Coss Ear2
lakbima.lk
COSS Ear 1

අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද?
නළුකම මගේ වෘත්තිය ‍නෙවෙයි. අද වෙද්දී දේශපාලනය තමයි මගේ වෘත්තිය. නමුත් මගේ හදවතින් මම රංගන ශිල්පියෙක්. මොකද හැමදාමත් මම කලාවට ආදරේ නිසා.

උදාරට වඩාත් පහසු දේශපාලනයේ නියැළෙන එකද නළුවෙක් විදියට රඟපාන එකද?
දේශපාලනය සහ කලාව කියන්නේ පැහැදිලිවම ක්ෂේත්‍රයන් දෙකක්. ඒ නිසා ඒ දෙක සමාන කරන්න බැහැ. නමුත් හරි විදියට කළොත් රංගනය සහ දේශපාලනය යන දෙකෙන්ම ජනතාවට සතුටක් ලබා දෙන්න පුළුවන්.

නළුකමෙන් වගේම දේශපාලනයෙනුත් අද වෙද්දී ඔබට ජනතාවට සතුටක් ලබාදෙන්න හැකිවෙලා තියෙනවාද?
ලංකාව වගේ රටවල දේශපාලකයා කියන චරිතය ගැන බොහෝ වෙලාවට ජනතාවගේ හිතේ මැවෙන්නේ එතරම් හොඳ ප්‍රතිරූපයක් ‍නෙවෙයි. කලාකරුවාට නම් බොහෝවිට ඊට වැඩි ආදරයක් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙනවා. මම නිතරම උත්සාහ කරනවා, ජනතාවට සේවයක් කරලා ඒ ආදරය දේශපාලනඥයකු විදියටත් ලබාගන්න.

නෙලා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන නිසා මේ දිනවල ඔබ ගැන සිනමා ලෝලීන් නැවතත් කතා බහ කරන්න පටන් ගෙන තිබෙනවා. නෙලා චිත්‍රපටයේ ඔබේ චරිතය විශේෂ එකක් කියලා කියන්න පුළුවන්ද?
ඇත්තටම ඔව්. මොකද මම අන්ධ තරුණයෙක් විදිහට තමයි නෙලා චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයා හමුවට එන්නේ.

පෙර හැදෑරීමක් නැතිව ඒ විදිහේ චරිතයක් රඟපාන්න ‍ලේසි වුණාද?
කොහෙත්ම නැහැ. ඒ නිසා රඟපාන්න කලින් මාස 6ක විතර කාලයක් මම ඒ චරිතයේ ස්වභාවය ගැන විශාල හැදැරීමක් කළා. අන්ධ  චරිත රඟපෑ නළු නිළියන් කළ රඟපෑම් අධ්‍යයනය කිරීම තමයි වැඩි වශයෙන් කළේ.

නෙලා ඔබේ පියා වන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායකගේ චිත්‍රපටයක්. මේ විදිහට පියාගේ චිත්‍රපටවලම රඟපාද්දී එක පැත්තකින් ඔබට  විවේචනයකුත් එල්ල වෙනවා ඔබ රඟපාන්නේ තාත්තාගේ චිත්‍රපටවල විතරයි කියලා. මොකක්ද ඔබට ඊට දෙන්න තිබෙන පිළිතුර?
ඔය කියන චෝදනාව මම ප්‍රතික්ෂේප කරනවා. දැනට මම රඟපාලා තියෙන චිත්‍රපට හතරෙන් දෙකක් විතරයි තාත්තාගේ චිත්‍රපට. මම ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ‍පෝරිසාදයා චිත්‍රපටයත් මේ දිනවල තිරගත වෙනවා. ඒක තාත්තාගේ ‍නෙවෙයි. අනික තාත්තාගේ චිත්‍රපටවලම රඟපාන්න වුවමනාවක් තිබුණා නම් මම මීට කලින් තමයි   ක්ෂේත්‍රයට එන්නේ.  ඒත් මට වයස අවුරුදු 25ක් පසු වුණාට පස්සේ තමයි මම චිත්‍රපටයක රඟපෑවේ.

