lakbima.lk
2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

අනේපිඬු සිටාණන් ජේතවනාරාමයට මිල ගෙවූ කහවනු ඇතුළු සියවස් ගණනක කාසි එකතුවක්

අනේපිඬු සිටුතුමා බුදුරජාණන් වහන්සේට පූජා කිරීම සඳහා ජේතවනාරාමය ඉදිකිරීමට ජේතවනය නමැති ඉඩම මිලදී ගත්තේ ජේත නමැති සිටුකුමරාගෙනි.
මෙම ඉඩම මිලදී ගැනීම සඳහා අනේපිඬු සිටුතුමා ගැල් තුනක් පුරවා කහවනු ගෙනැවිත් ඉඩම පුරා විසිරුවා හැර එම කහවනු ජේත කුමාරයාට ලබාදී ඉඩම ලබාගත් බව බෞද්ධ සාහිත්‍යයේ කියැවේ. හපුත‍ලේ ‍පොලීසිය සමීපයෙහි පදිංචි ජයනන්ද පෙරේරා සතුව ඇති කාසි අතරින් පැරණිම කාසි අතර මෙම කහවනුද වෙති.
අනේපිඬු සිටාණන් ජේතවනයට මිල ගෙවූ කහවනු ජයනන්ද පෙරේරා මිලදී ගෙන ඇත්තේ ඉන්දියාවේ සංචාරයක් අතරතුරය.
 මෙලෙස ජයනන්ද නවදිල්ලියේදී ජේතවන කහාපන කාසියක් මිලදී ගත්තේ රුපියල් නම දහසකටය. ජයනන්ද කාසියකට ගෙවූ ලොකුම මිල ගෙවූයේ බෝගස සහ සිංහල ස්වස්තිකය සහිත ක්‍රි.පූ. 3 වැනි සියවසේ කාසියකටයි. ඒ සඳහා ඔහු ගෙවූ මුදල රුපියල් 60,000කි.   
ශ්‍රී ලංකාවේ පැරණි කාසි එකතුකරන්නන් අතර අතිසුවිශේෂ කාසි ගොන්නක් හිමිකරගෙන සිටින ජයනන්ද පෙරේරා පුරාණ කාසි එකතු කිරීම ආරම්භ කළේ දහතුන් වියැති කොලුපැටියෙකුව සිටිනා කාලයේදීය.
මගෙ අම්ම වින්නඹු කෙනෙක්. එයාට අපූරු භාණ්ඩ තියෙන පෙට්ටගමක් තිබුණ. අම්ම ඔය පෙට්ටගම ඇරපු වෙලාවට මම ඒක ඇතුළට ඔළුව ඔබාගෙන බලාගෙන ඉන්නවා. ඒකෙ තිබිලා දවසක් මම සත කාලක කාසියක් ගත්ත. ඒක තඹ කාසියක්. අම්ම කිව්ව උඹ දිගටම පරණ සල්ලි එකතු කරනවනම් විතරක් ඔය කාසිය ගනින් කියලා හපුත‍ලේ ජයනන්ද පෙරේරාට පැරණි කාසි එකතු කිරීමට දයාබර මවගෙන් විවරණ ලැබුණේ එසේය. ඔහු සතු කාසි එකතුවේ සුවිශේෂී තැනක් ගන්නා කහවනුව ඔහු මිලදී ගත්තේ මුද්දුව ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගෙනි.
මෙම කහවනු, කහාපන, කර්ෂපාන කියලත් හඳුන්වනවා. ඒ කාසි පිළිබඳ ජයනන්ද පෙරේරාගේ දැනුමෙන් බිඳකි. කහවනු යනු ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ දහවෙනි සියවස දක්වා භාවිතාවී ඇති කාසි විශේෂයකි. ජයනන්ද පෙරේරා පවසන පරිදි කහවනු කාසිය යනු ශත පනහක් දෙකට පැලූ විට තරමේ තුනී හැඩයේ කාසියකි. ඉරහඳ සංකේත එහි ඔබ්බවා ඇත.
ක්‍රිස්තු පූර්ව පන්සිය හතළිස් තුනේ පමණ විජය ඇතුළු පිරිස මෙරටට පැමිණෙන විට මෙම කහවනු කාසි රැගෙන එන්නට ඇතැයි සිතිය හැක.
පසුකාලයක කහවනු ශ්‍රී ලංකාවේද නිෂ්පාදනය කරන්නට ඇතැයි සිතිය හැක. සමහර කහවනු කාසිවල භාරතයේ කහවනු කාසිවල දක්නට නොලැබෙන, මෙරටටම ආවේණික මුද්‍රා දක්නට ලැබිම එම සැකය තහවුරු කරනා හෝඩුවාවක්ය. ජයනන්ද පෙරේරා සතු පැරණිම කාසිය කහවනු වුවද ක්‍රිස්තු පූර්ව යුගවල ලංකාවේ මෙන්ම ඉන්දියාවේද 'පුරාණ' නමැති කාසි වර්ගයක් භාවිත කර ඇත. එය හතරැස් හැඩයෙන් යුතු රිදී කාසියකි. මෙහි අක්ෂර දක්නට නැත. නමුත් ගස්, සතුන්, ඉර, මත්ස්‍යයන් වැනි සංකේත එම කාසිවල කොටා ඇත.
ජයනන්ද පෙරේරා සතු පැරණි කාසි අතර ස්වස්තික කාසිය ක්‍රිස්තු වර්ෂ දෙවන - හතරවන සියවස්වලට අයත්ය. පස්ලෝවලින් නිර්මාණය කර ඇති මෙම ස්වස්තික කාසියෙහි ස්වස්තික ලකුණ සහ බෝගසක් දක්නට ඇත. ජයනන්දට ස්වස්තික කාසිය හිමිවීමේ පසුබිම් කතාවද ආකර්ෂණීය එකකි.

