lakbima.lk
2017-04-21 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.5100 , විකුණුම් මිල රු.154.3100 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.9300 , විකුණුම් මිල රු.198.4400 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.3000, විකුණුම් මිල රු.166.4200 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.149.6900 , විකුණුම් මිල රු.155.6300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.9600 , විකුණුම් මිල රු.115.3500 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.112.2600 , විකුණුම් මිල රු.117.3100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.2200 , විකුණුම් මිල රු.111.1400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3712, විකුණුම් මිල රු.1.4229 |

රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි විසිතුන් වියැති සුක්‍රකට මෝස්තර නිරූපිකා ක්‍රිස්ටිනා මාටලී රූපලාවන්‍ය සැත්කමක් අතරවාරයේදීම මිය ගිය පුවත ලොව පුරා පැතිර ගියා. විසි තුන් වියැති තරුණියක් රූපලාවන්‍ය සැත්කම් සියයකට මුහුණ දීම බැලූ බැල්මටම අසාමාන්‍ය තත්ත්වයක්. එනිසා ඒ සම්බන්ධයෙන් ලක්බිම ඔන් ලයින් වි‍ශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ මහතා වෙතින් ඒ පිළිබඳව කරුණු විමසා සිටියා.

විසි තුන් වියැති තරුණියක් ප්ලාස්ටික් සැත්කම් සියයකට පෙනී සිටීම බැලූ බැල්මටම අතිශය අසාමාන්‍ය තත්ත්වයක්.

ඔව්; තරුණියගේ වයස සහ පෙනී සිටි රූපලාවන්‍ය සැත්කම් ගණන සලකා බලන කොට මේක රූපලාවන්‍ය, සැත්කම් ඇබ්බැහියාවක් (Cosmetic surgeryaddition) වශයෙන් අනුමාන කරන්න පුලුවන්.

යමකු තුළ මේ වගේ ඇබ්බැහියාවක් ඇති වන්නේ ඇයි?

මේකට බොහෝ දුරට තමන්ගේ බාහිර පෙනුම, හැඩය පිළිබඳව ඇති කර ගන්නා නොසෑහීම හේතු‍වන්න පුලුවන්!

ශිරුරේ බාහිර පෙනුම, හැඩය ගැන සෑහීමකට පත් නොවීම අපි ඕනෑම කෙනකු තුළ තිබිය හැකි තත්ත්වයක් නේද?

නමුත් මා කියන්නේ ඒ සාමාන්‍ය තත්ත්වය ගැන නෙවෙයි, තමන් ගේ බාහිර පෙනුමේ, හැඩයේ ඉන්ද්‍රියන් ගේ ප්‍රමාණයන් ගේ හෝ පිහිටීම් වල අඩුවක් ඇතැයි සිත තුළ නිරතුරුවම බලපැවැත්වෙන අසාමාන්‍ය නොසැහීම ගැනයි. මේක Body dysmorphic disorder (BDD) කියා හැඳින්වෙන රෝග තත්ත්වයක්!

මේ රෝගයේ සාමාන්‍ය ලක්ෂණ පැහැදිලි කළොත්?

උදාහරණයක් හැටියට තමන්ගේ නාසය මුහුණේ ප්‍රමාණයට සාපේක්ෂව විශාල හෝ කුඩාය යන වැරදි සිතුවිල්ලක් යමකු තුළ ඇතිවන්න පුලුවන්! ඒ වගේම නාසයේ ඇදයක් ඇතැයි යන වැරදි සිතුවිල්ලකුත් ඇතිවන්න පුලුවන්. නමුත් මේවා තමන්ට මිසක් බාහිර ලෝකයට එතරම් පෙනෙන සහ හැ‍ඟෙන දේවල් නොවෙයි; ඒ වගේම සමහර පිරිමින් තුළ තමන් ගේ ලිංගේන්ද්‍රියේ ප්‍රමාණය සහ කාන්තාවන් තුළ නම් තමන්ගේ පියයුරුවල ප්‍රමාණය ආදිය මුල්කර ගෙන වුණත් මේ නොසෑහීම ඇති වන්න පුලුවන්. ඒ සමඟම තමන් ගේ බාහිර පෙනුම සම්බන්ධ කරුණු කිහිපයක් මුල්කරගෙන වුණත් මේ තත්ත්වය ඇතිවන්න පුලුවන්! ඒ තත්ත්වය හැඳින්වෙන්නේ බහුරූපී ආබාධය (Polymorphic Affection) යනුවෙන්.

 යමෙකු මේ වගේ රෝග තත්ත්වයකින් පසුවන බව අන්‍යයන්ට වටහා ගන්න පුළුවන්ද?

