Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

බොහෝ ගායක ගායිකාවන් තමන්ගේ ගීත වෙනත් අය ගායනා කරනවාට අකමැති බව ප්‍රසිද්ධ කාරණයක්. අපේ රටේ සංගීත ක්‍ෂේත්‍රයේ එවැනි වාතාවරණයක් තියෙද්දී සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් සංගීත කණ්ඩායම තමන්ගේ ගීත නෛතික වශයෙන්ම වෙනත් අයට පවරා දෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා ආරංචි වුණා. ඇත්තද ඒ කතාව?
ඔව් ඒක ඇත්තක්. අපි ඔය වෙනත් අයවගේ අපේ ගීත බදාගෙන ඉන්නේ නැහැ.ඒවා දෙන්න දෙන්න අපිට ලැබෙන දේවලුත් වැඩි වෙනවා කියලා මට දැන් තේරිලයි තියෙන්නේ.
 
හැබැයි ඒ ගීත දෙන්නේ නිකම්ම ‍නෙවෙයි. ඒ නිසා ජිප්සීස්ලා ඒ ගීත අලෙවි කරනවා කියලා කීවොත් වඩාත් නිවැරදියි නේද?
අපේ රටේ සමහරුන්ට මේක අමුතු දෙයක් වුණාට පිටරටවල නම් ලෝයල්ටි ගෙවලා මේ විදිහට ගීතවල අයිතිය පවරන  එක ලොකු දෙයක් ‍නෙවෙයි. බිට්ල්ස්ලාගේ කඥඵබඥපඤචර කියන ගීතය දහස් වතාවකට වඩා අලුතෙන් ගායනා වෙලා තියෙනවා. අපිත් ගීත සඳහා අපි ඉල්ලන වටිනාකම ගෙවන අයට ඒවා පාවිච්චි කිරීමේ අයිතිය ලබාදෙනවා.
 
ජිප්සීස්ලා එක ගීතයක අයිතිය පවරන්න කොච්චර මුදලක් බලා‍පොරොත්තු වෙනවාද? 
රුපියල් විසිපන්දාහයි. රුපියල් විසිපන්දාහක් ගෙවලා ඕනෑම කෙනෙකුට අපේ ගීතයක අයිතිය ලබා ගන්න පුළුවන්. 
 
ඒ කියන්නේ රුපියල් විසිපන්දාහක් ගෙව්වාම ඒ ගීතයේ සම්පූර්ණ අයිතියම ඒ මිලදී ගන්නා කෙනාට හිමිවෙනවා?
ගීතය මිලදී ගන්නා කෙනාට එය ප්‍රසංගවලදී ගායනා කරන්න පුළුවන්. අලුතෙන් ගායනා කරලා ගී තැටිවලට ඇතුළත් කරන්නත් පුළුවන්. හැබැයි කැරොකේ සඳහා ඒ ගීත භාවිතා කිරීම තහනම්.
 
ඒ ගීත රිමික්ස් කරලා ගායනා කළොත් ?
ඒකට කමක් නැහැ. කොහොමත් ජිප්සීස්ලා ගායනා කරපු විදිහටම නැතුව ඒවායේ සංගීතය වෙනස් කරලා ගායනා කරන්න කියලා තමයි අපි ඒවා මිලදී ගන්නා අයට කියන්නේ.
 
ජිප්සීස්ලා ගයපු ගීත අතරේ වෙනත් පද රචකයන් සහ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ දායකත්වයෙන් නිර්මාණය වු ගීතත් තිබෙන්නට පුළුවන්. ඔවුන්ව අමතක කරලාද එක ගීතයක වටිනාකම රුපියල් 25,000යි කියලා තීරණය කළේ?
කොහෙත්ම නැහැ. සංගීත අධ්‍යක්ෂණය සහ පද රචනය වෙනුවෙන් ගෙවන මුදලුත් එක්ක තමයි අපි එක ගීතයක වටිනාකම රුපියල් 25,000කට නියම කරලා තියෙන්නේ. එහෙම වුණොත් සංගීත අධ්‍යක්ෂවරයාට සහ පද රචකයාට රුපියල් 10,000ගානේ ලැබෙනවා. ජිප්සීස්ලාට එක ගීතයකින් ලැබෙන්නේ රුපියල් 5000යි.
 
මේ විදිහට ගීත අලෙවි කළාම ඉදිරිකාලයේදී ජිප්සීස්ලාට ගායනා කරන්න ගීත නැතිව යාවි නේද?
එහෙම වෙන්නේ නැහැ. මොකද මේ විදිහට අයිතිය පැවැරුවා කියලා ජිප්සීස්ලාගේ අයිතියට කිසිදු හානියක් වෙන්නේ නැහැ. මොකද ඒවා ඉදිරියටත් ජිප්සීස්ලාට ගායනා කරන්න පුළුවන්. ගීත පැවැරුවා කියලා ඒ අයිතිය අපි නැතිකරගන්නේ නැහැ. අනික ඒ ගීත වෙනුවෙන් ඉදිරිකාලයේදී කර්තෘ භාග ගෙවනවානම් ඒවා ලැබෙන්නෙත් ජිප්සීස්ලාටම තමයි.
 
