Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගබ්සාවට එකඟවීම දෙවියන් වහන්සේට එරෙහිවීමක් නොවේ

”දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ.” මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පසුගියදා ප‍්‍රකාශ කළේ යෝජිත ගබ්සා නීති ප‍්‍රතිසංස්කරණය සම්බන්ධවයි.
සීමිත අවස්ථාවන් සඳහා පමණක් ගබ්සා නීතිය ලිහිල් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විසින් ගෙන ආ යෝජනාවට විරෝධය දක්වමින් කාදිනල් හිමියන් ප‍්‍රමුඛ කතෝලික සභාව මෙසේ විරෝධය ප‍්‍රකාශ කරයි.
‘‘‍කවර තත්ත්වයකදී වුවද ගබ්සාව එපා”‍ යනුවෙන් ඒ විරෝධය කූටප‍්‍රාප්ත වී ඇත.
තම පවුලේ සමීපතමයෙක් (පියා, සහෝදරයා, බාප්පා වැනි..) අතින් දූෂණයට හෝ ලිංගික අතවරයට පාත‍්‍ර වීම හෝ ව්‍යාභිචාරය හේතුවෙන් හෝ වන ”උභතෝකෝටික” ගැබ් ගැනීමකදී උපදින්නට යෙදෙන ප‍්‍රාණියා හට තම අනාගත ජීවිතයේදී මුහුණපාන්නට සිදුවන සමාජ සංස්කෘතික අභියෝගයන්ට කිසිදු පිළිතුරක්/පිළියමක් මේ ආගමික සංස්ථාවලින් ඉතිරිකොට නැත. එම දරුවාගේ මවට හෝ ජානමය පියාට දරුවා සම්බන්ධයෙන් වන මානව සම්බන්ධතාව කෙතරම් අසීරු සංකීර්ණ එකක් වනු ඇත්ද. එවැනි තත්ත්වයක් තුළ අලූ‍ත් ගැටලූ ඉතිරි කිරීමට ආගමික නායකයන් නිර්දේශ කිරීම සමාජය තුළ සංවාදයට ලක්විය යුතුය. අනෙක් අතට මෙවැනි අවාසනාවන්ත අවස්ථාවකදී හෝ එසේත් නැත්නම් විකෘති කලලයක් වීම වැනි තත්ත්වයකදී හෝ එසේත් නැත්නම් සෞඛ්‍යමය හේතූන් මත (පමණක්) ගබ්සාවක් සඳහා පවතින නීතිය ලිහිල් කිරීම යනු ගබ්සාව සඳහා ලයිසන් දීමක් නොවේ. එය වැරදි අර්ථකථනයකි.
නමුත් තත්ත්වයේ බරපතළකම පිළිබඳව අවබෝධයක්, දැනුමක් හා සමාජ අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරු දියුණු ලෝකයේ ප‍්‍රවණතාවන්ද සැලකිල්ලට ගනිමින් මේ ආගමික තහංචියට එරෙහිව කරුණු දක්වමින් කියා සිටින්නේ, ”‍ප‍්‍රජනන සෞඛ්‍ය ගැන දැනුවත්කමක් නැති නිසා ළාබාල දැරියන් දන්නේ නැහැ ගැබ් ගන්නකම් තමන්ට වුණදේ, අනික දූෂණයකදී ළමයෙක් හම්බ වුණාම ඒක වෙන්නේ අම්මගේ කැමැත්තකින් තොරව ඒ නිසා මානසිකව හා කායිකව ඇය විඳින දුක් වේදනාව නොසලකා හරින්න බැහැ”‍
‘‘‍වයස අවුරුදු 13, 14 ක දැරියක් තම පවුලේ කෙනෙකුගෙන් දූෂණය වූ අවස්ථා ගණනාවක් වාර්තා වී තිබෙන බව පවසන ඔවුන් එවන් අවස්ථාවලදී මෙවැනි ගබ්සාවකට (විශේෂඥ වෛද්‍ය උපදෙස් හා නිර්දේශ මත පමණක්) ඉඩ ලබා දියයුතු බව අවධාරණය කරනවා. 
