Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න කීවොත් ඔබ කොහොමද එය කරන්නේ?
පුතා (සාරංග දිසාසේකර) ඉපදුණු දවස තමයි මම මගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ දවස. මම වැඩියෙන්ම දුක්වූයේ මගේ වැඩිමල් සොයුරියන් අකාලයේ මියගිය අවස්ථාවේ.
 
ඔබ සතුට හා දුක විඳදරාගන්නේ කොහොමද?
ඔය හැඟීම් දෙකම බෙදාහදා ගන්න මට පුළුවන්. සතුට දනවන දෙයක් වුණාම එය තවත් කෙනෙකුට කියලා එයත් එක්ක සතුට බෙදාගන්නවා. ඒ වගේම දුකක් දැනුණම කාත් එක්ක හරි කියලා හිතේ දුක තුනී කරගන්නවා.
 
තමන්ගේ දුක, තමන්ගේ ප්‍රශ්න තව අයට කියන්න ගියාම නැති ප්‍රශ්න ඇතිවෙලා ඒ දුක වැඩිවෙනවා කියා ඇතැමුන් කියනවා. ඔබ එය පිළිගන්නවාද?
පෞද්ගලිකව මට නම් එහෙම වෙලා නැහැ. මොකද මට ඇතිවෙලා තියෙන්නේ තව කෙනෙකුට කියන්න බැරි ප්‍රශ්න නමෛයි. ඒ වගේම මට ප්‍රශ්නයක් වුණාම මම ඒක හැමෝටම කියන්න යන්නේ නැහැ. මට සමීපතම පවු‍ලේ කෙනෙකුට තමයි කියන්නේ. තමන්ගේ ප්‍රශ්න හැමෝටම කියන්න යන අයට ඔය තත්ත්වය ඇතිවෙනවා. ඒ වගේම තව කෙනෙකුට කියන්න බැරි ප්‍රශ්න තියෙන අයට නම් තමන්ගේ ප්‍රශ්න වෙන අයට කියන්න ගියොත් ඔය වගේ තත්ත්වයක් උදාවන්න පුළුවනි. ඒ වගේ අවස්ථාවල නම් ඉතින් නිහඬවම එය හංගාගෙන ඉන්න තමයි වෙන්නේ.
 
තිලකාට දුක හා සතුට නිහඬව විඳදරා ගන්න හැකියාවක් නැද්ද?
ගොඩක් හොඳ හැකියාවක් තියෙනවා. මගේ ජීවිතේ දුක දැනුණු අවස්ථා ගොඩාක් මම ඒ දුක තනිවම දරාගෙන හිටියා.
 
ඔබේ විවාහය තුළින් ඒ වගේ දුක්බර අවස්ථා තිබුණා නේද?
දුක්බර බව කියනවාට වඩා ගැටලු සහගත බව කිව්වොත් වැරදි නැහැ. මගේ සැමියා (නාරද දිසාසේකර) සහ මගේ විවාහය දෙදරා යන්නට හේතු වුණේ ඔහුගේ බිමත්කම හා අපේ නොගැළපීම. නමුත් වෙන්ව ගිය පසු වුණත් අවශ්‍ය අවස්ථාවලදී අපි කතාබහ කළා. තනියම පුතාව හදාගන්න එකත් මට දුකක් වුණේ නැහැ. මගේ අයියා (ඩග්ලස් රණසිංහ) මට ලොකු ශක්තියක් වුණා.
 
ඔබ හිතන විදියට වඩාත්ම සතුට රැඳිලා තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජීවිතය තුළද?
තනිකඩ ජීවිතයේ සතුට තියෙන්නේ වගකීම් රහිත නිදහස් සැහැල්ලු බව එක්ක. ඒත් විවාහයකදී ජීවිතයට වගකීම් එනවා. දරු මල්ලන් ලැබෙනවා. විවාහ ජීවිතයේ සතුට තියෙන්නේ ඒ සංකීර්ණ බව එක්ක. මම හිතන්නේ ජීවිතයට වගකීම් අවශ්‍යයි. දරුවන් අවශ්‍යයි. ඒ හින්දා වැඩියෙන්ම සතුට තියෙන්නේ විවාහ ජීවිතය තුළ.
 
විවාහය සතුටක් නම් දෙවැනි විවාහයක් ගැන හිතා ජීවිතයට අහිමි වූ සතුට ළඟා කරගන්න හිතුවෙ නැත්තේ ඇයි?
ගිනිපෙනෙල්ලෙන් බැට කෑ පුද්ගලයා කණාමැදිරි එළියටත් බයයිලු. මටත් දෙවැනි විවාහයක් ගැන හිතන්න කියලා අයියලා කියද්දී හිතුණේ එහෙම. අනිත් කාරණාව දෙවැනි විවාහයක් ගැන හිතන්නේ සැමියකුගේ ආදරය රැකවරණය අවශ්‍ය නම් විතරයි. මට මගේ අයියලාගේ රැකවරණය තිබුණා. ඒ වගේම වෘත්තිය තුළ කාර්ය බහුල වුණා. මගේ දරුවා මගේ ජීවිතේම වුණා. ඒ හින්දා ආදරයක අවශ්‍යතාව දැනුණෙ නැහැ. දෙවැනි විවාහයක් කරගත්තත් ඔහු මගේ දරුවට තාත්තා කෙනෙක් වෙයිද කියන ප්‍රශ්නය තදින්ම තිබුණා. ඔන්න ඔය හේතු හින්දා දෙවැනි විවාහයක් මට අවශ්‍ය නැහැ කියලා හිතුවා.
 
ඔබේ පුතුගේ ජීවිතයේ සතුට හා දුක ඔබටත් ඒ විදියටම දැනෙන්න ඇති...
ඒක හැම අම්මා කෙනෙකුටම ‍පොදු දෙයක්. තමන්ගේ සතුටට වඩා දරුවන්ගේ සතුට අම්මට දැනෙනවා. දරුවකුට දුකක් වුණාම ඒකත් ඒ අම්මට තදින්ම දැනෙවා.
 