ඔව්, ඒ තැනැත්තා කියන කරන දේවල් මගින් මූලික වශයෙන් ඒ පවුලේ සාමාජිකයන්ට ඒ බව වටහා ගත හැකියි. ඒ තැනැත්තා ඒ කරුණු මුල් කොට එදිනෙදා ජීවිතයේ දී දැඩි මානසික ආතතියකින් සහ කාංසාවකින් පසුවෙනවා. උදාහරණයක් විදිහට තමන් ගේ නාසය, ඇස් හෝ තොල් ප්‍රමාණයට වඩා විශාලය යන වැරදි විශ්වාසයෙන් යුතු අයකු සමාජය හමුවේ පෙනී නොසිට නිවස තුළම හැංඟිලා ඉන්නත් ඒ තත්ත්වය තුළ පුළුවන්! ඔවුන්ගේ පෞරුෂය, පවුල්, ප්‍රජා සහ සමාජ සබඳතා බිඳවැටී අධ්‍යාපනයට රැකියාවට වුවත් බාධා ඇති වන්න පුළුවන්!

යමකු තුළ මේ වගේ රෝග තත්ත්වයක් ඇතිවීමට හේතුව කුමක්ද?

නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නැහැ. යමකුගේ නව යෞවන වියේ ශාරීරික වෙනස් කම් ඇති වීමත් සමඟ ඕනෑම තරුණයකු, තරුණියක තුළ ඒ සම්බන්ධයෙන් හට ගන්නා ස්වභාවික උනන්දුව තුළින් මේ රෝග තත්ත්වයට මං පෑදෙන බව අධ්‍යයන මගින් හෙළිවී තිබෙනවා. සාමාන්‍යයෙන් ජීවිතයේ නව යෞවනයේ දී ශරීර වර්ධනය වන්නේ නිශ්චිත ක්‍රමික රටාවකට නොවෙයි; එකම වයසේ යුවතියන් තිදෙනෙකු ගත හොත් ඔවුන් ගේ ලැම, උකුළ එකම වේගයකින් වැඩෙන්නේ නැහැ. මේ නිසා සමහරුන් තුළ ඒ සම්බන්ධ ස්වභාවික කුකුසක් ඇතිවන්න පුලුවන්.

 පිරිමි ළමුන් ගේ ලිංගේන්ද්‍රියන් සම්බන්ධ තත්ත්වයත් එයමයි; ඒ නිසා සමහර පිරිමි ළමුන් එම ඉන්ද්‍රියන් තමන් ගේ මිතුරන් ගේ ඉන්ද්‍රියන් සමඟ සංසන්දනය කරන අවස්ථාත් තියනවා; මේක සාමාන්‍ය තත්ත්වයක් වුණත් මේ කුකුස නොසෑහීම දිගටම තිබීම ඉහත සඳහන් රෝග තත්ත්වයට මංපෑදීමක්!

ශරීරයේ පවත්නා යම් යම් අසාමාන්‍යතා ප්ලාස්ටික් සහ රූපලාවන්‍ය සැත්කම් මගින් ප්‍රකෘතිමත් කර ගත හැකි බව ලොවම පිළිගත් සත්‍යයක්. එතකොට මේ රෝගය සහ රූපලාවන්‍ය සැත්කම් අතර පවතින සම්බන්ධය මොකක්ද?

තමන්ගේ ශරීරයේ ඇති කුමන හෝ අඩුපාඩුවක් ප්ලාස්ටික්, රූපලාවන්‍ය සැත්කම් මගින් ප්‍රකෘතිමත් කර ගැනීමට හැකිවීම නූතන විද්‍යා තාක්ෂණයෙන් අපට හිමිවූ වි‍ශිෂ්ට දායාදයක්. නමුත් ඔය කියන රෝග තත්ත්වයෙන් පෙළෙන තැනැත්තා එසේ එක් සැත්කමකින් දෙකකින් සෑහීමකට පත් වන්නේ නැහැ. උදාහරණයක් හැටියට ඒවගේ සැත්කමකින් තමන් ගේ නාසයේ හැඩය වෙනස් කර ගත් පසුව වුණත් ඒ තැනැත්තාට නාසයේ වෙනත් කුමක් හෝ  අඩුවක් පේන්න පුලුවන්. එහෙම නැත්නම් ශරීරයේ වෙනත් ඉන්ද්‍රියක හෝ අඩුවක් පේන්න පටන් ගන්නවා. එතකොට තවත් රූපලාවන්‍ය සැත්කමකින් ඒ ඉන්ද්‍රිය වෙනස් කර ගන්නා තුරු ඒ තැනැත්තා පසුවන්නේ තදබල මානසික පීඩනයක; ඒ තත්ත්වය යටතේ නැවත නැවතත් රූපලාවන්‍ය සැත්කම්වලට පෙනී සිටීම තමයි රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවේ ලක්ෂණ.

ඔබ කියන ඔය රෝග තත්ත්වය අප රට තුළිනුත් දකින් පුළුන්ද?

ඔව්; මේ රෝගයට බඳුන් වූ සැලකිය යුතු පිරිසක් අප රටේත් සිටිනවා; ඔවුන් ගෙන් බහුතරය තරුණ තරුණියන්; මේ රෝගය නිසා අධ්‍යාපනය පවා කඩාකප්පල් කර ගත් තරුණ තරුණියන් සායන වලදී අපට හමුවී තිබෙනවා.

