Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

“වැඩක් නැතිනම් මිනි මයිනර් එකක් බලන්න කුලියාපිටියට ගිහින් එමුදැයි පසුගියදා මිතුරෙකු මගෙන් විමසීය. සැබවින්ම සති අන්තය එහෙමට වැඩක් නොතිබුණ හෙයින්ද මිතුරාගේ ඇරයුම අගට ඉංග්‍රීසි කාරයක්ද ඇඳී තිබූ හෙයින්ද මමද එක පයින්ම ගමනට එක්වන්නට තීරණය කෙරුවෙමි. මද්දහනට පෙර කුලියාපිටියට ගිය අපි මග තොරතුරුවලට අනුව මෝටර් රිය හිමියා සොයා ගියෙමු. එහෙත් රථයේ හිමිකරු පවසා සිටියේ මුළු කාර් එකම දැන් බැලිය නොහැකි බවයි සැබවින්ම ඔහුගේ මේ ප්‍රකාශය මා තුළ ඇති කළේ බලවත් කුහුලකි. එහෙත් මිතුරා තුළින් දිස් වූයේ ඔහු එකී තත්ත්වය ගැන දැනුවත් බවයි. කෙසේ හෝ අවසානයේ නිවසේ පිටුපසට වන්නට පිහිටි ගබඩාවක් හැර විකිණීමට බලා‍පොරොත්තු වන රථය පෙන්වීමට එහි හිමිකරු එකඟ විය. පුදුමයකි. එහි වූයේ පාන් ගෙඩියක් දෙකට මැදින් කැපූ ලෙස කැපූ මිනි මයිනර් රථයක බාගකි. ඇයි මේක කැපුවේ කෝ මේකේ අනිත් කෑල්ල මා විමසුවෙමි. අනිත් බාගය ආවේ ඊයේ පෙරේදා. ඒක කුරුණෑගල තියෙනවා. ඔයා ගන්නවා නං කියන්න. එහේ ගෙනිහිං පාස්සලා වැඩ ඉවර කරලා දෙන්න. මට ලක්ෂ හතයි හැබැයි පාස්සලා පේන්ට් කරන කෙනාට ලක්ෂ 1   1/2 විතර අය කරනවා. ඔයාට ලක්ෂ 8 1/2 වැය කොට වාහනේ ෆිනිෂ් කරගන්න පුළුවන්. ඔහු කටේ දිවේ නොගෑවී කියාගෙන ගියේය.
එක එල්‍ලේම මේ නීති විරෝධීව කරන මගඩියක් බව වටහාගත හැකි වුවද මගේ මිතුරා එය ගණන් ගන්නා බවක් නොපෙනුණි.
ඉතින් මේක කොහොමද රෙජිස්ටර් කරන්නේ මම අතුරු ප්‍රශ්නයක් ඉදිරිපත් කළෙමි.
මොන රෙජිස්ටර්ද මොරිස් මයිනර් එකක ‍පොතක් අරගෙන දුවන එකනේ. කවුරුත් කරන්නේ එහෙමයි.
කිසිසේත් මේ රථය මිලට ගත යුතු නැති බව මා පහදා දුන්නද මාසයකට පමණ පසු මගේ මිතුරා එම රථය මිලට ගෙන තිබුණි. එය ඔහු 4ශ්‍රී කාණ්ඩයේ අංකයක් සහිතව දැනුදු භාවිත කරයි.
සැබවින්ම මේ හුදකලා සිදුවීමක් නොව රට පුරා ෙදෙනිකව ඉහළ යන මෝටර් රථ වාහන මගඩියක තවත් එක පැතිකඩකි.
1950 දශකයේ අග භාගයේ බ්‍රිතාන්‍යයේ නිපද වූ මිනි මයිනර් මෝටර් රථ අදටත් ලොව පුරා එකසේ ජනප්‍රිය මාදිලියකි. එහෙත් දැන් රටට මිනි මයිනර් ගෙන එන්නේ බ්‍රිතාන්‍යයේ නොව ජපානය සහ යුරෝපය් වෙනත් රටවලිනි. එම රටවලද වර්තමානයේ සුලබව භාවිත වනුයේ ජර්මනියේ  බි.එම්.ඩබ්ලිව්, සමාගමේ සන්නාමය යටතේ නිපදවන මිනි රථ නිසා බ්‍රිතාන්‍යයේ නිපද වූ පැරණි මාදිලියේ රථ එකී රටවල භාවිත නොවන තරම්ය. (එම රටවල් 1998 තරම් මෑත කාලවල බ්‍රිතාන්‍යයේ නිපදවූ මිනිමයිනර් රථ භාවිතයෙන් ඉවත් කර ඇත.) එහෙත් එම රථවල ශ්‍රී ලංකාවේ ඇති 1950-60 දශකවල ගෙන ආ මිනි මයිනර් රථවල නැති වායු සමීකරණ වායු බෑග වැනි පහසුකම් බොහෝ ඇත.
ලංකාවට මෝටර් රථ අමතර කොටස් ගෙන එන ඇතැම් වෙළෙඳ ව්‍යාපාරිකයන් මෙවැනි මිනි මයිනර් රථ අඩු ගානට ලබා ගනිති. එහෙත් ඒවායේ නිෂ්පාදිත වර්ෂය ලංකාවේ අනුමත කාල පරාස ඉක්මවා යන බැවින් පාවිච්චි කළ මෝටර් රථ ලෙස රටට ගෙන ඒමට ඔවුනට නොහැක. එවැනි අවස්ථාවල ඔවුන් අනුගමනය කරන ‍පොදු ක්‍රමය වනුයේ මිලට ගත් රථ කැබලි දෙකකට කපා රටට ගෙන ඒමය. ඒ අමතර කොටස් ලෙසිනි.
ලංකාවේ තරුණ පරපුර අතර මිනි මයිනර් රියට ඇත්තේ කිසිදා අඩු නොවනා ඉල්ලුමකි. ඒ තත්ත්වය දන්නා ව්‍යාපාරිකයන් මිනි මයිනර් රථ කැබලි කර රටට ගෙනැවිත් එකට පුරුද්දා විකුණති.
දැනගැනීමට ඇති ආකාරයට මෙලෙස දෙකට කපා ගෙන එන රථවල කෑලි යළි පුරුද්දා පින්තාරු කර වයර්වල සබඳතා සකසාදීමට රුසියෝ වෙසෙන්නේ කුරුණෑගල ප්‍රදේශයේය. ඔවුන් ඒ සඳහා රු. 125,000 සිට රු.ලක්ෂ 2 දක්වා මුදල් අය කරති.
ඉන් අනතුරුව ඇත්තේ ව්‍යාජ ලෙස එකලස් කළ මිනි මයිනර් රියට සුජාත බවක් ලබා දීමය. ඒ සඳහා ඇත්තේද අපූරු ක්‍රමයකි. ඒ පැරණි මොරිස් මයිනර් රියක ලියාපදිංචි සහතිකයක් (‍පොතක්) ලබාගෙන එහි සඳහන් අංකයට සැකසූ අංක තහඩු යුවළක් රථයේ එල්ලා ගැනීමය. කාරණාව වඩාත් හොඳින් තහවුරු කරගැනීම සඳහා කළයුත්තේ ‍පොත මිලට ගන්නා මයිනර් රථයේ එන්ජින් කාමරයේ සවිකර ඇති ටැග් එක ගලවා අලුතින් පිරිද්දූ මිනි මයිනර් රියේ එන්ජින් කාමරය තුළ සවි කිරීමය. මේ සඳහා වැය වනුයේ ඇලුමිනියම් රිවට් හතරක් පමණි.
කලකට පෙර ගැනුම්කරුවෝ ‍පොත පමණක් නොව මයිනර් රියේ ටැග් එක පිළිබඳවද උන්නදු වූහ. එහෙත් අද වන විට ‍පොතේ ඇති තොරතුරුවලට අනුව ව්‍යාජ ටැග් සැකසීම පංචිකාවත්තේ සුලභව සිදුවන බැවින් වාහනය ඇසින් නොදැක ‍පොත පමණක් මිලට ගැනීමට ඕනෑ තරම් දෙනා ඉදිරිපත් වෙති.
මේ කරුණ තහවුරු කරගැනීමට ඔබට ඇවැසි නම් ඒ පිළිබඳව වැඩි දුරටත් වෙහෙසිය යුතු නොවේ. ඔබ කළ යුත්තේ මහ මග අයිනේ දිලිසෙන්නට පින්තාරු කර නවතා ඇති මිනි මයිනර් රියක් තුළට එබි බැලීමය. 3,4, ශ්‍රී කාණ්ඩ මිනි මයිනර් රථවලින් බහුතරයකට අද ඇත්තේ ස්වයංක්‍රිය ගියර් පද්ධතීන්ය. තවත් ඒවායේ ද්විත්ව වායු බෑග්,  සමීකරණ වැනි පහසුකම්ය. තවත් රථවල ට්‍රිප් ටොනික් ගියර් පද්ධතිය එහෙත් 3,4, ශ්‍රී කාණ්ඩවල රථ ලංකාවේ ලියාපදිංචි කළේ 1959-60 වැනි වසරවලය. එම යුගයේ බ්‍රිතාන්‍යයේ නිපද වූ මිනි මයිනර් රථ සියල්ල අයත් වනුයේ මුලික තත්ත්වයේ මෝටර් රථ (ඕචඵඪජ ජචප) කාණ්ඩයටය. ඒවායේ පෙරකී නවීන සුඛෝපභෝගී අන්ගෝපාංග සවිකර නැත. බොහෝ විට මෙවැනි මිනි මයිනර් රථ භාවිත කරන බහුතරයක් තමුන් කාගේ හෝ වංචාවකට හසුව ඇති බව නොදනිති. ඔවුන් කාගෙන් හෝ මිනි මයිනර් රියක් මිලට ගෙන ඇත. නමුත් එහි එම රිය නීති විරෝධීව රට තුළට ගෙනැවිත් මෙහිදී එකලස් කර මයිනර් ‍පොතකින් සුජාත බව ලබා ගත් එකක් බව ඔවුන් නොදනි. ඊට මූලික හේතුව මොරිස් මයිනර් සහ මිනි මයිනර් යන රථ දෙකටම එකම වර්ගයේ එන්ජින් (ර්ඪදධප 1000-ඒභඵබඪද ඪද තඪදඥ) භාවිත කිරීමය. එබැවින් රථ දෙකම මයිනර් 1000 ලෙස හඳුන්වා දීම සාමාන්‍ය තත්ත්වයකි. මෙම ජාවාරම නිසා ගරාජවල දිරා යමින් තිබූ මොරිස් මයිනර් රථ ලක්ෂ එක හමාරට දෙකට විකුණා ගත හැකි වූ අවස්ථාද ඇත. ඒ ඒවායේ ‍පොත ටැග් එක ලබාගැනීමටය. ඇතැම්හු ‍පොත සහ ටැග් එක පමණක් ගෙන රථය පරණ යකඩවලට දමන්නට එහි හිමියාටම පරිත්‍යාග කිරීමට තරම් පරිත්‍යාගශීලීහු වෙති. අද වන විට මෙම තත්ත්වය නිසා මොරිස් මයිනර් රථ පමණක් නොව   ඒභඵබඪද ථචයඪ ඒභඵබඪද ජ්චපඪදච වැනි රථවලද ඉහළ ඉල්ලුමක් බිහිව ඇත. ඒ ඒවායේද ‍පොත ලබාගැනීමටය. එබැවින් ඔබ මිනි මයිනර් රියක් මිලට ගන්නේ නම් එහි සුජාත බව පිළිබඳ වඩාත් සැලකිලිමත් වීම වැදගත්ය.
මොරිස් මයිනරය මෙන්ම මිනි මයිනරයද නිපදවූයේ එකම ඉංජිනේරුවෙකි. ඒ ඇලෙක්ස් ඉසිගෝනිස්ය. එහෙත් අද මොරිස් මයිනරය වනසා මිනි මයිනරයෙන් වැජඹේ. අපේ ගම්වල උදවිය කැ‍ලේ ගසක් නසන්නට කැ‍ලේ ගසක් ඕනෑ වන බව කීවේ මෙවැනි දේවලටය.