අම්බලන්තොටටත් කිලෝමීටර් පහක් එහා ගමක ඉන්න අප්පුහාමි මාමා ළඟ ස්වස්තික කාසියක් තියෙනවයි කියල මට ආරංචි වුණා.'' අප්පුහාමි මාමා වයස අවුරුදු අසූවක පමණ වයසේ අයෙකු විය. ගරා වැටුණ නිවසක වාසය කළ ඔහු සමීපයෙහි ස්වස්තික කාසි කීපයක්ම විය. අම්බලන්තොටට ගිය ජයනන්ද ඒවා පරීක්ෂා කර බැලීය. ඒවා නියම ස්වස්තික කාසිය. ජයනන්ද ස්වස්තික කාසියට මිලක් ගැසුවේය. ඒ රුපියල් දහ දහසකි. ඒ ගණනට අප්පුහාමි මාමා එකඟ නොවනා හෙයින් ඔහු ස්වස්තික කාසිය තව තවත් ඉහළ මිලකට ඉල්ලුවේය. නමුත් රුපියල් විසිපන්දහසක මුදලටවත් එම ස්වස්තික කාසිය ජයනන්දට විකිණීමට අප්පුහාමි මාමා එකඟ නොවීය. ජයනන්ද ස්වස්තික කාසිය මිලදී ගැනීමේ ආශාව බැහැර කර ආපසු පැමිණියේය.
එයින් අවුරුදු පහකට පමණ අම්බලන්තොට යන වෙලාවක අප්පුහාමි මාමලාගේ ගෙවල් පැත්තේ නිකමට ගොස් බලන්නට ජයනන්දට සිත්විය. දවෛනිවර ඔහු එහි යනවිට ගරා වැටුණ ගෙය වෙනුවට තිබුණේ දෙමහල් මන්දිරයකි.
අප්පුහාමි මාමගෙ ගේ කෝ? ජයනන්ද නිවස ඉදිරිපිට සිටි තරුණයකුගෙන් විමසීය.
ඒ මගෙ තාත්තා. උන්දෑ මළා. පරණ ගේ කඩල මම අලුත් ගෙයක් හැදුවා තරුණයා පිළිතුරු දුන්නේ කිසි ගනිංචියක් නොමැතිවය.
තාත්ත ළඟ පරණ කාසි තිබුණ නේද? ජයනන්ද විමසුවේය.
ඔය එකතු කරගෙන හිටියෙ තරුණයා පෙරපරිදිම ඕනෑවට එපාවට පැවැසීය.
ටිකක් බලන්න පුළුවන්ද? ජයනන්ද නිකමට විමසීය.
තරුණයා නිවස ඇතුළට ගොස් පැරණි කාසි කීපයක් ගෙනාවේය. ස්වස්තික කාසිය එම පැරණි කාසි අතර විය. ඉතාමත් ඉහළ මිලක් ගෙවා හෝ ස්වස්තික කාසිය ගතයුතුය යන අරමුණ ජයනන්ද තුළ විය.
මහත්තයා කැමති නම් රුපියල් පන්දාහක් දීලා ඔය කාසිය ගන්න ස්වස්තික කාසිය අතේ තබාගෙන එහා මෙහා පෙරළමින් බලනා ජයනන්දට තරුණයා පැවැසීය.
රුපියල් විසිපන්දාහකටවත් මිලදීගැනීමට නොහැකි වූ ස්වස්තික කාසිය රුපියල් පන්දාහකට ජයනන්ද පෙරේරාට ලැබුණේ එසේය.
ඔය පැරණි කාසිවල ද්‍රව්‍යමය වටිනාකමක් නැහැ. ඓතිහාසික වටිනාකමක් විතරයි තියෙන්නෙ. ඒ ඓතිහාසික වටිනාකම දන්න මිනිස්සු අතරෙ තමයි ඕක ඉහළ මිලකට විකිණෙන්නේ ජයනන්ද පෙරේරා පවසයි.
