි . ඒ වගේම විරේකය ඇති කිරීමට ද භාවිත කරයි. උපදංශ රෝගයට ප‍්‍රතිකාර කිරීමට ද භාවිතා කරයි. 
කෝවක්කා මල් සුදු පැහැතිය. ඵලය රතු පැහැතිය දිගටි හැඩැතිය පුංචිය ඵලයකි. මේ අනුව කෝවක්කා යනු ඉහළ ඖෂධීය ගුණයක් සහිත ශාකයක් බව වටහා ගත හැක. යම් කෙනෙකු කෝවක්කා ගෙඩියක් හෝ දෙකක් ආහාරයට ගැනීමෙන් රුධිරයේ සීනි මට්ටම අවදානම් සහගත ලෙස පහළ නොයන අතර ඊට වඩා ආහාරයට ගැනීමේදී යම් අවදානමක් ඇති විය හැකි බැවින් සැලකිලිමත් විය යුතුය. වශේෂයෙන්ම රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය අන්දමින් පවතින නිරෝගී පුද්ගලයන් දිනපතා කෝවක්කා ආහාරයට එකතු කරගැනීම සුදුසු නොවේ. එයින් ඔවුන්ගේ රුධිරයක සීනි මට්ටම අනතුරුදායක ලෙස පහත වැටිය හැක. එබැවින් නිසි පමණින්, නියමිත පරතරයක් සහිතව එවැනි දේ ආහාරයට ගත යුතුය.
කෝවක්කා වැනි පලතුරු වර්ග ආහාරයට ගැනීමේදී ඒ පලතුරු නිසියාකාරව හඳුනාගෙන ආහාරයට ගැනීමට ද අප සැලකිලිමත් විය යුතුය. එයට හේතුව වන්නේ කෝවක්කා ගෙඩියට සමාන විෂ සහිත ඵල වර්ගයක් වන හොඬල ගෙඩි ද සමාජයේ බහුලව දක්නට ලැබෙනා බැවිනි. පඬුවස් නුවරදී අවාසනාවන්ත ලෙස මියගිය දරුවාද එවැනි වෙනත් ගෙඩි වර්ගයක් ආහාරයට ගත්තේද යන සැකය ඇතිවන්නේය. එහෙයින් පලතුරු වර්ග ලබාදිමේදී දෙමාපියන් තම දරුවන්ට නිවැරදි පලතුරු වර්ග තෝරා දීමට සැලකිලිමත් විය යුතුය. ඊට අමතරව දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද තමන් අවට පරිසරය ගැන දැනුවත්ව සිටීම මගින් මෙවැනි අනතුරු වළකා ගත හැක. 
එදිනෙදා ව්‍යවහාරයේ ”ප්‍රෙෂර්” එක ලෙස හඳුන්වන අධිරුධිර පීඩනය මඩින්නට ආහාරයට ගන්නා තෙබු කොළ පිළිබඳවද ඇතැම්හු සැක පලකරති.
තෙබු සින්ගනාසි Zingiervceae කුලයට අයත් වන අතර එහි විද්‍යාත්මක නාමය වන්නේ Costus   speciocus වේ. ද්වි වාර්ෂික ශාකයකි. අල සහිත මුල් ගොන්නකින් යුක්තය. කඳ මීටරයක් පමණ උසට වැඬේ. පත‍්‍ර කඳෙහි සර්පිලා ආකාරයට පිහිටයි. පත‍්‍රවල අග‍්‍රස්ථය උල් වී මදක් වකුටු වී ඇත. ශී‍්‍ර ලංකාවේ පහතරට ප‍්‍රදේශවල ව්‍යාප්ත වී ඇති මෙම ශාකය ආසියාතික රටවල දක්නට ලැබෙන ශාකයකි. අප ආහාරයට ගන්නා ශාක අතරින් තෙබු බහු විධ ඖෂධීය ගුණ සහිත ශාකයකි. තෙබු කොළ සලාදයක් ලෙසත් දලූ මැල්ලූමක් ලෙසත් ආහාරයට යොදා ගනී. තෙබු ගසෙහි අල ඖෂධ වශයෙන් යොදා ගනී. මෙම ඖෂධ බඬේ අජිර්ණයට පීනසට සහ චර්ම රෝග සඳහා ප‍්‍රතිකාර ලෙස භාවිත කරයි.  තෙබු කොළ අහාරයට ගැනීමෙන් අධි රුධිර පීඩනය පාලනය කරන අතර සම පැහැපත් කිරීමටද සමත්ය. ඊට අමතරව සමෙහි ඇති කැලැල් මැකී යෑමටද තෙබු කොළවලට හැකියාව ඇති අතර. පැපොළ සෑදුන රෝගීන්ගේ පැපොළ කැලැල් මැකී යාම සඳහා ද තෙබු කොළ ආහාරයට ගනී. තෙබු කොළ පමණක් මැල්ලූමක් සේ ආහාරයට ගැනීමට හැකි අතර එහි අමිහිරි රසයක් නැත. එහෙත් පෙර කී අධිරුධිර පීඩනය අඩු කරන ගුණය නිසා තෙබුද නිකරුනේ පුද්ගලයකු දෛනිකව ආහාරය ගැනීම සුදුසු නොවේ. 
ජනවහරේ කැහිපිත්තන් කොළ නමින් හඳුන්වන ශාකය පොතපතෙහි කැසිපිත්තන් ලෙස ලියැවී ඇත. මෙය මෙනිස් පර්මේසි Menis permaceae කුලයට අයත් වන අතර උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ ෙසෙලියා බර්මානි Cyelea burmani යන්නයි. කුඩා වැල් විශේෂයකි. ශක්තිමත් වැලක් ලෙස හට ගනී. එහි සරල පත‍්‍ර ඇත . සුමුදු සෙවල ගතියක් ඇති කොළ සහිත ශාකයකි. ලංකාවේ හා ඉන්දියාවේ දක්නට ලැබේ. ලංකාවේ පහතරට තෙත් කලාපයේ වගාබිම්වල ගෙවතු වල මුඩු බිම්වල දක්නට ලැබේ. අලූත් තුවාලවල ලේ ගැලීම නැවතීමට මෙහි කොළය කොටා යුෂ තැවරීමෙන් හැකිය. රත්පිතට කෑමට සුදුසුය. අධික ශීත ගුණයෙන් යුත් වැල් විශේෂයක් වන නිසා මානසික රෝගීන්ගේ හිසකුඩිච්චි දැමීමට එම මිශ‍්‍රණය සඳහා යොදා ගනී. මෙහි කොළ කොටා ඇල්දියෙන් මිරිකා පෙරා සීනි දමා රැයක් මිදෙන්න තබා ගත් විට අධික ශීත ගුණයෙන් යුතු ජෙලි එකක් වැනි රසවත් ආහාරයක් සාදා ගත හැකිය. එමෙන්ම පිත්තාධිත රෝග ඇති අයට හොඳ ඖෂධයකි. උෂ්්ණාධික රෝගවලට මෙන්ම බඩවැලේ උෂ්ණගතිය ඇති අයටද ගැස්ට‍්‍රයිටීස් ඇති අයටද හොද ඖෂධයකි. 
එහෙත් තෙබු සහ කෝවක්කා මෙන් කැහිපිත්තන්ද දෛනිකව මෙන්ම අධි මාත‍්‍රාවෙන් ආහාරයට ගැනීම සුදුසු නොවේ.
මස්බැද්ද යනු ඇත් අඟුණවැලට සමාන වැලකි. එහි විද්‍යාත්මක නාමයෙන් ජිම්නේමා සිල්වෙස්ටර් Gymnema cylvestre ලෙස හඳුන්වයි. තිත්ත කසට රසයෙන් යුත් ආමාශය ශක්තිමත් කරන ඔසුවකි. කැස්ස ඇස්රෝග, සමේ බිබිලිවලට,  මස්බැද්ද කොළවල යුෂ ප‍්‍රතිකාර සඳහා යොදා ගනී.  මෙම කොළ සැපීමෙන් පසු දිවට කිසිදු රසයක් නොදැනේ. වැරදීමකින් හුණු වැඩිපුර කැවුන විටකදී මෙහි කොළ ටිකක් විකා යුෂ ගිලීමෙන් එහි විෂ නැති වී යයි. ඉතා තිත්ත රසයෙන් යුත් කොළ වර්ගයක් වන අතර ඉතාම ප‍්‍රබල ලෙස රුධිරයේ සීනි මට්ටම පහළ දමන්නට සමත් ආහාරයකි. මස්බැද්ද කොළ ආහාරයක් ලෙස නොව ඖෂධයක් ලෙස පමණක් ආහාරයට ගත යුතු අතර වෛද්‍ය නිර්දේශය මත පමණක් ආහාරයට ගත යුතු ආහාරයකි. 
එමෙන්ම වල් කොත්තමල්ලීද රුධිරයේ සිනි මට්ටම ප‍්‍රබල ලෙස අඩු කරන පානයක් වන අතර වෛද්‍ය නිර්දේශය මත පමණක් පානය කළ යුතුය. 
 