මෙවැනි වාහන මිලදී ගන්නට එපා

මෝටර් ප්‍රවාහන කොමසාරිස් ජගත් චන්ද්‍රසිරි

නීති විරෝධීව රටට ගෙනැවිත් වෙනත් අංක යටතේ ධාවනය වන  වාහන රාශියක් තිබෙනවා. මිනි මයිනර් ඉන් එකක් පමණි. මෙවැනි රථවල ඇත්තේ ව්‍යාජ චැසි අංකයක්. එබැවින් මෙම රථ පරිහරණය නීති විරෝධීයි. මෙවැනි දේ මුලින්ම පාලනය විය යුත්තේ රේගුවෙන්.
තමුන් මෝටර් රියක් මිලට ගන්නකොට ‍පොතේ ඇති චැසි අංකයම වාහනයේ තිබේදැයි සොයා බැලිය යුතුයි. මෙවැනි වාහන මිලට ගැනීමෙන් කවදා හෝ ඔබ අමාරුවේ වැටෙන්න පුළුවන්. එබැවින් එකලස් කරන ලද වාහන මිලට ගන්න එපා. මෙවැනි වාහනවලට විරුද්ධව ‍පොලීසිය තදින් ක්‍රියාකරනවා.

 අරුණ ලක්‍ෂ්මන් ප‍්‍රනාන්දු

ලුතිනන් ජෙනරාල් (එකල) සරත් ෆොන්සේකා දෙදහස් පහේ දෙසැම්බරයේ යුද හමුදාපති ධුරයට පත් වන විට ජගත් ජයසූරිය නිලයෙන් (තාවකාලික) මේජර් ජෙනරාල්වරයකි. යුද හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ධුරය දරමින් සිටි ජගත් ජයසූරිය, සරත් ෆොන්සේකා යටතේ ලද මුල්ම පත්වීම වූයේ යාපනය 52 වැනි සේනාංකාධිපති ධුරයය. එම ධුරය දරමින් සිටියදී ඔහු ජාතික ආරක්ෂක උපාධිය හැදෑරීමට චීනය බලා ගියේය. එම උපාධිය හදාරා මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය ලංකාවට පැමිණි කාලයේ වන්නි ආරක්ෂක සේනා ආඥාපති පදවිය පුරප්පාඩු වී තිබුණේ ඒ එම ධුරය දැරූ මේජර් ජෙනරාල් උපාලි එදිරිසිංහ විශ්‍රාම ලැබිම නිසාය.
   පුරප්පාඩු වූ වන්නි ආඥාපති ධුරයට පත්වූයේ මේජර් ජෙනරාල් ජගත් ජයසූරියය. පසු කලක යුද හමුදාපතිවරයා විසින් ඔහු යාන්ත්‍රික පාබල රෙජිමේන්තු අධිපති ධුරයටද පත් කරන ලදී. එකල ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා හා මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය අතර කිසිදු අමනාපයක් නොවීය. වවුනියාවේ පිහිටි වන්නි   ආරක්ෂක සේනා ආඥාපති මූලස්ථානයට එකල නිතර යන හමුදාපතිවරයා සිනහමුසු මුහුණින් පිළිගත්තේ ජගත් ජයසූරියයි. එකල වන්නි ආඥාපතිවරයාට අයත් ප්‍රදේශ වූයේ මන්නාරම, වවුනියාව හා මුලතිව්ය. වන්නි අවසන් සටන තිබුණේ මේ බිමේය. එහෙත්  ධුරයෙන් වන්නි ආඥාපතිවරයා වුවත් ජගත් ජයසූරියට පැවැරුණු රාජකාරිය වූයේ වන්නි සටනේ නිරතව හුන් සේනාංකවලට අවශ්‍ය පහසුකම් සැපයීම පමණි. ඊට හේතු වූයේ සිවු වැනි ඊළාම් සටනේ සියලුම ප්‍රහාරක සේනාංකවලට සෘජුවම අණ දුන්නේ යුද හමුදා මූලස්ථානයෙන් වන නිසාය. එම පිළිවෙත මදකට බුරුල් වූයේ යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා උදෙසා පමණි. යාපනය අර්ධද්වීපයේ කෙරෙන මෙහෙයුම්වල, මෙහෙයුම් බලතල එකල යාපනය ආඥාපතිවරයා වූ මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිට හිමිව තිබුණි. ඔහු යුද හමුදාපතිවරයාගේ අතිශය විශ්වාසය දිනාගත් නිලධාරියකු විය.
එහෙත් ජගත් ජයසූරියට මෙහෙයුම් බලතල හිමි නොවීය. හැරත් ඔහු සටන් බිමේ අණ දෙන්නෙකු ලෙස කීර්තියක් දිනාගෙන තිබුණේ නැත. හමුදාපති පුටුවේ වාඩි වනතුරුම ජෙනරාල් ජයසූරියට වීර පදක්කමක් දිනා ගැනීමට නොහැකි වූවේය. මෑත කාලයේ වීර පදක්කමක් නැතිව හමුදාපති පුටුවේ වාඩි වූ එකම හමුදාපති ඔහුය. කෙසේ නමුදු ජෙනරාල් ජයසූරිය රණ වික්‍රම පදක්කම ගසා ගත්තේ ඔහු හමුදාපති ධුරයට පත් වීමෙන් ඉක්බිතිවය. එය යුද හමුදාවේ දැඩි ආන්දෝලනයට ලක් වූ සිද්ධියක් විය. මක්නිසාදයත් රණ වික්‍රම පදක්කම ලැබෙන්නේ සිය දිවි නොතකා තම සගයන්ගේ දිවි බේරා ගැනීමට සටන් බිමේදී සතුරා සමග මුහුණට මුහුණ සටන් කරමින් වීර වික්‍රමාන්විත දස්කම් දක්වන වීරයන්ටය. එහෙත් යුද හමුදාපතිවරයා තියා සේනාංකාධිපතිවරයකුවත් සටන් බිමේ සතුරා සමග මුහුණට මුහුණ සටනට යන්නේ නැත. ඒ නිසා යුද හමුදාවේ වීර පදක්කම් පිරිනැමීමේ ක්‍රමවේදය ගැන දන්නා අයෙකුට ජෙනරාල් ජයසූරිය රණ වික්‍රම පදක්කමට හිමිකම් කියූ ආකාරය ගැන ප්‍රශ්නයක් ඇති වීම සාධාරණය.
ඔහු වන්නි ආරක්ෂක සේනා ආඥාපති ධුරය දරන විට ඔහු හිමිකම් කීවේ උත්තම සේවා පදක්කමට පමණි. එය පිරිනමන්නේ පහළොස් වසරක නොකැළල් සේවයටය.
හැරත් සිව්වැනි ඊළාම් සටනට අණ දුන් සියලුම සේනාංකාධිපතිවරුන්ට හා ආඥාපතිවරුන්ට යුද හමුදාපතිවරයාගෙන් ප්‍රශංසාත්මක ලිපි ලැබුණද මේජර් ජෙනරාල් ජගත් ජයසූරියට එය ලැබුණේ නැත. දෙදහස් නවයේ මැයි විසි අට වැනිදා යුද හමුදා මූලස්ථානයේ පැවැති එම ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට වන්නි ආඥාපතිට ඇරයුම් පතක්වත් නොවීය. නිල වශයෙන් ඊට හේතුව ලෙස එකල කියැවුණේ මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය වන්නි සටනට සෘජු අණ දීමක් නොකළ බවය. එහෙත් පසුබිමෙන් ඇසුණු කතාව වූයේ ඒ වන විටත් ජෙනරාල් සරත් ෆොන්සේකා හා මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය අතර සීතල යුද්ධයක් ඇරඹී ඇති බවය. යුද හමුදාපතිවරයා ලංකාවේ නැති අතරතුරේ වන්නි ආඥාපතිවරයා යුද බිමට ගොස් ලකුණු දා ගැනීම සරත් ෆොන්සේකාගේ කෝපයට හේතු වී තිබුණි. එය උච්චස්ථානයට ළඟා වී තිබුණේ යුද්ධයේ අවසන් දින කීපයේ යුද හමුදාපතිවරයා චීනයේ නිල සංචාරයක ගොස් සිටි දවස්වලය.
අවසන් සටනට අණදෙමින් සිටින සේනාංකාධිපතිවරුන් සමග මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය වෙල්ලිමුල්ලි වයික්කාල් බිමේ සිටීම යුද හමුදාපතිවරයාගේ නොසතුටට හේතු වූ බව එකල කියැවිණි. යුද හමුදාපතිවරයා ලංකාවේ නැති අතරේ මේජර් ජෙනරාල් ජයසූරිය ලවා යුද්ධය අවසන් කිරීමේ සැලසුමක්ද එකල ක්‍රියාත්මක වූ බව පැවැසුනි.
එකල යුද බිමට යනවිට මේජර් ජෙනරාල් ජයසූරිය සෙන්පති කොබ්බෑකඩුව මෙන් අවශ්‍ය විටක දිගහැර වාඩිවිය හැකි බස්තමක් පරිහරණය කළේය. ඔහුගේ එම බස්තමද හමුදාපතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය.
