lakbima.lk
2017-06-15 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.8400 , විකුණුම් මිල රු.154.6400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.5800 , විකුණුම් මිල රු.198.1100 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.168.2300, විකුණුම් මිල රු.174.5900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.154.3400 , විකුණුම් මිල රු.160.4500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.2400 , විකුණුම් මිල රු.117.7200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.113.7400 , විකුණුම් මිල රු.118.8200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.109.0900 , විකුණුම් මිල රු.113.1000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3701, විකුණුම් මිල රු.1.4216 |

අපේ සැබෑ ජාතික උත්සවය සිංහල අලුත් අවුරුද්ද නොවේ

සිංහල අලුත් අවුරුද්ද අප රටේ ප්‍රධානතම ජාතික උත්සවය ලෙසත් වෙසක් උත්සවය ප්‍රධානතම ආගමික උත්සවය ලෙසත් හැදින්වීමට අපි බොහෝ‍ දෙනෙක් පෙළඹී සිටිමු. එහෙත් මගේ අදහස වනුයේ සිංහල අලුත් අවුරුද්දේ නොමැති ජාතික වැදගත් කමක්ද වෙසක් උත්සවයෙහි ගැබ්ව ඇති බවය. ඒ නිසා අප රටේ සැබෑ ජාතික උත්සවය වීමට සියළු සුදුසුකම් සපුරා ඇත්තේ වෙසක් උත්සවය මිස සිංහල අලුත් අවුරුදු උත්සවය නොවන බව මගේ වැටහීමය.

ඒ සුදුසුකම් මොනවාදැයි අපි දැන් විමසා බලමු. ඒවා සිංහල බෞද්ධ පදනමේ සිට මෙසේ දැක්විය හැක.

1.සමස්ත ජාතිය විසින්ම පිළිගන්නා අන්දමට තුන් හෙළයේ  අසමසම විරුවාණන් වන දුටුගැමුණු රජතුමා තම රාජ්‍ය කාලය තුළ එළැඹි සෑම වසරකම ‘මහා වෙසක් පූජා’ පවත්වා ඇතැයි මහා වංශය මගින් තහවුරු වීම.

2.සිංහල සභ්‍යත්වයේ, ශිෂ්ටාචාරයේ පදනම බෞද්ධ  සංස්කෘතිය මත පිහිටා ඇති බවට පවත්නා ජන විශ්වාසය සහ බෞද්ධ රටක් වශයෙන් ශ‍්‍රී ලංකාව පිළිබඳව ඇති ජාත්‍යන්තර හැඳින්වුම.

(සැ.යු.: 2010 වසරේ සංගණයන්ට අනුව ලොව රටවල් එකසිය අනූ හයෙන් සියයට අටක ප‍්‍රමාණයක් හෙවත් මිලියන පන්සිය තිස් පහක් බෞද්ධයෝ ය. ජන සංඛ්‍යාව වශයෙන් ඉහළ අගයක් වාර්තා නොවූව ද ජනගහණ ප‍්‍රතිශතය වශයෙන් ශ‍්‍රී ලංකාව ලෝකයේ පස්වන තැනට පත්ව සිටියි. ශ‍්‍රී ලාංකීය සමස්ත බෞද්ධ ජනගහණය සමස්ත ජනගහණයෙන් 67.30%කි.)

3. ශ‍්‍රී ලංකාවේ පවත්නා උත්තරීතර නීතිය වශයෙන් එහිම  දැක්වෙන ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ජේදයෙහි නව වන ව්‍යවස්ථාව නම් වනුයේ ‘බුද්ධාගම’ යනුවෙනි. එම ජේදය මෙලෙසිනි.

‘‘ශ‍්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ (ඉ) ජේදයෙන් සියලූම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.’’

