lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

මිස් කෝල්ස් දෙන sms යවන භූතයෙක්

පිසූබත් මුට්ටියට වැලි, අලූ ආදිය හෙලමින් සහ හැලි වළං මුට්ටි ඒ මේ අත පාකරමින් ඒවා බිඳ දමන භූතයන් පිළිබඳ පුවත් අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එමෙන්ම එවන් සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති සහ විශේෂාංග පළකිරීම සඳහා ද පුවත් පත් කතුවරු විශේෂ අවධානයක් යොමු කරති.

මා ඉහත සඳහන් කළ පැරණි‚ ක්‍රියාකාරකම්වලට වඩා අතිශය නවීන ක්‍රියාකාරකම්වල යෙදෙන භූතයකු ගැන මා හටමුල්වරට අසන්නට ලැබුණේ පාඨකයකු දුන් දුරකථන ඇමතුමකිනි. රයිස් කුකර් ආදීනවීන ගෘහ මෙවලම්වල පිසෙන ආහාර-පාන සඳහා මුළුතැන්ගෙයි ඇති තුනපහ මිශ්‍රණ බෝතල් ගණන් හළන මෙම භූතයා මධ්‍යම රාත්‍රියේදී එම නිවසේ යුවතියක සතු ජංගම දුරකථනයකින් ඇගේ මිතුරියනට එස්.එම්.එස්. යැවීමට පවා සමත් නවීන තාක්ෂණය හා බද්ධ වූවෙකි. එමෙන්ම එම පවුලේ කිසිවකුගේ දැනුවත්කමකින් තොරව එම යුවතියගේ දන්නා හදුනන අයගේ දුරකථනවලට ‘මිස් කෝල්ස්’ ලබා දීමට ද මෙම භූතයා පුරුදු වීසිටියි. මුල දී කාගේ හෝ විහිළුවක් සේ සැලකූ එම දුරකථන ඇමතුමින් අනාවරණය වූදේ හුදෙක් තවදුරටත් විමසා බැලිය යුත්තක් බව මා හට පසක් වන ලද්දේ එම භූතදෝෂය පවතින නිවසට දුරකථන ඇමතුමක් දී ඒ පිළිබඳව වැඩිදුර කරුණු විමසාබැලීමෙන් අනතුරුවය.
ඒ අනුව වෛද්‍ය රත්නසිරි බණ්ඩාර ද කැටුව මම එම 'භූත නිවස්නය' වෙත ගියෙමි.
කන්දඋඩරට ප්‍රධාන මාර්ගයක සිට මීටර් සියයක් පමණ නොදුරින් වෙල් යායක් සමීපයේ එළිමහනක පිහිටි එය විශාල තාප්පයකින් වට කෙරුණු නවීන තෙමහල් නිවසකි. ඒ අවටතවත් කුඩා නිවාස කිහිපයක් දැකිය හැකි වුව ද මෙම නිවස හා සසඳන විට ඒවා අපට පෙනුණේ ගලිවර වටා එක් රැස් වූ ලිලිපුට්ටන් මෙනි. නිවස කෙතරම් නවීන වුව එහි ඇතුළත ගෘහ භාණ්ඩ සැකැස්ම කෙසේවත් ක්‍රමානුකූල නොවීය. පහතම මාලයේ වූ සාලයෙහි පවා කිසිදු පිළිවෙළකින් තොරව බඩු මුට්ටු ඒ මේ අත විසුරුවා තිබූ අතර කුඩා දරුවන්ගේ ක්‍රීඩා භාණ්ඩ සහ ක්‍රීඩා උපකරණ සාලය පුරා තිබිණ.
එම නිවසෙහි වූයේ වයස අවුරුදු පනස් පහක පෙනුමකින් යුතු නටබුන් බවට පත්වෙමින් පවත්නා රූ සපුවකින් යුතු කාන්තාවක, එම වයසේම පසුවන උස් හීන්දෑරි පිරිමියකුහා සුරතල්, දගකාර පෙනුමකින් යුතු ක්‍රියාශීලී පුෂ්ටිමත් තරුණියකි. ගතට සිරවන ටීෂර්ට් එකකින් සහ එවැනිම කෙට කලිසමකින් සැරසී සිටි ඇය බලන ඕනෑම කෙනෙකුගේම සිත් ඇද ගැනීමට සමත් රූ සපුවකින් යුක්ත වූවාය.