මේ අතරේ යුද්ධය අවසන් වීමෙන් පසුව යුද හමුදාපතිවරයා වෙල්ලිමුල්ලි වයික්කාල් බිමට ගොස් සියලුම සේනාංකාධිපතිවරුන්ට සුබ පැතුවේය. ඒ හමුවට මේජර් ජෙනරාල් ජගත් ජයසූරියට ඇරයුමක් නොවීය. මේ ලිපියේ මුලින් කී පරිදි හමුදා මූලස්ථානයේ පැවැති උත්සවයකටත් මේජර් ජෙනරාල් ජයසූරියට කැඳවීමක් නොවීය. ඒ සියල්ලෙන් දුන් සංඥාව වූයේ යුද හමුදාපතිවරයා මේජර් ජෙනරාල් ජයසූරියට පල නොකියා පලා බෙදමින් සිටින බවය.
තත්ත්වය මෙසේ තිබියදී වන්නි ආඥාපතිවරයා යුද හමුදා ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා සැලසුමක් ගැන තොරතුරු පැතිර ගියේය. එම සිද්ධියට වන්නි ආඥාපතිවරයාගේ අධි සහයක අත්අඩංගුවට ගන්නා බවද කියැවුණි. සිද්ධිය හේතු වී තිබුණේ විනය විරෝධී චෝදනාවකි.
යුද හමුදාපතිවරයාගේ නියමයෙන් වන්නි ආඥාපතිවරයා අත්අඩංගුවට ගැනීම පැවැරී තිබුණේ එකල යුද හමුදා විනයාආරක්ෂාධිපතිව හුන් බ්‍රිගේඩියර් බිමල් ඩයස් ඇතුළු යුද හමුදා ‍පොලීසියටය.
මේ සිද්ධිය ජනපති මහින්ද රාජපක්ෂගේද කනට වැකී තිබුණේය. ඔහුට මේ ආරංචිය ගිය බව පැවසෙන්නේ ජනපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා හරහාය. ඔහු මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය අයත් වූ සන්නාහ සන්නද්ධ රෙජිමේන්තුවේ නිලධාරියකු විය.
වන්නි ආඥාපතිවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටි කාලයේ හමුදාවේ ඉහළ පුටු මාරුවක් ආවේය. වහාම ක්‍රියාත්මක වූ ජනපතිවරයා යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා නිෂ්ක්‍රිය කිරීමට ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් කළේය. පුරප්පාඩු වූ යුද හමුදාපති ධුරයට ජෙනරාල් ෆොන්සේකාගේ නිර්දේශය වූයේ යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරිය. එහෙත් ජනපතිවරයා මේජර් ජෙනරාල් චන්ද්‍රසිරි උතුරේ ආණ්ඩුකාර ධුරයට පත් කර, යුද හමුදාපති ධුරයට මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය පත් කළේය. එම පත්වීම කරන විට ජගත් ජයසූරියට වඩා ‍‍‍ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරු දහ දෙනෙක් සිටියහ. ඉන් පස් දෙනෙක් සේවා රෙජිමේන්තුවලට අයත් බැවින් ඔවුන්ට හමුදාපති පුටුවට හිමිකමක් නොවීය. එහෙත් අනෙක් නිලධාරීන් සුමිත් බාලසූරිය, ජී.ඒ. චන්ද්‍රසිරි, එන්.ඒ. රණසිංහ හා පරාක්‍රම පන්නිපිටිය යන නිලධාරීන් සිටියදී හමුදාපති පුටුව හිමි වූයේ ලුතිනන් ජෙනරාල් ජයසූරියටය. ඔහු එම ධුරයට පත්වූයේ දෙදහස් නවයේ ජූලි පහළොස් වැනිදාය.
මේ හදිසි පත්වීම ගැන තමාද පුදුමයට පත් වූ බව ඔහු එකල මාධ්‍යයට කීවේය.
කෙසේ නමුදු තනතුරු මාරුවෙන් පසුවද ජෙනරාල් සරත් ෆොන්සේකා ජගත් ජයසූරිය අරබයා අනුගමනය කළ පිළිවෙතේ වෙනසක් නොවීය. එහි කූඨප්‍රාප්තිය වූයේ සරත් ෆොන්සේකා වෙනුවෙන් යුද හමුදා මූලස්ථානයේ පැවැති ආචාර පෙළපාළියකි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා හා යුද හමුදාපතිවරයා අතර සීතල යුද්ධය එම උත්සවයේදී එළියට පැන්නේය. ජෙනරාල් ෆොන්සේකා සිය කතාවේදී යුද හමුදාපතිවරයාටත්, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වූ හමුදාපති බිරියටත් වටෙන් පහර දුන්නේය. උත්සව සභාව අවසානයේදී යුද හමුදාපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට මුහුණ දුන්නේ අපහසුවෙනි.
අවසානයේදී ෆොන්සේකා හමුදා දිවියට සමුදී ජනාධිපතිවරණයට ඉල්ලීය. කොකාගේ වාරය අවසන වී තිත්තයාගේ වාරය ආවේය. සරත් ෆොන්සේකා සිටි ගෙය වට කිරීමට ලුතිනන් ජෙනරාල් ජයසූරියගේ නියෝග මත යුද හමුදා ‍පොලීසියේ නිලධාරීහු ගියහ. ෆොන්සේකා කෝපයෙන් ගිගිලුවේය. සෙබළු ආපහු හැරුණි. ඒ අතරේ ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පැරදුණේය. ලුතිනන් ජෙනරාල් ජයසූරිය යළිත් වරක් සෙබළු පිටත් කර හැරීය. ඒ ෆොන්සේකාගේ පරම සතුරකු ලෙස ප්‍රකට මේජර් ජෙනරාල් සුමිත් මානවඩුගේ අණ දීම යටතේය. ඔහු ෆොන්සේකාට පහර දී කුදලාගෙන විත් හිරේ දැම්මේය. ඉක්බිතිව යුද්ධාධිකරණයට පමුණුවා දඬුවම් පැමිණවීය. සරත් ෆොන්සේකාගේ තරු පටි පදක්කම් ගලවා ඔහුගේ නම යුද හමුදා ඉතිහාසයෙන් මකා දැම්මේය. යුද හමුදාපති නිල කාමරයේ තිබූ ෆොන්සේකාගේ ඡායාරූපය ගලවා වීසි කළේය. එදා තමා අත්අඩංගුවට ගැනීමට මාන බැලූ බ්‍රිගේඩියර් බිමල් ඩයස් ඇතුළු දුසිමක් පමණ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීහු හමුදාවෙන් නෙරපා දැම්මහ. මේ සියල්ල වූයේ ජගත් ජයසූරිය යුද හමුදාපති පුටුවේ වාඩි වී සිටියදීය. එවකට සිටි පාලකයන්ගේ අවශ්‍යතාව පරිදි ෆොන්සේකාට එරෙහි මේ සියලු වැඩවලට අණ දුන්නේ ජගත් ජයසූරියය. ඉක්බිතිව ඔහු ජෙනරාල් නිලයට උසස් වී යුද හමුදාපති පුටුවට සමුදෙමින් ආරක්ෂක මාණ්ඩලික පුටුවේ වාඩි විය.
දෑ අවුරුද්දක් ගත වූ කල්හි යළිත් වරක් ෆොන්සේකාගේ වාරය ආවේය. මෛත්‍රීපාල සිරිසේන ජනපති වූ පසු ජෙනරල් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කෙරුණි. ඒ වෙනුවෙන් උත්සව පැවැත්වූයේ ආරක්ෂක අමාත්‍යාංශය ඉදිරිපිට පිටියේය. උත්සවය සභාවට එනවිට ෆීල්ඩ් මාර්ෂල්වරයා පිළිගැනීමට ‍‍‍ජ්‍යෙෂ්ඨත්වය අනුව පිළිවෙළින් ජෙනරාල් ජගත් ජයසූරිය හා ත්‍රිවිධ හමුදාපතිවරු පෙළ ගැසී හුන්හ. ජෙනරාල් ජයසූරිය ෆීල්ඩ් මාර්ෂල්වරයාට සැලියුට් ගසා සුබ පැතීමට අත දිගු කළේය. ඒ මොහොතේ නිම නොවන වෛරය යළිත් එළියට ආවේය. ජයසූරිය ගණන් නොගත් ෆොන්සේකා ඉවත බලාගත්තේය. ත්‍රිවිධ හමුදාපතිවරු ඉදිරියේ ජෙනරාල් ජයසූරිය අපහසුතාවට පත් වෙද්දී ෆොන්සේකා යුද හමුදාපතිවරයාගේ ආචාරය මුලින් පිළිගත්තේය.
දෙදහස් පහළොවේ ජූලි මාසයේදී ජෙනරාල් ජගත් ජයසූරිය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් ඉසුඹු ලැබිය. ඉක්බිතිව ජනපතිවරයා විසින් ඔහු බ්‍රසීලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් කරන ලදී. එම ධුරයේ දෑඅවුරුද්දක් රාජකාරී කර ලංකාවට ආපසු වූ දේ දැන් රටම දනී. ඊට හේතු වූයේ දෙන්නාගේ නයි මුගටි වෛරය බව දෙන්නාගේම අතීතය බලන විට හොඳට පෙනේ.