‘‘කනගාටුයි මේ දේ කියන්න, තමන් කාන්තාවක් වෙන්න  ඕනේ, තමන් මවක් වෙන්න ඕනේ, තමන්ට පවුලක් තිබිය යුතුයි, ඒ වගේ ළමයි ඉන්න දුප්පත් පවුල්වලට තමයි මේ වගේ ප‍්‍රශ්නයක් තේරෙන්නේ පූජකවරුන් වෙන ජීවිතයක් ගත කරන්නේ, පවුල් ජීවිතයක් ගත කරන්නේ නැහැ”‍ මේ විෂයේ සිටින විශේෂඥයන් ප‍්‍රශ්නය දකින්නේ එලෙසයි.
‘‘‍ඇතැම් අය ඉන්නවා මුළු ජීවිත කාලෙම ඉන්නේ ඇඳ උඩ මළසිරුරක් වගේ එතකොට ඒ ගොල්ලෝ වගේම ඒ දෙමාපියනුත් පීඩාවට පත්වෙනවා”‍
මෙවන් ජීවිතයක් යනු දෙමව්පියන් හට / පවුලේ සමීපතමයන්හට සදාතනික ඛේදවාචකයක් වනවා මිස දේව සැලැස්ම කෙරෙහි උපන් පහන් සිතින් එය ඉවසා වදාරනවා නොවේ. ඇත්තෙන්ම එවන් දරුවෙකු අවසන් මොහොත දක්වා සියල්ල දරාගෙන රැක බලා ගන්නේ සමාජයේ පවතින මානුෂීය ගුණය නිසාය. එවන් දිගුකාලීන වේදනාකාරී ප‍්‍රශ්නයකින් සහනයක් ලැබීම සඳහා තිබෙන විකල්පය ගබ්සාවක් නම් ඒ සඳහා අවස්ථාවක් තිබීය යුතුය. 
මේ සීමිත අවස්ථා සඳහා නීතිය ලිහිල් කිරීම තුළත් ගබ්සාවකට වෛද්‍ය නිර්දේශය ලැබෙන්නේ කලලය ඉතා මූලික අවස්ථාවට අදාළව පමණි. එය මේරු ළදරු කලල අවස්ථාවකට තරම් කල් ගතවී ඇත්නම් එවිට ගබ්සාවකට විශේෂඥ නිර්දේශය හිමි නොවේ. එනිසා මෙය ”ප‍්‍රාණියා”ට  වේදනාවක් ගෙනදෙන්නක් හෝ ප‍්‍රාණ ඝාතනයක් හෝ නොවේ.
දේව සැලැස්ම තුළ ජීවිතයක් ලෙස සැලකෙන්නේ මානව පැටවෙකු වීම අපේ වාසනාවකි. මක්නිසාද යත් කුකුල් පැටවාද ඒ දේව සැලැස්මේම කොටසක් වී මිනිස් පැටවාට හිමිවූ අනුකම්පාවට පාත‍්‍ර වුණි නම් අපට බිත්තර පරිභෝජනය කිරීම අත්හරින්නට සිදුවනු ඇත.  
සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව සිද්ධවන දේවල් නම් 2004 වසරේදී ශ‍්‍රී ලංකාව, ඉන්දුනීසියාව ආදී රටවලට සුනාමි රළ කඩාවැදී කුඩා ළමුන් දහස් ගණනක්ද ඇතුළුව ලක්ෂ ගණනක් ජීවිත විනාශ වූයේ අද්භූත හේතුවක් සහිත දේව-සැලැස්මක් නිසාද ? අද වනවිට ඉරාකයේ, සිරියාවේ හා අප‍්‍රිකානු රටවල යුද්ධ ඇවිලී දිනපතා මිනිසුන් මියයන්නේ යම් දේව-සැලැස්මක කොටසක් අනුව දැයි කාදිනල්තුමා අපට පැහැදිලි කළයුතු වෙයි. එමෙන්ම අතීතයේ ලෝක යුද්ධවලින් මිනිසුන්, ළමුන් මිලියන ගණනක් දරුණු ලෙස ඝාතනයට ගොදුරු වූයේ එවන් සැලැස්මක් අනුවද? මේ ලැයිස්තුව කෙතරම් දීර්ඝ එකක් වනු ඇතිද යත් ඒ ”දේව-සැලැස්ම” තුළ මීටත් වඩා කෲර සිදුවීම් අතීතයේ සිදුවී ඇති ආකාරය විස්තර කළ යුතු නොවේ. ඒ සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව සිදු වූ ඒවා යැයි සිහිබුද්ධිය ඇති කිසිවෙකු අද නොපවසනු ඇත. මක්නිසාද දරු උපත පමණක් නොව ඉන් අනතුරුව සමස්ත ඉරණමද දෙවියන්ගේ ඉහත සැලැස්ම තුළ ඊට අනුකූලව සිදුවන දේවල් විය යුතුය. අතීතයට වඩා අද ලෝකයේ දේවල් පහසු වී ඇත්තේ ජීවිතය යහපත් වී ඇත්තේ විද්‍යාවේ ජයග‍්‍රහණ නිසාය. එහෙත් විද්‍යාව මේ තත්ත්වය කරා එළඹුණේ ආගමික බාධාවන් මධ්‍යයේය.