ඊට අමතරව වයස අවුරුදු තුන, එකහමාර ආදී වශයෙන් දරු දෙදෙනකු එම නිවසේ සිටි බවක් පැවසුණු අතර අප එහි ගත කළ කාලය පුරාම ඔව්හු නින්දේ පසුවූහ. එම යුවළ අඹු-සැමියන් ලෙසත් එම තරුණිය ඔවුන්ගේ දියණිය ලෙසත් බැලු බැල්මටම අපට වටහා ගතහැකි විය.
මෙය මෙම තරුණියගේ වැඩිමල් සොයුරියක විසින් මෑතක දී මිලට ගනු ලැබූ නිවසකි. නමුදු මේ වන විට ඇය තම සැමියා ද සමග සයිප්‍රසයේ රැකියාව කරන්නීය. අප යනවිට නින්දේ පසුවූ දරු දෙදෙනා ඇගේය. ඒ අනුව ඇය තමන් විසින් මිලට ගත් නවීන නිවස තම දරු දෙදෙනා ද සමග මවටත්, පියාටත්, බාල නැගණියටත් භාරදී සැමියා ද සමග තවදුරටත් එතෙර ඉසුරු සෙවීමෙහි නිරත වන සෙයකි. හුදෙක් නවීන තාක්ෂණක උපකරණ මිස දර ළිපක්, වංගෙඩියක්, මිරිස් ගලක්, කුල්ලක් තබා මැටියෙන් තැනූ හට්ටියක්, මුට්ටියක්වත් නොමැති මෙම නිවසේ නවීන තාක්ෂණික උපකරණ වලින් හරඹ කිරීමට සමත් මෙම භූතයාගේ කඩා වැදීම විශේෂයෙන් විමසීම සඳහා අප එහි යන ලද්දේ අප පැමිණෙන බවක් විනා දිනයක් හෝ වේලාවක් කල් ඇතිව නොදන්වමිනි. එබැවින් අප එම නිවසට පිවිසි සැණින් තම සාලයේ තිබූ අපිළිවෙළ යම් තරමක හෝපිළිවෙළක් බවට පත් කිරීමට ඒ මවත්, දියණියත් කඩිනම් උත්සාහයක යෙදෙනු පෙනිණ.
"අම්මා අපි රාළහාමිටත් කතා කරමු ද?" අප එහි ගිය සැණින් එම තරුණිය මවගෙන් අසා සිටියා ය.

"කවුද රාළහාමි කියන්නේ?" ඉන් තරමක කුතුහලයට පත් මම ඇසීමි.

"මේ ළග ගෙදරක ඉන්නවා පොලිස් රාළහාමි කෙනෙක්. අපිට හැම දේකටම වගේ උදව්වට එන....." ඇගේ මව පිළිතුරු දුන්නාය. ඒ අනුව හුදෙක් දුරකථන ඇමතුමකින් පමණක් ඇතිකරගත් දැන හැඳුනුම්කමක් මත හිටිහැටියේ තම නිවසට කඩා වැදුණු මාත්, වෛද්‍ය බණ්ඩාරත් පිළිබඳව ඇය තුළ සාධාරණ සැකයක් ඉපි ද ඇති සේය. ඒ අනුව යම් හෙයකින් අප සොරුන්, වංචාකාරයන් නම් කිසිදු අපහසුවකින් තොරව අප පොලීසියට කොටු කරදෙන්නට හැකි යැයි ඇය සිතන්නට ඇත.