සාරංගගේ ජීවිතයේත් අර්බුදකාරී තත්ත්වයන් හා දුක්බර අවස්ථා ඇතිවුණා. 
ඔව්. ඒ හැම ප්‍රශ්නයක්ම විසඳලා පුතාගේ ජීවිතයට සතුට උදාවෙනවා දකින එක තමයි දැන් මගේ ලොකුම සතුට. 
 
ආරියවංශ කුලතිලක
 

නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන් සමග ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය නිසයි. නතාෂා වගේම ප්‍රිහානුත් ජනප්‍රිය ගායකයෙක් නිසා මේ දෙදෙනා ගැන තොරතුරු හොයන රසික රසිකාවියන්ගෙනුත් අඩුවක් නැහැ. තමන් ආදරය කරන මේ කලාකරුවන් දෙදෙනා ආයෙමත් ලංකාවට එන්නේ නැද්ද කියලා අහපු පිරිසකුත් හිටියා. මේ කුතුහලයත් එක්ක තමයි නාතාෂයි ප්‍රිහානුයි ආයෙමත් ලංකාවට ඇවිත් තිබුණේ.
 
නතාෂා ලංකාවෙන් ගියේ ආයේ කවදාවත් ලංකාවට නොඑන්නද කියලා රසිකයන් විමසනවා ?
මම කොහොමද ලංකාවට එන්නේ නැතිව ඉන්නේ. මේ මගේ රට. මගේ අම්මා. රසිකයන් ඉන්නේ මෙහේ. ඒ හින්දා මට ලංකාවට නෑවිත් ඉන්න බැහැ.
 
ඒ කියන්නේ ආයෙ කවදාවත් ලංකාව හැරදාලා යන්නේ නැහැ...
නැහැ. මට ආයෙම යන්න වෙනවා. සමහර විට මේ පුවත්පත් ලිපිය පළවෙනකොට මමයි ප්‍රිහානුයි ලංකාවේ නැති වේවි.
 
නතාෂා පසුගියදාක නීතිඥවරියක් විදියටත් දිවුරුම් දුන්නා නේද?
ඔව්. දැනටත් මම රැකියාව විදියට තෝරාගෙන තියෙන්නේ නීති ක්ෂේත්‍රය තමයි.
 
ඕස්ට්‍රේලියාවේද?
ඔව්. අපි ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර. මම එහේ නීති ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක් තමයි කරන්නේ.
 
එතකොට ප්‍රිහාන්?
ප්‍රිහාන් එයාගේ ව්‍යාපාර කටයුතු කරනවා. ඒ හින්ද නිතරම ලංකාවට එනවා.
 
නතාෂා රංගනය, ගායනය නිවේදනය වගේම නිරූපණය තුළත් රැඳී සිටියා. දැන් ඒ පිළිබඳ ලොකු ආශාවක් නැද්ද?
නිරූපණය තුළ මම කළේ Photo Shoot වලට ඉන්න එක විතරයි. මේ වතාවේ ලංකාවට ආවට පස්සෙත් මනාලියන් දැක්මක් සඳහා ඡායාරූපවලට පෙනී සිටියා. අනෙක් කලා කටයුතුවලට නම් දායක වුණේ නැහැ.
 
ආයෙමත් ලංකාවේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න කැමැත්තක් නැද්ද?
ආරාධනා නම් රැසක් ලැබුණා. ඒත් හොඳ නිර්මාණ තිබුණේ නැහැ. ඒ හින්දා තමයි දායක වුණේ නැත්තේ. ගීතයක් කරන්න නම් අදහසක් තියෙනවා.
 
ප්‍රිහාන්ගේ අලුත් නිර්මාණයන් ළඟදී අහන්නට ලැබුණෙත් නැහැ.
ප්‍රිහාන්ගේ “යායට පායනා” ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. ඒත් ඉන් පසුව ප්‍රිහාන් අලුත් නිර්මාණ මොකුත් කළේ නැහැ. අපි ඊළඟ වතාවේ ලංකාවට ආවම අපි දෙන්නාගේම අලුත් නිර්මාණයක් කරන්න බලා‍පොරොත්තු වෙනවා. 
 
ඡායාරූප - අසන්ත ගමආරච්චි 
 
ආරියවංශ කුලතිලක

බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ කාර්යාලයක සේවිකාවක සමඟ පවත්වන අනියම් ඇසුර අතටම අල්ලාගෙන එම යුවල අනුරාධපුර ‍පොලිසියට ගෙනැවිත් බාර දුන් අධිකරණ නිලධාරිනියක පිළිබඳ පුවතක් අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියෙන් වාර්තා‍ වෙයි.

එම සිදුවීම මෙසේය,

මෙම පනස්පස් හැවිරිදි බැංකු නිලධාරියා  විසිනව හැවිරිදි කාර්යාල සේවිකාව සමඟ වසර පහකට වැඩි කාලයක් තිස්සේ අනියම් සබඳතාවයක් පවත්වා  ගෙන ගොස් ඇත.  මේ බව නොයෙක් අයුරින් වරින්වර මෙම අධිකරණ නිලධාරිනියට දැන ගැනීමට ලැබී තිබේ.  ඉන් පසු ඇය ඔවුන්ට රහසින් ඒ යුවල යනෙන තැන් පිළිබඳ විමසිල්ලෙන් හිඳ තිබේ. මේ අතර මෙම යුවල පසුගිය සිකුරාදා දහවලක් 'මධුසමයක්' ගත කිරීම සඳහා අනුරාධපුරේ නිවාඩු නිකේතනයකට ගොස් ඇත. එවිට ඒ පිළිබඳව කල් තියා කරුණු දැන සිටි මෙම නිලධාරිනිය තම සොයුරන්ට දන්වා ඇත්තේ ඔවුන් ලුහු බැඳ ගොස් අතටම අල්ලා ගන්නා ලෙසය.

