Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මහ වන මැද කොටි දෙනකට තනි රැක්ක හැටි

මිනිස් වාසයක ඇති දැඩි වූ මාංශ භක්ෂක සතුන් යළි වනයට මුදාහැරීම ඉතා අසීරු කාර්යයකි. එහි අසීරු බව ලෝකයා දැන ගත්තේ ප්‍රකට පරිසරවේදිනියක වන ජෝයි ඇඩම්සන් විසින් රචිත Born free (සිංහල පරිවර්තනය - උපන්නේ නිදැල්‍ලේ - ජයන්ත විමලසේන) කෘතියෙනි. එය එල්සා නම් සිංහදේනුව යළි වනගත කිරීමට ගන්නා ලද අසීරු උත්සාහය පිළිබඳව ලියවූවකි. මේ උඩවලව ඇත් අතුරු සෙවණේ හැදී වැඩුණ පුල්ලී නම් කොටි දෙන වනගත කිරීමේ අත්දැකීම අලළා වනජීවී පශු වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර ලියූ ලිපියකි. 
 
නගරයක පශු වෛද්‍ය වෘත්තියේ යෙදෙන්නෙකු සහ වනජීවී පශු වෛද්‍යවරයකු ලබන අත්දැකීම් අහසට ‍පොළව මෙනි. භාරකාරයන් කැටිව වාහනයකින් පැමිණෙන බලු බළලුන්ට ප්‍රතිකාර කිරීමත්, වනයේ නිදහසේ හැසිරෙන අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීමත් හාත්පසින්ම වෙනස්වීම ඊට හේතුවයි.
වනජීවී පශු වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ වසර දොළහ තුළ අලි ඇතුනගේ සිට මීමින්නන් දක්වා පුළුල් පරාසයක සතුනට ප්‍රතිකාර කර ඇති මා කොටින්ට ප්‍රතිකාර කර ඇත්තේ කිහිප විටකි. මේ අත්දැකීමට පාදක වනුයේද ප්‍රතිකාර පිණිස මා වෙත පැමිණි රෝගී කොටි පැටියෙකුගේ කථාවයි.
ඒ 2006 වසරයි. එවකට මම උඩවලව ඇත් අතුරු සෙවණේ පශු වෛද්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියෙමි. දිනක් ප්‍රතිකාර පිණිස කොටි පැටවෙකු රැගෙන ආ පුවත මට සැලකළ සිටියේ ඇත් අතුරු සෙවනේ සේවකයෙකි. යාල අභය භූමියෙන් අප වෙත එවා තිබූ ඒ කුඩා පැටවා අතට ගත් සැනින් මට දැනුණේ උණු පාන් ගෙඩියක් තරම්වත් බර නැති බවයි. දෙසතියක් පමණ වයසැති මේ පැටවා ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු විය.
කොටි පැටවාට දීමට ආහාරයක් නොවූ හෙයින් අපි පැය දෙකකට වරක් ලැක්ටොජන් ළදරු කිරි මිශ්‍රණය ලබා දුනි. එහෙත් කිරිවල ඇති නොගැළපීම නිස අවස්ථා කිහිපයකදී ඌට බඩ බුරුලට යෑමේ තත්ත්වයක් ඇති විය. කොටි පැටියා ටික කලක් අප සමග රඳවාගැනීමට සිදුවන බැවින් අපි ඇයට පුල්ලි ලෙස නම් තැබුවෙමු. පුල්ලි ගැහැනු සතෙකි. පුල්ලි නිසා මා මුහුණ දුන් අකරතැබ්බ බොහෝය. දිනක් මම ඇයට පණු බෙහෙත් දුන්නෙමි. සුළු වේලාවකදී ඇය හොඳටම අසාධ්‍ය තත්ත්වයට පත් වූවාය. කිරි බිම සම්පූර්ණයෙන් අතහැර දැමූ පුල්ලි බඩයෑම නිසා විජලන තත්ත්වයට පත් වූවාය.