චමිලා අල්විස්

ඡන්ද කාලයට දේශපාලන වේදිකාවේ අසන්නට ලැබෙන්නේ අපූරු කතාය. ඒ අතර අපූරු මැතිවරණ ‍පොරොන්දුද වෙයි. වසර ගණනක් නොව දශක ගණනක් කතා බහට ලක්වන මැතිවරණ ‍පොරොන්දු ඒ අතර වේ. හඳෙන් හෝ හාල් ගෙනෙන සිරිමා මැතිණියගේ කතාව, ඇට අටක් දෙන ජේ.ආර්.ගේ කතාව එදා මැතිවරණ වේදිකාවේ ඇසුන අදටත් කතා බහට ලක්වන දේශපාලන ‍පොරොන්දුය. එදා හදෙන් හෝ හාල් ගෙනත් දෙන බවට ‍පොරොන්දු දුන්නත් දැන් දෙන්නේ නොමි‍ලේ රටටම වයි ෆයි ලබාදෙනවා වැනි ‍පොරොන්දුය. ලෝකය ඉදිරියට යනවිට ‍පොරොන්දුද නවීකරණය වෙන්නේ එසේය. කෙසේ වුවත් නොමි‍ලේ වයි ෆයි ලබාදෙන ඡන්ද ‍පොරොන්දුව දැන් නම් අලුත් එකක් නම් නොවේ. පසුගිය මහ මැතිවරණයේදීත් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ‍පොරොන්දු අතර නොමි‍ලේ වයි ෆයි කලාප පිහිටුවීමේ යෝජනාවක් ඇතුළත් වී තිබුණි.  ඒ අනුව බස් නැවතුම්‍පොළවල් වල සහ ප්‍රසිද්ධ ස්ථානවල නොමි‍ලේ වයි ෆයි කලාප පිහිටුවූයේය.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ඒජන්සියේ සංඛ්‍යා ‍ලේඛන අනුව මේ වන විට ස්ථාන එක්දහස් එකසිය හැත්තෑ හයක නොමි‍ලේ වයි ෆයි කලාප පිහිටුවා තිබේ. ඒ 2016 වසරේ ඔක්තෝම්බර් 28 වැනිදා සිටය. එයින් නොමි‍ලේ වයි ෆයි ලබාගත් සංඛ්‍යාව තිස් දහසකට අධික වේ. එම සංඛ්‍යා ‍ලේඛන අනුව එක් අවස්ථාවකදී සියයක් දෙසීයක් අතර සංඛ්‍යාවක් නොමි‍ලේ ලබාදෙන මෙම පහසුකම ලබාගනී.
නොමි‍ලේ වයි ෆයි ලබාදීම ගැන දේශපාලන වේදිකාවේ යළිත් කතා බහට ලක්වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ වව්නියාවේ කළ කතාවක් නිසාය. පළාත් පාලන මැතිවරණ වේදිකාවේදී ඔහු කීවේ මුලු රටම ආවරණය වන ආකාරයට නොමි‍ලේ වයි ෆයි ලබාදීමට කටයුතු කරන බවය. රනිල්ගේ කතාවෙන් පසුව අනෙක් දේශපාලන පක්ෂවල නියෝජිතයන් පැවැසුවේ මීට පෙර නොමි‍ලේ වයි ෆයි ලබා දෙන බවට දුන් ‍පොරොන්දු ඒ ආකාරයෙන්ටම ඉටු කර නොමැති බවය.
එහෙත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ‍ලේකම් වසන්ත දේශප්‍රිය පැවැසුවේ මේ වන විට ග්‍රාම නිලධාරී මට්ටමින් වයි ෆයි ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවය.
“මේ වන විට රාජ්‍ය ආයතන සහ ‍පොදු ස්ථානවල නොමි‍ලේ වයි ෆයි ලබාදෙනවා. අපේ කාර්යාලවලට එන අයට නොමි‍ලේ මේ පහසුකම ලබාගැනීමට හැකියි. ඒ වගේම විදුලි සංදේශ සේවා සපයන ආයතන විසින්ද නොමි‍ලේ වයි ෆයි කලාප ඇති කර තිබෙනවා. ඊට අමතරව තමයි ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් නොමි‍ලේ වයි ෆයි ලබාදීමට කටයුතු කරන්නේ” අමාත්‍යාංශ ‍ලේකම්වරයා පැවැසුවේය.
ඔහු පවසන ආකාරයට ග්‍රාම නිලධාරී කොට්ඨාසයක නොමි‍ලේ වයි ෆයි ලබාගැනීමට හැකි ස්ථාන දෙකක් නිර්මාණය කරයි. ඒ සඳහා වන ටෙන්ඩර මේ වන විට කැඳවා ඇති අතර ඉදිරි දින කිහිපය තුළදී එහි මිල ගණන් අනුව ටෙන්ඩර පිරිනැමීමේ කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇති බව අමාත්‍යාංශ ‍ලේකම්වරයාගේ අපේක්ෂාවයි. 
