lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

අනුරපුර නගරය තුළ සැඟවුණු ඉපැරණි සෙනසුන

උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාශයේ, අනුරාධපුර ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අනුරාධපුර නගරයේ සිට කි.මී. 1/4ක් පමණ ගමන් කළ පසු ප්‍රධාන මාර්ගයට දකුණු පසින් තෙළුවිල නම් වන මෙම ස්ථානය පිහිටා ඇත. මෙම ස්ථානය රාම කැ‍ලේ මාලිගය නමින් ද හඳුන්වනු ලැබේ. එහෙත් මෙය ක්‍රිස්තු වර්ෂ 05 වන සියවසට පමණ අයත් බෞද්ධ විහාර සංකීර්ණයක් බව පුරාවිද්‍යාත්මකව හඳුනාගෙන ඇත.

මෙම භූමි ප්‍රදේශය “රාම කැ‍ලේ” යනුවෙන් හැඳින්වීමට අතීතයේ මෙහි රාම කුමරු සතු මාලිගාවක් පැවැති බවට පැතිර ඇති ජනප්‍රවාද හා සබැඳුණු පුරාවිද්‍යාත්මක සාක්ෂි කිසිත් නැත. එනිසා ඒ සම්බන්ධ සැඟවුණු යට ගියාව විමසනු පිණිස එම ජනශ්‍රැති මුල් කොට වෙනම මානව විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතුය.

බැලු බැල්මට වර්තමානයේ හිස් බිම්කඩක් ලෙස දිස් වුවද අතීත ‍ප්‍රෞඪ උරුමය මොනවට කියාපාන මෙය මධ්‍ය අනුරාධපුර යුගයට අයත් දියුණු පබ්බත විහාර සංකීර්ණයකි. ඉතා වේගයෙන් දියුණු වන අනුරාධපුර නගරයේ මෙබඳු පුරාවිදු උරුමයන් හැකිලීමට ලක්ව තිබීම ජාතික ඛේදවාචකයකි. මේ වන විට මෙම රක්ෂිතය අක්කර 35කට පමණ සීමාවී ඇත. පූර්ණ වශයෙන් කැණීම් කටයුතු හෝ ගවේෂණ කටයුතු සිදුකර නොමැති හෙයින් ස්ථානයේ පුරාවිද්‍යාත්මක තොරතුරු අනාවරණය වී ඇත්තේ සුළු වශයෙනි. ලිඛිත මූලාශ්‍රවලින් ද තොරතුරු සොයා ගැනීම අපහසු වී ඇත. මෙයට හේතුව මහාවංසය වැනි ග්‍රන්ථ ථෙරවාදී මහා විහාරික භික්ෂූන් අතින් රචනා වීමත් එම වාර්තා ප්‍රධාන විහාරස්ථාන වටා පමණක් නිර්මාණය වීමත් මෙම ස්ථාන ඇතුළු නුවරට පිටතින් හුදකලාව සංවර්ධනය වූ විහාරාරාම වීමත් විය හැක.

මූලාශ්‍රගත තොරතුරු විරල වීමට තවත් හේතුවක් වශයෙන් විද්වතුන් දක්වා ඇත්තේ මෙම විහාර මහායානික විහාර නිසා මූලාශ්‍ර සම්පිණ්ඩණය හරි හැටි සිදුනොවීමය. කෙසේ වුවද මෙම ස්ථානය ගැන සාහිත්‍යමය මූලාශ්‍ර මගින් තොරතුරු සපයා ගැනීම උගහටය. නමුදු පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් එම අඩුව මනාව සපුරා ගත හැක.

මෙම පබ්බත විහාර ආරම්භය හා විකාශය පිළිබඳ  යම් යම් තොරතුරු සාහිත්‍ය මූලාශ්‍රවලින් අධ්‍යයනය කළ හැකිය. බුද්ධ කාලයේ භික්ෂු සංස්ථාව ආරම්භ වූ අවදියේ භික්ෂූන් වහන්සේලාට ස්ථීර වාසස්ථාන තිබූ බවට සාධක නැත. චුල්ලවග්ගපාලියට අනුව උන්වහන්සේලා ගස් මුල්වල, පිදුරු ගොඩවල්වල, ගුහා, සොහොන් ආදියේ රාත්‍රිය ගත කොට ඒ හේතුවෙන් විවිධ දුෂ්කරතා රැසකට මුහුණ පා ඇත. ඉන් පසුව බුදුන්වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලාට ආකාර සතරක ආරාම සකසා ගැනීමට අනුදැන වදාළහ. ඒ කාමභෝගීත්වය පිටු දකින විරාගික පරිසරයන් තුළ සරල ලෙස නිමැවුණු ඒවා වශයෙනි.

