Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඇත් දළ සොරුන් විසින් කෲර ඝාතනය කරන ලද දළ පූට්ටුවා නම් හස්ති රාජයාට පින් පැමිණවීම් සිදුවන අතරේ දේව කන්නලව්වක්ද පසුගිය දිනෙක එම හස්තියා වැඩිපුරම ගැවසුණු ගල්ගමුව, උස්ගල සියඹලන්ගමුව වැව් රක්ෂිතයේ දී පැවැත්විණ.

එම දේව කන්නලව්වේ දී එය මෙහෙය වූ කපු මහතා ආරූඩයෙන් පැවසූ දෙයක් වූයේ එම සත්වයා ගේ ගුණ මහිමය මුල් කොට මේ වන විට දේවාත්මයක් ලබා ඇති බවය. මෙම අවස්ථාවට ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පතිරාජ මහත්මිය සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සේම ශ්‍රී ලංකාවේ සෑම ජනමාධ්‍ය ආයතනයක්ම නියෝජනය කරන මාධ්‍යවේදීහු රැසක් ද සහභාගී වී සිටියහ.

අප ගේ ජන සංස්කෘතියට අනුව මිය ගිය මිනිසුන් මිස මිය ගිය සතුන් දේවත්වයට පත්වීම දුලබ ලෙස අසන්නට ලැබෙන්නකි. පනහේ දශකයේ දී තම වර්ගයා වෙනුවෙන් දිවි පිදූ පනාමුරේ ඇත් රාජා නමින් ප්‍රකට වූ හස්තියා සහ දැනට ශ්‍රී දළදා මාලිගාවේ කෘතුකාගාරයේ සිරුර සංරක්ෂණය කොට ඇති දිගුකලක් දළදා කරඬුව වැඩමවීමෙන් පොදු ජනතාවගේ ගෞරව බහුමානයට ලක් වූ රාජා නම් හස්තියා එලෙස දේවත්වයට පත් වූ අලි ඇතුන් සේ බොහෝ දෙනෙක් සිතති. ඔවුන් අතරට ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තිරාජයා එක්වීම අලුතින්ම අසන්නට ලැබෙන පුවතකි. ගල්ගමුවේ දළ පූට්ටුවා නම් ඇත් රජු කෙරෙහි ජනතාව තුළ මෙවන් ගෞරව පුරස්සර  හැඟීමක් ජනිත වූයේ ඔහුගෙන් සිදුවූ අවම වගා හානිය සහ ඔහු කිසිවෙකුටත් හිංසනයක් නොකළ අවිහිංසක සත්වයෙකු වීමය.

එබැවින් එම හස්තිරාජයාට කරන කෘත ගුණ දැක්වීමක් ලෙස ඔහුගේ සේයාරුව අදත් ගල්ගමුව ප්‍රදේශයේ ගැමි නිවෙස් වල බුදු පහනට යටින් එල්ලා ඇති බව අදටත් ඕනෑම කෙනෙකුට තහවුරු කරගත හැකි සත්‍යයකි.

 එහෙත් අපගේ ජන විඥානයට අනුව මෙලෙස ඇතෙකු දේවත්වයට පත් වූ බව සමාජවිද්‍යාත්මකව විග්‍රහ කළ හැකිද යන්න පිළිබඳව එම විෂය සම්බන්ධයෙන් විශාරදත්වයක් පළ කරන සමාජ විද්‍යාඥයෙකුගෙන් අපි විමසා බැලුවෙමු.

ඒ පේරාදෙණිය විශ්ව විද්‍යාලීය සමාජ විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය දයා අමරසේකරය. එහිදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ ඔහු මෙසේ කීය.

මිය ගිය කෙනෙකු දේවත්වාරෝපණයට (Deification) පත්වීම ඕනෑම සමාජයක දැකිය හැකි දෙයක්. එහිදී ඒ මියගිය තැනැත්තා ගේ දිවිපැවැත්ම, මරණය සිදුවූ ආකාරය, ඉන් පසුව ජන හදවත් තුළ මියගිය තැනැත්තා පිළිබඳව හටගත් සංවේදීතාවය ඉන්පසුව ඇතිවන සොබාදහමේ වෙනස්කම් ආදී හේතූන් සහ එසේ දේවත්වයට පත් වූ බව අසාමාන්‍ය ආකාරකින් (ආරූඩයකින්) වැනි ප්‍රකාශවීම ආදී කරුණු මුල්කොට මෙම දේවත්වාරෝපණයන් සමාජගත වුණ බව සමාජවිද්‍යාත්මකව විස්තර කරන්නට පුළුවන්. ඒ නිර්නායක අනුව ගල්ගමුවේ හස්තියා හටත් දේවත්වාරෝපණයක් ලබා දීමට එම සමාජය කටයුතු කිරීමේ කිසිදු අරුමයක් නැහැ.

එමෙන්ම දේවත්වයට පත් එම හස්තියාගෙන් යම් යම් පිහිටාරක්ෂාවන් බලාපොරොත්තු වීමද ඒවා යම් යම් ප්‍රමාණවලින් ඉෂ්ඨ සිද්ධ වීමද එම දේවත්වාරෝපණය සමාජය තුළ තවදුරටත් තහවුරුවීමට බලපානවා. ඒ අනුව දැනට එවැනි තත්ත්වයක් සමාජයෙන් පැනනැගී ඇත්නම් ඉදිරියේ දී පැවසෙන පේන ආදී ගුප්ත ක්‍රම මගින් එම තත්ත්වය තහවුරුවීමත් ඉන්පසුව එම දේවතාවා විසින්  ජනතාවට පිහිටවීමත් මුල්කොට එය සමාජයේ තවදුරටත්  ස්ථාපිත විය හැකියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ මහාචාර්ය අමරසේකරයන් ප්‍රකාශ කළේ; හුදෙක් දෙවියන් නොවන උප දේවතාවුන් (Deity) ලෙස දේවත්වාරෝපණයකට පත් වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවය. ඒ කෙසේ හෝ මේ සම්බන්ධයෙන් උනන්දුවක් පළ කරන සමාජවිද්‍යාව පිළිබඳව වැඩිදුර ගවේශණය කරන්නවුන්ට මෙය කදිම මාතෘකාවක් වනු ඇතැයි ද මහාචාර්යවරයා කීය.

තවත් විස්තර ඉදිරියට

 

දමයන්ති ගමගේ

 

 

(යෝජිත ස්මාරකයේ ඉදිරිපස පෙනුම)

පසුගිය කාලයේ වයඹ පළාතේ ගල්ගමුව ප්‍රදේශවාසීන් ඇතුළු සමස්ත ශ්‍රී ලංකාව වාසීන්ගේ ම  සිත්සතන් කම්පා කළ හස්ති ඝාතන කිහිපයක් සිදුවිය. ඒවා අතරින් වඩාත් සංවේදී සිදුවීම් දෙක්ක වූයේ ගල්ගමුව අවට සැරිසැරූ සියඹලන්ගමුවේ ඇත් රජුගේ සහ දළ පූට්ටුවා නමින් හැඳින්වුණු ඇත් රජුගේ ඝාතන දෙකය. සියඹලන්ගමුවේ ඇත් රජු ගල්ගමුව, සියඹලන්ගමුවේ සිට ප්‍රවාහනය කෙරෙන අතර මඟදී වනජීවී නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා මිය ගිය අතර දළ පූට්ටුවාගේ මරණය සිදුවූයේ ඇත් දළ සොරු‍න්‍‍ගේ වෙඩි පහරකිනි.

මෙම ඝාතන දෙකින් ගල්ගමුව ප්‍රදේශවාසීන් කෙතරම් කම්පාවට සහ සංවේගයට පත්වීද යත් එම සතුන් සිහිකොට මතක බණ සහ සාංඝික දානාදී පිංකම් ද සංවිධානය කොට තිබිණ.

එමෙන්ම එම කම්පාව සහ සංවේගය ඇතිවී නැතිවී යන උද්වේගයක් නොවන බව සනාථ කෙරෙන මානුෂීය ඉදිරි පියවරක් පිළිබඳවද අපට අසන්නට ලැබිණ. ඒ එම සතුන් දෙදෙනා වැඩිපුරම ගැවසුණු ගල්ගමු‍වේ උස්ගල - සියඹලන්ගමුව වැව් පරිශ්‍රයේ එම සතුන් දෙදෙනාගේ සජීවී ප්‍රමාණයේ පිළිරූ දෙකක් සහිත ස්මාරකයක් ඉදිකිරීමට එම ප්‍රදේශයේ දැනඋගත් තරුණ පිරිසක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් සිටීමය.