ඉහත සඳහන් ව්‍යවස්ථාව අනුව වුව හින්දු, ඉස්ලාම්, රෝමානු කතෝලික සහ සෙසු කිතුනු ආගම් නියෝජනය කරන දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා, මැලේ ආදී ජාතිකයන්ට ඔවුන්ගේ ආගම් ඇදහීමේ සහ ඒ සම්බන්ධ උත්සව පැවැත්වීමේත්, චාරිත‍්‍ර පිළිපැදීමෙත් අයිතිය ස්ථාපිත කෙරෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින්ම ප‍්‍රමුඛත්වයක් හිමි කොට ඇති බුද්ධාගම සම්බන්ධ ප‍්‍රමුඛතම උත්සවය වන වෙසක් උත්සවය මෙරට ජාතික උත්සවය ලෙස නම් කිරීමේ කිසිදු නොහැකියාවක් නැත.

මෙම අදහස් ගැබ්කොට ම’විසින් ලියන ලද “සිංහල අලුත් අවුරුදු උත්සවයේ මායාව හා යතාර්තය” කෘතිය එළි දැක්වීමේ උත්සවය මුල් කොට පැවති සංවාදයක දී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රවීණ සාහිත්‍ය විචාරක ගාමිණි වියන්ගොඩ මහතා පවසා සිටියේ මෙවැනි අදහසක් පළ කිරීමෙන් මගේ කෘතියේ දැක්වෙන මෙම අදහස් බොදු බල සේනා සංවිධානයේ නිල ප්‍රකාශනයකින් උපුටා ගත්තක් ලෙස සැලකිය හැකි බවය එහෙත් එය මා සිහිනෙන් වත් නොසිතූ දෙයකි. නමුත් ඔහුගේ එම ප්‍රකාශය කෙතරම් දුරට සාධාරන දැයි මෙහි ඉතිරි කොටස කියවන ඔබටම වටහා ගත හැකි වනු ඇත.

සමස්ත ශ‍්‍රී ලාංකීය ජනගහණයෙන් තුනෙන් දෙකකටත් වැඩි ජන කොටසක් නියෝජනය කරන සිංහල බෞද්ධ පදනම වත්මන් ශ‍්‍රී ලාංකීය ජාතිකත්වය ගොඩ නැංවීමට මහෝපකාරී වූ අතීත සංස්කෘතියේත්, සභ්‍යත්වයේත් එමගින් ගොඩනැගුණු ශිෂ්ටාචාරයේත් මූලික පදනම බව නිසැක ය.

එහෙත් ශ‍්‍රී ලංකාව බහුජාතික, බහු ආගමික රටක් ය යන වර්තමාන නිර්වචනයට අනුව ගතහොත් සිංහල බෞද්ධ යන්න ද අප රටේ ජීවත් වන එක් ජන කොටසක් වශයෙන් වෙන් කොට දැක්වීමට අපට සිදුවෙයි. ඒ අනුව මෙරට ජාතිකත්ව (Nationality) පදනම සිංහල බෞද්ධ යන වාර්ගික පදනමක් තුළ සිර කිරීමක්, කොටු කිරීමක් වශයෙන් ගාමිණි වියන්ගොඩ මහතා වැන්නෙකුට අර්ථ දැක්විය හැක.

ක‍්‍රි.පූ. තුන්වන සියවසේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ‍්‍රී ලංකාවට බුද්ධාගම රැගෙන ආ ප‍්‍රවෘත්තිය කුඩා දරුවන්ගේ පටන් මෙරට සිංහල, අසිංහල බෞද්ධ, අබෞද්ධ සෑම අයකුම අසා තේරුම් ගෙන ඇති පුවතකි. එහෙත් මගේ වැටහීම සහ නිගමනය අනුව මෙම ‘බුද්ධාගම රැගෙන ඒම’ යන වදන් ඔස්සේ නූතන සමාජය ඒ පිළිබඳ වැරදි සංකල්ප රාශියක් ගොඩනංවාගෙන තිබේ. වියන්ගොඩ මහතාගේ ප්‍රකාශයට පදනම් වූයේ ද එවන් සාවද්‍ය සංකල්පයක් බව පෙනේ.