ලලන්ත නානායක්කාර

පුංචි තිරයේ මහ කලා මංගල්‍යය හෙවත් 22 වන සුමති සම්මාන උළෙල මෙම මස 20 වන දින නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. 2016 වසරේ ප්‍රශස්ත ටෙලි නිර්මාණ සහ කලාකරුවන් ඇගයීමට ලක්කරමින් මෙවර සුමති සම්මාන පිරිනැමේ. ඒ සඳහා නිර්දේශිත වූ නාම ඊයේ (11) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවේදී එළි දැක්වීය.

බොහෝ දුරට අපේ රටේ ඇගයීමට ලක්වන්නේ ජයග්‍රාහකයා පමණයි. නමුත් නිර්දේශවීම කියන්නේම විශාල ජයග්‍රහණයක් වගේම අති විශාල ගෞරවයක්. වසර 22ක් පුරාවටම අපේ කලාකරුවන් දිරිමත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන සුමති සම්මාන උළෙල සඳහා අපේ රටේ කලාකරුවන්ගෙන් ලැබෙන නොමඳ සහයෝගයත් අපි මෙහිදී අගය කරනවා යනුවෙන් සුමති සම්මාන උළෙ‍ලේ නිර්මාතෘ සහ සංවිධාන කමිටු සභාපති, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මෙම අවස්ථාව අමතමින් පැවැසීය.

සුමති සමූහ ව්‍යාපාරයේ සභාපති ජගත් සුමතිපාල මහතා, අයි.ටී.එන්. රූපවාහිනී ආයතනයේ වැඩසටහන් හා අලෙවි උපදේශක පියදාස රත්නසිංහ මහතා, ඩයලොග් ආසියාටා සමාගමේ සන්නාම හා මාධ්‍ය සාමාන්‍යාධිකාරි හර්ෂ සමරනායක මහතා, මහජන බැංකුවේ අලෙවි සහ පර්යේෂණ සාමාන්‍යාධිකාරී එස්.බි. කුමාරසිංහ මහතා, සුමති සම්මාන උළෙ‍ලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු කලා ශිල්පීන්ද 22 වන සුමති සම්මාන උළෙ‍ලේ නිර්දේශිත නාමයන් ප්‍රකාශයට පත්කිරීමේ මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදී ප්‍රධාන අනුග්‍රාහකත්වයට අදාළ ගිවිසුම ඩයලොග් ආසියාටා සමාගම සහ සුමති සම්මාන උළෙ‍ලේ නිර්මාතෘ තිලංග සුමතිපාල මහතා අතරත් සහයෝගිතා අනුග්‍රාහකත්වයට අදාළ ගිවිසුම මහජන බැංකුව සහ සුමති සම්මාන උළෙ‍ලේ නිර්මාතෘ තිලංග සුමතිපාල මහතා අතරත් සිදුවිණ.

1. හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසාංගික)

මද්දහන - (ස්වාධීන රූපවාහිනිය)
වන්වේ - (ස්වාධීන රූපවාහිනිය)
තාරා - (ස්වර්ණවාහිනිය)

2. හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය

ධර්මාධිකරණයට කැඳවීම් - දයාරත්න රටගෙදර       (ජාතික රූපවාහිනිය)
සැඳෑ සමය - සන්තුස් ලියනගේ (ජාතික රූපවාහිනිය)
පසුතැවිල්ල - ආනන්ද අබේනායක (ජාතික රූපවාහිනිය)

3. හොඳම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂ

සුමිත් රත්නායක - මද්දහන (ස්වාධීන රූපවහිනිය)
ලලිත් රත්නායක - වන් වේ - තනි අතට යන පාර  (ස්වාධීන රූපවාහිනිය)
ආනන්ද අබේනායක - තාරා - (ස්වර්ණවාහිනිය)

4. හොඳම ටෙලි නාට්‍යය නළුවා

මහේන්ද්‍ර පෙරේරා - (හේරත් බණ්ඩා) ගොලු තාත්තා (ස්වර්ණවාහිනිය)
පුබුදු චතුරංග (දොස්තර තේජන සෙනෙවිරත්න) වන්වේ - තනි අතට යන පාර (ස්වාධීන රූපවාහිනිය)
සුමිත් රත්නායක - (සෝමසිරි) මද්දහන  (ස්වාධීන රූපවාහිනිය)

5. හොඳම ටෙලි නාට්‍යය නිළිය

ශලනි තාරකා (නන්දිතා) තාරා (ස්වර්ණවාහිනිය)
මාදනී මල්වත්තගේ - (ඉන්ද්‍රානි) නැට්ටුක්කාරයෝ (ජාතික රූපවාහිනිය)
උමාලි තිලකරත්න (නූරි) බොහීමියානුවා (ස්වර්ණවාහිනිය)

6. හොඳම ටෙලි නාට්‍යය සහය නළුවා

ලක්ෂ්මන් මෙන්ඩිස් - (ජයසුන්දර) මද්දහන (ස්වාධීන රූපවාහිනිය)
සංජීව උපේන්ද්‍ර - (මුගේන්ද්‍රන්) වන් වේ - තනි අතට       යන පාර (ස්වාධීන රූපවාහිනිය)
සරත් කොතලාවල - (විදුහල්පති) ගොළු තාත්තා (ස්වර්ණවාහිනිය)

7. හොඳම ටෙලි නාට්‍යය සහය නිළිය

කෞෂල්‍යා ප්‍රනාන්දු - (නන්දිතාගේ මව) තාරා (ස්වර්ණවාහිනිය)
ගයනි ගිසන්තිකා - (නාලනී) මද්දහන (ස්වාධීන රූපවාහිනය)
ජයනි සේනානායක - (කවි අම්මා) මීදුම් අම්මා (ස්වර්ණවාහිනිය)

8. වසරේ නැගී එන ටෙලි නාට්‍යය නළුවා

අමිල සඳරුවන් - (බුවා) බොහීමියානුවා (ස්වර්ණවාහිනිය)
සචිත් අනුත්තර - (කල්ප) බොහීමියානුවා  (ස්වර්ණවාහිනිය)
උදිත අබේරත්න - (ගණකාධිකාරි) නැට්ටුක්කාරයෝ  -  (ජාතික රූපවාහිනිය)

9. වසරේ නැගී එන ටෙලි නාට්‍යය නිළිය

නුවනි වලිමුණි - (බිසෝ මැණිකේ) භව චක්‍ර  (ස්වාධීන රූපවාහිනිය)
ගයත්‍රි රාජපක්ෂ - (සුභාෂිණි) මා ද ඔබම විය (ස්වාධීන රූපවාහිනිය)
වත්සලා රණසිංහ - (චාමි) විභාගය ෆේල් (ස්වර්ණවාහිනිය)

10. හොඳම ටෙලි නාට්‍යය කැමරා අධ්‍යක්ෂ

තිසර තුල්වන් - මද්දහන (ස්වාධීන රූපවාහිනය)
සචිත වීරපෙරුම - වන් වේ - තනි අතට යන පාර       (ස්වාධීන රූපවාහිනිය)
ප්‍රභාත් රෝෂණ - ගොළු තාත්තා (ස්වර්ණවාහිනිය)

11. හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය

ලක්රුවන් ද සේරම් - සික්කා ටීම් (ජාතික රූපවාහිනිය)
අසුන් මල්වත්ත - බොහීමියානුවා (ස්වර්ණවාහිනිය)
ජගත් වීරතුංග - මද්දහන (ස්වාධීන රූපවාහිනිය)

12. හොඳම ටෙලි නාට්‍යය කලා අධ්‍යක්ෂ

මංජුල අයගම - ගොළු තාත්තා (ස්වර්ණවාහිනිය)
හේමසිරි ප්‍රනාන්දු - චක්‍ර (ස්වාධීන රූපවාහිනිය)
බන්දුල වීරසේකර - මීදුම් අම්මා (ස්වර්ණවාහිනිය)

13. හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ
භාගේශ්‍රි ෆොන්සේකා - තාරා (ස්වර්ණවාහිනිය)
දර්ශන රුවන් දිසානායක - මද්දහන (ස්වාධීන රූපවාහිනිය)
ගයාන් ගණකධාර - මීදුම් අම්මා (ස්වර්ණවාහිනිය)

14. හොඳම ටෙලි නාට්‍යය තිර රචනය

නාමල් ජයසිංහ - තාරා (ස්වර්ණවාහිනිය)
රසික සුරවීර ආරච්චි - සිල්ලර කාසි  (ජාතික රූපවාහිනිය)
සුමිත් රත්නායක - මද්දහන (ස්වාධීන රූපවාහිනිය)

15. හොඳම ටෙලි නාට්‍යය ගීත රචනය

සුනිල් ආර්. ගමගේ - මාද ඔබම විය(වැල්ලට ඉර එන්න කලින්) (ස්වාධීන රූපවාහිනිය)
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල - මීදුම් අම්මා (පින්සාර තොටමුනට බැස) (ස්වර්ණවාහිනිය)
සුමිත් රත්නායක - මද්දහන  (මද්දහනක අස්වැද්දුම වස් වැදුනා)   (ස්වාධීන රූපවාහිනිය)