"කමක් නැහැ එන්න කියන්න" වෛද්‍ය බණ්ඩාර කීය. ඒ අනුව මඳ වේලාවකින් එහි පැමිණියේ අඩි පහමාරක් තරම්වත් උස්නොවූව ද මහා කාය බලයක් පෙන්නුම් කරන මාංශ පේෂීන් ඉල්පුණු බාහු යුවළකින් සහරවුම් මුහුණකින් යුතු කාල වර්ණ මැදිවියේ මිනිසෙකි. කොටට කපන ලද කෙස්වලින්හරි අඩක් පමණ සුදු පැහැ ගැන්වී තිබුණ ද ඔහුගේ දෙකොපුලේ මාංශ පේශීන් විසින් අපට දෙන ලද පැහැදිලි සාක්ෂිය වූයේ ඔහු තවමත් තරුණ විය අගිස්සේ හෝ එල්ලී හිඳින්නකු බවය. හැඳ සිටි ඇගට සිර වූ කොට කලිසමින් සහ ටී ෂර්ට් එකෙන් ඔහුගේ කාය බලය වඩාත් ඉලිප්පී පෙනුණි.
අද්භූත ගණයෙහි ලා සැලකෙන මෙවන් භූතක්‍රියාවන් භෞතික පදනමකින් තොරව සිදුවිය හැකි බවට ලොව පුරා පැතිර ගත්විශ්වාසයක් පවතී. එහෙත් මගේ ඒකායන පිළිගැනීම අනුව මෙබදු සියලූ ක්‍රියාවන් සඳහා පුද්ගල සම්බන්ධතාවයක් තිබිය යුතුමය. විමර්ශකයකු වෙත පැවරෙන සැබෑ අභියෝගය හේතු සාධක සහිතවම එම පුද්ගල සම්බන්ධතාවය සනාථ කරවීම පමණි.
භූතක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන ස්ථානීය පරීක්ෂණවලදී ඒ හා ආශ්‍රිත පුද්ගලහැසිරීම් සියුම් ලෙස අධ්‍යයනය කළ යුතුය. ඒ අනුවවෛද්‍ය බණ්ඩාරත්, මමත් ඒ සම්බන්ධව නිරීක්ෂණය කරන අතරේ එකිණිනෙකාගෙන් කරුණුවිමසන්නට වීමු. එහි දී පළමුවෙන්ම අපගේ අවධානයට යොමුවන ලද්දේ මෙවන් අද්භූත සිදුවීම්වලදී නිතර මෙම නිවසට කැඳවනු ලබන පොලිස් නිලධාරියාය.

"හිටපු ගමන් මට මේ ගෙදරින් පණිවිඩයක් ලැඛෙනවා ඉක්මනට එන්න කියලා. ඒකටවෙලාවක්-අවේලාවක් නැහැ. මම ඇවිත් බලනකොට මේ ගෙදර මොකක් නමුත් මහ අමුතුවිශ්වාස කරන්නවත් බැරි දෙයක් සිද්ධ වෙලා, පෙරේදා රෑ අටට විතරත් ඔන්න මටමෙහෙන් හදිසි පණිවිඩයක් ආවා. මම දුවගෙන ඇවිත් බලනකොට මෙහේ බබාලගේ කිරි පිටිටින් එකේ ලූනු කුඩු පිරිලා.... ඊට පස්සේ මම ඒ වෙලාවෙම සල්ලිත් ඉල්ලාගෙනටවුන් එකට ගිහින් කිරි පිටි පැකට් එකක් ගෙනත් දුන්නා බබාලා බඩගින්නේ නිසා.මේ ගේ වටේටම තියෙන තාප්පේ නිසා පිට කාටවත් නම් රහසින් ඇතුල් වෙනවා තියාහිතන්නවත් බැහැ. හුගක් වෙලාවට මේ අය දවල්ටත් ගේට්ටුව ඇතුළිනුත් ලොක්කරගෙනයි ඉන්නේ' හෙතෙම කී ය.