නමුත් ඔවුන් තුළ අර වගේ රූපලාවන්‍ය සැත්කම් උන්මාදයක් නැහැනේ.

ඒකට හේතුව අප රටේ ප්‍රමාණවත් විදිහට රූපලාවන්‍ය සැත්කම් පහසුව නොමැති වීම සහ ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවීම මිසක් ඔවුන් තුළ එම රෝගය නොමැතිවීම නෙවෙයි.

මේ රෝගයට නිශ්චිත මනෝ වෛද්‍ය ප්‍රතිකාර තිබෙනවාද?

ඔව්; මේ වගේ රෝග තත්ත්වයක් හඳුනා ගත් පසු පළමුවෙන්ම කළ යුත්තේ ඒ තැනැත්තා  තුළ ඒ රෝගය නිසා හටගෙන ඇති විශාදය, මානසික ආතතිය, කාන්සාව වගේ ද්විතීක රෝග තත්ත්වයන් සඳහා ඖෂධීය ප්‍රතිකාර ලබා දීමයි. ඒ සමඟම මූලික රෝග තත්ත්වය පිළිබඳ ඔවුන් දැනුවත් කොට ඥානක චර්යා චිකිත්සක ප්‍රතිකාර (Cognitivebehavioral therapy) මගින් මෙම රෝග තත්ත්වය සුවපත් කළ හැකියි.

සටහන - දමයන්ති ගමගේ

 

 

“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ” යනුවෙන් ඒ කථාව නවීකරණය කළ හැකි සත්‍ය පුවතකි.

වරෙන්තු කරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය පොලිස් නිලධාරින් දෙදෙනකුට ‍ බදුල්ල - අලුගොල්ලේ බස් මාර්ගය අසල බසයක් එනතුරු බලාසිටි සිටි පුද්ගලයෙකු දකින්නට ලැබුණි. ඒ පුද්ගලයා පිළිබඳව සැක සිතී ඔහු සතුව තිබූ පොහොර මලු පරික්ෂා කිරීමට යාමේ දී  ඔහු එම මලු අතහැර දමා පළාගොස් ඇත. පසුව අනාවරණය වූයේ බදුල්ල කොහොවිළකඳුර ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ ගබඩා ගෙය බිඳ සිවුරු 7ක් සහ අටපිරිකර 3 ක් සොරකම් කරගෙන විකිණීම සඳහා යද්දී පොලිසියට හසුවෙතැයි බියෙන් ඔහු පළා ගිය බවය.

කෙසේ නමුත් මේ හොරබඩු  පොලිසියට ගෙන එන තෙක්ම  විහාරස්ථානයෙන් පැමිණිල්ලක් නොලැබුණ  බවද පොලිසිය කියයි.

විහාරස්ථානයේ ගබඩා ගෙයි පිටුපස ජනේලයක් කඩා ඇතුල්වී මෙම සොරකම ම සිදුකර ඇති බව විමර්ශන වලදි අනාවරණය වී ඇත.  දැනට ප්‍රදේශයෙන් පලාගොස් ඇති සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරගෙන යන බවත් පොලිසිය පවසයි.

බදුල්ල  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික වීරසේකර සහ බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක  බී.යූ.පී. මානියන්ගම යන මහත්වරුන්ගේ උපදෙස් මත බදුල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

සුලක්ෂ පියතිස්ස බදුල්ල



 


 

 

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම් ප්‍රමාණයක් පාසල් සිසුන් බව පසුගිය දා අනාවරණය විය. ඒ කුරූණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයේ පැවැති මාධ්‍ය හමුවක දී එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිහාල් එදිරිසිංහ මහතා කළ ප්‍රකාශයකිනි. පසුගිය වසරේ එම ඒකකයට පැමිණි රෝගීන් ගෙන් 1560 දෙනකු නිශ්චය ලෙසම සමාජ රෝග ආසාදිතයන් බව තහවුරු වූ අතර එම පිරිසෙන් සුලු ප්‍රමාණයක් හෝ පාසල් සිසුන් වීම සම්බන්ධයෙන් ගුරු දෙගුරුන් මීට වඩා සංවිභාගශීලී විය යුතු බව වෛද්‍යවරයා අවධාරණය කර ඇත.

අප මෙම ප්‍රවෘත්තිය ඔබ වෙත ඉදිරිපත් කරන ලද්දේ ‘ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර ලිංගික උප සංස්කෘතියක්’ යන මැයෙන් පසුගිය කාලය පුරා ලක්බිම ඔන් ලයින් මගින් අප ඉදිරිපත් කළ ලිපි පෙළ සඳහා “ලිංගිකත්වයක් ඇත්තේ ගම්පහ ටියුෂන් සිසුන්ට විතරද?” යන මැයෙන් යොමුවූ ප්‍රතිචාරයක් මුල් කර ගනිමිනි. ගම්පහ උපකාරක පන්ති ගුරුවරුන් පිරිසක් විසින් යොමු කර තිබූ එම එම ලිපිය ඉතා සංයමයෙන් යුතුව සකසා තිබීම පිළිබඳව මම පළමුව ඔවුන් වෙත මගේ ගෞරවාදරය පුද කරමි.

ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් ගේ එම ලිංගික උප සංස්කෘතිය පිළිබඳ විමසුමකට අප යොමු වූයේ ගම්පහ හිටපු නගාරාධිපති එරංග සේනානායක මහතා කළ සුවිශේෂ අනාවරණයකට අනුවය. ගම්පහ මහ නගර සභා සීමාව තුළ ඇති ඔසුසල්වලින් පවුල් සැලසුම් උපකරණ සහ ලිංගික උත්තේජක පෙති වර්ග බහුලව විකිණෙන බවත් ඊට හේතුව ගම්පහ නගරයේ උපකාරක පන්තිවලට පැමිණෙන තරුණ සිසුන් අතරේ ඒවා භාවිතා වීම නිසා බවත් තමන්ට අනාවරණය කර ගත හැකි වූ බව හිටපු නගරාධිපති වරයා කීය.

එමෙන්ම සෑහෙන කාලයක්, ශ්‍රමයක් සේම මුදලක් ද වැය කරමින් අප සිදු කළ මෙම ගවේෂණය සඳහා විශ්ව විද්‍යාලයීය සමාජ විද්‍යා මහාචාර්යවරයකුගේත්, ජ්‍යෙෂ්ඨ කඨිකාචාර්ය වරයකුගේ උපදේශකත්වය ලබා ගැනීමට ද අපට හැකිවිය. එමෙන්ම මෙම විමර්ශන කටයුතු සඳහා උපාය දූතයන් ලෙස ගම්පහ ටියුෂන් අධ්‍යාපනය ලබා සරසවියට තේරුණු පෙම් යුවලක් යොදා ගැනීමට ද අපට හැකිවිණි. තවද අපගේ මෙම සමීක්ෂණයේ අධීක්ෂණ කටයුතු කරන ලද්දේ ගවේෂණාත්මක මාධ්‍යවේදය පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් සම්භාරයක් හිමිකරගෙන සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු විසිනි. මේ සියළු කරුණු අපගේ එම ගවේෂණයේ සාර්ථකත්වයට එක සේ බලපාන්නට ඇත.

එමෙන්ම අපගේ එම අනාවරණය ලක්බිම ඔන් ලයින් මගින් ප්‍රචාරය වීමත් සමඟ තවත් වෙබ් අඩවි කිහිපයක් මගින් මෙම ලිපි පෙළ උපුටා‍ පළ කිරීම නිසා මීට අතිරේක ප්‍රසිද්ධියක් ද ලැබිණි. ඒ පසුබිම යටතේ ගම්පහ ප්‍රදේශවාසීන් ම පවසන අන්දමට ‘මතක ඇති කාලයකින්’ ගම්පහ නගරයේ අවිනීත ලෙස හැසිරෙන තරුණ පෙම්වතුන් පොලිස් භාරයට ගෙන අවවාද කොට මුදා හැරීමට අවස්ථා දෙකකදීම ගම්පහ පොලිසිය කටයුතු කර තිබිණි. ඒ ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා ගේ උපදේශකත්වයෙන් සහ ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක අබ්දුල් ගෆාර් මහතාගේ  අධීක්ෂණයෙනි.

මෙහි මුලින් සඳහන් ප්‍රවෘත්තිය හා සම්බන්ධ කුරුණෑගල ද ගම්පහ මෙන්ම ශ්‍රී ලංකාවේ නම් දැරූ ටියුෂන් පුරවරයකි. ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ අගනුවර වුවද මධ්‍යම, සබරගමුව සහ උතුරුමැද පළාත් වලින් ද විශාල සිසුන් සංඛ්‍යාවක් නිතිපතා කුරුණෑගලට ඇදී එති. ඒ අනුව ගම්පහ ටියුෂන් අශ්‍රිත ලිංගික උප සංස්කෘතියට අතිශයින් සමාන ලිංගික උප සංස්කෘතියක් කුරුණෑගල ද නිර්මාණය වීමට කිසිදු නොහැකියාවක් නැත. ඒ අනුව ඉහත සඳහන් කළ කුරුණෑගල පාසල් සිසුන් අතර ලිංගික සම්ප්‍රේෂණ රෝග පැතිර යාමට එම ටියුෂන් ලිංගික උප සංස්කෘතිය සැලකිය යුතු අයුරකින් බලපා ඇති බව නිසැකය. එමෙන්ම එම උප සංස්කෘතිය පැන නැඟීමට ඉවල්වන සාධක සියුම් ලෙස විමසා බැලීමේ දී පෙරවරුවේ පාසල් ගොස් යළි පස්වරුවේ නිවස බලා යාම වෙනුවට, ටියුෂන් අධ්‍යාපනය උදෙසා නිවෙසින් බැහැරව සිටීමට සිසුන්ට ලැබෙන අමතර කාල පරාසය අපගේ අවධානයට යොමුකළ යුතුය. විශේෂයෙන් සති අන්ත දිනයන් හි කුරුණෑගල ටියුෂන් අධ්‍යාපනය සඳහා නිවසින් බැහැරවන බොහෝ සිසු සිසුවියන්ට ඕනෑම දෙයක් කර කියා ගත හැකි හෝරා දෙක තුනක නිදහස් කාල සීමාවක් වෙන් කර ගැනීමේ කිසිදු අපහසුවක් පැන නොනගී. පාසල් සිසු සිසුවියන් අතරට ලිංගික සම්ප්‍රේෂණ රෝග වර්ධනය වීමට මෙම තත්ත්වය ද හේතු පාදක වූ බවට සැක නැත.

