lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

ඩීමන් ආනන්ද පරපුරේ අන්තිම පුරුක

ඔහු මාරක කතා ලියූ වැළිහිඳ මුනිරත්න

පාසල් යන අවධියේ අටේ නමයේ පන්තිවල මම මාරක කතා බේබද්දෙක්. වෙලාවක් අවේලාවක් නැතිව ඕනෑම වෙලාවක මත්වෙන්න සූදානම් වෙලා ඉන්න බේබද්දෙක් වගේ මමත් ඕනෑම මොහොතක මාරක කතා ‍පොත් කියවන්න සූදානම්ව හිටියා.
එක පිහාටු තියෙන කුරුල්ලො එක අත්තෙ ලගිනවා වගේ, අපිත් දෙතුන් දෙනෙකුගේ සහභාගිත්වයෙන් මාරක කතා ‍පොත් කියවීමේ කල්ලියක් තිබුණා. අපි දෙතුන් දෙනා එකතු කරගන්නා සල්ලිවලින් තමයි අපේ මාරක කතා කියවීමේ බේබදුකම සංසිඳුවා ගත්තෙ.
කඳාන දුම්රිය ස්ථානය ළඟ තිබුණ මල්ලිකා හෝටලයෙන්, දවල් දොළහෙ විවේකයට තෝස දෙකක් කාලා ශත විස්සක් නොදී හොරෙන් පැන්නෙ අපේ ඇට්ටරකමටම නොවෙයි. මාරක කතා ‍පොත් මිලට ගන්න අරමුදල් සම්පාදනයට.
අපේ යොවුන් වියට වසර විස්සකට තිහකට ඉස්සර ඩබලිව්.ඒ. සිල්වා “ජූලිහත” ලියල තිබුණට, පියදාස සිරිසේනගෙ “ඩිංගිරි මැණිකා” නවකතාවේ කෝන්ගොඩ වික්‍රමපාල කියලා රහස් පරීක්ෂකයෙක් හිටියට, ඒ කාලෙ අපේ යොවුන් හිත් සින්නක්කරම ලියාගෙන හිටියෙ ඩීමන් ආනන්ද. අද අපි වගේ වයස අවුරුදු හැට හැත්තෑවෙ ඉන්න හුඟාක් දෙනා මුලින්ම කියෙව්වෙ ඩීමන් ආනන්දගෙ මාරක කතා. ඊට පස්සෙ තමයි මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, කේ. ජයතිලක ආදීන් වෙත මාරුවෙන්නෙ. ඒ දෙගොල්ලො අතරෙ පාලම හැදුවෙ කරුණාසේන ජයලත්.
රුපියල් දෙකට විකිණූ මාරක කතා ‍පොත් ශත හැත්තෑ පහට විකුණන්න පටන් ගත්තෙ කලෙයි මගල් සමාගමින්. මුල් පිටුවෙ වගේම පසුපස පිටුවෙත් අපූරු චිත්‍ර. ශත හැත්තෑපහට කොළ හැත්තෑපහක කතාවක්. එක හුස්මට කියවල ‍පොත දෙකට නමලා කලිසම් සාක්කුවෙ ඔබාගත්තැකි. ලිංගම් මුදලාලි, ඩීමන් ආනන්දගෙ මාරක ‍පොතක එක පාරට ‍පොත් දහදාහක් ගැහැව්වලු. පත්තර ලෑලිවල විතරක් නොවෙයි. සිගරැට් සුරුට්ටු ටොෆි ලොසින්ජර් විකුණන පෙට්ටි කඩවල චිත්‍රපට සින්දු ‍පොත්, වෙනත් සිංදු ‍පොත් වගේම, ඩීමන් ආනන්දගෙ මාරක ‍පොත් ක්ලිප් ගහල වැල්වල එල්ලලා තිබුණා. සුමානෙන් දෙකෙන් ‍පොත් දහ දාහ ඉවරයි. ඒ කාලෙ කිව්වෙ “උණු කැවුම් විකිණෙනවා වගෙයි” කියල නොවෙයි “ඩීමන් ආනන්දගෙ මාරක කතා විකිණෙනවා වගෙයි“ කියලයි.
ඒ කාලෙ ඩීමන් ආනන්දට වගේම තවත් ජනප්‍රිය මාරක කතා ලියන ‍ලේඛකයො ටික දෙනෙක් හිටියා. වැළිහිඳ මුනිරත්න, සිරිසේන මාඉටිපේ, නාරාහේන්පිට චන්ද්‍රසේන, අම්බලන්තොට චන්ද්‍රසේන ද සිල්වා, කේ. ලයනල් පෙරේරා, මොරටුවේ ඩී.එස්.පී. මැන්දිස්, ඩබ්ලිව්.පී. වැල්ලවත්ත, ජිනදාස ‍ලේල්ලවල ඒ කාලෙ මාරක කතා ලියූ ‍ලේඛකයන් කීපදෙනෙක්.
ඒ මාරක කතා ලියපු ‍ලේඛකයන් අතරින් මම දන්න තරමටම නම් දැනට ජීවත්වෙලා ඉන්නෙ එකම මාරක කතා ‍ලේඛකයයි.
ඔහු වැළිහිඳ මුනිරත්න.