ඒ අනුව භික්ෂූන් වහන්සේලාට පූජා කිරීම සඳහා එබඳු විවිධ  ආරාම ඉදිකිරීම ආරම්භ විය. මහින්දාගමනයෙන් අනතුරුව ලාංකීය බුදු සසුන ආරම්භ වීමත් සමගම ලංකාව තුළ ද විහාර කර්මාන්තය ආරම්භ වූයේ මහා විහාරය ඉදිකොට මිහිඳු හිමියන්ට පූජා කිරීමත් සමගමය. එසේ වුවද වැඩි වශයෙන් මෙම යුගයේ භික්ෂූන් වහන්සේලා කටාරම් කෙටූ ගල්ලෙන් ආශ්‍රිතව වැඩ සිටි බවට පුරාවිද්‍යා සාධක එමට ය. අනතුරුව භික්ෂූන් වහන්සේලාගේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවත්ම අභයගිරිය, ජේතවනය වැනි විශාල විහාරාරාම නගරය තුළ පවා ඉදිවන්නට විය. මෙවැනි විශාල ආරාම ඇතුළු නුවර සංවර්ධනය වන විට වනවාසී ආරාම සංකීර්ණයන් නගරයෙන් පිටත සීමාව තුළ ක්‍රමයෙන් වර්ධනය වී ඇත. මෙම තොළුවිල බඳු පබ්බත විහාරවල වර්ධනය හා විකාශනය ද අපට මේ අවදියේදී සිදුවූ බව හඳුනාගත හැකි ය.

මේ කරුණු සියල්ල අනුව පබ්බත විහාරය යනු මධ්‍ය අනුරාධපුර අවදියේ ඇතුළු නුවරට පිටතින් හුදකලාව එහෙත් ඉතාමත් සැලසුම් සහගතව සංවර්ධනය වූ මහායානික ආරාම සංකීර්ණ ලෙස හඳුනා ගැනීම නිවැරදිය. මේවා එක හා සමාන අතිශය දියුණු වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සමුදායකින් යුතු බව මේ වන විට අනාවරණය වී තිබේ. එමෙන්ම මෙම ආරාම ‍පොළොන්නරු යුගය දක්වාම පවතින්නට ඇති බව විද්වතුන්ගේ මතයයි.

පබ්බත විහාරවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ විමසීමේදී එහි ක්‍රමික විකාශනයක් දැක ගත හැකිය.

එහිදී මුල්කාලීන ලක්ෂණ පෙන්නුම් කරන පන්කුලිය වැනි ආරාම ද දියුණු ලක්ෂණ පෙන්නුම් කරන තොළුවිල වැනි ආරාම ද නිදසුන් වේ.

මෙම ලිපියෙන් පැවසෙන තොළුවිල ආරාම සංකීර්ණයට ද මෙම වාස්තු විද්‍යා ලක්ෂණ ‍පොදුය. නමුදු මෙම පබ්බත විහාරයටම ආවේණික වූ සුවිශේෂී ලක්ෂණ කිහිපයක් ද හඳුනා ගත හැකි වීම මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක සුවිශේෂත්වය විදහා පාන්නකි.