'සොබාදමේ කැපකරුවෝ' නමින් පිහිටුවා ගෙන ඇති මෙම සංවිධානය මඟින් ඉදිකිරීමට යෝජිත මෙම ස්මාරකය නම් කොට ඇත්තේ 'සත්ව අවිහිංසා පිළිරුව' යනුවෙනි. සත්ව අවිහිංසාව පරමාදර්ශයක් සේ සලකන අතරේ බරපතල අයුරින් සත්ව ඝාතන ද සිදුකෙරෙන අප රටේ සත්ව අවිහිංසා පිළිරුවක් ඉදිවන ප්‍රථම අවස්ථාව ද බොහෝවිට මෙයම වනු ඇත.

'සොබාදමේ කැපකරුවෝ' නම් සංවිධානය මේ වන විට ද ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි සංවිධානයක් වන අතර එනමින් ගල්ගමුව ලංකා බැංකු ශාඛාවේ ගිණුමක්ද අරඹා තිබේ. මෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ ගල්ගමුවේ උස්ගල සියඹලන්ගමුවෙහි පදිංචි ක්‍රිෂාන්ත නන්දසේන මහතාය.

මෙහිදී එම සතුන් දෙදෙනාගේ ඡායාරූප පරිගණක මගින් විශ්ලේෂණය කොට එම සතුන්ගේ සජීවී හැඩයන් සහ ප්‍රමාණයන් සේම ඔවුනට ආවේනික අංග ලක්ෂණද ඒ අයුරින්ම නිරූපනය කරමින් මෙම ස්මාරකය ඉදිකිරීමට අපේක්ෂා කෙරේ. ඒ අතර එහි ස්ථාපිත කරන ඵලකය මඟින් සත්ව අවිහිංසාව පිළිබඳ පණිවිඩය මුළු රටටම ලබා දීමට අපේක්ෂා කෙරේ.

(යෝජිත ස්මාරකයේ සැලැස්ම - ඉදිරිපස පෙනුම)

පාදෙණියේ සිට අනුරාධපුරය දක්වා වැටී ගත් 'රාජධානි පිවිසුම' මාර්ගයේ ගල්ගමුව නගරය පසුකොට මඳදුරක් යන විට හමුවන  අමුණුකොළේ හන්දියෙන් හැරී කිලෝමීටර්  තුනක් පමණ ගිය විට දැකිය හැකි. උස්ගල සියඹලන්ගමුව ජලාශය සදාහරිත තුරු ලතාවන්ට මැදිවූ සුවිසල් දියවරකි. මෙහි හාත්පස ඇත්තේ ද සුවදායි සෞම්‍ය පරිසරයකි. ශ්‍රී ලංකාවේ වියළි සහ අතරමැදි කලාපයන්හි දැකිය හැකි ක්‍ෂිරපායී, පක්ෂි, උරග, මතෂ්‍ය සහ සමනල විශේෂයන් බොහොමයක් මෙහි දී නිරීක්ෂණය කළ හැක.

ගල්ගමුව ප්‍රදේශයේ ගැවසෙන වන අලින්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙම ජලාශය ආශ්‍රිතව ගැවසෙනු බොහෝවිට හිමිදිරි සහ සන්ධ්‍යා යාමයන් හි දැකගත හැකිය. මෙය සත්ව ලෝලීන්ට සේම පරිසර ලෝලීන්ට ද කදිම අත්දැකීමක් ලද හැකි ජලාශ්‍රිත වනගත පරිසරයකි.

එබැවින් මෙම මාර්ගය ඔස්සේ අනුරාධපුරයට යන එන්නවුන් ඇතුළු බොහෝ දෙනෙකුට හෝරා කිහිපයක් නතරවී සදාහරිත වන පෙතක සහ නිල්වන් දියවරක සිසිලස එක්වර ආශ්වාදනය කරගන්නා අතරම සත්ව අවිහිංසාව පිළිබඳ පිවිතුරු පණිවිඩය හදවතට තුරුළු කර ගනිමින් නික්ම යා හැකි අන්දමට හාත්පස විවේක උද්‍යානයක් ද සහිතව මෙම 'සත්ව අවිහිංසා පිළිරුව' නිර්මාණය කිරීමට අදහස් කෙරෙන බව එම සංවිධානය ප්‍රකාශ කරයි.

මේ සඳහා දැනට ජාතික මට්ටමේ සංවිධාන කිහිපයක් සමගම සාකච්ඡා පවත්වා ඇති බවත් ඒ අනුව මෙම ස්මාරකය තැනීම සඳහා වැය වන මුදලින් කොටසක් පියවා ගත හැකි බවත් පවසන සොබාදමේ කැපකරුවෝ සංවිධානයේ සභාපති ක්‍රිශාන්ත නන්න්දසේන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනුයේ ඉන්පසුව මේ සඳහා තමන්ට  හැකි අයුරින් දායකවීමට සත්ව ලෝලීන්, අවිහිංසාවාදීන් සහ පරිසර ලෝලීන් හට ද පොදු අවස්ථාවක් සලසා දෙන බවය.

 

