Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දරුවා‍ගේ නිරෝගීකම සුරකින ව්‍යායාම

තම දරුවා උසින් මහතින් වර්ධනය වනු දැකීම දෙමාපියන්ගේ සතුටය. එමෙන්ම දරුවන්ගේ නිරෝගී බව රැක ගැනීම හා ආරක්ෂා කර ගැනීම ද ඔවුන්ගේ අපේක්ෂාවයි.

දරුවන් කුඩා අවදියේ සිටම ඔවුන්ට පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලබා දීමට වෙහෙස වන්නේ ඒ නිසාමය.

නමුත් දරුවන්ගේ ශාරීරික වර්ධනයට මෙන්ම නිරෝගී බව පවත්වා‍ගෙන යාමටත් පෝෂ්‍යදායී ආහාර පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ව්‍යායාම ද අවශ්‍යය.

අද බොහෝ දරුවෝ රූපවාහිනිය, පරිගණකය, ජංගම දුරකථනය ආදිය සඳහා යොමු වී සිටිති. ඒ කිසිදු අවස්ථාවක ඔවුන්ට ව්‍යායාම ලැබෙන්නේ නැත. ඒ අතරම අද පවතින තරඟකාරී අධ්‍යාපන රටාව ද දරුවන්ට ක්‍රීඩා කිරීමට ඇති කාලය සීමා කර තිබේ.

මෙවැනි තත්ත්වයන් නිසාම අත පය සොලවා වැඩක් කිරීමට ශරීරය වෙහෙස කරවන දේවල් කිරීමට බහුතරයක් දරුවන් කැමති නැත.

ශාරීරික වර්ධනය, නිරෝගී භාවය මෙන්ම මානසික සමබරතාවය සඳහා ව්‍යායාම ඉතාම වැදගත්වේ.

කෙසේ වුවත් දරුවන් කුඩා කාලයේ සිටම ව්‍යායාම කිරීම සඳහා යොමු කළ හොත් ඔවුන් වයසින් වර්ධනය වන විටද එක තැනකට වී සිටීමට උත්සාහ කරන්නේ නැත.  එම නිසා දරුවන්ව කුඩා කාලයේ සිටම ව්‍යායාම වලට හුරු කිරීමට දෙමාපියන් උනන්දු විය යුතුය.

කුඩා දරුවන්ට ව්‍යායාම කරවීම අභ්‍යාසයන් කරන ආකාරයට කළ හැකි නොවේ. එය කළ යුතු වන්නේ දරුවාට නොදැනෙන ලෙසයි.

ඒ සඳහා විවිධ උපක්‍රම භාවිතා කළ යුතු අතර එවැනි උපක්‍රම කිහිපයක් පහත දක්වා ඇත.

නිවසේ හා එළිමහනේ වැඩකටයුතු සඳහා දරුවාගේ සහයෝගය ලබා ගැනීම

උදා -: අතුගෑම, මකුළු දැල් කැඩීමට සහය ලබා ගැනීම, නිවසේ භාණ්ඩ වල බැඳී ඇති දූවිලි පිසදැමීම, තණකොළ ඉදිරීම, පැළ සිටුවීම, මල් ගස් වලට වතුර දැමීම.

මෙවැනි වැඩ කටයුතු වල දී ශරීරය වෙහෙස වීම සිදුවේ. එය ඇත්තෙන්ම දරුවාට ව්‍යායාමයක් හා සමානය.

දරුවා සමඟ එළිමහනේ ක්‍රීඩා කිරීම

වැඩිහිටියන් සමඟ ක්‍රීඩා කිරීමට සිඟිති දරුවෝ ඉතා ප්‍රිය කරති. එවැනි අවස්ථාවල දරුවා සමඟ එක් වී ක්‍රීඩා කළ යුතුය. එසේ නොමැතිව එවැනි අවස්ථාවලදී දරුවා රූපවාහිනිය, පරිගණකය ආදියට යොමු කිරීම කළ යුතු නොවේ.

කතන්දර කියාදෙන විට ඒවායේ ඇති සිද්ධීන් රංගනයෙන් පෙන්වීමට උනන්දු කරවීම

උදා -: "සමනලයා පියඹාගෙන මලින් මලට ගියා"
"සුමුදු බබා ලොකු කැවුම් පෙට්ටියක් කරේ තියාගන අමාරුවෙන් කන්ද නැග්ගා"

මෙවැනි දේවල් කර පෙන්වන ලෙස දරුවාට උපදෙස්  දීමට පුළුවන. දරුවා ඊට මැලි වන්නේ නම් එම කාර්යභාරය ඔබ විසින් කළ යුතුය. එවිට දරුවාද එසේ කිරීමට පෙළඹෙයි.

ගීත ගයමින් නර්තනයේ යෙදීම

නර්තනයේදී අත පය, ඉණ, බෙල්ල, හිස වැනි ඉන්ද්‍රියන් චලනය කිරීමට සිදුවේ ඒ මගින් දරුවාට ව්‍යායාම ලැබේ.

මීට අමතරව ව්‍යායාම සඳහාම සුදුසු ගීත තෝරා ගෙන හෝ නිර්මාණය කර ඒවා ගායනා කරමින් අංග චලන ඉදිරිපත් කළ හැකිය.

උදා -:

අත් ඔසවා අප්පුඩි ගසමු

පහත දමා අත්පුඩි ගසමු

අත් දිගු කර අත් කරකවමු

අත් පහළට දමමු

සිඟිති දරුවෝ වැඩිහිටියන් අනුකරණය කිරීමට ආශා කරති. එමනිසා දරුවාට පෙනෙන ලෙස ඔබ ව්‍යායාම කරන්නේ නම් දරුවෝද ඊට පෙළඹීමට උත්සාහ කරති. එමෙන්ම මෙම අවස්ථාවල දී දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව විමසිලිමත් වීමද ඉතා වැදගත් වේ.

Please publish modules in offcanvas position.