ආගමක් රැගෙන ඒම යනු මූලධර්මවාදයක් (Fundamentalism)පැතිරවීමක් සේ පහසුවෙන් අර්ථකථනය කිරීමට  යමකුට පුළුවන. නමුත් බුදු දහම මෙරටට හඳුන්වා දුන් මිහිඳු හිමියන් ආගම් ප‍්‍රචාරය කරන්නකුගේ භූමිකාවෙන් සපුරා බැහැර වන අන්දම අප විමසා බැලිය යුතුය.

බෞද්ධ රාජ්‍ය පාලනයේ පරමාදර්ශය ‘ධර්ම රාජ්‍යය’ නමින් හැඳින්වෙයි. මෙය කිසියම් ආගමික රාජ්‍යයක් වශයෙන් යමකුට සිතිය හැකි වුව ද සක්විති රජ කෙනකුන් විසින් පාලනය කරනු ලබන ධර්ම රාජ්‍යය තුළ බුදු සමය ඇතුළු ලොව කිසිදු ආගමකට විශේෂ තැනක් හිමි නොවේ. දීඝ නිකායේ එන චක්කවත්තී සිහනාද සූත‍්‍රය  කියවා නොමැත්තෙකු හට එය නොතේරීමේ අරුමක් නැත.

මිනිසුන්ට සේම අපා, දෙපා, සිව් පා, බහු පා ආදී සතුන්ටත්, අහසේ පියාසර කරන පක්ෂීන් සහ ජලයේ වෙසෙන මත්ස්‍යයන්ටත්, වෘක්ෂලතාදියටත්, වාතය, පස, ජලය යන භෞමික සාධකවලටත් සම මෙත, සම සෙත ඉටු කෙරෙන මෙම බෞද්ධ ධර්ම රාජ්‍ය සංකල්පය ලොව පරමාදර්ශී දේශපාලන දර්ශනයකි. කිසිම ආගමික ලබ්ධියක් සුවිශේෂ කොට ගෙන ඊට විශේෂ අනුග‍්‍රහ සැලසිය යුතු යැයි එහි කිසිම තැනක සඳහන් නොවේ.

ඒ කෙසේ හෝ බුදු දහමේ ලෞකික පරමාදර්ශය වන එම චක‍්‍රවර්තී රාජ්‍යය සැලකිය යුතු ලෙස ප‍්‍රායෝගික මට්ටමින් ක‍්‍රියාවට නැංවූ නරපතියාණන් ලෙස ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයා හැඳින්විය හැකි ය. ශ‍්‍රී ලංකාවට බුදු සමය හඳුන්වා දුන් මිහිඳු මාහිමියන් එතුමන්ගේ එකම පුත‍්‍ර රත්නය බව ඓතිහාසික වශයෙන් සනාථ වී ඇත.

ධර්මාශෝක රජතුමන්ගේ රාජ්‍ය පාලනය තුළ පැවැති ආධ්‍යාත්මික, සමාජ, සංස්කෘතික හරයන් වටහා ගැනීම පිණිස එතුමන් විසින් ඉන්දියාව පුරා පිහිටුවන ලද ශිලාලේඛන මහත් සේ උපකාරී වෙයි. ඒඅතුරින් ආගමික සහජීවනය පිළිබඳ කෙතරම් සහනශීලී ආකල්පයක් එතුමන්ට තිබිණි ද යන්න දොළොස්වන ආඥ ගිරි ලිපියෙහි සඳහන් මතු දැක්වෙන අදහස්වලින් පැහැදිලි වෙයි.

