lakbima.lk
2017-03-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.32 , විකුණුම් මිල රු154.17 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.90 , විකුණුම් මිල රු191.29 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.89 , විකුණුම් මිල රු.167.08 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.89 , විකුණුම් මිල රු.155.90 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.23 , විකුණුම් මිල රු.116.68 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.35 , විකුණුම් මිල රු.119.49 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.67 , විකුණුම් මිල රු.110.61 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3185 , විකුණුම් මිල රු.1.3688 |

ජයලලිතාගේ ඥාති දියණිය බලවත් වන ලකුණු

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය යනු ශ්‍රී ලංකාවටද බොහෝ සෙයින් බලපෑම් කිරීමට සමත් ප්‍රාන්තයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ නිසාම ලංකාවේ බොහෝ දෙනාද තමිල්නාඩුවේ සිදුවන දේශපාලන සිදුවීම්, විපර්යාසයන් පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන බව රහසක් නොවේ. පසුගිය දා සිදු වූ, හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ මරණයෙන් පසු තමිල්නාඩුව තුළ දිග හැරෙමින් ඇති ඉතා නාටකීය බවක් ගන්නා සිදුවීම්ද බොහෝ දෙනාගේ අවධානය දිනා ගනු ඇතැයි මේ නිසා බලා‍පොරොත්තු විය හැකිය.
ජයලලිතාගේ අභාවයෙන් පසු ප්‍රාන්තයේ මහ ඇමැති ධුරයට ඇයගේ ඉතා විශ්වාස වන්තයෙකු වූ ඕ. පනීර්සෙල්වම් පත් කෙරුණු අතර ඇගේ පක්ෂය වූ ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් - AIADMK (පක්ෂයේ) හි මහ‍ලේකම් ධුරයටපත් කරගන්නා ලද්දේ ජයලලිතාගේ දිගුකාලීන හිතවතියක හා සහායිකාවක වන සසිකලා නඩරාසන් ය. නමුත් ඇය මෙම තනතුරට පත් වීම සම්බන්ධයෙන් පක්ෂයේ ඇතැම් ‍‍‍ජ්‍යෙෂ්ඨයින් තුළ මුලපටන්ම ඒ තරම් ප්‍රසාදයක් තිබුණේ නැත.ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති හේතුවක් බව පෙනී යන්නේ ජයලලිතා ගේ මරණය සහ ඒ ආසන්න සිදුවීම් සම්බන්ධයෙන් පවතින විවිධ සැක සංකා සහ මත භේදයන් ය.
ජයලලිතා අසාධ්‍යව රෝහල්ගතව සිටි අවසන් දින කිහිපය තුළ ඇය සම්බන්ධ වැඩකටයුතු ඉතා රහසිගත සහ විනිවිද භාවයකින් තොර ආකාරයකින් සිදු වූ බවට නැගෙන චෝදනාව මේ වනවිට විශාල වශයෙන් අවධානයට ලක් වූවක් බවට පත්ව තිබේ. මෙම කාලය තුළ සියලු වැඩ කටයුතු සිදු වූයේ සසිකලා ඇතුළු කිහිප දෙනෙකුගේ අධීක්ෂණය යටතේ බව පැවැසුණු අතර බොහෝ දෙනෙකුට මෙම කටයුතු සඳහා සම්බන්ධවීමට අවස්ථාව නොතිබුණු බවටද චෝදනා එල්ල වී තිබිණි.
ජයලලිතාගේ මරණය සැක සහිත බවටත්, ඒ නිසා ඒ පිළිබඳව අපරාධ විමර්ශණ අංශවල සහභාගිත්වයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවටත් යෝජනා ඉදිරිපත් වන්නට පටන් ගත්තේ මෙම පසුබිම තුළය. මේ සම්බන්ධයෙන් අධිකරණයට පවා පෙත්සම් ඉදිරිපත් වූ අතර ජයලලිතාගේ සිරුර නැවත ගොඩ ගෙන පරීක්ෂණ පැවැත්වීමට අධිකරණය තීරණය කරනු ඇතැයි යන සැක සංකා පවා පසුගිය දිනවල කරළියට පැමිණ තිබෙනු දැකිය හැකිවිය.