16. හොඳම ටෙලි නාට්‍යය ගායනය

කෝලිත භානු දිසානායක - ඉගිල යයි  ගිය සැණින් - වන් වේ - තනි අතට  යන පාර (ස්වාධීන රූපවාහිනිය)
අමරසිරි පීරිස් - බිඳීගිය මලානික හඬ   - ගොළු තාත්තා (ස්වර්ණවාහිනිය)
දීපිකා ප්‍රියදර්ශනී පීරිස් - වැල්ලට ඉර  එන්න කලින් - (මාද ඔබම විය) (ස්වාධීන රූපවාහිනිය)

17. හොඳම ටෙලි නාට්‍යය අංග රචනය (වේෂ නිරූපනය)

නාරද ධනන්ජි තොටගමුව/ විදුර ශානක අබේධීර - චක්‍ර (ස්වාධීන රූපවාහිනිය)
ප්‍රියන්ත සිරිකුමාර - ගොළු තාත්තා (ස්වර්ණවාහිනිය)
වසන්ත විට්ටච්චි - වන් වේ - තනි  අතට යන පාර (ස්වාධීන රූපවාහිනිය)

18. හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන

ජන අසුන - සමිත් බස්නායක (සිරස)
අලි මිනිස් සංහිඳියාව - ආර්.ඒ. දුෂාන්ත දර්ශන (ස්වාධීන රූපවාහිනිය)
රෙඩ් රිබන් - ප්‍රදීප් විජේකෝන් (ශ්‍රද්ධා රූපවාහිනිය)

19. හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන

සිනෙ මාත්‍රා - සිතාරා කළුආරච්චි  (ස්වාධීන රූපවාහිනිය)
ආර්ට් - ඕ.ඒ.ඕෂධ මහේෂ ප්‍රියංකර (ස්වාධීන රූපවාහිනිය)
අරුම පුදුම රෝද හතර - චන්දන  සෙනෙවිරත්න/ නාමල් සිදත් සූරියබණ්ඩාර (ජාතික රූපවාහිනිය)

20. හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන

සිහිනයකි රෑ - මහේෂ් නිශ්ශංක  (ජාතික රූපවාහිනිය)
යොවුන් වසන්තය - රංග ප්‍රේමරත්න/ සුනේත්‍රා කුමාරි (ජාතික රූපවාහිනිය)
ඩෙල් ස්ටූඩියෝ - චින්තක ගමලත්  (දෙරණ රූපවාහිනිය)

21. හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන

ජීව සොබා - පූජිත දිසානායක (ජාතික රූපවාහිනිය)
පුෂ්කරණි (අරම දියවර) - රන්ජීවනි බැද්දෙවිතාන (දෙරණ රූපවාහිනිය)
සොබා දහර කිඹුල්ලු - අනුරාධ දේවප්‍රිය (ජාතික රූපවාහිනිය)

22. හොඳම රූපවාහිනී ළමා වැඩසටහන

 ගමරාළ දිව්‍ය ලෝකේ යයි - අතුල       රන්සිරි ලාල් (ජාතික රූපවාහිනිය)
ටිකිරි සිනා මල් - නුවනප්‍රිය අබේකෝන් (රංගිරි ශ්‍රී ලංකා)
චූටි ටීවී - සංඛ රණතුංග/ චන්දිම       කරුණාතිලක (සිරස රූපවාහිනිය)

23. හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන

ළමා විද්‍යාගාරය - තුෂාරි ගමගේ - (ස්වාධීන රූපවාහිනිය)
ජාතික පාසල (පාහියංගල) - නිලූෆා මොහොට්ටි (ජාතික රූපවාහිනිය)
 නැණ මිහිර - දේවිකා තරංගනී කුමාරසිංහ (ජාතික රූපවාහිනිය)

24. හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන

ජවයට අගයක් - ඒ.ඩබ්. වරුණ ලක්මාල් (ස්වාධීන රූපවාහිනිය)
ස්‍පෝට්ස් හිට් - මංජුල බස්නායක (ස්වර්ණවාහිනිය)
රන් පෙළහර - එස්.ඒ. කුමාරි මානෙල් (ජාතික රූපවාහිනිය)

25. හොඳම රූපවාහිනී කාන්තා වැඩසටහන

ඇය නැති ලොවක් - පුළිඳු මිස්සක එදිරිසිංහ (සිරස රූපවාහිනිය)
සමාජ මෙහෙවර - ජයමිණි ඉ‍ලේපෙරුම (ජාතික රූපවාහිනිය)
සමන්මලීි නැලිගම

ඡායාරූප - මලිත් ගමගේ

ශ්‍රී ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ග දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් අංකනය කොට තිබේ. ඒ අනුව කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගය අංක 01 වශයෙන්ද, මහනුවර - මාතලේ අංක 02 වශයෙන්ද, කොළඹ කොටුව (රාගම සන්ධිය හරහා) පුත්තලම් මාර්ගය අංක 03 වශයෙන්ද හැඳින්වෙයි. කොළඹ සිට කන්කසන්තුරේ දක්වා දිවෙන උතුරුදිග දුම්රිය මාර්ගය අංකනය කොට ඇත්තේ අංක 04 වශයෙනි. මේ අතර මැදවච්චිය දුම්රිය සන්ධිය හරහා වැටී ගත් කොළඹ තලෙයිමන්නාරම් මාර්ගය අංක 05 ලෙසද, මහව සහ ගල්ඔය සන්ධි හරහා වැටී ඇති කොළඹ - මඩකලපුව සහ කොළඹ - ත්‍රිකුණාමල දුම්රිය මාර්ග අංක 06 සහ 07 ලෙසින්ද හැඳින්වෙයි. කොළඹ සිට මාතර දක්වා දිවෙන දකුණු දිග දුම්රිය මාර්ගය සඳහා දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් ලැබී ඇති අංකය අංක 08 වන අතර අතීතයේ අවිස්සාවේල්ල සන්ධිය හරහා මරදානේ සිට ඕපනායක සහ යටියන්තොට දක්වා විහිදුණු කැලණිවැලි දුම්රිය මාර්ගයට දී ඇති අංකය අංක 09 වේ.

අතීතයේ අඩි 2 යි අඟල් 6 ක් පළල පටු ආමාන දුම්රිය මඟක් හෙවත් 'පුංචි කෝච්චි පාරක්' ලෙස පැවතුණු මෙය 1993 වසරේ සිට අඩි 5 යි අඟල් 6 ක් පළල වූ පුළුල් ආමාන හෙවත් සාමාන්‍ය දුම්රිය ධාවනය සඳහා අවිස්සාවේල්ල දක්වා පමණක් සීමා කොට ඇත.

කැලණිවැලි සමාජ ගොඩනැගිල්ල

අතීතයේ ඕපනායක සහ යටියන්තොට දක්වා වූ පුංචි කෝච්චි පාරවල් දෙක බෙදෙන මන්සන්ධි දුම්රියපොළ වූයේ අවිස්සාවේල්ලයි. මෙම දුම්රිය මාර්ගයේ 'කැලණිවැලි' යන නම ආවාට ගියාට යොදන ලද්දක් නොවේ ඒ පසුබිමෙහි රසවත් කතාවක් තිබේ. මේ ඒ කතාවයි.

අප රටට දුම්රිය මාර්ග අවශ්‍ය බවට ජනතාව කිසිදා උද්ඝෝෂණය කොට නැත. 1867 දී මහනුවර දක්වා දුම්රිය මඟක් තැනීම සම්බන්ධයෙන් උඩරට ගැමියන් ඇතුළු ජන ප්‍රධානීන් විරුද්ධ වූ බවට නම් මානව විද්‍යාත්මක සාක්ෂි තිබේ. කාල් මියුලර් විසින් ලියන ලද 'යකඩ යකා' සහ සරත් ධර්මසිරි විසින් ලියන ලද 'භේරුණ්ඩ පක්ෂියා' වැනි නවකතා මඟින් කොළඹ - මහනුවර දුම්රිය මඟ තැනීම සම්බන්ධයෙන් එවකට පැවැති උඩරට ජනයාගේ ආකල්ප යම් තරමකින් විස්තර කෙරේ.

කැලණි වැලි සමාජයට පිවිසෙන දොරටුව

සැබැවින්ම උඩරට දුම්රිය මාර්ග අවශ්‍ය වූයේ එවක උඩරට පුරා පැතිර තිබූ 'කෝපි වගා අධිරාජ්‍යය' ටය. 1830 - 1850 කාලය තුළ ශ්‍රී ලංකාවේ කෝපි වගාව මෙරට ආර්ථික සංවර්ධනයට ප්‍රබල සහයක් දැක්වූ අතර 1860 වන විට ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර වලින් ‍හෙක්ටයාර් ලක්‍ෂයක් පමණ කෝපි වගාව සඳහා යොදන ලදී. ඒ අනුව 1860 වන විට ලෝකයේ විශිෂ්ටතම කෝපි නිෂ්පාදකයන් වශයෙන් බ්‍රසීලය හා ඉන්දුනීසියාව සමඟ සම තත්ත්වයක සිටීමට අපට ද හැකිවිය.
සැබැවින්ම අප රටේ උඩරට දුම්රිය මාර්ග පද්ධතිය ආරම්භ වූයේ එම කෝපි අස්වැන්න කොළඹ වරායට ගෙන ඒමට මිස මහජන සේවාවක් පිණිස නොවේ.