සියලූ ආගම්වල පැවිදි, ගිහි ජනයා හට රජතුමා දන් පිරිනමන්නේ ය. නොයෙකුත් පුද සැලකිලි ද කරන්නේ ය. ඉන් රජතුමා ඊට වඩා අගයන දෙයක් තිබේ. ඒ සෑම ආගමකම සාරවෘද්ධි (සාරවර්ධී) යයි. සාරවෘද්ධිය විවිධාකාර ය. ඉන් ප‍්‍රධාන වනුයේ වාග් සංවරයයි. තමන්ගේ ආගමට ගරු කරන අතරේ සෙසු ආගම් ගැරහීමට ලක් නොකළ යුත්තේ ය. විචාරයක දී පවා එය කෙටියෙන් මෘදු ලෙස කළ යුතු ය. ඒ එම ආගම කෙරෙහි ද ගෞරවයක් පෙරදැරිව ය. එවිට තමන්ගේ ආගම වැඩි දියුණු වෙයි. සෙසු ආගම් කෙරෙහි ද උපකාරක වෙයි. තම ආගම බැබලවීම පිණිස අන්‍යාගම්වලට ගරහන්නා තම ආගමට දරුණු හානි සිදුකර ගනියි. ආගමික සහජීවනය (සමවායො එව සාධු) වැදගත් ය. ඔවු’නොවුන්ගේ ධර්මයන් ගැන දැනගත යුතු ය. සියලූ ආගම් සම්බන්ධයෙන් බහුශ‍්‍රැත විය යුතු ය. මෙම ධාර්මික ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නංවනු පිණිස ධර්ම මහාමාත්‍යයන්, ස්ත‍්‍රී උපදේශිකාවන්, දේශ සීමා නිලධාරීන්, වෙනත් නිලධාරීන් පත් කොට ඇත. මේ සියල්ලෙන් අපේක්ෂා කරනුයේ ධර්මයේ බැබලීම (ධමෙසච දීපනා) ය.”

එහෙත් හුදු වර්ගවාදයෙන් බැහැරවන මෙම සමානාත්මතා සදාචාර දර්ශනය උගත් බුද්ධිමත් වියන්ගොඩ මහතා ඇතුළු අප රටේ බොහෝ දෙනෙකු තවමත් වටහාගෙන නැත.

ඉතිහාසයේ සඳහන් වන අන්දමට ධර්මාශෝක අධිරාජ්‍යයා තම රාජ්‍යයෙන් බැහැර රටවල් දක්වා පවා ධර්මදූත ව්‍යාපාරය ක‍්‍රියාවට නංවනුයේ ඉහත සඳහන් අභිමතාර්ථ මුදුන් පමුණුවා ගනු පිණිස ය. එහෙත්, එය ඉහත සඳහන් කළ සියලූ සත්වයන්ගේත්, ජීවී අජීවී සංයුතීන්ගේත් යහ පැවැත්ම උදෙසා මිස තම අධිරාජ්‍යයේ ව්‍යාප්තියක් සහ පෞද්ගලික ලාභ ප‍්‍රයෝජනයක් උදෙසා නොවන බව සත්‍යයකි.

මහරජ, මේ භූමිය අපා (දෙපා නොමැති උරග), දෙපා (මිනිස්), සිව්පා (තිරිසන්), බහුපා (කෘමීන් ආදී) සතුන්ගේත් අහසේ පියාසර කරන පක්ෂීන්ගේත්, ජලයේ මසුන්ගේත් පොදු උරුමයකි. ඔබ එහි භාරකරු මිස හිමිකරු නොවේ.

මිහිඳු මාහිමියන් විසින් දේවානම්පියතිස්ස රජතුමන් වෙත කරන ලදැයි පැවසෙන මෙම සුප‍්‍රසිද්ධ ප‍්‍රකාශය තුළින් වුව ඉන්දියාවෙන් අප රටට දායක වූ බුදු සමය හුදෙක් චිත්ත දමනය මුල් කොටගත් සැමට පොදු සදාචාර මාර්ගයක් මිස හුදෙක් ආගමක් නොවන බව  අතිශයින් පැහැදිලි ය.

ඒ අනුව එම උතුම් සදාචාර මාර්ගය ලොවට හෙළි කළ ශාස්තෘවරයා වන බුදුන් වහන්සේ අනුස්මරණය කෙරෙන වෙසක් පුන් පොහොය මුල් කොට මෙරට ජාතික උත්සවය ස්ථාපිත කිරීමෙන් සැමට කිනම් හෝ යහපතක් මිස නපුරක් අයහපතක් සිදුවීමට ඉඩක් නැත.