එවිට එම යුවළට රහසින් ඔවුන් පිටුපස ලුහුබැඳි අධිකරණ නිලධාරිනියගේ සහෝදරයන් පිරිසක් ඔවුන් දෙදෙනා එහිදී අතටම අල්ලාගෙන අනුරාධපුර මූලස්ථාන ‍පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට බාර දී තිබේ.

 එහිදී  පොලිසියට පැමිණි බිරිඳ හා සැමියා ඇතුළු සියලු පාර්ශ්වයන් අතර උණුසුම් වචන හුවමාරු සිදුවෙද්දී ‍පොලිස් නිලධාරීන් සියලුම දෙනාට කරුණු පැහැදිලිකර ගැටුම සමාදානයෙන් විසඳා  සමථයකට පත්කර ගැනීමට උපදෙස් දී ඇත.

මෙම තරුණ කාර්යාල සේවිකාව තම විවාහයට පෙර සිටම මෙම බැංකු නිලධාරියා සමඟ අයතා සබඳතාවක් පවත්වා ඇති බවද ඇගේ සැමියා විදේශ ගතවීමත් සමඟ එම සම්බන්ධය තදින්ම පැවත්වා ඇති බවද අනාවරණය විය.  මින් කෝපයට පත් අධිකරණ සේවිකාවගේ සහෝදර පාර්ශ්වයෙන් කාර්යාල සේවිකාවට තදබල තර්ජන එල්ලවීම නිසා නිවසට යාමට කැකිරාවට දක්වා ධාවනය වන බස් රථයකට ඇය ඇරලවීමට පවා ‍පොලිස් නිලධාරීන්ට සිදුව තිබේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගතහොත් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිස් නිලධාරීන් ඔවුන්ට අවවාද කොට ඇත.

මෙහි විශේෂත්වයක් වන්නේ  බැංකු නිලධාරියා හා සමඟ අනියම් සබඳතාව පවත්වන කතගේ වයසට සමාන වයසක විවාහක දරුවකුද ඔහුටද සිටිමය.  සිද්ධිය සමථයකට පත්වී නිවසට ගිය බැංකු නිලධාරියාගේ මෝටර් රථයේ ටයර් කපා අලාභ හානි කිරීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇති බවද වාර්තා වේ.

කෙසේ හෝ බොහෝ දෙනෙකුට කනින් කොනින් ආරංචි වී තිබූ මෙම ‍සබඳතාව ලැව් ගින්නක් මෙන් පැතිර යාම නිසා එම නිලධාරියාටත්, කාර්යාල සේවිකාවටත් සමාජ  අවමානයකට ලක්වීමට සිදුව ඇති බවද වාර්තා වේ.

 

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුරය

 

අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින් ඉහළට ඇදෙද්දී, එහි ගමන් කරමින් සිටි දිල්හානිට බියක් නම් දැනුණේ ම නැත. එහෙත් තත්පරෙන් තත්පරෙන් ගුවන් යානය ඉහළ අහස් කුස සිපගනිද්දී, නුහුරු තිගැස්සමක් ඈ සිතේ පෙරළි කළා ය. නමුදු කළ නොහැක්කක් නොමැති වග සිතට සපථ කර ගත් ඈ, යානාව ගුවන් ගැබේ අඩි දහසේ සීමාව සලකුණු කරද්දී, දෑස් වසාගෙන ම හෙලිකොප්ටරයෙන් බිමට පැන්නා ය. නිමේෂයකින් තමන් සතු පැරෂුටය දිගහැරගත් ඕ, කිරිල්ලියක සේ පාවෙමින් තත්ත්පර කිහිපයකින් උහන ගුවන් හමුදා පිටියෙහි තණ නිල්ල සිපගත්තේ,  ශ්‍රී ලාංකේය පැරෂුට් ඉතිහාසයේ තවත් නව පිටුවක් පෙරළමිනි. 
විශේෂ කාර්ය බළකායේ කාන්තා උප‍පොලිස් පරීක්ෂක දිල්හානි කාංචනා පෙරේරා නම් වන ඇය, වසර එකසිය පනහක් පැරණි ‍පොලිස් ඉතිහාසයේ පැරෂුටයක් මඟින් බිමට පීනු, මුල්ම සෙබළිය ලෙස ඉකුත් පළමුවැනිදා එලෙස ඉතිහාසගත වූවාය. ‍පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ඇති විශේෂ කාර්ය බළකාය ඇරඹෙන්නේ අසූව දශකයේ මුලදීය. ප්‍රභූ ආරක්ෂාව සඳහා සහ එල්.ටී.ටී.ඊ. ය මැඩලීමට මුලින්ම ඇරඹුන විශේෂ කාර්ය බළකාය අද ‍පොලිස් දෙපාර්තමේන්තුව සතු විශිෂ්ටතම ඒකකයකි. එස්.ටී.එෆ්. හි කාංචනාට පෙර පැරෂුට් මගින් බිමට පීනු කාන්තාවක් නියෝජනය කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ය.
ඒ අනුව ලාංකේය ඉතිහාසයේ කාන්තාවක් පළමු වතාවට පැරෂුටයකින් බිමට පැන්නේ ඉකුත් දෙදහස් අටේදීය. ඇය ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා තුෂාරි නයනා දිල්රුක්ෂි හේවාගමගේය. ඉකුත් දෙදහස් අටේ පෙබරවාරි අටවැනිදා, උහන ගුවන් පථයෙන් අහසට නැඟි වයි 12 ගුවන් යානාව අහස දෙබෑ කරමින් අඩි එක්දහස් පන්සියයක් උසට නැඟගත් කල්හි ඇය ඒ වාර්තාව තමන් සතු කරගත්තාය. නයනා දිල්රුක්ෂි ගුවන් හමුදාවේ එවැනි හපන්කමක් කළ ද ‍පොලිසියේ මතෛක් කල් පැරෂුට් පනින්නියක් සිටියේ නැත.
නාවික හමුදාවේ සේවයේ නියුතු සුගත් දිසානායකගේත්, ධම්මිකා කල්දේරාගේත්,  සිහිනය සැබෑ කරමින් එක්දහස් නවසිය අනූහතරේ මෙලොව එළිය දුටු දිල්හානි කාංචනා කුඩා කාලයේ සිට සිහින මැව්වේ නර්තන ගුරුවරියක් වන්නට ය. ඇය මුලින් ම අධ්‍යාපනය ලැබූයේ කඩුවෙල මුනිදාස කුමාරතුංග විද්‍යාලයෙනි. ද්විතියික අධ්‍යාපනය සඳහා හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයට එක්වන ඇය, එහි උසස් පෙළ එකල ව්‍යාපෘතිය ඉදිරිපත් කර ඇත්තේ, අපරාධ විද්‍යාව සම්බන්ධයෙනි. උසස් පෙළින් පසු, විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කරගන්නට නොහැකි වූ නිසා, විද්‍යාපීඨය සඳහා ඉල්ලුම් කළාය. නමුදු ඒ ගැන එතරම් බලා‍පොරොත්තු තබා නොගත් ඇය ‍පොලිස් සේවය සඳහා තිබූ පුරප්පාඩුවකට ඉල්ලුම් කළේ, විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා කාලයක් ගත වන බැවිනි. නිලඇඳුමට ආසාවෙන් ඇය විශේෂ කාර්ය බලකා නිලධාරිනියක් වන්නේ ඒ අනුවය. ඒ දෙදහස් පහළොව වසරේ ජූනි දහඅටවැනිදා, විශේෂ කාර්ය බළකායේ 73 මූලික පුහුණු පාඨමාලාවට සම්බන්ධ වෙමිනි. මේ වන විට විද්‍යාපීඨයෙන් ද කැඳවීම් ලැබුණත්, ගුරු සිහිනය අතහැරි ඕ නිලඇඳුමට හා ගිනි අවියට පෙම් බැන්දාය. මූලික පුහුණු පාඨමාලව සාර්ථකව අවසන් කළ ඇය අම්පාර විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත වන්නේ ඉකුත් දෙදහස් දහසයේ දී ය.
දෙසිය දෙනෙකුගෙන් පමණ සමන්විත වන විශේෂ කාර්ය බළකා කාන්තා බලඇණියට ඉකුත් අප්‍රේල් මාසය ඉතා සුවිශේෂී විය. ඒ, ඔවුන්ට ද ගුවන් පැරෂුට් පාඨමාලාව සඳහා අයැදුම් කරන්නට අවස්ථාවක් හිමි වීම නිසාය. ඒ අදහස විශේෂ කාර්ය බළකායේ අධ්‍යක්ෂ, පුහුණු, ‍පොලිස් අධිකාරි එස්. ඩබ්ලිව්. ඒ. බි. දවුලුගල  ඇතුළු නිලධාරීන්ගේ ය. විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගෙන් මේ සඳහා ලැබුණේ නොමඳ සහයකි.
“අද වෙද්දී ඕනම ක්‍ෂේත්‍රයක සංවර්ධන කාර්යයකදී කාන්තා දායකත්වය සියයට හතළිහක පමණ ප්‍රතිශතයක් ගැන සළකා බැලෙනවා. ඒ නිසා අපේ කාන්තා බළකායත් සියලු කාර්යයන්ට සුදුසු කණ්ඩායමක් බවට පත් කළ යුතු යැයි අපි කල්පනා කළා.” ‍පොලිස් අධිකාරී දවුලුගල පවසන්නේ ය.
ඒ අනුව මූලිකව සෙබළියන් අටදෙනෙක් අම්පාර උහන ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාස‍ලේ මාස එකහමාරක පුහුණුවක් සඳහා තෝරා ගැණිනි. ඉන් සිව් දෙනෙක් මූලික වටයේ සුදුසුකම් සම්පූර්ණ කර තිබූ  අතර, පැරෂුටයක් මඟින් බිමට පනින්නට ඉන් දෙදෙනෙකුට අවස්ථාව හිමිවිය. උප‍පොලිස් පරීක්ෂකදිල්හානි කාංචනා ගුවන් පැරෂුට් ඉතිහාසයට එක් වන්නේ ඒ අනුවය. ඇයගේ පිම්මට පසු, ඒ අභියෝගය ජයගත්තේ විශේෂ කාර්ය බළකායේ කාන්තා ‍පොලිස් කොස්තාපල් නිර්මලා සේනානායකය. විශේෂ කාර්ය බළකායේ හැටහත් වෙනි මූලික පාඨමාලාව හදාරමින් ඈ විශේෂ කාර්ය බළකායට එක්වන්නේ ඇතුගල්පුරයෙනි. ඒ, ඉකුත් දෙදහස් දහයේදී ය.