මෙම කෝපි වගාව ප්‍රවාහනය කිරීම සඳහා වූ දුම්රිය මඟ 1873 ගම්පොළ දක්වාත් 1874 නාවලපිටිය දක්වාත් දීර්ඝ කරන ලදී. නාවලපිටිය, දොළොස්බාගේ කඳු පන්තියෙන් මෙපිට කොටස අයත් වන්නේ සබරගමු පළාතට සහ කෑගල්ල දිස්ත්‍රික්කයටයි.කැලණි වැලි සමාජයට පිවිසෙන දොරටුව ඒ වන විට ශ්‍රී ලංකාවේ තේ සහ රබර් වගාවන් ද කෙමෙන් පැතිරෙමින් තිබූ අතර Hemileia Vastatrix නම් වන කෝපි කොළ මළ කෑමේ රෝගය නිසා විකල්ප වගාවන් සෙවීමේ කාලීන අවශ්‍යතාවයක් පැන නැඟිණ.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර ධූරය දැරූ ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් ආණ්ඩුකාරවරයා(1883-1890) විසින් ඌව සහ සබරගමු පළාත් නව පළාත් වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර තේ වගාවට අමතරව  සිංකෝනා වගාව මෙරට ව්‍යාප්ත කරවීමේ පුරෝගාමියා වනුයේ ද ඔහුය.

මේ වන විට උඩරට කෝපි වගා කරුවන්ට ඇති ප්‍රවාහන පහසුව සබරගමුවේ කෝපි, තේ සහ රබර් වගා කරුවන්ට නොතිබීම සම්බන්ධයෙන් උද්ඝෝෂණ පැන නැඟුණි. විශේෂයෙන් මෙම උද්ඝෝෂණයට මුල් වූයේ අවිස්සාවේල්ලේ සිට යටියන්තොට ආදී ප්‍රදේශ මුල් කොට ගත් කැලණි නිම්න වැවිලිකරුවන්ය. ඒ සඳහා කැලණි නිම්න ප්‍රදේශ වලට දුම්රිය මඟක් අවශ්‍ය බවට ඔවුහු හඬ නඟන්නට වූහ. ඒ උඩරට ‍කෝපි වගාව ඉක්මනින් කොළඹ වරායට සේන්දුවීම මත කොට ඔවුන් සමඟ තරඟ කිරීමට තමන් ඇති නොහැකියාව මුල් කර ගනිමිනි. මෙම හඬ නැගීම වඩාත් ප්‍රබල වූයේ 1890 – 1895 අතර  මෙරට ආණ්ඩු කළ ශ්‍රීමත් එලිබෑන්ක් හැව්ලොක් ආණ්ඩුකාරවරයාගේ සමයේ දීය. මෙම හඬ නැඟීම මුල්කොට කැලණි මිටියාවතේ වැවිලි නිෂ්පාදන අඟනුවරට ගෙන ඒම සඳහා දුම්රිය සේවයක් තිබිය යුතුයි යන හඬ හිරුනොබසින අධිරාජ්‍යයටද  යාන්තමින් ඇසෙමින් තිබුණු අතර ඒ සඳහා  රජය යෝජනා කිහිපයක් කෙරෙහිම අවධානය යොමු කොට තිබිණ.රුවන්වැල්ල හා නාවලපිටිය සම්බන්ධ කෙරෙමින් දුම්රිය මඟක් තැනිය යුතු බව ඉන් පළමු වැන්නය. දෙවැන්න වේයන්ගොඩ හරහා රුවන්වැල්ල දක්වා නව දුම්රිය මාර්ගය සකස් කළ යුතු බවය. තුන්වැනි යෝජනාව වූයේ කොළඹ සිට පාදුක්ක, කොස්ගම, අවිස්සාවේල්ල, රුවන්වැල්ල යන ප්‍රදේශ හරහා දුම්රිය මාර්ගයක් තැනිය යුතු බවය.

පැරණි තුරඟ තරඟ පිට්ටනිය

මේ සඳහා 1894 ඩබ්ලිව්.ඩබ්ලිව්. මිචෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරන ලදී. මේ වන විට කැලණි මිටියාවතේ වැවිලිකරුවෝ සිතාවක කඳු වළල්ලට මැදි වූ අවිස්සාවේල්ල, තල්දූව ප්‍රදේශයේ 'කැලණි නිම්න සමාජය (Kalani valley Club)'නමින් වැවිලි කරුවන්ගේ සංවිධානයක් පිහිටවාගෙන තිබුණි. කැලණි ගඟ මිටියාවතේ වතු පාලකවරුන්ගෙන් යුත් මෙම සංගමය පිහිටුවා ගන්නා ලද්දේ 1884 ය. ඔවුන්ගේ එම සමාජ ශාලාව මුලදී පොල්අතු සෙවිලි කර තනන ලද්දක් බවත් පසුව එය ශීඝ්‍රයෙන් දියුණුවට පත් වූ බවත් ජන ප්‍රවාද වලින් පැවසේ.

සතියකට වරක් පමණ තමන්ගේ වතු වල සිට අශ්වයන්ගේ පිටින් මෙම කැලණි නිම්න සමාජය වෙතට එන ඉංග්‍රීසි ජාතිකවතු පාලකවරයන් මෙය තම විනෝද පාරාදීසයක් ලෙස යොදා ගත්හ. එහි තුරඟ තරඟ පිටියක් පවා ඉදිකිරීමට තරම් මොවුන්ගේ විනෝදකාමීත්වය ප්‍රබල විය. වතු පාලක ජීවිතයේ ඇති ඒකාකාරීත්වය පිටු දැකීමට මොවුන්ට මෙම කැලණි නිම්න සමාජයේ ක්‍රියාකාරකම් බෙහෙවින් ඉවහල් වන්නට ඇත.

එහිදී  ඉහත සඳහන් සබරගමුවට දුම්රිය මඟ ගෙන ඒම සම්බන්ධයෙන් පැවැති මිචෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ඒ සඳහා යන විය හියදම් ඇස්තමේන්තු කරන ලදී. එහිදී නාවලපිටියේ සිට රුවන්වැල්ල දක්වා අඩි දෙදහසකටත් වඩා බෑවුමක් තරණය කිරීමට යෝජිත දුම්රිය මාර්ගයට සිදුවන අතර ඒ සඳහා භූවිෂමතාව සැකසීම පිණිස පමණක් විශාල මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කරන ලදී.

ඊට අතරව වේයන්ගොඩ සිට රුවන්වැල්ල දක්වා දුම්රිය මඟ තැනීමේ දී බිංගෙවල් සහ පාලම් කිහිපයක් තැනීමට සිදුවන බවටත් එම කමිටුව නිර්දේශ කොට තිබුණි. එබැවින් පහසුම මඟ වූයේ කැලණි ගං මිටියාවතේ උස් බිමක් මුල්කොට මෙම රුවන්වැල්ල ප්‍රදේශයට සමීපවන දුම්රිය මඟක් තැනීමය. එබැවින් 'කැලණි නිම්න සමාජයේ (Kalani valley Club)' වැවිලි කරුවන්ගෙන් ආණ්ඩුකාරවරයාට නිරතුරු බලපෑම් එල්ල වූ අතර කමිටුව එය අඩි 02 අඟල් 06 ක් පළල පටු ආමාන දුම්රිය මඟක් හෙවත් 'පුංචි කෝච්චි පාරක්' විය යුතු යැයි නිර්දේශ කරන ලදී. ඊට හේතු වූයේ සබරගමුවේ වැවිලි නිෂ්පාදන වරාය වෙත ගෙන ඒම සඳහා වේගවත් ගමනක් අවශ්‍ය නොවීම සහ පටු ආමාන දුම්රිය මාර්ගය, එහි එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමත් තරමක් ලාභදායක වීමය. ඒ අනුව 1896 ජූලි මාසයේ දී අදාළ වැය ඇස්තමේන්තුව සකස් කොට 1897 අගෝස්තු මාසයේ දී යටත් විජිත මහලේකම්වරයා වෙත එම ඇස්තමේන්තුව ඉදිරිපත් කරන ලදී.මෙසේ ඇස්තමේන්තු කරන මුදල රුපියල් පනස්පන්ලක්ෂ පහළොස්දහස් නවසීය හතලිස් එකකී.එම ඇස්තමේනතුව සකස් කොට තිබුණේ කොළඹ සිට යටියන්තොට දක්වා කොටසටය. ඒ අනුව කැලණි නිම්න සමාජය මේ සම්බන්ධයෙන් දැරූ උත්සාහයට කළ ගුණ සැලකීමක් වශයෙන් එවකට අප රට පාලනය කළ ශ්‍රීමත් ජෝෂප් වෙස්ට් රිජ්වේ (ක්‍රි.ව 1895 – 1903) ආණ්ඩුකාරවරයා විසින් මෙම මාර්ගය 'කැලණි වැලි මාර්ගය' ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව 1902 සැප්තැම්බර් 15 වෙනි දින මරදාන සිට අවිස්සාවේල්ල දක්වා එහි 'පුංචි කෝච්චිය' ධාවනය කිරීම අරඹන ලදී. ඒ සමඟම එම මාර්ගය යටියන්තොට දක්වා දීර්ඝ කළ අතර එය 'කැලණි නිම්න (Kalani valley)' දුම්රිය මඟ ලෙස ප්‍රකට විය.

ඇස්තමේන්තු ගත කරන ලද මුදල ඉහත සඳහන් වුවද ඒ සඳහා  රුපියල් විසිහත්දහස් නවසිය තිස් අටක වැඩිපුර මුදලක් වැය වූ බව සදහන්ය.

පැරණි තුරඟ තරඟ අට්ටාලය

ඉන්පසුව 1908 වසරේ දී කුරුවිට දක්වාත්  ඉන්පසු 1916 රත්නපුරේ සිට දෑල දක්වාත්, 1919 යේ දී දෑල සිට ඕපනායක දක්වාත් එය  දීර්ඝ කරන ලදී.

එහෙත් කැලණි ගඟක් පැත්ත පළාතක නොවුවද අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා එම කොටස නම් වූයේ ද කැලණි වැලි දුම්රිය මාර්ගය ලෙසය.

