Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මිහිඳු හිමි දෙවනපෑතිස් හමුව සිදුවූයේ සැණකෙළි බිමකදී ද?

පොසොන් පුන් පෝ දිනක මිහින්තලා පර්වතය අභියසදී සිදු වූ මිහිඳු හිමි -  දෙවනපෑතිස් රජු හමුව අහඹු සිදුවීමකැයි බොහෝ දෙනෙක් සිතති. ඒ අපගේ වංශකතා මූලාශ්‍ර වල මුලින් පැවසෙන අන්දමට එ‍වැන්නක් පිළිබඳව සිතීමට බො‍හෝදෙනෙකු පෙළඹී ඇති බැවිනි.  නමුදු මහින්දාගමනය සම්බන්ධ ඵෙතිහාසික සහ මානව විද්‍යාත්මක සාක්ෂි විමසා බැලීමේ දී ඉතා පැහැදිළිව පෙනී යනුයේ මහින්දාගමනය යනු පූර්ව සැලසුමකට අනුව සිදුවුණු  රාජ්‍යතාන්ත්‍රික චාරිකාවක් බවය.

මේ සඳහා මුල පෑදි ඇත්තේ දේවනම්පියතිස්ස රජු සහ ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍යයා අතර ඇති වුණු පූර්ව සැලසුමකට අනුව බව පෙනී යයි.

ඒ අනුව පොසොන් ‍පුර පෝ දිනක මිහිඳු හිමියන් සහ දෙවනපෑතිස් රජු හමුව සිදුව ඇත්තේ එවක මිහින්තලයේ පැවති ගිරග්ගසමජ්ජ නම් සැණකෙළි භූමියක දී  බව සිතීමට පුලුවන‍.

ගිරග්ග සමජ්ජ යනු බුද්ධකාලීන ඉන්දියාවේ පවා පර්වතාශ‍්‍රිතව පැවැති දැවැන්ත සැණකෙළියකි. අනුරාධපුර රාජධානියට අයත් විශිෂ්ටතම ස්වභාවික භූ නිර්මාණයක් වන මිහින්තලය ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන මෙවන් සැණකෙළියක් සඳහා තෝරා ගැනීමට අතීත නරපතියන් තීරණය කිරීම පුදුමයට කරුණක් නොවේ.

මෙහි ගිරග්ග යන්නෙන් ගිරි +අග හෙවත් පර්වත මුදුන නැතහොත් පර්වත-කෙළවර, පර්වත පාමුල යන අදහස පළවේ. සමජ්ජ යන්නෙන් පැවැසෙනුයේ සමාජයීය එකමුතුව වැනි අදහසකි. ඒ කෙසේ හෝ අතීතයේ ඉන්දියාවේ පැවැති මෙම සුවිශේෂී සැණකෙළිය පිළිබඳ තොරතුරු ත‍්‍රිපිටක මූලාශ‍්‍රයන්ගෙන් පවා ලබා ගත හැක.

බුද්ධ කාලයේ මෙම ගිරග්ග සමජ්ජ සැණකෙළිය නැටුම්, ගැයුම්, වැයුම්, කඩු ශිල්ප, චිත‍්‍ර ශිල්ප, මල්ලව පොර, සරඹ ක‍්‍රීඩා, ඇත් පොර, එළුපොර, දාදු ක‍්‍රීඩා, ඉන්ද්‍රජාලා, බිලි පූජා ආදියෙන් සමන්විත ආහාරපාන ඇතුළු ලෞකිකත්වයට අවශ්‍ය සෙසු සියල අවශ්‍යතා සපුරාලන උත්සවයක් සේ හැඳින්විණ.