ඉන් අනතුරුව ඔහු පිළිබඳ විස්තර කිරීමේ දී අපටදැනගත හැකි වූයේ දරුවන් තිදෙනකුගේ පියකු වන ඔහු මේ දිනවල වැඩ තහනමකට ලක්වහිඳින බවකි. එමෙන්ම ඔහුගේ බිරිඳ ද මැදපෙරදිග ගෘහ සේවයේ යෙදෙන බව දැනගත හැකිවිය. සාමාන්‍යයෙන් වැඩිපුර අත-මිට මුදල් ගැවසෙන මෙම නිවැසියන් තුළ මෙබදුභීතියක් ජනිත කළහොත් ඒ ඔස්සේ අනිසි ලාභ ප්‍රයෝජන ලැබීමට යමකුට පුළුවන. ඒඅනුව වැඩ තහනමට ලක්වූ මෙම පොලිස් නිලධාරියාද එබදු වංචාවක් සිදු කරන්නේ දයන්න පිළිබඳ ව අපගේ මූලික අවධානයට යොමු විය. එහෙත් එහි දී අනාවරණය වූඅන්දමට මෙබඳු කිසියම් අද්භූත ජනක සිද්ධියක් මුල් කොට ඔහු මෙම නිවසටපැමිණෙනු විනා හෙතෙම නිතර දෙවේලේ මෙහි පැමිණෙන්නෙක් නොවේ.
කෙසේහෝ මෙම ප්‍රශ්න කිරීම් සඳහා එම පවුලේ ගෘහ මූලිකයා කැඳවා ගන්නට වෙර දැරූ අවස්ථා කිහිපයක දීම ඔහු ඒ සඳහා යම් පසුබෑමක් පළකරනු මට සේම වෛද්‍ය බණ්ඩාරට ද ඉතා හොඳින් වැටහෙන්නට ඇත. අප පැමිණිවේලේ පටන් වචන දෙක තුනකට වඩා කතා නොකළහෙතෙම අපගේ පැමිණිම සම්බන්ධයෙන් වුව එතරම් සතුටක් පළ කළ බවක් මුල සිටමනොපෙනිණ. අපගේ ප්‍රශ්නවලින් මඟහැරීමට උත්සාහ කළ ද පැත්තකට වී අප විසින්සිදුකරනු ලබන මෙම විමර්ශනය පිළිබඳ ව 'ඇස ගසා ගෙන' සිටීමේ ලොකු වුවමනාවක්ඔහු තුළ ඇති බවක් අපට හොඳින්ම වැටහිණ. එමෙන්ම මෙම පවුල පිළිබඳව අප ඔහුගෙන්විමසන ලද ප්‍රශ්නවලදී ඔහු වෙනුවෙන් ඉදිරිපත් වී පිළිතුරු දීමට ඔහුගේ බිරිඳට සිදු විය. එබැවින් එම නිවසේ ගෘහ මූලිකයාට මඳකට රිසි සේ නිදහසේ පසු වීමට ඉඩ හළ අපි මෙම නිවසේ සිදුවන අද්භූත සිදුවීම් පිළිබඳව එම ගෘහණියගෙන් ප්‍රශ්න කිරීම ඇරඹුවෙමු.