ඒ අනුව අද වන විට මෙම සමස්ත දුම්රිය මාර්ගයම කැලණි වැලි හෙවත් කැලණි නිම්න දුම්රිය මාර්ගය ලෙස හැඳින්වුවද මෙහි සැබෑ කැලණි මිටියාවත් දුම්රිය මාර්ගය වනුයේ කොළඹ සිට අවිස්සාවේල්ල හරහා යටියන්තොට දක්වා දිවෙන පුංචි කෝච්චි පාර පමණි. ඊට හේතුව එම දුම්රිය මගේ අවිස්සාවේල්ලෙන් ඔබ්බෙහි සෑම ස්ථානයක්ම කැලණි ගඟ‍ට කිලෝ මීටර් අතළොස්සකට වඩා දුරින් නොපිහිටීමය. ඒ කෙසේ හෝ මෙම දුම්රිය මාර්ගයට මේ නම යෙදූ 'කැලණි නිම්න සමාජය' (Kalani valley Club)' නම් සමාජශාලාව  තල්දූව මීවිටිගම්මන මාර්ගය අද්දර දී ඔබට දැකබලා ගත හැක. මේ වන විට ද ඉතා සක්‍රීය සමාජ ශාලාවක් ලෙස පැවැතීම විස්මයට මෙන්ම සොම්නසටද කරුණකි.

කැලණි වැලි දුම්රිය මාර්ග‍ය දිගේ සවාරියක් ළඟදීම

සටහන හා ඡායාරූප - තිලක් සේනාසිංහ

එකිනෙකට වෙනස් චරිත තුළ වූ සියුම් ලක්ෂණ මනාලෙස මතුකරමින් වේදිකාව පුංචි තිරය සේම සිනමාව තුළත් ඔහු කළ රංගනයන් විශිෂ්ටය.
මේ දිනවල ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබමින් විකාශය වන “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යය නරඹන සෑම දෙනෙකුම ආනන්දගේ චරිතය පිළිබඳව කතා කරන්නේ ඔහු එම චරිතය තුළ ජීවත්වන නිසාමය. මෙවන් විවිධ චරිත හරහා අප හමුවට එන  ධර්මප්‍රිය ඩයස් නම් මෙම දක්ෂ රංගන ශිල්පියා මෙවර රැජිණ සමග මේ අයුරින් එක් වෙයි.
 
මේ දිනවල ඉහළම ප්‍රතිචාර ලැබෙන දෙවැනි ඉනිම ටෙලි නාට්‍යය ගැන කතාකරමින්ම අපි මේ කතාබහ අරඹමු
මේ දවස්වල දෙවැනි ඉනිමේ ආනන්ද කියන චරිතයට බොහොම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. එම නාට්‍යය අද වනවිට අංක එකට ඇවිත්. ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වගේම පිටපත් රචකයාගේ දායකත්වයත් මෙහිදී අගයනවා. 
 
මේ දිනවල ඔබ දායකවන වෙනත් නිර්මාණ ගැන කතාකළොත්..
“කූඹියෝ” සහ “නිල් අහස යට” ටෙලි නාට්‍ය විකාශය වනවා. “සාදය මාරයි සල්ලි හමාරයි” , “නැතුව බෑ” වේදිකා නාට්‍ය ඉහල ප්‍රතිචාර මැද රට වටා යනවා. ඒ වගේම අශෝක හඳගමගේ. අසංදිමිත්තා. ජගත් මනුවර්ණගේ. මුරුග සන්නිය චිත්‍රපටවලට එක්වුණා. ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයට ආරාධනා ලැබිල තියෙනවා. 
 
මෙගා ටෙලි නාට්‍යවලදී නිසි අයුරින් පිටපතක් නොලැබෙන බව, කතාවේ අවසානයක් නොදැන ඊට දායක වන්නට වන බව වැනි ගැටලු පිළිබඳ ඇතැමුන් චෝදනා නගද්දී ඔබ එවන් නිර්මාණවලටත් දායක වනවා.
මෙගා නම් හැම අතින්ම මෙගා විය යුතුයි. ශිල්පීය ගෙවීම් පවා මෙගා වියයුතුයි. කොටස් ගණන වැඩි වූ පමණින් මෙගා වෙන්නේ නැහැ. ඒත් අද අපේ රටේ බිහිවන මෙගා ටෙලි නාට්‍ය මෙගා වෙන්නේ නාට්‍යය දීර්ඝ වීම තුළින්. ඒ බව මුලින්ම කිව යුතුයි. ඒ කෙසේ වුවත් කොටස් 600 ක විතර ටෙලි නාට්‍යවලදී කලින්ම සමස්ත පිටපත දෙන්න බැහැ. එය වටහාගත යුතුයි. ඒ වගේම යම් ප්‍රායෝගික හේතු මත සමහර අවස්ථාවලදි පමණක් දර්ශන තලයේදි පිටපතේ සමහර දර්ශන ලියැවෙන අවස්ථා තියෙනවා. විශේෂ හේතු මත කතාවේ අවසානය වෙනස් කරන්නටත් සිදුවිය හැකියි. සිනමා නිර්මාණයක චිත්‍රපටයක එහෙම නැත්නම් සීමිත කොටස් ගණනක් ඇති ටෙලි නාට්‍යයක පවතින තත්ත්වයම කොටස් සිය ගණනක් දීර්ඝ ටෙලි නාට්‍යයකදී බලා‍පොරොත්තු වන්නට බැහැ. ඒත් නළු නිළියන්ට තමන්ගේ චරිතය ගැන කලින්ම දැනුවත් කිරීමක් කරල තියෙන හිංදා  ඒ වැටහීම තුළින් තමන්ගේ චරිතය ගොඩනගාගන්න පුළුවන් විය යුතුයි. පවතින්නට නම් කළයුත්තේ මේ විදියේ ප්‍රායෝගික තත්ත්වයන්ට මුහුණ දෙන එක. එහෙම බැරිනම් බැන බැන ඉන්න එකේ තේරුමක් නැහැ ඉවත්වීමයි කළයුත්තේ. 
 
හඬකැවූ ටෙලි නාට්‍ය අද වනවිට අපේ රටේ බහුලව විකාශය වනවා. ඒ ගැන විවිධ මති මතාන්තර තියෙනවා. ඔබ මේ ගැන දරන්නේ මොන වගේ අදහසක්ද.. ?
මම විදෙස් ගතවූ මොහොතක හමුවූ කෙනෙක් මට කිව්වා “ඔබට බොහොම හොඳට ඉතාලි කතා කරන්න පුළුවන්නේ ..” කියලා. මම එක ඉතාලි වචනයක්වත් දන්නේ නැහැ.. මේ තැනැත්තා කිවූ කතාව මොකක්ද කියල මම හොයල බැලුවා. “මචං” චිත්‍රපටයේ ඉතාලි බසින් හඬ කැවූ චිත්‍රපටය බලල තමයි එයා ඒ කතාව කියල තියෙන්නේ. ඒ තරමටම ඒ හඬකැවීම් ශිල්පියා මා රඟපෑ චරිතයට සාධාරණය ඉටු කරලා තියෙනවා. බොහෝ විදෙස් රටවල් වෙනත් රටක නිර්මාණයක් තමන්ගේ රටේ පෙන්වන්නේ තමන්ගේ බසින් හඬ කවලා. ඒ රටවල වෘත්තීය හඬකැවීම් ශිල්පීන් ඉතා හොඳ මට්ටමක පවතිනවා. ඒත් අපේ රටේ තත්ත්වය ඊට වෙනස්. මම වසර විස්සක් පුරා හඬ කැවීම් ශිල්පියෙක් විදියට ඉන්න හිංදා මම දන්නවා හඬකැවීම් ශිල්පීන්ට ඇති තත්ත්වය. අනෙක් කාරණය තමයි විදෙස් රටවල් ඒ විදියට තමන්ගේ බසට හරවලා පෙන්වන්නේ තමන්ට වැදගත්වන වටිනා නිර්මාණ. අපේ රටේ හඬ කවලා පෙන්වන්නේ කොයි විදියේ නිර්මාණද කියන එක සිතා බැලිය යුතුයි. ප්‍රශ්නය තියෙන්නේ ඔන්න ඔය කාරණා තුළ.  
 
ඔබ රංගනය තුළ වැඩි තෘප්තියක් ලබන්නේ වේදිකාවෙන්ද ටෙලි නාට්‍ය තුළින්ද එහෙම නැත්නම් සිනමාවෙන්ද.. ?
යන එන හැම තැනකදීම මගේ රංගනයන්ට ප්‍රතිචාර ලැබෙනවා. තවමත් මචං චිත්‍රපටයට ප්‍රතිචාර ලැබෙනවා. මේ දවස්වල දෙවැනි ඉනිමට ලැබෙන ප්‍රතිචාර ඉහලයි. ඒත් ටෙලි නාට්‍යවලට චිත්‍රපටවලට මොන තරම් ප්‍රතිචාර ලැබුණත් තවමත් මට වැඩිම ගෞරවයක් ලැබෙන්නේ වේදිකාවෙන්. මම වැඩිම තෘප්තියක් අදටත් ලබන්නේ වේදිකාව තුළින්.
 
ඔබේ රංගන දිවියේ ආරම්භය සිදුවුණෙත් වේදකාවෙන් .. 
ඔව් .. ඒ පාසල් වේදිකාවෙන්. පිළියන්දල මධ්‍ය මහා විදුහ‍ලේ තමයි මම අධ්‍යාපනය ලැබුවේ.උසස්පෙළ පන්තියේ නාට්‍ය හා රංග කලාව ගුරුවරයා වුණේ ප්‍රේමකුමාර් කරුණාරත්න මහතා. එතුමා තමයි මගේ රංගන ජීවිතයට අත්‍පොත් තැබූ මගේ ගුරුවරයා. 
 
ධර්මප්‍රිය ඩයස්ගේ පුද්ගලික තොරතුරු ටිකක් කතා කළොත්. 
මගේ ගම කැස්බෑව. මම කටුවාන ශාස්ත්‍රානන්ද විදුහ‍ලේ ගුරුවරයෙක් විදියට කටයුතු කරනවා. මගේ බිරිඳ අනෝජා මිලන්ති අබේරත්න. මගේ ලොකු පුතා ස්වර්ණ ඩයස්ට අවුරුදු  9යි. ‍පොඩි පුතා පවර භාෂන ඩයස්ට අවුරුදු 5යි.  
 