එතකොට උදාරව නළුවෙක් විදිහට වැඩිපුර දකින්න නොලැබෙන්නේ දේශපාලන ජීවිතයේ තිබෙන කාර්යබහුල බව නිසාද? නැත්නම් ආරාධනා අඩු නිසාද?
මට පසුගිය කා‍ලේ රඟපෑමට ආරාධනා නොලැබුණේ නැහැ. රංගනයෙන් දායක වෙන්න තරම් සුදුසු හොඳ මට්ටමේ චිත්‍රපට ඒ අතර නොතිබිමයි මගේ නිහඬතාවයට ප්‍රධානම හේතුව වුණේ. මම මේ වෙනකොට තීරණයක් අරගෙනයි තියෙන්නේ. හොඳ චරිත තෝරා බේරාගෙන ඉදිරි අවුරුදු දෙකේ වැඩිපුර චිත්‍රපටවලට දායක වෙනවා.

කිෂාන් කනංකෙ

මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද?
ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු වුණේ 1990 දී. ඒ කේමදාස මාස්ටර්ගේ “මානසවිල” ඔපෙරාවෙන්.
නමුත් එදා මෙදා තුර ඔබ දායක වූ නිර්මාණ සංඛ්‍යාව සීමිතයි. ඇයි එහෙම වුණේ?
එහෙම කියන්නත් බෑ. මම බොහෝ ගීත නිර්මාණවලට දායක වෙලා තියෙනවා. මගේම කියලා ගීත හුඟක් මට තියෙනවා. 2016දී සුමති, රයිගම්, සිග්නීස් සම්මාන උළෙලවලදී හොඳම ගායනයට හිමි සම්මානය ලැබුණෙත් මට.
 ඒත් බොහෝ විට ඒ අතරින් අපිට අසන්නට දකින්නට ලැබෙන්නේ “සඳ පහන් රැයේ” ගීතය විතරයි.... ඇයි ඒ?
ඒ ගීතය මම ගායනා කළේ වෙනස්ම ආරක ගීතයක් විදිහටයි. බොහෝ විට අප චිත්‍රපට සඳහා ගීත ගායනා කිරීම සිදුවුණාට මගේ මේ ගීතය “ආදරණීය වස්සානය” චිත්‍රපටයට තෝරාගත්තේ ගීතය ගායනා කළාටත් පස්සේ. ඒ වගේම තමයි මම ඔය ගීතය ගායනා කළ කාලයේදී  එක් එක් රූපවාහිනී නාලිකා මගින් ගීත අරගෙන ඒවාට රූප රචනා නිර්මාණය කරන සම්ප්‍රදායකුත් තිබුණා. “සඳ පහන් රැයේ” ගීතයටත් රූප රචනාවක් නිර්මාණය වුණේ ඒ විදියටයි. හැබැයි අනෙක් ගීත ඒ විදියට ජනතාව අතරට ගියේ නැහැ.
 ඊට හේතුව?
මම දන්නේ නැහැ  ඒ ඇයි කියලා. මගේ හැම නිර්මාණයක්ම  විද්‍යුත් නාලිකාවලට ලබාදී තිබෙනවා. ඒත් ඒවා ප්‍රචාරය වෙන්නේ නැහැ.
 බොහෝ ප්‍රවීණයන්ට තියෙන ගැටලුවක් තමයි ඕක. ඒ ගැන ඇහුවාම නාලිකාවල අය කියන්නේ ජනතාව ඉල්ලන දේ දෙනවා කියලයි. ඔබට ඒක එකඟ වෙන්න පුළුවන් විදිහේ කතාවක්ද?