"අපේ ගෙදර ටෙලිෆෝන් තිබුණට පොඩි දුව හැමතිස්සෙම සෙලියුලර් ෆෝන් එක එයාගේ කලිසම් සාක්කුවෙම තියාගෙන ඉන්නවා. මොකද ලොකු දුව කොයි වෙලාවක හරි කතා කරන නිසා. බබාලගේ විස්තර අහන්න ලොකු දුව සමහරදාට දෙතුන් සැරයක්ම කතා කරන්නේ සෙලියුලර් එකට. ඒත් ඒක කොහේ හරි තියලා අපිට උත්තර දෙන්න බැරි වුණොත් ලොකු දුවට හරියට කේන්ති යනවා. ඒ නිසා පොඩිදුව එයාගේ අක්කගෙ කීමට රෑටත් ඒ ෆෝන් එක ඕෆ් නොකර ළගම තියාගෙනයි ඉන්නේ." එම මව කීවා ය. ඇය විසින් වැඩිදුරටත් පවසන අන්දමට එවන් අවස්ථාවලදී මධ්‍යම රාත්‍රියේ දී හෝ අළුයම් යාමේ දී ඇය සමීපයේ ඇති ජංගම දුරකථනය මගින් ඇගේ මිතුරියන්ගේ දුරකථනවලට කිසිදු පණිවිඩයක් නොමැති එස්.එම්.එස්. සංඥා නිකුත්කෙරේ. එමෙන්ම හිතවතුන්ගේ ජංගම සහ සී.එල්.අයි. පහසුකම් සහිත ගෘහස්ථ දුරකථනවලට ද නිහඬ ඇමතුම් නිකුත් කෙරේ. මේ සම්බන්ධයෙන් ඔවුන් කිහිප දෙනකුම මෙම නිවැසියන් වෙත පැමිණිලි ද ඉදිරිපත් කොට ඇත. එහෙත් මේ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව කී විට ඉන් සමහරකු ඒ බව විශ්වාස නොකළ අතර තවත් පිරිසක් එය භූතයකුගේ ක්‍රියාවක් සේ සලකා මහත් භීතියට පත්ව තිබේ.
එම ගෘහණියකී විස්තරවලට අනුව තම දියණිය සිගිති මුණුපුරා සහ මිණිපිරිය සමග රාත්‍රිය ගතකරනුයේ නිවසේ තුන්වැනි මාලයේය. මෙතරම් අද්භූත සිදුවීම්වලට ගොදුරු වන නිවසකබියෙන් තැතිගත් පවුලේ සාමාජිකයන් එකම පොදියකට ගුලි වී රාත්‍රිය ගත කළ යුතුය.ඔවුන් මෙලෙස වෙන් වෙන්ව රාත්‍රී නින්දට යෑම ද මට මහත් ගැටලූවක්විය.

"අම්මයි, අප්පච්චියි දෙවන තට්ටුවේ වෙනම නිදාගන්න නිසයි මං උඩ තට්ටුවේ නිදාගන්නේ." එම යුවතිය කීයේ මඳ අපහසුවකින් මෙනි.
ඇයපවසන අන්දමට රාත්‍රී කාලයට සිගිත්තන් දෙදෙනාද සමග නිවසේ තුන්වන මහලේ කාමරයකට පිවිසෙන ඇය ඇතුළතින් දොරගුළු වසා ගනියි. ඇගේ ජංගම දුරකථනය හිටිහැටියේ සක්‍රිය වීමට පටන් ගන්නේ ඇයට නින්ද ගිය පසුවය.

