Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තාපස නිකායේ ශ‍්‍රමණයන් තිස්සමහාරාමයට 'සෘද්ධියෙන්' යති

ඒ 1953 වසරය. ගම්පහ දිසාවට අයත් කඩවතට නොදුරු වෑබඩ නම් ග්‍රාමයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ දහඅට හැවිරිදි  පුත්‍රයකු හිටිහැටියේ තනිවම පැවිදි වේෂයක් ගත්තේය. මුලදී මෙය බොහෝ දෙනකුගේ කුතුහලයට සහ විස්මයට හේතුවූ බැවින් ගම්මු මෙම තරුණයා කරන කියන දේ පිළිබඳව විමසිලිමත් වූහ. එහිදී තනිවම පැවිදි බිමට පත් ඔහු එම ප්‍රදේශයේ ගෙයක් ගෙයක් ගානේ පිඬුසිඟා යන අයුරු නිරීක්ෂණය කළ ගැමියන්ට ඔහු සුසාන භූමි, අම්බලම්, පාළු නිවෙස් ආදියේ රාත්‍රී කාලය ගත කරන බවද පෙනිණ. ඒ අතරේ ඔහු ගැමියන්ට මෙබඳු බණක්ද දෙසීය. 
පින්වතුනි, 'අපේ සමාජයට මහා විශාල වැරදීමක් වෙලා තියෙනවා; බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ විදිහට ශ්‍රමණයන්ට මේ විදිහට පන්සල් හදාගෙන ජීවත් වෙන්න බැහැ. පන්සල කියන්නේ පාලි භාෂාවෙන් පන්නසාලා කියන එකට. ඒ කියන්නේ කොළ අතුවලින් හදා ගත්තු මඩුව කියන එක. ඒත් අද බලන්න පින්වතුනි අපේ හුඟක් හාමුදුරුවරු ජීවත් වෙන්නේ ඒ වගේ පන්සල්වලද එහෙම නැත්නම් මාලිගාවලද කියලා; ඒ හින්දා තමයි මම නියම පැවිද්දෙක් විදිහට බුද්ධශාසනයට ඇතුළත් වුණේ'
ඉහත සඳහන් ශ්‍රමණ වෙස් ගත් තරුණයා ගැමියන් හමුවේ කරන ලද එවන් විප්ලවකාරී ප්‍රකාශ නිසා ඔහු පිළිබඳ ප්‍රසිද්ධිය ඉතා කෙටි කලක් තුළ රට පුරා පැතිරිණ. ඒ අතර ඔහු සෘද්ධි බලයක් සහිත මහරහතන් වහන්සේ නමකැයිද සමහරෙක් කීහ. කෙසේ හෝ ආචාර්යවරයකු නොමැතිව තනිවම පැවිදි බිමට පත් මේ පුද්ගලයා බෞද්ධ භික්ෂුවක වශයෙන් පිළිගත නොහැකි යැයි එවක පුවත්පත් ආදියේ ද ලිපි පළවූ අතර ඔහු කියා සිටියේ එලෙස ආචාර්වරයකු යටතේ පැවිදි විය යුතුමය කියා නියමයක් බුදුසසුන තුළ නොමැති බවය. තවද රහත් ඵලය ආදී බුදු සසුනේ ඉහළම තනතුරු ලබා ගැනීම පිණිස ශීල, සමාධි, ප්‍රඥා ආදී ගුණධර්ම මිස සාම්ප්‍රදායික පැවිද්දක් අවශ්‍ය නොවන බවට ඔහු දැක්වූ අදහස කෙරෙහි එවක සමාජයේ බොහෝ දෙනකුගේ විශේෂ අවධානය යොමු විය.