සහන් සංකල්ප සිල්වා  
 

මේ ජනමාධ්‍ය මගින් අප ඉතා හොඳින් අසා හුරුපුරුදු වදනකි. මෙහි අලි මිනිස් යන්නෙහි ‘අලි‘ යන වදන පෙරටුව යෙදීමෙන් පැහැදිලි වන එක් කරුණක් තිබේ. එනම් මෙම ගැටුම සඳහා වන අලින් ප්‍රමුඛ වන බවකි. එහෙත් අලි මිනිස් ගැටුම යනුවෙන් අප විසින් සිංහලයට නංවා ගන්නා ලද වදන ජාත්‍යන්තරයෙන් අප වෙත හිමි වුවක් මිස අප විසින්ම තනාගත් එකක් නොවේ. එහෙත් අදටත් එහි ජාත්‍යන්තර ව්‍යවහාරය වනුයේ මිනිස් - අලි ගැටුම (Human elephant conflict) යන්නය. ඒ අනුව මෙම විකෘතිය සිදු කරන ලද්දේ කවුරුන්, කවදා කුමන අරමුණකින්ද යන්න පිළිබඳව වෙනම සොයා බැලිය යුතුය. 
වන අලින් ගම්වැදී මිනිස් ජීවිත දේපල ආදියට බරපතල හානි පමුණුවන බවද අපි ජනමාධ්‍ය මගින් නිතර අසා දැක ඇත්තෙමු. එමෙන්ම එම හානි පිළිබඳ වීඩියෝ දර්ශන සේම එම වන අලි උවදුරට එරෙහිව දියත් වන ජනතා උද්ඝෝෂණ ද මාධ්‍ය මගින් අපට අතිශය හුරු පුරුදුය. එවිට වන අලියා යන්න මිනිස් ප්‍රජාවට කෙතරම් අහිතකර සත්වයෙකුද යන සිතුවිල්ල යමකුගේ සිතෙහි ඉතා තදින් රෝපණය විය හැකිය. එහෙත් මෙහි සත්‍ය තත්ත්වය නැතහොත් යථාර්ථය ඊට ඉඳුරාම වෙනස්ය. වන අලින් ඉතා සාහසික සහ ප්‍රචණ්ඩකාරී ලෙස ඉවක් බවක් නොමැතිව මිනිස් ජනාවාස ආක්‍රමණය කරන බවක් මතුපිටින් පෙනී ගියද සැබැවින්ම සිදුව ඇත්තේ එහි අනෙක් පැත්තය. එනම් මිනිසුන් විසින් වන අලින්ගේ ස්වභාවික වාසභූමි බරපතල අයුරින් ආක්‍රමණය කිරීමය. 
අලියා යනු දැනට මිහිපිට ජීවත් වන විශාලතම සත්වයාය. එමෙන්ම මුළුමනින්ම ශාඛ භක්ෂක අවිහිංසකයෙකි. එහෙත් ඒ සතා හට ආහාර පාන සහ ජලය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර ඒවා සොයා ගැනීම පිණිස විශාල වපසරියකින් යුතු භූමි ප්‍රමාණයක්ද අවශ්‍ය වෙයි. එය අලියා සතු සොබාදහමේ උරුමයකි. හිමිකමකි. එහෙත් මීට සියවස් ගණනකට ඉහත වන අලි ඇතුන්ගේ වාසභවනයන් බවට පත් මහා වන රජදහන් අද කමෛන් කුඩා බැදි කුට්ටි බවට පත්වෙමින් තිබේ. ඊට හේතුව මිනිසුන් විසින් වන අලින් සතුව තිබූ සාම්ප්‍රදායික නිජබිම් ශීඝ්‍රාකාරයෙන් අත්පත් කර ගනිමින් තිබිමය. ඒ අනුව වන අලින් ගම් වැදුණාද ? නැතහොත් මිනිසුන් වල් වැදුණාද යන්න පිළිබඳව යළි යළිත් සිතා බැලීමට අප පෙළඹිය යුතුය. 
වන අලි ප්‍රහාර නිසා වසරකට මිනිස් ජීවිත හැට හැත්තෑවක් පමණ අහිමි වන බව ඇත්තකි. එය ආසන්න වශයෙන් රිය අනතුරු නිසා වාර්ෂිකව සිදුවන මිනිස් මරණ මෙන් සියයට දෙකක පමණ ප්‍රතිශතයකි. එහෙත් අප විසින් අලි මිනිස් ගැටුම යනුවෙන් හැඳින්වෙන මෙම තත්ත්වය තුළ නොමනා මිනිස් ක්‍රියාකාරකම් නිසා එමෙත් තුන් ගුණයකටත් වඩා වන අලින්ගේ ජීවිත වාර්ෂිකව අහිමි වන බව ඔබ දන්නවාද ? දැනට ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන විසි එකක් පමණ වන අතර සමස්ත ශ්‍රී ලංකාවේ වන අලි ගහණය හය දහසකටත් අඩු බවද අප මෙහිදී සැළකිය යුතුය. ඒ අනුව එම ජනගහන සහ වන අලි ගහන අනුපාතයට අනුව මින් ප්‍රබලතම හානිය ව්‍යසනය අත්වී ඇත්තේ කාටදැයි සිතා බැලීම ඔබට භාරය.
වන අලින් නිසා තම ජීවිත, දේපළ සහ වගාවන්ට සිදුවන හානි නිසා බරපතල සංවේගයටත්, ප්‍රකම්පනයටත් පත්වන අප රටේ ගැමි ජනතාව තුළ වන අලින් පිළිබඳ බද්ධ වෛරයක් හටගෙන ඇතැයි බාහිර සමාජයේ බොහෝ දෙනෙක් සිතති. එහෙත් එය පටටපල් බොරුවකි. ඊට හේතුව මෙම මිනිස් අලි ගැටුමේ අලගිය තැන් මුලගිය තැන් සියල්ල ඉතා නිවැරදිව සොයා ගැනීමට තරම් දේශීය ගැමියාගේ විඥාන ශක්තිය ප්‍රබල වීමය. 
වන අලින් ගම්වදිනුයේ තම ස්වභාවික පාරම්පරික සහ ෙජෙවමය උරුමයන් පෙරදැරි කරගනිමින් මිස කෘත්‍රිම ලෙස සිදු කෙරෙන කුරිරු, සාහසික ආක්‍රමණයක් ලෙස නොවන බව එම ප්‍රදේශවල ගැමියෝ ඉතා හොඳින් දනිති. එමෙන්ම එම වන අලින් පළවා හැරීම පිණිස තමන් විසින් ගනු ලබන සියලු ක්‍රියාමාර්ග වන අලින් සතු ඒ ස්වභාවික උරුමයන්ට එරෙහි කෘත්‍රිම ක්‍රියාමාර්ග සහ තාවකාලික පැලැස්තර බවද ගැමියෝ දනිති. එම ක්‍රියාමාර්ග හමුවේ ශාඛ භක්ෂක එම අහිංසකයන් කුපිත වන බවද ගම්මු හොඳාකාරව දනිති. 
එනිසාම වන අලින් ජීවත්වන ප්‍රදේශ වල ගැමියෝ එම සතුන් කෙරෙහි අතිශය සංවේදී වන්නා සේම ඔවුන් කෙරෙහි කරුණා මෛත්‍රියද දක්වති. 
පසුගියදා ඇත්දළ සොරුන් විසින් කුරිරු ලෙස ඝාතනය කළ දළ පූට්ටුවා ඇත් රජුගේ මරණයේ දී ගල්ගමුවේ වැසියන් තම පවු‍ලේ ඥාතියකු මියගිය කලෙක මෙන් හඬා වැටුණේ ඔවුන් මෙම අලි ඇතුන් කෙරෙහි දක්වන ආදරය, කරුණාව, දයානුකම්පාව පෙරදැරිකර ගනිමිනි. එමෙන්ම පසුගිය දෙසැම්බර් 08 වනදා එම ඇත් රජුට පින් පැමිණ වීම පිණිස ගල්ගමුවේ උස්ගල සියඹලංගමුව විහාරස්ථානයේ පැවැති ධර්ම දේනාවේ දී සහ ඊට පසුදින පැවැති සඟගත දක්ෂිනාවේදී තම දරුවකු මියගිය කලෙක මෙන් එම ඇත් රජුගේ ගුණ කියමින් එහි ගැමියන් හඬා වැටෙනු දුටු මා හටද අවස්ථා කිහිපයකදී එම සංවේදී හැඟීම් ආවේග දරාගත නොහැකි වූ බව අවංකවම මෙහි ලියා තැබිය යුතුය. විශේෂයෙන් එම ධර්මදේශනාව සඳහා හේවිසි හොරනෑ හඬ මධ්‍යයේ දේශක ස්වාමීන් වහන්සේ දම් සභා මණ්ඩපයට වැඩම කරන අවස්ථාවේ එහි රැඳී සිටි තරුණ, බාල, මහළු, ස්ත්‍රී, පුරුෂ සෑම අයකුගේම දෙනෙත් කඳුළින් බර වී තිබෙනු සහ ඉන් කොටසක් සංවේගය දරාගත නොහැකිව ඉකිලමින් හඬා වැටෙනු මම හොඳහැටි දැක ගත්තෙමි. මේ අතර මෙම පින්කම මුල්කොට නෙත් එෆ්.එම්. ගුවන් විදුලිය මගින් සහ කොළඹ කෙයිසර් වීදියේ ක්‍රිස්ටල් පැලස් සුපර් මාර්කට් හි එස්.එම්.එල්. ට්‍රේඩර්ස් අධිපති එස්.එම්. ලෙස්ලි සේනාරත්න මහතාගේ මූල්‍ය පරිත්‍යාග වලින් එම හස්තියාගේ වර්ණ ඡායාරූප දෙකක් එහි රැස්ව සිටි පිරිස අතරේ බෙදා හරින ලදි. එහිදී ඊට දායක වූ නෙත් එෆ්.එම්. ගුවන් විදුලියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චරිත් සුද්දචාරී මහතා පවසා සිටියේ එහි රැස්ව සිටි ගැමියන් එම ඡායාරූප දරුවකු වඩා ගන්නාක් මෙන් දෝතින්ම ගත් අතර ඉන් සමහරෙකු එය ළමැදෙහි හොවාගෙන හඬා වැළපුණු බවය.  මෙම කුරිරු ඝාතනය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට පත්ව හිඳින සැකකරුවන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස පසුගිය ජනවාරි09 දා ගල්ගමුව ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා මහව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නිහඬ විරෝධයක් පළ කළහ. ඒ එම සැකකරුවන් එදින මහව මහේස්ත්‍රාත්වරයා හමුවට පත් කරන ලද අවස්ථාවේදීය. එහිදී ඉන් එක් සැකකරුවකුට පමණක් ඇප ලැබුණු අතර සෙසු සැකකරුවන් හත්දෙනා ජනවාරි 23 දා තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. 
ගල්ගමුවේ ඇත් රජුට පින් පැමිණවීම පිණිස සිදු කරන ලද පින්කමේ දී ප්‍රදේශවාසීන් අතර බෙදාහැර ඇති සෑම ඡායාරූපයක්ම පාහේ අදත් ඔවුන්ගේ නිවෙස්වල ප්‍රදර්ශනය කෙරෙන බව ගල්ගමුව උස්ගල - සියඹලංගමුව ග්‍රාමයේ ප්‍රජා ක්‍රියාකාරිකයකු සේම පරිසරවේදියකු සහ සත්ව හිමිකම් ක්‍රියා ධරයකු වන ක්‍රිශාන්ත නන්දසේන මහතා කියයි. ඔහු පවසනුයේ එම ප්‍රදේශයේ ඇතැමුන් එම ඇත් රජුගේ ඡායාරූපය නිවසේ බුදු පහනට යටින් ප්‍රදර්ශණය කෙරෙන බවය. ඒ සම්බන්ධයෙන් කරුණු විමසූ ක්‍රිශාන්ත මහතාට ඒ ගැමියන් දී ඇත්තේ මෙබඳු පිළිතුරකි. 
“අපි හැමදාම බුදුන් වඳිනකොට මෙයාව මතක් වෙන්න තමයි ඔය පින්තූරෙ ඔතනම අලවලා තියෙන්නේ. අපි දැන් බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරන්නේ එකම එක දෙයයි” එසේ පැවැසූ ගැමි ලියක ඉනික්බිතිව පැවැසූ දෙයින් තමන්ටද කඳුළු සඟවාගත නොහැකි වූ බව නන්දසේන මහතා කියයි. 
“අපි දැන් ප්‍රාර්ථනා කරන්නේ මීට පස්සේ නම් මෙයාට මේ තිරිසන් මිනිස්සු අතරේ උපදින්න ඉඩක් ලැබෙන්න එපාම කියලයි.”
 
