Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පුංචි පුංචි දේවල් වලින් දරුවන්ගේ ලෝකය ගොඩ නඟමු

දරුවකුට අකුරු ඉගැන්වීම, ගණන් කිරීම හා ඉලක්කම් ඉගැන්වීමට පෙර ඉගැන්විය යුතු බොහෝ දේ තිබේ. පාට, හැඩය, ලොකු - කුඩා බව, සමාන - අසමාන බව ආදිය ඉන් සමහරකි.

මෙවැනි දේ ඉගැන්වීම සඳහා සකස් කරන ලද අධ්‍යාපනික උපකරණ අද වෙළඳපලේ දුලබ නොවේ. නමුත් එදිනෙදා නිවසේ වැඩ කටයුතු කරන අතරතුර දරුවා සමඟ කථා බහ කරමින් මේවා අතරින් බොහොමයක් දරුවන්ට ඉගැන්විය හැකි බව ඔබ සිතුවාද?

 "අම්මා පුතාට රතු පාට පිඟානක් ගෙනවා."

"නිල් පාට දත් බුරුසුව පුතාගේ; කහපාට එක අක්කගේ."

"අද අපි රෝස පාට ගවුම අඳිමු."

මෙවැනි කථා බහ තුළින් දරුවාට පාට හඳුනා ගැනීමට අවස්ථාව ලැබේ.

දරුවාට හැන්දක් පෙන්වා,
"මේ වගේ හන්දක් අර තැඹිලි පාට පෙට්ටියෙන් අරගෙන එන්න."

මෙම වගන්තිය තුළ පාට හා සමාන බව යන කරුණු දෙක් ඇතුළත් වේ.

"තාත්තාගේ ලොකු කුඩය - නංගි බබාගේ චූටි කොට්ටය."

මේ හරහා දරුවාට ලොකු පොඩි සංකල්පය පිළිබඳ දැනුම ලැබේ.

"රෝස පාට පැන්සල දම් පාට පැන්සලට වඩා දිගයි නේද?"

මෙය පාට මෙන්ම දිග පිළිබඳව සන්සන්දනාත්මකව බැලීමට ද දරුවා යොමු කිරීමකි.

 මීට අමතරව නිවසේ වැඩකටයුතු වලටද දරුවාගේ සහයෝගය ලබා ගැනීම ඉතා වැදගත්ය. දරුවාගේ ක්‍රියාශීලී බව වර්ධනය වීමට මෙන්ම සහයෝගයෙන් වැඩ කිරීමට හුරු වීමට ද ඒ තුළින් ලැබෙනුයේ මහඟු පිටුවහලකි.

 නිවස පිරිසිදු කරන අවස්ථා වලදී ඒ සඳහා දරුවා ද සහභාගි කර ගත හැකියි. සපත්තු - සෙරෙප්පු පිළිවෙළකට තැබීම දරුවාට භාර දිය හැකියි.

 නිවසට රැගෙන එන එළවළු වර්ග අනුව වෙන් කිරීම, සේදා වියළා ගත් ඇඳුම් අතරින් තමාගේ ඇඳුම් තෝරා වෙන් කර ගැනීම ආදිය දරුවාට භාර කළ හැකි කාර්යයන් අත‍රවේ.

 වර්ගය හෝ යම් කිසි ගුණයක් අනුව තේරීම පිළිබඳව මේ හරහා දරුවාට අවබෝධයක් ලැබේ.

තේරීම යනු මූලික ගණිත සංකල්පයකි.

මේ හරුණු විට මෙවැනි කටයුතු හරහා පිළිවෙළකට වැඩ කිරීමට ද දරුවෝ හුරුවෙති.

මෙවැනි අවස්ථාවලදී දරුවාව අගය කිරීමට ද අමතක කළ යුතු නොවේ. දරුවාට එම අගය කිරීම ඉතා සතුටක් වන අතර තව දුරටත් මෙවැනි කටයුතු වල නිරතවීමට උනන්දුවක් ද ඒ හරහා ඇති වේ.

ඒ සමඟම දෙමාපියන් වන ඔබ විසින් තරයේම මතක තබා ගත යුතු දෙයක් තිබේ. ඒ ඔබ සහ දරුවා අතර සමීප සබඳතාවයක් ‍ගොඩනගා ගැනීම ඉතාම අවශ්‍ය බවයි.

ඉහත දක්වන ලද කාර්යයන් හරහා ද එම සබඳතාවය ගොඩනගා ගැනීම සඳහා ලැබෙන්නේ මනා පිටුවහලකි.

ඔබ රැකියාවක නියුතු මවක වුවද නිවාඩු දිනවල දරුවා සමඟ රැ‍ඳෙන කාලය වැඩි කර ගැනීමට සැලසුම් කළ හැකිය.

දරුවා සමඟ පොත් බැලීම, කතන්දර කියාදීම, දරුවා සමඟ ක්‍රීඩා කිරීම යනාදී දේ හරහා එම සබඳතාවය තව තවත් වර්ධනය කර ගත හැකිය.

එම සබඳතාවය වගේම මිත්‍රත්වය දරුවාට ද ගෙන දෙන්නේ සතුටකි. දරුවා තුළ යහපත් ගුණාංග වර්ධනය වීමටත් එය මහත් උපකාර වනු ඇත.

ජලදිනී සේනානායක

Please publish modules in offcanvas position.