කුරුණෑගල මෙවන් තත්ත්වයක් පවතින අතර ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකය මගින් එවැනි අනාවරණයක් සිදු කොට නැත්තේ මන්දැයි යමකුට හැ‍‍ගෙනු ඇත. ඒ ඇතැම් විට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග ඒකකයේ සායනවලට එක් වන රෝගීන් අතරට පාසල් සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවක් එක් නොවීම මත විය හැක. නොඑසේ නම් එසේ පැමිණෙන රෝගීන් ගේ පෞද්ගලික වතගොත පිළිබඳ නිවැරදි තොරතුරු වාර්තා නොවීම මතද මෙවන් තත්ත්වයක් ඉස්මතු වීමට පුළුවන.

මෙහි දී අප විශේෂයෙන් සලකා බැලිය යුතු තවත් කරුණක් ද වෙයි. කුරුණෑගල මහ රෝහල යනු ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන ශ්‍රී ලංකාවේ සුවිසල් ග්‍රාමීය කලාප රැසක් මධ්‍යයේ පිහිටි ප්‍රධානතම රෝහලකි. එහෙත් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල මගින් එලෙස විශාල ප්‍රදේශයක් ආවරණය නොකෙරේ. අගනුවරට තරමක් සමීපව පිහිටි  ගම්පහ රෝහලට කිලෝමීටර් කිහිපයක් නොදුරින් උතුරු කොළඹ (රාගම) මහ රෝහල ද පිහිටා ඇත. එමෙන්ම ටියුෂන් අධ්‍යාපනය සඳහා ගම්පහට පැමිණෙන සිසු සිසුවියන් ගෙන් වැඩිපිරිසක් පිටස්තර ප්‍රදේශවලින් පැමිණෙන්නවුන්ය. එනිසා හදිසි රෝගාබාධයකදී හෝ අනතුරක දී හැරුණු කොට ඔවුන් ගම්පහ රෝහලින් ප්‍රතිකාර ගැනීමේ සැලකිය යුතු සම්භාවිතාවක් නැත.

ඒ කෙසේ හෝ ටියුෂන් අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙතෙක් ගම්පහට හිමි වී ඇති “කීර්ති නාමය” මෙවන් අනාවරණයන් ගෙන් යම් තරමකට හෝ පළුදු විය හැකි බව අපිදු අවංකවම පිළිගනිමු. එහෙත් ඒ ‘හොඳ නම’ තුළින් තමන්හට අත්කර ගත හැකි මුදල්මය වාසි තකා හෝ විවිධ තර්ක ගෙනහැර දක්වමින් සත්‍යය වසන් කරලීම කෙසේවත් අනුමත කළ හැක්කක් නොවේ. අප ඒ බව ලක්බිම ඔන් ලයින් වෙතින් අප වෙත ප්‍රතිචාර දැක්වූ ගම්පහ උපකාරක පන්ති ගුරුවරුන් කිහිපපොළ වෙත පවසා සිටිනුයේ ගම්පහ ටියුෂන් සම්බන්ධ ‘හොඳ නම’ සහ තම ‘මුදල්වාසි’නොතකා මෙම ‘තිත්ත ඇත්ත’ වටහා ගැනීමේ සහ ඒ අනුව කටයුතු කිරීමේ වැදගත්කම හුවා දැක්වීමටය. නමුදු ඔවුන් එසේ නොකොට තව දුරටත් නිහඬව සිටිය හොත් ගම්පහ ටියුෂන් සම්බන්ධ මීට වඩා අතිශය ඛේදනීය පුවත් රට පුරා පැතිර යාම වැළැක්වීමට කිසිවකුටත් නොහැකිවනු ඇත.

ප්‍රසංග පෙරේරා - ජා ඇල
 

පෙර ලිපි පෙළ -:

සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු ක්‍රිස්ටිනා මාටීලී (Kristyna Martlli) නම් නිරූපිකාව මිය ගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයස අවුරුදු 23ක් වූ ඇය සිය සැත්කම් මගින් ජීවමාන බෝනික්කකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියාය. ළය සහ ඉණ පෙදෙස විශාලව පෙනෙන පරිදි සැත්කම් සියයකට අධික සංඛ්‍යාවක් සිදුකර ගෙන සිටි ඇය ප්ලාස්ටික් සැත්කමක් අතරතුර විෂ රසායනයක් හේතුවෙන් හදවත අකර්මණ්‍ය වීමෙන් ඇය මියගොස් ඇති බව වාර්තා වේ.




හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා ඇගේ පළමු උපන්දිනය සමරනු ලැබූවා.‍

අති නවීන බෙන්ස් මෝටර් රථයක් පුංචි ජොවීන්‍යාට ත්‍යාග ලෙස ලැබී තිබුණි.

බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටලයේ එළිමහනේ පැවති මෙම උපන්දින සාදය එසේම සුරංගනා කතා තේමාවකට අනුව සකසා තිබුණි.

මෙම අවස්ථාවට කුඩා ජොවීන්‍යා ගේ සීයා වන හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න ඇතුළු පවුලේ හිතවතුන් රැසක් සහභාගීව සිටියහ.









 

 

කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති සමාජ උපකල්පනයක් බවත් ලිංගිකත්වය යනු අපේ සාම්ප්‍රදායික ජන සමාජය තුළ අදට වඩා විවෘතව පැවැති මාතෘකාවක් බවත් අංගොඩ මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහතා පවසයි. ඔහු සමඟ ලක්බිම ඔන්ලයින් පැවැත්වූ සම්පූර්ණ කතා බහ මෙලෙසිනි.

අතීතයට සාපේක්ෂව වර්තමානයේ මානව ලිංගිකත්වය සමාජය හමුවේ නිරාවරණය වෙනවා; මින් සමාජයට අයහපතක් විය නොහැකිද?

ඔය ප්‍රශ්නයට උත්තර දීමට කලින් ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියන එක ගැන සාමාන්‍ය විස්තරයක් කළ යුතුයි. මොකද අපේ සමාජයේ ලිංගික කියන වචනයත් එක්කම ‘අසභ්‍ය’ කියන වචනයත් එක් වී තිබෙනවා. අසභ්‍ය කියන්නේ ප්‍රසිද්ධියේ කීමට හෝ කිරීමට නොහැකි දේවල්; නමුත් ලිංගිකත්වය කියන්නේ මේ ලෝකයේ සත්ත්ව වර්ගයාගේ පැවැත්මට ඉවහල්වන ප්‍රධානම ජෛවමය බලය සහ ආවේගය; විවිධ සතුන් සහ විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් ඒක විවිධ අයුරින් බලපානවා; ඒ වගේම ලිංගිකත්වය කියන්නේ හුදෙක් ලිංගික ක්‍රියාවට නොවෙයි; ඒ හා සබැඳුණු අතිවිශාල පුළුල් විෂය පරාසයක් මානව ලිංගිකත්වය තුළ ගැබ්ව තිබෙනවා; ඒක මිනිස් ශිෂ්ටාචාරය, සභ්‍යත්වය සමඟ බැඳී පවතින අවස්ථාත් ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම මිනිස් ශිෂ්ටාචාරය සහ සභ්‍යත්වය කියා දෙයක් ස්ථාපිතව ඇත්තේත් මිනිසාගේ ලිංගිකත්වය පදනම් කරගෙනයි.

ඒක නිදසුනක් මගින් පැහැදිලි කළොත්?

මේක තේරුම් ගන්න බොහොම පහසුයි; ශිෂ්ටාචාරගත මිනිසුන් හැටියට අපි විළිවහගන්නේ ඇයි?අපිට ලිංගිකත්වය මත පදනම් වූ ලැජ්ජාවක් තිබෙන  නිසා. ඒ වගේම ලිංගිකත්වය කියන්නේ වනචරකමක් යන්නත් හුදු මිත්‍යාවක්

‘වනචරකම’ කියන්නේ ලිංගිකත්වය නොනිසි ලෙස කළමනාකරණය කිරීමටයි.


නමුත් අතීතයට සාපේක්ෂව වර්තමානයේ ලිංගිකත්වය කොතෙක් දුරට සාමාජගත වී තිබෙනවාද? කීවොත් ලෝකයේ ලිංගික සංස්කෘතීන් පවා බිහිවෙලා තිබෙනවා.

ලිංගිකත්වය සංස්කෘතිකාංගයක් හැටියට බිහිවුණේ ශිෂ්ටාචාරයේ ඇරඹුමත් සමඟයි. ලෝකයේ පැරණිතම ශිෂ්ටාචාරයක් වන මොහෙන්දොජාරෝ හරප්පාවල ස්ත්‍රී යෝනි සංකේතය වැඳුම් පිදුම්වලට ලක්වුණා. ඊට පසුව සංවර්ධනය වූ හින්දු ආගමේ ශිව ලිංග සංකේතයට මිනිසුන් විඳිනවා පුදනවා වගේම විවිධ වතාවත් පවත්වනවා.