තිලක් සේනාසිංහ 

නිදන් සොරුන් විසින් ඝාතනයට ලක් වූ ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියාට පින් පිණිස පසුගිය දෙසැම්බර් 08, 09 යන දෙදින තුළ ගල්ගමුව ප්‍රදේශවාසීන් විසින් ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කොට තිබිණ. එම සද්දන්තයා වැඩිපුරම ගැවසුණු බව පැවසෙන උස්ගල සියඹලංගමුව වැව් ඉස්මත්තේ පිහිටි විහාරස්ථානයේදී දෙසැ. 08 දා රාත්‍රී ධර්ම දේශනාවක් පැවැත්වුණු අතර ඊට පසුදින එම විහාරස්ථනයේ දීම මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි. මේ අතර වසර හතක් පුරා ගල්ගමුව ප්‍රදේශයේ සැරිසැරුවද කුරා කුහුඹුවකුටවත් අනතුරක් හානියක් සිදු නොකළ එම සද්දන්තයාට සිදු කළ අපරාධය මුල් කොට එම වැව් ඉස්මත්තේ පිහිටි පෞරාණික පළු ගස් සෙවණේදී දේව කන්නලව්වක් ද සිදු කරන ලදී. ප්‍රදේශයේ වියපත් ඇදුරකු විසින් මෙහෙය වන ලද එම කන්නලව්වේ දී එම ප්‍රදේශයට අරක් ගත් බව ජන විශ්වාසයේ එන අයියනායක දෙවියන්ගෙන් අයැද සිටින ලද්දේ උන්වහන්සේගේ වාහනය වන කළු හස්තියා සංකේතනය කෙරෙන ඇත් රජුට මෙම අපරාධය සිදු කළ සතුරන් සැතිරියන් හට දරුණු වධහිංසා පමුණුවන ලෙසය. අපගේ චිරාගත බෞද්ධ සම්ප්‍රදායන්ට තරමක් දුරට පටහැනි වුවත් මෙබඳු පළිගැසීම් ශාප කිරීම්වලට නුවර කලාපයේ සහ වන්නිහත්පත්තුවේ ජන ආගම තුළ ප්‍රධාන තැනක් හිමිව තිබේ. ගුප්ත බලය පසෙක තිබියදී කිසියම් අසාධාරණයකට ලක් වූවකුගේ හෝ පිරිසකගේ මානසික ආතතීන් ඇතුළු භාවයන් මුදාහරින සමාජ මනෝ චිකිත්සාවක් ලෙසද මෙම දේව කන්නලව්ව තුළ යම් වැදගත්කමක් පවතී.
බුදුදහම ඇතුළු ලොව දියුණු ආගම් කිහිපයකින් සත්ව ඝාතනය ඉඳුරාම ප්‍රතික්ෂේප කෙරේ. ඒ අතර සෙසු බොහෝ ආගම්වලින්ද ආහාර ආදී මිනිස් අවශ්‍යතා මත මිස නිරර්ථක ලෙස සතුන් ඝාතනය කිරීම අනුමත නොකෙරේ. එහෙත් සෙසු සතුන් ඝාතනයට සාපේක්ෂව අලි ඇතුන් ඝාතනය බිහිසුණු පළවිපාක දෙවන්නක් බව අපගේ ජන විඥානයේ සඳහන් වෙයි. 
ඒ සම්බන්ධයෙන් මෑත ඉතිහාසයෙන් උපුටා ගත හැකි හොඳම නිදසුන ඉංග්‍රීසි යටත් විජිත සමයේ මෙරට උප දිසාපතිවරයෙකු ලෙස කටයුතු කළ මේජර් තෝමස් විලියම් රොජර්ස්ගේ අකල් මරණයයි. 
ඉංජිනේරු ශිල්පය පිළිබඳ හැදෑරීමක් කොට තිබූ රොජර්ස් ශ්‍රී ලංකාවට පැමිණෙනුයේ 1824 වසරේය. එවකට ඔහුගේ වයස අවුරුදු විස්සකැයි කියනු ලැබේ. එවකට කොළඹ නුවර මහා මාර්ගය ඉදිවෙමින් පැවැති අතර රොජර්ස් එම ඉදිකිරීම් භාර ප්‍රධාන ඉංජිනේරු මේජර් තෝමස් ස්කිනර්ගේ හොඳම සහායකයා ලෙස ක්‍රියාකර ඇත. උඩරට මාර්ග පද්ධතිය පුළුල් කිරීමේ ක්‍රියාන්විතයට දුන් දායකත්වය නිසා 1944 වසරේ දී රොජර්ස් බදුල්ල සහකාර දිසාපති සහ දිසා විනිසුරු ලෙසද පත් කරන ලදී. 
මෙවක ශ්‍රී ලංකාව පාලනය කළ ඉංග්‍රීසි නිලධාරීන් විවිධ විනෝදාංශ ප්‍රිය කළ අතර රොජර්ස්ගේ ප්‍රියතම විනෝදාංශය වූයේ අලි ඇතුන් දඩයම් කිරීමය. අලි ඇතුන් ගැවසෙන වනපෙත් වලට ගොස් තමන් ඉදිරියට පැමිණෙන අලියකු හෝ ඇතෙකු ඉලක්ක කොට කුම්බස් තලයට වෙඩි තබා එම හස්තියා තමන් ඉදිරියේ ඇද වැටෙනු බලා සතුටුවීම ඔහුගේ විනෝදාංශය විය. ඒ අනුව ඔහු විසින් ඝාතනය කරන ලද අලි ඇතුන්ගේ සංඛ්‍යාව එක්දහස් හාරසියයක් පමණ වෙතැයි වාර්තාවල සඳහන් වෙයි. 
මේ අතර  හම්බන්තොට දී රොජර්ස් වෙතින් වෙඩි පහරක් කා වියරු වැටුණු අලියකු මරු විකල්ලෙන් විත් රොජර්ස්ට පහර දීම මත ඔහුගේ දකුණු අත දෙපළකින් කැඩී ඉළඇට කීපයකට ද තුවාල සිදුවිය. ඒ සමගම අලියාද එතැනම වැටී මිය ගිය අතර ඉන්පසු රොජර්ස් ආබාධිතයකු වූ බව පැවසෙයි. මෙම සිදුවීමෙන් පසු රොජර්ස් අලි ඇතුන් දඩයම මුළුමනින් නතර කොට දැමූ බව සඳහන් වන අතර ඉන් වසරකට පසු ඔහු හදිසියේ මියගොස් තිබේ. ඒ හපුත‍ලේ තානායමේ ආලින්දයේ සිටියදී අකුණු පහරක් වැදීමෙනි. ඊට හේතුව ඔහුගේ මෙම අලි ඇතුන් දඩයම පිළිබඳ අසා දැනගත් මන්ත්‍ර ශාස්ත්‍රයේ නියුතු හිමිනමක හෙණ හතක් වැදිය යුතු බවට ඔහුට කළ ශාපයක් බවද පැවැසෙයි. කෙසේ හෝ ඉන්පසු නුවරඑළිය ගේ‍රගරි වැව ආසන්නයේ පිහිටි දේවස්ථාන භූමියේ ඔහුගේ සිරුර මිහිදන් කොට ඇති අතර ඉන්පසු නිරන්තරයෙන්ම ඔහුගේ සොහොන් ගැබ වෙත අකුණු පතිත වන බවද කියනු ලැබේ. 
 
තවත් කොටසක් ලබන සතියේ 
 
තිලක් සේනාසිංහ 

“අලි මිනිස් ගැටුම”  මේ මෑතක සිට මාධ්‍යය මගින් අපට මනාව හුරු පුරුදු කොට ඇති වදනකි. අලි මිනිස් ගැටුම යනු අප රටට පමණක් සීමා වූවක් නොවේ. එය ආසියා අප්‍රිකා මහාද්වීපයන් හි වනගත සහ ග්‍රාමීය ප්‍රදේශවල මිනිසුන් සේම අලි ඇතුන් ද එකසේ මුහුණ පාන ගැටලුවකි. එනිසාම අන්තර්ජාතික වන සත්ව අරමුදල (WWF) ආදී සංවිධාන මගින් මෙම අලි මිනිස් ගැටුම සදහා විසඳුම් ද ඉදිරිපත් වෙමින් පවතී.