"පුදුමෙ කියන්නේ සමහරදාට මම මගේ සෙලියුලර් ෆෝන් එක කොට්ට යට තියාගෙනත් නිදා ගන්නවා. ඒත් එහෙම තියෙද්දිත් මේ ෆෝන් එකෙන් මහා පුදුමාකාර දේවල් සිද්ද වෙනවනේ." එම නිවසේ සාලයේ අප ඉදිරියෙහි වාඩි වී සිටි එම තරුණිය කීවාය. එකෙණෙහිම මගේ සුරතෙහි තිබූ ජංගම දුරකථනය ඔවුන් ඉදිරියෙහි වූ ටීපෝව මත තැබූ මම තවදුරටත් ඔවුන් හා එම කතාබහේ යෙදුණෙමි. ඉන් විනාඩි කිහිපයකට පසු සාලයේ අප හා සම අසුන්ගෙන සිටි වෛද්‍ය බණ්ඩාරගේ කමිස සාක්කුවේ වූ ජංගම දුරකථනය හැඬවෙනු ඇසිණ. තමන් වෙනත් වැදගත් කාරියක නියුතු වී සිටි බැවින් ඒ පිළිබඳ වැඩි අවධානයකින් තොරව එය සියතට ගත් වෛද්‍ය බණ්ඩාර වැඩි උනන්දුවකින් තොර ව එහි අංක පුවරුව දෙස බලන ලද්දේ එම ඇමතුම පැමිණි අංකය විමසා බැලීමට ය. එහෙත් ඒ සමග ම ඔහුගේ දෙනෙත් පමණ ඉක්මවා විසල් වන අයුරුත් මුහුණ ශීඝ්‍රයෙන් අදුරු පැහැ ගැන්වෙන අයුරුත් මට ඉතා හොඳින් දැක ගත හැකි විය. ඒ සමගම මා දෙසත් මා මේසය මත තැබූ ජංගම දුරකථනයදෙසත් බැලු වෛද්‍ය බණ්ඩාර කිසිත් නොකියා තම ජංගම දුරකථනයෙහි වූ අංක දර්ශකය මවෙතදිගු කරන ලද්දේ මහත් වූ තැති ගැන්මකිනි. සැබැවින්ම ඒ මොහොතේ ඔහුගේ ජංගමදුරකථනයෙහි සටහන්ව තිබුණේ මගේ ජංගම දුරකථනයේ අංකයයි. මගේ දෑත හිස්ව තිබියදී සහ මා අතෙහි වූ ජංගම දුරකථනය මවිසින් ටීපෝව මත තිබියදී වෛද්‍ය බණ්ඩාරගේ ජංගම දුරකථනයට මගේ ජංගම දුරකථනයෙන් ඇමතුමක් යොමුවන ලද්දේ කෙසේ ද? මෙය පුවත්පත්කලාවේදියකු වශයෙන් මට විශාල ආන්දෝලනයකට තුඩු දෙන ලිපියක් ලිවිය හැකිමාතෘකාවකි. එහෙත් එහි සත්‍ය පසුබිම් කතාව එය නොවේ.
සැබැවින්ම එය මගේමනැසට හදිසියේ පිවිසි අදහසක් අනුව මවිසින් කරන ලද උප්පරවැට්ටියකි. ඒමොහොතේ මා ටීපෝව මත තබන ලද්දේ මගේ ජංගම දුරකථනය නොවේ. ඒ වනවිට මගේ ජංගමදුරකථනය තිබුණේ එම නිවසෙහි ආලින්දයේ සිටි අපගේ රියැදුරු චන්ද්‍රතිලකගේඅතෙහිය. ඒ මොහොතේ වෛද්‍ය බණ්ඩාර බිය වැද්දීමට සිතූ මා ඔහුට රහසින් චන්ද්‍රතිලකගේ ජංගම දුරකථනය මගේ අතටගෙන මගේ ජංගම දුරකථනයෙන් බණ්ඩාරගේ අංකයමතු කොට එය චන්ද්‍රතිලක අතට දුන්නේ මඳ වේලාවකින් එහි සඳහන් අංකයට ඇමතුමක්දෙන ලෙස ඉල්ලීමක් ද කරමිනි.
වෛද්‍ය රත්නසිරි බණ්ඩාර යොවුන් වියේදීම මෙබදු අධිභෞතික විශ්වාස බොහොමයක් පිටු දැක ඇති විද්වතෙකි. එහෙත් ඔහු ජංගම දුරකථන ඇසුරින් විවිධ සෙල්ලම්පෙන්වන එම භූතයාගේ ක්‍රියාකාරකම් පිළිබඳව අසා සිටින අතරේ මා ක්ෂණිකව පෙන්වනලද 'බූත සෙල්ලම' හමුවේ ඔහු ද ක්ෂණීක මානසික අවුලකට හෙවත් සම්මෝහයකට(Bewilderment) පත්වූ බව නිසැකය. තමන්ගේ මනැස හමුවේ ගොනුවන එක්වරම අවධාරණය කර ගතනො හැකි කරුණු සම්බන්ධයෙන් ඕනෑ ම ජගතකු එලෙස සම්මෝහයකට පත්වීමේ කිසිදුඅරුමයක් නැත.
එහෙත්, මා සිදු කළ චන්ද්‍රතිලකගේත්, මගේත් ජංගම දුරකථනහුවමාරුවේ සත්‍ය තත්ත්වය පහදා දුන් පසු විනාඩියක් හමාරක් වැනි කාලයක් තුළදී කරුණු නිවැරදිව වටහා ගත් වෛද්‍ය බණ්ඩාර ප්‍රකෘති තත්ත්වයට පත් විය.