අගමැතිවරයා පවසන ආකාරයට මේ වසර අවසාන වන විට ලංකාවේ සෑම තැනකම නොමි‍ලේ වයි ෆයි කලාප ඇති කිරීමට හැකියාව ලැබෙන්නේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ විටය. 
මේ ආකාරයට නොමි‍ලේ වයි ෆයි ලබාදීම මගින් ලංකාවේ අන්තර්ජාල භාවිත කරන සංඛ්‍යාව ඉහළ ගොස් ඇතිද යන්න ගැන මේ වන තෙක් සමීක්ෂණයක් සිදුව නැත. එහෙත් විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස වී තිබෙන්නේ ලංකාවේ අන්තර්ජාල භාවිතය ඉහළ යා යුතු බවය.
“ලංකාවේ අන්තර්ජාල භාවිතා කරන ප්‍රමාණය අධ්‍යාපන සුදුසුකම් අනුව ප්‍රශස්ත මට්ටමක නැහැ. එය පහළ මට්ටමක තිබෙන්නේ. අපේ රටේ අන්තර්ජාල සේවා සැපයීමේ මිල නරක නැහැ. ආවරණයත් නරක නැහැ. ඒත් අපට අවශ්‍ය දේ බැලීමට හැකිද යන ප්‍රශ්නය තිබෙනවා. 
කිසියම් වීඩියෝවක් බැලීමට ගියහොත් දත්ත සඳහා ගෙවූ මුදල ඉක්මනින් අවසන් වෙනවා. ඒ නිසා නොමි‍ලේ වයි ෆයි කලාප පිහිටුවවහොත් ඒ තැන්වලට ගිහින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගෙන බැලීමට හැකියි” විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය සමරජීව කියන්නේය.
වීඩියෝ සම්බන්ධයෙන් ඔහු වැඩි අවධානයක් යොමු කරන්නේ ජාත්‍යන්තර වශයෙන් පැවැත්වූ සමීක්ෂණ ප්‍රතිඵල අනුවය. ඉන්දියාව, පකිස්ථානය සහ කාම්බෝජය වැනි රටවල කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ මේ ආකාරයට වයි ෆයි ලබාදුන් විට වැඩි දත්ත ප්‍රමාණයක් වැය කරන්නේ වීඩියෝ නැරඹීම සඳහා වන බවය. 
මෙසේ නොමි‍ලේ වයි ෆයි ලබාදීම විනාශකාරී ක්‍රියාවක් නොවන නමුත් එය ගැටලුවක් වන්නේ නොමි‍ලේ වයි ෆයි ලබාදීමට ආණ්ඩුව බද්දක් පැනවුවහොත් බවද ඔහු පවසන්නේය. බදු පැනවීමකින් තොරව ආණ්ඩුවේ විදයමින් වයි ෆයි පහසුකම් ලබාදෙන්නේ නම් එය විදුලි සංදේශ ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ ඇගයීමට ලක්වෙන්නකි.
මෙසේ නොමි‍ලේ වයි ෆයි ලබාදුන් පමණින් සියලු දෙනාම එම ස්ථානවලට ගොස් වයි ෆයි පහසුකම් ලබාගනිතැයි අපේක්ෂා කළ නොහැකිය. වයි ෆයි කලාපයක් වෙත යාමට තරම් උවමනාවක් නොමැති අය එහි සේවාවන් ලබාගන්නේ නැත.
“නොමි‍ලේ වයි ෆයි දෙනවා කියලා කිව්වාට හැමෝම ඒ තැන්වලට යන්නේ නැහැ. තරුණයන් වගේ එතරම් කාර්ය බහුලත්වයක් නැති අය එතැනට ගිහින් වයි ෆයි පහසුකම් ලබාගනීවි. ඒත් ගෙදරට අන්තර්ජාලය ලබාගත හැකි වෙනත් තැනකට ගිහින් වයි ෆයි පහසුකම් ලබාගැනීමට අකමැති අය මුදල් ගෙවා එම පහසුකම ලබාගනීවි. ඒත් නොමි‍ලේ වයි ෆයි දෙනවා කියලා අසීමිතව ලබාදෙන්න බැහැ. කිසියම් සීමාවක් ඇතිව තමයි එය ලබාදීමට හැකිවන්නේ. ඒ වගේම තමයි විශාල පිරිසක් එක තැනකට ඇවිත් වයි ෆයි පහසුකම් ලබාගැනීමට යාමේදී කිසියම් තදබදයක් ඇතිවීමට හැකියි” මහාචාර්ය සමරජීව පැවැසුවේය.
මේ වසර අවසන් වන විට ගම් මට්ටමටත් වයි ෆයි පහසුකම් නොමි‍ලේ ලබාදෙනු ඇත. නොමි‍ලේ වයි ෆයි ලබාදුන්නත් එය පහසුකම් ලබාගන්න්ට සමීප නොවන්නේ නම් සුදු අලියෙක් පමණක්ම වනු ඇත. එ සදහා පහසුවෙන් නොමි‍ලේ වයි ෆයි පහසුකම් ලබාගැනීමේ අවස්ථාව ලබාදිය අතරම ඒ ගැන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහහනක් ක්‍රියාත්මක කිරීමද වැදගත් වනු ඇත.
 
