Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල උනන්දුවක් ඇති කළ ප්‍රවෘත්තිය වූයේ හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය වන, ඇමෙරිකානු  රංගන ශිල්පිනී මෙගන් මාර්කල් අතර විවාහ ගිවිස ගැනීම පිළිබඳ පුවතයි. 2016 වසරේ සිට ප්‍රේමයෙන් බැඳී සිටින මේ දෙදෙනාගේ විවාහ ගිවිස ගැනීම ගැන නිල වශයෙන් නිවේදනය කෙරුණේ පසුගිය නොවැම්බර් 27 වෙනිදා ය. අනතුරුව බොහෝ දෙනා කුතුහලයෙන් යුතුව බලා සිටි කාරණය වූයේ හැරී සහ මෙගන්ගේ විවාහ උත්සවය පැවැත්වෙන්නේ කවදාද යන්නයි. ලබන වසරේ මැයි මාසයේ පමණ එය සිදුවනු ඇති බවට මාධ්‍ය වාර්තා පළවුවත් නිශ්චිත දිනයක් පිළිබඳව මුලින් සඳහන් වූයේ නැත. නමුත් පසුගිය සතියේ මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් රජ පවුල පවසා ඇත්තේ මැයි මස 19 වෙනි දින මෙම යුවළ අතර විවාහ උත්සවය පැවැත්වෙනු ඇති බවයි.
බ්‍රිතාන්‍යයේ රාජකීයයන්ගේ විවාහයන් බොහෝ විට සිදු කෙරෙන්නේ ලන්ඩනයේ පිහිටි වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේය. නමුත් හැරී සහ මෙගන් අතර විවාහය සඳහා තෝරාගෙන ඇත්තේ වෙනත් ස්ථානයකි. එනම් බර්ක්ෂයර් හි ඇති වින්ඩ්සර් මාලිගයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයයි. වැඩිපුර නිල ස්වභාවයකින් තොරව නිදහසේ විවාහ උත්සවය ගැනීමට මෙම පෙම්වතුන් තුළ තිබූ කැමැත්තද වින්ඩ්සර් මාලිගය සහ ශාන්ත ජෝර්ජ් දේවස්ථානය තෝරා ගැනීමට හේතුවක් විය හැකි බවද සඳහන්ව තිබිණි.
මෙම උත්සවය සම්බන්ධයෙන් කියැවෙන තවත් විශේෂ කාරණාවක් වන්නේ එය සෙනසුරාදා දිනයක යොදාගෙන තිබිමේ විශේෂත්වයයි. එරට රාජකීයයන්ගේ විවාහ උත්සව බොහෝ විට යොදාගැනෙන්නේ සතියේ දිනවල බව පැවැසේ.  හැරී-මෙගන් විවාහය එම සම්ප්‍රදායද කඩකර ඇති බව පෙනේ. මහ රැජිනගේ විවාහය සිදුව ඇත්තේ බ්‍රහස්පතින්දා දිනයක (1947 නොවැම්බර් 20) වන අතර විලියම් කුමරු සහ කේට් මිඩ්ල්ටන් විවාහ වී ඇත්තේ සිකුරාදා දිනක (2011 අප්‍රේල් 29) ය. හැරී-මෙගන් විවාහය සති අන්තයේ සෙනසුරාදා දිනෙක පැවැත්වීමට හේතුව ලෙස ඇතැම් තැන්වල සඳහන්ව තිබුණේ සාමාන්‍ය වැසියන් වැඩි පිරිසකට එය රූපවාහිනියේ නැරඹීමට හෝ පුද්ගලිකව ඒ සඳහා සහභාගි වීමට හැකිවනු පිණිස එවැනි පියවරක් ගත් බවයි. හැරී මෙන්ම මෙගන් ද සාමාන්‍ය ජනතාව සමග මුසුවීමට වැඩි කැමැත්තක් දක්වන දෙදෙනකු ලෙස ප්‍රසිද්ධය.
කාගේත් කතාබහට ලක්ව ඇති තවත් කාරණයක් වී ඇත්තේ විවාහ උත්සවයේ දවෛනි මනාලයා, මනාලියගේ යෙහෙලියන්, මල් කුමරුවන් කුමරියන් ලෙස සහභාගි වන්නේ කවුරුන්ද යන්නයි. හැරී ගේ දවෛනි මනාලයා ලෙස විලියම් කුමරු සහභාගි වනු ඇති බවටද අදහස් පළවී තිබෙනු පසුගිය දිනවල දක්නට ලැබිණි. විලියම් කුමරු විවාහ වූ අවස්ථාවේ ඔහුගේ දවෛනි මනාලයා ලෙස පෙනී සිටියේ හැරී කුමරුය. රාජකීය විවාහයන්හිදී දවෛනි මනාලයෙකු යොදා ගැනීම සාමාන්‍ය සම්ප්‍රදාය ලෙස නොසැලකෙ නමුත්  විලියම්ගේ විවාහයේදී එම සම්ප්‍රදායේද වෙනසක් සිදු විය. එම වෙනස තවදුරටත් ඉදිරියට ගෙන යමින් හැරීද සිය දවෛනි මනාලයා ලෙස තම වැඩිමල් සොහොයුරා යොදාගනු ඇතැයි බලා‍පොරොත්තු පළ වී තිබිණි.