මගේ ගීත අන්තර්ජාලයේ යූටියුබ් එකේ තියෙනවා. සමහර ගීත තියෙනවා විශාල පිරිසක් නැරඹූ ගීත. ඒ වගේම සමහර රියැලිටි තරගවලට එන අලුත් ගෑනු ළමයි මගේ ගීත ගායනා කරනවා. මිනිස්සු මගේ ගීත ප්‍රතික්ෂේප කරනවා නම් එහෙම වෙන්නේ නැහැනේ.
 අද “ජනප්‍රිය ගී” විදියට නාලිකාවල නිතර අසන්නට සලස්සන ගීත එකම රාමුවකට කොටු වූ ඒවා. ඔබ වැනි අයගේ ගී එතැන නැහැ. ගීත ප්‍රචාරයේදී යම් මාෆියාවක් තියෙන බව ඇතැමුන් පවසනවා. සමහර නාලිකා ගීත ප්‍රචාරය කරවන්න මුදල් අය කරන බව පවා ගායකයන් පවසනවා?
කිසිම නාලිකාවකින් ගීත ප්‍රචාරය කරවන්න මගෙන් නම් මුදල් ඉල්ලලා නැහැ. හැබැයි එක්තරා නාලිකාවකින් මේ කාරණය විමසූ වෙලාවේ නම් “අක්කේ සින්දුවකට විෂුවල් එකක් ඕනනේ. විෂුවල් එක බලලා තමයි අපි සින්දුව ගැන තීරණය කරන්නේ. අක්කගේ සින්දුවලට විෂුවල් නෑනේ” කියලා ඔවුන් කිවුවා.
 ගීතයක ගුණාත්මක භාවය තීරණය කරන්නේ එහි රූප රචනය බලලා යැයි කියද්දී ඉන්දිකා එම පුද්ගලයාට දුන් පිළිතුර මොකක්ද?
කිසිම උත්තරයක් දෙන්න ගියේ නැහැ.
 ඒ කියන්නේ ගීතයකට රූප රචනාවක් අත්‍යවශ්‍යයි කියන තැනට ඔබත් අද ඇවිත් නේද?
කාලෙන් කාලෙට විවිධ ප්‍රවණතා ඇති වෙනවා. අද වෙද්දී ගීත රූප රචනා කලාව  පුළුල් විදියට ව්‍යාප්ත වෙලා. ගීතයක් නිර්මාණය කළොත් රූප රචනාවක් අත්‍යවශ්‍යයි කියන තැනට අද ඇවිත්. අපි ක්ෂේත්‍රයට එද්දී ඒ විදියේ පසුබිමක් තිබුණේ නැතත්  අපිට වුණත් අද පවතින තත්ත්වයට අනුගත වන්න සිදුවන්න වෙනවා. ඒ වුණත් රූප රචනා කලාව ආශ්‍රිත යම් යම් දේ නම් මම අනුමත කරන්නේ නැහැ. ගීතයකට රූප රචනාවක් නිර්මාණය වෙනවා නම් එය ගීතයේ අර්ථයට වගේම රසයටත් සාධාරණයක් ඉටු කරන එකක් විය යුතුයි.
 ඉන්දිකාගේ ඉදිරි නිර්මාණ ගැන කතා කළොත්?
ළඟදීම අලුත් නිර්මාණ කිහිපයක් එළි දක්වන්න සැලසුම් කර තිබෙනවා. සුවිශේෂි විදියේ ප්‍රසංගයකටත් සූදානම් වෙනවා. මගේ සංගීත රටාව ඔපෙරා සංගීතයට නැඹුරුයි. අලුත් ගීත සියල්ලම වගේ සුවිශේෂ පද මාලා. ඒ වගේම සුවිශේෂී සංගීතයකුත් ඊට එක් කරලා තියෙනවා. ඒ ගැන ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට දැනගන්න ලැබේවි.