අඟල් භාගයක් දිග අඟල් කාලක් පළල තඹ පටියක් වැනි වූ පැරණි ලක්ෂ්මි කාසිය ද ජයනන්ද පෙරේරා සතුය.
ලක්ෂ්මී කාසිය ලංකාවේ භාවිත කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ තුනේ සිට අට දක්වා කාලවලය. ලක්ෂ්මී දේවියගේ රුව මෙම කාසිවල දක්නට ඇති නිසා ඒවා ලක්ෂ්මී කාසි ලෙස හඳුන්වා ඇත. ලක්ෂ්මී කාසිය සහ ලක්ෂ්මී තහඩු කාසිය යනුවෙන් කාසි වර්ග දෙවර්ගයක් භාවිතවී ඇත. කිලිනොච්චියේ කළ කැණීම්වලදී ද තිස්සමහාරාමය අකුරුගොඩදී කළ කැණීම්වලදී ද මෙම ලක්ෂ්මී කාසි ලැබි ඇත. ඊයම් සහ තුනී තඹ තහඩුවලින් මෙම කාසි නිමවා ඇත.
රවුම් හැඩයෙන් යුතු රන් කහවනු කාසියද මධ්‍යම යුගය වනවිට ලංකාවේ භාවිතවී ඇත. එහි එක පැත්තක නෙළුම් දඬුවක් මත සිටගත් මානව රූපයකි. අනික් පැත්තේ ඔටුන්නක් පැළඳ ගත් රජ කෙනෙකු ආසනයක හිඳ සිටින ස්වරූපයකි. කාසියේ දාරය වටා තිත් පෙළක් ඇත. රජ රූපය සමග 'ශ්‍රී ලංකා විභූ' යන්න කොටා ඇත. දහවන සියවස දක්වා මෙරට භාවිත වුණ මෙම රන්කහවනුව වටිනාකම් හතරකින් භාවිතවී ඇත. රන්කහවනුව එයින් භාගය අඩ කහවනුව ය. කහවනුවෙන් කාල හඳුන්වා ඇත්තේ 'දෙ අත' හෙවත් 'පලය' යනුවෙනි. කාල හඳුන්වා ඇත්තේ 'අත' යනුවෙනි.
පස්වන සියවස වනවිට මෙරට රෝම කාසි බෙහෙවින් භාවිත වී ඇත. සීගිරියේ සිදුකළ කැණීම්වලදී ලැබූ කාසි එක්දහස් හයසිය අසූහතෙන් එක්දහස් හයසිය හැත්තෑ පහක්ම රෝම කාසි සහ ඒ අනුසාරයෙන් නිර්මාණය කළ ඉන්දු - රෝම කාසිය. මේ සෑම කාසියකම එක පැත්තක රෝම අධිරාජ්‍යයකුගේ හිස දක්නට ඇත. මෙලෙස ලැබුණ කාසි බොහොමයක් ගෙවී ගොස් ඇති බැවින් සිතිය හැක්කේ මෙම රෝම කාසි බෙහෙවින් අතින් අත සංචරණයවී ඇති බවය.
ලංකාව පෘතුගීසි යටත්විජිතයක් වූ පසු මෙරට භාවිතයට ඔවුන් රන් කාසි වර්ගයක් සහ රිදී කාසි වර්ග තුනක් නිකුත් කර ඇත. මෙම රන් කාසිවල මුනිවරයකුගේ රූපය සමග නිකුත් කළ වර්ෂයද සටහන් විය. එම රුව වටා STHOME යන අකුරු ඔබ්බවා තිබුණි.