'ෂැඩෝ ස්ටාර්' තරගයට ඉදිරිපත් වූ අනුර පළිහවඩන කියන්නෙත් ඒ විදිහට ජිප්සීස්ලාගෙන් ගීත මිලදී ගත් කෙනෙක්?
ඔව්, ඔහුටත් අපි ගීත 12ක් දුන්නා. ගීත 12ක් මිලදී ගත් නිසා එක ගීතයක් 25000කට අඩුවෙනුයි ඔහුට ගීත දුන්නේ. හැබැයි ඔහුට පවරා දුන් ගීත පවා අපි වෙනත් අයටත් දීලා තියෙනවා.
 
ඒ කියන්නේ ජිප්සීස්ලා එක ගීතයක් බොහෝ දෙනෙකුට අලෙවි කරනවා.
ඔව්, ඒකනේ මම මුලින්ම කිව්වේ රුපියල් විසිපන්දාහක් ගෙවන ඕනෑම කෙනෙකුට අපේ ඕනෑම ගීතයක් මිලදී ගන්න පුළුවන් කියලා.
 
කිෂාන් කනංකෙ
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

ජීවිතය දෝලනය වෙන්නේ සතුටයි දුකයි අතර බව ඔබ මේ වන විට වටහාගෙනද ඉන්නේ.
පුංචිම කා‍ලේ ඉඳලාම ජීවිතය පුරාවට සතුටයි දුකයි අපි අත් විඳිනවා. ඒත් දුක කියන්නේ මොකක්ද කියලා මට හරියටම වැටහුණේ විජයගේ හදිසි අභාවයෙන් පස්සේ.
 
කොහොමද ඒ දුකට මුහුණ දුන්නේ? 
අඬලා දුක තුනී කරගන්න පුළුවන් නම් මහ සාගරේ තරම් මම කඳුළු හෙළනවා. ඒත් අඬලා විජය නැති දුක තුනී කරගන්න බැරි බව මම දැන ගත්තා. මරණය දක්වාම මගේ හිතින් ඒ දුක මැකී යන්නේ නැති බවත් මම දන්නවා. අනික විජය මගේ ජීවිතයට ඉතිරි කරලා ගිය දුව, පුතා, මිනිබිරී, බෑණා වෙනුවෙන් මා ජීවත් විය යුතුයි. විජයගේ අඩුව ඒ අය වෙනුවෙන් පිරවිය යුතුයි. 
එහෙම හිතලා හිත හදාගන්න මම අදටත් උත්සාහ කරනවා. ඉස්සර ඉඳන්ම අපි බුදු දහමට නැඹුරු වූ පවුලක්. අටලෝ දහම මේක නේද කියලා හිත හදා ගන්න මම අදටත් හැම වෙලාවෙම උත්සාහ කරනවා. 
 
ගැහැනියක ලෙස එවන් දුකක් ඔබ අත් වින්දත් ෙදෛවය විසින් වෙනත් නිළියකට ලබා නොදෙන වරප්‍රසාද රැසක් ඔබට ලබා දුන්නා. ඒ ගැන සතුටක් නැද්ද? 
අනිවාර්යයෙන්ම සතුටුයි. ශ්‍රී ලංකාවේ පළමු ටෙලිනාට්‍ය නිළිය වෙලා ඉතිහාසයට එකතුවීමට දෛවය මට අවස්ථාව ලබා දුන්නා. හෙට දවසේ අලුත් අලුත් අය එයි. ඒත් ප්‍රථම ටෙලි නාට්‍යය නිළිය වීමේ වරම උදා වුණේ. දිමුතු මුතු ටෙලි නාට්‍යයේ නන්දා වූ මටයි. මමවත් නොහිතපු වෙලාවක අහම්බෙන් ඒ අවස්ථාව මට හිමි කර දුන් ඩී.බි. නිහාල් සිංහයන්ව මම මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා. 
 
ඔබේ නිළි ජීවිතයේ ස්වර්ණමය යුගයේ විඳි සතුටුදායක මතකයන් යළි සිහිපත් කළොත්? 
පළමු නිළිය වුණා වගේ පළමු ටෙලි සම්මාන උළෙ‍ලේ ජනප්‍රිය නිළිය හා හොඳම නිළිය ලෙස සම්මාන මට ලැබුණා. හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතා රඟපෑ කළු හා සුදු ටෙලි නාට්‍යයේ ඔහු හා රඟපාන්න අවස්ථාව ලද එකම ටෙලි නිළිය වුණෙත් මමයි. ඒ වගේම විවිධ ක්‍ෂේත්‍රවල අංක එකට සිටින අය දස දෙනෙකුට සම්මාන දෙන Top ten උළෙලෙහි මටත් සම්මානයක් ලැබුණා. 
 
දේවිකා මිහිරානිගෙ ජීවිතේ වඩාත්ම සතුටු වූ අවස්ථාව මේ අතරින් කුමන අවස්ථාවද? 
ඔය එකක්වත් ‍නෙවෙයි විජය නන්දසිරි හා විවාහ වූ දවස. 
 
ඉන්පසු සතුට වූ අවස්ථා මොනවා දැයි ඇසුවොත් මුලින් කී අවස්ථා අතරින් මතකයට එන්නේ කුමන අවස්ථාවද? 
ඔය එක අවස්ථාවක්වත් ‍නෙවෙයි. දුව ඉපදුණ දා. පුතා ඉපදුන දා. දියණිය විවාහ වූ දා මිනිබිරී උපන්දා, පුතා ගුවන් නියමුවෙකු වූ දා වැනි අවස්ථා තමයි මතකයට එන්නේ. 
 