ආරියවංශ කුලතිලක

“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ?
මම තාවකාලිකව ‘සල් සපු නා’ නාට්‍යයෙන් සමුගත්තා.
මොකක්ද ඒකට හේතුව?
මගේ ජීවිතේ තිබුණු ලොකුම හීනය තමයි අධ්‍යක්ෂවරයෙකු වීම. මමම පිටපත ලියූ ‘නූරි’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ හින්දා තමයි මම තාවකාලිකව ‘සල් සපු නා’ ටෙලි නාට්‍යයෙන් අයින් වෙන්න තීරණය කළේ.
ඔබ ගත්තු තීරණය හින්දා “සල් සපු නා” නිර්මාණයට අසාධාරණයක් වුණා නේද?  එහි නිර්මාණකරුවන් හා ඔබ අතර ඒ හේතුව මත ගැටුම් ඇතිවුණේ නැද්ද?
මම කලින්ම ඒ අයට මගේ තත්ත්වය පැහැදිලි කළා. පසුගිය ෂෙඩුල් එකේම මගේ චරිතය ඉවත් කරගත්තා. ඒකෙන් නාට්‍යයට අසාධාරණයක් වුණා. ඒ ගැන මම නිර්මාණකරුවන්ගෙන් වගේම සල් සපු නා රසික පිරිසගෙනුත් සමාව ඉල්ලනවා. ඒත් දැන් මම ආයේම ‘සල් සපු නා’ සඳහා එක්වී සිටිනවා. ඉදිරියේදී ඒ චරිතයට අසාධාරණයක් වෙන්නේ නැහැ.
ඔබ අධ්‍යක්ෂණය කරන “නූරි” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ ‍පොවන්නේ ඔබේ බිරිඳයි. ඇයි ඇයවම ඒ සඳහා තෝරා ගත්තේ. ඒ සඳහා ගැළපෙන වෙනත් නිළියන් නැද්ද?
මේ පිටපත කියවන ඕනෑම කෙනෙක් ඒ චරිතයට තෝරා ගන්නේ මේනකාව. ඇය ඒ චරිතයට ඉතාමත් හොඳින් ගැළපෙනවා. ඒ නිසයි මම ඇයව තෝරා ගන්නේ. ඇය මගේ බිරිඳ නිසා ඇගේ හැකියාවන් ගැනත් මම හොඳින් දන්නවානේ.
 මේනකා, ජගත් මනුවර්ණත් එක්ක රඟපාන ප්‍රේම ජවනිකා අධ්‍යක්ෂණය කිරීම ඔබට මොන වගේ අත්දැකීමක් වුණාද?
ඒක අධ්‍යක්ෂවරයෙකුගේ අත්දැකීමක් විතරයි. එතැනදී කැමරාව ඉදිරියේ ඉන්නේ මගේ බිරිඳ කියන එක මට අදාළ නැහැ. මම කවදාවත් වෘත්තියයි, පෞද්ගලික ජීවිතයයි පටලවාගන්නේ නැහැ.
අධ්‍යක්ෂවරයෙකු වීම ලොකුම හීනය බව රනිල් පැවැසුවා. අධ්‍යක්ෂවරයෙක් විදියට මතුවන විට දවසක අධ්‍යක්ෂණයයි නළුකමයි දෙකින් එකක් තෝරා ගන්න වුණොත් ඔබ මොන වගේ තීරණයක්ද ගන්නේ ?  
එහෙම වුණොත් මම අධ්‍යක්ෂණය විතරක් තෝරා ගනිවී.
ඉදිරියේ දී කරන හැම නිර්මාණයකදීම ප්‍රධාන නිළිය මේනකාම වේවිද ?
නැහැ.. මම මුලිනුත් කිව්වේ මම පෞද්ගලිකත්වයයි රස්සාවයි එකට පටලවා ගන්නේ නැහැ කියලා.

කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ?
මාව උපාසක අම්මා කළේ “සිඳූ” ටෙලි නාට්‍යයේ අපේ ‍පොඩි හාමුදුරුවෝ. මොකද මට උපාසක අක්කා කියන්නේ ‍පොඩි සාදුනේ. ඒත් සිඳූ ටෙලි නාට්‍යයේ අංජනාගේ චරිතය මට ලැබෙන්නේ සහය අධ්‍යක්ෂ ප්‍රදීප් මානවඩු අයියා කළ ආරාධනාවකට අනුවයි.
අංජනාගේ චරිතය ඔබට දැනෙන්නේ මොන විදිහටද?
අංජනා කියන්නේ නගරයේ හැදුණු වැඩුණු අභියෝගවලට මුහුණ දෙන්න කැමති ‍පොෂ් කෙල්ලෙක්. ඒ වගේම දිලුම්ට දැන් ඉන්න හොඳම යාළුවා විදිහට දිලුම්ගේ දෙමව්පියන්ට හුඟාක් සමීප වෙන්න හදන යුවතියක්. දිලුම් සහ තෙරණිගේ අතරමැදට ඇවිත් ඉන්න යුවතියක් විදිහට අංජනාට නම් මේ දවස්වල වැඩිපුරම අහන්න වෙන්නෙ බැණුම් තමයි.