නමුත් ලෝකයේ මහාද්වීපය දෙකක ඇතැයි කියන මෙම අලි මිනිස් ගැටුමේ ස්වභාවය රටින් රටට සහ ජන සමාජයෙන් සමාජයට වෙනස්ය. නමුදු මතෛක් ඒ සම්බන්ධයෙන් විධිමත් සමාජ මානව විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුවී නොමැති බව මගේ වැටහීමය.

අලි මිනිස් ගැටුම යන වදන සමාජයේ ඉස්මතු වූ ලෙසින් අලි මිනිස් සහජීවනය යන්න වදන ඉස්මතු නොවීම පුදුම සහගතය. නමුත් අද මෙන් හය හත් ගුණයක වනාන්තර සහ අලි ඇතුන් ගහනයක් පැවැති අතීතයේ සිට මෙරට අලි මිනිස් සහජීවනයක් පැවැත තිබූ බව ඒකාන්ත සත්‍යයකි. එහෙත් ඒ සඳහා හේතු වූ කරුණු පිළිබඳ මතෛක් පැහැදිලි අනාවරණයක් වී ඇති වගක් මම නොදනිමි.

අලියා, ඇතා ශ්‍රී ලාංකීය ජන විඥානය තුළ ප්‍රබල ආධ්‍යාත්මික සංකල්පයකි. මහ බෝසතුන් කුස පිළිසිඳ ගැනීම සංකේතනය කිරීම පිණිස මහා මායා දේවිය දකිනුයේ සො¾ඩින් නෙළුමක් ගත් සුදු ඇත් පැටයකු තම දකුණු ඇලයෙන් කුස තුළට ඇතුළුවීම පිළිබඳ සිහිනයකි. එමෙන්ම පාරලෙයිය වනයේදී බුදුන් වහන්සේට ඇප උපස්ථාන කළ ඇතකු සම්බන්ධ කතා පුවතක් ද බෞද්ධ සාහිත්‍යයේ එයි. බුදුන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව දක්වා ඇති උපමා අතුරින් හස්ති රාජ උපමාවද ප්‍රධාන තැනක් ගනී.

අපගේ ජන සංස්කෘතියට අනුව සමන් දෙවියන්ගේ වාහනය සුදු ඇතෙකි. මහනුවර යුගයේ පමණ සිට අප ජන සමාජයේ අතිශය ජනප්‍රියත්වයට පත් ගණ දෙවියන්ගේ රූපය වශයෙන් දක්වා ඇත්තේ එක් දළයක් සහිත ඇතෙකි. මෙවන් තත්ත්වයක් යටතේ විශේෂයෙන් සමන් දෙවියන්ගේ අඩවිය වශයෙන් සුප්‍රකට සබරගමු පළාතේ ගැමියන් තුළ අලි ඇතුන් පිළිබඳ සුවිශේෂ ගෞරවාදරයක් පවතින බව නොරහසකි. ඔවුන්ගේ පාරම්පරික විශ්වාසයනට අනුව සබරගමුවේ වැසියන්ට අලි ඇතුන්ගේ දුක් පීඩා කරදර හිරිහැර සිදු වන්නේම නැති තරම්ය. ඊට හේතුව සමන් දෙවිඳුන්ගේ කරුණාව එම සද්දන්තයන් වෙතටද සම්ප්‍රේෂණය

වී ඇතැයි සබරගමු ගැමියන් විශ්වාස කිරීමය. එහෙත් මෙම තත්ත්වය ඊට වඩා යථාර්ථවාදී ලෙස විස්තර කළහොත් එය මෙලෙස විස්තර කළ හැක.

1. අලි ඇතුන් වෙසෙන රජරට, නැගෙනහිර, දකුණ ඌව සහ මහවැලි කලාපයන්ට සාපේක්ෂව මධ්‍යම සහ සබරගමු කලාපයන් හි වන අලි ගහනය අවම වීම.

2. මධ්‍යම සහ සබරගමු පළාත්වල වන ගහනයන්ට ජු හානිකර බලපෑම් සිදු කෙරෙන ඊනියා සංවර්ධන ව්‍යාපෘතීන් අවමවීම මත වන අලින්ගේ සාම්ප්‍රදායික වාසභූමි මඳ වශයෙන් හෝ ආරක්ෂා වී තිබිම.

3. රළු භූ විෂමතා ලක්ෂණ හේතුවෙන් වන අලින්ගෙන් ආරක්ෂාවීමේ පහසු හැකියාවක් එම ප්‍රදේශවල ගැමියන්ට උරුම වී තිබිම.

4. අලිවැට තැනීම, අලි වෙඩි යෙදීම වැනි වන අලින්ගේ සාම්ප්‍රදායික චර්යාවන්ට එරෙහි මානව ක්‍රියාකාරකම් දිවයිනේ සෙසු ප්‍රදේශ වලට සාපේක්ෂාව අවම වීම හා එමගින් අලි ඇතුන් කුපිත කරවීමෙන් වැළකී සිටීම.

සබරගමුවේ පවත්නා මෙම අලි මිනිස් සහජීවන රටාවට වඩා යම් යම් විෂම ලක්ෂණ පෙන්නුම් කළ ද වන අලින් වෙසෙන දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසියන් තුළ ද වන අලින් පිළිබඳ බද්ධ වෛරයක් කෝන්තරයක් නොමැති බවට මේ සටහන තුළින් සහතික වීමට මට පුලුවන.

වන අලින් පිළිබඳව ගම්වැසියන් තුළ පවත්නා කෝපයට, නොරිස්සුමට සහ අරුචියට ප්‍රධාන හේතු තුනක් තිබේ.

ඉන් පළමුවැන්න තමන්ගේ ජීවිත සහ දේපළවලට හානි පැමිණවීම සහ බෝග වගාවන් විනාශ කර දැමීමය. එහෙත් තම ගම් බිම්වලට වන අලින් කඩා වදින්නේ වසර සිය දහස් ගණනක් තිස්සේ උන් රැකගත් පාරම්පරික උරුමය අනුව බවත් අතීතයේ වන අලින් ජීවත් වූ වන කලාපයන් හි දිගින් දිගටම මිනිස් ජනාවාස ඉදිවීම මත වන අලින්ට තම සාම්ප්‍රදායික සුපුරුදු චර්යාවන් පවත්වා ගැනීමට ඇති නොහැකියාව මත බවත් වන අලින්ගෙන් උපද්‍රවයන්ට ලක්වන සෑම ගම්වැසියෙක්ම දනිති.

සාමාන්‍යයෙන් එක් වන අලියකුගේ ගොදුරු කලාපය වර්ග කිලෝමීටර් පනහේ සිට එකසිය පනහ දක්වා වන බව පර්යේෂණ මගින් හෙළිදරව් වී තිබේ. අක්කර වශයෙන් ගත්විට එය අක්කර දොළොස් දහස් තුන්සිය පනස් පහේ සිට අක්කර තිස් හත් දහස් හැට පහක් පමණ දක්වා පැතිරුණු බිම් ප්‍රමාණයකි. වන අලියකුට තමන් සතු මෙම ස්වභාවික පැවැත්ම හුදෙක් වනාන්තරයක් තුළදීම රැක ගත නොහැකි බව වන අලින්ගේ බලපෑමට නතුවූ සෑම පෙදෙසකම ගැමියෝ පිළිගනිති. වන අලියකු හෝ අලි රංචුවක් ගම්වැද තම ජන ජීවිතයට දරාගත නොහැකි බලපෑමක් සිදු කළවිට මහා මාර්ගයට කඩා වැදී ඊට විරෝධය පළ කරන

ගැමියන් ගේ රූප රාමු සහ ප්‍රකාශ ඔබ මාධ්‍යයන් මගින් කොතෙකුත් දැක තිබෙන්නට පුලුවන. එහෙත් ඔවුන් බලධාරීන්ට එලෙස හඬ නගා කියනුයේ තමන් ජීවත්වන පරිසරයෙන් මෙම වන ඇතුන් සඳහටම තුරන් කර දැමීමට කියා නොවේ. අලි මිනිස් ගැටුම නතර කොට අලින්ටත් මිනිසුන්ටත් දුකකින් කරදරයකින් තොරව ජීවත්විය හැකි සහජීවන පිළිවෙතක් හඳුන්වා දෙන ලෙස කියමිනි.