තරු කිරුළ අතෑරලා නිවසට කොටු වුණේ වැඩි සතුට තියෙන්නේ පෞද්ගලික ජීවිතය තුළ නිසාද? 
ඇත්තටම හේතුව ඒක තමයි. මම රඟපෑමට දෙවැනි තැන දුන්නේ බිරිඳක්, මවක් විදියට ජීවිතයට මුහුණ දෙන්න කැමති නිසා. විජයට කලා ජීවිතය තුළ ඉහළට යන්න හැකි වුණේ මම කරපු ඒ කැප කිරීම හින්දා. 
 
අද ඔබ ජීවිතයේ සතුට සැනසුම අත් විඳින්නේ කොයි විදියටද? 
විජයගේ මරණයෙන් පසු කාලයක් දුව මා සමග හිටියා. මේ දවස්වල ඇයයි මිනිබිරියයි ආයෙම ලංකාවට ඇවිත් ඉන්නවා. දවසම ගෙවෙන්නේ මිනිබිරියගේ කටයුතු වෙනුවෙන්. මගේ නංගිලත් නිතරම යනවා එනවා. අපි නිතරම විජය වෙනුවෙන් පින්කම් කරනවා. ඔය විදියට තමයි අද දවස ගෙවෙන්නේ. ඒ ගෙවී යන හැම දවසකම විජය පිළිබඳ දුක්බර මතකයන් වගේම සතුටු කඳුළුත් අවදි වෙනවා. 
 
ආරියවංශ කුලතිලක
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

ඔබේ අදහසට අනුව දක්ෂතම නිළිය වීමට තිබිය යුතු මූලික සුදුසුකම් මොනවාද?
උපතින් උරුම වූ කුසලතාවය, අවට සමාජය හා චරිතය ගැන ඇති අවබෝධය. පිටපත හා තමන්ගේ චරිතය වටහා ගැනීමේ හැකියාව, අධ්‍යක්ෂවරයාට අවශ්‍ය චරිතය තමා තුළින් මතුකිරීමේ හැකියාව. එසේ නැතහොත් චරිතයට සාධාරණයක් කිරීමේ හැකියාව, මේ සියල්ල එක්ක උනන්දුව, කැපවීම, දර්ශන තලයේ හැසිරෙන විදිය තමයි වඩා වැදගත් වෙන්නේ.
 
මේ වනවිට ඔබ දක්ෂතම නිළිය ලෙස ලැබූ සම්මාන හා සමස්තයක් ලෙස ඔබ ලැබූ සියලුම සම්මාන ගැන කතාකළොත්?
මම දක්ෂතම නිළිය විදියට සුමති සම්මාන උළෙලවල් තුනකදී සම්මාන තුනක් ලබාගෙන තිබෙනවා. වෙනත් ටෙලි නාට්‍ය හා සිනමා උළෙලයන්හිදීත් සම්මාන ලබාගෙන තියෙනවා. ඒ විදියට බැලුවොත් මේ වනවිට සම්මාන 11ක් ලබාගෙන තිබෙනවා. හොඳම නිළිය, හොඳම සහය නිළිය, නැගී එන නිළිය වැනි සම්මාන වගේම 1995 පැවැති ප්‍රථම සුමති සම්මාන උළෙ‍ලේ දී ජනප්‍රිය නිළිය ලෙසත් සම්මාන දිනාගත්තේ මමයි. 
 
නළුවෙකුගේ හෝ නිළියකගේ වටිනාකම වැඩි වීමට සම්මානයක් හිමිවීම ඉවහල් වන්නේ මොන විදියටද? 
සැබෑ සම්මානයකින් නම් ඒ දේ වෙනවා. 1995 මම ජනප්‍රිය නිළිය සම්මාන ලබා ගන්නා විට 'දූ දරුවෝ' ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපාලා මම ඉහළම ජනප්‍රියත්වය ලබලයි තිබුණේ. ජනප්‍රිය නළු නිළි සම්මාන ලබන අය දිහා බලලා ඒ කවුද..? කියලා අහන මට්ටමක් එදා තිබුණේ නැහැ. දක්ෂතම නළු නිළි සම්මාන හිමි වූ පසුත් ඊට වඩා අසවලා දක්ෂයි නේද? කියලා මතයක් ගොඩ නැඟෙනවා නම් වැඩක් නැහැ. ඒ වගේ සම්මාන ලබා ගත්තත් ඒ වටිනාකම තියෙන්නේ ටික කාලයයි.
 