සංජය නල්ලපෙරුම
 

මම ගිහි කාලයේ හරිම දඟයි. ඉස්කෝ‍ලේ යන කාලයේ පාඩම් වැඩවලට දක්ෂ වගේම දඟ වැඩවලිනුත් මම කැපී පෙනුණා. සෙල්ලම වැඩි නිසා මම ගුරුවරුන්ගෙන් අවවාද ලැබූ අවස්ථා අනන්තයි. අපි පන්තියේ  ඉන්න කොට එකපාරටම පන්තියෙන් පැනලා ගිහින් සෙල්ලම් කරනවා
මගේ මේ දඟ වැඩ නිසා මහණ වුණාම මම සිවුරේ ඉන්න එකක් නැහැ කියලා තමයි ගොඩක් අය කිව්වේ. මගේ අම්මා, නැදෑයෝ පවා කිව්වේ ටික දවසක ඉඳලා සිවුර දාලා ගෙදර එයි කියලයි. ඒ තරමටම මම සෙල්ලමට බරයි.
අපවත්වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන් මීට මාස කිහිපයකට පෙර අප සමග එසේ කීවේ සිය අතීතය පිළිබඳව මතකය අවදි කරවමිනි.
බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ ගිහි නම  ගිල්බට් පෙරේරාය. ඉපදුණේ 1942 අප්‍රේල් 14 වෙනිදායි. උන්වහන්සේ වැඩ සිටියානම් මේ අප්‍රේල් මාසයට අවුරුදු 78කි.
විමලරතන හිමියන්ට සහෝදරියෝ නැත. ඇත්තේ සහෝදරයන් පමණි. ගිල්බට් පෙරේරා හෙවත් අනුනාහිමියන් පවු‍ලේ සිවු වැනියාය.
මුන්වහන්සේගේ පියා ‍පෝල් පෙරේරා 1953දී මිය යෑමත් සමගම පවු‍ලේ බර කරට වැටුණේ මෑණියන්ටය. ඇය බුත්සිලිනාද සිල්වාය. පියා නැති දරුවන් හදා වඩාගන්නට පවු‍ලේ ඥාතීන් ඇයට ශක්තිය දුන්නේය.
පවු‍ලේ දරුවන්ගෙන් වඩාත්ම දඟකාරයා වූයේ ගිල්බට්ය. අනෙක් දරුවන්ට වඩා මේ දඟයා ගැන මව අවධානයෙන් සිටියාය. දිනක් මේ දඟයා අනතුරකටද පත්විය. එවිට ඔහුගේ වයස අවුරුදු 10කි.
ඒ අනතුර ගැන අනුනාහිමියන්ගේ වදන්වලින්ම මෙසේය.
එතකොට මට අවුරුදු 10ක් විතර වගේ. මම අහල පහළ යාළුවෝ එක්ක වත්තේ කොස්ගහක් යටට වෙලා සෙල්ලම් කරමින් හිටියා. ඔහොම සෙල්ලම් කරමින් ඉන්න කොට මගේ ඔළුවට කොස් ගෙඩියක් කඩාගෙන වැටුණා. මට එතනම සිහිය නැතිවුණා. පස්සේ මගේ යහළුවෝ මහ හයියෙන් කෑගහලා තියෙනවා. ඒ සද්දෙට අම්මයි මගේ මාමයි දුවගෙන ඇවිත් ඇරැව්වල යහම්පත් රාළහාමි කියන වෙද මහත්තයා ළඟට මාව උස්සගෙන ගිහින් තිබුණා. ඒ වෙද මහත්තයත් අපේ නෑදෑයෙක්. එදා මට මතක කොස් ගෙඩිය වැටෙනවා විතරයි. කොහොම හරි එදා කොස් ගෙඩිය වැටිලා මගේ ඔළුවේ ඇතිවුණ කැලල තවමත් තිබෙනවා
බෙල්ලන්විල විමලරතන නාහිමියන් පාසල් දෙකක අධ්‍යාපනය ලබා ඇත. ඒ පස්වැනි පන්තිය දක්වා නිකපේ ශ්‍රී විජයරාජ විද්‍යාලයෙන් අටවැනි පන්තිය දක්වා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙන්ය.
පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ ගිල්බට් සිසුවාගේ ප්‍රියතම ක්‍රීඩාව වූයේ ක්‍රිකට්ය. හෙතෙම පාස‍ලේ ක්‍රිකට් කණ්ඩායමේද සාමාජිකත්වය දැරීය. පාස‍ලේ මලල ක්‍රීඩා තරගවලදීද ඔහු කැපීපෙනෙන තරගකරුවකු විය.
ඒ කාලයේ ඉස්කෝ‍ලේ මලල ක්‍රීඩා තරගවල තිබුණා තුන් කකුලෙන් දිවීමේ තරගයක්. තරගකරුවන් දෙදෙනකුගේ කකුල් දෙකක් එකට ගැට ගහනවා. එතකොට දෙන්නාට දුවන්න වෙන්නේ කකුල් තුනෙන් මේ තරගෙට මම හැම අවුරුද්දෙම ඉදිරිපත් වුණා. අවුරුදු තුනක් පිට පිට මම මේ තරගෙත් පළමු වැනියා වුණා. තුන් කකුලෙන් දිව්ව මගේ අනෙක් තරගකරුවා පාලිත කන්නන්ගර. ඔහු අද සම්පත් බැංකුවේ විධායක අධ්‍යක්ෂ
සිය පාසල් අවධිය පිළිබඳව වරක් බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ එලෙසයි අප සමග මතකය අවදි කළේ මහත් සතුටකිනි.
බෙල්ලන්විල අනුනාහිමියන් කීර්තිධර සාහිත්‍යධරයෙකි. සාහිත්‍ය විෂය කෙරෙහි උන්වහන්සේගේ සිත ඇදුණේ නිකපේ විදුහ‍ලේ ඉගෙනුම ලබන අවධියේය. නිකපේ විදුහ‍ලේ සිටි විල්බට් පෙරේරා ගුරුතුමා සාහිත්‍ය විෂය උගන්වන විට ගිල්බට් විශේෂ අවධානයකින් අසා සිටියේය. ගුරුතුමා ඉතා මිහිරි ලෙස කියන කවි ආදියට ගිල්බට්ගේ සිත ගියේය. ඒ නිසාවෙන්ම ගිල්බට්ගේ සිත සාහිත්‍යයට ඇදී ගියේ නිතැතින්මය.
නිවසේ මෙන්ම පාස‍ලේද දඟයා වූ ගිල්බට්ට  පැවිදිවීමේ ආසාවක් නොවීය. බෙල්ලන්විල රජමහා විහාරාධිපතිව වැඩ සිටි බෙල්ලන්විල සෝමරතන නාහිමියෝ, නෑදෑකමින් විමලරතන හිමියන්ගේ මහප්පාය. පියාගේ වැඩිමහල් සහෝදරයාය
මේ ඥාතී සබඳකම නිසා ‍පෝල් පෙරේරාගේ දරුවෝ නිතරම පන්සලට ගියෝය. ඒ අතරේ ‍පෝල් පෙරේරා 1953දී මියගිය පසු පවු‍ලේ වැඩිමල් දරුවා කාගේත් කැමැත්තෙන් පැවිදි කරවීය. ඒ පැවිදි වූ හිමියන් වර්තමාන බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ය. උන්වහන්සේ වැඩිපුර වැඩවසන්නේ සිංගප්පූරුවේය. සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක පදවිය හොබවන්නේද උන්වහන්සේය.
දවසක් අපේ අම්මා පන්සලට ගිය වෙලාවක බෙල්ලන්විල සෝමරතන නාහිමියන් අම්මගෙන් අහලා තියෙනවා මාවත් පන්සලට දෙන්න පුළුවන්ද කියලා. එදා අම්මා පුතාගෙන් අහලා කියන්නම් කියලා ඇවිත් තිබුණා'