සසිකලා ඇතුළු ඇගේ පවු‍ලේ උදවිය සම්බන්ධයෙන්ද නොයෙක් අවස්ථාවල වංචා දූෂණ සම්බන්ධ චෝදනා එල්ල වී තිබේ. ඇය පක්ෂයේ බලය ඇල්ලීම හරහා පක්ෂය ඇගේ පවු‍ලේ බූදලයක් බවට පත් වනු ඇතැයි යන සැකයද ඇතැම්   ‍‍‍ජ්‍යෙෂ්ඨයින්ට හිසරදයක් ඇති කර තිබෙන බව පෙනී යයි. එමෙන්ම සසිකලා පක්ෂයේ බලය ඇල්ලීම සඳහා කාලයක් තිස්සේ සැලසුම් කරමින් සිටියාද යන කාරණයද මේ වන විට අවධානයට හසුවෙමින් ඇති කරුණක් බවට පත්ව ඇත. ජයලලිතාගේ ඥාති දියණියක වන දීපා ජයකුමාර් ට සිය නැන්දණියගේ අවමඟුලට සහභාගි වීමට පවා ඉඩ නොදී ඇතැයි යන චෝදනාවද මෙම සැක සංකා පිළිබඳව බැරෑරුම්ව සිතන්නට ‍පොළඹවන්නකි. ජයලලිතාගේ මරණයෙන් පසු දීපා කරළියට ඒම වැළැක්වීමේ අරමුණක් තිබුණා ද යන්න මේ නිසා බොහෝ දෙනාගේ සැලකිල්ලට ලක්ව ඇති කාරණයකි.
කෙසේ වෙතත් සසිකලා සම්බන්ධයෙන් පැවති විරෝධතා මතුපිටට ගෙන ආ තවත් සිදුවීමක් පසුගිය දා සිදු විය. ඒ ඇය ආර්.කේ නගර් නමැති මැතිවරණ ආසනයෙන් ඡන්දයට ඉදිරිපත් විය යුතුය යන යෝජනාව මතු වූ අවස්ථාවේය.
ආර්.කේ. නගර් යනු ජයලලිතා අවසන් වරට නියෝජනය කළ ආසනයයි. ජයලලිතාගේ අභාවය නිසා හිස්ව ඇති ආසනය සඳහා නැවත මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබේ. පක්ෂයේ සසිකලාට හිතවත් පාර්ශ්වය යෝජනා කර ඇත්තේ සසිකලා මෙම මැතිවරණයට ඉදිරිපත්ව ප්‍රාන්ත ආණ්ඩුවට ඇතුළු වී අනතුරුව මහ ඇමැති ධුරයටද පත් විය යුතු බවයි. නමුත් මේ පාර්ශ්වයේ බලා‍පොරොත්තුවලට යම් බාධාවක් එල්ල කරමින් ආර්.කේ. නගර් ආසනයේ ජනතාව සසිකලාට එරෙහිව විරෝධතා දක්වන්නට පටන් ගෙන ඇත. ජයලලිතාගේ මරණය හා බැඳී ඇති සැක සංකා පවා මෙම විරෝධතාවන්ට බලපා ඇති ආකාරයක් පෙනී යයි. මේ පසුබිම තුළ සසිකලා සම්බන්ධයෙන් යම් කෝපයක් ආර්.කේ. නගර් හි ජනතාව තුළ ලියලමින් ඇති ආකාරයක් ද දැක ගත හැකි වෙයි.
සසිකලා වෙනුවට දීපා ජයකුමාර්ට සහය දීමේ වැඩපිළිවෙළක් ආර්.කේ. නගර් මැතිවරණ ආසනය තුළ මතුවෙමින් ඇති බවටද ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබෙනු පසුගිය සතිවල දැකගත හැකිවිය. දීපාගේ නිවස වෙත පැමිණි ජයලලිතාගේ අනුගාමිකයින් විශාල පිරිසක් දීපාට ආසනය බාර ගන්නා  ලෙස ඉල්ලීම් කර තිබේ. සසිකලා පක්ෂ නායකත්වයට පත් වූයේ පක්ෂයේ ඇතැම් ‍‍‍ජ්‍යෙෂ්ඨයින්ගේ මෙන්ම ජනතාවගේද කැමැත්ත ඇතිව නොවන බව මේ බොහෝ දෙනාගේ විශ්වාසය බව පෙනී යයි. සිය නිවසේ සඳළුතලයේ සිට දීපා රැස්ව සිටි ජනතාව අමතා ඇති අතර ‘මා ඔබ වෙනුවෙන් සිටිනවා’ යයි ඇය පැවැසූ අවස්ථාවේ විශාල පී්‍රති ඝෝෂාවක් ජනතාව අතරින් පැනනැගුණු බවද සඳහන් වෙයි. දීපා ජයකුමාර් ජයලලිතාගේ පවු‍ලේම සාමාජිකාවක වීමද, ඇයගේ පෙනුම බොහෝ දුරට ඒ කාලයේ ජයලලිතාගේ රුවට සමානවීමද ඇගේ වාසියට ක්‍රියා කරන ආකාරයක් පෙනේ. ඇතැමුන් පවසා ඇත්තේ දීපා තුළින් ජයලලිතා නැවත උපන් ආකාරයක් ජනතාවට දැනෙන බවයි. මේ තත්ත්වය තුළ ජයලලිතාගේ සොහොයුරා වූ ජේ. ජයකුමාර්ගේ දියණිය වන දීපා ජයකුමාර් ඉදිරියේදී සසිකලාට තර්ජනයක් බවට පත්වන ලකුණු මතුවෙමින් තිබේ.