‍පොලිස් සේවයේ ම අවුරුදු දහඅටක සේවා ඉතිහාසයක් ඇති බි. එම්. සේනානායක ඇයගේ පියාය. ඩී. එම්. කුසුමලතා ඇයගේ ආදරණීය මෑණියන් ය. කුරුණෑගල ගෝනිගොඩ මහා විද්‍යාලයෙන් අකුරු කෙරූ ඇය ද උසස් පෙළ අවසන් වීමත් සමඟ විශේෂ කාර්ය බළකා සේවයට එක්වන්නේ එහි නිලඇඳුමට පෙම්බඳිමිනි. “ඔයාට පුළුවන් කියලා හිතෙනවා නම් ඔයා මේ අභියෝගය භාරගන්න” ඈ පැරෂුට් පිම්මකට සූදානම් වන බව දැනගත් ඇගේ පියා ඈට පැවසූයේ එලෙසිනි. ඒ ආශිර්වාදය ශක්තියක් කරගත්තී, ඉකුත් පළමුවැනිදා,  එම්. අයි.17 වර්ගයේ ගුවන් යානයෙන් පැරෂුටයක ආධාරයෙන් බිමට පැන්නාය. ඇය පැරෂුට් මඟින් බිමට පීනූ, මුල්ම විශේෂ කාර්ය බළකායේ දෙවැනියාය. 
පැරෂුට් පාඨමාලාවකට එක්වන පිරිසකට මුලින් ලැබෙන්නේ ගොඩබිම් පුහුණුවයි. පැරෂුටයකින් ‍පොළවට ළඟාවන මොහොතේ දී ක්‍රියාකළ යුතු පිළිවෙත් ගැන එහිදී අවබෝධය දෙයි. ගොඩබිම් පුහුණුව සඳහා මේ පුහුණුවේදී වැඩි අවධානයක් යොමු කෙරෙන බව දිල්හානි පවසන්නී ය.
“සති දෙකහමාරක් පමණ අපි ගොඩබිම් පුහුණුව ලැබුවා. එහිදී, අඩි හතරක් උස බිත්තියකින් බිමට පනින ගමන්, ‍පොළව ආසන්නයේදී අපේ පාද හා ශරීරය හසුරුවාගත යුතු ආකාරය ගැන පුහුණුවක් දෙනවා.”
ඉන්පසුව ලැබෙන්නේ, පැරෂුටයකින් බිමට පනින විටක උද්ගත විය හැකි හදිසි තත්ත්වයන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳ පුහුණුවකි. සුළඟ වේගයෙන් හමන අවස්ථාවකදී පැරෂුටය හසුරුවා ගත යුත්තේ කෙසේද, විදුලි රැහැනකට හෝ ගසකට පැරෂුටය වැටුණහොත් කළ යුත්තේ කුමක් ද, ආදී දේ ගැන එහිදී කරුණු කියාදෙයි. මේ පුහුණුව සාර්ථකව නිම කළ සෙබළියෝ ඉන් අනතුරුව පුහුණු කඳවුරේ ස්ථාපිත කර ඇති අඩි තිස්හතරක් උස කුළුණකින් බිමට පැන්නාහ. “ඒ පුහුණුව දෙන්නෙ උසකින් බිමට පනින්න ඇති බය නැති කරගන්න” දිල්හානි පවසන්නීය.
මේ පුහුණුවෙන් අනතුරුව ඉකුත් නොවැම්බර් පළමුවැනිදා අඩි දහසක් ඉහළ අහසේ සිට පැරෂුටයකින් මහ‍පොළවට පීනූ, විශේෂ කාර්ය බළකා සෙබළියෝ ඉන්පසු තවත් පිමි හතරක් පැන්නෝය. මේ පිමි පහෙන් එක් පිම්මක් පැන්නේ රාත්‍රී කාලයේදී ය. ‘අහසේ පාවෙද්දී මොනවාද හිතුණේ’ දිල්හානිගෙන් අපි විමසුවෙමු.
“මං අහස දිනුවා කියලා හිතුණා. මීට කලින් අපේ බලඇණියෙ කවුරුත් නොකරපු දෙයක් මං කළා නේද කියල හිත හිතා තමයි පහළට ආවෙ.”
“මුලදී නම් බය හිතුණා. ඒත් අනිත් අයත් කරනවා නම් ඇයි මට බැරි කියලා හිතාගෙන මම බිමට පැන්නෙ. ‍පොළවට ආවට පස්සෙ දැනුණෙ ලොකු ජයග්‍රහණයක් කළා නේද කියලා හිතුණා.” නිර්මලා පවසන්නීය.
එලෙස ඓතිහාසික වූ මේ සෙබළියන් දෙදෙනාගේ ඊළඟ බලා‍පොරොත්තුව, අඩි 13900 ඉහළ අහසේ සිට නිදහස් පිම්ම පනින්නට ය. එහි විශේෂත්වය වන්නේ, අඩි 10900 දක්වාම පහළට එන්නේ, පැරෂුටය දිග නොහැර නිදහසේ ගුවනේ පාවෙමින් වීමය. දිල්හානි පවසන්නේ, ඒ සඳහා ලබන ජනවාරියේදී පමණ ආරම්භ වීමට නියමිත ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාඨමාලාවට සම්බන්ධ වීමට ඔවුන් දෙදෙනාට අවස්ථාව හිමිවී ඇති බවය.
“අපේ ඊළඟ අරමුණ තමයි මේ සෙබළියන් දෙදෙනා පැරෂුට් පිමි සංදර්ශන කණ්ඩායම සඳහා පුහුණු කරවීම. අදාළ පුහුණුවීම්වලින් පසුව ලබන 2018 නිදහස් උළෙ‍ලේ සංදර්ශන කණ්ඩායමට මොවුන් දෙදෙනාත් ඇතළත් කරවීමට අපි බලා‍පොරොත්තු වෙනවා.” ‍පොලිස් අධිකාරී දවුලුගල පවසන්නේ ය.
ඔහු එසේ පැවසුවාට තවත් වරක් තම දියණිය ඉහළ අහසින් බිමට පනිනවාට දිල්හානිගේ අම්මා නම් ටිකක්වත් කැමති නැත. ඇය ‍පොලිස් සේවයට එක්වනවාට දෙමාපියන්ගේ අකමැත්තක් නොතිබුණ ද විශේෂ කාර්ය බළකායට එක්වීම ගැන නම් මුල සිටම ඔවුහු විරෝධය පෑහ. අවසානයේ දියණියගේ කැමැත්තට ඉඩ දුන්න ද පැරෂුට් පිම්මකට එක්වීම ගැන නම් අම්මා කොහෙත්ම කැමති වූයේ නැත. තාත්තා මෙන් ම තම ආදරවන්තයාද ඊට එතරම් කැමැත්තක් දක්වා නැත. ඒ සියල්ල අතරේ දිල්හානි ඒ සඳහා ඉල්ලුම් කළේ, අම්මාගේ බැණුම් වරුසාවක් මැදිනි.
“මගේ කැමැත්තට ඉඩදීලා නිහඬ වුණාට, මම පැරෂුට් පිමි පහ පැන්න දවස් පහේම අපේ අම්මාට නින්ද ගිහින් තිබුණෙ නැහැ. ඇය පන්සල් ගිහින් බෝධි පූජා පවත්වමින් ඉඳලා. දැන්නම් සතුටුයි. ඒත් ආයෙම ඒ වගේ දෙයක් කරනවාට ඇය කැමතිම නැහැ. මටත් බය නොහිතුණාම නමෛයි. ඒත් අපි දෙන්නම කැමතියි ආයෙම ඊළඟ අභියෝගයත් ජයගන්න.” දිල්හානි පවසන්නීය.
 