එක් රිදී කාසි වර්ගයක් කොළඹින් සහ ගාල්ල යන බලකොටු දෙකෙන්ම නිකුත්කර තිබුණි. කොළඹින් නිකුත් කළ රිදී කාසියේ එක් පැත්තක ප්‍රතිකාල් රාජ්‍ය ලාංඡනය සහිතව CL යන අකුරු දෙකද ගාල්ලෙන් නිකුත් කළ රිදී කාසියේ ප්‍රතිකාල් රාජ්‍ය ලාංඡනය සහිතව GA අකුරු සටහන්ව ඇත.
ඕලන්ද යුගයේ තුට්ටු කාසිවල උඩ පැත්තේ VOC අකුරුද තුට්ටු කීයේ කාසියක්ද යන්නද සටහන්ව තිබුණි. එම VOC අකුරු වලට උඩින් තවත් ඉංග්‍රීසි අකුරක් විය. එය එම කාසිය නිකුත් කළ ඕලන්ද බලකොටුව පිහිටි ප්‍රදේශයේ මුල් අකුර විය. කොළඹින් නිකුත් කළ කාසිවල 'C' ද ත්‍රිකුණාමලයෙන් නිකුත් කළ කාසිවල 'T' ද යාපනයෙන් නිකුත් කළ කාසිවල 'J' ද ගාල්ලෙන් නිකුත් කළ කාසිවල 'G' අකුරද සටහන් විය.
කොළඹ අච්චු ගැසූ කාසිය අඟල් තුන්කාලක් පළලය. අඟල් තුනක් දිගය. එහි වටිනාකම තුට්ටු හතරයි තුන්කාලකි. ගාල්ලේ අච්චු ගැසූ කාසියේ වටිනාකම ‘ඉ 2’ යනුවෙන් සිංහලෙන් සටහන්කර ඇත. STUIVER යන ඕලන්ද වචනය ‘ඉස්ත්‍රිබි’ යනුවෙන් සිංහලට පෙරළා ඉලක්කමට මුලින් ‘ඉ’ යනුවෙන් සඳහන්ය. ‘ඉ2’ තුට්ටු දෙකයි.
රික්ස් ඩොලරය, ලන්දේසීන් අපට හඳුන්වා දුන්නේ පතාගය යනුවෙන් පතාගයට පනම් දොළහකි. තුට්ටු හතළිස් අටකි.
ලංකාවේ ප්‍රථමවරට මුදල් නෝට්ටුවක් භාවිතයට පැමිණියේ 1785 මැයි 10 වන දිනය. එය පතාග 25,000 නෝට්ටුවකි. ඕලන්ද පාලන සමයේ වැන්දග්‍රාප් නමැති ආණ්ඩුකාරයා විසින් මෙය නිකුත් කර ඇත. පසුව පතාග 1, 2, 3, 4, 5, 10, 50, 100, 500, 1000 යන වටිනාකමින් එම ලන්දේසි මුදල් නෝට්ටු නිකුත් විය. ඒක ලන්සි නෝට්ටු ලෙසින්ද හඳුන්වයි. ඉංග්‍රීසීන් මෙරට පාලන බලය හිමිකරගත් පසුව 1801දී තුට්ටවේ තඹ කාසි තුන් වර්ගයක් නිකුත් කළහ. ඒ තුට්ටුව, තුට්ටු භාගය සහ තුට්ටු කා‍ලේ වටිනාකමටය. එම රවුම් කාසිවල වටේට CEYLON GOVERNMENT යන්නද ඒ මැද කාසියේ වටිනාකමද විය. කාසියේ අනිත් පැත්තේ ඇත් රුවක් විය.
ඉංග්‍රීසීන් මෙරට රිදී කාසි නිකුත් කිරීම ආරම්භ කළේ 1803දීය. ඒවා පතාග දෙක, පතාගය සහ පතාග භාගයේ රිදී කාසිය. එම රිදී කාසිවල දෙපැත්තද තඹ තුට්ටුවේ කාසිවල දෙපැත්ත මෙන් විය.