එතකොට අංජනාගේ චරිතය වෙනුවෙන් කාවින්ද්‍යාට ප්‍රේක්ෂකයන්ගෙන් අහන්න ලැබෙන්නේ බැණුම් විතරමද?
වැඩිපුරම නම් ඉතින් බැණුම් තමයි අහන්න වෙන්නේ. සමහරු කියනවා අයියෝ මොකද අප්පා දෙන්නෙක්ගේ ආදරේට අකුල් හෙලන්නේ.... පැත්තකට වෙලා ඉන්නකෝ කියලා. ඒත් දිලුම්ම ඉස්සරහට කාට අයිති වෙයිද කියලා මමවත් තවම දන්නේ නැහැ. ඒ වගේම ‍පොඩි හාමුදුරුවෝ මට උපාසක අක්කා කියලා කතා කරන හින්දම, මඟතොටේදී මාව දන්න ‍පොඩි ළමයි “ආ මේ උපාසක අක්කනේ” කියලා ළඟට ඇවිත් කතා කරනවා.
 එතකොට කාවින්ද්‍යා කැමරාවකට මුලින්ම මුහුණ දුන්නෙත් අංජනාගේ චරිතය වෙනුවෙන්ද?
නැහැ. මම කැමරාවක් ඉස්සරහට මුලින්ම ගියේ 2015 ඊව් අවුරුදු කුමාරි තරගයේදී. මම අවුරුදු කුමාරි කිරුළ නම් දිනාගත්තේ නැහැ. ඒත් අවසන් දොළොස් දෙනා අතරට තේරුණා. දැන් මම රංගන ශිල්පිනියක් වෙලා අවුරුදු දෙකකට වැඩි කාලයක් වෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න මට වාසනාව උදා කරලා දුන්නේත් අවුරුදු කුමාරි තරගාවලිය බව කියන්නම ඕනේ. ගොඩාක් දෙනා හිතන්නේ අංජනා කියන්නේ මගේ පළවෙනිම රඟපෑම කියලයි. ඒත් ඊට කලින් මේඝා, නිසල සඳ ඔබ, මුතුමලී, පැහැසරා කියන ටෙලි නාට්‍යයවලත් මං රඟපාලා තියෙනවා. ඒත් මාව රටම දන්නා රංගන ශිල්පිනියක් කළේ සිඳුහි අංජනාගේ චරිතය කියලා කිව්වාට නම් වරදක් නැහැ.
 අංජනා සැබෑ ජීවිතයේදී කාවින්ද්‍යාට සමාන වෙන අවස්ථා තියෙනවාද?
අංජනා මට සමාන වෙන්නේ කිසිම දෙයක් හිතේ තියාගන්නේ නැතුව එක පාරටම අවශ්‍ය දේ කියලා දාන තැන්වලදී විතරයි. ඒත් අංජනා වගේ කාවින්ද්‍යා නම් දෙන්නෙක්ගේ ආදරයක් මැද්දට කවදාවත් හරස් නොවුණු, ඒ වගේම ඉදිරියේදීත් හරස් වෙන්නේ නැති කෙනෙක් බව නම් කියන්නම ඕනේ.  
 ඔබේ පෞද්ගලික තොරතුරු ගැන දැන ගන්නත් ඔබට ආදරය කරන හැමෝම බලාගෙන ඉන්නවා?
මම තමයි ගෙදර ලොකුම අක්කා, අම්මයි තාත්තයි නංගිලා තුන්දෙනයි ඇතුළුව පවු‍ලේ හය දෙනෙක් ඉන්නවා. මට වයස 21යි. මම කළමනාකරණය පැත්තෙන් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. මගේ තාත්තා නම් මම මේ ෆීල්ඩ් එකට යනවට ‍පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒත් මගේ රඟපෑම් දැකලා හුඟක් අය මා ගැන කතා කරන්න පටන් ගත්ත නිසා තාත්තගේ විරෝධය දැන් නැහැ. දැන් තාත්තා තමයි මගේ රඟපෑම් කටයුතුවලට වැඩිපුරම උදව් කරන්නේ.

සමන්මලී නැලිගම

ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ සුරතල් සිඟිති දියණිවරු දෙදෙනෙක් සිටිති. පසුගිය සති අන්තයක ඔහු කිසියම් රාජකාරී අවශ්‍යතාවක් සඳහා නගරාන්තර  බසයකින් මහනුවර යාමට පිටත් වුණි. බසයේ ඔහු සමීපයේ වාඩි වී සිටියේ අතිශය රූමත් කාන්තාවකි. බසය පෑලියගොඩ, කිරිබත්ගොඩ, කඩවත පසුකරත්ම කාන්සිය මකාගැනීම සඳහා ඔහු එම කාන්තාව සමඟ කතා බහකට එළඹිණි. එහිදී ඇය ද කිසිදු පැකිලීමකින් තොරව ඔහු හා කතා බහට පිවිසි අතර බසය ඉදිරි‍යට ඇදෙන වේගයෙන්ම ඔවුන්‍ දෙදෙනාගේ සුහදත්වයද වර්ධනය විය.  