සෝමරතන නායක හාමුදුරුවන්ට මහ පෞරුෂයක් තිබුණා. උන්වහන්සේ දුටුවාම ඕනෑම කෙනෙකුට ගෞරවයක් ඇතිවෙනවා. දවසක් මම පන්සලට ගිය වෙලාවක නායක හාමුදුරුවෝ මගෙන් ඇහැව්වා කොල්ලො පන්ස‍ලේ නවතින්න කැමතිද කියලා. මම කිසිම උත්තරයක් දෙන්නේ නැතිව බිම බලාගෙනම හිටියා
තමන් වහන්සේ පැවිදි බිමට පත්වීමට හේතුවූ කාරණය විමලරතන නාහිමියෝ දිනක් අප හා එසේ විස්තර කළහ.
සවස්වරුවේ පාඩම් වැඩ කිරීමට පන්සලට ගිය ගිල්බට්ට අවසානයේ නායක හාමුදුරුවන්ගේ නියමයෙන් පන්ස‍ලේ නවතින්න සිදුවිය. සති දෙකක් තුනක් පන්ස‍ලේ සිටි ගිල්බට් වයස අවුරුදු 13දී එනම්, 1956 පෙබරවාරි 28දා සෝමරතන නාහිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි බිමට ඇතුළු විය.
සිය මහප්පා ළඟ පැවිදි වූ පවු‍ලේ දඟයා යළි කොයි මොහොතේ හෝ සිවුර හැර දමා ගෙදර එතැයි පවු‍ලේ අයද අපේක්ෂාවෙන් සිටියත් එවැන්නක් සිදුවූයේ නැත. සිය ගුරු හිමි යටතේ ඉගෙනුම ලබමින් මහා ශික්ෂණයක් උන්වහන්සේ ලැබිය.
විමලරතන හිමියන්ට පැවිද්දේදී මුලින්ම දමා ඇත්තේ බෝකුන්දර බුද්ධරතන හිමි යන නමය. එහෙත් පැවිදිවූ වැඩිමල් සොයුරා ධම්මරතන නමින් හැඳින්වෙන විට බාල සොයුරා බුද්ධරතන නමින් හැඳින්වීමට නුසුදුසු නිසා උපසම්පදාවේදී බුද්ධරතන යන්න විමලරතන හිමි යනුවෙන් වෙනස් කර ඇත.
පැවිදි බිමේ ලබාදෙන නම උපසම්පදාවේදී අවශ්‍ය නම් වෙනස් කර ගැනීමට හැකියාව ඇත. එසේ වෙනස් කළ නම ඉන්පසු උපසම්පදා ‍ලේඛනය සමග බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කෙරේ.
බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ ශාස්ත්‍රීය කටයුතුවලට වැඩි නැඹුරුවක් දැක්වූහ. ඒ නිසාවෙන්ම බොහෝ දිනවල උන්වහන්සේ රාත්‍රී 12 පසුවෙනතුරු ‍පොත්පත් ලිවීම ආදියෙහි යෙදුණි. ‍පොතපතේ කටයුතු නිසාම තරුණ අවදියේදී උන්වහන්සේ අපූරු සිද්ධියකටද මුහුණදුනි.
මම ඉගෙනීමට දක්ෂ නිසා දායක දායිකාවෝ ඒ කා‍ලේ මට ගොඩක් ‍පොත්පත් ගෙනත් දුන්නා. ඉතින් මේ ‍පොත් තියාගන්න තැනක් නැති නිසා මමයි පන්ස‍ලේ හිටපු තවත් පස් නමකුයි ආවාසයේ උඩුමහලට වෙලා ‍පොත් රාක්කයක් හදන්න පටන් ගත්තා. නායක හාමුදුරුවෝ වැඩ සිටියේ පහළ මාලයේ. දැන් රාක්කේ හදන සද්දේ ඇහිලා නායක හාමුදුරුවෝ උඩුමහලට වැඩියා. නායක හාමුදුරුවෝ උඩට වඩින බව දැනගත්ත මගේ මිත්‍ර හාමුදුරුවරු ටික එහෙට මෙහෙට පැනලා ගියා. මමත් බයවෙලා හිටියේ. 'මොකද මේ  කරන්නේ' කියලා නායක හාමුදුරුවෝ ඇහැව්වාම මම ඇත්තම කිව්වා. මේවා භික්ෂුන්ට ඔබින වැඩ නොවෙයි කියලා සැරවැර කරලා පන්ස‍ලේ හිටපු කෙනකුට කියලා අපි හද හදා හිටපු රාක්කේ එළියට විසි කළා. ඔහොම සතියක් විතර ගියා. පස්සේ නායක හාමුදුරුවෝ වඩු බාස් කෙනෙක් ගෙන්වලා තේක්ක ලීයෙන් ‍පොත් රාක්ක දෙකක්ම හදලා දුන්නා. අදත් මගේ ‍පොත් තැන්පත් කරන්නේ මේ ‍පොත් රාක්ක දෙකේ තමයි  යැයි විමලරතන අනුනාහිමියෝ තමන් වහන්සේ මුහුණපෑ ඒ අපූරු සිද්ධිය අප හා විස්තර කළේ මෙසේය.
විමලරතන අනුනාහිමියන් සතා සිව්පාවුන්ටද දැක්වූයේ මහත් කරුණාවකි. පන්ස‍ලේ සිටින අලි ඇතුන් පවා උන්වහන්සේට ආදරය කළහ. සෑම දිනකම අලි ඇතුන් ආවාසයට පැමිණෙන්නේ නාහිමියන් අතින් පලතුරු කන්නටය.
බෙල්ලන්විල රජමහා විහාරයේ සිටි චන්දු ඇතා කලක් පන්ස‍ලේ හුරතලා විය.
මේ චන්දු ඇතා ගැන විමලරතන අනුනාහිමියන් මඳක් සංවේගයකින් යුතුව වරක් අප සමග කතා කළේය.
චන්දුට මහ පුදුම ගති තිබුණේ. හැමදාම උදේට ඇවිත් අපේ නායක හාමුදුරුවන් අතින් පලතුරු කනවා. දළදා පෙරහර ඇතුළු රටේ විවිධ පෙරහරවල්වලට මේ ඇතා ගියා. මේ ඇතාට තිබුණේ පුදුම කීකරුකමක්. අපි දැක්ක තැන ගරු කළා. හරිම හික්මීමක් තිබුණේ. චන්දු මියගිය දවසේ මට මහ කනස්සල්ලක් දුකක් ඇති වුණා.
අවුරුදු 40ක් පමණ මෙරට ජාතික, ආගමික, සමාජයීය සටන්වලදී පෙරමුණ ගත් භික්ෂු ත්‍රිත්වයක් වූහ. ඒ තුන්නම හැඳින්වූයේ ත්‍රිමූර්තිය යනුවෙනි. ඒ ත්‍රිමූර්තිය වූයේ ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමි, මාදුළුවාවේ සෝභිත හිමි හා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ය. සිංහල වීර විද්‍යාත බෞද්ධ මණ්ඩලය, ජාතික සංඝ සභාව වැනි සංවිධාන බිහි කිරීමට පෙරමුණ ගත්තේ මේ ත්‍රිමූර්තියය. ජාතික සංඝ සභාව හරහා පක්ෂ දේශපාලනය කර ඡන්දයට ඉදිරිපත් වීමට භික්ෂූන් පිරිසක් සූදානම් වූ විට ඊට එරෙහිව මුලින්ම එරෙහි වූයේ බෙල්ලන්විල විමලරතන නාහිමිය. පක්ෂ දේශපාලනය භික්ෂුන්ට අකැප බව උන්වහන්සේ දැඩි මතයක සිටියහ.
තනතුරු බදු ගන්නා යුගයක තමන්ට ලැබුණු තනතුර පවා අත්හැරි මෑත යුගයේ අපට අසන්නට ලැබුණු උදාර භික්ෂු චරිතයද බෙල්ලන්විල අනුනාහිමියන් පමණි. ඒ තම අනුනායක පදවියද අත්හැරීමෙනි.