ජාතික ප‍්‍රතිපත්ති සැකසීමේදී හා නීති පැනවීමේදී ආගමික නිර්දේශ යනු බැහැරින් තැබිය යුතු දේ වෙයි. මෑතදී සමාජ ප‍්‍රතිසංස්කරණ උත්සාහයන් හමුවේදී බොහෝ දුරට ආගමික සංස්ථාවලින් එල්ල වූයේ පසුගාමී ප‍්‍රතිචාරයන්ය. සමාජ-දේශපාලන ප‍්‍රපංචයන් අරඹයා  ඕනෑම පුරවැසියෙකුට අදහස් දැක්විය හැකිය. යෝජනා ඉදිරිපත් කළ හැකිය. එහෙත් ඒ දේවල් නූතන දැනුමට අනුව, මිනිස් වර්ගයාගේ පොදු යහපැවැත්මට අදාළ වන්නේ කෙසේද යන්න අනුව, වෛද්‍ය විද්‍යාත්මක සාධක අනුව තීරණය විය යුතුවා මිස පැරණි විශ්වාසයන් අනුව තීන්දු කළ යුතු නොවේ.
දෙවියන් වහන්සේගේ මැවීම හෝ සැලැස්ම යනු විශ්වාසයක් මිස ලෝකයේ නූතන දැනුම හා විද්‍යාත්මක සාක්ෂි අනුව කිසිදු ලෙසකින් පිළිගත හැකි දේවල් නොවේ. විශ්වාසය හා විද්‍යාත්මක දැනුම/සාක්ෂි යනු ඉතා වේගයෙන් නොපෑහෙන සේ ඈත්වන හා එකකින් අනෙක අහෝසි වන සන්දර්භයකි අද තිබෙන්නේ. ඒ බව තේරුම් ගෙන සමාජ ජීවිතයේ යහපත කෙරෙහි බාධාකාරී නොවන භූමිකාව තෝරා ගැනීම ආගමික නායකයන්ගේ ”යුතුකම” වනු ඇත. තම නොදැනුම හා තමන්ට අදාළ භූමිකාවේ වපසරිය තේරුම් නොගෙන සමාජ ජීවිතයට අධිකාරීවාදී ලෙස මැදිහත් වීමට යාමෙන් ඒ අයට තිබෙන 
”පිළිගැනීම” පවා අහිමි වීම ඉක්මන් වනු ඇත. යුරෝපයේදී සිදුවූයේ එයයි.
සියලූ‍ ආගමික නායකයන්ට හිස නැමීමට යාමේදී සමාජ ප‍්‍රගමනයට සිදුවන බාධාව කෙතරම්ද යන්න ඉගැනීමට ලංකාව තරම් සුදුසු පර්යේෂණ භූමියක් ආසියාවේ වෙන නොමැති තරම්ය. ජාතික ගැටලූ‍වට විසඳුම් සෙවීමේ කාර්යයේ සිට අධිකරණයෙන් වරදකරුවන්/නිවැරදිකරුවන් තීරණය කිරීමේ කාර්යය තෙක් මතුද නොව මහාමාර්ග පුළුල් කිරීමේදී අවහිර වන කපුටු බෝ රුකක් ඉවත් කිරීම වැනි ක්ෂුද්‍ර කාරණා කෙරෙහි පවා අන්තවාදී ආගමික කණ්ඩායම් බාධාකාරී ලෙස මැදිහත් වන ආකාරය අපි නොකඩවා අත්දකිමු. සමාජය මේ තත්ත්වයට තවදුරටත් ගොදුරු වීමට ඉඩහැර රාජ්‍යය නිෂ්කි‍්‍රය වීමට ඉඩ දිය යුතු නොවේ. ඒ උදෙසා බුද්ධිමතුන්ගේ මැදිහත්වීම මේ මොහොතේ අවශ්‍යතාවකි.
 
තාරක වරාපිටිය 
ලේකම්, ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 268

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 880

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 984

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1111

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1556

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2517

Please publish modules in offcanvas position.