පසුගිය නොවැම්බරයේ ඇත් දළ සොරුන් විසින් කෲර ලෙස ඝාතනයට ලක්වූ ගල්ගමුවේ දල පූට්ටුවාගේ මරණයෙන් පසු එම ප්‍රදේශයේ වැසියන් වන අලින් කෙරෙහි අතිශය සංවේදී වී ඇති බවට නොරහසකි. කිසිදු මිනී මැරුමක් සිදු කොට නැතත් ගැමියන්ගේ නිවාස කඩා දැමීම් සහ වගා පාළු කිරීම් ආදී චෝදනා රැසකට වග උත්තර කරුවා වූ ගල්ගමුවේ තනි දලයා, ඒකදත්ත සහ චණ්ඩි  නමින් හඳුන්වන හස්තියා හෙරොව්පතාන අලි රැඳවුම වෙත පසුගිය දෙසැම්බර් 17දා රැගෙන යන විට ගම්මුන් ඒ සද්දන්තයාට කොමඩු, බඩඉරිඟු ආදියෙන් සංග්‍රහ කරන ලද්දේ ඒ සතාට කිසියම් වරදකට හසුව බන්ධනාගාර ගත කරන තම සමීප ඥාතියකුට සේ සලකමිනි. එහෙත් වර්ග කිලෝමීටර් දහයක් පමණ වන එම වන අලි රැඳවුම තුළ වෙසෙන සෙසු වන අලින්ගෙන් එල්ල වන ප්‍රහාර දරාගත නොහැකි නිසාදෝ එම හස්තියා පසුගිය දෙසැම්බර් 21වන දින එම අලි රැඳවුමේ ආරක්ෂිත වැටද බිඳ පිටතට පැන ගත්තේය.

මෙම ප්‍රවෘත්තිය දිවයිනේ සෑම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයකම පළවූ අතර එම ප්‍රවෘත්තිය පළවූ එක් සමාජ ජාල වබේ අඩවියක ගල්ගමුවේ තරුණියක විසින් පළකොට තිබූ මෙම ප්‍රතිචාරය දැක දෙනෙත් උණුසුම් වන අයුරක් මටද හැඟිණි.

එම ප්‍රතිචාරය වූයේ “පරිස්සමින් ගෙදර එන්න”යන්නය.

තවත් තොරතුරු ලබන සතියේ

තිලක් සේනාසිංහ


පසුගිය නොවැම්බරයේ ඇත් දළ සොරුන් විසින් ගල්ගමුවේ දළ පූට්ටුවා කුරිරු ලෙස ඝාතනය කළ පුවත කන වැකෙත්ම ගල්ගමුව හා ඒ අවට බොහෝ දෙනෙක්  අතිශය කම්පාවට හා සංවේගයට පත් වූහ. ඒ තම පවු‍ලේ සමීපතමයකුට අත් වූ එවන් ඛිෙදනීය ඉරණමක දී මෙනි.
අලි මිනිස් ගැටුම යනු මිනිසුන්ගේ සහ වන අලි ඇතුන්ගේ  චර්යාවන් මුල්කොට වරින් වර ඇති නැති වී යන තත්ත්වයකි. මෙම අලි මිනිස් ගැටුම වඩාත් සරල ලෙස විග්‍රහ කළහොත් එය බොහෝ දුරට උපමා කළ හැක්කේ ගෙවල් දොරවල්වල එදිනෙදා  ඇති වී නැති වී යන පවු‍ලේ අඬ දබර ගණයටය. ඇතැම් පවුල්වල සාමාජිකයන් එකිනෙකා මරා ගන්නට වෙර දරණු බාහිර සමාජයට පෙනෙයි.  එහෙත් එම පවු‍ලේ  සාමාජිකයකුට මුහුණදීමට සිදුවන ප්‍රබල ඛිෙදවාචකයකදී එම අඬ දබර ඉබේම නතර වනු පෙණේ. එපමණක් නොවේ  එම සාමාජිකයාට විරුද්ධකම් පෑ සාමාජිකයෝද පැරණි වාද බේද  නොහොඳ නෝක්කාඩුකම් අමතක කොට එම අසරණ වූ සාමාජිකයාගේ පිහිටට එති.
වන අලින් වෙසෙන සෑම ප්‍රදේශයකම වන අලියකුට කුමක් හෝ විපතක් සිදු වූ විට ගම්මුන් ක්‍රියා කරනුයේද ඉහත සඳහන් ආකාරයටය.  එම පුවත සැලසූ සැනින් ගම්මු තමන්ගේ එදිනෙදා සියලු වැඩකටයුතු නතරකොට එම ස්ථානයට රැස්වෙති. ඉන්පසු ඔවුන් තමන් සතු ජංගම දුරකථන ආදියෙන්  119 ‍පොලිස් හදිසි දුරකථන ඇමැතුම් අංශයට සහ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙනුයේ එය තමන්ට සිදු වූ විපතක් ලෙස සලකමිනි. එමෙන්ම එම වන අලියාට ගැලවුමක් නිදහසක් හෝ ආරක්ෂාවක් , රැකවරණයක් ලැබෙන තුරු ගම්මු තමන්ගේ  නිවෙස්වල  ඉවුම් පිහුම් කටයුතු පවා නතර කොට එම වන අලියාට රැකවල් සලසති. කිරිබොන වයසේ කුඩා දරුවන් හිඳින තරුණ මව්වරුන් එවන් අවස්ථාවල අසරණ වූ වන අලියා හිඳින තැනට පැමිණ ගස් යට වාඩි වී තම අතේ හිඳින දරුවන්ට කිරි ‍පොවමින් පැය ගණන්, වරු ගණන්  නිරාහාරව හිඳින අයුරු මම කොතෙකුත් නිරීක්ෂණය කොට ඇත්තෙමි.
ශ්‍රී ලංකාවේ සමස්ත වන අලි ගහනය ආසන්න වශයෙන් හය දහසක් පමණ වෙතැයි කියනු ලැබේ. ඉන් දළ ඇතුන්ගේ ප්‍රමාණය ඉන් සියයට පහක් එනම් තුන්සියයක් පමණ වෙතැයි කියනු ලැබේ. ඔවුන් අතරිනිදු දෙදළ එකට යා වූ ඇතුන් හෙවත් දළ පූට්ටුවන් හිඳිනුයේ තිහක් හතළිහක් පමණකැයි විශ්වාස කෙරේ. එම දළ පූට්ටුවන් අතුරින් යාල වනයේ විසූ වලස්කෙම දළ පූට්ටුවාට හිමිවනුයේ සුවිශේෂ තැනකි. මීට දශක කිහිපයකට ඉහත ඇත්දළ සොරුන් විසින් ඝාතනය කරන ලද වලස්කෙම දළ පූට්ටුවාගේ රුව අද වනවිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ලාංඡනයට ඇතුළත්ව තිබේ. මීට අමතරව පානම ලොකු පූට්ටුවා ආදී වශයෙන් ජනතාව විසින් නම් තබන ලද දෙදළ එකට සම්බන්ධ වූ දළ පූට්ටුවන් කිහිප දෙනෙක් පිළිබඳවම වාර්තා තිබේ.
ඔවුන් අතරින් අපගේ මාතෘකාවට බඳුන්වන ගල්ගමුවේ දළ පූට්ටුවා සුවිශේෂ  හස්තියෙකි. එවක වයස අවුරුදු හතළිහක් පමණ වූ මෙම සද්දන්තයා මුල්වරට ගල්ගමුව ප්‍රදේශයෙන් මිනිස් සමාජයට කලඑළි බසිනුයේ 2010  වසරේදී පමණය. ඒ එක් ඇසක්  අන්ධ වූ ඇතකු ලෙසිනි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පරිසරවේදීන්ගේ නිරීක්ෂණවලට අනුව එම සද්දන්තයාගේ එක් ඇසක් අන්ධවීමට හේතුව  ඊට පෙර යුගයක වෙඩි පහරකට ලක්වීමය. උසින් අඩි නවයක් සහ බරින් කිලෝ හාරදහසක් පමණ වන මෙම දැවැන්තයා මිනිස් වාසයට පැමිණ ඇත්තේද 'රෝගියකු' ලෙසිනි. ඊට හේතුව වනවිටද මිනිස් වෙස් ගත් තිරිසනුන්ගෙන් එල්ල වූ වෙඩි ප්‍රහාරවලින්  සිරුර තුළට කා වැදුණු ඊයම් බරු විශාල ප්‍රමාණයක් තිබිම නිසාය.
එමෙන්ම එම කාලය තුළ බඳින ලද තුවක්කුවකින් පසුපස පාදයකට වැදුණු වෙඩිල්ලක් හේතුවෙන් පසුපස වම් පාදය බරපතළ හානියට ලක්ව තිබූ අතර ඒ වනවිට එම තුවාලය ඔඩු දුවා තිබූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කොට තිබිණ. මිනිස් සමාජයට ආභරණයක් සේ පෙනෙතත් ඇතුන්ට තම දළ යුවල එක්තරා අන්දමක වදයකි, කරදරයකි. ඒ සාමාන්‍ය අලියකුට  සාපේක්ෂව ඇතකුට දළ යුග‍ලේ බර නිසා හිස ඔසවාගෙන සිටීමට විශේෂ  ආයාසයක් ගත යුතු බැවිනි. ඒ කෙසේ හෝ  මුළු රටේම හිඳින දළ පූට්ටුවන් අතරින් සුවිශේෂත්වයට පත් මෙම සද්දන්තයා පසුපස වම් පාදය නිසා හරිහැටි ඇවිද ගැනීමටවත් නොහැකි තත්ත්වයක් මත ඔහු කෙසේ හෝ සුවපත් කිරීමේ වගකීම 2014 වසරේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව  භාර ගෙන ඇත්තේ සුවිසල් අවදානමක්ද  සමගිනි.
වත්මන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (වෛද්‍ය) පශු වෛද්‍ය  තාරක ප්‍රසාද් පැවැසූ පරිදි දළ පූට්ටුවාගේ වයස සහ බර අනුව  සතා නිර්වින්දන කිරීම අතිශය අවදානම් සහගත බව  නිගමනය වී තිබේ. ඊට හේතුව ඒ හේතුවෙන් වුව සතා මිය යා හැකිව තිබූ බැවිනි. කෙසේ හෝ පසුව වනජීවී සංරක්ෂණ දෙපර්තමේන්තුවේ බි. විජිත පෙරේරා සහ චන්දන ජයසිංහ යන පශු වෛද්‍යවරුන් දෙපළගේ අතිමහත් උනන්දුව හා කැපවීම මත දළ පූට්ටුවාගේ පාදයේ ඇති ඔඩු දුවා තිබූ තුවාලයට  සැත්කමක් සිදුකොට  තිබූ අතර ඉන්  ඔහුට තරමක සුවයක් ලැබි තිබිණි. මෙම දළපූට්ටුවා කිසිදු රුදුරු බවකින් තොරව ගල්ගමුව හා අවට ගම්මානවල ගැමියන් හා සුහදශීලී දිවිපවෛතකට මුල පුරා ඇත්තේ මිනිස් වෙස්ගත් කුරිරු තිරසනුන් වෙතින් එල්ල වූ එවන් බරපතළ ආපදාවකටද ලක්වීමෙන් පසුවය. සාමාන්‍යයෙන් අලි ඇතුන් තමන්ට සිදුවන වදහිංසා සහ කෙනෙහෙළිකම්   සිහියේ තබාගෙන වසර ගණනාවකින් හෝ ඒවාට සම්බන්ධ වූවන්ගෙන් පලිගැනීමට තරම් මේ අය දියුණු සත්ව කොට්ඨාසයක් බව මෙරට ජන විඥානයේ පවත්නා විශ්වාසයකි. එහෙත් එවන් පසුබිමක මිනිසකු තබා කුරාකුහුඹුවකුගේවත් ජීවිතයට කිසිදු හානියක් සිදු නොකොට ඉතා අවිහිංසක ලෙස මිනිස් වාසයන්හි සැරිසැරූ මෙම සද්දන්තයා මතු බුදුවන බෝසතකු බවට ගැමියන් ද ක්වන අදහසට  එරෙහිවීමට අපට කිසිසේත් නොපුළුවන.
කෙසේ හෝ  මිනිස් වෙස්ගත් තිරිසනුන් විසින් ඇත් දළ ලබා ගැනීම  සඳහා කෲර ලෙස ඝාතනය කළ මෙම බෝසත් ඇත් රජුගේ සිරුර ඉන් සති තුනකට පමණ පසු ‍පොල්පිතිගමට නොදුරු කහල්ල පල්ලෙකැ‍ලේ වන රක්ෂිතයේ තිබි හමුවන විට ඔහුගේ ශරීර මාංශය බොහෝ දුරට දිය වී ගොස් තිබිණ. එහෙත් ඒ සම්බන්ධ එක්තරා විශේෂත්වයක්ද විය. එනම් මීට කලකට ඉහත මිනිස් වෙස්ගත් තිරිසනුන් විසින් තමන් ඝාතනය කිරීම පිණිස බඳින ලද තුවක්කු නිසා දකුණු පස වම් පාදයේ හටගත් තුවාලය සහ කොටස මිනිස් සමාජය වෙත හිතාමතා ඉදිරිපත් කිරීමට මෙම ඇත් රජු වෙරදරා ඇත්තාක් මෙන් එම පාදයේ ඒ කොටස පමණක් සම්පූර්ණයෙන් දිය නොවී සැමට පෙනෙන පරිදි ඉතිරිව තිබිමය..