තොළුවිල පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සමාධි පිළිමය අද විට කොළඹ ජාතික කොතුකාගාර ආලින්දයේ තැන්පත් කොට ඇත. පිළිමය තිබූ පිළිමගේ හා මැද මළුව සම්බන්ධ වනුයේ සුවිශේෂී ලක්ෂණ සහිත දිගු පෙත් මගකිනි. මෙහි ද්වාර මණ්ඩප මෙන්ම චංකමණද දැකගත හැකිවේ. මැද මළුව තුළ පූජනීය ගොඩනැගිලි ඉදිකර ඇති අතර එම මළුවේ සතර දිශාවට ද්වාර මණ්ඩප ඉදිකර ඇත. ස්තූපය, බෝධිඝරය, පිළිමගෙය,  මැද මළුව තුළ සුවිශාල කුලුනු සහිත උ‍පෝසථාඝරය මහල් දෙකකින් යුක්ත ගොඩනැගිල්ලක් බවට හඳුනා ගත හැකිය. දැනට සංරක්ෂණය කර ඇති කුඩා ස්තූපය ගඩොල් වේදිකාවක් මත ඉදිකර ඇත. මෙම ප්‍රධාන ස්මාරකවලට අමතරව සෙසු ගොඩනැගිලි පනස් නවයක් පමණ මෙම තොළුවිල පුරාවිද්‍යා පරිශ්‍රය තුළ දැකගත හැකිය. පූර්ණ වශයෙන් කැණීමට ලක්නොවූ මෙම ගොඩනැගිලි අතර භික්ෂු කුටි වැඩි වශයෙන් තිබේ. සෙසු ගොඩනැගිලි ඉහත දැක්වූ විවිධාකාර ගොඩනැගිලිවලට යම් යම් ආකාරවලින් සම්බන්ධ වන ඒවා විය හැකිය. ප්‍රධාන දිය අගලට ජලය සපයා ගන්නට ඇත්තේ ආසන්නයේම පිහිටි නුවර වැවෙන් විය යුතුය. ආරාමයේ ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ‍පොකුණු දෙකක් ඉදිකර ඇත. ගොඩනැගිලි අතර ගමන් කිරීම සඳහා සකස් කර ඇති පෙත්මං ආරාම සංකීර්ණයේ අලංකාරයට හේතු වී ඇත. ප්‍රධාන පිවිසුම් ද්වාරය උතුරු දිශානුගතව පිහිටා ඇත. මේ අනුව නූතනය වන විට බැලූ බැල්මට විශේෂ වැදගත්කමක් නොපෙනෙන තොළුවිල පබ්බත විහාර සංකීර්ණය වාස්තු විද්‍යාත්මක සහ භූමි සැකසුම් ලක්ෂණ අතින් ඉතාමත් දියුණු මට්ටමක පැවැති බව නිසැකය.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය මත මෙහි පිළිම ගෙය, කුඩා ස්තූපය සහ පෙත්මග සංරක්ෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇත. මෙම පබ්බත විහාරයේ තිබූ සමාධි ප්‍රතිමාව ඉවත් කිරීමෙන් පසුව පාළු හුදකලා ස්වරූපයක් ගත් මෙම මාහැඟි පුරාවිද්‍යා රක්ෂිතයට පසුගිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සමයේ තවත් ඇබැද්දියකට මුහුණ දීමට සිදුවිය. එනම් අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගයේ මෙම පරිශ්‍රය සමීපයේම තිබූ එවකට ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක්ව පැවති ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන ගබඩා සංකීර්ණය රැකගැනීම සඳහා එම ප්‍රධාන මාර්ගය වෙනුවට මෙම පරිශ්‍රය හරහා විකල්ප මාර්ගයක් යෙදීමට රජයට සිදුවීමය. එහෙත් අද වන විට පැරණි මාර්ගය විවෘත කොට ඇතත් එමගින් භෞතික වශයෙන් මෙම පරිශ්‍රයට සිදුවූ හානිය සුළුපටු කොට තැකිය නොහැක.

එහෙත් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් හට නිරායාසයෙන්ම දැකගත හැකි මෙම වටිනා පුරාවිද්‍යා ස්ථානය මේ වන විට “පුරාවිද්‍යාත්මක පාරිසරික හරිත උද්‍යානයක්” වශයෙන් ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරෙමින් පවතී. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් 2014 වසර සඳහා වෙන්කර තිබිණ. එයට සමගාමීව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 94 වන සංවත්සරය නිමිත්තෙන් එහ සම්මේලනය මගින් අරඹන ලද පරිසර හිතකාමී ආරක්ෂක ආවරණද සහිත රුක් රෝපණ ව්‍යාපෘතියක් ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. එය මෙම පුරාවිද්‍යා රක්ෂිතයේ මතු ආරක්ෂාවට සේම පාරිසරික යහපැවැත්මටද බෙහෙවින් ඉවහල් වනු ඇත.