එක්දහස් නමසිය තිස්තුනේදී ‍පොල්ගහවෙලදී ඉපදුණ වැළිහිඳ මුනිරත්න මුලින්ම ඉගෙන ගත්තෙ කුරුණෑගල ශාන්ත ආනා විදුහ‍ලේ. පසුව අනුරාධපුර මධ්‍ය මහා විදුහලට ඇතුළු වෙලා ඉංග්‍රීසි / සිංහල සීනියර් විභාගෙ සමත් වුණා. “රොමාගෙ වාසනාව” කතාව ලියූ ඊ.ආර්. එරත්න, අනුරාධපුර සෙන්ට්‍රල් එකේදී වැළිහිඳට සිංහල ඉගැන්නුව ගුරුවරයෙක්.
වැළිහිඳ මුනිරත්න තමන්ගෙ මුල්ම මාරක කතා ‍පොත ලිව්වෙ එක්දහස් නමසිය හැටේදි වගේ. එතකොට  ඔහු වයස අවුරුදු විසි හයක විසි හතක නාඹර තරුණයෙක්. ‍පොතේ නම “අබිරහස් මරුවා”. සමාජ ශාලාවක කොටස්කාර අයිතිකරුවෙක් හදිසියේ අතුරුදන් වෙනවා. එම අබිරහස් අතුරුදන් වීම සෙවීමට රහස් පරීක්ෂකවරයකුට භාර වෙනවා. ඔහු තමයි රහස් පරීක්ෂක ලක්ෂ්මන්. ඩීමන් ආනන්දගෙ සෑම මාරක කතාවකම රහස් පරීක්ෂකවරයා ඩිකී වීරකෝන් වගේ වැළිහිඳ මුනිරත්නගෙ සෑම මාරක කතාවකම රහස් පරීක්ෂකයා තමයි ලක්ෂ්මන්. කොළඹ ඕල්කට් මාවතේ කරුණාරත්න ‍පොත් සමාගමෙන් තමයි ‍පොත ප්‍රකාශයට පත් කළේ. පළමුවෙනි පාරට ‍පොත් පන්දාහක් මුද්‍රණය කළා. කර්තෘ භාගය විදියට වැළිහිඳ මුනිරත්නට ලැබුණෙ රුපියල් දෙසීයයි.
වැළිහිඳ මුනිරත්න කියන්නේ තමන් මාරක කතා ලිව්වෙ බටහිර චිත්‍රපට බලලා නොවන වග.
“ඒවා මගේ ස්වතන්ත්‍ර නිර්මාණ. මගෙ මාරක ‍පොත්වලට බටහිර රහස් පරීක්ෂක කතාවල ආභාසය ලැබෙයි කියල මම ඉංග්‍රීසි නවකතා විශේෂයෙන් රහස් පරීක්ෂක කතා කියෙව්වෙම නැහැ.” මෙහෙම කියන්නේ ඉංග්‍රීසි සිංහල ද්වි භාෂා සීනියර් සමතෙකු වූ වැළිහිඳ මුනිරත්නය.
ඔහුගේ දෙවන මාරක කතාව “මාරක ඇටසැකිල්ල” කතාවෙන් කියැවෙන්නේ ඝන අඳුර පවතින රාත්‍රියක පැමිණෙන ඇටසැකිල්ලක් මුදල් මංකොල්ල කන හැටි. ඒ ඇටසැකිල්ල රූමත් කාන්තාවන් පැහැරගෙන යන අන්දම මාරක ඇටසැකිල්ල කතාවෙන් කියවෙනවා. මේ අබිරහස විසඳන්න රහස්
පරීක්ෂක ලක්ෂ්මන් එනවා. මේ ඇටසැකිල්ල පෙනෙන්නෙ මහා ඝන අඳුරෙ විතරයි. හදිසියෙ විදුලි එළියක් පතිත වුණොත් ඇටසැකිල්ල අතුරුදන් වෙලා අඳුරු ඡායාවක් ඉතිරි වෙනවා. කළු රබර් ඇඳුමක් ඇදගත්ත පුද්ගලයකු ඒ රබර් ඇඳුමෙ රේඩියම්වලින් ඇටසැකිල්ලක් ඇඳගෙන. අඳුරු වෙලාවට රේඩියම්වලින් ඇඳපු ඇටසැකිල්ල පේනවා. විදුලි එළිය වැටුණම රේඩියම්වල දිදුලන බව නැතිව යනවා. රහස් පරීක්ෂක ලක්ෂ්මන් මාරක ඇටසැකිල්ලෙ අබිරහස විසඳනවා.
වැළිහිඳ මුනිරත්නගෙ “මාරක ඇටසැකිල්ල” ප්‍රකාශයට පත් කළේ මරදාන සමයවර්ධන ‍පොත් සමාගමෙන්. එකපාර පිටපත් පන්දාහක් ගැහැව්වා. ‍පොතක මිල රුපියල් දෙකයි. වැළිහිඳට කර්තෘ භාගය විදියට රුපියල් එක්දහස් තුන්සියයක් ලැබුණා.
මාරක ඇටසැකිල්ල මාරක කතා ‍පොතේ පිටකවරය ඇන්දේ සුසිල් ප්‍රේමරත්න. පිටකවරය ඇන්දට රු. 250ක් සුසිල් ප්‍රේමරත්නට ගෙවලා. වැළිහිඳ මුනිරත්නගෙ හැම කතා ‍පොතකම මුල් පිටකවරය ඇන්දෙ සුසිල් ප්‍රේමරත්න සහ ජී.එස්. ප්‍රනාන්දු.