හිටිහැටියේ ශ්‍රමණ වෙස්ගත් මෙම තරුණයාගේ මෙම විප්ලවීය ප්‍රකාශ මුල්කොට සමාජයේ විවිධ තරාතිරම්වල පිරිස් ඔහුගේ නව ශාසනයෙහි පැවිදි බව ඉල්ලා සිටියහ. ඔවුන් එලෙස පැවිදි කරවීම පිණිස එම තරුණයා ද  උනන්දු විය. කෙසේ හෝ 1953 වසර තුළ සමාජ කරළියට පැමිණි එම තරුණයාගේ සසුන වසරක් වන විට ඒ ආකෘතියේ ශ්‍රමණයන් හත්අටසියයකගෙන් සුසැදි වෙනම ශාසනයක් ලෙස ප්‍රසිද්ධ වූ අතර පසුව එය තාපස නිකාය ලෙසින් රට පුරා මහත් ප්‍රසිද්ධියට පත්විය. ඉතා කෙටි කලක් තුළ තාපස නිකාය ලැබූ මේ ප්‍රසිද්ධිය කොතෙක්ද යත් එම තාපස නිකායේ පැවිද්දන් සෘද්ධි බලමහිමයක් ඇත්තවුන් බව පැවසෙන කවි කොළ ආදිය  සාමාන්‍ය ජන සමාජයේ ශීඝ්‍රයෙන් පැතිර යන්නට විය. එම කවි කොළවලට පැවැති ජනතා ඉල්ලුම මුල්කොට කවි කොළකාරයෝ ඒවාට හැකිතාක් බොරු බේගල් එක් කළහ.
කෙසේ හෝ මෙරට සම්මත බුදු සසුනට; විශේෂයෙන් මහා සඟරුවනට එරෙහිව ක්‍රියාත්මක වන මෙම විකල්ප බෞද්ධ බලවේගය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව මෙරට භික්ෂුන් වහන්සේ වෙතින් දිගට හරහට කරුණු විමසන්නට වූහ. එහිදී උන්වහන්සේලාට කීමට තිබුණේ මෙය බෞද්ධ විරෝධී, ශාසන විරෝධී බලවේගයක් බව පමණි. එහෙත් ඒ වන විට ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පැවැති තාපස නිකායේ සාමාජිකයෝ මහමග යමින් ජනතාවට ධර්මය දේශනා කරන මුවාවෙන් 'අලජ්ජියා' 'බලුවමනයා' 'ගිරිකුණා' ආදී වදන්වලින් මෙරට මහා සඟරුවනට නින්දා පරිභව කිරීමට පටන් ගත්හ. 
1951 වසරේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගැනීමත් සමග මෙරට ප්‍රධානතම ජනකොටස වන සිංහල බෞද්ධයන් තමන්ගේ ඉල්ලීම්, හිමිකම් සහ අයිතිවාසිකම්ද ‍පොදි බැඳගෙන නව නායකයා වටා එක් රොක් වූහ. මෙලෙස තමන් වටා ගොනුවන ජන බලය දුටු ඒ දක්වා ලිබරල්වාදියකුව සිටි බණ්ඩාරනායක මහතා සිංහල, බෞද්ධ බහුතරයේ සිත් දිනාගනු පිණිස එම සිතුම් පැතුම්වලට ගැළපෙන නව දේශපාලන දර්ශනයකට අවතීර්ණ විය. එම සංක්‍රමණයේදී පෙරමුණ ගෙන ක්‍රියා කරන ලද්දේ මහා සංඝරත්නයයි. එනිසා එම සංඝ බලයට පහර දීම පිණිස බණ්ඩාරනායක මහතාගේ දේශපාලන විරුද්ධවාදීහු මෙම තාපස නිකාය 'බළල් අතක්' කරගත් බව පෙනෙයි. මේ අතර ශ්‍රමණයකුගේ පිරිසිදු බව තිබිය යුත්තේ සිතේ මිස ගතේ නොවන බවට නව මතයක් පළකළ මෙම තාපස නිකායේ පිරිස් දිය නෑම් ආදී කටයුතුවලින් වැළකී සිටි අතර කෙස් රැවුල් බෑම් ආදී කටයුතුවලින්ද බැහැරව සිටියහ. එමෙන්ම එකම සිවුර සති ගණන් මාස ගණන් නොසෝදා පෙරවීම නිසා ඔවුන් පිළිබඳ සාමාන්‍ය ජන සමාජය තුළ පිලිකුලක්ද මෝදු වන්නටද ඇත.