එවකට ඇත් අතුරු සෙවනේ ප්‍රධාන පශු වෛද්‍යවරයා වූයේ වෛද්‍ය සුහද ජයවර්ධනය. මා වනජීවී දෙපාර්තමේන්තුවට බැඳී යන්තමින් වසරක් ගතවූවා පමණි. පුල්ලිට පණු බෙහෙත් දුන්නේ මා බැවින් මා තුළ වූයේ නොසන්සුන් බවකි. මා දුන් පණු බෙහෙත් ප්‍රමාණය නියමිත මාත්‍රාව ඉක්මවා ඇති බව වෛද්‍ය සුහද මා වෙත පවසා සිටියේ ඔහුට සුපුරුදු සැහැල්ලු ස්වභාවයෙනි. කෙසේ නමුත් ප්‍රතිකාරවලින් පසු වාසනාවකට මෙන් පසුදා උදේ වනවිට පුල්ලිට සුවය ලැබුණි.
අලි පැටවුන්  විසි ගණනක් සහ කාර්ය මණ්ඩලය පහළොවක් පමණ සිටින ඇත් අතුරු සෙවන මාගේ පළමු වනජීවී පාසල බඳු විය. එවකට නියාමකව සිටි එල්.බි. අනුර වෛද්‍ය සුහද ජයවර්ධන එනතුරු මාගේ පළමු වනජීවී උපදේශකයා විය. වසර තිහක පමණ අත්දැකීම් ඇති අනුර මා හට කියාදුන් කරුණු කාරණා අදටත් මා හට ඉතා වැදගත්  වේ. 
යළිත් අපි පුල්ලි දෙසට හැරෙමු. කමෛන් සුවපත් වූ පුල්ලි ඇත් අතුරු සෙවණේ කාර්ය මණ්ඩලයේ සුරතලෙකු බවට පත් වූවවාය. කොතෙක් අප හා මිතුරු වුවද ඇය වනයට මුදා හැරිය යුතුම විය. ඒ සඳහා විද්‍යාත්මක ක්‍රමවේදයක් වෛද්‍ය සුහද සොයමින් සිටියේය. අනෙකුත් රටවලද මේ සම්බන්ධව වූ අත්දැකීම් අධ්‍යයනය කර ඒ සඳහා ක්‍රමවේදයක් ඔහු විසින් ඉදිරිපත් කෙරුණි. ඊට පෙර ලංකාවේ කොටියෙකු කැලයට නියමානුකූලව මුදාහැරීමක් සිදු වී නොමැති බැවින් එය අපට අභියෝගයක් විය.  මා දන්නා තරමින් අහුන්ගල්‍ලේ පැවැති පුද්ගලික සත්වෝද්‍යානයේ කොටින් කැලයට මුදාහැරීමට ගත් උත්සාහය අසාර්ථක වී තිබුණි. රාණි නම් එම කොටි දෙන පසුව නෙළුව ප්‍රදේශයේදී දඩයක්කරුවකුගේ වෙඩි පහරින් මිය ගියාය.
කොටි පැටවා මුදා හැරීමට තීරණය කළේ උඩවලව ජාතික වනෝද්‍යානයටය. මිනිස් ජනාවාසයෙන් කිලෝමීටර 
දොළහක් පමණ ඈතින් වූ ප්‍රදේශයකදීය. ගෝනවිද්දගල සංචාරක නිවාසයට කිලෝමීටරයක් පමණ ඈතින් වූ සංචාරක රථ පවා ගමන් නොගන්නා ස්ථානයකි. පුල්ලි වනගත කිරීම අදියර කිහිපයකින් කිරීම අපේ අරමුණ විය.
දහවල් කාලයේ කොටි පැටවාව රැඳවීමට තාවකාලික දැල් කොටුවක් සැදවීම ඉන් එක පියවරකි. ඌව ඈත සිට නිරීක්ෂණය කිරීමට පහසු වන සේ ගසක පැලක් සාදා ටික කාලයක් සතාට ආහාර දීමට අපේ නිලධාරියෙකු දවස පුරා පැල තුළ රැඳවීය.
කොටි පැටවාට හා නිලධාරියාට අවශ්‍ය ආහාර දින දෙකකට වරක් පැල වෙත ගෙන යෑම සිරිත විය. උඩවලව ජලාශය අසල ස්ථානයක් තෝරාගත්තේ සතාටත් අපටත් අවශ්‍ය ජලය ඉන් සපුරාගත හැකි බැවිනි. තමා විසින් ආහාර සාදාගත යුතු අතර ඊට අවශ්‍ය වතුර පැල යට ගස අසල තබාගත යුතුය. පුල්ලිගේ ආහාරය වූයේ කුකුළු මස්ය. සෘජුෆෝම් පෙට්ටියක අයිස් සමග රැගෙන යන කුකුල් මස් දින දෙකක් නරක් නොවී තබාගත හැකි අතර දිනකට වරක් බැගින් පුල්ලිට ලබාදුනි.