තමන් කලක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වී සැමියාගේ නොපනත්කම් දරාගත නොහැකිව ඔහුගෙන් වෙන්වී ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවත් දැනට පදිංචිය මහනුවර ප්‍රදේශයේ පිහිටි තම මහගෙදර බවත් ඇය ඔහු හා කියා සිටියාය. එහිදී මෙම විධායක නිලධාරියාගේ සිත ඇගේ රූප සොබාව කෙරෙහි කොතරම් ඇදීගියේද යත් උපායශීලීව ඇය තමන් වෙතට නතු කර ගැනීමට ඔහු මාන බැලීය. එහිදී ඔහු ඒ සඳහා යොදාගත්තේ තමන් ද විවාහ වී දරු දෙදෙනෙකු සිටින මුත් බිරිඳගේ අකාරුණික කම මත තම යුග දිවියේ එතරම් තෘප්තියක් නැතැයි යන පට්ටපල් බොරුවය. එමෙන්ම තමන් සහ බිරිඳ අතර කායික සබඳතාද මේ වන විට මුළුමනින් ඇණහිට ඇතැයි ඔහු ඇයට කියා සිටියේ ඇගේ අනුකම්පාව දිනාගනු පිණිසය. බසය මාවනැල්ල, හිඟුල පසුකොට කන්ද උඩරටට සේන්දුවන විට මොවුන් දෙදෙනාගේ හිතවත් කමද කෙමෙන් ඉහළම තැනකට පත්වෙමින් තිබිණ.

"මම වයිෆ් ගෙන් දික්කසාද වෙලා ආවොත් ඔයා මට කැමති වෙනවද?"

බසය මහනුවරට ළංවන අතරේ ඔහු ඇගේ කනට මුව තබා ඇසීය.

"සත්තකින්ම"

ඇය ඔහුගේ අත්ල මත අත්ල තබමින් කීවාය.

කෙසේ හෝ ඇය ඔහුගෙන් මහනුවරදී සමුගත්තේ දින කිහිපයකින් යළි අගනුවර පැමිණ ඔහුට ඇමතුමක් දෙන බවට පොරොන්දු වෙමිනි. එමෙන්ම මහනුවර තම වැඩිහිටියන් සහ පවුලේ සාමාජිකයන් සමඟ වෙසෙන බැවින් ඒ දින කිහිපය තුළ දුරකතනයෙන් නිදහසේ කතා කළ නොහැකි බවද ඇය ඔහුට කියා සිටියාය. කෙසේ හෝ එදින සවස් යාමයේ ඔහු මහනුවර සිට යළි අගනුවර බලා පැමිණි අතර ඊට පසු සෙනසුරාදා ඔහුගේ නිවසේ දී ඔහුගේ බිරිඳ හිටිහැටියේ ඔහු වෙත කඩා පැන්නාය.

"ඔයා කාට හරි ගෑණියෙකුට කිව්වද මාව ඩිවෝස් කරලා ඒ ගෑණිව බඳිනව කියලා."

ඔහුගේ බිරිඳ හැපින්නක් මෙන් ඔහු වෙත කඩා පනිමින් ඇසුවාය.

"මොන පිස්සුද මම?"

නගරාන්තර බසයේ දී වූ සිදුවීම සැනින් සිහියට ආ මුත් ඔහු ඒ බවක් නොහඟවා බිරිඳගෙන් ප්‍රශ්න කළාය.

"බොරු විතරක් කියන්න එපා තේරුණාද?"

බිරිඳ ආවේශ වූ කළෙක මෙන් කෑ ගැසුවාය.