කෙසේ හෝ 1954 වසර පමණ වන විට මෙම තාපස නිකායට එරෙහිව එවක මෙරට වැඩ සිටි ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ප්‍රසිද්ධියේ මත ප්‍රකාශ කරන්නට වූහ. එහෙත් එහිදී අප රටේ සිටි දේශපාලනඥයන්, උගතුන් සේම ධනවත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ද මෙම තාපස නිකායේ පක්ෂය ගෙන ක්‍රියා කළහ. මේ පසුබිම යටතේ බුදු සසුන වනසමින් ඊට මිථ්‍යා මත මුසු කරන මෙම තාපස නිකායට එරෙහිව මෙරට මහා සංඝරත්නය විසින් කොළඹ සිට කතරගම දක්වා පාගමනක් සංවිධානය කරන ලදී. ඒ 1954 වසරේදීය. මෙහිදී එම පාගමන යන අතරතුර මෙම තාපස නිකායේ සාමාජිකයන් එය කඩාකප්පල් කරවනු පිණිස කළුතර බෝධිය, මාතර බෝධිය යන ස්ථානවල මහ මග අවුරා සිටි අතර ඔවුන් එම ක්‍රියා හඳුන්වන ලද්දේ 'භාවනා වැඩසටහන්' ලෙසිනි. ඉන්පසුව මහා සංඝරත්නයේ පාගමන තිස්සමහාරාමයට පැමිණෙත්ම මෙම තාපස කල්ලි සාමාජිකයෝ තිස්සමහාරාම දාගැබ ඇහිරෙන ලෙසින් එවන්  භාවනා වැඩසටහනක් පවත්වමින් හිඳිනු දක්නා ලදී. සාමාන්‍යයෙන් පා ගමනින් මිස වාහනවලින් නොයන බවට ඒ දක්වා සපථ කොට සිටි ඔවුන් මෙලෙස කළුතර සිට මාතරටත් එතැනින් තිස්සමහාරාමයටත් යනු කිසිවකු දැක නොතිබූ අතර ඔවුන් විසින් පසුව එය ප්‍රචාරය කරන ලද්දේ තම ශ්‍රමණයන් සෘද්ධි බලයෙන් අහසින් ගමන් ගත් බවකි. කෙසේ හෝ පසුව එම තාපස නිකායට හිතැති ධනවත් ව්‍යාපාරිකයන් විසින් ඔවුන් රාත්‍රී කාලවල වාහනවලින් කළුතරින් මාතරටත් මාතරින් තිස්සමහාරාමයටත් රැගෙන ගිය බවද ඔවුන් අතරේ රා, අරක්කු, ගංජා, අබිං ආදියට ඇබ්බැහි වූ මානසික රෝගීන් සිටි බවද පසුව ප්‍රසිද්ධ විය.
එමෙන්ම මෙම තාපස නිකායට එරෙහි ඇතැම් ස්වාමීන් වහන්සේලා එහි කීර්තිය වැනසීම පිණිස එහි පැවිදි විම සඳහා උන්මන්තකයන් යොමු කළ බවටද ආරංචි පැතිරෙමින් තිබිණ.
ඊට පසුව මෙම තාපස නිකායේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහළ බැස ගිය අතර අද වන විට එය මුළු රටේම වැඩිහිටියන්ගේ මතකයට පමණක් සීමා වූ සංසිද්ධියක් බවට පත්ව තිබේ.
 
තිලක් සේනාසිංහ
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 163

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 194

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 301

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 449

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7063

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4633

Please publish modules in offcanvas position.

X

Right Click

No right click