කොයිතරම් දක්ෂ නළු නිළියන්ට වුණත් රඟපාන්න අවස්ථා නැත්නම් දක්ෂතා පෙන්වන්න බැහැ. අද හොඳ නිර්මාණ බිහිවන්නේ නැති බව, ටෙලි නාට්‍යය කලාව වැටී ඇති බව ශ්‍රියන්ත මෙන්ඩිස් මහතාගේ පවා අදහස වී තිබෙනවා. ඔබත් එම අදහසට එකඟද? 
ඇත්තටම ඔව්. මම කාටවත් බය නැහැ. මම විවෘතව ඇත්ත කතා කරනවා. මට එක්තරා ප්‍රවීණයෙක් පැවැසුවා නිල්මිණි දැන් ටෙලි නාට්‍යවල දිගටම ඉන්න නම් ඇමැති කෙනෙකුගේ කරේ එල්ලෙන්න කියලා. ඇත්ත ඒ කතාව, ඒ විදිහට එල්ලෙන අයව ටෙලි නාට්‍යවල ප්‍රධාන චරිතවලට ගන්න කියලා අදාළ ඇමැතිතුමා ලවා නාලිකාවලට බලපෑම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටෙලි නාට්‍යය කෙරෙන්නේ ඒ නිළියට ඕන විදිහට. ප්‍රවීණයන්ට පවා බල පරාක්‍රමය පතුරුවමින් ඇය පැමිණෙනවා. ඒ වගේ පසුබිමක හොඳ නිර්මාණ බිහිවෙයිද? මා තවත් උදාහරණයක් කියන්නම්. මේ ළඟදී දවසක එක්තරා පිටපත් රචකයෙක් මට කී දෙයක් තමයි ඒ, ඔහු තමන්ගේ පිටපතේ ප්‍රධාන චරිතවලට දක්ෂ නළු නිළියන් යෝජනා කරද්දී නිෂ්පාදන සමාගම එය ප්‍රතික්‍ෂේප කරලා රඟපෑමේ හැකියාව නැති නිකම්ම නිකම් කීප දෙනෙකුව යෝජනා කළාලු. රචකයා ඊට විරුද්ධ වුණාම ලැබුණු පිළිතුර මොකක්ද දන්නවාද? අපි මේ නළු නිළියෝ ගන්නේ ඒ අයත් එක්ක වැඩකරන්න පහසු නිසා. ඒ අය තමන්ගේ වාහනවල එන්නේ. තමන්ගේම ඇඳුම් ගේනවා. ලන්ච් එකත් අරගෙන එනවා. ඉතින් අපිට වියදම අඩුයි ඔන්න ඕකයි අද තත්ත්වය. ඊට අමතරව අද එක පෙළට රූපවාහිනී නාලිකාවලින් හඬ කවපු ඉන්දීය නාට්‍ය විකාශය කරනවා. කරපු ටෙලි නාට්‍ය පෙන්නන්න විදියක් නැතුව අපේ නිෂ්පාදකවරු ළත වෙනවා. ඔය හේතු දිහා බලද්දී ටෙලි නාට්‍ය කලාව වැටිලා තියෙන කතාව සියයට සියයක් ඇත්ත. 
 
ආරියවංශ කුලතිලක
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

වෛද්‍ය වෘත්තිකයන් හෙවත් දොස්තර මහත්වරුන් පිළිබඳව මේ වන විට විවෘත සමාජ කථිකාවක් ඇතිවී තිබේ. ඒ අතර තම වෘත්තීය අයිතීන් වෙනුවෙන් සටන් වදින වෘත්තිකයන් අතරින් දොස්තර මහතුන් කවදත් පෙරමුණේ සිටින බව ද රහසක් නොවේ.

එහෙත් අප අද මේ කතාකරන්නට යන්නේ දොස්තර මහතෙකු වෙතින් ඉටුවෙන ඊට ඉඳුරාම වෙනස් ආකාරයක සමාජ මෙහෙවරක් පිළිබඳවය එනම් අනාගත පරපුරට සොබාදහම රැක ගැනීම සම්බන්ධ පාඩම් කියාදීමක් සඳහා සමනලුන් ගවේෂණය කරන දොස්තර මහතෙකු  පිළිබඳවය.

මේ අපූරු දොස්තර මහත්තයා වෛද්‍ය ‍නුවන් තොටවත්තය.

මේ වන විට ඔහු ප්‍රජා වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධියක් ලබා ගැනීමට ද කටයුතු කරමින් සිටී.

“ස්බාදහම කියන්නේ අපට කවදාවත් අතික්‍රමණය කරන්න බැරි මේ ලෝකයේ ඇති විස්මිත නිමැවුමක්. ඒ ස්බාදහම පිළිබඳ පාඩම් කුඩා දරුවන්ගේ මනැස් තුළට පිවිසීම ලෝකයේ මතු පැවැත්මට මහත් සේ ඉවහල් වනවා. කුඩා දරුවන් ස්වභාවයෙන්ම සමනලුන්ට කැමතියි. ඒ උන්ගේ විශේෂිත වර්ණ සහ හැසිරීම් රටාව ළමා‍ මනස තුළ ඉක්මනින් පැලපදියම් වන නිසයි. කුඩා දරුවන්ගේ මේ රුචිය මා හොඳින් වටහා ගත්තා.

ඒ අනුව තමයි මම කුඩා දරුවන් හට ස්බාදහමේ අගය පැහැදිලි කිරීමේ මුල් අදියරක් ලෙස මේ සමනල ගවේෂණයට පිවිසියේ.”

වෛද්‍ය නුවන් තොටවත්ත කියයි.මාතලේ ක්‍රිස්තුදේව, ශාන්ත තෝමස් සහ රජයේ විද්‍යා විද්‍යාලය යන පාසල් වලින් අධ්‍යාපනය ලබා 2002 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට පිවිසි ඔහු 2008 වසරේ ඉන් පිටව රජයේ වෛද්‍යවරයකු ලෙස සේවයට එක් වුණි. කුඩා කල සිටම දියසායම් සහ පැස්ටල් ඇසුරින් චිත්‍ර ඇඳීමටත්, සමනලුන් ගවේෂණය කිරීමටත් යොමු වූ මේ තරුණ වෛද්‍යවරයා මෙම සමනල මෙහෙයුමට වඩාත් ප්‍රබල ලෙස එක් වූයේ සරසවියේ අවසන් කාලයේ දීය. අද වන විට සමාජයේ විවිධ තරාතිරම් වලට අයත් පනහක හැටක පමණ පිරිසක් සමඟ සමනල ගවේෂණයටත්, සමනල ඡායාරූපකරණයටත් යොමු වී සිටින ඔහු ඉන් කිහිපදෙනෙකු සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සමනල ගවේෂණයේ යෙදීමට අමතක නොකරයි.