ධර්ම ශ්‍රී තිලකවර්ධන
 

තනි තරුවේ, තරු දෙකේ ජෙනරාල්ලා රටුන් අතර ප්‍රසිද්ධියට පත්වූයේ තිස් වසරක් පුරා පැවැති ඊළාම් සටනේදීය. එකල ඔවුන්ගේ සුරුවිරුකම්වලින් පත්තර පිටු පිරී තිබුණේය. එනමුත් තනි තරුවේ ජෙනරාල්වරයකු වූ ප්‍රියංක ප්‍රනාන්දු එක රැයකින් මුළු ලෝකයේම ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වූයේ යුද්ධය අවසන් වී නව වසරකුත් ගත වූ මොහොතකය. ඒ රණ බිමේදී නොවේ. ලංකාවට කිලෝමීටර් දහස් ගණනක් දුරින් පිහිටි ලන්ඩන් නුවරදීය.
යුද හමුදා බසින් තනි තරුවේ ජෙනරාල්වරයකු යනුවෙන් හැඳින්වෙන්නේ බ්‍රිගේඩියර්වරයෙකි. ප්‍රියංක ප්‍රනාන්දු ද යුද හමුදාවේ රාජකාරි කරන දුසිම් ගණනක් බ්‍රිගේඩියර්වරුන් අතරින් එක් අයෙකු පමණි. එහෙත් යුද හමුදාවේ සෑම බ්‍රිගේඩියර්වරයෙකුට නොලැබෙන අවස්ථාවක් ඔහුට ලැබුණි. ඒ රාජ්‍ය තාන්ත්‍රික සේවයය. ඔහුට ලැබුණේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ  ආරක්ෂක උපදේශක ධුරයය. මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, මේජර් ජෙනරාල් ප්‍රසන්න සිල්වා, මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න වැනි යුද හමුදා නිලධාරීහුද මින් පෙර එම ධුරය දැරූහ.
බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ධුරයට පත්වන්නේ දෙදහස් දාහත අවුරුද්දේය. එහෙත් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ලන්ඩන් නුවර සිටින බව මෙපමණ කලක් රටුන් දැන ගෙන හුන්නේ නැත. එවැනි අයෙකු ලන්ඩන් නුවර සිටියද ඒ ගැන රට්ටුන්ට ප්‍රශ්නයක් නැත. බ්‍රිගේඩියර් ප්‍රනාන්දු ලන්ඩන් නුවර සිටීම අදාළ වූයේ විදේශ කටයුතු අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානයට පමණි. ඒ ඔහු ලන්ඩන් නුවර ගියේ පැවැරුමකට බැවිනි. ඔහු පමණක් නොව ලොව පුරා පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති හා මහ කොමසාරිස් කාර්යාලවලට අනුයුක්තව ත්‍රිවිධ හමුදා නිලධාරීහු පත්ව සිටිති. ඔවුන්ගේ පැවැරුම වන්නේ තානාපති හෝ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතුය. එසේ නැතිනම් ශ්‍රී ලංකාවට එරෙහිව එම රටවල්වල සිට ක්‍රියාත්මක වන කටයුතු සොයා බැලීමය. එවැනි සිද්ධීන් යුද හමුදා මූලස්ථානය මගින් බුද්ධි තොරතුරු විශ්‍ලේෂණය කෙරෙන්නේය.
යුද්ධය පැවැති සමයේ එතෙරදී එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ගේ අවි ආයුධ ජාවාරම මැඩලීම වැනි ජාතික  ආරක්ෂක කටයුතුවලදී තානාපති හා මහ කොමසාරිස් කාර්යාලවල හුන් ආරක්ෂක උපදේශකයෝ ප්‍රශංසනීය මෙහෙවරක්     ඉටුකළෝය.
කෙසේ නමුදු පිටරටවල තානාපති හා මහ කොමසාරිස් කාර්යාලවල ආරක්ෂක උපදේශකයන් ගැන ඉකුත් හතරවැනිදා තෙක් ලංකාවේදී හා හූවක් නොවීය. එවැනි තනතුරක් තිබෙනවාදැයි බොහෝ දෙනෙක් දැන සිටියේද නැත. එහෙත් ඒ සියල්ල වෙනස් වූයේ ලන්ඩන් නුවරදී ඉකුත් හතර වැනිදා එළියට ආ වීඩියෝවක් සමගය. ඒ කතාව ඇරඹෙන්නේ ශ්‍රී ලංකාවේ හැත්තෑවැනි නිදහස් සැමරුම සමගය. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහු නිදහස් උළෙල සමරමින් සිටියදී කාර්යාලය ඉදිරිපිට විරෝධතාවන් පැවැත්වෙමින් තිබුණි. එය සංවිධානය කර තිබුණේ සංක්‍රාන්ති දෙමළ ඊළමට සහය දෙන පිරිසකි. එල්.ටී.ටී.ඊ. ධජ රැගෙන පැමිණි ඔවුහු අපට ඕනෑ යුක්තිය, අපේ වීරයා ප්‍රභාකරන්, අපේ දේශය ඊළාම් යනුවෙන් කෑ ගැසූහ. මෙවැනි විරෝධතා ලන්ඩන් නුවරට සාමාන්‍ය සිද්ධියකි.
මේ අතරේ විරෝධතාකරුවන් අසලට ආවේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුය. එතැන් සිට වූයේ මුළු ලොවම දුටුවේ සමාජ ජාල ඔස්සේ අතින් අතට ගිය වීඩියෝවකිනි. එම වීඩියෝව පිළිබඳ මුලින්ම දුන් අර්ථකථනය වූයේ තම නිල ඇඳුමේ ඇති සිංහ කොඩිය එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට පෙන්වා ඔවුන්ගේ ගෙල සිඳින ආකාරය බ්‍රිගේඩියර්වරයා අභිනයෙන් පෙන්වූ බවය. මේ සිද්ධියට මුලින්ම විරෝධය දැක්වූයේ බ්‍රිතාන්‍ය ‍ලේබර් පක්ෂය නියෝජනය කරන ජොආන් රයන් හා සියොහායාන්් මැක්ඩෙනාය. ඔවුන් බ්‍රිතාන්‍ය විදේශ ‍ලේකම් බොරිසෝ ජොන්සන් වෙත ලිපියක් යවමින් කීවේ. බ්‍රිතාන්‍ය රාජ්‍යය තුළ නිල මට්ටමේ අමුත්තෙකු වන ඔහුගේ හැසිරීම නුසුදුසු හා තර්ජනාත්මක බවය. එබැවින් ඔහු බ්‍රිතාන්‍යයෙන් නෙරපා හරින ලෙස ඔවුන් ඉල්ලා තිබුණි.
කෙසේ නමුදු බ්‍රිතාන්‍යයට පෙර බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගැන පියවරක් ගත්තේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයය. බ්‍රිගේඩියර්වරයාගේ එම ක්‍රියාව යුද හමුදාව පරීක්ෂණයක් කරනු ඇති බවත්, එතෙක් ඔහු රාජකාරි කටයුතුවලින් ඉවත් කරන ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වෙත දන්වා ඇති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඥාතිවරියක වන අමරි විජයවර්ධනය.
කෙසේනමුදු විදේශ කටයුතු අමාත්‍යංශය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව යුද ප්‍රකාශ කළද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල්   මහේෂ් සේනානායකගේ මතය වූයේ සමාජ ජාලා වබේ අඩවිවල විකාශය වූ වීඩියෝවකට අනුව නිලධාරියෙකුට එරෙහිව චෝදනා ගොනු කළ නොහැකි බවය. මේ අතරේ මෙම සිද්ධියට පක්ෂ හා විපක්ෂව අදහස් පළ වෙද්දී තවත් කතාවක් කරළියට ආවේය. ඒ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අභිනයෙන් පෙන්වූයේ විරෝධතාකරුවන්ගේ ගෙල සිඳින ආකාරය නොවන බවය. දෙමළ ඊළමක් වෙනුවෙන් සටන් කළ ප්‍රභාකරන් මරණයට පත්වූ බව ඔහු නිරූපණය කළැයි පැවැසුණි. අවසානයේදී මේ සිද්ධිය මහා බ්‍රිතාන්‍ය පමණක් නොව ලංකාවේ දේශපාලනයද රත් කළේය. බැඳුම්කර වංචා, උදයංග වීරතුංග අල්ලා ගැනීමේ කතා යටට ගොස් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු කරළියට ආවේය. ඊට ආසන්නම හේතුව පළාත් පාලන ඡන්දයය.