කෙසේ හෝතම වැඩිමල් සොයුරියගේ දරු දෙදෙනා ද සමග නිවසේ තුන්වන මාලයේ කාමරයකට වීදොරගුළු ලා නිදාගත් පසු ද මෙම යුවතිය කොට්ටය යට තබා ඇති ජංගම දුරකථනය ඉබේක්‍රියාත්මක වීමේ යථාර්ථවාදී පසුබිම කුමක්ද?

එම තරුණිය තුළින් කිසියම් ද්විතීයික පෞරුෂයක් පැන නැංවෙන ලද්දේ ඇයි? පෝෂ්‍යදායී ආහාරපාන, ඇදුම්පැළදුම් ආදියෙන් සහ රූපවාහිනී, වීඩියෝ ආදී ගෘහස්ථ විනෝදාංශවලින් ජීවිතයටකිසිදු අඩුවක් නොවූව ද මෙම තරුණියට ද ගත කිරීමට සිදුව ඇත්තේ නිවස තුළට ම වීතම අක්කාගේ සිගිත්තන් දෙදෙනා බලා ගැනීමටම කැප වූ ඒකාකාරී ජීවිතයකි. ඇයටඅඩුම තරමින් අසල්වැසි මිතුරු මිතුරියන් ඇසුරක් හෝ ලැබී නැත. එමෙන්ම එහි ඇගේපියා වශයෙන් පෙනී සිටිනුයේ ද ඉතා මෑතක සිට ඇගේ මව හා සහවාසයට පැමිණිකොහේවත්යනපිටස්තරයකු මිස ඇගේ සැබෑ පියා නොවේ. තරුණියගේ පියා මියගොස් ඇත්තේ ඊට වසරදහයකටත් පෙරය. (පසුව මෙම රහස අප දැන ගත්තේ රාළහාමි වෙතිනි.)
ඒ අනුවතමන් සහ අක්කාගේ සිගිති දරුවන් දෙදෙනාගෙන් දුරස් වී තම මව ඇගේ අලූත් සහකරුසමගින් නිවසේ වෙනම මාලයක වෙනම කාමරයක රාත්‍රියේ සයනය කිරීමට පෙළඹීම එමතරුණියගේ සිතට බලවත් රිදුමක් හා ඉච්ඡාභංගත්වයක් ගෙන දීමට සමත්ව තිබේ. ඇගේ සිත තුළ නිරාකරණය කර ගත නොහැකි මානසික ගැටුමක් ක්‍රියාත්මක වී ඇත්තේ ඒඅනුවය. සාමාන්‍යයෙන් මෙබඳු අවස්ථාවල යම්යම් පුද්ගල ස්වභාවයන් අනුව යටි සිතතුළින් ද්විතීයක පෞරුෂයක් (Dual personality) ඉස්මතු වෙයි. මෙම නිවසේ භූතක්‍රියාකාරකමද මෙම තරුණිය තුළින් මතු වූ එවන් ද්විතීක පෞරුෂයක් මිස අන්කිසිවක් නොවේ. එමෙන්ම මෙහි විශේෂත්වය වනුයේ එම පෞරුෂය ක්‍රියාත්මක වීමෙන්පසු සිදුවන මෙම භූත ක්‍රියා පිළිබඳව සෙසු කිසිවකු තබා ඇයවත් නොදැන සිටීමයි.ඊට හේතුව මෙය ස්වයං මෝහන ආරූඩයක් (Auto Hypnotic Trance) වීමය.