ගයාත්‍රි ගීගනආරච්චි 

මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව ජනමාධ්‍ය වලින් වාර්තා විය. මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් පළ කළ අනාවැකියක සඳහන් වූයේ හිමිදිරියේ මිහිදුම පැවැති මුත් සන්ධ්‍යා කාලයේ වැසි ඇතිවිය හැකි බවය.

එහෙත් කාලගුණ විද්‍යාව පිළිබඳ දැනීමක් ඇති ඕනෑම අයෙකුට වර්ෂාව සහ මිහිදුම අතර සෘජු සම්බන්ධයක් නොමැති බව වැටහී යනු ඇත. මේ ඒ සම්බන්ධයෙන් හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂකවරයෙකු වූ කාලගුණ විද්‍යාඥ කේ.ආර්.අබේසිංහ ගෙන් අප කළ කරුණු විමසීමකි.

  • 'උදේ මීදුම තිබුණත් සවසට වහිනවා' යනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව අවිද්‍යාත්මක අනාවැකියක් පළ කොට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක්ද?

අපේ රටේ පොදු විශ්වාසයක් තිබෙනවා; මිහිදුම ගලන්නේ පායන්න කියා; ඒ අනුව සමහරුන් ඉදිරි දිනවල පායන බවට විශ්වාසයක් ඇති කර ගත හැකියි. මා හිතන විදිහට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉහත සඳහන් අන්දමේ අනාවැකියක් පළකරන්න ඇත්තේ ඒ නිසා විය යුතුයි. එහෙම නැතුව මිහිදුම සහ වර්ෂාව අතර සෘජු සම්බන්ධතාවයක් නැහැ තමයි.

  • සාමාන්‍යයෙන් මීදුම යැයි කියන්නේ කුමකට ද?

මීදුම කියා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ පහළ වායු ගෝලයේ වළාකුළු සේ රැඳී පවතින ඉතා සියුම් ජල අංශු වලටයි.

  • එසේ පහළ වායු ගෝලයේ ජල අංශු රැඳී තිබෙන්නේ ඇයි?

මේ සඳහා මූලික වශයෙන් සාධක තුනක් බලපානවා. ඉන් පළමුවෙනි සාධකය තමයි; පහළ වායු ගෝලයේ අධික ලෙස ජලවාෂ්ප රැඳී තිබීම. සාමාන්‍යයෙන් කිවහොත්  මිහිදුම ගැලීම සඳහා පරිසරයේ සාපේක්ෂ ආර්ද්‍රතාව(Humidity Relative) 90% ක් වත් තිබිය යුතුයි.

දෙවනි කරුණ වන්නේ පරිසරයේ උෂ්ණත්වය පහළ බැසීම; රාත්‍රී කාලයට අහසේ වලාකුළු අඩුවීම නිසා පහළ වායුගෝලීය තාපය ඉවත් වීම ස්වභාවිකවම සිදුවන්නක්.

තුන්වන හේතුව තමයි සුළගේ වේගය අවම වීම; ඉහත සඳහන් තත්ත්වයන් දෙකම හරිහැටි තිබුණත් සුළගේ වේගය මත මීදුම් තත්ත්වය පහව යාම ඒකාන්තයෙන්ම සිදුවෙනවා. සාමාන්‍යයෙන් පෘථිවියේ අවම උෂ්ණත්වය වාර්තා වන්නේ අලුයම 03.30 – 05.30 ත් අතර වීම නිසා බොහෝ ප්‍රදේශවල මිහිදුම පැතිර යන්නේ මේ කාල සීමාව තුළයි. නමුත් හිරු පායා එත්ම පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා මේ මීදුම වශයෙන් පවතින ජල අංශු වාෂ්ප වී යනවා.

  • සාමාන්‍යයෙන් අපේ රටේ වැඩිපුරම මිහිදුම දකින්නට ලැබෙන්නේ ජනවාරි, පෙබරවාරි යන මාස තුළයි; ඊට හේතුව කුමක්ද?

ඒ කාලයේ අහස වලාකුළින් තොර වීම නිසා මිහිමත ඇති තාපය ශීඝ්‍රයෙන් ඉවත් වී පරිසරය සිසිල් බවට පත්නෙවා. ජනවාරි, පෙබරවාරි වන විට පරිසරයේ රැඳී ඇති ජල වාෂ්ප සහ සුළ‍ගේවේගයේ මඳ බව නිසා ලංකාවේ බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේ මිහිදුම පැතිර ඇති බව දකින්නට ලැබෙන්නේ ඒ නිසයි. එමෙන්ම මෙම මිහිදුම වෙල්එළි ආදී තෙත්බිම් ආශ්‍රිතව ඝණව පැතිර ති‍බෙනු අපට දක්නට ලැබෙන්නේත් ඒ නිසයි. නමුත් කඳුකර දේශගුණික තත්ත්වයන් යටතේ මීදුම් ගැලීමේ වෙලාවන් සහ ස්වභාවයන් වල වෙනස්කමක් ඇති විය හැකියි.

  • නමුත් මිහිදුම ගලන්නේ පායන්න කියා ඇති ජන විශ්වාසයේ පදනමක් ඇත්තේම නැද්ද?

අහස වළාකුලෙන් තොර වීම මත වර්ෂාව නොලැබෙන බව මූලිකව අනුමාන කරන්න පුළුවන්නේ. ඒ ඔස්සේ ආකාශයේ නිල් ස්වභාවය පරීක්ෂා කිරීම වගේම අලුයම් කාලයේ දක්නට ලැබෙන මීදුම අනුවද එසේ අනුමාන කළ හැකියි. නමුත් කාලගුණය යනු නිරන්තරයෙන් වෙනස් වන තත්ත්වයක් නිසා එවැන්නක් නිශ්චය කොට කීම විද්‍යාත්මක නැහැ.