ජයලලිතාගේ පක්ෂය තුළ මේ ආකාරයෙන් බල අරගලයක් සහ ව්‍යාකූලත්වයක් මෝදු වෙමින් තිබියදී ඔවුන්ගේ සාම්ප්‍රදායික තරගකරුවා වන (කරුණානිධිගේ) ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් - DMK (පක්ෂය) තුළද පසුගිය සතියේ යම්යම් වෙනස්කම් සිදු විය. ජනවාරි 4 වැනි දින පැවති විශේෂ සභා රැස්වීමකදී කරුණානිධිගේ පුත්‍රයා වන එම්.කේ. ස්ටාලින් පක්ෂයේ ක්‍රියාකාරී සභාපති ධුරයට පත් කර ගැනීම මෙහිදී සිදු වූ වැදගත්ම සිදුවීමක් විය. කරුණානිධි තවමත් පක්ෂ නායකත්වය දැරුවද දැනට 93 වැනි වියේ පසුවන ඔහු මේ වනවිට බෙහෙවින් රෝගාතුරව පක්ෂයේ එදිනෙදා කටයුතුවලින් ඈත්ව සිටියි.
ජයලලිතාගේ පක්ෂයේ ඇති ඉහත කී ව්‍යාකූලත්වයට සාපේක්ෂව කරුණානිධිගේ පක්ෂය තුළ ඇත්තේ වඩා ස්ථාවර බවකි. ස්ටාලින් පක්ෂයේ මීළඟ නායකයා විය යුතුය යන්න කරුණානිධිද කලෙකට පෙර සිටම ප්‍රකාශයටපත් කර තිබූවක් වන අතර ස්ටාලින්ද පක්ෂය තුළ ඉහළට නැගීමේදී ඉතා වෙහෙස වී කටයුතු කළ, කැපකිරීම් කළ, ඒ නිසාම නායකත්වයට සුදුසු පුද්ගලයෙකු ලෙසිනි සැලකෙන්නේ. ඒ නිසා සසිකලාට එරෙහිව එල්ල වන තරම් විරෝධයක් ස්ටාලින්ට එරෙහිව එල්ල නොවන බවක්ද දැකගත හැකි වෙයි. මෙම තත්ත්වය නිසා ඉදිරියේදී කරුණානිධිගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් ජයලලිතාගේ පක්ෂය පරදවා ඉහළට මතුවීමට පවා ඉඩක් ඇති බව පෙනී යයි.
1953 වසරේ උපන් එම්.කේ. ස්ටාලින්ට එම නම ලැබි ඇත්තේ හිටපු සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් ගැන කරුණා නිධි දැක්වූ ගෞරවය නිසාය. එම්. කේ. ස්ටාලින් ඉපිද සතියකට පමණ පසු ජෝසෆ් ස්ටාලින්ගේ මරණය සිදුව ඇති අතර ඔහු සිහිවනු පිණිස කරුණා නිධි සිය පුත්‍රයාට එම නම තැබූ බව සඳහන් වෙයි. කරුණා නිධි විවාහයන් තුනක් සිදු කරගත් කෙනෙකි. ස්ටාලින් දෙවැනි කසාදයේ බිරිඳ වූ දයාලු අම්මාල්ගෙන් ලැබුණු දරුවා ය. (කරුණානිධිට දරුවන් සය දෙනෙකු සිටින අතර ඒ අතරින් තිදෙනෙකු එනම් අලාගිරි, ස්ටාලින් සහ දියණිය කානිමෝෂි දේශපාලනයට සම්බන්ධය. ඔහුගේ වැඩිමල් පුත්‍රයා වන එම්.කේ. මුතු දෙමළ සිනමාවේ නළුවෙකු ලෙස නමක් දිනා ගත්තෙකි)
එම්.කේ. (මුතුවෙල් කරුණානිධි) ස්ටාලින් දේශපාලන කටයුතු ආරම්භකර ඇත්තේ වයස  අවුරුදු 14 දී ශිෂ්‍ය  ව්‍යාපාරය හා සම්බන්ධ වෙමිනි. වරක් හදිසි නීතියට එරෙහිව විරෝධතා දැක්වීම හේතුවෙන් ඔහුට සිරගත වීමට පවා සිදු විය. පසුකාලයේ තමිල්නාඩුවේ චෙන්නායි හි නගරාධිපතිවරයා ලෙසද, තමිල්නාඩු ප්‍රාන්ත පාර්ලිමේන්තුව තුළද ඔහු කිහිප වරක් කටයුතු කර ඇති අතර නියෝජ්‍ය මහ ඇමැති ලෙසද 2009 සිට 2011 දක්වා කටයුතු කර තිබේ. ඒ අනුව ඔහු දේශපාලන අත්දැකීම් සහ පලපුරුද්ද අතින්ද සසිකලාට වඩා ඉදිරියෙන් සිටින බව පෙනේ. මෙයද ඇතැම් විට ඔහුට සිය පක්ෂය ජයලලිතාගේ පක්ෂයට වඩා ඉදිරියට ගෙන යන්නට උදව්වක් වියහැකිය.
කෙසේ හෝ වේවා ජයලලිතා හෝ කරුණානිධි වැනි දැවැන්ත ප්‍රතිරූප සහිත නායකයින් තව දුරටත් තමිල්නාඩුවේ ප්‍රධාන පක්ෂ දෙක තුළම දැකිය හැකි නොවේ. මෙම පසුබිම තුළ ප්‍රාන්තය දේශපාලන වශයෙන් අලුත් අවධියකට සංක්‍රමණය වෙමින් ඇති බවක් පැවැසිය හැකි අතර නව නායකත්වයන් යටතේ අලුත් අලුත් ආකාරයේ දේශපාලන නාටකයන් රැසක් ඉදිරියේදී වේදිකා ගත වනු ඇතැයිද අපේක්ෂා කළ හැකිය.

නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


IMAGE

රජිනිකාන්ත් යාපන සහ වවුනියා සංචාරයක

IMAGE 2017 Mar 23 16:40
උතුරේ ජනතාව වෙනුවෙන් ඉදිකරන ලද 150 කින් යුත් නව නිවාස ව්‍යාපෘති දෙකක් විවෘත කිරීම පිණිස දකුණු...
Views - 627

කූඹියෙක් කෑවත් මැරෙන්න පුළුවන්?

IMAGE 2017 Mar 22 16:01
කුහුඹුවකු කෑම හඳුන්වන්නේ ඉතා සුළු සිදුවීමක් ලෙසයි. නමුත් කුහුඹුවකු කෑ පසු වුව සම කැසීමට අමතරව...
Views - 2563

මහත්තයාගේ කාටවත් නොදෙන බෑග් එක

IMAGE 2017 Mar 22 09:04
පසුගිය දිනයක සැන්දෑ ඇඳිරියත් සමග අනුරාධපුරයෙන් කුරුණෑගල බලා ගමන් ඇරඹූ බස් රථයකි. අනුරාධපුර...
Views - 4246

'කිරියෙන් පැණියෙන්' සුභ පැතුමේ 'පැණි' යනු ලිංගිකත්වයයි

IMAGE 2017 Mar 21 11:40
“කිරියෙන් පැණියෙන් ඉතිරේවා”, “බත බුලතින් සරුවේවා” යන්න සෑම සිංහල අලුත් අවුරුද්දකදීම...
Views - 7240

වැඩිපුර ‘සෙල්ෆි’ ගැනීමත් මානසික ලෙඩක්ද?

IMAGE 2017 Mar 20 12:02
සෙල්ෆි (selfie)  යන ලෝ පතල නමින් හැඳින්වෙන ස්වයං ඡායාරූප (self  portrait) ගැනීම අද ලොව පුරා ශීඝ්‍රයෙන්...
Views - 2087

ආගමික ඡායාරූප වල සටහන් වන අද්භූත ආලෝක ලප දේවතා එළිද?

IMAGE 2017 Mar 20 09:56
ආගමික සිද්ධස්ථාන සහ ආගමික උත්සව පැවැත්වෙන ස්ථාන වල රාත්‍රී කාලයේ දී ගනු ලබන ඇතැම් ඡායාරූප වල...
Views - 2769

Please publish modules in offcanvas position.