“‍ලේ බොන මාරයා” මාරක කතා ‍පොත ගැහැව්වෙ කොළඹ මරදාන මාලිගාකන්ද පාරේ ඇම්.ජී. ධර්මදාස සහ සහෝදරයෝ ‍පොත් සමාගමෙන්. ‍පොතක මිල රුපියල් දෙකයි. මිනිසුන්ගෙ උගුරු දණ්ඩ කපා ‍ලේ බි මිනිසුන් ඝාතනය කරන අද්භූත ගෝරිල්ලෙක් පිළිබඳවයි ඒ කතාව. මධුසමය ගතකිරීමට ගිය ගමනේදී මූකලන්යාය මහා ඝන වනයේදී අතුරුදන් වන සැමුවෙල් රන්දුනු සහ මහිලා ගජනායකගේ අතුරුදන්වීම සමග ඈඳෙන මිනීමැරුම්, මංකොල්ලකෑම් රාශියක් විසඳන්නෙ රහස් පරීක්ෂක ලක්ෂ්මන්.
බහිරව නිධානය, නාමලී, මතු ආත්මයේදී, මනිලා මල්එතනා, පව් ගෙවීම, ඇවැස්ස නෑනා වගේ ‍පොත් හැටක් වැළිහිඳ මුනිරත්න ලියලා තියෙනවා. ඒ ‍පොත් ගොන්නෙ මාරක කතා විතරක් නොවෙයි නවකතා, ඓතිහාසික කතා, ප්‍රේම කතාත් තියෙනවා.
“මම මුලින්ම කතාවෙ සැකිල්ල හදාගන්නවා. කුතුහලය අවසානය දක්වාම රඳවාගෙන තියාගන්න ඕන විදියට කතාව ලියාගෙන යනවා. කතාව මැදදී හිතාගන්න බැහැ කවුද වැරදිකාරයා කියලා. සමහර වෙලාවට රහස් පරීක්ෂකයා        ළඟින්ම ඉන්න කෙනා වෙන වෙලාවල්ද තියෙනවා.” තමන් මාරක කතාවක් නිර්මාණය කරන අන්දම වැළිහිඳ මුනිරත්න විස්තර කළේ එහෙමයි.
වැළිහිඳ මුනිරත්න තරුණ කාලෙ කඳානෙ එස්.එම්. නායගම්ගෙ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයෙ රැකියාව කළේ නළු නිළියන්ට දෙබස් මතක් කර දෙන කෙනෙක් ලෙස. රුක්මනී දේවි, එඩී ජයමාන්න, රවීන්ද්‍ර රූපසේන රඟපෑ ‘නළඟන’ චිත්‍රපටයෙ එල්.එස්. රාමචන්ද්‍රන්ගේ සහය අධ්‍යක්ෂවරයා විදියට වැඩ කළා. පසුව ඔහු එක්කම ඉන්දියාවට ගිහිල්ලා රෝයල් ස්ටුඩියෝ එකේදී ‘දේවසුන්දරී” චිත්‍රපටය හඳන්න සහය වුණා. එඩී ජූනියර්, ෆ්ලොරිඩා ජයලත්, ජෝ. අබේවික්‍රම ඇතුළු ද්‍රවිඩ නළු නිළියන් රඟපෑ “දේව සුන්දරී” භාෂා හයකින් හදපු චිත්‍රපටයක්.
එක්දහස් නමසිය හැට අට කාලෙ ඔහු ගල්ගමුවෙ “ශාරදා” කියල චිත්‍රපට හෝල් එකක් පටන් ගත්තා. මුලින් පෙන්නුවෙ රොබින් තම්‍පෝගෙ ‘දෙහදක දුක’. අඟහරුවාදා ගල්ගමුවෙ සති ‍පොළ දවසට ශාරදා හෝල් එකේ ෂෝස් හතරක් දිව්වා.
ඒත් කාලය කොච්චර නපුරුද? ඔක්කොම වෙනස් වුණා. හැත්තෑ එකේ කැරැල්ල කා‍ලේ නමයයි තිහ දුවන්න බැරිව ගියා. ඈත කැ‍ලේ හිටිය අලි රාත්තිරියට ගල්ගමුව පාරට සේන්දු වෙන්න ගත්තා. පාරවල් පාළු වෙලා ගියා. ගල්ගමුවෙ ශාරදා හෝල් එකත් වැහිලා ගියා.

 පීටර් කැනියුට් පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 1948

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 1593

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 2333

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1574

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 6123

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 3927

Please publish modules in offcanvas position.