 

දමයන්ති ගමගේ

 

 

වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට පාලනය සියතට ගැනීමත් සමග ආරම්භ වූ ක්‍රියාදාමය මේ වනවිට ලෝක දේශපාලන කරලියේ වඩාත්ම අවධානයට පාත්‍ර වූ කාරණාවක් බවට පත්ව තිබේ. 1980 වසරේ පළමු වරට සිම්බාබ්වේ හි නායකත්වයට පත් වූ මුගාබේ මේ වනවිට 93 වෙනි වියේ පසුවන අතර ලොව වයස්ගතම රාජ්‍ය නායකයා ලෙස සැලකෙන්නේ ද ඔහුය.
පසුගිය 15 වෙනි දින ඇරඹුණු හමුදා මෙහෙයුමෙන්, ඒකාධිපති සහ හිතුවක්කාර පාලකයෙකු ලෙස සැලකුණු මුගාබේ සහ ඔහුගේ පවු‍ලේ උදවිය ඇතුළු කිහිප දෙනෙකු නිවාස අඩස්සියට ගැනීමත් සමග දැන් කවුරුත් සිතන්නේ ඔහුගේ යුගය අවසානය කරා එළැඹෙමින් ඇති බවයි. ගෞරවනීය ලෙස ජනාධිපති ධුරයෙන් ඉවත්ව ඔහුගේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ එමර්සන් ම්නැන්ගාවා වෙත බලය පවරණ ලෙස හමුදාව වෙතින් මුගාබේට ඉල්ලීම් ඉදිරිපත්ව තිබුණත් ඔහු මතෛක් ඊට අවනත වී නැත. දිගින් දිගටම බලයේ එල්ලී සිටීම ඔහුගේ අභිප්‍රාය බැව් පෙනිණි. නමුත් මේ වනවිට තත්ත්වය වඩාත් බැරෑරුම් බවක් ගනිමින් ඇති අතර ඔහුට එරෙහිව ගොඩනැගෙන පීඩනය දැඩි වෙමින් තිබේ. මෙම තත්ත්වය තුළ  තව දුරටත් මුගාබේට ඔහුගේ බල අරමුණු ඉටු කරගන්නට හැකිවන පාටක් පෙනෙන්නට නැත. පසුගිය ඉරිදා (19) දින සිම්බාබ්වේ හි අගනුවර වන හරාරේ හිදී රැස් වූ, මුගාබේගේ පක්ෂය වන සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමය-දේශප්‍රේමී පෙරමුණ  නැමැති පක්ෂයෙහි නිලධාරීන් විසින් ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා ඡන්දය පාවිච්චි කරණු ලැබිණි. ඒ අතර පසුගිය දිනවල මහත් ආන්දෝලනයට පත් චරිතයක් වන ඔහුගේ බිරිඳ ග්‍රේස් ඇතුළු පිරිසක් සම්පූර්ණයෙන්ම පක්ෂයෙන් නෙරපීමටද පියවර ගෙන තිබේ. මෙම සිදුවීම් දාමය තුළ  අවධානයට ලක් වූ තවත් ප්‍රධාන චරිතයක් වන, හිටපු උප ජනාධිපති ම්නැන්ගාවා පක්ෂ නායකත්වයට පත් කිරීමටද තීරණය කර ඇත.
මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට වාර්තා වූ තවත් කාරණාවක් වූයේ  සිම්බාබ්වේ වේලාවෙන් සඳුදා (20)  පෙරවරු 10 වනවිට ජනාධිපති ධුරයෙන් ද ඉල්ලා අස්විය යුතු බවට මුගාබේට දැනුම් දී ඇති බවයි. එම කාලය තුළ ඔහු ඉවත් නොවුණහොත් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනැවිත් ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවද ප්‍රකාශයට පත්ව තිබිණි.  මේ අතර දහස් ගණන් ජනතාව වීදි බැස මුගාබේ ට විරෝධය පලකරමින්, ඔහු ඉවත් විය යුතු බව ප්‍රකාශ කරමින් උද්ඝෝෂණය කරණුද දැකිය හැකි විය.
රොබට් මුගාබේ කේන්ද්‍ර කරගනිමින් මෙම නාටකය දිග හැරෙන්නට පටන් ගත්තේ ප්‍රධාන වශයෙන්ම ඔහු මෙයට ටික දිනකට පෙර  උප ජනාධිපති ලෙස සිටි ම්නැන්ගාවා හදිසියේම ධුරයෙන් ඉවත් කිරීමත් සමගය. මුගාබේ මෙවැනි පියවරක් ගත්තේ ඔහුගේ බිරිඳ ග්‍රේස් උප ජනාධිපති ධුරයට පත් කර ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඇය ඉදිරිපත් කිරීමත්, ඒ මගින් ඇය ජනාධිපතිකමට පත් කිරීමත් අරමුණු කරගෙන බවට අදහස් පළවිය. නමුත් මුගාබේගේ පාලනය යටතේ සිම්බාබ්වේ ආර්ථිකය පත්ව ඇති බිහිසුණු, අර්බුදකාරී තත්ත්වයත්, ඔහුගේ පවු‍ලේ උදවිය සහ සමීපතමයන් වෙත එල්ල වෙමින් ඇති දූෂණ, වංචා පිළිබඳ චෝදනාත් හේතුවෙන් මේ සියලුදෙනා වෙත සමාජය තුළ විශාල අප්‍රසාදයක් සහ විරෝධයක් පවතියි. මෙම තත්ත්වය තුළ මීළඟ ජනාධිපතිවරණයෙන් පසු ග්‍රේස් බලයට පත් වුවහොත් රට තවදුරටත් අගාධයට යමින් එරට ජනතාව දැවැන්ත ඛිෙදවාචකයක ගොදුරු බවට පත්වනු ඇතැයි යන බිය බොහෝ පාර්ශ්ව තුළ පැවතිණි. මේ අතර සිම්බාබ්වේ හි විශාල වශයෙන් ආයෝජනය කර ඇති චීනය ද රටේ ඔඩුදුවමින් ඇති අර්බුදය ගැන සැලකිල්ලෙන් සිටි බවටද තොරතුරු පළවෙන්නට විය. පසුගියදා සිදු වූ හමුදා කුමන්ත්‍රණයට චීනයේ සහය හිමි වන්නට ඇතැයි යන සැකයක්  පවා කරලියට ආවේ මෙම හේතුව නිසාය. මෙයට සති කිහිපයකට පෙර සිම්බාබ්වේ හමුදා ප්‍රධානී  කොන්ස්තන්තිනෝ ෂිවෙන්ගා චීනයේ චාරිකාවක නිරත වෙමින් එරට ආරක්ෂක ඇමැති ඇතුළු පිරිසක් සමග සාකච්ඡා පැවැත්වීමද බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ කාරණයක් විය. මුගාබේට එරෙහි හමුදා මෙහෙයුමට චීනයේ ආශිර්වාදය හිමිවන්නට ඇතැයි යන මතය පැතිරෙන්නට මෙයද ප්‍රබල හේතුවක් වූයේය.