එමෙන්ම එය අප රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සියලූ වැසියන්ගේ ආගමික නිදහස ප‍්‍රායෝගික මට්ටමින් තහවුරු කිරීමක් බව සහතික වශයෙන්ම කිව හැක.

ශී‍්‍ර ලංකාවේ බෞද්ධ ජනගහණය සමස්ත ජන ප‍්‍රතිශතයෙන් 69.30%කි. එහෙත් ඉන්දියානු ජනගහණයේ හින්දු ආගමික ප‍්‍රතිශතය 79.8%කි. ඊට අමතරව ඉන්දියාවේ සෙසු ආගම්වලට අයත් ජනගහණය ප‍්‍රතිශතයක් ලෙස මෙලෙසිනි.

ඉස්ලාම් 14.2% ,ක‍්‍රිස්තියානි 2.3%, ෂීක් 1.7%, බෞද්ධ .7%, ජෛන .4%, වෙනත් ආගමික .7%, නිර්ආගමික .2%

ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ජනගහණයට සාපේක්ෂව හින්දු ජනගහණයේ 10%කට වැඩි ප‍්‍රතිශතයක් පෙන්වන ඉන්දියාව මේ වනවිට ‘නිර්ආගමික’ (Secular) රාජ්‍යයක් බව අප රටේ බොහෝ දෙනෙක් නොදනිනි. ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15-25 වගන්තිවලින් එහි ආගමික නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කර තිබේ. 1947 බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී ග‍්‍රහණයෙන් මිදුණු ඉන්දියානු රාජ්‍යයේ නිර්ආගමික බව 1976 අංක 62 දරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම රටේ උත්තරීතර නීතියට එක්කොට තිබේ.

හින්දු, බෞද්ධ, ජෛන, ෂීක් යන ප‍්‍රධානම ආගම් හතර මෙලොවට දායාද කළ ඉන්දීය රාජ්‍යය දේශපාලනික වශයෙන් නිර්ආගමික වීම අති නවීන සංකල්පයක් සේ ඇතැම් බටහිර විචාරකයෝ කියති. ඒ පල්ලිය සහ රාජ්‍යය එකි’නෙක වෙන්වීම (Separation of Church and State) ඔවුන්ට නවීන අදහසක් බැවිනි. එහෙත්, බුදු දහමින් ඉදිරිපත් කෙරෙන අතිශය සහනශීලී අවිහිංසාවාදී පදනමක් වන අශෝක අධිරාජ්‍යයා ලොවට ඉදිරිපත් කළ ආගමික සමානාත්මතා සහජීවන පිළිවෙත එම රාජ්‍යය තුළ පරිණාමයට, විකාශනයට සහ සංවර්ධනයට පත්වීමේ පියවරක් ලෙස ඉන්දියාව මෙලෙස නිර්ආගමික රාජ්‍යයක් වන්නට ඇත.

වර්තමාන ඉන්දියානු රාජ්‍ය ලාංඡනය වනුයේ ද අශෝක අධිරාජ්‍යයා විසින් සාරානාත් හි පිහිටුවා තිබූ ශිලා මූර්තියක සංකේතයකි. මෙම මුර්තියේ දැක්වෙන සිව් දෙසට මුහුණ ලා ගත් ඉන්දීය සිංහයන් සිව් දෙනකුගේ රූප සීනුවක හැඩය සහිත පියුමක ආකෘතියක් මත ඇති පීඨයක් මත තනා තිබේ. එම පීඨයේ වම් පස අශ්වයකුගේ සහ දකුණෙහි ගවයකුගේ රූප දැක්වෙන අතර ඒ මධ්‍යයෙහි ඇත්තේ ගරාදි විසි හතරකින් යුතු ධර්ම චක‍්‍රයකි.