පාසල තුළදී ඔබේ රංගනයට ප්‍රතිචාර ලැබෙනවා ඇති..
ප්‍රතිචාර ලැබෙනවා. ඒත් ඒ ප්‍රතිචාරවලට වැඩිදුර යන්න මම ඉඩ දෙන්නේ නැහැ. එහෙම උනොත් මට මගේ වෘත්තිය පවත්වගෙන යන්න බැරිවෙනවා. පාස‍ලේදී මම නළුවෙක් ‍නෙවෙයි.ගුරුවරයෙක්.
 
වසර ගණනක් පුරා කලාවේ රැඳී සිටි කලාකරුවකු විදියට ඔබට මොනවද හිතෙන්නේ .. 
කිසිම වෘත්තියක නියැලුණු අයෙකුට වයසට ගියාම අනිත් අයගේ පිහිට පතන්නට වෙන්නේ නැහැ. ඒත් අද වියපත් කලාකරුවන්ට ආධාර උපකාර කරන සමිති සමාගම් පවා පවතිනවා. ඉහළින්ම වැජඹුන අයත් අවසාන කාලයේදී අනුන්ගෙන් අතපාන මට්ටමට පැමිණි අවස්ථා අප දකිනවා. එසේ නොවන්නේ ජනප්‍රියත්වයේ ඉහළම තැන ඉන්නකොට මියගිය අයට පමණයි. ඉන්දියාවේ සත්‍යජිත් රායිගේ අවසන් කාලයේදී රජය විසින්ම ඔහුගේ මහල් නිවාසය අසල ගිලන් රථයක් තබා තිබුණා. ඒත් කලාවට ඉහළම මෙහෙයක් කළ අපේ කලාකරුවන්ට ඉන්න ගෙයක්වත් නැති තත්ත්වයට පත්වන අවස්ථා තිබෙනවා. මේ කනගාටුදායක තත්ත්වයට නිසි විසඳුමක් ලබිය යුතුයි. වැඩ කරන කාලයේදී කලාකරුවන්ට නිසි වටිනාකමක් ලැබෙනවා නම් ඒ අය තමන්ගේ ස්ථාවරය හදාගනියි. එවිට වයසට ගියාම ආධාර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
 
ආරියවංශ කුලතිලක 
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

ශාක ඵලවලින් මිනිස් සිරුරට ලැබෙන ‍පෝෂණය මිල කළ නොහැකිය. ඒවායේ අඩංගු විවිධ රසායනිකයන් ලෙඩ රෝග රැසක් මැඩලීම සඳහා උපකාරී වෙයි. 
ගමේ ‍පොළොස් ගෙඩිය, පැ‍පොල් ගෙඩිය, කෙසෙල්මුවය, කැකිරි ගෙඩිය, අලු කෙසෙල්, තුඹ කරවිල, පලා කොළ මිටිය ආදි ආහාර වර්ග කීපයක් පමණක් ඉතිරි කරමින් මේ ජානගත ආහාර හා කෘත්‍රිම වස වසංගතය රට පුරා පැතිර ගොස් ඇති අවධියක තවත් මහඟු ඔසු ගුණ පිරි ආහාරයක් පිළිබඳව තොරතුරු මෙවර විමසා බලමු. මේ වැඩි මිලක් වැය නොකර ලබා ගත හැකි ‘චව් චව්’ පිළිබඳවයි. 
 
“චව් චව්” ආහාරයට ගත හැකි ක්‍රම
* මැල්ලුම
* ඇඹුල 
* කිරට
* මිරිසට
* කොස් ඇට සමග
* පරිප්පු සමග
 
හොඳම ගුණදායක එළවළුවක් 
 
සංතෘප්ත මේදය නැති 94%ක්ම ජලය අඩංගු “චව් චව්” ග්රෑම් 100ක අඩංගු ශක්තිය කිලෝ කැලරි 16කි. ‍පෝෂණවේදීන්ට 
අනුව “සිරුරේ බර වැඩිවීම පාලනයටත් කොලෙස්ටරෝල් අඩු කිරීමටත් හොඳම එළවළුවකි චව් චව්” රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගැනීමටත් හදවත සුවපත්ව තබා ගැනීමටත් ‍පොටෑසියම් බහුල ආහාර පානවලින් මනා සහයක් ලැබේ. “චව් චව්” ග්‍රෑම්  100ක ‍පොටෑසියම් මිලිග්‍රෑම් 155ක් අඩංගු වන බැවින් රුධිර පීඩනය සමනය කර හදවත සුරැකීමට ඉන් ලබාගත හැකි ඔසු ගුණය අසීමිතය. ඉන්දුනීසියානු සාම්ප්‍රදායික වෙදකමට අනුව දෙහි යුෂ මිශ්‍ර කළ “චව් චව්” යුෂ අඬු කෝප්ප දෙකක් බැගින් දිනපතා උදේ සවස දෙසතියක් බොන්නට දීමෙන් රුධිර පීඩනය මනාව පාලනය වේ. තන්තුවලින් පරිපූර්ණ ආහාරයක් වන “චව් චව්” ගෙඩියක ආහාරමය තන්තු ග්‍රෑම් 3, 4ක් පමණ අන්තර්ගතවේ. මෙම ප්‍රමාණය මිනිස් සිරුරකට දිනකට අවශ්‍ය තන්තු ප්‍රමාණය මෙන් 14%කි. මේ අනුව ආහාර ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයටත්, බඩවැල්වල හටගන්නා 
පිළිකා අවදානමෙන් මිදිමටත්, මළ බද්ධය හා අර්ශස් රෝග මැඩ පැවැත්වීමටත් “චව් චව්” තරම් අගනා ආහාරයක් නොමැති බව ආසියානු රටවල පාරම්පරික වෙදැදුරන්ගේ මතයයි. 
 
අස්ථිවල නිරෝගී බවටත් කදිමයි
 
“චව් චව්” ආහාරයට ගැනීමෙන් අස්ථිවල නිරෝගී බවද සුරැකේ. ඊට බලපාන්නේ “චව් චව්”වල කැල්සියම්, මැග්නීසියම් හා විටමින් බහුලව අන්තර්ගත වීමයි. මේ නිසාම දේශීය කැඩුම් බිඳුම් වෙදැදුරන් අස්ථි බිඳීම්වලදී “අස්ථි මෙලෙක් කර මනා ලෙස පෑහීමට “චව් චව් ඇට” ඖෂධ සඳහා යොදාගනී. 
 
විටමින් වර්ග බහුලයි 
“චව් චව්”වල තයමින් (විටමින් E1), රයිබෝප්ලෙවින් (විටමින් E2), නියැසින් (විටමින් E3), පැන්ටොතෙනික් අම්ලය (විටමින් E5), පිරිටොක්සින් (විටමින් E6) ආදී බි කාණ්ඩයේ විටමින් ‍පෝෂණ බහුලව අඩංගුය. ඊට අමතරව විටමින් C, විටමින් E හා විටමින් K වලින් “චව් චව්” ‍පොහොසත්ය.
 
“චව් චව්” කොළ තම්බා පානය කිරීමෙන් ලැබෙන ගුණ “චව් චව් හා පත්‍රවලින් සාදන කසාය හෝ පානය චව් චව් වැ‍ලේ කොළ තම්බා “තේ” වෙනුවට පානය කළ හැක. ඒ තුළින් සිරුරට ලැබෙන මහඟු ගුණ මෙසේය. 
* අධික රුධිර පීඩනය පාලනය වීම.
* වකුගඩු ගල් දියවීම.
* අධික රුධිර පීඩනයට හා හෘදයාබාධවලට කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ්, රුධිර නාලවල කැල්සියම් බැඳීමෙන් සිදුවන රුධිර නාල ඝන වීමේ රෝග තත්ත්වය මනාව පාලනයවේ.
 
ගැබිනි මව්වරුන්ටත් ඉතා ගුණදායකයි
 
“චව් චව්” ග්‍රෑම් 100කින් ගැබිනි මවකගේ ෙදෙනික ෆෝ‍ලේට් අවශ්‍යතාවෙන් 25%ක් ලැබෙයි. මේ අනුව ගැබිනි මව්වරුන්ට වෙළෙඳපළේ ඇති ෆෝ‍ලේට් අඩංගු අමතර රසායන ද්‍රව්‍යයන්ගෙන්ද සරු කොට ඇති ප්‍රියමනාප ඇසුරුම්වලින් එන කෘත්‍රිම ඖෂධ වර්ග වෙනුවට “චව් චව්” සතියකට තුන් හතර වතාවක් ආහාරයට ගැනීම මොනතරම් යහපත්ද ?
 
පිළිකා අවදානම වළක්වන්නටත් වයසට යාම පාලනය කරන්නටත් කදිමයි 
 
“චව් චව්” ආහාරයට ගැනීමෙන් හා එහි පත්‍ර තේ මෙන් තම්බා බිමෙන් “පිළිකා මැඩලන ශක්තියත්, වයසට යාම පාලනය කරන ශක්තියත්” ලැබේ. ඊට බලපාන ශාක රසායනිකයක් වන Asapigenin luteolin වැනි ෆ්ලෙවර්නොයිඩ් හා ‍පොලි ෆිනේලික ප්‍රතිඔක්සිකාරකයන් “චව් චව්” වල යහමින් අඩංගුය. 
 
“චව් චව්” ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු අය 
 
හන්දිගත රූමැටික (Rheumatoid Arthritis) රෝගීන්ට “චව් චව්” ‍පොටෑසියම් අධික  ආහාරයක් බැවින් ආහාරයට ගැනීම සුදුසු නොවේ. 
 
රඹුක්කන කීර්ති එස්. කුමාර 
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk
IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4639

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4249

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7375

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4644

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2974

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3782

Please publish modules in offcanvas position.

Web Analytics