"මාත් එක්ක එකට ඉගෙන ගත්තු යා‍ළුවෙක් දන්න ගෑණුකෙනෙකුට ඔයා බස් එකකදි කියලා තියෙනවා. මම නපුරුයි, මගෙන් ඔයාට සතුටක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා මාව දික්කසාද කරලා ඒ ගෑණිව බඳිනවා කියලා. ඔයා දන්නවාද ඒ ගැණී ඔයා කියපු ඔක්කොම රෙකෝඩ් කරලා තියෙන බව."

බිරිඳගේ මෙම කතාව ඇසූ සැමියා අන්දුන් කුන්දුන් වූ අතර මේ වන විට මෙම ප්‍රවෘත්තිය බිරිඳගේ පාර්ශවයට සේම සැමියාගේ කාර්යාලයටද සැල වී ඇත. මෙම සිදුවීම පිටුපස කවුරුන් හෝ සැලසුම් කළ කිසියම් රහසිගත වැඩපිළිවෙලක් තිබේදැයි සෙවිය යුතු මුත් සමාජයට මුහුණ නොදී සැඟවෙනු මිස ඒ පිළිබඳව සිතීමටවත් දැන් ඔහුට මානසික නිදහසක් නැත. ඒ අද වන විට බිරිඳ තමන්ට සිදුකළ ලැජ්ජාව සහ අපකීර්තිය මුල්කොට දරු දෙදෙනාද සමඟ සිය මහගෙදර ගොස් ඇති බැවිනි.

දමයන්ති ගමගේ

 

 

පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට ප්‍රසිද්ධියේ බිම පෙරළාගෙන පහර දී රන් මාලයක් කඩා ගත් බව කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයකු පෙරේදා (21) සවස නාරාහේන්පිට ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව  ඇත්තේ  මකුල්දෙණිය, උතුරුවෙලගහතැන්න පදිංචි විසි අට හැවිරිදි තරුණයෙකි. මොහු ගුවන් හමුදාවේ බුද්ධි අංශයේ නායක ගුවන් භටයකු ලෙස සේවය කරන අයෙකු බව ‍පොලීසිය පවසයි.

මෙසේපහරකෑමට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි විසි එක් හැවිරිදි තරුණියකි. ඇය කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක පෞද්ගලික ‍ලේකම්වරියක් ලෙස කටයුතු කරන තැනැත්තියකි.

මෙම තරුණයා හා තරුණිය වසර හතරක් පුරා පෙම්වතුන්ව සිට පසුව තරුණිය විසින් මීට මාස හතරකට පමණ ඉහතදී  ඇගේ තනි තීරණයක් මත සම්බන්ධතාව නවතා තිබේ. ඒ පිළිබඳ කනස්සල්ලෙන් සිටි තරුණයා නිතරම ඇගෙන් නැවත ආදරය ඉල්ලා කරදර කර ඇති බව ඇය ‍පොලීසියට පවසා ඇත.

පෙරේදා දින ඇය සේවය නිමවා ජයකොන්ත පටුමගේ පැමිණෙන විට මෙම තරුණයා බිමත්ව ඇය ඉදිරියට පැමිණ නැවත යහළු වන ලෙස පවසා තර්ජනය කර ඇත. ඇය ඊට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමත් සමඟ කෝපයට පත් තරුණයා ඇය එම ස්ථානයේදීම බිම පෙරළාගෙන ප්‍රසිද්ධියේ පහර දීමට පටන් ගෙන ඇති අතර අවට සිටි පිරිස් විසින් මේ පිළිබඳ නාරාහේන්පිට ‍පොලීසියට දන්වා ඇත.

එම අවස්ථාවේ නාරාහේන්පිට ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්න මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ.  මෙහිදී තරුණිය ප්‍රකාශ කර ඇත්තේ ඇගේ රන් මාලයද ඔහු කඩා ගත් බවය. ඒ අනුව ඔහුව පරීක්ෂා කරන විට ඔහුගේ කලිසම් සාක්කුවේ තිබි එම මාලයද ‍පොලීසියට හමුව තිබේ.

අත්අඩංගුවට පත් තරුණයා කළුබෝවිල රෝහ‍ලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු බිමතින් සිටි බව තහවුරු වී තිබේ. සැකකාර තරුණයා ඊයේ (22) දින අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට ‍පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

ශානිකා මාධවී පීරිස්

Page 1 of 71

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 424

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 788

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 702

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 568

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5203

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3430

Please publish modules in offcanvas position.