Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දරුවාට සුන්දර ලොවක් තනා දීමට කැප වෙමු

දෙමාපියන්ගේ අරමුණ වන්නේ දරුවන්ට උපරිම යහපත ලබා දී ඔවුන් සමාජයේ ඉහළ තල වලට පත් වනු දැකීමය. එම නිසා ප්‍රීතිමත් නිරෝගී දරුවකු ඇති දැඩි කර ගැනීමට දෙමාපියෝ උනන්දු වෙති.

දරුවන් නිරෝගී විය යුතු වන්නේ කායිකව පමණක් නොවේ. මානසිකවද නිරෝගී විය යුතුය. දරුවකුගේ මානසිකත්වය යහපත් වීමට දරුවා ජීවත් වන පරිසරය බොහෝ සෙයින් බලපෑම් ඇති කරයි. විශේෂයෙන් නිවසේ ස්වභාවය, දෙමාපියන්ගේ හැසිරීම දරුවාගේ මානසිකත්වය යහපත් හෝ අයහපත් වීමට හේතුවේ.

ජීවිතයේ පළමු වසර පහ ඔබගේ දරුවාගේ චිත්තවේග වර්ධනය සිදුවන කාලයයි. එම කාලය තුළ ඔබ විසින් දරුවාට ලබා දෙන කායික වර්ධනය, බුද්ධි වර්ධනය හා මානසික වර්ධනය ජීවිත කාලයටම බොහෝ සෙයින් බලපානු ඇත.

ගර්භණී මවක් නිතරම සතුටින් සිටිය යුතු බව අපි අසා ඇත්තෙමු. ඒ මවගේ සිතුවිලි කුස තුළ සිටින දරුවාට ද බලපාන නිසාය. දරුවා විකසිත වන මල් පොහොට්ටුවක් වැනිය. දරුවා විකසිත කරන්නේ කෙසේදැයි අපි බලමු.

දරුවා ප්‍රථම අධ්‍යාපනය ලබන්නේ මව සමඟිනි. ඉපදුන දා සිට දරුවාට වඩාත් පෙනෙන්නේ මවයි. ඇසෙන්නේ මවගේ නැළවිලි ගීතය. මව දරුවාට ඉතා සමීපව සිටින නිසා කල්පනාකාරීව ක්‍රියා කළ යුතුය.

නමුත් නිවසක පාලනය හා  දරුවන් හදා වඩා ගැනීමේ වගකීම භාර වන්නේ මවට පමණක් නොවේ. පුතකු බොහෝ විට උත්සාහ කරනුයේ පියා මෙන් හැසිරීමටය. එබැවින් පියාද ආදර්ශමත් විය යුතුමය.

යහපත් ලෙස වාග් මාලාව හසුරුවා ගැනීමට මවත් පියාත් දෙදෙනාම වග බලා ගත යුතුය. මව හා පියා අතර ඇති සමගිය සමාදානය දරුවාගේ සතුටට හේතු වේ. එමනිසා මව හා පියා ආදරයෙන් සිටින බව දරුවන්ට අවබෝධවන ලෙස හැසිරීමට වග බලා ගත යුතු වේ. දරුවන් ඉදිරියේ අන් අයව විවේචනය කිරීමද නුසුදුසුය. එමෙන්ම දරුවන් ඉදිරියේ කථා කිරීමේ දී සුදුසු - නුසුදුසු දේ පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ.

දරුවෝ නිතර වැඩිහිටියන් අනුකරණය කරති. මේ බව දෙමාපියන් හොඳින්ම මතක තබා ගත යුතු අතර නිතර හොඳ දේ ඇසීමටත් දැනීමටත් දරුවාට ඉඩ සැලැස්විය යුතුවේ.

ඇත්තවශයෙන්ම කුඩා දරුවන් සිටින නිවසක් මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානයක් (පෙර පාසලක්) හා සමාන විය යුතුය. දරුවාට උගත හැකි දේවල් බිත්ති වල එල්ලා තැබිය යුතුය. ඒවා නිතර දැකීම දරුවාගේ දැනුවත් වීමට මහත් උපකාරී වේ.

කුඩා දරුවන් ජීවත් වන්නේ තමන් විසින් මවා ගන්නා ලද ලෝකයකය. සෙල්ලම් බඩු හා පින්තූර දෙස බලමින්ද තවත් අවස්ථාවල පරිසරයේ ඇති ගස්, වැල්, කොළ, මල් ආදිය සමඟ කථා කරමින්ද කාලය ගත කරන ආකාරය ඔබ දැක තිබෙනවා‍ නොවේද?

එය අසාමාන්‍ය තත්වයක් නොවේ. එමනිසා එවැනි අවස්ථාවල දරුවන්ට බාධා කළ යුතු නැත. ඒ දරුවන්ගේ ස්වභාවයයි. ඒ තුළින් දරුවෝ බොහෝ ‍අත්දැකීම් ලබා ගනිති.

එවැනි කාර්යයන් සඳහා දරුවන්ට අවස්ථාව සලසා දෙන්න. දරුවන්ගේ සුන්දර ලෝකය තව තවත් අසිරිමත් කර ගැනීමට ඔබගේ සහයෝගය ඔවුනට ලබා දෙන්න.

ඔබගේ දරුවා බුද්ධිමත් මෙන්ම යහපත් පුරවැසියකු ලෙස රටට දායාද කළ හැක්කේ එවිටය.

Please publish modules in offcanvas position.