මෙගන්ගේ යෙහෙළියන් ලෙස කවුරුන් පෙනී සිටීවිද යන්නද කවුරුත් උනන්දුව දක්වන කාරණයක් වී ඇති බව පෙනේ. විලියම්ගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් මෙගන්ගේ යෙහෙළිය ලෙස කටයුතු කරනු ඇත්ද යන සැකසංකාද පළවී තිබෙනු පෙනිණි. නමුත් ඒ සඳහා ඇති ඉඩකඩ අල්ප බව රාජකීය කටයුතු පිළිබඳ විශේෂඥයන්ගේ අදහස වී තිබේ. එක් අතකින් මේ වනවිට කේට් සිටින්නේ සිය තුන්වැනි දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙමිනි. ඇය දරුවා බිහි කිරීමට නියමිතව ඇත්තේ අප්‍රේල් මාසයේය. ඒ නිසා මැයි 19 වනවිටත් ඇය බොහෝ දුරට වෙහෙසට පත් සහ කාර්යබහුල තත්ත්වයක සිටිනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. අනෙක් අතට ඇය බ්‍රිතාන්‍යයේ අනාගත රජෙකුගේ බිරිඳ වීමට සිටින කුමරියකි. මෙම තත්ත්වය තුළ ඇය වෙනත් මනාලියකගේ යෙහෙළිය ලෙස පෙනී සිටීමට ඉඩක් නැතැයි ඇතැම් විශේෂඥයන් පෙන්වා දී තිබිණි.
මේ අතර සමහර මාධ්‍ය තුළ සඳහන්ව තිබුණේ මෙගන්ගේ සමීප මිතුරියන් වන, සුප්‍රකට ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් හෝ ජනප්‍රිය නිළි ප්‍රියංකා චොප්රා වැනි කෙනෙකු ඇයගේ යෙහෙළිය ලෙස පෙනී සිටිනු ඇත්ද යන්නයි. නමුත් රාජකීය විවාහයේ එවැනි කටයුත්තක් සඳහා ඉහත කී විදියේ  ජනප්‍රිය චරිත (celebrities) සම්බන්ධ කර ගැනීමට රජ පවුල කැමැති වනු ඇත්ද යන්න සම්බන්ධයෙන් සැක පළවී තිබුණි. 
විවාහ උත්සවේ මල්කුමරුවන් සහ කුමරියන් ලෙස විලියම්-කේට් දෙපළගේ දරුවන් වන ජෝර්ර් කුමරු සහ චාලට් කුමරිය සහභාගිවීමට ලොකු ඉඩක් තිබේ. මෙයට මාස කිහිපයකට පෙර කේට්ගේ සොහොයුරිය පිපා මිඩ්ල්ටන්   විවාහ වූ අවස්ථාවේ ද මල් කුමරුවන් සහ කුමරියන් ලෙස පෙනී සිටියේ ඔවුන්ය. මේ නිසා ඔවුහු මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් අත්දැකීම් ඇති දෙදෙනකු බවට පත්ව සිටිති.
හැරී-මෙගන් විවාහය යෙදී ඇති මැයි 19 දිනය බ්‍රිතාන්‍යයේ තවත් වැදගත් අවස්ථාවක් යෙදී ඇති දිනයක් වීමද අවධානයට ලක්වන තවත් කාරණයක් වී තිබේ. එනම් එරට ඉතාම ජනප්‍රිය පාපන්දු තරගාවලියක් වන එෆ්.ඒ. කුසලාන (FA Cup) තරගාවලියේ අවසන් මහා තරගයද එදිනට යෙදී තිබිමයි. මෙම තරගයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වන්නේ විලියම් කුමරු වීමද තවත් විශේෂත්වයකි. ඔහුට උදය වරුවේ පැවැත්වෙන සිය සොහොයුරාගේ විවාහ උත්සවයට සහභාගි වී සවස් වරුවේ පාපන්දු තරගය වෙත පැමිණීමට සිදුවනු ඇත. එමෙන්ම මෙම සුවිශේෂී සිදුවීම් දෙක නිසා එදින එරට රූපවාහිනි නාලිකා ඇතුළු මාධ්‍ය ආයතනවලට මෙන්ම ආරක්ෂක අංශවලටද ඉතාම කාර්යබහුල දිනයක් වනු ඇති බවටද අදහස් පළවී තිබේ.
 
කිත්සිරි මල්වත්ත
IMAGE

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 26

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 169

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 6908

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4534

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 6023

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 6708

Please publish modules in offcanvas position.

X

Right Click

No right click