‘අශෝක චක‍්‍ර’ නමින් හැඳින්වෙන නිසැක ලෙසම බෞද්ධ ධර්ම චක‍්‍ර සංකේතයක් වන මෙය ඉන්දියාව 1947 ජූලි 22 දා සිට ඉන්දීය ජාතික ධජයේ ඇති එකම සංකේතය‍ වෙයි. එහෙත්, සියයට අසූවක් පමණ හින්දු ජනගහණයක් වෙසෙන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනයට සහ ජාතික කොඩියට ඊට වඩා ඉතා සුළු ජනගහණයක් අදහන බෞද්ධ සංකේත යොදා ගැනීම පිළිබඳ කිසිදු විරෝධයක් එල්ල වී නැත. ඊට හේතුව ඉන්දීය සංස්කෘතිය සහ සභ්‍යත්වය මුල්කර ගනිමින් ගොඩ නැගුණු උදාරතර ශිෂ්ටාචාරය මත පදනම් වූ ජාතිකත්වය සඳහා බුදු දහමින් සහ ධර්මාශෝක අධිරාජ්‍යයාගෙන් ලත් සුවිශේෂ පිටිවහලට කෘතගුණ පෑමක් වශයෙන් ද විය හැක. එවන් පසුබිමක් යටතේ හුදු සිංහල බෞද්ධ සහ වර්ගවාදය පසෙකට තබා අපගේ සංස්කෘතිය, සභ්‍යත්වය, ශිෂ්ටාචාරය මත පදනම් වූ සැබෑ ජාතිකත්වය පිළිබඳව සැලකීමේ දී වුව නිසැක ලෙසම ශ‍්‍රී ලංකාවේ ජාතික උත්සවය විය යුත්තේ වෙසක්ම බව අමුතුවෙන් කිව යුතු නැත. මෙය වියන්ගොඩ මහතා ඇතුළු  නූතන සමාජයේ සෑම විදග්ධයකුගේම විශේෂ අවධානයට ලක්විය යුත්තකි.

තිලක් සේනාසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 
IMAGE

සිංහල මාධ්‍යවල අපරාධ වාර්තාකරණයත් බිහිසුණුයි

IMAGE 2017 Jun 28 11:07
එකම පවුලක කිහිප දෙනෙකු ඝාතනය කිරීම ඕනෑම ශිෂ්ඨ සම්පන්න සමාජයක් මගින් මහත් පිළිකුලින් යුතුව...
Views - 697

අන්තර් ජාලයේ උයන පිහන මස්තානම්මා

IMAGE 2017 Jun 28 08:49
අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල...
Views - 1630

'මළගමකට' වෙන් කළ මුදලත් පැහැරගෙන ගිහින් !

IMAGE 2017 Jun 27 20:45
ජීවත් වන්නවුන් වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල් ගසා කන්නවුන් පිළිබඳ තොරතුරු අපට නොයෙක් විට...
Views - 528

බුද්ධි-බූඩි අළුත් වැඩක

IMAGE 2017 Jun 26 13:47
ශ්‍රී ලාංකිය සිනමාව නව මගකට යොමුකළ බුද්ධි කිර්තිසේන හා බූඩි කිර්තිසේන පිය පුතු දෙපළ සිනමා...
Views - 1458

ලංකාවේ අවංකම බස් කොන්දොස්තර කුරුණෑගලින්?

IMAGE 2017 Jun 26 10:49
කුරුණෑගල මහ රෝහල ඉදිරිපිට බස් නැවතුම නිතර ජනයාගේන් පිරී පවතින්නකි. විශේෂයෙන් රෝහලේ රෝගීන්...
Views - 3228

සෙල්ෆි ගැසීම මානසික රෝගයක් නොවේ

IMAGE 2017 Jun 26 09:57
තමාගේම ඡායාරූපයක් තම ජංගම දුරකථනයෙන් ගැනීම හෙවත් සෙල්ෆි ගැනීමට ගිය කීපදෙනෙකු අවාසනාවන්ත ලෙස...
Views - 1259

Please publish modules in offcanvas position.