“අපේ රටේ වියළි, ශූෂ්ක, පහතරට තෙත්, මධ්‍යම කඳුකර, මුහුදුබඩ ප්‍රදේශ ආදී විවිධ පාරිසරික කලාප වල සමනල විශේෂ 246 පමණ දක්නට ලැබෙනවා. ඒවා අතරින් 25ක් පමණ ශ්‍රී ලංකාවට පමණක් ආවේනික බවයිමේ වන විට අනාවරණය වී ඇත්තේ. ඒ අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් වදවීමේඅවධානමකට ලක්ව ඇති බව IUCN (international Union for Conservation of Nature)රතුදත්ත වාර්තා වල සඳහන් ඒ පාරිසරික විනාශය වැලැක්වීම සඳහා ගත යුතු මුල්මපියවර ඒ සමනල වර්ග හඳුනාගැනීමයි. ඔවුන්ගේ මතු පැවැත්ම තහවුරු කෙරෙනක්‍රියාමාර්ග ගත යුත්තේ ඉන් පසුවයි."

ඒ අනුව නිශ්චිත කාලවල දී නිශ්චිත ප්‍රදේශ වල සමනල ගවේෂණය කිරීමෙන් සාර්තක ප්‍රතිඵල ලැබිය හැකියි.”

වෛද්‍ය නුවන් තොටවත්ත කියයි.

“පායන කාලයක් ඉවරවෙලා වැස්සක් දෙකක් වැටුණට පස්සේ මඳ හිරු එළිය සහිත එක් එක් සමනල විශේෂයන්ට ගොදුරු කර ගත හැකි ශාක බහුල පරිසර කලාපයන් තුළ සමනලුන් නිරීෂණය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

සාර්ථක සමනල නිරීක්ෂණයක් සඳහා ඒ විෂය සම්බන්ධයෙන් පූර්ව දැනුවත් කමක් තිබීම වඩාත් වැදගත්. ඒ වගේම මේ සමනල නිරීක්ෂණයේ දී ඉවසීමේ ගුණයත් ඉතාම වැදගත් වෙනවා. එය ඉතා හොඳ මානසික අභ්‍යාසයක්. ඒ වගේම සමනලුන්ගේ හැසිරීම් රටා සහ ඉරියව් නිරීක්ෂණය කිරීමත් මානසික ව්‍යාකූල තා සමනය කරවන යහපත් අභ්‍යාසයක්. ඒ වගේම සමනල නිරීක්ෂණය පා ගමනින්ම කළ යුතු දෙයක්. එය යහපත් කායික ව්‍යායාමයක් ලෙසද යොදා ගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් විද්‍යාව න්‍යායිකව ඉගෙන ගැනීමට අප සමහරුන් තුළ ස්වභාවික මානසික පසුබැස්මක් තිබෙනවා. නමුත් තමන් ප්‍රිය කරන ජීවීන් විශේෂයක් වන සමනලුන් පිළිබඳව අධ්‍යයනය කිරීම මුල් කොට විද්‍යාත්මක කරුණු වෙත පිවිසීමෙන් ඒ අරුචිය නැති කරගන්නට පුළුවන්. ඒ නිසා යමෙකු තුළ ස්වභාවිකව පිහිටිය හැකි කලාව තුළින් විද්‍යාවට පිවිසිය හැකි පහසු මං පෙතක් ලෙසද මේ සමනල නිරීක්ෂණය යොදා ගන්නට පුළුවන්.”

වෛද්‍ය තොටවත්ත කිය.

නව පරපුරේ දක්ෂතම කවියෙකු සේම ඡායාරූප ශිල්පියෙකු ද වන වෛද්‍ය නුවන් තොටවත්ත සමනලයන් ගැන කියන රසවත් කතා රැසක් බලාපොරොත්තු වන්න.

දමයන්ති ගමගේ

 

වයස අවුරුදු 99 වන විට අද සමාජයේ බොහෝ දෙනෙකු මෙලොව හැර ගොසිනි. ජීවත්ව සිටිනවුන්ද ජීවිතයේ අග එල්ලී සිටින්නාක් මෙන් ඔත්පලව යහනෙහි වැතිර සිටිනු දක්නට පුළුවන. ඒ අතරින් වයස අවුරුදු 99 යෙදීත් ක්‍රියාශීලි දිවිපෙවෙතකට හිමිකම් කිව හැක්කේ ඉතා කලාතුරකින් අයෙකුට පමණි.

දිවි ගමනේ අනූ නව වියේ පසුවන නෙළුව, ඇඹු‍ලේගෙදර (උතුර) ගම්මානයේ පදිංචි පස් දරු මාතාවක් තවමත් තම ගෙවත්තේ තේ ඉඩමේ තේ දළු නෙලෙමින් වත්තේ පිටියේ වැඩෙහි යෙදෙමින් හිඳිනු අපට දක්නට ලැබුණි.