තවත් කොටසක් ලබන සතියේ

තිලක් සේනාසිංහ

බෝසත් ගුණ සහිත මිනිසුන් පිළිබඳව සේම එවන් උතුම් ගුණ සහිත තිරිසන් සතුන් පිළිබඳවද අපට ඉඳහිට අසන්නට ලැබේ. එම තිරිසන් සතුන් අතරින් අලි ඇතුන් ප්‍රමුඛ වන බව අපට අසන්නට දකින්නට ලැබෙන කරුණුවලින් සනාථ කර ගත හැක. තම වර්ගයාගේ නිදහස උදෙසා සිය කැමැත්තෙන් වෙඩි පහරකට මුහුණ දුන් පනාමුරේ හස්ති රාජයා එවන් බෝසත් ගුණ සපිරි ඇතකු බව ශ්‍රී ලාංකීය ජන විඥානය තුළ තහවුරු වී දැනට දශක හයක්ද ඉක්ම ගොසිනි.

පනාමුරේ හස්තියා ඝාතනයට ලක්වූයේ 1950 වර්ෂයේ අගෝස්තු 09 වැනිදාය. රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න කෝරළයට අයත් ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ෆ්‍රැන්සිස් මොලමුරේට හිමි පනාමුරේ ඇත්ගා‍ලේ දී මෙම ඝා‍තනය සිදුවිය.

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම කථානායකවරයා වූ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේට ඇත්ගාල් උරුම වූයේ සිය පරම්පරාවෙනි.

එහි සිටි සද්දන්ත අලියෙකු තම වර්ගයා එම ඇත්ගාලෙන් මුදවා ගැනීම උදෙසා අභිතව සටන් වදින අතරේ ශ්‍රී මත් ෆ්‍රැන්සිස් මොළමුරේ විසින් යොමු කරවන ලද කදිරගාමර් නම් හමුදා නිලධාරියෙකුගේ වෙඩි පහරට ලක්වීම  පනාමුරේ හස්තියාගේ දැවැන්ත ප්‍රතිරූපය ශ්‍රී ලාංකීය ජාතිකත්වය හමුවේ  මනා සේ ගොඩනැගීමට හේතු විය. ඒ එම හස්තියාට පලායාමට ඉඩ සලසා තිබියදී ඔහු එහිම රැදී සිට තම වර්ගයා උදෙසා ජීවිතය පූජා කළ බැවිනි.

එවන් බෝසත් කුලයට අයත් ඇතෙකු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි තවත් මාහැඟි නිදසුනක් පසුගිය දිනවල කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ප්‍රදේශයෙන් ඉස්මතු විය. ඒ පසුගිය නොවැම්බරයේ දී ඇත්දළ සොරුන් විසින් කෲර ලෙස මරා දමන ලද බෝසත් ගුණ සපිරි ‘දළ පූට්ටුවා’නම් හස්තිරාජයා පිළිබඳවය.

මෙම බෝසත් හස්තියා පිළිබඳ ගුණකාය 'පනාමුරේ හස්තියා' ගේ ගුණකායට නොදෙවෙනි අයුරින් ගොඩනංවා තැබීම වර්තමානිකයන් වන අපගේ ප්‍රබල යුතුකමක් හා වගකීමක් වී තිබේ. මෙම ලිපි පෙළ සැකසෙන්නේ එම මහඟු අරමුණ උදෙසාය.

මිනිසකුට තබා කුරාකුහුඹුවකුටවත් හානියක් විපතක් සිදු නොකළ දළ පූට්ටුවා මහ වනයේ සිට මුල්වරට ගල්ගමුව ප්‍රදේශයේ ජනතාවට දැක ගැනීමට ලැබෙනුයේ 2011 වසරේ දීය. ඉන්පසු ගල්ගමුවේ උස්ගල - සියඹලන්ගමුව වැව ආශ්‍රිත වනයේ ජීවත්වූ මෙම හස්ති රාජයා ප්‍රදේශයේ ගම්මුන් සමග සුවිශේෂී ඥාතිත්වයක් මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට ද විස්මිත අයුරින් සමත් වී ඇත.