ඉහත සඳහන් කළ පරිදි පසුගිය ඉරිදා මුගාබේ පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට කටයුතු කළ එහි ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 2018 ජනාධිපති අපේක්ෂකයා ලෙස ම්නැන්ගාවා නම් කිරීමටද පියවර ගෙන තිබේ.
මේ අතර එදිනම සවස පැතිරුණු ආරංචියකින් කියැවුණේ මුගාබේ රූපවාහිනිය හරහා කිසියම් ප්‍රකාශයක් කිරීමට සැරසෙන බවයි. බොහෝ දෙනා අපේක්ෂා කළේ ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වෙනවා විය යුතුය කියාය. නමුත්  සිදු වූයේ වෙනකකි. හමුදා ප්‍රධානීන්, පක්ෂ ප්‍රධානීන් හෝ ජනතාව ඉල්ලා සිටි ආකාරයට ක්ෂණිකව ඉල්ලා අස්වීමට ඔහු තුළ සූදානමක් ඇති බවක් පෙනුණේ නැත. ඒ වෙනුවට ඔහු ප්‍රකාශ කළේ ලබන මස පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයේද සභාපතිත්වය දැරීමට තමුන් කටයුතු කරන බවය. ඔහුට ජනාධිපති ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් මෙතරම් ඉල්ලීම් ඉදිරිපත් වෙද්දීත් මුගාබේ දිගින් දිගටම මේ ආකාරයෙන් කටයුතු කිරීම බොහෝ දෙනා විමතියට පත් කළ කාරණයක් විය. හමුදාවෙහි පාලනය යටතේ පවා ඔහුට මෙවැනි ප්‍රකාශයක් කිරීම සඳහා  අවස්ථාව ලැබුණේ කෙසේද යන්නද ප්‍රහේළිකාවකි. සමහර විට ඔහු තමා ඉල්ලා අස්වන බවට ‍පොරොන්දු වී පසුව එම අදහස වෙනස් කර වෙනත් ප්‍රකාශයක් කරන්නට ඇති බවටද අදහස් පළවී තිබිණි. කෙසේ වෙතත්, මුගාබේ පක්ෂ නායකත්වයෙන් ඉවත් කර ඇති තත්ත්වයක් තුළ ඔහු පක්ෂ සම්මේලනයේ සභාපතිත්වය දරන්නේ කෙසේද යන්න ගැටලුවකි.
මුගාබේට එරෙහිව උද්ඝෝෂණ කරමින් සිටින විරුද්ධ පාර්ශ්ව පවසන්නේ මුගාබේ ගේ රූපවාහිනි කතාව සහ යථාර්ථය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. සිම්බාබ්වේ පාර්ලිමේන්තුව අද (21) දින රැස්වීමට නියමිතව ඇති අතර එහිදී ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගය ඉදිරිපත් කෙරෙණු ඇතැයි  මුගාබේගේ විරුද්ධවාදීන් සඳහන් කර තිබේ. එමෙන්ම ඔහුට එරෙහිව දහස් ගණනින් ජනතාව වීදි බැස්සවීමට පියවර ගන්නා බවද මෙම විරුද්ධ පාර්ශ්ව අවධාරණය කර ඇත. මේ අතර මුගාබේ විසින් ධුරයෙන් ඉවත් කරනු ලැබිමෙන් පසු රටින් පළා ගොස් සිටි බව පැවැසුණු හිටපු උප ජනාධිපති ම්නැන්ගාවා ද දැන් පෙරළා සිම්බාබ්වේ වෙත පැමිණ සිටින බවටද තොරතුරු පළවී තිබිණි.
මොහොතින් මොහොත වෙනස් වෙමින් ඇති සිම්බාබ්වේ දේශපාලන වාතාවරණය තුළ මෙම සටහන ලියන අවස්ථාව වනවිට පැවැති තත්ත්වය එය වූ අතර මේ වනවිට එරට දක්නට ඇත්තේ ඉතා නාටකීය සිදුවීම් බහුල ව්‍යාකූල තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. අද (21) පාර්ලිමේන්තුව රැස් වීමෙන් පසු දෝෂාභියෝගය ඉදිරිපත් වුවහොත් එයින් අනතුරුව කුමන තත්ත්වයක් උදාවනු ඇත්ද යන්න පිළිබඳව ලෝකයම බලා සිටින්නේ දැඩි උනන්දුවෙන් සහ කුතුහලයෙන් යුතුවය.

නිහාල් පීරිස්
 

Page 1 of 47

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1843

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2174

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4976

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2970

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1728

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2603

Please publish modules in offcanvas position.

Web Analytics