1918ජූලි මස 15වැනි දින හිිනිපදුම්පත්තුවේ ඕපාත ඇල්ගිරිය ගෙදර උපත ලද ඇය තවලම ගමගේ ලීලාවතී මාතාවය. 1940 ජනවාරි මස 16දින  නෙළුව ඇඹ‍ලේගෙදර ගම්මානයේ පදිංචිව සිටි එදිරිසිංහ පීටර් මහතා සමග විවාහ වී ඇති අතර දරුවන් පස්දෙනකු ලද  ඇයට මේ වන විට තම දු දරුවන් සමග දරු මුණුපුරන් මිනිපිරියන් තිස් එක් දෙනකුගේ සෙනෙහස ලබමින් නිරෝගී සුවයෙන් කල් ගෙවන්නීය.  ඇයගේ නිවෙස අසලින් ගලා බසින ගිංගඟට ගොස් තනිව දිය නෑමට පුරුදුව සිටින ලීලාවති මාතාව තම පදිංචි ගෙවත්තේ පිහිටි තේ ඉඩමේ තේ දලු නෙලීම මෙන්ම උදැල්ලක් ගෙන වත්තපිටිය වැඩකටයුතුවල යෙදීමට ද පසුබට නොවන්නීය.

ඇයගේ 99 වැනි උපන්දිනය පසුගිය 15 වෙනි දිනට යෙදී තිබුණු අතර එදින ඇයගේ දූ දරුවෝ සහ මුණුපුරු මිනිපිරියෝ එක්ව ඇයගේ උපන්දිනය වෙනුවෙන් දානමය පින්කමක් පවත්වා ඇයට ආශිර්වාද කළහ.

දිවිගමනේ 99 වැනි වියේ පසුවන තවලම ගමගේ ලීලාවතී මහත්මිය තම ජීවන ගමනේ තොරතුරු අප සමග මෙසේ පැවැසුවාය.

“හිනිදුම ඕපාත ඇල්ගිරිය ගෙදර මම 1918 /07/15 දින උපත ලැබුවා. අපේ පවු‍ලේ සහෝදර සහෝදරියන් පස් දෙනකු (05) සිටියා. දැනට ජීවතුන් අතර සිටින්නේ මගේ නංගිලා දෙන්නෙක් පමණයි. ඔවුන් දෙදෙනා ඕපාත සහ විරපාත ප්‍රදේශවල ජීවත් වී සිටිනවා. මම ඕපාත ඉස්කෝ‍ලේ හය පන්තියට පමණයි ගියේ. ඒ කාලයේ අපේ පන්තියේ සිටියේ ළමයින් හතර දෙනයි. ඉන් ළමයින් තුන් දෙනෙක් හිටිය ගමන් පාසල් ඒම නතර වුණ නිසා මම විතරයි පන්තියේ ඉතුරු වුණේ. පස්සේ මමත් පාසල් ගමන නතර කළා. මට උගන්නපු ගුරුතුමිය තැන්නගෙදර ඉස්කෝ‍ලේ හාමිනේ. මම 1940/01/16 දින ඇඹ‍ලේගෙදර ගමේ සිටිය එදිරිසිංහ පීටර් මහතා සමග  විවාහ වුණා. අපේ විවාහය සිදුවුණේ යෝජනාවකින්. අපේ තාත්තා හඳුනන කෙනෙක් මගින් තමයි සිදුවුණේ. මගේ මහත්තයා මා බලන්න ඇවිත් එදා ඔහු අපේ ගෙදර නැවතුණා. ඊට පසුදින ඔහු මා ඇඹ‍ලේගෙදර එක්කරගෙන ආවා. එදා ඕපාත හිඳලා සැතපුම් 8ක් පයින් ඇවිත් තවලම ඉදලා. තිරික්කලයෙන් තමයි නෙළුවට ආවේ. අපේ මහත්තයගේ ගෙදර එන්න ගිංගඟෙන් එගොඩ වෙන්න ඕනෑ. අපි තිරික්කලයෙන් ඇවිත් මාවනාවෙන් බැහැලා ඔරුවකින් ගිංඟගෙන් එගොඩවෙලා තමයි මේ ගෙදර ආවේ. එදා ( 1940/01/16) උදේ 8.00ට ඕපාතින් පිටත් වුණු අපි දෙන්නා ගෙදරට එනවිට සවස 4.00 -5.00විතර වුණා. පා ගමනින් තිරික්කලයෙන් ඔරුවෙන් යන ක්‍රම තුනකින් තමයි මම එදා මේ ගමට ආවේ. එදා මම මේ ගමට පැමිණෙන විට ගමේ ගෙවල් 10යි තිබුණේ. මේ පළාතෙක කඩයක් තිබුණේ නැහැ. අපේ මහත්තයා උදේ පාන්දර හිනිඳුම මහ කඩේට ගිහින් මාසයකට සෑහෙන කඩෙන් බඩු ගෙනාවා.කොස්වත්ත සමූපකාරයට. ඒ සඳහා ඔහුට රුපියල් පනහක් (50) පඩියක් ලෙස ගෙව්වා. එදා අපට ජීවත් වෙන්න තේ තිබුණේ නැහැ. රබර් තමයි තිබුණේ. එදා රබර් කිලෝවක් මිලදී ගත්තේ රුපියල් දෙකකට ( රු. 2/- ) ඒ  කාලයේ නෙළුව නගරයටම තිබුණේ කඩ දෙකක් පමණයි. හරි අමාරුවෙන් ජීවත් වුණත් හරිම සතුටින් තමයි අපි ජීවත් වුණේ”.