අවසානයේදී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගැන අවසන් තීන්දුව ගත්තේ සන්නද්ධ හමුදාවල සේනාධිනායකයා වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට නැවත පෙර රාජකාරි පවරන ලෙස ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයට නියෝග කළේය.
ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි ඔහු නැවත වරක් බ්‍රිතාන්‍යයේ ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ධුරයේ රාජකාරි ආරම්භ කරනු ලැබිය. ඒ පිළිබඳ යුද හමුදා මූලස්ථානය නිවේදනය කළේ යුද හමුදාව කිසිවිටකත් ඔහුගේ සේවය අත්හිටුවීමක් හෝ ඔහු ලංකාවට කැඳවීමට ක්‍රියා නොකළ බවය. අවසානයේදී යුද හමුදා මූලස්ථානය ප්‍රකාශ කළේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව යුද හමුදා පරීක්ෂණයක් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවය. ඒ බව යුද හමුදා මූලස්ථානය ජනපතිවරයාටද දැනුම් දී තිබුණි. ඒ අනුව පැහැදිලි වන්නේ මේ සිද්ධියේදී මුලින්ම වැට පැන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය බවය.
එක දවසකින් මුළු රටම හෙල්ලූ මේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු කවුද. ඔහු ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් නිලධාරියකි. එක්දහස් නවසිය හැට හයේ දෙසැම්බර් නවවැනිදා උපන් ඔහු ඉගෙන ගත්තේ කොළඹ ඩී.එස්. සේනානායක විදුහලෙනි. නිලධාරී බඳවා ගැනීමේ පාඨමාලා අංක විසිහය යටතේ කැඩෙට් නිලධාරියෙකු ලෙස ප්‍රියංක ප්‍රනාන්දු යුද හමුදාවට එක් වන්නේ එක්දහස් නවසිය අසූහයේ ඔක්තෝබර් විසිහත් වෙනිදාය. එවිට ඔහුගේ වයස අවුරුදු විස්සකි. ඔහු දෙවන ලුතිනන්වරයකු ලෙස අධිකාරිය ලැබුවේ එක්දහස් නවසිය අසූ හතේ ජූලි විසිතුන් වැනිදාය. මේ වන විට ඔහුගේ සේවා කාලය වසර තිස්දෙකකි.
ඔහු ගැන මින් පෙර කතාබහට ලක්වූයේ සිව්වැනි ඊළාම් සමයේදීය. එකල ඔහු නිලයෙන් ලුතිනන් කර්නල්වරයෙකි. එකළොස් වැනි ගැමුණු හේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියාය. සිව්වැනි ඊළාම් යටතේ දුෂ්කරම සටන් පෙරමුණෙන් වූයේ 59 වැනි සේනාංකය මුලතිව් බලා ගිය ගමනය. ප්‍රභාකරන් කලක් සැඟව හුන් වන් ෆෝ බේස් කඳවුරු සංකීර්ණය විනාශ කෙරුණේ එම සේනාංකය විසිනි. 59 වැනි සේනාංකයේ පළමු බල සේනාව වූ 591 බලසේනාවට එකල අණ දුන්නේ කර්නල් (දැන් බ්‍රිගේඩියර්) අරුණ ආරියසිංහය. මුලතිව් බලා ගමන් කළ එම බලසේනාව යටතේ ලුතිනන් කර්නල් ප්‍රියංක ප්‍රනාන්දු අණ දුන් 11 වැනි ගැමුණු හේවා බලඇණියද තිබුණි.
දෙදහස් අටේ ජනවාරි අට වැනිදා 59 වැනි සේනාංකය මුලතිව් අල්ලා ගැනීමට වැලිඔයෙන් ගමන් ඇරඹීය. ඒ අවස්ථාවේදී කොටි පාලන ප්‍රදේශයට මුලින්ම පහර දුන්නේ ජනකපුරයෙන් ගමන් ඇරඹූ යුද පෙරමුණය. උතුරේ අන්තිම සිංහල ගම්මානය වූ ජනකපුරයෙන් ගමන් ඇරඹූ එම යුද පෙරමුණේ ක්ෂේත්‍ර අණදෙන නිලධාරියා වූයේ ලුතිනන් කර්නල් ප්‍රියංක ප්‍රනාන්දුය. එකල ඔහු අණදුන් 11 වැනි ගැමුණු හේවා බලඇණිය මුලතිව් කැලෑව පීරා එල්.ටී.ටී.ඊ.යේ භූගත කඳවුරු රැසක් අල්ලාගනු ලැබිය. ඉන්දීය සාම සාධක හමුදාවට පවා අල්ලා ගැනීමට නොහැකි වූ මුලතිව් කොටි කඳවුරු සංකීර්ණයේ කඳවුරු ද ඒ අතර තිබුණි.
කෙසේ නමුදු මුලතිව් යුද පෙරමුණේ ඔහු දැක්වූ  දක්ෂතා හේතුවෙන් ලුතිනන් කර්නල් ප්‍රියංක ප්‍රනාන්දුට ක්ෂේත්‍ර උසස්වීමක් ලැබුණි. ඒ අණදෙන නිලධාරී ධුරයේ සිට බලසේනාධිපතිවරයකු හැටියටය. ඒ අනුව ඔහු කර්නල් අතුල ගලගමගේ අණ දුන් 5 වැනි කාර්ය සාධක බළකාය යටතේ 651 වැනි බල සේනාධිපති ලෙස පත්වීම් ලැබිය. පසුකලක ඔහු යළිඳු වරක් මුලතිව් 591 බලසේනාධිපති ලෙස පත්වීම් ලැබිය. එකල ඔහු මුලතිව් ජනතාව අතර ජනප්‍රිය චරිතයකි. මුලතිව් වැසියන්ට හොඳින් සංග්‍රහ කළ හමුදා නිලධාරියෙකි.
කෙසේ නමුදු බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ලන්ඩන් නුවරදී එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට දැක්වූ ප්‍රතිචාරය ගැන විවිධ පාර්ශ්වවලට විවිධ ආර්ථකථන තිබිය හැකිය. සමහරුන්ට ඔහු වීරයකු වන විට තවත් පිරිසකට ද්‍රෝහියාය. ඒ පිළිබඳ අවසන් නිගමනයක් දීමට මේ තීරුව නොතැනය. එහෙත් ආණ්ඩුවෙන් අසන්නට ප්‍රශ්නයක් ඇත්තේය.
ඒ මේ සිද්ධියේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ හැසිරීමය. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව විදේශ කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණ ඇරඹුවේ සමාජ ජාලාවල විකාශනය වූ වීඩියෝවේ ඇත්ත නැත්ත නොසොයාය. හැරත් විදේශ කටයුතු ඇමැතිවරයා එ.ජා.ප. ආණ්ඩු සමයක රජයේ ප්‍රධාන නීති උපදේශකයා වන නීතිපති ධුරය දැරූ ජනපති නීතිඥවරයෙකි. අගමැතිවරයාගේ සමීප කවයේ ඇමැතිවරයෙකි. ඔහුගේ අමාත්‍යාංශය සමාජ ජාලා බලා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු දඬු කඳේ ගසන්නට තිබූ හදිසිය ‍පොලිස් මූලස්ථානයේදී ‍පොලිස්පති පූජිත ජයසුන්දර විසින් සෝපාන සේවකයාට පහරදීමට තැත් කළ බව කියන සමාජ ජාලා වීඩියෝව සම්බන්ධයෙන් නීතිය හා සාමය භාර ඇමැතිවරයාට නොතිබුණේ ආණ්ඩුව තමන්ට කැමැති විදිහට නීතිය නවන නිසා දැයි ප්‍රශ්නාර්ථයකි.