ත‍්‍රිපිටක මූලාශ‍්‍රවලට අනුව බුදුන් වහන්සේගේ අග සව්වන් වන සැරියුත් මුගලන් මහ තෙරවරුන් කෝලිත උපතිස්ස නම් වන ගිහි කල ද ගජ මිතුරන් දෙපලකි. බුද්ධ කාලයේ රජගහනුවර පැවැති මෙම ගිරග්ග සමජ්ජ සැණකෙළියට සහභාගී වන ඔවුහු එහි ඇති අගතිගාමීත්වය දැක සසර කළකිරෙති. ඒ අනුව වුව අපට යම් අනුමානයකට පිවිසිය හැක්කේ මෙම ගිරග්ග සමජ්ජ යනු එවක ජන සමාජයට නූතන සමාජ ශාලා ක්‍රියාකාරීත්වයට සමාන ශිෂ්ටචාරය තුළ වල්මත් වීමට දී තිබූ එක්තරා අවස්ථාවක් බව ය. නැතහොත් අතිශය කාමභෝගී සැණකෙළියක් බව ය.

ඒ කෙසේ හෝ පසුකාලීනව මේ තත්ත්වය කෙතරම් අගතිගාමී අයුරින් ඉස්මතු වී ද යත් භාරතයේ රජකම් කළ අශෝක අධිරාජයාට (ක‍්‍රි.පූ. 268-232)මෙවන් අගතිගාමී සමාජ සැණකෙළි නතර කරන මෙන් ආඥා පැනවීමට පවා සිදුවී ඇත.

‘ඉධ න කිංචි ජීවං අරභිත්පා පූජනීනවං’යනුවෙන් යාග හෝම පිණිස කිසිදු සතකු නොමැරිය යුතු ය යන පළමු ගිරි ලිපියෙහි ‘න ච සමාජ කතව්‍යෝ’වශයෙන් ‘සමාජ කර්තව්‍යයන් නොකළ යුතු ය’යනුවෙන් සඳහන් වනුයේ මෙබඳු නිසරු සැණකෙළි පමණක් බව ද පැහැදිලි ය. වත්මන් සමාජයෙහි වුව ‘සමාජ’යනුවෙන් පුළුල් අරුතක් පළවන මුත් ඊට ‘ශාලා’යන්න එක්වීමත් සමග එක් නිශ්චිත අරුතක් පමණක් ගම්‍ය වන බව මෙහි දී සිහිගැන්විය යුතු ය. ඒ අනුව අතීත ඉන්දියාවේ පැවැති මෙම ‘ගිරග්ග සමජ්ජ’නම් සමාජ උත්සවය අප රටේද පර්වත ආශ්‍රිත කාමභෝගී සැණකෙළියක් බව පැහැදිළිව පෙනේ.

 මිහිඳු මා හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කරන කාලයේ පැවති මෙම කාමභෝගී උත්සවයට පසුව ගිරිභණ්ඩ පූජා නම්  අාධ්‍යාත්මික අර්ථකථනය එක් වූ බව පෙනේ. නමුත් එහි සැණකෙළි ස්වරූපය ඉන් මුළු මනින්ම ඉවත් වූ බවක් නොහැඟවේ.

එය මිහිඳු මා හිමියන් මෙරට ඇති කළ බෞද්ධ සදාචාරයේ සවිමත් පදනම මත ස්ථාපිත වූ ආධ්‍යාත්මික උළෙලක් බව නිසැකය.

ලක් ඉතිහාසයෙන් උකහා ගත හැකි ජාතික උත්සව අතර ‘ගිරිභණ්ඩ පූජා’නම් වූ මෙම ආගමික සැණකෙළිය මුල් තැනක් ගනී. මහා වංශයේ තිස්හතර වන පරිච්ඡෙදයේ 75-84අතර ගාථාවලින් මෙහි රමණීයත්වය මනාසේ විස්තර වෙයි. මහාවංශයෙහි එන ඉහත සඳහන් විස්තරය අනුව අනුරාධපුරයේ කළ මහා දාඨික මහා නාග හෙවත් මහදැලියා රජු (ක‍්‍රි.ව. 9-12) විසින් මිහින්තලයේ සෑගිරිය කේන්ද්‍ර කොට ගිරිභණ්ඩ පූජාවක් පැවැත්වූ බව පෙනේ.