තවමත් කායික හා මානසික සුවයෙන් දිවිගෙවන ඇය උපැස් යුවළක් භාවිතා නොකර පුවත්පත් කියවන අතර ඇයගේ එදිනෙදා කටයුතු කිසිවෙකුගේ ආධාරයකින් තොරව කරගෙන යන්නීය. බත් කිරිහොදි මී කිරි සහ පලා මැල්ලුමක් එක්කරගෙන ආහාරයට ගැනීමට ඇය ප්‍රියකරයි. මෙලෙස නිරෝගී සුවයෙන් කල් ගෙවීමට එකම රහස එම ආහාර රටාව සහ නිකරුණේ කාලය ගත නොකර තම ගෙවත්තේ වැඩපළෙහි යෙදීම බව ඇය පවසන්නීය.

කෙසේ හෝ තවමත් මෙලෙස කාටවත් බරක් නොවී තම දිවිපෙවෙත ගෙනයාමට වාසනා මහිමයක් හිමි මේ මාතාවට අවුරුදු 120 ක් නිදුක් නිරෝගී දිවිපෙවෙතක් ගත කිරීමට වාසනාව හිමිවේවායි! අපිදු පතමු.

ඇල්පිටියේ විජේසිංහ සූරියආරච්චි

 

 

අද කාලයේ බොහෝ දෙනෙකු විවාහ වීමට සිහින මවන්නේ මුදල් හදල්, ගේ දොර, යාන වාහන ආදියෙන් ‍පොහොසත් ඉහළ මට්ටමේ සහකරුවන් සහකාරියන් සමගය. එවැනි කාලයක ආදරය, විවාහය වෙනුවෙන් රජ සැප පවා අත්හැරීමට සූදානම් වන රාජ කුමාරිකාවක ගැන අසන්නට ලැබිම තරමක් දුර්ලභ කාරණාවකි. නමුත් එවැනි කතා පුවතක්  ජපානයෙන් වාර්තා වන අතර පසුගිය  සතියේ මෙම අමුතු ආදර කතාවට ලෝකයේ ජනමාධ්‍ය තුළ ප්‍රධාන තැනක් හිමිව තිබිණි.
මේ ආකාරයෙන් සිය ප්‍රේමය වෙනුවෙන් රජ සැප අත් හැරීමට සූදානම් වන්නේ ජපානයේ වත්මන් අධිරාජයා වන අකිහිතෝ අධිරාජයාගේ සහ මිචිකෝ අධිරාජිනියගේ වැඩිමහල් මිණිපිරිය වන මාකෝ කුමරියයි. 22 වැනි වියේ පසුවන මාකෝ කුමරිය ප්‍රේමයෙන් බැඳී සිටින්නේ ඇය විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියදී එහිදී මුණ ගැසුණු, ඉතා සාමාන්‍ය පවුලක තරුණයෙකු සමගය. ඔහුගේ නම කොමුරෝ ය. ජපාන රජ පවු‍ලේ සම්ප්‍රදාය අනුව එම පවු‍ලේ කාන්තාවක සාමාන්‍ය කෙනෙකු සමග විවාහ වුවහොත් ඇයට හිමි රාජකීය  තත්ත්වය අහිමි වී යයි. රජ පවු‍ලේ පිරිමින්ට මෙය අදාළ වන්නේ නැත. රාජකීය තත්ත්වය අත් හැරීමත් සමග රජ පවුල තුළ හිමි වරප්‍රසාද, සැප සම්පත් බොහොමයක්ද ඒ අනුව අහිමි වී යයි.
මාකෝ කුමරිය සහ කොමුරෝ අතර ආදර සම්බන්ධයට දැන් වසර කිහිපයක් ගත වී ඇත. ඔවුන් දැන් සූදානම් වන්නේ යුග දිවියට එළැඹීමටය. මේ අතර  කොමුරෝ සමග විවාහ වීම සඳහා තමා රාජකීය තත්ත්වය අත්හරින බව පසුගිය සතියේ මාකෝ කුමරිය නිල වශයෙන් නිවේදනය කළාය. තමා මුලින්ම ඔහුට ආදරය කරන්නට පෙළඹුණේ හිරු එළිය බඳු ඔහුගේ දීප්තිමත් සිනහව නිසා යයි ඇය මාධ්‍ය හමුවේ පවසා සිටියාය. එමෙන්ම ඔහු ඉතා ලෙන්ගතු හදවතක් ඇති, දැඩි ආත්ම විශ්වාසයක් සහිත, මහන්සි වී වැඩ කරන කෙනෙකු බවද ඇය සඳහන් කරයි. කොමුරෝ සමග එක්ව ඉතා උණුසුම්, සුවපහසුවෙන් සහ සිනාවෙන් පිරි පවුල් ජීවිතයක් ගොඩනගා ගැනීම තමාගේ අපේක්ෂාව බවද කුමරිය සඳහන් කර තිබිණි. මේ අතර කොමුරෝද සඳහන් කර ඇත්තේ නිස්කලංක බව සහ සමාදානය පිරි නිවහනක් ඇති කර ගැනීම තමාගේ ද ආශාව බවයි. කොමුරෝ නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරන්නෙකු වන අතර සංගීතයටද දැඩි කැමැත්තක් දක්වන  බව සඳහන්ය. ඔහු පියානෝ වාදනයට දක්ෂකම් දක්වන කෙනෙකු බවද පැවසේ.
මේ දෙදෙනා මුල් වරට මුණ ගැසී ඇත්තේ විදේශයන්හි අධ්‍යාපනය ලැබිම සම්බන්ධයෙන් ටෝකියෝ හි පැවැති මූලික වැඩසටහනකදීය.එයින් පසු දෙදෙනා විදෙස්ගතව ඇති අතර කොමුරෝ ඇමෙරිකාව බලාද, මාකෝ බ්‍රිතාන්‍යය බලාද නික්ම ගොස් තිබේ.