හතර වැනි ජෝර්ජ් රජුගේ හිස එක පැත්තක CEYLON-ONE RIX DOLER  සහ නිකුත් වූ වර්ෂයද සටහන්ව පළමු පතාගයේ කාසිය ඉංග්‍රීසීන් නිකුත් කළේ 1821දීය.
1831 ජනවාරි පළමු වන දින බ්‍රිතාන්‍ය රජය විසින් එතෙක් ශ්‍රී ලංකාවේ භාවිත වුණ සියලුම තඹ කාසි අවලංගු කරන ලදී. පැන්ස, සිලිම්, පවුම් භාවිතය ඇරඹුණෙ ඉන් පසුවය. 1837-1901 කාලයේදී වික්ටෝරියා රැජිනගේ රුව සහිත කාසි නිකුත් විය. 1917-03-01 දින රුපියල සහ රුපියල් දෙකේ නෝට්ටු නිකුත් විය. රුපියල් පනහ සහ රුපියල් සීයය මුදල් නෝට්ටු මෙරට ප්‍රථම වරට නිකුත් වූයේ 1919 දෙසැම්බර් අටවන දිනය. එක්දහස්නවසිය විසිඑකේ ඔක්තෝබර් පළමුවන දින ප්‍රථම වරට රුපියල් දහයේ නෝට්ටුව නිකුත් විය.
එක්දහස් නවසිය විසිතුනේදී ඉංග්‍රීසි පාලකයන් අපූරු නෝට්ටු ‍පොතක් නිකුත් කළේය. එහි රුපිය‍ලේ වටිනාකමින් යුතු කොළ විසිපහක්, එනම් රුපිය‍ලේ නෝට්ටු විසිපහක් ඇතුළත් විය. එලෙසම 1927දී රුපියල් දෙකක වටිනාකම අපි කොළ විසිපහකින් යුතු මුදල් නෝට්ටු ‍පොතක් නිකුත් කළේය. මේ අවස්ථාවත් ලාංකික මුදල් නිකුත් කිරීමේ විශේෂ අවස්ථාය.  බ්‍රිතාන්‍ය රජය මෙරට භාවිතය සඳහා ශත 5, ශත 10, ශත 25 සහ ශත 50 නෝට්ටු නිකුත් කළේ එක්දහස් නවසිය හතළිස් එකේ පෙබරවාරි පළමුවන දිනය.
ජයනන්ද පෙරේරා පවසන්නේ අපි බොහෝ දෙනා මුදල්වලට සල්ලි කියා හැඳින්වූවාට සල්ලි යන වචනය මුදල් යන වචනයට සමාන වචනයක් නොවන බවය. “සල්ලි“ යනු ඕලන්ද කාසි විශේෂයකි. 1732 කාලයේ නිකුත් කළ වී.ඕ.සී. සටහන යෙදූ එම ‘සල්ලි‘ කාසිය මෙරටද භාවිත වී ඇත. ඉතා තුනී කාසියක් වූ ‘සල්ලි‘ ඕලන්දයේ ප්‍රාන්ත හයකින් නිකුත් කර තිබුණා” යැයි ජයනන්ද පවසන්නේය.
බණ්ඩාරවෙල ශාන්ත ජෝශප් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ජයනන්ද පෙරේරා ව්‍යාපාරිකයකි. විවාහකයකි. පැරණි කාසි පිළිබඳ විශේෂ දැනුමක් ඇති ඔහු එම දැනුම බෙදාදීමට සූදානම්ය.