මහා වංශ කතා විස්තරයට අනුව මේ සඳහා සුවිසල් සැණකෙළි කලාපයක් ද සකසා තිබිණ. එහි වපසරිය සෑගිරිය අවට යොදුනකි. ඒ සඳහා දොරටු සතරක් යොදා තිබිණ. එම සැණකෙළි කලාපයේ වීදි ධජ පතාක ආදියෙන් මනාව සරසා පහනින් ආලෝකමත් කර ඇතැයි පැවැසේ. එමෙන් ම කොළොම් ඔයේ (මල්වතුඔය) සිට සෑගිරිය තෙක් මාර්ගය පියැවිලි ද අතුරා තිබිණ. තව ද මෙම සැණකෙළිය නැටුම්, ගැටුම්, වැයුම්වලින් අලංකාර වී තිබිණ. නගරයේ සතර දොරටුවල මහ දන්සල් ය. එමෙන් ම මෙහි ඇති විශේෂත්වය වී ඇත්තේ මෙම සැණකෙළිය මුල් කොට ගනිමින් මුළු රටේම පමණක් නොව මුහුදේ යොදුනක් දක්වා ද පහන් දල්වා තිබීම ය. ඒ අනුව මෙවැනි වෙනත් දැවැන්ත සැණකෙළියක් පිළිබඳව ලක් ඉතිහාසයේ අන් කිසිදු තැනකින් වාර්තා නොවන බව ද අතිශයින් පැහැදිලි ය. මේ සම්බන්ඳයෙන් වර්තමානයේ සිතීමට වත් නොහැකි තරම් සුවිසල් 'පොසොන් කලාපයක්' එකල ඉදිවී තිබූ බවය.

එහෙත් හුදෙක් මෙම ගිරිභණ්ඩ පූජාව නිසරු සැණකෙළියක් නොවේ. මිහින්තලයෙන් සෑගිරිය විෂයෙහි පවත්වනු ලැබූ පූජාවක් මුල් කොට ගත් දැවැන්ත ආගමික උත්සවයකි. එමෙන්ම එම උත්සවයේ ප‍්‍රබල ආධ්‍යාත්මික පක්ෂයක් ද තිබිණ. එම උත්සවයට සමගාමීව නගරයේ ස්ථාන අටක විසි හතර දහසක් භික්ෂූන් වහන්සේලාට දන් සහ සිවුරු පිරිකර පිළිගැන්වීම ද එම උත්සවයේ විශේෂයෙන් කැපී පෙනිණ.

මෙම ගිරිභණ්ඩ පූජා සම්බන්ධයෙන් මහා වංශයේ දැක්වෙන ඉහත සඳහන් විස්තරය තරම් නොවූවත් ඊට සියවසකට පමණ පෙර, එනම් සිව්වන සියවසේ ලියැවුණු බව සැලකෙන දීප වංශයේ ද එම පූජාව පිළිබඳව සඳහන් වීම විශේෂත්වයකි. එහි මෙය හැඳින් වී ඇත්තේ ‘ගිරිභණ්ඩ ගහණ’යනුවෙනි. එමෙන්ම මෙම සුවිශේෂ ආගමික සැණකෙළිය පිළිබඳව ඉන්පසුව ලියැවුණු මහාවංශ ටීකාව හෙවත් වංසත්ථප්පකාසිනිය, පූජාවලිය, විසුද්ධි මාර්ග සන්නය, රසවාහිනී (පාලි) සද්ධර්මාලංකාරය වැනි කෘතීන්වල ද සඳහන් වීමෙන් අතීතයේ පැවැති මෙම ශ‍්‍රී ලාංකීය ජාතික උත්සවය පිළිබඳව ඓතිහාසිකව ද කරුණු සනාථ කරගත හැක.

දැනට මෙම ගිරිභණ්ඩ පූජාව පිළිබඳව නිසි අවධානයක් නොමැති වුව ද මේ සම්බන්ධ ඓතිහාසික සේම පුරාවිද්‍යාත්මක සාක්ෂි ද මිහින්තලා පුද බිමෙන් මතු කරගත හැකිව තිබේ.