"මේ ගෙදර අර වගේ මොකක් හරි අමුතු දෙයක් සිද්ද වුණු හැටියේ රාළහාමි මෙහේ එනවා. රෑක එහෙම ඒ වගේ දෙයක් වුණොත් රාළහාමි රෑට ගෙදර යන්නේ නැතුව මෙන්න මේසැටියෙම නිදාගෙන උදේට තමයි ගෙදර යන්නේ. ඇත්තෙන්ම මේ වගේ කෙනෙක් ඉන්න එකතමයි අපිට තියෙන ලොකුම හයියත්." තරුණියගේ මව එසේ පවසත්ම තරුණියගේ මුහුණින්පැන නැගුණු සිනාවෙහි ගැබ් වූ අරුත වියපත් මාධ්‍යවේදියකු වූ මට වටහා ගැනීමට එතරම් අසීරුවක් නොවිණි.

"කොහොම වුණත් සතියකට සැරයක් විතර නම් මට මෙහේ රැයක් ගත කරන්න වෙන එක වෙනවාමයි." රාළහාමි කීයේ එම පවුල වෙනුවෙන් තමන් විසින් කරනු ලබන ස්වේච්ඡා සේවය පිළිබඳව අප වෙතින් ද අගැයුමක් ලබාගනු පිණිසය.
එම පොලිස් නිලධාරියා රාත්‍රිය ගත කරන සාලය සහ එම තරුණිය රාත්‍රියට සයනය කරනු ලබන නිවසේ තුන්වැනි මහල වෙන් කෙරෙන දොරක් හෝ යකඩ ගේට්ටුවක් වැනි යමක් නොමැති බව ඒ පිළිබඳව වැඩිදුර විමසිලිමත් වූ මට වැටහිණ.රාත්‍රියේ නිවසේ දෙවන මහලට වී තම අලූත් වල්ලභයා සමග දොර වසා ගන්නා තරුණියගේ මවට පිටතින් සිදුවන කිසිවක් පිළිබඳ කිසිදු හැගීමක් නොමැති අයුරක් ද බැලූ බැල්මටම පෙනෙයි.

එබඳු පසුබිමක් යටතේ වුව මෙම භූත ක්‍රියාකාරීත්වය එම තරුණියගේ මානසික ගැටුම මත පදනම් වන උපවිඥානගත සංසිද්ධියක් ද නැතහොත් තම කායික මානසික අතෘප්තිය හුදකලාව පිටු දකිනු පිණිස සිය බිරිඳගෙන් තාවකාලිකව වෙන්ව හිදින රාළහාමි සතියකට වරක් හෝ තමන් වෙතට ගෙන්වා ගැනීම පිණිස කරනු ලබන සියුම් උපාය මාර්ගයක්ද යන්න නිශ්චිතව වටහා ගැනීමට වෛද්‍ය බණ්ඩාරටත් මටත් නොහැකි විය.

තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 
IMAGE

සිංහල මාධ්‍යවල අපරාධ වාර්තාකරණයත් බිහිසුණුයි

IMAGE 2017 Jun 28 11:07
එකම පවුලක කිහිප දෙනෙකු ඝාතනය කිරීම ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක් මගින් මහත් පිළිකුලින් යුතුව...
Views - 692

අන්තර් ජාලයේ උයන පිහන මස්තානම්මා

IMAGE 2017 Jun 28 08:49
අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල...
Views - 1618

'මළගමකට' වෙන් කළ මුදලත් පැහැරගෙන ගිහින් !

IMAGE 2017 Jun 27 20:45
ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට...
Views - 525

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 1457

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 3218

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 1259

Please publish modules in offcanvas position.