වර්තමානය වන විට අනවසර මාර්ග භාවිත කිරීම්, අනවසරයෙන් රථවාහන ගාල් කිරීම ආදී විවිධ ගැටලුකාරී තත්ත්වයන්වලට ගොදුරුව ඇති මෙම පුරාවිදු භූමිය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය නොමදව හිමි වන හා ප්‍රදේශයේ ජෛවමය සහ පාරිසරික අගය වර්ධනය කෙරෙන ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීම ඉතා වැදගත් මෙහෙවරකි.

අද දින අභයගිරි සමාධි පිළිමය හේතුවෙන් එම ස්ථානයට යම් ශ්‍රේෂ්ඨත්වයක් යම් බුහුමනක් හිමිව තිබේද ඒ හා සමානවම ශ්‍රේෂ්ඨත්වයක් හා බුහුමනක් හිමිවිය යුතු වූ මෙම පුරාවිද්‍යා ස්ථානය අද බොහෝ දෙනෙකුගේ අවධානයෙන් බැහැරව තිබේ. ඒ අග්‍රගණ්‍ය සමාධි පිළිමය ඉවත් කිරීමත් සමගමය. අද දින ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශන පුරාවස්තුවක් පමණක් බවට පත්ව ඇති මෙම අග්‍රගණ්‍ය සමාධි පිළිම වහන්සේ මෙම පින්බිමෙහි වැඩ සිටියා නම් මෙයද අනුරාධපුරයේ ප්‍රධාන පූජනීය ස්ථානයක් වනු ඒකාන්තය. එසේ වූවානම් අද දින පදිකයාගේ සිට ආසන්න පදිංචිකරුවා දක්වා වූ සියලු පාර්ශ්වයන්ගෙන් මෙම වටිනා පුරාවිද්‍යා රක්ෂිතයට සිදුවන නොයෙකුත් අයහපත් බලපෑම් සිදු නොවීමට ද ඉඩ තිබුණි.

නිරූපා ප්‍රියදර්ශනී

 
IMAGE

ජීවිතයේ මුල්වරට කෝච්චියේ අධිවේගයේ ගිය කෙවිලියාමඩුවේ...

IMAGE 2017 Jun 25 11:18
කෙවිලියාමඩුව ගමේ දරුවෝ හරියට “හෝ ගාන ‍පොකුණ” චිත්‍රපටයේ හුන් දරුවන් මෙන් යැයි මට සිතුණේ...
Views - 61

මළවුන්ට පණ දීමට තරම් බලගතු කතරගම තුන්නූරු

IMAGE 2017 Jun 23 10:33
කතරගම වාර්ෂික ඇසල මංගල්‍යය පසුගිය ජූනි 10 වෙනිදා කප්සිටුවීමෙන් ආරම්භ කෙරිණ. මෙම ජූලි 23 වෙනිදා...
Views - 1097

සමහරු මට මඩ ගහන්න වචනයක් වරදිනතුරු බලා ඉන්නවා

IMAGE 2017 Jun 22 09:57
“දෙරණ” නාලිකාවෙන් රටම හඳුනාගත් සහන් අබේසේකර දැන් අප හමුවට එන්නේ “සියත” රූපවාහිනී...
Views - 2629

මීළඟ ස්වභාවික අපදාවකදී ළඟ තිබිය යුතු ආපදා කට්ටල

IMAGE 2017 Jun 21 10:19
හෙට අනිද්දා හා ඉන්අනිද්දා දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට අධික වර්ෂා තත්වයක් ඇතිවන බව කාලගුණ...
Views - 1823

ක්ෂේත්‍රයේ ඉන්න කුහකයෝ පිරිසක් මගේ ගමනට බාධා කරනවා

IMAGE 2017 Jun 20 20:48
ග්‍රේෂන් ආනන්ද කියන්නේ ලංකාවේ ගීත කලාව තුළ කැපී පෙනෙන භූමිකාවකට පණ පෙවූ සංගීතඥයෙක්....
Views - 2773

උකස්කරන්නවත් තව කිසි දෙයක් ඉතිරිවෙලා නැහැ

IMAGE 2017 Jun 20 20:36
90 දශකයේදී සංගීත ක්ෂේත්‍රයට පිවිස ගීතලෝලීන්ගේ සිහින කුමාරයකු බවට පත් වු ප්‍රින්ස් උදය...
Views - 3804

Please publish modules in offcanvas position.