වසරක් ගතවන තුරු ඔවුන් එකිනෙකා ඇසුරු කර ඇත්තේ මේ ආකාරයෙන් දුරස්ථවය. පසුව කොමුරෝ මාකෝ වෙත සිය ආදරය ප්‍රකාශ කර ඇති බව පැවසෙන්නේ 2013 වසරේයි. එයින් පසු මාකෝ කුමරිය සිය ආදරවන්තයා තම මව්පියන්ට හඳුන්වා දී ඇති අතර සිය දියණිය ඔහු විවාහ කර ගැනීම සම්බන්ධයෙන් මව්පියන්ගෙන් විරුද්ධත්වයක් පළ වී නැත.
මාකෝ කුමරියගේ පියා වන්නේ අකිෂිනෝ කුමරුයි. ඔහු ජපානයේ කිරුළ හිමි ලැයිස්තුවේ දෙවැනි තැන සිටින්නාය. වත්මන් අධිරාජයා වන අකිහිතෝ ගෙන් පසු රජකම හිමිවන්නේ ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන නරුහිතෝ කුමරුටයි. එම ‍පෝලිමේ ඊළඟට සිටින්නේ මාකෝ කුමරියගේ පියා වන අකිෂිනෝ කුමරු වන අතර ඔහු නරුහිතෝ ගේ බාල සහෝදරයා වෙයි. නරුහිතෝගෙන් පසු අකිෂිනෝට කිරුළ හිමි වන්නේ නරුහිතෝට පිරිමි දරුවන් නැති වීම නිසාය. අකිෂිනෝගෙන් පසු රජකමට උරුමකම් කියන්නේ ඔහුගේ පුත්‍රයාය. එනම් මාකෝ කුමරියගේ බාල සහෝදරයා වන හිසාහිතෝ කුමරුය.
තමා මාකෝ කුමරිය විවාහ කර ගැනීම සම්බන්ධයෙන් ඇගේ මව්පියන්ගේද, ඇගේ සීයා වන අකිහිතෝ අධිරාජයාගේද අවසරය හිමි වීම ගැන කොමුරෝ බලවත් සතුටට පත්ව සිටියි.
මෙම අපූරු පෙම්වතුන් දෙදෙනාගේ විවාහය සිදුවන්නේ කවදාද යන්න සම්බන්ධයෙන් තවමත් ස්ථිර තීරණයක් නොමැත. රජ පවු‍ලේ විවාහයන් හා බැඳුණු සම්ප්‍රදායන් බොහොමයක් පවතින අතර ඒ සියල්ලෙන් පසු ලබන වසරේ ඔවුන් විවාහ දිවියට එළැඹෙනු ඇති බවට අදහස් පළ වෙයි.
මාකෝ කුමරියගේ නැන්දණිය, එනම් පියාගේ සොහොයුරිය වන සයාකෝ කුමරියද මේ ආකාරයෙන්ම සාමාන්‍ය කෙනෙකු සමග විවාහ වී රජ සැප අත් හැරියාය. 2005 වසරේදී ඇය සාමාන්‍ය පවුලක කෙනෙකු වූ යොෂිකි කුරෝදා සමග විවාහ වූ අතර මේ වනවිට පූජකවරියක ලෙස දැඩි ආගමික ජීවිතයක් ගත කරමින් සිටින්නීය.
වත්මන් අධිරාජයා වන අකිහිතෝ ලබන වසරේ කිරුළ අත්හැරීමට සූදානම් වන අතර එයින් පසු නරුහිතෝ කුමරු අධිරාජයා ලෙස අභිෂේක ලැබිමට නියමිතය. ජපානයේ අධිරාජයෙකු මේ ආකාරයෙන් අතරමැදදී කිරුළ අත්හැරීම සාමාන්‍යයෙන් සිදු නොවන්නක් නමුත් අකිහිතෝ අධිරාජයා එසේ කිරීමට සූදානම් වන්නේ ඔහු පිළිකා රෝගයෙන් සහ හදවත් රෝගයකින්ද පෙළෙමින් සිටින බැවිනි.
මේ වනවිට ජපාන රජ පවු‍ලේ අනාගත පැවැත්ම සම්බන්ධයෙන් තවත් අර්බුදකාරී තත්ත්වයක්  මතු වෙමින් තිබේ. එයට හේතුවී ඇත්තේ කිරුළ දැරීම සඳහා පිරිමි සාමාජිකයින්ගේ හිඟකමයි. ජපානයේ රජ කිරුළ දැරීමට අවස්ථාව ඇත්තේ පිරිමින්ට පමණක් වීමත්, අකිහිතෝ අධිරාජයාගේ පුතුන්ට වැඩිපුර සිටින්නේ දියණියන් වීමත් මෙම අර්බුදයට ප්‍රධාන හේතුවක් වී තිබේ. මෙම තත්ත්වය හේතුවෙන් කාන්තාවන්ටද කිරුළ දැරීමට හැකි වන ආකාරයෙන් රජ පවු‍ලේ සම්ප්‍රදායන් වෙනස් කිරීම සම්බන්ධයෙන්ද මේ වනවිට අවධානය යොමු වී තිබේ.

කිත්සිරි මල්වත්ත

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4887

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4474

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7626

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4830

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3099

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3907

Please publish modules in offcanvas position.

Web Analytics