මාස තුනක කාලයකට වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරුණි. වනය තුළ රැඳෙමින් අධීක්ෂණ කාර්යය වැඩි කාලයක් සිදු කරන ලද්දේ එවකට වනජීවී නියාමකවරයකු වූ චාමර සම්පත් විසිනි. මෙම ක්‍රියාන්විතය සිදුකරන කාලයේ දින දෙකකට සැරයක් යන සැපයුම් චාරිකාවට මාද නිතර සහභාගි විය. හැන්දෑවට වාහනයෙන් යන අප අවසාන කිලෝමීටර් කාලක පමණ දුර පයින් යා යුතු විය. මන්දයත් පුල්ලි වනයට හුර කරවීමට වාහන ශබ්ද බාධාවක් වන බැවිනි.
කෑම, බඩු ඇතුළු තවත් අඩුවැඩිය රැගෙන අපයන විට පෙර මග බලා සිටින චාමර අප පිළිගන්නේ බොහෝ ලෙන්ගතුවය. අනතුරුව ඉනිමගක ආධාරයෙන් අපි පැලට නගින්නෙමු. පැ‍ලේ සිට පුල්ලිව සිත්සේ නිරීක්ෂණය කරන්නෙමු. දිනකට වරක් පමණක් ආහාර දැමීම සම්පත් සිදුකරන අතර රාත්‍රියට කූඩුව විවෘත කර සතාට  කැලයට යාමට සලස්වයි. අප යන බොහෝවිට පුල්ලි කූඩුවේ සිටිනු දැකගත හැකිවිය. ගස මුදුනේ වූ චාමරගේ පැල අඩි විස්සයි විස්සක ප්‍රමාණයෙන් යුක්ත එකකි. එහි පස්දෙනෙකුට පමණ සුව පහසුවෙන් වාඩි වී සිටිය හැක. කෙළවර මැටි ගැසූ ළිපකි. ඒ තේ සාදාගැනීම පිණිසය. හඳ ඇති එක් රාත්‍රියක අපිද පැල තුළ ලැඟුම් ගත්තෙමු. මෙම ස්ථානයේදී අපිට ශබ්ද නගා කතා කිරීම තහනම්ය. ජලාශය හරහා හමන දැඩි සුළඟින් ඇතිවන අධික ශීතල අපට ගෙන ආවේ යම් තරමක් පීඩාවකි. එයට මුහුණ දෙනු වස් අප එනවිට වුවමනා අඩු වැඩිය රැගෙන ආවෙමු. සඳ එළිය සමග නිසි පදමට මීවිතද මුසුවූ කල මධ්‍යම රාත්‍රියේදී සුළඟ සමග එන සීතලට ඔරොත්තු දීමට අපට  එතරම් අසීරු නොවීය. උදෑසන වනවිට අලි කිහිපදෙනෙකු අපේ පැල ඇති ගස මුලය.  උන්ගේ හැසිරීමෙන් අපහට කිසිදු අනතුරක් නොමැතිබව පැහැදිලි වුණි. බිම ඇති වතුර බැරලයට නම් අලින් ගෙන් නොයෙකුත් අකටයුතුකම් සිදුවී තිබුණි. කොටියාට සෑදූ තාවකාලික දැල් කොටුවට අලින්ගෙන් හානි නොවීමට අපි හැමවිටම වග බලා ගත්තෙමු.
උඩවලව ජලාශය කෙළවරින් ඉර නැගෙනවිට මුළු ප්‍රදේශයම කොතරම් සුන්දරදැයි කීම පශු වෛද්‍යවරයකුට තබා සාහිත්‍යවේදියකුටද අසීරුය. මොණරුන්ගේ පිල් විදහීමත් මුව රෑන්වල දැඟලීමත් උඩවලව ජාතික උද්‍යානයට සුබ දවසක පෙරනිමිති පහළ කරයි. සීත‍ලේ ගැහෙමින් සිටි අපට චාමර සාදා දුන් කහට තේ එක ඒ මොහොතේ අමෘත පානයක් විය. සීමිත වූ වියළි ආහාර චාමරගේ පරිභෝජනයට ඉතිරි කර ඔහුගේ බලවත් ඉල්ලීමද නොසලකා  උදේ ආහාරයද නොගෙන අපි නැවත ඇත් අතුරු සෙවන බලා ගමන් ගතිමු.