 මිහිරි ෆොන්සේකා

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන කූඹියෝ ටෙලි නාට්‍යය මෙගා නාට්‍ය රැල්ලට යටවී තිබූ මෙරට ටෙලි නාට්‍ය කර්මාන්තයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ ටෙලි නාට්‍යයක් බවට විවාදයක් නැහැ. කූඹියෝ කොටස් 50කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට විකාශය වී තිබියදී ඊට පැසසුම් වගේම චෝදනාද ඇතැම් ප්‍රේක්ෂකයන්ගෙන් එල්ලවීමට පටන් ගෙන තිබෙනවා. වසර තුන හතරකට කලින් රූගත කර අවසන් කළා කියන කූඹියෝ සඳහා අලුතින් දර්ශන එකතු කර තිබෙන නිසා ටෙලි නාට්‍ය දැන් වෙනස් මගකට ගමන් කරනවා කියලයි ඇතැමුන් පවසන්නේ. කූඹියෝ අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්නව අප මෙලෙස සංවාදයකට එක්කාසු කර ගත්තේ එම චෝදනාවලට පිළිතුරු දීමට සුදුසුම පුද්ගලයා ඔහු වන නිසයි. 
 
50කට ආසන්න කොටස් සංඛ්‍යාවක් විකාශය වෙලා තියෙද්දී “කූඹියෝ” ගැන ප්‍රේක්ෂකයන්ගෙන් විවිධ චෝදනා පවා එල්ල වෙන්න පටන් අරන්. අධ්‍යක්ෂවරයා විදිහට ඔබ ඒ ගැන දැනුවත්ද? 
 
ඔව්. ඒ විදිහේ චෝදනා එල්ලවීම මටත්, “කූඹියෝ” පිටපත් රචක  දමිතටත් පුදුමයක් ‍නෙවෙයි. මොකද ටෙලි නාට්‍යයේ මේ අවධියට එද්දී ප්‍රේක්ෂකයන් සහ අපි අතරේ යම්කිසි ඝට්ටනයක් ඇතිවේවි කියලා අපි බලා‍පොරොත්තුවෙනුයි හිටියේ. 
 
ඔය කියන ඝට්ටනය ඇතිවීමට ප්‍රධාන හේතුව ටෙලි නාට්‍යය හදිසියේම ප්‍රේක්ෂකයන් නොහිතපු දිසාවකට ගලා යාමයි කීවොත් නිවැරදියි නේද? 
 
ඒක ඇත්ත. හැබැයි  මම විශ්වාස කරන දෙයක් තමයි අපි ප්‍රේක්ෂකයන්ට දෙන්නේ ඔවුන් බලා‍පොරොත්තු වෙන දේ නම් නිර්මාණකරුවෝ විදිහට අපෙන් වැඩක් නැහැ කියන එක. ඒ නිසා කූඹියෝ තුළින් ප්‍රේක්ෂකයන් නොහිතන විදිහේ දේවල් දෙන්නයි අපි නිතරම උත්සාහ කළේ. 
 
2014 වසරේ රූගත කළා කියන “කූඹියෝ” ටෙලි නාට්‍යයට 2015 වසරේ බලයට පත්වූ වත්මන් ආණ්ඩුව හඳුන්වාදුන් “බස් ‍ලේන්” වල දර්ශන ඇතුළත් වුණේ කොහොමද කියලා ප්‍රේක්ෂකයෝ ප්‍රශ්න කරනවා? 
 
කූඹියෝ ටෙලි නාට්‍යයට ප්‍රේක්ෂකයන්ගෙන් තිබෙන ඉහළ අවධානය නිසා ඔවුන් ටෙලි නාට්‍යයෙන් පෙන්වන ඉතාම සුළු දේවල් ගැන පවා හුඟක් සැලකිලිමත් වෙනවා.  බස් ‍ලේන් ගැන. හැබැයි Advertise කළේ වත්මන් ආණ්ඩුව වුණාට කලිනුත් ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණා. මම මේ කියන ගැටලුවට ෆේස්බුක් හරහාත් සාක්ෂි ඇතිව පිළිතුරු දුන්නා. 
 
ඔබ කියන්නේ ටෙලි නාට්‍යයට අතරමැදදී කොටස් එකතුවුණේ නැහැ කියලද? 
 
ඔව්. ටෙලි නාට්‍යය පටන් ගනිද්දීත් මම කිව්වා කූඹියෝ කොටස් 58කින් අවසන් වෙනවා කියලා. අදටත් මම ඉන්නේ ඒ ස්ථාවරයේම තමයි. ඊට වඩා එක කොටසක්වත් වැඩිපුර විකාශය වෙන්නේ නැහැ. 
 
ඒ කියන්නේ අලුතෙන් කොටස් රූගත කරලා කියලා සමහරු කියන කතාවේ කිසිදු පදනමක් නැද්ද? 
 
සමහර Time lapses කිහිපයක් පමණක් අලුතින් රූගත කරන්න සිද්ධ වුණා. නමුත් එයින් කතාවේ කිසිදු   වෙනසක් වෙන්නේ නැහැ. මොකද මුල් පිටපත අපි දශමයකින්වත් වෙනස් කරලා නැහැ. ප්‍රේක්ෂකයන්ගේ බයක් තියෙනවා වෙනත් සමහර ටෙලි නාට්‍යවලට වෙනවා වගේ විවිධ අයගේ වුවමනාවන්ට අනුව කූඹියෝත් වෙනස් වේවි කියලා. නමුත් අධ්‍යක්ෂවරයා විදිහට මම පැහැදිලිව කියනවා කාගෙවත් බලපෑම්වලට “කූඹියෝ” යටනොවන බව. 
 
කූඹියෝ ටෙලි නාට්‍යයේ ප්‍රියන්තගේ චරිතය දැන් හැසිරෙන්නේ ලංකාවේ ප්‍රකට දේශපාලකයෙක් වගෙයි කියලා ඇතැම් ප්‍රේක්ෂකයන් කියනවා. ඇත්තටම ඒ චරිතය ගොඩනගද්දී යම් කිසි දේශපාලකයකුව ආභාෂයට ගත්තාද? 
 
එහෙම කවුරුවත් ඉලක්ක කරගෙන ‍නෙවෙයි අපි ඒ චරිතය ගොඩනැගුවේ. අවසන් කොටස නැරඹුවාට පස්සේ ප්‍රේක්ෂකයන්ට මේ හැමදෙයක්ම තෝරා බේරාගන්න හැකි වේවි. 
 
කූඹියෝ මෙතරම් ජනප්‍රිය වෙලත් එහි නිර්මාණකරුවන්ට එයින් තවමත් පාඩුයි කියලාත් ඔබ මුහුණු‍පොතේ සටහනක් තබමින් පවසා තිබුණා. 
 
ඔව් තවත් කාලයක් තියාගෙන ඉන්න බැරි නිසයි අපි අඩු මුදලකට “කූඹියෝ” ස්වාධීන රූපවාහිනියට දුන්නේ. ටෙලි නාට්‍යයක් ලාබ ඉපැයුවා කියලා ලාබයෙන් කොටසක් එහි නිර්මාණකරුවන්ට දෙන ක්‍රමවේදයක් ලංකාවේ තවම ඇතිවෙලා නැහැ. ඒක ස්වාධීන රූපවාහිනියේ වරදක් ‍නෙවෙයි. ඒක මේ මුළු සිස්ටම් එකේම තියන වරදක්. මම ඒ අසාධාරණ ක්‍රමයට එරෙහිව දිගටම සටන් කරනවා.
 
කිෂාන් කංනකේ

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 526

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 243

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3208

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1802

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3781

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 4879

Please publish modules in offcanvas position.