පීටර් කැනියුට් පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරිමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


ලක්බිම ගොසිප්

වයස 169 ක අයෙක් ලංකාවේ ?

IMAGE 2017 Jan 05 13:45
වැඩිහිටි හැඳුනුම්පතේ දෝෂයෙන් වයස අවුරුදු 169ක් වූ අයෙකු ගලහ දෙල්තොට ප්‍රදේශයේ ජීවත් වන බව...
Views - 2795

‍පෝරකයට නියමවූවෙක් උපාධියක් ලබයි

IMAGE 2017 Jan 05 10:00
මරණීය දණ්ඩනය නියමවූවෙකු මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට  අද (05) ශ්‍රාස්තවේදී උපාධිධාරියෙකු ලෙස...
Views - 3804

බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයාට ගෙදරයන්න සැලැස් වූ ලාංකිකයා

IMAGE 2017 Jan 04 12:14
එක්දහස් අටසිය දහඅටේ උඩරට ගිවිසුම ප්‍රකාර රටේ පාලනය හා ස්වාමීත්වය කොන්දේසි සහිතව භාරගත්...
Views - 3678

ලංකාවේ දේශපාලන වේදිකාවට ආ හිට්ලර්ගේ සිහින මෝටර් රිය

IMAGE 2017 Jan 04 11:15
මලලසේකර ශබ්දකෝෂයේ Bettle යන වදනට සපයා ඇති සරල සිංහල තේරුම වනුයේ 'කුරුමිණියා' යන්නයි. එහෙත්...
Views - 4302

සෝරත ‍පොඩිනමගේ චරිතය සාමණේර භික්ෂුවට අපහාසයක් - හෑගොඩ...

IMAGE 2017 Jan 04 09:03
දෙරණ නාලිකාවේ විකාශය වන සිඳු ටෙලිනාට්‍යයේ ජනප්‍රියතාවයට ප්‍රධානතම හේතුව සාමණේර චරිතයයි....
Views - 10690

විජය නැති අඩුව පුරවන්න පුතා වේදිකාවට ගේනවා - දේවිකා...

IMAGE 2017 Jan 04 08:48
කලා ක්‍ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ ප්‍රතිභාපූර්ණ චරිත කිහිපයක් පසුගිය වසරේදී අපේ රටට...
Views - 4749

Please publish modules in offcanvas position.