ඒ වන විට ද දඩයම් කරුවන්ගේ වෙඩි උණ්ඩ වලින් නිකුත් වූ මූනිස්සන් විශාල ප්‍රමාණයක් ශරීරයේ තිබූ අතර වෙඩි පහරක් වැනි ප්‍රහාරයකින් ඔහුගේ එක් ඇසක් ද අන්ධව තිබිණි. පරිසරවේදී නයනක රන්වැල්ල පවසන අන්දමට දළ පූට්ටුවා මිනිසුන්ට ආදරය කරුණාව මෛත්‍රිය පතුරුවා ඇත්තේ මිනිසුන් වෙතින් එල්ල වූ එවන් තාඩන පීඩන මධ්‍යයේය.

 එනිසාම ඇත්දළ සොරුන් විසින්  මෙම හස්ති රාජයා මරා දැමූ පුවත සැලවීමත් සමග මුළු ගල්ගමුව ප්‍රදේශයම එකම මළ ගෙයක් බවට පත් වූ අයුරුත් කුඩා දරුවන් කාන්තාවන් පමණක් නොව වැඩිහිටි පිරිමින් පවා මෙම හස්ති රාජයාගේ ගුණ සිහිකරමින් හඬා වැටුණු අයුරුත් මෙම සිද්ධිය වාර්තා කිරීමට ගල්ගමුව ප්‍රදේශයට ගිය ජනමාධ්‍යවේදීන්ගේ කැමරාවල සහ පටිගත කිරීමේ යන්ත්‍රවල සටහන් වී තිබේ. ඉන් අනියම් ලෙසින් කියා පෑ රහස වූයේ මෙම සතා තුළ පැවැති බෝසත් ගුණය ගම්මුන්ට මනා සේ වැටහී තිබුණු බවය.  

මේ එම දළ පූට්ටුවා හස්ති රාජයා පිළිබඳව ප්‍රදේශවාසී හිමිවරුන් දෙදෙනෙකු අප වෙත ඉදිරිපත් කළ ඔහුගේ ගුණ සමුදායන් පිළිබඳව තොරතුරුවලින් බිඳකි.

ගල්ගමුව යූ.බි. වන්නිනායක මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති, ඇහැටුවැව, දිවුල්ගනේ පුරාණ දිඹුලාගල රජමහා විහාරාධිපති ගලහිටියාවේ සිරිරතන හිමිපාණෝ,

ඔය දළ පූට්ටුවා මේ පැත්තේ සැරිසරන අනික් අලි ඇතුන්ට වඩා හුඟක් වෙනස්. මේ සතාගේ දළ දෙක පූට්ටුවෙලා තිබිම හින්දා අනික් ඇත්තුන්ට වගේ නිදහසේ හොඬවැල හසුරුවන්න බෑ. ඒ හින්දම මේ සතාට බඩ පුරවා ගන්න සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා. මේ සතා අනික් සත්තු වගේ  රෑට  විතරක් නෙමෙයි දවල්ටත් මේ ගම්මානවල සැරිසරන්නේ ඒ කුසගින්න හින්දම වෙන්න ඇති. ඒ වගේම ඔය දළ පූට්ටුවාගෙන් ගම්මුන්ට යම් වගා හානියක් වුණත් සමහර අලි වගේ වගා පාළු නොකර ඒවායින් ටිකක් කාලා යන ගතියක් ඔය සතාගේ තිබුණා. ඉස්සර අපේ ඉස්කෝ‍ලේ හිටපු මාගල්කඩවල පැත්තේ ටීචර් කෙනෙකුගේ ගෙදරට කීප සැරයක්ම ඔය ඇතා ඇවිත් තියනවා. එතකොට ගෙදර තියන කෙහෙල් ගෙඩියක් වගේ පුංචි දෙයක් දීලා අද උඹට දෙන්න තියෙන්නේ මෙච්චරයි දැන් පලයන් කිව්වම ඔය සද්දන්තයා පුංචි ළමයෙක් වගේ ආපහු හැරිලා යනවා කියලා මේ ටීචර් පහුගිය දවසක ඉකිගහමින් ඇඬුවා. ඒ වගේම ඔය දළ පූට්ටුවා හේනකට, කුඹුරකට බැස්සත් අයිතිකාරයෝ එපා කියපු හැටියේ ආපහු හැරිලා ගියා.

ගල්ගමුව, කංකානියාගම ශ්‍රී සම්බෝධි විහාරාධිපති සංගප්පා‍ලේ අමරවංශ හිමිපාණෝ,

අපේ පන්සල පිහිටලා තියෙන්නේ මහ ගල්ගමුව වැව ඒ කියන්නේ යකාබැඳිවැවට කිට්ටුව. ඔය දළ පූට්ටුවා ඔය වැව වටේ තියන රක්ෂිතයේ නිතරම ගැවසෙනවා. ඔය අතරේ කෑමට යමක් හොයාගෙන මේ ගමටත් එනවා. එතකොට කවුරු හරි මේ සතාට කිව්වොත් උඹ ඇවිත් ඔහොම අපි හිටවපු දේවල් කෑවම අපි අපේ දරුවන්ට කන්න දෙන්නේ මොනවද කියලා මේ සතා කන්න කටට ගත්තු ටිකත් ආපහු බිමට දාලා ආපහු හැරිලා යනවා. මේ දළ පූට්ටුවා ඒ තරමටම අහිංසක සතෙක්. ඒ වගේම මේ සතාගේ ඇඟ ඇතුළේ එක එක කාලවල දී ඇතුල්වෙච්ච මූනිස්සම් කිලෝ ගාණක් මරණ පරීක්ෂණයේ දී හොයාගෙන තියෙනවා. මේ සතා මැරෙන කල්ම කරුණාවන්ත වුණේ ඒ වගේ තිරිසන් වැඩ කරපු මිනිස් සමාජයකට. ඒ වගේම මේ සතා අපේ පන්සල් වතු වලට ‍ඕනෑතරම් ඇවිත් තියනවා. නමුත් බැරි වෙලාවක්වත් පන්සල්වත්තක තියෙනවා කෙසෙල් පඳුරකටවත් හානියක් කරලා නැහැ.  මම පෞද්ගලිකව විශ්වාස කරනවා දළ පූට්ටුවා කියන්නේ මතු බුදුවෙන්න පෙරුම් පුරන බෝධිසත්වයෙක්  කියලා.

තවත් තොරතුරු බලාපොරොත්තු වන්න,

පසුබිම් වාර්තා - චන්ද්‍රරත්න ඉලංගකොන් - ගල්ගමුව

 

 

 

 

IMAGE

කසාද බැඳලා දරුවොත් ඉන්න ඇය මේ කතාව කාටවත් කියන එකක් නැහැ

IMAGE 2018 Feb 18 12:57
අද වන තුරු කාටවත් නොකී රස රහසක් මගේ ජීවිතය තුළත් තියෙනවා. ඇත්තටම ඒ රහස මම ඇර තව එක්කෙනයි දන්නේ....
Views - 1779

ලංකාවේ සුපිරි ධනවතාගේ කෝටි 16 මෝටර් රිය

IMAGE 2018 Feb 18 12:00
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන වේදිකාවේ බොහෝ දේ කතාබහ කෙරුණි. මිල අධික ලැම්බ්‍රෝගිනි මෝටර් රථද ඒ...
Views - 1666

මට දැන් තාත්තා ගැන තියෙන්නේ අනුකම්පාවක් විතරයි

IMAGE 2018 Feb 18 10:28
ආචාර්ය  වික්ටර් රත්නායකයන්ගේ පුතුන් දෙදෙනා වන ජයන්ත සහ ලෙලුම් ගැන අද වෙද්දී මුළු රටම...
Views - 1949

මනාලයාගේ 'දෙනෙත් උඩ රැන්දූ' මනාලියගේ රැකියාව

IMAGE 2018 Feb 16 12:26
අනුරාධපුරයට ආසන්න නිකැලැල් චරිතවත් යුවතියක සඳහා මනාලයෙකු සොයන බව මීට සති කිහිපයකට ඉහත ඉරිදා...
Views - 7448

හෙදිය සමූහ දූෂණයට විනයාරක්ෂක කපිතාන් අල්ලයි

IMAGE 2018 Feb 14 23:55
රංචු ගැසී පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලීසියට...
Views - 5833

ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

IMAGE 2018 Feb 14 13:39
මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම  සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට...
Views - 3509

Please publish modules in offcanvas position.