ක්‍රම ක්‍රමයෙන් පුල්ලි වනයට හුරුවිය. ඇය මරා දැමූ තලගොයින් අපට නිරීක්ෂණය වූ අතර දහවල් කාලයේදීද කූඩුවට පැමිණීම අඩු විය. පසුව අපි කොටියාගේ කූඩුව හා තාවකාලික පැල එම ස්ථානයෙන් ඉවත්කර නිරන්තරයෙන්ම එම ප්‍රදේශය ගැන සෝදිසියෙන් සිටියෙමු.
ටික දිනකදී සංචාරක ජීප් රථවලට පුල්ලි අවස්ථා කිහිපයකදී නිරීක්ෂණය විය. පසුව ඌ ජීප් රථ ආසන්නයට පැමිණීම සිදු විය. මේ තත්ත්වය එතරම් සුදුසු නොවන බැවින් කොටියා තවදුරටත් ඈත කැලෑවකට රැගෙන යාමට තීරණය විය.
මේ කාලයේදී එල්ටීටීඊ ත්‍රස්තවාදීන් කහකුරුල්ලන් පැලැස්ස නම් උඩවලව රක්ෂිතයට ආසන්න ප්‍රදේශයකට ඇතුළු වී මිනිස් ඝාතන සිදුකරන ලදී. ඉන්පසු තාවකාලිකව උඩවලව ජාතික උද්‍යානය වසා තැබිණ. පසුව යුද හමුදා සෝදිසි මෙහෙයුම් සිදුකරන විට හමුදා බෆල් රථයක් පසුපස පුල්ලි පැමිණ ඇති අතර ඔවුන් විසින් එය අපට දන්වන ලදී. පසුව වෛද්‍ය සුහදගේ උපදෙස් මත ඇයව ප්‍රධාන පිවිසුමේ සිට කිලෝමීටර 20ක් පමණ දුරින් පිහිටි අලි දුටු ගලට රැගෙන යාමට තීරණය කරන ලදී. එම ගමනට මාද එක් විය. හමුදා බෆල් රථයක් තුළට දමාගත් කොටියා සමග අනුර, චාමර හා මා ද විය. පැය කිහිපයක ගමනකින් පසු අපි ඌව, අලි දුටු ගලෙහි කොටින් ගැවසුනු සලකුණු සහිත ගල්ගුහාවකට නිදහස් කරන ලදී. සහකරුවෙකු ලැබෙනතෙක් ඌට තනියම සිටීමේ හැකියාව හොඳින් ඇති බව අප කාටත් අවබෝධ විය.
ගල් ගුහාවේ පුල්ලි තනිකර අපි බෆල් රථයට නගින විටත් ඌ ලෙන්ගතුව අප දෙස බලා සිටි ආකාරය මා සිතේ තවමත් ඇඳී ඇත. අනාගතයේ දයාබර මෑණියන් කෙනෙකු වී කොටි පැටවුන් උඩවලව ජාතික  වනෝද්‍යානයට බිහිකෙරේවායි ප්‍රාර්ථනා කරමින් හමුදා රථයෙන් අපි ආපසු ගමන් ඇරඹීමු. ඉන්පසු මා අද වනතුර පුල්ලි  දුටුවේ නැත. නමුත් අවස්ථා කිහිපයකදී කොටියා එම ප්‍රදේශයෙන් නිරීක්ෂණය වී ඇත. අදටත් වසර දහයක් පමණ වයසැති කොටි දෙනක ලෙස ඇය වනයේ සැරිසරනු ඇත.
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5226

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3636

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5121

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5741

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6556

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4053

Please publish modules in offcanvas position.

X

Right Click

No right click