අපේ රටේ ආගමික උත්සව වල තියන කප් සිටුවීම, දිය කැපීම වගේ පූජා චාරිත්‍ර තුළත් ඉතා පැහැදිළි ලෙස ලිංගික සංස්කෘතික ලක්ෂණ ඇති බව මානව සහ සමාජ විදාඥයන් හඳුනාගෙන තිබෙනවා; ඒ වගේම පොරපොල් ගැසීම, අංකෙලිය ආදී ජන ක්‍රීඩා තුළින් ලිංගිකත්වය නිරූපණය කෙරෙන සංකේත සහ ලක්ෂණ ඕනෑ තරම් දකින්න පුලුවන්; ඉතින් කොහොමද අපට ලිංගික සංස්කෘතිය අලුත් දෙයක් වන්නේ.

අතීත සරල කෘෂිකාර්මික සමාජයේ දක්නට නොලැබුණු අන්දමේ ‘විවිධත්වයක්’ නූතන තාක්ෂණික සමාජය තුළ දක්නට ලැබෙනවා; ඒ වගේම අතීතයට සාපේක්ෂව නූතන මිනිසා ලිංගිකත්වය අතින් ද විවිධත්වයක් අපේක්ෂා කිරීමේ තත්ත්වයක් දක්නට පුලුවන් නේද?

මිනිසා ලිංගිකත්වයේ විවිධත්වය සොයා ගියේ ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටමයි. සාමාන්‍ය ලිංගික චර්යාවන්ට පරිබාහිර ලිංගික චර්යාවන් ; ලිංගික අවවර්තනයන් (sexual perversion) වශයෙන් නවීන විද්‍යාවේ හැඳින්වෙන ලිංගික චර්යාවන්ට මිනිසුන් නැඹුරුවූ අවස්ථා ලෝකයේ සෑම ශිෂ්ටාචාරයකින්ම අසන්නට ලැබෙන පුරාණෝක්තිවල සඳහන්; බයිබලයේ සේම බෞද්ධ පන්සිය පනස් ජාතක පොතේත් එවන් විවිධාකාර ලිංගික චර්යාවන් පිළිබඳව එළිපිටම කතා කෙරෙනවා; නමුත් අතීත සමාජය ඒවා අසභ්‍ය දේවල් හෝ කුණුහරුප වශයෙන් සැලකුවේ නැහැ. ඊට හේතුව ඒවායින් මතුවන දාර්ශනික හරය සමාජ ශෝධනයට ඉවහල් වූ නිසා.

එදා සභ්‍ය වශයෙන්ම මිනිසුන්ට හැඟුණු දේවල් අද අසභ්‍ය වශයෙන් හැ‍ඟෙනවා; ඒ මිනිසා සභ්‍යත්වයෙන් ශිෂ්ටත්වයෙන් එදාට වඩා දියුණුවක්; පරිණාමයක් ලබා ඇති නිසා නේද?

සභ්‍යත්වය සහ සදාචාරය කියන්නේ තුලනාත්මක සහ සාපේක්ෂක දෙයක්. අපි වසර දෙදහසකට වඩා ඉපැරණි බෞද්ධ සංස්කෘතියකට හිමිකම් කියන බව කීවත් අපගේ වර්තමාන සදාචාර පරමාදර්ශ පැන නැගී තිබෙන්නේ සියවසකට හමාරකට කලින් එංගලන්තයෙන් බිහිවූ වික්ටෝරියානු සදාචාරය පදනම් කර ගෙනයි; මේ වික්ටෝරියානු සදාචාරය කෙතරම් බරපතල විදිහට අපේ රටට බලපෑවාද කීවොත් ලිංගිකත්වය පිළිබඳව කරුණු දැක්වෙන පැරණි ජාතක කතා නවීන ලේඛකයන් ලියුවා නම් එකත් එකටම ඒවා අසභ්‍ය  කෘති ලෙසත් පැරණි සීගිරි චිත්‍ර නවීන සිත්තරකු ඇන්දා නම් ඒවා අසභ්‍ය රූප ලෙසත් හැඳින්වෙන්න ඉඩ තිබුණා.

එතකොට ඔබ කියන්නේ අපි දැන් මේ වික්ටෝරියානු සුචරිතවාදී අකල්පවලින් මිදී නැවතත් පැරණි යුගය කරා ගමන් කළ යුතු බවද?

වික්ටෝරියානු සුචරිතවාදය සංකල්පයක් මිසක් පරමාදර්ශයක් නෙවෙයි; අඩුම තරමින් වික්ටෝරියානු සුචරිතවාදය ලොවම හඳුන්වා දුන් එංගලත්තයේවත් අද එය පරමාදර්ශයක් ලෙස සැලකෙන්නේ නැහැ. නමුත් අපට තවමත් ඒ යටත් විජිත මානසිකත්වයෙන් අත්මිදීමට නොහැකිවී තිබෙනවා; ඒ බොහෝ විට සමාජයේ හනමිටි අදහස් දරණ සදාචාර කුහකයන්ගේ විරෝධතා නිසයි. ඒක අපේ සමාජ යහපැවැත්මට  ප්‍රබල බාධාවක්; නමුත් මානසික සාධක මත රඳා පවතින දෙයක් නිසා ඒ බාධාව සමාජයේ මතුපිටින් ප්‍රදර්ශනය වන්නේ නැහැ. ඒක විශ්ලේෂනාත්මකව අධ්‍යයනය කළ යුත්තක්.