මිහින්තලා පර්වතය ආශ‍්‍රිත කුඩා කඳු ගැටයක් වශයෙන් අතීතයේ හඳුනා ගැනුණු කොටසකට එකල ‘කිරිබත් වෙහෙර’හෙවත් ගිරිබඩපවු දාගැබ යනුවෙන් හැඳින්විණි. එහෙත් එය අතීතයේ ඉදිකරන ලද ස්තූපයක් හෙවත් දාගැබක් බව නිර්ණය කිරීමෙන් පසුව 1934 වසරේ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් එය තහවුරු කරවන ලදී.

ඒ සමඟම එම දාගැබේ බටහිර වාහල්කඩ අබියස ගලක කොටා තිබූ සෙල්ලිපියක් ද හමුවී ඇත.  එය ඉහත සඳහන් මහා දාඨික මහා නාග රජු විසින් පිහිටුවන ලද්දක් බව නිගමනය කෙරිණ. එම ස්ථූපයේ නඩත්තුව පිණිස වන ආදායම් වාර්තා දෙකක් පිළිබඳව සඳහන් එම ශිලා ලේඛනයේ එම දාගැබ පිළිබඳව සඳහන්ව ඇත්තේ  කටක චෙත යනුවෙනි. ඒ අනුව මෙම ස්ථූපය ‘කණ්ඨක චේතිය’වශයෙන් හඳුනා ගැනුණු අතර අනුරාධපුර රජ කළ ලජ්ජතිස්ස (ක‍්‍රි.පූ. 149-109) රජතුමා මේ සඳහා ශිලා කංචුකයක් තැනවූ බව ද මහා වංශයේ සඳහන් වෙයි.

ඒ කෙසේ හෝ මෙම දාගැබ හැඳින්වීම සඳහා අතීත ගැමියන් යෙදූ 'කිරිබත්' යන වදන පාලි ‘ගිරිභණ්ඩ’යන වදන සිංහල ඌරුවට සකසා ගැනීමක් බව  මගේ අදහසයි.

 

තිලක් සේනාසිංහ

 

 

 

 

 

 

 

 

 

 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බත් පත බෙදාගන්නට මට සිටියේ ඔබ පමණි

IMAGE 2017 Oct 19 20:52
මිනිසත් බව ලැබිමට තමන් රැස් කළ කුසල් හේතුවන බව බෞද්ධ ඉගැන්වීමේ සඳහන් වේ. ආත්ම ගණනක්...
Views - 153

සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට ලිංගික 'ස්ප්‍රේ' විදලා

IMAGE 2017 Oct 19 10:56
දඹුල්ල ප්‍රදේශයේ පාසලක අටවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකුගේ මුහුණු වලට එම...
Views - 722

සරණාගත කඳවුරු වල කතුන් ලිංගික අතවර වලට

IMAGE 2017 Oct 18 13:35
ආපදා තත්වයන් යටතේ අවතැන්වන කාන්තාවන් හා ගැහැණු දරුවන්ට අනාරක්ෂිතම ස්ථානයක් වන්නේ සරණාගත...
Views - 924

මගේ පෙම්වතිය රඟපාන්න කැමති නෑ - සජිත අනුත්තර

IMAGE 2017 Oct 17 12:52
ඔබට නළුකමට එන්නට පියා ලොකු ආලෝකයක් වුණා අනිවාර්යයෙන්ම ඔව්. ගෙදර කලා පසුබිමක් ඇති වන්නට මුල්...
Views - 1071

ලංකාවේ පළමු මෝටර් සයිකල් ලයිසන්කාරිය විමල නයනා

IMAGE 2017 Oct 17 00:21
ඇමෙරිකානුවෙක වූ නීල් ආම්ස්ටේ‍රා්න් සඳ තරණය කළ දා මුළු ලොවම ඒ සඳට ගිය මිනිසා ගැන කතා කරමින්...
Views - 1507

රවීන් දැක්කාම “බුදු අම්මෝ” කියලා ඔළුවේ අත ගහ ගත්තා

IMAGE 2017 Oct 15 18:43
හිමාලි සයුරංගි කියන ඔබ “සතුට” හා “දුක” කියන අත්දැකීම් දෙකට මුහුණ දෙන්නේ මොන විදියටද? ...
Views - 2460

Please publish modules in offcanvas position.