කාන්තාවන් ගේ සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳීම පරමාරදර්ශයක් බවට පත් වික්ටෝරියානු සුචරිතවාදය පිටු දැක යන්තම් නිරුවත වසා ගන්නා කාන්තා විලාසිතා බහුල වීම කාමාපරාධවලට අතවැනීමක් විය නොහැකිද?

ඇත්තෙන්ම අඩ නිරුවත් කාන්තා විලාසිතා වලින් සමාජයට අහිතකර බලපෑමක් සිදුවන්නේ නැහැ. එසේ සිදුවන්නේ සමාජයේ ඇති සාම්ප්‍රදායික ආකල්ප නිසයි. එසේ නොමැතිනම් ප්‍රායෝගිකව සිදුවන්නේ ඔය කාරණයේ අනික් පැත්තයි; වික්ටෝරියානු සුචරිතවාදය යටතේ බ්‍රිතාන්‍ය කුල කාන්තාවන් තම අත් පවා මේස්වලින් වසා ගත යුතු යුගයක් තිබුණා. අදත් එංගලන්ත රාජකීයයන් විවිධ අවස්ථාවන්හි  ඒ සිරිත් අනුගමනය කරනවා; එසේ කාන්තාවන් අත් මේස් පැළඳ සිටි කාලයේ ඔවුන් තමන් ඉදිරියේ ඒ අත්මේස් ඉවත් කිරීම පවා පිරිමින් තුළ ලිංගික හැඟීම් පිබිදවීමට සමත් වූ බවට පිළිගත හැකි සමාජ විද්‍යාත්මක මූලාශ්‍ර තිබෙනවා.

ඒවගේම අපේ රටට පැමිණෙන යුරෝපීය තරුණියන් යන්තම් විලිවැසෙන යටිකය ඇඳුම්වලින් සැරසී සිටිනු අප ඕනෑ තරම් දකිනවා ඒක ඔවුන් ගේ සංස්කෘතිය; නමුත් සංස්කෘතික වශයෙන් කාන්තාව තමන් ගේ මුළු ශරීරයම ඇඳුම්වලින් වසා ගෙන සිටින සමාජයන්ට සාපේක්ෂව ඒ යුරෝපීය රටවල ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාර බෙහෙවින් අඩු බව ලොව පුරා සිදු කරන ලද බොහෝ සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා; ඒ අනුව අපට වටහා ගත හැකියි නේද? ලිංගිකත්වය කියන්නේ හුදෙක් මනෝ මූල සිද්ධාන්ත හා මොළයේ හටගන්නා ජෛව රසායනික ක්‍රියාවලියක් මත ඇතිවන චින්තන, සංනිවේදන සහ චර්යා රටාවක් කියන එක. අඩනිරුවත් කාන්තා විලාසිතා සමාජයට අහිතකර නොවන බව මා කියන්නේ ඒ පදනමේ සිටයි.

දමයන්ති ගමගේ

Page 1 of 24

IMAGE

රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්!

IMAGE 2017 Apr 26 11:36
රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන...
Views - 6

සිවුරු හොරා දිවිල්ලෙන් දැනේ

IMAGE 2017 Apr 25 13:31
“පුහුල් හොරා කරෙන් දැනේ” යනුවෙන් රසවත් ජන කතාවක් ඇත. මේ “සිවුරුහොරා දිවිල්ලෙන් දැනේ”...
Views - 2886

ගම්පහ ටියුෂන් ලිංගික උප සංස්කෘතිය කුරුණෑගලත්?

IMAGE 2017 Apr 25 11:46
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයෙන් ප්‍රතිකාර ගන්නා පිරිසෙන් යම්...
Views - 1476

ප්ලාස්ටික් සැත්කම් උන්මාදනී මෙලොව හැරයයි

IMAGE 2017 Apr 25 10:17
සිය සිරුර් අගපසග උලුප්පා පෙනෙන ආකාරයෙන් ප්ලාස්ටික් සැත්කම් කර ගැනීමේ උන්මාදයකින් පෙළුණු...
Views - 9689

මිනිපිරියගේ උපන්දිනේට බෙන්ස් එකක් දුන් හිටපු ඇමති සීයා

IMAGE 2017 Apr 24 15:39
හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා...
Views - 4252

අඩ නිරුවත් විලාසිතා ලිංගික අපරාධ වලට මුලක් නොවේ

IMAGE 2017 Apr 24 12:36
කාන්තා අඩ නිරුවත් විලාසිතා නිසා ලිංගික අපරාධ වැඩි විය හැකි බවට සමාජය පුරා පැතිරයන මතය කිසිදු...
Views - 1553

Please publish modules in offcanvas position.